13 October 2013

හිරු ඇපල් දෙද්දී.. මගෙන් මිදි...

මේ දවස්වල බ්ලොගේට හෙන වැදිලා තියෙන්නේ වැඩ වැඩිකම හින්දම විතරක් නෙවෙයි... ඒකට තව හේතුවක් තමා බුකිය...

ඉස්සරනං විවේකේ ගත කලේ බ්ලොගේ ගැන බලමින් උනාට දැන් පොඩි ඉස්පාසුවක් අහු උන ගමන් මං නවතින්නේ බුකියේ.. ඒ ගෙහුන් ඔය එක එකාගේ ඕපාදුප ටිකක් හොයලා... මඩක් ගහන්න ඇහැකි එකාට මඩක් ගහලා.. පිස්සුවක් කෙලින්න ඇහැකි තැන පිස්සුවක් කෙලලා.. ඒ අතරට අර “මල පැන්න කුරුල්ලෝ“ එහෙමත් සෙල්ලං කොරන කොට බ්ලොග් එක ගැන මතක් වෙන්නේ නැති තරං...

ඒත් දැන් මේ බුකිය දිහා බලං හිටින කොට එක පාරට දැකපු වීඩියෝ කෑල්ලක් හින්දා මට මේ පැත්තේ ඇවිත් යන්ට හිතුනා.. ඒ මම දැකපු වීඩියෝ කෑල්ල හින්දා මං දන්න දේකුත් කියලා යන්ට ඕන හින්දා... මුලින්ම බලමු ඒ වීඩියෝව...



ඔන්න ඕකයි ඒ...

ඕක ඇවිල්ලා හිරු ටීවී එකෙන් කොරාපු හොර ඇල්ලිල්ලක්... අල්ලපු හොරේ තමා පිටෝටුවේ ඇපල් වෙළෙන්දෝ පාරිභෝගිකයෝ විසින් තෝරා දෙන හොද ඇපල් එක ඇසිල්ලකින් නරක ඇපල් පාර්සලේකට මාරු කරන ජවාරම...

ඇත්තටම පිටෝටුවේ වෙළෙන්දෝ ඇවිල්ලා ලෝක අංකූරෝ.. හැබැයි ලංකාවේ කොහේවත් නැති තරං ලාබෙට බඩු ගන්නත් පිටෝටුව තරං හොද තැනක් තවත් නැහැ කියලා මංතුමා දන්නේ කාලෙක ඉදන්...

හැබැයි හැම “ලාබ බඩුවම“ කොලිටි නැහැ...සමහරු ඔය “ලාබ බඩුවේ“ හිලක් කියලා කිව්වට මොකද පිටෝටුවෙන් “ලාබ බඩු“ ගන්න ගියොත් සමහර විට හිලත් නැති වෙන්න ඇහැකි.. හරිය.. ඕං නොකිව්වා කියන්න එපා... 

රයිටෝ..ඉතිං මං මේ කියන්ට ගියේ පිටෝටුවේ වෙළෙන්දෝ කොරන තවත් ජාවාරමක් ගැන.. මේ හිරු කිව්වේ ඇපල් වෙළදාම ගැනනේ.. මං කියන්නේ මිදි වෙළදාම ගැන...

පිටෝටුවට දෙතුන් පාරක් හරි ඇවිත් තියෙන පිටෝටුවෙන් පලතුරු ටිකක් ජීවිතේ එකම පාරක් හරි ගනිපු නැති අය බොහෝම අඩුයි නෙව.. ඒ හින්දා එහෙම අය නිතර අහු වෙන්ට ඇහැකි වංචාවක් තමා ඔය මිදි වෙළදාමත්...

මිදි වෙළදාමෙදී තනිකරම හොරේ කරන්නේ තරාදිය හරහා... ඕනනං බලන්න ඔය පිටෝටුවේ පලතුරු පෙට්ටි ගහන් විකුණන අයියලා ගාව තියෙන තරමක් තියෙන්නේ අර රවුං මූණතක් තියෙන මැද හයි කරලා තියෙන කටුව කැරකිලා බර පෙන්වන මේන්න මේ ජාතියේ තරාදි...

ඉතිං මුං කොහොමද ඔය තරාදියෙන් හොර කරන්නේ...

