09 May 2013

බිලිං උයන හැටි මෙහෙමයි...

රයිටෝ කලින් එකේ කිව්වා වගේ ඔන්න මේ පාරනං බිලිං උයන හැටි කියා දෙනවා... මෙව්වා ඇවිල්ලා අපේ තාත්තගේ  ඉවිලි වලට අනුව සමහර තැනක් විතරක් මගේ ක්‍රම වලට වෙනස් කරලා හදා ගත්ත සිස්ටොං ඈ...

ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙව.. බිලිං කියන්නේ පට්ට ඇඹුල් ගෙඩි ජාතියක්... ඒ වගේම ඔය අඹ..ඇඹරැල්ලා වගේ ඇඹුල් ජාති වලට වඩා අධික ජල ප්‍රමාණයක් අන්තර්ගතයි... ආන්න ඒ හින්දා අපි ඔය ඇඹුල් ජාති උයන කොට... ඒ කිව්වේ අඹ ඇඹරැල්ලා වගේ ජාති උයද්දී කරන වැඩ වලට වඩා බිලිං වලදී පොඩි මූලික වැඩක් කර ගන්න වෙනවා... ඒ කිව්වේ බිලිං ටික උයන්න ඇහැකි ගානට පදං කර ගන්න ඕන... එහෙම පදං කරන කොට මූලික වශයෙන්ම වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා...

1- ඇඹුල් ගතිය අඩු කර ගැනීම (නැත්තං ඉතිං ඇඹුලට ඇඹුලේ කෑහැකි.. වැඩේ අමාරුයි)

2-අන්තර්ගත ජල ප්‍රමාණය අඩු කර ගැනීම... (හොද්ද දිය රහ වෙන්න ඇහැකි... රස අප්සැට් යන්න ඇහැකි වතුර වැඩි උනොත්...

ආන්න ඒ හින්දා මේක පදං කොර ගද්දී අපිට කරන්න වැඩ කිහිපයක් තියෙනවා... ඒකටත් මං දැනං හිටිය කොරම 2ක් තියෙනවා සහ මං විසින් කල්පනා කොරලා හදා ගත්තු කොරමයකුත් තියෙනවා...

1- මෙන්න අපේ තාත්තගේ කොරමේ...

බිලිං වල මුලම තියෙන නැට්ට කොටස යන්තමින් වගේ කපලා අහක් කොරලා මන්නා පිහියේ මිටෙන් පුංචි පාරක් ගහනවා බිලිං ගෙඩිය තැලෙන්න... එයින් පස්සේ දානවා අළු වතුර තියෙන කොරහකට.. ඔව් ඔව් අළු තමා.. ඇයි අප්ෂට්ද..? අපේ ඔය දර ලිප් වලින් අහක් කරන අළු මිටක් දිය කරගත්තු දිය කොරහකට තමා බිලිං ටික දාන්නේ... අළු වතුරට බිලිං වල තියන ඇඹුල හොඳට අහක් වෙනවා.. හැබැයි ඉතිං වැඩේ කරදරයි... අළු යනකල් ආයේ හොදට හෝදලා මිරිකලා වතුර ඇරලා ගන්න ඕන... මොනවා කොරන්නද අපේ පරණ උදවිය ඉවුං පිහුං වලදී ඒ ඒ ඇත්තන්ගේ දැනුමට අනුව හොයාගෙන භාවිතා කරපු තාක්ෂණීක කොරම නෙව... ඒත් ඉතිං බිලිං වල තියෙන ඇඹුල යවන්න අළුවතුර වල තියෙන භෂ්ම සොබාවය බොහෝම අපූරුවට උන්දලා පාවිච්චි කොරපු හැටි දැක්කම  පුදුමත් හිතෙනවා... ඉතිං මෙහෙම අළු වතුරේ දාලා පැය බාගයක් විතර තියලා බිලිං ටික හොදට හෝදලා...දිය මිරිකලා ගත්තාම උයන්න පුළුවන්... ඒ පලවෙනි කොරමේ...

