13 November 2013

ගෑණිව දෙනවද යාළුවට ගෙනියන්න..?

මේකත් මේ බ්ලොග් එක සඳහා ලිව්ව එකක් නෙවෙයි... මූණු පොතේ කමෙන්ටුවක් හැටියට කොටාපු එකක්... ටිකක් දිගට ලිය වෙච්ච හින්දා සහ පොදුවේ කිව හැකි කතාවක් හින්දා කෝකටත් තෛලේ වගේ තියෙන බ්ලොග් එකෙත් අලෝලා දාන්න හිතුවා...

මේකට අදාල නිමිත්ත උනේ අපේ හිතවත් බ්ලොග්කරුවෙකුගේ උවමනාවක් මත දවස් කිහිපයකට කැමරාවක් හොයා ගන්න දාපු ස්ටේටස් එකක්... මං ඕකට පැටළුනේ අපේ තවත් බ්ලොග්කරුවකු වන ගිනිගෝරිස් කෙනෙක් මාව ඒකට ටැග් කරලා තිබුන හින්දා...

ඉතිං මේ ස්ටේටස් එකට අපි කාගෙත් හිතවත්  මල්ලි කෙනෙක් කියලා තිබුනා මෙහෙම කතාවක්...


//මංනම් හිතන්නැ අයියෙ හම්බෙයි කියලා. ඔනිමනම් Camera Lk එකෙන් බද්දට අරන් යන්න. ඒක ලාබයි + හිතටත් හොඳයි//


හැබැයි ඒ කියලා ටිකකින් ස්ටේටස් එක දාපු මල්ලියට තවත් බ්ලොග් ලියන සහෝදරියක් විසින් කැමරාවක් දෙන්න පොරොන්දු වෙලා තිබුනා.. එයිටත් පස්සේ තමා අපේ ගිනිගෝරිසා නිකං ඉන්න බැරිවට මාවයි අර මේ දවස්වල අසනීපෙකට කටු පිටින් කොහිල කකා ඉන්න නියම වෙච්ච වෙනී අයියවයි පටලෝලා මෙහෙම කියලා තිබුනේ..


// මාරයා අළුතින් එකක් අරන්... **** අයියා ගාවත් තියෙනවා.. ණයට ඕන නෑ... තියා ගන්නම ගන්න.... චතුෂ තුෂර කුමාර **** ****//


එයින් පස්සේ ඉතිං ගිනිගෝරිස් අයියගේ විහිළුවට මං මෙහෙම කිව්වා...
//අඩේ XXX අයියා..අයියා සෝයි.. ලබන පාර අපේ ගමේ දන්සලක් තියේ.. අයියා එන්ටකෝ දානේ බෙදන්න...//

විහිළුවට ඉතිං විහිළුවෙන්ම එපෑ උත්තර දෙන්න... ඒත් ඒ කරලා ආයෙම මට පස්සේ හිතුනා මුලින්ම ස්ටේටස් එක දැක්ක වෙලේ හිතට ආව එකම ලියලා දාන්න ඕන කියලා.. මොකද විහිළු තහළු පැත්තක තියෙද්දී මෙහෙම අවස්ථාවක අපි හැමෝම පත්වෙන තත්වේ බොහෝ දුරට පොදු අත්දැකීමක් වෙන හින්දා... මේ තියෙන්නේ එයින් පස්සේ මං කොටාපු කොමෙන්ටුව... ආයේ ඉතිං මහන්සි වෙලා යුනිකෝඩ් තොග ගානට කොටපුවා නිකංම නිකං මාක් සකරබරග්ගේ කාලයේ වැලිතලාවට යට වෙලා යන්න නොදී මෙහෙම හරි ඉතිරි කර ගන්න එපෑ හදිසියකදී හොයා ගන්න...

-----------------
-----------------

XXXගේ කොමෙන්ටුව විහිළුවක් හින්දා ඒක පැත්තකට දාමු... ** අයියට අර්ෂශ් හින්දා ඒ කියන කතාත් පැත්තකට දාමු.. :D


ඒත් මේ කාරණාව ගැන තව වචනයක් ලියන්න ඕන කියලා හිතුනේ මුලින්ම @@ගේ කොමෙන්ටුව දැක්ක වෙලේ තමා.. ඒත් පහළට එද්දී XXX අපිවත් ගාවලා දාලා තිබුන කොමෙන්ටුව හින්දා මං කියන්න ගිය දේ නොකියා නිකං හිටියා... ඒත් දැන්නං හිතෙනවා මුලින් හිතපු දේ කිවුවට වරදක් නැහැ කියලා...

