20 February 2013

ඔක්කෝම හරි..අපි වැරදියි...

මේ ටික කිව්වම හුග දෙනෙකුට මාත් එක්ක කන්න තරහක් එයි.. හා හා කලබල වෙන්න එපා..මොකද එහෙම තරහා ගන්න ඔහෙලට ඔට්ටු නැහැ..මොකද ඔහේලා සද්ගුණවත්... එහෙම අයට කේන්ති යන්නේ නැහැ... ඉවසන්න... කේන්ති ගන්න..වෛර බදින්න..මිනී මරන්න..ඒවා ඇහැකි අපි වගේ උන්ට විතරයි... අපි වගේ නරුමයෝ නොවුන සද්ගුණවත් ඔබතුමාලා මංතුමා ගැනත් උපේක්ෂාවෙන්ම බලන්න..ආයේ මොටද අච්චර අය ගැන නැති ද්වේශයක් මං ගැන ඇති කරගන්නේ..ඒක සද්ගුණවත් අයට හොඳ මදි නෙව...

දැන් මේ යුද්ධේ අහවර වෙච්ච ගමන් යුද්ධය මොන විදියෙන් හරි අවසාන වීම හෝ කිරිම ගැන කට ඇරලා ඇති යන්තං කියලාවත් කියා ගන්න බැරිව කටවල් වල පිට්ටු හිර වෙලා හිටිය අය ටික දවසක් යද්දී එහෙං මෙහෙං ඇහෙන කතා අල්ලගෙන කියාගෙන ගිය කතාවක් තිබුනනේ... ඒකේ තැන් තැන්වල එක එක වෙනස්කම් තිබුනා උනත් පොදුවේ මෙන්න මෙහෙම කතාවක් තමා මට අහන්න ලැබුනේ..

“ප්‍රභාකරන් මලේ නිකංම වෙඩි වැදිලා නෙවෙයි... අන්තිම මොහොතේ කට්ටියම යටත් වෙන්න ඇවිල්ලා... අනිත් උන්ට වෙඩි තියලා ප්‍රභාකරන් ඇතුළු පවුලේ අයව අත්අඩංගුවට අරං... චොපර් එහෙක දාගෙන පනාගොඩටත් ගෙනාවා කියන්නේ... ගෝඨාභය ගාව දණ ගස්සලා ප්‍රශ්න කලාලු... එහෙම කරලා තමා අන්තිමට මරලා දාලා තියෙන්නේ.. මරලා තියෙන්නේ ගජබා එකේ කොල්ලෙක් පොරවකින් ඔළුවට ගහලලු... එයිට පස්සේ තමා වෙඩි තියලා මිනිය ආයේ ගෙනිහිල්ලා වතුරට දාලා ගොඩ අරං තියෙන්නේ... පවුලේ අනිත් අයවත් එහෙමම මරලා දාලා“

ඔන්න කතාව... රයිටෝ උනා හෝ නොවුනා ඒත් මං මේ වෙලාවේ කැමතියි ඒක එහෙමම හෝ එයිට සමාන ආකාරයකට සිද්ධ උනා කියලා හිතන්න... මොකද කොහොම කිව්වත් කට්ටියම යුද්දෙ මැදදි සාමාන්‍ය ආකාරයට වෙඩි වැදිලා මලේ නැහැයි කියලා කියන කතාවනේ ඔප්පු කරන්න යන්නේ... එහෙම සාමාන්‍ය ආකාරයට වෙඩි වැදිලානං ප්‍රභාකරන් සහ පවුලේ සාමාජිකයින් මලේ ආයේ එයින් එහාට කතාවක් නැහැනේ.. දැන් කතාව තියෙන්නේ ඔය කට කතාවට අදාලව හින්දා අපි ඒ පැත්තටම කතා කරමු.

හරි ඔය කියපු ආකාරයට උනානම්... එකේ ඇති යුක්තිය අයුක්තිය ගැන තීරණය කරන එක පහසු වැඩක්ද..? 

ජ්‍යාත්‍යන්තර යුධ නීතිය... මෑණියන්ගේ වස්ත්‍රය... ඉරාකයේ සදාම්ට නැති... ලිබියාවේ ගඩාෆිට නැති... අර බින් ලාඩ්න් කාරයාටත් නැති මානව හිමිකම්.. යුධ නීති අරවා මේවා ඔක්කෝම තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් බහුතරයකට කාලකණ්නි අත්දැකීම් රැසක්  උරුම කරලා දුන්න ප්‍රභාකරන්ට විතරයි...

හරි ඔන්න අපි බොක්කට කෙලින් කතා කරමු... ඇත්තටම ප්‍රභාකරන් ඔය කියන ආකාරයට යටත් උනා කියලා.. දැන් මොකද අපි කරන්න ඕන... සාමාන්‍ය ක්‍රමය යටතේ කොළඹට ගෙනල්ලා නීතිය යටතේ කටයුතු කරලා අවුරුදු සීයකට හෝ තුන් හාර සීයකට හිරේට නියම කරන එක..? එහෙම නැත්තං මරණ දණ්ඩනය නියම කරලා වැලිකඩ වාට්ටුවක හිර කරලා තියන එක..? ඔය දෙක ඇරෙන්න මේ ලංකිවේ දැනට කරන්න පුළුවන් මහ ලබ්බක් නැහැනේ... හරි ඔය ටිකත් කරලා දැම්මා කියමු... දැන් ඔන්න ප්‍රභාකරන් වැලිකඩ ඉන්නවා... පවුලේ අයත් ඔය නේවි එක භාරයේ හරි කොහේ හරි ඉන්නවා අර විජේවීරගේ කට්ටිය වගේ...

කමක් නැහැ එහෙම උනානං ඒකත් හරි කියමුකෝ... ඒත් කාලයත් එක්ක ඒක එහෙමම තියේවීද..? අරෙහෙන් ඉන්දියාවෙන් ඉල්ලනවා එයාලගේ නඩු අහන්න කියලා... නොදී තියා ගන්නද..? ඒකට කියන්න වෙන්නෙත් මණියන්ගේ වස්ත්‍රය තමා කියලම තමයි. යකෝ අපේ මුහුදු තීරෙට අනවසරයෙන් එන මාළු බෝට්ටු කාරයෝ ටික අත් අඩංගුවට ගත්තම දවස් දෙකක් යද්දී නඩු නැතිවම නිදහස් කරලා උන්ට බාර දෙන්න වෙන එකේ මේ ප්‍රභාකරන්ව තියා ගතෑකිද නීතියට අනුව උන් ඉල්ලද්දී... 

දැන් කියයි මොකට දෙනවද කියලා... මෑණියන්ගේ නෙවෙයි මිත්තණියගේ වස්ත්‍රය... අපි මේ නැව් ටෝක් දුන්නට ඉන්දියාව නෙලන්න ගත්තොත් අපිට වෙන හරිය මං නොකිව්වට කියවන හැමෝටම හිතේ කොනකින් හරි හිතා ගතෑකිනේ... අනික ඉන්දියාව නෙලන්න ගත්තොත් ඔය කියන එක්සත් ජාතීන්ගේ මොකක් එකයි..පොදු රාජ්‍ය මණ්ඩලේද මොකක්ද එකයි.. මහ බවලතුන්ද බලවතුන්ද කියන උනුයි මේං කියලා අපිව බේරගන්න ඉන්දියාවට නෙලයිද...? වස්ත්‍රයම තමා...

අන්තිමට ප්‍රභාකරන් නවතින්නේ තමිල්නාඩුවේ... හිර ගෙදර ඇතුලේ රජෙක් වගේ ඉන්න ගමන් ආයෙම  ඉන්දිය රජයේ පූර්ණ අනුග්‍රහය මතම මෙහෙ පටන් ගන්නවා ආයෙමත් පරණ කතාවම... සමහර විට ඉන්දියාව නොයිල්ලුවත් කැනඩාව හරි නෝර්වේ හරි වගේ රටවල් වලින් එහෙං මෙහෙං දත කාලා හරි ප්‍රභාව ඒ රටකට ගන්නවා ගන්නවාම තමා... අන්තිම දවස් ටිකේ මෑන්ව ගෙනියන්න උන්දලා දත කාපු හැටියට කට්ටිය කියනවනං හපෝ එහෙම වෙන්නේ නැහැ.. ප්‍රභාකරන්ට සදා කාලිකව ලංකාවේ හිර ගෙදරක තමා ඉන්න වෙන්නේ කියලා... මං ආයෙම මතක් කරනවා අර මෑණියැන්දැගේ වස්ත්‍රය...

