19 September 2013

බුක් වලි හා පුක් ප්‍රදර්ශන....

මේ ටිකේ හැමෝම වගේ ලියන කියවන මාත්තුරුකාවක් තමා ඉතිං මේ කොළඹ තියෙන ජාත්තියන්තර පොත් ප්‍රදර්සොනේ කියන්නේ.. ආයේ ඉතිං දවස් දෙකක්ම ඕකට ගෑටුව මංතුමා ඕක ගැන ලිව්වේ නැතොත් වැඩක් ඇතෑ.. ඉතිං මාත් කල්පනා කොලා ඔය ගැන ලියන්න... ඒ උනාට මොකද ඇත්තටම ලියන්න කියලා අමුතු දෙයක් නැහැ... :D

ඇයි ඒ... මේ වෙද්දී අපේ වෙනී අයියා.. එහෙමත් නැත්තං හැමෝම දන්න අර K.ලියන්නා ඔය ගැන ලිව්වා වගේම පොටෝ එහෙමත් දැම්මා.. හැබැයි ඉතිං දැකපු උන් කියන්නේ නං පොත් ප්‍රදර්ශනයක් කෙසේ වෙතත් ඒකාගේ පොටෝ දැක්කම වෙන මොනවද ප්‍රදර්ශනයක් තමා පේන්නේ කියලා.. හනේ මංදා ඕවා.. :D

ඒ අස්සේ මාතලං ගොයියත් ඔය ගැනම ලියලා මරේ මරු කයි ටිකකුත් ලියලා තිබුනා... හැබැයි ඔය දෙන්නම ලියාපුවට වඩා මට හිත ගියේ අපේ අමිලයා ලියාපු ලිපියටයි...

හරි ඒ කොහොම උනත් අවසානෙට මේකේ හොදම ආතල් එක තමා වෙනියා සහ මාතලංගේ ධාරානිපාත සංගරාමේ... වැඩේ යසට නැගගෙන ගෙහුන් තිබුනා... හනේ ඉතිං මාත් පුල් සංතෝසේ හරි බරි ගැහිලා වලිය බලන්න සැට් උනා...

හා හා දැන් එකෙක් හරි කියපියවුකෝ “සික් විතරක් මූ වගේ එකෙක් වලියක් දැක්කම ඒක බේරන්නේ නැතිව ඒක බලන්න සැට් වෙනවා“ කියලා...

අනේ යන්න මෙයාලා යන්න... හදවතින්ම සිරිලාංකිය උන අපි කවද්ද වලි බේරුවේ.. වලිය කොහොම හරි නග්ගලා අරං ඒක දිහා බල බල ආතල් එකක් ගන්නවා මිසක්... අනික මේක එසේ මෙසේ වලියක්ද..? දෙන්නම හතලිහ පැනලා..(එයාලාම කියන විදිහට.. හැබැයි ඉතිං දන්න උන්නං කියන්නේ හැට පේන මානේ කියලා..අනේ මට මොකටද ඔය ඕපා දූප... නේද..?) ඉතිං ඔය කවුරුත් දන්නවා නෙව වයසින් මෝරන්න මෝරන්න නෙව අත්දැකීම් ලැබිලා මිනිස්සු පරිපූර්ණත්වයට පත් වෙනවා කියන්නේ... ඉතිං ආන්න එහෙම අත්දැකීම් වලින්.. නැණ නුවණින් සපිරි පුග්ගලයෝ කරන කියන කොයි දේත් හරි තේරුමක් ඇති.. වැදගත්.. උසස් වැඩය කියලා නෙව කියන්නේ... ඉතිං හිතලා බලන්ටකෝ.. මෙහෙම අත්දැකිම් බහුල.. පරිණත.. දැන උගත්.. දෙන්නෙක් හැප්පෙද්දී ඒ වලිය උනත් කොයි තරං සම්බාවිය ඝනයේ එකක් වෙන්ට ඕනද කියලා...

ඉතිං ආයේ එහෙම වලියකට අත පය දාලා ඒක නැති නාස්ති කරන්නේ අහවල් ගස් ලබ්බකටද මෙයාලා.. අපිත් පුළුවන් හැටියකට පිදුරු ටිකක් පැස්ටෝල් ටිකක් ලංකරලා වැඩේ නග්ගලා ගන්නවා මිසක්.. මොකද අපේ අරමුණ මුං දෙන්නා බලු පොරයක් වගේ කා ගන්නවා දකින එකද..?

නැහැනේ.. අපේ ඒකායන අති උතුම් පරම පූජනීය පවිත්‍ර බලාපොරොත්තුව තමයි හර බර.. උසස්..සාම්බාවීය.. පට්ට වලියක් බලා ගැනීම.. හා නැද්ද හා..?

ඉතිං මාත් සැට් වෙලා දත කට මැදගෙන හිටියට මොකද අර මුලින් හා හෝ ගාලා නැගගෙන ආවට මොකද දෙන්නම බැහැලා ගියා නිකං මොකක්ද වගේ... සමහරුනං කියන්නේ ඕක ඔය වයසේ වැරැද්ද කියලා.. ගම රට හොල්ලන්න වගේ නැගගෙන ආවට දෙපාර වනද්දී බැහැලා යනවයි කියන්නේ...  අනේ ඉතිං ඒවා උනත් අපිට මොකටද නේද...? අපි ඒ කතා අතරිමුකෝ...

හරි එහෙමනං මං මේ පොත් ප්‍රදර්සොනේ ගැන වෙන අහවල් ලබ්බක් ලියන්නද..? ඒත් ඉතිං මේ පොත්ප්‍රදර්සොනේට සමගාමීව ගිය මේ මහා වලිරාජයා හින්දම මටත් හිතුනා මට ඔය පොත් ප්‍රදර්ශනේ ගැන හිතෙන දේ කියන්ට...

මේ අපේ පුග්ගලයන් දෙන්නගේ වලියෙදී මතු වෙච්ච කාරණා තමා එක පැත්තක් මේක මහ බොරු වැඩක් හැටියට දකින කොට අනිත් පැත්ත මේක හොද වැඩක් හැටියට දකින එක...

දැන් ඉතිං මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරද්දී මටත් හරිනං තියෙන්නේ මං ඔය දෙකටම මැද්දෙන් ඉන්නවා වගේ පෙන්නලා මැදිහත් ප්‍රකාශයක් කරලා දාන එක.. මොකද එතකොටනේ මගේ ජාමේ බේරෙන්නේ... එතකොට අරුන්ටත් හොදයි.. මුංටත් හොදයි.. දෙපැත්තම සේප් එකේ තියං හිටියැකි... (හැබැයි ඉතිං ඔකෙම අනිත් පැත්තත් වෙන වෙලාවල් තියෙනවා.. දෙපැත්තෙම උන්ගෙන් බැනුං අහතෑකි..) ඒත් මෙයාලා ඔයාලාට කියන්න මට ඒ කාලේ ඉදලම තියෙන ලෙඩක් තමා ඔය අපක්ෂපාතීය කියන පොයින්ට් එකේ ඉන්න බැරිම කේස් එක...

