16 August 2013

මේ දවස්සල... මෙන්න මෙහෙමයි....

බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා කියලත් අමතක වෙලා හිටියේ... පහුගිය මාස දෙක තුනේ හැටියට මේ ඊයේ පෙරේදා දවස් තුන හතරනං ටිකක් නිදහසේ හිටියයි කියලා කිව්වැකි... ඒත් ඉතිං ඒ නිදහසෙත් ටිකක් එහෙට මෙහෙට මංගච්ඡලා... කාලා බීලා... එව්වා මෙව්වා කොරලා එද්දි දවස ගෙවෙනවා දන්නෙම නැතිව... ආයේ ඉතිං කොහේද බ්ලොග් ලියන්න කියවන්න වෙලාවක්... 

ඒත් ඉතිං එහෙමයි කියලා නෙට් නෑවිත් හිටියෙත් නැහැ... පුළු පුළුහං හැටියට මේකේ එල්ලිලා එහෙං මෙහෙං අතට අහුවෙන බ්ලොග් ලියමන් දෙක තුනක් කියෝලා.. බුකිය පැත්තේ ගෙහුං එතැනත් වාත වෙලා... ඌරු කොටුවට (අර ඇංගිරි බොර්ඩ් කියලා එකක් තියෙන්නේ ආං ඒක.. : ) රිංගලා යාළු මිත්තරාදීන්ට තෑගි බෝග යවලා එහෙම මාරු වෙනවා.. ඒ ඇර මේක ලියන්න හිතුනෙවත් නැහැ.

කොර කොර හිටිය බේසික් කෝස් රාජයගේ අවසානයත් පහුගිය සතියේ සනිටුහන් උනා... ඒ කිව්වේ ඒකේ අන්තිම විභාගෙත් කොරලා දැම්මා.. දැන් ඔන්න හෙට ඒකේ සහතිකේ ඇන්න එන්ට යන්ට ඕන... ඒත් එක්කලම අර මොකක්ද සුද්දගේ සහතික කඩේ විභාගෙකටත් හෙට සල්ලි ගෙවලා එන්ට ඕන... සිටි ඇන්ඩ් ගිල්ස්ද මොකක්ද එකක්... එතකොට ඒකේ සහතිකෙත් ගන්ට ඇහැකි වෙයි තව ටික දවසකින්...

එයින් පස්සේ ඉතිං ඒ සම්බන්ධ ඩිප්ලෝමාව තමා තියෙන්නේ... ඒකත් තව මාසයකින් දෙහෙකින් පටන් ගනීවි... ඒත් ඉතිං තාම මේ කල්පනා කොරන්නේ ඒක තනිකරම දුවන්නේ ඉංගිරිසියෙන් හින්දා ගොඩ දාගන්න ඇහැක් වෙයිද කියලා... බර ගානක් සුපියල් වලින්ම ගෙවන්නත් වෙන හින්දා ආවට ගියාට කොරලත් බැහැ.. අනේ මංදා මක්කා කොරන්නද කියලා... ඩිප්ලෝමාව කොරනවද..? නැත්තං කොහොම හරි හෝටල් කෑල්ලක් හොයං මාස හයක්වත් එක්ස්පීරියන්ස් එක ගන්න ට්‍රේනින් කුකෙක් හැටියට යනවද කියලා... ඒ අතරේ හිමිහිට කල් අරං ඉංගිරිසි ටික ඩිප්ලෝමාවට සෑහෙන මට්ටමට හදාගන්නත් ඇහැකි වෙන්නේ නැතෑ.. අනික වැඩකට සෙට් උනොත් කොහොමත් වැඩේට උවමනා මට්ටමට භාෂාව ටිකක් හරි හුරු වෙනවා නෙව...

 ඉංගිරිසිය ගැන කිව්වාම මතක් උනේ...ගිය පාර රොයල් ඉන්ස්ටියුටියේ ඉංගිරිසි පාඨමාලාවකට ගියාට මොකද ඒක ඒ හැටි සාර්ථක උනේ නැහැ... මුලදි මුලදි ටිකක් විතර අල්ලගෙන ගැට ගහගෙන ගියාට මොකද.. පස්සෙන් පහු අපේ සෑර් මඤ්ඤං කෙලියා... අන්තිමේදී අර වෙනදා වෙන දේම තමා උනේ... දන්න උන් ටික හැල්මේ දුවනවා.. අපි බලං ඉන්නවා... අන්තිමට ඒකේ අවසාන විභාගෙට හිටින්න ගියේ නැහැ... නිකං මොකටද හිත අමාරු කොරගන්නේ...

