10 April 2013

මානව ඉතිහාසයේ වැදගත්ම සොයා ගැනීම...

කලින් මං ලියාපු ලිපිය ලියාගෙන යද්දිම තමා මට මේ ගැනත් ලියන්න හිතුනේ... ඒත් ඉතිං දැන් ඉස්සර වගේ පැය ගණන් අරං බ්ලොග් පෝස්ට් ලිය ලිය ඉන්න තරං වෙලාවක් නැහැ නෙව... සතිය මැද දවස් දෙකක් ඉංගිරිසි පංතියකට ලොටන්න ඕන.. සතිය අග හොටැල් ඉස්කූලියට ගාටන්ට ඕන.. ඒ අතරේ කේන්දරයක් දෙකක් බලා කියාගෙන එයිට අමතරව අතට අහුවෙන ටැම්පොරි ජොබ් එහෙමත් කොරාන්ට ඕන... එව්වට මෙව්වට වෙලාව ගියාම දැන් ඉස්සර වගේ මෙවෑ ගත කොරන්ට කාලේ හොයා ගන්ට අමාරුයි... හිටි හැටියේ අන්තර් ජාලේ එල්ලුනා උනත් මහන්සි වෙලා මහන්සි වෙලා ආවට පස්සේ ඔය බර බර වැඩ කරන්න බැහැ නෙව...  ඒ හින්දා වැඩි වැඩ නොකර අර තරහා ගිය කුරුල්ලන්ගෙන් ඌරෙක් මරා දාලා යනවා ඇර වෙන දෙයක් කොරන්න හිත දෙන්නේ නැහැ... ඒකයි මංතුමා මේ දවස්සල වැඩිය පේන්න අඩු...

ඉතිං එහෙම ඉඳ හිට ඇවිල්ලා ලියනවා වෙලත් ලියන්ට එපෑ ටිකක් බර සාර.. වැදගත් ලිපියක් එහෙම.. නිකං එව්වා මෙව්වා පල් හෑලි ලියන්ට හොඳයෑ මං අහන්නේ..? බර බර දේවල් ලියන පොරවල් අපිට කෝචෝක් කරනවත් නෙව කන බොන ඒවයි කඩේ ගිය ඒවයි පොලේ ගිය ඒවයි ලියන උන් කියලා... එහෙවු එකේ මං හිතා ගත්තා ඉඳ හිටවත් මෙහෙම හර බර ලිපි ලියන්ට කියලා... එහෙම හිතලයි ආයිබෝං ඔය උඩින් දාලා තියෙන මාත්තුරුකාව උනත් දැම්මේ.. ඒක ටිකක් බරයි වගේ නේද..? ඒක එහෙම බර මාත්තුරුකාවක් වගේ කියලා ඔහෙලට තේරෙනවනං මට ඒ ඇති.. ඔය ටික ලියාගන්නත් මං වෙච්ච මහන්සිය දන්නේ මංනේ... මට හිතාගන්න බැරි මේ බර බර දේවල් ලියන උන් ඒවා කොහොම ලියනවද කියලා.. මට ඔය මාත්තුරුකාව ලියන්න ගිහිනුත් නින්ද යාගෙන ආවා කියහංකෝ.. :D

රයිටෝ මං මේ කියන්ට ගියේ... ඔහෙලා දන්නවද මේ ලෝකේ එදා මෙදාතුර මිනිස්සු හොයා ගත්තු වටිනාම දේ මක්කද කියලා..? මං දන්නවා ඔහෙලා දන්නේ නැහැ... ඔහේලා බොරුවට දන්නවා වගේ රඟන්න හදයි.. ඒත් මං දන්නවා ඔහෙලා ඒක දන්නේ නැහැ... ඔහෙලා කියාවි ඔය ගින්දර හොයාගත්ත එක තමා ලොකුම දේ කියලා.. නැත්තං රෝදය හොයා ගත්තු එක තමා මහා බිබික්කම කියලා.. ම්හූ... වැරදියි...

හරි උත්තරේ තමා මූණුපොත... ඒ කිව්වේ මේ බුකිය.. පැහැදිලි හිංගලෙන් කියනවනං “ෆේස් බුක්“ එක...