මට හිතෙන්නෙම කොයි පැත්තට හරි හේත්තුවක් දාලා සප් එකක් දීගෙන ඉන්නම නෙව... හැබැයි ඉතිං මං දන්නවා මේවා උපන් මරි මෝඩකං කියලා.. මොකද අද මේ රට ලෝකේ දුවන්නේ එහෙම නෙවෙයි.. හැම එකාම හොදින් තියාගෙන.. එහෙටත් මෙහෙටත් කිසිම තැනකට වරදක් නොකියා හැම එකා එක්කම සේප් එකේ ඉන්න එක... හැබැයි කරුමෙට කකුල් හතරයි කිව්වැහේ..මට ඕක කරන්න හිතෙන්නෙම නැහැ...

ආන්න ඒ හින්දා මටත් හිතුනා මොකක් හරි පැත්තක් ගන්න.. ඉතිං මං බැළුවා කොයි අතද මට ටිකක් හරි කිට්ටු පාත කියලා... ආන් එතකොට තමා මං දැක්කේ යකෝ පොත්ප්‍රදර්සනේ හොදයි නෙව කියලා...

ඉතිං ඇයි මේ පොත් ප්‍රදර්සනේ හොද වෙන්නේ...

පලවෙනිම කාරනේ සියට 20 වට්ටම නෙව...

ඔය වට්ටං ගැනනං මට තියෙන්නේ මහ හිරිකිත සංකල්පයක්... අපි කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියාම එකේ ගහලා තියෙනවා 2000යි කියලා.. ඒත් ඒක ගන්නකොට එකෙන් සියට විස්සක වට්ටමක් කියලා 200ක් අඩු කරලා 1800කට අපිට ඒක දෙනවා... මල විකාරයක්නේ මෙයාලා... ඔන්න අපි එක පාර තොගයක් ගන්නවනං ඔහොම අඩු කලාට කමක් නැහැ.. ඒත් මෙතැනදී වෙන්නේ එක කෑල්ලටත් වට්ටම දෙනවා.. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මුං කරන්නේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් සටහන් කරලා පස්සේ නියම වටිනාකමට බඩුව විකුණනවා.. ඒත් ඉතිං අපිට හෙන මෙව්වයි.. ඇයි යකෝ කීයක් හරි අඩු කලානේ කියලා... ඇත්තටම මටනං මේ වට්ටං කතාව ඇවිල්ලා බොරු සෝබන කේස් එකක් විතරයි... වෙළෙන්දංගේ ජරා උපක්‍රමයක්...

ඉතිං වැඩි දෙනෙක් මේ පොත් ගන්න යන්නේ ඔය කියන සීයට 20සේ වට්ටම බලං... හැබැයි මාතලං කියන විදියට ඔය සියට 20සේ වට්ටම කොළඹ තියෙන ප්‍රධාන පොත් හල් කිහියකම තියෙන දෙයක්..  හැබැයි මාතලං කියන විදියට හැම එකේමනං නැහැ... ප්‍රධාන කිහිපයක විතරයි.. ඒ වගේම රටේ අනිකුත් පළාත්වලත් තියෙන පොත්හල්වල ඔය වට්ටම් කේස් එකක් නැහැ...

උදාහරණයක් විදියට මං ඉස්සර පොතක් ගන්න ඕන උනාම යන්නේ කඩවත මහජන පොත්හලට... ඒ වගේ ඒවෑ ඔය වට්ටං කේස් නැහැ... එහෙම බැළුවම ඈත පළාත්වල ඉදන් මිනිස්සු පොත් ප්‍රදර්ශනේට එන එකේ වරදක් කියන්න බැහැ...

දෙවැනි කිරණාව තමා එකම තැනකින් සෑහෙන පොත් ගැනීමට තියෙන පහසුව...

ආන්න ඒකනං මං වැදගත්ම කොට සලකන එකක් තමා.. මොකද අපිට ගමේ..නගරයේ පොත් කඩේට ගියොත් තියෙන්නේ සීමිත පොත් ප්‍රමාණයක්.. සමහර විට අළුත් පොත් අපිට ඒවෑ හම්බ වෙන්නේ නැහැ.. ඒ වගේම පැරණි දුර්ලභ පොත් පත් උනත් හොයන්න අමාරුයි... ඒ ඔක්කෝටමත් වඩා යම් කිසි විෂය කරුණක් ගැන හොයන්න ගියොත් ඒ සම්බන්ධව විශාලා තේරිමකට යන්න අපිට විදිහක් නැහැ සාමාන්‍ය පොත් හලකදී.. ඕකට හොඳම උදාහරණය තමා මගේ විෂයට අයත්.. ඒ කියන්නේ කුකරි සම්බන්ධව ඇති තියරි පොත් ගැන මං ලබාපු අත්දැකීම... ඔන පොත් කඩේක කුකරි කිව්වම තියෙන්නේ රෙසිපි පොත් විතරමයි... නමුත් කුකරි කියන්නේ රෙසිපි විතරක්ම නෙවෙයි නෙව.. ඒත් ඒ එකකවත් ඒ සම්බන්ධ න්‍යායාත්මක කරුණු අඩංගු පොත් පත් වැරදිලාවත් නැහැ... ඉතිං මං කොහොමද කඩවතින් හරි නිට්ටඹුවෙන් හරි ඒ දේ අරගන්නේ... මං අඩුම ගානේ බස්නාහිර පළාතේ කියලවත් කිව්වැකි... අම්පාර.. මොනරාගල වගේ පැත්තක කෙනෙක් කොයි ලොකෙන්ද ඕකක් හොයා ගන්නේ..?

ආන්න ඒ හින්දා මේක බොහෝම වැදගත්.. කොටින්ම මේ පොත් ප්‍රදර්ශනේ උනත් මට උවමනා පොත් වලින් එකක් හොයා ගන්න කඩ හත අටකටම යන්න උනා... වැරදිලාවත් මං කොළඹ නගරය පුරා ඇවිදින්න ගියානං ඕක හොය හොය... ඔන්න මරදානේ කැරකෙනවා.. පොත නැහැ.. යනවා පිටෝටුවට... එතැන කැරකෙනවා.. පොත නැහැ.. ඉතිං දැන් මොකද කරන්නේ.. යනවා බම්බලපිටි..විජිතයාපා හොයාගෙන... අන්න සමහර විට ඒක එතැන තියෙනවා... හැබැයි ඒක අරං ඉවර වෙලා මට ඕන වෙනවා අතේ තව කීයක් හරි තියෙන හින්දා සිංහල නවකතාවක් හරි වෙන මොකක් හරි ගන්න.. දැන් මං ආයේ යන්න ඕන පිටෝටු හරි මරදානේ හරි... ඔය ටික කරගන්න මට කොච්චර වෙලාවක් යයිද මගේම වාහනේක ගියා උනත්...?

හැබැයි මට මෙතැනදී ඔය ටික කරගන්න පැයක් දෙකක් ඇතුලත පුළුවන්...

ආන්න ඒක තමයි මටනං මේකේ තියෙන හොදම දේ...

එහෙම බැළුවම මට ඔය කාරණා දෙකම ඇති මේ පොත් ප්‍රදර්ශනේ හොඳයි කියන්න..

ඒත් ඔයිට අමතරව තවත් හොදම දෙයක් තමා අළුතින් කියවන්න අය බිහිවෙන එක... 

