28 April 2013

ලේ...

උදේ පාන්දරම ගියා අපේ ඔබා අයියා සිහි කොරලා උන්දැට පින් පිණිස අර අන්තිම පේලියේ එව්වෝ ටික සංවිධානය කොරලා තිබුන ලේ දන් දීමට... ඒක තියෙන්නේ වැල්ලවත්ත ජ්‍යාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කියලා තැනක.. ඒ කිව්වේ පන්සලක්... හොයා ගන්න අමාරුවක් නැහැ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ අර සබ්මැරීන් කියන දිග බනිස් විකුණන ඩයිනමෝ කඩේ පාස් කොරලා තව ඩිංගක් කොල්ලුපිටිය පැත්තට නෙවෙයි අනිත් පැත්තට යන්න තියෙන්නේ...

ගියාට මොකද පොඩි කාරණා දෙකක් හින්දා වැඩේ හරියට කෙරෙයිද කියලා හිත හිත තමා ගියේ... එකක් තමා ගේ බර අඩු වීම... මංතුමා මේ වෙද්දී සෑහෙන වාරයක් ලේ දීලා තිබුනා උනාට පහුගිය වාරේ වතුපිටිවල ඉස්පිරිතාලෙට ගිය වෙලාවක මගේ ලේ බර මදි කියලා ගන්න බැහැ කිව්වා නෙව... ඔය ලේවල බර කියන්නේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රතිශතය අඩු වැඩි වීමද කොහේද.. මං දන්නේ නැහැ ඔව්වා... ඒවා දන්නේ දොස්තරලා නෙව... ආ ඒ කිව්වම මතක් උනේ... මේ ගිය වෙලේ මට ඔය ප්‍රශ්නේ අහන්න සුදුසු කෙනෙක් හම්බ උනා... ඒ අපේ බ්ලොග් ලියන වෙද මහත්තයා..නොහොත් මහ වෙදනා... මං ඇතුලට යද්දිම මෑන් ඉන්නවා පන්සලේ දායක මහත්තයා වගේ... බොහෝම සාංතදාන්ත විදියට... මං ඉතිං මුලින්ම මගේ පලවෙනි ප්‍රශ්නය පුද්ගලයට ඉදිරිපත් කලා...

“වෛද්‍යතුමනි... මා හට ලේ දිම සම්බන්ධව ගැටළුවක් ඇත... මෙයට පෙර වතාවේදී ලේ බර අඩු වීම යන ගැටළුව මත මා හට ලේ දීමට නොහැකි විය.. මෙයට හේතුව කුමක්ද..?“

ඔව් දැන් වෛද්‍යතුමා පිළීතුරු දෙනවා මෙහෙම...

“මල්ලි.. ලේවල හිමොග්ලොබින් අඩු වෙලා.. ඕක මේ ලංකාවේ හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්...“ ඔන්න ඔහොම කියලා මොනවද මංදා විස්තරයක් කියං ගියා.. ඕවා මට මීටර් වෙන එකක් කියලෑ.. මං ඒ පාර තව ප්‍රශ්නයක් ඇහුවා...

“ගරු වෛද්‍යාචාර්යතුමනි... මට ඇති තවත් ගැටළුවක් වන්නේ... මෙයට පෙර මා විසින් පස් හය වතාවක් ලේ දන් දී ඇති අතර එම වකවානූන් තුල මා විසින් යහමින් සැර බීම වර්ග පානය කරන ලදි.. එහෙත් එහිදී ලේ දීමට කිසිදු ගැටළුවක් ඇති වී නොමැත.. එහෙත් සැර බීම පානයෙන් වැලකී සිටි කාලයේ ලේ දෙන්නට ගිය විට මෙම ගැටළුව ඇති වේ.. මෙයට හේතුව කුමක්ද..?“

හරි වෛද්‍යාචාර්යතුමා කොර.... :D

මං ගියා බර කිරන්න... තව පොඩ්ඩෙන් අතේ තිබුන හෙල්මට් එකත් අරං නගින්නේ තරාදියට. හොද වෙලාවට අපේ දන්තනාරායන මල්ලි ඉඳලා..(මොකක් ඒ මල්ලිව දන්නේ නැහැ කිව්වා.. නිකමට දත් වලට ප්‍රසිද්ධ බ්ලොග් ලියන මල්ලි කවුද කියලා හොයලා බලන්න.. නැහැ නැහැ අයියා නෙවෙයි මල්ලි... :D අනික මේ මල්ලි හරි අහිංසක දරුවෙක්... මේ කියන්නේ ඒ දත් ගැන නෙවෙයි... :D) හෙල්මට් එක ඉල්ල ගත්තා.. හරි කිලෝ 61ක් තියේ... එක කිලෝ එකක් අඩු වෙලා යකෝ.. මගේ සාමාන්‍යයෙන් උපරිම බර කිලෝ 62යි කවදත් තියෙන්නේ... ඕක වැඩිම අඩු වෙන්නේ 58ට... කිසිම හේතුවක් නිසාවත් ඔය පරාසය වෙනස් වෙන්නේ නැහැ දැන් අවුරුදු දහයක විතර වෙලේ ඉඳන්...

එයින් පස්සේ කොලයක් පුරවන්න උනා.. ඕක නිකං මට කට පාඩං කොලේ නෙව... සිටි සිටි ගාලා පුරෝලා දැම්මා... එයින් පස්සේ ඕකත් අරං ගියා ලේ දෙන අයව පරීක්සා කොරලා බලන දොස්තර නෝනා ගාවට... හරි සීදේවී දොස්තර නෝනා... හිනා කටයි..මල් දෝතයි... කොහොමත් ඔය ලේ මධ්‍යස්ථානවල සේවයට වැඩි හරියක්ම දාන්නේ සීදේවී දොස්තර මහත්තුරු දොස්තර නෝනලා.. අර ගිය ගමන් ඇගට ගොඩ වෙන අය දාන්නේ මං හිතන්නේ හදිසි අනතුරු අංස වලට වෙන්න ඕන... ඉතිං මේ නෝනත් හොදට හිනා වෙලා කතා කරලා කලින් ලේ දීලා තියෙනවා නේද කියලා බලලා මුකුත් අවුලක් නැහැ නේද කියලත් අහලා.. මගේ ප්‍රෙෂර් එහෙම චෙක් කොරලා බලලා.. අර දොස්තර නලාව එහෙම එහෙට මෙහෙට තියලා බලලා ඇහුවේ නැද්ද මහ කඩප්පුලි ප්‍රශ්නයක්..

“ගණිකා ඇසුරක් එහෙම නැහැ නේද ළඟකදී..?“

හනෙ හම්මපා මට කටට ආව ජාති... :D යකෝ අහන්න ප්‍රශ්න නැතිවටද ඕක අහන්නේ අච්චර  අර කොලේ එහෙම එකක් නැහැ කියලා දාලා තියෙද්දිත්...

ඒත් ඉතිං මගෙන් අහපු ප්‍රශ්නේ හොදයි කියලා හිතුනේ එයිට ටික වෙලාවකට පස්සේ අපේ “අන්සතු දිනපොත“ ලියන අමිල චතුරංගගෙන් අහලා තිබුන ප්‍රශ්නේ දැන ගත්තට පස්සේ... ඒකගෙන් අහුවළු නෙව “ඔය ළමයා සමලිංගික සේවනයේ එහෙම යෙදෙනවද..?“ කියලා... හත් ඉලව්වේ... :D

එයින් පස්සේ ඔන්න මට තිබුන දෙවැනි ප්‍රශ්නයත් දොස්තර නෝනාම අහලා දැම්මා...
“ඊයේ රෑ කීයටද නිදා ගත්තේ..?“

“රෑ එකත් පහු උනා...“ ඔන්න මට දැන් පේනවා නෝනා නළල රැළි කරං මා දිහා බලනවා... සාමාන්‍යයෙන් නිදි මරලා ගියාමත් ලේ ගන්නේ නැහැ.. ලේවල බරත් අඩුවෙන සීන් එකක් තියෙනවා... ඊයේ රෑ හදිසියේම වෙන වැඩකට ගිය ගමන් සංගීතයක් බලන්න අහු  උනානේ... ඒකයි නිදා ගන්න පරක්කු උනේ... කොහොම හරි ඔන්න තවත් ප්‍රශ්නයක්...

“කීයටද නැගිට්ටේ...?“

“උදේ අට හමාරට...“ හම්මේ දොස්තර නෝනට හිනා ගියා... “ආ එහෙනං කමක් නැහැ..“

කොහොම හරි ප්‍රෙෂර් චෙක් කොරලා අනං මනං කොරලා කොලේ අත්සන් කොරලා මාව යැවුවා ලේ පරීක්ෂා කරන තැනට... ඒ යන්න ඉද්දී මෙන්න එකෙක් එනවා අත පය විසි කර කර අඹර අඹරා... මොනවද කාපු මොකාද වගේ... බැලින්නං මේ අපේ “මගේ සඳ“ බ්ලොග් එක ලියන පසන් මල්ලි... මං අහන්නත් කලින්ම මල්ලි ඇඹරෙන්න දගලන්න හේතුව කියලා දැම්මා...

“ප්‍රෙෂර් මදිළුනේ අයියේ... මං මේ ප්‍රෙෂර් නග්ගනවා...“

මල මගුලයිනේ..සිංහල බ්ලොග්කරුවෙක් වෙලත් ප්‍රෙෂර් නැත්තං වැඩක් ඇතෑ... ඒක බ්ලොග් සංසදේටම ලැජ්ජාවක්නේ.. මං මල්ලිට කිව්වා “වහාම ගිහින් ලොග් වෙලා බ්ලොග් පෝස්ට් දෙක තුනක් කියවලා වරෙං නිකංම ප්‍රෙෂර් නගී“ කියලා... හා නැද්ද හා..? :D

කොහොම හරි ලේත් පරීක්ෂා කරලා අන්තිමට ගියා ලේ දෙන්න.. මෙන්න ලේ දෙනකොට ඇද වට කරගත්තා කැමරාකාන්ලා ටික... අර වයසක අංකල්..ඔව් ඔව් අර දිග මෙව්වා එකක් තියෙන එක්කෙනා තමා... ඒකයි.. තව නං නොදන්න මල්ලිලා ටිකකුයි... අර අවුරුදු උත්සවේ කුජීත කුමාරයා වෙච්ච “අනන්තය“ බ්ලොග් එක ලියන පනුරාධ නානායක්කාර මල්ලියි... මුං ටික හරියට මෙයිට කලින් ලේ දෙනවා දැකලා නැහැ වගේ... ලේ දෙන උන්ට වැඩියි එතන පොටෝ අල්ලන උන්දලා... හැබැයි ඉතිං වෙන කරන්න දේකුත් නැහැනේ... අපි මේ ඌ පස්සේ දෙන්නං කියපු සල්ලි කොලවලට රැවටිලා ඌව අවුරුදු කුමාරයා කලාට මොකද ලේ දෙන්න තියා කට්ටක් ගහන්න තරංවත් ඇගක් තියෙන එකෙක් නෙවෙයි නෙව.. එහෙවු එකේ ඒකත් හා කියහංකෝ... (පොරොන්දු උන ගාන දුන්නනං උඹ මේ ටික අහගන්නේ නැහැනේ.. තාම ප්‍රමාද නැහැ..)

