30 November 2013

බටකොල ටිකක් නැතුවත් මගෙ හිතට මදී...

උන්නා මතකයිද ඔබ මා අත් නොහැර..
දහ නව වසක් රැක හිදිමින් මා අසල..
යන්නට ගිහින් ගෙවුනා සත් වසරක්ම...
එන්නේ කවදාද ආයේ හමු වෙන්න...

ළඟ උන් කලදි මෙතරම් නොදැනුනි අගය...
ගිය අළුතමත් ඒ හැටි ගානක් නොවින..
එනමුත් දැන් තමයි ඔබගේ වටිනකම..
මා හට දැනෙනුයේ දිනයක් පාසාම...

දුන් ගින්දරේ නිම නැත ඒ දවස්වල...
ඉන්න හිටින්නට දුන්නේ නැත මෙමට...
ඇහුව බැනුම් නින්දා කෙලවරක් නැත...
කන්න ගත්ත දේ වූවත් රහක් නැත...

කොතරම් දුක් දෙතත් ඒ දිනවල අගය..
වැටහෙන්නේ මේ වගෙ ඉන්නා විටය..
මෙලෝ රහක් නැහැ දුක් නැති ජීවිතය..
දුක් යනු ජීවිතේ පන නල හා සරිය...

පාරක් තොටක් ගානේ රස්තියාදුවේ...
කෑමක් නැතත් ඇවිදීමයි මං කෙරුවේ..
කීයක් උනත් අහු උන විදියෙන් හෙව්වේ..
ඒ කල තමයි පණ ඇති දිවියක් ගෙව්වේ..

අජ්ජාපනේ ගිය මුත් මගෙ බල්ලාට..
අඩුවක් දැනුනෙ නැහැ ඒ කල කොල්ලාට...
අවුලක් නැති දිනක් ගෙවුනේ නැහැ හොඳට..
අයියෝ ඒ  උනත් ආතල් තිබුනි මට...

ඔබ ගිය පසුව ජීවිතෙ පිළිවෙලක් උනා...
හැපෙමින් පෙරලෙමින් ගිය මග නිමා උනා...
ආයෙත් ඉගෙන ගන්නත් වැඩ සිදු කෙරුනා..
ඒ මුත් ඔබ නැති අඩුව අඩු නැතිවම දැනුනා...

දුකට අධිපතිය.. වයසක ගතිය ඇතී...
තරුණ කැලට නිති කරදර දුක් දෙවතී..
ඒ මුත් හරි ලෙසින් බැළුවොත් ඔහුගෙ ගතී...
සෙනසුරු තමයි දිවියක රස දෙන්නෙ නිතී...

බටකොල කැවුව විෂ්ණුට දහ නව වසරක්...
බලවත් සෙනසුරා යනු මටනං දැනුම පොතක්...
බල්ලෙකු හට මෙන්ම දුන්නත් සුපිරි දුකක්..
බයිනට කිසි විටක මට නැහැ දෙන්නෙ සිතක්..

දැන් ගෙවෙනුයේ බුධ හට හිමි දසාවය...
සද්ද බද්ද නැති සන්සුන් කලක්මය..
කරදර බාධක අවහිර එහි නැතිය..
ඒ නැති කමත් දැන්නං මට අඩුවක්ය...

දැන් ගෙවනා දිවිය මට කිසි දුකක් නැතී..
ඒ මුත් හිත් කොනේ අඩුවක් රැඳී ඇතී..
ඒ මොන එකක්දැයි බැලු විට සොයා ගතී..
බට කොල කන්න මට ආයෙත් ඇතේ හිතී...

19 November 2013

මල සේක... පැන්නා නෙව...

මේ කේස් එක වගේම කේස් එකක් මට මෙයිට කලින් උනේ දැනට අවුරුදු හයකට විතර කලියෙන්... ඒ පාරත් මේ වගේම වෙන වෙන වැඩ වලට ටැපලිලා හිටලා මටම සීන් එක අමතක උනා. මේ එකේ අනිත් එක... මුල් කාලේනං මලාට මෙහෙම දෙයක් උනේ නැහැ නෙව... කොයි හැටියෙන් හරි සිහි කල්පනාවට ආවා... ඉතිං මක්කා නමුත් විකාරයක් ඒ වෙනුවෙන් කොලා..

ඔය කලින් වතාවේ පැන්න වෙලේ මට ඕක මතක් කලේ අපේ මෑණියන් වහන්සේ... උන්දැ එක පාර එදා හවසම මට කතා කොරලා සිහිපත් කරද්දී තමයි මට කාරණාව මතක් උනේ.. ඒ වෙද්දී මං හිටියේ මගේ ප්‍රධාන දායක මහතැන් කෙනෙක් එක්කලා උන්නැහේගේ වාහනේම ගොඩ වෙලා ඒ දවස්වල වැඩ අවසන් වෙමින් පැවතුන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වටේ පිළිම ගෙවල්වල තැන්පත් කොරන්ට බුදු පිළිම වහන්සේලා වඩම්මගෙන එන්ට යන ගමන්... ඉතිං ඒ රාජකාරි අස්සේ මට ඕක අමතක උනා කියන්නේ අරුමයක්මත් නෙවෙයි... මං මේ කිව්වේ වෙන මොකවත් නෙවෙයි මගේ උපන් දිනේ... 

මෙලෝ මනුස්සයෙකුට ලේසියෙන් වෙන දෙයක්යෑ ඕක... හැබැයි ඉතිං ඔන්න ලව් කොරන කාලේ තමුන්ගේ ගෑණු ළමයට කිඹුහුමක් ගියානං ටිකක් තදේට.. ඒකත් මතක තියං හිටලා ඊ ළග අවුරුද්දේ ඒක සමරන තරමට සිහි කල්පනාව හොද උනත් අවසානෙදි බැදලා කොරලා හත් අට අවුරුද්ද යද්දී අර ගෑණු මනුස්සයට කිඹුහුං ගිය දවස්.. උපන් දින.. ඒ විතරක් නෙවෙයි අන්තිමට බැඳපු දවස පවා අමතක වෙන එක සාමාන්‍ය කාරණයක් වග තමා ඔය අපේ බැඳලා කොරලා ඉන්න යාළු මිත්තරයින්ගේ කතා බහෙන් මටනං වැටහිලා තියෙන්නේ.. ඒත් ඉතිං තමුන්ගේ උපන් දිනේනං එහෙමකට අමතක වෙන්නේ නැහැ නෙව මලාට මෙලෝ යකෙකුට... ඒත් ඉතිං ඒකත් මට එක වංගියක් ඔන්න ඔය කියාපු ආකාරයට අමතක වෙච්චි...

එතකොට මෙදා වංගියේ මොකක්දැ අමතක වෙච්ච දේ...

ඒ තමා මගේ මේ බ්ලොග් ජීවිතේට අවුරුදු හතරක් පිරීම කියන අවස්ථාව...  ඇත්තටම කියන්ට මට මේක දැනුත් මතක් උනේ නැහැ.. අපේ මේ දෙමළ ණයන්නේ හාදයා.. එහෙමත් නැත්තං කවුරුත් දන්න විදියට කියනවනං ත්‍රිභාෂා ප්‍රසන්න ගොයියා මේ දැන් ටිකකට කලියෙන් මට මූණු පොතේදී සිහිපත් කොලාම තමා මීටරේට ආවේ.. යකෝ හැබෑටම අමතක උනා නේද කියලා..

අනාථ නාථ වෙලා... පුල් හින්දුස්තානි වෙලා.. ඔහේ ජීවිතේ ගෙවාපු සමයක... ජීවිතේ දුකට සැපට හැම දේකටම මාත් එක්ක ඒ කාලේ හිටිය මගේ මේ බ්ලොග් රාජයාට අවුරුදු හතරක් පිරුණ එක අමතක වෙනවා කියන්නෙත් ඉතිං මයේ උපන් දිනේ අමතක වෙනවා කියන එකේ අනිකම තමා...

කොහොම උනත් මුලින්ම මේක ලියන්න එන වෙලාව වෙද්දි බොහෝමයක් දේවල් නැති වෙලා.. නැති කරගෙන.. කිසිම දෙයක ආසාවක් උවමනාවක් නැති මට්ටමට වැටිලා... ගෙදර ඉන්න හැම දවසෙම හොදට අඩියක් ගහගෙන ඔහේ ගෙවාපු කාලයක්... ඇත්තටම මේ බ්ලොග් එකේ ලිපි වලින් බාගෙකටත් වඩා.. වෙරි පිට ලියාපුවම තමා... විශේෂයෙන්ම කවි ලියාපුවා... ඒ ඇර මුල් කාලේ නොබී ලියාපු එකම එක පෝස්ට් එකක්වත් නැද්ද මංදා.. ඒ තරමට මමයි.. අරක්කුයි.. මේ බ්ලොග් එකයි කියන තුනම එකක් වෙලා තිබුන කාලයක්...

ඒත් දැන් අවුරුද්දක දෙහෙක ඉදලා බීම අඩු වෙලා ගිය හින්දා අවසානෙදි බ්ලොග් ලිවිල්ලත් මෙලෝ රහක් නැති වැඩක් වගේ උනා... ඔය දැන් මේක ලියවෙනවා හොර වෙන්නත්.. කොමෙන්ට් වලට උත්තර බැදිලා වැගේ වැඩ නැත්තටම නැති වෙලා යන්නත් හේතුව ඕකම තමා... දෙකක් දාගෙන මේක ඉස්සරහා වාඩි උන කාලේනං.. හිනා වෙවී ඔය හැම එහෙකටම උත්තර ලිය ලිය උන්නට... අමුවෙන් හිටං ඒ කාරිය කොරන එක ලේසි නැහැ... මං මේ කියන්නේ බොරුවක්ද කියලා ඕනනං ඔය කෙන්ජි ලොක්කගෙන් වගේ ඇහුවත් කමක් නැහැ.. ඔය යෝධයත් පිකප් වෙන්නේ මට පේන හැටියට දෙකක් නමා ගත්තමම තමා.... :D

කොහොමින් කොහොමින් හරි ඒකට කෙල වෙද්දි මේකටත් කෙල උනා කියලා තමයි කියන්න වෙන්නේ.. නැත්තං ඉතිං ඒ ලියං ගිය වේගෙට ලිව්වනං දැන් පෝස්ට් එක දහස් පන්සීය පයින නොපයින ගානේ වෙන්ට ඕන... එහෙවු එකේ මේකේ සංවත්සොරේ අමතක වීමත් ඒ හැටි දෙයක් නෙවෙයි...