මොකා මොන ධර්ම ටෝක් දැම්මත්.. කල යුතුව තිබුන එකම දේ තමා ප්‍රභාකරන්ගේ කතාවට තිතත් තැබීම... ඒක නීතියට අනුව කරන්න තියෙන ඉඩ බොහෝම අඩුයි නම් නීතිය පැත්තකින් තියලා හරි ඒක අහවර කරන එක කල යුතුම කාර්යයක්... හා බයින්න බයින්න... මට ඇති වෙනකල් බයින්න... ඒත් කොච්චර බැන්නත් මං ඉන්නේ ප්‍රභා අවසන් කල යුතුයි කියන තැනම තමා... ඒක මගේ විතරක් නෙවෙයි මේ රටේ බහුතරයක් විසින් පිළි ගන්න කාරණයක්... බහුතර කැමැත්තනේ අර ප්‍රජාතන්තරේද කොහේද කියලා කියන්නේ... අනිත් වෙලාවට ඒක හොදයිනං මේ වෙලාවට විතරක් නරක් වෙන්න හැටියක් නැහැනේ...

හරි ප්‍රභාව අවසන් කල යුතු නිසා අවසන් කලා.. ඒත් ඇයි අර කුඩා දරුවව..? ඇත්ත දරුවෙක්ට එහෙම කලක් යන එක යුතු නැහැ. ඒත් මේ සාමාන්‍ය දරුවෙක් නෙවෙයි... රටක් වෙනස්කල හැටි... ජාතියක් වෙනස් කල හැකි ශක්තියක් උරුම කරං ආව දරුවෙක්... ප්‍රභා මැරිලත් ඒ වග නොපිලිගන්නා උන් ඉන්න ලෝකෙක... මැරිලා අවුරුදු ගානක් ගියත් මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙන්න දගලන් උන් ඉන්න ලෝකෙක... බාලචන්ද්‍රන් වගේ උන්ට ඕන විදියට පාවිච්චිකල හැකි ආයුධයක් නිරුපද්‍රිතව තැබීම...? ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි.. අනිත් දේ තමා ප්‍රභාව අත්අඩංගුවේදි මරා දැම්මා නම්.. ඒ බවට සාක්කි දෙන්න ආයේ වෙන කවුරුවත් ඕනද..? ඔය තියෙන්නේ සුපිරි සාක්ෂියක්... “අප්පාව පණ පිටින් අල්ලා ගත්තේ“ කියලා එක පාරක් ඔය කටින් කියඋනාම ඒ මදෑ ලෝකෙටම... මොකද ඒකා ඒක නොකියා හිටිවිද..?

තත්වය කණගාටු දායකයි තමා... ඒත් වෙන මොකක්ද කල යුත්තේ..? රටක අනාගතය... රටේ නිදහස දිනා දුන්න රණවිරුවන් කැලකගේ අනාගතය... එකම එක සාධකයක් මත පරදුවට තැබීම..? එහෙම තිරණයක් ගනී ඔය පන්සලක දායක සභාවක වගේ තීරණ ගන්න උදවියනං.. ඒත් රටක් පාලනය කිරීම කියන්නේ පන්සලක දායක සභාවට වඩා බරපතල කාරණයක්... එතනදී හදවත කියන දේට වඩා දෙයක් අහන්න වෙනවා.. කරන්න වෙනවා... විශේෂයෙන්ම දශක කිහිපයක් තිස්සේ පීඩා වින්ද ප්‍රශ්නයකදී... දාහකට එකක්වත් නොලැබෙන තරමේ අවස්ථාවක් ලැබුන වෙලාවක ඒක ඉවර කරනවද නැත්තං පොල් ගගා ඉන්නවද කියලා තීරණය කරන්න උන වෙලාවක... ඔයිට වඩා ගන්න තීරණය මොකක්ද..?

පොඩි එකෙක් ගැන කණගාටුවක් තියෙනවා තමයි කොයි කාටත්... ඒ දරුවාගේ තාත්තා ලෝකේටම පහල වෙච්ච තිරිසන්ම ඝාතකයෙක් උන වරදට පුතාටත් මරණය කියන එක නෙවෙයි කාරණය... එහෙම නැතිනං තමන්ගේ ජාතියේම කුඩා ළමුන්ට යන්තං ඇවිදගන්න පුළුවන් වෙද්දී කරට සයනයිඩ් කරලා එල්ලලා අතට තුවක්කුව දීලා අගලකට දාලා වෙඩි තියන්න දාද්දී..ඒ වයසේම තමන්ගේ පුතාට සෙල්ලං කාර්.. පිනුං තටාක උරුම කරලා දෙද්දී ඒ පුතා ඒවා භුක්ති වින්ද වරදටවත් නෙවෙයි... ඒවා වෙනම කතා... මෙතන තියෙන්නේ ඝාතකයාව කොයි විදියෙන් හෝ අවසන් කිරීමත්.. ඒ අවසන් කිරීම ඉදිරියට ප්‍රශ්නයක් නොවන විදියට අවසන් කිරීමත්... මං හිතන්නේ ඒක හැකි උපරිම අයුරින් සිද්ධ උනා... ආදරයේදිත් යුද්ධයේදීත් ඕනෑම දෙයක් සාධාරණය කියලා අත පිහිදගන්න වෙන එක කණගාටුවට කාරණයක් උනත් වෙන කල හැකි යමක් තියෙනවද..?

නිය පොත්තෙන් ගහලා කඩන්න තිබුන දේ වතුර පෝර දාලා ලොකු කරලා අන්තිමට පොරවකින්ම ගහලා අවසන් කරන්න උනාට පස්සේ ආයෙම එතැනින්ම තව තවත් දළු දාන්න තියන්න කටයුතු කරනවද..? නැත්තං රටක දස දහස් ගනන් දරුවන්ගේ යහපත උදෙසා එක අප්‍රසන්න තීන්දුවක් ගන්නවද..? ඔච්චරයි හිතන්න තියෙන්නේ...

අමතක කරන්න එපා මං මේ කිව්වේ අර උඩින් මං කියාපු කට කතාව ඇත්ත නම් පමණක් කියලා... අග මුල පටලෝගෙන දගළන ඒවට මට කරන්න දෙයක් නැහැ...
------------------------------------------------

නිවන් දකින්න මට තව සෑහෙන කලක් යයි.. ඒත් මොනවා කරන්නද..? සැදැහැවතුන් නිවන් පාරේ ඒකට බාධා කරන උන්ට ගහන්න මරන්න එන උන්ට තඩි බාන්නත් මොක්කුම හරි ඉන්න එපෑ... අපි පරක්කු වෙලා හරි එන්ට බලන්නං ඔය සැදැහැවතුන් ඔහොමම ඉස්සරහට යන්න ආපහු හැරිලා අපිට බැනලාවත් තමුන්ගේ ගමන ප්‍රමාද කර නොගෙන... 

17 February 2013

රණවක අයියයි..දිනේෂ් අයියයි...

මහින්ද අයියා රණවක අයියට වැඩක් නැති අමාත්තංසයක් දීලා කොරගත්තේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ... වැඩ වැඩි එහෙකට දැම්මම රණවක අයියට ආයේ වෙන වෙන දේවල් කොරන්න වෙලාවක් නැහැ..ඒත් ඔය නිකං එහෙකට දැම්මම වෙන්නේ චන්දිරිකා ධීවර අමාත්තංසේ මහින්ද අයියට දුන්න එකේ අනික... සමහර විට මේක මහින්ද අයියලගේ ප්ලෑනක්ද කියන්නත් බැහැ.. මොකද බොදු බල සේනා වගේ සංවිධානයක් තමුන්ට පිටතින් තියෙනවට වඩා ඒක ඇතුලටත් තමුන්ගේ රජයේ එකෙක් රිංගවලා ඒකේ පාලනයත් තමන්ගේ යටතට ගන්න වගේ ගේමක්... මට මතක් වෙන්නේ අර වෙල්ලස්සේ කැරැල්ලට කැප්පෙටිපොල රිංගපු එකේ අනික... සුද්දට හේත්තුව දාගෙන කාලයක් යහතින් හිටිය කැප්පෙටිපොල අන්තිමට සිංහල රැල්ල උඩ ගහනකොට මොන හේතුවක් හින්දා හරි පැත්ත මාරු කලා... ඉතිහාස පොතනං කියන්නේ ජාති වාත්සල්ලෙන්ද මොකෙන්ද එකෙන් ඔඳ වැඩිලා එහෙම කලා කියලා.. ඒත් කවුද දන්නේ උන්දැටත් රණවක අයියට උණ දේ උනාද කියලා... තමුන්ට සුද්දගේ ආණ්ඩුවෙන් දීලා තිබුන වරප්‍රසාද අඩු කෙරිල්ලක් හරි.. මේ සැපට ඉන්න අස්සේ එක පාරට අස්සයෙක්ගේ පිටේ නග්ගලා යුද්ධෙට ඇරියම මොන මනුස්සයටද තද නොවෙන්නේ.. අනික මේ නහින දෙහින කාලේ ඇග සැපට හුරු වේගන එද්දී පලයංකෝ යුද්ධෙට... එහෙම වේගන එද්දී පැත්ත මාරු කොරන එක ඒ හැටි පුදුමයක් කියලා මංනං හිතන්නේ නැහැ...

