31 May 2013

දෙන්න මට.. මෙන්න බඩු...

ආයේ ඉතිං මාරයා කියන්නේ පට්ට සාධාරණ.. පවුල් වාද නැති.. තමුන්ගේ එකාලට සලකන්නේ නැති... මලාට ඥාති සංග්‍රහ නැති.. හිතවතුන් සනසන්න යන්නේ නැති එකෙක් වග ආයේ අමුතුවෙන් ඔහෙලට කියන්න ඕනයෑ..? නේද..?

ඉතිං එහෙවු එකේ මංතුමා වගේ කෙනෙක් මේ රටේ බලය ඉල්ලුවාම මොකද වෙන්නේ..?  ඒත් ඉතිං ඔය බලය ඉල්ලනවා කියන එකේ එසේ මෙසේ කේස් එකක් නෙවෙයි නෙව.. ඉල්ලන එක නෙවෙයි ඇත්තටම අවුල.. කවුරුවත් ඉල්ලව පලියට දෙන්නේ නැති එක නෙව ලොකුම අවුල...

ඇත්තටම ඇයි එහෙම දෙන්නේ නැත්තේ..? ඔය පුරස්නෙට උත්තර මං කාලයක් තිස්සේ හෙව්වා... මොකද එහෙම නැත්තං මෙච්චර කාලයක් බලය ඉල්ලුව දාස් ගානක් අතරින් ඒ ඒ වතාවත් වලදී බලය ලැබුනේ එක්කෙනකුට දෙන්නෙකුට විතරයි නෙව.. උදාහරණයක් විදියට ඔය පහුගිය ජනාධිපතිවරනෙට බර ගානක් ඉදිරිපත් උනත් පත් වෙන්නේ එක්කෙනයි නෙව... එතකොට විසිවෙන කට්ටිය බොහෝම වැඩියි.

 ඇයි එහෙම වෙන්නේ..? 

ඒකට හේතුව ඒ අය ගැන මේ රටේ මිනිස්සුන්ගේ විස්වාසයක් නැති කමවත්.. ඒ වෙද්දී ඒ ඒ අය පට්ට චාටර් චරිත බවට පත්වීමවත්... මොනවා කියං ආවත් බලේ ලැබුනම කොරන දේවල් මිනිස්සු කල් ඇතිව දැනං හිටීමවත්... අතීත වැරදි මතක් වෙද්දී මලාට ඡන්දේ දෙන්නේ නැති විමවත් වගේ කාරණාවල් නෙවෙයි... 

එහෙමනං මොකක්ද හේතුව..?

හරි සරලයි... හේතුව තමා උන්දලා ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකිරීම... ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොලානං මේ රටේ මිනිස්සු හිටු කියලා ඡන්දේ දෙනවා... ඒක තේරුං නොගත්ත හින්දා තමයි උන්නැහේලා පැරදුනේ...

ඔන්න ඒක හරියටම තේරුං ගත්ත අපේ රනිල් අයියා... (ඇත්තම කිව්වොත් මං උන්දැට කියන්නේ අයියා කියලා නෙවෙයි දෙයියා කියලයි... හනේ ඉතිං අපේ රනිල් දෙයියා චිරාත් කාලයක් දෙයි දේවතාවුන් වහන්සේලා විසින් රැක දෙත්වා... ) ඔන්න මෙදා පොටේ සිරි ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් කාලයක් කිසිවකු විසින් නොකල ඒ අති උත්තම..උදාර... වීර.. අභිත.. (මට වචන එනවා මදි මේ වෙලේ.. ඔහෙලට කැමති තරං ඒවා දාගත්තට කමක් නැහැ.. ) කිරියාව කොරලා... ඒ කිව්වේ අළුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොරලා... බඩුම තමා.. ඒ කියන්නේ දැන් ඊ ළඟ ඡන්දෙන් රනිල් අයියා ගොඩ... මොකද මෙච්චර දවසක් රනිල් අයියට බලේට එන්න බැරි උනේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කලේ නැති හින්දා මිස වෙන වෙන ප්‍රශ්න හින්දා නෙවෙයි නෙව...

දැන් ඉතිං ඒ ප්‍රශ්නෙත් නිරාකරණය වෙච්ච වෙලේ ආයේ ඉතිං කිරි ගහට ෂෙල් වෙඩි කෙලියැහේ එන පාර රනිල් අයියා මේ රටේ ලොක්කා වෙනවා...

ඒවා බලං ඉද්දී මටත් අර ඉරිසියාව කියන රෝගේ උත්සන්න වෙනවා.. යකෝ මේ රටේ ලොක්කා වෙන්නනං ඕන පෙර වැරදි අනං මනං නැති වීම නෙවේය... වළුවස්ථාවක් ඉදිරිපත් කිරීමය කියන කාරනේ මට අමතක වෙලානේ තිබුනේ... හොද වෙලාවට මේ යක්කු ඒක මට මතක් කොලේ...

ඔන්න ඒ හින්දා මාත් කල්පනා කොලා නිකං ඉන්න එකේ මේ රටේ ජනාදිපති උනොත් මටත් නරකද කියලා... ඇයි අප්ෂෙට්ද..? :D

ආන්න එහෙම කල්පනා කොරපු මංතුමාත් ඔන්න හැදුවා ව්‍යවස්ථාවක්... ඔය පහලින් තියෙන්නේ ඒක තමා...

හැබැයි ඔන්න ඒක බලලා එකෙක්වත් කියනවා නෙවෙයි මං අර රනිල් අයියගේ එක කොපි කොලා එහෙම කියලා... ඇයි යකෝ රනිල් අයියට හිතෙන ඒවා මටත් හිතෙන්න බැරිද..? අනික කරන්න බැරි හිතළු සහ කරන්න හීනෙකින්වත් නොහිතන සුරංගනා කතා ලියන්න ඇහැකි රනිල් අයියගෙන් පඩි කන අයට විතරෑ.. මටත් ඇහැකිනේ.. ඒ හින්දා ඔන්න කිව්වා කොපි කොලා කියලනං එකෙක්වත් කියන්න එපා..කඩනවා අඩු... :D

හැබැයි ඔය එයිටත් යටින් තව කෑල්ලක් ඇති... ඒ ටිකනං මං ගෙඩි පිටින් අපේ මාතලංගෙං උස්සපුවා... ඒ කිව්වේ රනිල් අයියටටයි..උන්නැහෙගෙන් පඩු කන ලියන්නෝ ටිකටයි හිතා ගන්න බැරි වෙච්චි ඉතිරි සුරංගනා කතා ටික මාතලං ගොයියා මහන්සි වෙලා ලියලා තිබුනා උන්නැහේගේ බ්ලොග් එකේ... ආයේ ඉතිං රටේ ජනාධිපති වෙන්න හිතං මං මේ යන ගමනෙදි ඔය මාතලං වගේ අයගෙත් අදහස් උකහා ගන්න එක ප්‍රගතිශීලී වැඩක් නෙව.. ඒ හින්දා උකහා ගැනීම මං ගෙඩි පිටින්ම කොරලා ඔන්න ඒ ටිකත් ටයින් එල්ලුවා.. දැන් ඔන්න තියෙනවා මාතලංටවත් වරදක් කියන්න බැරි විදියේ ව්‍යවස්ථාවක් මංතුමාටත්...

හරි දැන් ඉතිං ඔහෙලට තියෙන්නේ මේ ටික හිමිහිට කියෝලා... ඊ ළග ඡන්දෙදි මංතුමාට අත දිග හැරලා කතිරේ කෙලින එකයි... ආයේ ඉතිං ඔය කියලා තියෙන ඒවා මං කරන්නේ නැතිවෙයි කියලා හිතේ අබමල් රේණුවකවත් සැකයක් තියා ගන්න ඕන නැහැ. එහෙම නැත්තං දේශපාලනික වශයෙන් කුජීත වෙලා ඉන්න ගමන් ඒ කුජීතකං අහෝසි කරගන්න හිතං බොරුවට ලියාපු වචන ගොඩක් විතරක්ය කියලා ඔහෙලා නිකමටවත් සැක කොරන්න ඒනත් නැහැ. මෙච්චර කාලෙකට මේ ලංකාවේ දීපු චන්ද පොරොන්දු අස්සේ මේක විතරක් ඇත්ත එකක් නෙවෙයි කියලා සැක හිතන්නත් ඕන නැහැ.. ඔහෙලට තියෙන්නේ ලබන ඡන්දේ තියෙද්දී දුවලා ගෙහුං මගේ මේ ව්‍යවස්ථා ආතල් එක ගැන සලකා බලලා මට ඡන්දේ දෙන එකයි...

ඉතිරි හරිය මං පත් උනාම මං බලා ගන්නං... එතෙක් ඔබ සැමට ආයුබෝ වේවා..! ඔන්න මං ගියා..

හා හා යට තියෙන ටිකත් කියෝලා යන්න... අපරාදේනේ නැත්තං... :D (කලින් රනිල් අයියගේ ව්‍යවස්ථාවයි..මාතලංගේ යෝජනා ටිකයි කියෝලනං තියෙන්නේ ඕක කියවන්න මහන්සි නොවුනත් කමක් නැහැ...)

ඔයාලටත් තියේනං මොනවා හරි යෝජනා... ආයේ හිත හිත ඉන්න එපා මට කියන්න..මං ඒ හැම එකක්ම මේකේ අගට එල්ලන්නං... (ආයේ මොකෝ මගේ අතින් පයින් යන එකක්යෑ... රනිල් අයියට පුළුවන්නං මට බැරි ඇයි...? :D )

ගරු මාරයා තුමාගේ අභිනව ව්‍යවස්ථා යෝජනා මාලාව...

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නොහැකිය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය යන්නට මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන අතර සර්ව ජන ඡන්ද බලය ජනතාව සෘජු ලෙස ක්‍රියාත්මක කළ යුතු වන්නේය. එකී මූලික අයිතිවාසිකම් යන්නට.

අ) අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබා ගැනීමට ඇති අයිතිය,

ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්‌ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්‌කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිත කිරීමට ද, ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්‌වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම.

ඇ) රාජ්‍ය පාලනය තුළ යහ පාලනය පවත්වා ගෙන යාමට ඇති අයිතිය තහවුරු කිරීම ඇතුළත් වන්නේය.

විධායක කටයුතු හා බලය පැවරීම යන කාර්යයන් සඳහා පාර්ලිමේන්තුව හා ආණ්‌ඩුව ජනතාවට වග විය යුතුවේ.

01. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ජනතාවට ලබාදීම

1) ප්‍රජාතාන්ත්‍රික රාමුවක්‌ තුළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම. පාලිතයා පමණක්‌ නොව පාලකයා ද නීතියට යටත් විය යුතුය.

II) බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමෙන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූලව අනෙකුත් සියලු ආගම්වල අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.

III) සෑම පුද්ගලයකුටම වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්‌ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනත් යම් හේතුවක්‌ මත වෙනස්‌කමකට භාජනය නොකොට මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.

IV) ජනතාවට යටපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වාගෙන යාමට සහ සුදුසු රැකියාවක්‌ ලබා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදීම, අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබාදීම, පවුල් අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, ළමා සහ කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ශාරීරික හා මානසික දුර්වලතාවන්ගෙන් පෙළෙන්නන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යන්නට ඇතුළත් විය යුතු අතර එම අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳව වගකීම රාජ්‍ය විසින් දරනු ලැබීම.

V) අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් සහතික කරනු ලබන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය ඊට ඇතුළත් කරමින් එම අයිතිවාසිකම් ශක්‌තිමත් කරනු ලැබීම.

02 ව්‍යවස්‌ථාදායකය

I) සෑම මැතිවරණ කොට්‌ඨාසයක්‌ සඳහාම මන්ත්‍රීවරයකු පත්වන පරිදි සහ මැතිවරණවලදී ඒ ඒ පක්‍ෂ ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය පිළිබිඹු වන පරිද්දෙන් මිශ්‍ර සමානුපාත ක්‍රමයක්‌ යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු දෙසිය විසි පහක්‌ තෝරාපත් කර ගැනීම, මෙම ක්‍රමය යටතේ ප්‍රකාශිත සෑම ඡන්දයකටම වටිනාකමක්‌ ලැබෙනු ඇත.

II) මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම.

III) පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල ධුර කාලය වසර පහකි.