එකක් තමා මුං ඔය තරාදියේ නිතරම කටුව තියෙන පැත්ත තමුන්ගේ අතට හරවං ඉන්නේ... අපි කිව්වොත් විතරයි තරාදිය අපි පැත්තට හරවලා පෙන්නන්නේ.. නැත්තං ඉතිං අපි කිලෝ එකයි කිව්වම උන් ඒකට උන්ට හිතුන ගානක් දාලා පටස් ගාලා කඩදාසි කවරයකට දාලා දෙනවා... වැරදිලා හරි අර විදියට කියලා කටුව තියෙන පැත්ත බැළුවොත් උන් කරන්නේ තරායේ පිටි පැත්තට අත තියලා තද කරගෙන අපිට පෙන්නන එකයි.. ඒ තද කිරිල්ලෙන් උන්ට පුළුවන් කටුව උන්ට ඕන හැටියට දුවවන්න... උන් කරන්නේ අපි ඉල්ලව බර ගානට හරියන්න කටුව එන විදියට අතින් තද කරලා එන්න හරිගස්සලා අපිට පෙන්නලා ඉක්මනට අනිත් පැත්ත හරවන එකයි... බොහෝමයක් වෙලාවට ඔහොම තරාදියකින් මිදි ගත්තොත් අනිවාර්යයෙන්ම එතන බාගෙට බාගයක් බර අඩුයි.. කොටින්ම මටත් එක පාරක් කිලෝ එක කියලා දීලා තිබුනේ 600g ක්... මටම බර ගැන සැක හිතුන හින්දා ගෙදර ඇවිත් ගෙදර තියෙන තරාදියෙන් කිරලා බැළුවමයි අහු උනේ.. එයින් පස්සේ දවසක මං ආයෙම ගිය වෙලාවක මං මගේ පැත්තට තරාදිය හරවන්න කියලා තරාදිය අල්ලන්නේ නැතිව තියන්න කියලත් කිව්වා.. මෑන් මගේ මූණ දිහා බැළුවා.. ඒත් තරාදිය අතාරින්නේ නැහැ.. මං ආයම කිව්වා තරාදියෙන් අත ගන්න කියලා.. මෙන්න බොලේ මූ අර කිරාපු මිදි ටික ආයේ මිදි ගොඩට දානවා... හිමිහිට කුටු කුටු ගාන ගමන්.. මං හිනාවෙලා “හරි ෂෝක් කිරිල්ල නේද..?“ කියලා අහපුවාම මූ නොඇහුන ගානට අහක බල බල ඉන්නවා... මොකද ඌ වැඩි සද්ද දැම්මොත් අහල පහල බඩු ගන්න යන එන උන්ට උනත් වැඩේ නෝන්ඩි වෙනවා කියලා දන්නවනේ... අනිත් අතින් මං සද්ද දාන්න ගිහිල්ලා මොටද නිකං ඉල්ලං කන්නේ... කොහොම උනත් හොරේ මාට්ටු කියලා ඌ දැන ගත්තම මට ඇතිනේ.. මංයෑ ආයේ ඔය යක්කුන්ගෙන් බඩු ගන්නේ..? මං ගියා යන්න...

ඒ නිසා කීය ලාබ උනත් පිටෝටුවෙන් මිදි ගන්නවනං මතක ඇතිව හරිහමන් ඉලෙක්ට්‍රොනික් තරාදි තියෙන වෙලෙන්දෙක්ගෙන් මිස ගන්ට යන්ට එපා... එහෙම අය ගාව පොඩ්ඩක් මිල වැඩි වේවි.. ඒත් අනිවාර්යයෙන්ම බඩු ටික හරි බරට හම්බ වෙනවා... උදාහරණෙකට කිව්වොත් ඔය යාපනේ මිදි කිලෝ එක අර වගේ හොරෙක් ගාව රුපියල් දෙසීය වෙද්දි අර වගේ හරියට කිරන තැනක රුපියල් තුන් සීයක් වෙනවා... (මං යාපනේදීනං ඔය ජාතියේ මිදි කිලෝව ගත්තේ රුපියල් හැටට) එයින් පස්සේ මම දැන්  පිටෝටුවේ පලතුරු ගන්නේ කෙලින් වීදියෙන් බෝධිරාජ මාවතට හැරෙන තැනම තියෙන දිවි නැගුම කියලා පින්තාරු කරාපු පලතුරු ලොරි දෙකෙන් විතරයි... ඒවායේ බඩු සෑහෙන පිලිවෙලට හරි බරට වගේම සෑහෙන්න හොද කොලිටියෙන් තියෙනවා... හැබැයි කොටුව ස්ටේසම පැත්තෙන් එන අයටනං ඒ හරියට යන්න දුර වැඩි වෙයි...

