02 January 2014

බන්ධුල ආයෙමත් හරි.. සිස්සත්වේ තහනං කරන්න ඕන...

අළුත් අවුරුද්ද පටන් ගත්තෙම දවස් දෙකක නිවාඩුවකින්.. :D ඒ හින්දා ඔන්න හුග දවසක ඉඳන් ලියන්න හිතං හිටිය දේවල් දෙක තුනක් ලියා ගන්න ඉඩ පහසුකං ලැබුනා... එයින් මුල්ම එක තමා පහේ ශිෂ්‍යත්වේ අහෝසි කරන්න යන කතාව ගැන මගේ අදහස... 

රයිටෝ පහේ විභාගේ ගැන කියනවනං ඉතිං ඕක ගැන ලියන්න මටත් පුංචිම හරි අයිතියක් තියෙනවා නෙව.. මොකද මේ ලියන මං උන්නැහෙත් පහේ විභාගේ ගොඩ දාං කොළඹ ඉස්කෝලෙකට මාරු වෙච්ච එකෙක් වගේම ශිෂ්‍යාධාරයත් ලැබුන කෙනෙක්... ඒ හින්දා විභාගේ ගැන මං කියන එකේ වරදක් නැහැ නෙව...

මුලින්ම අපි බලන්න ඕන පහේ විභාගේ තියන එකේ අරමුණු විය යුත්තේ මොනවද හා ඒ අරමුණු ඇත්තටම මේ වෙද්දි ඉස්ඨ සිද්ධ වෙනවද..? නැත්තං ඒ අරමුණු තියෙද්දී වෙන අතකට මේක ගමන් කරලද කියලා...

මගේ කල්පනාව හැටියටනං ඔය විභාගය පැවැත්වීමේ අරමුණ විය යුත්තේ රට පුරා විසිරිලා ඉන්න දුප්පත් එහෙත් දක්ෂතා ඇති දරුවන්ට තමුන්ගේ දුප්පත්කම් යටපත් කරගෙන.. දක්ෂතාවයන් වැඩිදියුණු කරගෙන ඉදිරියට ඇවිත් රටේ දියුණුවට උන්නතියට වැඩ කල හැකි දක්ෂ පිරිසක් බිහි කරවන එකයි.  

ඒත් අද වෙද්දි මේක තියෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලටත් වඩා ජාතික මට්ටමේ විභාගයක් වෙලා..ළමයින්ටත් වඩා අම්මලා තාත්තලාගේ විභාගයක් වෙලා තියෙන එකයි. අවසානයේදී දුප්පත් දරුවකුට පහසුකම් සහිත පාසලකට ඇතුළු වීම කියන එක මේ හරහා තව තවත් ඈතට ගිහින් කියලයි පේන්න නම් තියෙන්නේ... මොකද දුප්පත් පහසුකම් අඩු ප්‍රදේශයක ජීවත්වන දරුවකුට වඩා පහසුකම් ඇති වියහියදම් කරන්න පුළුවන් පසුබිමක ඉන්න දරුවකුට අද වෙද්දි මේ විභාගය වඩාත් පහසු කර ගන්න මාර්ග පෑදිලා තියෙනවා... අමතර පංති සඳහා වියදම් කිරීමත්.. අමතර පංති සඳහා දක්ෂ ගුරුවරුන්ගේ සහය ලබා ගැනීමේ හැකියාව වගේම ඇතැම් විට ප්‍රශ්න පත්තර පවා කල් ඇතිව මිලදී ගැනීමේ හැකියාව පවා වර්ධනය වෙලා තියෙන තත්වයක් යටතේ මේ විභාගය අද පවත්වන විදියෙන් වෙන්නේ දුප්පත් දරුවාව තව තවත් කොන් කරවන එක විතරයි... 

ඉතිං ඇත්තටම මේ විභාගේ පවත්වන එක තේරුමක් තියෙනවද..?

මටනං හිතෙන්නේ මේක දැන් අනවශ්‍ය විභාගයක්... බන්දුල ලොක්කා කියනවා වගේ මේක අහෝසි කරලා දාන්න ඕන තමා...

රයිටෝ ඔන්න කට්ටියට පුළුවන් රෙදි කරට ගන්න... ඔව් ඉතිං උඹ බන්ධුලයව සුද්ධ කරහං කියලා..නේද..? :D

හෝව් හෝව්... කට්ටිය පොඩ්ඩක්... පොඩ්ඩක් විතර කොනිත්තලා බලලා ආතල් එකක් ගන්න මගේ මේ කැත පුරුද්ද අතෑරගන්න බැහැ නෙව මට තාමත්... :D
ඇත්තටම මට කියන්න ඕන මේ විභාගේ දැන් පවත්වන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න ඕන කියන එකයි... එහෙම නැතිව විභාගේ අහෝසි කරන එක හෙන ගහන අපරාධයක්... මොකද මගේ ජීවිතේට උනත් මේ විභාගයෙන් වෙච්ච වෙනස සුළු පටු නැහැ.

