28 March 2013

බලු කමෙන්ට් දැමූ බ්ලොග් රචිකාවියකගේ දුක්බර කතා පුවත... එහෙම හැකර්ලා වාසනාවන්...



මෙන්න තියෙනවා කතාවක්...

ඔන්න ළමයි එකෝමත් එක රටක..එකෝමත් එක කාලෙක එකෝමත් එක බ්ලොග් ලියන්නියක් හිටියා. මේ බ්ලොග් ලියන්නිය බොහෝම දැන උගත් වැදගත් කෙනෙක් කියලා තමයි කියවන අපි හිතං හිටියෙත්.. ලියන එයා අපිට කියා හිටියෙත්. ඉතිං මේ බ්ලොග් ලියන්නිය බොහෝම සතුටින් සාමයෙන් තමුන්ගේ මේ බ්ලොග් එක කරගෙන ගියා.

අනේ බලන්න ඉතිං ඔය හැම පැණීවරකා ගහටම නැතත් ඉද හිටලා ඔය අතරින් පතර තියෙන වැල ගස්වලටත් හෙන ගහනවනේ.. ඉති මේ වැල ගහටත් ගැහුවා හෙනයක්... ඒ කිව්වේ.. අර දැහැමින් දෙසමින් බ්ලොග් එක ලියාගෙන හිටිය වැදගත් නෝනගේ බ්ලොග් එක හැක් කරලා තිබුනා නෙව නපුරුම නපුරු හැකර් කෙනෙක්.

ඉතිං ඔන්න බලන්න ඒ බ්ලොග් එක හැක් කරපු එකා කරපු දේ... ඒකා ගිහින් ඒ බ්ලොග් එකේ එකවුන්ට් එකෙන්ම තවත් ඒ එකෝමත් එක රටේ එකෝමත් එක කාලයේ බ්ලොග් එකක් ලියාගෙන හිටිය බ්ලොග් ලියන්නියකගේ බ්ලොග් පෝස්ට් එහෙක දානවා කැතම කැත කොමෙන්ටුවක්.  නිකං නෙවෙයි ඒ බ්ලොග් එක කරන බ්ලොග්කාරිනියවයි ඒකේම කොමෙන්ටුවක් දාපු තවත් බ්ලොග් එකක් ලියන එකෙකුයි එකට පටලලා කැතම කැත එකක් තමා... ඒක මහ බලු කොමෙන්ටුවක් කිව්වට කමක් නැහැ... එහෙම බලු වැඩක් කරන්න පුළුවන් බ්ලොග් එකක් හැක් කරන එහෙකුටම මිසක් අර වගේ ඇල්වතුරත් නිවලා බොන වැදගත් බ්ලොග් ලියන්නියකට නෙවෙයි කියලා අපිට තේරෙනවනේ නේද..?

ඉතිං මේ බ්ලොග් එක හැක් කරපු එකා ඒක හැක් කරලා කෙලින්ම ගිහින් දැම්මා අර වගේ කැත කොමෙන්ටුවක් අර අනිත් බ්ලොග් ලියන්නියගේ බ්ලොග් එකේ.

හැබැයි ඉතිං ඔය කොමෙන්ටුව දැක්කම ඒ ගැන කරුණූ හෙව්ව ඒ කොමෙන්ටුවේදී පටලෝගෙන හිටිය බ්ලොග් අයිතිකාරයා  ඉක්මනට එහෙට මෙහෙමට කැරකිලා තොරතුරු ටිකක් හොයාගෙන ඇවිත් ඒකෙම දානවා මෙන්න මෙහෙම...

හා ඉතිං මං ඕක ලියන්න යන්න ඕනයෑ.. මං දෙන්නංකෝ කතාවට අදාලව තොරණේ රූප රාමුවක්...



පේනවා නේද..?

දැන් ඔහෙලා හිතන්න එපා මේ රූප රාමු මේ ලස්සන සුරංගනා කතාවට අදාලයි කියලා.. ඕක නිකං ඒ වගේ එකක් කියලා අපි හිතමුකෝ. :D

හරි ඉතිං එයින් පස්සේ ඔය අවසාන කොමෙන්ටුව දාපු හාදයා එයාගේ මූණු පොතෙත් ගිහින් ඔය ගැන වහෙන් ඔරෝ කියලා හිනා වෙනවා.. මොකද අදාල කෙනා තමන්ට වැඩේ වැරදුනා කියලා දන්නවනං ඔය කියාපු හාදයා මොකද කරන්නේ කියලත් බලං ඉන්නවා කියලා දන්න හින්දා. 

අනේ ඉතිං ටික වෙලාවකින් ඔන්න මේ බ්ලොග් කාරිනිය තමුන්ගේ මූණු පොතේ මෙන්න මෙහෙම දානවා...



ඕක දකින මේ හාදයා තේරුං ගන්නවා රෙද්ද දුන්නම කපං මහං ඇදගන්න තමා මේ ගෑණු කෙනා ලෑස්ති වෙන්නේ කියලා... ඒ පාර මෑන් කියනවා “ඔහොම බැහැ තව කොහේ කොහේ හරි ගිහින් ඇනෝ කමෙන්ට් දාලා බනින්න ඕන කාට හරි.. එතකොටයි මේක ඇත්තටම හැක් කරලා “ කියලා අනිත් අයට හිතෙන්නේ කියලා...

අනේ ඉතිං අර බලු කොමෙන්ටුව දැම්ම බ්ලොග්කාරිනිය.. ආ වැරදුනා..ඒ බ්ලොග් එක හැක් කරපු පින්වතා... දුවලා ගිහින් දානවා තවත් ඒ එකෝමත් එක කාලේ එකෝමත් එක බ්ලොග් එකක් ලියාපු බ්ලොග් කාරිනියකගේ බ්ලොග් එකේ මෙන්න මෙහෙම...



පව් නේද..? තව ටිකක් හොයලා බැළුවම අදාල හැක් කලාය කියන ගිණූමෙන් ඔය බලු කොමෙන්ට් එක දාන්න ටික වෙලාවකට කලිනුත් තම හිතවතුන්ට ඊමේල් ලැබිලා තියෙනවා වගේම ඒවා වෙනදා වගේම සාමාන්‍ය මේල් වගත් හොයා දැනගන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අදාල බලු කොමෙන්ට් දාන බ්ලොග් කාරිණීය එක එක ඒවට වෙන වෙනම ඊමේල් භාවිතාවක් නොකරන වගත් එකම ඊමේලයකින් මූණු පොත පවා හසුරවන වගත් දැන ගන්නට ලැබුනා කියමුකෝ...

ආයේ ඉතිං එයින් එහාට හොයලා වැඩක් ඇතෑ... ඒ ටික අනුව අර මෑන් තේරුං ගන්නවා ගෑණිට කෙල උනා තමා කියලා... ඔය කියන ගෑණී කොහොමත් මේ මෑන් එක්ක හිටියේ ටිකක් අමනාප වෙලා... ඒකට හේතුව උනේ ඔය කියන බලුකොමෙන්ට් කාරි ආස්සරේ කරන කෙනෙක්ව මේ කියාපු මෑනුත් ආස්සරේ කරපු එකයි. ඒත් මේ බලු කොමෙන්ට් නෝනට ඒක රිස්සුවේ නැහැ මොකක් හරි හේතුවක් හින්දා. සමහර විට තමන් වගේ වැදගත් උගත් යැයි හිතං ඉන්න කෙනෙක් ආස්සරේ කරන්න ඕන තමන් වගේම පැලැන්තියක අය මිස අර මෑන් වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියලා වෙන්න ඕන. 

ඒත් ඉතිං අර මේ සිද්ධි එහෙකටවත් අදාල නැති කෙනා මේ බලු කොමෙන්ට් කාරි වගේ ඔළුව උදුම්මවගත්ත කෙනෙක් නොවන හින්දා මිනිස්සුන්ගේ ලොකු පොඩි කං නොබලා ත‍මුන්ගේ හිතවත්කං තියාගත්තා. මේක මේ බලු කොමෙන්ට් නෝනට රිස්සුවේ නැති  හින්දා කිහිප වතාවක්ම ඒ ගැන පරල වෙලා එක එක දේවල් කලා උනත් ඒ එකක්වත් හරිගියේ නැති කේන්තියට මෙහෙම බලු කොමෙන්ට් එකක් දැම්මාය කියලා මෑන් තේරුං ගත්තා. ඒ වගේම එයින් එහාට එලව එලවා ගහන්න යන්නෙත් නැතිව ඔහේ බලං හිටියා මොකද වෙන්නේ කියලා...

ඔන්න එයින් ටික දවසකට පස්සේ එක එක දේවල් අර එකෝමත් එක රටේ..එකෝමත් එක කාලයේ බ්ලොග් සමාජය තුල සිද්ධ වෙනවා. එයින් එකක් තමා අර මෑන්ටයි... තවත් කෙනෙකුටයි මඩ ගහලා බ්ලොග් එහෙකින් පොස්ට් එකක් එහෙම දාන සීන් එක එහෙම. මෑන් තවත් බලොග්කාරිනියක්වක්ව බැන්දා කියලා මඩක් ගහන ගමන් මෑන්ට වගේම මෑන් බැන්දාය කියන ගෑණු කෙනාටත් හිතේ තියෙන ලොකු වෛරයකින් බැණ අඩ ගහන විදියට තමා පෝස්ටුව වැටුනේ...

