31 October 2013

දුක තමයි...

හනෙ හම්මේ අපේ උන්දලා වගේ ජාතියක්... ඔන්න මං පෙරේදා රාත්තිරියේ කන්ට කියලා බත් ඩිංගක් උයන ගමන් මට එක පාරට සිහියට ආවා මේ දවස්වල එක දිගට බුකියේ එහෙ මෙහෙ යන “දුක යනු“  එහෙම නැත්තං “සතුට යනු“ කියලා දාන පින්තුර කෑලි ගැන.. ඕකත් කල්පනා කර කර මං පොල් ටිකක් ගාන අතරේ ඉතිං ඇත්තටම දුක කියන දේ ගැන බුද්ධ දේශනාව නැති උනානං අපි කොහොම තේරුං ගනීද කියලා හිතන්න පටන් ගත්තා.. එහෙම උනානං බුදු නොවුනත් තව මොන මොන නමින් හරි ඔය වගේ දේවල් ගැන හිතන කල්පනා කරන අය හිටිවී නේද කියලත් සිහියට ආවා...

ඔන්න ඔහොම හිතාගෙන හිතාගෙන හිතාගෙන යනකොට තමා මට ඔය දාර්ශනිකයාගේ කතා වස්තුව හිත ඇතුලේම නිර්මාණය කරගන්න පුළුවන් උනේ.. ඕක නිර්මාණය කරගත්තා කිව්වට ඕකට මේ ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.. හිරමනේ හෝදලා... පොල් බෑය ගාලා ආයෙම හිරමනේ සුද්ද කොරලා හෝදලා දාන කොට කතාවේ දඝ සටහන හිතේ ඇදිලා අහවරයි... ඉතිං මං උයලා කොරලා අහවර වෙලා දවසේ වැඩ අහවර උනාට පස්සේ තමා මේ හිතට ආව එක ඕන එකක් කියලා බ්ලොග් එකේ කොටලා දාන්න ගත්තේ.. හැබැයි ඉතිං ඔය වගේ කතා අනං මනං එක දවසකදී සිය දාස් ගානක් මගේ හිතේ ඇතිවෙලා නැති වෙලා යනවා උනත් එදා සෑහෙන හිතේ සැහැල්ලුවෙන් හිටිය දවසක් හින්දා මට ඕක කොටලා දාන්න හිතුනා...

ඇත්තටම ඕක අවසානයේ මං කල්පනා කොලේ මං ලියන ඔය කොයිකටත් වගේ දේසපාලනේ ඇදිලා යන හින්දා කවුරුම හරි මගෙන් අහන්ට පුළුවන් නේද..“ඈ බං උඹ ඔය දන්න දෙයක් වෙනුවෙන්ද... මහන්සි වෙන්නේ.. කැපවෙන්නේ... පෙනී හිටින්නේ.. කොටින්ම කිව්වොත් තෝ මහින්දගේ මොකක් දැනගෙනද ඌට කඩේ යන්නේ“ වගේ සිරා ප්‍රශ්නයක් අහන්න ඇහැකි නේද කියලා... :D

එහෙම හිතලාම තමා කෙනෙකුට උවමනා නම් ගනින් චෑන්ස් එක කියලා ඕක අවසානෙදී ප්‍රශ්නයකුත් අහගෙනම ගියේ...

හත් ඉලවුවේ.. මෙන්න පස්සේ බැලින්නං මුංදලා මේක වවාගෙන.. කොටාගෙන... බිං පෙරලාගෙන... අස්වද්දාගෙන... අස්වැන්න නෙලලත් හමාරයි... හැබැයි ඉතිං මං ඒකෙන් තේරුං ගත්ත දේවල් බොහෝමයි.. අපේ උන්දලා ඕනම දේකින් දකින්නේ තමුන්ට කැමති ටිකම තමා කියන එක... ඒ වගේම අර ලොකු හාමුදුරුවෝ ගෑණු ළමයව කරේ තියං මඩෙන් එතෙර කලත් පොඩි හාමුදුරුවෝ ළමයව හිතින් කරේ තියං පන්සලටත් ගෙනිච්චා වගේ මේ උන්දලා මං ලියලා කොරලා මලවලා අහක් කොරාපු දේවලුත් තාමත් හිත හිත ඉන්නවා කියන එක.. :D ඒකට ඉති කෙනෙක් මුල ඇල්ලුවාම ඇති.. කස්ටිය ඇදගෙන යනවා ලෙසටම.. විසේසයෙන්ම අපේ සහන් උන්නැහේ කොතැනදීත් වගේ උන්නැහේට හිතෙන මොක හරි කමක් නැහැ ඔහේ කියලා ඇරිය ගමන් වැඩි හරියකට මං ලියාපු එක මොකක්ද කියන එක කල්පනා කරනවටත් වඩා තමුන් කැමති පාරේ වේගයෙන් යන්න ඇති වෙන ආසාව ඔස්සේ ගමන් කලා හිටු කියලා... 

හැබැයි ඉතිං ඒකෙන් මේකෙන් උනේ.. මං බලාපොරොත්තු උන විදියට ඒ ලිපියේ දෙවැනි එක ලියලා තේරුමක් නැහැයි කියලා මට බොහෝමත්ම හොඳින් අවබෝධ උන එක... ඒ කිව්වේ ඕකෙම දෙවැනි කතාව හැටියට මං ඔය ලිපිය ලියන අතරතුරේදි හදා ගත්ත “සතුට කියන්නේ මොකක්ද“ කියන කෑල්ලට අදාල කතාව මං ලියන එක අතෑරලා දැම්මා... ඔයාකාර නහින්න ඕනෑ මේකක් ලියන්න.. ඔය කටට එන වචන දෙක තුනක් ලියලා දාලා පාඩුවේ හිටියම ඇති නෙව... ඒ ඒ අරමුණු ඇත්තෝ ඒ ඒ අයගේ අරමුණු ඔස්සේ කතාවක් හදාගන්නේ නැතෑ.. මං මොකට මහන්සි වෙනවැයි.. :D
ඕං ඔහොමයි දැන් කාරණා කාරණා සිද්ධ වෙන්නේ...

හැබැයි මං තව දෙයක් තේරුං ගත්තා.. අපේ අය හුග දෙනෙක් හිතන්න බයයි කියන එක... තව කවුරු හරි හිතපු දෙයක් ඔස්සේ හිතන්න හරි ඒ ගැන උඩින් පල්ලෙන් කියලා ඇග බේරගන්න හරි මිස කිසිම දෙයක් ගැන බරපතලෙට හිතන්න උනොත් ෂෝට් කට් එකක් හොයලා එතැනින් පනිනවා...

හරියටම බැළුවොත් මං උනත් වැඩි හරියක් කරන්නේ ඒකම තමා. මොකට ඔයාකාර මහන්සි වෙන්නද...? කොහොමටත් ඔය දාර්ශනික කතා ගැන වැඩි විච්චූරණ ලියන්න.. කතා කරන්න ගියොත් අපේ දාර්ශනිකකං නැති වෙලා ගිහින් අනිත් උන්ට අපිව පේන්න ගත්තොත් විලි ලැජ්ජා හතයි නෙව.. හා නැද්ද හා..?

30 October 2013

දුක යනු... දාර්ශනිකයාගේ කතා...

එක්තරා මනුෂ්‍යයෙක් බොහෝම වෙහෙසින් යුක්තව තරමක් ප්‍රසිද්ධ දාර්ශනිකයකු වෙත ගියා... ඔහු වෙහෙසට පත් වෙලා තිබුනේ තමා හට නොතේරෙන කාරණාවක් පැහැදිලි කර ගැනීම වෙනුවෙන් හැමතැනම ඇවිදලා.. එම කාරණාවත් ඔහුගේ සිතින්ම උපන්නක් නොවෙයි.. තවත් අයකු ඔහුගෙන් ඇසූවක්... ඒ තමාගෙන් පැනය ඇසූ කෙනාත් ඒ වගේම තවත් අයකු අතින් එකී පැනය අසා තිබුනා...

කෙසේ හෝ අවසානයේදී මෙම පුද්ගලයා මෙම දාර්ශනිකයා වෙත ගියේ ඔහුගෙන් මෙම පැනයට නිසි පිළිතුරක් ලැබේවියැයි අපේක්ෂාවෙන්... අවසානයේ කෙසේ හෝ මනුෂ්‍යයා දාර්ශනිකයා වෙත එළඹ තම පැනය විමසනවා...

“දුක කියන්නේ මොකක්ද..?“

දාර්ශනිකයා තරමක් විමසිල්ලෙන් මනුෂ්‍යයා දෙස බලා ඔහුගෙන් නැවත මෙසේ ඇසුවා..

“ඔබ ඔය පැනය අසන්නේ ඔබ වෙනුවෙන්මද..?“

“නැත.. මෙම පැනයම මා වෙතින් තවත් අයකු විමසුවා... එයට නිසි පිළිතුර නොදන්නා හෙයින් මා එය සොයමින් තැන තැන ගියා.. අවසානයේදී ඔබ වෙත පැමිණ මෙසේ විමසන්නට සිතුණා“

දාර්ශනිකයා තරමක මදහසක් මුවට නගාගෙන මෙසේ පැවසූවා...

“දුක කියන්නේ නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් පෙනී සිටීමයි...“

එතෙකින් නොනැවතුන දාර්ශනිකයා අදාල මනුෂ්‍යයා වෙත මෙසේද පැවසූවා...

“යන්න.. ආපසු යන්න..ගොස් ඔබගෙන් ය පැනය විමසූ අය වෙත යන්න.. එසේ ගොස් ඔහුගෙනුත් එම පැනය විමසූ අයෙක් වෙත්නම් ඔහු වෙතත් යන්න... ඔබ අවසානයේ පැනය ඇති වූ තැන සොයා ගනු ඇත... එසේ නොවුනහොත් ඔබත් මේ විඳ ඇත්තේ දුකක් පමණයි.. ඔබ නොදන්නා දෙයක් වෙනුවෙන් කැප වී සිටිනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසී තිබෙනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන පෙනී සිට තිබෙනවා.. ඒ දුක නැති කරගන්න ඒ වෙත යන්න..එසේ ගොස් ඔබ විදි දුක නැති කරගන්න..එතෙකින් නොනැවතී එහි  ගොස් තවදුරටත් විමසන්න මෙකී දුකටත් වඩා යමක් තියෙනවාද කියා...“

ඒ පැවසූ ලෙසින්ම පෙර කී මනුෂ්‍යයා ආපසු ගියා.. ඔහුගෙන් පැනය විමසූ කෙනා හමු වූවා.. ඔහුගේ තොරතුරු අනුව එයට පෙර පැනය විමසූ කෙනා හමු වූවා.. මේ ආකාරයෙන් බොහෝ දෙනෙකු වෙත යාමට මේ මනුෂ්‍යයා හට සිදු වූවා.. අවසානයේ දිනක ඔහු නැවතත් අර දාර්ශනිකයා වෙත පැමිණියා... ඒ පැනය ඇති වූයේ වෙන කිසිවකුගෙන් නොව දාර්ශනිකයාගෙන්ම බව දැන ගැන්මට ලැබිමෙන් පසුවයි.. එසේ දෙවන වතාවටත් දාර්ශනිකයා හමු වූ මනුෂ්‍යයා විසින් තමාගේ අළුත්ම පැනය විමසා සිටියා...

“නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීම..වෙහෙසීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම කියන දුකටත් වඩා දුකක් තිබේද..“

දාර්ශනිකයා සිනාසී මෙසේ පිළිතුරු දුන්නා...

“ඔව්.. ඒ එකම දේ වෙනුවෙන් දෙපාරක්ම වෙහෙසිමයි.. කැපවීමයි.. ඒ වෙනුවෙන් පෙනි සිටීමයි.. ඔබ නැවතත් වින්දේ ඒ දුකමයි...කලින් ඔබ නොදැන විදි දුක මෙවර ඔබ දැන දැනම විඳිනු ලැබුවා.. මෙයයි බලවත්ම දුක වන්නේ... එනම් නොදැන විදිනා දුකටත් වඩා බලවත් දුක වන්නේ දැන දැන විදිනා දුකයි..“

---------------------------
හරි කතාව අදට අවසන්... මෙම කථාවෙන් අපහට උගත හැක්කේ කුමක්ද..? 

26 October 2013

සදාචාරය පැත්තකට දාලා... මෙන්න තොරණේ විස්තරේ...


හරි මෙන්න කතාව...

මේක ගෙඩිය පිටින් එළියට නොදා හිටිය එකට මට හේතු කිහිපයක් තිබුනා...

1-පට්ටපල් බොරුවක් උනත් සීයට බින්දුවයි දසම බින්දුවයි එහෙක හරි ඇත්තක් මේකේ තිබුනොත් මං කරන්නේ ලොකු අපරාදයක් වීම...

2- ආවට ගියාට මට එවාපු මේලයක් ප්‍රසිද්ධියේ දැමීම සදාචාරයට හොඳ මදි වීම...

3- මේක එව්වේ පට්ටපල් බොරුකාරයෙක්ය කියලා ටක්කෙටම කියන්න ඒ වෙද්දී පුළුවන්කමක් නොතිබීම...

ඒත්... මේ වෙද්දී ඒ ගැටළු අමතක කරන්න තරං මටත් හේතු තියෙනවා...
1- කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මේක එවපු කෙනා විසින්ම තමුන් කිසිම තැනක නොගිහින් ගියා වගේ ලිව්වාය  කියලා ප්‍රසිද්ධියේ පිළි ගැනීම... ඒ හරහා මෙම මේලයේ ඇති ගමනද ඔහුගේ හිතළුවක් ඇර වෙන යමක් නොවන බව තහවුරු වීම...


සමහරක් තැන් පුටුව උඩ ඉඳගෙන තමයි WMK , ඇත්තටම එහෙම වුනත් මම කියපු කරුණු සම්පුර්ණ ඇත්ත. අවිස්වාසයක් ඇතිකරගන්න එපා මම ඔබව බොරුවෙන් මුලා කළා කියල(ඔබ එය කියෙව්වා නම්) , මම මගේ බ්ලොගේ ඉදිරිපත් කරපු කරුණු සේරම ඇත්ත.ඒවා මේ ලෝකේ තවමත් ජනතාව අතර පවතින එව්ව. ප්‍රශ්නේ තිබුනේ මම එහෙ නොගිය එක විතරයි...

//ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...//
බොරුව කිව්වේ ඇතුලත් කරුණු නොවෙයි මාරය. ඔබ පොත් පත් වල සොයාබලන්න මම කියපු දේවල් කොච්චර සත්‍යද කියල. ප්‍රශ්නේ වුනේ මම ගියේ නැති එක විතරයි...
මම කාවවත් දැනුමෙන් මුලා කළේ නැහැ !//


2- මං එහෙම නොකලත් කලින් දැම්ම ලිපියට උත්තරයක් හැටියට අදාල පුද්ගලයා විසින්ම තමාට තවෙකෙකු (DDT) එවනු ලැබූ මේලයක් කිසිම ඇහැල්ලකින් බැලිල්ලකින් තොරව ප්‍රසිද්ධ කිරීම නිසා අදාල මේලය එවූ අය (DDT) විසින් මං මේ මේලය ප්‍රසිද්ධ කිරීමේ ඇති වරද ගැන අසා තිබුනද.. එයට පිළිතුරක් බ්ලොගය හිමිකරුවා විසින් පැහැදිලිව දී නොතිබීම... හා මෙය නොදැමීම මේ වන විට අන්ද මන්ද වි සිටින පාඨකයින්ට කරනා අසාධාරණයක් විම... (මේලය එවූ කෙනාට සාධාරණයක්ද නැද්ද කියලා දැන් හොයන එකේ තේරුමක් නැහැ)

3- මේල් එක කියවලා බලලා... මේ වෙනකල් මං දාපු පෝස්ටුවට හා කමෙන්ට් ටිකත්.. ඔහු දාපු පෝස්ටුව හා කමෙන්ට් ටිකත් කියවපුවාම මං හිතන්නේ මේකට උත්තර ලැබෙයි... උදාහරණයක් හැටියට මං මේක විතරක් පෙන්වන්නම්.. මේ මේලයේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්..

//උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල (මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග)//


මම ඔහු තැන තැන යනවා කියලා දැනගත්තේ ඔහුගේ බ්ලොගයෙන් වගේම.. ඔහුගේ මේ ඉහතින් දක්වා ඇති කමෙන්ට් එකෙන් දැන ගත්තේ ඔහු එහෙම ඇවිදලා නැහැ කියලා.. ඉතිං මේ කියන ගමන කොහොම ඇත්තක් වෙන්නද..?