එතකොට අර දඩ රැවුල් අංකල්...? හා හා ළමයි ඒ හාදයටත් ලේ දෙන්න හැටියක් නැහැ... අති මානුසීය හේතුවක් මත... ඒවා මගෙන් අහන්න එපා... මං කියන්නේ නැහැ..මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙනවා... තමුන් නොදැන කරන වැරදි වලින් ඒවා හදාගත්තා උනත් එහෙම තත්වෙකට පත් උනාට පස්සේ අපි මිනිස්සුන්ට බනින්න නාකයි... ඒ හින්දා ඒ මනුස්සයාටත් ලේ දෙන්න බැහැ ඕං.. ඉතිං පොටෝවත් අල්ලපුවාවේ.. :D

ඔන්න ඉතිං කෙහොමින් හරි ලේ දීලා අහවර වෙලා කෙලින්ම යන්න තිබුනේ සංග්‍රහ අංසෙට... ඒ යද්දී මගේ හොද වෙලාවට එක කැමරාකාරයෙක්වත් ඒ අහලක නැහැ.. මං ඉතිං ඒ වසරෙන් සුටුස් ගාලා මාළු පාන් ගෙඩියයි..කේක් කෑල්ලකුයි ගිලලා මදි පාඩුවට කෙසෙල් ගෙඩියකුත් කොටා බාලා උගුර හේදෙන්න කිරි පැකට් එහෙකුත් ගහලා දැම්මා... අනේ අර අපේ අවුරුදු කුමාරි නංගි ඇවිත් ඒ වෙලේ සූට්ටං කවරෙකුත් දුන්නා කියහංකෝ... ඒක මේ සුළු සිහිවටනයක්... 

ඉතිං කාලා බීලා අහවර වෙද්දිම අර රැවුල් පොටෝ අංකල් දුවං ආවා කැමරාව අල්ලන්න..එතකොට ප්‍රමාද වැඩී.. මං ගේම අහවර කරලා හිටියේ...

ඉතිං ඔන්න ඔහොම වැඩේ අහවර කොරලා මං විගහට ගෙදර ආවා.. තව කොරන්න වැඩ තියෙන හින්දා... ඒ ඇවිල්ලා මේක ලියන්න හිතුවේ තාම වැඩේ යන හින්දා මේ කොළඹ අහල පහලක ඉන්නවනං මේක කියවන කවුරු හරි දුවලා ගෙහුං අපේ ඔබා අයියට පින් සිද්ද වෙන්න කියලා ලේ බිංදුවක් දීලා එන්න... අන්තිම පේලියේ උන් ටික වැඩේ සුපිරියටම සංවිධානය කරලා තියෙනවා.. ආයේ ඉතිං මට බයින්න කියලවත් දෙයක් මුං ඉතිරි කොරලා නැහැ... දුකේ බැහැ.. මං මේ හිතං ඉන්නේ සිංහල සාහිත්‍යයටයි... ජන සමාජයටයි පට්ට සේවයක් කරන්න කියලා... ඒකට ඉතිං මට කරන්න පුළුවන් දේ තමා දුටු තැන හැම දේකටම බැණ අඩගහන එක... එහෙම බැණ අඩගහන තරමට තමා අපෙන් සේවයක් ඔය කියාපු දේවල්වලට වෙන්නේ.. ඒත් මුං මට එහෙම කොරන්න දෙයක් මෙතන තියලා නැති එක ගැන මට පට්ට දුකයි කියලනං කියන්න ඕන...

කොහොම උනත් වැඩේ තාම යනවා... හැකි කෙනෙක් ඉන්නවනං යන්න... නැත්තං දන්න කෙනෙක්ව යවන්න... වැඩේ ඇති වටිනාකමයි.. ඔබා අයියා ගැනයි.. ලේ දන් දීමේ වැදගත්කමයි මං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බ්ලොග් ලියන කියවන උදවියට... එහෙනං ඕං ඉක්මං කොරන්න...


21 April 2013

සයිබර් සිහින උළෙල සහ නොකියා බැරි කොමට කියන කතා...





කලින් යන්න කියලා හිතං හිටියේ නැතත් දැන් දවස් කිහිපයකට කලින් මට හිතිලා තිබුනා ඕන මගුලක් කියලා ඔන්න ඔහේ මේකට යන්ට ඕන කියලා.. ඒ හින්දා තිබුන වැඩ එහෙ මෙහෙ කොරං ඔන්න ගියා උදෑහනක්කෙම පොට් එක හොයං...

ඔව් ඔව් අපි එහෙමයි..යනවනං තැනකට වේලපහම යනවා...


ඒත් මුලින්ම වෙන්නේ දෙඤ්ඤං බැටේ කතාවක්.. ඒ තමා සයිබර් සිහින උළෙල සංවිධානය කල උදවියගේ මුල්ම වැරැද්ද..

සිතියම යකෝ සිතියම... මුංදලා මේක තියෙන්නේ ජාතික තරුණ මධ්‍යාස්ථානයක කියලා තිබුනට ඒ කට යන සිතියම කියලා අදාල බ්ලොගයේ දාලා තිබුනේ ඔන්න ඔය කොහේද යන සිතියමක්... ඒකේ හැටියට යන්න වෙන්නේ අදාල තැනට නෙවෙයි වෙන මොකක්ද පන්සල පාරකට... කෝකටත් යන්න කලින් ගූගල් දෙයියගෙන් අහලා බැළුවම ඒ සිතියම යන තැන පිට්ටනියක් තියා හරි හමන් මිදුලක්වත් පෙන්නුං කොරන්නේ නැහැ.. ඒ පාර උදේ යන්න කිට්ටු වෙලා දෙතුන් දෙනෙකුට කෝල් කරලා යන්තං තැන අහගත්තා.. බැලින්නං මේ අපි ආදිකාලයක් තිස්සේ දන්න ජාතික තරුණ සේවා සභාව මහරගම කියන පොට් එක නෙව... ඕක ඒ සිංහලෙන් කිව්වනං එකක්...  එහෙමත් නැතිව අර වගේ සිතියමක් දැම්මම හරියනවද...?

අනික මේ වගේ වැඩක් කොරද්දී වැදගත්ම දේ එතැනට එන හැටි පැහැදිලිව කියන එක නෙව... මෙච්චර අන්තර්ජාලේ බඩගාන උදවිය මෙහෙම දෙයක් කොරන්න ගියාම එතැනට යන හැටිවත් පැහැදිලිව සිතියමකින් දක්වන්න බැරි වීම ගැන ඔන්න මුලින්ම දොස් තියලා හිටින්න ඕන... 

හා හා දැන් ඉතිං සංවිධායක උදවිය දුවලා ගිහිල්ලා බලහල්ලා සිතියම කොහොමද පෙන්නන්නේ කියලා..? බොලලා සිතියමක් හරියට දාන හැටි දන්නේ නැත්තං අර හීන කොල්ලගෙන් අහගනිල්ලා... :D 

ඒකා තමා මටත් මුලින්ම ඔය සිතියං කෙරුවාව ගැන කියා දුන්නේ.. දැන් රට තොට කරක් ගහන හින්දා ඔය ගූගල් දෙයියගේ මැප් එකේ තියෙන වටිනාකොම මං හොඳටම දන්නවා... මොකද මොකා බොරු කිව්වත් ගූගල් මැප් එක බොරු කියන්නේ නැහැ.. ඒ වගට ඔය ගමනක් බිමනක් යන්න කලින් ඒ පැත්ත ගැන මං දන්න දේවල් මොනවද කියලා අහලා කරලා ඒ ගමන යන අපේ කෙහෙල් කොටුවේ බුද්ධි කොලුවගෙන් අහලා බලන්නට..මේක කොයි තරංනං වැදගත් දෙයක්ද කියලා..?

හරි එතැනින් ගියාම ඔන්න කොහොම හරි තැනට ගියා කියමුකෝ... කලින් නං දීලා තිබුනේ නැති හින්දා ආයේ අනං මනං නැතිව බයිසි කටුව පාරේ අයිනෙම දාලා අපි ගියා ඇත්ලට.. අපි කිව්වේ මං වගේම නොදන්වා ආව එකෙක් වෙච්ච අර පෙට්ටගං ජෝන් අයියා එක්ක... වංගු වංගු අරං පිට්ටනියට ගියාම මෙන්න එතැන ඉන්නවා අර චතු මිතුවා මේස ලෑල්ලකුත් දාං ටිකට් කඩන්න... ටිකට් ගන්න කලියෙන් මං අහලා හිටියා කලින් නොදන්වා ආව හින්දා කෑම අනං මනං දෙන්න අපහසු වගේද කියලා.. මොකද අපේ පිස්සු හින්දා සංවිධායකයින්ට අපහසුවක් වෙන්ට තියන්ට බැහැනේ... ඒත් ඒ ගැන අවුලක් නැහැ කියලා ඔන්න ටිකැට්ටුවකුත් දුන්නා... හැබැයි ඒ මේසේත් එතැනම නැතිව ටිකක් එයිට කලින් පඩි පෙල මුලටම වගේ හරි පඩි පෙල උඩටම හරි අරං හෙවනකින් තියාගත්තනං තවත් සාර්ථකයි කියලත් කියන්ට ඕන.. 

මොකද හුග දෙනෙකුට ආව ගමන් අර මේසේ පේන්න කලින් අනිත් යාළුවන්ව පේන්න ගන්නවා.. එතකොට මේසේ පැත්තට යන එක නැවතිලා නිකංම ඇදෙන්නේ යාළුවෝ ගාවට.. එහෙම උනාම මුලින්ම කට්ටිය රෙජිස්ටර් වෙන්න පරක්කු වෙනවා නෙව... අන්තිමට දවල් වෙලා බඩගින්න දැනෙනකොට තමා වැඩි හරියක් කට්ටිය දුවලා ගෙහුං ටිකැට් අරං නං ගං ලියලා ආවේ... අර සිදු වෙච්ච ආහාර ප්‍රමාදයට ඒක හේතු වෙන්න ඇති කියලා හිතෙන හින්දා ආහාර ප්‍රමාදයක් වීම ගැන සංවිධායක මණ්ඩලේට දෝසයක් තියන්ට හැටියක් නැහැ.. හැබැයි අර කිව්වා වගේ ටිකක් කට්ටිය ඇතුලට ඇවිත් අනිත් අයත් එක්ක මුහු වෙන්ට කලියෙන්ම ටිකැට් කඩන කට්ටිය හිටියනං ඔය අවුලත් විසදගන්ට තිබුනා... ඒකට ආදර්ශයක් ගන්ට ඕනනං අර අපේ වැප් මල්ලිගෙන් අහන්ට තිබුනා.. උන්දැනං මුල්ම අවුරුදු උත්සවේදී පාර අයිනෙම හිටගෙන කැඩුවා ටිකට් කැඩිල්ලක්.. පස්සේ බලද්දී ආරාධිත අමුත්තන්ටත් පොර ටිකට් කඩලා... අන්න එහෙමයි වැඩ කරන්ට ඕන.. :D

එයින් පස්සේ ඉතිං ඔන්න කියාපු වෙලාවට බොහෝම පරමාද වෙලා හරි වැඩේ පටන් ගත්තා... තරඟත් පැවැත්තුනා... මාත් ඉතිං අති උද්වේගකර තරගයක් වෙච්ච බනිස් කෑම තරගයට සහභාගී උනා මුල්ම අවුරුදු උත්සවේ වගේම... ඇත්තම කිව්වොත් උදේටත් හරියට කාලා නොගිය හින්දා මං අති සාර්ථක විදියට බනිස් පහක් කාලා තරගේ දිනුවා උනත් උන්දලා තෑගි දුන්නේනං තනි පනිසක් කාලා ආපහු දිව්ව උන්ට.. හැබැයි ඉතිං මං හිතං හිටියේ බනිස් කෑමේ තරගේ කිව්වම බනිස් ගොඩාරියක් කාපු එකා දිනන්නේ කියලා... අපරාදේ කියන්න බැහැ මං පැදුරේ වාඩි වෙලා හීන් සීරුවට බනිස් කද්දී අහල පහල එල්ලලා තිබුන බනිස් ගෙඩිත් නූල් වලින් ගලෝලා මගේ අතේ තියාපු නංගිලා මල්ලිලාටයි... හිරවෙයි කියලා බයට කන ගමන් බොන්න කියාල මට කිරිං සෝඩා බෝතලයක් දුන්න කෙනාටයි බොහෝම ස්තූතියි... හැබැයි ඉතිං බනිස් කාලා ඉවර වෙද්දී ප්ලේන්ටියකුත් දුන්නනං තමා වැඩේ සංපූර්ණ වෙන්නේ... ඒ ගැනත් සංවිධායක ඇත්තෝ සලකා බැළුවොත් හොඳා.. :D


