02 November 2013

කලකදි ලෙඩ..කලකදි රජ...


ඉස්සර මං බාල සංදියේ උණක් හෙම්බිරිස්සාවක් අසනීපයක් වෙලා පැත්ත දාලා හාන්චි පයිස් වෙලා ඉද්දී ඉතිං මුලින්ම තාත්තගෙන් ලබෙන සාත්තුව තමා කිරිං කැකර් විස්කෝතු පැකට් එකක් එක්කලා ලැබෙන කිරිං සෝඩා බෝතලේ... ඔය දෙක මුලින්ම හම්බ වෙද්දී මං දන්නවා මට බරපතලෙට අසනීප වේගන එනවාය කියන එක... එතකොට ඉතිං මට තියෙන්නේ ඇදේ බිත්තිය පැත්තට හැරිලා ඔළුවේ හිටං පොරොවාගෙන දොයියන්න තමා.. වැරදිලාවත් ඇදෙන් නැගිටලා නටන්න හැදුවොත් ඔන්න දෝස් මුරේ...

හැබැයි ඉතිං ඔය කිව්වට එහෙමට නැගිටලා නටන්න කොරන්න තරං ඇගට සනීපෙකුත් නැහැ ඔය වෙද්දී... ඉතිං ඔන්න කිරිං කැකර්..කිරිං සෝඩා වලින් පස්සේ මට හම්බ වෙනවා තාත්තත් එක්කලා බයිසිකලේ නැගලා පොඩි ටුවර් එකක් යන්ට... තාත්තා බයිසිකලේ පදින ගමන් ලැගේජ් එකේ කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙලා ඉන්න මං හොඳින් ඉන්නවද කියලත් සැරින් සැරේට විපරං කොරලා බලනවා.. එක්කෝ පරණ කතාවක් මොකක් හරි කිය කිය යනවා.. ඒ මං නිදා වැටෙයි කියලා බයට.. කොහොමින් කොහොම හරි ඉතිං අපේ ගමනාන්තේ වෙන්නේ උඩුපිල ග්‍රාමීය රෝහල තමා...

හැබැයි රෝහල කිව්වට මේ යන්නේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්ට නෙවෙයි.. ඉස්පිරිතාල ඉඩමේම පැත්තක තිබුන කුවාටස් එකේ හිටිය ලොකු දොස්තර මහත්තයාගේ බෙහෙත් ගන්ට.. උන්නැහේ හවස් අතේ පිටස්තරින් එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කොරලා කීයක් හරි හොයාගන්නවා.. හැබැයි ඉතිං ඒ ගිනි කන ගණන් නෙවෙයි ඒ කාලේ හැටියට බොහෝම සරල සාධාරණ ගානක්.. මුදලටත් වඩා උන්නුහේ ඒක විනෝදාංසයක් වගේ තමා කලේ... ආගිය තොරතුරු කතා කොර කොර... එහෙම තමා බෙහෙත් හේත් කෙරුනේ... ඒ දවස්වල ඉතිං කොතැන ගියත් එහෙමයි... බාබර් සාප්පුවට ගියත්.. ටේලර් හම්බ වෙන්න ගියත්.. රෙදි නැන්දලයි අහ ගියත්... ඔය කවුරු උනත් ගම හතර වටේ හැම දෙනාවම බොහොම හොදට දැන අදුරං හිටිය හින්දා වග විස්තර කතා කර කර හරියට ගෙදර එහෙකුට සලකන්නැහේ වැඩ කොලේ.. ඔය කියාපු දොස්තර මහත්තයත් එහෙමම හොඳ මනුස්සයා... අපේ මල්ලිටනං ඔය මනුස්සයා දැක්කම ලෙඩ හොඳ වෙන සීන් එහෙකුත් තිබුනා.. :D