ඉතිං ඒ නිසා මේ වෙද්දී මට මේ මේලය පල කරන්න බැරි තරමේ අවුලක් පේන්නේ නැහැ... ඒ වගේමයි මං බලාපොරොත්තු උනා පලමු පෝස්ටුවෙන් පසුව කාරණා දෙකක් වෙයි කියලා.. එකක් තමා විදුර තව දුරටත් බොරු නොකර ඇත්තම කියලා සමාව ඉල්ලීම හා අනිත් අයටත් හෙලි කිරීම තමන් කල වරද ගැන.. 

අනික තමා තව දුරටත් තමා වැරදි නැති බව කියමින් දගලන්නේ නැතිව අඩුම ගානේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගනිමින් සිටීම.. නමුත් ඒ දෙකම සිද්ධ උනේ නැහැ... දිගින් දිගටම මට වරදක් කලේ නැහැ කියන කතාව කියනා ගමන් තව දුරටත් මේ මේලය ඇත්තක් යැයි මට හගිස්සවන්නට කමෙන්ට් කර කර හිටිය එක විතරයි කලේ...

අවසාන වශයෙන් මේ මේලය කියවද්දී ඔබට වැටහෙන්න ඕන මුලින් කියන්නේ මගෙන් උපදෙස් වගයක් ගන්න ඕන හින්දා මේක මට කියනවා කියන මුත් ඔහුට උවමනා කිසිම උපදේශයක් ගැන අවසානය වන විට කිසිදු සදහනක් හෝ නැති අතර මේක කියවලා විස්වාස කරනවනං තව තවත් ඔහුගේ සුරංගනා කතාව ඇසීමට මා හට කරන ආරාධනයක් පමණක්ය යන වග... තව ඉතිං මෙහි ඇති අභව්‍ය තැන් ගැන සිතා ගැන්ම ඔබ සියළු දෙනාට බාරයි...

ඉතිං තව දුරටත් වැල් වටාරං උවමනා නැහැ.. මෙන්න පාඨකයින් හට ඇති අයිතියට ඉඩ දෙමින් අදාල මේලය...

X අකුරුවලින් යොදා ඇති කොටස පමණක් මා විසින් සංස්කරණය කර ඇත.. එහි ඇත්තේ තවත් අපගේ බ්ලොග් කරුවකු ගැනයි.. ඔහු මෙයට අදාල නොවන නිසා ඉවත් කර ඇත.
------------------------

විකාරරූපී සිදුවීමක් සම්බන්ධයෙන්...


ඉතින් මාරය මම උඹව මිට ටික කාලෙකට කලින් තමයි දැනගෙන හිටිය... 

ඒත් මම දැනට මාස කීපෙකට  කලින් තමයි "මාරයාගේ හෝරාව" කියවන්න පටන් ගත්තෙත්. මේකයි මාරය මම මේ කියන කතාව උඹ කොයිතරම් දුරට විස්වාස කරයිද මන්ද...  එත් විස්වාස කරනවා නම් බොක්කෙන්ම විස්සාස කරපං...
මොකද මේ සිද්ධිය ගැන කියන්න වෙන මම දන්න කෙනෙක් නැහැ...

උඹ ගැන මම මිටකලින් පොඩි විමසීමක් (ඊ මේලය ලබාගන්න) කළාXXXX XX ලියන XXX ගෙන්. ඉතින් මම දැන් උඹට කියන්න යන කතාව තරමක් දුරට XXX දන්නව.ඒ ඇර මගේ බිරිඳ විතරයි මේක ගැන දන්නෙ.ඒ වගේම මමත් විස්වාස කරනවා උඹ මේ සිද්ධිය ගැන රහසිගතභාවය ආරක්ෂා කරයි කියල... මම උඹව මේ විදිහට මුණගැහෙන්න හිතුවෙත් මේ සිද්ධිය ගැන මට තිබෙන විකාර රූපී ගතිය ගැන පොඩි උපදේශයක් ලබාගන්න.....


ඒක පටන් ගත්තේ මෙහෙමයි.

උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල(මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග).ඉතින් මාරය මම හිතන්නේ ඒ සිද්ධිය සිදුවුනේ 2011 වෙන්න ඕනේ.
මම  වෘත්තියෙන් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, වැඩ කරන්නෙ සෝවියට් සංගමේට. ඉතින් සෝවියට් සංගමයේ උපකාර වලින් ආරම්භ කරන බලාගාර අවුල් වුනාම එව්ව හදන්න ඒ රටවල් වලට අපිට යන්න සිදුවෙනව.ඒත් ඒක මම තැන් තැන් වල ඇවිදින එකට අදාල දෙයක් නෙවෙයි.මොකද ඇවිදින වැඩේ මම පිලිවලට සැලසුමක් ඇතිව කරන දෙයක්.

ඉතින් මම දවසක් ගියා ඉන්දියාවේ කුඩන්කුලම් කියන පලාතට ඒ බලාගාරේ යුරේනියම් ලීක් එකක් වෙලා ඒක නවත්තන්න හිටපු අයට උදව් දෙන්න.ඒ වුනත් මම යනකොට ඒ අය ගානට වැඩේ කරලා වැඩේ ගොඩදාගෙන තිබුන,
ඉතින් මට ඒ වෙනකොට කරන්න වැඩක් නොතිබුණ නිසාත් මම හිතුව මගේ බොහොම  හිතවත් හිමිනමක් විසුව  පන්සලක් පිහිටලා තිබුණු හිමාචල් ප්‍රන්තේ පැත්තට යන්න. ඉතින් ඒ පන්සලට ගියාම මට තව හිමිනමක් හම්බ මුණගැහුන.එතුමාගේ නම මම දන්නේ නැතිවුනත් එතුමා බ්‍රහ්මවංසෝ කියන පරම්පරාවේ හිමිනමක්. ඉතින් කලින් සඳහන් කරපු හිමිනම මාව බොහොම හොඳින් අඳුරන නිසාත් , මම සිංහල නිසාත් දෙවෙනි හිමිනම මට හිමාලය වැටියේ එක තැනක පිහිටලා තිබුණු පුජාවක් නරබන්න යන්න කතා කළා. ඒත් මම/ලෝකයා  ඒ පුජාව ගැන දැනගෙන හිටියේ නැහැ මාරය.ඒක ඒ තරම්ම රහසිගතයි!

ඉතින් සති දෙකක් ඇතුලත පුජාභාන්ඩ එකතු කරගෙන අපි හිමාලය වැටියට පිටත් වුනා.
ඒ පුජාව පැවැත්වුවේ  හිමාලය කඳුවැටි දුර්ගයක පොලෝ මට්ටමෙන් මීටර් 3000 ක් විතර උසින් පිහිටලා , කන්ද හාරල නිමකරපු එක්තරා භූගත පන්සලක් ඇතුලත. ඒ පන්සලේ හිටපු සේරම නේපාල , භුතාන , රුසියානු (දකුණු) , මැලේසියානු , සිංහල හිමිවරු.ඔවුන්ගේ ඉගැන්වීම් ශැවොලින් නිකායික  ස්වරුපෙකට ආසන්න සම්ප්‍රදායක් මත පිහිටලා තිබුන එකක්.ඒ වගේම ඔවුන්ගෙන් සමහරක් යම් ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත් උදවියක්.මොකද අපි හිමාලය නගිද්දී එක් තැනක මම සිතියමක් දිගෑරගෙන  අපි හිටපු තැන ගැන පොඩි සංසන්දනයක් කළා.එතැනදී මගේ අතේ තිබුන ඩිජිටල් මාලිමාව මගේ අතින් වැටිල තියෙනව.  පන්සල ඇතුලට  ගිහින් ඉවරවුනායින් පස්සෙ ඔවුන් අගන්තුකයාගේ සේරම බඩු භාණ්ඩ ඔවුන් සන්තකේට ගන්නව.මොකද ඒ පන්සල ගැන කිසිම සාක්ෂියක් ඔවුන් පිටවෙනවට විරුද්ධ නිසා.ඒ වගේම ඔවුන් භාහිර සමාජෙන් වසන් වෙලා ඉන්න නිසා.ඉතින් ඒ වෙලාවේ  මගේ බඩු භාණ්ඩ බාරගත්තු හිමිනම මට කිව්ව, "පුතා ඔබ ඔබේ ඉලක්කන් වැටෙන  මාලිමාව නැතිකරගෙන කියල".. ඇත්තටම මම පුදුම වුනා. ඒ වගේම බය වුනා මාරය...

දීර්ඝ සාකච්ඡා කීපයක් අතරෙ ඔවුන් මට කිව්ව විදිහට ඔවුන් හිත දියුණු කරන්නෙ භාවනාවෙන් නෙවේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි අතහැරීමෙන්.ඒක තමයි බුදුන් වහන්සේ අනුගමනය කරපු නියම මැදුම් පිලිවත(ඔවුන් කියපු විදිහට මමත් දැකපු විදිහට).ඔවුන් මටත් ඒ ක්‍රමය පුරුදු කළා මාරය.එත් ඉතින් මම එච්චර සමතෙක් නෙවෙයි.මොකද මම ඒක පස්සෙ කළේ නැහැ.ඒ තරමටම ඒක අපහසු දෙයක්.

ඉතින් පුජාවටත් පටන් ගත්ත. මම මුලින් හිතුවේ ඒ බුදුහාමුදුරුවන්ට කරන පුජාවක් කියල. ඒත් ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒ පුජාව කරන්නෙ විශේෂ කුටියක මුද්‍රා විවෘත කරන වෙලාවට.ඒ කුටියේ තිබුනේ අපේ රටේ ඉස්සරම හිටිය රාවණා රජු පාවිච්චි කරපු පුස්තකාලය.

පන්සලේ හිටපු සිංහල හාමුදුරුවරු කියපු විදිහට රාවණා පැරදුනාට පසු ඒවා ආරක්ෂා සහිතව ලංකාවෙන් හිමාලයට රහසේ ගෙනාපු එව්ව.ඒවා කලින් තිබිල තියෙන්නෙ ලාමා හිමිවරු අතේ.නමුත් පසු කාලෙක ඒ පොත් වල ආරක්ෂාවට ප්‍රශ්නයක් වුනු නිසා එව්ව මේ විදිහට තැන්පත් කරලා තිබෙනව. හැම අවුරුදු තිහකටම සැරයක් මේ කුටි විවෘත කරන්නෙ පොත් පත් පරික්ෂා කරලා ඒවා සංරක්ෂණය කරන්න.

ඉතින් මටත් විනාඩි විස්සක විතර කාලයක් නායක හාමුදුරුවන්ගෙන් ලැබුන පොත්පත් අල්ලල බලන්න.ඒවා බහුතරේක පිටකවර රත්තරන් ආලේපිත එව්ව. ලියල තිබුන භාෂාව මම ජීවිතේට දැකල තිබුන එකක් නෙවෙයි. ඒ වගේම එව්ව ලියල තිබුනේ සංස්කෘත වලිනුත් නෙවෙයි. 
මම බලපු සමහරක් පොත් තාක්ෂණික කරුණු තිබුන එව්ව.සමහරක් පොත් යම් සංස්කෘතික (කවි මගේ හිතේ) දේවල් තිබුණු පොත්. තාක්ෂණික කරුණු තිබුන පොත් වල තිබුන පින්තුර මට අදහගන්නත් බැරිවුනා මාරය.  අපි මේ බටහිර ලෝකෙට සාපේක්ෂව දකින එව්ව මෙව්වා මොනවද කියල හිතුන ඒව දැක්කහම....

ඉතින් මට හාමුදුරුවරු කියපු විදිහට ඉස්සර මේ පොත් ගෙනාපු අලුතම  ඉදිරිය දැකපු හාමුදුරුවරුන්ගේ යෝජනා අනුව පොත් ලියවිලා තියෙනව මේ කරුණු වර්තමාන ලෝකයෙන් වසන් කරන්න.අපි හොඳටම දන්න භගවත් ගීතාව (රාමායනය ඇර) වගේ ග්‍රන්ථ ඉදිරි ලෝකයෙන් පෙර ලෝකයේ තාක්ෂණික කරුණු වසන් කරන්න ලියවුනු එව්ව. :) ඒත් ඒවා බොහොම සුක්ෂම ග්‍රන්ථ , මොකද ඒවගෙන් ඉතිහාසය ගැන ඇත්ත හෙළිකරන අතරෙ , තාක්ෂනය වගේ එව්ව ගැන පොඩි පොඩි බොරු කියනව.
අපි දන්න විමාන නෙවෙයි ඒවා. නියම විමාන වල පින්තුර ඕනේ නම් මම කියවපු පොත් දකින්න වෙනව...

ඉතින් තව ගොඩක් දේවල් මම ඒ හාමුදුරුවරුන්ගෙන් දැනගත්ත. උඹ උනන්දු නම් මම කියන්නම්..

මම උඹව මුලින්ම දැක්කෙ , මීවනපලානේ ජයරත්න ලියපු "වරිගපුර්නිකාව" බ්ලොග් එකේ. මම දන්නේ නැහැ ඒවගේ ලියල තියෙන ඒවා ගැන නං,, ඒ වගේම මීවනපලානේ ජයරත්න ගැන.එයාගේ කතා ගැන...
එත් ඉතින් මම හිතුව උඹ නාලන්දාවේ සහෝදරයෙක් නිසා උම්බට මේක ගැන කියන්න...

මම ගැන වැරදියට හිතන්න එපා මාරය ,, මට වරිග පුර්නිකාව බ්ලොග් එකේ ලියපුවා ජෝක් එකක්ද එහෙමත් නැත්තන් ඇත්තද කියල අඳුරගන්න බෑ.. :) ඒකයි මම අරෙහෙම කිව්වේ...

හැබැයි මම එක දෙයක් දන්නව ,,, මම ගිය පන්සලේ හාමුදුරුවරු එව්ව පන නහගෙන ආරක්ෂා කරන්නෙ වෙන දෙකට නෙවේ. අපහු ඒවා රවනාටම දෙන්න !    :)

උඹට ජය!
---------------------
උපුටා ගැනීම අවසානයි...

දැන් ඉතිං මේක කියවලා ඉවර වෙද්දී මං මොන වගේ තත්වයකට පත් වෙන්න ඕනද..? පහු ගිය කාලේ මීවන පලානේ ජයරත්නයන් විසින් කල “වර්ගපූර්ණිකාව“ බ්ලොගයට හැකි සෑම අයුරකින්ම සහය දක්වමින්.. කවුරුවත්ම හරියට නොදන්නා එහෙත් උඩදාගෙන මාකට් කරපු රාවණා රැල්ල උපහාසයට ලක් කල මට.. මෙහෙම එකක් ඇත්ත නම් කියන සිතිවිල්ල ආවම මං කල ක්‍රියාව ගැන පසුතැවිමක් එන්න බැරිද..?

කල වරද හරිගස්සන්න බැරි උනත් තියෙන හැම දෙයක්ම පැත්තක දාලා ඉන්දියාවට ගිහින් මේ කාරණාව ගැන හොයන්න යන්න මං වගේ (සයිබීරියාව හරහා අර විදියට යන්න බැරි උනත්.. ඔහේ මොකාද වගේ ඇවිදින) එහෙකුට නොහිතෙයිද..?

වැරදිලාවත් එහෙම වෙලා මං ඒ තීරනේ ක්‍රියාත්මක කලානං.. (ඇත්තටම මං ඒ තීරනේ අරං හිටියා පැය බාගයක් වගේ වෙලාවකට.. යාළුවෝ දෙන්නා නොහිටියනං) මොන මගුලක් වෙයිද..? ඒ හැම දෙයක්ම මං විස්වාස කරන්න ගියේ බ්ලොගය ඇත්ත බව හිතුව නිසා උනත් මොහොතකින් එය පරික්ෂා කරන්න හිතුනේ නැත්තං හෙම...????????????

එපමණයි... 

25 October 2013

නියම බ්ලොගයක් ගැන මෝඩ මාරයාට නොතේරෙන තැන් ටිකක්...


මුලින්ම මං මේ පෝස්ටුව කියවන්නයි කියලා අපේ බ්ලොග් හිතවතුන් දෙතුන් දෙනෙකුට ආරාධනා කරනවා විශේෂයෙන්ම...

