27 June 2013

අපිත් ගමේ කොල්ලෝ තමා... ඇයි අවුල්ද..?

මේ ඊයේ පෙරේදා දවසක මට පොඩි වැඩක් සිද්ධ උනා... මං හිතන්නේ ගිය සිකුරාදා වෙන්න ඕන... හුගිය ටිකේ තිබුන වරින් වර කඩං හැලෙන වරුසාවයි.. තව එක එක හේතු හින්දා මට සුපුරුදු විදිහට පිටෝටුවේ ගෙහුන් උයන්න පිහන්න ඕන කරන එලෝලු පලා වර්ග නියමිත වෙලාවට ගේන්න බැරි වෙලා තිබුනේ.. නැත්තං ඉතිං සාමාන්‍යෙයන් සතියකට දවසක් විතර පිටෝටුවේ ගෙහුන් එලෝලු පලතුරු පලා ටිකයි.. සති දෙහෙකට විතර වංගියක් ගෙහුන් පෑලියගොඩ මාළු මාකට් එකෙන් ය මාළු මොන මොනවා හරියි උස්සං එන එක පුරුද්දට ගෙහුන් තියෙන්නේ...

පිටෝටු යන එක කොයි තරං ලාබද කියලා හිතෙන්නේ හදිසියකටවත් මෙහෙ කොහෙන් හරි මොනවා හරි දෙයක් ගන්න ගියාම තමා.. ඕනනං එක උදාහරණයක් කියන්නං.. මේ ඊයේ මං හදිසියේ උවමනා වෙලා කීල්ස් සුපර් එහෙකින් ගත්තා මාළු මිරිස් කරල් ටිකක්.. කිරලා බැළුවම ග්‍රෑම් 188යි.. මිල රුපියල් 72ක් උනා කියහංකෝ... ඒත්  පිටෝටුවේ මාළු මිරිස් ග්‍රෑම් 500ම රුපියල් හතලිහකට පණහකට වැඩි වෙලා නැහැ මේ මෑත කාලෙක... අනිත්වා ගැන කුමන කතාද..?

හරි ඉතිං මං කියන්න ගියේ මේකයි...

ඉතිං ඔය නියමිත වෙලාවට ඕන කරන අඩුම කුඩුම ටික ගෙනල්ලා දාගන්න බැරි උන හින්දා ගෙදර උයන පිහන දේවල්වල අඩුපාඩු මතු වෙවී ඇවිත් තිබුනේ.. ඒත් ඉතිං එහෙම වෙලාවට අතට අහුවෙන මොන මොනවා හරි දේවල් අල්ලලා උයන එක තමා කරන්නේ.. මං ඉතිං එහෙම දවස්වලට කියන්නේ තොග අවසන් කිරීමේ මහා සේල් කියලා.. ඒ කියන්නේ ගෙදර තියෙන අන්තිම අල ගෙඩිය.. පරිප්පු මිට එහෙම හට්ටියට මුට්ටියට වඩින දවස් තමා ඔය.. සමහර විට ඉතිං මිරිස් කරල..කරපිංචා ඉත්ත නැතිව උයන වෙලාවලුත් ඔය අස්සේ එන්නේ ඒ වෙනුවෙන්ම කඩේ දුවන්ට බැරි හින්දා... 

ඉතිං එදා.ඒ කිව්වේ ඔය සිකුරාදා දිහාවේ ගෙදර තත්වය සෝචනීයයි... යන්තං ඉතිරි වෙලා තිබුන දේවල් වලින් ඔන්න වස්ටක්කා කෑල්ලකුයි තලපත් මාළු කෑල්ලකුයි තිබුනා... හරි ඉතිං... වස්ටක්කා උයලා..  මාළු කෑල්ල මිරිසට උයලා ගතෑකි.. ඒත් ඉතිං ඔය වස්ටක්කා මාළුව හැදුවාම ඕකට හරියන්න කරෝල ටිකක් හාල්මැස්සෝ ටිකක් තෙල් දානවා වගේම මිරිසට උයාපු හරි බැදපු හරි මාළුත් හරියනවා.. ඒ වගේම  අනිත් පැත්තෙන් මොනවා නමුත් කොල ජාතියක් තිබුනොත් තමා කෑමේ නියම පදම එන්නේ... ඒත් ඉතිං ගෙදර කොල නැත්තං මැරෙන්නයෑ..

 කොහොම හරි ඉතිං ඔහොම ඔය ටික හදන්න හිතං ඉද්දී මට තව මොනවා හරි උස්සං එන්ට යන්ට උනා පාර පැත්තට... ආ හරි මතක් උනා.. ගම්මිරිස් ඇට... ගම්මිරිස් කුඩුනං මේ අහල කඩේකත් තිබුනා.. ඒත් මං ගේන්නේ ඇට මිසක් කුඩු නෙවෙයි.. මොකද ඔය කුඩු කොරාපු ගම්මිරිස්වල සැරක් ඇත්තේම නැති තරං... නිකං ලී කුඩු ඉහින්නැහේ මොකටද ගම්මිරිස් කුඩු දාලා කෑම කාලා.. ඒ හින්දා මං කොරන්නේ ගම්මිරිස් ඇට ගෙනල්ලා එයින් ටිකක් කොටලා කුඩු කරලා තියං පල පොරයෝජනේට ගන්න එකයි..

ඉතිං අන්තිමට ගම්මිරිස් ඇටයක් හොයන්න සෑහෙන්න දුර ගෙවාගෙන කීල්ස් සුපර් එහෙකටම යන්ට උනා.. ඒ යද්දී මං හිතං ගියේ ගොටු කොල මිටියක්වත් උස්සං එන්ට ඕන කියලා... පලා වර්ග ගන්න ඇහැකි කඩ කිහිපයක් මේ අහල පහල තියෙනවා... ඉතිං හිතං ගියා එද්දි ඒ එහෙකින් පලා මිටියක් උස්සං එනවා කියලා... ඒ හින්දම කොහොම හරි කීල්ස් එකේ තිබිලත් මං කොල මිටියක් උස්සං ආවේ නැහැ...

හුට්ටාරේ..හුට්ට පටාරේ කියන්නේ මෙන්න වෙනදට ඇරලා තියෙන කඩ බක්කි එදා වහලා කියහං... දැන් මොකද කොරන්නේ..? ඇපහු යන්ටද දුර ගෙවාගෙන කීල්ස් සාප්පුවටම කොට ටිකක් උස්සං එන්ට.. ම්හූ..පට්ට කම්මැලියි... ඒත් ඉතිං කොල මිටක් නැතිවත් බැහැ බැහැ වගේ...

ඔන්න ඔය වෙලේ තමා මට මතක් උනේ ගෙදර යද්දී හම්බු වෙන ආණ්ඩුවේ ඉඩං කෑල්ලක සරුවට වැවුන වැල් කොහිල ගාලක් තියෙන වග... ඒවායින් කවුරුවත් පල පරයෝජනයක් ගන්න හැඩකුත් නැහැ... මං ඉතිං හිතා ගත්තා අද ඉතිං වැල් කොහිල කොල තමා කියලා.. ඒ හිතලා ඔය කියාපු තැනට ඇවිදින් බයිසි මොටෝව එහෙම නවත්තලා  හොඳ පිරිසිදු ලස්සන කොල වලින් ටිකක් කඩන්න ගත්තා...

මෙන්න ඔය වෙලාවේ ඒ අහල ගෙදරක ඉන්න කාන්තා රත්නයක් ඇස් පුංචි කොරගෙන බලනවා මං මේ කඩන්නේ මොනවද කියලා... මං හිතන්නේ උපන් තේකට උන්දෑ වැල් කොහිල කාලා නැද්ද කොහේද...? බලන බැලිල්ලෙන් පෙනුනේ එහෙමම තමා... මයෙ මොකෝ... උන්දෑ වැල් කොහිල ඇදුරුවත් නැතත් මට පාන්යෑ.. අනික උන්දලා කවදාවත් අත තියලා නැහැ කියලා හිතෙන මේ වැලෙන් මං කොල ටිකක් කඩා ගත්තාම මොකද..? උන්දලා නගරේ ජිවත් වෙන හින්දා ගස් කොලං වලින් නිකං හම්බු වෙන මේ වගේ කොල ජාති දන්නේ නැහැ කියලා මං මක්ක කොරන්නද..? ඒත් ඉතිං අපි ඇවිල්ලා එහෙමයෑ...

පුංචි කාලේ හිටං ගමේ හැදිලා වැඩිලා.. කමතේ..නියරේ හැදෙන.. බඩ වැටියේ ඒවිටේ හැදෙන කොල පලා ජාති යහමින් කාපු බීපු උන් නෙව... එහෙවු එකේ කොළඹ ආවා කියලා මෙච්චර යසට කන්ට හැකි පලා කොලයක් තියෙද්දී ඒක අතෑරලා ඇහැකියෑ... මං එදා ඉතිං බොහෝම හොදට දවල් බතට වස්ටක්කා උයලා.. මාළු මිරිසට හදලා.. වැල් කොහිල කොල මැල්ලුමකුත් එක්ක බයියං ඩිංග ගිල්ලා...

කොහොමින් කොහොම හරි ඔන්න ඔය විදිහට මං කොළඹ ගස් කොලං හීරීමේ වැඩ සටහනටත් අත තිබ්බා... මොකද අපි ඇවිල්ලා ගංවල හැදිලා ගස් කොලං වලින් කෑමට බීමට දේවල් හොයා සපයාගත්ත  අය මිස රන් හැන්දෙන් ටිං කිරි කට ගාන ජාතියේ රාජකුමාරයෝ නෙවෙයි නෙව... අපිත් ඇවිල්ලා නියම ගමේ කොල්ලෝ තමා... ඇන්ටිලා එක්කෙනෙක් නෙවෙයි සීයක් බලං හිටියත් දැන්නං ඉතිං කොළඹ ගස් කොලං වලට දෙයියන්ගේම පිහිට තමා... :D

25 June 2013

විමල් අයියේ තරහා අවසර... මාර පාන්...


සුදු විමල් අයියේ උඹ මේක එහෙම බලලා මාත් එක්ක අමනාපයක් වෙන්ට එපාය... වරදක් කොලත් හිතකින් නොවේය... උඹ වාගේම මාත් ඇවිල්ලා අමු හිංගලයෙක් වග අමුතුවෙන් කිව්වේ නැතිවට උඹ සහ සුද්දෙන්ම දන්නවා ඇතැයි සිතමි. අපේ ජාතික මෙව්වා එක රැක ගන්ට උඹ වාගේම මාත් දිවා රෑ නොබලා වැඩ කොරනවාය... ඒ කාලේ උඹත් දිවා රෑ නොබලා තාප්ප ගානේ පාප්ප බාල්දි ගානේ ගෑව එකෙක් හැටියට මං අද පත් වෙලා ඉන්න තත්තේ ගැන උඹටත් අවබෝධ කොරගන්ට හැකිවේ යැයි සිතමි... ඒ හින්දා රත්තරනේ මං මේ මෙහෙම කොලා කියලා උඹ එහෙම අබමල් රේණුවක් තරංවත් මං ගැන අහිතක් ආරෝවක් හිතන්ට කාරි නැතුවා මයෙ දෙයියා.. මම එදත් අදත් හෙටත් නොවෙනස් දේශප්‍රේමී.. දේශහිතෛෂී.. දේශමාමක.. මාරයාම වෙමි...

තාප්පවල පාප්ප ගෑන කතාව ඇදලා ගත්තේ වෙන මක්කටවත් නෙවේය.. උඹට ඒ කතාවෙන් මං කොරාපු දේ ගැන හරියටම තේරුං ගතෑකි කියලා මට හිතුන හින්දාය... දැන් බලහං විමල් අයියේ විප්ලවේ කොරන්ටනං තාප්ප වගේම පාප්පත් අවශ්‍යය... එහෙම නොවුනොත් විප්ලවයට කෙලවෙනවාය... ඇයි බොල අයියේ තාප්පයි පාප්පයි නැති උනොත් පෝස්ටර් අලවන්නේ අහවල් එකේයෑ..? පෝස්ටර් වලින් තොර විප්ලවයක් මෙහෙ තියා රුසියාවෙත් නැති වග එහෙ ගිය කවුදෝ මංදා කියනවා මාත් අහගෙනය.. එහෙවු එකේ විප්ලවයේ සහකරුවෝ වන තාප්ප සහ පාප්ප සමග සදා ගනුදෙනු කල උඹ ඒ පාප්ප හදාගන්න හාල් පිටියෙන්වත්... කුරක්කන් පිටියෙන්වත් බැරිවග හොඳටෝම දන්නවා ඇතිය... 

අනේ අයියේ උඹට පාප්ප හදන්න වගේම මට පාන් හදන්නත් පාන් පිටි ඕනෑය.. ඒ හින්දා අදට විතරක් සමාව දියංය.. හෙට ඉඳලා පරණ විදියටම සුදු හාලේ බත්ම කඤ්ඤං...

-----------------------------------

හා අවසර ගැනීමේ යාතිකාව අවසානයි... මොකක් කලත් ඒකට අදාල දෙයියට යාතිකාවක් කියලා.. බාර හාර වෙලා ඕන වැඩේට අත ගහන්න.. නැත්තං අත ගහන වැඩේ හරියට ඉස්ට සිද්ධ කොරගන්න බැරි වෙන්න බාධා එනවා.. ඒකයි එහෙම පටන් ගත්තේ..

හරි එහෙමනං කාරියට බහිමු... අද විශේෂ පාන්...

ඔව් ඔව් පාන් තමා..ලංකාවේ අංක එකේ සුපිරි ආහාරය.. හැබැයි මේක අර කඩේ පාන් වගේ හතරැස් නං නෙවෙයි ටිකක් දිගට හදාපු එකක්... පිටි ටික හදාගත්තම හැඩේනං කොහොම උනාම මොකෝ...

මෙන්න උවමනා දේවල්.. තමුන්ට ඕන හැටියට හැම එකම අඩු වැඩි කොරලා ගන්ට...

පාන් පිටි ග්‍රෑම් 400 යි...
ඊස්ට් තේ හැදි එක හමාරයි...
සීනි තේ හැන්දයි...
මාගරින් තේ හැදි දෙකයි...
ලුනු කුඩු තේ හැදි එක හමාරයි...
තරමක් උණුසුම් වතුර කෝප්ප එකයි...
බිත්තරයක්...
වැඩ කොරන අවන් එකක්...


හරි පොතේ හැටියටනං ඉතිං පිටි තුන් පාරක් හැලිලි එහෙම තියේ.. අනේ එව්වා දාන්න ගෙදර ඉන්න ඩෝග්ට.. මොකද දැන් ඔය අපි කඩෙන් කන පාන් හදන්නෙත් එහෙමද.. වස්ත්‍රය තමා.. මංනේ දන්නේ ඒ හදන හැටි... ගත්තා පිටි මිටිය බේකරිය මුල්ලෙන් මේසේ උඩට.. කැපුවා කට හැළුවා මේසෙට... ගෝනියේ තිබුන කුණු රොඩුත් මේසේ උඩ...

හා හා ඒ කතා එපා...

ඒ හින්දා ඔය හැලිලි ඩෝග්ට පිටි ටික දාගන්න ටිකක් ඉඩ තියෙන භාජනේකට... දාලා ඒකටම ඔය බඩු වලින් බිත්තරෙයි අවන් එකයි වතුරයි මාගරිනුයි ඇර අනිත් ටික දාලා හොදට අතින් කවලං කරගන්න..එහෙම කලවං උනාට පස්සේ මාගරින් ටිකත් දාලා හොදට පොඩි වෙන්න අනාගෙන දාන්න වතුරත්.. දැන් ඉතිං තියෙන්නේ දෙයියන්ට බුදුන්ට හිතිං බාරයක් හාරයක් වෙලා අනන්න තමා..  මොකද වැඩේ දෙල් උනොත් පාන් පිටි ටික අහක.. පාන් පිටි කියන්නේ රත්තරං වගේ දෙයක් නෙව..විසි කොරන්නේ මොන හිතකින්ද...?

හරි ඒක අතේ නොඇලෙන ගානට අනාගන්න... අතේ ඇලෙනවනං තව වැඩිපුර පාන් පිටි ටිකක් අරං මොලියට ඉහින්න... එතකොට ඕක හොදට බෝලේ වගේ හදා ගතෑකි... එහෙම හදාගත්තට පස්සේ ඕක ලෑල්ලක් හෝ..තහඩු මේසයක් මතට දාලා හොදට අත් ගහලා මෘදු වෙන්න අනා ගන්න ඕන... විනාඩි දහයක් විස්සක් වගේ කාලයක් ඕක අත් ගහගත්තාම නිකං බටර් වගේ මොලොක්.. අතේ ඇලෙන්නේ නැති..හරි සනීප මෝලියක් බවට පත් වෙනවා.. එයින් පස්සේ ඒක මෙන්න මෙහෙම හරි.. නැත්තං බෝලයක් හැඩේටම හරි තියන්න පැත්තකින්...



වහන්න මෙන්න මෙහෙම බත් කොලයකින් හරි තෙත රෙද්දකින් හරි...

හරි  දැන් ගිහින් පැයක් විතර තමුන්ගේ තියෙන වෙන වැඩක් බලා ගන්න.... ආපහු ආවම පෙනෙයි මෙන්න මෙහෙම... තිබුනා වගේ දෙතුන් ගුනයක් වෙලා තියෙන මෝලිය.. 

 දැන් මේක කෑලි කඩලා අරං තමන්ට ඕන හැටියකට හැඩ තියලා පාන් හදාගන්න... අච්චුවක් තියේනං ඒකට තෙල් ටිකක් ගාලා ඒකට දාගන්න.. මෝලිය නවන එක එක ක්‍රම තියෙනවා.. ඒත් තාමත් මට වීඩියෝ පහසුකං යටතේ මේක කොරන්න හම්බ උනේ නැති හින්දා ඒ හැඩ වැඩ කියා දෙන්නනං වෙන්නේ නැහැ.. ඒ උනාට කමක් නැහැ.. ඕන එකක් සත පණායි කියලා හිතලා තමුන්ට ඕන හැඩයක් ගන්ට මෙන්න මේ වගේ... 

හරි එයින් පස්සේ ඒක තෙල් තවරාපු තැටියකට දාලා කැමතිනං තව තෙල් ටිකක් උඩින් යාන්තමට වගේ ගාන්න... අකමැතිනං නිකං ඉන්න මෙයාලා.. :D
හා දැන් ඔය අස්සෙම ගිහින් අවන් එක ඔන් කොරලා එන්න... ඒක විනාඩි පහක් විතර රත් උනාට පස්සේ දාන්න ඔය ටික ඇතුලට.. අවන් එක හදන්න මෙන්න මෙහෙම... උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙසීයයි... විනාඩි දහයයි... උඩින් යටින් හැම අතින්ම රත් වෙන හැටියට...

ආ දැන් ඔය වැඩේ යන්නේ.. මේකට කියන්නේ පාන් තම්බනවා කියලා... එක පාර බේක් කරනවට වඩා මේක හොඳයි...


හරි දැන් ගන්න එළියට.. දැන් මේක තැම්බිලා තියෙන්නේ.. දැන් අර කලින් කියාපු බිත්තරේ ගහලා කොරලා ගන්න..සමහරුනං මේකට ගන්නේ සුදු මදේ විතරයි.. ඒත් මංනං බිත්තරේම ගහලා ගන්නවා... ඇයි සුදු මදේ මේකේ ගාලා මං කහ මදේ මූනේ උලා ගන්ටයෑ...:D


ආ දැන් හරි.. අර ගහ ගත්ත බිත්තර සාරුව අරං පින්සලයකින් හරි.. අතින් හරි කමක් නැහැ මේක උඩ හොඳට ආලේප කොරන්නයි තියෙන්නේ... ඔය තියෙන්නේ දිලිහි දිලිහී...


දැන් ආයෙමත් අවන් එකට...
උෂ්ණත්වය සෙල්සියස් අංශක 250යි ඒ කියන්නේ පැරන්හයිට්නං 475ක් වගේ නේද..? ආන්න ඒ ගානට තියලා විනාඩි 15ක් පුච්ච ගන්න...

ආ මේ තියෙන්නේ එහෙම පිච්චෙනකොට පෙනුම...


රයිටෝ එහෙමනං දැන් බාගමු... ටිකක් නිවෙනකං අත පය ගාවගන්න යන්න එපා...

කොහොමද පෙනුම...?




24 June 2013

තවදුරටත් හෙළුවෙන් වැනිල්ල වනාහී...

කාලෙන් කාලෙට මේ සිංහල බ්ලොග් ලියන උන්දලත් මොකාක් නමුත් එකක් ඇදලා ඇරං තම්බලා මලවං කනවා... මුංදලාගේ හැසිරීමත් අර මේ දවස්වල තියෙන රටේ නිව්ස් වගේ.. ඔන්න එනවා ලයිට් බිලක්.. ඒක යට යද්දි එනවා ගිනිතියා ගැනිල්ලක්.. ඒ එක්කම කුණාටුවක්.. එකක් යද්දි එකක් එනවා.. හැමදාම මරාගන්නවා ඉවරයකුත් නැහැ.. හැබැයි වෙච්ච දේකුත් නැහැ.. අර කියමනට කියන්නේ “ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ“ කියලා... ආන්න එහෙමම තමා මේකත්...

මට පේන විදියට මේකේ ඊළග රැල්ල යන්නේ අපේ නලින් අයියගේ හෙළුව වැනීමේ වියාප්පුරුතියට අදාලව වගේ... ඕකට හවුල් කාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා උනත් ගින්න හරියටම පත්තු කොරලා තියෙන්නේ නලින් අයියම තමා...

නලින් අයියව නොදන්න අය නැහැ නෙව මේ බ්ලොග් ලියන කියවන අය අතරේ... මුලින්ම අපි හුග දෙනෙක්ගේ බ්ලොග්වල බොහෝම උද්යෝගීමත් ප්‍රතිචාර දක්වන්නෙක් හැටියටත්.. එයින් පස්සේ සමූහ බ්ලොගයක හිමිකාරයෙක් හැටියටත්... ( ඒ කිව්වේ මේ කතුවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා ලියන ලිපි යන එකක්.. හරියට අර වන් වන් සීරෝ.. එතකොට අක්ෂරය... ආත්තමගේ පෙට්ටගම වගේ කිහිපදෙනෙකුගේ හෝ සමූහයකගේ ලිපි යන ඒවා..) ඒ ඔක්කෝටමත් වඩා ලංකාවේ පුවත්පතක කතුවරයෙකු හැටියටත් හදුනා ගත්ත කෙනෙක් නෙව... ඒ වගේම මට මුලින්ම නලින් අයියව හම්බ උනේ ගිය අවුරුදු උත්සවේ දවසේ තමා.. මං හිතුවටත් වඩා බොහෝම තලත්තෑනි.. ප්‍රියමනාප.. සුහදශීලී අහිංසක මනුස්සයෙක්... ඒ තමා නලින් අයියා ගැන මගේ කියවීම...

රයිටෝ දැන් ඔන්න මේ නලින් අයියා කතා කරනවා සිංහල බ්ලොග් ලියන්නන්ට නිවැරදි සිංහලෙන් බ්ලොග් ලියන්න... ඒකට හේතුව හැටියට දක්වන්නේ මේවා බලන ළමයින්ට මේ හරහා නිවැරදි සිංහල භාවිතය හුරු කරවීම වගේ කාරණා.. අනික සිංහල ජාතිය රැක ගැනීමටනං මුලින්ම සිංහල භාෂාව රැක ගන්න කියලත් කියනවා වගේ තේරුනා.. හෙඩිම නිකං ඒ වගේ...

ඇත්ත කතාව.. සිංහල භාෂාව රැක ගැනීම සිංහල ජාතිය රැක ගැනිමට හේතුවක් වෙන්න පුළුවන්.. හැබැයි මට පොඩි පුස්නයක් තියේ... මේ යන විදියට සිංහල භාෂාව රැක ගතෑකිද..?

නලින් අයියලා කියන විදියට සම්මත වියරණ... රැකගෙන දිගින් දිගටම කටයුතු කලොත් මේ භාෂාව රැකෙයිද..? ඇත්තම කිව්වොත් මෙයට අවුරුද්දක් විතර කලියෙන් මාත් ඔහොම හිතුවා... සිංහල භාෂාව වරද්දලා ලියන... මේක වෙනස් කරන්න හදන අය ගැන මගේ උනත් පැහැදීමක් තිබුනේ නැහැ.. හැබැයි ඒක වෙනස් උනේ මේ පහුගිය කාලේ ඉංගිරිසි ඉගෙන ගන්න ගත්ත උත්සහයෙදි තමයි... යකෝ මේ සුද්දට ඕන ඕන හැටියේ යොදා ගත්ත දාහකුත් එකක් වියාකරණ නීති රීති එක්ක මේක ඉගෙන ගන්න එක ටික ටික අමාරු වෙනවා මිසක් ලේසි නැහැනේ... හැබැයි ඉතිං සිංහල භාෂාවේ තියෙන කෝටි සංඛ්‍යාත නීති රීති එක්ක බැළුවම සුද්දා හොඳා... අනිත් දේ තමා ලෝකය පුරා බොහෝ පිරිසක් භාවිතා කරන භාෂාවක් හින්දා ඉංග්‍රිසි ඉගෙන ගැනීමට මාර්ග බොහෝමයක් ඇති වෙලා තියෙනවා.. ඒත් මේ අතලොස්සක් භාවිතා කරන අපේ සිංහලේ විදේශිකයෙකුට ඉගෙන ගන්න එහෙමට ලේසි මාර්ග නැහැ... එහෙම තියෙද්දී තව දුරටත් මේක ව්‍යාකූල කරන්න කරන්න වෙන්නේ ආධුනිකයෙකුට මේක බොහෝම දුෂ්කර දෙයක් වෙන එක සහ නීරස වෙන එක... මට මේ ඉංගිරිසියත් එක්ක ගේමක් තියෙනවා වගේ... හැබැයි මං දන්නවා මට ඉංගිරිසියත් එක්ක තියෙන ගේමට වඩා සිංහල නොදන්න කෙනෙකුට සිංහල ඉගෙන ගන්න ගියාම ලොකු ගේමක් එනවා කියන එක...

ඇත්තම කිව්වොත් මේ භාෂාව කියන එක මූලික වෙන්න ඕන අදහස් හුවමාරුවට මිස පණ්ඩිතයින්ගේ දක්ෂතා පෙන්වන මිනුම් දණ්ඩක් හැටියට නෙවෙයි. හැබැයි ඉතිං ලංකාව වගේ රටක භාෂාව යොදාගන්නේ තමුන්ගේ ලොකු එක පෙන්නීමට මිස අදහස් හුවමාරුවටම නෙවෙයි..

උදාහරණයක් හැටියට මං දැනට දන්න ඉංගිරිසි කෑලි ටිකෙන් මට සුද්දෙක් එක්ක කතා බහ කරලා මගේ වැඩක් පලක් කර ගැනිමේ හැකියාව මට තියේ... මොකද එතැනදී මං කැඩි කැඩි ඉංගිරිසියෙන් කතා කලත් සුද්දා බලන්නේ මං කියන්න හදන්නේ මොකක්ද කියලා තේරුං ගන්න මිස මං කියන එකේ වියාකරණ හරි වැරදි බලන එක නෙවෙයි හින්දා.. ඒත් අපේ එකෙකුට මං දන්න ඉංගිරිසි ටික කිව්වොත් ඌට මං කියන එක තේරුනත් ඌ පටන් ගන්නේ හිනා වෙලා... කවුරු හරි ඕක නැහැයි කියනවනං ඉතිං ඒකා ලංකාවේනං නෙවෙයි... ඕක තමා ඇත්තම කතාව... ඉංගිරිසිය කියන්නේ ලංකාවේ බෙහෝමයක් දෙනාට මෙවලමක් නෙවෙයි ආභරණයක්.. ආයුධයක්.. බැබැලීමට හේතුකාරණයක්.. ඒ හැර වෙන මහ දෙයක් නැහැ... දැන් මේ යන විදියට ගියාම වෙන්නේ සිංහලයත් ඒ වගේම සුවිශේෂ කොටසක් අතරේ පවතින දෙයක් බවට පත්වීම මිස වෙන දෙයක් නෙවෙයි...

පුරාණ කාලේ තිබුන පාලි සංස්කෘතවලට වෙච්ච දේ වැඩි කලක් නොයා සිංහලේටත් වෙන එක ඇර වෙන දෙයක්නං මෙහෙම ගියොත් වෙන එකක් නැහැ. පාලි සංස්කෘතත් බමුණෝ අතයි.. පැවිදි පඩිවරු අතරයි..අල්පයක් ගිහි පඩිවරු අතරයි පැවතුනා මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට බෙදී ගිය දෙයක් නෙවෙයිනේ... එහෙම කලේ ඒ ඒ අයගේ වටිනාකම අනිත් අය අතර රඳවන්න මිස වෙන දේකටය කියලනං මං හිතන්නේ නැහැ... අන්තිමට උනේ ඒ  ඒ පඩිවරු එක්කම ඒ ඒ භාෂාත් වලපල්ලට ගිය එක විතරයි...

අනිත් කාරනේ තමා අපි පුංචි කාලේ අපිට මුලින්ම ඉගෙනගන්න තිබුනේ විෂයන් දෙකයි.. සිංහල හා ගණිතය.. දැන් මේ වෙද්දී පුංචිම ළමයගේ ඉදන් භාෂාම තුනක් උගන්නනවා..සිංහල දෙමළ ඉංගිරිසි... එතකොට වෙන වොන විෂයනුත් ආවම උන්ට අපිට තරං පිළිවෙලකට මේක ඉගෙන ගන්න කාලයක් කෝ.. ඒකට සාධාරණ කාලයක් නොදී අපි කියනවා හරි සිංහලම ඉගෙන ගනිවු කියලා... අසරණයින්ට අබ සරණයි...

අපේ කාලෙටත් කලින් කාලවල්වලට ගියොත් ඒ ඒ කාලවලදී අපිට තරං විෂයන් තිබුනෙත් නැහැ... එහෙම වෙද්දීනං ඉතිං ඔය මුනිදාස කුමාරතුංග මහත්තයට වගේ සිංහලේම පැලපදියං වෙලා ඒකම රැක රැක ඉන්න තිබුනා.. ඒත් අපිට තිබුන ඉඩ පාඩුවවත් නැති වර්ථමාන ළමයට කෝ ඒ අවස්ථාව.. එහෙමනං වෙන්න ඕන මේක ටිකක් සරල කරලා සැහැල්ලු විදියට සකස් කරන එකයි.. එහෙම නැතිව තව දුරටත් මේක බමුණු විෂයක් හැටියට රකින්න ගියොත් වෙන්නේ තව අවුරුදු පනහක් යද්දි පාලි සංස්කෘත සිංහල කියලා භාෂාවල් ඉස්සර ලංකාවේ තිබුනා කියලා ඉංග්‍රිසියෙන් ළමයින්ට කියලා දෙන්නයි...

සිංහල භාෂාව හරියට උගන්නන්න කලින් මේකේ තියෙන වැරදි අඩුපාඩු හදන්නේ නැත්තේ ඇයි...? දහ දෙනෙකුගෙන් අහලා බලන්න සිංහල හෝඩියට අකුරු කීයද කියලා.. උත්තර කීයක් ලැබෙයිද කියලා... ඒ උත්තර දෙන අයගෙන් කී දෙනෙකුට ඒ තමන් කිව්ව අකුරු ගාන මතකයෙන් කියන්න පුළුවන්ද..? 

ඊට පස්සේ ලියන්න එකයි.. කතාකරන්න එකයි... ණනළල බේද.. අරවා මේවා හැට හුට හමාරක් අස්සේ මේක රකින්න ලේසිද..?

මුලින්ම වියත් පණ්ඩිත ඇත්තන් ටිකක් නම්‍යශීලී වෙලා... තමුන්ගේ පණ්ඩිතකම් හින්දා තද මතවල නොහිට මේක සරල නිවැරදි භාෂාවක් කරන තත්වෙට ගේන්න උත්සහ කරන්න ඕන.. තව දුරටත් ණනළල බේද උවමනාද කියන දේ ගැන හිතන්න ඕන... තන කියන්නේ එකක් තණ කියන්නේ එකක් තමා.. ඒත් තන ගැන යෙදෙන වාක්‍යයකයි.. තණ ගැන යෙදෙන වාක්‍යයකයි වෙනස තේරුම් ගැනීම මහ අමාරු දෙයක් නෙවෙයිනේ.. අර කොයිකටත් යෙදෙන උදාහරණෙම ගන්නකෝ..

“හරකා තන කයි“ ඔහොම කිව්වම මොකාද හිතන්නේ හරකා මේ කාගේ හරි තනයක් කන්න යනවා කියලා.. එහෙම හිතෙන එකෙක් ඉන්නවනං ඌට තණ කවන්න ඕන... ඔය දේවල් ටිකක් සාකච්ඡා කරලා විසඳගන්න බැරි දේවල් නෙවෙයි.. හැබැයි කුමාරතුංග මුනිදාස මහත්තයාලා..හෙල හවුලේ උදවිය වගේ අරටු මොඩල් එකෙන් වැඩ කරන්න ගියොත්නං වෙන්නේ උන්නැහේලා හෙන විශිෂ්ඨ සිංහල පඩිවරු කියන ටයිටලේ ඉතිරි වෙන ගමන් සිංහලේ බල්ලට යන එක විතරයි. නම්‍යශීලී නොවුන කිසිම දෙයක් මේ ලෝකේ පවතින්නේ නැහැ.. ඒ ඒ කාලේ හැටියට ඔය කොයි දේත් වෙනස් විය යුතුයි... කුමාරතුංග මුනිදාස උන්නැහේලා.. අනගාරික ධර්මපාලතුමා වගේ අය අරටු වගේ නොහිට තව ටිකක් නම්‍යශීලී වෙලා කටයුතු කලානං අද වෙද්දී ලංකාව මෙයිටත් වඩා ලස්සන රටක්... එහෙම උනානං ජාතියට භාෂාවට උන්නැහේලගෙන් මෙයිටත් වඩා සේවාවක් වෙන්න තිබුනා... 

බුදු හාමුදුරුවෝ උනත් තමන් ගාවට ආව කිසිම කෙනෙකුට තමන්ගේ මතේ බලෙන් පොවන්න ගියේ නැහැ.. සමහර තැන්වලදී තියෙනවා ඒ ආව අය තමුන්ට ඉදිරිපත් කරපු කරුණු පිළිඅරගෙන ඒවා අනුමත කරමින් දේශනා කරපු... ඒ හරහායි බුදු දහම විශිෂ්ඨ දහමක් බවට පත් වෙන්නේ.. එහෙම නැතිව හා හා ඔවා නෙවෙයි මේවා අහපල්ලා කියලා එන එන එකාට තමුන්ගේම මතේ කිය කිය හිටියේ නැහැ...

සාමාන්‍ය පෙලේදී සිංහලවලට විශිෂ්ඨ සාමාර්ථයක් අරගෙන එයින් පස්සේ කලෙක සාමාන්‍ය පෙළ ළමයින්ට සිංහල උගන්නලා උන්ව විභාගෙන් ගොඩ දාපු කාලේ මාත් හිතාගෙන හිටියා මමත් සෑහෙන පමණකට සිංහල දන්නවා කියලා.. ඒත් පස්සේ කාලෙක පාලි ඉගෙනගන්න උත්සහ කරද්දී තමා දැනගත්තේ සිංහල මම දන්නේ මොන තරං අල්පයක්ද කියලා... එයින් පස්සේ මං තීරණය කලා ඇත්තටම මං සිංහල ගැන දන්නේ අල්පයයි කියලා... තාමත් එහෙමම තමා... හරියට භාෂාවක් හැටියට ගත්තොත් පාලිය සිංහලයට වඩා දහස් ගුණයකින් විශිෂ්ඨ භාෂාවක්... මෙයිට වඩා නිවැරදි භාෂාවක්.. ඒත් අමතක කරන්න එපා ඒකත් අද මල භාෂාවක්... 

සාමාන්‍ය පොදු ජනයා කොහොම කලත් භාවිතා කරන්නේ තමන්ට සරල සුගම විදිහේ භාෂාවක් මිසක් මොකාටවත් නොතේරෙන අමුතු භාෂාවක් නෙවෙයි.. ඒ හින්දා ව්‍යවහාරයෙහි ඇති භාෂාව ගැන වැඩි තැනක් දීලා.. එහි ඇති සකස් කල යුතුම තැන් සකස් කරමින් පලමුවෙන්ම මේක ලියන කියවන භාෂා දෙකක් හැටියට නැතිව එකක් හැටියටවත් ගත්තේ නැතොත් සිංහලය රකින්න යන අය විසින්ම සිංහලය නසන දවස වැඩි ඈතක නැහැ කියලා විතරයි මගේ මේ උකුණු මොලේටනං වැටහෙන්නේ... 

සිංහලය කියන්නේ ඕනෑම අයකුට පහසුවෙන් ඉගෙනගත හැකි... ඕනෑම අදහසක් හුවමාරු කරගත හැකි.. සරල ප්‍රියජනක දෙයක් බවට පත් කරවීමයි විය යුත්තේ එහෙම නැතිව තව දුරටත් රට්ටුන්ට විහිළු සපයන මට්ටමට හෙළුවෙන් වනන සමාජයක් කරා ආපස්සට ගමන් කරවීම නෙවෙයි... එහෙම උනොත් ඉතිං වෙන්නේ අර අරිසෙන් අහුබුදු උන්නැහේ වගේ විහිළු කතා රැසක අයිතිකාරයෙක් බවට පත් වීම විතරයි.

ඒ හින්දා මටනං කියන්න තියෙන්නේ මුලින්ම  භාෂාව සරල කරලා... නිවැරදි කරලා.. එයින් පස්සේ ඒ නිවැරදි සරල භාෂාව ප්‍රචලිත කරවන්න කටයුතු  යෙදීමයි විය යුත්තේ... එහෙම නැති පරණ කරත්තෙටම බැදලා මිනිස්සුන්ව දක්කන්න තවදුරටත් උත්සහ නොකර...
---------------------

1-ඇත්තටම නොදන්න හින්දා අහන්නේ හරියටම සිංහල හෝඩියේ අකුරු කීයක් තියේද මේ වෙද්දී.. ඒ මොනවද...?

ආ තව එකක්...
2-“ක්‍රෑ“ මෙන්න මේක කියවන්නේ කොහොමද..? සාමාන්‍යෙයන් අ ආ කියනවා වගේ ක්‍රැ ක්‍රෑ කියන දෙකත් එක ලග යෙදෙන අකුරු දෙකක්ද.. ඇදීම විතරක් වෙනස් වන...

එතකොට අපි කුරිරු කියන වදනට සමානව ගන්න වචනේ නිවැරදිව ලියන්නේ ක්‍රෑර කියලද කෘෘර කියලද...? (ගැට පිලි දෙක එක ලග කොටන්න බැහැ මෙකේ..)

22 June 2013

ලේ දන්දීලත් හමාරයි වගේ...

මීට සති කිහිපයකට කලින්  අන්තිම පේලියේ කට්ටිය විසින් අපේ ඔබා අයියට පින් පිණිස කරන ලද ලේ දන්දීමේ පින්කම ගැන ලේ යන නමින්ම දාපු ලිපිය කට්ටියට මතක ඇති මං හිතන්නේ... ඒ ලිපියේ මතකය ඉවත් වෙන්නත් කලින් අද දවසේ දැකපු ප්‍රවෘත්තියකින් නැවතත් ලේ දන්දීම ගැන අමුතුවෙන් හිතන්න ඕන කියන හැගීම මේ වෙද්දී මට ඇවිදිල්ලා තියෙන්නේ... මෙයිට කලින් දවසක මුහුණු පොතේ හිතවතෙකු විසින් මේ ගැන කරුණු කෙටියෙන් සදහන් කරලා තිබුනත් මේක ඒ හැටිම බරපතල විදියට කල්පනා උනේ නැහැ.. ඒත් හෙට දවසට නියමිත ඉරිදා දිවයින පත්තරේ තිබුන මේ ලිපිය කියෙව්වට පස්සේ අමුතුවෙන්ම ඒ ගැන හිතන්න වෙන්නේ නැත්තං ඒක තමා පුදුමේ...

ජාතික පුවත්පතක යන තරමට මේ කාරණාව වැදගත්නං ඒ සම්බන්ධ ප්‍රවෘත්තියේ ඇත්තක් නැතිම වෙන්න විදිහක් නැහැ. එහෙම කාරණාව ඇත්තනම් ඇත්තටම තව දුරටත් ලේ දන් දීමේ ව්‍යාපාර ලංකාවේ කල යුතුද..? කියලා කල්පනා කරන්න වෙනවා...

ලේ දන්දීම ගැන කියන්න.. කතාකරන්න.. ඒ සම්බන්ධව මොනවා හරි අක්‍රමිකතාවයක් වෙනව නම් ඒ ගැන විරෝධය දක්වන්න මටත් පුංචිම හරි අයිතියක් තියෙන්න ඕන කියලා මං හිතන්නේ එක් වතාවක් බොහෝමත්ම සාර්ථක විදිහට ලේ දන්දීමේ පින්කමක් කරවපු හින්දා විතරක් නෙවෙයි... ජීවිතේ මේ වෙද්දී හත් අට වතාවකටත් වඩා ලේ දීලා තියෙන හින්දයි...

ලේ දෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතන අයත් ඉන්න පුළුවන්.. ඒත් ලේ දෙන්න බය... ඒ ගැන විශාල භීතියකින් පසුවන උදවිය කොච්චර ලෝකේ ඉන්නවද කියලා දන්නවනං ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා කවුරුවත් හිතන එකක් නැහැ...

එහෙම තත්වයක් යටතේ තමුන්ගේ ශරීරයේ කොටසක්ම වෙන ලේ ටික දන් දෙන්නේ පින් පිනිස මිස අපිට හම්බ කරං කන්න නෙවෙයි...

ඇත්තටම ලේ ටිකක් දෙද්දී ඒ ලේ ටික දෙන්නේ කවුරු හරි අසරණ මනුස්සයෙක්.. ජීවිතයත් මරණයත් එක්ක පොර බදන මනුස්සයෙක් මේ ලේ ටික අරගෙන තමුන්ගේ ජීවිතේ ආරක්සා කරගෙන ඒ අයගේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියල.. සමහර විට අපි දෙන ලේ ටික නිසා පවුලක් රකින තාත්තා කෙනෙක්... දරුවෝ බලා කියාගන්න තියෙන අම්මා කෙනෙක්... ජීවිතේ ආරම්භ කරපු දරුවෙක්... රට වෙනුවෙන් මහ පොලවට ලේ හලාගත්ත රණ විරුවෙක්... රටට සමාජෙට වැඩක් ඇති... තව දුරටත් ජීවත් වීම තුලින් තව බොහෝ දෙනෙකුට යහපතක් වෙන මනුස්සයෙක් තමන්ගේ ජීවිතය රැක ගනී නේද කියන අරමුණින්...

ඒත් අපි එහෙම දෙන ලේ ටික මේ විදියට අතින් අතට ගිහින් ඒ ලේ ටිකෙනුත් මිනිස්සු සල්ලි හොයනවනං...? අපි පින් තකා දෙන ලේ ටිකත් තව කෙනෙකුගේ ඇගට ඇතුළු වෙන්නේ මුදලක් අය කරලනං..? තව දුරටත් අපි කරන දෙයින් වැඩක් තියේද..?

ලේ දෙන්න උවමනා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් හිටිය පවුල්වල අය දන්නවා එහෙම ලේ ටික දෙද්දී උනත් ඒ දෙන ලේ ටිකට හරියන්න තව කවුරු හරි ඒ වෙනුවෙන් ලේ දෙන්න රෝහලට යායුතුයි... ලේ ටික නිකං ලැබෙනවනං ලැබෙන්නේ එයිට කලින් ලේ දීලා ඒ කාඩ් එක ඉදිරිපත් කලොත් විතරයි.. එහෙම නැත්තං රජයේ රෝහලක දෙන ලේ ටිකටත් තව ලේ දෙන්න දායකයෝ උවමනා වෙනවා.. එකේ  ලොකු  වරදක් කියන්න බැහැ.. මොකද ලේ සංචිත පවත්වා ගෙන යාම රෝහලක විය යුතුම නිසා... ඒත් ඒ දෙන ලේ ටිකට මුදලක් ගන්නවනං ඒක අසාධාරණයි...  මොකද අපි මුදල් ගෙවුවට ඒ මුදලින් රජයට ලේ මිලදී ගන්න විදිහක් නැති හින්දා...  මේ විදිහට බැළුවම රජයේ රෝහලකින් රෝගියෙකුට ලේ දීම සම්බන්ධව දැනට ඇති වැඩ පිළිවෙලේ ලොකු දෝෂයක් කියන්න බැහැ...

ඒත් ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලික අංශවලයි... මේ ලිපියේ කියන විදිහටත්.. මෙයිට කලින් දවසක මගේ මූණු පොතේ යහළුවා කිව්ව විදියටයි... බැළුවම ඒ ඒ රෝහල් විසින් රෝගියෙකුට ලේ දීමේදී අධීක මුදලක් අය කරමින් පවතිනවා... අපිට කමක් නැහැ එයාලා කොච්චර සල්ලි ගත්තත්.. හැබැයි ගැටළුව තියෙන්නේ එයාලා මේ අධීක මිලකට විකුණන්නේ අපි අර පින් තකා අසරණ මනුස්සයෙකුට දෙන්න කියලා හිතලා පිනට දෙන ලේ ටික... ඒක හරියට බුද්ධ පූජාවට කෑම පිඟානක් තිබ්බම ඒක පැකට් කරලා බත් කඩේ විකුණන්න දානවා වගේ වැඩක්... ඒ කෑම එක කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි නිකං දෙන එක වෙනම වැඩක්.. ඒත් ඒක විකුණං කන්න..?

එහෙම උනාම ඉතිං කරන්න තියෙන්නේ බොහෝම සරල දෙයක්... ඒ තමා බුද්ධ පූජාව තිවිල්ල නවත්තලා දාලා නිකං ඉන්න එක... ඒත් එහෙම කලෑකි බුද්ධ පූජාවටනං.. මොකද බුද්ධ පූජාව නොතිබ්බා කියලා බුදු හාමුදුරුවන්ට වෙන අමුතු හිරිහැරයක් නොවන හින්දා.. ඒත් අපි ලේ දෙන එක නැවැත්තුවොත් වෙන්නේ ලේ ටික උවමනා මනුස්සයෙකුට උවමනා වෙලාවට ලේ ටිකක් නැතිව යන එකයි... ඒත් එහෙමයි කියලා අපි දෙන ලේ ටික විකුණං කනවනං තව දුරටත් මොකද කරන්නේ..?

ලිපියේ තියෙන හැටියට ලේ බැංකුව මේ පෞද්ගලික රෝහල් වලට විකුණන්නේ රජයේ රෝහල් වලින් ලේ බැංකුවට ගිය අතිරික්ත ලේ ප්‍රමාණයන්... ඒ කියන්නේ ලේ වැඩියි.. එහෙමනං කරුණාකරලා කරන්න තියෙන්නේ ඒ ලේ විකුණන එක නෙවෙයි.. ඇප කාරයෝ හොය හොය ලේ ගනිමින් ලේ දෙන ක්‍රමය අහෝසි කරලා රජයේ රෝහල්වල රෝගීන්ට කෙලින්ම ලේ දෙන එකයි.. එහෙම හැමෝටම දෙන්න ගියොත්  හිගයකට මුහුණ පානවනං කරන්න තියෙන්නේ අඩු වයස්වල.. ඒ කිව්වේ වයස පහලවෙන් අඩු අයට.. එහෙමත් නැත්තං වැඩි වයස්.. අවුරුදු පනහෙන් ඉහල අයට වගේ මොනවා හරි සීමාවක් දාලා ඒ අයට ඇපකාරයෝ ඕන නැහැ කියලා කියන්න... අනිත් අතින් දුප්පත්.. අසරණ.. ලේ ඇපේට කෙනෙක් හොයාගන්න අපහසු මට්ටමේ උදවියගෙන් ලේ ඇප කාරයෝ නොගැනීම වැනි දේවල්.. එහෙම කරලා අපි දෙන ලේ ටික තව කාට හරි නොමිලේම දීලා දාන එක මිසක් ලේ වැඩියි කියලා පිටට විකුණන එක නෙවෙයි...

එතකොට හැබැයි තව ප්‍රශ්නයක්  කෝ එතකොට පුද්ගලික රෝහල්වලට ලේ..?

ඇයි එයාලට එතකොට පුළුවන් එයාලගේම ලේ බැංකු ඇරලා මුදලට ලේ දෙන අය දිරිමත් කරවන වැඩ පිළිවෙලක් යොදලා සල්ලිවලට ලේ ගන්න.. එහෙම නැත්තං වඩාත් හොඳ පහසුකම් යටතේ රුධිරදායකයින් අද්දවගන්න විදියේ වැඩ පිළිවෙලක් යොදන්න... රෝගින්ගේ ඥාතීන්ගෙන් ලේ ඇප ලබාගන්න... එහෙම කරලා ඒ ප්‍රශ්නය විසද ගතෑකි ගැටළුවක් නැතිවම.. මොකද සල්ලි වලට ලේ දෙන්න මිනිස්සුත් මේ රටේ හොයා ගන්න බැරි නැහැ... අපේ මෙහෙම තිබුනට ඇතැම් රටවල ලේ දෙන්නේ මුදලට පමණයි... මගේ දායක මහත්තයෙක් හිටියා ඉස්සර ඉරාකයේ සේවය කල... උන්නැහේ තමුන්ගේ පවුලට පවුම් දෙක තුනක මාලයක් හදලා දීලා තිබුනේ තනිකරම එහෙ ඉද්දි ලේ දීපුවට හම්බ උන සල්ලි වලින්... ඉතිං මෙහෙත් එහෙම හොදට ගෙවද්දී මිනිස්සු සල්ලිවලටත් ලේ දෙයි... එතකොට ඒ ගන්න ලේ පුද්ගලික රෝහල විසින් කීයට විකුණ ගත්තත් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි... හැබැයි පිනට දෙන දේ විකුණලා ලාභ ගැනීම කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි...

එහෙමත් නැතිනම් දැනට පවතින විදිහටම කරගෙන යනවනං අඩුම ගානේ කරන්න තියෙන්නේ රජය විසින් ලේ එකතු කිරීම සදහා ගන්නා බෑග් ආදියේ වියදම් පියවෙන පරිදි මුදලක් පුද්ගලික රෝහල් වලින් අය කරන අතරේ පුද්ගලික රෝහල් විසිනුත් එකී රජයට ගෙවන ලද මුදල හා ලේ ප්‍රවාහනයට ගිය මුදල පමණක් රෝගීයාගෙන් අයකරගෙන ලේ සඳහා බිලක් නොකඩා ඒ දේ කරන එක...

මේ කියන විදිහකට වහාම මේ දේ වෙනස් වෙන්න උවමනයි... එහෙම වෙන්නේ නැත්තං ඉතිං කරන්න තියෙන්නේ හා උඹලා ඕන නැටුමක් නටා ගනිල්ලා... මෙයින් පස්සේ අපි ලේ දන්දෙන එක නවත්තලා අපේ වැඩක් බලා ගන්නවා කියලා නිකං ඉන්න එකයි.. වෙන මොකක්ද කරන්නේ..?

ඇත්තටම මේ ගැන හරියටම විස්තර දන්න කවුරු හරි ඉන්නවනං ඒ ගැන අපිව දැනුවත් කිරීම වැදගත්... නැත් උනොත් මං වෙලාවක නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින් හරි මේ ගැන තොරතුරු හොයනවා... ඒත් පුද්ගලික රෝහල් වලින් ලේ දෙන්න උන රෝගීන් ගැන විස්තර මට හොයා ගන්න අමාරුයි... කවුරු හරරි ඒකට උදව් කරනවනං ලොකු දෙයක්.. තමුන්ගේ ඥාතියකුට ලේ දෙන්න උනානං එහෙම තැනකින්.. එයාලා ඒ සඳහා කොහොමද අය කලේ කියන තොරතුරු...

එතකොට මේ සම්බන්ධව හරියටම තීරණයක් අරගෙන ලේ දෙන එකත් නවත්තලා දෙන්න අයන අයවත් නිසි පරිදි මේ කාරණේ ගැන දැනුවත් කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... හරියටම මේ ගැන මිනිස්සු දැනුවත් වෙලා ලේ දීම අඩු උන දවසට හරි මේක වෙනස් වෙන්නේ නැතෑ...

21 June 2013

ෂුවඳ ෂබන් ඇග ගාලා..හායි හායි...

video

ඇත්තටම මේකේ අහන්න බලන්න තියෙන්නේ ගීතය විතරක් නෙවෙයි... ප්‍රේක්ෂකාගාරයෙන් නැගෙන ප්‍රතිචාර... මං හිතන්නේ මුළු හෝල් එකේම සින්දුවේ තාලයට අත්පුඩියක් ගැහුවේ නැතිව මේක රස වින්දේ මං විතරයි වෙන්නත් පුළුවන්... යකෝ මං කොහොම අත්පුඩි ගහන්නද..? කැමරාව යට තට්ටුවට වැටෙයි බැල්කනියෙන්.. :D

මේ නාට්‍යය වගේම මේ ගීතය මොන තරම් රසික හදවත් තුල තදින් බැඳිලා තියෙනවද කියලා දැනෙන්නේ එහෙම වෙලාවකම තමයි.. මං හිතන්නේ නාට්‍ය ශිල්පීන්ට උනත් ප්‍රේක්ෂකයින්ගේ මේ බැඳීම  ඔවුන්ට ලැබෙන මුදලට වඩා වටිනවා ඇති... ඒතරමේ බැඳියාවකින් නළුවා වගේම නරඹන්නනුත් මේ විනාඩි කිහිපය ගත කලේ...

මේක මං වීඩියෝ කරගෙන දැන් මාසයක් දෙකක් වෙනවා මරදානේ එල්පින්ස්ටන් එකේ මේක තිරගත උන දවසේ මගේ යාළුවෙක් හින්දා මේක බලන්න අවස්ථාව උදා උනේ.. ජීවිතේ එක් වරක් හෝ නැරඹිය යුතුම නාටකයක්..රාජ කපුරු...

එහෙමනං මං ගියා...

20 June 2013

හොඳ ඡායාරූපයක් ගන්නේ කෙසේද..? විශිෂ්ඨයකුගේ උපදෙස්...

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන පස්ට පල් බොරුව තියෙනවා නේද..? ආන්න ඒක බොරු කියලා ඔප්පු කොල බොහෝමයක් දෙනා මේ ලෝකේ ඉන්නවා... එයින් එකෙක් තමා මේ මංතුමා... ආයෙත් අහලා මං තමා යකුනේ... දැන් බලහල්ලා මේ වෙනකල් කියපු කොරපුවා ගත්තම මංතුමා මහදැන මුත්තගේ මුත්ත වෙන්න තරං B.පණ්ඩිතයෙක්නේ... ආයේ ඉතිං කැකිල්ලේ රජ්ජුරුවන්ට පුරෝහිතකං කොල පරම්පරාවේ වෙච්චි කොට ඒක ඉතිං අරුමයක් නෙවෙයි නෙව...

ඉතිං ඔය මංතුමා දන්න දාහකුත් එකක් සිල්ප කලා අතරින් එකක් තමා මේ ඡායාරූප සිල්පේ.. ඇත්තම කිව්වොත් මං ඔය ඡායාරූප ශිල්පයේ කෙල පැමිණි මානවකයෙක් වෙන්ට කලියෙන් තමා ඒ පිළීබද ප්‍රවීණ විචාරකයෙක් බවට පත් උනේ.. කොටින්ම මයේ විචාර හින්දම තමුන්ගේ ඡායාරූපකරණ ජිවිතේ ජය කෙහෙලි නංවපු බොහෝමයක් දෙනා අද මේ අපි අතරේම ඉන්නවා... ඕනනං ඒ ගැන සාක්කි විදිහට අපේ අර බනියාතුමාව උනත් ගතෑකි... ඒකා කැමරාවක් ගත්තට මොකද කවදාවත් පොටෝවක් හරියකට ගන්න දැනං හිටිය එකෙක් නෙවෙයි.. පස්සේ පස්සේ මගේ උපදෙස් හින්දම මේ වෙද්දී ඒකා පරිණත ඡායාරූප සිල්පියෙක් වෙලා තියෙනවා.. ඒවා ඉතිං කියද්දිත් මගේ හිතට සංතෝසයක් දැනෙනවා... අද ඒකා කොච්චර දියුනුද කියනවනං කැමරාව අඩු ගානකට විකුණලා දාලා දන්න කියන ලී කොටං රස්සාව කරගෙන ජිවිතේ ගැට ගහගන්නවා කියලා තීරණයකටත් ඇවිල්ලා...

එතැනින් ගියාම අර අපේ බ්ලොග් ලියන සුදු පූසා... ඌ තනිකරම ඡායාරූපකරණයේ විශිෂ්ඨයෙක් හැටියට.. ඡායාරූපකරණයෙන් සමුගත්තේ මේ මට පින් සිද්ධ වෙන්න.. ඕවෑ අතුරු කතා කිය කිය ඉන්න මට වෙලාවක් නැහැ.. ඕනෑමනං උන්ගෙන් අහගන්න එකයි ඇත්තේ මගේ මේ සද්ගුණවත් වැඩවල තරම... :D

හරි එහෙමනං අද මං මේ කරන්න යන්නේ මගේ ඔය දාහකුත් එකක් හැකියාවන් අතරින් එකක් වෙච්ච මේ ඡායාරූපකරණය සම්බන්ධව ඇති හැකියාවෙන් ඒ ගැන උනන්දුවක් ඇති ඔහෙලාට යම් කිසි වැදගත් පාඩමක් කියා දෙන්නයි...

ඇත්තටම මේකට මග පෑදුනේ මේ දැන් සුළු වෙලාවකට කලියෙන් මූණු පොතේ දැකපු කතාවක් තමා... ඒ කිව්වේ අපේ මේ මූණු පොතේ සහෘදයෙක් වෙච්ච මනෝරම වීරසිංහ ළමයා අළුතින් කැමරාවක් අරගෙන ඒ ගැන වරුණාව ඇද බාලා තියෙනවා දැකලා...

ඉතිං ඒ වරුණාව අස්සේ මනෝ කොලුවා අවසානෙට කියනවා මෙන්න මෙහෙම...

// කෙ‍සේ හෝ හොද පින්තූරයක් ගැනීම එකම අරමුණයි...//

ඉතිං ඒක දැක්ක ගමන්ම තමා මට තේරුනේ මේ ආධුනික ඡායාරූපකරණ ශිල්පීන්ට මගේ මේ සුපිරි මෙව්වා එකෙන් උපදේසයක් දුන්නම මොකද වෙන්නේ කියලා... ඇත්තටම ඔය කැමරා තියෙන හැමෝම විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෝ වෙන්නේ නැහැ... ඒකට හොද ඇහැක් වගේම හොද මොලයක් තියෙන්නත් ඕන.හොඳ පරිකල්පන මෙව්වා එකක් තියෙන්න ඕන.. ඒ වගේම හොඳ ගුරුවරයෙකුගෙන් උපදෙස් ගන්න ඕනෑ... එහෙම නැත්තං මේ කැමරා තියෙන හැම එකාම විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෝ වෙන්න එපෑ.. ඒත් එයාලා එහෙම වෙන්නේ නැත්තේ අන්න අර මං කිව්ව හොද ඇහැයි.. පරිකල්පන මෙව්වා එකයි නැති කම හින්දා තමා... ඒ වගේම හොඳ ගුරු උපදෙස් නැතිවීම...

ආන්න ඒ හින්දා තමා කැමරාකාරයෝ වැඩි උනාට ඒ හැම කැමරාකාරයෙක්ම හොඳ කැමරාකාරයෙක් නොවෙන්නේ... :D

රයිටෝ එහෙමනං වැඩි කතා මොටද..? මනෝරම ළමයා අර විදියට කිව්ව ගමන් හිත උනු උන මංතුමා එවෙලේම දුන්නා ඒකට උපදේසේ.. මං ෂුවර් එකට දන්නවා දැන් ඉතිං පැය විසි හතරෙන් ඒකානං හොඳ ඡායාරූපයක් ගන්න විත්තිය... අපේ උන්දලා මාස ගනන් අවුරුදු ගණන් බඩ ගාලා බඩ ගාලා පන්ති ගිහිල්ලා අවුරුදු හත අටක් ගිහිල්ලත් හොඳ පොටෝවක් ගන්න බැරිව දගලද්දී නිකංම නිකං පැය විසි හතරෙන් ඒ දස්කම දක්වන්න හැකියාවක් ලැබෙන්නේ ඉතිං මේ මං වගේ සුපිරි ඝණයේ ගුරුවරයෙකුගේ අවවාද අනුසාසනා ලැබුනොත් විතරමයි... (ඔව් ඔව් ළගදී පන්ති පටන් ගන්නවා.. එතකොට වරෙල්ලා ..:D)

ඉතිං මං කල්පනා කලා මනෝරමයන්ව පැය කිහිපයෙන් උසස් පොටෝවක් ගන්න යොමු කරවපු ඒ උපදේසේ ඔහෙලටත් දිලා දාන්න... ආයේ ඉතිං ගුරු මුට්ටි නැහැ... ඇන්දිලි නැහැ... ආලවට්ටං නැහැ..කෙලින්ම ගේමනං ගේම.. මෙන්න උපදේසේ...

කැමරාවක් ඇති සෑම ඡායාරූප ශිල්පියෙකුගේම සිහිනය වන තමුන්ගේ කැමරාවෙන් හොඳ ඡායාරූපයක් ගැනීමේ පහසුම හා නොවරදිනම මග...

මේ සඳහා ඔබට උවමනා වන්නේ අන්තර් ජාල පහසුකං ඇති කොම්පීටරයක් සහ තමුන් සන්තක හෝ අන් සතු උනත් ටික වේලාවකට ඉල්ලා ගත් මොකාක් හෝ කැමරාවක්... පමණයි... 

මුලින්ම යන්න ගූගල් දෙයියා ගාවට ගිහින් හොයන්න එදා මෙදාතුර ලෝකයේ හොඳම ඡායාරූප මොනවද කියලා...  එහෙම කරලා ඒ අතරින් තමුන්ගේ හිතට අල්ලන.. තමුන් ගන්න කැමති විදියේ හොඳ ඡායාරූපයක් තෝරගන්න.. මතක ඇතිව හදිසි නොවී හොදම එකක් තෝරගන්න.. මොකද මේක තමුන්ගේ ජීවිතේ අමරණිය අවස්ථාවක්.. ආයේ ලේසි නැහැ... තමුන් මේ ගන්න යන්නේ තමන්ගේ ජීවිතේ හොඳම පොටෝ එකක් මුල්ම වතාවට.. ඒ හින්දා හොඳ එකක් තෝර ගන්න කලබල නොවී...

හරි දැන් ඒක තෝර ගත්තනං ඒක ටිකක් විසාල කරලා ඕපන් කර ගන්න මොනිටරේ පිරෙන්නම...

හරි දැන් ඔබ සූදානම්.. දැන් ඉතිං තියෙන්නේ තමන්ට පහසු ආකාරයකින් කැමරාව මානන්නයි මොනිටරේට... මෙතනදිත් කලබල වෙන්න දෙයක් නැහැ... හිමින් සීරුවේ පුටුවක වාඩි වෙලා කැමරාව ඕනනං තමනුයි මොනිටරෙයි මැදින් තියා ගත්ත මේසයක් උඩින් උනත් තියලා... මානන එකයි ඇත්තේ මොනිටරේට... ඔය කැමරාව සීරු මාරු කරන්න ඇහැකි එකක්නං එහෙම කරලා මොනිටරේ ගානටම කැමරාව සීරුමාරු කොලාම හරි... කැමරාව එහෙම බැරි අර පරණ ජාතියේ වන්ටෙන් එකක්නං කරන්න තියෙන්නේ තමුන් මොනිටරේට කිට්ටු වෙලා කැමරාව මොනිටරේට අල්ලන එකයි.. එතකොට මූණ පිරෙන්න.. නැහැ මං කිව්වේ මේ කැමරාව පිරෙන්නම මොනිටරේ තියෙයි... 

හරි එහෙමනං දැන් හැම දේම තිතට තියෙනවා... දන් ඉතිං දෙයියෝ බුදුන් සිහි කරලා..(අන්‍යාගමිකයින් තම තමුන්ගේ අදහන ආගමක් සිහි කරන්න..) දෙවැනුව ඕනනං මාවත් සිහි කරගන්න.. (නැහැ නැහැ අපේ මෑණියන්ව සිහි නොකලට කමක් නැහැ.. උන්දෑ මගේ මේ ඡායාරූපකරණ හැකියාවටවත්.. මගේ උපදෙස් දීමේ හැකියාවටවත් මොනව ආකාරයකින්වත් සම්බන්ධයක් නැහැ.. මේවා එහෙං පිටිංම මගේ උත්සහය මත මංම හදාගත්ත දේවල්...) එහෙම සිහි කරන දේවල් සිහි කරලා නමෝ විත්තියෙන් කැමරාවේ පොටෝ ගන්න බටන් එක ඔබන්න... (ඒක කෝකද කියලා කලින් හැම එකම ඔබලා හොයා ගන්න එකයි ඇත්තේ ඒක නොදන්න උන්..)

හරි ඔන්න දැන් ඔබටත් තියෙනවා ලෝකයේ හොඳම ඡායාරූපයක් ගත්ත ඡායාරූප ශිල්පියෙකුට ඇති අභිමානය.. තෘප්තිය... වචනයෙන් විස්තර කල නොහැකි ආහ්ලාදය...

සංතෝසයි නේද..? සංතෝස වෙන්න සංතෝස වෙන්න.. මේ වගේ වෙලාවක නැති සංතෝසේ අහවල් වෙලාවකටයෑ...

හරි එහෙමනං මෙන්න මගේ උපදෙස අහවරයි.. මගේ මේ වැදගත් උපදේසය හොඳින් හිතට ගත්තු ඔබ සියළු දෙනාටම ඡායාරූප ශිල්පයේ දිගු ගමනක් යන්නට වරම් ලැබේවා... කවදා නමුත් කොහේදී හරි තමුන්ට මේ ඡායාරූප සිල්පය ගැන යම් කිසි ඇගයීමක් ලැබුන දවසට.. (එහෙම ලැබේවා කියලා මං පතනවා ලේසියෙන් වෙන්නේ නැති උනත්..)  ආන්න එදාට මේ අපිවත් සිහි කරලා පින් දෙනවා හොඳයි..

හරි එහෙමනං මං ගියා... සියළු දෙනාටම සුභ අනාගතයක්...!

19 June 2013

රජාට ප්‍රශස්තියක්... 2 (රාජ කපුරු)

කලියෙන් මං දැම්මනේ රජාට ප්‍රශස්තියක් අංක 1... ඒත් හුග දෙනෙකුට වැඩේ හරියටම තේරිලා තිබුනේ නැති බව පෙනුනා.. ඒක හරි.. ඒක පැහැදිලි මදි වෙනවා තමා.. ඒ කිව්වේ වීඩියෝවේ තියෙන අවුලක්මත් නෙවෙයි... අගක් මුලක් නොදැන කොහොම තේරුං ගන්නද..?

ඒත් දැන් මං ලෑස්ති වෙන්නේ තරමක් මේ ගැන කියා හිටින්නයි.. එතකොට වැඩේ පැහැදිලි වෙයි... 

රාජ කපුරු... ප්‍රවීණ නාට්‍ය නිර්මාපකයෙක් වන ජනක් ප්‍රේමලාල්ගේ විශිෂ්ඨ නිර්මාණයක් කියලා මං ආයේ අමුතුවෙන් කියන්න උවමනා නැහැ... විශේෂයෙන්ම දැනට සිටින නාට්‍යකරුවන් අතරින් ජනක් ප්‍රේමලාල් මහත්මයට හිමිවෙන්නේ ඉතා වැදගත් තැනක්.. ඒ ඔහුගේ නාට්‍යවල ඇති සරල සුගම බව හා හාස්‍ය මුසු කොට යටින් අපූරු දේශපාලන කතාවක් කීමේ ඇති හැකියාව වෙන්න ඕන... ඇත්තටම කිව්වොත් රාජකපුරු කියන්නේ මටනං සීයට සීයක්ම දේශපාලන නාටකයක්... පාලකයින්ගේ හා ඔවුන් වටා ඉන්න ඇම්බැට්ටයින්ගේ තරම මනාව කියා පාන මේ නාට්‍යය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වාම කිසිම කම්මැලිකමක් නැතිව එක දිගට බලා හිටිය හැකි නාට්‍යයක්... සාමාන්‍යයෙන් මේවා පෙන්නන්න ඕන දේශපාලකයිනුත් ආරාධිත අමුත්තන් හැටියට ගෙන්වලා කරලා එහෙම තමා... එතකොටයි තවත් අගේ වැඩි වෙන්නේ...

හරි රාජ කපුරු ගැන කියනවනං කතාව කෙටියෙන් මෙහෙමයි...

නාට්‍යය පටන් ගන්නේම මහ අවුලකින්.. ඒ කියන්නේ හිටිය රජු ස්වර්ගථ වී ඇති තැනින්... මේක හරි අපූරුවට ගමේ ගොඩේ කයිකාරයෙක් විසින් අපිට කියා හිටිනවා... මේ කයි කාරයා(රවින්ද්‍ර යසස්) තමා නාට්‍යයේ සුසුම්නාව කිව්වොත් හරි... ඒ කියන්නේ කතාව ලස්සනට ඇදගෙන යන්නේ කයිකාරයා නැත්තං කාව්‍යක්කාරයා හරහා...

ඉතිං ස්වර්ගස්ථ රජු වෙනුවට නව රජෙක් උවමනා කලත් රජකමට නියම උරුමය ඇති කෙනෙක් හරියටම නැහැ... මේක ඇවිල්ලා අරාජික තත්වයක්... එහෙම තියෙද්දී හිටිය රජුගේ මහ ඇමතියයි.. පුරෝහිතයි දෙන්නා රජකමට කෙල හලමින් ඉන්නවා.. ඒ අතරෙම හිටිය රජුගේ අවජාතක පුතෙක් යැයි කියන දැනට ඈත ප්‍රත්‍යන්තයක ග්‍රාමභෝජන තනතුරක් හොඹවන හාදයෙකුත් කෙල හලනවා.. ඒ කොහොම උනත් වියවස්ථාවේ හැටියට මේ එක්කෙනෙකුටවත් මේකට පනින්න හැටියක් නැහැ... 

අන්තිමට වියවස්ථාවට අනුව සිදු කරන කිරියා පටිපාටියෙන් මෙයාලට රජෙක් ලැබෙනවා...

හැබැයි පොඩි අවුලක්.. අභිනව රජතුමා පත් උන මොහොතේ ඉදලම කිසිම හා හූවක්.හැල හොල්මනක් නැහැ... ඇත්තනේ ඉතිං කොහොම වෙන්නද..? මේකා පඹයෙක් වෙච්චි කොට... පඹයා රජ වෙච්ච හැටි බලන්නනං ඉතිං නාට්ටිය බලන්නම වෙනවා... මොකද නිකං ජනක් ප්‍රේමලාල් මහත්මයට පාඩු කරවන්නේ...:D

ඉතිං මේ රජතුමාගේ හැලහොල්මනක් නැතිකමට පිලියං හොයන්න මහ ඇමතියි..පුරෝහිතයි බොහෝම වෙහෙසෙනවා.. ඒ රජාට ඇති ආදරේකටද..? නැහැ පින්වතුනි... ඒක වෙනම කේස් එකක්... කොහොම හරි ඒ ගන්නා උත්සයන් සියල්ල හබක් වෙද්දී අවසානයේ තීරණය වෙන්නේ රජාට සෙත් කයි කියන්න.. එහෙමත් නැත්තං ප්‍රශස්ති ගායනයක් මගින් ආශිර්වාද කරවන්න.. එහෙම කරවලාවත් රජා නැගිට්ටවන්න ගන්නා උත්සහයේදී මේ ප්‍රශස්ති ගායනය සඳහා සුදුස්සෙක් නැති කමින් අර පාරක් පාරක් ගානේ කයි කිය කිය ඇවිද්ද අපේ කාව්‍යක්කාරයට පොට පෑදෙනවා රා වාසල නිල කවිකාරයා හැටියට පත්වීම් භාරගන්න... 

එහෙම පත්වීම අරං ආව කයිකාරයට අදාල ප්‍රශස්ති ගායනය නිසි පරිදි කරන්නනං එයට අදාල නර්තනයකුත් උවමනා වෙනවා.. ආන්න එතනදි තමයි රජ වාසල නිල නර්ථන ශිල්පින් සභාවට කැඳවන්නේ.. දැක්ක නේද කලින් වීඩීයෝව... කොහොමද රජ වාසල නර්ථන සැට් එකේ සිල්ප...

ආන්න එහෙම ඒ වැඩෙත් හබක් වෙච්ච හින්දා අවසානයේදී කොහොම හරි රජා නැගිට්ටවගන්න තියෙන උවමනාව හින්දම මහ ඇමතියි..පුරෝහිතයි භාරගන්නවා නර්ථනයේ යෙදෙන්න... අද විතරක් නෙවෙයි පින්වතුනි එදත් එහෙම තමා.. තමුන්ගේ කාරිය කරගන්න උවමනා උනාම ඔය කොයි ඇමතියත් ඕන කස්තිරමක් අල්ලනවා... :D

 ඉතිං අපි බලමු වැඩේ ගොඩද කියලා.. ඒ කිව්වේ කයිකාරයගේ ප්‍රශස්තියත්.. මහ ඇමති හා පුරෝහිතගේ නර්ථනයත් හේතු වෙලා රජා නැගිටීද කියලා...

එහෙමනං මෙන්න බඩු... මුලින් නිකං මොකක්ද වගේ උනාට වැඩේ නැගලා යන හැටි බලන්ට.. ඒ විතරක් නෙවෙයි..මතක ඇතිව අපේ පුරෝහිතගේ රැප් කිරිල්ලත් බලල හිටින්ට...:D

තුන් යම නිදි මරතෙයි.. තෙතෙයි තෙයි... 
රට දැය රැක දෙවතෙයි...තෙතෙයි තෙයි...
රට දැය රැක දෙවතෙයි......
video
වැඩිය නැහැ මෙගා බයිට් 8ක් වගේ තියෙන්නේ

18 June 2013

මාතලංට පවු සිද්ධ වෙන්න.. :D


අපි ඔය සමහර වෙලාවට කතාවට කියනව නෙව

“අනේ ඉතිං අරයට පිං සිද්ධ වෙන්න මගේ වැඩේ කෙරුනා..
“අහවලාට පිං සිද්ධ වෙන්න ඕන ඒ කාරණාවටනං...“


වගේ කියුං.. එහෙම කියන්නේ ඉතිං අපිට මොනවා හරි දෙයක් කරගන්න කවුරු හරි උදව් උනාම තමයි.. කරන කියන කාරණාව යහපත් එකක්නං ඉතිං අපි වැඩේ කරගෙන වැඩේට උදව් උන කෙනාට පිනුත් දීලා තමා නවතින්නේ.. අපි එහෙවු ජාතියක්නේ ආයිබෝං...

ඒ වගේම තමා මොකාක් නමුත් අවාසියක්.. විපත්තියක් වෙන විදිහට කවුරු හරි අපිට දෙයක් කොලාමත් අපි ලෝබ නැතිව කියනවා නෙව

“අරූට පවු සිද්ධ වෙන්න ඕන මේ කොරාපු වැඩේට...“
“ඒකට හෙන හත ගහන්න..මට මේ කොල අපරාදෙට..“

වගේ කියුනුත්... එහෙම විපත්තියක් උන වෙලාවට හත් පොලේ පලි ගහන්නත් අපි බොහෝම දස්සකං ඇති.. සමර්ථකං ඇති ජාතියක්ය කියලා ආයේ මං අමුතුවෙන් නොකිව්වට සාඩම්බර සිරිලාංකීකයෝ විදිහට ඔය හැමෝම දන්නවා නෙව...

ආයේ ඉතිං මේ කියන්න යන කාරණාවත් එහෙවු එකක් තමා... දැන් බලන්න මේ මංතුමා.. කුරා කූඹියෙකුට වරදක් නැති.. ඇල්වතුරත් නිවලා බොන සැදැහැවත් ධාර්මික උපාසක වෙච්චි.. එහෙවු මාවත් විපතට හෙලන විදියේ පවුකාරකං වලට යොමු කොරනවනං.. එහෙම කොල හාදයට මොකක්ද කියන්න වෙන්නේ... “ඒකට පවු සිද්ධ වෙන්න“ කියල නෙවෙයිද හා..?

ආන්න ඒකයි මං මේ උදේ පාන්දරම මාතලං ලොක්කට පිං පුදලා.. අහ් නැහැ වැරදුනා.. පව් පුදලාම කතාව ආරම්භ කොලේ...

ඔයාලට කියන්න මේ ඊයේ පෙරේදා මං අර ප්‍රෙෂර් කුකර් එක ගැන ලියාපු හෑල්ලෙදී.. ඒකට කොමෙන්ටුවක් හැටියට මේ මාතලං යෝධයා ලිව්ව නෙව මෙහෙවු කතාවක්...

“හරක් මස් චිකන් වගේ හැදෙනවා සුටුස් ගාලා.... “

ඔන්න ඔහොම... කිව්වම ඉතිං අර මුලින් කිව්වා වගේ “අපිට මොටද අපි අටසිල් උපාසක.. ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට“ ජාතියේ සැදැහැවත් උපාසකතුමා වෙච්ච මගෙත් සිල් බිඳුනනේ ආයිබෝංලා...

ඕක දැක්කයින් පස්සේ මටත් හිතුනා වෙලාවක හදලා බලන්න ඕන කියලා.. ඒ පාර මං අද නිකමට වගේ ඕක කොරලා බැළුවා.. මුලින්ම මස් ටික ගානට කපලා කොරලා ලුනු ඇඹුල් අතගාලා තියලා එයින් පස්සේ ප්‍රෙෂර්කුකරය ආධාරයෙන් තම්බගෙන එයින් පස්සේ සාමාන්‍ය විදිහට උයා ගත්තා.. අනෙ අම්මපා බොලවු මේකා කියාපු කතාව ඇත්ත නේන්නං.. මං කුකුල් මස්වත් මෙච්චර කාලෙකට මෙහෙම ළපටියට ගිලලා නැතුවා... එහෙවු මෙලෙකයි... යස අපූරුවට තැම්බිලා.. ඒ විතරක් නෙවෙයි හොදට ලුනු ඇඹුල් අල්ලලා... කවදාවත් මං හරක් මස් කෑල්ලක් අතින් මාළු කෑල්ලක් පොඩි කරනවා වගේ පොඩි කරලා කාලා නැහැ.. කාපු අය දන්නවා නෙව ඕක කොහොමත් රබර් වගේ හයියයි කියලා.. ඉදහිට හොදට උයාපු තැනකින් කනකොටනං තරමක් කීරි කීරි ගැලවෙන පදමට ඕක තැම්බිලා තියෙන තැන් අහු වෙලා තියෙනවා උනත් මෙහෙවු මෙලෙකක්නං ආයේ මේ වෙනතාක්කල් මට අහුවෙලා නැහැ...

      

                     
ඉතිං සැරෙන් සැරේට ඕක උයලා පිහලා තිබුනා උනත් අද තමා මංම උයලා කාපු දවසක හොදටම පදම අහු උනේ හරක් මස් කෑල්ලක...

හැබැයි ඉතිං මෙලෙක උනාට මේ මං හරක් මස් කාපු රසම විදිය කියලනං කියන්ට බැහැ... ආයේ බොරු මොටද.. මං මගේ ජීවිතේට කාපු රසම හරක් මස් කෑම කෑවේ දැනට අවුරුදු එකොළහකට විතර කලියෙන්.. ඒ ඔය හොරණ බුලත්සිංහල පැත්තේ රබර් වතු මැදින් කදු මූකලාං මැදින් බඩගාගෙන ගොහින් ගිහිං හම්බ උන කන්දක් උඩ තිබුන පන්සල් කොටේකදී... එදා රෑ අහල දෙමළ ගෙදරකින් උයා එවාලා තිබුන මස් හට්ටිය තමා ඒ අමතක නොවන මස් හට්ටිය... හනෙ හම්මේ එහෙවු රහක්... එයින් පස්සේ හම්බ උන හොදම කෑම තමා අද කෑවේ ඕං...

හා හා ඔය කතා මොටද දැන්... කියන්න ආවේ වෙන කතාවක් නෙව...

ඉතිං මං මේ කියන්න ගියේ මේ දැහැමින් හෙමින් ජීවත් වෙන මයේ ඒ දැහැමිකොම බිඳ හෙලලා මාව මේ වගේ දේවල්වලට යොමු කොලාට ඔය මාතලං ගොයියට පවු සිද්ධ වෙන්න ඕන නැද්ද හැබෑට...

බොරුනං අපේ හැළප කඩේ හැළපයියගෙන් අහන්ටලා... උන්දෑ උනත් සාක්කි දෙයි මයෙ පැත්තට..මොකද උන්දලා උනත් මස් කඩේට ගිහින් මරන්න ඕන කුකුළා පෙන්නුවට පස්සේ එතැනින් මාරු වෙලා යනවා නෙව.. මොකද එතකොට අර කුකුළා මරන පව එන්නේ නැති හින්දා... ඒ තියරියම මේකට දාලා ගත්තම ඉතිං මේ මං කොරගත්ත පවට පලි ඔය මාතලං ගොයියා මිසක් මේ අසරණ අහිංසක මංනං නෙවෙයි ඕං... 

-------------------------

පසු සටහන...
අන්තර්ජාලය.. මූණුපොත.. හා බ්ලොග්කරණය.. තුළින් ලෝක සාමය හා සදාචාරය උදාකරවන්නට අපරිමිත වෙහෙසක් හා මන්සියක් දරන උපාසක ඇත්තන් මේ ලිපිය ගැන නොකිපෙත්වා...

මදෑ කොලා...

ජීබී තුනකි ඇත්තේ මුළු මාසයට..
එයින් එකක් කෙලවා ගති මම යසට..
බැළු නමුත් මුල සිට තරගය හොදට..
අහෝ වූ විපත පැරදුනි එය ජයට...

තුනෙන් එකක් නැති කර ගත් පාපයට..
දෙකෙන් දුවන්ට වෙනවා දැන් මෙමට..
------------------
හුටා හුටා මේ දැන් දිනුවා මේක..
පරදී කියා ලිවු කවියට උනා කෙල..

පලි...
පැරදුනා තමා කියලා හිතලා මේක ලියං යද්දි එක පාරට දිනුව නෙව.. මදෑ මට වෙන කෙලි.. :D


17 June 2013

රජාට ප්‍රශස්තියක් අංක... 1 (රාජ කපුරු)

video

ආයේ ඉතිං අම්මා මෝ නැතිව අහගන්න එහෙම හදනවා නෙවෙයි... රටේ රජ්ජුරුවන්ට ප්‍රශස්තියක් කියන්නේ ඉතින් උන්වහන්සේට සෙතක් සාන්තියක් වෙලා.. චිර ජීවනය ආයු සම්පත්තිය දියුණු පමුණු වෙලා... රට වැසියන්ට සෙත සලසමින් යෙහෙන් වැජඹෙන්ට කියලා නෙව... ඒත් ඉතිං සමහර උදවිය ප්‍රශස්ති කියන්නේ තමුන්ට වාසියක් ගන්ටම තමා... මෙතනත් වෙන්නේ එහෙම සීන් කෝන් එකක්.. බලමු වැඩේ තේරුං ගතෑකිද කියලා... බැරිව ගියොත් මං පස්සෙන් පහු කියඤ්ඤං මොකක්ද හරියටම උනේ කියලා.. එහෙමනං අපි රජාට ප්‍රශස්තියක් කියන්න ට්‍රයි කරලා බලමු... :D

16 June 2013

මේකත් ඇවිල්ලා පොලිස් කේස් එකක් හරිනං...

video

මේ සීන් එක ඊයේ හවස තමා දැක්කේ.. හරිනං පොලිසියේ පැමිණිල්ලක් දාලා මේක කරපු කෙනාව උසාවි දාන්න වටිනවා... සීන් එක දැකපු උදවිය බොහෝමයක් හිටියා උනත් එකෙක්වත් සාක්කි දෙයිද කියලනං මං දන්නේ නැහැ... ඒ කොහොම උනත් මං හිමිහිට මේක වීඩියෝ කරගත්තා අහල පහල උදවියටත් නොතේරෙන්නම... පොඩ්ඩක් අපැහැදිලි උනත් බලන්න වටින සීන් එක...

15 June 2013

මට මං ගැනම කේන්තියක් ආවා...

එතකොට මට වයස අවුරුදු දොළහකට ආසන්නයි මයෙ හිතේ... ඉස්කෝලේ හයේ නැත්තං හතේ වගේ...  සුදු කොට කලිසං ගහන කාලේ... කඩවත ස්පාක්ලිට් එක ගාව තමා බස් හෝල්ට් එක තිබුනේ... මම ඉන්නවා බස් එකක් එනකල් ඉස්කෝල ඇදුමෙන්..පොත් බෑග් එකත් එක උරේක එල්ලෙනවා... ටික වෙලාවක් යද්දි මට පේනවා මට ටිකක් එහායින් තිබුන කඩල කරත්තේ පැත්තකින් ඉන්න අංකල් කාරයෙක් මා දිහා බලං ඉන්නවා... පෙනුම ටිකක් විතර සැමුවෙල් රොද්‍රිගු වගේ... කෙසඟ හාදයා..දුඹරු පාට හම ගිය දිග කලිසමක් ඇදලා..ඉරි ඉරි කමිසයක්.. කමිසය කලිසමට යට කරලා ටිකක් හම ගිය පාට තිබුනා උනත් පිලිවෙලකට ඉන්න පුරුදු උන ගතියක් තිබුනා...

මං මනුස්සයා මා දිහා බලං ඉන්නවා කියලා දැක්කම මෑන් මං දිහාට එන්න ගත්තා... මට ඒකේ වගක් ඒ හැටි තිබුනේ නැහැ... මනුස්සයා හිමිහිට මං ලගට ඇවිත් කතාව පටන් ගත්තා...

“පුතා පොඩ්ඩක් කතා කලාට කමක් නැද්ද..?“

ටිකක් විතර මං බය උනා කිව්වොත් ඒක හරි..නාදුනන මනුස්සයෙක්... පොඩි කාලේ ඉදලා කනට වැටෙන්නේ අදුරන්නේ නැති අය එක්ක බජනෙට යන්න එපා කියලා.. ඒත් මට කරන්න දෙයක් නැහැනේ... බය උන වග නොපෙන්නා හිතට හයිය අරං...

“කමක් නැහැ අංකල් මොකද..?“

“නැහැ පුතා මං ලොකු කරදරේක වැටිලා ඉන්නේ.. මං මේ දුවගේ ගෙදර යන ගමන්.. බස් එකේ එද්දී මගේ පොකට් එකට ගහලා... දැන් යන්න සල්ලි නැහැ.. පුතා ගාව තියෙනවනං මට රුපියල් දහයක් දෙන්න.. දුව ඉන්නේ පරකන්දෙනියේ.. මට එහෙට යා ගත්තොත් ප්‍රශ්නයක් නැහැ“

රුපියල් දහයක්... අද වෙද්දිනං රුපියල් දහයක් කියන්නේ මොකක්ද..? ඒත් මේ මං කියන්නේ එක්දහස් නවසිය අනූවේ අනූ එකේ වගේ කතාවක්... මාළු පාන් එක රුපියල් දෙකයි පණහයි.. රෝල්ස් එක දෙකයි.. ප්ලේන්ටිය රුපියලයි... කැන්ටිමෙන් මට උදේට කන්න යන්නෙත් රුපියල් පහයි පණහයි... මේක ඒ කාලේ හැටියට මට ලොකු ගානක්... එහෙං මෙහෙං ඉතිරි කරගත්ත සල්ලි වලින් කොහොමත් අතේ රුපියල් විස්සක් විසි පහක් වැඩි පුර තියෙනවා උනත්...

ඒත් මොනවා කරන්නද..? අපේ තාත්තාගේ වයසේ මනුස්සයා... අසරණ වෙලානේ... තාත්තට මේක උනොත් කවුරු හරි උදව් කරන්න එපෑ.. මං පිටිපස්සේ සාක්කුවේ තිබුන පර්ස් එක දිග ඇරලා රුපියල් දහයක් මනුස්සයා අතේ තිබ්බා... 

“බොහොම ලොකු උදව්වක් පුතා...“

මනුස්සයා අඩියට දෙකට එතැනින් මාරු උනා...

එයින් දවස් දෙක තුනකට පස්සේ මං දළුගමින් බැස්සා පුස්තකාලෙට යන්න... ඒක තිබුනේ කන්ට්‍රාස් හෝල් එකට ටිකක් මෙහායින්..උඩ තට්ටුවක..ගෙවලා බැදෙන්න පුළුවන් එකක්..මගේ ඊරියවැටියේ හිටිය මිත්‍රයා..“දන්තනාරායනයා“  තමා ඒකට මට උදව් කලේ... පුස්ථකාලේ උඩ තට්ටුවේ ඉදලා පොත් තෝරන ගමන් මට පහල පාරෙන් එහා පැත්තේ මාළු ලෑල්ල ගාව බස් හෝල්ට් එකේ අඳුරන මූණක් පේනවා... මං බලං හිටියා...

අර අංකල්... ජැන්ඩියට ඇදගත්ත කොල්ලෙක් ගාවට කිට්ටු වෙලා මොන මොනවදෝ දොඩවනවා... ටික වෙලාවකින් කොල්ලා පර්ස් එක ඇදලා මුදල් නෝට්ටුවක් දෙනවා.. අංකල් මාරු...

අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි හොරෙකුට දුන්නා නේද කියලා... මට මං ගැනම කේන්තියක් ආවා... 

------------------------------------

බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එක ගාව... වෙලාව තුනට විතර ඇති.. අද තුනයි තිහටයි හයයි හතළිස් පහටයි සිංහබාහු පෙන්නනවා... මං කාලෙක ඉදන් බලන්න හිතං හිටිය නාට්‍යයක්... ඒත් කලින් ටිකට් ගන්න බැරි උනා.. ඉක්මනට බයික් එක පාර අයිනේ ඉඩක් තියෙන තැනකින් නවත්තලා හෙල්මට් එක අතට අරං තියටර් එකට යන්න හැරුනා විතරයි... කවුදෝ වයසක ගෑණු කෙනෙක් මට කතා කලා බයිසිකලේ ගාවට වෙලා..මං හැරුනා... මෙතන පාකින් කඩන්නේ නැති වග මං දන්නවා..මෙයා මොකද එතකොට..? මං ගියා ළගට...

“ඇයි..?“

“නාට්ටිය බලන්න සල්ලි මදි..“

අතේ ගුලි කරං ඉන්න රුපියල් සීයේ කොල තුන හතරක් පෙන්නන ගමන් ගෑණු කෙනා මට කියනවා... තත්පර දෙකක් විතර ගියා.. මං බැළුවා ගෑණු කෙනා දිහා... රෙද්ද හැට්ට අදින අම්මා කෙනෙක්... වයස හැටක් හැත්තෑවක් විතර අතර වෙන්න ඇති...

“හුහ් අළුත් හිඟමන් සිස්ටම් එකක්.. මෙයා මොන නාට්‍ය බැළිල්ලක්ද..?“ මගේ හිත මට කිව්වා... පරක්කු වෙලා තියෙන හින්දා බනින්න හිතට ආව දේවල් පැත්තකින් තියලා මං ආයේ තත්පරයක්වත් එතැන නොයිද හැරුනා..මං ගියා කෙලින්ම තියටර් එක ඇතුලට... වෙලාවට පන්සීයේ..හත්සිය පණහේ.. ටිකට් ඉවර වෙලා උනත් දාහේ ඒවා තිබුනා ඉතිරි වෙලා... ඉක්මනට එකක් අරං ගිහිං වාඩි උනා මට අයිති සීට් එකෙන්...

නාට්‍යය පටන් ගන්න විනාඩි දෙකක් තුනක් තියලා එක පාරටම මං ගාවින් ඉස්සරහට යනවා අර ගෑණු මනුස්සයා... අමාරුවෙන් ඇවිදන් ගිහින් කොනේම සීට් එහෙක වාඩි වෙනවා...

“හත් දෙයියනේ මේ මනුස්සයා ඇත්ත නේද කියලා තියෙන්නේ..? නොදකින් විතරක් මම..“  

මට මං ගැනම කේන්තියක් ආවා...
-------------------------------------------

ප්‍රෙෂර් එකත් නරකම නැහැ...

ප්‍රෙෂර් කිව්වම ඉතිං සමහර කස්ටිය බය වෙනවත් එක්කලා ඒත් ඉතිං මේ කියන්නේ එහෙම බය වෙන්ට කාරණාවක් නෙවෙයි... ඇත්තටම කිව්වොත් මේ ප්‍රෙෂර් එක හරි ආතල් වැඩක්... හැබැයි ඉතිං වැරදුනොත් මේකෙත් නරක පැති තියේ.. ඒත් ඉතිං වරද්ද ගන්නේ නැතිව මේ ප්‍රෙෂර් එකෙන් වැඩ කලාම එහෙම බය වෙන්ට කාරණාවක් නැහැ.


කස්ටිය ඉතිං දන්නවා නෙව... මං ඇවිල්ලා අඩු වියදං බුවා කියලා... අර පිරිමැස්මට තමා වැඩ... ඒ හින්දා හැකි සෑම විටම සරල.. කාර්යක්ෂම දේට කැමතියි... මේකත් මේ එහෙම වැඩක්... හැබැයි ඉතිං මේ වෙද්දිත් අපේ කාන්තා පාරුසවේ උදවියනං මේ ප්‍රෙෂර් එකෙන් වැඩ ගන්නවා ඇති... හරි හරි ඉතිං කාන්තාවෝ මොකෙන්ද වැඩ නොගත්තේ.. කතාවටත් කියන්නේ ගෙදරට හාමුදුරු කෙනෙක් ආවත් උන්නාන්සෙලාගෙනුත් වැඩක් ගන්න බලනවා කියලනේ... සමහර කාන්තාවෝ හිටියයි කියනවනේ මෙයාලා ඔය ඉස්සර කාලේ පෙනේ පිප්පුවේ නැතොත් නයාගෙන් දර මිටිය බැදන් යන්න බලන ජාතියේ...  මං දන්න සමහර කාන්තාවොත් හිටියා ආයිබෝං ගෙදරට ආවොත් ගැරඩියාව උනත් රවුං කරලා අරං වළං තියන දරණුවක් හදාගන්න ජාතියේ... ඕං ඔහොමයි එයාලගේ වැඩ.. හා හා යන්නේ කොහේද මල්ලේ මොනවද වේගන එන්නේ...

ඉතිං ඇත්ත වසයෙන්ම මං මේ කියන්න ගියේ ප්‍රෙෂර් කුකර් ගැන නෙව...

මං ඉතිං ඉස්සරම ඔය ප්‍රෙෂර් කුකර් දැක්කේ ටැලිවිසොං එකේ දැන්වීම් වලින් තමා... ලොකු ඇළුමීනියම් පාට භාජනේකට තවත් පොඩි පොඩි භාජන කිහිපයක්ම බස්සලා පියන වහලා ලිපේ තියනකොට චූස්....... ගාලා සද්දෙකුත් එක්ක වාස්ප පිටවෙනවා පෙන්නලා එයින් පස්සේ අර ඇතුලට බස්සාපු බාජන ටික අරං පෙන්නනවා..හම්මේ බලන්ට වටින දරුසනේ... ඒවායේ දාලා තියෙන බත්..වෑංජන බොහෝම ලස්සනට දුං දදා තියෙනවා...

එහෙම ඉතිං ඇඩ් වලින් දැක්කට මොකෝ මෑතක් වෙනකල්ම මං ඔය ප්‍රෙෂර් කුකර් ගන මෙලෝ හසරක් දැනං හිටියේ නැහැ... ඒත් මේ අළුත් නවාතැනට ආවයින් පස්සේ මෙහෙ තිබුනා නෙව ඔයින් එකක්... හැබැයි ඉතිං ඒ හැටි වැඩ ගත්ත පාටක් පේන්න තිබුනේ නැහැ... ඔය තියෙන පින්තූරේ වගේ බොහෝම පොඩි පහේ එකක් තමා ඉතිං තිබුනේ...

ඒත් ඉතිං ඕක තිබුනට ඔය නොදන්න සිල්පෙට ගොහින් වරිගේ නහගන්නේ මොටද කියලා හිතලා මං නෙවෙයි ඕකෙන් වැඩ ගන්ට ගියේ... ඒත් එහොම ඉද්දී තමා දවසක්දා මට මේ බොලොගයක් අස්සේම කියවන්ට ලැබුනේ ප්‍රෙෂර් කුකර් එකෙන් පොලොස් තම්බලා උයන කතාවක්.. කතාව කිව්වේ කාගේ හරි බ්ලොග් එහෙක කොමෙන්ටුවක් හැටියට ඊමේල් කවිකාරි අක්කා තමයි... එදා තමයි මටත් හිත ගියේ මේකෙන් වැඩක් ගන්ට ඕන නේද කියලා... එහෙම හිතලා ඒකෙන් වැඩ ගන්නා හැටි දන්න කියන කෙනෙකුගෙන් අහගෙන කොරගෙන වැඩේට අත ගැහුවා...

හප්පට සිරි මේක සෝක් බාන්ඩයක් නෙව... අපි පැය ගණන් තම්බන කොරන බොහෝමයක් දේවල් මේකෙන් එයිට වඩා බොහෝම අඩු කාලයකදී නියමෙට කොර ගතෑකි... ඒ වගේම තම්බන දේ මොනවා උනත් ඒකේ පෙනුම..තත්වය අපි නිකං වතුර හැලියේ දාලා තම්බනවට වඩා බොහෝම හොදට ආරස්සා වෙන හැටියට තම්බා ගන්නත් මේක රජ භාණ්ඩේ...

කඩල..මුං ඇට වගේ දේවල් වගේම අල..බතල වගේ දේටත් යහපති... මයියොක්කා තැම්බිල්ලටනං (නිකං කින්ඩියට හිනා වෙන්ට එපා...මඤ්ඥොක්කා කියලා ලියන්ට මං දන්නවා හරිද ඩෝව්.. මෙහෙම ලියන්නේ මගේ කට වහර හුරු මයියොක්කා කියලා හින්දයි..ඈ..) මං මේක පාවිච්චි කොරන්න ගියේ නැහැ.. මොකද මයියොක්කා තැම්බිල්ල පියන විවෘත කරාපු එහෙක කරන්නට ඕනෑ කියලා මතයක් තියෙන හින්දා... අනිත් ඕනෑ දේකට මේක ඔට්ටුයි...

මේකෙන් වැඩ ගැනිල්ල මට කොයි තරං හුරු උනාද කිව්වොත් දැන් මං නිතරම බත් උයන්නේ මේකේ ආධාරයෙන්... බත් ටික නිකං මුතු ඇට වගේ අයා ගතෑකි... බෙරි වෙන්නේ අනං මනං නැතිව... එතැනින් ගියාම හුගක් වෙලා තම්බලා උයන්න වෙන ජාති.. ඒ කිව්වේ මේ පොලොස්.. වස්ටක්කා.. වගේම මුරුංගා ඉවිල්ලත් මං මේකේ ආධාරයෙන් කරන්න හුරු උනා... හැබැයි මුලින්ම වංගියේ මං ඇල් වතුරෙන් තම්බලා අරං උයලා රහේ පොඩි මදි මදි ගතියක් දැනුන හින්දා පස්සේ මං යන්තමට දිය කිරට ලුනු කලවං කොරලා ඒ දියරෙන් තම්බගෙන... ඉතිරි වෙන දියරයත් හොද්දට මුහු කොරලා අරං නියම රසේ ගන්ටත් සමත් උනා... මොකද ඔය මුරුංගා වල එහෙම රසේ ඒවා තැම්බෙද්දී ඒ තම්බන වතුරට මුහු වෙනවා.. ඉතිං අපි තම්බාපු වතුර ටික නැතිව හොද්දට ඒවා දාගත්තොත් අර නියම රසේ නැතිව යනවා... ඒ ටික අල්ල ගත්තට පස්සේ දැන්නං ඉතිං මේක සෑහෙන වැඩ ගත හැකි මෙවලමක් තමා ඕං... වංගියක් මං කිරි කොස් හදන්ටත් මේකෙන් මුලින්ම කොස් ටික තම්බාගෙන හිටියා.. ආයේ ඉතිං කිසිම අවුලක් නැහැ...

ගෑස් ගණං වගේම කාලය බොහෝම වටිනා දෙයක් වෙලා තියෙන මේ වගේ කාලෙක ප්‍රෙෂර් කුකර් භාවිතය ගෙදර දොරේ ආර්ථිකයට බොහෝම හොද උදව්වක් වෙනවා වගේම කාලය ඉතිරි කර ගැනීම හරහා සෑහෙන ඵලදායීතාවයක් ඇති කරවන දෙයක් හැටියටත් හඳුන්වන්න ඇහැකි. කොටින්ම වෙනදට මට බතකුයි මාළු තුනකුයි හදාගන්න යන වෙලාවෙන් දැන් යන්නේ තුනෙන් දෙකක වෙලාවක් විතරයි... ඒ වගේම වෙනදට වඩා පොඩි ගෑස් (කිලෝ 5හේ)ටැංකියෙන් දවස් දහයක් විතර උයන්නත් ඇහැකි...  එහෙම බැළුවම මේක සෑහෙන වාසිදායක ආතල් භාණ්ඩයක් නෙවෙයිද හා..?

එකම දේ මේක පාවිච්චි කරද්දී සිහි කල්පනාවෙන් පාවිච්චි කොරන එක විතරයි... නියමිත ආකාරයට පියන වැසී ඇද්දයි බැලීම.. ප්‍රෙෂර් කන්ට්‍රොල් ගැජට් එක නියමිත පරිදි සවි කර ඇද්දැයි බැලීම... වාෂ්පය පිට වෙන්න ආසන්න වෙද්දී එම වාෂ්පය නොවදින තරමේ දුරක් භාජනය හා තමා අතර පවත්වා ගැනීම.. උපකරණය හානි වී ඇද්දයි නිතර සොයා බලා කටයුතු කිරීම වගේ දේවල් හරි වැදගත්.. ඒ ඇරුනම ඉතිං මේකෙන් තියෙන වාසිය නං අනන්තයි අප්පරමාණයි ඕං...

මං මේ ටික කිව්වේ මේ දැනටත් මේවා පාවිච්චි කොරන අයට නෙවෙයි... තාමත් මේකට යොමු වෙලා නැති උදවියට... එහෙම අය නැති වෙන්ට බැහැ..මොකද මාත් මෙච්චර කාලයක් උයලා මේ මෑතකදී තමා මේකට හුරු උනේ.. එහෙවු එකේ තවත් ඕන තරං අය හිටීවි තාම මේ ගැන කල්පනාවක් නැති... ආන්න ඒයට අතරින් එකම එක්කෙනෙකුට හරි මේක වැදගත් උනානං ඒ මදෑ... ඒ වගේම තාම මං දන්නෙත් නැති මේ සම්බන්ධ කාරණා ඒ ගැන දැනුවත් උදවිය විසින් ලබා දෙනවනං ඒක මටත් තව බොහෝමයක් අයටත් පොරයෝජනවත් වේවි...

රාජසිංහ සොහොන...

හරි මේ කියන්න යන්නේ මංතුමා වෙසක් දවසේ දන්සැල් වන්දනාවේ යන ගමන්ම බලා කියාගෙන ආව සීතාවක රාජධානියේ නටඹුන් ඉස්තාන අතරින් අවසාන පොට් එක ගැනයි... ඒ කිව්වේ සීතාවක රාජධානියේ මේන් කැරැක්ටර් එක වෙච්චි සීතාවක රාජසිංහ..එහෙම නැතිනං ටිකිරි කුමාරයගේ සොහොන පිහිටා තියෙන ස්ථානය ගැනයි...

මේක පිහිටලා තියෙන්නෙත් අවිස්සාවේල්ල නගරයට කිලෝ මීටර් හතරක් දුරින්.. යන්න තියෙන්නේ අවිස්සාවේල්ලෙන් හැටන් පාරට දාලා... කිලෝ මීටර් දෙකක් ගිය තැන හම්බු වෙන තුන්මන් හන්දියෙන් වමට හරෝලා තමයි.. ඒ හන්දිය ගාව තමා තල්දූව පොල එහෙම පිහිටලා තියෙන්නේ... එතැනින්  වමට හැරුනම ඒ පාර යන්නේ ගුරුගල්ලට... ඒ පාරේ හරියටම කිලෝ මීටර් දෙකක් ගිය තැන මේ ඉස්තානේ හම්බු වෙනවා...  

මෙන්න මාර්ගය ගැන ගූගල් මාමගේ සිතියමට ලින්කුව...  

මෙන්න පින්තූරේ...

මෙන්න අදාළ තැන පින්තූර...








 බොහෝම නිස්කලංක තැනක පාඩුවේ උන්නාන්සේ වැඩ හිටිනවා...

එහෙමනං ඔන්න ඒ මාර චාරිකාවත් අවසානයි... ආයේ ළගකදී යන්න හිතං ඉන්න පැතිනං බොහෝමයි... තාම මට මාතලේ පැත්තට අත තියන්න බැරි උනා නෙව... ඒ වගේම හිනිදුම පැත්තට යන්ටත් ආසාවක් තියේ... අපි බලමු...

අද නිවාඩු...

හෙනහුරාදා කියන්නේ ඉතිං මං උයන පිහින වැඩ පුරුදු පුහුණු වෙන්ට යන දවසක් නෙව... ඒත් ඉතිං අද හිටි ගමන් නිවාඩුවක් අහු උනා... ඊයේ හවස්වරුවේ අපේ හෝටල් පාසලේ ෂුධු නංගි කතා කොරලා කිව්වා නෙව අද නිවාඩුය... කියලා... ඒ කිව්ව හැටියටනං ඉතිං මට තේරුනේ අපේ සෑර්ට මොනවා හරි පුරස්නයක් වෙන්ට ඕන කියලා... හරියටම මොකක්ද හේතු කාරණාව කියලනං අහ ගන්ට වෙන්නේ ආයේ ඊ ළග දවසේ ගියාම තමා... ෂුවර් එකට බඩු වැඩිවෙලා මොකක් හරි අවුලක් වෙන්ට ඇති... :D

අපරාදේ කියන්ට බැහැ අපේ උපදේසකතුමා හෙන ජොලි ගුඩ් බුවා... ඕන එහෙකට හිනා වෙච්ච ගමන්ම තමා... ඕනෑ හරුපයක් කියන්ටත් ඇහැකි... ටිකක් මැදි වයස පන්නගෙන යනවා උනාට මොකෝ කොල්ලා වගේ තමා කියුං කෙරුං... අවුරුදු ගානක් රජයේ හෝටල් පාසලක ඉගෙනගෙන ගන්න තියෙන අරවා මේවා උපාධි එහෙම අරගෙන එයින් පස්සේ තරුණ කාලේ රට රටවල් බොහෝමයක ඇවිදලා කොරලා ලෝකේ පුරා බෝහේමයක් තරු හෝටල්වල වැඩ කොරලා අත්දැකීම් රාසියක් අරං ඉන්න උන්නැහේ ගාව කිසිම ලොකු කොමක් එහෙම නැහැ... අපේ පුහුණුවට අදාල නැති උනත් මොනවා හරි දේශනයක් යද්දී අතරින් පතර ඒ හා සම්බන්ධ වෙනත් පාඨමාලාවල තොරතුරු එහෙම මහන්සි නොබලා කියා දෙන උන්දෑ... විහිළු තහළු එහෙම යහමින් දන්න හාදයා... හැමදාම හවහට හවහට මදි නොකියන්න දාන බවත් පේනවා... ඒකයි කිව්වේ ෂුවර් එකට බඩු වැඩි වෙලා වෙච්ච හදියක් වෙන්ට ඇති කියලා... 

අපේ තාත්තා තුමා කුස්සියේ රජ්ජුරුවෝ වගේ උයන පිහන දිහා බලන් හිටලා.. ඒ උයාපුවා කොටා බාලා.. එයින් පස්සේ යන්තමට කුස්සියට ඉද හිට පැනලා බඩගින්නට මොනවා හරි රත් කොරං කාලා.. පස්සෙන් පහු උයන පිහන එක ගැන ටිකක් ආසා හිතිලා..අන්තිමට පන්සල් ජීවිතේ පටන් ගත්තැයින් පස්සේ තනියම උයන පිහන එක ටිකක් විතර කොරන්න අරං... එයිනුත් කාලෙකට පස්සේ පන්සලෙන් ගියාට පස්සේ ආරම්භ කොරාපු බෝඩිං ජිවිතය තුලදී උයා පිහා ගන්න එක දවසේ අනිවාර්ය රාජකාරියක් වීම හරහාම උයන පිහන වැඩ ටිකෙන් ටික හුරු වෙච්ච මට දැන් ඉතිං ගමේ ගොඩේ අපේ තාලෙට තාත්තා උයා පිහාපු දේවල් වලට අමතරව සුද්දන්ට කෑම හදන හැටි ඉගෙන ගන්නත් වෙලා තියෙන්නේ... 

මේකත් හරි ආතල් වැඩේ...  උයනවා කිව්වට මේකේ එක එක අංස බර ගානක් තියෙනවා වගේම ඔය ඔක්කෝම ඉගෙන ගන්නනං දෙතුන් විඩයක් මැරිලා උපදින්නත් වෙනවා.. ඒ තරමට දේවල් තියේ ඉගෙන ගන්න.. ඒ හින්දා අපිට කොරන්න වෙලා තියෙන්නේ මොනවා හරි අංසයක් තෝරගෙන ඒ පැත්තෙන් ටික ටික දියුණු වෙවී ඉස්සරහට යන්න තමා... මටනං තාම මොකක් තෝර ගන්නවද කියලා හරියටම අදහසක් නැහැ.. දැනට මේ මූලික පාඨමාලාවෙන් පස්සේ කල්පනා කොරලා බලන්න ඕන මොකක්ද කොරන්න ඕන කියලා.. මොකක් කොලත් පිටි එක්ක හැප්පෙන වැඩේනං බැහැ... කලින් බේකරි පැත්තට පොඩි තල්ලුවක් තිබුනා උනත් ඊයේ පෙරේදා තමා දැන ගත්තේ බේකරි කෝස් කියන්නේ සදා නයිට් කතන්දරයක් කියලා... ඇත්ත නේන්නං පාන් පිටි වලින් හදන කෑම වැඩි හරියක් යන්නේ උදේට නෙව... උදේට ඒවා දෙන්න නං හදන්න වෙන්නේ රෑටනේ... මදෑ කාලයක් සිකුරිටි ජීවිතේ ගෙව ගෙව දවසක් ඇර දවසක් නිදි මර මර හිටියා... ඒක අතෑරලා ඇවිදින් ආයේ දවස ගානේ නිදි මරහන්කෝ වැඩ නැතිවට... :D

 ඒ හින්දා ඒ බේකරි කතාවෙන් වැඩක් නැහැ.. අනික මං වැඩියමත්ම කැමති පිහියෙන් කපන කොටන අංස වලට තමා... හැඩ තිය තිය එලෝලු කැපිල්ල හරි ආතල් වැඩේ... ඒ හින්දා ඒ ළගින් යන අංසයක් හොයලා පනින්න ඕන...

කොහොමින් කොහොම හරි අද හම්බ උන මේ අනපේක්ෂිත නිවාඩුව හොඳින්ම ගත කොරන්න හිතා ගත්ත මං තුමා පරණ පුරුදු විදියටම දවස ආරම්භ කොරන්න මේ බොලොග් කටුව කොටන්න පටන් ගත්තා ඕං... මොනවා උනත් උදේ හවහා වැටිලා හිටිය තැන නෙව මේක.. දැන් පාළුවට ගෙහුන් තිබුනා උනත්... හම්බ වෙච්ච නිවාඩුවේ උපරිම නිවාඩු ගැනීම අරමුණ වෙච්ච හින්දා අද වැඩි ඉවිලි වලට නොගිහින් උදේම බයියං ටිකක් උයලා පොල් සම්බෝලයක් හදාගෙන කොටා බෑවා... ඉතිරි බයියං ටිකටයි සම්බෝල ටිකටයි දවල්ට වග කියනවා.. ඕනෑනං තව ඔය බිත්තරයක් බැද ගන්න බැරියෑ... ඒ ඇති... හවස් අතේ නාට්ටියක් බලන්න යන්නත් හිතේ තියෙනවා... කලියෙන් නාට්ටියේ දැන්වීම් දැකලා තිබුනා උනත් පන්ති දවසක් හින්දා වැඩිය හොයන්න ගියේ නැහැ... බලන්න වෙන්නේ නැති හින්දා.. ඒත් මේ අහම්බෙන් කඩා පාත් වෙච්ච මරාලේ හින්දා දැන් යන්ට ඇහැකි.. ඒත් ඉතිං ටිකට් තියෙයිද දන්නේ දෙයියෝ තමා... ආ සමරහ විට හෝල් එකේ ටිකැට් කවුන්ටරේ ඉන්න හාදයත් දන්නවා ඇති තමා.. බලං ගියාම දෙයියෝ දන්න සමහර දේවල් දන්න අපේ උනුත් ඉන්නවා නෙව... :D

 කොහොම උනත් හවස් අතේ ගෙහුන් බලනවා ටිකැට් තිබුනොත් බැළුවා..නැත්තං ආපහු ආවා... මයි බයික් මයි පැස්ටෝල් කියලා.. හා නැද්ද...?

නිවාඩුවක් උනාම ඒක හොඳට ගත කොරන්න ඕන... බලමු අද කොහොමද තත්තේ කියලා...