හැබැයි ඉතිං අපි වගේ ඔය පීචං කැලෑසියේ උන්දලා ඕවෑන් ගත්තට ඉහල පාන්තික වැදගත් මහත්තුරු නෝනලා නං ගන්නේ නැතිවත් ඇති... ඒ හින්දා මේවා ලියලා ඇති වැඩකුත් නැහැ එක අතකට බලාගෙන ගියාම... 

42 comments:

  1. ඔයිට හිනා යනවා, ගෙවල් ගානේ ඇවිල්ලා පරණ යකඩ බඩු ගන්න සමහරක් උන්ගේ කිරිල්ලට. උන් බැලැන්සෙයි, යකඩ ගොඩයි දෙකම බඩට තද කරගෙන උස්සන්නේ හෙහ් හේ.....

    අනික අපි පොඩි දවස් වල නිවාඩුවට යනවා මට්ටකුලියේ ශ්‍රී කල්‍යානී ගංගාරාම මාවතේ හිටි මාමාලාගේ දිහා. උන්දෑ අපිට කොටුවේ පළතුරු වෙලදාම ගැන කියලා දෙද්දි හිරු පායලත් නෑ.

    ඔය හේතුව හන්දා කොළඹ හිටපු අවුරුදු ගානෙදිම කොටුවෙන් කිසිම පළතුරක් ගත්තෙ නෑ කලාමතුරකින් ඇරෙන්න. දවසක් මාර බන්ධනේට අහුවෙලා මමත් ඇපල්ගෙඩි 6 ක් ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් වව්නියා බස් එකේ වංගු ගැනිල්ලෙ හොඳ කටම දොර කෙලින් හිටපු මගේ ඇපල් ගෙඩි 6 ම වරකට එක ගානේ දොරෙන් එලියට ගියා හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නේ නැතුවම.

    ReplyDelete
    Replies
    1. කේන්ද්‍රාපසාරී බලය ගැන තව ටිකක් ඉගෙනගන්න වෙයි. නැත්තං කොයි වෙලාවක හරි උඹත් බස් එකෙන් එළියට විසිවෙනව. :D

      Delete
  2. //හැබැයි ඉතිං අපි වගේ ඔය පීචං කැලෑසියේ උන්දලා ඕවෑන් ගත්තට ඉහල පාන්තික වැදගත් මහත්තුරු නෝනලා නං ගන්නේ නැතිවත් ඇති...//ආයේ මක්කැයි.. :D

    පළතුරු නොකා හිටහල්ලකෝ .............අහවරයිනේ :D :D :D

    ReplyDelete
  3. ඇත්තට මාරයියේ කොටුවෙ පළතුරු ගන්ඩ ලාබ තැං ටිකක් කියන්ඩකෝ.ඔය කෙසෙල් වගේ ජාති, ඇපල් එහෙම

    ReplyDelete
  4. හොරකම අල්ලලා පස්සේ දැන්වීමකුත් දාලා නොවැ

    ReplyDelete
  5. අපේම ක්ලාස් එකේ එවුන් අපිටම කෙලින්න බලා ඉන්න එකේ, ඉහල පන්තියේ 'වැදගතුන්' නොවුනත් සුපර් මාකට් එකකින් නියමිත බරින් නියමිත මුදලකට බඩු ගන්න එකේ වරදක් මම දකින්නේ නෑ.

    ReplyDelete
  6. අනික ඔය තරාදියෙ කරකවන තැනක් තියෙනව නේද කට්ට එජස්ට් කරන්න...

    ReplyDelete
  7. පිටකොටුවේ පත්තර තට්ටුවලින් වල් පත්තර ගන්න ගියාමත් ඔහොමමයි...හි...හි...එකක් පෙන්නලා වෙන එකක් දෙන්නේ....