මොනවා උනත් මේ බ්ලොග් එක හින්දා අළුත් යාළු මිත්තරයෝ රාසියක් දැන හදුනා ගන්න ලැබීමත්... ඒ අය අතරින් කිහිප දෙනෙක් අදටත් බොහෝම සමීපව ඇසුරු නිසුරු කිරීමත් වගේම එයින් කිහිපයක් හින්දා ජිවිතේ සෑහෙන්න අංශ වෙනස් වීමත් වගේ දේවල් රාශියක් නිසා මේ බ්ලොග් කෙරුවාව සෑහෙන් තදින් මගේ ජීවිතේට බලපෑවා කිව්වොත් ඒකත් වැරදි නැහැ...

ඒ වගේම ඒ දැන ඇදින ගත්ත අය අතර ඉතාමත් සුන්දර මිනිසුන් වගේම නයි පොලොංගු වගේ උන්දලත් සෑහෙන්න හිටියා... පය ගහලා ජීවත්වන සමාජයේ වගේම මේ සයිබර් අවකාසෙත් කිසිම වෙනසක් නැහැ කියලා මට කියා දුන්නේ ඒ හොඳ..නරක ඈයොම තමා... කොහොම උනත් මට මේ බ්ලොග් අවකාසේ ජිවත් වෙන හැටි ගැන වටිනාම කතාව අහන්න ලැබුනේ අපේ දුමී අයියාගෙන්... ඒක අකුරක් ගානේ පිළිවෙලකට කියන්න මතක නැති උනත්. දුමී අයියා කියන්නේ මෙහෙම කතාවක්...

“අපි මේකට එන්නේ ජීවිතේ සෑහෙන ප්‍රශ්න කරදර තියෙද්දි.. ඒවා අමතක කරලා ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.. එහෙම ඇවිත් තව මෙතනත් ප්‍රශ්න කරදර හදාගන්නේ මොන එහෙකටද..?“

ඔය ටික තමා මං මේ බ්ලොග් ලෝකෙදි දැකපු වටිනාම කතාව... ඇත්තටම කාට උනත් බ්ලොග් එකක් ලියනවනං.. බ්ලොග් කියවනවනං.. බ්ලොග් ලියන කියවන අය ඇසුරු කරන්න යනවනං ඕක හිතේ තියාගෙන වැඩ කිරීම හරහා සෑහෙන්න ප්‍රශ්න අඩුවෙන් මේක කරං ගියෑකි...

හරි ඒ කතා දැන් මොකටද.. කොයි විදියෙන් හරි ඔන්න මාත් බ්ලොග් කරණයේ අවුරුදු හතර පැන්නුවා.. (පන්නලා දවස් දහයක් විතර වෙනවා.. ඒක වෙනම කතාවක්.. :D ) යාන්තං ලිපි අටසීය පන්නලා ලියාගෙනත් තියේ... තව ඉස්සරහට ඉහේ පණ කෙන්ද තිබුනොත් ලියන්ටත් ඇහැකි වේවි... ආ ඒ කිව්වම මතක් උනේ... මේ ඊයේ පෙරේදා අපේ දිනේෂ් මලයත් බ්ලොග් පෝස්ට් පන්සීය පන්නලා තිබුනා... තනිව ලියන සිංහල බ්ලොග් අතරින් පන්සීයේ සීමාවට යන්න පුළුවන් උන කිහිප දෙනා අතරට එකතු උන දිනේෂ් මලයට ආයමත් සුභ පතන්නත් ඕන... මොනවා උනත් අපි හැමෝම එකතු වෙලා ලියන කියවන දෙයින් තමා මේක දුවන්නේ... පන්සල්වල තියෙන ත්‍රිපිටක පොත් වලින් ඒවා පරිස්සං කරන හැම හාමුදුරුවොම දෙයක් ගන්නේ නැති උනත්... එහෙම හරි පරිස්සං කිරිල්ලේ ලොකු වටිනාකමක් තියෙනවා... ඒ.. මොන විදියෙන් හරි පරිස්සං කරලා තිවිල්ල හින්දා උවමනාව ආව තැන.. උවමනාව තියෙන කෙනෙකුට කවදා හරි වැඩක් ගන්න ඒවා පරිස්සං වෙලා තයෙන හින්දා.. ආන්න ඒ වගේ අපිත් මේ ලියන කියවන දේවල් වලින් අද අපි වැඩක් ගත්තා නොගත්තා.. හෙට දවසේ මේකට එකතු වෙන කෙනෙක් හරි මොනවාම හරි වැඩක් ගනිවී... ඒ අයත් මේකට තව යමක් එකතු කරලා යාවී... අවසානයේ අපි හැමෝගෙම එකතුවෙන් මේ බ්ලොග් අවකාශය තව තවත් කරුණු කාරණා රාසියක් පිරුන.. දැනුම..විනෝදය.. අධ්‍යාපනය.. අත්දැකීම් රැසක් ගෙන දෙන අපූරු තැනක් බවට අදටත් වඩා හෙට දවසේදී පත් වේවී... එදාට නංගං නොකියවුනත් අපි හැමෝගෙන්ම පුංචිම හරි දායකත්වයක් මේකට තිබුනා නේද කියලා හිතන සතුට අපි කාගේ කාගෙත් හිත්වල තියේවී.. හිතේ සතුටට වඩා වෙන මොනවද ලොකු නේද...?

සන්තුට්ඨී පරමං ධනං කිව්වළු...

එදා සිට මේ දක්වා මෙහි ආව ගිය.. කතා බහ කල.. දැන හදුනාගත්ත... සියළු දෙනාටම ස්තූති වේවා... මේක කරං යන්න පහසුකං සපයා දුන් ගූගල් දෙයියාටත්... තාක්ෂණීක සහය හරහා සිංහලෙන් වැඩ කරන් යන්න හැකියාව ලබා දුන් ලාංකිය සහෘදයින්ටත්... හැමෝටම ස්තූති වේවා..!

සිංහල බ්ලොග් අවකාශය තව තවත් කල් රැකේවා.. දිනේවා..!

ස්තූතියි.........

18 November 2013

කුකුල් මස තදට.. පෝය පන්නලා...

හුග දවසකින් ආයමත් රට තොට ඇවිදින්න ඇහැකි උනා නෙව... පහුගිය සිකුරාදා උදේ හතට විතර ගෙදරින් පිටත් වෙලා මාළඹේ.. පාදුක්ක.. ඉංගිරිය..රත්නපුරය..උඩවළව..තණමල්විල හරහා තිස්ස මහාරාමෙට ගියේ එදා හවස යෝධ කණ්ඩිය වැව අහල කොහේ හරි නවාතැන් අරං පහුවදා උදේ සිතුල් පව්ව බලන්න යන්න කියලා හිතං.. ඒත් අන්තිමට තිස්සට යද්දි හිතුව තරං හවස් උනේ නැහැ... (මොනවද ඉතිං ලොකු අයියගේ පාරවල් හැදිල්ලේ හොඳ කොම තමා... :D)

ඒ පාර හවස් අතේම ගියා සිතුල් පව්වට..ආයේ යෝධ කණ්ඩියේ නැවතිල්ලක් නැතිවම... ඒ ගෙහුන් අදුර වැටෙන්න ඔන්න මෙන්න තියා ආපහු එන්න එනකොට ගිය පාරෙම නෑවිත් කතරගමට තියෙන කැලෑ පාරෙන් එන්න හිතුවේ ඔය පාරේ නිතරම සත්තු එහෙම යහමින් ඉන්නවා කියලා කලින් වතාවක බයිසිමොටෝ එකේ ගිය සංචාරයක අත්දැකීම් තියෙන හින්දා... හැබැයි ඒ පාර පාරනං කිසිම විදියකින් හොද තත්වේ තිබුනේ නැහැ වැහි කාලෙක මං ගිය හින්දා.. ඒත් මේ පාරනං හොඳට පායලා වගේම පාර සෑහෙන්න හොද තත්වෙකින් සකස් කරලා තිබුන හින්දා පරිස්සමට යා ගන්න පුළුවන් උනා...

ඒ කියද්දී මතක් උනේ.. දැන්නං ඒ පාරේ කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුළුවන් උනාට මං කලින් යන කාලේ කොටි කරදර එහෙම තිබ්බා නෙව... කතර ගම පැත්තෙන් මං යාල හරහා සිතුල් පව්වට එන්න බයිසි මොටෝව හරවලා ටික දුරක් ආවම හම්බ උන මුර පොලකින් මට දුන්න උපදේසේ උනේ...
“කිසිම විදියකින් අතර මග නවත්තන්න යන්න එපා.. වාහනේ කැඩුනොත් ඒක හද හද ඉන්නවත් මහන්සි වෙන්නේ නැතිව ගිය දුරේ හැටියට වැඩියම ලග මේ පැත්තටනං අපහු හරි.. සිතුල් පව්ව පැත්තටනං ඒ පැත්තට හරි දුවලා හරි යන්න“

ඒත් මගේ හොද වෙලාවට ඒ පාරනං එහෙම කරදරයක් උනේ නැහැ.. හැබැයි ඉතිං මහ මඩ වලවල් හින්දා පාර මග ඇරලා කැලේ අයිනෙන් දාගෙන නං යන්න උනා තැන් කිහිපයකදීම... මේ පාරනං දෙයියන්ගේ පිහිටයි.. කිසිම අවුලක් නැහැ වගේම සෑහෙන හොදින් මොනරු..මුවෝ..වල් ඌරෝ.. කුරුළු වර්ග කිහිපයක්ම ඇතුළුව සතුන්ගේ දර්ශනයත් හොඳින් ලබාගෙන එන්ට ඇහැකි උනා...