දැන් ඉතිං ඒ මඩ බ්ලොගය කරන්නේ අහවල් බලු කොමෙන්ට් නෝනා සහ තවත් එකෙක් එකතු වෙලාය.. වගේ කතා කියන්න යන්න ඕන නැහැ. ඒවා ඒ කාලයේ හිටිය බ්ලොග් කාරයෝ තේරුං ගනීවි... අපි ආවේ කතන්දරයක් කියන්නනේ... අපි කතාව කියමු...

ඉතිං කොහොම හරි මේ හුට්ටපරේ සිද්ධ උනාට පස්සේ අදාල බලු කොමෙන්ට් නෝනා තමුන්ගේ බ්ලොග් එක ලියන එක නැවැත්තුවා. ඇත්තනේ.. එයා කියපු හැටියට දැන් ඒක හැක් කරපු බ්ලොග් එකක්නේ. එකේ කොහොමද පොස්ට් වැටෙන්නේ.. මොකද අර හැක් කරපු එකාට වෙන වැඩ නැද්ද ඕකට පෝස්ට් ලිය ලිය ඉන්නවට වඩා.

කොහොම හරි මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ එක්තරා දවසක මෙන්න නැවතත් අර හැක් කරපු බ්ලොග් එකේ බ්ලොග් පෝස්ට් එකක් වැටෙනවා. හැබැයි ඒක ලියන්නේ අර හැකර්නං නෙවෙයි... අර බලු කොමෙන්ට් එකක් දාන්න ගිය නෝනම තමා... ඔන්න ඕක දකිනවා මෙච්චර දවසක් වැල යන්නේ කොයි අතටද කියලා බලං හිටිය මෑන්... ඒ කිව්වේ අර මඩ ප්‍රහාරයට  ලක් උන බ්ලොග් කාරයා.

අන්න එතකොට ඒ මෑන්ගේ හිතට එනවා මෙන් මේ වගේ ප්‍රශ්න ටිකක්...

මංනං ඒ යකාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නේ නැහැ පින්වතුනි.. බලන්න ඔහෙලටවත් ඒවට උත්තර දුන්නැකිද කියලා...

*බ්ලොග් එකක් හැක් කල අයෙක් එකී බ්ලොගයට කිසිදු හානියක් නොකොට.. (එහි එතෙක් තිබූ පෝස්ට් මකා දැමීම/ වෙනස් කිරීම/ අසභ්‍ය හෝ වෙනත් අයහපත් අන්දමේ පෝස්ටු දැමීම/බ්ලොගය මකා දැමීම වැනි දේ..)
එකී ගිණුමෙන් ගොස් වෙනත් බ්ලොග් දෙකක පමණක් බලු කමෙන්ට් දෙකක් පමණක් දැමීම විය හැකිද..?

*එසේ කමෙන්ට් දෙකක් දැමීමට පමණක් බ්ලොගයක් හැක් කරනා හැකර්ලාත් සිටීද..?

*ඔක්කෝමත් හරි එයින් පස්සේ මාස ගානක් කිසිදු අන්දමක ක්‍රියාකාරකමක් අදාල බ්ලොගය  තුල සිදු නොකොට නැවත මාස ගාණකට පසුව සිද්ධියේ උණුසුම මැකී ගියායයි සිතා බ්ලොගය අයිතිව තිබූ කෙනාගේ රචනා ස්වරූපයට අනුව ලිපියක් ලියා පල කරයිද..? නැතහොත් නැවත බ්ලොගය අයිතිව තිබූ තැනැත්තියට බ්ලොගය සුරක්ෂිතව නැවත භාර දෙනු ලබයිද..? (හරිම ගුණ යහපත් හැකර් කෙනෙක් නේද..?)

*එසේ ගුණ යහපත් හැකර්වරයාගෙන් නැවත තම බ්ලොගය ලබා ගත් පසුව මෙතෙක් කලක් සිදුව තිබූ කරදරය ගැන වචනයක්වත් පැහැදිලි නොකර කිසිවක් සිදූ නොවූ ලෙසින් ලිපියක් පල කර කඩේ වහන්නට බ්ලොගය අයිති නෝනා කටයුතු කරයිද..?

අනේ මංදා ඔය ප්‍රශ්නවලට අර මෑන් ගාව වගේම මේ මං ගාවත් උත්තර නැහැ. එකෝමත් එක කාලයක එකෝමත් එක රටක සිද්ධ වෙච්ච මේ බ්ලොග් කතන්දරය කියවලා බලාපු ඔහෙලටම පුළුවන් වෙන්න ඕන මේ ප්‍රශ්න විසදන්න.

---------------
ප/ලි...

මොනවා උනත් ඌ හරි ගුණ යහපත් හැකර් කෙනෙක්... අනේ වාසනාවන්... :P

--------------
ප/ප/ලි...

අපි නොදන්න මොණරතැන්න...

26 March 2013

ගෝවා වගේද අල..? වැඩේ අල කරන්නේ මෙහෙමයි...



සුපුරුදු විදියට ඊයෙත් මංතුමා ගියා ඔටුව පැත්තේ බඩු මුස්ටු ටිකක් ගේන්ටය කියලා. ඒ ගෙහුන් අවුරුද්දට ගෙවල් පැත්තේ ගෙනියන්ට ඕන කරන ඇදුං පැළදුං එහෙමත් අරං උයන්න පිහන්න ඕන කරන ජාතිත් ටිහිකුත් ඇන්න ආවා.

මං හිතං හිටියේ අවුරුදු කිස්ටු වෙද්දී බඩු ගණන් යන හින්දා ඊයේ වෙද්දි ආයෙමත් එලෝලු පහේ ගණන් ගෙහුන් තියේවි කියලා... මොකද පහුගිය සුමාන දෙක තුනක ඉදන් සුළු සුළු වැඩීවීම් වගයක් කෙරීගෙන ආව හින්ද.. ඒත් ඊයේ බලද්දී ආයෙම එලෝලු ජාතිවල පිටෝටුවේ මිල අඩු වේගන යන බවක් පෙනුනා.. ඒත් සමහර විට ලබන සතිය වෙද්දී ආයේ ගණන් යයිද මංදා... කොහොම උනත් මාත් ඉතිං මට ඕන කරන ජාති ඇන්න ආවා... ඒ අතරේ නුවර එළිය අල වලින් කිලෝ එකක්මත් තිබුනා... 

වැලිමඩ පැත්තේ අල ඇත්තටම හරිම සෝක්..  අර පොතු ගැලවෙවී යන ස්වභාවයේ අල ජාතිය.. අන්න මරු අල... උයද්දී අලවල පිටි ගතිය හොද්දට දිය වෙලා යනවා.. පුදුම රසයි.නුවර එළීය වර්ගය ටිකක් කහ පාටයි පොත්ත අර වගේ ගැලවෙන්නේ නැහැ... ඒත් නරකම නැහැ. හැබැයි මේ දෙකම ටිකක් ගණන්... 

ඔය අතරේ අර ඉන්දියාවෙන් පකිස්ථානයෙන් එන අල තියෙනවා නේද..? තූ නොදකින්..එව්වා කනවට වඩා හොඳා අල නොකා ගෝවා කනවා... 

ඔය වර්ග වල මිල ගණන් වලින්ම කිව්වොත් මේ දවස්වල අර හොඳම වැලිමඩ අල එක එන්නේ නැහැ. මං හිතන්නේ අවාරේ වෙන්ටෑ. හැබැයි නුවර එළීය අල එනවා..ඒක කිලෝ එක රුපියල් සීයයි ඔටුවේ... මේ කියන්නේ හොඳ මහත දෙහෙත ලොකු අල කිලෝවක මිල. එකේම පොඩි අල එනවා කිලෝව හැටක් විතර වෙන්නේ. ඉන්දියන් අල කිලෝවම රුපියල් පනහයි කියහංකෝ... ඒත් කෑහැකියෑ මල ජරාව. ඒ අතරේ මං ඊයේ දැක්කා අර කුණු අලත් මාකට් එකට ඇවිත් තියෙනවා.. අතරින් පතර පුස් කාපු ගතිය හොදටම පේනවා... කිලෝව හතළීහයි... හෝටල් කාරයෝ තමා ඉතිං ඒවට වග කියන්නේ.

මම ඉතිං නුවර එළිය අල වලින් පොඩි සයිස් එකේ අල කිලෝවක් ගෙනාවා... දැන් ඕක ඉතිං ගෙදර තිබුනා... ඊයේ ඉතිං වෙන වෙන වැඩ හින්දා දවල්ට හරි හමන් විදියට ඉවුවෙත් නැහැ. රෑට උයන්න කිට්ටු වෙද්දී තමා ඔය අල ටිකට ඇහැ ගියේ. ගෙනාවනං කන්නත් එපෑ. බත් උයන්නත් කම්මැලියි... ඉතිං හිතුවා අල රොටී හදන්න... ආන්න ඒ වෙද්දී තමා මට කාකාගේ පෝස්ටුව මතක් උනේ.