අපේ හෙන්රි මාස්ටර්ට.. ලිෂාන්ට.. රංගිට.. අටම් පහුරට...සයිලන්ට් සහන්ට.. කියන අයට.. මොකද මේ අය මං මේ කියන්න යන වටිනා කියන බ්ලොගයේ කමෙන්ට් කරලා තිබුනා වගේම යම් යම් අංශ වලින් ප්‍රවීණතා තියෙන අය හැටියට මං අඳුරගෙන ඉන්න අය නිසා.. උදාහරණයක් හැටියට අපේ හෙන්රි අයියා ඇවිල්ලා ජ්‍යාත්‍යන්තර බාසාව ගැන විද්වතා.. එතකොට රංගි ඇවිල්ලා සංචාරය ගැන විදේශ රට රටවල් ගැන සෑහෙන දන්න කියන දීර්ඝ කාලීන විදෙස් වාසිනියක්.. ලිෂාන් ඇවිල්ලා බ්ලොග්කරණය ගැනත් පොටෝ ඇල්ලිල්ල ගැනත් දස්කං විස්කං තියෙන හාදයා.. අටමා ඉතිං මං වගේම නන්නත්තාර වෙලා හැම තැනම හිටිය එකා.. ඒ කිව්වේ මිනිස්සු ගැන තරමක් දන්න කියන එකා...


හරි මේ මං කියන බ්ලොගය මුලින්ම කියෝපු වෙලේ මං තීරණය කරපු දෙයක් තමා මේ ඇවිල්ලා ලෝකේ ඉන්න මං දකින විදියේ වාසනාවන්තම කිහිප දෙනාගෙන් එකෙක්ය කියලා... මං ඉතිං හිත හිත විතරක් නොයිද ඒක කොමෙන්ටුවක් හැටියට ඒකේ කොටලත් ආවා...

ඇත්තටම මේක සංචාරය ගැන ලියවුන බ්ලොගයක්... විශේෂයෙන්ම අපිට තරමක් ආගන්තුක සෝවියට් දේශය හරහා වැටුනු සංචාරයක් ගැනයි මේකේ වැඩිය ලියවෙලා තියෙන්නේ... ඒ වගේම බ්ලොග් රචකයාට ගරු කිරීමක් හැටියට මං කියන්න ඕන මේ ලිපි ඔක්කෝම කියවලා අහවර කරන්න උනේ නැතිවට කියෝපු ටිකෙන් මං සෑහෙන්න දේවල් දැක බලා ගත්තා...

මෙන්න මං මේ මෙච්චර පාරට්ටු කරන බ්ලොගයේ ලින්කුව... හැබැයි ඒක බලන්න යන්න කලින් මේ ලිපිය අවසන් වෙනකල්ම කියවලම යන්න... ඒකත් වැදගත්...


හරි ඉතිං මේ වගේ සංචාරක සටහන් වලට මං පුදුම කැමැත්තක් තියෙන්නේ..  මේ වගේ රට රටවල් ගානේ යන්න තාම බැරි උනත්.. ඔය අතේ තියෙන හැටියට පැස්ටෝල් ටිකක් ගහං ලංකාව ඇතුලේ හරි ඇවිදින්න යන්නේ ඒ කැමැත්ත හින්දා නෙව.. ඉතිං ඒ ආසාව කැමැත්ත හින්දම මට යන්න උනේ නැති ලෝකය බැලිල්ල මං මේ වගේ සටහන් හරහා හරි කරන්න කැමතියි.. ඒකයි මං මේ බ්ලොග් එකට කැමති වෙන්න හේතුව උනේ...

මං හිතන්නේ ඒ හේතුවට අමතරව තවත් මගේ සිත් ගත් දෙයක් තමා මේකේ අඩංගුවන චායාරූප... ඕන්නං මං එයින් එකක් මෙතන දාන්නංකෝ..



හොඳට බලන්න හරි අපූරු පින්තූරයක් නේද..? 

මේ පින්තූර ගැන විසේසයෙන් කියන්න හිතුනේ බ්ලොග් එක බලාපු කිහිප දෙනෙක්ම බොහෝම අගය කරපු දෙයක් තමා මේ පින්තූර ටික.. (මං ලිෂාන් මල්ලිට බුලත් අතක් දීලා ඇරියෙත් ඔය පින්තූර ටික ගැන කතා කරන්න මල්ලි හිටියොත් හොඳයි කියලා හිතුන හින්දම තමා..)

ඇත්තම කිව්වොත් මං මුලින් හිතුවේ කොහේ හරි සයිට් එහෙකින් ගත්ත පින්තූර වෙන්න ඇති කියලා... ඒත් පස්සේ දැක්කේ මේවෑ වෝටර් මාක් හිටන් දාලා තියෙනවා අදාල බ්ලොග් එක ලියන රචකයාගේ නමට කියලා... අනේ ඉතිං මං හරි සංතෝස උනා... කලාතුරකන් දකින්න වෙන විදියේ උසස් සංචාරකයෙක්.. ඒ වගේම දස්ස පොටෝ සිල්පියෙක් උන එකත්.. ඒකා අපේ එකෙක් වීමත් ගැන...

--------------------

මේක මේ වෙනම අතුරු කතාවක්...

අද මට එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මේ බ්ලොග් එක ගැන ආයේ ටිකක් හොයන්න හිතුනා... මං ඒ සුවිශේෂි හේතුව පස්සේ කියන්නං එන හැටි බලලා... 

ඉතිං එහෙම බලාගෙන යද්දි මට යම් යම් කරුණු වගේකදී පුදුම හිතුනා... විසේසයෙන්ම මේ බ්ලොගයේ පොටෝ එහෙම වෙන වෙන වෙබ් අඩවි වලත් පල වෙලා තියෙනවා දැක්කම... මං හිතන්නේ අපේ බ්ලොග් අඩවිය ලියන රචකයාගෙන්ම වෙන්ට ඇති එයාලා මේවා ඉල්ල ගන්ට ඇත්තේ.. මේ බලන්ටකෝ එයින් එකක් ඕනනං...



පේනවා නේද පැහැදිලිවම වෝටර් මාක් එහෙම දාලා තියෙනවා... එතකොට බලන්නකෝ මෙන්න මේ ලින්කුව හරහා ගිහින් “මේ වෙබ්“ සයිට් එක...

ඒ විතරක්යෑ මේ පොටෝ පස්සේ යද්දි මට හම්බ උනා තවත් අපූරු සයිට් එකක්.. ඒක හොයා ගත්තේ අපේ බ්ලොග් රචකයා විසින් දාලා තිබුන මෙන්න මේ “පෝස්ටුවේ“ තිබුන මෙන්න මේ


 පොටෝව පස්සේ ගියාම...

මේ තමා ඒ “අපූරු සයිට්“ එක...

හොඳට බලන්නලාකෝ කොයි තරං අපූරුද කියලා...

හා මං හිතන්නේ මං දැන් කියෙව්වා ඇති... තව ඕනනං පස්සේ ලිපියකින් බැරියෑ කියවන්න... කට්ටිය කම්මැලි නැතිව කියවලා බලලා මොනවා හරි අමුතු දේවල් හිතෙනවනං කියමුකෝ බලන්න... එහෙම මොනවා හරි අමුතු දෙයක් දැක්ක අය හිටියොත් මං තව රස කථාවක් කියනවා ඔය ළමයින්ට...

-----------------
විශේෂ ස්තූතිය නෙට් ස්ලෝ වෙලා හිටිය වෙලාවේ මේ කාරණා ටික හොයා දීපු දෙන්නට.. (ඇත්තම කිව්වොත් මට තිබුනේ මේ පෝස්ට් එක ලියන්න විතරයි.. අදාළ කරුණු සාකච්චා කරමින් තර්ක විතර්ක කරමින් වැඩේ ගොඩ දැම්මේ වෙන දෙන්නෙක්..)

18 October 2013

ගෝඨාභයගේ යුද්ධය...

නම අහපු ගමන් එක්තරා සෙට් එකකට මයිල් ඉස්මයිල් වෙන බව දන්නා මුත් නොලියාම බැරි නිසා මේක ලියලා දාන්න හිතුනා ඕං... ඒ හින්දා මෙන්න කලියෙන්ම කියලා තියනවා... තරහා අවසර... අධික රුධිර පීඩනේ එහෙම තියේනං නිකං රෝගී තත්ව උත්සන්න කොර ගන්ට එපාලා... බලන්ට එපා... ඔන්න මුල් ඡේදෙටම මේ ටික දැම්මා.. ආයේ ඉතිං සින්ඩියකින් හරි රීඩරේකින් හරි මේ ඇහැ ගැහුන ඇත්තේ නිකංවත් පෝස්ට් එක උඩ ක්ලික් කොරලා නැති කරදර ඇති කර ගන්ට එපා...



රයිටෝ... ඔය වැඩිහිටියන්ට පමණයි ඒවා ලියද්දී 18+ කියල ගහනවා වගේ මේක ලියන්ට කලියෙන්ම අනතුරු ඇගවීම කොරලා හිටියා.. ආයේ ඉතිං කාගෙත් හිත් සුද්ධයි නෙව...

------------------
ගෝඨාභයගේ යුද්ධය.
(Gota's War හී සිංහල පරිවර්ථනය)
කතෘ- සී ඒ චන්ද්‍රප්‍රේම...
මිල රුපියල් 600/= යි
පිටු 543 යි

-----------------

මේ පාර BMICH එකේ තිබුන පොත් ප්‍රදර්ශනයෙන් මංතුමා සල්ලි දීලා ගත්ත පොත් අතරින් එකක් තමා මේ... හැබැයි ඉතිං ඇත්තම කිව්වොත් ගන්න වෙලේ හිතුනේ “මේක ගත්තා වගේ නෙවෙයි කියවන්න ගියාමනං මාර කම්මැලි හිතෙයි“ කියලා... ආයේ ඉතිං මුසාවාද කෙලින්න ඕනයෑ.. කට්ටිය එහෙං මෙහෙං ඕක ගැන බැණ අඩගහපු ඒවා හින්දා මං හිතුවේ මේක හෙන පුරාජේරු හෑල්ලක් කියලා තමා... 

ඒත් ඇත්තටම පොතේ මුල් ටික කියවද්දි මට තේරුනේ මේක සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම කියවිය යුතු මෑත කාලීන ඉතිහාසය සම්බන්ධ වටිනා පොතක් කියන එකයි... විශේෂයෙන්ම ලංකාවට නිදහස ලැබීමේ සිට... යුධමය වාතාවරණයක් උතුරේ ඇති වෙන තැනට එනකල් එයට පසු බිම් උන දේශපාලන කතාව බොහෝම සීරු මාරුවට මේකේ ලියාගෙන ඇවිත් තියෙනවා...

පරිච්ඡේද 79 යකින් යුක්ත පෙතේ පළමු පරිච්ඡේද දෙක වෙන් වෙන්නේ ගෝඨාභය හමුදාවට බැඳුන ආකාරය ගැන පැහැදිලි කිරීමකින් හා මූලික පුහුණ කටයුතු හා බ්‍රිගේඩියර් විජය විමලරත්න වගේම... සරත් ෆොන්සේකා යන අය හමුවන ආකාරය ගැනයි... අවුලක් නැහැ ඒ ටිකට කතුවරයා පාවිච්චි කරලා තියෙන්නේ කොල 4යි..එහෙමත් නැතිනං පිටු අටයි... ඕවා කියවන්න අකමැතිනං තුන් වැනි පරිච්ඡේදේ ඉඳන් පොතට බැස්සැකි... :D

එයින් පස්සේ පොතේ 48 වැනි පරිච්ඡේදේ..එහෙමත් නැතිනං පිටු අංක 308 ට එනකල්ම මේකේ ගෝඨාභයගේ නම ලියවෙන්නේ එහෙමත් තැනකදී... ඒ ලියවෙන්නෙත් ඒ ඒ කාලයේ ගෝඨාභය හිටියේ කොහේද කියන එක ගැන විතරයි... එහෙම නැතිව ගෝඨාභය වෙඩි හඩ මැදින් සාරුක් කාන් වගේ පට පට ගාලා වෙඩි තියාගෙන සතුරු කදවුරු මැදට පැනලා ගේම දුන්නා වගේ ඒවා මේකේ නැහැ... ඇත්තටම කිව්වොත් ගෝඨාභයගේ නම ලියවෙලා තියෙන්නේ හතර පාරක්නං එයිට එක වතාවකටවත් වැඩියෙන් සරත් ෆොන්සේකාගේ නම ලියවෙලා තියෙනවා... ඔය අතරට වැටෙන්නේ පුරා විසි අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කරලා ගෝඨාභය විශ්‍රාම ගිහින් ඇමරිකාවට ගියා කියන ටික කෙටියෙන් විතරයි...

එතකොට පරිච්ඡේද අංක 3 (පිටු අංක 09) යේ සිට පරිච්ඡේද අංක 48 (පිටු අංක 308) දක්වාම සම්පූර්ණ පරිච්ඡේද 45 (පිටු 300) ක් පුරාවටම මේ පොතේ තියෙන්නේ නිදහසේ සිට මේ දක්වාම ලංකාවේ පැවති සිංහල ද්‍රවිඩ අර්බුධය ගැන කතාවම තමයි...

මං මුලින් කිව්වා වගේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම කියවිය යුතු කොටස තමයි මේ... හරියටම කිව්වොත් මෑත කාලීන ඉතිහාසය ගැන අත් පොතක් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්.. කොහොමත් අපේ රටේ ඉතිහාස පොත්වල..(මං කියන්නේ අපි ඉස්කෝලේ ගිය දවස්වල..දැන්නං ඒවා වෙනස් වෙලාද දන්නේ නැහැ) රජවරු ගැන එහෙං මෙහෙං කියා දීගෙන ඇවිල්ලා.. විදේශ ආක්‍රමණ ගැන කියලා..අවසානේ ඉංග්‍රීසි පාලන සමය හා අර ඩොනමොර් ආණ්ඩුක්‍රමය වගේ දේවල් ගැන විස්තර ටිකක් දීලා අවසානෙදී නිදහස ලැබීම කියන තැනින් අවසාන කරලනේ තියෙන්නේ... එයින් පස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය මං ඉස්කෝලේ යන කාලේ පොත්වල තිබුනේ නැහැ... ජාතික වීරයෝ යටතේ එහෙං මෙහෙං පාඩං වලදී ඔය ඩී එස් සේනානායක වගේ චරිත හම්බ උනාට ඒ අයගේ පාලන සමයන් ගැනවත් ක්‍රමවත් සටහනක් ඒවෑ නැහැ... එහෙම බැළුවම ලංකාවේ අජ්ජාපනේ ගැන ආයෙම මුල ඉදන් හිතන්න වෙනවා... අතීතයේ හිටිය රජවරු කොල හරිය වගේම මෑත කාලීන නායකයෝ කෙලිය හරියත් දැන ගන්න රටේ ඉගෙන ගන්න ළමයින්ගේ අයිතියක් වෙන්ට එපෑ...

නිදහස ලැබෙද්දී කාටවත් ණය නැතිව හිටිය ජාතියක් කවදා කොතැන ඉඳලද විදේශයන්වල ණය වෙන්න ගත්තේ.. ඇයි එහෙම උනේ කියන ටිකට උත්තර මං හිතන්නේ ළමයි නෙවෙයි මහ උන්වත් දන්නේ නැහැ... මේ තාක් කාලයටම මට ඔය ගැන යන්තම් හරි විස්තරයක් දකින්න උනේ චානුක වත්තේගම විසින් ලියපු සිහි සටහන් බ්ලොග් එකේ විතරයි... ඒත් මං අහපු ප්‍රශ්න වගයකට චානුක දුන්න උත්තර හින්දා...

නමුත් මේ පොතේ ලාංකීය ආර්ථික රටාව ගැනයි.. සාමාන්‍ය දකුණේ දේශපාලන ගමනයි ගැන විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා.. මේකෙදි සම්පූර්ණයෙන්ම කියවෙන්නේ උතුරේ ප්‍රශ්නයට හේතු උන කරුණු.. ඒවාට මුල් උන දෙපාර්ශවයේම දේශපාලඥයින්ගේ හැසිරීම්.. මේකට උතුරේ දකුණේ දේශපාලකයින් හා හරි හරියටම පංගුව බෙදාගෙන ප්‍රශ්නයට අතදාලා ප්‍රශ්නය වන කරන්න මූලික සාධකයක් උන ඉන්දියානු බලපෑම... මේ හැම දෙයක්ම සෑහෙන හොඳින් විස්තර කරලා තියෙනවා...