කොහොම කොහොම හරි ඔන්න උදේ ඉදන් රෑ වෙනකල්ම වගේ එතැන ගත කොරලා බොහෝම සංතෝසෙන් අනිත් අයත් එක්ක කතා බහ කොරලා විහිළු තහළු කොරලා..මඩ ගහගෙන මං ගෙදර ආවා... ඒ අතරේ මුළු අවුරුදු උත්සවේම නස්කූනි කල ගෑණු ළමයි දෙන්නාගේ වලිය ගැන මං මෙතැන නොකිව්වට හෙට අනිද්දා වෙද්දී ඔය හැම තැනම ඇනෝලා හරි කියයි... ඒ ගැන මං ආයේ අමුතුවෙන් කියන්ට යන්න ඕන නැහැ... ඒ දෙපාර්සවේටම කියන්න තියෙන්නේ එක දෙයයි... උඹලා දුර දිග නොහිතා මරා ගත්තම අහල පහල ඉන්න උන්.. ඔව් ඔව් අපිත් ඇතුළුව තමා... අන්න උන් ඒකෙන් ආතල් ගන්නවා ඇර උඹලා දිනුවා වෙන්නේ නැහැ... ඒ හින්දා මෙයිට පස්සේවත් ලෝකේ හිනස්සන්නේ නැතිව සිහි බුද්ධියෙන් වැඩ කොරහල්ලා... සයිබරේ කියන්නේ මුළු ලෝකෙම නෙවෙයි.. මේක මේ කන්හැන්දක් තරංවත් ලොකු දෙයක් නෙවෙයි.. බොලා මේක මහා පරිමාණෙන් හිතලා නිකං වෛර බැඳන් තමුන්ගේ තත්වේ අනිත් අය ඉස්සරහා බාල්දු කරවගන්ට එපා... ගහ මරා ගන්ට ඕනනං ඒකට හරි හමන් හේතුවක් හොයා ගනිල්ලා... මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවල තියෙන බරපතලකං වල හැටියට උඹලා මේ සත්තු සරපයි වගේ හැසිරෙන්නේ තුට්ටු දෙකක් වටින්නේ නැති දේවල් වලට... ඒකයි දුක... අනික එයින් එක්කෙනෙක් මං දන්නා තරමින් මේකේ ප්‍රධාන සංවිධායිකවරියක්... මෙහෙම තැන්වලදී තමුන්ගේ පෞද්ගලික කෝන්තර පැත්තක දාලා ඉවසීමෙන් යුතුව තමුන් හොබවන තනතුරේ ගෞරවය රකින්න හා කරන කාරිය ගැන හිතලා අනිත් හැම දේම පැත්තකට දාලා ඒ දේ සාර්ථක කරවන්න බැරිනං ඒක තමුන් ලද තනතුර හෑල්ලු කිරීමක් වෙන වගත් සිහි තියාගන්ට ඕන... මෙතැනදී තමුන් අසාර්ථක වෙන්නේ කරන වැඩේ අසාර්ථක උනොත්... මොන දේ හරි ඉවසගෙන කරන වැඩේ අඩුවක් නොවන්න ගොඩ දැම්මොත් අනිත් සියළු දේම පැත්තක දාලා මිනිස්සු කියන්නේ මොනවා උනත් ප්‍රශ්න පැත්තක තියලා වැඩේ හරියට කරන්න දන්න ළමෙක් කියලා මිස වෙන දේවල් නෙවෙයි... ඒ දේ එහෙම කරගන්ට බැරි උනාම සිද්ධ වෙන්නේ තමුන් දරණ තනතුරට තමුන් නුසුදුසු කෙනෙක් කියලා හැමෝම ඉදිරියේ විදහා දැක්වීමක්...

මේ ටික කිව්වට ඔය දෙපාර්ෂවයේම උදවිය මාත් එක්ක අමනාප වෙන්න එපා... ආයේ තැන තැන කිය කිය ඇවිදිනවට වඩා මෙහෙම කියලා දැම්මම හැදෙනවනං හැදෙයි.. නැත්තං තව දුරටත් රට්ටු හිනස්ස හිනස්ස  තමුන් කැමති පදයක් තමුන්ට රිසි ආකාරයට ගහ ගනී කියලා හිතලයි...

ඊ ළගට තව කියන්ට තියෙන්නේ ඝෝෂාකාරී සංගීතය ගැන...

මේක එක එක්කෙනා එක එක කෝණයෙන් දකී.. සමහර විට මං දැකපු කෝණය වැරදිම කෝණය වෙන්න ඇති.. ඒත් මං දැකපු විදියත් නොකියා බැහැ...

කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙද්දී අපිට විතරක් පරණ විදියටම හැම දේම කරන්න බැහැ තමා... ඒත් ටිකක් හරි කාරණා කාරණා ගැන සංවේදීව හිතලා ඒ ඒ දේවල් සකස් කරගන්ට උනන්දු වෙනවනං වඩාත් හොදයි...

ඇත්තම කිව්වොත් මේක අවුරුදු උත්සවයක් හැටියටම ගන්ට බැහැ. ඒ හින්දා මං කියන්නේ නැහැ මේක එෆ් එම් රේඩියෝවක යන වැඩසටහනක් ගානට දාලා තොර තෝංචියක් නැතිව සංගීතය අස්සේ චර බර ගාන මට්ටමේ වැඩසටහනක් කරන්න එපා කියලා... සාම්ප්‍රධායික අවුරුදු උත්සවයක වගේ එවෙලෙට පවතින ඉසව්වට සිටිනා අයගේ සම්පූර්න අවාධානය යොමු කරවාගන්න සමත් නොවීම මං නිවේදක නිවේදිකාවන්ගෙන් දැක්ක ලොකු දුර්වල කමක්... සමහර විට ළමයි ටික මේක බස් රේඩියෝවත් සමග සමගාමිව කරගෙන යන හින්දා ඒක වෙන්න ඇති. ඒත් පළමු අවුරුදු උත්සවයේදී අපි මයික් කටා කියලා ආදරෙන් හඳුන්වපු මුචා හෙවත් කවුරුත් දන්නා රචින්ත ජයවර්ධනට මෙයිට වඩා හොද හැකියාවක් තිබුනා අවුරුදු උත්සවේ සිටිනා අයගේ අවධානය පැහැර ගන්න හැකි ආකාරයට ඒ දේ කරන්න... ඒ හින්දා මෙහෙම දෙයක් කරද්දී ඒ වගේ අත්දැකීම් ඇති අයගෙන් තරමක් දුරට හෝ උපදෙස් ගැනීමත්... ඒ අයගේ දායකත්වය වැඩේට සරිලන පරිදි ලබා ගැනීමත් බොහොම වැදගත්.. අවසාන පැය කිහිපයේදී මයික් එක ලසිත බෙනරගමට හා දුලිප් සිකුරාජපති(ඕනයා) අතට වැඩි වේලාවක් පත් වීම හරහා ඒ වෙලාවේ සිටිය අයගේ අවධානය තරඟය තියෙන තැනට ඉතාමත් සාර්ථකව ඇදගත්ත හැටි ගැන කල්පනා කරලා බලන්න වටිනවා... මං මේ ටික කියන්නේ උදේ වරුවේ විදුලිය විසන්ධි වීම නිසා සුළු වේලාවකට සංනිවේදන කටයුතු කිරීමේදී ඇති උන අපහසු මට්ටමේ කාල සීමාව ගැන නෙවෙයි.. සමස්ථ කාලයම සලකලා.. අනිත් දේ තමා අර සංගීත සපයාපු උදවියගෙන් වැඩේ ගැනීමේදී ඒක නිසි පාලනයකින් යුතුව ගැනීමට සංවිධායක පිරිස සමත් විය යුතුය කියන කාරනේ...

සෑම වෙලේම ඒ කිව්වේ නිවේදක නිවේදීකාවන් සිය නිවේදන කටයුතු කරදිදී පවා.. ඒ හඩවල් මැකෙන පරිදි අර ඝෝෂාකාරී සංගීතය පසුබිමින් නැගෙන්නට වීම... ඇත්තටම ඒක පුදුම අපහසු කාරණයක්.. මුලින්ම ඒ අයට පැහැදිලි කර දිය යුතුව තිබුනා මේක ඔහෙලගේ සංගීතයෙන් එන උන්ගේ කන් පුරවන්න කරන දෙයක් නෙවෙයි කියන දේ... සුදුසු අවස්ථාවලදී ඒ ශබ්ද නවතා දමා නිවේදන වලට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ආකාරය ගැන කතා බස් කරගෙන සුදුසු උපදෙස් දීලා තිබුනනං මං හිතන්නේ නිවේදක නිවේදිකාවන්ගේ තත්වය මෙයිට වඩා බොහෝම උසස් වෙන්න තිබුනා...

අනිත් වැදගත්ම දේ තමා මෙතැනට එන අය සාමාන්‍ය අවුරුදු උත්සවයකට එන අයට වඩා සුවිශේෂ පිරිසක්.. සාමාන්‍ය ගමක තියෙන අවුරුදු උත්සවේකනං ඒකට එන්නේ අහල පහල උදවිය තමා වැඩිපුරම... ඉතිං කෑ කෝ ගහලා විනෝද වෙලා යනවා ඇර ඒ අයට කතා කරන්න තරං මහා ලොකු දේවක් නැහැ.. මොකදඋ දේ හවහා හම්බු වෙන අයට මේ අවුරුදු උත්සව බිමක ආගිය තොරතුරු කතා බස් කොර කොර ඉන්න දෙයක් නැහැනේ...

ඒත් මෙතැනදී තත්වය බොහෝම වෙනස්... මේ එකතු වෙන පිරිස ගමක උදවිය නෙවෙයි..අඩුම ගානේ ලංකාවේ විතරක් අයවත් නෙවෙයි... රට රට වලින් ආව උදවිය... ඒ අතරෙ මේ සඳහාම ආව අයත් හිටියා... ඉතිං එහෙම එන අයට අවුරුදු උත්සවය වගේම තමතමුන්ගේ හිතමිතුරු බ්ලොග් කරුවන් හමු වීමට තියෙන තැන තමා මේක... ඉතිං කියන්න කතා කොච්චර තියෙනවද..? ඒත් මහා ඝෝසාවක් සේ නැගෙන සංගීතය හමුවේ මහ හඩින් කෑ ගසමින් එකිනෙකාට කතා බස් කිරීමට සිදු වීම ටික වේලාවක් යනවිට තරමක අපහසු කාරියක්... ඒ හින්දා ඒ ගැනත් හිතලා ලොව පුරා සිට පැමිණි අයට මොහොතක් සැහැල්ලුවෙන් කතා බස් කරලා දැන හදුන ගන්න අවස්ථාව සලසා දීමත් කෙරෙනවනං ඒකත් වැදගත්... පැමිණි පිරිසට එකිනෙකා ගැන දැන ගන්න සුළු මොහොතක් හෝ වෙන් කර දීමත් සිදු නොවුනා කියලයි මං හිතන්නේ... දෙවැනි අවුරුදු උත්සවයේදී ඒක උනාද කියලා මං දන්නේ නැහැ.. හැබැයි පලවෙනි අවුරුදු උත්සවේදී ඒකටත් සුළු මොහොතක් වෙන් උනා...