ටිකක් විස්සාස කරන්න අමාරුයි වගේද..? කරන්න දෙයක් නැහැ..අමාරුවෙන් හරි විස්සාස කරන්න වෙනවා... ඇයි මං එහෙම කියන්නේ..? එහෙම කියන්නේ ඒක තමා ඇත්තම කාරනේ... මේ ලෝකේ මිනිහෙක් හරි.. මිනිස්සු කණ්ඩායමක් හරි හොයා ගත්ත වටිනාම මෙව්වා එක තමා මූණු පොත...

 ඔය ගින්දර සොයා ගැනීම..එතකොට රෝදය සොයා ගැනීම වගේ දේවල් නිකං දෙකේ කොලේ වැඩ... අහස් යන්තරා..විදුලි බුබුලු.. රේඩියෝ ටීවී කටු වගේ හොයා ගැනීම් කියන්නේ නිකං තුට්ටු දේකේ පීචං හොයා ගැනිලි මේ මූණු පොත ඉස්සරහා.. අර ඇමරිකාව හොයා ගත්ත කොලොම්බස් වගේ විහිළු කාරයෝ ගැන එහෙමනං මතක් කරන්නවත් එපා හරිය.. ඇයි මං එහෙම කියන්නේ..?

එහෙම කියන්නේ ආයිබෝං..දැන් බලන්න මේ මූණූ පොත කියන දේ දැනට කල්ප කාලාන්තරේකට කලියෙන් හොයා ගත්තනං.. ලෝක ඉතිහාසේ මේ වෙනකල් සිද්ධ උන එක යුද්ධයක්වත් වෙනවද..? නැහැනේ... මිනිසුන් කෝටි සංඛ්‍යාත පිරිසක් තවත් මිනිස්සු අතින් කැපිලා කෙටිලා..වෙඩි වැදිලා මැරිලා යනවද..? නැහැනේ... ඇයි.. එහෙම උනානං හැම යුද්ධෙම මූණු පොතෙන් අහවර කරගන්න තිබුනා... නිකං කඩු කෙටි උස්සං..එව්වා මුවත් තිය තිය.. කොයි වෙලේ තමුන්ටත් තව එහෙකුගෙන් කඩු පාරක් කන්ට වෙයි කියලා හිත හිත පරාණ බයේ..තමුන් ඉස්සරහට එන එවුවන්ව කොට කොට ඉස්සරහට යන විදියේ යුද්ධ කොරන්නට ඕනද..? නැහැනේ... නැව් හදලා..රුවල් දාලා..එවුවෑ එල්ලිලා මියෙම්වා රැකෙම්වා කියලා හිතං මූදූ ගෙහුං තව තව රටවල් වලට ගොඩ බැහැලා අම්බ දුක් විදින්න ඕනද..? නැහැනේ...

එහෙමනං කරන්න තියෙන්නේ හදාගත්තා මූණු පොතේ ගිණූමක්... ඒ ගිණුම තමුන්ගේ ඇත්තම නමින් වේවා..නැතිනම් ෆේක් එකක් වේවා... අවශ්‍ය කරන්නේ ගිණූමක් තිබීම පමණයි... ෆේක් එකක්නං තමා වැඩියමත්ම හොඳ... දාගත්තා ඒකට හොඳ රණකාමී නම් පොජ්ජක්... හරියට නිකං අහවල් පළාතේ සිංහයා.. නැත්තං අහවල් හන්දියේ ඇතා වගේ ඇහුවම ඇගේ මයිල් කෙලින් වෙන නමක්... තවත් ඕනනං දාගත්තා කඩුවක් අතින් අරං නිකං මරාගෙන මැරෙන පෙනුමක් තියෙන හයේ හතරේ පොරකගේ පොටෝ කෑල්ලක්.. (තමුන් නිකං අඩි හතරහමාරේ ඇඹිටිල්ලං ඩයල් එකක් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.කඩුවක් අරං මිනී මරනවා තියා තුවාල කර ගනී කියලා බයට අම්මි බනී කියලා පිහියකින් පේර ගෙඩියක්වත් කපලා නැති එක වෙනම කතාවක්.. ඒවා මෙතනට අදාළ නැහැ. ) එයින් පස්සේ මොන යකාටද බය වෙන්න ඕන.. දෙන එකයි තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න...  ඕනෑම එකෙක් එක්ක.. ඕනෑම ජාතියක් එක්ක යුද්ධ කරන්න තමා තියෙන්නේ... හරි ලේසියි... කී බෝඩ් එකක් ඉස්සරහට වෙලා වනන්නයි තියෙන්නේ අනිත් උන් හැදි ගෑවිලා යන්නම... සිම්පල් වැඩක්නේ ආයිබෝංලා එහෙම උනානං යුද්ධ කිරිල්ල... එකෙක් මැරෙන්නේ නැහැ..අඩුම ගානේ කුඩු හමවත් කැඩෙන්නේ නැහැ... වලියක් පේනකොට දුවලා හැංගෙන... කවුරු හරි හයියෙන් අඩිය හැප්පුව ගමන් මල මුත්තරා පහ වෙන බුවාලට උනත් මහා ඇලෙක්සැන්ඩර්ලා වගේ අධිරාජ්ජයෙක් වෙන එක උනත් සිම්පල්... ආයේ ඉතිං ඕන එළුවෙකුට මහා වීරයෙක් වෙන්න කිසිම ගේමක් නැහැ...