මේක මේ  ###  මල්ලිට පෞද්ගලිකව කියන දෙයක් නෙවෙයි.. සාමාන්‍යයෙන් රටේ තොටේ පවතින තත්වේ අනුව මං දකින විදිය...

කැමරාවක් නෙවෙයි වෙන ඕනම දෙයක් උනත් තවත් කෙනෙකුට දෙනකොට ඒකේ අයිතිකාරයාට හිතන්න දේවල් සෑහෙන්න තියෙනවා... මං හිතන්නේ මං ඒවා එකින් එක අරං පැහැදිලි කරන්න උවමනා වෙන එකක් නැහැ.. ජීවිත කාලෙදි එකම එක වතාවක් හෝ කාට හරි බඩුවක් මුට්ටුවක්.. ණයක් තුරහක් දීලා මට්ටු නොවිච්ච එකෙක් ඉන්නවනං ඔහු හෝ ඇය ඉතාමත් වාසනාවන්ත කෙනෙක්... ඒත් කරුමෙට අපි වැඩිහරියටකට තියෙන්නේ ඕකේ නරක අත්දැකීම... ඒ කියන්නේ දුන්න දේ වෙලාවට ආපහු නොලැබීම... ගත්ත දේට හානි කරලා අන්තිමට සමහර විට කෑලි ටික විතරක් ලැබීම... වගේ දේවල් වීමේ අත් දැකීම හරිම සාමාන්‍ය දෙයක්... ඔකේ හොඳම ආතල් එක තමා සමහර විට දුන්න දේ කඩලා ආපහු දෙනවා මදිවට බැනලත් යනවා කැඩිච්ච එකක් දුන්නා හරි කැඩෙනවා කියලා දැන දැන දුන්නා හරි කියලා.. බොහෝම වෙලාවට යාළුකමත් එතැනින්ම ඉවරයි... ඔය වගේ අත්දැකීම් හින්දා  ගෙදර එහෙකුටවත් දෙයක් දෙද්දී ඒකේ ආසාව අතෑරලා මිසක් දෙන්න ලේසි නැහැ...

කැමරාවක් කියන්නේ අපි බහුතරේකට සරල දෙයක් නෙවෙයි... බොහෝම අමාරුවෙන් සල්ලි එකතු කරලා.. අතේ තියෙන මුදලට ගත හැකි උපරිම තරමේ එකක් කල් යල් බලලා පෙරුම් පුරලා ගත්ත උන් තමා වැඩියෙන් ඉන්නේ... එහෙම දෙයක් එක පාරට දීලා දාන්න මං හිතන්නේ නැහැ කැමරාවකට ආදරේ කරන එකෙකුට ලේසියෙන් පුළුවන් කියලා... තමනුත් යන ගමනකදී හෝ.. තමුන් ලග තියෙන් හොදම එක ඇර දෙවැනියට තියෙන එකක් වගේ එකක්නං හිත හදාගෙන දෙන්න පුළුවන් වෙයි.. ඒත් සන්තකේටම තියෙන එක එහෙම දෙන්න පුළුවන්නං ඒක සෑහෙන ලොකු හිතේ හයියක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්.. මෙතනදී +++ගේ ඉදිරිපත්වීම ගැන සෑහෙන්න ප්‍රශංසා කරන්න පුළුවන් වෙන්නේ එහෙම තත්වයක් තියෙන හින්දා.. නමුත් පොදුවේ ගත්තම @@යගේ කියමන තමා යථාර්ථය වෙන්නේ...