හැබැයි මේ පාර අහු උන පංතියනං ටිකක් විතර එයිට වඩා සරයි... කස්ටියනං අම්බානක ඉන්නවා තමයි... හැබැයි සෝර් කාරයා කියන හරුප තේරෙනවා බොහෝම සරලව.. කොටින්ම මෑන් මුලින්ම දුන්න ටියුට් එකේ ඒ බී සී ඩී වල හිටන් වැඩේ තියෙනවා...  මට ඉංගිරිසි අතෑරුනේ හතර වසරේ ඉදලම හින්දා ඒ තැනින්ම පටන් ගත්තාම අර මොකාටද එකාට වගේ තේරෙනවා... එහෙම නැතිව ඔන්න හිටි ගමන් අර ටෙන්ස් මේ ටෙන්ස්..පැසිව් බැසිව් ගා ගත්තම මං කොර වෙනවා... ඒ හින්දා දැනට මේ දුවන සිල්පෙනං හොදටම හොදයි.. හැබැයි අර කියමනටත් කියන්නේ “හොදයි ටිකයි“ කියලා... ආන්න එහෙම කේස් එකක් මේ පංතියෙත් තියෙනවා... ඒ කිව්වේ සතියකට තියෙන පැය දෙකේ කාලය ඇතුලත සෑර් ගොයියා උගන්නන්නේ විනාඩි 15යි.. අනිත් පැයයි විනාඩි හතළිස් පහම ඉතිං යාං හෑලි තමා... ඒකත් කමක් නැහැ කියමුකෝ අළුත් අළුත් කතාවත් කියනවනං... මොන... හැමදාම එකම ටික... සමහරුන්ට දැන් සෑර් උගන්නනං ඉංගිරිසිවලට වඩා සෑර්ගේ දේශනාව කට පාඩං... සමහරු සෑර් එක්කම ඒක කට පාඩමෙන් කියවං යනවත් එක්කලා.. ඕ යෑෂ්... :D

ඔය අතරේ මට තව කෙලියක් කෙල උනා... ඒ තමා මගේ අතිජාත මිත්තරයා වෙච්ච ෆෝන් කස්ටට කෙල වීම... ඕක ඔහොමවත් තිබුන එකත් එක අතකට ලොකු දෙයක්.. අරං මාසයක් යන්න කලින් බයික් එකේ ඇරලා යද්දි සාක්කුවෙන් විසිවෙලා මඩවලකට වැටිලා.. කෑලි කෑලි වෙන් වෙලා.. එයිට උඩින් තිරිවීල් එහෙකුත් ගෙහුං පිටිපස්ස පියන් කෑල්ල එහෙම ස්ටිකර් වෙලා තිබුනේ.. ඒත් දෙයියනේ කියලා දැන් අවුරුදු හතරක් විතර ඕක වැඩ කලා කිසි අඩු පාඩුවක් නැතිව... මට ඔය දැන් තියෙන කැමරාව හම්බ වෙන්න කලියෙන් ආව ගිය ගමන් බිමන් වලදී පොටෝ ගන්නත් ඕක බොහෝම පරයෝජනවත් උනා... අපරාදේ කියන්න බැහැ මං ඕකෙන් මුල්ම කාලේ හිටු කියලා මල් කැඩුවට මොකද අන්තිම කාලේ වැඩි හරියක් කොලේ පොටෝ ගන්න එකයි.. එළාම් එක තියන එකයි.. ගණන් හදන්න කැල් එක හැටියට පාවිච්චි කොල එකයි තමා... ඉදලා හිටලා ඉතිං කෝල් එහෙකුත් ගන්නවා...