කතරගමින් එළියට ඇවිත් තෙල් ටිකක් එහෙම වාහනේට පුරෝගෙන කෙලින්ම ආවේ කල මැටියට කිට්ටුව පාත නවාතැන් ගන්ට හිතාගෙන... මොකද ගමනේ දෙවැනි අංගය උනේ කල මැටියේ කුරුල්ලන් නැරඹීම... ඒකට ඉතිං උදේම හරි හවසම හරි මිස දවල් කාලයක් හරියන්නේ නැති හින්දා කලින් හිතං හිටියේ දෙවැන් දවසේ උදේ සිතුල් පව්ව බලලා හවස කලමැටියේ යනවා කියලා උනත් දැන් සිතුල් පව්ව බලලා අහවර හින්දා පහුවදා උදේම කුරුල්ලෝ බලන්න හිතා ගත්තා.. කොහොම හරි අන්තිමට අම්බලන්තොට තමා රෑ ලැගුම් ගත්තේ.. ඒකේ හොඳම හරිය තමා හම්බන්තොට පහු කරලා ඒම.. ඒ හරියෙන් එද්දී රෑ අටට විතර ඇති.. මගෙ අම්මේ... කොළඹ මොන ලස්සනක්ද.. හම්බන්තොට නෙව රෑට ලස්සන...පාරවල් ටික හොයාගෙන හම්බන්තොට පාස් කරන එක බය හිතෙන අත්දැකීමක්.. යකෝ ගාලු/කටුනායක හයිවේ පරාදයි හම්බන්තොට නගරේ මැදින් දාලා තියෙන සුපිරි මාර්ග ටික... බලන්ට ලස්සනේ බැහැ... කොහෙන් ගිහින් කොහෙන් නවතීද දන්නේ නැතිව..ටිකටුත් නැතිව හයිවේ එහෙක ගියා වගේ සංතෝසෙන් යන්තං අවුලක් නැතිව මාතර පැත්තට හරෝ ගත්තට පස්සේ තමා සැනසීමක් ලැබුනේ.. මං බයේ හිටියේ පාර මාරු වෙලා සූරිය වැව පැත්තේ යන්ට වෙයිද කියලා...

ඒ කරලා පහුවදා උදේ වරුවේ කල මැටියට ගෙහුන් කුරුල්ලොත් බලං.. ඒ අහලම තියෙන බොහෝම අපූරු තැනක් වෙච්ච උස්සන්ගොඩ භූමියත් බලලා..දවාලේ හුම්මානෙටත් ගෙහුන්.. හවස් වෙද්දි මාතර...ගාල්ල හරහා ඇවිත් හයිවේ එකෙන් කොස්ටාවට පාත් වෙලා ගෙදරට ඒ ගන්න ඇහැකි උනා.. දවස් තුනකට ප්ලෑන් කොල ගමන කේස් එකක් නැතිව දෙකෙන් හමාර උනා... මට ඉතිං ආපහු එද්දි මතක් උනේ අපි පුංචිකාල වල වන්දනා නඩත් එක්කලා පාන්දර හතරට විතර පිටත් වෙලත් කතරගමට යද්දී හවස හයට විතර වෙන හැටි... ඒ හැටියට දැන් කොයි තරම් දේවල් ඉක්මනින් වෙනවද..?

හරි.. මේක ලියන්න ගත්තේ මේ ගිය ගමන ගැන ලියන්ට නෙවෙයි.. අපේ සහන් උන්නැහේ කලින් ලිපියකදී මගෙන් අහලා තිබුන පුරස්නයකුත්.. ඒකට කෙන්ජි උන්නැහේ උත්තරයක් දෙන්න කියලා පටන් අරං අතර මගින් කඩාපු පෝස්ටුවකුයි දැක්කට පස්සේ වැඩිය දිගට නැති උනත් කෙටියෙන් හරි මං දන්න තරම ලියා දාන්ට කියලයි.. කෙටියෙන් ලියන්ට ගත්තට මොකද අන්තිමට උඩ හරියට වෙලා තියෙන දේ පේනවා නෙව.. :D

රයිටෝ වැල් බයිලා අහවරයි.. දැන් අපි බහිමු කුකුල් මස් ගැන අවුලට...

ඇත්තටම මං ඒ හැටි මස් මාංස කාපු එකෙක් නෙවෙයි නෙව පොඩි කාලේ... ඔය මස් මාංස කෑමට මං හුරු උනේ රස්සාවල් කොරන්න පාරට වැටිච්ච තැනේ හිටලා තමා.. ඒත් ඉඳ හිට දවසක පොඩි කාලේ කුකුල් මස් කෑල්ලක් කැවුනු දවස් තිබුනා.. ඒ ඉතිං වැඩි හරියක්ම අපේ පුංචි අම්මලා එහෙම නෑගං ආවම උන්දලා මට බලෙන් වගේ ඕවා උයලා කවද්දී තමා.. හැබැයි ඒ කාලේ ෆාම් කුකුල්ලු.. එහෙමත් නැත්තං මේ බ්‍රොයිලර් කුකුල්ලු කියලා ජාතියක් තිබුනේ නැහැ ගං වල... කොටින්ම කඩවල්වල සීත පෙට්ටි කියලා ජාතියක් තිබුනෙත් එහෙමත් එහෙක විතරයි... ඒවෑ දාගෙන මල කුණු විකුණනවා කියලා දෙයක් කරන්න උන්දලා හිතලවත් තිබුනෙත් නැහැ...

කාට හරි කුකුළු මසක් කන්න උනාම වැඩිහරියක්ම උනේ අහල පහල ගං කුකුලෙක් සල්ලිවලට අරං මරාගෙන කෑම තමා... මරන වැඩේට දක්ෂ උදවියත් ගංවල එහෙං මෙහෙං හිටියා... ඒ වගේම කුකුලා මරන්න ගිහින් බෙල්ල කැපුවම හිස සුන් කුකුළු කද පියාඹලා ගිහින් ගස්වල වහන කතා එහෙම බොහෝමයක් ගංවල නිතර අහන්නත් තිබුනා... ඒ කෝම උනත් මං කියන්න ගියේ ඒ කාලේ කුකුළු මස් කියලා කන්න තිබුනේ බ්‍රොයිලර් නොවන ගංවලම හැදුන කුකුළු නාම්බන්ගේ මස්ය කියන එකයි.. ඔය ගං කුකුළු මස බොහෝම හයියයි... හරියට නිකං රබර් කන්නැහේ... රසේ උනත් අමුතු වෙනසක් තියේ... 

පස්සේ කාලෙකට මස් කන්න ගත්තට පස්සේ තමා මට තේරුනේ ඔය දෙකේ වෙනස.. ඒ කිව්වේ අපි අද කුකුළු මස් කියලා කන බ්‍රොයිලර් මසේ ඇති දිය ගතියත්.. පොල් කන්නැහේ ඔහේ කාගෙන කාගෙන යන්ට ඇහැකි ගතියත්... ඉස්සර කාපු ගං කුකුළු මසේ තිබුන රසයත්... එහි ඇති තද බවත් යන දේ... විසේසයෙන්ම කාපු අය දන්නවා ගං කුකුළු මසේ වැඩියම රස හරිය තමා කලින් දවසේ උයලා.. ඒකේ ඉතිරි කොටහා පහුවදා උදේට රත් කලාම එන හොඳි බොරේ... ආන්න ඒකත් එක්කලා පාන් කන එක වගේ වැඩක් දැන් තියෙන බ්‍රොයිලර් මසත් එක්කවත්.. ඒ හොදි බොරේ එක්කවත් කොරන්න බැහැ... කොටින්ම කිව්වොත් මෙලේ රහක් නැහැ...

ඔය මස් මාංසවල තද ගතිය ගැනත්.. මස් ඉවිල්ල ගැනත් කතා කරද්දී ඒ ඒ මසට අදාලව ඇති ගති ලක්ෂණ ගැන වෙනස්කං වගේම උයද්දි කරන වෙනස් කනුත් තියෙනවා...

ඒ කිව්වේ ඉස්සර කාලේ මස් උයද්දි මස් ටික බුරුල් වෙන්න ඉවිල්ල තමා කෝකියගේ දස්ස කම උනේ... විසේසයෙන්ම ඔය හරක් මාංසේ එහෙම බොහෝම තදයි නෙව.. ගං කුකුළු මස උනත් එහෙමයි.. ඉතිං ඒ කාලේ ඕවා උයද්දී මස් බුරුල් වීම පිණිසය කියලා මුරුංගා පොතු.. අමු ගස් ලබු.. ඇතැම් වෙලාවක කංසා ටිකක් එහෙමත් පාවිච්චි වෙන තැන් තිබුනා..  ඒ වගේම බුරුල් මසක් හම්බ උනාම ඒක ටිකක් තද කරලා උයන්නත් ඇඹුල් වර්ග පාවිච්චි කරන පුරුද්දක් ගංගොඩවල්වල තිබුනා...

දැන් මේ සහන් උන්නැහේ අහන්නේ ආන්න ඒ කොරමේ ගැන තමා...

දැන් තියෙන කුකුළු මසේ මෙලෝ තද ගතියක් නැති හින්දා ඒක ටිකක් තදින් හපන්න ඇහැකි විදියට උයා ගන්න පරණ තාලෙට මස් කාලා තියෙන කවුරු උනත් අකමැති වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ... 

හැබැයි දැන් හෝටල් වලත්.. ඔය මගුල් ගෙවල්වලත් කුකුළු මස් උයද්දි කරන කරන දේ තමා මුලින්ම මස් ටික ගැඹුරු තෙලේ බදින එක... එහෙම බැදලා මස් ටිකේ ජලය ප්‍රමාණය සෑහෙන්න ඉවත් වෙලා..මස් ටික හැකිලිලා පිට පැත්ත රත්තරන් පාට හෝ තද දුඹුරු වර්ණය හෝ එන විදියට බැදුනම ඒ මස් ටික තුනපහ දාලා උයන එක...