මේ ඊයේ පෙරේදා අපේ කතන්දරතුමා රොටී වගයක් හදපු වගක් රීඩරෙන් දැක්කා... කොහෙන් දැක්කත් කෑමක් බීමක් ගැන ලිපියක් දැක්කම ඒක කියවන එක මගේ පුරුද්දක් නෙව. ඒක බොහෝම හොදට පැහැදිලි ඇතිව දාලා තිබුන පෝස්ටුවක්.. ඒ කියන්නේ රොටී හැදීම ගැන කිසිම ගැටළුවක් නැහැ දැන් අපේ අයට.. ආන්න ඒ හින්දා මං කල්පනා කලා මමත් උයං කන ගමන්ම ළමයින්ට රොටී වල ඇඩ්ඩාන්ස් කෝස් එකක් කොරවන්ට කියලා.. ඔව් ඔව් මෙයිට කලින් මං එලෝලු රොටී එහෙම හදන හැටිත් කියලා  තියෙනවා තමා... එව්වත් ඇඩ්ඩාන්ස් කෝස් තමා.. මේකත් එයින් එකක්... මේ ඇවිල්ලා අල රොටී...

මං කෙටියෙන් කියන්නංකෝ...

ගත්තා හොඳවැයින් අල ගෙඩි කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා.. අල ටික තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා... ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී අල ටික  තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට අල ටික පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා... අලවල රස්නෙට බටර් දිය වෙලා හොදින් මේක පල්ප් එකක් බවට පත් වේගන එද්දී ඕකටම පාන් පිටිත් එකතු කරන්න ඕන... සාමාන්‍යෙයන් අල වල ප්‍රමාණයටම වගේ පිටි එකතු කරලා ගත්තම හරි... ඒත් මංනං පිටි ප්‍රමාණය අල ප්‍රමාණයට වඩා අඩු වෙන් දැම්මා... මොකද අල ලාබයි පිටි ගණන්.. :D ඒ නැතත් අල රොටී හදනවනං අල රොටී හදනවා මිස මොකටද ඔයාකාර පාන් පිටි. (සමහරුනං මේකට ගසාගත්ත බිත්තරයකුත් එකතු කරනවා.. මංනං කොලේ නැහැ.. ගෙදර තියේනං බේකින් පවුඩර් කන් හැන්දක් විතර එකතු කරාට වරදක් නැහැ. නැතත් අවුලකුත් නැහැ.)

රයිට් දැන් ඔන්න අපිට බොහෝම මෘදු පිටි මිශ්‍රණයක් තියෙනවා...



දැන් ඉතිං තියෙන්නේ මේ මිශ්‍රණයෙන් කුඩා බෝල හදලා අරං ඕක නොඇලෙන සුළු මතුපිටක් මත තියලා රොටිය වඩන එකයි...
 

එයින් පස්සේ රත් කල තැටියක් මත තියලා පුළුස්සා ගන්න ඕන දෙපැත්තම... පොල් රොටී වගේ තද ගතියක් මේ රොටිවල නැහැ.. බොහෝම මෘදුයි.. පිලිස්සෙන කොට හොඳට සුවඳ ගහනවා.. උණු උණුවෙන් නිකංම උනත් කාලා දෑතැකි...





හැබැයි මං කෝකටත් කියලා ඔය අස්සේම කෙලවල්ලන් මාළු කෑලි ටිකක් බැදෙන්න ඇරලා ඒ ටික මිරිසට උයලා ගත්තා... රොටි කන්නනං හොඳම දේ තමා කෙලවල්ලන් හෝ හුරුල්ලන් මාළු මිරිසයට උයලා... 

ඉතිං දැන් හරි... කන්න තමා තියෙන්නේ...

ඔක්කෝමත් හරි මේවා ඔක්කෝම කලාට පස්සේ කතන්දරටනං උම්මා දෙකක්ම හම්බ උනාළු... අනේ ඉතිං අපිට..?

24 March 2013

බැන්දට පස්සේ... අනේ මංදා ඕවා...

“මේ දවස්වල මාරයාතුමාට මක්කද වෙලා තියෙන්නේ...? බ්ලොග් එක පාළුවට ගිහින්..මොනවා වෙලාද කියලා ආරංචියක් නැහැ... හැබෑට මොකද ඌට වෙලා තියෙන්නේ..?“

“ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම..කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“

-----------------------------------

ඕක තමා මේ දවස්වල සිංදුව නේද...? පවතින තත්වය කොහොම කිව්වත් මිනිස්සු ඔන්න ඔහොම ආරංචි අහන්නනේ වැඩිය කැමති... ඒත් ඉතිං වෙලා තියෙන දේවල් දන්නේ මංතුමාම නෙව.

පහුගිය සති දෙක අම්බානක වැඩ තිබුන දවස් ටිකක්... ගෙදර දොරේ වැඩ වගේම..කේන්දර වැඩයි... ඉගෙනීමේ වැඩයි වලට අමතරව හදිසි රියදුරු රාජකාරියකුත් අහු උනා... ඒක මේ මගේ ගෙදර අයිතිකාරයගේ අක්කා කෙනෙක් පිටරට ඉඳන් ලංකාවට ආව හින්දා ඒ අක්කණ්ඩි එක්ක කොළඹ එහෙ මෙහෙ රස්තියාදු වීමේ රියදුරු වැඩක්... සතියක් ඇතුලත ලොරියක බඩු ගන්න කොළඹ එහෙ මෙහෙ දුවලා හොද ගණන්... හැබැයි ඉතිං අපි වගේ පිටෝටුවෙන් කෑල්ල දෙසීය ගානේ බඩු ගන්න අය නෙවෙයි නෙව... ඒ හින්දා කොළඹ රටේ ලොකු ලොකු පොට්වලටම තමා බඩ ගෑවේ... මාත් ඉතිං ඒ පස්සෙම වැටිලා ගෙහුන් ලොකු ලොකු සාප්පු ගානේ ගෑටුවා... ආයේ නිකං බණ්ඩා කොළඹ ගියා වගේ තමා පින්වතුනි..මගේ අම්මේ මේ රටේ මිනිස්සු නාස්ති කරන සල්ලියක තරම... සරදියල්ලා හත් අට දෙනෙක් හිටියනං මුංදලගෙන් මාසෙක වියදම අරං දුප්පත් ගං රටවල් හත අටක් අවුරුද්දක් දුවවන්න තිබුනා යසට... හැබැයි ඉතිං හුගාක් තැන්වල ලොකු ගණන් වලට විකුණන බොහෝමයක් දේවල් එයින් හතරෙන් පංගුවේ මිලට ඒ කොලිටියටම කොටුවෙන් ගන්න පුළුවන් බවනං මට හොඳටෝම තේරුනා... ඒත් ඉතිං ඕවා කාට කියන්නද..? තත්තේ මේන් ටේන් කොරන්නනං මිල කීය උනාම මොකද එහෙම තැන් වලින්ම නෙව බඩු මුට්ටු ගන්නට ඕන... කහන සල්ලි ඔහේ ගලා ගියදෙන්...

කොහොම හරි පෙරෙදා රාත්තිරියේ අක්කණ්ඩි ආපහු යන්ට ගියා... අවසාන දවසේ ගෙවල් අයිතිකාරයා එක්කම අක්කණ්ඩි ආවා මං ඉන්න තැනට... ඒ පාර හදිසියේ නමුත් උන්දැට කෑම වේලක් දෙන්ට හිතුන හින්දා දඩි බිඩි ගාලා නාරාහේන්පිට ආර්ථිකේට දුවලා කොස් ටිකක් එහෙම හොයං ඇවිත් කිරි කොස් මාළුවක් හදලා අගුණ කොල සම්බෝලෙකුයි..හාල් මැස්සන් බැදුමකුයි එක්ක බත් ටිකක් දුන්නා... ගෙවල් අයිතිකාරයනං කිරි කොස් කටේ තියෙන එකෙක් නෙවෙයි... ඒකට බම්බු ගහගන්න කියලා මං අරුන්දැට මගේ තාලෙට බතක් දුන්නා... අපරාදේ කියන්න බැහැ ලංකාවට ඇවිත් හිටිය සති දෙක ඇතුලත කෑව හොදම කෑම එක කියන සම්මානේත් මට පිරිනමලයි අක්කණ්ඩි ගියේ.... ඒ මදෑ... ගෙවල් අයිතිකාරයනං මං දැක්කා හාල් මැස්සොයි අගුණ කොළයි එක්ක මං තම්බලා දීපු බිත්තරෙකුත් දාගෙන අමාරුවෙන් වාගේ බත් ටික ගිලිනවා... මොනවා කරන්නද කෑමක බීමක රහ නොදන්න කොට.. අනලා කටේ ඔබන්ටද පින්වතුනි...? කොහොම නමුත් අක්කණ්ඩිට යන්ට කලින් මගේ දුප්පත් කරමෙට හරි කෑම වේලක් දී ගන්නට පුළුහං උන එක මගේ හිතට ලොකු සංතෝසයක් නෙව...

ස්ථීර රස්සාවකට නොබැදී... මේ දවස්වල කාලේ ගෙවන්නේ ටෙම්පරි ජොබ් වලින් නෙව... ඒ කිව්වේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට... අතට අහුවෙන පොඩි පොඩි ජොබ් කටු කරන ගමන් වෙනදා වගේම කේන්දර වැඩත් හිමිහිට කරගෙන කීයක් හරි අතට හොයං ඉංගිරිසි කෑලෑසියටයි... කුකරි කෑලෑසියටයි යමින් එමින් තමා කාලේ ගත වෙන්නේ... ආ ඔව් ඔව්.. කියන්ට අමතක උනා නෙව... මාරයා තුමා ඔන්න දැන් අභිමානවත් කුකෙක් වීමේ අරමුණෙන් හෝටල් පාසලකටත් යන්ට එන්ට තියා ගත්තා... ඒකත් නැගලා යනවා... මේ කෝස් එක මාස හතරක් තියේ... ඒක අහවර කරලා සහතිකේ ගත්තොත් එයින් පස්සේ ආයේ තියෙනවා ඩිප්ලෝමාවක්.. හැබැයි ඒකනං තියෙන්නේ තනි කඩ්ඩෙන් නිසා මේ මාස හතර ඇතුලේ කොහොම හරි කඩ්ඩ වනා ගන්න පුරුදු වෙන්ට වෙනවා.. නැත්තං ඉතිං වැඩේ හබක්... ඒත් ඉතිං ඩිප්ලෝමා ඇලේ ගියත් ටිකක් හරි ගොඩ යෑමක් තියෙනවා නෙව... බලමු ඉතිං මත්තට මක්ක වෙයිද කියලා...