උඩුපිල ලොකු දොස්තර මහත්තයා නැති කාල වලට ඉතිං අපි යනවා කන්ද කපාපු හන්දියේ ඩිස්පැන්සරියට.. එහෙමත් නැත්තං වැලිවේරිය පැත්තේ දොස්තර මහත්තයෙකුත් හිටියා තරමක් ප්‍රසිද්ද... ඔය කොහේ ගියත් ඉතිං අර මං කලියෙන් කිව්වා වගේ පුට් බයිසිකලේ තමා ආවේ ගියේ.. ඔය මං කියන කාලේ තිරිවීල් එහෙම ඇහැට දැකලා තිබුනෙත් නැහැ... ටැක්සි පොඩි මහත්තයාගේ මයිනර් එක තමා ඉතිං මොනවට හරි ලොකු ගමනක් යනවනං අහල පහල තිබුන ලොකුම වාහනේ... 

කොහොමින් හරි ඔය යන ගමනින් පස්සේ සුදු පාට කවර දෙක තුනකට හම්බ වෙන එක එක ජාතියේ පෙති ටිකකුයි.. ගෙදරින් ගෙනියන වීදුරු බෝතලේකට රතුපාට මහ කෂඩ රහක් තියෙන බෙහෙත් වතුරකුයි හම්බ වෙනවා.. ඔය අසනිප වෙන සීන් එකේ තියෙන එකම අවුල ඔය කියන මල ජරා බෙහෙත් වතුර එක තමා.. නැත්තං අනිත් ඔක්කෝම අවුලක් නැහැ..:D හැබැයි ඉතිං සමහර දවසකට ඔය කියන බෙහෙත් වතුරට අමතරව කොල පාට වතුර බෝතලේකුත් ලැබෙන අවස්ථා තියෙනවා.. ආන්න එදාටනං ඉතිං මල් මසුරං.. ඒක ඇවිල්ලා බෙහෙත් පැණියක්... පස්සේ කාලෙක මං තේරුං ගත්තා මේක දෙන්නේ කැස්ස හැදුනාම තමා කියලා.. ඒ හින්දා ඉතිං බෙහෙත් දෙන්න කිට්ටු වෙද්දී මට ටිකක් කැස්ස වැඩි වෙනවා... :D කරුමෙට ඉතිං දොස්තර මහත්තයා ප්‍රශ්න අහන වෙලාවට මට කහින්න අමතක වෙනවා... ඉතිං නැවතත් අර රතුපාට වහ වතුර එක විතරයි.. ඇඩෙනවා...

ඉතිං කොහොම හරි ඔයින් පස්සේ දවස් දෙක තුනක් යනකල් අයියෝ.. අම්මේ... අම්මේ.. අයියෝ.. ගගා සනීපෙට කෙඳිරි ගගා බුදියෑමක් තියෙන්නේ.. සනීපෙට කිව්වට ඉතිං මුළු ඇගම තලා දාලා වගේ... නිදාගෙන නිදාගෙන දැන් නින්ද යන්නෙත් නැහැ... මහ රෑට ඇහැරිලා පැය ගානක් ඉන්න වෙද්දි පුදුම අමාරුවක් තියෙන්නේ... ඔය අතරෙත් ඉතිං කිරිං සෝඩා..කිරිං කැකර් තමා ප්‍රධාන ආහාරේ.. හැබැයි ඒ වෙද්දි ඒවත් එපා වේගන එනවා.. ඒ වගේමයි කිසිම රහක් දැනෙන්නේ නැහැ..කට කල් කදුරු තිත්තයි...

ඔන්න ඉතිං අවසානෙදී කොහොම හරි යාන්තං දාඩිය දාලා උණ බැහැලා යන අවස්ථාව ආවම තමා අමාරුම සංගරහය තාත්තගෙන් මට හම්බු වෙන්නේ.. ඒ තමා ලුණු මිරිසුයි බතුයි... රතුළුණු..උම්බලකඩ යහමින් දාලා.. දෙහි ඇඹූල් රහ හොදට වද්දලා හදන ලුණු මිරිස් එක්ක බත් කෑහැකි වෙන වෙලාවකනං.. ඒත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ ඒකත් මරන්නැහේ වැඩක්.. කොහොම හරි එහෙම වේල් දෙකක් විතර පැන්නට පස්සේ ඔන්න මං කැමතිම වේල හම්බ වෙනවා..