පහේ විභාගය සමත් උනා උනත් පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ එහි අවසන් අදියරයන් කරා යන්නට මට පුළුවන් කමක් නැති උනත් මට ඒ හරහා ලැබුනු දේවල් නැතිවාම නෙවෙයි. අඩුම ගානේ ඉගෙන ගත්තේ කොහේද කියලා ඇහුවම දෙන උත්තරෙන්ම ලාංකීය සමාජයේ ලැබිය හැකි වරප්‍රසාද රැසක උරුමය මට ලැබුනේ එය විභාගය හින්දම තමා.. නැත්තං මං ඉගෙන ගත්ත කුඩා එවකට කුඩා පාසලක් වූ ගමේ ඉස්කෝලේ නම කිව්වනම් බොහෝ විට කවුරුවත් ඒ නම අහලවත් නොතියෙන්න පුළුවන්.. අපේ රටේ වැඩ සිද්ධ වෙන්නේ අමුතුම ආකාරයකට හින්දා එහෙම තත්වයක් ඕනෑම කෙනෙකුට තරමක අවාසියක් කියලා මං කියන්න ඕන නැහැනේ. පහේ ශිෂ්‍යත්වේ සමත් උනත් එතැනින් එහාට ගමනෙදි මට වැරදුන තැන්වලටත් ඔය විභාගය හා බැදුන කරුණුත් තියෙනවා.. ඒවා ගැනත් සුළුවෙන් හරි සඳහන් කල යුත්තේ කාට හරි මේ ක්‍රමය නිවැරදි කරන්න ඕනනම් ඒ වගේ කරුණු ගැනත් කල්පනාකාරී විය යුතු නිසයි...

ඒ අතරින් එකක් තමා විභාගේ සමත් උනත් එතැනින් එහාට කල යුතු දේ ගැන නිසි මඟ පෙන්වීමක් නොලැබීම... පරණ පරම්පරාවේ මනුස්සයෙක් උන අපේ තාත්තට උනත් ඉදිරියේදී මට මුහුණ දෙන්න තියෙන කඩ ඉම් විභාග ගැන ඒ හැටි අවබෝධයක් නොතිබීම වගේම වෙනත් කිසිම උපදේශන මාර්ගයක් විදුහල් සතුව නොතිබීම ඇත්තෙන්ම ලොකු අඩුවක්.. බස්නාහිර පළාතේ දරුවකු හැටියට මට මෙහෙම නම් ඈත දුෂ්කර ගමක දරුවකුට තමන්ගේ මග පෙන්වීම ලබා ගැනීම කොයි තරම් අමාරු වෙයිද කියන එක ගැනත් කල්පනා කරන්න ඕන... අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසියාකාරව කල්පනා කරලා සෑම විදුහලකටම අධ්‍යාපන උපදේශන අංශයක් ස්ථාපිත කරවීමේ වැඩ පිළිවෙලකට යන්න ඕන කියන එකයි මගේ අදහස... (මේ වන විට එහෙම දෙයක් තියෙනවද කියා නොදනිමි) 

සෑම වසරක ආරම්භයේදීම සෑම වසරකම සිසුවකුටම ඒ ඒ වසරේදී තම තමන්ට කල හැකි දේ හා කල යුතු දේ ගැන පහදවා දීමත්..ඉදිරි වර්ෂයන් තුල සිදුවන වෙනස්කම් හා ඉදිරියේදී ඇති විභාගයන් ගැන පැහැදිලි කරවීමත්... විෂය මාලා තෝරා ගැනීමේදී ඒ ඒ විෂයන් හරහා අනාගතයේදී කල හැකි දේවල් ගැන නිසි කරුණු පැහැදිලි කරවීමක් ගැන වගේම පෞද්ගලික අංශයේ අධ්‍යාපන කටයුතු වලටත් උපදෙස් දෙන එක පාසල් හරහාම කෙරෙනවනං වඩාත් යෝග්‍යයි. අවසානයේදී පාසල් හැර යන වසරවල් වන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වසර වලදී ඉදිරියට කල හැකි උසස් අධ්‍යාපන  හා වෘත්තීය අධ්‍යාපන කටයුතු ගැන වගේම රැකියා ගැනත්... දැනුවත් කිරීමත් හරහා අයාලේ යන බොහෝ දෙනෙකුට නිසි මං පාදා දීමට පහසුවෙන්ම හැකියාව ලැබේවි.. දැනට සිද්ධ වෙන්නේ අම්මලා තාත්තලා දැනුවත්නං ඒ අයට ඉදිරි මං පෑදීමත්.. අනිකුත් අයට අවිධිමත් ආකාරයේ උපදෙස් ලැබීමත් පමණයි.. බොහෝ දුරට තමන්ගේ යාළුවන් කරන කුමක් හෝ දෙයක් කරන්නට යොමු වන පිරිස් වැඩියි.. එහෙම නැතිව තමාට තිබෙන මාර්ග ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් හරහා කල්පනා කරලා තමාගේ මාර්ගය තෝරා ගැනීමට මේ වෙද්දි සිසුවෙකුට තියෙන අවස්ථාව බොහෝම අඩුයි. 

පහේ විභාගය සමත් වී පාසල් මාරුවෙන් පසුව සිසුවන්ට සාමාන්‍යෙයන් අමාරු කාලයක් උදා වෙනවා.. අළුත් පාසල... අළුත් ගුරුවරු.. මිතුරන්.. විතරක්ම නෙවෙයි ගමනාගමන ක්‍රම.. නවාතැන්..ආහාර පාන වගේ බොහෝ දේවල් වෙනස් වෙනවා.. මේ හැම දේම අවුරුදු දහයක විතර පුංචි දරුවකුට පහසුවෙන් දරා ගත හැකි දේවල් නෙවෙයි... මේ නිසා දරුවන්ට තමන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කරන්නට හැකියාවත් ලැබෙන අන්දමේ මෙකී උපදේශන සේවාවක් පාසල් තුලම පැවතීම පහ සමත් අයට මෙන්ම අනිකුත් දරුවන්ටත් බොහෝම වටිනා දෙයක් වේවී.. මේ නිසා මේ කොටසත් පාසල්වලට එකතු විය යුතුයි. නැතිනම් ගම්වලින් එන දරුවන් තරමක් දුරට වික්ෂිප්ත වීමක් වෙනවා කියන එක මං ගැන වගේම මාත් එක්ක පාසලට ආව ළමුන් කිහිප දෙනෙක් හරහාම දැකපු දෙයක්...