දැන් අපේ හුග දෙනෙක් ඔය උඩදාගෙන පොත් ගත්තට ඕවා කියවන්නේ නැහැයි කියලා චෝදනාවක් තියෙනවනේ.. ඒක හරිය කියමුකො.. ඒත් උන්දලා මොකක් හරි පොතක් අරං ගිහාම උන්දෑ නොකියෙව්වත් ඕක ගෙදර ඉන්න ළමෙක් හරි.. ආච්චි අම්මෙක් හරි කියවන්නේ නැද්ද..? එහෙම තියෙද්දී ගෙදරට එන තව කාට හරි මේක කියවන්න හිතිලා ඕක ඉල්ලං ගිහින් කියවන්නේ නැද්ද...

හොදම කතාව තමයි මං මගේ ජිවිතේට සල්ලි දීලා අරගත්ත පොත් වලට වඩා කියවලා තියෙන්නේ ඔහොම අනුන්ගෙන් ඉල්ල ගත්ත පොත්... මගේ මහප්පලා දෙන්නගෙම විශාල පොත් එකතුවක් තිබුනා.. මං පොඩි කාලේ තනිකරම ඒවා කියවලා ඉවර කලා... සමහර විට ඒ අය ඒවා හැම එකම කියවලා නැති වෙන්නත් ඇති.. මොකද සමහර පොත් කියවද්දි මටමයි වෙන් නොවුන පිටු එහෙමත් වෙන් කරන්න උනේ... ඉතිං එයාලා නොකියෙව්වත් එයාලා පොත් එකතු කරපු නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුනේ.. පොත්වලට ආසාවක් ඇති උනේ.. එහෙම බැළුවම ඒ අයට පින් සිද්ධ වෙන්නයි මං කියවන්න හුරු මනුස්සයෙක් උනේ... වැරදිලාවත් එයාලත් “මොන පොත්ද කියවන්නවත් වෙලාවක් නැත්තං“ කියලා නිකං හිටියනං... 

ආන්න ඒක හින්දා පළමුවත්.. දෙවැනුවත්.. තෙවැනුවත් මේ පොත් ප්‍රදර්ශනේ අගනා කාරියක් කියලා මං විස්සාස කරනවා...

ඔකේ නරකක් මටනං පේන්නේ නැහැ.. ඇත්තම කිව්වොත් කිසිම නරකක් නැහැ.. තියෙන්නේ දුර්වලතා කිහිපයක් විතරයි... දුර්වලතා කියන්නේ හරිගස්සගත හැකි දේවල්..

ඒ කියන්නේ මේක ජාත්තියන්තර පොත් ප්‍රදර්ශණයක් කිව්වට මේකේ ඇති ජාත්තියන්තර පොතක් නැහය කියන එක වගේ එව්වා.. ඒවා විසදගන්න හැකි දේවල්... උවමනාව තියේනං මේකට ඉන්දීය පොත් ප්‍රකාශකයෝ ටිකක් ගේන්න පුළුවන්... මොකද මං දන්න විදියට තත්වයෙන් තරමක් බාල උනත් ජාත්තියන්තර පොත් බොහෝමයක් ඉන්දියාවේදී නැවත මුද්‍රණය වෙනවා අඩු මිල ප්‍රකාශන හැටියට... පොතේ කොලිටියට වඩා ඒ තුල ඇති දැනුමේ කොලිටිය වැදගත්කර සලකන මට ඉන්දීය ප්‍රකාශන උනත් මේකට එනවනං ඒ ඇති.. කරන්න බැරි දේකුත් නෙවෙයි...  අරක නැහැ මේක නැහැ කිය කිය හිත හිත ඉන්නේ නැතිව ඒ අයටත් ආරාධනය කරලා..පහසුකම් දීලා එයාලාවත් සම්බන්ධ කරගත්තනං ඔය අඩුපාඩු හදා ගතෑකි...

සමහර විට ලෝකයේ ලොකු ලොකු ප්‍රකාශන ආයතන ගැන දන්න කියන උදවියට.. වෙන රටවල් වලදී ලොකු ප්‍රදර්ශන දැකපු අයට මේවා විහිළු වෙන්න පුළුවන්.. ඒත් මෙහෙමවත් එකක් නැතිවාට වඩා මෙහෙම එකක් තියෙන එකත් හොදයි කියලයි මටනං හිතෙන්නේ... මේක ඇමරිකාව කරන්න කලින් අඩුම ගානේ ඉන්දියාවේ මට්ටමටවත් ගන්න එපෑ...

ප්‍රදර්ශන භූමියේ ඇති අවන් හල් ආදිය ගැනනං මට ඒ හැටි දෙයක් කියන්න නැහැ.. BMICH එකේ තියෙන කොයි ප්‍රදර්ශනේකදී උනත් ඕවෑ කෑම අස්ප ගණන්... ඒ හින්දා යන්න කලින් මොනවා හරි කාලා ගියාම වැඩේ ඉවරයි.. නැත්තං ඔතාගෙන ගෙහුන් එහෙදි කනවා.. වතුරනං ඔය තිබුනේ ඇති පදං බොන්න... සල්ලි තියෙන අය ඒවෑයින් අරං කෑවත් අපේ මොකෑ..

හැබැයි අර එටිසලාට් කාරයෝවගේ උන්ට වෙන්කරලා තියෙන ඉඩත් පේමන්ට් එකේ පරණ පොත් විකුණන අයට දුන්නනං තවත් හොදයි... මේ සිම් විකුණන උන්නං මහ ඇණයක්.. කෑමනං ප්‍රදර්ශනේ බලන්න එන අයගේ අවශ්‍යතාවයක් හින්දා අවන්හල් තිබුනට මොන එහෙටද සිම් විකුණන උන් මේකට...

ආන්න ඒ වගේ දුර්වල තැන් අහක් කරලා හදා ගත්තම මේක ගොඩ දා ගතෑකි...

ආ අවසාන වශයෙන් පොත් අරගැනිමයි.. ඒවා ප්‍රදර්ශනය කිරීමයි කියන කාරණාව ගැනත් කියන්න එපෑ... ඇත්තම කිව්වොත් මට උනත් ඔය එක දිගට කට්ටිය ගන්න පොත්වල පොටෝ දැම්මම ඒවා බලන්න එපා වෙනවා... සමහර විට ඒක මගේ හිත යට තියෙන ඉරිසියාවක් වෙන්න ඇති.. මොකද පොත්වලට මං බොහෝම කෑදරයි.. හැබැයි ඒ කියවන්න විතරයි.. පොත් අයිතිකරගෙන ළග තියාගෙන ඉන්න මං ඒ හැටි කැමැත්තක් නැහැ.. මං මේ වෙනකල් ගත්ත හැම පොතක්ම වගේ දැන් තියෙන්නේ එක්කෝ පුස්තකාලවල.. නැත්තං කියවන අය ගාව... ඔව්වා එක් රැස් කොර කොර ඉන්න මට තැනුත් නැහැ.. හැකියාවකුත් නැහැ.. ඕනත් නැහැ... එහෙමයි කියලා එහෙම එකතු කරන අයට මං වැරැද්දක් කියන්නෙත් නැහැ.. මොකද එහෙම අය හරහා තමයි මට පොතු ලැබුනේ කියන දේ මට තාමත් අමතක නැති හින්දා...