ඉතිං ඒක අවසානෙදි පණ අදින හින්දා ගිහින් ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ගෙනාවා ලාබෙට ෆෝන් කට්ටක්... මයික්කොරෝමැක්ස් ජාතියේ... ඒ 27 කියලා පතරංගයක්... ඒකේ කැමරාවනං පට්ට පජාතයි.. ඒ ඇරනං වෙන අවුලක් නැහැ... තව ටිකක් පාවිච්චි කොරලම තමා කියන්න වෙන්නේ මේක කොහොම වෙයිද කියලා... හැබැයි ඉතිං නොකියා වගේනං පාවිච්චි කොරන්න ඇහැකි වෙයි කියලා මං හිතන්නේ නැහැ... 

හරි ඔය තමා මේ දවස්සල මගේ වංහුං...

රතුපස්වල කේස් එක ගැන ටිකක් විස්තර හොයන්න යන්න හිතං හිටියට ගම පැත්තේ බඩගාන්න වෙලාවක් අහු උනේම නැහැ.. ඒත් ඉස්සරහට වෙලාවක් අහු උනාම ගෙහුං එන්න ඕන... ටිකක් පහු වෙලා ඒ ගැන ලිව්වම මොකද වෙන්නේ නේද..? ඔය අපේ විපස්ස නායකතුමත් සති තුනක් විතර පැනලා උද්ඝෝෂණයක් කලේ... උන්දැට සති තුනක් ගන්න ඔට්ටුනං මාත් කල් අරගෙනම ලියන්න ඕන... හැබැයි ඉතිං මටත් විපස්සනායක තුමාට වගේම කෙලවෙයිද දන්නේනං නැහැ... :D


52 comments:

  1. ඒ උනාට ඔහේ රතුපස්වල ගැන ලියනකම් මම බලාන උන්නා. :)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... මටත් ඒ ගැන ලියන්න උවමනාව තියෙනවා... ඒත් ලැබුන ආරංචි හරියටම හොයාගෙන මිසක් ලියන්නේ නැතිව ඉන්නේ...

      Delete
  2. මම එකට කොමෙන්ටුවදන්න හිතං පොස්ටුව කියවල එන ටිකට මේ මදුරුවන්ට ගහන එකා, එක වෙලා ..... මම දාන්නැ කොමෙන්ට්

    ReplyDelete
    Replies
    1. මාරයෝ උබේ නම යන මොකක් හරි කෙලියක් මැලේසියාව පැත්තේ වෙන්න යනවා වගේ...... පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් බලපන් විබගේත් ඉවර එකේ

      Delete
    2. අඩෝ....ව්. අපි ඒමයි අරී.........

      Delete
    3. මදුරුවන්ට ගහන එකා ++++++++

      Delete
    4. මදුරුවන්ට ගහන එකා.. :D

      හිටහං අතෑරුන බ්ලොග් පේලියට කියවං එන්න හිතං ඉන්නේ...

      Delete
  3. යන තැනක පරිස්සමින් පලයන් මාරයෝ... නැත්තම් සුදු වෑන් පිහිට තමා උබටත්... ඕන් මං නොකිවුවයි කියන්න එපා....

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මෙයා... මං යනනෙත් සුදු වෑන් අනුග්‍රහය යටතේමනේ.. මොන බයක්ද ඉතිං.. :D :D :D

      Delete
  4. රාජ සම්පත් ලැබේවා....

    ReplyDelete
    Replies
    1. මේ උඹ රජාගෙ ලෝගෝ එක අරගෙන ඌ අන්න බෙල්ලෙ වැල දාගන්න හදනවා...

      Delete
    2. අවුලක් වෙන එකක් නැහැ හැලපයියේ... රජා නෙවෙයි දැන් ඌ “බ්ලොග් කොටා“ නේ.. ඒ හින්දා උගේ රජ පට්ටමත් එක්ක ඔය ලෝගෝ හැම එකක්මත් අහෝසි උනා.. :D

      Delete
  5. උඹ යන්න කලින් රතුපස්වලට මාරයා ගිහින් කීප දෙනෙක්ම බිලිගත්තා.

    ReplyDelete
    Replies
    1. මාත් ගිහින් බලන්න ඕන තව මොකක්වත් වෙයිද කිවලා...

      Delete
    2. @ මාරයා
      //මාත් ගිහින් බලන්න ඕන තව මොකක්වත් වෙයිද කිවලා...//
      අනේ බං මාරයෝ, උඹ ඉතිං මාසෙකින් නෙවෙයි එදාම ගියත් කියන්නේ ආණ්ඩුව හරි රතුපස්වල මිනිස්සු වැරදි කියලනේ.

