12 July 2013

මං විතරක් වැරදි නැහැ...

“ඒයි 12 වෙනිදා හවස ජනක් ප්‍රේමලාල්ගේ අළුත් නාට්ටියක මංගල දර්ශනේ තියෙනවා... අපිත් ආරාධිත අමුත්තෝ.. යමං බලන්න...“



දැන් සති දෙක තුනකට කලියෙන් දන්න අඳුරන මල්ලි කෙනෙක් ආරාධනාවක් කොලා... එහෙම ආරාධනාවක් කොලාම නොයා කොහොමද..? කොහොමත් මේ කොළඹ ආවයින් සිද්ධ උන හොඳ වැඩ කිහිපයෙන් එකක් තමා එක දිගට වේදිකා නාට්ටිය බලන්න සෙට්විල්ල... කොළම්බු සෙවන්වල ඉඳන් බොරැල්ලේ පුංචි තියටරයට පයින් යන්න එන්න ඇහැකි දුර හින්දා මාසයකට එකක් හෝ දෙකක් විතර එතැනින් නාට්ටිය බලන්න යනවා වගේම එහෙං මෙහෙං වදින අවස්ථා අනුව වෙන වෙන පොට් වලටත් සෙට් වෙන්න ඇහැකි උනා... අර කලින් වතාවක රාජ කපුරු බලන්න සැට් උනෙත් එහෙම තමා..

නිකංම නිකං මේ සයිඩ් එකේ ඉන්න හිපාටු ඩයල් එකක් වෙච්ච අපි කෝමද ආරාධිත අමුත්තෝ වෙන්නේ කියලා කාට හරි හිතුනනං ඉතිං ඒකෙත් වරදක් නැහැ..

ඒක වෙන්නේ මෙහෙමයි ඕං...

මයේ යාළු මල්ලි කෙනෙක් ඉන්නවා.. බුවාත් ඉතිං මේ බ්ලොග් එහෙම කියෝනවා.. ඒ වගේම බොහෝම සරුසාරෙට බ්ලොග් එකක් ලියනවත් එහෙම.. මෑන් කියන විදියට මෑන්ගේ බ්ලොග් එක තමා දැනට තියෙන හොඳම බ්ලොග් එක.. හැබැයි ඒක හොඳම බ්ලොග් එක වෙන්නේ මෑන්ස්ගේ කාමරයට බවත් බොහෝම නිහතමානීව පිළිගන්නවා.. :D සමහර විට මෑන්ගේ ගෙදරටත් හොඳම බ්ලොග් එක ඒක වෙන්න ඇහැකි උනත් හරියටම ෂුවර් නැහැ.. මොකද මෑන්ස්ලගේ ගෙදර බෝඩිමක් පවත්තාගෙන යන හින්දා එතැන නැවතිලා ඉන්න අය අතරෙත් බ්ලොග් ලියන එකෙක් හරි හිටියොත් අපේ මෑන්ට ලේසි වෙන්නේ නැහැනේ ගෙදරටම හොඳම බ්ලොග් කරු වෙන්න.. ඒ හින්දා බුවා ඒ හැටි දුර දිග හිතලා හිත් අමාරුකං හදාගන්නේ නැතිව පොර පොරගේ කාමරේට හොඳම බ්ලොග් කරුවා වෙලා නිහඩව ඉන්නවා...

ඉතිං බුවාගේ අයියා කාරයෙක් ඉන්නවා රේල්ලුවේ වැඩ කොරන... අන්න බුවා.. එළකිරි ඩයල්  එකක්... කොච්චර එළකිරිද කියනවනං මෑන්ස් තමා ඔය ඊයේ පෙරෙදා තිබුන රේල්ලු වැඩ වර්ජනෙත් මුල් පුටුව... ඕං බලමුකෝ.. අපිට සිද්ධ වෙන සන්තෑසි... අපේ මහින්ද අයියට ඇටෑක් කොරන බුවාලාගේ මල්ලිලා ආස්සරේ කොරන්න අපිටත් සිද්ධ උනානේ.. මොනවා කොරන්නද කරුමේ කරුමේ... :D