ඒ තමා ටිකක් විතර බෙරි වෙන්න උයාපු සුදු බතුත් එක්ක වැටකොළු හොද්ද... වෙනදට වැටකොළු උයනවට වඩා එහෙම දවසට වැටකොළු එකට දාලා තියෙන සුදුළුනූ ප්‍රමාණය එහෙම වැඩියි.. මං ඉතිං බොහෝම ආසාවෙන් වැටකොළු වෑංජනෙත් එක්කලා බත් කන්න පටන් ගන්නවා.. ආන්න ඒ වේල ගත්තට පස්සේ තමා මට දැනෙන්නේ “ඔන්න මට දැන් සනීපයි“ කියලා.. :D

ඔය ලෙඩ වෙලා කෙලින් කටින් වෙද්දී හම්බ වෙන වැටකොළු මාළුවට තියෙන ආසාව හින්දම මගේ කෑම ලයිස්තුවේ වැටකොළු වලට ඒ කාලේ තිබුනේ අංක එකේ ඉස්තානේ තමයි... අසනීපයක් නැති වෙලාවට උනත් තාත්තා වත්ත පිටියේ වැවුව වැටකොළු මැස්සකින් කඩාගත්ත කොළම කොළ පාට ළපටි වැටකොළු උයලා කරවල කෑල්ලක් තෙල් දාලා හදලා දෙන බත් පිඟාන ආයේ ඉතිං මට රාජ බෝජනයක්ම තමා.. ඕකට ඉතිං ආයේ ඔය වෙන වෙන සුකුරුත්තං ඕන නැහැ.. ලුනුයි දෙහියි වගේ ඔය දෙක කැපෙනවා තකට තක...

අද ඉතිං ඔය වැටකොළුව මතක් උනේ වැටකොළු මාළුවක් උයන්න වෙච්ච හින්දම තමා...

මේ ඊයේ පෙරේදා දවසක මට හදිසියේම පිළියන්දල පැත්තට ගෙහුන් එන්න උනා.. ඒ එද්දිඅර පිල්ලෑවද කොහේද කියලා පන්සලක් තියන හරියේ පාර අයියේ කරත්තයක අළුත ගෙනත් බාපු කුරුම්බා වළු වගයක් දැකලා කුරුම්බයක් ගැන පහළ වෙච්ච ආසාව සංසිඳුවාගන්න කියලා එතැනට මංගච්ඡපුවාම තමා දැක්කේ යකෝ එතැන සෝක් එලෝලු ටිකක් තියෙනවා කියලා... හැමදාම පිටෝටුවෙන් හරි එලෝලු ලෑල්ලකින් හරි එලෝලු ගන්නකොට හම්බ වෙන මැරෑටී එළවළු නෙවෙයි. බොහෝම සනීපෙට හැදුන අපූරු එලෝලු ටිකක්... කොහේ හරි කොරටුවකින් කඩං ඇවිත් වග බැලු බැල්මටම පේන්න තිබුනා.. මාත් ඉතිං කුරුම්බා දෙකකුත් අරං අහවර වෙලා හොඳවයින් වැටකොළු කරල් දෙහෙකුත් අර අරගත්තා...

ඉස්සරම ගෙදරදී තාත්තා වත්තේ හදලා උයලා දෙන වැටකොළු වගේ කඩවල් වලින් ගන්න වැටකොළු හරි නැහැ.. කොච්චර නාරටි කඩලා.. පොතු හූරලා.. නැටි මිරිකලා දන්න සිල්ප දාලා ගෙනාවත් ඒ හුගක් ඒවෑ මැද්දෑවේ කොස්ස මෝරලා.. කන්න බැහැ... ඒ හින්දා මං ඔය වැටකොළු කෑම අතෑරලා දාලා තිබුන ගානයි පහුගිය කාලේ...