බුකියේ පොත්වල පොටෝ දානකොට මට ඉරිසියා හිතුනත් ඒ පොත් දිහා බලලා මං තාම කියෙව්වේ නැති.. ඒත් කියවිය යුතුයැයි හැගෙන පොත් ගැන අදහසක් මං ඇති කරගන්නවා... හොදම උදාහරෙන් තමයි ඔය ඇල්කෙමිස්ට් කතාව කියවන්න මට හිතුනේ අපේ දිල්ශාරාද කොහේද ඕක පාරට්ටු කල පාරට්ටුවේ හැටියටම තමා... සෙංකොට්ටං ගත්තේ මරණයාගේ වරුණාවට... සක්කාරං ගත්තෙත් එහෙමයි... උන් ඕවා ගැන කිව්වේ නැත්තං... බුකියේ කතා කලේ නැත්තං මං ඒ පොත් ගැන දැනුවත් වෙන්නේ නැහැ... එහෙම බැළුවම බුකියේ යන පොටෝ විස්තර ගැනත් වරදක් කියන්න බැහැ...

ඉතිං ඔන්න ඔහොමයි මගේනං අදහස පොත් ප්‍රදර්ශනේ ගැන... මාතලං කියනවා වගේ ඉතිං බුක්ස් කෙසේ වෙතත් පුක්ස් බලන්න යන අයත් ඉන්නවා තමයි... ඕක ඉතිං කොහේද නැත්තේ..? පන්සලේ පෙරහැරට යන උන් අස්සෙත් වැඩි හරිය යන්නේ ඕකට... එහෙවු එකේ අනිත්වා ගැන මොන කතාද.. අනික එහෙම පුක් බලන උනුයි.. පුක් පෙන්නන උනුයි එනවා කියලා මේවා නැති කරන්නයෑ... බුක් බලන උන් බුක් බැළුවාවේ..පුක් බලන උන් පුක් බැළුවාවේ... කාගේ කාගේ හිත් පිරුනාවේ...

සැමට යහපතක්ම වේවා..!

------------
පලි...

කලින් ලිපියේ කොමෙන්ටුවකට බුද්ධියා දාලා තිබුනා මගේ ලිවිල්ල ගැන පට්ට කතාවක්... පුදුම සංතෝසයක් දැනුනේ ඒක කියවලා... බුද්ධියා උඹලා වගේ පාඨකයෝ සිටීම ගැන මට හරිම ආඩම්බරයි... ඕ යේෂ් බොක්කෙන්ම...

17 September 2013

සියල්ල අතැර දමා මාරයා නැවු නගින ලද වගයි...

ඔන්න ඉතිං අවසානෙදි මාරයාතුමා වන මංතුමා නැවු නගින්න තීරණය කලා.. මේට එක පැත්තකින් බැළුවොත් හදිසි තීරණයක් තමයි... හැමදේම සැට් උනේ හදිසියේ... ඒත් ඉතිං හදිසි තීරණයක් කියලා කිව්වට මේක කරන්න ඕන කියලා මං තීරණය කරලා දැන් හුගක් කාලයක්... ඒත් ඒකට මෙහෙම හදිසියේම කටයුතු යෙදෙයි කියලා කවුද හිතුවේ.. ඒත්...

අවස්ථාව ලැබුන වෙලේ ආයේ දෙතුන් පාර කල්පනා කර කර ඉන්න දෙයක් මට තිබුනේ නැහැ... ඉස්සර ඉදන්ම මේක හිත හිතා හිටිය එකේ මේ හදිසියේ ලැබුණු චෑන්ස් එකට පයින් ගහන්න උවමනාවක් නැහැනේ.. ආන්න ඒ හින්දා අවසානයේදී හදිසියේ නමුත් මං මේ තීරණේ කිරියාත්මක කලා...

කට්ටිය සමා වෙන්ට ඕන කල් ඇතිව දැනුං දෙන්නේ නැතිව එක පාරටම නැවු නැගලම මෙහෙම කියන්න තියා ගත්ත එකට... ඇත්තටම මාත් මේ ගමන යොදා ගත්තේ හදිසියේ.. ඒ කිව්වේ පෙරේදා තමයි එක පාරටම මට හදිසියේ මේ අවස්ථාව ලැබුනේ.. ඉතිං ආයේ වන වන ඉන්නේ නැතිව ලැබුන පළමු අවස්ථාවෙන්ම මං පරයෝජනේ ගත්තා.. ඒ කියන්නේ නැවු නැග්ගා... හැබැයි ඉතිං ඔය එහෙට මෙහෙට පැන ගත්ත බොහෝම උදවිය කරන්නැහේ අනිත් උනුත් ඒ චෑන්ස් එක ගනී කියලා හිතලා තමුන් නැවු නැග්ග කොරමේ හංගං ඉන්න ජාතියේ එකෙක් නෙවෙයි නෙව මංතුමා... ඒ හින්දා අනිත් අයටත් දැන ගැනීම උදෙසා මෙන්න කොරමේ.. හැකි කෙනෙක් හැකි ඉක්මනට නැග ගන්න එකයි ඇත්තේ.. ඒ හැටි කාලයක් මේ චෑන්ස් එක නැහැ.. ලබන 22 විතර වෙනකල් තමා වැඩේ තියෙන්නේ... මෙන්න විස්තරේ...


ඔය ඈත පේන්නේ මං නැගපු නැව තමා...
 ඔන්න තව ටිකක් ළගට...
 මං නගිනකල් නැව් කඹ දාලා නැව බැදලා තිබුනේ මෙන්න මෙහෙම...
 නැවේ නම හෙමත් ඔය තියෙන්නේ...
 මං විතරක් නෙවෙයි තව බොහෝමයක් ඈයෝ නැවු නැග්ගා..බැස්සා... මේ කොළපාට උදවිය ඇවිල්ලා කළුතර ට්‍රේනින් කොලීජියක නංගිලා වගයක්... හම්මෝ නැවෙන් බාගයක්ම මෙයාලා පිරිලා හිටියේ...
 සුදු මල්ලිලා බොහෝම හොදට හිනා වෙලා නැවට පිලිගන්නවා...
 බුවා පුල් ආතල් එකේ බැරල් එහෙකට බෙර ගගහා ඉන්නවා...
 මේ වගේ දොරවල් තමා නැවේ  තිබුනේ...
 උඩට යටට බහින්න තිබුනේ මෙහෙම පඩි පේළි... (හැබැයි මංනං නැග්ගේ බැස්සේ නැහැ.. :D )
 මුලින්ම නැවට නැග්ගම මෙතන වාඩි කරවලා පොඩි පැහැදිලි කිරීමක් එහෙමත් කරලයි ඇතුලට දාන්නේ...
 නැව ඇතුලේ තිබුන ආපන ශාලාවේ නංගිලා...
 ඉතිං ආයිබොංස්ලා... මං නැවු නැග්ගේ මෙන්න මේ කියන පොත් ප්‍රදර්ශනේ බලන්ට නෙව... බලන්ටකෝ ඇවිත් ඉන්න සෙනග...
 ඔන්න ඉතිං නැවේ තිබුන අංගෝපාංග කිහිපයක්...
 නැවු ඇංජිමක් නෙව...
 දොස්තර හිතහොඳගේ නැව මතක් උනා...
 මංතුමා නැවේ ජනේලයක් ගාව...
 ද නළුවා...
 නැවු නැගලා අවසානේ නැවේ කපිතාන් තැනට මං තියාපු පණිවිඩ පොජ්ජ තමා මේ...
 නැවේ කාර්ය මණ්ඩලේනං කියලා වැඩක් නැහැ.. සුපිරිම සුපිරි... බොහෝම හිතවත් තරුණ පිරිසක්... මෙයා තායිලන්තේ හාදයෙක්...
 මෙන්න නැවු නැගිල්ලට මූලික උන දැන්වීම...