මෙන්න මේ වගේ අඩුපාඩු රැසක් දකින්න සිද්ධ වීම නිසා ඒ ටික කියන්න සිද්ධ වීම ගැන මං කණගාටු වෙනවා.. ඒත් කවුරුම හරි නොකිව්වොත් ඒකත් අඩුපාඩුවක් වෙනවා.. මොකද මේ පවත්වන්නේ පලමුවෙනි වතාවට නෙවෙයි තුන් වැනි වතාවට නිසා... කලින් ඒවෑත් අත්දැකීම් අරගෙන මේ වෙද්දී පළමු අවුරුදු උත්සවයටත් වැඩිය සාර්ථක අවුරුදු උත්සවයක් දකින්න බලාගෙන ආව මම වගේම බොහෝ පිරිසක් ඒක එහෙම උනා කියලා සතුටින් ගියා කියලා මට හිතන්න අමාරුයි.. අනිත් අය කොහොම උනත් මංනං ආවේ ඒ සතුට හිතේ දරාගෙන නොවන බවත් කියන්න ඕන... සංවිධායක උදවියගේ මහන්සිය හෑල්ලු කරන්න හිතලා ලිව්වා නෙවෙයි... ඒ අය මහන්සි උන බව පේන්න තිබුනා උනත් තව ටිකක් මෙයිට වඩා වැඩේ කල යුතුයි කියන්නයි මේ ටික කිව්වේ...

ඒ කොහොම උනත් මේ අලකලංචි අස්සේ ආතල් නැත්තේම නැහැ කියන්න බැහැ... ඒ ආතල් ලබා දීපු ආව ගිය හැමෝටමත්.. දැන හෝ නොහැදි කතා බස් කරලා දැන හඳුනාගත්ත හැමෝටමයි... මේ තරමින්වත් වැඩේ කරන්නට සමත් වූ සංවිධායක මණ්ඩලයටයි ස්තූති කරමින් මගේ කතාව මින් අවසන් කරමි...



අසා..නැහැ කියවා සිටි ඔබ සැමට ස්තූතියි...

ගත්ත පිංතූර හැම එකක්ම බුකියේ දානවා තව ටිකකින්....

17 April 2013

අපි නොදන්න සෙංකඩගල... අනේ නුවරකට ගිය කල...


ඔය පින්තූරේ පේන්න තියෙන ගල අදුරනවද..? එහෙමත් නැත්තං ඕක ගැන අහලා තියේද..?

උත්තරේ ඔව්නං බොහෝම හොඳයි... උත්තරේ නැහැනං මං දන්න ටික කියලා දාඤ්ඤ කියලයි හිතුවේ...

මං කලින් ලිපියක කිව්වා නෙව අර උඩවත්තේ කැලේ ඇවිද්ද කතාව... ඔය උඩවත්ත කැලේට ඇතුළු වෙන තැන තිබුනා කැලේ ඇතුලේ ඇවිදින මාර්ග සිතියමක්...


ඔය සිතියමේ අංක 19 යටතේ තියෙනවා සෙංඛණ්ඩ ලෙන කියලා තැනක්... ඒත් මං ඕක හොයාගෙන යද්දී සිතියමට අනුව ඒකට යන්න තියෙන පාරේ තිබුන බෝඩ් ලෑල්ලත් ගලෝලා දාලා තිබුනා... පාරත් අනිත් පාරවල් වගේ නෙවෙයි මඩ වෙලා... ගස් කඩා දාලා පාර වහලා එහෙම තිබුනේ.. ඒත් ඉතිං ඕක බලන්ට ඕන හින්දා මං ගස් කොටන් උඩින් පැනලා කරලා ගියා.. ප්‍රධෘන ගමන් මාර්ගයෙන් වම් පැත්තට කන්ද පහලට බැහැගන යන අඩි පාරක් දිගේ සෑහෙන පහලට ගියාම ඔන්න හම්බ උනා ඔය කියන ලෙන කියලා හිතන්න ඇහැකි ගල් පියස්සක්... හැබැයි ඒක පාමුලටම යන්න බැරි විදියට අර මං ගමන් කොරාපු අඩි පාර නාය ගෙහුං තිබුනා... තනියම කැලේක හෝ වෙනත් තැනක ගමන් කරද්දී අනවශ්‍ය අවධානම් වැඩ කොරන්න යන්ට හොඳ නැති හින්දා අර නාය ගොහින් තිබුන මඩ පස් ගොඩ දිගේ පහලට රෑටන්ට නොගිහින් මං හිටිය තැන ඉඳලා ඇහැකි විදියට තැන බලාගෙන ඔය පොටෝව එහෙමත් අරගෙන මං ආපහු හැරුනා... 

එයින් පස්සේ මං ආයේ කොළඹ ආවයින් පස්සේ තමා මොකක්ද ඔය කියන සෙංඛණ්ඩ ලෙන කියලා හොයන්න ගූගල් මාමගෙන් තොරතුරු හෙව්වේ.. හප්පට සිරි ගජ... බලං ගියාම මේක එසේ මෙසේ තැනක් නෙවෙයි මෙහෙම වල් වැදිලා තිබුනට...

කොටින්ම කිව්වොත් මුළු නුවරම තියෙන වැදගත්ම තැන මෙතැනයි කියන්ට ඇහැකි... දළදා වහන්සේ වැඩ සිටින තැන ඇරුනු කොට...

අපි ඔය නුවර නුවර කියලා කිව්වට මොකද ඔය නුවරට කියන නියම නම “සෙංකඩගල“ පුරය නෙව... ආන්න ඒ සෙංකඩගල  කියන නම ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ කියන ලෙන නෙව...

එහෙං මෙහෙං කියෝලා අල්ල ගත්තු කරනු අනුව අතීතයේ මේ කියන ලෙන තමුන්ගේ වාසස්ථානය කොරගෙන හිටලා තියෙනවා “සෙංඛණ්ඩ“ කියලා තපස්වරයෙක්... දවසක්දා වේවැල් කපන්න කැලේ ගෑටුව කොලුවෙක් අතරමං වෙලා මේ කියන ලෙනට ඇවිත් තපස්වරයාගේ අවසරය ඇතිව රැයක් මෙතැන ගත කොරලා තියේ.. ඒ හිටිය එක දවසට අර කොළුවට මේ ස්ථානයේ තියෙන බොහෝම ආශ්චර්යමත් සිද්ධි දෙක තුනක් දැක බලා ගන්නට ලැබිලා ඒ ගැන අපේ අර සෙංඛණ්ඩ තාපසතුමාගෙන් විස්තර අහපුවාම උන්නාන්සේ මේ කොළුවට කියා තියෙනවා මෙතන බොහෝම හොඳ ජය භූමියක්ය... බොහෝම ආශ්චර්යමත් තැනක්ය කියලා... කොළුවත් මේක හිතේ තියං ගමට ගියාට පස්සේ අළුතින් රාජධානියක් තනන්ට සුදුසු භූමියක් හොය හොයි හිටිය රටේ රජතුමෙකුට මේ ස්ථෘනය ගැන කිව්වාය කියලයි කතාවේ කියැවෙන්නේ.. හැබැයි ඒ රජු කවුද කියන එක හරියටම පැහැදිලි මදි... කැළණි තිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමාරයා ගැන වගේම පහු කාලෙක ගම්පොල රජ කල වික්‍රමභාහු රජු කියලත් කියැවෙනවා... ඒ ගැනනං මං නොදනී.. ඒවා හොයලා බලලා අපිට රපෝර්තු කොරන්න තමා ඔය හසිත චාමිකරලා වගේ බ්ලොග් ලියන ඉතිහාස විශේෂඥයෝ ඉන්නේ.. හා නැද්ද හා...?

ඉතිං කොහොම උනත් එයින් පස්සේ මේක රාජධානියක් උනා වගේම සිරිලංකාවේ අවසාන රාජධානිය හැටියටත් පත් උනා... හැබැයි මං හිතන්නේ සෙංකඩගල පුරයේ ඉන්න උදවියවත් මේ කතාව දන්නවද කියලා මං දන්නේ නැහැ... සමහර විට ඔය සෙංකඩගල කියන නම හැදුන හැටි ගැන තව තව කතා තියෙන්නත් ඇහැකි... මේකත් ඒ කතා අතුරින් හොද කතාවක්...

කණගාටුවට කාරණාව එහෙවු වටිනාකමක් තියෙන තැන මෙහෙම අනාරක්ෂිත විදියට තියෙන්න ඇරලා තියෙන එකයි... හරියටම පිහිටීම බැළුවොත් මේක තියෙන්නේ දළදා මාළීගාවට උඩින් පිහිටි කන්දේ දළඳාව පේන දුරින්... සිරිලංකාවේ ප්‍රධානම රාජධානියක් පිහිටුවන්න මුල් වෙච්ච.. ඒ රාජධානියේ නමට පවා මුල් වෙච්ච වටිනාකමක් ඇති අදටත් පවතින මේ ස්ථානයට මෙයිට වඩා ආරක්ෂාවක් හා ප්‍රසිද්ධියක් ලැබෙන්ට ඕන කියලයි මගේ නම් කල්පනාව... රටේ එවුවෝ කෙසේ වෙතත් නුවර එවුවෝවත් මේ තැන ගැන මෙයිට වඩා අවධානයක් යොමු කොරලා තමුන්ගේ පළාතේ වැදගත්ම තැනක් වෙච්ච මේ තැනට නිසි සැලකීමක් කොරනවනං හොඳා...

දැන් ටිහිකට කලියෙන් නුවර කොලුවෙක්ගෙන් මං තොපේ නුවරට කියන නියම නම ඇහුවම ඌට ඒක මතකත් නැහැ.. එයින් පස්සේ සෙංකඩකල කියන නම හැදුනේ කොහොමද කියලා ඇහුවම ඌ උඩ බිම බලනවා... ඔන්න නුවර එකාලගේ වග... එහෙවු එකේ රටේ එකාලගේ වග අහන්ටත් ඕනයෑ...?

අපි නොදන්න මොණරතැන්න කිව්වළු.. නැහ්.. සෙංකඩගල කිව්වළු... :D

13 April 2013

බඩ ගාලා උඩවත්තේ... මගේ.. කකුල් පණ නැත්තේ...

මේ පහුගිය දහ වැනිදා උදේ පාන්දර එක පාරටම හදිසි කැඳවීමක් ලැබුනා නෙව නුවර යන්ට... මාත් මොකෑ..ඉබ්බා දියේ දැම්මම අර මොකක්ද කිව්වළු... කියලා පැය බාගයක් යද්දී  බඩුත් පැක් කොරං ගමනට  පිටත් උනා... නුවර ගියාට ඉතිං මට කොරන්ට කියලා ඒ හැටි දෙයක් තිබුනේ නැහැ.. මගේ රාජකාරිය කට්ටිය එක්ක යන එක සහ ආපහු එක්ක එන එක... දවස් දෙක තුනක්ම ඉන්ට වෙයි කියලා කලින්ම කියලා තිබුන හින්දා මං දඩි බිඩියේ යමින් ගමන්ම ඒ දවස් දෙක තුනේ කොරන්ට ඕන දේවල් ගැන හිතුවා...