අඩු පාඩුකං නැතිවම නෙවෙයි... මොකද යාපනේ සංවර්ධන සභා චන්දය වෙලේ කොළඹින්  යාපනයට ගිය කණ්ඩායමේ හිටිය අය ගැන හරි සඳහනක් නැතිකම... යාපනය පුස්ථකාලයට ඒ අය ගිනි තිබ්බ කතාව ගැන එහෙම තව සාර්ථක විස්තරයක් කරන්න කතුවරයා කරුණු දැනං ඉන්න ඕන කියන එක එහෙම මට කල්පනා උනා.. මොකද කතුවරයා මෑතක් වෙනකල්ම යූඇන්පී එකත් එක්ක හිටිය තද අලියෙක් හින්දා එදා වෙච්ච දේ හොදටම දන්න කෙනෙක් විය යුතුම නිසා... 

හැබැයි ඒ හැම එකක් අතරෙම ඒ ඒ කාල වකවානුවෙදී මේ අර්බුධය ටිකෙන් ටික ලියලලා වැඩෙන්න හේතු උන කරුණු..සිදුවීම්..පුද්ගලයින් ගැන සෑහෙන තරමක විස්තරයක් ලියැවිලා තියෙනවා... ඇත්තටම කිව්වොත් එහෙං මෙහෙං පත්තර වලි ගිය ලිපි වලින්... වෙන වෙන මාධ්‍ය මගින් අහන්න දකින් උන අග මුල හරියට සම්බන්ධ නැති ලොකු කතාවක් එකින් එක ඈඳලා මුල මැද අග සම්පූර්ණ කරන්න මේ පොත සමත් වෙනවා... අඳූර් දර්ශී... සිංහල නායකයෝත්.. අවස්ථාවාදී ද්‍රවිඩ නායකයොත්... ඒ දෙගොල්ලටම වඩා අමන ඉන්දියානු දේශපාලකයෝත් කියන තුන් ගොල්ලක් හින්දා රටක්..ජාතින් කිහිපයක්..පරම්පරා කිහිපයක් කාලකණ්නි වෙලා යන ආකාරය ගැන සිහෙන හොඳ චිත්‍රයක් මෙයින් දැක බලා ගතෑකි...

එයින් පස්සේ.. ඒ කිව්වේ පිටු අංක 308 සිට අවසානය දක්වා ඇත්තේ විශ්‍රාම ලබා ඇමරිකාවට ගිය ගෝඨාභය යළි ආපසු ලංකාවට ආව තැන හිටං.. සිය සහෝදරයගේ දේශපාලන වැඩවලට හවුල් වීම හා ඒ හරහා සරත් ෆොන්සේකා නැවත වතාවක් මුණ ගැසීම... පැරණි දැන හැදුනුම්කම් මත සරත් ෆොන්සේකා ගෝඨාභය හරහා යුධ හමුදාපති වීමේ සිට... අවසානයේ නන්දි කඩාල් වලින් ප්‍රභාකරන්ගේ අවසානය සනිටුහන් වීම දක්වා ඇති අවසන් යුද්ධයේ කතාව කියවන්න පුළුවන්.. මේ හරියෙදිත් කතුවරයා අමුතු විදියකට ගෝඨාභයව පුම්බන්න හදලා නැති වග පොත කියවන කෙනෙකුට තේරුම් ගතෑකි.. මොකද ගෝඨාභය ගැන වගේම සරත් ෆොන්සේකා ගැනත් හරි හරියට මේකේ ලියවිලා තියෙනවා යුද්ධයට ඒ අයගේ දායකත්වය ලැබුන තැන් හරහා... හැබැයි කිසිම තැනක මේ පොතේ වීරයෝ කියලා කොටසක් පෙන්නුම් කරන්නේ නැහැ... අවසානෙදී යුද්ධය හමාර වීම හා රාජපක්ෂලා හා සරත් ෆොන්සේකා බිඳීම හා එයින් පසුව වූ දේ ගැන කෙටි සටහනකින් අනතුරුව ද්‍රවිඩ ප්‍රශ්නය හරහා අද ඇති වී තිබෙන ජ්‍යාත්‍යන්තර අර්බුධ කාරී තත්වය ගැන සටහනකින් පොත නිමා වෙනවා...

--------------------

මං මුලින් කිව්වා වගේම.. මෙම ලාංකීය අර්බුධය ගැනත්.. එයට හේතු වූ කරුණු..පුද්ගලයින්..සිද්දී ගැන වගේම එදා සිට මේ දක්වා මේ අර්බුධය නිසා සිංහල දුවිඩ හා මුස්ලිම් යන ජාතින් සියල්ලටම සිද්ධ වෙච්ච හානි... කොටින්ට වගේම ත්‍රිවිධ හමුදාවට එල්ල වූ ප්‍රහාර... ඒ හා සම්බන්ධව යන දේශපාලන හැසිරීම්.. විදේශ අත පෙවීම්... අවසාන මෙහෙයුම සිදු වූ ආකාරය... සමස්ථය අවසානයේ දෙපාර්ශවයටම සිදුවී ඇති හානි තක්සේරුව.. වැනි බොහෝම කාරණා ගණනාවකින් මේක සමන්විතයි...

මහින්ද රාජපක්ෂ ගැන ඇති දේශපාලන වෛරය හින්දා කියලා හිතලා මේ පොත කියවන්නේ නැතිව ඉන්නවනං ඇත්තටම ඒක ලොකු පාඩුවක්... මොකද මේක මහින්දට විරුද්ධ අය වගේම එදා ඉදන් අද වෙනකල් මොනවද උනේ කියලා හරියට දන්න අය වගේම.. නොදන්න අයත් කියවියි යුතුයි... දන්න අය කියවිය යුත්තේ කතුවරයා කියන්නේ ඇත්තමද කියන දේ අපිට දැන ගන්න වෙන්නේ ඒ වගේම මේ දේවල් ගැන දන්න අය මේක කියවලා දක්වන ගුණ දොස් දැක්වීමකින් විතරයි.. නොදන්න අයනං කියවිය යුත්තේ මෙහෙම කාලයක් තිබුනා.. මෙහෙම දේවල් සිද්ධ උනා... කියන දේ ගැන දැනුවත් වීමටයි... ඒ නිසා අවසාන වශයෙන් කිව යුත්තේ පොත පත කියවන්නට කැමති... ලංකාවේ ඉතිහාසය ගැන අවබෝධයක් ලැබීමට කැමති... මැදිහත් සිතින් කාරණා දැකීමට හැකියාවක් ඇති හැමෝටම මේක කියවන්න සුදුසුම පොතක් කියලාම තමයි...
-----------------------------

පසු සටහන...

හැබැයි මේ ගැන කියද්දී කියන්න ඕන තවත් දෙයක් තමා.. අතිමානුෂික උදවියනං මේක කියවද්දි ටිකක් සැලකිලිමත් වෙන්න.. මොකද ඒ අයට අඩලා ඉවර කරන්න බැරි තරං දුක හිතෙන්න පුළුවන්... මායිම් ගම්මාන වලට එල්ල වන ප්‍රහාර... කොළඹ බෝම්බ වගේ දේවල්නං අවුලක් නැහැ... උතුරේත් කොටි විසින් මරාපු අය ගැනත් අවුලක් නැහැ.. ඒත් දකුණේ හමුදාව විසින් උතුරේ කරපු ඝාතන ගැනත්... යුද්ධයේදී මිය ගිය අහිංසක ද්‍රවිඩ විමුක්ති සටන්කාමීන් ගැනත් ඔය එහෙං මෙහෙං ලිය වෙලා තියෙනවා...

13 October 2013

හිරු ඇපල් දෙද්දී.. මගෙන් මිදි...

මේ දවස්වල බ්ලොගේට හෙන වැදිලා තියෙන්නේ වැඩ වැඩිකම හින්දම විතරක් නෙවෙයි... ඒකට තව හේතුවක් තමා බුකිය...

ඉස්සරනං විවේකේ ගත කලේ බ්ලොගේ ගැන බලමින් උනාට දැන් පොඩි ඉස්පාසුවක් අහු උන ගමන් මං නවතින්නේ බුකියේ.. ඒ ගෙහුන් ඔය එක එකාගේ ඕපාදුප ටිකක් හොයලා... මඩක් ගහන්න ඇහැකි එකාට මඩක් ගහලා.. පිස්සුවක් කෙලින්න ඇහැකි තැන පිස්සුවක් කෙලලා.. ඒ අතරට අර “මල පැන්න කුරුල්ලෝ“ එහෙමත් සෙල්ලං කොරන කොට බ්ලොග් එක ගැන මතක් වෙන්නේ නැති තරං...

ඒත් දැන් මේ බුකිය දිහා බලං හිටින කොට එක පාරට දැකපු වීඩියෝ කෑල්ලක් හින්දා මට මේ පැත්තේ ඇවිත් යන්ට හිතුනා.. ඒ මම දැකපු වීඩියෝ කෑල්ල හින්දා මං දන්න දේකුත් කියලා යන්ට ඕන හින්දා... මුලින්ම බලමු ඒ වීඩියෝව...



ඔන්න ඕකයි ඒ...

ඕක ඇවිල්ලා හිරු ටීවී එකෙන් කොරාපු හොර ඇල්ලිල්ලක්... අල්ලපු හොරේ තමා පිටෝටුවේ ඇපල් වෙළෙන්දෝ පාරිභෝගිකයෝ විසින් තෝරා දෙන හොද ඇපල් එක ඇසිල්ලකින් නරක ඇපල් පාර්සලේකට මාරු කරන ජවාරම...

ඇත්තටම පිටෝටුවේ වෙළෙන්දෝ ඇවිල්ලා ලෝක අංකූරෝ.. හැබැයි ලංකාවේ කොහේවත් නැති තරං ලාබෙට බඩු ගන්නත් පිටෝටුව තරං හොද තැනක් තවත් නැහැ කියලා මංතුමා දන්නේ කාලෙක ඉදන්...

හැබැයි හැම “ලාබ බඩුවම“ කොලිටි නැහැ...සමහරු ඔය “ලාබ බඩුවේ“ හිලක් කියලා කිව්වට මොකද පිටෝටුවෙන් “ලාබ බඩු“ ගන්න ගියොත් සමහර විට හිලත් නැති වෙන්න ඇහැකි.. හරිය.. ඕං නොකිව්වා කියන්න එපා... 

රයිටෝ..ඉතිං මං මේ කියන්ට ගියේ පිටෝටුවේ වෙළෙන්දෝ කොරන තවත් ජාවාරමක් ගැන.. මේ හිරු කිව්වේ ඇපල් වෙළදාම ගැනනේ.. මං කියන්නේ මිදි වෙළදාම ගැන...

පිටෝටුවට දෙතුන් පාරක් හරි ඇවිත් තියෙන පිටෝටුවෙන් පලතුරු ටිකක් ජීවිතේ එකම පාරක් හරි ගනිපු නැති අය බොහෝම අඩුයි නෙව.. ඒ හින්දා එහෙම අය නිතර අහු වෙන්ට ඇහැකි වංචාවක් තමා ඔය මිදි වෙළදාමත්...

මිදි වෙළදාමෙදී තනිකරම හොරේ කරන්නේ තරාදිය හරහා... ඕනනං බලන්න ඔය පිටෝටුවේ පලතුරු පෙට්ටි ගහන් විකුණන අයියලා ගාව තියෙන තරමක් තියෙන්නේ අර රවුං මූණතක් තියෙන මැද හයි කරලා තියෙන කටුව කැරකිලා බර පෙන්වන මේන්න මේ ජාතියේ තරාදි...

ඉතිං මුං කොහොමද ඔය තරාදියෙන් හොර කරන්නේ...

එකක් තමා මුං ඔය තරාදියේ නිතරම කටුව තියෙන පැත්ත තමුන්ගේ අතට හරවං ඉන්නේ... අපි කිව්වොත් විතරයි තරාදිය අපි පැත්තට හරවලා පෙන්නන්නේ.. නැත්තං ඉතිං අපි කිලෝ එකයි කිව්වම උන් ඒකට උන්ට හිතුන ගානක් දාලා පටස් ගාලා කඩදාසි කවරයකට දාලා දෙනවා... වැරදිලා හරි අර විදියට කියලා කටුව තියෙන පැත්ත බැළුවොත් උන් කරන්නේ තරායේ පිටි පැත්තට අත තියලා තද කරගෙන අපිට පෙන්නන එකයි.. ඒ තද කිරිල්ලෙන් උන්ට පුළුවන් කටුව උන්ට ඕන හැටියට දුවවන්න... උන් කරන්නේ අපි ඉල්ලව බර ගානට හරියන්න කටුව එන විදියට අතින් තද කරලා එන්න හරිගස්සලා අපිට පෙන්නලා ඉක්මනට අනිත් පැත්ත හරවන එකයි... බොහෝමයක් වෙලාවට ඔහොම තරාදියකින් මිදි ගත්තොත් අනිවාර්යයෙන්ම එතන බාගෙට බාගයක් බර අඩුයි.. කොටින්ම මටත් එක පාරක් කිලෝ එක කියලා දීලා තිබුනේ 600g ක්... මටම බර ගැන සැක හිතුන හින්දා ගෙදර ඇවිත් ගෙදර තියෙන තරාදියෙන් කිරලා බැළුවමයි අහු උනේ.. එයින් පස්සේ දවසක මං ආයෙම ගිය වෙලාවක මං මගේ පැත්තට තරාදිය හරවන්න කියලා තරාදිය අල්ලන්නේ නැතිව තියන්න කියලත් කිව්වා.. මෑන් මගේ මූණ දිහා බැළුවා.. ඒත් තරාදිය අතාරින්නේ නැහැ.. මං ආයම කිව්වා තරාදියෙන් අත ගන්න කියලා.. මෙන්න බොලේ මූ අර කිරාපු මිදි ටික ආයේ මිදි ගොඩට දානවා... හිමිහිට කුටු කුටු ගාන ගමන්.. මං හිනාවෙලා “හරි ෂෝක් කිරිල්ල නේද..?“ කියලා අහපුවාම මූ නොඇහුන ගානට අහක බල බල ඉන්නවා... මොකද ඌ වැඩි සද්ද දැම්මොත් අහල පහල බඩු ගන්න යන එන උන්ට උනත් වැඩේ නෝන්ඩි වෙනවා කියලා දන්නවනේ... අනිත් අතින් මං සද්ද දාන්න ගිහිල්ලා මොටද නිකං ඉල්ලං කන්නේ... කොහොම උනත් හොරේ මාට්ටු කියලා ඌ දැන ගත්තම මට ඇතිනේ.. මංයෑ ආයේ ඔය යක්කුන්ගෙන් බඩු ගන්නේ..? මං ගියා යන්න...

ඒ නිසා කීය ලාබ උනත් පිටෝටුවෙන් මිදි ගන්නවනං මතක ඇතිව හරිහමන් ඉලෙක්ට්‍රොනික් තරාදි තියෙන වෙලෙන්දෙක්ගෙන් මිස ගන්ට යන්ට එපා... එහෙම අය ගාව පොඩ්ඩක් මිල වැඩි වේවි.. ඒත් අනිවාර්යයෙන්ම බඩු ටික හරි බරට හම්බ වෙනවා... උදාහරණෙකට කිව්වොත් ඔය යාපනේ මිදි කිලෝ එක අර වගේ හොරෙක් ගාව රුපියල් දෙසීය වෙද්දි අර වගේ හරියට කිරන තැනක රුපියල් තුන් සීයක් වෙනවා... (මං යාපනේදීනං ඔය ජාතියේ මිදි කිලෝව ගත්තේ රුපියල් හැටට) එයින් පස්සේ මම දැන්  පිටෝටුවේ පලතුරු ගන්නේ කෙලින් වීදියෙන් බෝධිරාජ මාවතට හැරෙන තැනම තියෙන දිවි නැගුම කියලා පින්තාරු කරාපු පලතුරු ලොරි දෙකෙන් විතරයි... ඒවායේ බඩු සෑහෙන පිලිවෙලට හරි බරට වගේම සෑහෙන්න හොද කොලිටියෙන් තියෙනවා... හැබැයි කොටුව ස්ටේසම පැත්තෙන් එන අයටනං ඒ හරියට යන්න දුර වැඩි වෙයි...