2- මෙන්න දෙවැනි කොරමේ...

අර විදියටම බිලිං ටික තලලා කහයි ලුනුයි වතුර එහෙක දාලා පැය බාගයක් විතර තියලා අරං හෝදලා මිරිකලා ගන්න එක... එතකොටත් උයන්න ඇහැකි...

3- මෙන්න මංතුමා විසින් කොරාපු කොරමේ... මේක මං හදිසියට උයන්න ගත්ත හින්දා පැය ගණන් බල බල ඉන්න වෙලාව තිබුනේ නැහැ... ඒ හින්දා මං කොලේ බිලිං ගෙඩියේ මුල කපලා අහක් කරලා චොපින් බෝඩ් එක උඩ තියලා පිහියේ පැතලි පැත්තෙන් තද කරලා බිලිං ගෙඩි තලා ගත්ත එකයි.. එහෙම තලා ගත්තු බිලිං ටික දිය කිරි හට්ටියක කහයි ලුනුයි දාලා පොඩ්ඩ වෙලාවක් තම්බ ගත්තා පියන වහලා... මේ තියෙන්නේ ආන්න එහෙම තම්බනකොට ගත්ත පොටෝවක්...


හරි ඔන්න ඔහොම තම්බලා අහවර වෙලා වතුර පෙරා හැරලා වැඩිය මිරිකලා චොර කරන්නේ නැතිව යන්තම් වගේ මිරිකලා වතුර අහක් කර ගත්තාම ඕකත් උයන්න ඇහැකි පදමට එනවා...

අන්න මූලික ක්‍රම මගින් අපි දැන් බිලිං උයන්න ලෑස්ති කොරං තියෙන්නේ... දැන් අපිට කොරන්න තියෙන්නේ මෙන්න මෙහෙම කලමනා ටික බිලිං වලට එක්කාසු කොර ගන්නයි...

රතුළුණු
අමු මිරිස්
කරපිංචා
රම්පේ
උළුහාල්
උම්බලකඩ
කුරුඳු පොතු
මිරිස් කුඩු (ටිකක් වැඩි වෙන්න දාන්න කිසි අවුලක් වෙන්නේ නැහැ..)
කළු වෙන්න බැදගත්ත පහේ කුඩු

ඔන්න ඔය කලමනා ටික මේකට එකතු කරන්න ඕන... මතක ඇතිව මැටි හට්ටියක් හොයා ගන්න මේක උයන්න.. මොකද බිලිං තද ඇඹුල් සහිත දෙයක් නෙව... ලෝහ හට්ටි එක්ක ප්‍රතික්කිරියා කොරලා ඔය අනං මනං විස ජාති හැදෙන්න ඇහැකි... හරි මෙන්න එහෙමනං ඒ කියාපු කල මනා එක්කාසු කොරාපු බිලිං හට්ටිය...


එයින් පස්සේ අපි මේකට හොඳ උකු මිටි කිරි ටිකක් දාන්ට ඕන... හරියටම කිව්වොත් මේ මම දාලා තියෙනවා වගේ... ඔය බලමුකෝ...


හරි දැන් ඉතිං ලිපේ තියලා මඳ ගින්දරේ නැලවි නැලවි ටිකක් හින්දෝ ගන්නයි තියෙන්නේ... ඔය පේනවනේ...