    ReplyDelete
    Replies
    1. යකෝ මේක අක්ක දකී

      Delete
    2. ඔව් බං දවසක් ගෙදර ඔක්කොම නිදියන්කම් ඉදලා, දොර තදකරලා, බේබි ක්‍රීම් එක ලගින් තියාගන බ්‍රවුන් පේපර් බෑග් එකෙන් එලියට ගනිද්දි යකෝ යස අගේට තිබ්බ පත්තරේ "සුවඳ" වෙලා

      Delete
  8. කොටුවෙ ඩයල් තමන්ගේ අනන්‍යතාවය තියාගෙන බිස්නස් කරන උදාර බිස්නස් මන්ලා කරන සෙට් එකක්...

    වංඟියක් ජෝඩුව පනහයි ජෝඩුව පනහයි ...!! කියලා කෑගහනවා ඇහිලා මගේ යාළුවෙකුත් ගියාළු ජෝඩු දෙකක්ම ගන්ඩ ..ජෝඩු දෙකම මල්ලේ දාගෙන රුපියල් සීයක් දුන්නාම වෙළෙන්දා කියනවාලු .. ගාන දෙසීයයි කියලා .

    මේ මහත්තයා මුල්ම බිස්නස් එක මස්තබාල්දු නොකර ගනිං හොඳ හිතින් දීපිය රුපියල් දෙසීයක් කීවාම අපේ එකා ඔය යස අගේට සල්ලි දීලා අවුදින් තිබුනේ ..

    ReplyDelete
  9. කොච්චර නැති බැරිකං තිබ්බත් ඔහොම පොට් වලින් බඩු නොගෙන හිටියහම ඉවරයි. මීලදි ගන්න හැම බඩුවක්ම අපිට විශ්වාස තැනකින්ම ගන්න ඹ්න , මාරයා විශ්වාස කරයිද දන්නැ මම දැන් වසර 5ක් තිස්සේ පලතුරු ගන්නේ එකම තැනකින් , ( දෙල්පේ හනදියෙන් දළුපිටිපාරේ වෙල මැද බාර් එක පැන්නහම තියන දම්මිකගේ කඩෙන් ) විස්වාස කරහං එතනින් පළතුරු ගන්න පටං ගත්තට පස්සේ එක දවසකවත් එකම ගෙඩියක්වත් නරක්වෙලා තිබුන්නැ , පරණ වෙන්න වෙන් පොර වෙනමම පෙට්ටියකට දානවා මිළ අඩු කරලා ,

    පළවෙනි දවසේ කරත්තකොලොම්බම 100
    දෙවනි දවසේ 80යි
    තුන්වෙනි දවසේ 50යි
    හතරවෙනි දවසේ 100ට 4ක් දෙනවා

    ඉතින් කවදාවත් උගේ පළතුරු නරක් වෙනවා. ඒ අතර තුර අප්සට් වෙන එව්වා කපලා ගෙදර උන් එක්ක කනවා , කඩේට එන උන්ට දෙනවා , ඌට පාඩුවකුත් නැ , ඔය ඉන්නේ ලස්සෙට කොඩිය දාලා , මිනිස්සු වාහන නවත්තලා එතන පොර කනවා පළතුරු ගන්න

    එහෙම හොද වෙලෙන්දෝ අනන්ත ඉන්නවා , අපි ටිකක් කට්ට කාලා උන්ව අදුර ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමය වෙලෙන්දටයි,පාරිභෝගිකයටයි දෙන්නටම අවුලක් නැහැ.

      Delete
  10. මමනං ඔය පලතුරු වර්ග දෙකම කෑමෙන් වැළකිලා තියෙන්නේ. ඕවා ගහේ තියෙනවට වැඩි කාලයක් අයිස් පෙට්ටි වල තියෙන්නේ. ගිය මාසේ යාපනේ ගිය වෙලාවේ මිදී කිලෝ දෙකක්ම ගෙනාවා.

    ReplyDelete
  11. හොදම දේ බෝධිය ලග තිබෙන පලතුරු තොග වෙළෙන්දන්ගෙන් පලතුරු පෙට්ටිය පිටින් අරගෙන ලගපාත පවුල් තුන හතරක් බෙදා ගත්තම ඉවරයි ගණන් හිලව් බේරාගෙන.
    තමන්ට ඕන පෙට්ටිය ඇරල නරක වෙලා තිබුනොත් ඉවත් කරලා හොද ඒවා දාල දෙනව.
    මාරය මලය දවසකට ගොඩවැදිලා බලන්නකො රගේ.