එහෙම තිබුනනං ඔය අතීතයේ සිද්ධ උන කිසිම යුද්ධයක් වෙන්නෙත් නැහැ.. එක මිනිහෙක් මැරෙන්නෙත් නැහැ... මොකද මූණු පොතෙන් යුද්ධ කරන එකෙක්වත් ඔය කෑ ගැහුවට පාරකට බැහැලා තව එහෙකුට ගලකින් ගහන්නවත් හිතන්නේ නැති අහිංසක ඩයල්... ආන්න එකයි කියන්නේ මේක වේල පහම හොයා ගත්තනං ඔය කිසිම කරදරයක් නැහැ.. කොටින්ම ඔය තියෙන තරං ආගං හදන්න ඕනත් නැහැ.. මූණු පොතම ආගමක් කරගන්නත් තිබුනා.. ඕනනං මල් තියලා හදුන්කූරු ගහලා වදින්න පුදන්න උනත් තිබුනා...

ආන්න ඒකයි මං කියන්නේ මේක තමා මානව ඉතිහාසේ හොයාගත්තු වැදගත්ම..වටිනාම දේ කියලා...
ඔය අර මං කලින් කිව්ව ගින්දර..රෝද..ටෙලිවිසොං අනං මනං මේක ඉස්සරහා නිකං සීනි බෝල... ඇයි යකෝ ඉතිහාසට පුරා වෙච්ච කල කෝලහල..යුද්ධ වලින් මැරුන මිනිස්සු අතරේ කී දාහක් මිනිස්සු ඉන්න ඇද්ද ඔය අනිත් දේවල් හොයා ගන්න ඇහැකි උන්දලා... ඔය කපන කොටන වෙඩි තියන යුද්ධ නොතිබ්බනං ඒ මිනිස්සු කිසි ගේමක් නැතිව ඔය අනිත් ටික හොයලා දානවනේ තිබුන තැනකින්... එහෙම බැළුවම මූණු පොත නෙවෙයිද ලොකුම හොයා ගැනිල්ල හා...?

24 comments:

  1. උඹ කියල තියෙන්නෙ වටිනාම දේනෙ.. දෙවනියට වටිනාම එක බ්ලොග් කියන එක පලියක හරි දාන්න තිබුනා...

    මාතෘකාව බර වෙන්න අනිත් දවසෙ කිලෝ පන්සීයයි වගේ කෑල්ලක් අගට එල්ලුවනං හරි... ;)

    ReplyDelete
  2. මේ වසරේ කියවපු වටිනාම පෝස්ට් එක .

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ මන්ද මම නම් මේ වගේ පොස්ට් වලට මුකුත් කියන්නේ නෑ මොකද මේවා ඉතින් අපේ ලෝකෙට අදාළ නෑනේ.. පෘතුවියේ දේවල් වලට අපි අඟහරුවෝ අත දාන එක හරි නෑනේ... කොහොම උනත් එල පොස්ට් එකක්!!
    නැත්තම් මෙහෙම කියමු- මාර පොස්ට් එකක්..!