IV) පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡන්ද එකම දිනයක පවත්වන අතර යම් හෙයකින් රාජ්‍යයේ ප්‍රධානියා මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගන්නේ නම් එම ඡන්දයද එම දිනයේදීම පැවැත්වීම.

V) යම් දේශපාලන පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු හට එම පක්‍ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ පළාත් සභා මන්ත්‍රී ධුරය හෝ පළාත් පාලන මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ.

VI) දේශපාලන පක්‍ෂයකින් තේරීපත්වන මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු නියමිත දිනයට පෙර සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබාදීමට අපොහොසත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ද සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ වර්තමානයේ මෙන් විධායකට නොව කථානායකවරයාට භාරදිය යුතුය.

VII) යම්කිසි මන්ත්‍රීවරයකු අපරාධයකට වරදකරු වුවහොත් සිර ගත වීමක්‌ සිදු නොවූවද ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ.

03 විධායකය

I) ජනාධිපති ධුරය අහෝසි කරනු ලැබේ.

II) ජනාධිපති ධුරය වෙනුවට රාජ්‍ය ප්‍රධානියකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල රජයේ ප්‍රධානියා, අගමැතිවරයා හා කථානායක කමිටුව වෙත බෙදා හරිනු ලැබේ.

විකල්ප 1

ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කර ගත් අගමැතිවරයකු කැබිනට්‌ මණ්‌ඩලය සමග ආණ්‌ඩුව පවත්වාගෙන යාම. අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්‌ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

විකල්ප 2

තුලනය සහ සංවරණය සහිත ව නිර්දේශපාලනික ප්‍රතිපත්ති මත විධායක බලතල නවතම ක්‍රමයක්‌ යටතේ ක්‍රියාත්මක කිරීම.

2.1 ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කරමින් රාජ්‍යයේ ප්‍රධානියා ජනතාව විසින් සෘජු ලෙස පත්කර ගැනීම.

2.2 රාජ්‍යයේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍ය සභාවක්‌ ස්‌ථාපනය කරනු ලබන අතර එය අගමැති, විපක්‍ෂ නායක, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ වල නියෝජිතයන් සහ පළාත් සභාවල මහ ඇමැතිවරයන්ගෙන් සමන්විත විය යුත්තේය. රාජ්‍යයේ ප්‍රධානියා එම මණ්‌ඩලයේ උපදෙස්‌ මත කටයුතු කළ යුත්තේය.

2.3 රාජ්‍ය සභාව සියලු දේශපාලනමය කරුණු සහ ජාතික ප්‍රමුඛතාවන් පිළිබඳ තීරණය කළ යුත්තේය. අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති මණ්‌ඩලය සහ පළාත් සභා අමාත්‍ය මණ්‌ඩල රාජ්‍ය සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කළ යුත්තේය.

2.4 රාජ්‍ය සභාවේ තීරණයන් සියලු සාමාජිකයන්ගේ සම්මුතිය ඇතිව ගත යුතු අතර සම්මුතියකට එළැඹීමට නොහැකි වූ අවස්‌ථාවකදී පමණක්‌ බහුතර මතය අනුව තීරණ ගැනීම සිදුවිය යුතුය. රාජ්‍ය පාලන ධර්මයන් සම්බන්ධව බුදුන් වහන්සේ දේශනා කළ සමගියෙන් රැස්‌වීම, සමගියෙන් සාකච්ඡා කිරීම සහ සමගියෙන් විසිර යැම යන මූලධර්ම මෙමගින් තහවුරු කරනු ඇත.

විකල්ප 3

වෙස්‌ට්‌මිනිස්‌ටර් ක්‍රමයට සමාන ආකාරයේ ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම.

III) අගමැතිවරයා ඇතුළුව අමාත්‍ය මණ්‌ඩලය විසි පහකට නොවැඩි විය යුතුය.

IV) කථානායකවරයා, අගමැතිවරයා, විපක්‍ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ නියෝජනය වන පරිදි කථානායකවරයාගේ කමිටුවක්‌ පත්විය යුතු අතර කථානායකවරයා එහි සභාපතිවරයා වේ.

V) රාජ්‍යයේ ප්‍රධානියා රාජ්‍ය සභාවේ නිර්දේශ පරිදි සහ කථානායකවරයාගේ කමිටුවේ අනුමැතිය ඇතිව ස්‌වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ද පත් කිරීම, රාජ්‍ය ප්‍රධානියා විසින් කථානායකවරයාගේ කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම.

04 බලතල බෙදීම

I) ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ව පවතින අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අව්‍යාජ ලෙස පළාත් ඒකක සඳහා බලතල බෙදීම සිදුකරනු ලැබේ. එනම්,

අ) 2009 මැයි මස දී ශ්‍රී ලංකා ආණ්‌ඩුව සහ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිල නිවේදන.

ආ) එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කළ යෝජනා.

ඈ) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ අතර හුවමාරු වූ ලිපි ද ඇතුළු තිස්‌ස විතාරණ වාර්තාව සහ ඊට අදාළ අනෙකුත් ලේඛන.

ඈ) උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශයන්.

ඉ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2009 මැයි මස පාර්ලිමේන්තුවේදී කළ කතාව.

II) පළාත් ආණ්‌ඩුකාර තනතුර අහෝසි කරනු ලබන අතර එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කිරීම.

III) පළාත් සභාවක බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු අතර දෙවැනිව වැඩිම ආසන සංඛ්‍යාවක්‌ දිනා ගෙන ඇති දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රීවරයා නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීම.

IV) පළාත් සභාවකට ඉදිරිපත් වෙමින් ඒ ඒ පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ අනුපාතයට අනුකූලව පළාත් සභා අමාත්‍ය මණ්‌ඩලයට ඇමැතිවරු පත් කිරීම.

05 අධිකරණය

I) වෙනත් කරුණු අතර ප්‍රධාන වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා හා පනත් කෙටුම්පත් වල ව්‍යවස්‌ථානුකූල භාවය පරීක්‍ෂා කිරීම සඳහා වෙනම සහ ස්‌වාධීන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිට වීමු. එහි තීරණ අවසානාත්මක වන අතර විධායකය සහ ව්‍යවස්‌ථාදායකය එහි තීන්දු අනුගමනය කිරීමට බැඳී සිටී.

II) සියලුම විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය, වැටුප්, දීමනා සහ වරප්‍රසාද සුරක්‍ෂිත කරනු ලබන අතර උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දොaෂාභියෝග ඉදිරිපත් වනු ලබන අවස්‌ථාවකදී ඊට පදනම් වන චෝදනා පිළිබඳ පරීක්‍ෂා කිරීමේ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය වෙත පැවරෙනු ඇත. එම පරීක්‍ෂණ පැවැත්වීම පොදු රාජ්‍ය මණ්‌ඩලීය මූලධර්ම වලට (ලැටිමර් හවුස්‌ ප්‍රකාශනය) අනුකූලව සිදුකිරීම.

III) පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය වෙත පැවරෙන අතර එවැනි පෙත්සම් විභාග කොට තීන්දු කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක්‌ නියම කළ යුතුය.

06. යහ පාලනය

I) ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන අධිකරණ සේවා කොමිසම සහ ස්‌වාධීන අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ප්‍රමුඛතා පදනම මත ස්‌ථාපනය කිරීම.

II) සියලු මැතිවරණ ස්‌වාධීන මැතිවරණ කොමිසම මගින් පැවැත්විය යුතු අතර රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ඇතුළත් මැතිවරණ ක්‍රියාකාරකම් වල යෙදෙන ආයතනවලට හා පුද්ගලයන්ට නියෝග නිකුත් කිරීමේ බලය එම කොමිසම සතුවේ.

III) දූෂණ වැළැක්‌වීම සහ මැඬලීම ධෛර්යමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කාර්යක්‍ෂම ලෙස හා බලාත්මක ලෙස රජය මගින් සිදුකළ යුතුය. පොදු දේපොළ සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේදී ආණ්‌ඩුවේ ආයතන විසින් නිසි වගකීමෙන් සහ වගවීමෙන් යුතුව අවංකව කටයුතු කළ යුතුය.

IV) එක්‌සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තිය බලාත්මක කිරීමට හැකි වන පරිදි දූෂණ විරෝධී නව නීතියක්‌ පැනවීම.

V) ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය සභාවේ සාමාජිකයන්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණයේ, උපරිමාධිකරණයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ අනෙකුත් අධිකරණවල විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්‌ පැනවීම.

VI) පුද්ගලික අංශයේ දූෂණ ආවරණය වන පරිදි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නීතිය සකස්‌ කිරීම සහ එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම.

VII) පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශක්‌තිමත් කිරීම සහ එම කමිටු විසින් ඉදිරිපත්කරනු ලබන පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන්නා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතුය.

VIII) රාජ්‍ය ව්‍යාපාර තේරීම් කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතුවලට පහසුකම් සැලසීම පිණිස තොරතුරු (දත්ත) බැංකුවක්‌ සහිත ස්‌වාධීන ලේකම් කාර්යාලයක්‌ පිහිටුවීම සහ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා සඳහා වූ ඇස්‌තමේන්තු පරීක්‍ෂා කිරීමේ බලය එම කාරක සභා වෙත පැවරේ.

IX) රුපියල් මිලියන දාහක්‌ ඉක්‌මවන්නා වූ වටිනාකමකින් යුතු රාජ්‍ය ව්‍යාපෘති හෝ ආයෝජන හෝ ගිවිසුම් පරීක්‍ෂා කර බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්‌ පත් කිරීම.

07. සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය

කාන්තා අයිතිවාසිකම්

I) සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට සියයට විසිපහක නියෝජනයක්‌ ලබාදීම.

II) කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක්‌ම සහ සමාජයේ සෑම ස්‌ථරයක්‌ම නියෝජනය වන පරිදි කාන්තා මණ්‌ඩලයක්‌ පිහිටුවීම, එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතරව පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීමද සිදුකරනු ලැබේ.

ප්‍රජා සංවර්ධන සමිති

III) ජනතා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපනය කිරීම සහ ජන කොට්‌ඨාස අතර සංහිඳියාව ගොඩනැඟීම පිණිස සෑම ග්‍රාමසේවා කොට්‌ඨාසයක්‌ තුළම ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවනු ලබන අතර එය නිර්දේශපාලනික පදනම මත ක්‍රියාත්මක වීම.
--------------------------------

ඒ ටික අහවරයි.. දැන් මේ ටික..

ගරු මාතලං මහතාගේ අඩු වැඩිය...

විශ්‍රාම වැටුප අහෝසි කල යුතුය. අතීතයටද බලපාන පරිදි (මෙමගින් රැකියාවක් ලෙස දේශපාලනය කිරීම වහාම නවතිනවා ඇත)


ඇමතිවරුන් 25 කට සීමා කිරීම මෙන්ම උප ඇමතිවරුන්ද 25 කට සීමා කල යුතුය. ජේෂ්ඨ අමාත්‍යවරුන්, අධීක්ෂණ අමාත්‍යවරුන් හා සීනී ආමාත්‍යවරුන් වැනි කිසිම ඇමතිවරයකු 25 ට අමතරව පත් නොකල යුතුය.


ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයින් බඳවාගැනීම වහාම නැවත්විය යුතුය.


ඉන්ධන දීමනා, ලිපි ලේඛන දීමනා, දුරකථන දීමනා, විදුලි බිල, ජල බිල, සීමා කල යුතු අතර. ඒම සීමාවන් මහජනතාවට ඉදිරිපත් කල යුතුය.


සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට (රාජ්‍ය නායකයාද ඇතුළුව) එකම වැටුපක් ලබා දිය යුතුය. මන්ද මේ සියාල්ලෝම ජනතා නියෝජිතයන් වන බැවිනි. මෙමගින් තනතුරු හා බලය පිළිබඳ ඇති කෑදර කම නැතිවේ. (ගැටළුවක් ඇති නොවන්නේ තනතුරු අනුව සිඳු කරනා වියදම් අත්‍යාවශ්‍යයෙන්ම රාජ්‍ය වියදම් වන බැවිනි.)