කොහොම හරි ඔය අයියා කාරයා හොඳ කලා රසිකයා... රසිකයා කිව්වේ මේ අර අපේ බ්ලොග් ලියන රසිකයා නෙවෙයි... ඔරිමජිනල් කලා රසිකයා... මෑන්ම තමා අර රේල්ලුවට ආධාර පිණිස කියලා ගිය වංගියේ ටවර් එකේ රාජකපුරු පෙන්නුවේ... ඉතිං ඔය කලාබර ගතිය හින්දම මෑන්ස් ජනක් ප්‍රේමලාල් උන්නැහේව එහෙම හොඳින් දැන හඳුනවා... ඒ ඇඳුනුංකම හින්දාම තමයි මේ මංගල දර්ශනේට මංගච්චන්න මට චෑන්ස් එක වඳින්නේ... එහෙම නැතිව මංවගේ එහෙකුට ඔය ලොකු ලොකු තැන්වල සම්බන්ධකං තියෙනවා කියලා ටොං පච අරින්න ඕන නැහැ නෙව... :D

ඉතිං කොහොම හරි ඔන්න ගියා අද මංගල දර්ශනේ බලන්න.. හප්පට සිරි ගජ... ඉස්සරහම පේළිය කියහංකෝ අපිට වෙන් කොරලා තියෙන්නේ... කවදා කාපු ටකරංද..? මාත් ඉතිං ඔටුවා වගේ සැට් උනා සීට් එහෙකට...

බුදු හප්පච්චියේ මෙන්න ටිකකින් මංතුමාගේ හදවතට පවන් සලමින්... මගේ අර දේශානුරාග මෙව්වා එක මෙව්වා කරමින්... ප්‍රධාන ආරාධිතයා කඩං පාත් උනා...

වෙන කවුරුවත් නෙවෙයි අපේ පොඩි අයියා නෙව.. පොඩි අයියා කිව්වේ පොඩි අයියට බොලවු... අපේ  ලොකු අයියා තමා ඉතිං කවුරුත් දන්න හැටියට මේ රටේ ලොකු පුටුවේ ඉන්නේ.. :D එයින් පස්සේ ඔය ගෙවල් ගැන පුටුවේ ඉන්නේ අපේ පොඩි අයියා නෙව... ආයේ ඉතිං කියන්න දෙයක් නැහැ නෙව.. මේ ඉන්නේ...




ඉතිං පොඩි අයියා වගේම අපේ ගුණදාස අමරසේකර සීයයි.. තව නළුවෝ කිහිප දෙනෙකුයිත් ඔන්න අපිත් එක්ක එක පෙලේ නාට්ටිය නැරඹුවා...

ආ දැන්නේ සීන් එක...

මං ගියේ මේක මේ ජනක් ප්‍රේමලාල් උන්නැහේගේ නාට්ටියක් කියලා හිතංනේ... ඒත් ඇත්තටම මේක උන්නැහේගේ නෙවෙයි... උන්නැහේගේ ගෝලයෙකුගේ එකක්.. තරහා අවසර..නමනං මතක නැහැ.. බොහෝම පුංචි හිනා වෙච්ච ගමන් ඉන්න අපූරු කොලු ගැටයකුගේ වැඩක්... හැබැයි අපරාදේ කියන්න බැහැ..ජනක් ප්‍රේමලාල් මහත්තයා තමුන්ගේ ගෝලයෙකුගේ වැඩක් උනත් තමන්ගේ එකක් වගේ හිතට අරං යන එන අය එක්ක කතා බහ කිරිල්ල එහෙම අඩුවක් නැතිව සිද්ධ කොලා... එහෙවු ගුරුවරු ලබන්න ගෝලයෝ මොන තරං පින් කොරලා තියෙන්න ඕනද... දැන් ඉන්න ගුරාලා වැඩි හරිය ගෝලයා උඩට එනවා වගේනං බෙල්ල මුලින් කපන එක නෙව කරන්නේ.. එහෙවු උන්දලා අතරේ ජනක් ප්‍රේමලාල් කියන මනුස්සයා රත්තරං වටිනවා කියලා මට ඔය අස්සේ කල්පනා උනා...

 කොහොම හරි නාට්ටිය පට්ටාං... ගත්තා...