හැබැයි ඉතිං අපි වගේ ඔය පීචං කැලෑසියේ උන්දලා ඕවෑන් ගත්තට ඉහල පාන්තික වැදගත් මහත්තුරු නෝනලා නං ගන්නේ නැතිවත් ඇති... ඒ හින්දා මේවා ලියලා ඇති වැඩකුත් නැහැ එක අතකට බලාගෙන ගියාම... 

06 October 2013

මගේ ජනාධිපති වීමේ සිහිනය...


අපේ බුද්ධියා මේ ලගදී මරු කතාවක් කියලා තිබුනා...

//කෙංජි,තාම මාරයව අඳුනගෙන නෑ මම නං කියන්නේ. පොර ඇත්තටම නැව් නැග්ගනං ඡේද තුනක් යනකල් වැඩේ අඳින්නේ නෑ. මාතෘකාවට නැව් නැග්ගා කියලා දාන්නෙත් නෑ. හෙහ් හේ....//

ඇත්ත කතාව.. මගේ පෝස්ට්වල මුල බලලා කවදාවත් එයිට යටින් තියෙන දේවල් මොනවද කියලා හිතන්න අමාරුයි.. ඒක මං ටිකක් හිතා මතා කරන දෙයක්... උඩින් පල්ලෙන් බලලා යන අයට නෙවෙයි කියවන්න බලං එන අයට ලියන එකයි මගේ සිස්ටොං එක වෙලා තිබුනේ...

රයිටෝ ඒත් අද කියන්න යන්නෙ නං මාත්තුරුකාවට අදාලවම කතාව තමා...

හරි අපි මෙහෙම පටං ගමුකෝ...

ඔය විහිළුවටවත් ඇහුවොත් ඕන එකෙක් “පිස්සුද බං“ කියලා කිව්වට මොකද වැඩි හරියක් එවුන්ගේ හිතේ තියෙන හීනයක් තමා තමන් ඉන්න රටේ ජනාධිපති වෙන එක.. හෝව් හෝව්..මට පේනවා දැන් කිහිප පොලක්ම ලෑස්ති වෙනවා “අනේ අපිනං එහෙම නෙවෙයි“ කියලා කියන්න.. අවුලක් නැහැ..මට වැරදුනා කියලා අපි හිතමුකෝ... ඔහේලාට එහෙම හීනයක් නැහැයි කියමුකෝ...

‍බොක්කට කෙලින් කතා කරනවනං මගේ එහෙම එකක් තිබුනා.. තියෙනවා සහ තිබේවි... ඒ කිව්වේ අතීත වර්ථමාන සහ අනාගත කාල තුනෙන්ම තමා... ඒ කිව්වේ මගේ මහ ගොඩක් අනාගත බලාපොරොත්තු නැති උනාට හීන කිහිපයක් තියෙනවා.. එයින් එකක් තමා ඔය ජනාධිපති හීනේ.. :D

තව ඉතිං දඟ පන්දු යවන්නෙක් හැටියට ජාතික කිරිකැට් කණ්ඩායමට එකතු වෙලා මුරලිදරන්ට එහා යන විදියට පන්දු යැවීම ගැන ඇති හීනේ.. තව එයින් එහා හීන මට නැහැ මං හිතන්නේ...

රයිටෝ ඒ කිරිකැට් හීනේ පැත්තක තියලා අපි මේකට බහිමු...

ආයේ ඉතිං බොරුවක් නෙවෙයි.. ඕකට ලැජ්ජා වෙන්ට දේකුත් නැහැ.. මං ඇත්තටම කැමැතියි නෙව මේ රටේ ජනාධිපති වෙන්ට.. මං ඉතිං ඕකට පුංචි එකා කාලයේ හිටං හීන දකිනවා...

හැබැයි ඒ හීනේ හැබෑ කරගන්න  ලේසි නැති උනත්.. ඒ හීනේ ඇතුලේ මං කරන්න ඕන දේවල් ගැන අදටත් හිතනවා... මේ කියන්නට යන්නේ ආන්න එහෙම උනොත් මං කොරන්ට හිතං ඉන්න දේවල් ටිකක් ගැන...

හරි හරි කවුරු මොන බයිලා ගැහුවත් එහොම එකක් ලැබුන ගමන් කරන්නේ තමන්ගේ හැත්ත බුරුත්තට අස්වද්දන එක තමා කියලා කවුද නොදන්නේ... මං උනත් එහෙම තමයි... ඒත් ඉතිං කරුමෙට වගේ මට අස්වද්දන්න එවුං නැහැ.. ඒ ගැන මටත් කණගාටුයි.. ගෙදර ඉන්න මට බාල එකා ගැන මට බලන්න දෙයක් නැහැ.. ඌ මං කියන දෙයක් අහන එකෙක් නෙවෙයි... ඒ හින්දා උන්දලාව අතෑරලා දාලා ඉන්න හින්දා වෙන එවුන් නැහැ මට සලකන්න... අනික ඉතිං අපිට කෙල වෙලා තියෙද්දී උදව් කරන්න හිටියේ නැති නෑදෑ හැත්ත බුරුත්තට මං මොකට අස්වද්දනවද..? ඒ හින්දා කැමති උනත් ඥාති හිතවත් සංගරහා කරන්න හැටියක් නැති එක ගැන මං අවංකවම කණගාටු වෙනවා...

අනික ඉතිං අර ඥාතින් ගැන කිව්වා වගේම තමා හිතවතුන් ගැනත් කියන්න තියෙන්නේ.. මොකද මට දැන් ආස්සරේ කරන මහ හිතවත් පිරිසක් නැහැ නෙව.. මගේ ආස්සරේ තියෙන්නේ මේ බ්ලොග් ලියන කියවන පිරිස ඇරුනාම මූණු පොතේ දන්න අදුරන අය විතරනේ.. ඒ අය කොහොමටවත් මගෙන් උදවු ඉල්ලන උන්දලා නෙවෙයි... මොකද මේ බ්ලොග් ලියන අය අතරේවත් බුකියේ ඉන්න අය අතරේවත් නැහැ ඔය බාල වැඩ.. මේ හැමෝම සරුව සාධාරන වංචාව දූෂණය එහෙං පිටිංම පිටු දැකපු හෙන අවංක කස්ටිය... ආයේ ඉතිං එහෙවු සාධාරණ අය තමන් දන්න කියන එකෙක් ජනාධිපති උනා කියලා උන් නෙවෙයි පණ යතත් ඔය රස්සාවල් ඉල්ලන්නේ..එහෙමත් නැත්තං ටෙන්ඩර් පාස් කරවගන්න කතා කරන්නේ.. අඩුම තරමේ ළමයා ඉස්කෝලෙකට දාගන්නවත් කතා කරන උන් මේකේ නැහැ.. මේකේ ඉන්න තරමක් ඉන්නේ හැම දේම නීතියට සාධාරනේට අනුව කරන කියන සද්ගුණවත් පිරිසක් නෙව.. ඒ හින්දා මං ඒ අතින් පට්ට වාසනාවන්තයි.. හොරු වංචාකාරයෝ..වචී පරමලා..අරුන් මුන් නැති සෑම අතින්ම සුපිරිසිදු හිතවතුන් පිරිසක් අතරේ ජීවත් වෙන්ට ලැබීම... එයිට වඩා මොන සැපයක්ද තවත් මිනිහෙකුට...

 ආන්න ඒ හින්දා ඔය කියාපු සංගරහා මට කරන්න ඕන වෙන්නේ නැහැ... මට කිසි ගේමක් නැතිව රාජ්ජ පාලනේට බැස්සැකි... අමුතුවෙන් ගසා කන්න දේකුත් නැහැ.. මොකද ජනාධිපති උනාම ලස්සෙකට විතර කිට්ටුවෙන් යන පඩියකුත් ලැබෙනවනේ.. තුන් දාස් පන්සීයෙනුත් මාසේ දුවවන්න ඇහැකි මට  ඒ මදෑ හොදටෝම.. පැන්සන් එකත් ලැබෙනවනං...මට දැන් මේ ජීවත් වෙනවා වගේ ආතල් එකේ කාලා බීලා..කරන දෙයක් කරගෙන... චිත්තර පටියක් නාට්ටියක් බලාගෙන ඇවිදලා කරලා හොදට හිටියැකිනේ.. ඒ මදෑ හොදටෝම...

රයිටෝ ඒ හින්දා මට තියෙන්නේ වැඩේ කරං යන්න විතරයි..

හැබැයි.. ඔතන පොඩි කොස්සක් තියෙනවා.. මොකද ඔය පුටුවේ වාඩි වෙන්න දැනට තියෙන්නේ එකම කරමයයි.. ඒ තමා පිළිගත්ත පක්ෂයකින් ඉදිරිපත් වෙලා.. ගන්න පුළුවන් තරං සල්ලි තියෙන බලය තියෙන තැන් වලින් උදවු අරං වියදං කරලා ඡන්ද කරලා කොහොම හරි දිනලා ඔය පුටුවට පැන ගැනීම..

හැබැයි ඉතිං ඒ කරමෙට ගියාට පස්සෙ අර මුලින් උදව් කල උන්ට නොසලකා බැරි වෙනවා.. ඒ හින්දා මගේ අරමුණ එහෙම පත් වෙන්ට නෙවෙයි...

ඔව් ඔව් මං දන්නවා ඩීබී මහත්තයට පහළ උන නිධානේ මට පහල වෙන්නේ නැහැ කියලා... ඒ හින්දා මට ඒකට වෙනම සැලසුමක් තියෙනවා වියදං නැති මැතිවරණ ප්‍රචාරණ ක්‍රමයක් ගැන... 

නැහැ නැහැ මේ බ්ලොග් ලියලවත් බුකියේ විකාර දොඩවලවත් නෙවෙයි.. බ්ලොග් වලින්.. බුකියෙන් නායකයෝ පහළ වෙනවනං දැන් ඉන්නේ පස් වෙනි මහින්ද රජු නෙවෙයිනේ.. එහෙමනං මෙලාට දෙවන දොන් ජුවන් ධර්මපාල හරි පළමුවැනි සරත් රජතුමානේ මේ රට පාලනේ කරන්නේ... ඒ හින්ද ඒ වගේ දඩි බිඩිස් ප්ලෑන් මයේ ගාව නැහැ.. මගේ ක්‍රමේ තියෙන්නේ  බොහෝම විධිමත් වැඩ පිළිවෙලක්.. ඒක සරලව කිව්වොත් මූලිකවම මං මගේ දැනුමේ හැටියට රටට  හරියන සෑම අංශයක්ම මනාව ආවරණය වෙච්ච ආකාරයේ ආණ්ඩුක්‍රම වියවස්ථාවක් සහ රාජ්ජ ප්‍රතිපත්ති විය්‍යුහයක් හදා ගැනීමත්... මහන්සි නොබලා අතේ තියෙන හැටියට කාලා රට පුරාම පයින්ම ගිහින් හරි.. (පයින්ම යන්න වෙන එකක් නැහැ.. බයික් කටුව තියෙනකල්.. අනික දන්න කියන රැකියා රට වටේම තියෙන හින්දා අතට අහුවෙන වැඩක් කර කර කීයක් හරි හොයා ගන්න ගමන්ම රට වටේ ගියෑකි) මගේ ප්‍රතිපත්ති සහ වියවස්ථාව ගැන රටේ මිනිස්සුන්ට කියා දෙමින් සරලව ඒ දේවල් පැහැදිලි කරමින් ගමින් ගමට ගිහින් කතා පවත්වන එක... (මොනවා නැතත් මට තාමත් කරන්න ඇහැකි දෙයක් තමා ඔය කතා පැවැත්විල්ල... ඒක මොකක් හරි පූරුවේ කොල පිනක බල මහිමෙන් උපතේදීම මට ලැබුන දෙයක්.. කොටින්ම මං මුලින්ම අපේ ගමේ හන්දියක දේශපාලන රැස්වීමක කරපු පිලිගැනීමේ කතාව අහං හිටිය ජේවීපී සැට් එකක් එයින් පස්සේ ගෙදරටම ඇවිල්ලා මාව ඒකට බදෝ ගන්න දවස් කිහිපයක්ම දත කෑවා.. හුහ් එහෙම යනවද මේ අනාගත ජනාධිපතිතුමා ඒ වගේ රටේ තුන් වැනි බලවේගෙවත් නොවෙන පක්ෂවලට.. :D ) ආන්න ඒ හින්දා මගේ කල්පනාව හරි ගියත් නොගියත් එහෙම අවුරුදු ගානක සංචාරයක නිරත වෙමින් රටේ හැම අස්සට මුල්ලටම යන එක... එක වංගියක් මං දැකපු හින්දි ෆිල්ම් එහෙකත් හිටියා ඔහොම පිස්සෙක්.. නළුවට හිටියේ නානා පටේකාර්.. ඌත් ඔහේ මොකාද එකා වගේ පකිස් පෙට්ටියක් උඩ නැගගෙන හරි මිනිස්සුන්ට කතා කරපු බුවෙක්... ඒක දැකපු දවසේ තමා මං තීරණේ කලේ කවදා හරි මගේ සිල්පේ වෙන්නේ මේක තමා කියලා... මිනිස්සු පිස්සෙක් ගානට හිතුවත් මයේ මොකද.. කවදා හරි මතක් වෙන්නේ නැතෑ මේ අරූනේ කියලා...

ඉතිං ආන්න එහෙම දීර්ඝ සංචාරයකින් පස්සේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඡන්දෙට ඉදිරිපත් වෙලා.. අපේක්ෂක වරප්‍රසාද යටතේ හම්බවෙන ටැලිවිසොන් කාල වේලාවෙන් පරයෝජන අරං මිනිස්සුන්ට මතක් කරලා දෙන්න අහවල් කාලේ ඇවිත් වැදි බණ කියලා ගියේ මේ පුතයා තමා කියලා...

ඔතනදී හරියන්න හරි වරදින්න හරි පුළුවන්.. ඒත් අර කිව්ව සංචාරක කතාවලට පදනම කරගන්න වියවස්ථාව සහ ප්‍රතිපත්ති හරි හමන් තත්වෙක තිබුනොත් මිනිස්සු ටිකක් හරි කල්පනා නොකර ඉන්න එකක් නැහැ.. උදාහරණයක් හැටියට “මං ආව ගමන් තමුන්නාන්සේලාට රැපියල් දා දහක් පඩි වැඩි කරනවා“ වගේ කතා නොකියා “මං ආවට පස්සේ මාස  කිහිපයක් අරං ගොවි මහත්තුරුන්ව ක්‍රමානුකූලව ලියා පදිංචි කොරං තමුන්නැහේලට අඩු පොලී සහිත කෙටි කාලීන ණය දෙනවා වගාව කර ගන්න සහ.. ඒ එක්කම වගා රක්ෂණ ක්‍රමයක් හරහා කෙල උනොත් ඒ ණය ගෙවෙන ක්‍රමයක් හදා දෙනවා..රක්ෂණයකින් තමුන්නාන්සේලාට පොඩි ලාභය අඩු වීමක් උනත් පාඩුව අවම වීමක් වෙනවා.. අපිටත් දිගටම ණය ක්‍රමය පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා“ කියනවා වගේ කරන්න ඇහැකි කාටත් සාධාරණ දේවල් ටිකක් හරහා මිනිස්සුන්ගේ විස්වාසේ දිනා ගන්න බැරි වෙන එකක්මත් නැහැ...

තව ඉතිං හුගක් ජාති ඔළුවේ තියෙනවා.. හැබැයි ඒ හැම එකම එළියට දාලා බැහැ.. මොකද ඒක මං මගේ දේශපාලන සංචාරේ යද්දි එළියට දාපුවාම මදෑ...

ඔය වියවස්ථාව ගැන කිව්වමත් මට මතක් වෙන්නේ එක වංගියක් මං මේ වනකල් පක්ෂ සාමාජිකත්වය ලබාගත්ත එකම පක්ෂය වෙන “සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂ“යේ නායකතුමා වෙච්ච හරිශ්චන්දර මහත්තයාගේ වියවස්ථාව... නීතිඥයෙක් වෙච්ච ඒ මහත්තයා බොහෝම මහන්සි වෙලා මේ රටටම හරියන ආකාරයේ වියවස්ථාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් හදාපු කෙනෙක්.. මං මේ වෙනකල් දැකලා නැහැ මහ පක්ස හෝ වෙනත් කිසිම පක්ෂයකින් ඒ තරම් පැහැදිලි වැඩ පිළිවෙලක්.. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට වගේම මේ රටේ හැදෙන ගම්මිරිස් ඇටයේ ඉදලා එප්පාවල පොස් පේට් දක්වා සෑම අංශයක්ම ආවරනය වෙන විදියට එතුමා ඒක හදලා තියෙනවා.. කවදා හරි මං හදන එකටත් ඒ ටික ගුරු උපදේශ හැටියට තියා ගත්තම මට වැඩි අමාරුවක් වෙන එකක් නැහැ... 