      Delete
  6. අලුතෙං ගත්ත ෆෝං එකෙන් ඇන්ගිරි බර්ඩ් ගහන්න බැරිද බං.

    උඹ ට්‍රේනිං කුකෙක් වෙන්න යන හෝටලේ අඩුම ගානෙ මේ බ්ලොග බලන එවුවංටවත් කියහං. එතකොට උංටවත් බඩේ අමාරුවක් හදාගන්නෙ නැතුව ඉන්න පුලුවංනෙ. :D

    ReplyDelete
    Replies
    1. ගැහියැකි ගැහියැකි.. මං ඒක තමා මුලින්ම බැළුවේ.. ඒත් තාම ඉන්ස්ටෝල් කොරගත්තේ නැහැ...

      මට හිතයි ගොඩක වෙල පැත්තේ හෝටලයක් අල්ල ගන්න... ඒත් ඉතිං ඔහේ මොකාට කියලා කන්න දෙන්නද... කන බොන උන් ඉන්න පළාතක්යෑ.. :P

      Delete
  7. ගල්පර තැනිතලා ඔස්සේ ජිවිතේ ගලා යයි.

    ReplyDelete
  8. මයික්‍රෝමැක්ස් එකක් නං පරිස්සමින්. බිම වැටුණොත් ඉතින් කෑලි තමයි. හ්ම්ම්, හෙමින් සැරේ ඉගෙනීමේ කටයුතු ටික කර ගන්නකෝ. දැන් ඉතින් හැම ඉලව්වට ම කඩ්ඩ වනන්න ඕනෙනේ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව්.. නොකියා වල අහලින් යන්න බැහැ මේවට... මක්ක කොරන්නද අතේ ඇති වතේ හැටියට නෙව කාරණා සිද්ධ වෙන්නේ..

      කඩ්ඩනං මලකඩ්ඩක්...

      Delete
  9. විපස්ස නායක තුමගේ බනිස් 25000 ක් විසි කරන්න උනාළු. පව් අර ආබර් එක බලන්න යන උන්ට දුන්නා නම් ඉවරයි. මම දැක්කා උඹත් ළොකු අයියගේ ආශ්චර්යේ බලන්න ගිහින් තිබුනා. ජොබකට යන්න එපා. එහෙම ගියෝත් උඹ හිරවෙනවා. කොහොම හරි ඩිප්ලොමා එක දාගනින්. මම කිව්වේ ආර්ථික ශක්තිය හොඳනම් විතරයි. උඹ ඇවිත් "මළ පැනපු කුරුල්ලෝ" එකේ දාන සෙල්ලම් වලට නම් මලම පනිනවා.

    ReplyDelete
    Replies
    1. විපස්ස නායකතුමාට වෙච්ච හරියට මං බයත් ඕක නෙව...

      හනේ ඉතිං මේ පොඩි මල්ලි නොයා අපෙ අයියගේ ආශ්චරිය වෙන මොකා බැළුවත් වැඩැක් ඇතෑ.. හා නැද්ද හා..? :D

      මං කවද්ද බං ජොබ්වල හිර උනේ... :D
      එහෙම උනානං ඉතිං තාමත් මං එක්කෝ පොලිසියේ.. නැත්තං සීටීබී එකේ.. වැඩිම උනොත් ගුවන් හමුදාවේ... මොහොකට හිර උනත් ජොබ් අස්සේ නං හිර වෙන්නේ නැහැ මලාට... ඒක නිකං සංසාරගත පුරුද්දක් වගේ.. එක තැනක මහා කාලයක් හිටින්න වෙන්නේ නැහැ මලාට... ඒත් ඉතිං ඉගෙනගන්න එක එක දිගට කරගන්න තියේනං හොදා... බලමු...

      මල පැනපු කුරුල්ලෝ... අන්න නියම වචනේ...

      Delete
  10. ඉංගිරිසි විභාගෙට ඔය හැටි ගෙවන එකේ, ඕක නිකං වගේ ගොඩ දාගන්න බැරිද තව රුපියල් 200ක් 300ක් අත මිට මොලවලා දීලා? :-D

    ReplyDelete
    Replies
    1. ලංකාවේනං ඉතිං රුපියල් දෙසීයට කොරන්න බැරි වැඩ තියෙන්නේ බොහෝම සුවල්පයයි.. ඒත් ඉතිං එහෙම ගොඩ දාං රටේ ලෝකේ ඇවිදින්න ගිය දාට මටම කෙල වෙයි නෙවද..?