පෞද්ගලිකව ගත්තොත් මංනං ඇත්තටම කිසිම කෙනෙකුට මං පාවිච්චි කරන දෙයක් ආසාව අතෑරලා දෙන්න පුළුන්නං මිස දෙන්නේ නැහැ... ඒ මට ජීවිත කාලෙදි ලැබුන අත්දැකීම් හින්දා... මං ඔය දවස් දෙක තුනකට කලින් ගත්ත කැමරාව ගන්න මහන්සි වෙච්ච තරමේ හැටියට.. (ඒක ලොකු ගානක් නොවුනත් මගේ හැටියට ඒක ලොකු ගානක්) මට ඒක කරන්න හිතෙන්නෙවත් නැහැ.. මොකද ඒකට කෙල උනොත් මං දන්නවා තව අවුරුද්දකටවත් මට එහෙම දෙයක් ගැන හිතන්න වෙන්නේ නැහැ කියලා... පහුගිය ටිකේ මං ඇවිදින්නවත් ගියේ නැත්තේ ලග තිබුන කැමරාවෙන් එක දිගට පොටෝ ගහන්න බැරි තත්වේ දෝෂයක් ආව හින්දා.. හැබැයි දැන් මේක තියෙන හින්දා අර කලින් එකේ ආසාව අතාරින එක ලොකු දෙයක් නෙවෙයි... ඒ හින්දා කැමරාව ගෙනත් මුලින්ම ඒකේ පැකින් කඩන්නත් කලින් මුලින්ම කල වැඩේ තමා කැමරාවක් නැති.. ඒත් මං වගේම ඇවිදින්න කරන්න කැමති... ෆෝන් කට්ටේ ආධාරයෙන්  පොටෝ අල්ල අල්ල යන හිතවත් මල්ලි කෙනෙකුට ඒක දෙන්නං තියෙන දෝෂය හදා ගනින් කියලා දැනුම් දීලා හිටිය එක... එහෙම තමන්ට උවමනා නැති දේ තව කෙනෙකුට ආසාව අතෑරලා දීලාම දාන එක ප්‍රශ්නයක් නොවුනට කොහොමද බංස්ලා බොහොම අමාරුවෙන් පරිස්සමට තියං ඉන්න දෙයක් ආ මේං කියලා දීලා දාන්නේ..?

ඕවා කියං යද්දි මට මතක් වෙන්නේ ජීවිතේ අවස්ථා දෙකකදී මට අහන්න ලැබුන කතාවක්... අවස්ථා දෙක තමා පොලිසියේ සහ ගුවන් හමුදාවේ යන දෙකේම අවි පුහුණුවට කලින් ලැබුන දේශනාවේ කොටසක් වෙච්ච තමන්ගේ පුද්ගලික අවිය රැක බලා ගැනීම ගැන කියද්ද අනිවාර්යයෙන්ම කියන කෑල්ල...

 “තොපේ ගෑණිව තොපි දෙනවද එක එකාට ගෙනියන්න.. අල්ලලා බලන්න... දවසක් තියා ගන්න.. ගමනක් ගිහින් එනකල් තියාගෙන ආවම දෙන්න කියලා... එහෙම දෙනවනං තමන්ගේ අවියත් කාට හරි දුන්නට කමක් නැහැ.. එහෙම දෙන්නේ නැත්තං මතක තියා ගනිල්ලා මේකත් එක එකාට දෙන්න යන්න එපා... මේ තමා අද ඉදන් උඹලගේ ගෑණි.. ගැණී එක එකාට දීලා අන්තිමට කෙලවගෙන එන්න එපා“

කැමරාව කියන්නේ තුවක්කුවක් නොවුනත්.. තමන්ගේ ගෑණි නොවුනත් ඒ ක්ෂේත්‍රයට ආදරේ කරන එකාට ගෑණි වගේම වටින දෙයක්... ඒක තමා අවසානෙට කියන්න තියෙන්නේ...

(ආයෙමත් කියන්නේ මේක ### ට පෞද්ගලිකව ගන්න කියාපු දෙයක් නෙවෙයි... මේ වගේ තැනකදී මිනිස්සුන්ගේ පැති ගැන සාමාන්‍ය සරල තත්වය ගැන ලියපු සටහනක් විතරයි..)

33 comments:

  1. Replies
    1. උඹ කියන කතාව සහතික ඇත්ත. කවුරු උනත් තමංගෙ බඩුවකට ආදරේ කරනවනං ඒක කොච්චර ළඟින් ආස්සරේ කරන කෙනෙකුට උනත් දෙන්න හිත හදාගන්න අමාරුයි. මාත් ඕයවගේ දේවල් වලින් මට්ටු වෙලා තියෙනව.
      සමහරවිට නොදී හිටියත් ඌ මහ කුණෙක් කියල හිතන්න ඉඩ තියෙනව උනත් ඌ ගාව ඒ දේ තිබුණනං ඌ කරන්නෙත් ඒ දේම තමයි.