අත්‍යාවශ්‍යම මන්ත්‍රිවරුනට පමණක් පුද්ගලයන් දෙදෙනකු පමණක් ආරක්ෂාව සඳහා ලබා දිය යුතුය. ආරක්ෂාව සඳහා එකදු අමතර වාහනයක් ලබා නොදිය යුතුය. මේ රටේ ජනතාව සමග සිටිය නොහැකි නම්, වෙනත් රටකට පිටුවහල් කල යුතුය. 


රාජ්‍ය නායකයාට උපදේශකවරුන් 25 ක් හා (අමාත්‍යංශ විෂය පිළිබඳ දැනුමැතී) අමාත්‍යවරුනට එක් උපදේශකයකු ලෙස උපදේශකයන් සීමා කල යුතුය


කිසිම රාජ්‍ය ආයතනයකට, සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂකවරුන් පත් නොකළ යුතු අතර. ඔවුන් පරිපාලන සේවයෙන් පත් කල යුතුය.


විදේශීය අමුත්තන් සම්බන්ද වන උත්සව අවස්තාවන් හැර, අනෙක් සියළු උත්සව අමාත්‍යාංශය තුල සිඳුකල යුතුය. 


රාජ්‍ය නායකයා හැර රාජකාරී යටයුතු සඳහා විදෙස් ගතවන ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයින් අමාත්‍යංස මුදලින් විදෙස් ගතවීම වහාම නවතා දැමිය යුතුය.


තානාපති සේවය වෘත්තීමය තත්වයට පත් කල යුතු අතර, දේශපාලන හෙන්චයියන්, ලෙඩුන්, හා විශ්‍රාම ගිය පිරිස් පත් කිරීම වහාම නවතා, විදේශ් සේවය පිළිබඳ උපාධියක් ඇති පුද්ගලයින් පමණක් ඒ සඳහා පත් කල යුතුය.

28 May 2013

සීතාවක චාරිකාව... 1 බැරැන්ඩි කෝවිල ...

කලින් දවසක කිව්වා නෙව වෙසක් පෝයට පහුවදා දන්සැල් පාරක් එහෙම වැඳගෙන ගමනක් ගිය වග... ආන්න ඒ ගමන ගැන තමා මේ විස්තරය... ඇත්තටම කිව්වොත් මේක බ්ලොග් එකේ ලියනවට වඩා පොටෝ ටික බුකියේ ඔබලා අත පිහද ගන්න තිබුනනං ලේසියි... ඒත් පොඩ්ඩක් හරි කොටලා දාන්න කියලා හිතුනේ එදා උදේ මේ ටික බලන්න යන්න කියලා තොරතුරු හොයා ගන්න නෙට් එකේ සර්ච් පාරක් දැම්ම වෙලේ හරි හමන් විස්තරයක් හොයා ගන්න වින්ඳ දුක ගැන මතක් උන හින්දම තමා...

ඒ හින්දා යන්තමට හරි මේකට තොරතුරක් එක්කාසු කොරන්න ඕන කියලා හිත හදා ගත්තා.. ඇත්තටම කිව්වොත් මේ සමහර තැන් ගූගල් මැප් එකේ සටහන් වෙලා නැහැ.. විශේෂයෙන්ම පෙතන්ගොඩ උයන.. ඒ කිව්වේ අර රාජසිංහ රජ්ජුරුවන්ට උණ කටුවක් ඇනිලා අසාධ්‍ය වෙච්ච පොට් එක... ඒක මැප් එකේ නැහැ වගේම යන පාරත් නැහැ...  මේ දවස්වල මගේ වැඩේ තමා මං ආව ගිය තැන් ගැන ගූගල් මැප් එකේ සටහන් වෙලා නැති තැන් බලලා ඒවා මාක් කිරිල්ල... අපෙනුත් මේකට මොනවාම හරි සේවයක් වෙන්න එපෑ... ඒ හින්දා ඒ වැඩේට සුළුවෙන් නමුත් මගේ දායකත්වයත් දක්වමින් ඉන්න වෙලේ ඔය පෙතන් ගොඩ උයනත් මං මාක් කොරලා දැම්මා...ඒකට යන පාරත් එක්කම... හැබැයි තාම අනිත් අයට ඒක පේනවද දන්නේ නැහැ... දවස් දෙක තුනක් යද්දී ගූගල් මාමා ඒවා පෙන්නයි.

ඔය ඓතිහාසික තොරතුරු කාල වකවානු වගේ ඒවනං මං දන්නේ නැහැ.. ඒවා ඉතිං මේක දැක්කොත් අපේ හසිත මලයා දෙයි අඩු නැතිවම... ( ඒ ඒ දේට විශේෂඥයෝ ඉඳීමේ පහසුව අම්මපා.. :D )

මේ ඇවිල්ලා සීතාවක රාජධානිය අවට ස්ථාන කිහිපයක් හොයාගෙන ගිය ගමනක්... මේ තියෙන්නේ පලමුවෙන්ම ගිය තැන... බැරැන්ඩි කෝවිල... මෙන්න ගූගල් මාමට අනුව පොට් එක...


මෙන්න පොටෝ කිහිපයක්...























පසු සටහන...

කිව්වා වගේම හසිත මලයා තමුන්ගේ යුතුකම අඩු නැතිව ඉස්ට සිද්ධ කොරලා තියෙන අතරේ අටම්පහුරත් තමුන්ගේ මල්ලෙන් කොටහක් දාලා ගෙහුං තියෙනවා.. ඒ අතරේ මට කරන්න බැරි උන සිතියම් වැඩේ විචාරක මහත්තයා කරලා තියෙනවා... ඔන්න ඒ ටිකත් මේ පහළින්ම මං අමුනලා දානවා කාට හරි කොමෙන්ට් කියවන්න බැරි වෙලා තොරතුරු ටික මග ඇරුනොත් කියලා හිතලා...

හසිතගේ තොරතුරු

1521 වෙන විජයබා කොල්ලයත් එක්ක සහෝදරවරු තුන්දෙනා කෝට්ටේ බෙදාගැනීමත් එක්ක සීතාවක ප්‍රදේශයේ පාලන බලය හම්බෙන්නේ මායාදුන්නේ කියන බාල කුමාරයාට. එයා බොහොම වෙර වීරියෙන් රාජධානිය ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ කාලේ වෙද්දී තිබුණු ඇදහිලි සහ විශ්වාස නිසා මායාදුන්නේ රජතුමා මේ කෝවිල මුලින්ම ඉදි කරන්න පටන් ගත්තා කියලා තමා පෘතුගීසි ලේඛනවල තියෙන්නේ. 

ඒත් කාලෙන් කාලට සීතාවකයි කෝට්ටෙයි වලි දාගෙන සීතාවකට හොම්බෙන් යන්න වෙද්දී පෘතුගීසිකාරයෝ ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දාන නිසා කෝවිල මුල් අවස්ථාවේදී විනාස වෙනවා. 

ඊට පස්සේ කෝවිල ආයි ඉදි කිරීම් පටන් ගන්නේ 1580 ගණන්වල වගේ මායාදුන්නේගේ පුතා ටිකිරි කුමාරයා රාජසිංහ රජ වීමත් එක්ක. රජතුමා දැඩි පාලනයට එරෙහිව හාමුදුරුවරු සංවිධානය වීමත් අවසානයේදී රජතුමාගේ අණින් හාමුදුරුවරු කණ්ඩායමක් මරා දැමීමත් එක්ක බෞද්ධයන්ගේ අප්‍රසාදයට රජතුමා ලක් වෙනවා වගේම භික්ෂූන් වහන්සේලාව රජතුමාට එපා වෙනවා. 

මේ නිසා වෙන්නේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කියන කෙනාගේ බහට රැවටිලා රජතුමා ශිව භක්තිකයෙක් වෙන එක. ඒ යටතේ ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු මේ කෝවිල ඉදි කෙරෙනවා. කොහොම වුණත් රාජ්‍යයේ තිබුණු තත්වේ එක්ක 100% ක් ඉදිකිරීම් අවසන් කරන්න බැරිවෙලා තියෙනවා. 

කෝවිලේ බිත්තිවල අලංකාර රූප එහෙමත් තිබුණාය කියනවා. 

අන්තිමට සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක ඇතිවෙන්නේ අවුල් සහගත තත්වයක්. රජතුමාගේ අනුප්‍රාප්තිකයන්ට සීතාවක කන්ට්‍රෝල් නැතිවෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කෝට්ටේට එකතු වෙලා පෘතුගීසි එක්ක ඇවිත් සීතාවක ෆුල් සුද්දයක් දෙනවා. 

කොටින්ම මාළිගාවේ මේ කෝවිලේ අත්තිවාරම් පවා හාරලා පෘතුගීසිකාරයෝ වස්තුව හෙව්වාය කියනවා :)
-----------------------------------

අටම්පහුරගේ තොරතුරු

ඔය කෝවිල මයාදුන්න රජ්ජුරුවෝ මරපු පව නැතිකරගන්න කියලා අරිට්ටකීය වෙන්ඩු කියන පූසාරියා දුන්න වැරදි උපදෙස හන්දා ගග යන පාර හරවලා දෙවනි රාජ සිංහ රජතුමා තමයි හදලා තියෙන්නේ

ගල් කෑල්ලක් අරගන ඔය තියන ගල් ඇදිවලට තට්ටුවක් දාලා බැලුවේ නැද්ද , එක එක ගල්වලින් එක එක සද්ද එන්නේ , තඹ බාජනවලට ගහන සද්දේ , ලීකොටවලට ගහන සද්දේ අන්න ඒ වාගේ , 

ඔය දාහතරවෙනි පොටෝ එකේ තියෙනවානේද පුංචි කාණුවක් වාගේ එකක් ඒ කෝවිල ඇතුලේ බිලි පූජා දුන්නහම ගලන ලේ එලියට එන්න හදාපු පාර.

ඒ පැත්තෙම මැද්දට වෙන්න තියනවා දැක්කද සලකූනු එහෙම තියන ගලක් ටිකක් විතර එලියට ඇදලා වාගේ , ඒකේ බොරකටුවකින් විදපු සිදුරක් එහෙම තියනවා, එතන නිදන් වස්තු තියනවා කියලා තමයි පැරැන්නෝ කියන්නේ ,

ඔය දැනට කොටුකරලා තියන තියන සීමාවට වඩා ඉස්සර කෝවිල් බිමට අයිතිවෙලා තියනවා , ක්‍රමක් ක්‍රමයෙන් ගල් වැටි හතක් ඉහලට තිබුනා කියලා තමයි මම අහලා තියෙන්නේ, දැනටත් අර ගල් බොක්කුව හරියේ ඉදන් බලනකොට ස්ටෙප් හතරක් විතර අදුරගන්න පුළුවන්.