හැබැයි කාට උනත් තේරෙන්න ඕන ඔහොම ඉව්වම මස් එකේ හොද්ද රහ නැහැ කියන දේ.. මොකද මස්වල සාරය හොද්දට උරන්න හැකියාවක් බැදුනු මසේ නැහැ... ඒ වගේමයි තෙල් අධිකයි... කුකුළු මසේ තියෙන තෙල් මදිවට පිටතින් එකතු වෙන තෙල් ප්‍රමාණයත් අධිකයි.. කොටින්ම ඒ විදියට උයන මස් නිතර කෑවොත් තව අවුරුදු පහක් හයක් ජීවිත කාලෙන් අඩු කොරගන්න බොහෝම පහසුයි...

ඒ වගේමයි ඉස්සර අපේ ගෙවල්වල කුකුළු මස් උයද්දී පොල් කිරි පාවිච්චි උනා.. දැන් කාට හරි පොල් කිරි දාලා කුකුළු මස් උයනවා කිව්වොත් “ඈක්කා“ කියයි.. මොකද දැන් හෝටල්වල මස් උයන්න පොල් කිරි දැමිල්ලක් නැහැ.. තනිකරම වතුරයි.. තෙලුයි..මිරිසුයි තමා... කිරි දාලා උයන හරි හමන් මස් කරියක් කාලා නැති කෙනාට ඒ ගැන පහදලා දෙන එක ලේසි නැහැ කියලා අවස්ථා දෙක තුනකදීම මට පැහැදිලි උනා... ඒත් ඇත්තටම ගං කුකුළු මස් උයද්දී පොල් කිරි දැමිල්ලෙන් පුදුම ප්‍රණිත රසයක් වගේම රසවත් හොඳි බොරයක් සකස් කර ගන්න පුළුවන් කම තිබුනා...

හරි ආයෙම මං යන්නේ වත්ත හතර වටේ නේද..?

ඒත් තවත් එකක් කියන්න එපෑ.. වත්තේ තුන් මුල්ලක් පැගුව එකේ මේ මුල්ලත් පාගං ගියා කියලා මොන වරදක්ද..?

ඔය සහන් වගේ හයියට කුකුල් මස් කෑල්ලක් කන්නේ කොහොමද කියලා කවුරු හරි ඇහුවම කට්ටිය වැඩියම දෙන උත්තරේ තමා කරි චිකන්.. එහෙමත් නැත්තං පේරන්ට්ස්ලා කියලා කට්ටිය හදුන්වන බිත්තර පිණිස ඇති දැඩි කරන ෆාම් කුකුළු මස් ගැන කතාව... ඇත්තටම මෑතක් වෙනකල් මං උනත් ඕක තමා කිව්වේ... කරි චිකන්.. ඇත්තටම සෑහෙන හොද විසදුමක්.. ඒ සත්තු බ්‍රොයිලර් කුකුලන්ට වඩා කලක් ජීවත් වෙලා තියෙන හින්දා මස හයියයි... විශේසයෙන්ම සතෙකුගේ මස් හයිය වෙන්න නම් වැඩි වයසක් වගේම සතා ටිකක් ඇවිදලා දුවලා කරලා මාංශ පේශි තද වෙලා තියෙන්න ඕන.. ඒකයි හරක් මස එහෙම ඔය තරං හයිය.. ඒත් බටහිර සූප සාස්ත්‍රයට අනුව ඒ ඒ රටවල් වල සකස් කෙරෙන හරක් මස අපේ වගේ හයිය නැහැ... හේතුව අවුරුදු එක හමාරට වඩා වයස සතුන් මස් පිණිස නොගැනීම.. හැකි තාක් මස් බුරුල් වන ලෙසින් සතුන් සෑදීම... අපේ රටේ තියෙන හරක් මසෙන් බටහිර කෑම හදන්න ගියාම කෙලවෙන තැනක් තමා ඔය කාරණාව... මලාට කාගන්න බැහැ... මොලොක් මසෙන් හදන දේ මේ ගල්ටික් වෙච්ච මස්වලින් කොහොම හදන්නද..?

හරි එහෙමනං අපි ප්‍රධාන කාරණාවට බහිමු.. කොහොමද කරි චිකනුත් නොවන... ගං කුකුළු මසුත් නොවන... සාමාන්‍යෙයන් වෙළද පොලේ ඇති බ්‍රොයිලර් චිකන් කෑල්ලක් තදට හැපෙන්න උයා ගන්නේ....

ඕක දුවන්නේ ඇඹුල් වැද්දීම කියන කොටස උඩයි...

ඒ කියන්නේ මස් ටික මුලින් හෝදලා කපාගෙන... (ආන්න ඒ කැල්ල මතක තියා ගන්න.. මස් ටික කපලා හෝදන එකයි... හොදින් සුද්ද කරගත්ත මස් කුට්ටිය සෝදා පසුව කෑලි කර ගැනීමයි කියන්නේ දෙකක්.. පලවෙනි ක්‍රමයට අනුව මස්වල රසය අඩු වෙනවා.. දෙවැනි ක්‍රමයෙන් රසය ආරස්සා වෙනවා... නැත්තං හොද්දෙදි දිය වෙන්න ඕන දේවල් වතුරට දිය වෙලා සින්ක් එකෙන් බැහැලා යන එක තමා වෙන්නේ.. :D

ඉතිං මස් ටික හෝදලා කපා ගත්තට පස්සේ ඒකට අපි එකතු කරන්න ඕන මේ කියන දේවල්...

ලුනු
ගම්මිරිස්
කහ
විනාකිරි
ගොරකා

පැහැදිලියිනේ... ඔතන මුලින් කියාපු තුන ඇරුනම අනිත් ජාත දෙකම ඇඹුල්නේ කියලා කියයි කවුරු හරි.. ඒත් ඇත්තටම ඕක තමා වෙන්න ඕන... හරක් මසට විනාකිරි එකතු කලාම හරක් මස බුරුල් වෙනවා.. ඒත් කුකුළු මසට විනාකිරි එකතු කලාම ඕක හයි වෙනවා... වෙන්නේ කොහොමද කියලනං අහන්න එපා මං දන්නේ නැහැ.. ඒත් වැඩේ වෙනවා... හැබැයි ගොරකත් අවශ්‍යයි... :D 

(මං හිතන තරමින් ඔතනදී වෙන්නේ හරක් මස් වලට විනාකිරි වගේ දේවල් දැම්මම ඒවා මසට අල්ලනවා.. මෙතනදී වෙන්නේ කුකුල් මස්වල අයිට වඩා අධික වතුර ගතියක් ඇති නිසා ඒවෑ තියෙන වතුර විනාකිරි හේතුවෙන් ඉවත් වෙන්න ගන්නවා... ආන්න එහෙම සිස්ටොං එකක්..)

ඔය ඉවිල්ලෙදි එකතු කරන ඇඹුල් වර්ග වලින් වෙන වෙනස්කං ගැන මට කවියකින්ම පැහැදිලි කරලා දුන්නේ අපේ  රමණී අක්කා තමා.. රමණි අක්කා ගැන මං හිතන්නේ මගේ බ්ලොග් එක කියවන පරණ උදවිය දන්නවා... මගේ කතා දෙක තුනකම උන්දෑ ගැන ලියවිලා තියෙනවා නෙව... හැබැයි මට දැන් ඒ කවිය මතක නැහැ.. එකෙන් කියැවෙන්නේ මාළු වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. සියඹලා වතුර එකතු කලාම මොකද වෙන්නේ.. මස් වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. ආදී වශයෙන් කරුණු වගයක්...

සාමාන්‍යයෙන් ඔතනදී කරන්න ඕන හරිම විදිය තමා මස් පදං වෙන්න දාන කොට ඒකට ගොරකා කෑල්ලක් දෙකක් එකතු කරලා තියලා.. මස්වලට දාන විනාකිරිවලත් ආධාරයෙන් ගොරකා කෑලි ටික මෙලෙක් කරං.. අවසානයේදි ඒ ගොරකා වලට ගම්මිරිස්..සුදු ළුණූ.. අමු ඉගුරු එහෙම එකතු කරලා මිරිස් ගලේ සියුම්ව අඹරාගෙන ඒ මිශ්‍රණය මස් ටික උයන කොට එකතු කිරීම... ඒත් ඉතිං දැන් හැම තැනම මිරිස්ගල් නැහැ නෙව.. ඒ හින්දා කරන්න වෙන්නේ නිකංම හොද්දට දාලා හොද්දේ පදමට ඇඹුල් අල්ල ගත්තට පස්සේ ගොරකා කෑලි අහක් කරලා දාන එක...

හරි දැන් මුලින් කිව්වා වගේ මස්වලට ගොරකා/ විනාකිරි/ගම්මිරිස්/ලුනු/කහ යන දේවලා දාලා හොදට අතගාලා පැයක් දෙකක් තියන්න ඕන.. ඔතනදී පැය තුන හතරක් තිබ්බත් අවුලක් නැහැ.. හැබැයි මතක ඇතිව මැටි හට්ටියක වගේ තමා තියන්න ඕන.. මොකද ඇඹුල් වර්ග වැඩි හින්දා.. එහෙම තියන්න තියන්න ඔය මස්වල තියෙන වතුර ගතිය බවත් වෙලා මස් සෑහෙන පදමකට හයි වෙන්න ගන්නවා... එයින් පස්සේ ඇතිලියක් රත්වෙන්න තියලා ඒකට තෙල් ඇබින්දක් දාලා.. තෙල් ටික රත් වෙද්දි පහේ කුඩු ටිකක් දාලා බැදෙන්න අරිනවා... පරණ ක්‍රමේටනං පහේ කුඩු ගන්නේ නැහැ.. සූදුරු/මාදුරු/කොත්තමල්ලි ටිකක් කබලේ කර කරලා අරං ඒකත් එක්කලා කරාපු නැටි එනසාල් කුරුඳු පොතු එහෙම අඹරලා අර ගොරකා ඇඹරුව එකත් එක්කම හොද්දට පදම බලලා යොදා ගන්නවා.. දැන් ඉතිං ඒවා අමාරු හින්දා තියෙන හැටියට එපෑ ගොඩ දාගන්න... ඒ හින්දා පහේ කුඩු ටිකක් බැදෙන්න ඇරලා ඒක කලු වෙන්න ඔන්න මෙන්න තියා මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා ඒක බැදෙන්න නොදි නිකං කලවං කරන ගමන්ම හීනියට කපා ගත්ත මිරිස් කරලක් (කොච්චි කරලක්නං සෝක්) රතු ළුණු ගෙඩියක්.. තලා ගත්ත අමු ඉගුරු සුදු ළුණු ටිකක් කරපිංචා කොල ස්වල්පයක්.. තියෙනවනං සේර කෑල්ලක්.. රම්පේ කොල කෑල්ලක් කරාබු නැට්ටක්..එනසාල් ඇටයක්..කුරුඳු පොත්තක් එහෙමත් එක්කම අර පදං කර ගත්ත මස් ටිකත් ගොරකා කෑලිත් එක්කම හනික එකතු කරලා පරිස්සමට ඒ මේ අත පෙරල ගන්න ඕන.. ඔතනදී වැඩේ ඉක්මනට කර නොගත්තොත් පහේ කර වීම.. මස් ටික පිච්චීම.. වගේ අති භයංකර ප්‍රතිපල අත් වෙනවා... ඒ හින්දා අත ඉක්මන් කරගන්න ඕන... 