ඊ ළග දේ තමා ශිෂ්‍යාධාරය නිසි වෙලාවට ලැබීමට සැලැස්වීමත් එය ප්‍රායෝගිකව ප්‍රමාණවත් මුදලක් වීමත්... බොහෝ දුරට ගෙවන මුදල් ඇත්තටම ප්‍රමාණවත් නැහැ.. 1989 මට මුලින්ම හිමි උනේ රුපියල් 100 ක වගේ මාසික දීමනාවක්... දැන්නං රුපියල් සීයකින් දවසක් පන්නන්නත් බැහැ.. ඒ දවස්වලත් ඉතිං ලොකු වෙනසක් තිබුනේ නැහැ.. බස් සීසන් එකටත් රුපියල් 67ක්ද කොහේද ගියා.. ඉතිං කොහේද රුපියල් 100 කින් ළමෙක් ඉගෙන ගන්නේ.. :D අනික ඒ රුපියල් සීය උනත් වෙලාවට ගෙවන්න එපෑ සීසන් එකවත් ගන්න... ඒ කාලේ ශිෂ්‍යත්ව මුදල් ගෙවුවේ අවුරුද්ද දෙක පහු වෙලා... මං ඉස්කෝලෙට ගිහින් අවුරුදු එකාහාමරකට විතර පස්සේ තමා මාස හයක  විතර මුදලක් මට ලැබුනේ... ශිෂ්‍යත්වෙන් ඉගෙන ගන්න බලං හිටියනං ලොවෙත් කෙල වෙනවා... (චන්ද්‍රිකාට පිං සිද්ධ වේවා.. අනිත් කෙලි කෙසේ වෙතත්.. උන්දෑ ආවත් හරි යන්තං ගාන වැඩි කලා වගේම වෙලාවට කලාවට ගෙවන්න පටන් ගත්තා... ප්‍රේමයනං ගෙව්වෙම නැති තරං... ) ඕක තමා ඔය විභාගේ හැබෑ තත්වේ.. ඉතිං වෙනස් වෙන්න ඕන කොහොම තැන්ද..?

අනික තමා නේවාසිකාගාර පහසුකම්... ශිෂ්‍යත්වය පාස් වෙලා එන ළමුන්ට නේවාසිකාගාර පහසුකම් අනිවාර්යයෙන්ම ලැබිය යුතු නැද්ද..? රටේ ඈත ප්‍රදේශ වල ඉදලා කොළඹ ජාතික පාසලකට දරුවකු එනවනං ඒ ක්‍රම දෙකක් හරහා... එකක් මුදල් වියදම් කල හැකි නිසා කෙසේ හෝ පාසලට දමාගත් දරුවන්.. නැත්තම් ශිෂ්‍යත්වය සමත් වීම නිසා ආව දරුවන්.. ඒ ආව දරුවන් අතරත් ඇති හැකි අය ඉන්න පුළුවන් නිසා අඩුම ගානේ අඩු ආදායම් ලාභී දරුවන් වන ශිෂ්‍යාධාර මුදල් ලබන දරුවන්ට අනිවාර්යයෙන්ම නේවාසිකාගාර වල ඉඩ ලැබිය යුතුයි කියන නීතියකුත් තිබිය යුතුයි. ඒ වගේම නේවාසිකාගාර ගාස්තු රජයෙන් ලැබිමයි ශිෂ්‍යත්වේ වටිනාකම ඇති කරවන්නේ... නැතුව මේ විභාගයක් සමත් කරවලා දුප්පත් ලමෙක් කොළඹ ගෙන්නවලා අන්තිමට ඒකාට ඉන්න තැනකුත් නැතිව.. කන්න දේකුත් නැතිව නන්නත්තාර කරවලා.. ඒකාගේ අම්මලා තාත්තලාට රට වටේට ණය වෙන්න අරින එක නම් වෙන්නේ ඒක මොන ශිෂ්‍යත්වයක්ද..?

නමුත් මම ඔය කියාපු දේවල්.. ඒ කියන්නේ නේවාසිකාගාර පහසුකම්.. ශිෂ්‍යාධාර මුදල් යන දේවල් උසස් මට්ටමක පවත්වාගෙන යන්නට රජයකට අපහසු වෙන්න පුළුවන්... ඒකටත් හේතුව මේ විභාගයේ පවතින ක්‍රමයේ වරද... ඒ නිසා විභාගය පවතින ක්‍රමය අහෝසි කර අළුත් ක්‍රමයකට යා යුතුමයි කියන දේ වරදක් නෙවෙයි...

එතකොට අපිට කල හැකි දේවල් මොනවද..?

1-පහසුම විසදුම තමා විභාගය අහෝසි කිරීම...

හැබැයි ඒක කරන්න නම් ලංකාවේ සෑම පාසලකටම ලැබෙන පහසුකම් සමාන විය යුතුයි වගේම සෑම විදුහලකම අධ්‍යාපන තත්වය සමානයි කියන ප්‍රමිතියට පාසල් පද්ධතිය ගෙන ඒමයි.. එවිට ඔය විභාගයෙන් ඇති වැඩක් නැහැ.. නිකංම අහෝසි කරලා දැම්මැකි...

ඒත් ඒක ඉතිං තාමත් හීනයක් විතරයිනේ.. බන්ධුල ලොක්කට මං හිතන්නේ නැහැ මේ අවුරුද්දට දෙකට එච්චර හරියක්නං කරන්න පුළුවන් වෙයි කියලා... එහෙමනං ඒ විසඳුම හරියන කෙලියක් නෙවෙයි...