ඔතන පල්ලෙහා කණාමැදිරි වලේ තමයි අර හාමුදුරුවරු 59 දෙනෙක් කිං දෙවනි රාජසිංහ අරිට්ටකිය වෙන්ඩුකාරයාගේ ටොපියකාලා ගිල්ලලා මැරුවේ , 

ඔය වල ගාවට නාන්ඩ ගිය දවසක (වතුර ගොඩක් අඩුකාලයක) ඔය කණාමැදිරියං වල හෙන ජබුරයි කියලා කියන එක ඇත්තද බලන්න ඔතන බැදලා තිබුන පහුරකට නැගලා ඒකේ උඩ තිබ්බ දිග උණ ලීයක් අපේ අයියා කෙනෙක් එක්ක අමාරුවෙන් බස්සලා බැලුවා අඩියක් නං උණ ලීයේ වැදුන්නැ , ඔතන හිතාගන්න බැරි තරම් ලොකු මාළු ජාතියක් ඉන්නවා , ටිකක් විතර තෙප්පලින්ට සමානයි . එක කොරපොත්තක් රුපියල් දෙකක් විතර ඇති , 

ඉස්සර පාලම ගාව ඉදන් ඔතනට යනකං පයින් යන්න පුළුවන් , ගග දිගටම මිනිස්සු නෑවා , හරිම ලස්සනයි , දැන්නං ගගේ මිනිස්සු නානවා හරි අඩුයි , මැණික් ගන්ඩයි වැලි ගන්ඩයි හාරලා හාරලා ගග විනාස කරලා තියෙන්නේ , ඔය හරියේ පොලව උනත් එහෙම තමයි පෙරලපු නැති බිං අගලක් නැ , 

ඔය කෝවිල හදා තියෙන්නේ සීතාවක ඔය හරවලා කලින් සීතවක ගග ගිය තැනලු , ඔය කණාමැදිරියං වලට ටිකක් උඩින් තියන නැම්මක් වාගේ තැනින් තමයි ඉස්සෙල්ලම ගග පිටාර ගලලා ගංවතුර තල්දුව ටවුන් එකට දාන්නේ . හැරෙව්වට ගග පුරුදු පාරෙම යනවා කියලා දවසක් අපේ තාත්තා කියුවා, මයේ හිතේ ඔයා ඔය අන්තිමට දාලා තියෙන්නේ ගග හරවපු තැන ෆොටෝ එකක් 

ඔය වැඩේ කරන්ඩ ගල් කොහොම ගෙනාවද කියලා නං හරියට තොරතුරක් නැ , ඔය හරියේ පිහිටි ගලක් ලගක නං දකින්න නැ.ඉස්සර අපි පුංචි කාලේ ඔය වටේ ඉඩං වලත් ගල් විසිරිලා තිබ්බා දැන්නං එව්වා නැ.කෝවිලට ටිකක් උඩහින් තියන තොටුපලක වැලිවලට යටවෙලා කපා සකස් කරපු ගල්වාගයක් ඉස්සර තිබ්බා . අපේ ආතා දවසක් කියනවා මතකයි ඒ ගල් ගග දිගේ කෝවිල හදන්ඩ ගෙනාපු ගල් කියලා , 

කොහොම උනත් මට හිතෙනවා ඔය නිර්මාණය සම්පුර්ණයෙන්ම නිමකරලා ඉවරකරන්න බැරි වෙන්න ඇති කියලා . සුවල්ප වැඩ කන්දරාවක්යැ දෙවනි රාජසිංහ රජතුමාට තිබ්බේ , සිතාවක ඔය දිගේ කැළණිගග හරහා ගුරුගොඩ ඔය දිගේ පෙතංගොඩට බරන ගණිතයාගේ දුව බලන්ඩත් නිතර නිතර ආවා ගියා කියලා කියනවනේ , තමුන්ගේ දුව යකඩදෝලියක් කරගත්ත තරහට , දුවට ඇලුම්කං පාපු රාජ සිංහ රජ්ජුරුවන්ගෙම අක්කා පුතා එක්ක එකතුවෙලා බරන ගණිතයා උණ කටුව ඇණුන වෙලාවේ විස බදින මන්තරයක් මතුරලා තුවාලයට ගොම බැන්දා කියලනේ කියන්නේ.

ඔය පරණ කවිවල විස්තර කරන රජතුමාගේ රෝග ලක්ෂණ එක්ක ඔය ජනප්‍රවාදය එකතු කරලා ගත්තහම රජතුමා මියගියේ පිටගැස්ම රෝගයෙන් කියලා මීගස්වත්තේ මහත්තයාද කොහොද කියනවා දවසක් මම අහගන , 

කොහොම උනත් කනගාටුයි කියන්න තල්දුව කියන ඉස්සර සිංහල ගමේ ඔය පුංචි නගර සිමාවේ දැන් පාර අයිනට වෙන්න දැන් ඉන්නේ සිංහල පවුල් හතර පහයි . 

දැන් ඉතින් පොතේ පතේ තියන ටික හොයලා හසිත මලයා දන්න එව්වා ටිකත් ඒකටම එකතු කොරලා දැම්මහම වැඩේ සම්පුර්නයි
----------------------------------------

විචාරක මහත්තයගේ සිතියම




පසු සටහනටත් පස්සේ එක කියමුකෝ... :D

ඔන්න මාත්  කෙලින්ම පාර බලා ගන්න ලින්ක් එකක් දෙනවා...
හරියටම පාර දුර එක්කලා බලා ගන්න මෙන්න මෙතන කොටන්න... මේක දිලා තියෙන්නේ කොළඹ කොටුවේ ස්ටේෂන් එක ළග ඉඳන් යන විදිහට... දුර හරියටම කිලෝ මීටර් 48 ක් විතර වෙන්නේ එතැන ඉඳලාම...

26 May 2013

අපි දන්නේ ඉතිං වැදි බණ නෙව...

මෙව්වා බෙල්ල ගහලා යන වැඩ ආයිබෝං... ඔය දේශාපාලනය ගැන කතා කරනවා වගේම තමා මේ ආගං දහං ගැන කතා කොරන්න යන එකත්... ඒත් ඉතිං අහක යන කෝච්චි වලට බෙල්ල තියන එක මගේ පුරුද්දක් වෙච්චි කොට මේ රේල්ලුව දැක්කමත් මයෙ කට නලියනවා නෙව...

කොහොමින් කොහොම හරි බෝවත්තේ ඉන්ද්‍රසාරද කොහෙද කියලා කියන ස්වාමීන් වහන්සේ නමක් වෙලා හිටිය කෙනා අපවත් උනා.. උනා නෙවෙයි කොරගත්තා.

මං කියන දේවල් හිතන දේවල් පැත්තකට දාලා යන්තමට දන්න බුදු බණට අනුව කල්පනා කොරලා බැළුවම මට පේනවා මෙහෙම කාරණා කිහිපයක්...

භික්ෂුවකගේ භික්ෂූත්වය ගිලිහිලා යන කාරණා හතරක් තියෙනවා කියනවා නෙව... අර සතර පාරාජිකා කියලා හදුන්වන්නේ එව්ව තමා... ඕකට අයත් වන එක කාරණයක් තමා ප්‍රාණ ඝාතය... ඒ කියන්නේ පණක් නසන කෙනාට භික්ෂුත්වය අහිමි වෙනවා... තමුන්ගේ උනත් පණනං පණම තමා කියලයි මට හිතෙන්නේ... ෙඑහෙම බැළුවම ඉන්ද්‍රසාර හිමියන්ගේ භික්ෂූත්වය උන්වහන්සේ අපවත් වෙන වෙලාවේ තිබුනද කියලා මං තාම කල්පනා කොරනවා.

ආයේ ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කොරනවා නෙව “කිච්ඡෝ මනුස්ස පටිලාභෝ... කිච්ඡං මච්ඡාන ජිවිතං“ කියලා... ඒ කිව්වේ මේ මනුස්ස ජීවිතේ කොයි තරං වටිනවද කියන එකයි.. මනුස්ස භවයක් ලබා ගන්න එක බුදු බණට අනුව බොහෝම අසීරු කාරණයක්... එහෙම ලබා ගන්න මනුස්ස භවය තුල අපි තමුන්ලා කොරගන්න දේවල් අනුව ආයේ කල්ප කාලාන්තරයකට නැවතත් මනුස්ස භවයක් නොලැබී යන අන්දමේ පාප කරුමත් කරගන්නවා නෙව... ඔය සිය දිවි හානි කර ගැනීම කියන කාරණාවත් එහෙවු එකක්... ආයේ ඉතිං ලේසියකට මනුස්සයෙක්වෙලානං ඉපදෙන්න ලැබෙන්නේ නැහැ කියලයි මං අහලා තියෙන්නේ... මාත් ඔය මැරෙන්න කියලා හිතපු හුගක් අවස්ථාවලදී ඒක නූලෙන් ගහලා යන්න හේතු උනේ ඔය කියන කාරණාව කියලා කියන්න එපෑ... මොනවා කොලත් ආයේ මනුස්ස භවයක් නැහැ කියලා හිතෙනකොට හිතට එන ආවේගය දිය වෙලා යනවා... ඉන්ද්‍රසාර හිමියන්ට ඒ කාරණාව අමතක උනාදෝ.. එහෙමත් නැත්තං ගවයන්ගේ ජිවිතය වෙනුවෙන් උන් වහන්සේ තම නිවන පරදුවට තැබුවාදෝ කියලත් හිතෙනවා... ඔය වගේ හිමිනමකට මේ වගේ සරල කාරණාවක් අමතක වෙන්න හැටියක් නැහැ නෙව මේ මටත් නිතර මතක් වෙන කාරණාවක් වෙච්චි කොට...

ඔය මං කිව්වේ මට හිතෙන දේවල් උනාට බුදු බණේ තියෙන කාරණා... එහෙම බැළුවම මේ මනුස්ස භවයක් ලබපු ඉන්ද්‍රසාර හිමි නමින් ජීවත් උන ප්‍රාණීයා තමුන්ගේ උත්තරීතර මනුස්ස භව වගේම පැවිදි භාවයත් නැති කරගෙන පාරාජිකාවට පත්වෙලා අපාගත වෙන පවක් කොරගත්තාද කියලා හිතෙන කොට බොහෝම සංවේගයක් හිතේ ඇති වෙන්නේ නැද්ද කොයි කාට උනත්...

ඒත් ඉතිං දැන් පරක්කු වැඩියි... දැන් ඉතිං කරන්න පුළුවන් දේ තමා පිනක් දහමක් කොරලා උන්නාන්සෙට පින් දෙන එක... අපාගත වෙන තරමේ පාපයක් කරගත්තා උනත් ඒ ඉන්න නරකාදියකින් මිදිලා සුගතියකට පත් වේවා කියන කල්පනාවෙන්..  මනුස්සයෝ වෙච්ච අපිට වෙන කොරන්න ඇහැකි දෙයක් ඇතෑ...

ඒත් ඉතිං මේ කාරණාවෙන් පණ ගහලා ආව උදවියත් ඉන්නවා නෙව... උන්නාන්සේගේ අපවත්වීම හරහා උන්වහන්සේ අරමුණූ කරගෙන හිටියාය කියන ගව ඝාතනය වැලැක්වීම කියන කාරණාව ඉස්ට සිද්ධ කොරන්න ඕනය කියලා...

හරි ඒක ගැනත් අපි බලමු...  මොනවා උනත් එක අතකින් බලපුවාම බොහෝම යහපත් අරමුණක් වෙනුවෙන් නෙව අච්චර භයානක තීරණයක් ගත්තේ... මෙලොවදී ගිනි දැල් මැදින් පිච්චිලා අන්ත දුකකට පත් වෙලා මියැදිලා.. එයින් පස්සෙත් කල්ප ගානක් අපාගත වෙලා පිච්චි පිච්චි ඉන්න වෙනවා කියලා දැන දැන ඔය දේ කරගත්තානං ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි නෙව... උන්නාන්සෙට මානසික ආබාධයක් එහෙම තිබුනේ නැත්තං ඉතිං ඇත්තටම බොහෝම අසීරු තීරණයක්... තමුන් වගේම තවත් සත්ව කොටසක් උදෙසා තමන්ගේ මෙලොව පරලොව දෙකම නැත්තටම නැති කර ගැනීම... කොහොම හරි උන්වහන්සේ ඒක කර ගත්තා... 

ඉතිං එහෙම කරගත්ත හේතුව දැන ගත්තටත් පස්සේ ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා හිතන එක මනුස්සයෝ වෙච්ච කාගෙත් පුංචි යුතුකමක්...

ගව ඝාතනය...

ඇත්තටම මේක නැවැත්තියෑකිද...?

බෝවත්තේ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ පළාත් සභාවකද කොහේද මංත්‍රිවරයෙක් කියලා තියෙනවා මං දැක්කා... හැබැයි ඉතිං ඒ කියන්නේ ලොකු බලයත් තිබුන කෙනෙක්මත් නෙවෙයි නෙව.. නැත්තං ගිනි තියා ගන්න වෙලේ තමුන්ගේ දේශපාලන බලය පාවිච්චි කොරලම ඔය කාරණාව ගොඩ දාගන්න තිබුනා නෙව.. ඒත් එහෙම කරගන්න තරං බලයක් නැති හින්දා නෙව මේ තීරණයට ගියේ..

ඒත් අපේ බුදු හාමුදුරුවෝ ඇවිල්ලා නිකංම නිකං කෙනෙක් නෙවෙයි නෙව... එක පැත්තකින් සුද්ධෝදන රජුගේ පුත්‍රයා... අනිත් පැත්තෙන් ගත්තාම බිම්බිසාර...කොසොල්... උදේනි... වගේ බොහෝම බලවත් රජවරු සමීපයේ සිටිය කෙනෙක්... ඒ ඒ අය උන්වහන්සේගේ අවවාද අනුශාසනා බොහෝම හොඳින් පිළිපැදපු උදවිය... ඔය බලය අද කාලේ කෙනෙකුට තිබුනනං ඒක අර පාප් වහන්සේගේ දේශපාලන බලයට වඩා ඉහළින් යන අන්දමේ එකක් වෙන්න තිබුනා... ඒ කියන්නේ බුදු හාමුදුරුවන්ට ඕනනං එක අවවාදයකින් මුළු මහත් ඉන්දියාව පුරාම ගව ඝාතනය විතරක් නෙවෙයි අනිකුත් හැම සතාවම මරණ එක තහනං කරවන්න තිබුනා... උන්වහන්සේ එහෙම ඉල්ලීමක් කලානං කොසොල් රජ්ජුරුවන්ට හරි... ලිච්ඡවී රජ දරුවන්ට හරි ඒක පැහැර හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ ලේසියකට... ඒත් උන්වහන්සේ එහෙම ඉල්ලුවද..? මං දන්න තරමින් නං නැහැ...