හරි මෙන්න ඔයාලටත් යනවනං අවස්ථාව.. මේ මාසේ 22 වෙනකල් විතරයි... දන් 2 ඉදන් රෑ 8 වෙනකල් මේ පොත් ප්‍රදර්ශනේ තියෙනවා... ඕන කෙනෙකුට ගිහින් පොත් ගන්නත්... නැව බලන්නත් ඇහැකි... දැන්වීමේ තිබුනේ නං රුපියල් 100ක ටිකට් එකක් ගන්න වෙනවා කියලා උනත් සල්ලි ගත්තෙම නැහැ... ඒ හින්දා කිසි අවුලක් නැතිව ගෙහුන් බලලා කරලා ආහැකි.. වරායේ අර චෛත්‍ය ගාවට ගියාම එතැන ඉදන් නැවට බස් එහෙක එක්ක ගෙහුන් ආයේ බලලා ඉවර වෙලා නැවෙන් එලියට බැස්සම ගෙනිච්ච තැනටම ගෙනත් බස්සනවා... වාහන වල යන අයටත් එතැන වාහනේ පාක් කරලා බස් එකේ ගිහින් ආහැකි...  තව මොනවා හරි දැන ගන්න උවමනා විස්තරයක් තියේනං අහන්ටලා...

ඔන්න ඔහොමයි මංතුමා නැවු නැග්ගේ... :D

13 September 2013

හැබෑටම කවුද ඒ..?

මං ඊයේ දාපු පොටෝ කෑල්ල මතකයිනේ... ඒ කිව්වේ මෙන්න මේක...

හරි එතකොට කවුද මේ කකුල් දෙකේ හිමිකාරයා... මං හිතන්නේ මේක හරියට කියා ගන්න ඇහැකි උනේ එකම කෙනෙකුට විතරයි... ඒ තමා අර අපේ වයෝවෘද්ධ තිස්ස සිරිමතාණන්.. උන්නැහේ වත්ත වටේ ගොහින් හරි ගහටම කොටලා තිබුනා... (කොහොමටත් උන්දැට ඔය එහෙට මෙහෙට කොටලා පුරුදුයි අපි දන්න හැටියට..)

ඉතිං මේ තමා අපේ බ්ලොග් හිතවතා.. මෙන්න මෙයා.... හැබැයි ඔය දීලා තියෙන්නේ මෑන් කරපු වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකේ ලින්ක් එක තමයි.. අපරාදේ කියන්න බැහැ අපි කීප දෙනෙක් වර්ඩ් ප්‍රෙස් කාරයින්ට පට්ට යන්න බනින වෙලාවක මෑන්ට බයටම හැදුවා බ්ලොගර් එහෙකුත්.. මේ ඒක... :D

ඉතිං කාලයක් බොහෝම අපූරුවට බ්ලොග් වල කොමෙන්ට් කොට කොට හිටපු.. ඒ වගේම බ්ලොග් එකත් බොහෝම සාර සුබාවට කොරගෙන ගියපු.. ඒත් මේ වෙද්දී හෙන ගහපු වැල ගෙඩිය ගානට බ්ලොග් එක පාළුවට ඇරලා දාලා හාන්චි පයිස් ගහලා ඉන්න සපතේරු උන්නැහේ ගැන තමා මේ කිව්වේ... මේ පොටෝව ගත්තේ මේ මෑතකදී උන්දෑ ලංකාවට ආව වෙලේ උන්දැව බලන්න ගිය වෙලාවක... රස්සාවට කරන්නේ සපත්තු වෙළදාම උනත්.. මේ යෝධයා හදිසියට දාගෙන දුවං ආවේ ළමයෙකුගේ සෙරෙප්පු දෙකක්.. ඒක දැක්ක ගමන්ම “සපතේරුවා“ කියන නමත් එක්ක මගේ හිතේ ඇදිලා තිබුන ප්‍රතිරූපය මං සුටුස් ගාලා වෙනස් කර ගත්තා “සෙරෙප්පුවා“ කියලා ඒකත් “කොට සෙරෙප්පුවා“ කියලම තමා ඕං.
.. මෑන් සම්බන්ධව වැඩි විස්තර කියන්න ඇහැකි උනත් හරි නැහැනේ.. පවුලත් නැතිව කන්නත් නැතිව රෙදි හෝදන්නත් නැතිව වේලි වේලි ඉන්න දවස් ටිකේ අපිත් වට වෙලා නෙලන එක...

( ඒ ඔක්කෝටමත් වඩා මට දුන්න වටිනා කියන සපත්තු දෙක ගැනවත් ඉවසලා කට පරිස්සං කරගන්න ඕන නෙව... :D :D :D)


11 September 2013

පුළුවන්නම් හඳුන ගන්න..

ලෝකෙට පරකාසේ.. ගෙදරට මරගාතේ කියන්නේ මෙහෙම සීන් වලට තමා.. පුළුවන් නම් මේ කවුද කියලා හඳුනා ගමු... කමෙන්ට් පබ්ලිස් කොරන්න වෙන්නේ ටිකක් බලලා තමයි...


ටිකක් විස්තර කියනවනං ඉතිං මේ අපේ බොහෝම හිතවත් බ්ලොග්කරුවෙක් තමයි... ඔය ඔටුලන්තවාසී බ්ලොග් කපීර්ලනං මෙයාව දන්නවා.. ඒ වගේම මෙයාගෙන් හොදට කාපු නැති ඔටු ලන්තවාසී බ්ලොග් කාරයෝ හරි අඩුයි... උන්දලනං දැක්ක ගමන් හදුන ගනී කවුද කියලා... දීලා තියෙන පින්තූරේ ගැන හොදට කල්පනා කලොත් අනිත් අයටත් බැරි වෙන්නේ නැහැ...

තවත් ඉතිං විස්තර කියනවනං මේ දවස්වල කන්න නැතිව වේලෙන හාදයෙක්.. හේතුව බාරියාවයි ළමයිනුයි ලංකාවේ.. කොලුවා ඔටු ලන්තේ.. තව ඉතිං සෑහෙන කාරණා කිව්වැකි.. ඒත් ඉතිං බත් කටක් කන්න දීපු හාදයෙකුට මඩ ගහන්න හොද නැහැ නෙව.. හා නැද්ද හා..? නැත්තං ඉතිං ඔය ඇදුමක් වැඩිම කාලයක් පාවිච්චි කරන්නේ කෙසේද..? වගේ දැනුම මිනුම දියුණු වෙන දේවල් උනත් මෙයාගෙන් අහලා දැන ගතෑකි.. හා හා ඒවා ඕනම නැහැ...