      Delete
  2. පැහැදිලි කතාව මම මීට කලින් සැරේ ලංකාවට යද්දී අරන් ගිය සයිබර්ශෝට් එකක් නයට අපේ පවුලේම කෙනෙක්ගෙන් එක දුන්නෙත් කණු කුණු ගොඩක් කියවල. ලංකාවට ගියාම එක මාමගේ දුවෙක් ඉල්ලුව දවසකට ගෙනත් දුන්නේ ෆොටෝ ගන්න ඔබන බොත්තමේ පතුරු යවල අදකාලේ කෙල්ලොන්ගේ නියපොතු තියෙනවනේ. (මොකටද කියල තමයි මම හිතන්නේ) අන්තිමේ කුණු ඔක්කොම ගියේ මගේ කර පිටින්. ආයේ මම ඉල්ලන්න ගියෙත් නැහැ එයාල දෙන්න ආවෙත් නැහැ. මාස 10කින් විතර DSLR අරන්ගත්තා මගේ පාවිච්චියට. මේ වෙනකොට අවුරුද්දත් පන්නල එක අරගෙන අම්ම ඇරෙන්න කිසිම කෙනෙක්ට දීල නැහැ.

    ReplyDelete
  3. කැමරාවකටත් සිටිය යුත්තේ විශ්වාසවන්ත එක සහකරුවෙක් පමණයි....

    ReplyDelete
    Replies
    1. හෙල්මට් එකක්, රේන් කොට් එකක් වගේ නැද්ද වෙන විකල්පයක්.....

      Delete
  4. ඉස්සර අපේ පැත්තේ හිටියා කෙනෙක් එයා එයාගේ සයිකලේට ගොඩක් ආදරෙයි , දරුවෙක්ටවත් පදින්න දෙනෙන් නැහැ.. රීම් දෙක හැමදාම දිලිසෙන්න පිහදාලා ගේ ඇතුලට දාන්නේ.. වැස්සොත් එලියට ගන්නෙවත් නැහැ .. ඒත් එක දවසක් කඩේකට බඩුගන්න ගිහින් එලියට එද්දී ඒක නැති වෙලා ,, එයා එතන ඉදන් කිවුවලු ,, ගෙනිච්ච එකා ගෙනිච්චට කමක් නැහැ වලවල් වල දාලා රීම් එක බකල් වෙයිද දන්නේ නැහැ කියලා

    ReplyDelete
    Replies
    1. අපේ ලොකු තාත්ත කෙනෙක් ඉන්නවා මිනිහත් ඔය වගේමයි. හප්පේ.... රීම් දෙක මූණ පේනවා කන්නාඩිය වගෙයි කොල්ලෙක්ගේ බයිසිකලයක්වත් නැහැ එච්චර නීට්

      Delete
    2. හ්ම්ම් එහෙම සයිකලේට ආදරේ කළා මගේ තාත්තත් .. සමහරු එහෙමනේ කෝරලේ මහත්තයෝ ,, මගේ ලැප් එකේ කී බෝර්ඩ් එක අස්සෙන් පොඩි පොඩි සත්තු කුබී එහෙමත් ඉන්නවා ,, කාපු බීපු වල කුඩු ඔක්කොම මේකෙනේ

      Delete
  5. ඔය කතාව ඇතුලෙ තියෙන අභ්‍යන්තරය නොදැන ඕවට හා හූ ගාන්න බෑ... :D

    ReplyDelete
    Replies
    1. මමමයි.. පරණ එකවුන්ට් එකක්...P

      Delete
  6. සාමාන්‍ය ඩිජිටල් කැමරාව නම් යාලුවෙකුට දුන්නට කමක් නැහැ.. DSLR එකක් නම් දෙන්න ඕනේ ඒ ගැන දන්න කෙනෙකුට විතරයි.. කොහොමත් ඉතින් සබ්ජෙක්ට් එක නොදන්න කෙනෙක්ට පොටෝ ගහන්න බැහැනේ DSLR එහෙකින්.