හැබැයි ඒ වෙනුවට එක වංගියක් උන්වහන්සේ හමුවට ආව දේවදත්ත උන්නාන්සේ ඉල්ලාපු කාරණා පහක් ප්‍රතික්ෂේප කරද්දී ඒ කාරණා අතර ඔය භික්ෂූන් හැමෝම නිර්මාංශික විය යුතු යැයි කියන කරණාවකුත් තිබුනා... හැබැයි උන් වහන්සේ ඒ කාරණේ ඇතුළුව අනිත් කරුණුත් ප්‍රතික්ෂේප කොලා කියලා තමා මං දන්න සාසන ඉතිහාසේ තියෙන්නේ... ඇයි ඒ..?හේතුව තමා බුදු හාමුදුරුවෝ අන්ත වාදියෙක් නොවීම... බුදු දහම නිදහස් දහමක් වීම... කරන්න පුළුවන් දේ මොනවද.. බැරි දේ මොනවද කියලා දැනගෙන කටයුතු කල අයකු වීම... එහෙම නැත්තං අර තමුන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටිය ජේතවනාරාමය පිටි පස්සේ විසි අවුරුද්දක් තිස්සේ ඌරෝ මරපු චුන්ද සූකරටවත් බුදු හාමුදුරුවෝ නෙවෙයි සංඝයා වහන්සේලා එක්කාසු කොරං ගිහිං ඌරු කොටුව වටලලා ඒකට ගල් ගහලා..බිත්තර ගහලා..ඩෙඟා නටලා චුන්ද සූකරගේ බිස්නස් එකට පාඩු කොලේ...

අනේ මංදා මෙව්වා කල්පනා කොරං යද්දී මට කල්පනා වෙන්නෙම බුදු හාමුදුරුවෝ බුද්ධාගමේ නෙවෙයිදෝ කියලයි... එහෙම නැත්තං මෙහෙම වෙන්න බැහැනේ... එහෙං පිටිංම උන්වහන්සේ වැඩ කරලා තියෙන්නේ වර්ථමාන බෞද්ධ උන්නැහේලා වැඩ කොරන විදියට නෙවෙයි නෙව. චුන්ද සූකරගේ මස් කඩේ වහන්න ට්‍රයි කරලා නැහැ... තමුන් නිතර දෙවේලේ හම්බ වෙන නායකයින්ට කියලා පැය විසිහතරෙන් සත්ව ඝාතන නවත්තන්න කටයුතු කරලා නැහැ... අනේ මංදා නේද..?

තව ඉතිං කියන්න ගියොත් අර චුන්ද කර්මාර පුත්‍රයාගේ අවසන් දාන වේල ගැනත් කියන්න වෙනවා... ඒත් ඉතිං බුදු හාමුදුරුවෝ තමුන්ට බැති සිතින් පිළිගන්නපු ඔය කොයි දේත් වළඳලා ඒ ආහාරයෙන් උපදින ශක්තියෙන් යාන්තමට ජීවිතය පවත්වා ගත්තා මිසක ඒ ආහාරයත් එක්ක ගැටෙන්න ගියේ නැති හින්දා ඒ දානය ගැන කතා කරලා ඒ හැටි වැඩක් නැති වෙයි... 

මං මේ කිව්ව දේවල් කිව්වේ මගේ කටට එනවට එහෙමනං නෙවෙයි බුදු බණය කියලා උදේ හවහා කාලාන්තරයක් තිස්සේ ඔය අපි කොයි කවුරුත් අහලා තියෙන දේවල් ටිකක් විතරයි... ඒවා වැරදිනං ඒවට මාව අල්ල ගන්න ඕන නැහැ... අපි ඉගෙන ගන්න දේ හරිද වැරදිද කියලා හොයන්න වෙනවා වහාම...

හරි ඒ ටිකත් අල්ලලා දාලා අපි හිතුවම මේ ගව ඝාතනය නවත්තන වැඩේ ගැන මොකද හිතෙන්නේ...?

ආ ඔන්න මං දැන් කියන්න යන්නේ බණක් දහමක් නෙවෙයි ආහාර පිසීම ගැන කතාවක්.. ඔහෙලා දන්නවා නෙව මාත් මේ දවස්වල උයන්න පිහින්න ඉගෙන ගන්න යන හාදයා කියලා.. ඒ ඉගෙනීමේ කටයුතු වලදී මස් මාළු වගේ දේවල් එක්කත් මට කොයි වෙලෙත් කටයුතු කරන්න වෙනවා... ඒ වගේම ඒ ඒ දේවල් ගැන විශේෂයෙන් ඉගෙන ගන්න වෙනවා.. ඒවා මගේ විෂයට අදාළ කරුණු...

ඔන්න ඔය ඉගෙනීමේ වැඩ යද්දී මගේ ගුරුතුමා කියාපු කරුණු වලට අනුව කිව්වොත්... ලංකාව වගේ මේ ආසියානු රටවල් වල ගව මස් සම්බන්ධ කරුණු ටිකක් අමාරුයි... සංස්කෘතික වශයෙන් අපි ගවයා එක්ක කලාන්තරයක් බැඳීලා ඇවිල්ලා තියෙන හින්දා අනිත් සත්තුන්ට වඩා ගවයා කියන සතා මැරීමත්.. ඒ මස ආහාරයට ගැනීමත් තරමක් විවාදාත්මක කාරණයක් වෙලා තියෙනවා. හැබැයි බහුතරයක් බටහිර රටවල් වල හරකා කියන්නෙත් අපි ඔය කුකුල්ලු හදනවා වගේ සත්ව ගොවිපලවල්වල හදලා මරලා මස් ටික මාකට් එකට එවන තවත් එක සතෙක් විතරයි. කවුරුවත් සතාව නිතර දෙවේලේ දකින්නේ නැහැ... සතාව බැඳගෙන කරත්ත දක්කන්නේ නැහැ.. කුඹුරු හාන්නේ නැහැ... කොටින්ම මස් දකිනවා මිස සතාව නිතර දෙවේලේ දකින්න නැහැ.. ඉතිං ඒ හින්දා ගවයා කියන එකා සහ කුකුලා කියන එකා අතර මහ වෙනසක් නැතිය කියලා...

දැන් කෙනෙකුට කියන්න පුළුවන් බටහිර සංස්කෘතියට අනුව අපිට කල්පනා කරන්න බැරිය.. ගවයා යනු අනිත් සතුන්ට වඩා උසස් එකෙක්ය  කියලා... හැබැයි දැන්නං හරක්ගෙන් වැඩ ගන්න මිනිස්සු ඉන්නවද කියලත් සැකයි... මං කාලෙකින් දැකලා නැහැ මීහරක් බැඳලා හාන කුඹුරක්... ආ හෝව් හෝව් මට අමතක උනා... ඉඳ හිට දැකලා තියෙනවා අර වප් මඟුල කියන විහිළුව කරන දවසේ හරක් දෙන්නෙක් ඉස්සරහින් බැඳගෙන තව හරකෙක් පිටිපස්සෙන් යනවා වගේ සීන්නං.. ඒත් ඒවා නිකං චිත්තරපටි කෑලි විතරයි නෙව.. එහෙම නැතිව හරක් බැදං කුඹුරු කරපු කාලේ ගියා... එහෙම නැත්තං කරත්ත බැඳපු කාලේ ගියා... කිරිනං තාම ගන්නවා තමා... හැබැයි එහෙම බැළුවොත් අපි ඔය බිත්තරත් කන ගමන්ම කුකුල් මසුත් කන්නේ... එහෙම බැළුවම ජාතියේ කිරි මව වගේම ජාතියේ බිත්තර මවත් අපි රකින්න වෙනවා... ඒත් මුංදලා කවුරුවත්ම අර දවසකට ලක්ෂ ගානෙන් මැරෙන කුකුල්ලු ගැන කතා කරන්නෙවත් ගිනි තියාගන්නෙවත් නැහැ... ඌරෝ මරන්න එපා කියලා කෑ ගහන්නෙත් නැහැ.. ධීවර කර්මාන්තේ තහනම් කරන්න කියලා උද්ඝෝෂණත් නැහැ. හරක් මත්තේ විතරක් අමුතුවෙන් නහිනවා...

ඇත්තටම හරකෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය ආරක්ෂා වෙන්න ඕන... හැබැයි ඒක හරකට විතරක් දීලා.. කුකුල්ලු..ඌරෝ..එළුවෝ.. මාළු වගේ උන්ට නොදෙන හේතුව මට තේරෙන්නේ නැහැ. කරනවනං කරන්න ඕන සෑම සත්වයකුටම තියෙන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එකයි.. ඒ කියන්නේ තහනං කරනවනං සියළුම සතුන් මැරීම තහනම් කරලා දාන්න වෙනවා.. එහෙම නැති හරකෙක් එක්ක විතරක් එල්ලිලා කරන්න හදන අවිහිංසාවාදය මට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කුකුල් කකුල් රහ කර කර කන ගමන් ගව ඝාතනයට විරුද්ධ වෙන අවිහිංසාව බුද්ධාගමේ කොයි හරියේද තියෙන්නේ කියලා මංනං දන්නෙත් නැහැ. බුදු හාමුදුරුවෝ දාන්න නොගිය නීති දාන්න දගලන.. ඒ වෙනුවෙන් පැවිදි භාවය අහෝසි වෙන අන්දමේ පාපකර්ම කරගෙන අපාගත වෙන්න පාර හදාගන්න උන්නාන්සේලා මේ දේශනා කරන්නේ බුදු දහමද නැත්තං වෙන මොකක් හරි එකක්ද කියලා හරියටම තේරුං ගන්න පුළුවන් කාටද..?

ආයේ ඉතිං බොරු මොකටද මංනං ඔය හුගාක් මස් මාළු ජාති..බිත්තර එහෙම කන බොන කෙනෙක්... මං මහණ වෙලා හිටිය කාලෙත් පන්සලට මස් මාළු එක්ක දානේ ලැබුනා...  දාන ගෙවල්වලට ගිහාමත් එහෙමමයි... මම වගේම දනට වැඩම කරපු බහුතරයක් හාමුදුරුවරු ඒ හැම දේම පිළි අරං වැළඳුවා... මගේ මහණ කමේ හිටිය අවුරුදු පහටම මස් මාළු නොකන හිමිවරු මට හම්බ වෙලා තියෙන්නේ තුන් නමයි නැත්තං හතර නමයි...  එහෙමට තදින් නිර්මාංශ කියන හිමිවරු මට හම්බ වෙලා නැහැ... හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හාමුදුරුවරු මස් මාළු කන්න පෙරේතයි කියලා... උන්වහන්සේලා අනිත් බත් මාළු පිණි වගේම මස් මාළුත් ලැබෙන හැටියට පිළිගත්තා.. වැළඳුවා... මං දන්නේ නැහැ බෝවත්තේ හාමුදුරුවෝ සහ උන්වහන්සේගේ පිටුපසින් දැන් හිටං ඉන්න හිමිවරු හා උපාසක ඇත්තෝ නිර්මාංශික අයද නැද්ද කියලා.. හැබැයි කොහොම උනත් හරකා මත්තේ විතරක් එල්ලෙන්නේ නැතිව එහෙමනං මේ ඇත්තෝ සියළු සත්වයින්ට කියන කාරණේ එල්ලෙන්න ඕන... සත්තු මරන එක තහනං කරන්න නීති රීතී ගේන්න දගලන්න කලියෙන් තම තමන් මසින් මාංශයෙන් වැලකිලා ආදර්ශමත් වෙන්න ඕන... එහෙම කටයුතු කලානං ඒ දිහා බලං ඉන්න තව කවුරුම හරි පිරිසක් ඒ දේවල් අනුගමනය කරයි. එහෙමයි සමාජය යහමගට ගන්න පුළුවන්.. පිළිවෙතින්..ආදර්ශයෙන්.. එහෙම නැතිව හැම එකටම නීතියෙන් වැඩ කරන්න බැහැ.. එහෙම පුළුවන්නං කසිප්පු කියලා ජාතියික් එහෙම ලංකාවේ නැත්තටම නැතිව යන්න එපෑ... නීති වැඩි වෙන්න වෙන්න වෙන්නේ ඒ නීති කඩන එක සහ ඒවෑයින් රිංගලා යන එක විතරයි. හොදම දේ රට හදන්න කලින් පෞද්ගලිකව තම තමුන් ප්‍රතිපත්ති ආරක්ෂා කරන එකයි. අපි මසින් මාංශයෙන් හැම එකෙන්ම වැලකිලා අනිත් අයට ආදර්ශමත් විදියට හිටියොත් තව කාට හරි හිතෙයි ඒ විදියට වැඩ කරන්න... එහෙම නැතිව අපිත් කකා අනිත් අයට එපා කියන්න ගියොත්..? අනේ මංදා...