නාට්ටිය ඇවිල්ලා මාජ්ජ වේදි කැමරාකාරයකුගේ හෘද සාක්ෂියත් එක්ක යන කතාවක්... මුලම පටන් ගන්නේ මේ මාජ්ජ වේදියා ලෝකයේම සම්මානයට පාත්‍ර වෙච්ච මිනිසකු සිය දිවි නසාගන්නා අවස්ථාවේ ගත් පොටෝවක් ගැන කියාගෙන... සම්මාන ලැබුනත් මාජ්ජවේදියට හිතට සැනසිල්ලක් නැහැ... හේතුව අර මිනිහා මැරුණ එක වලක්වන්නේ නැතිව පොටෝ ගන්න ගිය එක... ඒත් එතැන් හිටනං මාජ්ජවේදියා අපිට කියන්න පටන් ගන්නවා ඇත්තටම සිද්ධ උනේ මොකක්ද කියලා... ඒත් ඒ ඇත්ත අවසානයේදී එළි දරවු වෙන්නේ මොකක්ද..? එල්ලිලා මැරුන මනුස්සයා නිකංම එල්ලිලා මැරුවා නෙවෙයි..එල්ලලා මැරුවා කියලයි... එහෙම කොහොමද වෙන්නේ... මං කියන්න යන්නේ නැහැ... ඔහෙලත් කවදා හරි දවසක බලපුවාම තේරෙයි... එතකං මං කට ඉස්සර කරන එක හරි නැහැ නෙව...

ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල ටික මගේ හිතට ඇල්ලුවේ නැහැ..මගේ නෙවෙයි බලං හිටිය හැමෝටම ඒක ඒ වගේ උනත් මං පුදුම වෙන්නේ නැහැ...

ඒත්...

ඒත් පින්වතුනි නාට්ටිය මැදදි මේකට එක පාරටම එන්ටර් වෙනවා සුපිරි චරිතයක්... ආන්න ඒ චරිතේ තමා මුළු කතාවම නග්ගලා ගන්නේ... ඒ තමා හොඳ පදමට දෙක්ක ඇනගත්ත බේබදු පෙරකදෝරුවා... මෑන්ස් සීන් එකට එන්ටර් උන තැනේ ඉදන් ආයේ ඉතිං බලන කට්ටිය හොඳට හිනාගස්සන්න මෑන්ට හැකියාව ලබුනා.. බොහෝම දක්ෂ නළුවෙක් වගේම.. ඒ නළුවගෙන් වැඩ ගන්න ඇහැකි විදියේ පිටපතකුත්... එය හසුරුවාලන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුත් කියන කාරණා හරහා නාට්ටිය මැද විනෝද සාගරයක් වෙන්නේ වේදිකාව මත මේ දැන් කුමන හෝ වෙලාවක එල්ලිලා මැරෙන්න බලං ඉන්න මනුස්සයගේ වේදනාවල් අමතක කරවමින් කිව්වොත් මං හරි...
හැබැයි අවසානයේදී මේ හැම දෙයක්ම හරහා කතාව නොසිතූ තැනකින් අවසන් කෙරෙනවා... කතාව අවසාන වෙන්නේ ඒ මහා අපරාධයට අපිවත් කොටස් කාරයින් කරගනිමින්...

ඒ කියන්නේ මාජ්ජවේදියා කියනවා මෙන්න මෙහෙම...

“මං විතරක් වැරදි නැහැ“


ඇත්ත ඒකා විතරක් වැරදි නැහැ... අපි හැමෝටම සාමුහික වගකීමක් තියෙනවා මේ මරණය ගැන.. ආයේ ඒකට නැහැ කියන්න බැරි තැනකින් නාට්ටිය නිමාවට පත් වෙනවා...

මුලදී කම්මැලි උනත්..අවසානයේදී ඒ කම්මැලිකම අහක් කරවලා වැඩේ වැඩක් හැටියට කරන්න නාට්ටිය කණ්ඩායම සමත් වෙලා තියෙනවා... කට්ටියට පුළුවන් හැටියකට මේක බලන්න.. සමහර විට අර කිව්ව රේල්ලුවේ අයියත් මේක වේදිකා ගත කොරවන්න ඉඩක් තියේ ඉස්සරහදී... එහොම උනොත් එදාට මං කට්ටියට දැනුං දෙන්නං තැන වෙලාව එහෙම...


තව කියන්න ලියන්න දේවල් තිබුනත් ඇහි පිල්ලං දෙක සිටි සිටි ගාලා වදිනවා නෙව.. මං යනවා දොයිය ගන්න.. කට්ටියටම සුවදායී රාත්තිරියක් වෙත්වා...

29 comments:

  1. ඔය මොකටවත් වැඩිය ආතල් අර පින්තුරේ...මාරම පිනක් නාට්‍ය බලන්න ලැබෙනවා කියන එක නම්......ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. කාලෙන් කාලෙට මටත් එක එක පිනවල් පල දෙනවා.. මේ ඇවිල්ලා නාට්ටිය බලන පින පල දෙන කාලේ... :D

      Delete
  2. නාට්ටි කෙරුවාවට බහින්න එහෙම අදහසක් නැද්ද... දැන් ඉදිරිපෙළ හරි. නගිමු වේදිකාවට.