    ReplyDelete
  7. මේකෙන් තේරෙනව නේද ගෑනු කෙනෙක් කොච්චර වටිනව ද කියලා? ඒක නෙ එහෙම සමාන කරල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. වැරදි වැරදි එක නෙවේ හේතුව. දීලා ගත්තට පස්සේ කලිං තිබ්බා වගේ නෙවේ ..එකයි

      Delete
  8. කැමරාවට පමණක් නොවෙයි ෆ්ලෑෂ්, ලෙන්ස්, කැමරා බෑග් ඇතුළු සියලුම කැමරා උපකරණ වලට සිටිය යුත්තේ එක් අයිතිකාරයෙක් පමණයි.

    ReplyDelete
  9. අඩේ මාරයියේ අර කැමරා එල්කේ එක එතකොට බඩුපොට් එකක්නේව දෙයියනේ

    ඒ කොහොම වෙතත් මාරයියා කියල තියෙන්නේ දෙයියම්පා ඇත්ත... මෙතන කැමරාව ප්‍රධාන නළුවා උනාට, මෙවැනිම අනෙකුත් හැම කතන්දරයකටම අන්තිමෙදි අත්වෙන ඉරනම මෙහෙම නොවුනොත් අර කවුද වියසිඳුරෙන් කොහේද බැලුව වගේ නෙවද...

    ReplyDelete
  10. නැත්නම් නැති විදියට ඉන්නවා මිසක්. එක එකාගෙන් ඉල්ලන එකයි. ණයට අරගන්න එකයි.. අපේ මහ ගොබ්බ ගතියක්...

    ReplyDelete
  11. මගේ දැනට පාවිච්චි කරන කැමරාව ගෙනාපු දවස් වලම මගේ අතිජාත මිත්‍රයෙක් ඕන අත ගගා හිටියා..මගෙත් ඉතින් හිත හොඳ කමට දුන්නා ඔන්න ඔහේ කුතුහලයට නෙ බලන්නෙ කියලා..ටිකකින් මේක ඔන් කරලා කරකවන්න තියෙන එව්වත් කරකවනවා..කැමරාවෙ බිල්ට්-ඉන් ෆ්ලෑශරය තියෙන තැනින් තද කරලා අල්ලා ගෙන කැමරාවෙ ෆ්ලෑශර් පොපප් බටෙන් එක පෙන්නලා මොකද්ද අහලා එසැනින් ඒක මිරිකුවා..අනේ චරස් ගාන සද්දෙ විතරයි ඇහුනෙ..ඒකෙ ලොක් එක කඩලා ගිහින්..ඇයි පොපල් වෙන්න දඟලන ෆ්ලෑශරේ උඩින්නෙ මූ හයියෙන් කැමරාව අල්ලන් හිටියෙ..අදටත් ඒ පොපප් ෆ්ලෑශරේ මට ඕනි වෙලාවට අතින් තමයි උස්සලා ගන්නෙ..ආශාවකට ෆුල් ඔටෝ ෆොටෝ ගන්ඩ බෑ..
    අනිත් එක තව දවසක..ලෙන්ස් එක ඔටෝ මෝඩ් දාලා තියෙද්දි ඒත් යාළුවෙක්..අනේ ලෙන්ස් එකේ ෆොකසින් රවුම කරකවනවා චර චර ගාලා..හොඳ වෙලාවට ලෙන්ස් එක අප්සට් ගියේ නෑ..මම දුටු සැනින් ආපහු කැමරාව ඉල්ලා ගත්තා..
    ඊට පස්සෙ නම් මොකා මොන මඟුල හිතුවත් කමක් නෑ..කැමරා වැඩ දන්නෙ නැහැයි කියලා මම හිතන එකෙකුට කැමරාව නම් දෙන්නෙ නෑ..