හොද්ද ටිකක් බුබුළු දාලා නටලා හිඳී ගෙන එද්දී මතක ඇතිව සිනී තේ හැඳි බාගයක් විතර එක්කාසු කොරන්ට... ඒක අත්‍යවශ්‍යයි...බිලිං විතරක් නෙවෙයි අඹ..ඇඹරැල්ලා වගේ ජාති උනත් උයද්දී සිනි ඩිංගකින් තමා රසය වැඩි වෙලා එන්නේ... හැබැයි වැඩිය නෙවෙයි බොහෝම ඇබින්දක්... මේ වගේ ජාති උයද්දී මතක තියා ගන්න ඕන දේ තමා ඇඹුල් රසය පාලනය කරගන්න ලුනු රසය ලග ලගම යවන අතරේ... හොඳට සැර හිටින්න මිරිස් දාලා ඒ සැර ගතිය පොඩ්ඩක් පාලනය වෙන්න සීනි ටිකක් දාන්න ඕන කියන එක... මේක ඇවිල්ලා උයල සහ උයපුවා කාලම තේරුං ගත්ත කාරණයක්... කොටින්ම කිව්වොත් ගුරු මුට්ටි ඈ... :D

 එයින් පස්සේ මේක තෙම්පරාදු කර ගත්තනං හරි... තෙම්පරාදු කර ගන්න එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙව... රත් උන තෙල් ඇබින්දකට අබ ඇට ඩිංගක් දාලා ඒක පුපුරනකොට වියළී මිරිස් කරලක් දෙකක් කඩා දාලා තලා ගත්තු සුදුළුණු බිකක්.. තියේනං අමු ඉගුරු කෑල්ලක්... රම්පා කරපිංචා ටිකක් එහෙම දාලා බැදෙන්න ඇරලා ඒකට අපි උයා ගත්තු බිලිං ටික එක්කාසු කොරලා හොඳට කලවං කොරලා ලිපෙන් බාගන්නයි තියෙන්නේ...

ඔන්න අවසන් පොරතිපලේ... කොහොමද ලස්සන... ලස්සන විතරක් නෙවෙයි පට්ට සුවඳක් තියෙනවා.. ආයේ ඉතිං පාරේ යන උනුත් ගෙදරට එනවා සුවඳ දිගේ... :D රහ නං ඉතිං දිවිය ලෝක රහම තමා... ඉඳි ආප්ප වගේම රෝස් පාන් හරි.. තැටි පාන් හරි ගිලින්නත් මේක දෙයියා...


48 comments:

  1. අඹ ඇඹරැල්ල නම් මමත් උයල තියෙනව. බිලිං නම් අපිට දැන් ඇත්තෙම නෑ උයන්න, සුනාමියෙන් පස්සෙ මේ පැත්තෙ තිබුනු බිලිං ගස් ඔක්කොම ඉවරයි. නැත්නම් අපේ ගෙදරත් ගස් දෙකක්ම තිබුනා.

    ReplyDelete
    Replies
    1. උයල ඉවර වෙලාද තෙම්පරාදු කරන්නෙ, පරිප්පු හොද්ද වගේ. මම නම් කොයික උයන්න ගියත් ඉස්සෙල්ල තෙම්පරාදු කරල පස්සෙ මිටිකිරි ටිකක් දාලා වහල තියනවා මද ගින්නෙ. අපේ අම්ම නම් කියන්නෙ මම කුස්සියට ආපුදාට කන්න වෙන්නෙ තෙල්ම තමා කියල.

      Delete
    2. දෙවිදියටම කලෑකි.. ඒත් බිලිංවල තියෙන වතුර ගතිය වැඩි හින්දා මුලින් තෙම්පරාදුවට දැම්මොත් වතුර උනන්න ගන්නවා සෑහෙන්න...

      Delete
  2. Replies
    1. එහෙම හැදුවත් රහයි, එහෙම නැතුවත් රහයි....

      Delete
    2. මේවා කෑවාම ඒක නිකම්ම වෙනවා.. ඒකනේ මාරයා හැමදාම සතුටිං ඉන්නේ ඔනේ..

      Delete
    3. කෙජු බිලිං උනත් අවුලක් නැහැ...