හැබැයි ඉතිං අපරාදේ කියන්ට බැහැ.. මෙදා පාරනං නියම වැටකොළු ටිකක් හම්බු වෙලා තියෙන්නේ... ගෙනාව දවසෙම රාත්තිරියේ එක කරලක් උයාන කාලා.. අද මේ දෙවැනි එක තමා ඔය උයලා කාලා අහවර වෙලා පොටෝවකුත් දැම්මේ... ඉස්සර ඉතිං ලෙඩ කෑම කියලා කිව්වට දැන්නං මේවා රජ කෑම...

40 comments:

  1. සතුට යනු වැටකොළු කෑම(ලු)

    ReplyDelete
  2. Replies
    1. නොදකින්..බඩා ඉස්සර උනා.. නැත්තං මම මේ ටිකේ හිත හිත හිටියේ ඔය “පක“ ගැන ලියන්න කියලා... :D

      Delete
  3. වැටකොළු නේද,අම්මප මාරයටත් කන්න හිතෙන කෑම. හ්ම්ම් හ්ම්ම් කාල බලපංකො.

    ReplyDelete
  4. // ඔය අසනිප වෙන සීන් එකේ තියෙන එකම අවුල ඔය කියන මල ජරා බෙහෙත් වතුර එක තමා.. නැත්තං අනිත් ඔක්කෝම අවුලක් නැහැ..:D//

    ඇත්තමයි මටත් ඔය පැණියේ තියන ජරා රහමයි එපා වෙන්නේ...

    වැටකොළු අපේ සත්තලන්ගේ ආසම කෑමක්....හොඳට කිරි දාලා රසට හැදුවම වැටකොළු රසයි..ඔය වැටකොළු තෝරද්දි වයිබ්‍රෙට් වෙනවද කියලා හොල්ලලා බලලා හෙම නේද ගන්නේ...මෝරලා නැත්තන් දාර නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙන්නත් ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඈහ්???
      එතකොට වයිබ්‍රේට් වෙන ඒවද ගන්නේ නොවෙන ඒවද?

      Delete
    2. වයිබ්‍රේට් වෙන්නෑ කියන්නේ මෝරලා :D

      Delete
    3. මෙහෙම එකක් ඇහුවෙ අද ම නේ!

      Delete
    4. මොනවද අප්පා මේ ගෑණු ළමයි කියන 18+ කතා.

      Delete
  5. මගෙත් ළමා කාළය වගේම අසනීපයෙන් හිටි අවස්ථාත් සිහියට ආවා. ඒ වගේම වැටකොළු හොද්දක් කන්න දොල දුකකුත් පහල උනා. මට මතකයි ඉස්සර උදේට අපි හොඳ වැටකොළු හොද්දකුයි පොල් සම්බෝලයි එක්ක සුදු හාලේ බත් කනවා. ඔබට ජය!!!

    ReplyDelete
  6. වෙද මහත්තයාගේ කෑමක් නෙව...මාත් බෝම මනාප කෑමක් තමා...

    ReplyDelete
  7. වැටකොළු හුගක් ලාවට අලුත් පිට නං හොදයි නැත්තං ඉතින් කනවට වඩා හොදා නොකාම ඉන්නවා ... අපිත් වවලා තිබ්බා වැටකොළු වැලක් ... පුංචි සත්තුන්ගෙන් තමා බේරගන්ඩ බැරි ., යාන්තන් පැහිගෙන එනකොට විදිනවා ...

    ReplyDelete
  8. ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා

    ( මම නෙවේ කිව්වෙ අන්දරේ ..ගනුදෙනුවක් එතුමා එක්ක බේරගන්නව හොදයි න්ගාලට මල විකසිත උනොත්. )

    ReplyDelete
  9. අපි පොඩි කාලේ ගියේ බියගම ඉස්පිරිතාලේ [දැන් හොස්පිටල් වුනාට ඒ කාලේ කිව්වේ එහෙමයි ] ලොකු මහත්තය ලඟට . ඔයවගේම නිලනිවාසේ දිස්පැන්සරියක් කළා . හරිම කරුණාවන්තයි. අපේ අම්මත් කියන්නේ නිකන් කතා කල ගමන් ලෙඩ සනීපයි කියල. ඇත්ත තමයි ලෙඩට බෙහෙත්ට වඩා ඕන කාරුණික බව. අපි අදත් ආදරයෙන් සිහි කරන කෙනෙක් .
    පස්සේ කාලෙක එයාගෙම ගෙදර බෙහෙත් දුන්න . වැඩි වයසක් නැතුවම මිය ගිය බවයි ආරංචි වුනේ.