එහෙමත් නැත්තං අපි කුකුල් මස් කන ගමන් අනිත් අයට හරක් මස් තහනං කරන්න ගියොත්..?
අපි මාළු කන ගමන් අනිත් අයට මස් කන්න එපා කිව්වොත්..?
ඒ හින්දා හොඳම දේ තම තමුන් ප්‍රතිපත්ති ගරුක වෙන එකයි... හරකට විතරක් සලකන ප්‍රතිපත්තියකට නොයා හෑම සතාටම සලකන්න... බුදු හාමුදුරුවොත් නොකීව බුදු බණ කියන්න ගිහින් බුදු හාමුදුරුවන්ටත් වැඩිය බෞද්ධ වෙන අන්දමේ විහිළු නවත්තන එකයි... ලෝකේ හදන්න කලින් තමන් හැදෙන එකයි... එහෙම නැතිව අනුන් හදන්න කියලා කෑ කෝ ගහලා අන්තිමට තමුන්ට තියෙන මනුස්ස භවය නැති කර ගන්න එකවත්... අපාගත වෙන එකවත් නෙවෙයි.

රජයකට දාන්න පුළුවන්  නීති තියෙනවා... දාන්න බැරි නීති තියෙනවා... කොයි කවුරු කිව්වත් මේ රටේ සත්ව ඝාතනය නවත්තනවා කියන එක විහිළුවක් විතරයි... එයිට වඩා හොඳම දේ තමා ඕනනං  ගෘහස්ථ ගවයින් මැරීම තහනම් කිරීම සහ ඔවුන් බෝ වීම පාලනය කිරීම... ඒ වගේම දැනට ඉන්න අයාලේ යන ගවයින් සහ අයිති කරුවන්ට නඩත්තු කල නොහැකි ගවයින් බාර අරගෙන ධනවත් සැදැහැවත් අයගේ ආධාර උපකාර මත ඒ හරක්ට යැපීම පිණිස නිදහස් තණ භූමි ඇති කරලා ඒවා පවත්වාගෙන යාම... මං හිතන්නේ ඕමල්පේ හාමුදුරුවෝ ඇතුළු කිහිප නමක් දැනටත් ඒ දේ කරනවා යම් මට්ටමකින්.. ඔය අපවත් වෙච්ච හිමියනුත් ඇතැම් විට ඒ වැඩේට සම්මාදම් වෙලා ඉන්න ඇති. කරන්න ඕන පෙට්ටල් දාං ගිනි තියා ගන්න එක නෙවෙයි අර කිව්වා වගේ ගවයින් රැක බලා ගැනීමේ වැඩ තව තවත් පුළුල් කරන අන්දමේ කටයුතු වලට කැප වී කටයුතු කිරීම...

එයට අමතරව ගවයනුත් සත්ව ගොවිපලවල ඇති කර ඔවුන් පමණක් ආහාරය පිණිස සකස් කිරීම. කොහොමටත් ලංකාවේ හරක් මස් කියලා අපි කන දේ ලෝකයේ පවතින ප්‍රමිතීන්ට කිසි සේත්ම අනූකූල නොවන වග තමා අපේ ගුරුතුමා කිව්වේ... සාමාන්‍යයෙන් වර්ෂයක් පමණ (හරියටම මතක නැහැ සමහර විට වර්ෂ දෙක විය හැකියි) වයස සතුන් තමා නියම ප්‍රමිතියට අනුව මස් පිණීස මරන්නේ.. කුකුල්ලුන්ගේ දවස් හතලිස් පහේ කාලය වගේම හරකටත් නියමිත කාලයක් තියේ... අපේ වගේ අවුරුදු දහය විස්ස ගිය.. ඇට ගැහුණු.. මස් ගල් උන සත්තුන්ගේ මස් ආහාරය පිණීස අනුමත වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ආකාරයේ ප්‍රමිතියකට එයට ආදාල විදියට සතුන් ඇති කරවීම වැනි දේ කරනවා මිස හා හා හරක් මස් එපා කියලා කෑ ගුහුවට ඒක මේ රටේ නෙවෙයි මේ ලොකේ කිසිම තැනක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ හින්දා කරන්න බැරි වැඩ වෙනුවෙන් තමුන්ගේ වටිනා කියන මනුස්ස ජීවිතය නැති කර ගැනීමවත්... වසර ගණනක් රැක ගත්තු මහණ කම අහෝසි වන අන්දමේ පාපකර්ම කර ගැනීමවත්... අවසානේ තමුන් අදහපු..විස්වාස කරපු ආගමේ හැටියට නම් අපාගත වෙලා දුක් විදින්න වෙන අන්දමේ පාපයක් වන මට්ටමේ මරණයක් තමාට ළඟා කරගැනීමවත් නොකර කරන්න පුළුවන් දෙයක් යෝජනා කරන්නත්.. ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නත් උත්සහ වන්ත වීමයි මං දන්න තරමින් කල යුතු වෙන්නේ...

දැන් පිරිසක් බෝවත්තේ හිමියන් කරපු දේ සාධාරණයි... හරි උතුම් වැඩක් කියලා කියන ගමන් තවත් පිරිසක් උන්වහන්සේ හරකෙක්.. ගොනෙක් හැටියටත් සලකලා දෙපැත්තට කඹ අඳින සීන් එකක් නෙව යන්නේ... තම තමුන්ගේ මත වාදයන් වෙනුවෙන් මොන හේතුවක් හින්දා හරි මිය යන්නට යෙදුණ බෝවත්තේ හිමියන්ව කරේ තියං යන එක නවත්තලා තම තමුන් හැදුනනං..හැදෙන්න බලනවනං ඒක තමා හොදම දේ... එහෙම නැතිව තමන් නොකන හින්දා අනිත් අයත් නොකෑ යුතුයි කියලා හිතලවත්... එක සතෙකුට විතරක් විශේෂයෙන් සලකන ගමන් අනිත් සතුන්ට කුඩම්මගේ සැලකිලි දක්වන එකවත් නෙවෙයි... 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමනං දැනට මස් මාංශ කනවා... හැබැයි කාටවත් කවන්න යන්නෙවත්.. කාටවත් කන්න එපා කියන්න යන්නෙවත් නැහැ... බුදු හාමුදුරුවෝ නොදාපු නීති දාන්න කාටවත්  බල කරන්න යන්නෙත් නැහැ...  හැබැයි ඉතිං නිවනටනං මං ටිකක් පරක්කු වෙයි... මොනවා කරන්නද නිවන් දකිනවා කියන එක කට්ටිය හිතනවා වගේ මල් ටිකක් පූජා කරලා... දන් වේලක් දීලා... විතරක් ගොඩ දාගන්න ඇහැකි කාරණයක් නෙවෙයි නෙව... ටිකෙන් ටික පාරමිතා ධර්ම සම්පූර්ණ කොරගෙන යන්න ඕන දිග ගමනක් වෙච්චි කොට... මං හිමි හිමිහිට ඒ පාරේ යන්න බලන්නං... ඕනවට වඩා ස්පීඩ් කොරන්න ගිහින් ෂෝට් කට් එහෙකින් අපායේ නොවැටී...

25 May 2013

දන්සැල් කියන්නෙ එව්වටයි... කජුගහ පිටියේ කොල්ලෝ තමා කොල්ලෝ...

අපේ හැලපයියා මේ දවස්වල මොනාලිසාව කරෙන් ටිකකට බස්සලා දන් කඳක් කරේ තියං ඇවිදිනවා... රැල්ල ගහන අතට එපෑ අපිත් පඳින්න... ආයේ මොටද පරණ කතා මෙවා ඇවිත් අළුත්ම එව්වා... කොටින්ම කිව්වොත් අද දවසට මෙහෙමයි වැඩ පිළිවෙල...

සිසිල් බීම දන්සල් එකයි
මඤ්ඥොක්කා දන්සැල් එකයි
බත් දන්සල් දෙකයි
සුප් දන්සැල් දෙකයි
බෙලිමල් දන්සැල් එකයි
කෝපි දන්සැල් එකයි
කිරිකෝපි දන්සැල් එකයි
අයිස්කිරිං දන්සැල් එකයි.

අතෑරලා දාලා ආපුවා එමටයි...

ආයේ ඉතිං නිකංම දන්සැල් කන්න ගියා එහෙමත් නෙවෙයි... කොළඹීන් අවිස්සාවේල්ලට... අවිස්සාවේල්ලෙන් තල් දූවට... තල් දූවෙන් රුවන් වැල්ල හරහා අගුරුවැල්ලට... එතැනින් ආපහු රුවන් වැල්ල හරහා ඌරාපොල.. අත්තනගල්ල.. වාරණ.. මාළිගාතැන්න.. වැලිවේරිය.. මාකොළ.. කිරිබත්ගොඩ හරහා කොළඹට...

කියන්න කණගාටුයි මුල් ටිකේ නං ඇඩුනා... කොලොන්නාවට යනකල් එහෙං මෙහෙං එකක් දෙකක් තිබුනට මොකද පටන් ගත්ත ගමන්මනේ කියලා අතෑරලා ගියා... මල හත්තිලව්වයි... කොලොන්නාවෙන් පස්සේ හංවැල්ලට යනකල්ම බෞද්ධ පින්වතුන් නැහැ නෙව මේ රටේ... කඩුවෙල..නවගමුව..බෝමිරිය පැත්තේ මං හිතන්නේ මුස්ලිං උදවියද කොහේද ඉන්නේ... සික්..ආසාවට වතුර පොදක් බොන්න දන්සැලක් නැහැ... හැබැයි තැනින් තැන තියෙනවා බැනර්නං දාලා මහා බත් දන්සැල අද(25) මෙතැනදී දවස පුරාම කියලා... ඒත් ඒවා ළග බව්වෙක්වත් නැහැ... මුං ආධාර එක්කාසු කොරලා..එව්වෑයින් බැනර් ගහලා ඒවා එල්ලලා මාරු වෙලාද මංදා... :D 

යන්තං ඔන්න හංවැල්ල පේනකොට පාට වතුර කෝප්පයක් හම්බ උනා... වේලිලා හිටිය හිටිල්ලට එක හුස්මට ඇදලා ඇරියා... හංවැල්ලට අඩිය තියද්දිම බොහෝම රස එලෝලු සුප් එකක් හම්බ උනා... ආයේ ඉතිං වෙලාවේ හැටියට අමෘතේ වගේ තමා... හංවැල්ල හරියේ යන්තං පින්වතුන් ඉන්න හැඩයි...

හැබැයි ඉතිං පින්වතුන් කියන නියම සැට් එක හිටියේ කොස්ගම සාලාව හරියේ... අන්න දන්සැල්... මයියොක්කා දෙනවා ගිනි විසිවෙන පොල් සම්බෝලයක් එක්ක...ඇති පදං කෑහැකි... නෙළුවා හීනියට...