    ReplyDelete
  12. අපේ හරියෙ තියෙන පලතුරු කඩවල මිල ගහලා නැති නිසා උන් මූන බලලද කොහෙද මිල කියන්නෙ..මම හැමදාම ගන්න තැනින් කාලයක් ගත්තා..මිල වැඩී නමුත් පලතුරු නම් හොඳයි..මමම කියලා තව අයත් එතනින් ගත්තා..එකම දවසක මට පැණි කොමඩු කිලෝ එක රු. 100ට විකුනලා මගේ යාලුවෙකුට රු. 70 ට විකුනලා තිබ්බා..ඔය රු. 30 නිසා මම හිඟමනට නම් වැටෙන්නෙ නැති බව ඇත්ත..ඒත් දැන් පලතුරු ගන්නෙ සුපර් මාකට් එකෙන් විතරයි. අදටත් අර පලතුරු කඩේ ලඟින් යන කොට මිනිහා අහනවා අද පලතුරු ගන්නෙ නැද්ද කියලා..

    ReplyDelete
    Replies
    1. උඹේ රැවුල දැකලා වෙන්නැති 100ක් කිව්වේ :-D

      Delete
  13. මම පොඩි එකා කාලේ පිටොටුවෙන් බෙල්ට් එකක් ගත්තා රුපියල් 40යි මම 100ක් දීලා ඔතුරු සල්ලි දෙනකම් බලන් ඉන්න කොට ඇහැව්වා හිල විදලා අයිලට් ගහල දෙන්නද කියල මමත් හා කිව්වා හිල් තුනක් ගහලා දුන්නා ඉතුරු සල්ලි නෑ .... ඇහැව්වම කියපි එක හිලක් රුපියල් 20යි කියලා

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඔය වැඩේට කිව්වේ පටි ගැහිල්ල කියලා. හමුදාවේ කොල්ලෙකුට ඔය වැඩේ කරලා ඌ යාළුවෝ දෙතුන්දෙනෙක් අරන් ඇවිත් දුන්න පටි කාරයන්ට පටි ගැලවෙන්න.

      Delete
  14. මං නං ඉතිං ඔය පළතුරු ගන්න කියලා මහ දුරක් යන්නේ නෑ.. ගේ එහා පැත්තෙම තියෙනව පොඩි පළතුරු කඩයක්... අනිත් එක ගොඩක් වෙලාවට මං ගේන්නෙ හොඳටම ඉදිලා තියෙන පළතුරු නිසා ඒක මට ලේසියි... හැබැයි ඇපල්, මිදි වගේ ඒවා නං සුපර් මාර්කට් එකෙන් තමයි ගන්නෙ... ඒවා ගන්න මතක් වෙන්නෙ ඒකට ගියාම... හි හි...

    සුපර් මාකට් වලත් මරු වැඩ තියෙනව.. අපේ නෑන දවසක් 8ට විතර කාර්ගීල්ස් එකට ගිය වෙලාවක සුපවයිසර් කෙනෙක් බයිනවලු අර වැඩ කරන කෙල්ලෙක්ට... බලනකොට අර කෙල්ල නරක් වෙලා හරි මැලවිලා හරි වගේ තිබ්බ පළතුරු වගයක් විසි කරන්න දාලා.. අර ගෑණි බයිනවලු ඒවා විසිකරන්නෙ නෑ, ඔය නරක් වෙච්ච පැත්ත කපලා ආයිත් තියන්න, නැත්තං සැලඩ් වලට දාන්න කියල... ඔය හිටපු ගමන් කාර්ගීල්ස් වල හොඳට ලස්සනට ඔතල එහෙම තියෙන පළතුරු දැක්කම මට දැං ඕකමයි මතක් වෙන්නෙ...

    ReplyDelete
  15. අපොයි පිටකොටුවේ බඩු ගන්න ගිහින් අත්දැකීම් අනන්තවත්. පොතක් ලියන්න පුළුවන්. මට මතකයි ඉස්සරම ලක්බිම පත්තරේ රිද්ම අතිරේකේ තිබුණා පිටකොටුවේ වෙළඳ උපක්‍රම ගැන හොඳ විග්‍රහයක්

    ReplyDelete
  16. යකෝ කොළඹ ඉඳල කිලෝ මීටර් එකසිය පණහක් විතර ඈතිං ඉන්න අපිට පළතුරු ‍ගන්න පිටෝටු යන්න කියලද බොලා කියන්නෙ. වරෙං ගොඩකවෙල පොළට බොට ඕන තරං පළතුරු දෙන්නං.