    ReplyDelete
  12. මේ කියන ෆේස්බුක් ස්ටේටස් එක මමත් බැලුවා. ඒකෙ අපේ මිත්‍රයා ඔය තරම් දුරක් හිතන්නේ නැතිව තමයි අවශ්‍යතාවේ ඉටු කරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්න ඇත්තේ.
    මම පුද්ගලික වෙනත් කෙනෙකුගෙන් දෙයක් ඉල්ලන්නෙත් නෑ, මගේ පුද්ගලික පරිහරණයේ තියෙන ඒවා තව කෙනෙකුට දෙන්න කැමතිත් නෑ. පොඩි කාලේ ඉඳන් තිබුන පුරුද්දක් ඒක. තව කෙනෙකුට එහෙම වෙන්න කියලා බලපෑම් කරන්නෙත් නෑ. සමහර අයට මේක ගාණක් නෑ. ගජේට හුරුයි. මමත් මාරයාගේ ක්‍රමය අනුගමනය කරනවා අලුත් උපාංගයක් ගත්තම පරණ එකට. මිකැනිකල් දේවල් නම් බොහෝ විට භාවිතා කරන කෙනාගේ හැටියට හුරු වෙනවා. ඉලෙක්ට්‍රොනික් දේවල් වලත් මේ ගතිය නැත්තේම නෑ. හැබැයි විවාහ වුනහමයි, දරුවන් ඉන්නකොටයි මේ සීමා මායිම් කැඩෙනවා. මගේ කෙලි පොඩ්ඩ මගේ ෆෝන් එකයි ලැප් එකයි හොඳටම පාවිච්චි කරනවා. පුදුමේ තියෙන්නේ හානියක් කරන්නේ නෑ. එහෙම වුනත් දරා ගන්න පුළුවන් නේ.

    ඉතිං වෙන කෙනෙකුට දෙනවා නම් ආසාව අත ඇරලම දෙන්න ඕනේ.

    ReplyDelete
  13. උබේ කථාව සහතික ඇත්ත මචං! අපි පාවිච්චි කරන විදිහේ සැලකිල්ලක් වෙන අයෙකුගෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. සමහර අයට ඕක පුරැද්දක්. කවදාවත් දෙයක් සල්ලී දීලා ගන්නේ නෑ. අනුන්ගෙන්ම පිරිමහ ගන්නවා. හොඳම දේ තමයි කාගෙන්වත් ඉල්ලන් නැතිව තමන්ට පුළුවන් දවසක මිලට ගන්නවා. එහෙම නැත්නම් නැති විදිහට ඉන්නවා අනික් අය කරන කරන එක කරන්න නොයා.
    සිංදු තැටි, පොත් උනත් එහෙමයි. මට එහෙම කියන කොට මගේ යාළුවෙකුට වෙච්ච සිද්ධියක් මනක් වුනා. මිනිහා දවසක් එයාගේ යාළුවෙකුගේ ගෙදර ගිය වෙලාවේ ලස්සන මිනිහා කැමති සිංදු තියෙන CD එකක් දැකලා ඒක අහල ගෙනත් දෙන්න ඉල්ලලා. ඕගොල්ලෝ දන්නවද මිනිහට යාළුවාගෙන් ලැබුණ උත්තරේ? " මචං මම මේක හොඳට අහලා අරන් තියෙන්නේ. මම දන්නවා උබ මේක ගෙනිච්චොත් මට ආයේ ඒක දකින්න ලැබෙනනේ නෑ. ඒකෙන් අපේ යාළු කමටත් කණ කොකා හඬනවා. ඉතිං මචං ඊට මීට හොඳයි උබ අපේ ගෙදර ඇවිත් ඇති තරම් මේක අහපං. හැබැයි අරං යන්න බෑ" කියලා. ඕක තමයි වෙච්ච සංතෑසිය. කාටත් හොඳ පාඩම්. නැවත මේ පැත්තේ එන්නම්.

    ReplyDelete
  14. කතාව ඇත්තයි . . . මමත් පොඩි එකාට වටිනා කියන ගැජට් එකක් ඇන්න දුන්න.අපේ හාමිනේගේ පවුලේ පොඩි උන් ඔක්කොම ඕක අරගෙන පොටෝ ගහල ගේම් ගහල.ෆොටෝ දැකපු ගමන මම කිව ඕක පරිසම් කරගන්න අපහු ගන්න වෙන්නේ නැහැ කියල.ඉල්ලනකොට නොදී කොහොමද කියා කියා දුන්න.මම මේ පාර ගිහින් බලනකොට කොන් දෙකේම විදිරුව කිරී ගැහිලා.දැන් ඉතින් හමිනෙත් ඔය උද කිව කතාව පිලිගන්නවා.නමුත් අර වටිනා ගැජට් එක ඩමෙජ්. අපහු ගන්න කියලයි .. .