ආයේ ඉතිං අවිස්සාවේල්ල හරියේ බයියං එහෙම තිබුනට මයියොක්කා වඩියේ ආතල් කඩා ගන්න ඕන නැති හින්දා ගියා ඉස්සරහට... ආයේ ඉතිං සහරාව මැද්දෙන් යනවා වගේ තමා...යාන්තං රුවන් වැල්ල පැන්නට පස්සේ මෙන්න තියේ මහා පරිමාණ බයියං දන්සැලක්... හොද්දටම දියඋන කරෝල හොදි ගංගාවක් එක්කලා බාගෙට තැම්බුන වම්බොටු මාළුවකුයි...පරිප්පු හොද්දකුයි එක්කලා කිඹුලා කිරිමැටි ගිලින්නැහේ ඇදලා ඇරියා බත් නෑඹීළියක් විතර... ආයේ ඉතිං කතරට වැස්සක් වගේ තමා...

අනේ එයින් පස්සේ ගියා අගුරුවැල්ලට ටිකක් ඉස්සරහින් හැරිලා ගමක් ඇතුලට... අන්න පින්වතුන් ඈ...
කජුගහපිටියේ කොල්ලෝ තමා කොල්ලෝ...





 දුං විසි වෙනවා පින්වතුනි... අඩ ගහලා ඇතුලට ගත්තේ හරියට නිකං පරණ නෑයෙක් හම්බ උනා වගේ... පුදුම ලෙංගතු කොමකින් මෙන්න මෙයා තමා බුවා... එළ කොල්ලා... දන්සැල් වැඩට නෙවෙයි ඕනෑ තැනකට හරියන බුලට් බඩුවක්... ආයේ ඉතිං ගෙදර ගිහින් කන ගානට තැන හිතට අල්ලලා යන විදියට මෑන් කතා බහ කරලා පහසුකං සපයලා කන්න බොන්න දෙන්නේ... පිගාන හිටං ඉල්ලගෙන හෝදනවා අම්මා අප්පා කාපු පිඟාන වගේ සලකලා... ආයේ ඉතිං කියන්න වදන් නැහැ... 


දන්සැල්නං ආන්න දන්සැල්.. පින්වතුන්නං ආන්න පින්වතුන්... එතැන හිටිය අක්කලා වගේම පොටෝ අල්ලද්දී සප් එක දීපු නංගිලා ටිකත් මල් හතයි... හම්මපා අන්න ගිහින් වැටෙනවනං නියම තැන්... 



එයින් පස්සේ ඉතිං ගිය තැන බලා කියාගෙන ආපහු එද්දී මෙන්න එවෙලේ අටෝපු දන්සැලක්... සුවඳ ගහන බෙලිමල් වතුර එක්කලා ලෝබ නැතිව කඩාපු ලොකු හකුරු කෑලි එක්ක විස්කෝතුත් දුන්නා නෙව... එයින් පස්සේ ඔන්න රුවන් වැල්ලෙන් හරෝලා නිට්ටඹුව පැත්තට එනවා... රුවන් වැල්ල පැත්තේ ඉඳන් එන්න ගත්ත තැන ඉඳන් ඔන්න යන්තං මල් පිපෙනවා වගේ කලාවට දන්සැල් වැඩි වේගන එනවා... එයින් අපූරු දන්සැල තමා මොරලිඔය අහල තිබුන බිස්කට් එක්කලා කෝපි දුන්න දන්සැල... එහෙං පිටින්ම ඒ හරියේ වතුවල වැඩ කොරන දමිළ පින්වතුන්... වැඩිහිටියාගේ පටන් අවුරුදු හතේ අටේ දරුවා දක්වා එක්කාසු වෙලා..හරියට නිකං කඩි ගුල ඇවිස්සුනා වගේ... ඔවුන්ගේම ඌරුවට සිංහල උච්ඡාරණය කරමින් අහ අහ කන්න දුන්නේ... 

එයින් පස්සේ ඔන්න ඇතුළු උනේ කවදත් මට හුරු පුරුදු ගම්පහ දිස්තිරික්කේට... ඒ කිව්වේ නිට්ටඹුව පැත්තට කිට්ටු කොලා... ඌරාපොල හන්දිය පේන නොපෙනෙන හරියෙදී මල් මසුරං අයිස්කිරිං දන්සැල... ඕන තරං දෙනවා..කිසිම පෝලිමක් නැහැ... කස්ටිය නිකං වෙඩි කාලා වගේ වේගෙන් වැඩේ කරනවා... මාත් අත් දෙකටම අයිස්කිරිං දෙකක් උස්සං ඇවිත් කෑවා...


 කියන්න සංතෝසයි පින්වතුනි... මොනවා කොලත් නිට්ටඹුව කිට්ටුවට එද්දී තමා දන්සැල් තියෙන්නේ වකාරෙට... පුදුම මෙව්වා එකක් දැනුනේ ඈ... අවුරුදු තුන හතරක් නිට්ටඹුව යක්කල අවට ඉන්න මාත් පින් කොලානේද කියලා හිතලා තනි ඇහැට ඇඩුනා නෙව... කොටින්ම ඔය මං කලියෙන් මුර රස්සාව කොරද්දී නැවතිලා හිටිය ගොරකදෙනිය හරියේ... (ඔව් ඔව් අර හොල්මං කතාවල්වලට පහුගිය සංදියේ පොරසිද්ධ උන හන්දිය තමා...) මීටර් පනහෙන් පනහට දැන්සැල්... කෑවට වඩා සංතෝසයි... දැක්කත් මදෑ එහෙම දර්ශනයක්...
ඔන්න ඔහොම යන්තං කිරිබත්ගොඩට එනකල් කැලෑ පාරවල් වලින් දාගෙන පන්සල් බලාගෙන.. දන්සැල් වැදගෙන ආපි... උදේ වරුවේ වේලුනාටත් එක්කලා හවස් වරුවේ කෑවා නෙව බුරිය උල්වෙන්නම... දැන් ඉතිං හෙට උදේට තත්වය කොහොමද කියලා බලං ඉන්න තමා වෙලා තියෙන්නේ...

ඔන්න ඔහොමයි මෙදා පාර වෙසක් එකට දන්සැල් කෑවේ... ආ ගිය ගමන් බලා කියා ගත්ත තැන් ගැන විස්තරයක් ඊ ළඟට දෙඤ්ඤං...

15 May 2013

ඔයාලට කියන්න මෙයාලා...

මේ ලාස්ට් මන්ඩේ.. (ඔව් ඔව් යකෝ ගිය සඳුදා..ඒ කිව්වේ පෙරේදා තමා..) උදේ පාන්දර මම නැගිටින කොට මුළු සරුවාංගෙම නිකං ගල් රෝලකට අහු වෙච්ච පොල් ලෙල්ල වගේ තලා දාපු ගතියයි... ඉහ පුපුරන්ට එනවා කැක්කුමට... බෙල්ල රස්නෙයි නිකං දුං දාන කොත්තු තැටිය වගේ... කොටින්ම කිව්වොත් කෙලින් හිට ගන්ට බැරි තරං...


ඒත් ඉතිං එහෙමයි කියලා නිකං හිටියැකිද ආයිබෝං... මොකද අපිත් කන්න බොන්න එපාද..? ඒ හින්දා කොහොමින් කොහොම හරි මූණ කට හෝදං පැනඩෝල් දෙහෙකුයි පිරිටන් පෙත්තකුයි ගිලලා දාලා ආයේ වැටුනා පැයක විතර කෙටි නින්දකට...

ඔය උණ ගැණුනම තියෙනවා නේද මෙයාලා... එහෙම වෙලාවට මගේ තියරිය තමා හොඳට කාපං... හොඳට නාපං... දපලා බුදියං... ආයේ ඉතිං දෙවරුවෙන් කෙලින් හිට ගතෑකි...

කනවා කිව්වමත් ලේසිද මෙයාලා... කට කාරන තිත්ත නෙව ඔහොම වෙලාවට... ආන්න ඒ හින්දා මං කොරන්නේ මොන අමාරුවෙන් හරි..කුස්සියේ මේසෙ හාන්සි වෙලා හරි ඔය වගේ වෙලාවට බෙරි වෙන්ට බත් ටිකක් උයාගෙන තලනවා හොඳ වෑයින් පොල් සම්බෝලයක්... ඒක හැබැයි ලෙඩ වෙලා ඉන්න දවසට ඇර හොඳින් ඉන්න දවස්වලට කන්ට ලේසි නැහැ... ආයේ ඉතිං මදි නොකියන්ට දානවා සුදු ළුණූ ගම්මිරිස්... කාලා විනාඩියක් යද්දී නහයෙන් එනවා සුදුළුණූ සුවඳ... අනිත් එක තමා ඕකට කෑලි මිරිස් එහෙම දාලා හරියන්නේ නැහැ.. කොයි ලෝකෙන් හරි වේලිච්ච මිරිස් කරල් හත අටක් තලන්ට ඕන ටිකක් විතර කෑලි හිටින ගානට... 

මගේ හොද වෙලාව කියන්නේ මේ දවස් කීපෙකට කලියෙන් අර මං ගෙදර ගෙහුං ආවේ.. ඔව් ඔව් අර බිලිං මල්ල එහෙම උස්සං ආව දවසේ තමා.. ආන්න එදා මං අපේ අම්මට උයන පිහන බඩු මුට්ටු ටිකක් අරං දෙන්න උන්දැත් එක්ක සිල්ලර කඩේකට ගිය වෙලේ උන්දැට අරං දෙන ගමන්ම ආයේ මෙහෙ ටිකක් හොයන්න කරදර හින්දා වේලිච්චි මිරිස් කරල් ගෑරැං දහයක් විතර ඇන්න ඇවිත් තිබුනා... අම්මා හිනා වෙලා “ඔය මොකෑ.. කොළඹ මිරිස් නැතිවෑ..“ කියලා ඇහුවම ඉතිං මං කිව්වා.. “තියෙනවානං ඇති.. ඒත් ඉතිං මේ ගංවල කඩ වලින් වගේ ගැරැං දහය පහ කිරන තැන් එහෙ හොයන්න ගිහාම පණ යනවා.. මොකද මෙව්වා කිලෝ ගණන් අරං මං මිරිස් මෝලක් දාන්ටයෑ“ කියලා... 

අන්න එහෙම කොහොමින් කොහොම හරි මිරිස් කරල් ටික ගෙදර තිබුණ හින්දා කොල්ලා.. (ඔව් යකෝ.. ඇයි අවුල්ද..? :P ) ගොඩ ගියා... 

ඉතිං ආන්න එහෙම යහමින් කලමනා දාලා ගිණි පිට වෙන්න සම්බෝලයක් තලාලා.. කටට හොඳට රහ දැනෙන විදියට ලුනුයි දෙහියි කලවං කොරලා හදා ගත්ත සම්බෝලත් එක්ක ඔහොම වෙලාවට එක දිගට බත් කෑහැකි මටනං... ආයේ අර තිත්ත ගතිය මතු වෙන්නේ නැහැ...

ඔහොම ගිනි පිටවෙන්න සම්බෝලේ හදා ගත්තම ආයේ ඒකේ තවත් අමතර වාසියක් තියෙනවා... ඒකත් මේ රෝගෙට හොඳ ප්‍රතිකර්මයක්... මං ඒක පස්සේ කියඤ්ඤංකෝ...

ඉතිං මූලික පොරතිකර්මය වෙච්ච බුරිය උල් වෙන්න කෑම වගේම දෙවැනි කාරනේ වෙච්ච නෑමත් වැදගත්... හොඳට දාඩිය යන්න.. ඇගේ රස්නේ නිවෙන්න නාන්න ඕන එක හිතිං... ආයේ බය වෙලා පස්ස ගගහා හිටියොත් බඩුම තමා...

නාලා කාලා අහවරනං ඉතිං බුදියන එකයි තියෙන්නේ දපලා... ඔය ටික හරියට උනාම හතරවෙනි කාරණයක් නිකංම සැට් වෙනවා...

ඒ කිව්වේ..?

ඒක තමා මං අර කලින් කිව්වේ.. සැරට පොල් සම්බෝල එක්ක බත් කෙලපං කියලා... ආයේ ඉතිං නාලා කාලා දපලා ආවට පස්සේ කාපුවෑ තිබුන මිරිස් සැරට වැසිකිලි යෑම නිකං ඉරාකෙට මිසයිල ගහනවා වගේ සැපට කෙරෙනවා... ඔයාලාට කියන්න මෙයාලා ඕකත් හරිම වැදගත් කාරණාවක් ඔය වගේ වෙලාවට... හොඳට බඩ සුද්ද වෙන්න තියා ගත්තමත් ඇගේ තියෙන සෑහෙන තරමක් අසනීප කරදර අහක යනවා... හැබැයි ඉතිං අතීසාරෙට ආවොත් ඒවට මං නැහැ.. හොඳ වෑයින් අමුඩ කෙටියං ගහගන්න තමා වෙන්නේ.. නැත්තං කොණ්ඩ කැවුමක් නොපිට හරෝලා ගිලින එකයි...