2- විභාගය තෝරාගත් පාසල් වලට පමණක් පැවැත්වීම...

මේක සෑහෙන්න සාර්ථක ක්‍රමයක්... හැබැයි එයිට කලින් ලංකාවේ පාසල් ඉතා හොඳින් වර්ගීකරණය කල යුතුයි... 

i- විභාගය නොපවත්වන
ii- විභාගය පවත්වන පාසල් මාරු නොදෙන ශිෂ්‍යාධාරය පමණක් දෙන
iii-විභාගය පවත්වන පාසල් මාරු මෙන්ම ශිෂ්‍යාධාර දෙන

යන වර්ගීකරණය යටතේ...

i...
දැනට ජාතික පාසල් තත්වයේ ඇති පාසලක දරුවකුට තමන්ගේ පාසල මාරු කිරීමට අවශ්‍යතාවයක් විශේෂ තත්වයක් මත හැර උවමනාවක් ඇත්තේ නැති නිසා ( නාලන්දේ ළමයෙක් රෝයල් යවන්න හරි ගාල්ල රිච්මන්ඩ් දරුවකු ආනන්දෙට යවන්න  වගේ දේකට නාස්ති කල යුතු විභාගයක් විය යුතු නැහැ මෙය)  ජාතික පාසල් මට්ටමේ පාසල් වලට මේ විභාගය අනවශ්‍ය යැයි සලකා ඒවායින් විභාගය ඉවත් කිරීම...

ජාතික පාසල් වලට නොගැණුනත් ඒ හා සමානව පහසුකම් හා අධ්‍යාපන තත්වය ඇති මධ්‍ය මහා විද්‍යාල  වැනි විද්‍යාල වල (නවෝද්‍යා පාසල් ගැන මගේ දැනීම මදි) දැනට ඇති කුමන හෝ අඩුපාඩු ඇත්නම් ඒ අඩු පාඩු සම්පූර්ණ කර ඒවාත් මෙම විභාග පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම...

මේ ක්‍රමය මගින් මෙම විභා‍ගයේ දැනට ඇති අක්‍රමිකතාවයන් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කල හැකිවාක් මෙන්ම වියදම් අඩු කර ගැනීමත්... විභාගය ක්‍රමවත් කල හැකි වීමත් සිද්ධ වෙනවා... 


ii...
ඊ ළගට ප්‍රාදේශිය වශයෙන් දරුවකුට අධ්‍යාපනය ලබන්නට උවමනා සියළු පහසුකම් ඇති එහෙත් දුෂ්කරතා ඇති දරුවන් ඇති පෝෂක ප්‍රදේශ සහිත දරුවන් ඇති පාසල් කාණ්ඩයක් වර්ගීකරණය කරලා ඒවාට විභාගය පැවැත්වීම  කල යුතු අතර  ඒවායින් සමත් වන දරුවන්ට පාසල් මාරු කිරීමේ පහසුකම නොව  විභාගය සමත්වන අඩු ආදායම් ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා හිමිකම පමණක් ලබා දීම කල යුතුයි. 

iii...
ඉහත කාණ්ඩ දෙකටම අයත් නැති.. අඩු පහසුකම් සහිත පාසල් ලංකාවේ කුමන පළාතක තිබුනද එකී පාසල්වල දරුවන්ට මෙකී විභාගය අනිවාර්ය කර එයින් සමත්වන  දරුවන්ට පාසල් මාරු කිරීමේ අවස්ථාවත්.. අඩු ආදායම් ලාභී සමතුන්ට ශිෂ්‍යාධාර ලබාදීමත් විය යුතුයි.

(ඒ හැර හැකියාවක් ඇති නම් විභාගය සමත් නොවුනත් අවම ආදායම් ලාභී පවුල්වල දරුවන්ටත් කුමන හෝ අන්දමේ ශිෂ්‍යාධාර දීමනාවක් ලබා දීමට හැකියාවක් ඇත් නම් එයත් වැදගත්...එය කොතරම් දුරට ප්‍රායෝගිකද නැද්ද ගැන සොයා බැලිය යුතු දෙයක් මිස අනිවාර්යයෙන් කල යුතු යැයි මා යෝජනා කරන්නේ නැත.)

-----------------
රයිටෝ මගේ යෝජනාව අහවරයි..  මෙයට අමතරව අංක 3. අංක 4. ආදී වශයෙන් යෝජනා තවත් තිබිය හැකියි.. හැබැයි ඒ මගේ නෙවෙයි ඔබලාගේ... එයට අවස්ථාව ඔබලාට ඇත. ඒ හැර මා විසින් යෝජනා කරන ක්‍රමයේ ඇති අඩු පාඩු මොනවාද යන්න විමසා බැලීමත්.. ඒවාට ඔබට කල හැකි යෝජනාත් ඇති නම් අගය කරමි...

(ඒ කෙසේ වෙතත් මෙවැනි පල් හෑලි යටතට ගැනෙන ලිපි කියවීම බොහෝ දෙනා අතින් නොවන නිසා අදහස් කිසිවක් පල නොවුනත් පුදුම නොවෙමි.. :D )

90 comments:

  1. ශිෂ්‍යත්වෙ නං නැති උනාට කමක් නෑ කියල හිතෙන එක වැරදියි කියන්නත් බෑ මේ අම්මලා තාත්තලා ළමයින්ට දෙන වදේ දැක්කම.. අපිත් ඕක පාස් වෙලා ඉස්කෝල මාරු කරපු උන්නෙ... එච්චර දුකක් වෙලා තිබ්බෙ නෑ ඒ කාලෙ ඕක... මාස හයක් විතර ඉස්කෝලෙ ළඟම තිබ්බ පන්තියකට ගියා හැබැයි... අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්න කියල පස්සෙන් පැන්නුවා කියල මතකයක් නෑ.. හැබයි ඉගෙන ගත්ත දෙමල ටික නං ඉගෙන ගත්තෙ ඒ පන්තියෙන් තමයි... හි හි...