06 September 2013

පොටෝවක පසුබිම හා දියුණුවට මඟක්...

මේක මේ හදිසියේ ලියන්න හිතුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි අපේ ලියන්නා නොහොත් කවුරුත් දන්න වෙනී අයියා..
 (පේනවනේ හිනාව...)
 එහෙමත් නැත්තං ප්‍රියන්ත වෙනිවැල් ගොයියා දාලා තිබුන පෝස්ටුවක් දැකලා... පොර ලොකු එකෙන්ම දීලා තියෙන්නේ පොරගේ පොටෝ සෑත්තරේ ගැන මහ ලොකු උජාරුවෙන්..

 ඒ කරලා මේකාගේ විසිස්සට ඡායාරූපය කියලා පොටෝ කෑලි දෙක තුනකුත් දාලා... එව්වා දැක්ක ගමන් මට බකස් ගාලා හිනා ගියා... ඒ වෙන මොකවත් නෙවෙයි පොර ඒ පොටෝ වල මුලටම දාලා තිබුන එක දැකලා...

සාමාන්‍යෙයන් කෙනෙක් ඔය වගේ දේකදී මුලටම හෝ අගටමනේ  හොඳම දේ දාන්නේ... ඉතිං මාත් කල්පනා කොලා මෑන් මේ මුලටම දාලා තියෙන්නේ පොරගේ හොදම එක වෙන්න ඇතිය කියලා... (කොහොමටත් අර අගටම දාලා තිබුන එකේ මෙලෝ රහක් නැහැ.. ආයේ ඉතිං කට කෑවත් ඇත්ත කියන්න එපෑ.. :D )

මෙන්න ඉතිං ඒ පලවැනි එක...


හරිනේ.. ඉතිං.. දැන් ඕක දැක්කම මට හිනා ගියේ කාරණා දෙකක් හින්දා...

මෙන්න පලමුවැනි කාරණාව... මේකා ඕක ගන්ට මහන්සි වෙච්ච හැටි...
     
                                    
පේනවනේ... දණ ගහගෙන.. පස්ස දික්කරගෙන.. (මේ පැත්තට පෙනුනේ නැතිවට මොකද දිව හපාගෙන එහෙමත් තමා.. ) අර මේකගේ විසිස්ට ඡායාරෑපය දිහා බලලා මේක බැළුවම පේනවා නේද ඒ පින්තූරේ තිබුන ආලෝකේ මේකෙත් පැත්තකින් යාන්තමට වගේ පේනවා කියලා...පුදුම දුකක් වින්දා ඕක ගන්න...
ආයේ ඉතිං මේකා ඔහොම මහන්සි වෙද්දී මමත් සුටුස් ගාලා මගේ කැමරා කට්ටෙන් මං දන්න සිල්ප දාලා මේ පින්තූරේ ගත්තා.. ඔය පලවෙනි එක.. මේ දෙවැනි එක..
(දෙකේ පැහැයේ එහෙම වෙනස්කම් තියෙන්නේ ඕකා ඕක ගන්න මහන්සි වෙද්දී මං වඩාත් හොද එකක් ගන්න අරමුණින් පට පට ගාලා සෙටින්ග්ස් එහෙම වෙනස් කරලා වැඩේ කොරපු හින්දයි ළගට ගනිද්දී ෆ්ලෑෂරේ ආලෝකට මුගේ පස්ස පැත්තේ හොදින් පතිත වෙලා පරාවර්ථනය වීමයි හින්දා තමයි... පොඩි එඩිටින් පාරකුත් තියෙනවා.. තමයි...)

                                    
(ඔය පොටෝව අරගෙන ඒ සතුටට විරිත්තගෙන ඉන්න හැටි තමා)

ඉතිං ඔය පොටෝව ගන්න මහන්සි උන හැටි මතක් වෙලා හිනා ගියා වගේම දෙවැනුව හිනා ගියේ තවත් කාරණාවකට තමයි... ඒ මොකක්ද ඒ...

ඔන්න බලන්න පින්වතුනි.. ඔහෙලා දන්නවා නෙව මාත් මෙහෙම හිටියට ඔය ලොකු ලොකු පින්තූර කාරයින්ට පවා උපදෙස් අවවාද දෙන බුවා කියලා... මතකනේ මේක එහෙම...

හොඳ ඡායාරූපයක් ගන්නේ කෙසේද..? විශිෂ්ඨයකුගේ උපදෙස්...


එතැනින් ගිහාම තව මගේ මේ පොටෝ ඇල්ලිල්ල ගැන ලියවුන ලිපි කිහිපයක්ම තියෙනවා... ආධුනිකයෙකුට ඉගෙනගන්න සෑහෙන් දේවල් ඒවෑ තියෙනවා.. කැමති කෙනෙකුට බැලියැකි...


ඔය වගේ තව කිහිපයක්ම තිබුනා.. හැබැයි ඒවා බුකියට පමණක් සීමා වෙච්ච එව්වා...
ඉතිං මං මේ කියන්න ගියේ... වෙනියට උනත් ඒකගේ විසිස්ටම ඡායාරූපේ ගන්න මං වගේ මේ සේස්තරයේ ප්‍රවීණ.. දැන උගත්.. දස්ස..විසිස්සට... පොරක් ලග ඉන්නම ඕන උනා නේද කියලා... ඒක සිහිපත් උනාම තමා මට දෙවැනියට හිනා ගියේ... :D

අන්න ඒකයි කියන්නේ ලමයි යහපත් ගුරු ඇසුර වැදගත්ය කියලා... අපි වගේ ගුරෙක් නිකමට පිටිපස්සෙන් හිටියත් ඇති මිනිහෙකුට දියුණු වෙන්නනං... තව කට්ටිය ඉන්නවනං දියුණු වෙන්න ආස..එමු බලන්න...
(ආයේ ඉතිං අපි පස්සෙන් හිටියොත් වෙන දේ ගැන එක එකා කට කැඩිච්ච කතා කියයි.. මංනං නෙවෙයි කනකට ගන්නේ.. :D  )

03 September 2013

මහාචාර්යතුමා තරහා වෙන එකක් නැහැ මං මෙහෙම කිව්වට ආයිබෝං...

යන්තං ඕං ටිකක් නිදහසක් තියෙන වෙලාවක් සැට් උනා... හැමදාම මේකේ මොනවා හරි කුරුටු ගාන්න කියලා හිතං හිටියට මොකද ඒක වෙන්නෙම නැහැ නෙව... අම්මපා කොහොම ලියාපු එකෙකුටද මෙහෙම උනේ... මතක් වෙද්දි ඇඩෙනවා පින්වතුනි...

 කොහොම උනත් ඉතිං අනං මනං වැඩ එව්වා මෙව්වා ටැපලෙනකොට මේවා කොහු කොහු වෙලා යනවා... එව්වා ඉතිං ලෝක සුභාව දරුමෙටම අයිති දේවල්..එහ්නං...

කොඹළ ආවට පස්සේ ඉස්සර තරමට මේක ලියන්න උනේ නැති උනාට මොකද ලියනවනං දේවල් ඉහටත් උඩින් දවසගානෙම සැට් වෙනවා... ඒත් කරුමෙට ෆෝ කකුල් කියන්නේ ලියා දාන්න වෙන්නෙම නැහැ...