ඉතිං ඔන්න ඔය වගේ තියරියක් මගේ තියෙන හින්දා කොහොම හරි ටිකක් නිදාගෙන ඉදලා නැගිටලා ගෙනල්ලා තිබුන පාන් කෑල්ලකුත් ගිලලා දාලා... හෝව් හෝව්... මහ ලොකුවට බතුයි සම්බෝලයි ගැන කියලා කෙලින්නේ පාන්ද කියලා අහන්ට ඔට්ටු නැහැ... ඇයි යකෝ මේ උදෑහනේ මට මේ අමාරු පිට බත් ඉවුවැකිද..? අනික උදේම යන්ට දා ගත්තු ගමනක් තියෙද්දී කුස්සියේ හැරි හැරි හිටියැකිය..?

ආන්න ඒ හින්දයි අතට අහු උන දේ ගිල්ලේ ගෙදර ඇවිත් බත් තම්බනවා කියලා හිතං... එහෙම හිතලා යන්තං කඳ කෙලින් කොරං ගියා කොරන්ට තිවුන කාරණාව කරන්ට... ඒ කිව්වේ මගේ බඩ රස්සාවට අදාල දෙයක්... ඔව් ඉතිං කේන්දර වගයක් බලන්ට තමා...  ආයේ ඉතිං උණ නෙවෙයි කෙලඋණ උනත් පොරොන්දු වෙච්ච දේට යන්ට එපෑ... මේ දවස ගත්තු උන්දලා ඒක වෙන් කොරගත්තේ අප්පිරියල් මාසේ මැද දිහාවේ.. එහෙවු එකේ එක පාරට උදේ පාන්දර කිව්වැකියෑ “අද මට සනීප නැහැ පස්සේ දවසක එඤ්ඤං“ කියලා... පොරොන්දුවනං පොරොන්දුව... 

කොහොමින් හරි ඒ ගෙහුන් ඔන්න මං වැඩේ කොරගෙන යනවා... ලේසි නැහැ.. කේන්දරම හත අටක්... මං දැන් ගෙදර අප්පලා..අම්මලා.. පුතාලා වට කරං මේක කොරං යන කොට මෙන්න බොලේ “පෝප්..පෝප්... පෝප්..පෝප්...“ ගානවා... බැලින්නං මගේ ටැලිපෝන් කටුව... වැඩක් කරන වෙලාවට මං ඕක දිහා ඒ හැටි නොබලනවා උනත් මං බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එකක් තිබුනා ඔය පිං අතේ වැඩක් සම්බන්ධව... ඒකවද්ද කියලා හිතලා ගෙදර අයට තත්පරයක් ඉන්ට කියලා ගත්තා පෝන් කටුව අතට...

හුටා මේ අපේ සාඩම්බොර බ්ලොග් නංගි කෙනෙක්නේ... කෝල් එක අරගෙනත් බැහැ.. ඒත් නොගෙනත් බැහැ. මොකද උන්දෑත් අර මං කිව්ව පිං අතේ වැඩේ ගැන කාරණාවක් අහලා උදේ පාන්දරමත් කෝල් කරලා තිබුන හින්දා... අනික මයේ උපන් දිනේ දවසේ.. ඒ කිව්වේ ඉරිදා දවාලේ මතක් වෙලා ( හරි කොහෙන් හරි දැකලා හරි.. :D ) මට කතා කොරලා සුභ පතාපු කෙනා වෙච්චි... කෝකටත් කියලා එබුවා බටොං එක..තියා ගත්තා කන ගාවින්... මෙන්න ඉතිං ටකරමට බොරළු කෙලින්නැහේ මේකි කියෝගෙන යනවා... මුලින් කිව්ව මෙලෝ දෙයක් ඒ හැටි පැහැදිලි නැහැ.. නිකං මේක රුහුණු කුමාරි වගේනේ කියවං යන්නේ... ඒත් එක පාරටම මෙන්න මේකි අහනවා...

“මේ ඒක නෙවෙයි අයියේ ඔයා බැන්දා කියලා ආරංචියක් ආවා..ඇත්තද අනේ ඒක..?“

මට නේද ඌරු ජුවල්.. ඇයි යකෝ මේ වැදගත් කාරණාවකට වෙන්න ඇතිය කියලා හිතලා ගත්තු මොඩකොම... මං ඉතිං හිතිං තොට කියලා හිතන ගමන්... කටින් කිව්වා

“යකෝ **** මං මේ කේන්දර වගයක් බලන්න තැනකට ඇවිත් ඉන්න ගමන්.. පස්සේ අහපිය අහන එකක්“ කියලා...

“හරි හරි අයියේ... ඉතිං ඒක විතරක් කියන්නකෝ...“

හනේ හත් ඉලව්වේ මිනිහෙක් හම්බ කොරං කන රස්සාව කොරන වෙලාවට ඒකට බාධා කොරනවද මිනිස්සු.. ඒකටත් එක්ක මෙන්න මේ උන්දෑ... මට ඉතිං ඕං මේකිගේ හතර වරිගයම සිහි පරාද වෙනවා... ඒ මදිවට මගේ පෝන් එකේ ටිකක් සද්දේ පිටට ඇහෙන ගානට තියෙන්නේ.. මොකද පාරේ යන එන වෙලාවට එන කෝල් ඇහෙනවා මදි හින්දා... දැන් මං දන්නවා වටේ කට්ටියටත් මේක ඇහෙනවා කියලා... අනික ඉතිං කොහොම කිව්වත් මේකි නෙවෙයි ඕපේ අහගෙන මිසක් අතාරින්නේ... මං දන්නවනේ නගාගේ හැටි.. ඕපයක් කිව්වොත් ඉතිං මේ නගා එතැන ඇති සුටුස් ගාලා... හනේ හම්මපා අර බැඳලා ඉන්න හාදයාට හවස ගෙදර ආහම කන් දෙකේ ඇබ ගහගන්න වෙනවා ඇති මෙයා එක්කාසු කොරලා දිග අරින ඕප මල්ල අහං ඉන්න ගෙහුං...

නටාපං කියලා කියලා මං පෝන් එක තිබ්බා... අර මනුස්සයෝ ටිකත් බලං ඉන්න හින්දා මං කිව්වා “ඔන්න මිනිස්සුන්ට තියෙන පුරස්න... රටේ ලෝකේ ජීවන වියදම අරක මේක නෙවෙයි මේ මං බැන්දද කියලා හොයන එක“ කියලා.. උන්දලත් හිනා වෙනවා මේක බලං ඉඳලා...

ඉතිං කොහොමින් හරි බලන්න ගිය ගානටත් වඩා කේන්දරයක් බලලා ආපහු එන්න පිටත් වෙද්දී මට නිකං උන්නද මලාද කියලා තේරුමක් නැහැ.. කොටින් පස්සෙන් පහු කල්පනා කොරලා බැළුවම ආපහු බයිසි මොටෝ එකේ ගෙදරට ආව හැටි මගේ මෙමරි කාඩ් එකේ නැහැ... ඒ තරමට හාන්චි පයිස්...

ආයේ මොනවද ඉතිං එතැන් පටන් කබරයා පොළවේ ගැහුවා සේ එක දිගට නින්ද තමා.. පැනඩෝල් බොනවා.. දොයියනවා... පැනඩෝල් බොනවා දොයියනවා... යන්තං කෙලින් හිට ගන්න ඇහැක් උන ගමන් නැගිටලා බත් ටිකක් තම්බලා සම්බෝල හදාගෙන කනවා... නානවා.. ආයේ දොයියනවා.. නැගිටිනවා... බයි ගිලිනවා... නිදියනවා... ඔහොම දවස් දෙකක් තිස්සේ කොරලා යාන්තං ඔන්න අද මේ වෙද්දී යංතාක් ගානකට කොලුවා කෙලින් කටින් හිටලා තියෙන්නේ... ඒ හින්දා හිතුනා මෙනු එක වෙනස් කොරන්න... එහෙම කියලා ඉතිං වෙනදා වගේ අරකයි මේයි හද හද ලිප ගාවට වෙලා වරු ගණන් ගත කොරන්න ඇහැකියෑ.. ඒ හින්දා යාන්තමට බත් ටික ගිලින්න කියලා හදා ගත්තා පරිප්පු හොද්දකුයි කූනිස්සන් බැදුමකුයි... දැන් මේක කොටන්න මේ වාඩි වෙලා ඉන්නේ ආන්න ඒ කෑම එකේ හයියෙන් තමා... ඒත් ඉතිං ආයේ මේක දාලා ටිකක් වැටිලා දොයියන්න ඕන... එක දිගට වැඩි වෙලා මෙව්වා දිහා බලං ඉදිල්ල ලේසි නැහැ නෙව...

කොහොම උනත් අද හවාටවත් යන්න ඕන ලේ එකක් චැක් කොරගෙන එන්න... මට නිකං හැකයි හැකයි වගේ ඩෙංගුවත්ද කියලා... මොකද උණක් හැදෙන්න තරං හේතුවක් මේ දවස්වල තිබුනේ නැති තරං... ඒත් පහුගිය දොහේ මදුරුවෝ ටිකක් එහෙං මෙහෙං මාව අනුභව කොලා නෙව...

නෑ නෑ ගෙදරනං ඉතිං මදුරුවෝ නැහැ.. ඒසී එකට මොස්කිටෝලා එන්නේ නැහැනේ මෙයාලා... (මිස්ට වෙනී එහෙම දැක්කද කවුරුවත්..?) ඒත් මං මේ මෝනින්ට මෝනින්ට.. (උදේට උදේට කියන එක එහෙම නේද කියැවෙන්න ඕන..? :D ) ඇක්සසයිස් එකටත් එක්ක පොඩි වෝක් එකක් දානවනේ මෙයාලා... ඉතිං එහෙම වෙලාවට ඔය පාර තොටේ යන මොස්කිටෝස්ලා එහෙම මාව හපලා කරලා යනවා ඇති... ඇති කියන්නේ මෙයාලා මට උන් මාව කනවා තේරෙන්නේ නැති හින්දා.. (කබර හමක් හින්දා නෙවෙයි යකෝ... මගේ රනින් කිට් එකේ මැටීරියල් එකේ තියන හොද කොමට... තනිකරම පිට රටින් ගෙන්නාපු බර ගානක් වටින එව්වා වෙච්චි කොට...) ගෙදර ඇවිත් වොෂ් එකක් දාද්දී තමා ඔය මදුරුවෝ කාපු ලකුණු එහෙම පේන්න පටන් ගන්නේ... ඔයාලා දන්නවනේ මෙයාලා මගේ ස්කින් එක හරි සියුමැලි නෙව... (ඒසී එකේම ඉඳලා එසී එකේම ඉඳලා.. :D ) ඉතිං අර වගේ උනාම හරි අමාරුයි මෙයාලා... ඉතිං එහෙම කාපු මදුරුවෙක්ගෙන් හරි බෝඋනානං සොරිම තමානේ මෙයාලා... ඒ හින්දයි ලේ එකක් බලවන්න හිතුනේ... ඔයාලා හිතන්නේ ඕක කොහෙන් බැලෙවුවනං හොඳයි කියලද..? (නැහැ යකුනේ මගේ මතකේ තාම හොඳට තියෙනවා නවලෝකේ ඕන නැහැ.. :D )

හා හා මෙයාලා දැන් හරි ටයඩ්..මං යනවා රෙස්ට් කරන්න... පස්සේ හම්බ වෙමුලා.. එතකල් සීයූ ලා... ටටා.. බයි බායි...

( අර නංගි එහෙම මට දැන් කෝල් කරලා පස් පඩංගුවේ බනිනවා එහෙම නෙවෙයි... රැකෝඩරේ රැඩි පිට තියං ඉන්නේ දානවා රැකෝඩ් කොරලා මේකටම හරිය... :D ) කෝකටත් පෝන් එක ඔප් කොරලා තියන්න ඕන.. නිකං මොටද ඉල්ලං කන්නේ.. :D :D :D

12 May 2013

මට වේවා..!

ඔව් ඔව් අද තමා දිනේ... කස්ටිය මට කොරාපු විපත තමා මේ... :D