හැබැයි අමතක කොරන්න හොඳ නැති කාරණාවක් මේ දෙකේදිම තියෙනවා.. කැප්පෙටිපොල පැත්ත මාරු කරලා සටන අතට ගත්තට පස්සේ ඒ වෙනකල් කැරැල්ල උඩට ගේන්න දහඩිය මහන්සිය හෙලපු උන්දලා හුග දෙනෙකුගේ නං අපිට අදටත් ඉතිහාස පොත්වලින් කියවන්න හම්බවෙන්නේ නැහැ... ඒ හින්දා අපි ඒ අය ගැන දන්නෙත් නැහැ.. දන්නේ පොත්වලින් කියන කීපදෙනෙක් ගැන විතරයි... ඒත් ඒ අයට වඩා සිය ගණන් මිනිස්සු ඉන්න ඇති ඕක සංවිධානය කරගෙන කැප්පෙටිපොලව යුධ භූමියට යවන තරමට සුද්දට ගේම අමාරු කරවපු... 

අපරාදේ කියන්න බැහැ කැප්පෙටිපොලත් පැත්ත මාරු කොලාට පස්සේ දෙහිතක් නැතිව දංගෙඩියට යනකල්ම බාර ගත්ත දේ කලා.. ඒ වගේමයි අමතක කරන්න හොද නැහැ කැප්පෙටිපොලව යුද්ධෙට යවන තරමටම ගේම අමාරු වෙන තරමට සුද්ධට ගහලා තිබුන කැරැල්ල කැප්පෙටිපොලගේ ආගමනයෙන් පස්සේ උඩින් ශක්තිමත් වෙද්දී යටින් බෙලි කැපිලි ගණනාවක් හරහා අන්තිමට සුද්දට කැරැල්ල පාවා දෙන තත්වෙට ගියා... සමහර විට ඒ වෙනකල් කැරැල්ල මෙහෙයවපු අයට කැප්පෙටිපොලගේ නායකත්ව හුවමාරුවෙන් පස්සේ කැප්පෙටිපොලගේ හෙංචයියෝ දුන්න ගේම් හින්දා වෙච්ච අකටයුතුකං වගේ දේවල් ඇතුලේ කාකොටා ගැනීලිවලට හේතු වෙන්න ඇති... කොහොම උනත් ඔය පල හිලවු වලින් අවසානෙට උනේ සුද්ද දිනපු එක විතරයි... පැත්ත මාරු කල කැප්පෙටිපොලගේ බෙල්ල ගියා... මිනිස්සුන්ගේ ලේ කඳුළු දහදිය මතින් උඩට අරං ආව කැරැල්ලක් හේදිලා ගියා...

දිනේෂ් අයියට කට්ටිය හිටු කියලා බයිනවා... හැබැයි මං දන්න දිනේෂ් අයියානං මං දන්න කාලේ ඉදලාම බොහෝම හොඳ සිංහලයෙක් වගේම බොහෝම හොඳ බෞද්ධයෙක්... දිනේෂ් විතරක් නෙවෙයි ගීතාංජනලා එහෙමත් එහෙමයි... උන්දලාව දැක ඇසුරු කොරලා තියෙන හින්දා නමට හා වාසියට බෞද්ධ කියන අයට වඩා ඒ මිනිස්සුන්ගේ ඇතුලේ ලේ වලින්ම ආව සිංහලකම  මං දැකලා තියෙනවා... හැබැයි රණවක අයියා අනිත් පැත්ත ගහද්දිම මෙච්චර කාලයක් සිංහලයා වෙනුවෙන් කතා කරපු දිනේෂ් අයියට කෙලවගෙනම ගමණ පටන් ගන්නවා වගේ පේනකොට මට මතක් වෙන්නේම වෙල්ලස්සේ කැරැල්ල..කැප්පෙටිපොලලා.. සහ නම් නොකියවුන කැරැල්ලට උඩට ගෙනාව කොහේ නමුත් වෙලක් මැද්දේ..ගලක් ඉස්මත්තේ.. කැලෑවක් මැද්දේ සුද්දගේ කඩුවට..තුවක්කුවට අහු වෙලා මහ පොලව බදාගෙන ලේ හලගෙන මැරිලා ගිය නියම නායකයින් ගැන...

සමහර විට මේ සටන කොහේ ගියත් අවසානෙට දිනේෂ් අයියලා නරක මිනිස්සු වෙයි..රණවක අයියා උඩට යයි... අපේ පොල් බූරුවොත් උඩ බිම නොබලා කෑ ගහලා දිනේෂ් අයියලාව නැත්තට නැති කරයි... 

බොදුබල සේනා කියන්නේ යුගයේ අවශ්‍යතාවයක් උඩ හේතු ඇතිව බිහි උන දෙයක් මිස අමුතු දෙයක් නෙවෙයි... උන්දලගේ වැරදි තියෙනවා.. විශේෂයෙන්ම ආවේගශීලීවීම හා වැරදි උපක්‍රම තේරීම.. එතැනින් ගියාම මාධ්‍යත් එක්ක කරන ගනුදෙනු..කැමරාව කියන භයානක ආයුධය ඉස්සරහා හැසිරෙන හැටි නොදන්නාකම හෝ දැන දැන ඒ වරද කිරීම වැනි දේවල්.. ඒත් එහෙමයි කියලා බොදුබල සේනා කියන්නේ මේ රටේ බිහිඋන අති භයංකර සංවිධානයක් නෙවෙයි... හරියට බැළුවොත් මේකට වඩා භයානක සංවිධාන තමා යූ ඇන් පීය.. පොදු පෙරමුන..ජේවීපිය..එල්ටීටීඊය... මුස්ලිම් කොන්ග්‍රසය..ද්‍රවිඩ සංවිධානය එහෙම කියලා කියන්නේ.. එහෙම සංවිධානවලින් කරපු..කරන හානි වලින් දාහෙන් එකක්වත් බොදුබල සේනාව අතින් මේ ලංකාවට වෙලා නැහැ... ඕක හරියට මෙහෙයවන්න පුළුවන්නං අර කාලකණ්නි සංවිධාන වලින් මේ රටට කරපු හානි ටිකක් හෝ අවම කරන්න පුළුවන් උනොත් මිස...

සෑම ජාතියක්ම තමුන්ගේ ජාතියට ආදරෙයි... ඒකේ කියන්න වරදක් නැහැ... මොකද ලෝකය එක යායයක් අපි හැමෝම එකම මිනිස් කැලක් කියලා හිතන්න තරං මානවයා තවම පරිණාමය වෙලා නැති හින්දා... කොයි තරං දැන උගත්කං තියෙනවා කියලා කොල කෑලි පෙන්නුවත්..අනං මනං ගැජ මැටික් පෙන්නුවත්.. කතා පැවැත්තුවත් මිනිහා තාම ඉන්නේ ගල් යුගයේ අදහස්ම කර පින්නං... එහෙම ඉදන් නිකං ලෝකෙට පේන්න සර්ව ආගමික..අනාගමික කතා කිව්වට අපි කා ඇතුලෙත් අර පරණ සතා ඉන්නවා.. එහෙම ඉන්න සතාගෙන් ඔය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ... හැබැයි එහෙමයි කියලා මුං මුං මරාගන්න ගත්තොත් ලෝකය මහ නරකාදියක්.. මිනිස්සු ජීවත් වෙන ටික කාලේ මරා ගන්නේ නැතිව කාලා ඇදලා නිදහසේ ජිවත් වෙලා මැරිලා යන එකයි වෙන්න ඕන.. ඒත් එහෙම වෙන්නනං ඔය වෙන් වෙලා ඉන්න ජාතීන් ඒ ඒ ජාතීන්ට ගරු කරමින් ඒ ඒ අයගේ ඇදහීම් වලට සංකල්ප වලට පිළිගැනීම් වලට ගරු කරන්න ඕන... ඒ ඒ දේවල් කරන්න ඕන වගේම තම තමන්ගේ ඇදහීම් අනං මනං වලින් අනිත් උන්ට බලපෑමක් නොවෙන්නත් වග බලා ගන්න ඕන. ඒත් නොවෙන්නෙත් ඒකමයි... හැම ආගමකින්ම වෙන්නේ අර පරණ සතාව මොන විදියකින් හරි ටිකක් බැදලා දාන එකයි. රටක නීති පද්ධතියට වඩා... පොඩිකාලේ ඉදන් ඔළුවට දාන ආගමික නීති හින්දයි ඔය මොකා මොන ලොකු ටෝක් දුන්නත් මේ සමාජේ මේ තරමටවත් ආරස්සා වෙලා  තියෙන්නේ... උදාහරණයකට කියනවනං මං මට හතුරුකං කරන එකෙක්ව මරා දාන්නේ නැත්තේ අපායේ යන්න තියෙන බයට..එහෙම නැතිව උලව් නීතියට බයේ නෙවෙයි.. නීතියට අහු නොවෙන්න මිනිහෙක් මරන එක මහ දෙයක් නෙවෙයි.. ඒත් මිනිහෙක් මරලා පවු පුරෝගෙන අපායේ ගිහින් දුක් විදින්න මං කැමති නැහැ... මේවා සුරංගනා කතා කියලා කට්ටියට පේන්න පුළුවන්..ඒත් ඇත්තම කතාව ඕක තමා... අනික මං මොකටද සල්ලි හොයන්න රස්සා කර කර දුක් විදින්නේ..මට පුළුවන් හොද සල්ලි තියෙන එකෙක්ව මරලා හරි මට උවමනා මුදල් හොයාගන්න.. ඒත් ඒ මුදල්වලට යටින් මට අපායේ ගිනිදැල් පේනකොට මං ඒ අදහස අතෑරලා එයිට වඩා දුෂ්කර මාර්ගය වෙච්ච රස්සාවක් කරලා සාධාරණව ජීවත් වෙන්න උත්සහ ගන්නවා.. ඒ ආගමට දහමට තියෙන ඇල්ම..කැමැත්ත..බය හෝ මොකක් හරි වේවා ආන්න ඒක හින්දා මිස නීතියට බයේනං නෙවෙයි. ඒ හින්දා ආගං දහං ලෝකේ තියෙන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම ආගමකින් දහමකින් අනිත් ආගංවල අයට තර්ජනයක් තියේනං අන්න එතනදී අනිත් ආගං වල උන් තම තමන්ගේ ආරස්සාවට මොනවා හරි වැඩ පිලිවෙලකට යද්දී ඒකට අම්මා මෝ නැතිව බනින්න කලින් ඒ මිනිස්සුන්ගේ ආරස්සා වීමට ඇති අයිතියට ගරු කරන්න ඕන.. එහෙම නැතිව ආරස්සාව වෙනුවෙන් පිහිටවාගන්නා සංවිධානයකට එයින් ආරස්සා වෙන්න ඉන්න උන්ම පැල් බැඳගෙන නෙලන එක නෙවෙයි යුතුකම... මං බොදු බල සේනා වලට විරුද්ධ නැත්තේ ඒ කාරනේ හින්දයි... හැබැයි අර කිව්ව අඩුපාඩු අවබෝධ කරං ඒවා හරි ගස්ස ගන්න ඕන... බොදු බල සේනාව කල යුත්තේ පාරට වෙලා කෑ ගහන මට්ටමේ වැඩ නවත්තලා දේශපාලන නායකයින්ව හිර කරලා මේකට ඉහල මට්ටමේ කාටත් සාධාරණ පිලිගත හැකි විසඳුමකට යෑමයි... ඒ පාරට බොදුබල සේනාව අරගන්න උදව් කරනවා විනා වචනයකින්වත් ඒකට එරෙහිව කතා කිරීම මට අනුවනං අපිට යුතු නැහැ මේ මොහොතේ.. නැතිනම් අද නෙවෙයි අදින් වර්ෂ ගානක් ගිය තැන අපේ මිනී වලවල්වල අපේම බාල පරම්පරාව කෙල ගහනවට දෙකක් නැහැ...