      Delete
  11. අපිට හැමදාම විභාග වගේ තමයි අරයට හැමදාම විපක්ෂය නේද?

    ReplyDelete
    Replies
    1. සදා සොත්ථී...භ වන්තු තේ...

      Delete
  12. කාලා බීලා ඉවර වෙලා එව්වා මෙව්වා කරන්නත් වෙලාව තියෙයිද මල්ලියෙ බොට ???

    ReplyDelete
    Replies
    1. හිටහං මං ඔය අහලකින් යද්දි කියා දෙවන්න...

      Delete
  13. මාරයාට ඉන්ගිරිසි උගන්නන්න කවුරුත් නැද්ද ඕයි

    ReplyDelete
    Replies
    1. සක්විති සෑර් හිරේ ගියා නෙව.. නැත්තං උන්දැගෙන් ඉගෙනගන්න තිවුනා.. :D

      Delete
  14. මොනවා කරන්නත් කලින් ඉගෙන ගෙන හිටහන් මාරයෝ . . .

    ඉගෙන ගන්න ආසාව උනන්දුව තියේ නම් වයස ප්‍රශ්නයක් නෙමේ කියලා හොඳම් උදාහරනේ මාරයා . . .

    මේ හැට පැනලා නහින දෙහින කාලේ ඇවිත් සුදු කොඩි පේන වයසේ කියලා නොබලා ඉගෙන ගන්නවා නෙව . .

    නෑ බන් සිරාවට සමහර උන් හිතන්නේ 20-25 පැන්නාම ඉගෙන ගන්න වයස පහු උනා ඒක නිසා මොකක් හරි රස්සාවක් හොයාගෙන මැරෙනකම් ඒක කර කර ඉන්න ඕන කියල . .

    ඒ අතින් උඹ නියමයි . .

    මාරයාට ජය වේවා . . !!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි බං... මට හැට පැනලා..නහින දෙහින කාලේ... සුදු කොඩි පේන වයස.. එතකොට බොලා අර මේ ඊයේ පෙරේදා මොකක්ද මංදා විභාගයක් කොලේ වලේ හිටංද..? :P

      තැන්කූ තැන්කූ...

      Delete
    2. දුකා අයියේ...අපේ වගේ නෙමේ මාරයියගේ ලයිෆ් එක යන්නේ රිවර්ස්. වෙන එවුන් නහින දෙහින කාලේ මහණදම් පුරන කොට මූ පොඩි දොහේම ඒක කලා. වයසට ගියහම මගුල් විසේ ගහනව වගේ මූට පොඩි කාලේම මගුල් විසේ ඉහට ගැහුවා. අපි බණක් දහමකට හිත යොමු කරන කොට මූ ඇන්ග්‍රි බර්ඩ් ගහනවා, පංති යනවා, උදේ ඉදං හවස් වෙනකං රස්තියාදු ගහනවා. දේශපාලනේ උනත් බලහං, ඉස්සර ලොකු අයියගෙ දේශපාලනේ ගැන ප්‍රබුද්ධ ටෝක් දාපු මූ දැන් දාන්නේ අංජබජල් තියරි.

      තව ටික හොදකින් මූ කොහෙදි හරි තනකිරි බොනවා දැක්කා කියල කවුරුහරි දැක්කා කිව්වොත් පුදුම වෙන්න ඕන් නෑ.

      මාරයියේ - අර ෆෝන් එකේ ඉතුරු කෑලි ටික තියනවනං එවහං, මං කීය උනත් සල්ලි දීල ගන්නවා.

      Delete
  15. මමත් දන්නා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හිටියා ඉංග්‍රීසියෙන් වල්පල් දොඩවනවා. ඉංග්‍රීසි කතා කරන්න බෑ කියපු එවුනුත් පැන පැන වල්පල් දොඩවනවා.