ඔන්න ඔහොමයි මේ දවස්වල ජීවිතේ... බැන්දට පස්සේ මක්කද වෙන්නේ කියලානං අහගන්ට වෙන්නේ බැන්ද එකෙක්ගෙන්ම තමා... :D

ඔව්වා දන්නවද ආයිබෝං මම... ඔන්න වැරදිලාවත් හෙට අනිද්දා බැන්දොත්නං එයින් පස්සේ මං කියන්නං ඒකත් කොහොමද කියලා...

හා හා මං ගියා... වැඩ තියේ කප්පරකට...

ඇයි දැන් එපා වෙලා...

ඒ දවස්වල.. ඒ කිව්වේ හිච්චි එකා කාලේ... හරියටම කිව්වොත් ඉතිං ඔය යන්තං කල්පනා සත්තිය එහෙං මෙහෙං ලබන කාලේ හිටං තමා... ඒ වයස හරියටම කීයද කියලා කියන්න අමාරුයි.. සමහර විට අවුරුදු තුනක් හතරක් විතර ගෙවුනෑයින් පස්සේ වෙන්ටෑ...

ඉතිං ආන්න එහෙම යන්තමට මතක් කොරගන්න ඇහැකි ලමා ලපටි සංදියේදී ඇපල් කියන්නෙත් හෙන වටින දෙයක් තමා... එයිනුත් ඇපල් කියලා මං දැනං හිටියේ අර රතුම රතුපාට දිස්නේ ගහන ඇපල් තමා.. මොකද යන්තං ටෙලිවිසොන් පෙට්ටියේ යන කාටුන් බලන්න ඇහැකි උනෑයින් පස්සේ ඒවෑ පෙන්නන්නෙත් අර කිව්ව රතු පාට ඇපල් මිසක් වෙන මොකවත් ‍නෙවෙයිනේ... ඉතිං දැනං හිටිය එකම ඇපල් වර්ගය වෙච්ච ඔය කියාපු රත්ම රතුපාට පොත්ත දිස්නේ ගහන ඇපල්වලට මම විතරක් නෙවෙයි අපේ මලයා උනත් බොහෝම මනාපයි... හැබැයි ඒ කාලේ ඔය ගස් ලබු වගේ පලතුරු අපි නෙවෙයි පයිසෙකට ගණන් ගත්තෙත්... ගේ පිටි පස්සේ හෙන ගහපු ලබු ගහේ කද දෙකට බෙදිලා...හෝව් හෝව්... මං ඒ හෙන ගැහිල්ල ගැන කලින් කියලා තියේ නේද..? ඒ කිව්වේ අර මගේ පුක නැතිවෙන්නම වැදුන හෙනේ තමා...

ඉතිං ඒ හෙනේ මං කිව්වත් වගේ මගේ පුකට නෙලාගෙන යන්න ගියේ ගේ පිටුපස්සේ දොරෙන් නෙව... ඒ ගිය පාර නිකං නෙවෙයි ගෙහුං තිබුනේ... හරියටම ගේ පිටිපස්සේ තිබුන දොන්ත පතං ගස් ලබු ගහත් කඳ මැඳින් කඩා දාලා... ඒ ගස් ලබු ගහත් ආයේ එසේ මෙසේ ගහක් නෙවෙයි... ඒ කිව්වේ මෙසේ එසේ ගහක්... අඩි පහලොශක් විතර උස වට අඩි තුනක් විතර තිබුන හොද සරුවට ගෙඩි හැදුන ගහක්... ඒකේ හැදෙන ගෙඩිත් එහෙමම තමා මී පැණී වගේ රසම රසයි... ඒත් ඔය කියාපු හෙනේ වැදිලා ගහට බඩු හම්බ උනා..අන්තිමට ඉතිරි උනේ පොළවේ ඉඳන් අඩි තුනක් විතර වෙච්ච ගස් ලබු කොටේ විතරයි... ඒකත් ගලවලා දාන්න කියලා හිටියට තාත්තට ඒක කරන්න වෙලාවක් අහු උනේ නැහැ... ඒත් ටික දවසක් යද්දී මෙන්න මේ කැඩුන කොටෙන් අතු දාන්න ගත්තා... ඒ අතු අතරිනුත් අතු දෙකක් අනිත් අතු පරද්දගෙන කදේ දෙපැත්තෙන් අහසට නගින්න උනා... මාස කිහිපයක් ගිය තැන අර තිබුන එක ගස්ලබු ගහ වෙනුවට ඒ වගේම ලොකු ගස් ලබු ගස් දෙකක්ම අපිට ලැබුනා අර හෙන වැදුන ලබු කොටෙන්... ගෙඩිත් හැදෙනවා ඕසෙට... කලින් තිබුනටත් වැඩියි...

හැබැයි අර මුල්ම කාලේ වගේ නෙවෙයි ඒවෑ හැදුන ගෙඩිවල පැණී රස නැති වෙලා  ගියා... ඒ වෙනුවට දිය රහක් තිබුන ගස් ලබු තමා ඒ අතු දෙකෙන්ම අපිට ලැබුනේ... හැබැයි ඒකට හේතුව මගෙයි මල්ලිගෙයි ගහට වතුර දැමීමද කියලත් කියන්න බැහැ... ඒ මොකද කියනවනං ඔය ගස් ලබු කොටේ දෙපැත්තෙන් විසාලෙට අතු දෙකක් ඉහලට යද්දී ගස් ලබු කොටේ මැද වලක් වගේ හෑරිලා තිබුනා... ඒකේ වැස්සට වතුර එකත් වෙලා තියෙන්ටත් ගත්තා... පස්සෙන් පහු මායි මල්ලි චූ බරක් හැදුන ගමන් ගිහින් මීයා ඉලක්ක කරන්නේ ඔය කියාපු ලබු කොටේ තිබුන වතුර වලට... ඉතිං ආයිබෝං ලුනු රස නැතිව දිය රහටවත් ලබු හැදුන එක මදෑ නේද...?

හුටා කියන්න ආවේ වෙන උලව්වක් දැන් කියවෙන්නේ වෙන උලව්වක් නේද..? හා හා යං මාත්තුරුකාවට... කන්නේ ඇපල් මල්ලේ පැපොල් කතා නැතිව.

ඉතිං ඒ කාලේ ඔය රතු පාට ඇපල් වලට ආසා උන මංතුමාට කාලයක් යද්දී වෙන වෙන පාට ඇපල් එහෙමත් හම්බු වෙන්ට ගත්තා... ඒත් ඒ ඇපල් වලටත් වඩා අර රතු පාට දිස්නේ ගහන ඇපල් තමා ඒ වෙද්දිත් අපේ කැමැත්ත දිනාගෙන තිබුනේ...

හැබැයි ඉතිං තව දෙයක් කියන්ට ඕන... ඒ කාලේ ඉතිං ඇපල් ගෙඩියක් ගෙදරට ලැබෙනවා කියන්නේ හාවා හඳ දකින්නැහේ කේස් එකක්... ආයේ ඉතිං නෑයෝ කියලා වේයෝ ජාතියක් හිටියට උන්දලා එන්නේ අපේ වත්තේ පිටියේ හැදෙන කජු නාඹරයක් හරි උයවලා කාලා යන්ට මිස අපිට වෙරළු ගෙඩියක තරම දෙයක් ඇන්නනං නෙවෙයි... තාත්තා ඉද හිට කොළඹ එහෙම ගිය දවසට ඔය කියන රතු පාට ඇපලක් අරං එන දවස් තිබුනා.. ඉතිං ඒ ඇපල් ගෙඩියත් බොහෝම සීරුවට කෑලි තුනකට කපලා එයින් කොටහා කොටහා මටයි මල්ලිටයි දීලා අපි දෙන්නා ඒක බොහෝම ආසාවෙන් කනවා දැක්කම අතේ තියෙන ඉතිරි ඇපල් කෑල්ලත් ආයෙම තුනට කපලා එයිනුත් කෑලි දෙකක් අපේ අතේ තියලා ඉතිරි වෙන හීනි ඇපල් තීරුව තමා තාත්තා කන්නේ... ඒ තරමට බොහෝම දුර්ලභ දෙයක් තමා අපිටනං ඒ දවස්වල ඇපල් කියන්නේ... ඒත් ඒ අඩුව ඒ හැටිම නොදැනුනේ වත්ත පිටියේ තිබුන අනිත් පලතුරුවලින් ඒ හැටි අඩුවක් නොවුන හින්දා... අඹ..වෙරළු... පේර... නමිනං...කජු පුහුලං... කටු ආත්තා... වගේ දේවල් හින්දා පලතුරුවල හිගයක් ඒ හැටිම දැනුනේ නැහැ.. ඒත් ඉතිං නැති දේමනේ ලොකු.. ඒ හින්දා ඇපල්වලට තිබුනේ බොහෝම ගරු සරු සහිත කැමැත්තක්... ඒත් ඉතිං අපිට මොකා ගෙනත් දෙන්නද ඇපල්..? ඒ අතින් අපේ මල්ලිගේ පොඩි කොල්ලෝ දෙන්නාට ඉඳහිට හරි ගෙදර කඩං පාත් වෙද්දී එහෙම දෙයක් ගෙනත් දෙන්න මහප්පා කාරයෙක්වත් ඉන්නවා..‍. ඒ අතින් උන්ට අපේ බාල කාලෙට වඩා ටිකක් හරි හොඳයි...