    ඇත්තටම මාර්ස් බොලා අපිට වඩා අවුරුදු හතාටක් නැත්තන් ඊටත් වඩා බාලයිනේ . එතකොට ඔය අවුරුදු දහයක් තිස්සෙම ඔය පැණි ජාති දෙකමද දුන්නේ ...අපිට දුන්නෙත් ඔව්වමනේ .

    අපේ ගෙදර මන් තමා කන්න හොරම. පතෝල වැටකොළු පේන්න බැහැ . දැන් නම් ඔය ගුණ ගැන හිතල කනවා ..මෙහෙ වැටකොළු නැහැ. පතෝලත් ඇබින්දන් ..අඟල් හතර පහකට වඩා දිග නැහැ. මෙයාල හදන්නේ පතෝල සුප් ..ඈක්

    ReplyDelete
  10. මටත් අසනීපයක් උනාම තාත්ත තමයි හැමදාම ළඟ හිටියේ..එයා නැති දාකට සහන් කියල කෙනෙකුත් නැහැ..

    ReplyDelete
  11. අපෝ වැටකොළු.. මම නම් ඔය ලෙඩ කේස් එක නිසාම වැටකොළු එපා වෙලා අතැරලා දාල තියන්නේ. ඊට එහා පැත්තේ තියන එක නම් එල වගේ.
    අහ කියන එක ක්ලික් උනේ අද තමයි. මූනුපොතේ එකක් තිබ්බ "අද මම අක්කලහේ ආව. නුවර" කියල. මම බැලුව යකෝ නුවර කොහෙද අක්කලහ කියල ගමක් තියන්නේ කියල. බලද්දී මූ කියල තියන්නේ අක්කලාගේ දිහා කියන එක.

    ReplyDelete

  12. නිස්ටඹුවේ (උඹේ වචනේ) ඉන්න එකා උඩුපිල පොලට එන්නේ මොකෝ?

    ඒක පැත්තකිං තියහංකෝ. අර උඹ කියන රතුපාට බේත නම මහම වහතු රහක් තියෙන්නේ නේද බං. දැං අහන්නෙපා වහතු රහ මොනවගේද කියලා. ඒක මතක් වෙනකොටත් අප්පිරියයි.

    උඹ අසනීපෙන් ඉඳලා සනීප වෙනකොට කාපු වැටකොලු වලට පෙම්බැන්දට, මට නම් ඉස්සර වැටකොලු පේන්න බෑ බං. ඒකට හේතුව ඒක කනකොට අර අසනීපෙ මතක් වෙන එක. ඒත් දැන් නම් හරි ආසයි. ඉස්සර පේන්න බැරි කෑම දැන් රසකරකර කන්නේ.

    මෙහෙ තියෙනවා මාරේ වැටකොලු රහම ජාතියක් ඒකේ දාර නෑ. මුං ඒකට කියන්නේ තොලි කියලා. ලංකාවෙන් පාරේ වැඩ කරන්න ආපු පොරක් මාත් එක්ක කිව්වා ඕක හේන් වල වැවෙන ජාතියක්ලු නියං වැටකොලු කියලා. හැබැයි මම ලංකාවෙදි ඩහෙකලාවත් නෑ ඒවා.

    ReplyDelete
    Replies
    1. නිස්ටඹුව මගේ ගම නෙවෙයි හෙන්රි අයියා..පහුගිය කාලේ ඇන්කර් ගහං හිටිය දිහාව විතරයි... එහෙම රස්සාවල් අනං මනං කොර කොර හිටිය පැති ගම උනානං මං මෙලාට ගං ගොඩක අයිතිකාරයෙක්.. :D

      “වහතු රහ“... :D ඇත්තටම මම ඔය නම තමා මුලින්ම ලියන්න ගියේ.. ලියලත් මැකුවා තොපි අහයි කියලා ඕකේ තේරුම.. :D හරියටම හරි.. ඒක තමා රහ...