අන්න එහෙම කලවං කරගෙන මස් ටිකයි..පහේ ටිකයි.. අනිත් කලමනායි හොදට මිශ්‍ර උන ගමන් භාජනය හොදට පියනකින් වහලා..ලිපේ ගින්දර අඩු කරලා මස් එකෙන්ම උනන වතුරෙන් තැම්බෙන්න අරින්න ඕන.. විනාඩි දෙකකට විතර සැරයක් පියන ඇරලා මස් ටික පැත්ත පෙරලලා හනික වහන්න ඕන... හැකි තාක් මස්වලින්ම උනන වතුරෙන් ඕක උයා ගන්න එක තමා දස්ස කම... සාමාන්‍යෙයන් විනාඩි දොළහක් විතර යනකල් වෙනම වතුර එකතු නොකර වැඩේ ඇදගන්න පුළුවන් නම් වැඩේ අති සාර්ථකයි.. ඒ කියන්නේ මස් ටික හොදට හයියට හිටින්න හදා ගතෑකි... එහෙම කරං යද්දි මස් ටික පිච්චෙන්න.. වතුර ගතිය නැති වෙලා කර වෙන්න බලනවනං ඉතා ස්වල්ප ප්‍රමාණ හැටියට වතුර ටික ටික එකතු කරගනිමින් තමා වැඩේ කරන්න වෙන්නේ... කොහොම හරි අවසානෙදි මස් ටික හොදින් තැම්බිලා.. ලස්සන දුඹුරු මිශ්‍ර පහේ තැවරුන කලු ගතියකට ආවම හොඳ උකුවට තියෙන පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕන...ඒ ගමන්ම මදි පාඩු බලලා ලුනු ටිකකුත් එකතු කලාම හරි... පොල් කිරි එකතු කරනවා කියලා පනිට්ටු ගානට එකතු කරන්න යන්න එපා.. භාජනයේ තියෙන මස් වැහෙන්න නොදී.. යන්තට සෙන්ටි මීටරයක් විතර මස් වල උඩ කොටස් පේන ගානට එකතු කලානං පදම ඇල්ලියෑකි.. එහෙම කිරි එකතු කරලා තවත් විනාඩි දහයක් විස්සක් අතර කාලයක් උයා ගත්තම හරි ගානට එනවා.. හැබැයි වඩාත් හොද ක්‍රමය තමා මුල් විනාඩි පහ වගේ ප්‍රවේසමට හැදි ගාමින් අඩු ගින්දරේම උයාගෙන පුළුවන් තරං ගින්දර උපරිමයෙන් අඩු කරලා පැයක් විතර මස් හට්ටියට රස්නේ වැදි වැදි තියෙන්න අරින එක.. ඕවා ඉතිං දර ලිප්වල කලාට මේ උලව් ගෑස් ලිප්වල කරන්න අමාරු එකයි කාරිය... දර ලිපේ ගිනි අගුරු රස්නෙන් උයන්න පුළුවන්නං ආයේ ඉතිං සුපිරි...

ඔය විදියට උයා ගත්තම අවසානේ අපිට බොහෝම රසවත් හොඳි තාවරයක් සහිත.. (තාවරයක් කියන්නේ උකු ඒ කිව්වේ තික් ග්‍රැවි එකක් ඈ.. එහෙම තමා මට ඕන පැහදිලි කරන්න පුළුවන් උපරිමේ... ) හොදින් සවිමත් උන... මස් කෑල්ලේ පිටත වගේම කටුවට යනකල්ම ඇතුලතත් හොදින් තැම්බී ඇති.. (දැකල ඇතිනේ බ්‍රොයිලර් උයලා තියෙන හුගක් තැන්වල උඩ බැදිලා..මැද සුදුම සුදුවට අමුවට තියෙනවා..සමහර විට අමු ලේ පාටටත් තියෙනවා මං දැකලා තියෙනවා.. මස් එපා වෙන්නේ එහෙම වෙලාවට..) ආයේ ඉතිං සුවඳත් එක්ක පාන් ගෙඩියක් කෑහැකි... තාවරේ ගෑවුන ගෑවුන තැන බත් හැලියක් කෑහැකි හොද මස් හට්ටියක් හදා ගතෑකි... ප්‍රවේසමට උයා පිහාගෙන කැමති කෙනෙක් කාලා බලලා කියන එකයි ඇත්තේ...

හැබැයි ඔන්න කිව්වා මස් ටික පදං කර ගන්න වේලාව... හොඳින් ගින්දර හැසිරවීම... පාවිච්චි කරන අමුද්‍රව්‍ය හොඳ තත්වයේ තිබීම වගේ දේවල්.. හරිම වැදගත්.. විශේෂයෙන්ම ගෑස් ලිපේ.. යකඩ හට්ටිවල මේක කරන එක ලේසි නැහැ.. දර ලිපක.. මැටි හට්ටියකනං ආයේ ඉතිං ලොවෙත් නැහැ.. ඒ වගේමයි.. අර මං කියලා තියෙන විදියට අමු ඉගුරු/ගොරකා/ගම්මිරිස්/කුරුදුපොතු/සුදුළුණූ/කරාබු නැටි/එනසාල්... සූදුරු/මාදුරු/කොත්තමල්ලි වගේ දේවල් ගලේ අඹරලා සියුම් තලපයක් හදාගෙන පාවිච්චි කරලා... උයා ගන්න පුළුවන්නං ආයෙමත් මීට අවුරුදු විස්සකට තිහකට එපිට කාලේ අපේ ගං ගොඩවල් වල කුකුළු මස් උයාපු විදියටම ඕක කර ගතෑකි... දැන් තියෙන විදියටනං ඒ තරමටම ගොඩ දමා ගැනීම බැරි උනත්..සහන් අහපු විදියට මස් ටික හයිය හිටින්න උයා ගතෑකි...

--------------------

ප/ලි...

ලියලා ඉවර උනාමයි කල්පනා කලේ.. අද පෝයක් එහෙම නැහැ නේද..? නැත්තං ඉතිං කුණු බැනුං අහන්න වෙයි... හැබැයි ඉතිං එහෙමමත් නැති වෙයි.. මොකද හරක් මරනවා තරං කුකුල්ලු මරන එකේ පවු නැහැ කියලා පව් සූත්තරේ තියෙනවා නෙව... ඒකනේ කට්ටිය කුකුල් මස් ගිලින ගමන් හරක් මරන්න විරුද්ධ වෙන්නේ... (ඒ සූත්තරේ කොහේද තියෙන්නේ කියලා මගෙන් අහන්න එපා.. ඒකත් අර බමුණෝ ගිනි තියාපු හෙළු පොත් පත් අතර තිබිලා විනාස වෙලා.. )

ප/ප/ලි...

තාප්පෙටම කෙලලා තිබුනයි කියහල්ලාකෝ.. ඔහොම පලියකුත් එක්ක ලියලා දාලා මේක ඊයේ පෝස්ට් කලාටත් පස්සේ පාර පැත්තෙන් ටිකක් සද්දෙට බණක් ඇහෙන්න ගත්තා.. කෝකටත් කියලා ලිත අරං බැළුවාම බඩුම තමා... පෝයනේ... සුටුස් ගාලා ඇවිදින් මේක ආයෙම හංගලා ගියා... තව පොඩ්ඩෙන් ඊයේ කනවා කෑමක් මං නැති වෙන්නම.. :D

13 November 2013

ගෑණිව දෙනවද යාළුවට ගෙනියන්න..?

මේකත් මේ බ්ලොග් එක සඳහා ලිව්ව එකක් නෙවෙයි... මූණු පොතේ කමෙන්ටුවක් හැටියට කොටාපු එකක්... ටිකක් දිගට ලිය වෙච්ච හින්දා සහ පොදුවේ කිව හැකි කතාවක් හින්දා කෝකටත් තෛලේ වගේ තියෙන බ්ලොග් එකෙත් අලෝලා දාන්න හිතුවා...

මේකට අදාල නිමිත්ත උනේ අපේ හිතවත් බ්ලොග්කරුවෙකුගේ උවමනාවක් මත දවස් කිහිපයකට කැමරාවක් හොයා ගන්න දාපු ස්ටේටස් එකක්... මං ඕකට පැටළුනේ අපේ තවත් බ්ලොග්කරුවකු වන ගිනිගෝරිස් කෙනෙක් මාව ඒකට ටැග් කරලා තිබුන හින්දා...

ඉතිං මේ ස්ටේටස් එකට අපි කාගෙත් හිතවත්  මල්ලි කෙනෙක් කියලා තිබුනා මෙහෙම කතාවක්...


//මංනම් හිතන්නැ අයියෙ හම්බෙයි කියලා. ඔනිමනම් Camera Lk එකෙන් බද්දට අරන් යන්න. ඒක ලාබයි + හිතටත් හොඳයි//


හැබැයි ඒ කියලා ටිකකින් ස්ටේටස් එක දාපු මල්ලියට තවත් බ්ලොග් ලියන සහෝදරියක් විසින් කැමරාවක් දෙන්න පොරොන්දු වෙලා තිබුනා.. එයිටත් පස්සේ තමා අපේ ගිනිගෝරිසා නිකං ඉන්න බැරිවට මාවයි අර මේ දවස්වල අසනීපෙකට කටු පිටින් කොහිල කකා ඉන්න නියම වෙච්ච වෙනී අයියවයි පටලෝලා මෙහෙම කියලා තිබුනේ..