ඉතිං ආන්න එහෙම දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් හරහා තමයි මගේ ජනාධිපති හීනේ තියෙන්නේ... එහෙම නැතිව මාස තුනෙන් ආණ්ඩු අල්ලන හීන නැහැ හරිය...
(මට දැන් මැවිලා පේනවා තොපි මට හිනාවෙන කැත.. ‘‘මූට පිස්සු‘‘ කියලා.. හැබැයි මතක තියා ගනිවු... පිස්සෝ තමා මේ ලෝකේ වැඩිහරියක් වෙනස් කරලා තියෙන්නේ කියලා.. :D අනික ජනාධිපති උනාම සෑහෙන්න ඉවසීමක් උවමනා හින්දා මං දැන් හිටම ඒක පුහුණු වෙන්න ගන්නවා.. :D )

රයිටෝ දැන් කොහොම හරි මං ජනාධීපති උනාම එයින් පස්සේ මොකද කරන්නේ..?

මං මේ කියන්නේ මං අර මුලින් කියාපු ප්‍රතිපත්ති කිරියාවේ යොදවන අන්දම ගැන විතරක්ම නෙවෙයි.. දැනට රටේ ඉන්න දේශපාලකයින්ව හරස් කර නොගෙන මේක කරගෙන යන්නේ කොහොමද කියන කාරණේ...

මොකද මේ රටේ වෙනස්කං කරන්න ලොකුම හැකියාවක් තිබුන කෙනෙක් තමා ප්‍රේමදාස ලොක්කා.. උන්නැහේත් හොද සැලසුමකට අනුව බොහෝම ආත්ම විස්වාසෙන් වැඩ කරපු මනුස්සයෙක්.. ඒත් එක පැත්තකින් විපක්ෂය කකුලෙන් අදිද්දී.. තමන්ගේම පක්ෂයේ බමුණු කුල නායකයෝ ටිකත් උන්නැහේගේ පිටට පිහියෙන් අනින වැඩ තමා කලේ... කුල ප්‍රශ්නයක් අල්ලං මඩවන ගමන්.. උගත්කං ගැන කිය කියා කරන්න තියෙන හැම කෙණෙහිලි කමක්ම කලා.. ඒ අතරෙදිම උතුරයි දකුණයි දෙකම ඇවිලුනාම ආයේ ඉතිං පීඩනයට ඔරොත්තු නොදී පිස්සෙක් වගේ වෙලා මෑනුත් පිස්සු කෙලියා... එහෙම බාධාවන් නොතිබුනානං මේ වෙද්දී ප්‍රේමදාස ලංකාව සෑහෙන තරමකට ගොඩ දාලා... ඒ හින්දා ඔය නායකකං ලැබුනත් හැම එකාම සේප් එකේ තියං ඕන මේක කරන්න..කැත්තට පොල්ල වගේ උනොත් කවදාවත්ම වැඩක් කරන්න වෙලාවක් හොයා ගන්න වෙන්නේ නැහැ රණ්ඩු කර කර ඉන්නවා ඇර..

ආන්න ඒ හින්දා මගේ හිතේ තියෙන කල්පනාව තමා මහ මැතිවරණයෙන් මොක්කු වැඩි බලය ඇල්ලුවත් ජනාධිපති හැටියට පක්ෂ විපක්ෂ දෙකේම දක්ෂයින්ට තනතුරු දීලා හැම එකාටම වැඩක් පවරලා වැඩ ගන්න එක.. මහ පුටුවේ ඉදනං මං හොරකං කරන්නේ නැතිනං පහල පුටුවල උන් හොරකං කරන ඒවා සුටුස් ගාලා අල්ලලා පුකට පයින් ගහලා එලෝන එක මහ වැඩක් නෙවෙයි නෙව...

 ඒ හින්දා මං ජනාධිපති වෙන දවසක මගේ ඇමති මණ්ඩලේ පත් කරන්නේ කොහෙමද කියලා මං හිතුවා... ඒ වෙද්දී දැන් ඉන්න උන්දලා ජීවත් වෙලා හිටියොත්...

මූලික වශයෙන්ම මෙන්න මේ තනතුරු ටික දෙන්නේ මෙයාලට...

අගමැති- චම්පික රණවක
ආරක්ෂක ඇමති- ගෝටාභය රාජපක්ෂ
විදේශ ඇමති- රනිල් වික්‍රමසිංහ
රාජ්‍ය පරිපාලන- කරූ ජයසූරිය
මුදල් ඇමති- බන්ධුල ගුණවර්ධන

ඔය ටික තමා මගේ මූලික ඇමති පට්ටං.. එයිට අමතරව දැනට හැට හුට හමාරක් තියෙන අමාත්යන්සිය ටික පුළුහං තරං එක්කාසු කොරලා ඇමති පට්ටං දහයක් විතර හදනවා... උදාහරණයක් විදියට ඔය ආගමික/දේශීය වෙද්‍ය/සංස්කුරිතික/පුරාවිද්‍යා/ වගේ එකට යන පරණ ටයිටලේ ඒවා ටික එක්කාසු කරලා දෙනවා විජමු ලොකුබණ්ඩාර වගේ කෙනෙකුට.. එතකොට ඔය ගාමිය සංවර්ධන/කුඩා කර්මාන්ත/ වැවිලි කාර වැඩ වගේ දේවල් එක්කාසු කොරලා සජිත්ට කරේ ගස්සනවා වගේ දේවල් කලෑකි...

 එහෙම මූලික අමාත්යන්සිය පහලොහකට විතර ඔක්කෝම සීමා කරලා අනිත් මංතිරි වරුන් සියළු දෙනාම ඒ ඒ අමාත්යන්සිය වලට අනුබද්ධ කොරලා දානවා.. ඒ කිව්වේ ඔය දැන් ඇඹිලිපිටිය පැත්තේ ඉන්න පුෂ්පකුමාර ගොයියා වගේ උන්දලා ඇමතිවරු වෙන්න තරං ඇති රෙද්දක් නැහැනේ.. උන්දලා ඔය සීනි කර්මාන්තය අහු වෙන අමාත්යන්සියට අනුබද්ධ කරලා ඒ පළාතේ උක් සංවර්ධන වැඩ වලට දානවා වගේ වැඩ ටිකක් තමා ඔළුවේ තියෙන්නේ..
(කණගාටුයි මර්වින්ට දෙන දෙයක් ගැන මං හිතන එක නවත්තලා තියෙන්නේ.. )

මහින්ද ලොක්කට ආයේ තැනක් නැහැ නේද කියලා කාට හරි හිතෙයි... හිටපු ජනාධිපති කෙනෙකුට තව කෙනෙක් යටතේ වැඩ කරන්න දැමීම උන්නැහේට කරන අගවුරයක් හින්දා මහින්ද මහත්තයට පුළුහං තමුන් කැමති පළාතක බොහෝම නිවාඩු පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න..රජයේ සියළුම පහසුකං යටතේ.. මොනවා උනත් යුද්ධය අවසන් කල නායකයා හැටියට උන්නැහේ රජෙක් වගේ ඉතිරි කාලය ගත කරන්න වටිනවා... මං පොරොන්දු වෙනවා කිසිම විදියකින් අනං මනං නඩු දාලා උන්නැහේගේ විශ්‍රාම දිවියට බාධා කරන්නේ නැහැ කියලා... පරණ දේවල් හාර හාර ඉන්න ගියොත් කවදාවත් වැඩක් කරන්න වෙන්නෙත් නැහැනේ... ඔය ආගමන විගමන නීති යටතේ උනත් උන්නැහේට කිසිම බාධාවක් නොවෙන විදියේ පහසුකං සලසලා දෙන්ට ඕන... උන්නැහේට කරදර කලේ නැතිවට මට උන්නැහේගේ මල්ලිලා දෙන්නවම ඕන කරනවා.. ඒ කිව්වේ ගෝඨාබයයි.. බැසිල් උන්නැහෙයි.. ඒ දෙන්නම බොහෝම හොද කලමනාකරුවන් යම් යම් දේ සම්බන්ධව...

අර මුලින් කියාපු පත් වීම් ගැන කියනවනං... අගමැති හැටියට පත් කරන චම්පික ගොයියා තමයි මගෙන් පස්සේ රට බාර ගන්න ඕන... රනිල් ගැන තියෙන ප්‍රතිරූපේ හැටියට විදේස කටයුතු උන්නැහේට බාර දෙන එක වරදක් නැහැ නෙව... බන්ධුලට උනත් තමුන් දන්න දේ හරියට කරන්න නියම බලතල කවදාවත්ම ලැබුනේ නැති හින්දයි උන්දෑ ෆේල් වෙලා ඉන්නේ කියලා මට හිතෙන්නේ... කරූ ජයසූරිය කියන්නේ පහුගිය කාලේ රාජ්ජ පාරිපාලනේ මං දැකපු විදියට නියම පාරට ඇදං ආව මනුස්සයා..  රජයේ ආයතනවලට ආව ගිය..ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ක නිතර ගනුදෙනු කරන්න උන කාලයක් මට තිබුන හින්දා මං ඒක හොඳින්ම දැක්ක දෙයක්... මෑන් පරිපාලනේට සුපර්... එක එකා මොනවා කිව්වත්... මෑන්ට ටිකක් බලතල දීලා අල්ලස් ප්‍රශ්නවලටත් උත්තර හොයන්න ක්‍රමයක් හදා ගත්තම හරි...

ගෝටාභය නිකංම නිකං රාජ්ජ නිලධාරියෙක් නොකර ලිස්ට් එකෙන් හරි ගෙනල්ලා ඇමතිකම දෙන්න ඕන ආයේ කරන ටික හරියටම කරං යන්න... වැඩ කරන එකාට ඒකට සම්බන්ධ සියළු බලතල දීලා වැඩේ කරං යන්න දෙන එක තමා මේ රට ගොඩ දාන්න තියෙන හොදම ක්‍රමේ...

රටේ ආර්තික ප්‍රතිපත්ති ගැන කියනවනං දැන් කාලෙක ඉදන් මේක කෘෂිකාර්මික ආර්ථිකය යටතේ.. අපනයන ආර්ථිකය යටතේ.. කාර්මික ආර්ථීකය යටතේ ගොඩ දාන්න හැදුවට තාමත් ඒ හැටි වැඩක් උනේ නැති හින්දා මගේ අදහස තියෙන්නේ ඒ දේවල් ඒ විදියටම කරං යන ගමන්ම මේක අධ්‍යාපන ආර්ථීකයක් හැටියට ගොඩ දාගන්න උත්සහ කරන්න... ඒ කිව්වේ රජයේ මූලික අරමුණ අධ්‍යාපනය දියුණු කිරීමට යොමු කරවලා.. රටේ උසස් පෙල සමත්වෙන අන්තිම එකා දක්වා සරසවි යවලා ලෝකයේ රැකියා අවස්ථා අරමුණ කරගෙන (ඔන්න කලින්ම කිව්වා කලා උපාධියනං තහනංම කරලා දාලා කලා උපාධිකාරයෝ ඕනනං පිටරටින් ගෙන්නනවා.. ) පාඨමාලා හදලා උගන්නලා හැකි තරං කට්ටිය පිටරට පැටවිල්ලක් කරන්නයි හිතං ඉන්නේ.. අධ්‍යාපනය නොමිලේ වෙනුවට උසස් අධ්‍යාපනය ණය පහසුකම් යටතේ කෙරෙන විදියකට යන්න ඕන...  රට පටවන අය අවම වශයෙන් වසර දහයක්වත් රජයට යම් ගෙවීමක් කරන විදියට වැඩ පිළිවෙල සකස් කරන එක තමා කරගන්න ඕන... අර ඉස්සර මහා ප්‍රශ්නයක්ය කියලා කට්ටිය කෑ ගහන “බුද්ධි ගලනය“ද මොකක්ද  කියන එක රාජ්ජ අනුග්‍රහයෙන්ම කරන එක තමා ඕං මූලික ප්‍රතිපත්තිය... රටේ සම්පත් හූරං නොකා..පරිසරය දූෂණය නොකර.. වැඩේ ගොඩ දාගන්නනං මෙහෙම දෙයක් තමා කරන්න වෙන්නේ...
--------------------------

හප්පා... දැන් පොඩි නිදිමතක් වගේ දැනෙනවා.. ඊයේ නිදා ගද්දී රෑ දෙකට කිට්ටුයි... අනික අනාගත ජනාධිපතිතුමාට උනත් වැඩිය මොලේ වෙහෙසවන්න දෙන්න හොද නැහැනේ.. ඒ හින්දා දැනට මං නිදා ගන්න යනවා... ආයේ වංගියක් මගේ ජනාධිපති හීනේ ගැන ලියන්නංකෝ අතෑරුන දේවල් එක්කලාම පැහැදිලි කරලා.. කාට  හරි ප්‍රශ්නයක් තියෙනවනං අහවල් දේ කොහොමද තමුන් විසදන්නේ කියලා.. බය නැතිව සරලව පැහැදිලිව අහන්ට.. මං විස්තර කරලා දෙන්නං... 

--------------
හීන දකින එක නරක නැහැ නේද..? නැහැ මං කිව්වේ රටට නෙවෙයි මට...

05 October 2013

රනිල් වෙනුවට දයාසිරි...

මාතර පට්ට වලිය... ඒ ගැන වැඩිය කතා කල යුතු නැත.. මේ අප හැමදාමත් දකිනා නියම යූ ඇන් පී කාරයින්ගේ කෙරුවාවය... බලය නැති කල කෙසේ වෙතත් බලයක් ලැබුනු විගස අනිත් පක්ෂවල උන්ට එළව එළවා පහර දෙන ගතිය යූ ඇන් පී ජාන වලින්ම එන දෙයකි.. එය දන්නා නිසා සැමදාමත් යූ ඇන්පිය බලයට ඒම ගැන සාධාරණ බියකින් මා මෙන්ම යූ ඇන් පී අළුගෝසුවාදය දන්නා මිනිසුන් පෙලෙති. බලේ නැතිව මෙහෙමනං බලේ තිබුනු විට ඔය පහරවල් එල්ල වන්නේ කාගේ හිස මතද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

ඒ කෙසේ වෙතත් මේ පාර වෙනදාට වඩා වැඩේ අමාරු හැඩය... රනිල්ට තව දුරටත් තමන්ගේ හෙංචයියන්ගේ ආරක්ෂාව මැද සිටිම අපහසුවන මට්ටමට වැඩේ පත්තු වේගන යයි... එහෙත් රනිල්ගේ විරුද්ධ පක්ෂයට ඇත්තේ රනිල් එළවීමටත් වඩා ඊ ළගට කරන්නේ මොකක්ද කියනා බරපතල පැනයයි... සජිත් කරූ ගැන කියෙව්වාට ඒ දෙකම පණ ඇති චරිත නොවන බව යූ ඇන් පී පාක්ෂිකයින් අත්දැකීමෙන්ම මේ වන විට වටහාගෙන ඇත...

එසේනම් කල යුත්තේ කුමක්ද..?

මෙන්න ආණ්ඩුවට කඩේ යන මංතුමාගෙන් හිතේ කහටක් නැතිව හොඳ විසඳුමක්...

පක්ෂ නායකත්වය වන වන නොසිට දයාසිරිට බාරදීමය...

දයාසිරි පක්ෂයේ ජේෂ්ඨත්ව අනුපිලිවෙලට අනුව සිටිනා තැන ගැන සිත සිතා සිටීම ඔවුන් විසින් කරගන්නා ඓතිහාසික වරදක් විය හැකි හෙයින් හැකි ඉක්මනින් මෙය කිරීම වැදගත්ය...