      එහෙම කේස් එකක් මටත් තියෙනවා.. පුංචිම කාලේ කාපු පැණිරස පස්සේ කාලෙක පේන්න බැරිව ගියා.. කොලුවා කාලේ කාපු සැර සැර කෑම දැන් මේ තලතුනා වීගෙන යද්දි ඒ හැටි රුචියක් ඇති කරවන්නේ නැහැ... හනේ මංදා...

      ඔය කියන්නේ හේන් වැටකොළු.. එහෙම නැත්තං නියං වැටකොළු කියලා හදුන්වන ටිකක් විතර පුහුල් පාටට තියෙන වැටකොළු වර්ගය.. ඕක මෙහෙ තියෙනවා..මංනං දෙතුන් විඩයක් කාලත් තියෙනවා.. හැබැයි මටනං මේක තරං ඒක අල්ලලා ගියේ නැහැ...

      Delete
    2. මාරේ උඹ ඔය වැටකොලු දාර වෙනම එකතු කරලා තෙල්දාලා කාලා තියෙනවද? උම්බලකඩ ටිකක් හෙම දාන්න ඕනේ.

      Delete
    3. නෑ නේද මාරේ. ඒක දිය වැටකොළු වෙන්න ඕනේ. මම දැක්කා ගිය පාර මගේ ඉඩමෙත් ඒවා තියෙනවා. මේකට නම් ෆොටෝ අප්ලෝඩ් කරන්න දන්නේ නෑ ෆේස් බුක් එකේ නම් ඒවා දාන්නම්. දිය වැටකොළු හැදෙන්නේ වැල ගොඩක් උස ගස් වලට යවන්නේ. සාමාන්ය වැටකොළු වගේ මැස්සකට හෝ පාත්තියක නෙමෙයි. මම පොඩි කාලේ කාලාත් තියෙනවා. වැටකොළු තරම් රස නෑ හින්දා දිය වැටකොළු කියනවා වගෙ අතමයි මතක. හේන් වැටකොළු කියන්නේ අර රාජ් කීවා වගේ කැලේ වැවෙන වැටකොළු වෙන්න ඕනේ. මම තනමල්විලදි එහෙම ඒවා දැක්කා. ඒකේ දාර තිබුනා.

      Delete
  13. ඉස්සර වගේ වැටකොලුරහ නැ , උයන්ඩ න්නැති කමද , වැටකොලු හරි නැති කමද අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. නැත්නම් අරක්කු වලට දිවේ රසාංකුර මැරිලාද දන්නේ නෑ.

      Delete
  14. දසදාර ගැනනේ ඔහේ ඔය කියන්නේ.

    කන්නට ආසලු ඉඳහිට වැටකොළු අක්කා ......

    මම නම් අන්ටිලාට දසදාර තමා කන්න දුන්නේ. පොඩි කොල්ලන්ටත් දුන්නා. මගේ ආතල් එක තමා තැනක් නොතැනක් නැතිව බඩු ගහපුවා, කොල්ලො ගහපුවා ආඩම්බරයෙන් කියා ඇවිදින එක. වයසට ගියේ නිකන් කැප්පෙටියා කොළ පැහේන්නහේ නේ.

    මම ගොන්ජි, පජාන් වලින්

    ReplyDelete
  15. පෙරයිද ගෙදර ගියාම තාත්ත කිව්වා වැටකොලු කිලෝව රුපියල් විස්සට යන්නෙ කියලා.. මං හිතන්නෙ වැටකොලු මිල අඩුවෙලා..
    දැන් තියෙන වැටකොලු ඔක්කොම තායි හෝ ඉන්ඩියන් ඇට වලිං හැදුන ඒවා.. පිටින් බලලා මෝරපුවා තෝරාන්ට ටිකක් අමාරුයි..
    අපේ මැහි වල නම් මෝරපුවා සෙට් වෙනවා අඩුයි. අපි සතියට දෙතුං වංගියක් වැටකොලු කඩනවා.. එතකොට මෝරන්න ඉතුරු වෙන් නැහැ..
    හැබැයි කරල ලොකු වුනාම බර ැවඩි වෙනව නිසා ගොයියො වැටකොලු කරල් ඉතිරි කරනවාත් ඇති..