    ReplyDelete
  17. අපි බඩු ගණන් වැඩියි කියලා හිතාගෙන හිටියට සමහර සුපර් මාර්කට් වලින් ග්‍රෑම් 100ක් වුනත් ගන්න පුළුවන් සමහර ආහාර/එළවලු/කඩල/ ආදිය. පිටකොටුවේදී එක ඇපල් ගෙඩියක් ඉල්ලුවොත් අසාධාරණ මිලකට දෙන්නේ. කුරුනෑගල නගරයේ ඉතා මෑතකදී විවෘත කල සුපිරි සතොස වෙළඳසැලේ එළවලු/පලතුරු/මාළු/ මෙන්ම ෆාමසියක් පවා තිබෙනවා. මිලත් අඩුයි. ඉතා ලාබෙට තිබෙනවා දියර කිරි.

    ReplyDelete
    Replies
    1. අම්මපා නෙවෙයි බල්ලෝ එක්ක බුදියගන්ඩ ප්‍රසිද්ද තොගේ මහ එකී පා

      Delete
  18. අය්යා ඇපල් , මිදී කියන්නේ අධිරාජ්‍යවාදී පලතුරු නේ අය්යා ... ගන්ඩ කෝ ගස්ලබු ටිකක් ... වෙරළු ටිකක් .... !!
    ඔයා කිව්වට ඔය දිවි නැගුම ඩබල ත් හොරට ඇපල් කිරනෝ .. මං එක දවසයි උන්ගෙන් ගත්තේ ආයේ ගන්නේ නෑ ... මුන් මගේ මල්ලට දාලා තියෙන්නේ මං තොරපුවා නෙවේ වෙන කුණු ඇපල් වගයක්

    ReplyDelete
  19. මටත් ඔය වගේම සීන් එකක් උනා... මගේ කට හොද නෑනෙ.. ගුටි නොකා බේරුනේ 99 න්.... හී..හී...

    අසාධාරණයට දැන් කතා කරන්නත් බෑනෙ බන්....

    ගුටි කන්න වෙනවනෙ....

    ReplyDelete
  20. හැම අතින්ම කෙල වෙන්නේ දුප්පත් එකාටමයි නෙහ්...

    ReplyDelete
  21. ෆුඩ් සිටි, කීල්ස් සුපර් වගෙ තැන් වල සමහර දවස් වලට කවුන්ටරේ ලඟ ලස්සනට පාර්සල් කරල තියෙනව දැකල ඇතිනෙ බයිට් ජාති, පලතුරු එහෙම... ඒව හදන්නෙත් විසි කරන්න නියමිත චිකන් පාට්ස්, පලතුරු වගේ දෙවල් වලිං....

    ReplyDelete
  22. මාත් මේක බැලුවා. මේ වගේ දේවල් හෙළි කිරීම හොඳ යි.

    ReplyDelete
  23. ammata udu. honda welawata ayya kiwwe.
    api ahuwei ooowata. huu...
    hituko mamath honda achchuwak denna ewage buwekta.
    kaaleki set une na ewage gemak.

    ReplyDelete
  24. ගම් වලින් නගරයට එන හුගක් මිනිස්සු අපහු ගමට යනකොට ගමේ නැති, නගරෙ පලතුරක් අරගෙන්නෙ හරිම අසාවෙන්. හුගක් වෙලාවට මේවට අහුවෙන්නෙ ඒ වගේ අය.

    ReplyDelete
  25. ඔව හොයන්න පත්කරල ඉන්න පාරිභොගික අදිකාරියෙ මහත්වරු මොකක්ද දන්නෙ නැ කියන්නෙ?

    මමත් පොඩි බ්ලොගක් ලියනව.වෙලාවක් තියෙනව නම් කට්ටිය ඇවිත් යන්නකො
    http://damgune.blogspot.com/

    ReplyDelete
  26. පිටකොටු ගේම් ගැන නම් පොතක් ගහන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. පිටකෝටුවේ මාර ඔටුවෝ තමයි ඉන්නේ. වෙලාවකට උනුත් මාරයෝ වගේ තමයි පෙනෙන්නේ.