මං රණවක අයියට බොහෝම මනාපයි... කවදා හරි දවසක උන්දෑ මේ රටේ ලොකු පුටුවකට යනවනං මං ඒකටත් මනාපයි... මහින්ද අයියට පස්සේ මේක කරන්න පුළුවන් කට්ට කයිරාටික වෙට්ට පිත්තල මොලයක් සහ.. මොන දේ කලත් උඩින් මොන දේවල් කිව්වත් යටින් මේක සිංහල අපිට කියලා තියෙන එකම රට කියලා හිතේ තියෙන එකෙක් හැටියට මං ඔය මනුස්සයව දකින්නේ... බලයට එන්න සෝම හාමුදුරුවන්ව වික්කා කියලා කට්ටිය කිව්වට වෙන විදියකට බලයට එන්න ක්‍රමයක් නැත්තං එහෙම හරි ඇවිත් අිට උවමනා දේ කරනවනං ඒ මදෑ... ඒ හින්දා දාහකුත් ජාතියේ උන් ඉන්න ආණ්ඩුවේ රණවක අයියටත් ඉඩක් තියෙන්න ඕන... හැබැයි රණවක අයියගේ දඩි බිඩි ටෝක් හින්දා මෙච්චර කාලයක් අපි වෙනුවෙනු හිටපු දිනේෂ් අයියට හරක් පැටවු වගේ බයින්න යන එකටත් මං විරුද්ධයි... දිනේෂ් අයියලා වගේ මිනිස්සු මොනවා හරි දෙයක් කිව්වම හරියටම කිව්වේ මොකක්ද කියලා හොයලා බලලා කටයුතු කරන්න තරං ඉවසිමක් අපිට තියෙන්නත් ඕන.. එහෙම නැති ගාල කඩා ගත්ත හරක් වගේ කලින් හිටිය එකාට බැනලා දැන් ආව කෙනාව ලොකු කරගෙන කෑ ගහන්න ගියොත් ඉස්සරහට අපි වෙනුවෙන් කතා කරන්න එක බල්ලෙක් නැතිව යනවා... ඒ හින්දා රණවක අයියා වේවා..දිනේෂ් අයියා වේවා..බොදු බල සේනාව වේවා..ඔය කොයිකත් අපේ යහපතට යොදා ගන්න එකයි මේ වෙලාවේ කරන්න ඕන...

කැප්පෙටිපොල වීරයා කරං කලින් හිටිය උන් ඉතිහාසයේ අමතක පොතට යැව්වා වගේ දිනේෂ් අයියට පයින් ගහලා රණවක අයියා උඩ දාන එකවත්... දිනේෂ් අයියලා මත්තේම ඉදන් රණවක අයියලාට එන්න එපා මේක ඇතුලට කියන එකවත් නෙවෙයි කාරිය... බොදු බල සේනා..රණවක අයියලා..දිනේෂ් අයියලා එකතු කරං රටේ ඇතිවෙන්න යන අහිතකර තත්වයක් තියේනං ඒකට පිලියං කරන එකයි.. කෙක්කෙන් කරන වැඩ කෙක්කට..කොක්කෙන් කරන වැඩ කොක්කට බාර දෙන්න ඕන..ඒ දේවල් පටලවගන්නේ නැතිව...

ඒ ඔක්කෝමත් හරි අපේ රනිල් අයියා ගේමට බහින හැඩක් දැක්කමනං මගේ බඩ පපුව හෝස් ගාලා ජාති ආලෙන් දාලා පිච්චිලා ගියා... හනේ දෙයියනේ මේක තමා මහින්ද අයියගේ ආස්චරියට එහා ආස්චරිය...

හා හා ඔය මදෑ... මං ගියා...

16 February 2013

කඩේ ගිය..පොලේ ගිය කාලේ අහවරයි.. දැන් යන්නේ...

කරං හිටිය රස්සාවෙන් අහක් උනා... බලා කියාගෙන පරිස්සං කරං ඉන්න නවාතැනක් කොළම්බු සෙවන් වලින් සෙට් උනා... ගෙදර වතුර බිලේ ලයිට් බිලේ හිටං ගෙවල් අයිතිකාරයා බලා ගන්නවා..මට තියෙන්නේ ගේ පරිස්සං කරං කැලෑ වදින්න නොදී  පිළිවෙලකට තියාගන්න එක විතරයි... ගෙවල් අයිතිකාරයට ගේ මුර කරන්න කෙනෙක්.. මට නොමිලේ නවාතැනක්... කන්න බොන්න කේන්දරයක් බලා කියා ගත්තම මදෑ... දැන් යනවා ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න කියලා කැලෑසියකට... ඒක ටිකක් හයි ෆයි මොඩැල් එකේ තැනක් වෙච්චි... කියන දේවල් තේරෙනවනං අඩුයි තමා.. ඒත් දත කට පුට්ටු කරං කොහොම හරි අල්ලගෙන ඉන්නවා... රාජා හෝ.මාහෝ... බැරිනං සර් කාරයා හෝ කියලා... ඔන්න ඕක තමා මගේ හැබෑම විස්තරේ... ඕක කෙනෙකුට කිව්වට පිළිගන්නේ නැහැනේ... කවුද හිතන්නේ කියන්න කිසිම කරදරයක් නැතිව කර කර හිටිය රස්සාව අල්ලලා දාලා හිටි හැටියේ යයි කියලා... ඒත් ඒ තමා මං... ආයේ ඉතිං මට හිතුනද මං කෙරුවා... කාට බයද.. කාට ණයද..? මයි පැස්ටෝල්..මයි බයික් හරිය... 

එතකොට මංතුමා බැන්දද..? බැන්දනං මෙහෙම හිතු මනාපෙට රස්සාවල් අල්ලලා දාන්න ඇහැකිද..? එතකොට මාත් අභිමානවත් සිරි ලාංකික සාමාන්‍ය පොදු පුරුෂයෙක් වගේ පණ ගියත් කර කර ඉන්න රස්සාව අතනෑර... මුළු ලෝක බෝලෙම තියෙන පුරස්න කර උඩ තියං ඇවිදිනවා වගේ හෙන හිතට අරං ජීවත් වෙන්ට එපෑ.. හා නැද්ද මං අහන්නේ...? ඔය බැදලා කරලා ඉන්න මහත්තුරු උත්තර දෙමුකෝ බලන්ට..ආයේ මං කියන්ට ඕනයෑ... අනික මං බඳිනවනං බඳින්නේ අතේ සතේ නැති..ඒත් ලෝකෙ වටේ කරක් ගහන්න කැමති.. මෙලෝ බරක් පතලක් නැතිව හැමදාම උදේට නැගිටින... නෑදෑයෝ අරුං මුං නැති තැනකට ගෙනියන්න බැරි ජාතියේ මිනිහෙකුට කැමති නිදහස් මතධාරී කෙනෙක්ව මිස අර සාම්ප්‍රධායික සිරි ලාංකීය කාන්තාව නෙවෙයි... ඇයි යකෝ එයිට වඩා දෙයක් මගේ ගන්න තියේයෑ...