    ReplyDelete
  16. යකෝ බොලගේ අප්පොච්ච බොලාට උණ බස්සගන්න මාර ට්‍රීට්මන්ට් එකක්නෙ දීල තියෙන්නෙ. මට මේක කියෝනකොට මතක් උනේ මට සෙංගමාලෙ හැදිල ඉන්දැද්දි අපේ මාම කාරය (අම්මගෙ අයිය, පොර ආයුර්වේද වෙදෙක්) කහත් නැති මිරිසුත් නැති පතෝල හොදි හදල කවපු එක. :D

    දැං ගොඩක් එලෝළු වල නියම රහ නැතිවෙන්නෙ ඕවට ගහන එක එක බෙහෙත් ජාති නිසා. එහෙම නැතුව කොටුවකින් කඩාගන්න ඒවනං රහයි තමයි.

    ReplyDelete
  17. මට නම් ඔය පතෝල වැටකොළු වහ වගේ. කරවල බැදුමනම් පංකාදු පාටයි.

    ReplyDelete
  18. වැටකොළු දාර ටික ලුණු වතුරෙන් තම්බලා ගත්තාමත් මරු.

    ReplyDelete
  19. මටත් ඕවා ලෙඩ උනාම කවන්න හදනවා ඒත් මට කන්න අමාරුම එව්වැයින් එකක්. (ඒ කාලේ)

    බෝඩිමේ නතරවෙලා අවුරුද්දක් දෙකක් ගතවෙන මේ කාලේ ඔය හැම ජාතියම කාලා දැනනම් කිසි අවුලක් නැතුව කනවා

    ReplyDelete
  20. මුට ලෙඩ උනාම කවන්න යන අපිට වෙනම අමාරුවක් හැදෙනවා කියලා තමයි අපේ ගෙදර අය මම අසනීප උනාම පැවසුවේ

    ReplyDelete
  21. ලෙඩ වෙලා ඉන්න කොට අපේ ගෙදරත් ඔය ටිකම තමයි. තව.... හුලං විස්කෝතුත් වරදින්නෙම නෑ. විනාකිරි දාපු පැලැස්තරයක් දාගෙන ඉන්න උනොත් තමයි අමාරුම වැඩේ.

    වැටකොළු ගැන කිව්වහමයි මතක් උනේ... වැටකොළු දාර තම්බලා පොල් එක්ක කෑවහමත් හරිම රහයි..

    ReplyDelete
  22. වැටකොලු මරු කැම නෙ.මම අහල තියෙනව තායි රෙස්ටුරන්ට් වල වැටකොලු බයිට් එකට හදල දෙනවලු.සුපිරි කියල තමයි අහල තියෙන්නෙ.කාල නැ.රත්නපුරෙ තියෙනවලු.

    ReplyDelete
  23. ලංකාවෙන් පිට ආවම ඕවා සෑහෙන වටින කෑම වෙනවා මාරයියේ.. ඊයේ බුකියේ මේ ෆොටෝ එක දැක්කම මට මතක් වුනෙත් එක.. මෙයා වෙනී අයියගේ පොශ් කෑම වගේද මේවා කියලා දාලා තියෙද්දී..