    ReplyDelete
    Replies
    1. මටත් කවුරු හරි ඕපාදූපයක් කියනවනං ඒක මොන භාසාවෙන් කිව්වත් තේරෙනවා.. කරුමේ කියන්නේ වචන හතරක් එකට පටලෝලා කියන්න තියෙන අමාරුව තමා...

      Delete
  16. මං මේ කල්පනා කරන්නේ හතරෙදි ඉංග්‍රිසිය අතෑරගන්න තරං මාරයට මක් උනාද කියලා..

    ඩිප්ලෝමා වල ඉංග්‍රිසි වලට නං එච්චර බය වෙන්න දෙයක් නෑ කියලා මට හිතෙන්නෙ.. කො‌ෙහාමත් පාවිච්චි කරන වචනවලට අමතරව එච්චර ලොකු ඉංග්‍රිසියක් නෑ... ඔන්න ඉංග්‍රීසි කෑලි කෑලි කතා කරන රටක සුද්දෙක් එහෙම උගන්නන්න සෙට් උනොත් තමයි පොඩි අවුලක් වෙන්නෙ... කියන එක තේරුම් ගන්න බැරුව.. හි හි

    ReplyDelete
    Replies
    1. එතකොට උන්ට හින්ගල උගන්නනවා. අපි සෙලින්කෝ එකේ වැඩ කරන කලේදි ලලිත් කොතලාවල ඇමරිකන් සුද්දියෙක් එව්වා ඉන්ගිරිසි කතාකරන්න උගන්වන්න. අන්තීමට ඒකි හොඳට හින්ගල කතා කරන්න පුරුදු කරලා යැව්වේ...

      Delete
    2. අනිවා.. මමත් ඕන ඔට්ටුවක් දානවා.. මට ඉංගිරිසි උගන්නන්න සුද්දෙක් ආවොත් මට ඉංගිරිසි කොහොම වෙතත් මං ඌට සිංහල උගන්නනවා වතුර වගේ.. ඕ යේෂ්...

      Delete
    3. මං ඕනනං උඹට ඉංගිරිසි උගන්නන්නං...

      Delete
  17. මාරයා අපේ පැත්තෙ එන් නැත්තං මං ඕං කොමෙන්ට් කොරන් නෑ.

    ReplyDelete
    Replies
    1. යකෝ මුං දැන් බ්ලැක් මේල් කොරන්නත් අරංද..?

      Delete
  18. ඔන්න ඔහොමයි දැන් එතකොට කාලේ ගෙවෙන්නේ නේද ... එක්ස්පිරියන්ස් ඇතුව ඩිප්ලෝමා එකට යන එක හොදයි කියන එකයි ම‍ගේ අදහසනම් ...

    ReplyDelete
    Replies
    1. තාම කල්පනා කරනවා බං... ඩිප්ලෝමාවේ පරණ ප්‍රශ්න පත්තර ටිකක් හොයං බලන්න ඕන මට ඒවා තේරෙනවද සහ උත්තර ලියාගන්න ඇහැකි වෙයිද කියලා.. එයින් පස්සේ බලන්න ඕන මොකද කරන්නේ කියලා..

      Delete
  19. සැටිපිකෙට් එක අතට ගත්තට මදි කොහොම හරි කතාකරන්නත් පුරුදුවෙයං ලැජ්ජාව අතඇරල

    ReplyDelete
    Replies
    1. මට ඉංගිරිසි භීතිකාව අයියේ... මලාට කතා වෙන්නේ නැහැ... හිංගලෙන්නං ඕනෑ සබාවක සිංහයා සේ කතා කොලෑකි ආයේ කිසි ගේමක් නැතිව... ඉංගිරිසියෙන් වචන දෙකක් කියනකොට මගේ දිව ටැපලෙනවා.. කකුල් මැන්ඩලින් ගහනවා... එක විකාරයයි...

      Delete
  20. අනේ බං මල්ලියෙ ඔය බාසාවල් වලට බය වෙන්න එපා ඇදල ඇරහං... කටට එන හැටියකට...දැන් බලහං මට හින්දි අයන්න වත් කියවන්න දන්නෙ නෑ... ව්‍යාකරණයක් අහලවත් නෑ... ඒත් මම හින්දියෙන් කතාකරනකොට නොදන්න කිසි එකෙක් පිලිගන්නෙ නෑ මම ඉන්දියන් නෙමෙයි කියල... කතාම කරල ඉගෙනගත්තෙ... මුලදි මුලදි වර්තමාන කාලෙ අතීත කාලෙන් , ස්ත්‍රී පුරුස ලිංග පටලෝල කතා කලේ... උන් හිනා උනා මම ගනන් ගත්තෙ නෑ සත පහකට...