 සිරි ලාංකීය සම්ප්‍රධායික ගැහැණිය ඒ කිව්වේ අර ගේ දොර බලාගෙන ඉන්න.. තියෙන තරං අරවා මේවා ණය වෙවී හරි ගෙනත් ගෙදර පුරෝගන්න.. ලෝකෙට පේන්න මිස හිතට දැනෙන්න ජිවත් නොවෙන.. ළමයි හද හද ලෝකෙට සේවය කරනවා කිය කිය ලෝකය විනාස කරන්න අල්පයකින් හරි දායක වෙන (ලෝකයට සේවය කරන්න නොව තමුන්ට සැලකුම් ගන්න.. අනිත් උනුත් හදන හින්දා තමනුත් හදන්න ඕනයැයි රැල්ලට හිතන හා වෙන වෙන දේවල්වලට ළමයි හදනවා යැයි අවබෝධයෙන් ළමයි හදනා දෙමවුපියන් මෙයට අයත් නොවන බව කරුණාවෙන් සලකන්න..) තමුන්ගේ හිතේ සතුටට වඩා සමාජයේ ඉන්නා තරං උන් සතුටු කරවන්න උන් හිතන පතන විදියට හිතමින් තමන්ගේ සතුට නැති කරගන්න.. බැන්ද දවසට පහුවදා ඉඳන් ලෝකේ තියෙන තරං හැම බරක්ම තමන්ගේ ඉහ මත්තේ කඩා වැටුනා සේ සලකා හිතට අරං වැඩ කරන ගෑණු මනුස්සයටයි... අනේ එහෙම අයත් එක්ක මට දීග කන්නත් බැරි හින්දා එහෙම වැරදි තීරණයක් මං ගන්නෙත් නැහැ මලාට... මොකද මං කැමති ඉන්න එක දවස හරි සරලව සැහැල්ලුවෙන් ඉන්න මිසක් ඔය ලොකු හීනවල ජීවත් වෙන්න නෙවෙයි. 

දැන් හුග දෙනෙකුට තිබුන අටෝ රාසියක් පුරස්න වලට උත්තර ලැබිලා ඇති නෙව මයෙ හිතේ... හා හා ඔය මුණු පොතෙන් ඇවිත් සුභ පතපු බර ගානක් උදවිය කලබල වෙන්ට කාරි නැහැ..ඒ සුභ පැතුම් මං පෙළවහක් කර ගත්තොත් එදාට ගන්න තියා ගඤ්ඤං..එහෙම හොඳයිනේ නේද..? :D

හරි ඉතිං ඔන්න ඔහොමයි මේ දවස්වල ජීවිතේ.. ඉතිං අර කිව්වත් වගේ ඉන්නේ කොළම්බු සෙවන්වල උනත් කන්න වෙන්නේ වෙනදා වගේම තමා... ගේ බාර ගන්නකොට ගෙයි සියළුම බඩු මුට්ටු එක්ක හම්බ උන නිසා පරණ පාවිච්චි කරපු දේවල් වලින් උවමනාම එකක් දෙකක් ඇර අනිත් සේරම එක එක්කෙනාට දීලා දාලා තමා ආවේ.. ඒ කියන්නේ ආයේ වතාවක් මගේ ජීවන බර අඩු උනා.. දැන්  සාමාන්‍යෙයන් කොහේ හරි යන්න උනොත් බෑග් දෙහෙක ඔබාගෙන යන ගානට බඩු තියෙන්නේ... බොහෝම සැහැල්ලු වැඩක් ඒක...

ඉතිං මේ දවස්වල නෙට් එක හරහා කේන්දර බලමින්..සතියට දවස් දෙකක් පන්ති යමින්... අනිත් දවස්වල විවේක පාඩු වෙලාවට එහෙ මෙහෙ ඇවිදිමින්..යාළුවෝ හම්බ වෙමින් කාලය ගෙවනවා... ඒ අතරේ දැන් ආයෙමත් බඩුවක් මුට්ටුවක් ගන්න ඇහැකි මිල ගණන් පහසු තැන් හොයමින් ඉන්නේ... නිස්ටඹුවෙනං රංපොකුණුගම ඉරිදා පොල වගේම..නිස්ටඹුවේ අගහරුවාදා පොල තියෙන හින්දා අග හිගයක් නැතිව බොහෝම ලාබෙට කන බොන දේවල් ටික ගන්න හම්බ උනාට මොකද මේ කොලොම්බු සෙවන්වල ලාබෙට ගන්න තියා ආසාවට බඩුවක් ගන්න එහෙමට තැනක් නැහැ... ගන්නවනං යන්න වෙන්නේ සුපිරි මාරකැට්ටු තමා... අනේ මේ අතේ තියෙන තුස්ටු දෙකත් අරං ඕවෑ ගිහින් මට යන්න වෙන්නේ රිම් එකෙන් තමා.. අනික හෙට අනිද්දට තව කෝස් කෑල්ලකුත් කොරන්ට හොය හොය ඉන්න වෙලාවේ... 

ඒ හින්දා එහෙං මෙහෙං බඩු මුස්ටු අරං ඇති වෙලා මං අන්තිමට තීරණය කොලා යමං ඔටුවේ කියලා.. ඒ කිව්වේ පිට ඔටුවේ... ආන්න එහෙම හිතලා මං දැන් කෙලින්ම කන බොන ජාති ටික ගේන්නේ පිට ඔටුවෙන්... ඔන්න අදත් උදේ ගෙහුං ගෙනාවා සුපියල් දාහක බඩු...


පරිප්පු ග්‍රෑම් 250ක්........... 40යි.
බල කරවල ග්‍රෑම් 250ක්....150යි.
අල කිලෝ එකක් ............70යි.
කැරට් 500ක් .................30යි.
බෝංචි ග්‍රෑම් 250ක් ..........30යි
ලීක්ස් ග්‍රෑම් 250ක්............ 30යි.
ගෝවා ග්‍රෑම් 750ක්........... 50යි.
පිපිඤ්ඤා ග්‍රෑම් 500ක් ........30යි.
ගර්කින් ග්‍රෑම් 250ක් ..........50යි.
මාළු මිරිස් ග්‍රෑම් 250ක් .......30යි.
මුගුණවැන්න මිටියක් .........30යි.
කොල ගෝවා මිටියක් .......20යි.
කරපිංචා මිටියක් .............10යි.

ඇපල් 4ක් ...................100යි.
නාරං 5ක් ....................100යි.
මිදි ග්‍රෑම් 250ක් .............150යි.
අන්නාසි ගෙඩියක්........... 60 යි.
දිවුල් ගෙඩියක් ...............20යි.

එකතුව රුපියල්..........1000යි.

හරියටම රුපියල් දාහක බඩු අරං ඉවර වෙද්දී මගේ උවමනා දේවල් ටිකත් අරං තිබුන හින්දා එයින් එහාට ආයේ කීයක්වත් පර්ස් එකෙන් අදින්නේ නැතිව මං ගත්ත ටිකත් ඇන්න ආපහු ආවා... අනික ඔය තරං බඩු පිරෙව්වැකියෑ අර පෙට්ටි දෙකට... කලින් වතාවේ ගෙනාව තක්කාලි ලූණු මිරිස් වගේ දේවල් තව ඉතිරි තිබුන හින්දා ඔය ටික හොඳටම මදෑ මේ දවස් ටික පිරි මහ ගන්ට... ලේසි නැහැ ජීවත් වෙන එකත් නේද..?



13 February 2013

ඉල්ලලා නෙවෙයි අහුලලා අඹ ගන්න... ආසයි මටත් ඔන්න...