    ReplyDelete
  24. මගේ නම් කවර කලෙකත් ප්‍රියතම කෑමක් වැටකොළු පතෝල බන්ඩක්කා හා එකී නොකී ගමේ එළවළු. ඉස්සර මටයි අපේ අයියටයි වැටකොළු පාත්තියකුත් තිබුනා. අයියා ඕ ලෙවල් කරන කාලේ. මගෙ හවුල උනේ මම තමයි හවසට එයා නැති වෙලාවට කුරුල්ලෝ එලවන්නේ. වතුර දැම්මේ පාත්ති කෙටුවෙ කොහොමත් අම්මා. ඒත් අයිතිය නම් අයියගේ. සල්ලිත් එයාට.
    කොයි කෑමත් වගේ ලංකාවේ කෑම කඩෙන් අරන් මෙහෙදි කන සිරිතක් මට නෑ. හේතුව ඕවා හදන්න අමාරුකම. ඒත් ලංකාවට ගියාම නම් දවසගානෙම වගෙ වැටකොළු කනවා. මගෙ යාළුවෙක් කාබනික ගොවිපලක් හදනවා ලංකාවේ එහෙ ගිහින් මම කොළඹත් අරන් ආවා. ඒ වැටකොළු හරිම රසට තිබුනා.
    මේ ඊයේ පෙරේදා මගෙ ඔෆීස් එක ඉන්දියන් කඩේක කොළ පාට වට්ටක්කා තීයනවා දැකලා ගියාම වට්ටක්කා විතරක් නෙමෙයි පතෝල, බන්ඩක්කා, කරවිල, වැටකොළුත් තිබුනා හරිම ලාබෙට.මෙහෙම වගා කරලා. යන්න හිටියට තාම යන්න ලැබුනේ නෑ හෙට අනිද්දට ගේන්න ඕනේ.

    ReplyDelete
  25. අටම් අයිය කිව්වවගේ දැන්තියෙන වැටකොලු පතෝල මෙලෝ රහක් නැහැනේ.ඉස්සරනම් මම ඕවාට එච්චර ආස නැහැ.දැන්නම් ගුණනිසා කනවා. දැන්ඉන්න හාමිනේලා ඕවා හදන්න දන්නෙත් නැහැනෙ හරියට.

    ReplyDelete
  26. මමනම් එලවළුවක් කියලා කන්නේ බෝන්චි සහ කැරට් විතරයි. පතෝල, වැටකොළු, බන්ඩක්කා, බටු, වගේ දේවල් නම් පේන්න බැහැ. අනිත් එක තමයි පොලොස් සහ කොස්.... මටනම් කිසිම රහක් නැහැ.

    ReplyDelete
  27. \\\\මාත් ඉතිං කුරුම්බා දෙකකුත් අරං අහවර වෙලා හොඳවයින් වැටකොළු කරල් දෙහෙකුත් අර අරගත්තා...\\\\

    ආ බන් මාරයෝ..මොකෝ මේ හැම එකෙන්ම දෙක..දෙක ගන්නේ. අපිට හොරෙන් පෙලවහක්වත් කර ගත්තැයි? නැත්තම් අර ...........(එක්කෝ ඕනෙ නැහැ...!)

    ReplyDelete
  28. කියවද්දීත් කටට කෙල ඉනුවා. ඇත්තටම රස ලපටි වැටකොළු තමා. ඒත් දැන් කඩෙන් ගෙනත් දවසක් යන්න කලින් මෝරනවානේ. අපිට නම් ඉතින් මෝරපු එකක්වත් කන්න තවත් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. ඒක නිසාම මේ ෆොටෝ එක දිහා බලල බඩ පුරෝගන්නවා. :D

    ReplyDelete
  29. අර රෝස පාට වතුර බෙහෙත නම් වහතු රහම තමයි. කොලපාට ලැබුනොත් බෝනස් තමයි. ඉස්සර ඕවා දාලා දෙන්න කට්ට බෝතල් තිබුනා. කට්ටයක් උදේට කට්ටයක් දවල්ට වශයෙන් තමයි ලැබෙන්නේ.

    වැටකොළු පෙති සීසන් කරලා....ත්‍රිපෝශ වලින් ක්‍රම්බ් කරලා බැදලා ඉව්වාම රසයි.

    ReplyDelete
  30. eth mara tumo mata awrudu 3e di mage piya thuma nethi una. Eda idan laga unne maw thumiya thama eukata sepata 2 tama

    ReplyDelete