      Delete
  27. ඇපල් කනවනම් රෝහලක් ගාව පදිංචි වෙන්න කියල මෙයයි ෂෙයාර් කරලා තිබ්බේ ..

    ReplyDelete
  28. සුපිරි වෙළද සැලකින් ගත්තානම් ඔහොම වෙන්නේ නැහැ... :D

    ReplyDelete
  29. දුරට ඇපල්....ලඟට පැපොල්.... යුරෝපයේ ඇපල් පලදාව නෙලාගත් පසු ඒවා Controlled Atmosphere ක්‍රමය යටතේ නයිට්‍රජන් වායුව භාවිතය මගින් මාස 9-12 දක්වා කාලයක් ගබඩා කර ගත හැක. රසේ හෝ වර්ණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.මොවුන් මේ ඇපල් අවම වශයෙන් මාස 10ක් වත් ගබඩාවල තබාගෙන තමයි තොග වෙලඳුන් මගින් සුපර් මාකට් සහ අනිකුත් වෙලඳුන් වෙත යන්නේ. ඔවුන්ටත් අවම වශයෙන් තව දින 10-14 කාලයක් ශීතකරණ තුල මේවා තබාගන්න පුලුවන්. පාරිභෝගිකයා මෙය තවත් දින කිහිපයක් ශීතකරනයේ හෝ එලියේ තියාගෙන කනවා. ශීත රටවල්වල තත්වය මෙසේය. අපේ වගේ රටවල අව්වේ පේමන්ට් එකේ තියාගෙන විකුනන්න තව මොනවා එක් කරනවාද යන්න ගැටළුවකි. ඇපල් යනු 365 දවසේ හැදෙන පලතුරක් නෙවේ. ඒ කාලයට නම් ගස් යට වැටී කුනුවෙන තරමට පලදාවය. සයිඩර් (Cyder) කියන මත්පැන් වර්ගය සාදන්නේ ඇපල් වලින්ය. මා දන්නා ඇපල් වර්ග 50ක් පමනවේ. ඇපල් මෙන්ම මේ විෂයද රසවත්ය. ලිව්වේ රස කැමති අයට විඳින්නටය.

    ReplyDelete
    Replies
    1. මෙහෙ නම් අද උදේ කපුවා හවස කන්න පුළුවන් , අපේ රටේ මිනිස්සු දැනුවත් වෙලා හිටියනම් ඔය දේවල් ගැන ,, ඒ වගේම අපේ රටේම හැදෙන පලතුරු වලට හුරු උනානම් කොච්චර හොදද

      Delete
  30. "ඒ අතරට අර “මල පැන්න කුරුල්ලෝ“ එහෙමත් සෙල්ලං කොරන කොට බ්ලොග් එක ගැන මතක් වෙන්නේ නැති තරං" :D :D මේකනම් හොදම කෑල්ල

    මමත් ඔය වීඩියෝ ඒක දැක්කා. පුදුමත් හිතුනා. අපේ මිනිස්සු රැපියල් සීයකට, කෑමකට කරන වංචාව දැක්කම. මේ වගේ තැන්වලින් ඇපල් ගන්නේ දුප්පත් මිනිස්සු. මේ මිනිස්සුත් ඒ වගේම දුප්පත් අයට කරන අසාධාරනය හරිම කැතයි

    ReplyDelete
  31. මාත් බුකිය නිසා බ්ලොග් වලින් ඇත් වෙලා සෑහෙන්න .. ඔය වීඩියෝව දැක්කා ,, අනේ මන්ද ඒ මිනිස්සුත් වැඩිපුර සල්ලි හොයන්න කියලා කරන දේනේ ,, ලොකු ලොක්කෝ කෝටි ගණන් වංචා කරනවා ලොකු සංවර්ධන ව්‍යාපෘති වලින් ඒවාට මුකුත් කියන්න හොයන්න යන්නේ නැහැ නේ ,,අපිට දැන් කාලේ ජිවත් වෙන්න නම් පුදුම විදියට මිටරෙන් ඉන්න වෙනවා ,,පාරිභෝගිකයා බුද්ධිමත් වෙන එක තමයි කරන්න වෙන්නේ ඕවා නවත්තන්නයැ

    ReplyDelete