    ඔය තියෙන්නෙ යෝජනා... මාරය කිව්ව වගේ ඔය ඉස්කෝලෙ නම කිව්වම ලකුණු දෙකක් තුනක් වැඩි වෙන එක නං අපේ රටේ කරුමයක් තමයි... මාත් ඉස්කෝලෙ තුනක හිටියනෙ... නමේ හැටියට වැඩක් උනේ නං පළවෙනි ඉස්කෝලෙ දෙකෙන් විතරයි... හැබයි තාම නම කිව්වම ලකුණු වැටෙන්නෙ තුන්වෙනි ඉස්කෝලෙ නමට විතරයි... ඒකෙන් වෙච්ච දෙයක් නං නෑ මට අධ්‍යාපනිකව ඉතිං...

    හැබැයි මාරයෝ දැං මේ යන විදියට ඔය වර්ගීකරණ ටික කරන්න මිලියන් කීයක් වෙන්කරන්න වෙයිද, කොච්චර අවුරුදු ගානක් ගත කරන්න වෙයිද කියලා තමයි ෂුවර් නැත්තෙ... හි හි...

    ReplyDelete
    Replies
    1. උඹේ දෙවැනි ඡේදේනං මල් මසුරං හිරුවෝ...

      Delete
    2. ඇයි හිරුවෝ අපේ මහත්තයා කොල්ල සැට් වුණේ තුන්වැනි ඉස්කෝලෙට ආව නිසා නේද?

      Delete
    3. හිරු අක්කාගේ කතාවට ප්ලස් වන් කිව්වා!

      Delete
  2. මාරයා බොස් අංක 2 යෝජනාවනම් කොහෙත්ම එකඟ වෙන්න බෑ. පාසල් අතර බොහෝම නරක වර්ගීකරනයක් වේවී.නාමිකව හරි තියෙන අධ්‍යාපනයේ සම අයිතිවාසිකම කියන එකට කෙළවිලාම යන වැඩක් වේවී.
    හැබැයි සම්ස්තයක් විදිහට බඩු කාරයා මාරයා බොස්ගේ යෝජනාවට එකඟයි, ඔය යෝජනාව තව ටිකක් ඉදිරියට ගෙනහිල්ලා සවර්වජන ජන්දබලය කියන එකත් නැති කරලාදාන්න මං යෝජනා කරන්න කැමැතියි,මොකො සල්ලි වැඩියෙන් තියෙන එවුන් කොහොමත් සල්ලි වි‍යදම් කරලා ජන්ද ගොඩ දාගන්න එකනේ.මාගේ යොජනාව සල්ලි තියෙන එවුන් ටිකට විතරක් ජන්ද ඉල්ලන අයිතිය දීලා..හුදී ජනයාව වර්ග කරලා ඒ ඒ පංති අනුව ජන්දය සඳහා නීයමිත මිලක් තීරණය කරන්න.නිදසුනකට ඩොකේගේ ජන්දයක් ලක්ෂයක්ටනියම කරලා ,8 පාස් එකේගේ ජන්දයකට 5000ක් වාගේ ගාණකට නියම කරන්න.
    ඉල්ලන එවුන්ට තියෙන්නේ ජන්ද දවසට සල්ලි ගෙව්වා ජන්දේ ගන්න එක, පොස්ටර් ගහන එක, මරා ගන්න එක කැත වැඩ ඉබේ නතර වෙනවාද බලහන්.අනික ගාණ නියම කරන්නේ ආවටගියාට නෙමේ‍යි සුදුසුකම් මත.
    ඕන්නම් ජන්ද දාන්න එන එවුන්ට ඉල්ලුම වැඩිනම් ගාන උස්සන්න,කළු කඩේ විකුණන්න ,කොච්චර දේවල් පුළුවන්ද?

    ReplyDelete
  3. මගේ මතය: අහෝසි කල යුතුයි!
    හේතු: ශිෂ්‍යත්වය ඇතිකිරීමට බලපාපු හේතු එදා තරම්ම මේ වෙනකොට නෑ. කොලඹ-ගම පරතරය (අධ්‍යාපනය පැත්තෙන්) ටිකක් විතර දිය වෙමින් පවතිනව. ඒකට අනෙක් හේතුව තමයි නගරවල ඉන්න දක්ෂ ටියුෂන් ගුරුවරු නිසා පාසල කුමක් වුවත් ලමයින්ගේ දක්ෂතාවයන් සමාන වෙමින් පවතිනව. දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්වයක් දෙන්න නං වෙනම ක්‍රමයක් ඕන. ඉගනගැනීම (විභාග වලට ලකුණු ගැනීම) කියන කාරණා වලින් බැහැර වෙලා ඒක කරන්න ඕන, මොකද මේ වෙනකොට බොහෝ දෙනා ඉගෙනීමේ අගය වටහාගෙන තියන නිසා ළමයින්ට උගන්වන්න උනන්දුයි. දුප්පත් දරුවෙකුට ශිෂ්‍යත්වයක් දෙනව කියන එක විභාග ලකුණකින් තීන්දු කිරීමට මම නං අකමැතියි.