අදනං ඔන්න ටිකක් කලියෙන් කාලා බීලා.. දවසට නියමිත රාජකාරි වේල පහින්ම අවසාන කොරලා පරණ හින්දි සිංදුවකුත් ටියුන් කොරං මෙතන වාඩි උනේ මොනවාම හරි ලියලා දාන්න කියලා හිතාගෙනයි...

ඔහෙලට කියන්න ඔන්න මේ පහුගිය දවස්වල මට පික්සු හැදෙන නාට්ටිය බැලිල්ලක් සැට් උනා නෙව...

මහාචාර්ය එදිරිවීර සරත්චන්දර උන්නැහේ පරලෝ සැපත් වෙලා දාහත් අවුරුද්දක්ද කොහේද වෙන හින්දා කියලා ඒ මහතැන්ගේ නෝනා මහත්මිය සහ නාට්ටිය කණ්ඩායම මූලික වෙලා උන්නැහේගේ නාට්ටිය එක දිගට දවස් දහයක්ම පෙන්නුවා නෙව මේ බොරැල්ල YMBA සාලාවේ... මට ඉතිං පයින් යන දුර නෙව ඕතන.. මාත් හිටු කියලා බැලුවා බැලිල්ලක්... ඒත් ඉතිං වැදගත්ම දෙකක් මිස් උනා මගේ මේ පංති කෙරුවාව හින්දා... මොනවා කොලත් ගෙඩි රුපියල් බර ගාණක්ම ගෙවලා යන ඉංගිරිසි කැලෑසිය කට් කොරන්න බැහැ නෙව මහාචාර්ය තුමා වෙනුවෙන් උනත්.. ඒ හින්දා දවස් දහයෙන් දවස් දෙකක් එහෙම නැති උනා.. එතැනින් ගියාම උන්නැහේලා මනමේ සහ සිංහ බාහු දවස් දෙක දෙක පෙන්නුව හින්දා එතැනිනුත් සිංහබාහු දෙකමයි.. මනමේ එක පාරකුයි අතෑරියා.. සිංහබාහු අතෑරියේනං මං මෙයිට ටික දවසකට කලියෙන් බොරැල්ල පුංචි තියටරයේ ඕක බලපු හින්දා..

ඔහෙලට කියන්න ඉතිං ලැජ්ජා වෙන්නේ මක්කටැයි.. අවංකවම කිව්වොත් දෙපාරක් බලන්න තරං මට හිතුනෙම නැහැ නෙව ඕක... මං නොගියට මගේ යාළුවෝ කිහිප දෙනෙක් ඒක බලන්න යන්න සැට් කරලා මං සාලාව ගාවටම ගිහින් ආපහු ගෙදර ගියා එදත්.. උන් ඒත් අහපි “ඇයි තව පාරක් බැළුවම මොකද වෙන්නේ“ කියලා... මං කිව්වා “උඹලත් බලලම කියහල්ලකෝ දෙපාරක් බැලියැකිද කියලා“..

අපරාදේ කියන්න බැහැ උන්දලත් ඒක බලලා ආපහු එන ගමන් මටම කිව්වා “කතාව ෂරිය.. දෙපාරක් තියා එක පාරක් බලන්නත් නිකං මෙව්වයි“ කියලා... එතැනින් එක්කෙනෙක් මෙයිට කලින් පේරාදෙණියේ වලේද කොහෙදත් ඕක බලාපු කෙනෙක්... උන්දැත් කියපි දැන් ඉන්න සිංහයා නිකං පූසෙක් වගේය කියලා.. :D ඉතිං උන්දලට එහෙමනං මේ  සරල සාමාන්නිය සිම්පල් මනුස්සයා වෙච්ච මට ඕක දිරවයියෑ... කොටින්ම කියන්න මෙච්චර කාලයක් ආසාවෙන් අහ අහ හිටිය “ගල්ලෙන බිදලා“ සිංදුව උනත් මේ සිංහයා කියද්දී ඒ හැටි ගැම්මක් මටනං ආවේ නැහැ...

මං දන්නේ නැහැ සරත්චන්දර මහාචාරියතුමා හදපු කාලේ වගේමද මේක දැනුත් තියෙන්නේ කියලා.. ඒ කොහොම උනත් මටනං දෙපාරක් බලන්න තරං ඒකේ කිසිම ගතියක් නැහැ.. ආයේ නිකං “වෙන්න ප්‍රබුද්ධ“ පොරක් වෙන්න  කියලා හිතලා අර මොකක්ද සළුව.. ආ මතක් උනා සීතාම්බර පට සළුව වගේ ඕක හරි අගෙයි කියලා වනන්න ඕන නැහැනේ ආයිබෝංලා... නාට්ටිය පුරාවටම ඒකේ රඟ පාපු උදවියගෙන් සුප්පාදේවියට හිටිය පැරණි නිළියක්ය කියන්න පුළුවන් කෙනා ඇර අනිත් උන්දලගේ මෙලෝ ලකයක් තිබුනේ නැහැ... සිංහබාහුට ඉන්නේ අර ටෙලිනාට්ටිය වලත් ඉන්න නළුවා.. සනත් විමලවීර... ඇඩෙනවා... 

ඇඩුනේ මොකවත් හින්දා නෙවෙයි මේ පාර මනමේ බලන්න ගියාම ඒකේ මනමේත් ඒකාමයි... නාට්ටිය දෙකේම එකම ඇදුම්..එකම රඟපෑම්.. කොටින්ම පොතේ ගුරාටත් ඒකෙයි මේකෙයි කෑලි ටැපලෙනවද මංදා... මනමේ සිංහබාහු ගැන කාලයක් තිස්සේ අහලා අහලා හිතේ ඇදිලා තිබුන ප්‍රතිරූප එක් සැනෙන් දියාරු කොරලා දාන්න සනත් මල්ලි දක්ෂ උනා කියලා නොකිවුවොත් හරි නැහැ නෙව... සනත් මල්ලි ඇත්තටම ඒකටනං දස්සයා... මට මනමේත් එපා උනා..සිංහබාහුත් එපා උනා...

හැබැයි ඉතිං ඔහොම වෙලා තිබුනට මොකද එක නාට්ටියක් ඔන්න යන්තං සරත්චන්දරතුමාගේ ජමේ බේරගත්තා.. ඒ තමා “මහාසාර...“

කිසිම අප්පිරියාවක් නැතිව බලන්න ඇහැකි.. තව පාරක් පෙන්නුවොත් එදාටත් ගිහින් බලන්නත් ඇහැකි... හැබැයි ඒ‍ක එහෙම වෙන්න නළු නිළියන්ගේ දස්සකම බලපෑවා කියලා කියන්නම ඕන... මැණිකේ අත්තනායක... විජය නන්දසිරි දෙපල තමා මේන් කැරැක්ටර්.. ආයේ ඉතිං කියලා වැඩක් නැහැ... උන්දලනං රඟ පාන්නම උපන්න උන්දලා... 