චන්දරපේම බාප්පලගේ ගේ පිටි පස්සේ තමා මං දන්න හොඳම අඹ ගහ තිබුනේ.. ඒක මී අඹද ඇටඹද කියන්නනං මං දන්නේ නැහැ.. හැබැයි අඹ පොකුරු පොකුරු... අඹ ගෙඩියක් පොඩි බිත්තරයකට වඩා ලොකු නැහැ..බොහෝම ඇඹින්දං... හැබැයි එක පොකුරට අඹ තිහක් හතලිහක් තියෙනවා.. ගහත් උසයි..මලාට නැගලනං කඩන්න බැහැ... මහ විසාල කද..පහතට වෙන්න අතු ඉති ඇත්තේම නැති ගානයි... ඒ හින්දා අර දාර දාර මතු උන ගොරෝසු මතු පිටක් සහිත ගස් කඳ බදං ඉහලට යන එක ලේසි නැහැ.. ඉතිං ලේසිම වැඩේ තමා පොලු පාරක් දෙන එක.. නැත්තං ගලකින් ගහන එක... කම්මැලි නැත්තං ගිහිං පුංචි අම්මගෙන් ගේ පිටිපස්සේ දාලා තිබුන උණ ලී කෙක්ක අරං ඇවිත් ගහේ අත්තකට දාලා හොලවන්න උනත් පුළුවන්.. ඒත් පුංචි උන් උන අපිට ඒ කෙක්ක උස්සං එන්න ලේසි නැහැ... ඒ ගෙනාවත් එකේ මුල කොහේ හරි ගස් මුලකට හේත්තු වෙන්න තියලා කෙක්කේ බලට්ට තියෙන පැත්තේ ඉදන් කෙලින් කරං ඇවිත් කෙක්ක උස්ස ගන්න එක මලාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි... ඒ හින්දා පලවෙනි ක්‍රම දෙක තමා වැඩි භාවිතයට යෙදුනේ...

ඒත් අමාරුවෙන් හරි අර කියාපු කෙකි සෙල්ලම කරගත්තොත්නං කල්ල මරේ... මොකද හැමදාම උදේට ඔය අඹ ගහ යට ඉදුන අඹ දහයක් විස්සක් වැටිලා තිබුනට ගහ යටට එකතු වෙන අයගේ හැටියට අපිට එහෙම උදේට ඉදුන අඹ හම්බු වෙන්නේ දෙක තුනක් විතරයි... මේ හැදෙන වැඩෙන හිච්චි උන්ට අඹ ගෙඩි දෙක තුනක් කියන්නේ මොන හූණු බිජ්ජක්ද..? හැබැයි අර කිව්වා වගේ කෙක්ක කෙලින් කොර ගත්තොත්නං අතු හොල්ලද්දී ඉදුනු අඹ වැස්සක් වහිනවා... එදාට ඉතිං රෑට අඹ ගහට එන වවුල් මස්සිනාලට හුළං තමා... හැමදාම උදේට අපිට කන්න හොද අඹ විස්සක් විතර බිමට වැටෙද්දී වවුල් මචාලා බාගෙට කාලා ගිහින් වැටුන අඹ කොට තිහ හතලිහක් ගහ යට... අපි ඉතිං දුක සේ අර වවුල් කොට දිහා බල බල හොද අඹ දෙක තුන කාලා..පස්සේ ඉවසා ගන්ට බැරිම තැන වවුල් කොටත් එකතු කොරලා වවුල්ලු කාපු පැත්ත පිහියකින් කපලා දාලා හොද කෑලි ටිකත් කනවා.. මොනවා කොරන්නද නැති බැරි කොමට... ඒත් අපිට කෙක්ක අහු උන දාට වවුල්ලුන්ට වෙන්නේත් අපිට වෙන එකේම අනික තමා... පව්නං තමා.. මොකද උන් කියලා අඹ කඩෙන් අරං කන්නයෑ... ඒත් ඉතිං පොඩි උන් වෙච්ච අපිත් පවුනේ යකෝ...

ඔය අඹ ගහේ අඹවල රසයට මී පැණි පරාදයි... මං මේ වෙනකල්ම එහෙවු අඹ රසයක් කවදාවත්ම විදලා නැහැ... ඒ රසයත් විඳින ක්‍රම දෙකක් තිබුනා අපිට... එකක් උලා කෑම.. අනික උරා බීම... 

ඌරන්ට මොන සවුක්කියද.. ආන්න එහෙම හිතලා අඹේ නැට්ට පැත්තෙන් දත් ගහලා පොඩියක් තුවාල කරලා එතැනින් අල්ලලා අමේ හම ගහනවා.. ඒක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි... කෙසෙල් ගෙඩියක් ලෙලි ගහනවට වඩා ලේසියෙන් ඒක කලෑකි.. එතකොට අතේ ඉතිරි වෙන්නේ බිත්තර කහ මදයක් වගේ කහ පාටට ඉදුන සුවඳ ගහන අඹ ගුලියක්..ඒක එක පාරට කටේ ඔබා ගන්න ලොකු වැඩි නැති උනත්.. කටට පොඩි පහසුවක් දෙන්න ඕන හින්දා එකෙන් මාංසේ යහමින් තියෙන පැත්තකින් ටිකක් උලා කනවා... එයින් පස්සේ   ඒක කෙලින්ම තනි කටට කටේ ඔබා ගන්නවා...විනාඩි දෙකක විතර ඇඹරුම් කිරියාවලියකට පස්සේ කටෙන් අහකට එන්නේ විඳින්න තියෙන දස වද ඔක්කෝම විදලා අහවර වෙච්ච අඹ ඇටයක්.. එකේ ආයේ කූඹියෙකුට උලා ගන්න තරමේ දෙයක් ඉතිරි වෙලා නැහැ.. ඒ තරමට කටේදීම ඇටේ පොලිස් වෙලා තියෙන්නේ... (ඕන නැති රෙද්දවල් එහෙම හිතනවා නෙවෙයි ඕං..) ඉදුන අඹ මාංසේ රස නහර සනසවානෙ ආමාසෙට බහිනකොට මොන තරං අපූරුද...?

දෙවැනි කොරමේ තමා අඹ බොන එක... හැබැයි මේ බොන්න ගන්න අඹ ගැන අපි ටිකක් දැනං ඉන්න ඕන..ආයේ මලාට පණුවෝ නොගහන හොඳ අඹ ගහක අඹයක් මිස නොදන්න ගස්වල අඹ උරා බොන්න ගියොත් කෙලවෙනවා... අර දවසක් මං කිව්වේ අපේ ජුං අලයටත් ඔය අඹ බිලා වෙච්ච කෙලියක්... එහෙම පණු අඹයක් අහු උනොත් ඉතිං අබ සරණයි...එහෙම නැති හොද විස්වාස ගහක අඹයක් උරලා බොන්න කිසිම වෙලාවක බය වෙන්න ඕන නැහැ... ඉතිං අඹේ බොන්න කලින් හොඳට ඉදුන අඹ ගෙඩිය අතින් හොඳට පොඩි කොරන්න ඕන... එහෙම පොඩි කරද්දී කිසිම විදියකින් අඹේ ලෙල්ලට හානි නොවෙන්න වැඩේ කරගන්න දැන ගන්න ඕන... හොදින් අඹය පොඩිවෙලා ඇතුල චුරු උනාට පස්සේ අඹ ගෙඩියේ පහලම කොනින් දත ගහලා පුංචි සිදුරක් හදා ගන්නවා. එයින් පස්සේ ඉති තියෙන්නේ සුරුස් ගාලා අඹ ගෙඩිය උරලා බොන එක තමා... හප්පච්චියේ එහෙමත් අමාරසයක්... ඔය බෝතල් කොරපු අරවා මෙව්වා දාපු අඹ සුවඳ කවාපු ඇසිඩ් වතුර වගේ නෙවෙයි..පුදුමා කාර රසයක් ඒක... 

ගහකින් ඉඳිලා වැටෙන අඹයක් රසය.. සුවඳ කිසිම දවසක කඩේ තියෙන කොයි තරං හොද කොලිටියේ අඹයකින් උනත් හොයන්න හම්බ වෙන්නේ නැහැ... ඒ හින්දා මං තාමත් කැමතියි කොහේ හරි ගහක් යට වැටිලා තිබුන අඹයක් දැක්කොත් අහුලං ඇවිත් කන්න... ඒක සමහර විට කෙනෙකුට ටිකක් ලැජ්ජ හිතෙන කාරණයක් වෙන්න පුළුවන්... ඒත් මං ලැජ්ජ බිමින් තියලා හරි ඒ වැඩේනං කොරනවාමයි... ඇයි යකෝ මංනේ දන්නේ ඒකේ රසේ... අදටත් මං අඹ අහුලන තැනක් තියෙනවා වැරදිලා හරි ඒ පාරෙන් ගියොත්.. ඒ තමා මාළිගාතැන්න පන්සල පාර යක්කල පාරට වැටෙන තැනට කිට්ටුව තියෙන අඹ ගස් කිහිපය යට.. උදේකට ගියොත් අඹ ගෙඩියක් දෙකක් පාරට වැටිලා තියේ.. තාර පාරට වැටෙන අඹනං තැලෙවා.. ඒත් පාර අයිනට වැටෙන අඹ ගස් කොලං වල වැදිලා යහතින් පොලවට පාත් වෙනවා... ඒ අඹ හැබෑ රසයි... පහුගිය කාලේ වැඩ පොලේ අඹ ගස් හත අටට පින් සිද්ධ වෙන්න පට් අඹ උනත් සෑහෙන රසයකින් ගහේ ඉදුන අඹ කන්න ලැබුනා... 