      Delete
    4. ඒ වගේම රස බිලිං අච්චාරුව

      බිලිං ටිකේ නැටි ඉවත්කර හොදින් සෝදා ලුණු කැට සමග ලිපේ තබන්න.ටිකක් වෙලා යනකොට අර බිලිංවල තියෙන වතුර ටික හට්ටියට එකතුවෙනවා.
      ඊව පස්සටෙිකක් වතුර අඩු වෙනකම්ම පිසගෙන,ඒකට බැදපු මිරිස් තුනපහ කුඩු එනසල් කුරුඳු කරාබු නැටි,වගේම උම්බලකඩ.තිබේනම් හීනින කොච්චි කරල් කීපයක් එකතු කර හිදෙන තුරු ලිප තබන්න.
      මෙය පොල් සම්බෝලයට එකතු කිරිමටත්,බත් සමඟ කන්නත් පුළුවන්. කල් තබා ගතහැකි වීම මෙහි විශේෂත්වයකි.

      Delete
  3. දැන් ඉතින් බිලිං හොයහල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. කජු බිලිනුත් හොදා කෙන්ජි අයියා

      Delete
    2. ජපානේ නැතෙයි බිලිං..?

      Delete
    3. ඔකිනාව දුපත් වලනම් ලංකාවෙ වැවෙන ගොඩක් දේවල් තිබෙනව කියල කියනව.
      කලකට පෙර දින 2ක සංචාරයකට ගියාට ගම් ගොඩේ ඇවිදින්න කාලයක් ලැබුනෙ නැහැ.

      Delete
  4. පියන වහල තම්බපු එකේ ඇතුලෙ ෆොටෝ ගත්තෙ කොහොමද බං. මටත් කියහංකො උඹ ගාව තියෙන කැමරාව මොකක්ද කියල.

    කොහොම උනත් ෆයිනල් ප්‍රඩක්ට් එක නියමෙට ඇවිල්ල තියෙනව.

    ReplyDelete
  5. අළු ගැන කතා කරොත් මාරයියේ බිලිං ටික රෙදි පොට්ටනියකට දාල අළු වතුරේ දැම්මා නම් කිසි අෂ්පට් එකක් නැහැ.අනිත් දේ තමයි අළු කියන්නේ වසක් විසක් නෙවේ..සම්පූර්ණ පිරිසිදු දෙයක්.ඇඟට කිසිම අගුණයක් නැහැ.එහෙනං අපි අඟුරු වලින් දත් මදින්නේ..අනික අර පරකුම්මබා මතකද.ඕකේ තිබ්බ හරියක් තිබ්බේ අළු අන්ගුරුයි , ගම් මිරිසුයි නේ.තාම තියේද ඒවා ...?



    ඇත්තට මෙහෙම්ව් මිනිහෙක් එක්ක දීග යන්න ගෑනියෙක් නැති හැටි.රහට කාල සැපට නිදා ගන්නත් පින එපැයි මාරයියේ.අපි බලමු ඒ පින්වන්තිය කව්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ සිස්ටොං එකත් හොදයි තමා බොලේ...

      පින්වන්තියොනං නැතිවට මොකදෑ බං.. අඩුම ගානේ මං කාලා බීලා සැපට නිදා ගන්නවා නෙව.. :D

      Delete
    2. ඒත් තනියට ගෑනියෙක් පැදුරේ නැති කොට මක්කටයි බිලිං මාළු හදන් කාල.හැබෑටම අයියේ උඹේ පැදුර ගෑනියෙක් පාගලම නැද්ද ?

      Delete
  6. අපූරු බිලිං පාඩම... කටට කෙලත් ඉනුවා... බිලිං ටිකක් ලැබුණ දවසක අත්හදා බලන්න ඕන.... පින්තුරයි විස්තරයි දැක්කම බිලිං මාළුවක් කන්න ආස හිතුණා...

    ReplyDelete
    Replies
    1. ඇඹුල් ජාති දැක්කම කටට කෙල උනනවා නෙව කෝමත්... විසේසයෙන් ගෑල්ලමයින්ට...