// මාරයා අළුතින් එකක් අරන්... **** අයියා ගාවත් තියෙනවා.. ණයට ඕන නෑ... තියා ගන්නම ගන්න.... චතුෂ තුෂර කුමාර **** ****//


එයින් පස්සේ ඉතිං ගිනිගෝරිස් අයියගේ විහිළුවට මං මෙහෙම කිව්වා...
//අඩේ XXX අයියා..අයියා සෝයි.. ලබන පාර අපේ ගමේ දන්සලක් තියේ.. අයියා එන්ටකෝ දානේ බෙදන්න...//

විහිළුවට ඉතිං විහිළුවෙන්ම එපෑ උත්තර දෙන්න... ඒත් ඒ කරලා ආයෙම මට පස්සේ හිතුනා මුලින්ම ස්ටේටස් එක දැක්ක වෙලේ හිතට ආව එකම ලියලා දාන්න ඕන කියලා.. මොකද විහිළු තහළු පැත්තක තියෙද්දී මෙහෙම අවස්ථාවක අපි හැමෝම පත්වෙන තත්වේ බොහෝ දුරට පොදු අත්දැකීමක් වෙන හින්දා... මේ තියෙන්නේ එයින් පස්සේ මං කොටාපු කොමෙන්ටුව... ආයේ ඉතිං මහන්සි වෙලා යුනිකෝඩ් තොග ගානට කොටපුවා නිකංම නිකං මාක් සකරබරග්ගේ කාලයේ වැලිතලාවට යට වෙලා යන්න නොදී මෙහෙම හරි ඉතිරි කර ගන්න එපෑ හදිසියකදී හොයා ගන්න...

-----------------
-----------------

XXXගේ කොමෙන්ටුව විහිළුවක් හින්දා ඒක පැත්තකට දාමු... ** අයියට අර්ෂශ් හින්දා ඒ කියන කතාත් පැත්තකට දාමු.. :D


ඒත් මේ කාරණාව ගැන තව වචනයක් ලියන්න ඕන කියලා හිතුනේ මුලින්ම @@ගේ කොමෙන්ටුව දැක්ක වෙලේ තමා.. ඒත් පහළට එද්දී XXX අපිවත් ගාවලා දාලා තිබුන කොමෙන්ටුව හින්දා මං කියන්න ගිය දේ නොකියා නිකං හිටියා... ඒත් දැන්නං හිතෙනවා මුලින් හිතපු දේ කිවුවට වරදක් නැහැ කියලා...

මේක මේ  ###  මල්ලිට පෞද්ගලිකව කියන දෙයක් නෙවෙයි.. සාමාන්‍යයෙන් රටේ තොටේ පවතින තත්වේ අනුව මං දකින විදිය...

කැමරාවක් නෙවෙයි වෙන ඕනම දෙයක් උනත් තවත් කෙනෙකුට දෙනකොට ඒකේ අයිතිකාරයාට හිතන්න දේවල් සෑහෙන්න තියෙනවා... මං හිතන්නේ මං ඒවා එකින් එක අරං පැහැදිලි කරන්න උවමනා වෙන එකක් නැහැ.. ජීවිත කාලෙදි එකම එක වතාවක් හෝ කාට හරි බඩුවක් මුට්ටුවක්.. ණයක් තුරහක් දීලා මට්ටු නොවිච්ච එකෙක් ඉන්නවනං ඔහු හෝ ඇය ඉතාමත් වාසනාවන්ත කෙනෙක්... ඒත් කරුමෙට අපි වැඩිහරියටකට තියෙන්නේ ඕකේ නරක අත්දැකීම... ඒ කියන්නේ දුන්න දේ වෙලාවට ආපහු නොලැබීම... ගත්ත දේට හානි කරලා අන්තිමට සමහර විට කෑලි ටික විතරක් ලැබීම... වගේ දේවල් වීමේ අත් දැකීම හරිම සාමාන්‍ය දෙයක්... ඔකේ හොඳම ආතල් එක තමා සමහර විට දුන්න දේ කඩලා ආපහු දෙනවා මදිවට බැනලත් යනවා කැඩිච්ච එකක් දුන්නා හරි කැඩෙනවා කියලා දැන දැන දුන්නා හරි කියලා.. බොහෝම වෙලාවට යාළුකමත් එතැනින්ම ඉවරයි... ඔය වගේ අත්දැකීම් හින්දා  ගෙදර එහෙකුටවත් දෙයක් දෙද්දී ඒකේ ආසාව අතෑරලා මිසක් දෙන්න ලේසි නැහැ...

කැමරාවක් කියන්නේ අපි බහුතරේකට සරල දෙයක් නෙවෙයි... බොහෝම අමාරුවෙන් සල්ලි එකතු කරලා.. අතේ තියෙන මුදලට ගත හැකි උපරිම තරමේ එකක් කල් යල් බලලා පෙරුම් පුරලා ගත්ත උන් තමා වැඩියෙන් ඉන්නේ... එහෙම දෙයක් එක පාරට දීලා දාන්න මං හිතන්නේ නැහැ කැමරාවකට ආදරේ කරන එකෙකුට ලේසියෙන් පුළුවන් කියලා... තමනුත් යන ගමනකදී හෝ.. තමුන් ලග තියෙන් හොදම එක ඇර දෙවැනියට තියෙන එකක් වගේ එකක්නං හිත හදාගෙන දෙන්න පුළුවන් වෙයි.. ඒත් සන්තකේටම තියෙන එක එහෙම දෙන්න පුළුවන්නං ඒක සෑහෙන ලොකු හිතේ හයියක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්.. මෙතනදී +++ගේ ඉදිරිපත්වීම ගැන සෑහෙන්න ප්‍රශංසා කරන්න පුළුවන් වෙන්නේ එහෙම තත්වයක් තියෙන හින්දා.. නමුත් පොදුවේ ගත්තම @@යගේ කියමන තමා යථාර්ථය වෙන්නේ...

පෞද්ගලිකව ගත්තොත් මංනං ඇත්තටම කිසිම කෙනෙකුට මං පාවිච්චි කරන දෙයක් ආසාව අතෑරලා දෙන්න පුළුන්නං මිස දෙන්නේ නැහැ... ඒ මට ජීවිත කාලෙදි ලැබුන අත්දැකීම් හින්දා... මං ඔය දවස් දෙක තුනකට කලින් ගත්ත කැමරාව ගන්න මහන්සි වෙච්ච තරමේ හැටියට.. (ඒක ලොකු ගානක් නොවුනත් මගේ හැටියට ඒක ලොකු ගානක්) මට ඒක කරන්න හිතෙන්නෙවත් නැහැ.. මොකද ඒකට කෙල උනොත් මං දන්නවා තව අවුරුද්දකටවත් මට එහෙම දෙයක් ගැන හිතන්න වෙන්නේ නැහැ කියලා... පහුගිය ටිකේ මං ඇවිදින්නවත් ගියේ නැත්තේ ලග තිබුන කැමරාවෙන් එක දිගට පොටෝ ගහන්න බැරි තත්වේ දෝෂයක් ආව හින්දා.. හැබැයි දැන් මේක තියෙන හින්දා අර කලින් එකේ ආසාව අතාරින එක ලොකු දෙයක් නෙවෙයි... ඒ හින්දා කැමරාව ගෙනත් මුලින්ම ඒකේ පැකින් කඩන්නත් කලින් මුලින්ම කල වැඩේ තමා කැමරාවක් නැති.. ඒත් මං වගේම ඇවිදින්න කරන්න කැමති... ෆෝන් කට්ටේ ආධාරයෙන්  පොටෝ අල්ල අල්ල යන හිතවත් මල්ලි කෙනෙකුට ඒක දෙන්නං තියෙන දෝෂය හදා ගනින් කියලා දැනුම් දීලා හිටිය එක... එහෙම තමන්ට උවමනා නැති දේ තව කෙනෙකුට ආසාව අතෑරලා දීලාම දාන එක ප්‍රශ්නයක් නොවුනට කොහොමද බංස්ලා බොහොම අමාරුවෙන් පරිස්සමට තියං ඉන්න දෙයක් ආ මේං කියලා දීලා දාන්නේ..?

ඕවා කියං යද්දි මට මතක් වෙන්නේ ජීවිතේ අවස්ථා දෙකකදී මට අහන්න ලැබුන කතාවක්... අවස්ථා දෙක තමා පොලිසියේ සහ ගුවන් හමුදාවේ යන දෙකේම අවි පුහුණුවට කලින් ලැබුන දේශනාවේ කොටසක් වෙච්ච තමන්ගේ පුද්ගලික අවිය රැක බලා ගැනීම ගැන කියද්ද අනිවාර්යයෙන්ම කියන කෑල්ල...

 “තොපේ ගෑණිව තොපි දෙනවද එක එකාට ගෙනියන්න.. අල්ලලා බලන්න... දවසක් තියා ගන්න.. ගමනක් ගිහින් එනකල් තියාගෙන ආවම දෙන්න කියලා... එහෙම දෙනවනං තමන්ගේ අවියත් කාට හරි දුන්නට කමක් නැහැ.. එහෙම දෙන්නේ නැත්තං මතක තියා ගනිල්ලා මේකත් එක එකාට දෙන්න යන්න එපා... මේ තමා අද ඉදන් උඹලගේ ගෑණි.. ගැණී එක එකාට දීලා අන්තිමට කෙලවගෙන එන්න එපා“

කැමරාව කියන්නේ තුවක්කුවක් නොවුනත්.. තමන්ගේ ගෑණි නොවුනත් ඒ ක්ෂේත්‍රයට ආදරේ කරන එකාට ගෑණි වගේම වටින දෙයක්... ඒක තමා අවසානෙට කියන්න තියෙන්නේ...