    ඔය ඔතන ඉස්සරහාම ඉන්න අයගෙන් කියල තියෙනවා වගේම ජනක් ප්‍රේමලාල් හොඳ මහත්මයෙක්. හරි නිරහංකාර මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. නැග්ගා නැග්ගා.. වේදිකාවට නැග්ගා.. හැබැයි නාට්ටිය ඉවර උනාම පොටෝ ටිකක් ගන්න කියලා... :D

      ඔව් ඔය මනුස්සයව මං මෙයිට කලින් හම්බ උනේ ටිකක් ඈත පළාතකදී පෙට්ටි කඩයක් වගේ තේ කඩයකදී... මොනවා හරි දෙයක් කකා ප්ලේන්ටියක් බිබී ඉද්දි.. බොහෝම සරල සාමාන්‍ය මනුස්සයෙක්... මං හිතන්නේ ඒකයි මනුස්සයට සාමාන්‍ය මිනිස්සුන්ට අල්ලලා යන විදිහට නාට්ටිය කරන්න ඇහැකි වෙලා තියෙන්නෙත්...

      Delete
    2. මටත් හම්බ වුනේ රෑ කෑමට හෝටලයකට ආපු වෙලේ. ඔය තව කස්ටිය ගොඩක් හිටියා උන්නැහේ එක්ක. ඒත් මෙයා විතරයි අවට හිටි අයත් එක්ක කතා බහ කරලා එහෙම ගියේ.

      Delete
  3. ආරාධිත අමුත්තෙක් වෙලත් බඩ අස්සේ හංගන් පොටෝ ගහන එක නම් අමතක වෙලා නැහැ නේද බොට...? ඒ ගතියට උඹ විතරක් පළි නැහැ මාරයියේ.. කැනහිල්ලු ටික වගේ අපි බලන් ඉන්න බව උඹ දන්න නිසානේ ඔය වගේ වැඩක් උනත් කරලා අපේ බඩ කට පුරවන්නේ.. අපි හැමෝම වැරදි කාරයෝ.. :(

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බඩ අස්සේ හංගං නෙවෙයි කිසි අවුලක් නැතිව හිටගෙනම පොටෝ ටිකක් ගහගත්තා... :D

      අර කිව්වා වගේ මේකත් ඇවිල්ලා බ්ලොග්වේදියෙකුගේ යුතුකොම නෙව.. :D :D :D

      Delete
  4. විමලෙ පොඩි අයිය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒ පොඩි අයියා තමයි...

      Delete
  5. සිය දිවි නසා ගැන්මක් රෑගත කළැයි අපේ රටේත් ආන්දෝලනයක් තියන වෙලාවේ මේ නාට්‍යයට හොඳ ඉල්ලුමක් තියේවි
    ගොඩ වදින්න සෙන්කෝලය පැත්තටත්

    ReplyDelete
  6. වේදිකාවට ගොඩවෙන්න ලැබෙන එකත පිනක් තමයි. නාට්‍ය බැලිල්ල අබින් කෑම වගේ තමා.

    ReplyDelete
  7. දැං මාරයත් පොඩි අයියත් එක්ක එක පෝලිමේ නේද? තව ටික දවසක් යනකොට ලොකු අයියත් එක්කත් ඉඳල ෆොටෝවක් ගන්න ඇහැක් වෙයි වගේ.

    නාට්ටෙනං ඉතිං බලලම තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  8. පොඩි අය්යා ඒ නාට්‍ය කරපු උන්නැහේටත් ගෙයක් එහෙම දුන්නේ නැතෙයි?

    ReplyDelete
  9. ලංකාවෙ ඉතුරු වෙලා තියෙන එකම කලා අංගේ වේදිකා නාට්‍ය විතරයි ඕං.ඇත්තට ළඟදි හොඳ හිතට අල්ලන නාට්‍යයක් ආවේ නෑනේ බලන්ඩ

    ReplyDelete
  10. නාස්ටියක් බලාපු කාලයක් මතක නෑ මලේ ...

    ReplyDelete
  11. හපොයි.. නාට්ටි.. මතක් වෙනකොටත් දුකයි අප්පා... දැන් ඉතිං උදේට උයපන් දවල්ට උයපන් රෑට උයපන් නාට්ටිය තමයි.....