පලවෙනිම කාරණාව තමා කොච්චර නුවර ගියත් කවදාවත් කොරගන්ට බැරි උන “හිතේ හැටියට මාළිගාව හා ඒ අවට බලා කියා ගැනීම“ මේ වංගියේවත් ඉස්ට සිද්ධ කොරගන්න එක... දෙවැනි එක තමා පොඩි එකා සංදියේ ගියාට පස්සේ ආයේ නොගිය.. පේරාදෙණීය මල් වත්තේ හිතේ හැටියට ඇවිදින එක... හැබැයි ඉතිං දොලොස් වැනිදා හැන්දෑ බාගයේ නුවරට කඩං පාත් වෙච්ච දාරානිපාත වරුසාව මගේ දෙවැනි කාරණාවට බඩු බනිස් කෙරෙවුවා... ඒ කියන්නේ මල් වත්ත අනාගතයට බාර දුන්නා...

ඒත් අපරාදේ කියන්ට බැහැ එකොලොස් වැනිදා හවස් වෙනකල්ම මාළීගාව පැත්තේ හක්කලං කොලා... මාළිගාවට ගියා උනාට මෙච්චර කාලයකට නැගලා නොතිබ්බ පත්තිරිප්පුවටත් නැගලා කොරලා එයින් පස්සේ මාළීගාව පිටිපස්සේ තියෙන රාජා ඇතාගේ සම නැවත පුරවලා සකස් කොරාපු අනුරුවත් දැක බලාගෙන එයින් පස්සේ ඒ අහලම තියෙන පරණ මාළිගාවේ කොටස් වලත් හක්කලං කොරලා ඒ එක ගොඩනැගිල්ලක් ඇතුලේ තිබුන පුරාවස්තු එහෙමත් දැක බලාගෙන ආයෙම මාළීගාවේ පිටුපස කොටසේ ඇති තෙමහල් මන්දිරේ තියෙන කටු ගේ වගේම... මාළීගාවට පිටුපස්ස පැත්තේ තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරෙත් දැක බලා ගත්තා.. හැබැයි වෙන වෙන කටයුතු හින්දා ඒ එක්කම තිබුන ලෝක බෞද්ධ කෞතුකාගාරෙනං බලාගන්න කාලේ මදි උනා... නුවර තරං කටු ගෙවල් වෙන කොහේවත් නැද්ද මංදා.අඩියෙන් අඩියට කටු ගෙවල්...

එයින් පස්සේ හවස් අතේ ඉර බහින්න ඔන්න මෙන්න තියලා ආයේම නැග්ගා කන්දක්... ඒ නුවර බෝගම්බර පිට්ටනියට ටිකක් එහායින් තියෙන කන්දක්.. ඒ කන්ද උඩට ගියාම නුවර නගරය බොහෝම අලංකාරෙට කියනවා.. මට ඒ තැන ගැන කිව්ව කෙනා කිව්වේ එතැනට කට්ටිය කියන්නේ “නුවර බලන හන්දිය“ කියලයි.. ඇත්තටම ඒක නුවර බලන්න හොඳම තැනනං තමා...

එහෙම කොරලා දෙවැනි දවස හමාර කොලාට පස්සේ තුන් වැනි දවසේ මං කොලේ උදේම බඩ ගෑවා උඩවත්ත කැලේ බලන්න.. හැබැයි කියන්න කණගාටුයි නුවර එකාලටත් උඩවත්ත කැලේ ගැන තියෙන අදහස ඒ හැටි හොද මදිද මංදා.. එකෙක් ගත් කටටම කිව්වේ ඔකේ මොනවා බලන්නද..කොල්ලෝ කෙල්ලෝ නං බැලියැකි කියලා... නෙද්දකිං මුනුත් උපන්නනේ අම්මපා නුවරම..සික්... :D

ඒත් ඉතිං මං සැලෙයිද ඔව්වට..මමත් බොහෝම මාරුවෙන් මාළිගාව ඉස්සරහින් වම් පැත්තට හැරිලා කිලෝ මීටර් බාගයක් විතර ගෙහුං තැපැල් කන්තෝරුව තියෙන හතරමං හන්සියෙන් දකුණට හැරිලා ගෙහුං කන්ද නැගලා තැන හොයාගන ගියා.. ඒ යද්දී තමා මේක දැක්කේ.. මේ ගහේ තැන් කිහිපයකම මෙව්වා තිබුනා...



ඇතුළු වෙන තැනට යද්දිම මගේ දිව එලියට ඇවිල්ලා.. ඒ තරමට මහන්සියි... 


ඒ කොහොම උනත් කාලෙකින් මං බොහෝම නිවී හැනහිල්ලේ මගේ පාඩුවේ ගත කොරාපු පැය කිහිපයක් උනා ඒ ඇවිදපු වෙලාව... රුපියල් විසිපහයි කියලා ගහලා තියෙන ටිකැට්ටුවට  රුපියල් විසි අටක් දීලා (රුපියල් විසි අටයි කියලා කිව්වට 30ක්ම ගත්තා..)

  උඩවත්ත රක්ෂිතයට ඇතුලත් උන මට බාධා කොරන්න මෙලෝ යකෙක් හිටියේ නැහැ.. කොටින්ම කිව්වොත් එදා දවසටම ටිකට්ටුවක් අරගෙන උඩවත්ත බලන්න ගිය එකම සංචාරකයා මං විතරයි..

  ආයේ බලු බල්ලෙක් නැහැ... 


පුදුම සැනසිල්ලයි.. අර යෝධයා කිව්වා වගේ කෙල්ලෝ කොල්ලෝනං මේකේ හිටියේ නැහැ... හැබැයි මෙහෙම ජොඩුනං හිටියා...


 බලන බලන අතේ මහ විසාල ගස් වැල්...





 ඒ ගස් මුදුන් අස්සේ ඇහෙන කුරුල්ලන්ගේ සංගීත කෑලි... ඇග පුරාවට දැනෙන සනීප හීතල ගතිය... පුරා පැය දෙක හමාරක් විතර මං ඒ අතට මේ අතට ඇවිද්දා... සෙංකඩ ලෙනද මොකක්දෝ කියන ලෙනට යන පාර එහෙම හොදටෝම මඩ වෙලා තිබුනා උනත් අමාරුවන් වගේ හොයාගෙන ගියාම පේන්න තිබුනේ මෙන්න මෙහෙම ඒවා විතරයි...  

ඔය හිටිය තැනින් පහලට බහින්න හැටියක් තිබුනේ නැහැ..පාර නාය ගෙහුං... හුඟාක් තැන්වල මෙහෙම බෝඩ් ලෑලිත් තිබුනා...










ඉතිං බෝඩ් ලෑලිවලට අනුව මෙහෙම හන්දි වලින් හැරි හැරී ගියා...



ඒ එක තැනකට නුවර නගරය මෙහෙම පේනවා...


එක පාරක් කෙලවර උනේ මෙතැනින්...


එක පාරක් එනවා ආයෙම නුවර මාළීගාව පිටිපස්සටම එනකල්.. එතැන තමා අර මං කලින් පිංතූර දමාපු ගැරිසන් සොහොන් බිම තියෙන්නේ.. එතැනට ආවම මට තේරුනේ ආපහු ආව පාරේ නුවර යනවට වඩා මෙතැනින් බැස්සනං කොයි තරං සනීපද කියලා.. එහෙම හිතලා මං ආයෙම එතැනට එන බලාපොරොත්තුව ඇතිව තව ටිකක ඇවිදින්න ගියා.. ඒ ගියේ  රක්ෂිතයේ තිබුන උසම තැනක් බලන්න..(මුහුදු මට්ටමේ සිට අඩි 1800 යි) 

එතැනට කියන්නේ කොඩිමලේ කියලා...


 ගමන පටන් ගත්ත තැන තිබුන සිතියමේ හැටියටනං එතැන නැරඹුම් කුළුණක් තියෙන්ට ඕන... ඉතිං මාත් ඒ නැරඹූම් කුළුණ බලන්නට ගියා... හැබැයි ඒ ටික ටිකක් දුෂ්කරයි... ප්‍රධාන මංපෙතෙන් අඩිපාරකට හැරිලා..කන්ද මුදුනට කැලෑව පැත්තෙන් තියෙන හරියටම සලකුණූ නැති හිතේ හෝදිසියට පාර හොයාගෙන යන හැටියක් තමා ඒ ටිකේ කොරන්න උනේ.. එකම වගේ අඩිපාරවල් හැම අතටම බෙදිලා ගිහිල්ලා තියේ... කොහොම හරි ඉව අල්ල අල්ල උස පැත්තටම ගැටලා අදාල තැනට ආවා.. අනේ ඈතට බොහෝම ලස්සනට කුළුන කිව්ව අට්ටාලේ පේනවා.. මාත් හති දදා ගියා ඒකට නැගලාම විවේකයක් ගන්නවා කියලා හිතං...



එතැනට ගියාම මෙන්න තියෙනවා කොඩිමලේ බෝඩ් එක...



එයිටත් අඩියක් දෙකක් දුරින් මේ බෝඩ් එකත් පැත්ත වැටිලා තිබිලා මං කෙලින් හිටෝලා ගත්තා පොටෝ එකක්...




දුක්ඛිතයි පින්වතුනි...  බලහංකෝ.. අට්ටාලේ තිබුනට ඒකේ හිණිමග නැහැ නෙව..


ඇත්තම කිව්වොත් මට ඇඩුනා..අම්මපා..


 ඒක දිරාපත් වෙලා කඩං වැටිලා.. තියෙන කනු දිගේ බඩ ගාලා හරි නගින්ට කල්පනා කලාට උඩට ගහලා තියෙන ලෑලිත් හොඳටෝම දිරාපත්වෙලා.. ආයේ ඉතිං මහ කැලයක් මැද අට්ටාලයක් කඩං වැටිලා ලෑලි කෑලි ඇනිලා ජීවිත ගමන නිමා කරනවට වඩා ක්‍රම ඕන තරං තියෙනවා නෙව ඒක කරන්ට ඕනනං.. ඒ හින්දා මං ඒ දිහා බලාගෙන ටිකක් අඩලා කොරලා ආයෙම ගියා එයින් එහාට තියෙන පුස් වැලක් බලන්ට..

 






පුස් වැලත් බලලා ඒ ඔස්සේම සිතියමට අනුව ගියාට එයින් එහාට සිතියමේ තියෙන අඩිපාර නැහැ... බොහෝම වන වැදුන හරියක් තියෙන්නේ... 


සිතියමට අනුව එතැනින් බැස්සනං ආපහු ආව තැනට යන්න බොහෝම ටික දුරක් උනාට..එහෙම පාරක් නැත්තං මං මක්කා කොරන්නද.. ඒ පාර මං ආයෙම හැරුනා අර නැගපු කන්දම බහින්ට හිතං... කඳු නගිනවා වගේ නෙවෙයි ආයිබෝං බැහිල්ල.. දණහිස් නිකං මගේ නෙවෙයි වගේ... බ්‍රේක නැතිව එන්නේ පහලට... කොහොම හරි දෙයියන්නේ පිහිටෙන් අතක් පයක් කඩා නොගෙන කන්ද බැස්සා.. ආයෙම වට රවුං පාරෙන් ආවා ප්‍රධාන පිවිසුම් දොරටුව ගාවට... ඒ එන ගමන්  පාර අයිනේ හිටෝලා තිබුන සිමෙන්ති බංකුවක කමිසේ එහෙමත් ගලෝලා දාලා හොඳට පැත්ත වැටිලා පැය බාගයක් විතර නිදා ගන්නත් අමතක කලේ නැහැ.. හප්පා ගෙදරට වඩා සනීපෙට නින්ද යනවා... ඒ කරලා ආවා ටිකට් කාරියාලේ ගාවට... එතැනට දැනුම් දුන්නා මං ගැරිසන් සොහොන පැත්තෙන් පාරට බහිනවා ආයේ මෙහෙන් යන්නේ නැහැ කියලා.. මොනවා උනත් එහෙම දෙයක් කොරනකොට අදාල අංස වලට කියලා කොරන එක හොදයි.. නැත්තං කැලේ රිංගුව එකා එලියට ආවේ නැත්තේ ඇයි කියලා ඔය මිනිස්සු කලබල වෙලා හවහට හෙව්වොත් එහෙම...