    ReplyDelete
  5. මට මතකයි මීට අවුරදු ගානකට කලින් මොකක් හරි පොතක කියෙව්වා ලෝකේ ඊළඟට ඇතිවෙන මහා යුද්ධ ඇතිවෙන්නේ සයිබරයේ කියලා.. මං හිතන්නේ මේ ඒ කාලේ වෙන්න ඇති... හි හි

    හැබැයි ඉතිං මේ වෙනකොට නම් මූණු පොත ආගමක් වෙලා වගේ තියෙන්‌ෙන් සමහරුන්ට... උදේ නැගිට්ට ගමන් කරන්නේ ෆේස්බුක් ස්ටේටස් එක අප්ඩේට් කරන එකනේ...

    ReplyDelete
  6. ෂා... හරිම බර පොස්ට් එකක්.

    ReplyDelete
  7. කොරියාවේ ෆේස්බුක් ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක් පටං ගමුද මාරයෝ??

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. උදේ පාන්දර මේකකියවලා මගේ ඔළුවත් බරයි බරයි වගේ :D

    ReplyDelete
  10. හපොයි ලිපියෙ බරට මෙසෙත් කඩාගෙන වැටෙන්න වගෙයි.

    එතකොට යකෝ ඉන්ටනෙට් හොයාගැනීම වැදගත් දෙයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  11. //තවත් ඕනනං දාගත්තා කඩුවක් අතින් අරං නිකං මරාගෙන මැරෙන පෙනුමක් තියෙන හයේ හතරේ පොරකගේ පොටෝ කෑල්ලක්.. (තමුන් නිකං අඩි හතරහමාරේ ඇඹිටිල්ලං ඩයල් එකක් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.//

    කෝ මේ අඩවි රජ...

    ReplyDelete
    Replies
    1. හැහ්.... මටත් මතක් උනේ ඕකා තමයි...

      Delete
  12. හරිම බරයි මාරයෝ,මාතෘකාවට කිලෝ දෙකක පඩියකුත් එල්ලුව නං තවත් බර හිටී

    ReplyDelete
  13. යුද්ධ කරන්න නියම තැන තමා සයිබරය.

    ReplyDelete
  14. දැන්ම Mark Zuckerberg ගේ ෆොටෝ එකක් හොයාගෙන ෆ්‍රේම් කරලා තියාගන්න ඕනි..

    ප:ලි:
    දැන් මාරයගේ බ්ලොගේ මෙලෝ රහක් නැතිවේගෙන එනවා වගේ.. ඉස්සර සක්ක ගල් එහෙම දාල අනිත් උන්ට ගල් බැමි බඳින්න පුරුදු කරපු මාරයාගේ පොස්ට් සේරම එකම රටාව වගේ මට නම් දැන්.
    කාලෙත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙනවා වගේ මේකත් වෙනස් වෙලා. මාරයිය busy වෙලා... වින්දනීය මනසටත් sorry.com වෙයි වගේ..

    ReplyDelete
  15. සැටිෆිකට් ට්‍රු කතාව අයියා.

    ReplyDelete
  16. ඇත්ත ඇත්ත. වර්චුවල් යුද්ධ.

    ReplyDelete
  17. මේක කියෝලා අපේ දුලගේ තාත්ත අහනවා මොකක්ද ස්ටේටස් අප්ඩේට් කියන්නේ කියලා ..

    ReplyDelete
  18. වටිනාම පෝස්ට් එක දැනට 2013 වසර සඳහා ...!
    ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  19. මානව ඉතිහාසේ හොයාගත්තු වැදගත්ම..වටිනාම දේ කියලා... ෆේස්බුක් එක කියලා හොයාගත්තු මාරයාතුමාට සම්මානයක් දෙන්න වටිනවා :D

    ReplyDelete
  20. පට්ට පදිරි ලියවිල්ල.

    (තමුන් නිකං අඩි හතරහමාරේ ඇඹිටිල්ලං ඩයල් එකක් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.කඩුවක් අරං මිනී මරනවා තියා තුවාල කර ගනී කියලා බයට අම්මි බනී කියලා පිහියකින් පේර ගෙඩියක්වත් කපලා නැති එක වෙනම කතාවක්.. ඒවා මෙතනට අදාළ නැහැ. )

    වචන නෑ බං කියන්න. ඒක නිසා නොකියම ඉඤ්ඤං

    ReplyDelete
  21. හරියටම හරි මාරයියෙ, මේ දවස් වල ෆේස්බුක් වීරයො වැහිවැහැලා. සිංහල බෞද්ධ කම වැනසිලා යන්න යනකොට බේරගන්න පහළ වෙච්ච වීරයො නෙව...

    ReplyDelete