හා හා මං මේ කියන්න ගියේ ඒක නෙවෙයි... අර කිව්වා වගේ පොඩි කාලේ රතු ඇපල්වලට කැමති උන..අනිත් ඇපල් වලට ඒ හැටි කැමැත්තක් නොදැක්කුව මංතුමා මේ වෙද්දී රතු ඇපල් මලාට කන්නේ නැති තරමට පත් වෙලා... ඒත් අර කොල පාට යන්තමට ඇඹුලක් තියෙන පුංචි කොලපාට ඇපල් වලට දැන් මං කැමතියි... ඒ කාලේ ඔහොම එකක් දුන්නනං මලාට කන එකක් නැහැ...

මං මේ කියන්නේ කාලයත් එක්ක අපිව මොනතරං වෙනස් කරනවද..? පොඩි කාලේ බලං ඉන්නේ කොයි වෙලේද සීනි බෝතලේට අත දාන්නේ කියලා... පැණී රසනං ඕන කෑමක් කයි... ඒත් යන්තමට මිරිස් ටිකක් ගෑවිලා තිබුනොත් ඒක මලාට කන්නේ නැහැ... ඒකටත් එක්ක දැන්... පැණි රහට ඒ කාලේ වගේ පස්සෙන් එලවීමක් ඇත්තේම නැහැ... ඒ වෙනුවට සැරට තියෙන මුරුක්කුවක් වඩේ එකක් වගේ සැර කෑමක් කන්න ඕන වෙලාවක රෙඩී... ඔන්න වෙනස් විල්ලේ තරම... ඒ කාලේ ඕන උන දේවල් දැන් මලාට කන්නේ නැහැ... දැන් ආසාවෙන් කන දේවල් ඒ කාලේ මලාට කෑවේ නැහැ...

මං හිතන්නේ මට විතරක් නෙවෙයි මේක හුග දෙනෙකුට පොදු කාරණයක් වෙන්න ඕන... බාල කාලේ තියෙන අධික සීනි කෑමට ඇති ආසාව වෙනුවට දැන් හොයන්නේ බදින ලද යහමින් මිරිස් යොදන ලද ගිනි පිටවෙන කෑම ජාතිම නෙව... කලින් කැමති උන බොහෝම දේවල් දැන් වෙද්දී අකමැති වෙලා තියෙන්නේ ඇයි..? අනේ මංදා..අයි ඩෝන්ට් නෝ වයි..?

17 March 2013

මත්තල සහ කුරුල්ලෝ...

උදේ ඉදන් කරන්න තිබුන වැඩ පොල ටික කරලා අහවර වෙලා කාරිය වාඩි උනා ලැපා ගාවින්.. ඒ වාඩි වෙලා මුලින්ම ගියා සුපුරුදු පරිදි බුකිය වෙත.. ආන්න එතකොට තමා දැක්කේ අද කට්ටිය වැඩිය කතා වෙන්නේ මත්තල ගුවන් තොට ගැන කියලා... ඒක විවෘත කරන්නේ අදද හෙටද කියලනං මට ඒ හැටි ගානක් තිබුනේ නැහැ.. ඒක හොයන්න ගියෙත් නැහැ.. ඒත් මගේ අවධානය යොමු උනේ මේ ටිකේමත් අදත් බුකියේ කට්ටිය වැඩියම උනන්දු වෙන කාරණයක් ගැන.. ඒ තමා මත්තල ගුවන් තොටට ඇති කුරුළු අවධානම...

ලංකාව වගේ පුංචි රටකට මෙයාකාර ගුවන් තොටවල් මොකටද කියලා කට්ටිය වාද විවාද කර ගන්න අතරේ මං ඒ ගැන කතා නොකර මේ කුරුළු කාව තෝර ගත්තේ ඒක ගැන මංතුමා දන්න කියන කාරණාවක් තියෙන හින්දා... ඔය අනිත් ලොකු ලොකු වාද විවාද වලට යන්ට තරං මං දන්න ලබ්බක් නැහැනේ ආයිබොවන්ලා.. ඒ හින්දා දන්න ලබ්බ කියා දාලා හිටියම ඇගටත් හොදයි හිතටත් හොඳයි... ඒත් ඉතිං සුද්දගේ කාලේම ලංකාවේ රත්මලාන..කොග්ගල... තිරිකුණාමලේ වගේ රට වටේ ගුවන් තොටවල් ගහලා තිබුනනං.. ඒවායේ පිට රට ඉඳන් එන අහස් යන්තරා බෑවනං අද කාලෙට කටුණායක ඇර තව එකක් දෙකක් තියෙන එක ලෝක අපරාදයක් කියලනං මං දකින්නේ නැහැ.. හැබැයි ණය බර වැඩි කරගෙන කරන දේවල් වල දීර්ඝ කාලීන වාසි අවාසි  කියන දෙකම ගැන රටේ මිනිස්සුන්ට මෙයිට වඩා පැහැදිලි කරලා දීලා ඕවා කරනවනං කාට කාටත් හොදයි කියලත් කිව්වැකි...

කොහොම උනත් කොළඹ ආශ්‍රිතව ඉන්න බොහෝ දෙනාගේ තියෙන කුහක කතාවක් වෙන හැම දේම හම්බන්තොටට කියන කතාවටනං මං කැමති නැහැ... ඇත්තටම මේවා වෙන්න තිබුනේ මෙයිට දසක ගානකට කලියෙන්...  සුද්දා දාලා ගිය දා ඉදලා රේල් පාරක් අඩි දහයක් දිග් කරගන්න බැරි උන..උන් දාලා ගිය රනවේ ටිකවත් පරිස්සං කරං ඒ ගුවන් තොටවල් ටික නඩත්තු කරං යන්න බැරි උන අපේ රටේ කාලකණ්ණි දේශපාලන නායකයෝ ටිකගේ මෑණිවරුන් මතක් කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... එතනදී ජාතියේ පියා කියලා කියන ඩී ඇස් සේනානායක කියන ලොකු උන්නැහේගේ ඉඳන් බණ්ඩාරනායක ත්‍රිත්වයත්... පුංචි සේනානායකත්... ජේ ආර් පප්පා සහ ප්‍රේමදාස උන්නැහෙයි කියන කට්ටියම එක පෙලට වග කියන්න ඕන පක්ෂ විපක්ෂ බේධයකින් තොරව... අර අහම්බෙන් ඇවිත් පෙනිලා ගිය දහනායක උන්නැහෙයි.. විජේතුංග ලොක්කවයි අපි අතාරිමු.. උන්දලා මක්ක කියලා කොරන්නද..? හැබැයි අනිත් හැම පක්ෂෙම.. අනිත් හැම ලොක්කම මේවට වග කියන්න ඕන... රට කොරවපු දෙගොල්ල ඇරුනම දෙපාරක්ම රටේ සම්පත් ගිනි තියලා නාස්ති කරපු අමන රැලක් හිටිය රතු පාටියේ අයත් උතුරේ දඩ රැවුලා ඇතුළු නඩේත්..උන්ට උල්පන්දං දුන්න උනුත් ඇතුළුවම මේකේ හවුල් කාරයෝ... ආයේ උන්ට විතරක් අත හෝදගන්න දෙන්න බැහැ...

එහෙම තිබිලා තිබිලා කොළඹම විතරක් හදන්න වැඩ කරපු කාලේ අහවර වෙලා කොහොම හරි ඈත පළාත් වලටත් මොනවා හරි ලබ්බක් දෙනකොට අන්න අපිට නැතිව අරෙහෙට කොරනෝ කියලා කෑ ගහන එක කුහක කමක් විතරයි... හැබැයි ඔය කෑ ගහන අයට පේන්නේ හම්බන්තොට දියුණු කරන කතාව විතරයි... වැරදිලවත් උන්දලා උතුරු පළාතට නැගෙනහිර පළාතට ගියොත් පෙනෙයි හම්බන්තොට විතරක් නෙවෙයි ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ ඒ පළාතුත් දැන් බලං ඉද්දී දියුණු වේගන එනවා කියන එක... හැබැයි ඉතිං ඒකට කොළඹට වෙලා ඉඳලා බැහැ..ටිකක් රට තොට ඇවිදලා... මිනිස්සු එක්ක ගැවසිලා.. බලන්ට ඕන... ගෙවල් වලට වෙලා ඉදන්නං අපිට මොනවා කියන්නට බැරිද... ඇට නැති දිවවල් වගේම බ්‍රේක් නැති ඇඟිළි සහ යතුරු පූවරුත් එහෙමම තමා...

අසීමිත ණය බර කියන කාරණාවට දෙන්න පැහැදිලි උත්තරයක් සහ හරි හමන් වැඩ පිළීවෙලක් තියේනං මමනං කැමතියි රනිල් හරි කමක් නැහැ කොළඹින් පිටතට දියුණුව ගෙනියනවනං... අද ඊයෙක නෙවෙයි දැනට අවුරුදු පහලොහකට විතර ඉදලා කලින් හිටංම මං බලාගෙන හිටිය දෙයක් තමා මේ අග නුවර කියන සංකල්පේ කොළඹින් අහක් කරලා ඈතකට ගෙනියන එක... ඒක හම්බන්තොටද.. නුවරද.. නැත්තං පොලොන්නරුවද කියන එක මට ඒ හැටි වැදගත් නැහැ... වෙන්න ඕන කොළඹට විතරක් බෙදන බෙදිල්ල රට වටේටම ගලා යන එකයි... රටේම ඉන්න මිනිස්සු ටික ඇවිත් කොළඹ හා අවටට රොක්වෙන එක නවතින එකයි... කොළඹට ආසන්නව උනත් බොහෝම නිස්කලංක ගමක උපන්න මට අද ඒ නිස්කලංක පරිසරය මගේ දෑස් ඉස්සරහම නැත්තටම නැති වෙලා ගිහිං තියෙන්නේ මේ එක පළාතකට විතරක් හැම දේම ඒකරාශී වෙච්ච හින්දයි... අඩුම ගානේ රටේ අමාත්‍යංශ ටිකවත් එක එක පළාත්වලට බෙදිලා ගියානං ඒකත් එකක්... කොටින්ම රටේ අග නුවර යාපනේ කලානං අද මේ තියෙන හුගාක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි කියලත් මට වෙලාවකට හිතෙනවා...

හා හා ඒවා පැත්තක තිබිච්චදෙන්.. මං කියන්න ආවේ වෙන එකක්නේ...

මත්තල සහ කුරුල්ලෝ... හප්පා දැන් කට්ටිය හෝ ගාලා කියවන්නේ මේ කුරුළු උවදුර ගැන නෙව... මත්තල ගුවන් තොට ආසන්නයේ බොහෝම කුරුළු ගහනයක් තියෙන හින්දා ගුවන් යානා වලට විය හැකි අනතුරු ගැන තමා දැන් කතාව නැගලා යන්නේ...

ඇත්ත කතාව... ගුවන් යානා ඇන්ජිමක් ඇතුලට කුරුල්ලෙක් ගියොත් ඒ ඇන්ජිම ගිනි ගන්න පුළුවන්.. ඒ වගේම ගුවන්යානා ඇන්ජින්වල ඇති ටර්බයින්වල හැටියට එයට ඉදිරියෙන් එන බොහෝ දේ ඇතුලට ඇද ගැනීමේ හැකියාවක් තියෙන හින්දා වැඩේ බොහෝම භයානකයි... එහෙම බැළුවම මත්තල හරි භයානකයි නෙව...

එතකොට පින්වතුනි කටුනායක ආරක්ෂීතද..?

මෑණියන්ගේ වස්ත්‍රය තමා පින්වතුනි... මත්තල ඇති අනතුරුදායක ස්වභාවය කෙසේද පින්වතුනි.. එසේම අනතුරක් කටුනායකත් ඇත... කටුනායක රනවේ එක විවර වෙලා තියෙන්නේ කෙලින්ම මුහුදු වෙරළට... ( රන වේ එක/කටුනායක දුම්රියපල/මීගමු පාර/මුහුද) මුහුද ආශ්‍රිතව වෙසෙන බොහෝ කුරුළු වර්ග මේ රනවේ එක කෙලවරට වෙන්න ඉන්නවා...විශේෂයෙන්ම මුහුදු ලිහිණි වර්ග සහ කොකුන්... එයට අමතරව දුම්රිය පල ආශ්‍රිතව පරවියන් බොහෝමයි... තවත් කුඩා කුරුළු වර්ග මේ කියන ටිකේ ඉන්නවා... 

එහෙම බැළුවම මත්තලට එහා කටුනායක... එතකොට පින්වතුනි ඇයි කටුනායකට එහෙම හානියක් නොවෙන්නේ...

හැම තැනම ඉන්නවා පින්වතුනි අපි ඔහේලා වගේ පින්වතුන් වෙනුවෙන් දුක් ගන්නා රාළලා... ඒ කියන්නේ අපි කුරා කූඹියෙක්වත් නොමරා හැටට හැටේ ස්පීඩ් කරලා නිවන් යද්දී.. අපි වෙනුවෙන් අපේ මාර්ග අවහිර කරන උන් මරා දාලා අපේ ගමන යන්න ඇරලා තමුන්ගේ ගමන ප්‍රමාද කරගන්නා පව් ගෙවන්නන් එහෙම නැත්තං දුක්ගන්නා රාළලා හින්දා අපිට කටුනායක කුරුළු අනතුර පේනනේ නැහැ පින්වතුනි...

-------------------------
කකුල්වල කිසිදා සුව නොවන අන්දමේ තුවාල සහිත නිසාම හමුදා නිල ඇදුමේ අනිවාර්ය කොටසක් වන බූට්ස් හෝ සපත්තු යුවලක් නොපැළඳ සාමාන්‍ය සෙරෙප්පු යුවළකින් සැරසී කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් සහිතව නිතරම රනවේ එක කෙලවර ප්‍රදේශයේ සැරිසරන  ගුවන් හමුදා සාජන් වරයෙක්... ඔබ දැක තිබේද..? කටුනායකින් ගුවන්ගත වන ඔබ සැමගේ සුරක්ෂීතතාවය වෙනුවෙන් අහිංසක කුරුල්ලන් සිය දහස් ගානක් වෙනුවෙන් තුවක්කුව වසර ගණනාවක් තිස්සේ මානන්නට සිදුව ඇති පුද්ගලයකු ගැන ඔබ දන්නවාද..? කටුනායකට හෝ ලංකාවට පමණක් ආවේණික නොවන මෙවන් තනතුරු දරන පුද්ගලයින් සෑම ගුවන් තොටකම පාහේ සේවය කරනු ලබන බව මෙයට පෙර දැන සිටියාද..?

බොහෝම කණාගාටු දායක සහ අවාසනාවන්ත කාරණයක් වූවත් මේ තමයි සැබෑ තත්වය... මත්තල කුරුල්ලොත් පව්... ඒ වගේම කටුනායක කුරුල්ලොත් පව්... එහෙම බැළුවම අපි මේ පවට අර සාජන්ට විතරක් කරගහන්න නොදී ගුවනින් යන එක නවත්තලා බෝට්ටු ඔරු පාරු නැව් වලින් වත් යන්න බලන්න ඕන නේද පින්වතුනි...?

මට ආයෙමත් රාහුල සිහි වෙනවා පින්වතුනි...

08 March 2013

කාන්තා දිනය අහෝසි කරවු...! කාන්තාවන්ටම පමණයි ඈ...

මට මේ දැනුයි දැන ගන්න ලැබුනේ අද කාන්තා දිනේ කියලා... ඒකත් මේ අපේ බ්ලොග් ලියන්නියෙක් මතක් කොලාට පස්සේ...  ඔය රටේ ලෝකේ දින තියෙන තරමට ඕවා මතක තියා ගන්න ඇහැකි මොන එකාටද..? අනික ඕවා මතක තියා ගත්තා කියලා අපිට මොනවා හම්බ වෙනවා කියලද..? අපි මතක තියාගන්න ඕන අපිට මොනවා හරි වාසියක් තියෙන දවසක් තියේනං අන්න ඒවා විතරයි.. හා නැද්ද හා.. කොටින්ම ඔය කාගෙන් හරි කෑමක් බීමක් සෙට් වෙන දවසක්..එතනින් ගිහාම කවුරු හරි අපෙන් ගත්ත ණයක් හරි ඒ ණයට පොලිය හරි ගෙවන දවස..ආන්න එහෙම එකක් මිස ඔය අනං මනං දින මතක තියා ගත්තා කියලා මොකාට වැඩක් ඇතිද..? කොටින්ම ඔය අනුන්ගේ උපන්දින අනං මනංනං අමතක කරන තරමට හොඳා... නැත්තං අතිං කයිට් වෙන වැඩ තමා වෙන්නේ.. අපේ උපන්දිනේ උනත් අමතක කලාට කමක් නැහැ එදාට පාටි දෙන්න වෙන කට්ටිය වැඩියි වගේනං... නිකං මොකටද මෙයාලා ඉල්ලං මාමයිට් ගාගන්නේ.. හා නැද්ද...?

හරි හරි උත්තරේ ඔව් උනාට එක පාරටම එහෙම කියන්න එපා... එහෙම උනොත් අනිත් උන් මං ඔය ගොනා මීමා සේ කියලා දාපු එකට මාත් එක්ක තරහා වෙනවට වඩා ඒකට අග අල්ලපු ඔහෙලව මරං වළදන්න බැරි නැහැ. ඒක තමා අළුත් සිස්ටොං එක...

රයිටෝ අනිත් කතා වැඩක් නැහැ අපි යං මාත්තුරුකාවට අදාලව කතා කොරන්න...

ඔව් අද මගේ මාත්තුරුකාව තමා...

කාන්තා දිනය අහෝසි කරනු..!

ඇයි..අවුල්ද..? දැන් නිකං කාන්තාවන්ට මාව දවල් කෑම මේසෙට තියන්න වගේ හිතෙනවද..? යන්න මෙයාලා යන්න... එක පාරට හිත්වලට ආවේග ආවට ඒවා පිටට දාන්න කලියෙන් ඩිංගිත්තක් හිතලා කල්පනා කොරලා බලන්න... මේ මාරයාතුමා කාත් එක්ක අවුල් උනත් කාන්තා පාරුසවේ එක්ක අවුල් නැහැ... කොටින්ම එයාලවත් දන්නේ නැහැ මං එයාලට  කොයි තරං ආදරෙයිද කියලා... කොයි තරං ලෙංගතුද කියලා.. කොයි තරං මෙව්වයිද කියලා... ඒක දන්නේ මගේ මේ හිත විතරයි.. කොහේද ඔයාලට ඇහැකියෑ මගේ මේ හිත් පොජ්ජ මංදෝ කරන්න... එහෙම උනානං මං දන්නවා ඔයාලා මට උම්මා දෙන්න පොර කන්වා.. ඕ..යේෂ්.. ආයේ ඒකේ දෙකක් නැහැ...

ඉතිං එහෙවු මෙව්වා එකක් ඔයාලා ගැන තියෙන මංතුමා ඇයි මේ ඔයාලට තියෙන එකම දවසටත් කෙලින්න හදන්නේ..? ඒකනේ දැන් ගැටළුව නේද..?

හරි හරි ප්‍රශ්න තියා ගන්න එපා..මං දෙවා වදාරන්නං තිතටම කාරුනාව...

දැන් බලන්න ලේඩීස්ලා..ඔයාලා දන්නවා සෑම දේකටම විරුද්ධ තවත් පැත්තක් තියෙනවා... දැන් බලන්න දවාලක් තිබුනොත් රැයක් තියෙනවා... ඇත්ත කියලා දෙයක් තියෙද්දී බොරුව කියලා දේකුත් තියෙනවා... දැන් ඔය කසාදේ කියලා ගත්තම ඒකේ අනිත් පැත්තනේ මෙයාලා දික් කසාදේ කියන්නේ...  එහෙම බැළුවම ඔය කොයි දේටත් තව පැත්තක් තියෙනවා.. දැන් මේ කාන්තා දිනේ කියලා ගත්තම ඒකේ අනිත් පැත්ත මොකක්ද..? ආයේ ඉතිං ඕක අහන්නත් දෙයක්යෑ.. පුරුෂ දිනේ නෙව...

දැන් ඉලන්න මෙයාලා එතකොට අවුරුද්දකට දවස්ම කීයක් තියේද කියලා... ත්‍රී හන්ඩ්‍රඩ් සික්සිටි පයිව්නේ මෙයාලා.. (හිටපියවු තව ඩිංගක් කඩ්ඩ හුරු වෙනකල්.. කොටනවා කඩ්ඩෙන්ම.. දැනට මේ ඇති..) එතකොට ඔය ගානෙන් ඔයාලගේ අර එක ඇරියම තව කීයක් ඉතිරිද මෙයාලා.. ත්‍රී හන්ඩ්‍රඩ් සික්ස්ටි ෆෝනේ මෙයාලා... එතකොට ඒ දින ටික කාටද අයිති... එකක් ඔයාලටනං ඔයාලට අයිති නැති ටික යන්නේ අනිත් පැත්තටනේ මෙයාලා... ඒක හරි වැරදියිනේ... එහෙම බැළුවම මේ කාන්තා දිනේ කියන එක වෙන් කිරීම තුලම ඔයාලට වෙලා තියෙන්නේ හෙන අසාධාරණයක්...

ඉතිං මෙයාලා ඔයාලාට බොක්කෙන්ම ආදරේ කරන එකෙක් හැටියට මට පුළුවන්ද මේ අසාධාරනේ තව දුරටත් උහුලං ඉන්න..මට බැහැ මෙයාලා මට බැහැ... මගේ හදවත පැලෙන්න එනවා... මේ මොන අපරාදයක්ද..? මං කොහොමද දෙයියනේ මේව දැක දැක ඇස් කං පියං ඉන්නේ...?

ආන්න ඒ හින්දායි මුළු ලෝකෙම මාත් එක්ක සටනට ආවත් මේ සටනට මං බහිනවා කියලා තීරනේ කලේ... වහාම කිරියාත්මක වන පරිදි කාන්තාවන්ගේ සම අයිතියට බාධා පමුණුවන.. කාන්තාවන්ගේ උත්තරීතර අයිතියට අපහාස කරන මේ කාන්තා දිනය නැමැති  ලජ්ජා සහගත දිනය අද පටන් අහෝසි කරලා දාපියවු..! 

කාන්තාවෝ වෙච්ච ඔයාලාත් දැන් ඔය ටීවී රේඩියෝවල ඔයාලාගේ දිනය වෙනුවෙන් කියලා උදේ ඉදන් පෙන්නන වෙලෙන්දන්ගේ වැඩසටහන් බලන එක නවත්තලා මේ මොහොතේ ඉදලා බහින්න මාත් එක්ක මේ සටන වෙනුවෙන් පාරට... යකෝ අවුරුද්දෙන් එක දවසක් විතරක් දීලා දැඩි අසාධාරණයකට ලක් වෙලා තියෙද්දී මොන ටීවී රේඩියෝද..? මොන සැමරුම්ද..? පපුව කකියනවා අක්කේ නංගියේ..නැන්දේ පුංචි අම්මේ... අපි මේක ලේසියෙන් අතාරින්න හොද නැහැ...

එහෙමනං දැන් ඔයාලා ලෑස්තිද කාන්තා දිනය අහෝසි කිරීම වෙනුවෙන් හඩක් නගන්න...?

එන්න හැමෝම එකට කියමු...

කාන්තා දිනය අහෝසි කරනු..!



07 March 2013

කෙල්ලන්ගේ වටේ යෑම සහ කොල්ලන්ගේ ළග නැවීම...

මේක නිකං පාළු අම්බලම වගේ වෙලා නෙව... යකෝ බ්ලොගේකට ගිය කලක්... ඇඩෙනවා පින්වතුනි... මදෑ කොළඹ ආවා... දෙයියනේ කියලා අර සිකුරිටි ජොබ් එකත් කොරං දවසක් ඇර දවසක් වැඩට ගිය කාලේ ඇති වෙන්න ජාලේ සැරිසරන්න වෙලාව තිබුනා නෙව... ඒකටත් එක්කලා දැන්... රස්සා පොජ්ජ මංදො කොරලා දාලා ඇවිදින් දැන් මේ ඉංගිරිසි පොජ්ජ මංදෝ කොරන් යන්න කියලා කොළඹ රටේ ඉන්ස්ටියුට්දෑ මොකක්දෑ මංදෑ උලව්වකට බඩ ගාලා එතනදී වනන කඩු කිණීසි පාරවල් වලට ඔළු පාත් කරං පසු පාදයේ ආරක්ෂිත පහරවල් දදා යන්තං නොමැරී ඉද්දී දැන් ඕං ලබන මාසේ මුල වෙද්දී තව සුකුරුත්තමක් එක්කාසු වෙන්ට නියමිතයි... 

ඒ කිව්වේ ලබන මාසේ මුල ඉඳලා මේ කොරං ඉන්න ඉංගිරිසි ඩිප්ලෝමා කටුවට අමතරව තවත් ඩිප්ලෝමා කටුවක් එක්කාසු වෙනවා... හැබැයි ඉතිං මේ මල උලව් ඉංගිරිසිය වගේ නෙවෙයි මංතුමා කැමති කෙලියක් තමා... ඒ කිව්වේ උයන පිහන කෙලිය.. යේෂ් යේෂ්.. සිංහලෙන් කිව්වොත් හොටෙල් ඩිප්ලෝමා කෑල්ලක්... ඒකත් කුස්සිය පැත්ත තමා.. ඒ කිව්වේ ජාත්තියන්තර සූප සාත්තර ඩිප්ලෝමා කෑල්ලක්... මොන මගුලක් වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියො තමා... 

ඉංගිරිසිය ඉගෙන ගන්ට ගියාට මොකද බොලවු තාම මට බැරි උනා මං මොකෙක්ද කියලා ඉංගිරිසියෙන් කියා ගන්න... හැබැයි අපරාදේ කියන්න බැහැ අපේ මාස්ටර් ලොක්කා මාව මරං කන්න හදන්නේ නැහැ.. බුවාට මගේ තත්තේ තේරිලා තියෙන්නේ... පොර නිතරම මාව අපහසුතාවයට පත් නොවන විදියට ගේම ගෙනියනවා... නැත්තං මෙලාට මං කඩු කෑල්ලක් හිරවෙලා සෙත්තපෝච්චි වෙලා... ඒත් ඉතිං කොයි තරං අමාරුකං මැද්දේ හරි තාම ඇදගෙන යන්නේ පොරගේ කරුණා මහිමය නිසාම තමා... නැත්තං එක වචනයක් සිංහලෙන් කියන්නේ නැති පංතියක මං කොහොමද බෙල්ල බේරං ජිවත් වෙන්නේ... මාස්ටර් කාරයා වචන සීයක් විතර කියනකොට එයින් තුන් කාලක් විතර තේරෙනවා..ඒ තේරුන ටික හිතේ තියං අනිත් නොතෙරුන ටික මෙහෙම වෙන්න ඇති කියලා හිතං මාත් ඉතිං ඔළුව වන වන ඉන්නවා... 