    ........

    ජාතික රූපවාහිනියෙ ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන්න,ඒකෙ කතාකරන ශෛලිය හොඳයි ,එස් එල් බී සි ඉංග්‍රීසි ප්‍රවෘත්ති අහන්න ඒකෙ කට පේන්නෙ නෑනෙ.. එතකොට කන හුරු වෙනව, සින්දු අහන එකත් හොඳයි..( X ඒලියන් නම් අහන්න එපා ).

    මෙන්න නොවරදින මන්තරයක්... ගන්න සල්ලි කියල බලන් නැතුව ඩේලි නිවුස් පත්තරය්ක්... දොරවහගන්න... තමන්ට කනට හයියෙන් ඇහෙන ගානට දිගටම කියවන්න... තේරුමක් ඕන්නෑ... බැරි වචන වල නවතින්න එපා ඒව ස්කිප් කරල කියවගෙන යන්න... ටික දවසක් කරන්න... කට පැටලෙන එක නැති වෙනව...මම බං හද්ද ඩොටේ ගම් වලින් ආපු නේපාල් , බුරුම ලමයින්ටත් හොඳට කතාකරන්න පුලුවන් ගානට පුහුණු කරවල තියෙනව ඔහොම... හැබැයි පුතෝ පීනිල්ල වගේ තමා ගොඩ ඉඳන් නම් බෑ... කාට හරි කතා කරන්නම ඕනැ හරියන්න...

    ReplyDelete
  21. වයසක හරි සුද්දියෙක් එක්ක එක ගෙයි ටික කලක් වාසය කොලා නම් ගොඩම තමයි.
    කොහොම හරි මල්ලියා කට්ට කාගෙන ඉදිරියටම යන්න සියලුම බෝධීන් වහන්සේලාගේ පිහිට ලැබේවා කියල පතනවා.

    ReplyDelete
  22. මෙන්න මේ වගේ අපි කොටාපු එහෙකට උත්තර දෙනවනං අපිත් පැනගෙන එනවා නේ සද්ද දාන්න.. එහෙම එන්නකෝ අයියේ පිස්සු නොකර... උඹ රතුපස්වල යන කොට උන්ට වතුර හම්බ වෙලා තියේවි. මතක නෑ කියලත් කියාවි.

    ReplyDelete
  23. මාරයා උමට රතුපස්වල සීන් එක පත්තුවෙච්ච දවස්වල වැඩ වැඩි වෙලා බ්ලොග් එක අමතක උන එක ,හොඳයි නැතිනම් උඹ රජාට කඩේ යනවා කියනඑක හොඳටම තහවුරුවෙනවා .දැන් නිකම් බොරුවට කියන්න පුළුවන් හොයලා බලල කියන්නන් කියලා.

    ReplyDelete
    Replies
    1. //නැතිනම් උඹ රජාට කඩේ යනවා කියනඑක හොඳටම තහවුරුවෙනවා//

      :D
      ආයේ ඕකේ තහවුරු වෙන්න දෙයක් නැහැ... ඔය සමහර අය අපිනං හෙන මධ්‍යස්ථ කියාගෙන එක එකාට කඩේ යද්දි මං කිසි අවුලක් නැතිව ප්‍රසිද්ධියේ මහින්දට කඩේ යනවා තමයි.. මොකක්ද ඕකේ අමුතුවෙන් තහවුරු කරන්න තියෙන්නේ... ඒ ගැන කියන්න මං කිසිම තැනක බය වෙන්නේ නැහැ ලොක්කා...

      කාට හරි ඒ ගැන අවුලක් තියෙනවනං ඒකටනං මට කරන්න දෙයක් නැහැ.. මොකද මේ මගේ කැමැත්ත... එහෙම නැති එක ලොක්කගේ කැමැත්ත.. ඒකට තමා අර ප්‍රජාතන්තරවාදේ කියලා වචනයක් තියෙන්නේ... :D

      Delete
  24. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete