28 August 2013

චූටි රාළහාමිගේ දානේ වැළදීම...

“හයියෝ යෝ යෝ... මොකක්ද හාමුදුරුවනේ අර කලේ...හාමුදුරුවෝ මාව කෑවනේ.. අහ් නැහැ වැළදුවනේ... දැන් ඉතිං ගෙදර වසලා හමාරයිනේ... ගෙදරනං කමක් නැහැ මාමලගේ ගෙදර ගිහිනුත් හමාරයි..විලිලැජ්ජා හතයි තව ටිකයි...“

--------------------
ලොකු රාළහාමි කියන්නේ මට හිටිය බොහෝම හොද දායක මහත්තයෙක්.. උන්නැහේගේ බාරියාව වගේම පුතණ්ඩියත් බොහෝම හොඳ දායක ඇත්තෝ... පන්සලේ කෙරෙන කොයියම්ම කටයුත්තකදී උනත් මුල්ම හරියෙන් අත ගහලා කොරන්න ඇහැකි උපරිමෙන්ම වැඩට පලට සහය දක්වනවා වගේම බොහෝමයක් දායකයෝ වගේ පන්සලේ ඇද කුද හොයන්න වැරදිලාවත් ඉදිරිපත් නොවන ඈයෝ වීම හින්ද විතරක් නෙවෙයි.. ලොකු රාළහාමිගේ එකම පුත්තර රත්නය වෙච්ච චූටි රාළහාමි සහෝදරයෙකුට වඩා ලෙංගතු කොමින් මාත් එක්ක කටයුතු කොල හින්දාත්.. පිස්සු නට නට හිටිය කොලුවාව පන්සල අවටම රැදෙන විදියට හිතවත්කම තියං හිටිය හින්දත් ඒ මහ ජෝඩුව මට උනත් සැලකුවේ තමන්ගේම පුත්තරයෙක් හැටියට සලකලා තමයි ඕං...

ලොකු රාළහාමි වැඩිය කතාවට බහට යන කෙනෙක් නෙවෙයි කා එක්කලා උනත්... ඒ අහල පහළින් යන එන කොට ගෙදරට ගොඩ උනත් ඉක්මනට ආසන පනෝලා පැත්තකට වෙලා හිටගෙන ඉදලා ගෙදර උන්දලා කරන කියන වැඩ කටයුතු අහවර උනාට පස්සේ “මොනවා හරි යමක් කෙරෙන්න එහෙම තියේනං කොලුවා අත කියලා එවන්න හාමුදුරුවනේ“ කියනවා ඇර ආයේ කට ඇරියොත් අරින්නේ කොලුවට බයින කියන දේකට විතරක්ම තමා... ඌට ඉතිං නොබැනත් බැහැ... 

සල්ලිය බාගේ තියෙන දෙමාපියන්ගේ එකම දරුවා වෙච්චි කොට... නෑදෑ වරිගේ පවුල් හත අටකටම හිටිය එකම පිරිමි දරුවා වෙච්චි කොට චූටි රාළහාමි හැදිලා තිබුනේ බොහෝම හුරතලේට තමා... ඒ හින්දම කොරන පිස්සු වැඩවල කෙලවරක් මේකගේ තිබුනේ නැහැ... විසේසයෙන්ම සල්ලිය බාගේ අතට දුන්නොත් ඒවට කොරන දෙයක් හොයාගන්න බැරි තාලේ හාදයා... ලස්සයක් දුන්නත් පහුවදාට ඒක අහවර කරං ඇවිත් හිටී... පස්සෙන් පහු තමා ඉතිං දැන ගත්තේ ගෑණු ලමයි මේකාව හාවා කරං කනවා බොනවා කියන කාරනේ... වයස අවුරුදු විස්සක් විතර වයසේ හිටිය කොලුවෙක් උනාම ඉතිං ඔය පිස්සු ටික ටික වෙන්න තියෙනවා නෙව... 

ඔය කාරණා හින්දා ලොකු රාළහාමි බොහෝම මනාපයි මේකා පන්සල හතර වටේ ගැවසෙන එකට... ඒ ඇර මේකාගෙන් වෙන ගන්න වැඩක් ඇත්තෙත් නැහැ.. මොනයම්ම හෝ වැඩක් කිව්වොත් ඒක මග ඇරලා පයින එක පුතයගේ හැටියක්මයි... රාළහාමිලා උනත් පුතණ්ඩියට එහෙමට වැඩක් කියන්න ගියේ නැත්තේ කොරතොත් වැඩක් හුරහටම කරන්න මේකා හුරු වෙලා තිබුන හින්දා... ඒත් ඉතිං ගමෙන් හැතැම්ම හතරකට පහකට එහායින් තිබුන රබර් වත්ත පැත්තේ පඩි ගෙවන්න එහෙම හිටි හැටියේ මේකාව යවන්න වෙනවා... ඒ යැව්වම ඉතිං සමහර වෙලාවට පඩි ගෙවලා තියෙන්නේ ඉන්න වැඩ කොරන උන්දලගෙන් බාගයකට වගේ තමා... ඉතිරිය ඉතිං බහිරවයා ගිලිනවා... පස්සේ දවසක ලොකු රාළහාමිට ආයේ යන්න වෙනවා ඉතිරිය ගෙවන්න... ඔන්න ඔහොමයි පුත්තරයාගේ වැඩ...

හැබැයි අපරාදේ කියන්න බැහැ පන්සලේ මොකක් හරි පින්කමක් තියේනං මේකා කිසිම ඥං පචං ගෑවිල්ලකින් තොරව බැහැලා වැඩ කරනවා... කලුවට කලුවේ කද බඩ ටිකක් ආරලා බෝලේ වගේ ඉන්න හින්දා එහෙට මෙහෙට දුවලා පැනලා වැඩ කරද්දි ඉතිං කාගේ උනත් අවධානයට නිතරම ලක් වෙන හාදයා නෙව... විසේසයෙන් ගෑණු ළමයි එහෙම හිනා වෙවී තමා පුතයා දිහා බලන්නේ... අපේ එකාටත් ඉතිං ඒ ඇති හොදටම... නිකං පුකට පැස්ටෝල් වැදුනා වගේ වැඩ කරනවා එක දිගට...

හා හා ඒ කතා මොකටද.. මං මේ කියන්ට ගියේ වෙන කතාවක්නේ...

ඉතිං පන්සලේ මාසික දාන සීට්ටුවේ ආකාරයට ලොකු රාළහාමිලටත් මාස්පතා දහවල දානයක් වෙන් වෙලා තිබුනා.. අර මං කලින් කියලා තියෙන ආකාරයට පන්සල නන්නත්තාර වෙලා දාන වේල් දහයට පාලොහට බැහැලා තිබුන කාලේත් වරද්දන්නේ නැතිව දාන වේල දුන්න දායක පවුලක් තමා මේක.. ඉතිං කොහොම හරි මේ දානේ දවසට කලින්දාට දානේ ගේන බාස්කට් සෙට් එක ගෙනියන එක දායක ඇත්තන්ගේ පුරුද්දක්නේ... ඉස්සරමනං ඕකට රාළහාමිලාගේ ගෙදරින් ආවේ රාළහාමිගේ නෝනා මහත්තයයි... අයියගේ දුවයි.. ඒ කිව්වේ චූටි රාළහාමිගේ අක්කා කෙනෙකුයි... පස්සේ ඉතිං මේකා තුන් වරුවේ පන්සලේම හින්දා උන්දලට එන්න ඕන උනේ නැහැ ඕකට.. මේකා හවහට ගෙදර යන ගමන් දාන සාලාවට ගිහින් බාස්කට් ටිකත් අරගෙනම යනවා නෙව...

ඒත් ඉතිං ඕං දවසක්දා හවස කලින් විදියටම රාළහාමිගේ නෝනා මහත්තයයි අර කිව්ව ලේලියි ආවා බාස්කට් ගෙනියන්න... එදා දවසටවත් මං චූටි රාළහාමිව දැක්කෙත් නැහැ... සමහර විට කොහේ හරි රස්තියාදුවක ගිහින් වෙන්ට ඇති...

කොහොම හරි බාස්කට් ගෙනියන්න ආව නෝන මහත්තයලා බාස්කට් ටික අරගෙන යන්ට ලෑස්ති වෙලා බොහෝමයක් උපාසක අම්මලා කරනවා වගේ අර සුපුරුදු ප්‍රශ්නේ ඇහුවා...

“අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ වළදන්ට වැඩියෙන් මනාප දෙයක් එහෙම තියෙනවැයි..?“

ඕක ඇවිල්ලා එහෙම ලේසි පහසු පුරස්නයක් නෙවෙයි ඕං පන්සල් කෙරුවාවේදි.. මං මේ කියන්නේ බොහෝම බරපතලෙට තමා ඕං...

මොකද ඔය ප්‍රශ්නේ අහන එක හැම තැනම වගේ සිද්ධ වෙන දෙයක් උනාට.. ඕකට උත්තර බඳිනකොට හරියට පරිස්සං වෙන්ට ඕනෑ.. මොකද වැරදිලාවත් හෙම පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ඇත්තටම මනාප දෙයක් කිව්වොත් ඒක පරහට හිටින්නත් ඇහැකි ඔය වෙලාවට... ඒ කිව්වේ ඉතිං මං දන්න පන්සලක නායක හාමුදුරු කෙනෙක් හිටියා... උන්නාන්සේගෙන් ඔහොම ඇහුව ගමන් උන්නාන්සේගේ කටින් පනිනවා මොනවා හරි මාංශ කතාවක්... ඔන්න ඉතිං දායක මහත්තයා පහුවදාට මාංසෙකුත් දීලා.. ගම පුරාම බැණ බැණත් යනවා... හැබැයි මං දන්න තරමින් උන්නාන්සේ කාටවත් විශේෂයෙන් කතා කරලා දනට අර වගේ දේවල් ඕනය කියන ජාතියෙත් නෙවෙයි... කවුරු හරි ඇහුවම විතරයි ඔය ආසාව කියන්නේ... හැබැයි කාලයක් එක්කලා හාමුදුරුවෝ ගැන ඇති උන චිත්තරේ ඒ හැටි හොද මදි... හේතුව මේ අහලා දානේ ගේන උදවියට උත්තර දෙද්දී පරිස්සං නොවීම...

ඔය ප්‍රශ්නේ අහන හුඟාක් ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ උත්තර.. “පොලොස් මාළුවක්... කොහිළ වෑංජනයක්... කෙසෙල් මුහ ටිකක්...“ ඔන්න ඔය වගේ දේවල් හාමුදුරුවන්ගේ කටින් පිට වෙයි කියලා... මොකද ඔය දේවල් හරි හිග දේවල් කියලා නෙව දායක ඇත්තෝ බොහෝමයක් හිතං ඉන්නේ.. ඒත් ඉතිං ඇත්ත කාරනේ තමා ඔය කොයි කොයි දේ උනත් වාරෙට පන්සල්වල උතුරනවා කියන එක.. ඒ කිව්වේ ඉතිං කොස් වාරෙට කොස්.. දෙල් වාරෙට දෙල්... පොලොස් කාලෙට පොලොස්... දවසගානේම පොලොස් කාලා කාලා ඉන්න හාමුදුරුකෙනෙකුගෙන් කොහොමද “අනේ උපාසකම්මේ පොළොස් වෑංජනයක් තිබුනොත් හොදා “ කියලා කියවෙන්නෙ..අනේ ඉතිං බොහෝමයක් හාමුදුරුවරු එහොම ඇහුව ගමන් ඔහේ වදාරණවා.. එයින් පස්සේ ඉතිං අර දායක ඇත්තෝ පස්පඩංගුවේ බයිනවා... මේවා මේ මං ආවට ගියාට කියන කතා එහෙම නෙවෙයි.. අවුරුද්දක් ඇබිත්තයෙක් හැටියටත්.. පස් අවුරුද්දක් පැවිද්දෙක් හැටියටත් හිටිය කාල සීමාවේ බොහෝම හොඳින් දැකපු කියාපු කාරණා...

ඉතිං ඔය ප්‍රශ්නය ආවම මං නිතරම හුරු වෙලා තිබුනේ පසුපාදයේ ආරක්ෂිත පහරට යොමු වෙන්න... ඒ කිව්වේ මෙහෙමයි...

“අනේ උපාසක අම්මේ ඔය මිනිස්සු කන බොන ඕන දෙයක්... ඔය කොයිකත් මං වළඳනවා... හැබැයි වැඩි විය හියදං වෙන දේවල් එපා ඔය ඇත්තෝ ගෙදර දොරේ කන බොන විදියටම මාළුවක් දෙකක් හදලා බය නැතිව ලුනු ඇඹුල් බලලා ගේන්ට..“

ඇත්තම කිව්වොත් අපි ගෙවල්වල කෑමට ඒ හැටි නහින්නේ නැහැනේ.. හැබැයි ඒ කෑම වේල බොහෝම රසයි නෙව... මං ඉතිං කොහොමත් කැමති මස් මාළු රසේට වඩා ඔය කරෝල හොද්දකුයි බතකුයි තියෙනං නෙව... හැබැයි මතක ඇතිව ලුනු ඇඹුල් බලන්න කියලනං කියනවම තමා.. නැත්තං ඉතිං කාහංකෝ එක එක අමුතු රහට...

ඉතිං ඔහොම කිව්වම අපේ උපාසක නෝනා මහත්තයා මගෙන් අහනවා මෙහෙම...

“හාමුදුරුවෝ දෙල් වෑංජනේ එහෙම වළදනවැයි..?“

යකෝ දෙල් කන්නේ නැද්ද මං.. ඒත් ඉතිං මේ දායක ගෙවල්වල උන්දලා දෙලුත් උයලා පරිප්පුත් උයලා..අලත් උයලා ගේනකොටනේ ඇඩෙන්නේ... ඒත් එහෙමයි කියලා ඒක කිව්වැකියෑ... ආයෙමත් පසු පාදයේ ආරක්ෂිත පහර..

“දෙල් වෑංජනේනං හොඳා.. ඒත් ඕකට තව තව ජාති හදන්නේ නැතිව ගැලපෙන එකක් හදාගෙන ආවනං ඇති..“

ආන්න එතකොට හරියන ප්‍රශ්නේ එනවා...

“හරියන දෙයක් කිව්වේ අපේ හාමුදුරුවනේ..?

“හරියන දෙයක් කිව්වේ ඔය දෙල් ලෙලි ටික විසික් නොකර ඒකත් හීනියට ලියලා තෙල් දාගෙන ආවනං ඒ ඇති හොඳටම...“

අන්න එතකොට ඉතිං අනිත් පැත්තෙන් නිකංම කියවෙනවා..

“ඇහ් දෙල් ලෙලි තෙල් දාලා..? ඒවා තෙල් දැම්මැකිද..?“

“මොකද බැරි.. නිකමට වගේ මං කියනවට කරලා උපාසක අම්මලත් කාලම බලන්නකෝ...“

“ඉතිං අපේ හාමුදුරුවනේ ඒකට උම්බලකට ටිකක්වත් දැම්මොත් නරකද...

“ආ ඒකට කමක් නැහැ..උම්බලකඩ හරි කරවල හරි.. හාල් මැස්සෝ හරි එය කෝකත් ඒකත් එක්ක හැදියැකි...“

අන්න දැන් වැඩේ සම්පූර්ණයි... දායක ඇත්තන්ගෙත් හිත සංතෝෂයි.. මගෙත් එහෙමයි... පහුවදාට දෙයියනේ කියලා දෙල් වෑංජනේකුයි දෙල් ලෙලි ටික තෙලටයි හම්බ වෙනවා... ආයේ ඉතිං දුප්පත් දායක ඇත්තෙකුට උනත් බරක් නැතිව දානේ දී ගතෑකි... මාත් මතක ඇතිව බොහෝම මනාපෙන් දානේ ටික වළදන වග කියනවා... බොහෝම හිතේ සංතෝසෙන් උන්දලා යන්නේ දුක් මහන්සියෙන් හම්බ කොරගත්ත දෙයින් දුන්න දානේ ගැන චිත්තප්පීරීතියෙන් පිනා යමින්...

ඉතිං එදත් ඔය සංවාදේ ඔය ආකාරයට සිද්ධ උනා කියමුකෝ...

ඒත් ඉතිං ඔහොම අහලා අවසානෙට “ඒත් හාමුදුරුවනේ මසක් මාළුවක් නැතිව මෙහෙම ඇතෑ..“  කියලත් අහපි...

“හපොයි ඔය හොඳටම ඇති..කොහොමටත් මගේ මස් මාළු පාවිච්චිය බොහෝම අඩුයි..“

 හැබැයි අවසානෙට ඒ වචන ටික පිටවෙනවත් එක්කලාම නෝනා මහත්තයයි..ලේලියි මොකාක් නමුත් දෙයක් හිතේ තියං හිනා වේගන මූණට මූණ බලා ගත්තා... මගේ හිතට විචිකිච්ඡාවක් නොදැනුනාමත් නෙවෙයි... හැබැයි ඉතිං මං දන්නවා මේ අයට මං මොනවා හදලා එවන්න කිව්වත් කිසිම පැකිලීමකින් තොරව ඒක හදලා එවන වග.. කොටින්ම ගෙදර දොරේ නෑදෑ හිතවතුන් ඇවිත් කෑමක් බීමක් හැදෙනකොට මහ රෑට උනත් මගේ පංගුව කොලුවා අතේ එවන ඈයෝ නෙව... ඒත් මේ හිනාව සහ දෙන්නාගේ මූණට මූණ බලාගෙන කරපු කතාව මට තේරුනේ නැහැ...

ඒක තේරුනේ පහුවදා දහවලේ දානේත් වළදලා හවස් අතේ පොතකුත් කියෝ කියෝ පන්සලේ ඉස්සරහා වාඩි වෙලා ඉද්දි නෙව...

මෙන්න හිටි හැටියේ පන්සලේ ඉස්සරහා පාර දිහාවෙන් සද්දේ දාගෙන එකෙක් එනවා...

“හයියෝ යෝ යෝ... මොකක්ද හාමුදුරුවනේ අර කලේ...හාමුදුරුවෝ මාව කෑවනේ.. අහ් නැහැ වැළදුවනේ... දැන් ඉතිං ගෙදර වසලා හමාරයිනේ... ගෙදරනං කමක් නැහැ මාමලගේ ගෙදර ගිහිනුත් හමාරයි..විලිලැජ්ජා හතයි තව ටිකයි...“

දෙයියෝ සාලේ චූටි රාළහාමි... මූ හිනා වෙවී මට බැන බැන එනවා කියහංකෝ...

පස්සෙනේ වැඩේ තේරුනේ...

මෙච්චර දවසක් මේකා දාන බාස්කට් අරං යන දවසට අර උපාසක අම්මලා මේකට කියලා එවලා නෙව මං කැමති ජාති මොනවද කියලා අහං යන්න කියලා... මේකා හැමදාම ගෙදර ගෙහුන් “හාමුදුරුවෝ කැමති අමුතු ජාති මොනවත් නැහැ“ කිව්වා කියලා ඌ කැමති ජාති කියවලා හදවගෙන.. මොකද මේකා පොඩි කාලේ ඉදලා කාලා කාලා බඩ එහෙම කලේ වගේ ආරලා ඇවිත් තිබුනේ... දන්නවනේ ඉතිං අපේ අම්මලා..ආදරේට කව්වලා කව්වලා ළමයි සෙම ගොඩවල් කොරනවනේ.. මේකත් ඉතිං එහෙම තමා.. ඒ වෙද්දිත් මේකට දියවැඩියාව... ඉතිං ගෙදරින් මේකට දැන් කෑම දෙන්නේ බොහෝම සැලකිල්ලෙන්... බැලින්නං මේකා දානේ දවසට තමා ඒකගේ හිතේ හැටියට මස් මාංස ජාති මගේ ගිණුමට දාලා හදවං කාලා තියෙන්නේ... බලං ගියාම මං කොටා බාද්දී..චූටි රාළහාමි තමා මෙච්චර දවසක් දානේ වළදලා තියෙන්නේ... 

ඒත් ඉතිං මෙදා පාර කෙලලා තියෙන්නේ තාප්පෙට.. මූ කොහේදෝ තේ උඩිච්චියක් බලන්න ගිහින් පන්සල් එන්න බැරි උන එක දවසට කෙලවෙන එක කෙලවෙලා සුපිරියටම... 

අර අම්මයි ලේලියි හිනා වෙවී ගිහින් තියෙන්නේ මෙච්චර දවසක් කොලුවා දීපූ ගේමට රිටන් එක දෙන්න හිතාගෙන තමා... අනේ කලින් දවසේ ගිය ගමන  ගෙහුන් දවල් වෙලා කොලුවා ඇවිත් තියෙන්නේ කර කර හිටිය වැඩ රාජකාරියකුත් දාලා... බඩකට පුරා දීලා අදින්න බලාගෙන... දැන් ඉතිං කාහංකෝ දෙල්... ඒ මදිවට ගෙදර උන්දලයි... නෑදෑ ගෙවල් ටිකෙයි මේක දැනගත්තට පස්සේ කොලුවගේ රෙදි නැහැ නෙව... බොහෝම අමාරුවෙන් දෙලුයි බතුයි කාලා ටිකක් වත්ත පහල කැරකිලා මේකා එක හුස්මට දුවං ආවේ පන්සලට...
----------------------
අද හදිසියේ මේක මතක් උනේ සෑහෙන දවසකින් අද දෙල් මාළුවක් හදාපු හින්දා තමා ඕං...

27 August 2013

වැදි බණක් ආයෙමත්...

ඔය ආගම තියෙනවා නේද පින්වතුනි.. හරි අපූරු බඩුවක් නෙව... අනිත් දේවල් වගේ නෙවෙයි අපිට ඕන ඕන හැටියට එහෙට මෙහෙට පෙරළ පෙරළා සෙල්ලං දැම්මැකි.. හෝව් හෝව් මං මේ  කිව්වේ කතෝලික ආගමවත්..එහෙමත් නැත්තං මුස්ලිම් ආගමක් ගැනවත්නං නෙවෙයි... අපේ මේ සිරි ගෞතම බුද්ධරාජෝත්තමයාණන් වහන්සේගේ සම්බුදු දහම... ඒක මිස ඔය අනිත් එව්වා එහෙ මෙහෙ කොරන්න ගියොත් එක්කෝ කලුවර කාමරේක මැරෙනකල් හිටියැකි.. නැත්තං ඉතිං අතක් පයක්..එහෙමත් නැතිනං බෙල්ල මුලින්ම ගහලා යයි... ඒත් ඉතිං අපේ මෙව්වා එකේ එහෙම නැහැ.. 

අපේ එක හරි අපූරු දහමක්.. ඕන එහෙකුට ඕන අතකට පෙරල පෙරලා උඩ දදා ගැහියැකි... ආයේ ඉතිං මොන අතුරු ආන්තරාවක්වත් නැහැ...

මොකක් කිව්වා.. ඒ ඉස්සර..දැන් එහෙම බැහැ කිව්වා.. ඇයි මොකද..? බොදුබල සේනාවෙන් නෙලයිද..? පිස්සුද පින්වතුනි.. උන්නැහේලට කොහෙද බණක දහමක අරුතක් ගැන හිත හිත වාද කොරන්න වෙලාවක්.. උන්නැහේලට තියෙන්නේ බණ විකුර්ති කොරන එක ගැන අවුලක් නෙවෙයි... වෙන මොකක්ද අවුලක්... ධර්මය විකුර්ති කොරන එක හරහා කවද්ද මේ සාසනේ නැති වෙන්නේ... සාසනේ නැති වෙන්නේ පන්සල් ආවාස.. දායක පින්වතුන්..පාංශුකූල නැති උනාම නෙව... බණ දහමනං කොහොම විකුර්ති උනාම මොකද මයෙ අම්මා.. එව්වා කවදා හරි ගස්ස ගන්න බැරිද..?

මං ඔය මහණ වෙලා හිටියට මොකද බණ දහංවල පරතෙර හොයන්න ගියපු එකෙක්නං නෙවෙයි... එකක් මට ධර්මධර වෙන්න උවමනාවක් තිබුනේ නැතිකම... ඒ කාලේ වෙද්දී ගිහියෙක් හැටියට සමාජයෙනුත්..පවුලේ උන්ගෙනුත් බැට කාලා කාලා හෙම්බත් වෙලා හිටිය වෙලේ අල්ලගෙන හිටිය බැමි ටික මුදෝලා දාලා හිතට සහනයක් හොයාගන්න එක තමා මූලිකම දේ උනේ... ඒකට බණ පොත් කට පාඩං කොර කොර නහින්න උවමනා උනේ නැහැ... මගේය කියලා අල්ලං හිටිය හුගාක් දේවල් කිසි ගේමක් නැතිවත්... ටිකක් දේවල් තරමක අමාරුවෙනුත් අතෑරලා දැම්මා විතරයි... හම්මා පුදුම සනීපයක්... එයින් පස්සේ ඉතිං පන්සලක් කොරං යන්න උවමනා තරමටයි... උපසම්පදාවට උවමනා තරමටයි... දහම්පාසලේ දූ දරුවන්ට උගන්වන්න උවමනා තරමටයි... දායක ඇත්තන්ගේ උවමනා එපාකං සපුරාලන්න සෑහෙන තරමටයි ඔන්න යම් යම් දේ සොයා බලා ඉගෙන ගත්තා... එහෙම යම් යම් දේවල් ඉගෙනගෙන යද්දී ඇතැම් වෙලාවට බොහෝම සිත්ගන්නා සුළු තැන් අහු උනාම ටිකක් වැඩිදුරට ඒ ගැන හොයා බලා ඉගෙන ගත්තා... ඔන්න ඔච්චරයි මගේ දැනුම... ත්‍රිපිටක පොත් ටික බොහෝම අමාරුවෙන් ගත්තට මොකද ඒ පොත් පනස් හයෙන් හතරෙන් එකක්වත් මට කියවලා අහවර කරන්න උනෙත් නැහැ.. ඒ කියෙව්වා කියලා කියෝපු හරිය මට කට පාඩං හිටියෙත් නැහැ අර කවුද වගේ මොකක් හරි කිව්ව ගමන් “අහවල් තැන ඕක ගැන අහවල් විදියට තියෙනවාය“ කියලා දෙසාබාන්න... ආයේ ටික කාලයක් භාවනාවට යොමු වෙච්ච හින්දා ඒ ගැන පොත පත කියවලා.. අත්දැකීම් ඇති අය හමුවෙලා යම් යම් කාරණා අහගෙන ඒ ගැන තරමක් දුරට හැදෑරුවා.. හැබැයි එතැනදිත් මං අවබෝධ කරගත්ත දේ තමයි පැරණි පොත පතේ..විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය වගේ මූලික දේශනාවල්වල තියෙන කරුණු මිස භාවනාවේ වැඩකරුවෝය කියලා හැදින්වෙන වර්ථමාන කම්මට්ඨාචාරිය වරුන්ගේ උපදෙස් ගැනිල්ල කෙලවෙන වැඩක්ය කියන එක... යකෝ අනිත් උන්ට හීන පෙන්නන්ට කලින් තමුන් හීන දැකලා තියෙන්න එපෑ... ඔය ගැන කියන්න කතා දෙක තුනක්ම තියෙනවා උනත් මංතුමා ප්‍රතිපත්තියක් හැටියට සාසනයේ පැවැත්ම එක තත්පරයකින්වත් අඩු වෙන්ට හේතු බූත වෙන කරුණු කාරණා කීමෙන් වැලකිලා ඉන්ට සෑහෙන්ට උත්සහ දරන හින්දා ඒ කතා ඕන නැහැ... මොනවා උනත් බුදු හාමුදුරුවෝ කියාපු විදියට මේ සාසනේ විනාස වෙන්නේ සාසනේ ඉන්න උන්දලගෙන්ම මිස ඔය වෙනත් ආගංවල උන්දලගේ අතින්නං නොවන වග සහසුද්දෙන්ම කීවැකි... (ඔව් ඔව් ඒක තමා ඒක විනාස නොකර මං මාරු උනේ.. :D )
-----------------------

ඔන්න අද සනත් ගුණතිලක උන්නැහේ මහණ උනාය කියලා කීපදෙනෙක්ම ආඩපාලි කියලා තිබුනා... විශේෂයෙන්ම පැවිදි කොට්ඨාශයේ උන්නාන්සෙලා... හත් ඉලව්වේ කවුරු හරි කෙනෙක් මේ සාසනේට සිය කැමැත්තෙන් ඇතුළු වෙනවනං ඒකට බාධා කරන්න මුන්නාන්සෙලාට තියෙන අයිතිය මොකක්ද..? මොකද මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියෙන කාරණා කියවන්න ඇහැකි ශක්තියක් මුංනාන්සේලාට පහළ වෙලාද..?

සනත් උන්නැහේ මහණ වෙන්න හදන්නේ චිත්තරපටියක් වෙනුවෙන්ය කියලා පිටින් කියඋනාට අපි දන්නවද ඒක එහෙමමයි කියලා.. උන්නැහෙත් සාමාන්‍ය මනුස්සයෙක් නෙව... කොරන්න තියෙන හැම කෙලියක්ම කොරලා අවසානයේ ඔය හැම දෙයක් ගැනම මොනවා නමුත් කලකිරීමක් ඇති වෙන්න බැරිද...? ඒත් එහෙමයි කියලා දමලා ගහලා ගෙහුන් සදහටම මහණ වෙනවා කියලා ලොකු තීරණයක් ගන්න තියෙන අපහසුවට ඔය මොකක් හරි පිට දාලා මහණකම කොහොම එකක්ද කියලා බලන්න මහණ වෙන්න හිතුනද කවුද දන්නේ... සමහර විට ඕක හිතට අල්ලලා ගොහින් සතිය මාසයක් වෙන්ට ඇහැකි.. මාසේ අවුරුද්දක් වෙන්ට ඇහැකි.. ඇතම් විට මැරෙනකල් සිවුරේ ඉන්ටත් ඇහැකි.. ඒ නැතත් දවසකින් ආයේ ගෙදර ගියත්..අඩුම ගානේ ශ්‍රමණ සාරුප්පේ තියාගෙන දවසක් හරි හිටියනං ඒකත් ලොකු දෙයක්නේ...

ඇත්ත ඇත්ත මහණ කරද්දී ඉතිං ඔය “සබ්බ දුක්ඛ නිස්සරණ.. නිබ්බාන සච්ඡිකරණත්ථාය“ කියලා සිවුරු පටිය කරේ ගැට ගහනවා තමා... (ඔව් ඔව් මගෙත් එහෙම තමා ගැට ගැහුවේ.. කෝ කොලායෑ.. දැන් ඔය කෑගහන උන්නාන්සේලත් එහෙමම තමා... කෝ ඉතිං එයාලත් තාම ඒ කාරිය කොරන්ට උත්සහ කෙරන බවක් පේන්න නැහැ.. නැත්තං මෙහෙම ප්‍රකාශ කරන්න කෝ වෙලාවක්..) ඒ දැන් නෙව.. ඒ කාලේ බුදු හාමුදුරුවෝ ඔය දේවල් කිය කිය මහණ කලායෑ... කොරන ලද පෙර පින් ඇති නම් “එව මහණ“ කියලා දකුණු ශ්‍රී හස්තය දිගු කල පමණින් හිස් රැවුල් අතුරුදන්ව.. සිවුරු පෙරවී පැවිදි ස්වරූප පහළ උනාය කියලා නෙව තියෙන්නේ... එතැනින් ගියාම ඔය සුනීත සෝපාක මහණ කොරණ කොට ඒ පැවිදිකම දීම ඇතුලේ තිබුණ මූලිකම දේවල් මොනවද..? අසරණයෙකුට සරණක් වීම.. ආරක්ෂාවක් වීම... පෝෂණය කිරීම... එයින් පස්සේ තමා බණ දහම් තිබුනේ.. කවදාවත් බඩගින්නේ ඉන්න කෙනෙකුටවත් බණ කියන්න ගියේ නැති උන්වහන්සේ බොහෝම සාධාරණ.. ලිහිල් වත් පිළිවෙත් ඇතිව සාසනය ඇති කලා වගේම විනය නීතියක් උනත් පැනවූවේ උවමනාම වූ විටක පමණයි.. ඒවාත් බොහෝමයක් බරපතල ඒවා නෙවෙයි... දැන් මේ ඉන්න උන්නාන්සේලා ඒ කාලේ හිටියනං එහෙම ඔය එහෙකුට මහණ වෙන්න වෙන්නේ නැහැ.. ඇයි..? මුංදලා කියනවනේ..“අරකා රොඩියා.. ඕකාට මහණ කම දෙන්න එපා.. අරකා කසල සෝධකයා.. ඌව මහණ කරන්න එපා.. අරූ ගස් බැලයා.. පන්සල් වත්තේ පොල් ටික කඩා ගන්න එකෙක් නැතිව යයි..ඌවත් එපා...“  අන්තිමට මහණ කරන්න ගේන් න වෙන්නේ අඟහරු ලෝකෙන් තමා...

කොටින්ම කිව්වොත් මුංදලා බුදු හාමුදුරුවන්වත් සිවුරු ඇරලා ගෙදර යවන්න බලයි එහෙවු කෙලියක් මේක...

ඔන්න එහෙනං බණ කතාවක්... සමහර විට මං කලියෙන් කියලත් ඇති...

ඔන්න බුදුන්ගේ කාලේ එක්තරා ගොයියෙක් හිටියා..මුංදෑ කරන්නේ ගොයිතැන.. එයිට අමතරව හරක් ටිකක් හිටියා ගොයිතැන් වැඩට යොදා ගන්න... දවසක් දා මෙයින් එක හරකෙක් කැලෑ වැදුන හින්දා කුඹුරේ වැඩ කර කර ඉන්න ගමන්ම සාගින්දරේම ගියා ඒකා හොයන්න.. අන්තිමට පාන් කියාගන්න බැරිව ගෙහුන් නැවතුනේ පන්සල් මිදුලක... හිතලා බලමුකෝ මෑන් ඉන්නේ පට්ට බඩගින්නේ.. ඒ වගේම මහන්සි උපරිමේ... අනික දුක් විදලා විදලාම මෑන් නිකං කෙහෙල් පරඩැලේ වගේ... බොඩිය ඇක්ස්රේ එකක් වගේ... ඔන්න ඉතිං අර පන්සලට ගියාම මේ උන්දෑ දකිනවා..හොදට දාන මාන ලැබිලා ඒවා වළදලා..බොහෝම ප්‍රසන්න සුබාවෙන් ඉන්න භික්ෂූන් වහන්සේලා...

යකෝ මේ ගොයිතැන් කෙලියක් හින්දා නහින නැහිල්ලක්... ඇගට කෑම ටික යහමින් වැටෙනවනං මෙහෙම හිටියම මක්කා වෙනවද කියලා මේ හාදයා අර යන ගමන නවත්තලා පන්සලේම වැටුනා.. ටික දවසකින් මහණත් උනා...

ඔහොම ටික දවසක් ඉදලා ඇගපත ආරලා තෙල්මන්ද මෝරලා එද්දී ඔන්න දැන් මේ මනුස්සයට ආයේ ගෙදර සිහි වෙනවා... පාළුවට ගිය කුඹුරු... අයාලේ යන හරක් ටික.. ඇයි උදේ හවහා අහවල් කාරිය කොර කොර හිටිය බාරියාව...
මොනවද ඉතිං මෑන් ගෙදර යනවා සිවුර පන්සලේ තියලා...

ඒත් ටික දවසක් යද්දී මෑන්ට ආයේ පරණ තෝත්තරේමයි.. කන්ට නැහැ..මහන්සි වෙන්ට ඕන... ආයෙම ඇගපත දිරලා යනවා... මෑන්ට ආයෙම ගිහි ජීවිතේ එපා වෙලා ගෙහුන් මහණ වෙනවා... පන්සලේ හිටිය හාමුදුරුවරුත් මේ මනුස්සයට කැමතියි.. මොකද ඉන්නකොට බොහෝම පිරිසිදුවට පිලිවෙලට ඉන්නවා... හදාරන බණ දහමක් නැතත්.. පන්සල අතුපතු ගාගෙන ජීවත් වෙන හින්දා ඔන්න ඔහේ මහණ කොරනවා... ආයේ ඉතිං මොකට මහණ වෙන්න ආවද කියලා හිතලා මාජ්ජ ප්‍රකාශ කරන්න ගියේ නැහැ..

ඔන්න ඔහොම මේ මනුස්සයා හය පාරක්ම මහණ වෙලා ටික කාලෙකින් සිවුර අතාරිනවා...දැන් එහෙමනං කොහොමට තියෙයිද..?

ඒත් ඒ කාලේ ඒක අවුලක් වෙන්නේ නැහැ.. මොකද ඒ කාලේ තිබුනේ සාසනේ විතරයි.. ඒකේ පොල්මක්කාරයෝ හිටියේ නැහැ නෙව...

ඔන්න හය වෙනි පාරටත් සිවුර ඇරලා ගෙදර ඇවිත් ඉන්න මනුස්සයා දවසක්දා දහවලේ හොදටෝම නැහිලා නැහිලා ඉන්න ගමන් හදිසියේ ගෙදර යනවා... ඒ යද්දී මුංදැගේ බාරියාව කට කපලා දොයි.. නිකං නෙවෙයි දරුවෙකුත් හම්බවෙන්ටද කොහේද.. රෙදි උඩ ගෙහුන් අහවල් ඒවත් එළියේ දමාගෙන කුණු කෙල පෙරාගෙන යකා පොළවේ ගැහුවා වගේ මේ ඇත්ති දොයි...

මල සංසාරේ මේ විකාරේ දකින අපේ කථානායක ගොයිතුමා කවදාවත් නැති තරමින් කලකිරෙනවා... “නොදෝමකින් මේ සිවුර දාලා දුවං එන්නේ මෙහෙම මල පෙරේත දුවක් එක්ක ඉන්ට නේද..? මේ බලහල්ලාකේ මේකේ හැටි කියලා...“ ඒත් එක්කම උන්දැට මෙතුවක් කාලයක් නොවිච්ච විදියට එක පාරටම අසුභය මෙනෙහි වෙනවා... එහෙමම දුවනවා ආයේ පන්සලට... හත් වැනි පාරටත් මහණ වෙනවා.. අර ආව කල්පනාව පිටම භාවනා කරලා රහත් වෙලා තමා නවතින්නේ...

ඔන්න ඔහොමයි ඒ කාලේ වැඩ සිද්ධ වෙන්නේ.. ඒකටත් එක්කලා අද..?
පළමුවෙනි පාර මහණ වෙන්ට ආ තැනින්ම වැඩේ හබක්... ආයේ හත් පාරක් ගැන කතා එපා...
(ඔය කතාවට සම්බන්ධ ගාථාවකුත් තිබුනා ධම්මපදේ..මට දැන් හරියට මතක නැහැ කෝකද කියලා..මතක් උනොත් කියඤ්ඤං... )

--------------------
මං දැක්කා සමහර ගිහි අයියලා මල්ලිලා අක්කලා නංගිලාත් බොහෝම තදින් මේක විවේචනය කරලා තියෙනවා.. අනේ පින් සිද්ධ වෙයි..අරයගේ මෙයාගේ පැවිද්ද ගැන හොයන්න කලියෙන් ගෙහුන් එක සතියක් මහණ වෙලා ඉඳලා එන්ට... වැඩිය එපා එක සතියක්... මෙච්චර සාසනේ රැකගන්ට කතා කරන එකේ.. ඒ වෙනුවෙන් මරාගන්ට ලෑස්ති එකේ ඒ කිසි දෙයක් ඕන නැති මහණ කම එක සතියක් පුරන්ට... එහෙම කරලා ඇවිත් ඔය කාරණාව ගැන ආයේ කතා කරන්නට..මං අහං ඉඤ්ඤං...

-------------------
මේකත් මේ කවුරු හරි යාළුවෙක් කියාපු කතාවක්..කවුරු කවදා කිව්වද කියලයි මතක නැත්තේ... ඒකත් මට කියාපු කෙනාට තව කවුරු හරි කියාපු දෙයක්...
“මොන සීලේ නැතත් මං හාමුදුරුවරුන්ට වදිනවා එක කාරණයක් හිතාගෙන.. මට මේ ගෑණු නැතිව එක දවසක් ගෙවන්ට බැහැ.. එහෙවු එකේ මේ උන්දලා එක දවසක් හරි එහෙම ඉන්න එක ගැන හිතලා මං වදිනවා“

ඒ ඒ මනුස්සයගේ අවංක හිතුවිල්ලක්...

ගෑණු නෙවෙයි තව බොහෝමයක් දේවල් අහිමි වෙන පැවිදි ජීවිතයට ගිහින් සති දෙකක් ඉන්න එක නෙවෙයි.. ඒ ගැන හිතන එකත් ලොකු දෙයක් මට වැටහෙන අන්දමටනං... සනත් ගුණතිලක මහණ වෙලා සතියක් හිටියත් උන්දැගෙන් සාසනේට සේවාවක් මිස අවැඩක් වෙයි කියලනං මං හිතන්නේ නැහැ..ඔය ප්‍රකාශකරන උන්නාන්සේලා එක්ක අරං බැළුවම... අඩුම තරමේ සතියකින් හෝ දෙකකින් යයිනේ යන්ට පන්සල උලාකන්නේ නැතිව.. ඒකම මදෑ...

-------------------

පටන් ගත්තේ එකක් කියන්ට..අන්තිමට කිය උනේ වෙන වෙන කතා ටිකක්...  මුලින්ම හිතාගත්තේ මේ සාසනේට හාමුදුරුවරුන්ට පස්සේ වැඩියම වින කරන අය කිහිප පොළක් ගැන දෙසන්ට කියලා...පස්සේ වෙලාවකවත් බලමු ආයේ ඔය කියන්ට ගිය කාරනාව ගැන කියන්ට... අදට මේ මදෑ...

17 August 2013

කුක්කු මාර...පළමු අදියර...

ඔහෙලට කියන්න ඕං... යාන්තං තව සහතික කෑල්ලක් හම්බ උනා...
ඔය උපන්නා කියන්න දුන්න උප්පැන්න සහතිකෙයි... එතැනින්  ගියාම ඉස්කෝලේ ගියා කියන්නයි..අස් උනා කියන්නයි දෙන අධ්‍යාපන සහතිකෙයි... එතකොට සාමාන්‍ය පෙළ යන්තං ගොඩ කියලා දීපු සහතිකෙයි ඇරුනම මේ මෑතක් වෙනකල්ම මං ගාව මොන සහතිකයක්වත් තිබුනේ නැහැ නෙව...

හා හෝව් හෝව්... හැබැයි මට දෙක වසරෙදි කියවීමේ තරගෙකින් පර්ෂද ගෙහුන් දිනලා සහතිකයක් තිබුනා... ඒකට වෙච්ච දෙයක් මං දන්නෙ නැහැ...

යාන්තං මෑතකදී කුරුළු හමුදාවේ සේවයෙන් අසවීම උදෙසා හම්බු වෙච්ච සහතිකෙත් තියෙනවා ඕං.. එයිට අමතරව සිකුරුටි සේවයේ හිටියදී OIC ගෙන් CSO ට උසස් වීමේදී ලැබුන සහතිකේකුත් තිබුනා...

සන්තකේටම තිබුනේ ඔය ටික විතරයි...

ඔන්න ඉතිං යාන්තං කාලෙකට පස්සේ අද සහතික කෑල්ලක් හම්බ උනා...ඒ ඇවිල්ලා කුකෙක් වීමේ මූලික හරිය ගොඩ කියලා කියන එක...  නිකං නෙවෙයි පාඨමාලාවේ හිටිය උන්දලගෙන්  තිබුන මූලික පරීක්ෂණ තුනෙදීත්.. අවසාන පරීක්ෂණයේත්.. කියන සියළුම එව්වෑයින් පලවෙනියා හැටියටත් තමා ගොඩ ගියේ... ( කන බොන කාලෙකනං අඩියක් ගහන්න වටින කේස් එකක් ඕයිලා.. :D )

 දැන් ඉතිං මෙයින් පස්සේ කොරගන්න තව දේවල් ටිකක් තියෙනවා... එයින් පළමු වැන්න තමා ඩිප්ලෝමාව... ඒ වගේම මේකෙන් මුලටම ආව පස් දෙනාට පුහුණුව සඳහා අවස්ථා දෙන්නත් හොටෙල් පාසලේ කළමණාකාරීත්වය පොඩි සූජානමක් තියෙනවා.. ඒ හින්දා සමහර විට ඉදිරි කාලයේදී උවමනානං නැගෙනහිර පළාතේ හෝටලයක ටික කාලයක් ආතල් එකක් ගැනීමේ හැකියාවත් තියේ... ඒත් ඉතිං ඒක කරනවද.. නැත්තං ඩිප්ලෝමාව බැරි බැරි ගාතේ හරි ඇදන් යනවද කියලා තමයි තාම මේ හිතන්නේ...

ආ තව එයිට කලියෙන් ලබන මාසේ තියෙනවා ලන්ඩොං විභාගයක්.. ඒකටත් පෙනී හිටලා ඒ සහතිකේ ගන්නත් ඕන...

කොහොම හරි ඔහොම තමා දැනට වැඩේ යන්නේ... බලමු මේ කොලා වගේ ඉතිරි ටිකත් මොනවා හරි වෙන්නේ නැතෑ..නේද..?

කොහොම උනත් ආයෙම ඉගෙන ගන්න මාව උනන්දු කල හැමෝටමත්.. විශේෂයෙන්ම උනන්දු කිරීමෙන් නවතින්නේ නැතිව තර්ජන ගර්ජන කරලා මරන්න ගෙනියන හරකා සේ.. බලහත්කාරයෙන්ම මේකට යොමු කරවපු හැම අතින්ම අනුග්‍රහය දක්වපු කෙනාටත් මේ වෙලාවේ ස්තූති කොරන්න එපැයි...

එහෙනං ඉතිං ඕං ඔය හැමෝටම බොහෝමත්ම ස්තූතියි කිව්වා.... අරයට ඩබල් එකෙන්ම ස්තූතියි කිව්වා ඕං...














හුටා හෙඩිමේ අකුරක් වැරදි තැනින් වෙන් වෙලා නේද...?

:D :D :D

16 August 2013

මේ දවස්සල... මෙන්න මෙහෙමයි....

බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා කියලත් අමතක වෙලා හිටියේ... පහුගිය මාස දෙක තුනේ හැටියට මේ ඊයේ පෙරේදා දවස් තුන හතරනං ටිකක් නිදහසේ හිටියයි කියලා කිව්වැකි... ඒත් ඉතිං ඒ නිදහසෙත් ටිකක් එහෙට මෙහෙට මංගච්ඡලා... කාලා බීලා... එව්වා මෙව්වා කොරලා එද්දි දවස ගෙවෙනවා දන්නෙම නැතිව... ආයේ ඉතිං කොහේද බ්ලොග් ලියන්න කියවන්න වෙලාවක්... 

ඒත් ඉතිං එහෙමයි කියලා නෙට් නෑවිත් හිටියෙත් නැහැ... පුළු පුළුහං හැටියට මේකේ එල්ලිලා එහෙං මෙහෙං අතට අහුවෙන බ්ලොග් ලියමන් දෙක තුනක් කියෝලා.. බුකිය පැත්තේ ගෙහුං එතැනත් වාත වෙලා... ඌරු කොටුවට (අර ඇංගිරි බොර්ඩ් කියලා එකක් තියෙන්නේ ආං ඒක.. : ) රිංගලා යාළු මිත්තරාදීන්ට තෑගි බෝග යවලා එහෙම මාරු වෙනවා.. ඒ ඇර මේක ලියන්න හිතුනෙවත් නැහැ.

කොර කොර හිටිය බේසික් කෝස් රාජයගේ අවසානයත් පහුගිය සතියේ සනිටුහන් උනා... ඒ කිව්වේ ඒකේ අන්තිම විභාගෙත් කොරලා දැම්මා.. දැන් ඔන්න හෙට ඒකේ සහතිකේ ඇන්න එන්ට යන්ට ඕන... ඒත් එක්කලම අර මොකක්ද සුද්දගේ සහතික කඩේ විභාගෙකටත් හෙට සල්ලි ගෙවලා එන්ට ඕන... සිටි ඇන්ඩ් ගිල්ස්ද මොකක්ද එකක්... එතකොට ඒකේ සහතිකෙත් ගන්ට ඇහැකි වෙයි තව ටික දවසකින්...

එයින් පස්සේ ඉතිං ඒ සම්බන්ධ ඩිප්ලෝමාව තමා තියෙන්නේ... ඒකත් තව මාසයකින් දෙහෙකින් පටන් ගනීවි... ඒත් ඉතිං තාම මේ කල්පනා කොරන්නේ ඒක තනිකරම දුවන්නේ ඉංගිරිසියෙන් හින්දා ගොඩ දාගන්න ඇහැක් වෙයිද කියලා... බර ගානක් සුපියල් වලින්ම ගෙවන්නත් වෙන හින්දා ආවට ගියාට කොරලත් බැහැ.. අනේ මංදා මක්කා කොරන්නද කියලා... ඩිප්ලෝමාව කොරනවද..? නැත්තං කොහොම හරි හෝටල් කෑල්ලක් හොයං මාස හයක්වත් එක්ස්පීරියන්ස් එක ගන්න ට්‍රේනින් කුකෙක් හැටියට යනවද කියලා... ඒ අතරේ හිමිහිට කල් අරං ඉංගිරිසි ටික ඩිප්ලෝමාවට සෑහෙන මට්ටමට හදාගන්නත් ඇහැකි වෙන්නේ නැතෑ.. අනික වැඩකට සෙට් උනොත් කොහොමත් වැඩේට උවමනා මට්ටමට භාෂාව ටිකක් හරි හුරු වෙනවා නෙව...

 ඉංගිරිසිය ගැන කිව්වාම මතක් උනේ...ගිය පාර රොයල් ඉන්ස්ටියුටියේ ඉංගිරිසි පාඨමාලාවකට ගියාට මොකද ඒක ඒ හැටි සාර්ථක උනේ නැහැ... මුලදි මුලදි ටිකක් විතර අල්ලගෙන ගැට ගහගෙන ගියාට මොකද.. පස්සෙන් පහු අපේ සෑර් මඤ්ඤං කෙලියා... අන්තිමේදී අර වෙනදා වෙන දේම තමා උනේ... දන්න උන් ටික හැල්මේ දුවනවා.. අපි බලං ඉන්නවා... අන්තිමට ඒකේ අවසාන විභාගෙට හිටින්න ගියේ නැහැ... නිකං මොකටද හිත අමාරු කොරගන්නේ...

හැබැයි මේ පාර අහු උන පංතියනං ටිකක් විතර එයිට වඩා සරයි... කස්ටියනං අම්බානක ඉන්නවා තමයි... හැබැයි සෝර් කාරයා කියන හරුප තේරෙනවා බොහෝම සරලව.. කොටින්ම මෑන් මුලින්ම දුන්න ටියුට් එකේ ඒ බී සී ඩී වල හිටන් වැඩේ තියෙනවා...  මට ඉංගිරිසි අතෑරුනේ හතර වසරේ ඉදලම හින්දා ඒ තැනින්ම පටන් ගත්තාම අර මොකාටද එකාට වගේ තේරෙනවා... එහෙම නැතිව ඔන්න හිටි ගමන් අර ටෙන්ස් මේ ටෙන්ස්..පැසිව් බැසිව් ගා ගත්තම මං කොර වෙනවා... ඒ හින්දා දැනට මේ දුවන සිල්පෙනං හොදටම හොදයි.. හැබැයි අර කියමනටත් කියන්නේ “හොදයි ටිකයි“ කියලා... ආන්න එහෙම කේස් එකක් මේ පංතියෙත් තියෙනවා... ඒ කිව්වේ සතියකට තියෙන පැය දෙකේ කාලය ඇතුලත සෑර් ගොයියා උගන්නන්නේ විනාඩි 15යි.. අනිත් පැයයි විනාඩි හතළිස් පහම ඉතිං යාං හෑලි තමා... ඒකත් කමක් නැහැ කියමුකෝ අළුත් අළුත් කතාවත් කියනවනං... මොන... හැමදාම එකම ටික... සමහරුන්ට දැන් සෑර් උගන්නනං ඉංගිරිසිවලට වඩා සෑර්ගේ දේශනාව කට පාඩං... සමහරු සෑර් එක්කම ඒක කට පාඩමෙන් කියවං යනවත් එක්කලා.. ඕ යෑෂ්... :D

ඔය අතරේ මට තව කෙලියක් කෙල උනා... ඒ තමා මගේ අතිජාත මිත්තරයා වෙච්ච ෆෝන් කස්ටට කෙල වීම... ඕක ඔහොමවත් තිබුන එකත් එක අතකට ලොකු දෙයක්.. අරං මාසයක් යන්න කලින් බයික් එකේ ඇරලා යද්දි සාක්කුවෙන් විසිවෙලා මඩවලකට වැටිලා.. කෑලි කෑලි වෙන් වෙලා.. එයිට උඩින් තිරිවීල් එහෙකුත් ගෙහුං පිටිපස්ස පියන් කෑල්ල එහෙම ස්ටිකර් වෙලා තිබුනේ.. ඒත් දෙයියනේ කියලා දැන් අවුරුදු හතරක් විතර ඕක වැඩ කලා කිසි අඩු පාඩුවක් නැතිව... මට ඔය දැන් තියෙන කැමරාව හම්බ වෙන්න කලියෙන් ආව ගිය ගමන් බිමන් වලදී පොටෝ ගන්නත් ඕක බොහෝම පරයෝජනවත් උනා... අපරාදේ කියන්න බැහැ මං ඕකෙන් මුල්ම කාලේ හිටු කියලා මල් කැඩුවට මොකද අන්තිම කාලේ වැඩි හරියක් කොලේ පොටෝ ගන්න එකයි.. එළාම් එක තියන එකයි.. ගණන් හදන්න කැල් එක හැටියට පාවිච්චි කොල එකයි තමා... ඉදලා හිටලා ඉතිං කෝල් එහෙකුත් ගන්නවා...

ඉතිං ඒක අවසානෙදි පණ අදින හින්දා ගිහින් ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ගෙනාවා ලාබෙට ෆෝන් කට්ටක්... මයික්කොරෝමැක්ස් ජාතියේ... ඒ 27 කියලා පතරංගයක්... ඒකේ කැමරාවනං පට්ට පජාතයි.. ඒ ඇරනං වෙන අවුලක් නැහැ... තව ටිකක් පාවිච්චි කොරලම තමා කියන්න වෙන්නේ මේක කොහොම වෙයිද කියලා... හැබැයි ඉතිං නොකියා වගේනං පාවිච්චි කොරන්න ඇහැකි වෙයි කියලා මං හිතන්නේ නැහැ... 

හරි ඔය තමා මේ දවස්සල මගේ වංහුං...

රතුපස්වල කේස් එක ගැන ටිකක් විස්තර හොයන්න යන්න හිතං හිටියට ගම පැත්තේ බඩගාන්න වෙලාවක් අහු උනේම නැහැ.. ඒත් ඉස්සරහට වෙලාවක් අහු උනාම ගෙහුං එන්න ඕන... ටිකක් පහු වෙලා ඒ ගැන ලිව්වම මොකද වෙන්නේ නේද..? ඔය අපේ විපස්ස නායකතුමත් සති තුනක් විතර පැනලා උද්ඝෝෂණයක් කලේ... උන්දැට සති තුනක් ගන්න ඔට්ටුනං මාත් කල් අරගෙනම ලියන්න ඕන... හැබැයි ඉතිං මටත් විපස්සනායක තුමාට වගේම කෙලවෙයිද දන්නේනං නැහැ... :D


06 August 2013

දන්න කියන බ්ලොග් කරුවකුගේ “පර“ වැඩක්...

“පර“ වැඩ කරන බ්ලොග්කාරයෝ මේ සිංහල බ්ලොග් අවකාසේ වැහි වැහැලා කියලා මං අමුතුවෙන් කියන්න ඕනයෑ.. හා නැද්ද..?

හැබැයි ඉතිං සමහර බ්ලොග් කාරයෝ “පර“ වැඩ කරලා සද්ද නැතිව ඉන්නවා. සමහරු “පර“ වැඩ කරලා ඒ වග කියලත් දානවා... මංනං ඉතිං වැඩිය කැමති අනිත් උන්දලා කරන පර වැඩ එළිදරවු කරලා දාන්නයි.. “පර“ වැඩ කොරලා තව හැංගිලා ඉන්න හිතුවට එහෙම ඉන්න දෙන්න හොඳ නැහැ..  

ඔය “පර“ වැඩ එක එක ආකාරයි.. සමහර උදවිය කරන “පර“ වැඩ හින්දා බ්ලොග් ලියන කියවන අය බොහෝම කණස්සල්ලෙනුත් ඉන්නවා... මොනවා කරන්නද සමාජයක් උනාම ඔහොම තමා... ඒ වගේ සමාජයට අහිතකර පර වැඩ කරන අයියලත් එමටයි... අපි ඒම අයට කියනවා “පරයෙක්“ කියලා...

ඒත් සමහර “පර“ වැඩ කරන උදවිය ඉන්නවා ඒ “පර“ වැඩ හින්දා රටට සමාජයට සෙතක් යහපතක් වෙනවා... හැබැයි අර අහිතකර “පර“ වැඩ කාරයින්ගේ “පර“ වැඩ හින්දා මේ යහපත් “පර“ වැඩ කාරයින්ටත් බ්ලොග් එපා වෙලා කියලනං මං හොඳටම දන්නවා.. ඒත් ඒ ඒ දේවල් කොහොම නමුත් විද දරාගෙන තව දුරටත් යහපත් “පර“ වැඩ කොරන අය නැතිවාමත් නෙවෙයි.. මේත් එහෙම “පර“ වැඩක් ගැන කතාවක්...

“පර“ වැඩ කිව්වාම ඉතිං සමහරුන්ට මතක් වෙන්නේ කාට නමුත් කැත වැඩක් කොරන... අයහපතක් කරන.. කන්න දුන්න අත හපා කන.. අසාධාරණයක් කරන කියන තේරුම නෙව.. ඒත් ඔය “පර“ වැඩ කියන එකේ තව තේරුං තියෙනවා...

 එකක් තමා...“පර හට කරන වැඩ“... ඒ කිව්වේ අන් අය හට හිත සුව පිණිස කටයුතු කරන අය.. අහලත් ඇතිනේ අර කියමන... “අත් වැඩ පර වැඩ සමව හිතන්නේ“ කියලා.. ඒ කියන්නේ තමාගේ අර්ථය..සුවය... දියුණුව පිණිස හිතනවා මෙන්ම..අන් අයගේත් අර්ථය..දියුණුව..සුවය ගැන සමානව හිතන.. කියන එක නෙව..

දෙවැනුව ඕකට කියනවා පර ලොවට කරන වැඩ කියලා.. ඒ කියන්නේ යනකොට අරං යන පින් පව් ගැන.. එතැනදී පරලොවට හිතසුව පිණිස කරන කියන දේවල් අපි පින් හැටියටත්... පරලොවට අහිතකර අන්දමට කරන කියන දේ අපි පව් හැටියටත් සරලව දක්වනවා... ඒ පින් පව් කියන්නෙත් පර වැඩ ජාතියක් තමයි...

හා හා ඔය වැදි බණ කිව්වා මදෑ.. කාරණාව මෙහෙමයි...

මේ පහුගිය වෙසක් මාසයේ මටත් චෑන්ස් එකක් වැඳුනා නෙව මොනරුන් ආ ගල පැත්තේ යන්න.. ඒ කිව්වේ මොනරාගල ප්‍රදේශයේ බොහෝමත්ම දුෂ්කර පාසලකට පොත් පත්..පාසල් බෑග් ආදිය බෙදා දීමේ කටයුත්තකට සහ සම්බන්ධ වෙන්න... හා හා එහෙම කිව්ව ගමන් සාධු කාර දෙන්න ඕන නැහැ.. මොකද මං ඒකට සත පහක්වත් දුන්නේ එහෙම නැහැ... :D ආයේ මොටද නැති සිල් පෙන්නන්නේ... මං ඕකට සම්බන්ධ උනේ අතර මැද්දෙදි... කොරාපු එකම දේ බඩු ටික ලාබෙට ගන්න පිටෝටුවෙන් කඩ ටිකක් අල්ලලා දීමයි.. ගමනට සහභාගී වෙච්ච එකයි විතරයි... වියදං කලේ පිංකමේ අයිතිකාර නෝනලා මහතැන්ලා... :D

අර වංගියක් බ්ලොග් එහෙක මට දමාන පෙරලං නෙලන ගමන් කියලා තිබුනා නෙව මාරයා රුපියල් පහක් දීලා සීයක ටෝක් දෙනවා වගේ කතාවක්.. :D මොනවා කොරන්නද ආයිබෝංලා තියෙන්නේ සුපියල් පහනං ඒක දෙනවා මිස.. හා නැද්ද හා..? මෙදා පාරනං ඕං ඒ සුපියල් පහත් නැහැ...  ඕං ඒ බ්ලොගේ ලියන අයට ලියනවනං තවත් ටොපික් එකක්... :D

හරි ඉතිං ඒ ගමන ගියේ මොනරාගලින් හැරිලා ගූගල් මාමගේ සිතියමේවත් සටහන් වෙලා නැති බොහෝම දුෂ්කර පාසලක් වෙච්ච මීයාගල විදුහලට.. ඒ විදුහලට විතරක් නෙවෙයි තව ඉහාව කියලා කණිෂ්ඨ පාසලකටයි.. මොනරාගල පිරිවෙන් දෙහෙකටයිත් එක්කම තමා පොත් පත් පරිත්‍යාග කොලේ...



ඉතිං ඔය ආ ගිය කතාව ඒ පින්කොම සිද්ධ කරන්ට මූලික වෙච්ච උදවිය මූණු පොතේ පින්තූර එහෙම දැම්මට පස්සේ ඒ පින්තූර දැකපු උන්නැහේ කෙනෙක් තමා මෙදා පාර මේ පින්කමට කොර ගත්තේ...

ඉතිං පින්කම මෙහෙමයි... අර මං කලින් ගිය වංගියේ බෙදා දුන්නේ දරුවන්ට උවමනා කොරන පෑන්..පැන්සල්.. කවකටු පෙට්ටි.. පාට පැන්සල්.. හොම්රන් පැස්ටල්... පොත්.. මකන කෑලි.. වතුර බෝතල්.. පාසල් බෑග් ඇතුළු ලොකු කලමනා මල්ලක් නෙව.. එයිට අමතරව පුස්තකාල වලට පොත් පත් විශාල ප්‍රමාණයකුත් දෙන්ට යෙදුනා.. හැබැයි ඒ වැඩේ පින්තූර දැම්මට පස්සේ ඒවා දැකපු හුග දෙනෙකුට හිතට ආව දෙයක් තිබුනා... ඔන්න එහෙමනං ඒ පින්තූරයක්.. බලන්ට ඒ දේම හිතට එයිද කියලා ඔහෙලගෙත්...




පේනවනේ කාරනේ... දරුවෙක්ගේ දෙන්නෙක්ගේ දෙපා විතරක් සපත්තු දෙකකින් වැහෙද්දී... අනිත් ළමයින්ගේ  දෙපා තියෙන ආකාරය...

ඔය කාරණාව දැකපු බොහෝමයක් දෙනා ඒ ගැන යමක් කරන්න උවමනා බව කිව්වත් ඒකට අත ගහන්න තරං වෙලාවක් අපි කාටවත් පහුගිය වකවානුවේ තිබුනේ නැහැ... ඒත්...

අපි හැමෝගෙම හිතට සහනයක් දෙමින් එක්කෙනෙක් ඒ වැඩේට අත තිබ්බා... ඒ දැනට විදේශගත වෙලා ඉන්න සිංහල බ්ලොග් කරුවෙක්... උන්නැහේ සිය පවුල පිටින්ම ලංකාවට ඇවිත් ඉන්න සුළු කාල සීමාවේදී කොහොම හරි මේක කරගන්න ඕන කියලා කල්පනා කරලා වැඩේට අත ගැහුවා... පාසල ගැන විස්තර අපෙනුත් අහලා කරලා විදුහල්පතිතුමාවත් සම්බන්ධීකරණය කරගෙන පාවහන් වල ප්‍රමාණයන් එහෙමත් ගෙන්නවගෙන..ඒවා මිලට අරං අර පට්ට දුෂ්කර පාරේ දුර ගෙවාගෙන ගොහින් අවසානෙදී ඒ හිස්ව තිබුන පුංචි දෙපා සියල්ලම ලස්සන පුංචි සපත්තු වලින් සරසවලා එන්න කටයුතු කලා...

 මේක මං මේ එක ජේදයකින් කියලා දැම්මට මේක මෙහෙම ලෙහෙසියට පහසුවට කරන්න ඇහැකි දෙයක් නොවන වග මං අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව... අපේ අල්ලපු වැටක තියෙන ඉස්කොලෙකට සපත්තු දෙන්න ලෑස්ති උනත් කන්න වෙන කට්ටේ හැටියට... යන්න එන්න පාරක් හරියට නැති... ළමයින්ගේ විස්තර ටික හරියට පැහැදිලිව ගෙන්න ගන්න දාහක් වද විදින්න වෙලා තියෙද්දී... සපත්තු ටික ගන්න ඒ ගැන හොයන්න බලන්න යන්න තමුන් මේ රටේ නැතිව ඉද්දි.. තියෙන කෙටි නිවාඩුව ඇතුලත දාහක් රාජකාරි කරන්න තියෙද්දී.. කාගෙවත් උදව්වක් උපකාරයක් හරියකට නැතිව මෙච්චර ලස්සනට කරන එක වචනයකින් දෙහෙකින් කියන්න ඇහැකි කාරණයක් නෙවෙයි...

හරි එහෙමනං අපි බලමු  උන්නැහේලගේ ගමනේ පින්තූර දෙක තුනක්...

 පාර තමා පාර... මං ගාව තියේ මෙයිටත් වඩා හොද පින්තූර ටිකක් පාරේ.. පස්සේ වෙලාවක දාඤ්ඤංකෝ
 වාරය එන තුර ඇස් පත්තු කොරං... (දෑස් දල්වා කියන්නේ ඉතිං පත්තු කොරං කියන එක නෙව.. )
 පොඩි උපාසක තැනගෙන් තමන් වගේම යාළුවෙකුට අත හිත...
 අපිට උනත් ඔහොම හම්බ උනාම ඇරලා බලනකල් ඉවසිල්ලක් නැහැ නෙව...
 හෙටින් පස්සේ මේ දෙපා මෙහෙම නැහැ....
වචන උවමනාමද..? සතුටේ තරම කියනට...

ඉතිං ඔන්න ඔහොමයි ඒ “පර“ වැඩේ.. එහෙමත් නැත්තං පරහට හිත සුව පිණිස.. පරලොවට පින් පිණිස.. එලොව මෙලොව දෙලොවටම වැඩදායක වන යහපත් කාර්යයක් ඉෂ්ඨ සිද්ධ උනේ...

දැන් ඉතිං මං පින් වාක්කිය කියාපු කාලේ ගියා.. :D නැත්තං ඉතිං පුණ්‍යානුමෝදනාව දෙන්න තිබුනා නැවිලා කරලා කනේ වැලි ගෑවිලා එන්න.. ඒත් ඒ කාලේ අහවර හින්දා කෙටියෙන් කියන්න තියෙන්නේ උපාසක උන්නැහේ තමුන් තමුන්ගේ දරු මල්ලෝ එක්කාසු කොරගෙන මේ කොරාපු පින්කොම තමුන්ගේත්.. පවුලේ සියළු දෙනාගේත් මෙලොව යහපත අභිවෘද්ධි වෙනුවෙනුත්.. පරලොව හිතසුව වෙනුවෙනුත් හේතු වේවා..වාසනා වේවා කියලා තමයි....

“පර“ වැඩක් කලා කිව්වට කල කෙනා කවුද කියලා මෙච්චර වෙලා කිව්වේ නැහැනේ... උන්නහේනං කැමති උනේ නැහැ  මේක පත්තරේ දාන්න... ඒත් මංම තමා කිව්වේ අපි ගිහින් ඇවිත් දාපු පොටෝ දැකලා ඔහේ මේ වැඩේට අත ගැහුවා සේම.. මේ කාරණාව දැකලා තව කෙනෙකුට තව පුංචිම හරි දෙයක් මේ දරුවෝ වෙනුවෙන් කරන්න හිතුනොත් ආන්න ඒ වෙනුවෙන් මේක අපි දාමු කියලා... යහපත් වැඩ කිරීම වගේම ඒවා තව කෙනෙකුට පෙන්නවලා ඒ අයත් යහපතට යොමු කිරීම කියන අරමුණ පෙරදැරිව ඒ ඒ දේවල් ප්‍රසිද්ධ කිරීම වරදක් නෙවෙයි...

 තමුන් කරපු දේ විශාලෙට උලුප්පලා පෙන්වීමේ ආසාවෙන් පින්කම් කරන... එහෙම කරලා ඒක හතර අතේ පෙන්න පෙන්න යන කෙනෙකුගේ අරමුණයි... තව තවත් අය යහපතට යොමුකරවීමේ අරමුණයි කියන්නේ දෙකක් නෙව... ඒ හින්දයි මං කලින්ම කිව්වේ මං මේක දැම්මට මේ වැඩ වලට මගේ සුපියලක්වත් දාලා නැහැ කියලා... මේ පල කරන්නේ තව කාට හෝ කෙනෙකුට මේ අහිංසක දරුවන්ගේ මූණු දැකලා ඒ අය වෙනුවෙන් මොනම හරි දෙයක් කරන්න හිතේවා කියන හිතිවිල්ලෙන්...

ඉතිං මේ වෙන කවුරුවත් නෙවෙයි බ්ලොග් අවකාසේ පහුගිය වකවානුවේ බොහෝමයක් දෙනා දැන හැදිනගත්ත කෙනෙක් උන “සැහැල්ලුව“ බ්ලොගය ලියන “ඉන්දික උපශාන්ත“ ගොයියා තමයි... නම කිව්ව ගමන් බොහෝමයක් දෙනා දන්නවා ඇති නෙව හාදයව... ඕන්න උන්දෑගේ “පර“ වැඩේ... :D

------------------------------------
මේ මීයාගල පාසල ඇවිල්ලා දරුවෝ හැටක් විතර ඉන්න බොහෝම දුෂ්කර පාසලක්... ප්‍රධාන පාරකට එන්න හැතැම්ම දහයක් විතර පයින් ගාටන්න වෙලා තියෙන.. ගමට තියෙන පාරත් පාරකට වඩා වාරිමාර්ගයක් වෙච්ච... රස්සාව ගොවිතැනම වෙච්ච දෙමාපියන්ගේ දරුවන් සිටින... පහසුකම් කිසිවක් නැති... දුප්පත් දරුවන් පිරිසකගේ අනාගතේට තියෙන එකම අත්වැල වෙච්චි... අඩුමගානේ බොන්න වතුර ටිකවත් පාසලට නැහැ... ඒකත් අහල පහල ගෙවල්වලින් අරං එන්න ඕන... සූර්ය කෝෂ පැනලයකින් ලැබෙන විදුලියෙන් තමයි පාසලේ විදුලි අවශ්‍යතාවය සුළුවෙන් හෝ පිරිමහගන්නේ... ඒ තියෙන අඩු ලුහුඩුකං විස්තර කරන්න මට තේරෙන්නෙත් නැහැ.. ගිය මනුස්සයෙක්ටම තමා තේරෙන්නේ...

කැලේ මැද්දෙම ඉපදිලා.. කැලේම කොටලා ගොයිතැන් බත් කරලා.. ලෙඩකට දුකකට බේතක් හේතක් නැතිව..යන්තං බඩට කාලා ජීවත් වෙලා.. ඒ කැලේම මැරිලා යන පරම්පරාවක ගමන පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන්නං ඒ පුළුවන්කම ලැබෙන්නේ කොහොම හරි ඉගෙනගෙන මේ කැලෙන් එළියට එන දරුවෙකුට විතරයි... ඒ වෙනස කරන්න පුළුවන් ශක්තිය තියෙන දක්ෂ දරුවෝ එතැන් ඉන්නවා... ඒත් ඒ වෙනස කරන්න යන ගමන අතර මගදී කඩා වැටෙනඑක නවත්තන්න ලේසි නැහැ.. ඒකට හේතුව දුප්පත්කම... ඉගෙන ගන්න ඕන කරන පොත් පත් ගන්න... අමතර අධ්‍යාපනයක් ලබන්න... ඒවා මේ දරුවන්ට සරල දේවල් නෙවෙයි... ආර්ථික දුෂ්කරතාවය හමුවේ.. ප්‍රදේශයේ ඇති දුෂ්කරතාවය හමුවේ... පවුල්වල ඇති ප්‍රශ්න හමුවේ ඇද වැටෙන මේ ළමයි අර අමාරු ලෝකයෙන් එළියට එන ගමන දවසින් දවස පරක්කු වෙනවා... ඒ ගමන අතර මගදී කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට යන්න ඒ දරුවන්ට පුංචිම හරි අත්වැලක් දෙන්න කාට හරි පුළුවන් නම්...