      Delete
  7. අම්මෝ රස. මොනිටර් එක ලෙවකන්න හිතුනා. බොහොම ස්තුතියි. හැබැයි අද කාලේ බිලිං ගස් වඳවේගන යනවා වගේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බිලිං වගේ දේවල් ආර්ථික බෝග හැටියට දාලා දියුණු පමුණු කොරලා ගත්තනං ගස් ටිකක් හදා ගන්න තිවුනා...

      Delete
    2. බැසිල් ලොක්කට අදහස දැම්මනම් ඊලග සැරේ ඉදල බිලිං ඇට බෙදයි.

      Delete
  8. Pena widiyata nam rahata athi. Dan kale ringanna ba affa uda bilin gahata. Naththam aniwa hadanawa.

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙලා බැහැ බොල රහට කෑමක් කන්ටනං...

      Delete
    2. බිලින් ගහට ගියෙමි. ගෙඩි ටිකක් තිබ්බෙමි. කඩාගත්තෙමි. ආපහු පහලට (ගහ තියන්නේ වත්ත උඩ) එනවිට එක එක කකා ආවෙමි. අවසානයේ ගෙදරට එන විට අතේ තිබුනේ ගෙඩි 4කි. ඔය ටික මොන ලබ්බක් කරන්නදැයි කියා ඒ ටිකද නිකම්ම කෑවෙමි.

      Delete
  9. කවදාවත් කාලා නෑනෙ ලොකු අයියෙ ඔය වෑංජනේ...මගේ මව්තුමියට මේ තොරතුරු සැල කොරන්නම්...රොම්බ තෑන්ක්ස්..

    ReplyDelete
  10. මාර මලයෝ බිලිං චට්නියත් මරු තමා.. කාලයක් තියාගන කන්න හැකියි. ලුණු දෙහි වගේ.

    ReplyDelete
  11. අපේ ගමේ හිටියා බිලිං ජුංඩා කියලා කොල්ලෙක්..නමටම ගැලපෙනවා උගේ ජුංඩා..ඔව් බන් අපි බැලුවා.. මේ පෝස්ට් එක පුරාවටම මට බිලිං ජුන්ඩව මතක් උනේ මොකද මන්දා ? වෙසක් පෝයත් ළඟයි නොවැ !

    ReplyDelete
  12. මාරයියේ උඹනම් දෙයියෙක් බං මේ පුලුවන්නම් බිලින් අච්චාරුව හදන හැටි දාහන්කො. අර වේලලා කළුවට හදන්නේ මම මාතරදී කෑවා පට්ට රහයි බොල

    ReplyDelete
  13. sha...hari raswat post ekak.
    Jayawewa

    ReplyDelete
  14. මගෙ කොමෙන්ටුවට මක්ක උනාද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න සිරා මාතර ටෝක් දෙනවා බොලේ...

      Delete
    2. මම ඒ විදියට ලියන්න ආසයි බන්...මගේ ලියවිලි වලත් වැඩිමනක් එවැනි වචන තමා පාවිච්චි කොරන්නෙ...සැබෑ ජීවිතයේදී භාවිතයක් නෑ

      Delete
  15. මාරයෝ, ' බිලිම ' නං මරු ! මං මේ කියන්න යන්නේ වෙන දෙයක් . 'අළු ' ගැන . අපේ ගෙදර තියෙන පරණ පොතක තිබුනා ( සිංහල භෝජන විද්යාව ) " කරවිල " වල ගුණය නොමරා 'තිත්ත ' යවන ක්‍රමයක් ගැන. පොල්පිති පුච්චපු 'අළු' ,දිය කරපු වතුරේ ගෙඩි පිටින් රැයක් තබා තිබිම. කොහොමද වැඩේ. කරලා බලහංකො. අත්දුටුවයි ! සත්තයි !! .