    ReplyDelete
  15. ඔය XXX අයියගෙ කරදරේ වැඩි කාලයක් තියෙන එකක් නෑ..මම දන්න කීප දෙනෙකුටම කිව්වා අර හිටියයි කීව රටටම පිටුවහල කොරන්ඩ කොරමයක් හොයන් ආන්න ඒක කොරලා දාන්නයි කියලා !

    ReplyDelete
  16. සහතික ඇත්ත මේ කරුණු සියල්ලක්ම, මන් එකපාරක් ඩුබායි ඉද්දි යාලුවෙක්ගෙ කැමරාවක් ඉල්ලලා ඌ කිව්වේ ''උබට කැමරාවක් ගන්න අදහසක් තියේද කියලා මන් ''ඔව් දැන්මනම් ගන්න අමාරුයි කිව්වම ඌ සල්ලි දීලා කිව්වා, උබ කැමරාවක් ගනින්, සල්ලි තියෙන වෙලාවක අවුරුද්දකින් දෙහෙකින් හරි දෙන්න කියල'' එක තමයි හොදම දේ, අදටත් යාලුකමත් කැමරා 2ත් තියෙනවා.
    කැමරාවක්නම් කොහොමත් අතින් ඇත යවන්න පුළුවන් දෙයක් නෙවෙයි,

    ReplyDelete
  17. මගේ කැමරාව ගත්ත අලුත මගේ හෙනම ෆිට් එකක් ඕක ඉල්ලුවා.. මම කිව්වා උඹ ඔය ජිවිත කාලෙටම ඩි.එස්.එල්.ආර් එකක් පාවිච්චි කරනවමයි නේද රුපියල් 50,000ක ඩිපොසිට් එකක් තියල ඕනනම් අරන් පලයන් කියල.. (බුදුම ෆිට් මටත් කලින් කැමරා පාවිච්චි කරපු ඩයල් එකක්)... අනේ තොගේ --න කැමරාව තියාගනිනි --තෝ කියල බැන්න විතරයි... කැමරාවත් පරිස්සම්... යාලු කමත් පරිස්සම්.. ඉඳල හිටලා බයිට් එකට වගේ අහනවා මචන් කැමරාව ඕනේ නම් අරං පලයන් කියල.. හික්..

    හැබැයි මේ මම ලව් කරන්න ගෝල් ෆේස් ගිහින් අපේ අක්කගේ ඩිජිටල් කැමරාව මුහුදේ දාපු කොල්ලෙක්..

    ReplyDelete
  18. සෙබලාට තුවක්කුව වගේ සහ ඊට ගත්ත උදාහරනෙට අමතරව තවත් දෙකක් ත්යෙනවා ඔය වගේ ෂෙයා කරන්න බැරි.
    ජොකා
    දත් බුරුසුව.

    ReplyDelete
    Replies
    1. දත් සැට් එක එච්චර ගානක් නැහැ නේද බං?

      Delete
  19. අඩෝ අර තුවක්කු කතාව "ගාමණී " ෆිල්ම් එකෙත් ගියා නෙවද ?

    ReplyDelete
  20. ගැහැණිය සහ පොත කියන වස්තු දෙකම අතින් අත ගියොත් ගියාමයි කියලා ඉතා පැරණි කියමනක් තියනවා. ඒ කාලේ වටිනා වස්තු හැටියට කැමරා, දුරකථන, පරිගණක තිබුනේ නැහැනේ. මගේ යාලුවෙකුත් මගේ කැමරාවක් වැළඳුවා. මොනවා කොරන්ඩද. මෙව්වා අපිට හොඳ පාඩම්.

    ReplyDelete
  21. ඔය ස්ටේටස් එක දැක්ක හන්දා සිද්දීය දනිමි..

    ReplyDelete
  22. ස්ත්‍රි රත්නන්
    ග්‍රන්ත රත්නන්
    පරහස්ත ගතන්
    ගත්න් ගතන්
    කියල තියෙන්නෙ නිකන් නෙවෙයිනෙ.අනිත් එවටත් එහෙමම තමයි නේද මෙයා

    ReplyDelete
  23. මාරයියෙ
    දෙයියන්ගෙ පිහිටෙං අපේ උං කඩන්නෙ නම් නෑ ..
    හැබැයි ආපහු ලැබෙන් නෑ.
    ඒක උගේ .මගෙ නෙමේ.

    ReplyDelete