අනික රනිල් මේ පාර පැරදුනේ ආණ්ඩුවටත් වඩා දයාසිරිගෙනි... රනිල්ටත් ඔහුගේ නඩයටත් ආණ්ඩුව පැරදවීමට වඩා උවමනා වී තිබුනේ දයාසිරි පැරදවීමය... චන්ද සමයේ යූ ඇන්පී ප්‍රධාන කථීකයින්ගේ කතා වලින් ඒ බව මනාව පැහැදිලි විය... එහෙත් අවසානයේ ඔවුන් සියල්ල පරදා දයාසිරි ගේම දිනුවේ රනිල්ට මදි නොකියන්නට පාඩමක් කියා දෙමිනි...  එසේ බැළු කල රනිල්ව අමු අමුවේ පැරදවිමට සජිත්ලාට කරූලාට වඩා දයාසිරිට හැකි විය...

මේ මොහොතේ යූඇන්පීයේ මොලේ තියෙනා උන් සිටිනවා නං කල යුත්තේ නායකත්වය බාරගෙන නැවත පක්ෂයට පැමිණෙන ලෙසින් දයාසිරිට ආරාධනා කිරීමය... පණ ගොස් සිටිනා යූ ඇන්පී පාක්ෂිකයින්ට නැවත හුස්ම පොදක් පිඹීමට එවැනි යමකින් විනා රනිල්/කරු/සජිත් වැනි අස්පට් ජොකියන්ට නොහැකිය.. ඔවුන්ට මහින්ද වැනි අයකු සමග රේස් දුවනවා තබා හොඳ තරගයක් දීමටවත් හැකියාවක් නැත. දයාසිරි නැවත ආවොත් එය ආණ්ඩුවට විශාල පහරක් වීමත්.. පාක්ෂිකයින් පිබිදවීමට මෙන්ම තලතා/සුජීව/බුද්ධික/රෝසී වැනි අයගේ ජවයත් මද්දුම බණ්ඩාරලාගේ හයියත් නැවත ඒක රාශි කර ගැනිමට හැකිය. වැදගත්ම දේ රනිල්ට වඩා මිනිසුන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවක් දයාසිරිට තිබීමය... පක්ෂ මාරුවෙන් පසුව වූවත් ජොනී හැර අනිකුත් සංධාන කාරයින් සමඟ හොඳ හිත ආරක්සා කර ගනිමින්ම යූ ඇන් පී කාරයින්ද තමා වටා රදවා ගැනීමට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුය.. මෙය මහින්ද වටා පක්ෂ විපක්ෂ සියළු දෙනා කැරකෙනවාට සමාන තත්වයකි. ඒ නිසා රනිල් මෙන් පලි ගැනීමේ වැඩ.. කැපිලි නැතිව හරේන්ලට රංජන්ලට වූවද වගකීම් බාර දී වැඩ ගැනීමේ හැකියාව දයාසිරිට ඇත. පක්ෂයකට ඇවසි එවැනි නායකයෙකි... නොදන්නා දේවල් දන්නා අය ලවා කර ගැනීමේ හැකියාව සහිත නායකයෙකි... ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහතික වලට වඩා එය ක්‍රියාවේ යෙදවිය හැකි නායකයෙකි... කොටින්ම නායකයෙකි.. රෑකඩයක් නොවේ... 

දයා සිරිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති අඩුව ඒ සම්බන්ධ අංශ රනිල්ට පැවරීමෙන් මග හරවා ගත හැකිය... ගම් මට්ටමින් පක්ෂය නගා සිටුවීම සජිත්ට පැවරිය හැකිය... පැරණි පාක්ෂිකයින් රඳවා ගැනීම ගැන ගාමිණිලට රංජිත්ලට බාර දිය හැකිය... රෝසිට තලතාට වගකීම් වැඩි කොට කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට වැඩ සටහන් සෑදිය හැකිය...

මෙවැනි දෙයකට අකමැති වනවා නම් ඒ අන් කිසිවකුත් නොව රනිල් සරණං ගච්ඡාමි යැයි උදය සවස පවසමින් තමුන්ගේ බඩ ගෝස්තරවාදය රැක ගැනීමටම දත කකා බලා සිටින අර ගෝතයින් සැට් එකම පමණි...

රනිල් වන්දනාව කරනා අය තුන් තිස් පැයේ කියනා පරිදි හොඳ මොලයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබීම පමණක් පක්ෂයක දියුණුවට හේතු නොවේ... ඒ ඒ හැකියාවන් ඇති අය ඒ ඒ සම්බන්ධව යොදවාගෙන ඒ අයව නියම දිශාවකට මෙහෙයවිය හැකි.. ජනතාවට ගරු කරන..ජනතාවටත් විශ්වාස තැබිය හැකි නායකයෙක් සිටීම රනිල්ගේ උලව් රාජ්‍යතාන්ත්‍රිකත්වයට වඩා මේ මොහොතේ රටට ඇවසිය. නායකයා සියල්ල දැනගෙන සිටිය යුතු නම් කෙදිනකවත් අපේ රටට නායකයින් බිහි වන්නේ නැත. අද මහින්ද දන්නා දේවලුත් ඒ හැටි නැති බව ආණ්ඩු පාක්ෂිකයින් වන අපිදු දනිමු.. එහෙත් මහින්ද තමාට හැකි පරිදි හා.. තමාට විශ්වාසය තැබිය හැකි අයව හැකි මට්ටමින් ඒ ඒ තැන්වලට දමා තරඟය දුවන්නට උත්සහ ගනියි... ඒ සෑම දෙයක්ම සෑම විටම සාර්ථක නොවුනද ඔහු ඒ දේ කරන්නට බලයි.. රනිල් හදන්නේ තනියම දුවා පෙන්වන්නටය... රනිල්ට බැරි වෙන්නට හේතුවත් එයමය... කැබිනට් එකවත් නොදන්නා සාම ගිවිසුමක් ගෙනවිත් ඔහු ඔප්පු කරනු ලැබුවේත් එකී වන් මෑන් ෂෝ එකේ අපූරුවය... අඩුම තරමේ ජේආර් මාමා කොරපු ටිකවත් මේකාට මතක නැත. ප්‍රේමදාසට කොටසකුත්..ගාමිණිට ලලිත්ට තව කොටසකුත්.. රොනීට තවත් කොටසකුත් ආදී වශයෙන් ආණ්ඩුව ඇතුලේම බලතල බෙදා පාලනයක් ගෙන ගිය අන්දම තේරුම් ගත්තා නම් රනිල්ට මෙවැනි දුකක් අත් වන්නේ නැත. එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය...

ආණ්ඩු පාක්ෂිකයෙක් හැටියට දයාසිරි එවැනි තීරණයක් ගතහොත් ඒ ගැන කණගාටුවක් ඇති වන්නට ඉඩ ඇතත්.. ආණ්ඩුවට එක් අයකු නැතිවනවාට වඩා රටට යහපත් විපක්ෂයක් ලැබීමේ සතුට ලැබිමේ හැකියාව ඇති බවද කිව යුතුය... වැදගත්ම දේ හැම දේටම බටහිර සරණ නොපතන.. කොළඹින් පිටතත් ලංකාවක් තියෙනවා  සහ එහි ජනයාටත් ඡන්ද අයිතිය තිබෙනවා යැයි දන්නා නායකයකු විපක්ෂයේ සිටීම ගැන සිතා සතුටු විය හැකිය. බිස්නස් කාරයින්ගේ උවමනාවට පොඩි මිනිහා හූරාගන කන ප්‍රතිපත්තියෙන් තොර වූ පක්ෂයක් හා නායකයෙක් සිටිනවා නම් හා විරුද්ධ පාක්ෂිකයින්ට එළව එළවා ගසනා ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නම් යූ ඇන් පීය සමඟ මටද ඇති ආරෝවක් නැත...  අද වී ඇත්තේ වැරදීමකින්වත් මහින්දගෙන් බලය විපක්ෂයට ගියහොත් එය පත් වන්නේ කුමණ කණ්ඩායමක් අතටදැයි.. කුමන ආකාරයේ නායකයකුටදැයි දන්නා නිසා ආණ්ඩුවේ වැරදි නිසාවත් විපක්ෂයට ඡන්දය දීමට හිත හදාගත නොහැකි තත්වයකි. මූණත් එක්ක තරහට නහය කපා ගන්නා උන් දැන් හිගය...

හැමදාමත් ආණ්ඩුවට බැන බැන සිටිනවාට වඩා ආණ්ඩුව ආණ්ඩු මට්ටු කර හරි මගක යැවීමේ හැකියාව සහිත විපක්ෂයක අඩුව පුරවා ලීමට ඇවසි ඥාණ ශක්තිය යූ ඇන්පී පාක්ෂිකයින්ට පහල වේවා.. ලොකු කම් නැතිව දයාසිරිව නැවත කැඳවා පක්ෂයත්.. විපක්ෂයත්.. පොදුවේ ඒ හරහා රටත් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත්තේ යූ ඇන් පී පාක්ෂිකයින්ටය... ඒක කරන්නට කැමති නම් එසේය.. නැතහොත් තව දුරටත් රනිල් කරේ තබාගෙන ගොස් පක්ෂයත් රටත් අඳුරේ හෙලීමට උවමනා නම් ඒක කරන්නට හැක්කේත් ඔබටමය... 

සුදුස්සක් කරනු මැනවි...

01 October 2013

මව් ගුණ ගී සහ.. අහ“වල්“ අයියාගේ වග...

අද දවාලේ බුකියේ කරක් ගහද්දි අපේ යාළුවෙක් “අම්මලා“ ගැන කියාපු කතාවක් හින්දා මේක මතක් උනේ... යාළුවනං කිව්වේ “අම්මලා උන පලියට හැම අම්මම සීදේවී නැහැ“ වගේ කතාවක්...

ඇත්තටම ඒ කතාව දැක්කම මට ඒකගේ කටේ ඔබන්න හිතුනා... මං කිව්වේ මේ මසුරං... මසුරං ඔබන්න හිතුනා උගේ කටේ.. ඒ තරමට වැදගත් කතාවක් ඒක...

හැබැයි ඉතිං ඕවා කියන්න ගියාම ආයේම වතාවක් අපි “අමානුෂික පොරවල්“ වෙන්න බැරි නැහැ...

මේ රටේ තියෙන අමුතුම කේස් එකක් තමා වැරදි කල එකා පැත්තක හිටිද්දී ඌට දඩුවම් දුන්න එකා මරං කන කේස් එක...

ඔන්න එය කිව්වම මතක් උනේ මේ මෑතකදී මගේ යාළුවෙක් වැඩ කරන තැනක මරු සීන් එකක් වෙලා තිබුනා... ඒක ඇවිල්ලා ක්‍රෙඩිට් කාඩ් හොරකමක්...

ලංකාවේ උසස් ආයතනයක එකට සේවය කරන උසස් නිලධාරිනියන් දෙදෙනෙක් අතර තමා වැඩේ වෙලා තිබුනේ... එක්කෙනෙක් පිළිවෙලකට ජීවත් වෙන යමක් කමක් තියෙන කෙනෙක්.. මෙයාගේ තමා ක්‍රෙඩිට් කාඩ් එක... කොහොම හරි මේක අනිත් නිලධාරිනිය උස්සලා... අන්තිමට එයා මේකෙන් ලක්ෂයකටත් එහාද කොහේද බඩු අරං ඔය සුපර් මාකට් වලින් අනං මනං වලින්.. කොහොම හරි පස්සේ බඩු මාට්ටු උනා අර සීසී ටීවී කැමරාද මොනවද ඒවායින්.. කොහොම හරි කේස් එක ලොකුවට ඇදෙන්න යද්දි මේ ආයතනයේ හිටිය අනිත් උන්දලා මේක ගොඩින් බේරන්න දැගළුවා... “එයා පව්... මොනවා උනත් ඕක දිගට ඇදලා ගියොත් රස්සාව නැති වෙයි“

ඔන්න ඔහොම වැල් බයිලා කියලා කියලා කොහොම හරි මේක ගොඩින් ෂේප් කෙරෙවුවා.. ගත්තබඩුවල සල්ලි ආපහු දෙවන පොරොන්දුව උඩ... එයිට ටික දවසකට පස්සේ මේ “හෙර“ මාරුවක් හදං ගියා වෙන ස්ථානෙකට.. දැන් අර මුදල් ගෙවිල්ල බාගෙට නැවතිලා... අරකි අල්ලන්නත් නැහැ... අර “පව්“ කියපු උන් වෙච්ච අලාබේ අර ගෑනිට ගෙවනවද..?

ඕක තමා අපේ උන්ගේ හැටි... අපිනං අමානුෂිකයි තමා... මොකද මට අනුවනං රස්සාව රැකිමක් උවමනා වෙන්නේ නැහැ ඔය වගේ තැනකදී... ඇයි යකෝ එකට රස්සාව කරන තැන ඔහොම හොරකං කරන උන්ට මොන අනුකම්පාද..? නැති බැරිකමකටනං ඒත් හා කියමුකෝ.. (එව්වත් ඔට්ටු නැත) මේ හොඳ වැටුප් ගන්න උසස් රැකියා කරන අය... අනික අර ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරං තියෙන්නෙත් අරුමෝසං බඩු වැඩි හරිය... 

ඒ ඔක්කෝටමත් වඩා.. ඔය සිද්ධිය වෙන්න ටික දවසකට කලින් ඉදලා ඔතන ඉන්න අනිත් අයගෙත් බෑග් වලින් මිල මුදල් අඩු වෙලා තියෙනවා... ඒත් අන්තිමට හැමෝම සැක කරලා තිබුනේ ඒ ආයතනයේ සුළු සේවිකාවක්ව... අන්තිමට ඒ ගෑණි නිරපරාදේ අනිත් අයගේ සැකේට ලක් වෙලා වෙන තැනකට මාරු වෙලා ගියාදත් කොහේද... එතකොට ඒවා පව් නැහැ...

හොරකමක් කරන එකාට හොරා කියන එක කිසිම වරදක් ඇති දෙයක් නෙවෙයි.. හැබැයි ඒ වගේමයි නිරපරාදේ නිවැරදි කෙනෙකුට හොර ලේබලේ ඇලවිමත් හෙන ගහන අපරාදයක්...

ඔය ගැන කියන්න ගියාම මට මතක් උනේ.. මං ඔය වැඩ කරපු තැන් කිහිපයකම අපිට ලොකර් තිබුනා... ඒවා ඉතිං පරිස්සං කර ගන්න එක තම තමුන්ගේ වැඩක්... ඒත් අපේ සමහර එකාලා ඉන්නවා කිසි පරිස්සමක් නැති.. එහේ ලොකර් ඇරලා දාලා යනවා... පස්සේ අරක නැහැ මේක නැහැ කියලා අනිත් උන්ව සැක කර කර ඉන්නවා... ඕක තදින්ම දැක්කේ කුරුළු හමුදාවේ ඉද්දී... පස්සේ අහල පහල හිටිය හැම එකාටම පට්ට කුණු හරපෙන් බැනලා තමයි කොයි මගුලේ ගියත් ලොකර් ලොක් කරලා පලයව් කියලා කිව්වේ... මොකද මුංගේ මොකක් හරි රෙද්දක් නැති වෙලා මුං ඒක හොයන කොට නිකං ඉන්න අපිට උනත් හිතට හරි නැහැ.. “මූ මාවත් මේකට සැක කරනවා ඇති නේද“ කියලා හිතෙනකොට... මං මේ කියන අත්දැකීම විදලා ඇති අයට මේක තේරුම් ගන්න ඇහැකි වෙයි... ඒ හින්දාම තමා නිතරම කියන්නේ “තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිවු.. ඔහේ ඇරලා දාලා ගිහිල්ලා අන්තිමට අරක නැහැ මේක නැහැ කියලා අපේ මූණු දිහා බල බල ඉන්න එන්න එපා“ කියලා...

හොරකම වැරැද්ද කල එකාගේ රස්සාව නැති වෙයිද..? ඌ දිවි නහ ගනීද කියන කාරණේට කලින් අගතියට පත් වෙච්ච එකාට සාධාරණේ සිද්ධ කරලා ඉන්න ඕන කියන එක අපේ මිනිස්සුන්ගේ ගෑවිලාවත් නැත්තේ එක්කෝ මුං හෙන මානුෂික පොරවල්... එහෙමත් නැත්තං මුනුත් හොරු... කවදා හරි තමන්ටත් කෙල උන දවසක ෂේප් වෙන්න ඕන හින්දා මුං හොරු සුද්ධ කරනවා කියල තමා මට හිතෙන්නේ... නැත්තං මොන මගුලක්ද..?