    අංක දෙක: ලොකු ඉස්කෝල සහ නමට සැලකීම.
    මේක අවුලක්! දක්ෂතාවයට වැඩිය ඉස්කෝලෙ නම ඉස්සරහට ඒම සමාජ ප්‍රශ්නයක්. දැන් තියන ශිෂ්‍යත්වය නිසා මේක වැඩිවීම මිසක් අඩුවීමක් වෙන්නෙ නෑ. මොකද ගමේ ඉන්න දක්ෂ ළමයෙක් ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියා කියල හිතමු. ඊට පස්සෙ ඌ කොළඹ ඉස්කෝලෙ නමට සලකනව මිසක් ගමට සලකන්නෙ නෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න නම් (ඉස්කෝල වල නම්වල පරතරය නැති වෙන්න නම්) ලොකු ලොක්කො ගමෙන් බිහි වෙන්න ඕන. අන්න එතකොටයි පරතරය නැති වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ කමෙන්ටුවට සම්පූර්නම එකඟ වෙනවා... ඒත් එක්කම දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්වයක් දෙන ක්‍රමයක් යෝජනා කිරීමත් උනානං කමෙන්ටුව අංග සම්පූර්ණයි.. කමෙන්ටුවක් හැටියටම නැතත් බ්ලොග් පෝස්ටුවක් හැටියටවත් ලියන්න බලන්න...

      Delete
    2. ඒක එච්චර ප්‍රශ්නයක් නෙවේ මචං. එක්කෝ ඉස්කෝලෙ විදුහල්පතිතුමා නැත්තං ග්‍රාම නිලධාරී ලවා කරගන්න පුළුවන් දෙයක්. මොකද ළමයගෙ/පවුලෙ ආර්ථික තත්වය ගැන අවබෝධයක් ලබාගන්න එක අමාරු කාර්යක් නෙවේ. වාර්ෂිකව ශිෂ්‍යත්වය වෙනුවෙන් වියදම් කරන මුදල මේ වෙනුවෙන් යොදාගත්ත නං "ප්‍රතිපාදන වල" අවුලක් එන්නෙම නෑ.

      Delete
    3. ඔබ සමග එකඟයි රාජ්...අපිත් ඔය ගොන්නට අහුවෙච්ච එවුන්නේ

      Delete
    4. එතනදි රාජ් දරුවාගේ හැකියාව ගැන ප්‍රශ්නයක් එනවා නේද..? මොකද උඹත් මාත් දෙන්නම දන්න විදිහට දුප්පත් වූ පමණින්ම ශිෂ්‍යත්වයක් දීමේ හැකියාවක් කිසිම රජයකට නැහැනේ... ඒත් හැකියාව මැනීම ග්‍රාමසේවකට හරි විදුහල්පතිට හරි බාර කරන්නත් පවතින තත්වයන් යටතේ පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. (අනිවා ගොට්ට අල්ලන උන්ගේ ළමයි ටිකක් නිර්දේශ කරලා දායි)

      Delete
    5. //හැකියාව මැනීම ග්‍රාමසේවකට//
      හෝව් හෝව්! මම කිව්වෙ ආර්ථික තත්වය ගැන! ළමයගෙ හැකියාව නෙවේ. ඒ ගැන මනින්න ග්‍රානි ප්‍රින්සිපල් වගේ කෙනෙක් මිසක් වෙන කෙනෙක් ඉන්නෙ කවුද?
      උඹ කියන දෝශය එතනදි ඇති වෙනව .තමයි. නමුත් ආධාර වැඩපිළිවෙලක් 100%ක් සාධාරණව සිදුකරන්න පුළුවන්ද? මේ කපේදි නං බෑ.

      ආයෙ කිව්වොත් මූලිකවම මම කියන්න උත්සාහ කලේ වර්තමාන ශිෂ්‍යත්වය කියන්නෙ අපි කතා කල දෝශ වැඩිවෙන ක්‍රමයක් මිසක් අඩුවෙන ක්‍රමයක් නොවේ.

      Delete
  4. //දැන්නං රුපියල් සීයකින් දවසක් පන්නන්නත් බැහැ.//

    රුපියල් 2500න් මාසයක් කනව කිව්ව මාරයියමද මේ??

    ශිෂ්‍යත්වය තිබිය යුතුමයි. දරුවන්ගෙ ජිවිතවල හැරවුම් ලක්ෂයක් ඒක. මාර වෙනසක් සිද්ද වෙන්නෙ. මාත් ශිෂ්‍යත්වය පාස් වෙලා වෙනත් පාසලකට ගිහින් ගමේ පාසලෙයි, අලුත් පාසලෙයි තරගකාරිත්වය විඳපු එකෙක්.

    ශිෂ්‍යත්වය කියල, අම්මල තාත්තල ගේම ගහන්න හදන එන තමා වැරදි.

    ReplyDelete
    Replies
    1. //රුපියල් 2500න් මාසයක් කනව කිව්ව මාරයියමද මේ//

      ඒ දවස්වල මූ ඔය වැල්, කොල, අල, මල් කෑවට දැං කන්නෙ ෆොරීන් කෑම. :D

      Delete
    2. //රුපියල් 2500න් මාසයක් කනව කිව්ව මාරයියමද මේ??//

      මං එහෙම කිව්වා..? කොහේද බොල... පුළුවන්නං ඔප්පු කරහං අර බොලැයි ෆොන්සේකා ගොයියා දෙනවයි කිව්ව 10000 මං බොට දෙනවා මාසයක් ගානේ.. ඕ යේෂ්...

      @තිබාසා...
      උඹ හිටු පැත්තකට වෙලා.. :P

      Delete
    3. //රුපියල් 2500න් මාසයක් කනව කිව්ව මාරයියමද මේ??//

      දෙකක් නැහැ ඒ මාරයියාම තමයි. මේ තියෙන්නේ කියලා,

      // එතකොට මේ බන්ධුල ගොයියා කියන්නේ මොකක්ද.. 2500න් බැරිද..?