ඉතිං ආයෙම වංගියක් මුලින්ම ගිය පාරෙම ගොහිං ගැරිසන් සොහොන ගාවින් පාරට බැහැලා මාළීගාව පැත්තට ඇවිත් මාළීගාව පිටුපස්සේ තියෙන පොලෝසිය ගාවින් කන්ද නැගලා සොහොනත් බලා කියාගෙනම ආවා... උඩවත්තෙන් ගැරිසන් සොහොන අයිනෙන්ම පාරට බහින්න පුළුවන් උනාට එතැනින් සොහොන් බිමට ඇතුළු වෙන්න බැරි වෙන්න වැටක් ගහලා තියේ.. ඒකයි එහෙම ආයේ වටයකින් එතැනට යන්න උනේ...

කොහොම හරි ඒකත් බලලා කියලා හවස් අතේ පේරාදෙණි මල්වත්ත බලන්ට කියලා ඒ පැත්තට මංගච්චනකොට වැස්සටත් අහු වෙලා තමා කෙලිය නිමා උනේ... කොහොම උනත් දවස් දෙකක් හිතේ හැටියට නුවර පැත්තේ කකුල් කෙටියෙන් හක්කලං කොරලා කොරලා..දැන්නං මගේ කකුල් දෙක අම්බානකට රිදෙනවා කියහංකෝ... ඉතිං මක්ක කොරන්ටැයි.. කකුල් උඩ තියං ආගිය ගමන ගැන මෙහෙම ලිය ලියවත් ඉන්නවා ඇර...

හා එහෙමනං ඔය මදෑ...
ලබන්නා වූ නව වසර සිංහල හිංදු ඔබ සැමටත්... සියළු ලෝ වැසියන්ටත්... සුභම සුභ නව වසරක් වේවා..!

12 April 2013

ජෝන් ඩොයිලි සැපට නිදි...









හුටා... ඒ අස්සේ මේ යකත් සැපට නිදි කියහංකෝ :D

සූර සරදියෙල්ද..? සූර මම්මලේ මරික්කාර්ද..?

මෙන්න තියෙනවා පලවෙනි පොටෝව..බලන්න අදුරනවද කියලා...


හරි එහෙම නැත්තං මෙන්න මෙයාව අදුරනවද කියලා බලන්න...
මං කිව්වේ ඔය දංවැල් වලින් බැඳලා තියෙන හාදයා ගැන... දැන් එතකොට අර උඩ ඉන්න හාදයා සමාන මේ මනුස්සයටද නැත්තං මෙන්න මේ පහල දාන අතක් එල්ලං ඉන්න මනුස්සයටද?
 කොතනක හරි වැරැද්දක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?

ටෙලිය ගහපු අයට වැරදුනාද..? නැත්තං නියම එකාට වඩා අනිකා රියල් සිරිලාංකික පෙනුමයි කියලා හිතුවද..? මොකද උනේ...
(සියළුම ජායාරූප ගූගල් දෙයියාගෙනි)
පලි-
මග එනවා...

10 April 2013

මානව ඉතිහාසයේ වැදගත්ම සොයා ගැනීම...

කලින් මං ලියාපු ලිපිය ලියාගෙන යද්දිම තමා මට මේ ගැනත් ලියන්න හිතුනේ... ඒත් ඉතිං දැන් ඉස්සර වගේ පැය ගණන් අරං බ්ලොග් පෝස්ට් ලිය ලිය ඉන්න තරං වෙලාවක් නැහැ නෙව... සතිය මැද දවස් දෙකක් ඉංගිරිසි පංතියකට ලොටන්න ඕන.. සතිය අග හොටැල් ඉස්කූලියට ගාටන්ට ඕන.. ඒ අතරේ කේන්දරයක් දෙකක් බලා කියාගෙන එයිට අමතරව අතට අහුවෙන ටැම්පොරි ජොබ් එහෙමත් කොරාන්ට ඕන... එව්වට මෙව්වට වෙලාව ගියාම දැන් ඉස්සර වගේ මෙවෑ ගත කොරන්ට කාලේ හොයා ගන්ට අමාරුයි... හිටි හැටියේ අන්තර් ජාලේ එල්ලුනා උනත් මහන්සි වෙලා මහන්සි වෙලා ආවට පස්සේ ඔය බර බර වැඩ කරන්න බැහැ නෙව...  ඒ හින්දා වැඩි වැඩ නොකර අර තරහා ගිය කුරුල්ලන්ගෙන් ඌරෙක් මරා දාලා යනවා ඇර වෙන දෙයක් කොරන්න හිත දෙන්නේ නැහැ... ඒකයි මංතුමා මේ දවස්සල වැඩිය පේන්න අඩු...

ඉතිං එහෙම ඉඳ හිට ඇවිල්ලා ලියනවා වෙලත් ලියන්ට එපෑ ටිකක් බර සාර.. වැදගත් ලිපියක් එහෙම.. නිකං එව්වා මෙව්වා පල් හෑලි ලියන්ට හොඳයෑ මං අහන්නේ..? බර බර දේවල් ලියන පොරවල් අපිට කෝචෝක් කරනවත් නෙව කන බොන ඒවයි කඩේ ගිය ඒවයි පොලේ ගිය ඒවයි ලියන උන් කියලා... එහෙවු එකේ මං හිතා ගත්තා ඉඳ හිටවත් මෙහෙම හර බර ලිපි ලියන්ට කියලා... එහෙම හිතලයි ආයිබෝං ඔය උඩින් දාලා තියෙන මාත්තුරුකාව උනත් දැම්මේ.. ඒක ටිකක් බරයි වගේ නේද..? ඒක එහෙම බර මාත්තුරුකාවක් වගේ කියලා ඔහෙලට තේරෙනවනං මට ඒ ඇති.. ඔය ටික ලියාගන්නත් මං වෙච්ච මහන්සිය දන්නේ මංනේ... මට හිතාගන්න බැරි මේ බර බර දේවල් ලියන උන් ඒවා කොහොම ලියනවද කියලා.. මට ඔය මාත්තුරුකාව ලියන්න ගිහිනුත් නින්ද යාගෙන ආවා කියහංකෝ.. :D

රයිටෝ මං මේ කියන්ට ගියේ... ඔහෙලා දන්නවද මේ ලෝකේ එදා මෙදාතුර මිනිස්සු හොයා ගත්තු වටිනාම දේ මක්කද කියලා..? මං දන්නවා ඔහෙලා දන්නේ නැහැ... ඔහේලා බොරුවට දන්නවා වගේ රඟන්න හදයි.. ඒත් මං දන්නවා ඔහෙලා ඒක දන්නේ නැහැ... ඔහෙලා කියාවි ඔය ගින්දර හොයාගත්ත එක තමා ලොකුම දේ කියලා.. නැත්තං රෝදය හොයා ගත්තු එක තමා මහා බිබික්කම කියලා.. ම්හූ... වැරදියි...

හරි උත්තරේ තමා මූණුපොත... ඒ කිව්වේ මේ බුකිය.. පැහැදිලි හිංගලෙන් කියනවනං “ෆේස් බුක්“ එක...

ටිකක් විස්සාස කරන්න අමාරුයි වගේද..? කරන්න දෙයක් නැහැ..අමාරුවෙන් හරි විස්සාස කරන්න වෙනවා... ඇයි මං එහෙම කියන්නේ..? එහෙම කියන්නේ ඒක තමා ඇත්තම කාරනේ... මේ ලෝකේ මිනිහෙක් හරි.. මිනිස්සු කණ්ඩායමක් හරි හොයා ගත්ත වටිනාම මෙව්වා එක තමා මූණු පොත...

 ඔය ගින්දර සොයා ගැනීම..එතකොට රෝදය සොයා ගැනීම වගේ දේවල් නිකං දෙකේ කොලේ වැඩ... අහස් යන්තරා..විදුලි බුබුලු.. රේඩියෝ ටීවී කටු වගේ හොයා ගැනීම් කියන්නේ නිකං තුට්ටු දේකේ පීචං හොයා ගැනිලි මේ මූණු පොත ඉස්සරහා.. අර ඇමරිකාව හොයා ගත්ත කොලොම්බස් වගේ විහිළු කාරයෝ ගැන එහෙමනං මතක් කරන්නවත් එපා හරිය.. ඇයි මං එහෙම කියන්නේ..?

එහෙම කියන්නේ ආයිබෝං..දැන් බලන්න මේ මූණූ පොත කියන දේ දැනට කල්ප කාලාන්තරේකට කලියෙන් හොයා ගත්තනං.. ලෝක ඉතිහාසේ මේ වෙනකල් සිද්ධ උන එක යුද්ධයක්වත් වෙනවද..? නැහැනේ... මිනිසුන් කෝටි සංඛ්‍යාත පිරිසක් තවත් මිනිස්සු අතින් කැපිලා කෙටිලා..වෙඩි වැදිලා මැරිලා යනවද..? නැහැනේ... ඇයි.. එහෙම උනානං හැම යුද්ධෙම මූණු පොතෙන් අහවර කරගන්න තිබුනා... නිකං කඩු කෙටි උස්සං..එව්වා මුවත් තිය තිය.. කොයි වෙලේ තමුන්ටත් තව එහෙකුගෙන් කඩු පාරක් කන්ට වෙයි කියලා හිත හිත පරාණ බයේ..තමුන් ඉස්සරහට එන එවුවන්ව කොට කොට ඉස්සරහට යන විදියේ යුද්ධ කොරන්නට ඕනද..? නැහැනේ... නැව් හදලා..රුවල් දාලා..එවුවෑ එල්ලිලා මියෙම්වා රැකෙම්වා කියලා හිතං මූදූ ගෙහුං තව තව රටවල් වලට ගොඩ බැහැලා අම්බ දුක් විදින්න ඕනද..? නැහැනේ...

එහෙමනං කරන්න තියෙන්නේ හදාගත්තා මූණු පොතේ ගිණූමක්... ඒ ගිණුම තමුන්ගේ ඇත්තම නමින් වේවා..නැතිනම් ෆේක් එකක් වේවා... අවශ්‍ය කරන්නේ ගිණූමක් තිබීම පමණයි... ෆේක් එකක්නං තමා වැඩියමත්ම හොඳ... දාගත්තා ඒකට හොඳ රණකාමී නම් පොජ්ජක්... හරියට නිකං අහවල් පළාතේ සිංහයා.. නැත්තං අහවල් හන්දියේ ඇතා වගේ ඇහුවම ඇගේ මයිල් කෙලින් වෙන නමක්... තවත් ඕනනං දාගත්තා කඩුවක් අතින් අරං නිකං මරාගෙන මැරෙන පෙනුමක් තියෙන හයේ හතරේ පොරකගේ පොටෝ කෑල්ලක්.. (තමුන් නිකං අඩි හතරහමාරේ ඇඹිටිල්ලං ඩයල් එකක් උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ.කඩුවක් අරං මිනී මරනවා තියා තුවාල කර ගනී කියලා බයට අම්මි බනී කියලා පිහියකින් පේර ගෙඩියක්වත් කපලා නැති එක වෙනම කතාවක්.. ඒවා මෙතනට අදාළ නැහැ. ) එයින් පස්සේ මොන යකාටද බය වෙන්න ඕන.. දෙන එකයි තියෙන්නේ රම්පෙට පොරි හැලෙන්න...  ඕනෑම එකෙක් එක්ක.. ඕනෑම ජාතියක් එක්ක යුද්ධ කරන්න තමා තියෙන්නේ... හරි ලේසියි... කී බෝඩ් එකක් ඉස්සරහට වෙලා වනන්නයි තියෙන්නේ අනිත් උන් හැදි ගෑවිලා යන්නම... සිම්පල් වැඩක්නේ ආයිබෝංලා එහෙම උනානං යුද්ධ කිරිල්ල... එකෙක් මැරෙන්නේ නැහැ..අඩුම ගානේ කුඩු හමවත් කැඩෙන්නේ නැහැ... වලියක් පේනකොට දුවලා හැංගෙන... කවුරු හරි හයියෙන් අඩිය හැප්පුව ගමන් මල මුත්තරා පහ වෙන බුවාලට උනත් මහා ඇලෙක්සැන්ඩර්ලා වගේ අධිරාජ්ජයෙක් වෙන එක උනත් සිම්පල්... ආයේ ඉතිං ඕන එළුවෙකුට මහා වීරයෙක් වෙන්න කිසිම ගේමක් නැහැ...