අද මේ අපේ හැලපයියගේ පරණ පොස්ට් එහෙකට අටං පහුරා දාලා තිබුන කොමෙන්ටුවක් දැක්කම මට කෙලින්ම මතක් උනේ මේ අඹ ගහ... ගහක් යටට වෙලා..ඔය අනං මනං සවුක්කිය පුරස්න බල්ලට දාලා... හිතේ හැටියට බඩ කට පුරා සුවද හමන රස ඉතිරෙන අඹ කොටා බාන්න අද කාලේ ළමයින්ට කෝ වාසනාවක්... උන්දලට හම්බ වෙන්නේ ඉදෙන්න තියා පැහෙන්නවත් නොදී යන්තං ගැට සංදිය පැන්න ගමන් බලහත්කාරෙන් අතු ඉති සූරලා කඩා දාපු ඇඹ ගැට වලට කාබයිඩ් ගහලා කහ පාට වෙන්න තම්බලා ගෙනත් දෙන මල හෝන්තු අඹනේ... එව්වෑ පාට විතරයි.. ඒකත් මහ හෝන්දු මාන්දු පාටක්.. සුවඳ..ඈක්කා... මහ වහුකුණු සුවඳක්.. රහ..තුක් ඉතරක්..මහ වහතු රසක්... අනේ අනාගත පරපුර... මොන තරං ලෝකේ දියුණු උනත්...  මොන තරං අළුත් තාක්සනේ ලෝකෙට ආවත්... මොන තරං වස්තුව දේපල තිබුනත් කෝ උන්ට මේ ලෝකේ තිබුන හැබෑ රස... උන්ට ඉතිරි වෙන්නේ දියුණු කරපු ලෝකේ කෘතිම රස විතරයි... ඒවා ඇත්තටම රසද..?  ඒ ප්‍රශ්නෙට උත්තරේ අටමා හැලපයියාට දාපු කොමෙන්ටුවේ මෙන්න මෙහෙම තිබුනා...
--------------------------------------

දවසක් මම බයික් එකේ යනකොට පාරට රට අඹ ගෙඩියක් වැටුනා. ලැජ්ජාව පැත්තක තියලා හරවගන ගිහින් අහුලගන ආවා අඹ ගෙඩිය.ගෙනල්ලා දුන්නා අපේ ලොක්කිට. කෙල්ල අඹ ඇටයේ එක කෙන්දක් නැතිවෙන්න උලා කාලා 

අඹ ඇටය අරගන ගිහින් මල් පෝච්චියක වැලලුවා

''තාත්තේ වෙනදට ගේන එවා එපා මේ අඹ ජාතියම ගේන්න''

--------------------------------------
පුදුම දුකක් ඇති වෙන්නේ මේවා දැක්කම... අසරණ ළමයි... කාගේ වැරදිද මේවා... දියුණුව කියන වචනය අපි පාවිච්චි කොරන හැටි හරියටම හරිද.. දියුණුව කියන්නේ ඇත්තටම මොකක්ද..? මංදා මටනං තේරෙන්නේ නැහැ... 
---------------------------------------------------

කොහොම උනත් තියෙන වැඩ පැත්තක දාලා හරි ලියන්න හිතෙන තරමට මාව අවුස්සාපු කොමෙන්ටුවක් දැම්මට අටමටත් බොහෝම ස්තුතියි... ඒ වගේම මගේ බාල කාලය වර්ණවත් කරාපු සුවිශේෂි දෙයක් උන චන්දරපේම බාප්පලගේ අඹ ගහටත් දෙපාරක් ස්තූතියි... ඒ මගේ ලස්සන පුංචි කාලය ලස්සන කරන්න උදවු උනාටයි... ඒ මතකයෙන් බින්දුවක් හරි සටහනක් කරගන්න මට උදවු උනාටයි...

12 February 2013

සිංහල බ්ලොග්...


සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය..?

මංදා..එහෙම එකක් තිබුනද..තියෙනවද..ඒවිද කියලා... අපි හැමෝම බලන්නේ අපි ආපු තැන ඉදලා... මං එද්දී මටනං ඒ කාලේ තමා හොඳම කාලේ කියලා කිව්වැකි.. මොකද යුනිකෝඩ් ඒ හැටි ප්‍රසිද්ධ නැහැ... කණ්ඩායම් කීපයක් එකතු වෙලා යුනිකෝඩ් භාවිතය වැඩි කරවන්න උත්සහ කරමින් හිටිය කාලයක්.. ඒ හින්දා දැනටත් වඩා බ්ලොග් තාක්ෂණය ගැන ලිපි ලියවුන කාලයක්...  ඒ අතරේ විවිධ මට්ටම්වල අය ඒ ඒ අයගේ පුද්ගලික අදහස් කතා කවි ආදිය එකතු කරමින් සටහන් ලියමින් හිටි කාලයක්... ඉගෙන ගන්න දේවල් වගේම කියවන්න දේවලුත් යම් ප්‍රමාණයකින් තිබුනා.. හොදම දේ තමා ඒ දවස්වල පල උන බ්ලොග් සියල්ලම අතරින් වැඩි හරියක් කියවන්න අවස්ථාව ලැබිම..මොකද වැඩිය නැහැනේ... ඉතිං කොයි බ්ලොග් කාරයා ගැනත් යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් කාලයක් ඒක...

හැබැයි ඒ කාලෙත් ඔය අද වාගේම තමා කැපිලි කෙටිලි මරා ගැනිලි අම්බානකට... නිකං ඉන්නකොට හොයලා බැළුවොත් ඒ කාලෙත් මේක ඇතුලේ තිබුන වලි හොයා ගතෑකි... මොන රෙද්දක් බෙදා ගන්න බැරිවද කියලා අපිට හිතෙන තරමට යුනිකෝඩ් හරහා බ්ලොග් හදන්න කියා දුන්න කට්ටියම දෙපිලකට බෙදිලා මරා ගැනිම... අනුරාධපුර සෝන් අඩවිය කල හාදයා විසින් තමන්ගේ සයිට් එකට කට්ටිය එන්නේ නැති නිසා කුපිතවී අනිත් අයගේ ඒවෑ කුණු හරප කෙල කෙල ගිය ආකාරය... සිංහල බ්ලොග් යනු කොළඹ හතේ හා ඒ සමාජයට අයත් අයට බුක්තියෙන් උරුම උන දේපලක් ලෙස සලකා කටයුතු කල පිරිසේ බලපෑම... දේශපාලන කණ්ඩායම් දෙකක් සිංහල අන්තර් ජාලය තුල අයිතිය ලියා ගැනීමට උත්සහ කිරීම... ඔය වගේ ප්‍රශ්න රාශියක් මැද්දේ ගෙවුනු කාලයක් ඒක...

හොද වගේමයි නරකත්...

එයින් පස්සේ අපිත් ලියන්න ගත්තා.. තව අයත් ලිව්වා..බ්ලොග් වැඩි උනා.. අද වෙනකොට සෑම බ්ලොගයක්ම කියවනවා කියන එක හීනයක් විතරයි වෙන තරමට බ්ලොග් පැතිරිලා... ලේසි නැහැ... හරි අමාරුයි.. ඒ අතරේ මේක හිට් සහ කමෙන්ට් තරඟයක් කරගත්ත අය වැඩි වෙලා... කොටින්ම අද වෙද්දී මේක මෙහෙමයි කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ.. ඒ තරමට සංකීර්ණයි... ඉදිරියේදී ඕක තවත් වැඩි වෙයි...

කලින්වත් දැන්වත් ඉදිරියේදීවත් ස්වර්ණමය යුග කියලා දෙයක් ඇති වෙයි කියලා මං නොහිතන්නේ මේක සෑම කාලෙකදීම වෙනත් වෙත් ආකාර වලින් ගියත් හැමදාමත් එක වගේ වීම නිසයි... බ්ලොග් කොයිතරං වැඩි උනත් මේක ඇතලේ හැම රසයක්ම හැම කාලෙදීම පවතිනවා... හොඳ වගේම නරක...

කොහොම උනත් පොදුවේ ඔය ගහ මරාගැනිලි පැත්තකින් තිබ්බම සිංහල බ්ලොග් කියන්නේ රත්තරන් වටින දෙයක්... ඉංග්‍රිසියෙන් පමණක් තිබුන තොරතුරු දැන ගැනීමේ හැකියාව මේ වෙද්දී සිංහලෙනුත් කරගන්න පුළුවන් කම ලැබෙන්නේ මේකට පින් සිද්ධ වෙන්න...

ඔහොම යං.. කියනවා ඇරුනු කොට වෙනනං කියන්න දෙයක් මට නැහැ...
---------------------------------

ඇත්තම කිව්වොත් මේක සුදීකගේ අඩවියේ කොමෙන්ටුවක් හැටියට දාපු එකක්.. තාම ඒකේ පල වෙලා නැතිව ඇති. මේ දවස්වල ලියන්න වෙලාවක් හොයා ගන්න නැති හින්දා මෙහෙම දිගට කොටන කොමෙන්ටුවලින් හරි ගොඩ යන්න එපෑ.. ආන්න ඒ හින්දා මේක මෙතන දාලා ඔන්න අළුත් ලේබලේකුත් ගැහුවා... ඉස්සරහා මාස කිහිපය මෙහෙම තමා ඇදගෙන යන්න වෙන්නේ... :D


05 February 2013

සුරූපී හෙළු යකින්නක් වීමට ඔබත් ආසද..? මෙන්න ක්‍රමය...(කාන්තාවන්ට පමණයි...)