(ආයෙමත් කියන්නේ මේක ### ට පෞද්ගලිකව ගන්න කියාපු දෙයක් නෙවෙයි... මේ වගේ තැනකදී මිනිස්සුන්ගේ පැති ගැන සාමාන්‍ය සරල තත්වය ගැන ලියපු සටහනක් විතරයි..)

10 November 2013

මයෝනීස්...

මෙව්වානං ලියන එකත් පාඩුයි.. ඒත් කවුරුම හරි මොනවා හරි දෙයක අනිත් පැත්ත ඉගෙන ගන්නේ නැතෑවත් කියලා හිතලා තමා ලියන්නේ...

කෑම බීම හදන හැටි දැමිල්ලෙන් ඉතිං මං බලාපොරොත්තු වෙන්නේ තවත් කවුරු හරි කෙනෙක් ඒක බලලා මොනවාම හරි යමක් හදන්ට ඉගෙන ගනී.. එහෙම කරලා කෑමක් රහට හදාගෙන කාවී.. තව කෙනෙකුට කන්ට ටිකක් හදලා දේවී.. වගේ දේවල් තමා.. ඒත් මේ අද කියා දෙන්නේ නං කෑමක් එපා කරවන සීන් එකක්... ඒ තමා මයෝනීස් සෝස්...
(ගූගල් මාමාගේ ආධාරයෙනි)

ඇත්තටම මේක ලියන්න හිතුනේ අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුල් පුරුක් අතරේ හිටිමින් තාමත් ඉඳ හිට ලියන.. විශේෂයෙන්ම මගේත් බ්ලොග් ගුරෙක් හැටියට මං නිතරම මතක් කරන අපේ ඉන්ද්‍රනාම මලයගේ අළුත් පෝස්ට් එක දැකලා.. මේ තියෙන්නේ ඒක...  ඉන්දරේ මල්ලි අද ලියලා තියෙන්නේ අපූරු සළාදයක් හදා ගන්න විදිය.. ඒක එතනින් බලා ගතෑකි...

ඒක කියෝපුවාම තමා මට හිතුනේ ඒකේ සළාදයට යොදා ගන්නා මයෝනීස් ගැන ලියන්න ඕන කියලා...

මයෝනීස් සෝස් එක අද වෙළඳ පොලේ ගන්න තියෙනවා බෝතල් හැටියට.. කවුරුවත් ඕක හදන්නං මහන්සි වෙන්නේ නැහැ.. ඒ හින්දම හුග දෙනෙක් දන්නෙත් නැහැ මේකේ මොනවා තියෙනවද කියලා... ඒ හින්දා මං හදන විදිය දාන්නං...

උවමනා ද්‍රව්‍ය...

බිත්තර කහ මද 2යි
විනාකිරි මේස හැන්දයි
අබ ක්‍රීම් තේ හැදි කාලයි
තෙල් ලීටර් කාලයි 
ලුනු/ගම්මිරිස්...

ඔතනදී ගන්න තෙල් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.. මූලිකවම පොල්තෙල්/පාම් තෙල් වගේ දේවල් හරියන්නේ නැහැ... හොඳම දේ තමා ඔලිව් තෙල්.. නැත්තං එළවළු තෙල්.. සූරියකාන්ත තෙල් වගේ ඒවා.... ගම්මිරිස් සුදු ගම්මිරිස් වීමෙන් පැහැය ආරක්ෂා කරගන්න පුළුවන්... 

ක්‍රමය...

ටිකක් ඉඩකඩ ඇති බෝල් එහෙකට බිත්තර කහමද දෙක දා ගන්න.. ඒකටම විනාකිරි ටිකයි.. අබ ක්‍රීම් ටිකයි එකතු කරන්න.. ලුනු ගම්මිරිසුත් ටිකක් වෙන්න දාගන්න... එයින් පස්සේ තියෙන්නේ ඉතිං බීට් කිරිල්ලක් තමා.. වැදගත්ම දේ තමා බීට් කරන එක නවත්තන්න බැහැ අවසානය වෙනකල්ම... ඒ කියන්නේ මෙතනදී උදව්වට තව කවුරු හිටීම වැදගත් වෙනවා.. ඒ තමා තෙල් එකතු කිරීමට...

දැන් මේක බීට් කරන ගමන්ම ඒකට අර තෙල් වලින් ස්වල්පය බැගින් එකතු කරන්න ඕන.. ඒ කියන්නේ මුලින්ම තෙල් මේස හැන්දක් පමණ... ඒ ටික හොඳට බිත්තර කහ මදය එක්ක මුසු වෙලා ක්‍රීම් ගතියට ආවම තත්පර තිහකින් විතර තව මේස හැන්දක් ආදි වශයෙන්... කවුරු හරි ළගට වෙලා තෙල් එකතු කරන අතරේ තවත් කෙනෙක් එක දිගටම බීට් කරං යන එකෙන් වැඩේ අවුලක් වෙන්නේ නැති වෙන්න ගොඩ දාගතෑකි.. හොදටම හුරු උනාමනං තනියම කලෑකි.. ඒත් ඔලිව් තෙල් කාලක් අහක යවනවා කියන්නේ හෙන ගහන අපරාදයක් හින්දා කවුරු හරි ලග තියං වැඩේ කිරීම ලාබයි...

ඔහොම දිගින් දිගටම බීට් කරං ගියාම තෙල් අවසාන වන තැනදී අපේ මයෝනී සෝස් එක හැදිලා ඉවර වෙනවා.. හරියට වැඩේ කෙරුනනං අවසානයේදී බොහෝම ලස්සන ලා ඇත්දල පාටක් වැනි සුදක් හිමි ලස්සන සෝස් එකක් අපිට ඉතිරි වෙනවා... දැක්කම කන්න ආසා හිතෙන විදියේ...

ඒත්....

හොඳට කල්පනා කලොත් දැන් තේරෙන්න ඕන ඕනෑම කෙනෙකුට මයෝනි කියන්නේ බිත්තර කහමදයෙන් අල්ලාගෙන ඉන්න තෙල් ගොඩක් විතරයි කියන එක... ඇත්තටම කිව්වොත් ඔය බිත්තර කහ මද දෙකට තෙල් බෝතලයක් උනත් අවුලක් නැතිව අල්ලං ඉන්න පුළුවන්.... එකම දේ බීට් කිරිල්ල හොදින් වෙන එක විතරයි...

දැන් මං ඔය කිව්වේ ගෙදරදී අපිට නියම විදියට ඕක හදාගන්න විදිය.. එහෙම හැදුවත් තෙල් ගොඩක් වෙන සෝස් එක ව්‍යාපාරයක් හැටියට කරන අය හදනකොට තව මොන මොනවා එකතු කරනවා වෙන්න පුළුවන්ද...?

දැන් හිතෙනවද මයෝනී සෝස් කන්න කාට හරි...? :D

රයිටෝ එතකොට ඉන්දරේ කියන සළාදේ කන්නේ කොහොමද..?

ගන්න එක එක රස වර්ග නැති පොඩි යෝගට් එකක්.. ඒකට දාන්න ලුනු ගම්මිරිස්.. තියෙනවනං ලියාගත්ත පාස්ලි ටිකක් හෝ නැතිනම් කරපිංචා දළු ටිකක්... අබ ක්‍රීම් තියෙනවනං එයිනුත් ඇබින්දක් එකතු කරන්න.. අබ රසයට කැමති නැත්තං නිකං ඉන්න.. හොදට බීට් කරලා සළාදෙට එකතු කරන්න... හරි සරළයි... මයෝනී වගේ තෙල් ගොඩක් නැතිව ඔය සළාදේ රසට කෑහැකි...

--------------
කෑමක් එපා කරවන්න මේ පෝස්ට් එකක් ලිව්වමයි.. :D
මං හදාපු පොටෝ නැති එක ගැන සමාවෙන්න... පුරුදු වෙන්න හැදුවට ගෙදරදිනං හදන්න කල්පනාවක් ඇත්තේම නැත...

02 November 2013

කලකදි ලෙඩ..කලකදි රජ...


ඉස්සර මං බාල සංදියේ උණක් හෙම්බිරිස්සාවක් අසනීපයක් වෙලා පැත්ත දාලා හාන්චි පයිස් වෙලා ඉද්දී ඉතිං මුලින්ම තාත්තගෙන් ලබෙන සාත්තුව තමා කිරිං කැකර් විස්කෝතු පැකට් එකක් එක්කලා ලැබෙන කිරිං සෝඩා බෝතලේ... ඔය දෙක මුලින්ම හම්බ වෙද්දී මං දන්නවා මට බරපතලෙට අසනීප වේගන එනවාය කියන එක... එතකොට ඉතිං මට තියෙන්නේ ඇදේ බිත්තිය පැත්තට හැරිලා ඔළුවේ හිටං පොරොවාගෙන දොයියන්න තමා.. වැරදිලාවත් ඇදෙන් නැගිටලා නටන්න හැදුවොත් ඔන්න දෝස් මුරේ...

හැබැයි ඉතිං ඔය කිව්වට එහෙමට නැගිටලා නටන්න කොරන්න තරං ඇගට සනීපෙකුත් නැහැ ඔය වෙද්දී... ඉතිං ඔන්න කිරිං කැකර්..කිරිං සෝඩා වලින් පස්සේ මට හම්බ වෙනවා තාත්තත් එක්කලා බයිසිකලේ නැගලා පොඩි ටුවර් එකක් යන්ට... තාත්තා බයිසිකලේ පදින ගමන් ලැගේජ් එකේ කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙලා ඉන්න මං හොඳින් ඉන්නවද කියලත් සැරින් සැරේට විපරං කොරලා බලනවා.. එක්කෝ පරණ කතාවක් මොකක් හරි කිය කිය යනවා.. ඒ මං නිදා වැටෙයි කියලා බයට.. කොහොමින් කොහොම හරි ඉතිං අපේ ගමනාන්තේ වෙන්නේ උඩුපිල ග්‍රාමීය රෝහල තමා...