එහෙම තිබුනනං ඔය අතීතයේ සිද්ධ උන කිසිම යුද්ධයක් වෙන්නෙත් නැහැ.. එක මිනිහෙක් මැරෙන්නෙත් නැහැ... මොකද මූණු පොතෙන් යුද්ධ කරන එකෙක්වත් ඔය කෑ ගැහුවට පාරකට බැහැලා තව එහෙකුට ගලකින් ගහන්නවත් හිතන්නේ නැති අහිංසක ඩයල්... ආන්න එකයි කියන්නේ මේක වේල පහම හොයා ගත්තනං ඔය කිසිම කරදරයක් නැහැ.. කොටින්ම ඔය තියෙන තරං ආගං හදන්න ඕනත් නැහැ.. මූණු පොතම ආගමක් කරගන්නත් තිබුනා.. ඕනනං මල් තියලා හදුන්කූරු ගහලා වදින්න පුදන්න උනත් තිබුනා...

ආන්න ඒකයි මං කියන්නේ මේක තමා මානව ඉතිහාසේ හොයාගත්තු වැදගත්ම..වටිනාම දේ කියලා...
ඔය අර මං කලින් කිව්ව ගින්දර..රෝද..ටෙලිවිසොං අනං මනං මේක ඉස්සරහා නිකං සීනි බෝල... ඇයි යකෝ ඉතිහාසට පුරා වෙච්ච කල කෝලහල..යුද්ධ වලින් මැරුන මිනිස්සු අතරේ කී දාහක් මිනිස්සු ඉන්න ඇද්ද ඔය අනිත් දේවල් හොයා ගන්න ඇහැකි උන්දලා... ඔය කපන කොටන වෙඩි තියන යුද්ධ නොතිබ්බනං ඒ මිනිස්සු කිසි ගේමක් නැතිව ඔය අනිත් ටික හොයලා දානවනේ තිබුන තැනකින්... එහෙම බැළුවම මූණු පොත නෙවෙයිද ලොකුම හොයා ගැනිල්ල හා...?

පොලිස් කාරයින්ටත් සද්දේ දාන මාරයා...

මෙහෙම හිටියට මම නැහැනේ ඔය එක එකාට බය වෙන්නේ... ආයේ ඉතිං අම්මේ මුත්තේ කිව්වත් වැරැද්ද දුටු තැන ඕන එහෙකුට ඒක පෙන්නලා දෙන්න බය වෙන්න ඕන නැහැ හරිය..? එව්වා මේ අපේ උපතින්ම එන ගති ලක්ෂණ... මැරුවත් කාටවත් ඒවා නැති කරන්න බැහැ... 

ඔහෙලට කියන්න, විස්සාස කරනවනං විස්සාස කරන්න..එහෙම නැත්තං ඒත් විස්සාස කරන්න මං මේ ඊයේ හවහත් පොලිස් කාරයෝ එහෙකුට නෙවෙයි දෙන්නෙකුටම උන් කරපු වැරැද්දක් පස්සෙන් එලෝලා ගිහින් සද්දේ දාලා පෙන්නලා දුන්නේ... ආයේ ඉතිං උන් නෙවෙයි මීක් කිව්වේ.. මීයෝ දෙන්නා වගේ කරපු වැරැද්ද පිළිගත්තා... ඒ විතරක් නෙවෙයි කියන සුනංගුවෙන් ඒ කල වරද හදා ගත්තා... ආන්න එහෙමයි අපි... වැරැද්ද දුටුවද බය නොවී ඒක කියලා දානවා...  ඒ කියන තාලෙට පොලිස් කාරයෝ උනත් දඩ බඩ ගාලා තමුන්ගේ වැරැද්ද හදා ගන්නවා... අන්න වැඩ...

දැන් බලන්න මෙයාලා... ඔයාලා හෙන ටෝක් දුන්නට මං වගේ බය නැතිව... ඔහොම පස්සෙන් එලෝලා ගෙහුන් පොලිස් කාරයින්ට උන්දලා කරන වැරැද්දක් පෙන්නලා දෙයිද මං අහන්නේ..? නැහැනේ...

ඇයි ඒ..?

ඔහේලා බයයි නෙව.. සික්.. අභිමානවත් බ්ලොග් කාරයෝ හැටියට ඔහොම බය වෙලා ඇහැකිද..? අනික මේ බ්ලොග් ලියන කියන අයගෙන් කී දෙනෙක් මූණු පොතේ ඉන්නවද..? එහෙවු එකේ අහවල් එහෙකට බය වෙනවද..? මූණු පොතේ තමුන්ට කියලා ගිණූමක් තියෙන කිසිම ලාංකිකයෙක් මොන බල්ලෙකුටවත් බය වෙන්ට ඕනයෑ..? නැහැනේ...

හරි මං මේ මං ගැන පොර ටෝක් දෙනවා කියලා හිතන්න එපා.. ඒත් ඉතිං අමුතුවෙන් නොකිවුවට තමුන්නාන්සේලා දන්නවනේ මයේ හැටි.. ඔව් ඔව්.. ආයේ ඉතිං මහසෝනටවත් බයක් නැති එවරෙඩි පොරක් තමා... නැත්තං ඉතිං මේ සිරිලංකාවේ පොලිසියේ එහෙකුට හරි වැරැද්ද කියා දෙන්න යනවද පණට ආදරේ තියෙන එකෙක්.. එක පොලිස් කාරයෙක්නං තව කමක් නැහැ..දෙන්නෙකුටම..? ම්හූ..මං හිතන්නේ නැහැ.. තමුන්ලානං කවදාවත් කරයි කියලා...

හෙහ් හෙහ්... අන්න ඒකටත් එක්ක මංතුමා... පස්සෙන් එලෝලා ගෙහුං කියා දුන්නේ..හරිය..පස්සෙන් එලෝලා... නාවල ඉඳන් නාරාහේන්පිට කිට්ටුවට එනකල් එලෝලා ගෙහුන් වරද පෙන්නලා දුන්නේ නිකං සිංහයෙක් වගේ... අන්න ආදර්සෙට ගන්නවනං දේවල්...

හා හා දැන් ඉතිං ඔහෙලා බලනවා ඇති මොකක්ද මේ මං මේ පොලිස් කාරයෝ දෙන්නෙක් යන බයිසිකලයක් පිටු පස්සේ මගේ බයික් එකෙන් එලෝගෙන ගිහින්..උන්ට ඉස්සර කරන ගමන් සද්ද දාලා පෙන්නලා දුන්න වැරැද්ද කියලා... හා මං දැන් කියන්නංකෝ මං උන්ට කිව්ව ටික...

“අයියාආආආ..... බයිසිකලේ  සයිඩ් ස්ටෑන්ඩ් එක ගහගෙන යන්නේඒඒඒ....“

කොහොමද ටෝක... උන් දෙන්නා සුටුස් ගාලා බය උනා... ඒ වගේම පැදං ගිය එකා දඩි බිඩි ගාලා ස්ටෑන්ඩ් එක උඩට දාගත්තා... තව මදිවට මට ස්තූතියි කියන්නැහේ හිනාවකුත් දැම්මා...

අන්න බලන්න මෙයාලා අපේ වැඩ...

හා හා මෙන්න මං ගියා.. ඔහෙලත් කොහොම හරි මං වගේ වැරැද්ද දුටු තැන පොලිස් කාරයෙකුට උනත් ඒක පෙන්නලා දෙන්න බය නොවෙන එළ කිරි වගේ බුවාලා වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා...

අවුලක් එහෙම නැහැ නේද..? :D

08 April 2013

පීසාත් කජ්ජක්ද..? (Pizza)




රයිටෝ මෙන්න මාරයා තුමාගෙන් ඔබ ආසාවෙන් බලා සිටිනා පොෂ් කෑමක් හදා ගන්න විදිය...

ඇත්තම කිව්වොත් මේක මේ මයෙ හෝටල් පාසලේ ගිය සෙනසුරාදා කියා දීපූ කේස් එකක්... එහෙදි හවුලේ හැදුවට ඕක තනියම හදනකල් මට නින්ද යන්නේ නැහැ නෙව... ඒ හින්දා අද දවාලේ ඕන කරන අඩුම කුඩුමත් උස්සං ඇවිත් අවම පහසුකං යටතේ වැඩේ ගොඩ දැම්මා...

රයිටෝ..මේක ඒ හැටි කජ්ජක් නෙවෙයි..ඕන කරන්නේ පොඩ්ඩක් අතින් පයින් වැඩ කරද්දී තියෙන්න ඕන හුරු බුහුටි ගතිය විතරයි... ඒ කිව්වේ යමක් කරද්දී ටිකක් ඒක හැඩ දාලා කරගන්න උවමනා හැකියාව විතරයි.. ළුණු ගෙඩියක් අල ගෙඩියක් සුද්ද කරන්න ගියාම හත් පොලේ ගාගන්නේ නැති.. පොල් ටිකක් ගාන්න කියාම පොල් බෑය උළුප්පන්නේ නැති තරමේ හැකියාවක් තිබුනනං මෙව්වා වැඩ නෙවෙයි. ඔය ටික මුලින්ම කියලා හිටියේ  සමහරුන්ට ඔය වගේ වැඩක් කරන්න ගියාම අතේ පයේ ලොකු නුහුරු ගතියක් තියෙන හින්දයි..  මක් කොලත් ඒ ඒ දේවල්වලට හුරු කරවන්න බැරි අතක් තියෙන අය මේක කොරන්න ගිහින් පිටි ටික නාස්ති කරන්න කලින් ඔය ටික කියා හිටියේ. මොකද මේකේ වැදගත්ම කේස් එක තමා පිටි මෝලිය අනා ගන්න එක... ඒක හරියට කර ගන්න බැරිනං පීසා තියා පොල් රොටීවත් හදාගන්න වෙන්නේ නැහැ...

හරි එහෙමනං මෙන්න පටන් ගත්තා... ඔය අන්තර් ජාලයෙන් පීසා රෙසිපි හොයද්දී හම්බ වෙන ඒවෑ තියෙන දාහකුත් එකක් කලමනා නැත්වට කමක් නැහැ. පිටි මෝලියට ඕන මෙච්චරයි...

පිටි ග්‍රෑම් දෙසීයයි
සීනි මේස හැන්දයි
ලුනු තේ හැදි තුන් කාලක් විතර
ඊස්ට් ග්‍රෑම් 5ක්
මාගරින් හෝ බටර් වර්ගයකින් ග්‍රෑම් විස්සක් විතර
වතුර

(මෙයට අමතරව තව පිටි ග්‍රෑම් පනහක් විතර පැත්තකින් තියා ගන්න..ඒක ඕන වෙනවා...)