    ReplyDelete
    Replies
    1. ආන් හරි ..මාත් ඒ ගොඩේ :D

      Delete
    2. උඹල දෙන්න ගැනම දුකයි මට. අම්මලා තාත්තලා හිතනවා කල වයස හරි ගිය ගමන් කෙල්ල දීග දෙන්න ඕන කියලා. ඒත් දීග ගිහින් කෙල්ලො කන කට්ට තාම මේ අයට නොතේරෙන්නේ ඇයි කියලා හිතාගන්නත් අමාරුයි. මට නං හිතෙනවා මගේ කෙල්ලෝ දෙන්න කැමති කාලයක් දීග නොයා අපිත් එක්කම ඉන්නවනං හොදයි කියලා.
      ඇත්තටම මට ආ සිතුවිල්ලක්. උන් කැමතිනං විතරක් ගියාවේ.

      Delete
  12. ජනක් ප්‍රේමලාල් වැනි ගුරුවරයෙකුගේ ගොලයෙක් අතින් නිර්මාණය වෙලා තියෙන නාට්‍යයක් නම් එහි යමක් හිතන්න දෙයක් අනිවා ඇති. ඔත්තුවට බොහොම ස්තුතියි මලයා. ඒ වගේම ඔබේ කෙටි හැදින්වීමත් එක්ක දැනෙනවා මෙය මේ කාලයේ ලංකාවට බද්ධ සිද්ධියක් හෙයින් දුවාගන්නත් හැකිවෙයි කියලා. ඒත් කියන්න අමාරු අද නාට්‍යයක් කරන්න ප්‍රාෙදශීය සංවිධායකවරුන් මැලි වීමයි. එයට හේතුව නාට්‍ය බලන් පිරිස නැතිවීම හා වැය පස ඉහළ යාමයි.

    ReplyDelete
    Replies
    1. 1oo% ක් එකඟයි. තාමත් නාට්‍ය බලන්න පුළුවන් කොළඹ(අය)ට විතරයි.

      Delete
  13. හෑමදාම උබට cඔමෙන්ට් කරන්නෙ නෑතිව කියවල විතරක් යනව කියල ආවට මොනවහරි කොටන්නමයි හිතෙන්නෙ.වෙදිකා නාට්‍ය කියන්නෙ මමත් මාර ආස කලාවක් තමා.රසවිදින්න විතරයි.නෑතිව අනික්ව බෑ

    ReplyDelete
  14. මටත් හෙන කාලෙකින් නාට්‍යයක් බලන්න බැරුව ගියානේ.....

    ReplyDelete
  15. වෙනදා වාගෙම නියම ලිපිය .ජය වේවා

    ReplyDelete
  16. අම්මට සිරි... මාරයා ශේප් එකේම කිවුවා කුරුඳුවත්තෙ දැන් ජීවත් වෙන්නෙ කියලා ඈ,......

    ReplyDelete
  17. මමත් ඔය කියපු පාරේ ඇවිද්ද කාලයක් තිබ්බා අනිත් පැත්තට. ඒ කියන්නේ බොරැල්ලේ ඉඳලා ටොරින්ටන් පැත්තට. නාට්‍ය බලන්නද හොඳ නිදහසක් තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. අපි වගේ කදාසිය ලිපේ දාපු අයට බෑ.

    ReplyDelete
  18. නාට්ටි ගැන නම් ඉතිං මම දන්න අහවල් එකක් නෑ ආයිබොවංඩ. ඒත් මේක කියවන්න ගත්ත ගමන් මගේ නිදිමත කොහෙන් ගියාද නෑ. විශේෂයෙන් විමලෙ කොලුව අහලක හිටයය කිව්වම. :)

    //ඉතිං පොඩි අයියා වගේම අපේ ගුණදාස අමරසේකර සීයයි.. තව නළුවෝ කිහිප දෙනෙකුයිත් ඔන්න අපිත් එක්ක එක පෙලේ නාට්ටිය නැරඹුවා...//

    නළුවෝ???? උන් මොක්කුද අයියා අර දෙන්නත් එක්ක බැලුවම. අන්න නියම නළුවො.

    දැන් බලන්ටකෝ ඔයා කියන්න තිවුනෙ අපි හිටිය පේලියෙ උන් හිටියා කියල නෙවිනේ, උන් හිටිය පේලියෙ අපිත් හිටියා කියල. බලන්ටකෝ වෙච්චි දෙයක්. :)

    ReplyDelete
  19. Ela post eka maraya. Patta blog eka. Mama blogging walata aluth. Digatama kiyawannam.onna bookmark kala.
    hadawathinma Subapathanwa...

    ReplyDelete
  20. ඔබේ වාසනාව ගැන ඉරිසියාවක් හිතෙන්නෙ.

    ReplyDelete