මේ දවස්වල මංතුමා වාසය කරන්නේ කොලම්බු වල කියලා කස්ටිය දන්නවා ඇතිනේ මයෙ හිතේ... ඒ ගැන වැඩි විස්තරයක් පස්සෙන් පහු කියන්ට බැරියෑ... මේ කතාව එහෙම එකක් නෙවෙයි... අපේ සකල සිරි ලංකා වාසී තරුණියන් පිළීබඳව මංතුමාගේ හිතේ ඇති වෙච්ච අප්‍රමාණ ආදරය..දයාව..කරුනාව පෙරදැරි කොරගත්ත මෙව්වා එකක්... ඒ වගේම මේ හෙළු රටේ උපන්න හෙළු යකෙක් විදියට හෙළුවන්ගේ දියුණුවට උන්නතියට හේතූ භූත වෙන කාරණාවක් තමා මේ...

ඇත්තම කිව්වොත් මේක අපේ සිරි ලාංකික හෙළු තරුණියන්ට ලැබුන ලොකු චෑන්ස් එකක්...

හරි මෙහෙම කියමුකෝ.. අපේ තරුණියන්ගෙන් කොයි කවුරුද ලස්සන වෙන්න අකමැති... ඔව් ඔව්.. අපි දන්නවා හැමෝම කැමතියි ලස්සන වෙන්න... ඒත් එහෙම ලස්සන වෙන්න කියලා හිතුවම ගෑල්ලමයි ඒකට ආදර්ස හැටියට ගන්නේ කාවද..? අහන්න දෙයක් නැහැ වැඩි හරියක්ම අර පර ඉන්දියානු රාමගේ පරපුරෙන් එන ආස්චරියා රායිලා..ජුහී වව්ලලා.. වගේ හින්දි කෑලිනේ... නැත්තං අර ඇන්ජලීනා ජොලීලා වගේ පර සුද්දියෝවනේ.. යකෝ රටකට ගිය කල... හෙළු කාන්තා රත්නයෝ වෙච්ච අපේ තරුණියෝ පර ඉන්දියානු හැතිකරේ පෙනුම ගන්නේ අහවල් එහෙකටද... අපිව හූරා කාපු පර සුද්දන්ගේ ගෑණු වගේ වෙන්නේ අහවල් එහෙකටද.. මගේ හෙළු ලේ කකියනවා බොලවු... හැම දේම දේශිය වෙන මේ කාලේ ඇයි අපිට බැරි අපේම ලස්සනක් ඇති කරගන්න... ආන්න ඒකට තමා මං මේ ක්‍රමය කියා දෙන්න හදන්නේ...

ඇත්තම කිව්වොත් මේක මගේ හොයා ගැනීමක් නෙවෙයි..මටත් අහම්බෙන් වගේ හම්බ වෙච්ච දෙයක්..ඒත් ඉතිං අපේ කෙලි පැටික්කියන්ට මේක නොකියා කොහොමද... මේ බ්ලොග් එක කියෝන මගේ ආදරණීය පැංචියෝ පැටික්කියෝ.. ටිකට හොදක් වෙනවනං මට එයිට වඩා සංතෝසයක් තියේද.. නැහැනේ... ආන්න ඒකයි කොහේ ගියත් කොතැන හිටියත් මේ කාන්තා පාරුසවේට හොදක් වෙන දෙයක් දැක්ක ගමන් මට ඒක මතක හිටින්නේ...

---------------------------

මේ දවස්වල මංතුමා කොළඹ ඉන්නවා කියලා කිව්වා වගේම තවත් එකක් තමා මේ ටිකේ මට මේ “තුන ඩී “ (3D) චිත්තරපටි බලන රෝගෙකුත් ඇවිත්... ඒ හින්දා පහුගිය ටිකේ ඔය වැල්ලවත්ත සැවෝයි එකට ආව ඔක්කෝම “තුන ඩී “ (3D) චිත්තරපටි ටික කොහොම හරි බලන්ට ගියා... වැඩියම නෙවෙයි මං හිතන්නේ දැන් හතරක් හෝ පහක් විතර බලලා තියේ... ඉතිං ඒ ගියාම තමා මට මේ අගනා රහස එළි දරවු උනේ...

ඔය “තුන ඩී “ (3D)  චිත්තරපටිය යන අතරේ ඉන්ට බෙල් එකක් එනවනේ... ආන්න ඒ වෙලාවට ප්‍රචාරය වෙන දැන්වීම් අතර තිබිලා තමා මට මේ හෙළු සුරූපී රහස එළි දරවු උනේ... සමහර විට මේක ටීවී වලත් යනවා ඇති.. ඒත් ඉතිං මං ටීවී බලන්නේ බැංකුවකට ගිහින් පෝලිමක ඉන්න උන වෙලාවට විතරක් හින්දා මට ඕක අහුවෙලා තිබුනේ නැහැ... 

ඔන්න ඉතිං මේ ඇඩ් එකේ පෙන්නනවා එක්තරා නිළියක්... එයා ඇවිල්ලා ලඳ බොළද කෝමල ස්වරයෙන් අපිට කියනවා එයා කොයි තරං සුන්දරද.. ඒ සුන්දර කම එයා රැක ගන්නේ කොහොමද කියලා... ඔව් එකේ රහස තමා එක්තරා මල්ටි විටමිනයක්... අර බයෝනා කියලා කියන්නේ. ආන්න ඒක... ඉතිං මේ නිළිය කියන විදියට එයා නිළියක් හැටියට එයාගේ මේ සුරූපී මෙව්වා එක රැක ගන්නේ ඔය බයෝනා ගහලා තමා... ඇත්ත තමා ඒ නංගි හරිම ලස්සනයි... එයාගේ ලස්සනට හරියනම විදියේ චිත්තපටි දෙහෙකම තමා එයා මේ වෙනකොට රග පාලා තියෙන්නේ... ඒ චිත්රපටිවල කෑලිත් අර ඇඩ් එක මැද්දේ යනවද කොහේද...

දන්නවද මොනවද ඒ චිත්තරපටි දෙක කියලා...

1. අබා
2. කුවේණී

දෙකම අපේ හෙල යක් පරපුර ගැන කියවුන චිත්තරපටි දෙකක්නේ ආයිබෝං... මේ නිළිය ඒ දෙකේම හිටියේ යකින්නියකට නෙව... පලවැනි එකේ අර ගුම්බක බූතා කියලා යකින්නියකටයි... දෙවැනි එකේ කුවේණිටයි.. ඒත් යකින්නක් නෙව.. දැන් මං කියන්න ඕන නැහැනේ නිළිය කවුද කියලා... ඔව් ඔව්..දුලානි අනුරාධා තමා...

ආන්න එයා කියන විදියට එයාට මේ තරං යක්ෂ පාට් ලැබෙන්නේ බයෝනා ගහලම තමා... ඉතිං බලන්න මේක කොයි තරංනං වටිනා කියන ආරංචියක්ද අපේ ගෑණු ළමයින්ට... නිකං පර සුද්දියෝ.. පර ඉන්දියන් කෑලි වගේ සුදු මැලි කෝමල පෙනුමක් ගන්නවද එහෙමත් නැත්තං අපේ හෙළු යක් පරපුරේ අභිමානය රැකෙන අන්දමට උල් දත්.. කැරළි කොණ්ඩය... කාල වර්ණ සමක් සහිත..නියම යකින්නියක් විදියට ලස්සන වෙනවද..? තීරනේ තියෙන්නේ අපේ අක්කලා නංගිලා අතේ... නැන්දලා..අම්මලා... පුංචි අම්මලා.. ලොකු අම්මලා නෙවෙයි ආච්චි අම්මලාට උනත් තමුන්ගේ පෙනුම හෙළු යකින්නක්ගේ වගේ කර ගන්න ඕනනං ආයේ දෙකක් නැහැ මෙන්න බෙහෙත... බයෝනා.. ගැහුව ගමන් බඩු ෂුවර්..කෙලින්ම සුරූපී හෙළු යකින්නක් වීමට ඔය හැමෝටම අවස්ථාව...

කවුරුවත් හිතන්න එපා මං මේ බයෝනාවලට කඩේ ගියා කියලනං.. මං ඇත්තටම මේ කඩේ ගියේ අපේ සිරි ලාංකික ඉස්තිරී පාර්සවේට විතරමයි ඕං...

එහෙමනං ඔන්න ක්‍රමය කියා දුන්නා.. දැන් ඉතිං වැඩ කෑල්ල තියෙන්නේ ඔයාලා අතේ... හිටු කියලා බයෝනා ගහලා හෙළු යකින්නියෝ විදියට හැඩ වැඩ වෙලා... හෙට අනිද්දට ඔයාලා පාරට බැහැලා යන හැටි මට නිකං දැනුත් මැවිලා පේනවා පේනවා වගේ... කාටද දෙයියනේ ආඩම්බර...?