හැබැයි රෝහල කිව්වට මේ යන්නේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්ට නෙවෙයි.. ඉස්පිරිතාල ඉඩමේම පැත්තක තිබුන කුවාටස් එකේ හිටිය ලොකු දොස්තර මහත්තයාගේ බෙහෙත් ගන්ට.. උන්නැහේ හවස් අතේ පිටස්තරින් එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කොරලා කීයක් හරි හොයාගන්නවා.. හැබැයි ඉතිං ඒ ගිනි කන ගණන් නෙවෙයි ඒ කාලේ හැටියට බොහෝම සරල සාධාරණ ගානක්.. මුදලටත් වඩා උන්නුහේ ඒක විනෝදාංසයක් වගේ තමා කලේ... ආගිය තොරතුරු කතා කොර කොර... එහෙම තමා බෙහෙත් හේත් කෙරුනේ... ඒ දවස්වල ඉතිං කොතැන ගියත් එහෙමයි... බාබර් සාප්පුවට ගියත්.. ටේලර් හම්බ වෙන්න ගියත්.. රෙදි නැන්දලයි අහ ගියත්... ඔය කවුරු උනත් ගම හතර වටේ හැම දෙනාවම බොහොම හොදට දැන අදුරං හිටිය හින්දා වග විස්තර කතා කර කර හරියට ගෙදර එහෙකුට සලකන්නැහේ වැඩ කොලේ.. ඔය කියාපු දොස්තර මහත්තයත් එහෙමම හොඳ මනුස්සයා... අපේ මල්ලිටනං ඔය මනුස්සයා දැක්කම ලෙඩ හොඳ වෙන සීන් එහෙකුත් තිබුනා.. :D

උඩුපිල ලොකු දොස්තර මහත්තයා නැති කාල වලට ඉතිං අපි යනවා කන්ද කපාපු හන්දියේ ඩිස්පැන්සරියට.. එහෙමත් නැත්තං වැලිවේරිය පැත්තේ දොස්තර මහත්තයෙකුත් හිටියා තරමක් ප්‍රසිද්ද... ඔය කොහේ ගියත් ඉතිං අර මං කලියෙන් කිව්වා වගේ පුට් බයිසිකලේ තමා ආවේ ගියේ.. ඔය මං කියන කාලේ තිරිවීල් එහෙම ඇහැට දැකලා තිබුනෙත් නැහැ... ටැක්සි පොඩි මහත්තයාගේ මයිනර් එක තමා ඉතිං මොනවට හරි ලොකු ගමනක් යනවනං අහල පහල තිබුන ලොකුම වාහනේ... 

කොහොමින් හරි ඔය යන ගමනින් පස්සේ සුදු පාට කවර දෙක තුනකට හම්බ වෙන එක එක ජාතියේ පෙති ටිකකුයි.. ගෙදරින් ගෙනියන වීදුරු බෝතලේකට රතුපාට මහ කෂඩ රහක් තියෙන බෙහෙත් වතුරකුයි හම්බ වෙනවා.. ඔය අසනිප වෙන සීන් එකේ තියෙන එකම අවුල ඔය කියන මල ජරා බෙහෙත් වතුර එක තමා.. නැත්තං අනිත් ඔක්කෝම අවුලක් නැහැ..:D හැබැයි ඉතිං සමහර දවසකට ඔය කියන බෙහෙත් වතුරට අමතරව කොල පාට වතුර බෝතලේකුත් ලැබෙන අවස්ථා තියෙනවා.. ආන්න එදාටනං ඉතිං මල් මසුරං.. ඒක ඇවිල්ලා බෙහෙත් පැණියක්... පස්සේ කාලෙක මං තේරුං ගත්තා මේක දෙන්නේ කැස්ස හැදුනාම තමා කියලා.. ඒ හින්දා ඉතිං බෙහෙත් දෙන්න කිට්ටු වෙද්දී මට ටිකක් කැස්ස වැඩි වෙනවා... :D කරුමෙට ඉතිං දොස්තර මහත්තයා ප්‍රශ්න අහන වෙලාවට මට කහින්න අමතක වෙනවා... ඉතිං නැවතත් අර රතුපාට වහ වතුර එක විතරයි.. ඇඩෙනවා...

ඉතිං කොහොම හරි ඔයින් පස්සේ දවස් දෙක තුනක් යනකල් අයියෝ.. අම්මේ... අම්මේ.. අයියෝ.. ගගා සනීපෙට කෙඳිරි ගගා බුදියෑමක් තියෙන්නේ.. සනීපෙට කිව්වට ඉතිං මුළු ඇගම තලා දාලා වගේ... නිදාගෙන නිදාගෙන දැන් නින්ද යන්නෙත් නැහැ... මහ රෑට ඇහැරිලා පැය ගානක් ඉන්න වෙද්දි පුදුම අමාරුවක් තියෙන්නේ... ඔය අතරෙත් ඉතිං කිරිං සෝඩා..කිරිං කැකර් තමා ප්‍රධාන ආහාරේ.. හැබැයි ඒ වෙද්දි ඒවත් එපා වේගන එනවා.. ඒ වගේමයි කිසිම රහක් දැනෙන්නේ නැහැ..කට කල් කදුරු තිත්තයි...

ඔන්න ඉතිං අවසානෙදී කොහොම හරි යාන්තං දාඩිය දාලා උණ බැහැලා යන අවස්ථාව ආවම තමා අමාරුම සංගරහය තාත්තගෙන් මට හම්බු වෙන්නේ.. ඒ තමා ලුණු මිරිසුයි බතුයි... රතුළුණු..උම්බලකඩ යහමින් දාලා.. දෙහි ඇඹූල් රහ හොදට වද්දලා හදන ලුණු මිරිස් එක්ක බත් කෑහැකි වෙන වෙලාවකනං.. ඒත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ ඒකත් මරන්නැහේ වැඩක්.. කොහොම හරි එහෙම වේල් දෙකක් විතර පැන්නට පස්සේ ඔන්න මං කැමතිම වේල හම්බ වෙනවා..

ඒ තමා ටිකක් විතර බෙරි වෙන්න උයාපු සුදු බතුත් එක්ක වැටකොළු හොද්ද... වෙනදට වැටකොළු උයනවට වඩා එහෙම දවසට වැටකොළු එකට දාලා තියෙන සුදුළුනූ ප්‍රමාණය එහෙම වැඩියි.. මං ඉතිං බොහෝම ආසාවෙන් වැටකොළු වෑංජනෙත් එක්කලා බත් කන්න පටන් ගන්නවා.. ආන්න ඒ වේල ගත්තට පස්සේ තමා මට දැනෙන්නේ “ඔන්න මට දැන් සනීපයි“ කියලා.. :D

ඔය ලෙඩ වෙලා කෙලින් කටින් වෙද්දී හම්බ වෙන වැටකොළු මාළුවට තියෙන ආසාව හින්දම මගේ කෑම ලයිස්තුවේ වැටකොළු වලට ඒ කාලේ තිබුනේ අංක එකේ ඉස්තානේ තමයි... අසනීපයක් නැති වෙලාවට උනත් තාත්තා වත්ත පිටියේ වැවුව වැටකොළු මැස්සකින් කඩාගත්ත කොළම කොළ පාට ළපටි වැටකොළු උයලා කරවල කෑල්ලක් තෙල් දාලා හදලා දෙන බත් පිඟාන ආයේ ඉතිං මට රාජ බෝජනයක්ම තමා.. ඕකට ඉතිං ආයේ ඔය වෙන වෙන සුකුරුත්තං ඕන නැහැ.. ලුනුයි දෙහියි වගේ ඔය දෙක කැපෙනවා තකට තක...

අද ඉතිං ඔය වැටකොළුව මතක් උනේ වැටකොළු මාළුවක් උයන්න වෙච්ච හින්දම තමා...

මේ ඊයේ පෙරේදා දවසක මට හදිසියේම පිළියන්දල පැත්තට ගෙහුන් එන්න උනා.. ඒ එද්දිඅර පිල්ලෑවද කොහේද කියලා පන්සලක් තියන හරියේ පාර අයියේ කරත්තයක අළුත ගෙනත් බාපු කුරුම්බා වළු වගයක් දැකලා කුරුම්බයක් ගැන පහළ වෙච්ච ආසාව සංසිඳුවාගන්න කියලා එතැනට මංගච්ඡපුවාම තමා දැක්කේ යකෝ එතැන සෝක් එලෝලු ටිකක් තියෙනවා කියලා... හැමදාම පිටෝටුවෙන් හරි එලෝලු ලෑල්ලකින් හරි එලෝලු ගන්නකොට හම්බ වෙන මැරෑටී එළවළු නෙවෙයි. බොහෝම සනීපෙට හැදුන අපූරු එලෝලු ටිකක්... කොහේ හරි කොරටුවකින් කඩං ඇවිත් වග බැලු බැල්මටම පේන්න තිබුනා.. මාත් ඉතිං කුරුම්බා දෙකකුත් අරං අහවර වෙලා හොඳවයින් වැටකොළු කරල් දෙහෙකුත් අර අරගත්තා...

ඉස්සරම ගෙදරදී තාත්තා වත්තේ හදලා උයලා දෙන වැටකොළු වගේ කඩවල් වලින් ගන්න වැටකොළු හරි නැහැ.. කොච්චර නාරටි කඩලා.. පොතු හූරලා.. නැටි මිරිකලා දන්න සිල්ප දාලා ගෙනාවත් ඒ හුගක් ඒවෑ මැද්දෑවේ කොස්ස මෝරලා.. කන්න බැහැ... ඒ හින්දා මං ඔය වැටකොළු කෑම අතෑරලා දාලා තිබුන ගානයි පහුගිය කාලේ...

හැබැයි ඉතිං අපරාදේ කියන්ට බැහැ.. මෙදා පාරනං නියම වැටකොළු ටිකක් හම්බු වෙලා තියෙන්නේ... ගෙනාව දවසෙම රාත්තිරියේ එක කරලක් උයාන කාලා.. අද මේ දෙවැනි එක තමා ඔය උයලා කාලා අහවර වෙලා පොටෝවකුත් දැම්මේ... ඉස්සර ඉතිං ලෙඩ කෑම කියලා කිව්වට දැන්නං මේවා රජ කෑම...