අපරාදේ කියන්න බැහැ ළමයි ටිකත් නරක නැහැ.. උනුත් හිනාවෙන්නේ  නැහැ මං කොර වෙලා ඉන්නේ කියලා දැන දැනත්... ඔක්කෝම පොඩි ළමයි... ඒ ලෙවල් කරපු ගමන් ආව අය... පන්තියට අමුතු සත්තු ඉන්නේ තුන් දෙනයි.. එකෙක් මං.. අනිත් දෙන්නා කොරියන් දෙන්නෙක්... එක්කෙනෙක් “ලී“... අනිත් කෙනා “මීනා“ (මින් අකීම්)... දෙන්නම එයාලගේ වැඩිහිටියෝ මෙහෙ රස්සාවල් කරන හින්දා ඒ හරහා ලංකාවට ඇවිත් ඉංගිරිසි ඉගෙන ගන්න මෙතනට ආව අය.. ලී නං ටිකක් විතර ලැජ්ජාකාරයා.. බුවත් මං වගේ තමා බයෙන් බයෙන් තමා කඩුව අත පත ගාන්නේ.. කොයි වෙලේ බෙල්ල කැපෙයිද කවුද දන්නේ... පංතියට ආව වෙලේ ඉදන් කන් දෙකේ වයර් කෑලි දෙකක් ගහං පොර සිංදු අහනවා... වෙන කාත් එක්කවත් කතාවට යන්නේ නැහැ.... මීනා ෂෝක් ළමයා.. ඒකි අතාරින්නේ නැහැ..ඒකිට තේරෙන ඉංගිරිසියෙන් කියලා දානවා.. හැබැයි ඒ ඉංගිරිසි අපේ මාස්ටර්ගේ ඉංගිරිසිවලට වඩා මටනං තේරෙනවා.. මොකද කතාව අතර මැද්දට මැද්දට වෙන්න කෙල්ල අතින් පයිනුත් කියනවානේ.. මගේ ඉංගිරිසිත් ආන්න එහෙම නිසා මට එව්වා තේරෙනවා... ලීව ගොඩ දාන්නෙත් මීනාම තමා... මීනා පංතියට ඇවිත් තියෙන්නේ ලී හරහා..ඒ දෙන්නා යාළුවෝ... ලීට කියා ගන්න බැරිව ඉන්න වෙලාවට මීනා පංතියේ කොහේ හිටියත් ලී කියන්න යන දේ ඒකිට තේරෙන ඉංගිරිසියෙන් කියලා දෙනවා... ලීත් කතා කරන්න නැගිට්ට වෙලේ ඉදන් ඉන්නේ මීනා කෙල්ල දීහා ඇහැ ගහගෙන.. මොකද ඒකගේ ගැලවුම් කාරී මීනා නිසා... අසරණ අපිට කොහේද ගැලවුම් කරුවෝ... ඒ හින්දා බොහෝම අමාරුවෙන් බෙල්ල පාත් කරං.. අනේ මගෙන්නං මොනවත්ම අහන්න එපා කියලා දෙයියන්ට කියමින් කට්ට ඇතුලට රිංගපු ඉබ්බා සේ ඉන්නවා... හැබැයි ඉතිං ගැලවුම් කාරයෝ නැහැම කියන්නත් බැහැ... ඒ තමා අර දෙමළ ගෑණු ළමයා...

මේ පංතියේ තියෙන නීතියක් තමා පංතියේ ළමයි නිතරම වාඩි වෙන තැන මාරු කරන්න ඕන... එහෙම වෙලාවට හිටිය ගමන් කොරියන් නංගි ඔන්න මං ගාවටත් වැටෙනවා.. ආන්න එදාට තමා දෙයියනේ කියලා බය නැතිව මාත් දන්න කඩ්ඩෙන් කොටන්නේ... මොකද ඒකිටත් මට වගේම හස්ත මුද්‍රාවෙන් කතා කරන්න හොඳට හැකියාව තියේ... ආයේ කොහොම හරි කඩු පාරක් කොටා ගන්න පුළුවන් වෙන්නේ පංතියේ ඉන්න දෙමළ ගෑණු දැරිවි මගේ ළගට වැටුනමයි... අපරාදේ කියන්න බැහැ ඒ ළමයත් මට මේ උලව්ව බැහැ කියලා තේරුං අරං මට වරදින කොට සහ කියන්න ඕන දේ කියා ගන්න වචන නැති වෙනකොට ඒකිම කල්පනා කරලා අදාල වචනේ මතක් කරලා දෙනවා... මටත් යන එනමං නැති වෙලා ඉන්න වෙලාවට මට දැන් බැලෙන්නේ ඒකී දිහාව..කෙල්ල පටස් ගාලා උදව් කරනවා... ලග ඉන්නවනං කොලේක හරි මට පේන්න ලියනවා... ඒ හින්දා දැන් පංතියේ මට ඉන්න ෆිට්ම ළමයි දෙන්නා තමා කොරියන් නංගියි... මධූ නංගියි... උන් දෙන්නාට අමතරව රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා අන්න උන් දෙන්නත් ෆිට් බුවාලා.. හැබැයි මාස්ටර්ට හොරෙන් උන් දෙන්නම මාත් එක්ක කතා කරන්නේ හොද සුද්ද සිංහලෙන්...

පංතියනං නරක නැහැ... ඒත් මං මේ කල්පනා කරන්නේ මේක අවසාන වෙද්දි මට ඉංගිරිසි කෙසේ වෙතත් කොරියන් හරි දෙමළ හරිවත් පුළුවන් වෙයිද කියලා... අහ් එහෙම කියද්දී මතක් උනේ ඊයේ වෙච්ච සින් එකක්...

ඕං මාස්ටර් පුරුදු ආකාරයටම දවසට එක්කෙනෙක් ඉස්සරහට අරං දෙනවා කතාවක් කරන්න තමුන් ගැන... ඒකෙදී වරදිනකොට මාස්ටර් උදව් කරනවා... ඒ හැටිම අමාරු දේවල් දෙන්නේ නැහැ... උන්නැහෙත් ඇවිත් ළමයි අතරේම වාඩි වෙලා කතා කරන කෙනාගෙන් ප්‍රශ්න අහනවා සරලව.. ඔය විදියට යද්දී තමා ඊයේ ඕකට කොරියන් නංගිව සෙට් උනේ... ඔන්න නංගි එයා ගැන විස්තර ටික කියලා ඉවර උනාම එහෙං මෙහෙං ප්‍රශ්න අහගෙන යද්දී ඇහුවා දැන් නංගි මොනවැයි ඉගෙන ගෙන තියෙන සිංහල වචන කියලා...

කෙල්ල ඔන්න සුපුරුදු පරිදි අත පය විසි කර කර අංගචලනයත් උපයෝගි කරගෙන කියනවා...

“වම්මට යෙන්න“ (වම් අත වම් පැත්තට හරවලා පෙන්නන ගමන්..)
“දක්කුණට යෙන්න“ (දකුණු පැත්තට අත යවමින්..)
“ඉස්සරහට යෙන්න“ (අත ඉදිරියට යවමින්..)

මාස්ටර් වගේම අපිත් ඉතිං හිනා වෙවී නංගිගේ සිංහල අහනවා... ඔය වචන තුනට පස්සේ කෙල්ල ටිකක් කල්පනා කරලා ආයෙම කියනවා...
“ඉස්සරහ බහිනවා“...
“ඉස්තූතියි..“ කියලා...

බලං ගියාම කෙල්ල කියන්නේ වෙන රටකට ආවම ජීවත් වෙන්න උවමනා කරන මූලික වචන කිහිපයක්නේ... කෙලී තනියම පාරවල් හොයං යද්දී එද්දී  කට්ටිය  සිංහලෙන් පාරවල් කියා දීපුවා හරහා තමා මේ ටික හොයං තියෙන්නේ...

හොඳම වැඩේ ඕක නෙවෙයි... ඔය විදියට එයා එයාගේ කතාව ඉදිරිපත් කරලා ගියාට පස්සේ තමා ඊයේ කලින් ඇවිත් හිටියේ නැති “ලී“ හති මුනින් දාගෙන පංතියට කඩං වැටුනේ... ලී ආවට පස්සේ මාස්ටර් කිව්වා ලීට වටිනා කියන කතාවක් මිස් උනා කියලා.. ඒ කියලා ලිගෙනුත් ඇහුවා දැන් ලී මොනවද දන්න සිංහල වචන කියලා...

ඔන්න බලන්න පින්වතුනි මේ කෙල්ලෝ දෙයක් ඉගෙන ගන්න ගියාම ඕනවට වඩා දීග පාරවල් වලින් ඉගෙන ගන්න එකෙයි.. කොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ගියාම කෙටිම පාරෙන් නවන එකෙයි වෙනස... ලී ගත් කටටම මීනා කියාපු පාරවල් හොයා ගන්න ටිකම කියලා දැම්මා.. හැබැයි මීනාට වඩා ලේසි ක්‍රමයකට...

“දක්කුණට“... (මීනා වගේම අත දකුණට හරවලා පෙන්නන ගමන්..)
“වම්මට“... (අත වමට හරවන ගමන්..)
“කෙල්ලින්“... (අත ඉස්සරහට යවන ගමන්...)

බලන්න ඔය ටිකම කියන්න මීනට වචන දෙක දෙක ඕන උනත් අපේ ලී මල්ලි තනි වචනෙන් වැඩේ ගොඩ දාගෙන තියෙන හැටි... ආන්න ඒකයි කියන්නේ කෙල්ලෝ දෙයක් කරන්න ගියාම වටේ යනවා කියලා... කොල්ලෝ ළග නවනවා කියලා...

හා හා අදට ඇති... උයන පිහින වැඩට ගිය දවසක එතැන වෙන දේවලුත් කියන්ට බැරියෑ...