      පුළුවන්...කවුද බෑයි කියන්නේ..එහෙම බැහැ කියනවනං මං ඒකත් ඔප්පු කරලා පෙන්නන්නං..//

      වැඩි විස්තර සඳහා "මාරයාගේ හෝරාව 2500" යනුවෙන් ගූගල් හී තැපැල් කරන්න........ :D අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මටත් හැරෙන තැපෑලෙන්ම උඩින්ම පිළිතුර ආවා.

      Delete
    4. මං ඒකේ කියලා තියෙන්නේ 2500ක් කනවා කියලද.. නැත්තං 3500න් කනවා කියලද රන්දිලෝ..?

      ඔය කියපු වාක්කිය තියෙන්න ඕන පෝස්ට් එකේ අවසානෙට වෙන්න ඕන.. (මං ඒක බලන්නවත් ගියේ නැහැ) එතනදී මං කියන්න උත්සහ කලේ 2500 න් කන්න පුළුවන් හැබැයි ඒ බත් පාන් වගේ දේවල් නෙවෙයි කියන එකයි... ඒකයි කවුරු හරි කිව්වොත් මං ඔප්පු කරලා පෙන්නන්නං කියලා කිව්වේ.. හුග දෙනෙක් ඔය පෝස්ට් එකේ මං කන ගාන 3500 කියන එක අමතක කරලා 2500 යි කියලා හිතාගත්තට මට කරන්න දෙයක් නැහැ. :P

      Delete
  5. මාත් ඉන්නෙ ඕක අහෝසි කරන්න ඕන කියන මතයෙම තමයි. මොකද අපි ඕක ලියන කාලෙ වගේ නෙමෙයි දැන් තියෙන තත්වෙ. ඉස්කෝලෙ උගන්නන එවුවොම ටියුෂන් කඩ දාගෙන 3 වසරෙදි අලුතෙන් ගුරුවරු මාරුවෙනකොට තමංගෙ පන්තියට ළමයව එවන්න කියල ඉස්කෝලෙ ඇතුලෙම හෑන්ඩ්බිල් බෙදන ශෝචනීය තත්වෙට මේ අටමගල පත්වෙලා තියෙන්නෙ.

    ඉතිං තියෙන එකා කොහොම හරි සල්ලි ටිකක් වියදං කරල (ටිකක්...?) තමංගෙ ළමයව ඕකෙන් ගොඩ දාගන්නව. ඒත් ඒ හැම එකාටම උඹලට වගේ ජීවිතේ අත්දැකීම් දක්ෂකම් අඩුයි. (පොතේ දැනුම විතරයි, ඒකත් කටපාඩමෙං) නමුත් ඊට වැඩිය ප්‍රායෝගික දක්ෂතා තියෙන ඒත් පංති යන්න සල්ලි නැති එවුවො ඕකෙන් ෆේල් වෙලා ගමේ ඉස්කෝලෙම ඉන්නව. උං ඉහළට ගියානං අර කටපාඩමෙං ඉගෙනගන්න එවුවංට වැඩිය දක්ෂතා පෙන්නන්න තිබ්බ.

    මමනං කියන්නෙ ජනප්‍රිය පාසලකට යන්න (අවශ්‍යනම් පමණක්) ඒ පාසලෙන් ඒ වෙනුවෙන් මොකක්හරි ඇගයීම් ක්‍රමයක් පටන්ගන්න ඕන කියලයි. (නමුත් ඔය විභාග තරඟකාරීත්වය අඩු උනාම ඔය ජනප්‍රියයි කියන පාසල්වල තත්වය ඒ තත්වෙ තියෙයිද කියන එක සැකයක්. මොකද ඔය පාසල්වල දක්ෂතා පෙන්වන්නෙ බොහෝ දුරට ගමේ පාසලෙන් ගිය ළමයි.)

    ඔක්කොටම කලින් කරන්න තියෙන්නෙ ඉස්කෝල වල උගන්නන එවුවංට තමං කරන රස්සාව හරියට කරපං කියන එකයි. (කවදාවත් වෙන්නැති වැඩේ)

    ReplyDelete
    Replies
    1. මේකෙදි අවුල තියෙන්නේ ප්‍රසා හැම කෙනාම මේ ප්‍රශ්නේ බලන්නේ තම තමන්ගේ පැත්තට වාසි අවාසි වෙන හැටියට තමා... ගුරුවරයෙක් මේක දිහා බලන්නේ තමන්ගේ අමතර ආදායමට කෙලවෙන සීන් එකක් හැටියට.. ඉතිං මේක අහෝසි කරනවට හෝ වෙනසක් කරනවට විරුද්ධයි.. සල්ලි තියෙන.. ඒත් නිකංම හැම දේම ගන්න බලං ඉන්න මිනිස්සු බලන්නේ දුප්පත් දරුවට තියෙන අවස්ථාව ගසා කාලා හරි මේක හරහා තමන්ගේ ළමයව ඉස්සරහට යවා ගන්න හැටි.. ඉතිං විරුද්ධයි...

      ඒ අතින් උඹ හරි උසස් බුවෙක් ප්‍රසා.. බලහං හෑන්ඩ් බිල් ඕඩර් වලට කෙල උනත් කමක් නැහැ කියලා උඹ මේ ප්‍රහ්නේ හරියට දැකපු හැටි.. :D

      Delete
    2. උඹ ඔය යටිං කියල තියෙන එක මම කියන්නත් ගිහිල්ල නොකිය හිටියෙ. :D

      Delete
    3. :D ආයේ ඉතිං මට මිස් වෙයිද ඔහොම තැන්...