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලෙ ලුණු හිඟ උනාම ඒ වෙනුවට පොල්පිති පුච්චපු අළු පාවිච්චි කලා කියල මම කොහේදි හරි කියෙව්ව මතකයි. ඇත්තද කියල නම් හරියටම දන්නෑ.

      Delete
  16. ඊලග පොස්ටුවෙන් කජු බිලිං දානහැටි කියලා දීපන් මාරය්යේ..

    ReplyDelete
  17. බොලාට පිං..අපේ ගමෙන්ම බිලිං ගහක් ඉතුරුවෙලා තියෙන්නෙ අපේ ගෙදර විතරයි දැන්. ඉස්සරනං ගමේ ම මිනිස්සු කෙහෙල් කැන් ඉදවන්න කොල කඩාගෙන ගිහින් කවදාවත් පැහිච්ච කොල තිබුනේම නෑ. දැන් බිලිං ඉදිල ගහයට වැටිල අහක ය්නව. ඉස්සර නම් අච්චාරු හරි දානව් ,වේලනව...දැන් ඉන්න ගෑනු කොරනවයි ඕව.

    ReplyDelete
  18. ඕකට වේලපු බිලිං හරියන් නැතෙයි

    ReplyDelete
  19. බිලිං දාන්න අලු තමයි දැන් හොයන්න අමාරු...

    ReplyDelete
  20. ඇත්තටම ඒ අලු වතුරෙන් වෙන්නෙ උඹ කිව්වා වගේ අම්ලය භෂ්මයෙන් උදාසීන වෙන එක නේ? ඔය ඉතින් ඉස්කෝලෙ ගිහින් විද්‍යාවට ඉගෙන ගත්ත ඒවා නෙවෙයිනේ.
    හැබැයි අර අනිත් ක්‍රම දෙක තමයි අපිටත් ගැලපෙන්නේ.

    කරවිලවල තිත්ත අඩු කර ගන්නේ කොහොමද කියලා දන්නව නං කියාපංකො මාරේ.

    ReplyDelete
  21. හුජ්ජ බරේ බිජ්ජ බිලිං ගෙඩිය වෙලා ඉන්නේ මාරේ..බැරිද හොද්දක් හදලා දෙන්න.

    ReplyDelete
  22. බිලිං අච්චාරුවනම් පට්ට

    ReplyDelete
  23. මරු පාඩම,හැබැයි මාමා නම් බිලින් උයලා කන්න අසම නෑ.

    ReplyDelete
  24. හැබෑවටම මේක දෑක්ක හැටියෙ කටට කෙල උනනවා.මාරයි ඈ...අනික මීට කලින් නම් මේ වගේ දේවල් දැන ගත්තෙ පබිලිස් මහත්තයගෙ ටෙලිවිසොන් ප්‍රොග්ර්ම් වලින් විතරයිනෙ....

    ReplyDelete
  25. කොහෙන් හොයාගන්නවද මන්දා මේ වගේ නසරානි කෑම!

    ReplyDelete
  26. අපිට කොහෙන්ද ඉතින් බිලිං..

    ReplyDelete
  27. අපේ වත්තේ නම් බිලිං ගස් දෙකක්ම තියෙනවා. මම නම් හැබැයි බිලිං උයන්නේ ඔහොම නෙවෙයි.

    බිලිං ගෙඩියේ මුල හරිය කපලා ලුණු වතුරේ දාලා තම්බ ගන්නවා කලින්. ඒට පස්සෙ ටිකක් මිරිකලා අරගෙන පහේ දාලා, තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබ ටිකක් මිරිස් කෑලි, කුරුදු පොතු කෑල්ලක් දාලා, බිලිං ටික තෙලට දාලා, මිටිකිරි ටිකක් එකතු කරනවා. වෑංජනේ කිරි ටික පැහෙනකොට සීනි තේ හැඳි බාගයක් විතර දාලා ගත්තාම හරි.

    ReplyDelete