ඔතනින් පිටි ටික එක පාරක් හලා ගත්තනං වඩා හොදයි.. ඒකට කම්මැලිනං එපා හලන්න! :D
සීනි ගන්නකොට හීනි ඇට තියෙන සීනි ජාතියක් ගන්න.
ඊස්ට් ගැන කියනවනං ඔය ඕන කඩේක තියෙනවා අර මයුරිපෑන්ද කොහේද කියන ඊස්ට් පොඩි පැකට්... සිල්ලර කඩවලනං රුපියල් 40 කට විතර ග්‍රෑම් 12ක පොඩි පැකට් එකක් ගතෑකි.. සුපර් මාකට්වලනං ඒ පොඩි පැකට් පහක පෙට්ටි එනවා රුපියල් 190යි ඒක... නිතර ගෙදර පිටි කෑම හදන්න හිතං ඉන්නවනං ලොකු එකක් ගත්තට කමක් නැහැ..නැත්තං තනි පැකට් එකක් ගෙනාවම ඇති.. ඒ පැකට් එකෙන් බාගයක් මේකට හලා ගත්තම හරි... දොළහ දෙකෙන් බෙදුවම 6යි තමා.. ඒකට කමක් නැහැ..මංනේ කියන්නේ.. :D

මාගරින් කිර කිර ඉන්න බැරිනං මේස හැන්දකින් ලොකු කුට්ටියක් කඩලා ඕකට ගත්තම ඇති...

ඔන්න හැම දේම පැහැදිලිව කියලා ඇති..
රයිට් ඊ ලගට කරන්න තියෙන්නේ මුලින්ම පිටි ටික අනන්න පුළුවන් තැටියකට හරි..ලොකු භාජනේකට හරි දාගන්න.. ඒකට ලුනුයි සීනියි ඊසුයි..බටරුයි දාලා හොදට බටර් පොඩි වෙනකල් අනන්න... ඔය රෙසිපිවල ඇති තමා මුලින් ලුනු දාලා අනන්න..පස්සේ සීනි දාලා අනන්න..ඊටත් පස්සේ බටර් දාලා අනලා අන්තිමට ඊස් දාලා අනන්න කියලා.. අනේ බංස්ලා ඔයාකාර නහින්න ඕන නැහැ..එක පාරම දාලා හොදට අනා ගනිල්ලා... මංනේ කියන්නේ.. :D

බටර් ටික පොඩි උනා කියලා තේරුනාම ඒකට වතුර ටික ටික එකතු කරලා හොදට අනා ගන්න.. අන්න දැන් තමා අර මං කිව්ව අතේ පයේ හුරුබුහුටිකං ඕන වෙන වෙලාව... ඒ කියන්නේ මෝලිය අතේ නොඇලෙන ගානට අනා ගන්න ඕන.. ඒක ඒ හැටි අමාරු නැහැ.. අර මං කලින් කිව්ව අමතර පිටි ටික ඕන වෙන්නේ ඔය මෝලිය අන්තිමට පිනිස් කොරද්දී ඒක වටේ ටික ටික තවරමින් වැඩේ ලස්සනට අහවර කොරන්න තමා.. එහෙම අනාගත්ත මෝලිය තමා ඔය තියෙන්නේ...





පැහැදිලියිනේ... රයිටෝ ඕක අනා ගත්තට පස්සේ ඔන්න ඔහොම තියන්න පිපෙන්න... ඕක තියෙනවා වගේ දෙගුණයක් වෙනකල් පිපෙන්න ඕන..ඒකට පැය බාගයක් විතර යයි.. සමහර විට එයිට ටිකක් වැඩි වෙයි..

ආ ඒක පිපෙනකල් අපිට තියෙනවා වැඩක් කරගන්න.. ඒ තමා පීසා එකේ මතුපිට මිශ්‍රණය සකස් කරගන්න එක...

මෙන්න ඒකට උවමනා දේවල්...

මොසරැල්ලා චීස් ග්‍රෑම් එකසිය පණහක්
ලොකු ලූණු ගෙඩි එක හමාරක්
සාමාන්‍ය තරමේ මාළු මිරිස් කරල් තුනක්
නියම ගානට ඉදුනු පොඩි නොවුන තක්කාලි ගෙඩි හතරක්
සොසේජස් කරල් තුනක්*
තක්කාලි සෝස් මේස හැන්දක්
ලුනු තේ හැදි බාගයක්
මිරිස් කුඩු තේ හැදි බාගයක්
ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්
තෙල් මේස හැන්දක්*
සුදුළුණූ බික් තුනක්
අමු ඉගුරු කෑල්ලක්

හරි.ඔය මොසරැල්ලා චීස් එක ඒ හැටිම ගණන් නැහැ.. කොත්මලේ එකෙන් ගහන ග්‍රෑම් දෙසීයක් රුපියල් 390ක් විතර වෙන්නේ... අනිත් චීස්වල ගණන් වල හැටියට ඕක කාලා ඉවසන්න ඇහැකි ගානක්... හැබැයි ඕක නිකං කන්න බැහැ හරිය... පීසා වලට පැස්ටා වලට විතරයි ගන්න ඇහැකි... තමුන්ට නිකං සල්ලි කහනවා වගේනං අනං මනං නැතිව ගන්න ක්‍රාෆ්ට් චීස්... වැඩේ සුපිරියට තියෙයි... :D ඒත් අරකත් ඇති හොදටෝම...

ලොකු ලුණු ටික සුද්ද කරලා අගලේ වගේ කොටු කපා ගන්න ඕන
මාළු මිරිස් වල නැට්ට පැත්තෙන් කපලා ඒකේ මැද තියෙන ඇට සහිත කොටස් අහක් කරලා අගල් තුන්කාලේ වගේ දිග රවුං කපා ගන්න
තක්කාලි හතරට පලලා සම්පූර්නයෙන්ම ඇට අහක් කරගන්න (අපරාදේ තමා ඒත් මැරෙන්නයෑ..නැත්තං පීසා එක චොර වෙනවා) එහෙම ඇට අහක් කරගන්නට පස්සේ තව පාරක් මැදින් කපා ගන්න..ඒ කියන්නේ එතකොට තක්කාලි ගෙඩියෙන් කෑලි අටක් එන්න ඕන..
සොසේජස් ටික හීනියට පෙති කපා ගන්න... සොසේජස් වෙනුවට තමුන්ට කැමතිනං තම්බලා හෝ බැදලා තීරූ ඉරා ගත්ත මස් වර්ගයක් උනත් පාවිච්චි කලෑකි..ඒක තම තමුන්ගේ කැමැත්ත...
ඉඟුරු සුදු ළුණූ ටික චූටියට කපා ගන්න.. (අපි කියන්නේ චොප් කරනවා කියලා.. අන්න ඒක කොර ගන්න :D  )
ඔතන තෙල් කියලා තියෙන එකට තමුන්ට පුළුවන් එළවළු තෙල්/සෝයා තෙල්/ඔලිව් තෙල් වගේ එකක් ගන්න..මංනං පොල් තෙල් දැම්මා.. කිසි අවුලක් නැහැ මෙයාලා.. දේශීය දේ නෙව...

හරි දැන් ඔය ටික කලවං කර ගන්න චීස් ඇර... ඒ කියන්නේ කපා ගත්ත සොසේජස්/ලොකු ළුණූ/තක්කාලි/ඉගුරු/සුදු ළුණූ/මිරිස් කුඩු/ගම්මිරිස් කුඩු/ලුනු කුඩු/තක්කාලි සෝස්/තෙල්

ඔය ටික භාජනයකට දාලා හොදින් කලවං කරගන්න..ටිකක් සැරට උවමනානං මිරිස් කුඩු ප්‍රමාණය වැඩි කරගන්න..අපි සුද්දෝ නෙවෙයිනේ ආයිබෝං... චීනාගේ කෑම චීනෙත් නැති විදියට දේශිය කරගත්ත අපි..පීසා එකටත් මිරිස් කුඩු දාලා ඒක අපේ කටට හරි ගස්ස ගන්න ඕන..නැත්තං මෙලෝ බල්ලෙක්ට කෑහැකිද ඔය කෑම.. හා නැද්ද..? :D





රයිට් දැන් තියෙන්නේ අර පිපෙන්න තියාපු පිටි මෝලියට වැඩේ දෙන එක... ඒක පිටි ටිකක් ඉහපු ලෑල්ලක් මත්තේ තියලා අර ලී රෝලර් එහෙක ආධාරයෙන් තූනි කර ගන්න..

මේ පේනවනේ..මංතුමාට රෝලර් නහී හේ... මගර් වීදුරු හේ... :D





ඔය පේන වීදුරුවෙන් තමා වැඩේ දුන්නේ.. වැඩේ සිද්ද වෙනවනං මෝල් ගහෙන් හරි කමක් නැහැ බොලවු.. :D





හරි ඒක අගල් බාගයක විතර ඝණකමට තුනී කරගත්තාම ඇති... එයින් පස්සේ මෙන්න මෙහෙම තෙල් ආලේප කල භාජනයකට ඕක දාලා වටේ කොටස් කපා හැරලා භාජනේ හැඩේට අරං වටෙන් ටිකක් වාටිය නවලා අර කුඹුරුවල නියර වගේ හදලා ගත්තම හරි.. එයින් පස්සේ හීනියට කපා ගත්ත චීස් තට්ටුවක් පිටි මෝලිය උඩ තූනි කරලා එයිට උඩින් අර අපි හදාගත්ත මිශ්‍රණය හොඳට අතුරන්න.. එයිටත් උඩින් තව චීස් තට්ටුයක් යන්න ඕන... රයිටෝ වැඩේ දැන් හරි..




දැන් තියෙන්නේ මේක බේක් කරගන්න...

ඕක නියම ක්‍රමයට කරගන්නනං රත් කරන ලද පෝරණුවක සෙන්ටිග්‍රේඩ් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 12ක් බේක් කරගන්න ඕන. (ෆැරන්හයිට් අංශකනං 350ක්)

ඔන්න මට ඇනෙන තැන... මයික්‍රෝවේව් අවන් එකක් මිස මෙහෙ අනිත් අවන් එකක් නැත.. එහෙමයි කියලා මංතුමා සැලෙයිද..? නැහැ පින්වතුනි...

දැම්මා මයික්‍රෝවේව් එක ඇතුලට මේක.. මුලින්ම  මයික්‍රෝ වේව් එකේ කම්බයින් ක්‍රමය යටතේ විනාඩි 8ක් තියලා.. එයින් පස්සේ ග්‍රිල් ක්‍රමයට විනාඩි 4ක් තියලා ගත්තම කිසිම අවුලක් නැහැ... ග්‍රිල් ක්‍රමයට තියද්දී අර කම්බි රැක් එක උඩ තියන්න අමතක කරන්න එපා..එතකොට යට පැත්තත් නියමෙට කර වෙලා එනවා... හුලින්ම එහෙම තියන්න බැරි හින්දා තමා අර විදියට කම්බයින් එකේ මේක තැම්බෙන්න අරින්නේ...

රයිටෝ මෙන්න දැන් අපිට තියෙනවා එල කිරි වගේ පීසා එකක්...



මෙයිට දවසකට දෙහෙකට කලියෙන් මං අපේ හොටෙල් ඉස්කෝලේ හදාපු මෙන්න මේ 


පිංතූරේ බුකියේ දාපුවාම කවුද මංදා නිකං කැපිල්ලට වගේ කියලා තිබුනා නෙව උඹට ඕක ආයේ හැදියැකිද කියලා.. හුහ්..මං සැලෙයි ඔව්වට..? ඇයි ඩෝ මේ හැදිලා නැද්ද..ඈ..?

චණ්ඩි එහෙම ඉන්නවැයි..?