දැන් අර සුළු සේවිකාවට වෙච්ච අගතිය ගැන කවුද ගිහින් ඒ ගෑණිගෙන් සමාව ඉල්ලුවේ... කවුද අර නැති වෙච්ච සල්ලි ටික අර මනුස්සයට දෙන්නේ... ඒවට කවුරුවත්ම උත්තර බදින්න එන්නේ නැහැ.. ඇයි යකෝ ඒවට උත්තර බඳින්න බැරිනං නිකං හොරුන්ගේ රස්සාවල් රකින්න කතා කරන්නත් එන්නේ නැතිව උන්ගේ ප්‍රශ්න උන්ටම බේර ගන්න ඇරහල්ලකෝ...

හරි හරි ඒ කතාව එහෙම අතාරිමු.. මං මේ කියන්න ගියේ වෙන මගුලක්නේ.. තව ඩිංගෙන් ඒක අමතක වෙනවා...

මේක ඇවිල්ලා අර පොත් නැව ලංකාවට ආව දවස්වල උන දෙයක්... මං ඒ ගැන ලිව්වා නේද බ්ලොග් එකේ.. හිටහල්ලා බලන්න.. දැන් මේ බුකියයි මේකයි දෙක පැටලිලා හින්දා කෝකේ දැම්මද කියලා මට නිච්චි නැහැ...

හරි හරි තියෙනවා.. මේ තියෙන්නේ

ඉතිං ඔන්න ඔය පොත් නැවට යන්න කලින් වරායේ පිවිසුම ගාව පෝලිමක් තියේ දිගට... එක දවසක් මං ගිහින් ඕක බලලා ආවට පස්සේ ආයේ එයිට දවසකට නැත්තං දෙහෙකට පස්සේ යෙදුන පෝය දවසෙත් ආයෙම යන්න උනා.. ඒක උනේ එදා යාළුවෝ දෙතුන් දෙනෙකුත් ආව හින්දා අපි කට්ටිය ගියා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ තිබුන ජාත්තියන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න කියලා.. 

මොන පොත්ද..? මොන යාමක්ද... බුදු අම්මේ වාහන පෝලිම.. ඒත් ඉතිං අපිත් කොහොම හරි යන්න කියලා පෝලිං ගත වෙලා පාරක හිර වෙලා ඉන්න ගමන් කෝල් එකක් ගත්තා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ නිල ඡායාරූප සිල්පියා වෙලා ඉන්න මං දන්න කියන අයියා කෙනෙකුට... මොකද වෙන්නේ කියලා දැන ගන්න...

මෙන්න පොරත් එක්ක ගිය කතා බහ...
------------------------------------------
මම :- ** අයියේ... මේ මං මාරයා.. අපි සැට් එකක් ප්‍රදර්ශනේ බලන්න එන්න යන්නේ.. උඹ කොහේද...?

අහ“වල්“ අයියා :- ආ..ආ... මල්ලියේ... අහ.. අහ...

මම- මොකද බං...?

අහ“වල්“ අයියා :- ආ නැහැ නැහැ මල්ලියේ... මාත් මේ පෝලිමක හිර වෙලා.. මෙහෙ ගන්න දෙයක් නැහැ සෙනග... හිර වෙනවා බං..හිර වෙනවා.. අහ... අහා...
-------------------------------------
පව් අහිංසක අහ“වල්“ අයියා පෝලිමක හිර වෙලා... අපිත් ඉතිං වාහන පෝලිමක හිර වෙලානේ... ඒත් ඉතිං අපි හිර වෙච්ච පෝලිම වගේ නෙවෙයි මං හිතන්නේ අයියා හිර වෙච්ච පෝලිම... පොර අහා.. අහා.. ගගා ඉන්නේ හිර වෙලා වේදනාවටම වෙන්ට ඇති කියලා මං හිතුවා...

කොහොම හරි අපි ඒ පාර ගමන අතෑරලා දාන්ට හිතුවා.. ඒ හිතලා ආව එකේ ආයේ පොත් නැව බලන්ට යන්ට හිතුවේ මං ගියාට යාළුවෝ ගෙහුන් තිබුනේ නැති හින්දයි...

ආයේ පාරක් මට හිතුනා අපිත් යන එකේ අර කිව්ව අයියවත් එක්ක ගියෑකිනේ කියලා අපිත් එක්කම.. මොකද පොරත් ඔය මොකාද වගේ කොයි වෙලෙත් අරකේ තියෙන පොටෝම අල්ල අල්ල හිටියට එහෙ මෙහෙ ඇවිදින්න කියන්න හම්බ වෙනවා කියලෑ..

ඒ පාර මං ආයේ කතා කෙරුවා... 
--------------------------------------
මම :- අයියේ අපි ඕක බලන්න ආවේ.. ඒත් ඔහේ අමාරුයි වගේ නේද..?

අහ“වල්“ අයියා :- ඔව් ඔව් මල්ලියේ.. මෙහෙ එන්න එපා.. මෙහෙ එන්න එපා.. අර අපේ කෙහෙල් කොටුවේ පුතත් ඇවිත් මෙන්න පෝලිංගත වෙලා ඉන්නවා අමාරුවෙන්... උඹලා එන්න එපා...

මම :- ඒක තමා අයියේ.. අපි කල්පනා කලේ එහෙමනං මෙහෙමම ආයේ පාරක් නැවේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න කියලා.. උඹත් එනවද...?

අහ“වල්“ අයියා :- අහා... නැව නේද..? නැව නේද බං මල්ලියේ..? එක්කෝ ඕන නැහැ මල්ලියේ.. මං මෙහෙමම තව ටිකක් ඉඳලා ගෙදර යනවා... මේ හොඳා මල්ලියේ.. මේ හොදා... අහ...අහා...
----------------------------
ආයේ ඉතිං මං කියලා අයියව කරේ තියං යන්ටෑ.. අයියට පෝලිං ආතල් එක ගන්න ඇරලා අපි ගියා පොත් නැවට ආයේ වංගියක්... හප්පට සිරි.. මෙතන පෝලිම හොදා.. එතනනේ පෝලිම... කලින් දවසේ නිකං ආව ගමන් බලන්න ගියාට එදානං පට්ට පෝලිමක්... හරියටමගෝල් පේස් පිට්ටනිය ගාවටම.. කිලෝ මීටරේකට අඩු වැඩි නැති ගණන්... ඒකත් පෝලිම එකා පස්සේ එකා නෙවෙයි.. පස් දෙනා පස්සේ පස් දෙනා...

ඒත් ඉතිං මක් කරන්නද.. ආව එකේ කොහොම හරි බලමු කියලා හිතලා පෝලිමට එකතු උනා.. අනිත් කට්ටිය පෝලිමේ තියලා මං ගියා පොටෝ කෑලි අල්ලන්ට කියලා...

හැබැයි අපරාදේ කියන්න බැහැ.. අපේ කාලකණ්නි වගේ නෙවෙයි අර සුදු නංගිලා මල්ලිලා ටික.. රත්තරං වටිනවා... උන්ට සුදු කිව්වට ඉතිං හැම රටකින්ම වගේ ඇවිත් හිටියා.. හැබැයි ඉතිං පිට රට එකාලා අපි අදුරන්නේ සුද්දෝ හැටියටනේ.. ඒ හින්දා මේ අය අතරේ අප්‍රිකානු ජාතිකයෝ හිටියම ඒ අයත් අපි හදුන්වන්නේ කලු සුද්දෝ කියලා.. ආන්න එහෙම ඒ ඇවිත් හිටිය නැවේ සුදු සෙට් එක තමා පෝලිම බලා කියා ගත්තේ... පෝලිමේ අග කොහොම කද බැදං ගියත්... අවසානෙදී හරි කෙලින් එක්කෙනා පස්සේ එක්කෙනා යන විදියට පෝලිම හීනි කොරලා.. නියම විදියට ටිකට් කඩලා..කාටවත්ම පෝලිං පනින්න දෙන්නේ නැතිව වැඩේ ලස්සනට කරනවා... ඒ අස්සේ කපටි සූට් ගහලා ආව මංතිරියෙක්ගේ ලේකමෙක්ගේ පවුලේ යාළු සෙට් එකක් වගේ උන් වගයක් කෙලින්ම පෝලිමේ මුලට යන්ට ගියාට ඒකත් දෙල් උනා.. උන් සැට් එක එයින් පස්සේ කොහොට දිරා මාර් උනාද කියලා මට හොයා ගන්ට බැරි උනා... කාලකණ්නි හැතිකරේ...

කොහොම හරි ඔන්න අපි පෝලිමේ හිටලා හිටලා මුලට ඇවිත් බස් එකට නින්න ඔන්න මෙන්න කියලා ඉද්දි ළමයි දෙන්නෙක් එක්ක ආව අම්මා කෙනෙක්.. ටිකක් වැදගත් විදිහට පෝලිම පනින්න ට්‍රයි එක...  වහාම ක්‍රියාත්මක උන සුදු සෙට් එක එයාලවත්  හරවලා යවන්න ට්‍රයි කලාට මේ ගෑනි දන්න සිල්ප ඔක්කෝම දාලා.. එක ළමෙක්ව පෝලිමට රිංගවලා ඒ හරහා පෝලිම ආක්‍රමණය කලා... වැදගත් විදියට ඇදගෙන හිටියට මොකද බැල්ලියෙකුට අන්තයි... මේකි හොර වැඩ කරනවා මදිවට.. ළමයින්ටත් හොරකං පුරුදු කරවනවා... කවදා හරි දවසක අනිවා ඔය ගෑනි නවතින්නේ මහළු නිවාසෙක තමා... 

කොහොම හරි සුද්ධන්ට තේරුනේ නැති උනාට බලං හිටිය අපි හොදටම ගෑනිගේ ලැජ්ජා නැති වැඩේ  දැක්ක හින්දා බස් එක නැව ගාවට යනකල්ම දුන්නා නැති වෙන්නම... ගෑණි අපිට ඉස්සරහා සීට් එකේ වාඩි උනා.. අපි පටන් ගත්තා අම්මලා ළමයින්ව හොරුන්ව කරන්නේ කෙසේද යන කාරණාව සාකච්ඡා කොරන්න... ගෑණි ඇඹරි ඇඹරි ඉන්නවා මං දැක්කා... ආයේ ඉතිං ලැජ්ජාවක් කියලා බින්දුවක් හරි තියේනං මීට පස්සෙවත් නොකර ඉන්නේ නැතෑ ඔහොම වැඩ...

ඇත්ත ඒ ගෑනි එක්ක හිටියෙ පොඩි ළමයි දෙන්නෙක්... දෙන්නම කොල්ලෝ... වයස අවුරුදු දහයේ අටේ වගේ විතර ඇති මයෙ හිතේ... හැබැයි ඉතිං ළමයි එල්ලං එනවා කියන්නේ නිදහසට කාරණාවක් නෙවෙයිනේ.. මොකද එයිට වඩා අත දරුවෝ වඩාගෙන අවුවේ වේලි වේලි පෝලිමේ හිටිය අම්මලා දෙතුන් සීයක්වත් ඒ වෙද්දිත් හිටියා... මේ හොරෙන් පැනලා කරන්නේ අර මිනිස්සු සාධාරණ විදියට පෝලිමේ ඉන්න වෙලාව තව විනාඩියකින් හරි පරක්කු කරන එකනේ... අව්ව.. වැස්ස.. කියන දේවල් වැදගත් අයට එක විදියක්..නොවැදගත් අයට තව විදියක් නෙවෙයිනේ.. හැමෝම අව්වට පිච්චෙනවා.. වැස්සට තෙමෙනවා... එහෙම තැනකට ආවම සාධාරණව පෝලිමක ගිහින් ඒ දේවල් බලා ගන්න බැරිනං ගෙවල්වලට වෙලා ඉන්න ඕන... පොඩි ළමයි ඉන්නවා කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි.. මේ හදන්නේ ඒ පොඩි උනුත් හොරු කරන්න.. පෝලිම් පනින.. අනිකාගේ අවස්ථාව ගසා කන හොරු කරන්න... එයින් පස්සේ රට හදන්න කතා කරන්න... රෙද්ද තමා... රටවල් හදයි ඔහොම හොරු ගෙවල්වල හද හද...

ඔන්න ඔය කේස් එක තම මට මතක් උනේ අර කියාපු මගේ බුකියේ මිත්තරයා අම්මලා ගැන කියාපු කතාවෙදි... ඇත්තටම මේ ලෝකේ මං දන්න තරමින්.. අහ්..වැරදුනා.. ලෝකේ කියන පදේ මට පාවිච්චි කරන්න බැහැ මෙතනදී.. මොකද මං තාම දන්නේ මේ රටේ උන්දලා ගැන විතරයි.. ඉතිං මේ රටේ මං දන්න තරමින් අම්මලා තමා වැඩි හරියක් ළමයි නරක් කරන්නේ.. උන්ව හොරු වංචාකාරයෝ තක්කඩි කරවන්නේ... අනිකාගේ අවස්ථාව ගසා කෑම ලොකු වීරකමක් වගේ දරුවන්ට පුරුදු කරවන්නේ... මොන වංචාව හරි කරලා ලොකු මිනිහෙක් වෙයං මිස හොද මිනිහෙක් වෙලා දුප්පතෙක් උනත් කමක් නැහැ පුතේ කියන අම්මලා ඉන්නේ කීයෙන් කීදෙනාද කියලා මං දන්නේ නැහැ...

එහෙම හොඳ අම්මලා ඉන්නවනං... ඒ අය මට සමාවෙන්ට ඕන.. මේ කියන්නේ ඔයාලා ගැන නෙවෙයි... ඒ අය කරුණාකරලා මේක බාර ගන්න එපා...

හැබැයි බොරු කරන.. වංචා කරන.. ඒ දේවල්වලට නොදැනුවත්වම ළමයින්ව යොමු කරවන... හූරා කෑම.. අනිකාගේ දේ ගසා කෑම වීරකං හැටියටත්.. ඒවා වරදක් නැති හැටියටත් දරුවන්ට ආදර්ශයෙන් කියා දෙන... අර මං කිව්වා වගේ අර වගේ තැනකදිත් පෝලිං පනින ජාතියේ අම්මලා ඉන්නවනං ඒ අය මේක බාර ගන්ට... ඒ කිව්වේ තමුන්ලා සීදේවි අම්මලා නෙවෙයි කියන එක...

අනිත් අම්මලා සමා වෙන්ට..අම්මලාගේ නාමයටත් නිග්‍රහ කරවන අම්මලා හින්දා හිත් රිදෝ ගන්ට එපා...

ආ තව එකක්.. හොඳම වැඩේ තමා අර විදියට බොහෝම අමාරුවෙන් පිළිවෙලට පෝලිං කරවලා බස් එකට නැග්ගුවට පස්සේ මෙන්න ටික දුරක් ගිහින් එක පාරට බස් එක නවත්තලා අතර මගින් කට්ටියක් නග්ග ගත්තා බස් එකට.. බැලින්නං වරායේ ආරක්ෂක නිලධාරී කියන අමන හැත්තයි.. අර බස්වල එවුනුයි එකතු වෙලා පෝලිමේ එන්න අමාරු තවත් වැදගත් කාලකණ්නි හැතිකරයකගෙන් සල්ලි අරං මගින් පටෝනවා... ඒ හැතිකරෙත් කලිසං ගවුං එහෙම ඇදලා ආවට මටනං පෙනුනේ හෙළුබැල්ලෙන් එනවා වගේ.. අනේ උන් වගේ උන්ව හැදුව අම්මලා... අර වගේ සල්ලි වලට පෝලිං පන්නවන එකාලයේ අම්මලා...
මට ඉතිං මව්ගුණ උපහාර වදන් සෑහෙන්න කිය උනා...

===================================

හරි කොටින්ම කියතොත් මට කියන්න ඕන උනේ... අම්මලා උන පලියට හොර වැඩ කරන්න ලයිසන් දීලා නැත... හොර වැඩ කරන එකා හොරා..එකී හෙර.. ඒ ඇර වෙන හැදින්වීමක් නැත... ඒ වගේම හොර වැඩ කරන කොට ඒවායේ ගුණ තමුන්ගේ දෙමාපියන්ට යන එක වලක්වන්නත් බැරිය.. ඔව් ඔව් මේ ලියන මටත් අදාලය... ආයේ නැතිව... ඒ හින්දා කරුනාකරලා ළමයි හොරු නොකර හදාපියවු...