කට්ටිය පහුගිය දවස්වල කියනවා මං අහගෙන විජය නන්දසිරි මහත්තයගේ පාදයක් ඉවත් කරලා කියලා ශල්‍යකර්මයක් කරලා... ඒක කොහොමද කියලනං හරියටම කියන්න තේරුනේ නැහැ.. සමහර විට බොරු කකුලකින් වෙන්න ඇති මේකේ රඟපාන්න ඇත්තේ.. ඒත් ඒක එහෙමනං මල් තියලා වඳින්න වටිනවා උන්දැගේ රඟ පෑමට... මුල ඉදලම තාලයට අඩිය තියමින් රඟපෑවා උනත් ඒ වැඩි හරිය තරමක් හිමිහිට තමා කෙරුනේ.. ඒ හින්දයි මටත් හිතුනේ කතාව ඇත්තක් වෙන්න ඇති කියලා.. හැබැයි එහෙමයි කියලා කිසිම අඩුවක් පේන්න දුන්නේ නං නැහැ.. එහෙම ගිහින් එක තැනකදී රජතුමා හැටියට ඉන්න විජය නන්ද සිරි මහත්තයා තරමක් වේගවත් පාද චලනයක් එක්ක වේදිකාවට එන දර්ශනයකදී මෙන්න එනවා බොලේ පුදුමාකාර විදියකට රිද්මයකට පාද තියමින් නට නට... ඇත්තයි ඕං.. අර විදියේ කරදරයක් වෙලා තියෙද්දිනං උන්නැහේ ඒ වගේ ආවේ... ආයේ ඉතිං ඇස් වහක් කටවහක් නැහැ අපේ ආයුසත් අරං දීර්ඝ කාලයක් ඉන්න ඕන උන්නැහේ.. ඒ තරංම දස්සකමක් තමා ඒකනං...

අනික ඉතිං උන්නැහේත් මේකෙන් අහක් උන දාට ඒකටත් අර වගේ නළුවෙක් පැනලා මේකත් චකබ්ලාස් කරලා දාන්න ඉඩ තියේ... එහෙම නොවෙන්න අනේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා උන්නැහේ...

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම නාට්ටිය කිහිපයක්ම බලා ගන්න මට ඇහැකි උනා...

මනමේ..
මහාසාර..
හස්තිකාන්ත මන්තරේ..
ඒකට මට හිනා හිනා..
මඟුල් ප්‍රස්ථාව..
රත්නාවලී...

කියන නාට්ටිය ටික තමා ඉතිං බලන්න උනේ... කපුවා කපෝති / කඳා වළලු / එලොව ගිහින් මෙලොව ආවා.. කියන ඒවා මිස් උනා... ඔතනින් මහාසාර වගේම හස්තිකාන්ත මන්තරෙත් තරමක හොඳ තත්වයක තියෙනවා ඒකෙත් සනත් විමලවීර හිටියා උනත්... මගුල් ප්‍රස්ථාව හිනා සාගරයක්... (මගුල් ප්‍රස්ථාවනං අපි වගේ පීචං පංතියට සුපිරි... :D අහලා ඇතිනේ ඔහෙලා අර සුප්‍රසිද්ධ වික්ටර් රත්නායකයන්ගේ “ස“ ප්‍රසංගය ගැන වාර්ථාමය වැඩසටහන...) හැබැයි ඒකට මට හිනා හිනා කියලා හදලා තියෙන කාලගෝල කතාවනං මෙලෝ හිනාවක් යන්නේ නැති එකක් වෙනවා අර දික්තලාට හිටිය නළුවා නොහිටියනං.. (ඒකනං සුපිරි.. නළුවෙක් උනාට ගෑණු චරිතේ දෙනවා ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම..) කාල ගොලයට ඉන්නේ මොන ලෝකෙන් හොයා ගත්ත නළුවෙක්ද මංදා... එක්කෝ කාලගෝල ගැන කාලයක් තිස්සේ අපේ හිත්වල ඇදිලා තියෙන රූපයට සමාන එකෙක් දාන්න ඕන.. නැත්තං පෙනුම නැතත් රඟපාන්න ඇහැකි එකෙක් දාන්න ඕන.. මේකට ඒ දෙකම නැහැ... හදිසියට පාන් බාගයක් ගේන්න කඩේ යවන්න වගේනං නරක නැහැ.. මං හිතන්නේ නළුවෙක් නැති හින්දම ගත්ත එකෙක් හරි... එහෙමත් නැත්තං නාට්ටිය කණ්ඩායමට හත් අවුරුද්දක් විතර බැල මෙහෙ කරලා චරිතේ ඉල්ල ගත්ත එකෙක්ද කොහේද... මෙලෝ රහක් නැහැ... 

රත්නාවලීනං උසස් පෙළටත් නිර්දේශ කරලා තියේ කියලා කිව්වා.. ඒක එහෙමනං ඉතිං ඒක නිර්දේශ කරපු එකාට කීයක් හරි දෙවලා වෙන්න ඇති නිර්දේශ කොරන්න ඇත්තේ... පිස්සු විකාරයක්.. අන්තිම දුර්වල පිටපතක්.. හරියට නිකං අර හැටේ දසකේ දෙමළ චිත්තර පටියක් වගේ... කතාව අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගියෝය කියන්න හදපු මේ ලෝකේ විදියකට විස්වාස කල නොහැකි කතා වස්තුවක් සහිත නාට්ටියක්... ඔය තමා ඉතිං මට තේරුන හැටි... 

හැබැයි ඉතිං මෙව්වා මෙහෙම ප්‍රසිද්ධියේ කිව්වම ප්‍රබුද්ධ උන්නැහේලා මට නෙලයිද දන්නේ නැහැ බිම දමාන... අනේ ඉතිං මයේ වරදක් නැතිවා ආයිබෝං... ඉස්සර කොහොම උනත් දැන් ලගකදී මේව්වා බලලාම මං වරදක් කියනවා කියලා හිතෙනවනං නෙලන්න මයෙ අම්මා.. නෙලන්න... ලගකදී බලලා නැත්තං ගෙහුං බලලා ඇවිත්ම නෙලන්න.. හැබැයි මට නෙවෙයි නාට්ටිය ටිකටම.. :D

නාට්ටියවල තත්වය කොහොම උනත් රුපියල් 100ක් වගේ සුළු මුදලකට නාට්ටියක් බලන්න අවස්ථාව දීම අගේ කරන්න ඕනම කාරණයක්... අපරාදේ කියන්න බැහැ සෙනගත් සාලාව පිරෙන්නම... සමහර දවස්වල ටිකට් තිබුනෙත් නැහැ.. මගේ වෙලාව හොද කොමට මං කලියෙන්ම දවස් ඔක්කෝටම හරියන්න කල්පනා කොරලා ටිකට් එක පාර ගත්ත හින්දා කරදරයක් හිරිහැරයක් නැතිව නාට්ටිය ටික බලා කියා ගත්තා...

ආයේ ලබන අවුරුද්දේ අගෝස්තුවෙත් මේක මේ වගේම තියෙනවා කියලත් දැනුම් දුන්න හින්දා මේ පාර බැරි වෙච්ච ඒවා ලබන පාරවත් බලා කියා ගන්න ඕන මේ අහලක හිටියොත්... කවුද දන්නේ අද මෙහෙ හිටියට හෙට කොහේ හිටීද කියලා...