      Delete
  6. යෝජනා ටික හොඳයි. මගේ යෝජනාවක් තමයි ඔය විභාගය 8, 9 වගේ වසරකට දාන්න ඕනි කියලා. එතකොට ළමයින්ට ළමා කාලය අහිමි වෙන්නෙ නැති වෙයි. 8න් 9න් පටන් ගත්තම O/L දක්වාම එක දිගට ඇදගෙන යන්නනේ තියෙන්නේ. නැත්තන් ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් එවුනුත් ඔය අතරමැදි වයසවල් වලදි කාලකණ්ණී වෙනවා...........

    ReplyDelete
    Replies
    1. ඔව් 8 පන්තියත් ඒකට හොඳයි තමා.. අඩුම ගානේ ළුෂයන් බෙදෙන තැනකදීවත් වෙනස් වෙන්නට හැරීම.. හැබැයි එතකොට අපේ අම්මලා තාත්තලා ළමයින්ව බාලාංසේ ඉඳන් 8ටේ පන්තියට එනකල්ම මරං කයි.. හිතනවද “අනේ 8 පන්තියේනේ ඒ විභාගේ තියෙන්නේ මුල් වසර දෙක තුන ඔහේ හිටියදෙන්“ කියලා ළමයින්ට සෙල්ලං කරලා ඉන්න දෙයි කියලා... :D

      Delete
    2. එහෙම කරන්න බැහැ රන්දු. ළමයෙක් හොඳ පාසලකට යවනවා නම් සුදුසු වෙන්නේ පොඩි පන්තියෙකදී. අරමුණ අතින් සුදුසුම වසර 5 මොකද යම් තරමක් තේරෙන ළමයි තමයි පහේ ඉන්නේ. එයට පොඩි පන්තියක මේ වැඩේ කරන්න බැහැ. ලොකු පන්තියක කරොත් ළමයාට හොඳ පාසලට යාහැකි කාලය සීමිතයි.

      Delete
    3. ඒකත් ඇත්ත මාරයා අයියේ.. සහතික ඇත්ත.
      මහා කළු සිංහලයා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා. ඒත් හොඳ පාසලකට යෑම කියන දේ මත තිබුණ තත්වෙටත් වඩා නරක් වෙන ළමයිනුත් ඉන්නවා කියලා මම දැකලා තියෙනවා. එහෙම බැලුවොත් ඒකේ නරක පැත්තකුත් තියෙනවා.

      මේ ප්‍රශ්නේ දිහා එක එක්කෙනා බලන්නේ විවිධ කෝණ වලින්. කවුදෝ කිව්වා වගේ කරන්න තියෙන හොඳම වැඩේ සුපිරි පාසල් කියන සංකල්පය නැති කිරීම විතරයි මෙහෙම බැලුවම......

      Delete
    4. විය යුත්තේ ඒක තමයි.. ඒත් ඒක අපිට බොහෝම ඈතක තියෙන අත්තක් හින්දා ලග තියෙන හොදම අත්තේ එල්ලෙන්න තමා හොයන්න වෙලා තියෙන්නේ...

      Delete
  7. පිස්සු විකාර.

    අහෝසි කරනව නම් හොඳයි කියන අයට කියන්න තියෙන්නෙ
    නමක් තියෙන පාසලක් සහ ඒ හරහා ලැබෙන දේවල් එහෙම උනොත් වරප්‍රසාද ඇති පංතියකට පමනක් සීමා වෙනවා.
    කවදාවත් හැකියාව තියෙන දක්ශ දුප්පත් හෝ සාමාන්‍ය පංතියේ දරුවෙකුට එවැනි තැනක තිබෙන පහසුකම් සහ එවැනි පාසලකින් තමන්ට ලැබෙන දේ ලබා ගන්න ලැබෙන්නෙ නෑ. ( කවුරු කොහොම කිව්වත් ඔය දෙකේ තියෙන පහසුකම් වල ලොකු වෙනස් කම් තියෙනව අදටත් )
    ඔය කියන පාසල් ආරම්බ කරල හෝ වැඩිදියුනු කරල ඉවරවෙලාද විබාගේ අහෝසි කරන්නෙ?
    ඔය කොච්චර පාසල් දියුනු කලත් සමාජයේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවෙකුට තියෙන තැන අර හෝමගම තියෙන මහින්ද රාජපක්ස විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවෙකුට ලැබෙනවද?
    ඒ සමාජ මතය අවුරුද්දකින් දෙකකින් නෙමෙයි අවුරුදු 20 කින් වත් වෙනස් වෙයි කියල හිතනවද?
    ඉතින් දක්ශ සාමාන්‍ය පංතියෙ දරුවෙකුට අර අවස්ථාව නැති කරල දාන එක හරියි කියල කියන්නෙ ඇයි?
    ඔය කොච්චර පහසුකම් දුන්නත් සමාජයේදි පාසලකට ලැබිල තියෙන පිළිගැනීම කාටවත් දෙන්න බෑ. ඒවා ඒ පාසල් විසින් කාලයක් තිස්සෙ ගොඩ නගා ගත්තු දේවල්.

    පහේ විබාගේ ළමයි ට අභාගයක් කරලතියෙන්නෙ දෙමාපියෝ සහ ඔය ටියුසන් ගුරු හොරු අන්න එතැනට පිලියමක් යොදනව වෙනුවට බන්දුල හැමදාම කරනව වගේ කරල තියෙන්නෙ මුට්ටිය ගලව ගන්න එළුවගෙ බෙල්ල කපන්න ඕනි කියල තීරනය කරපු එක.

    ReplyDelete
    Replies
    1. නිශ්,
      ඉස්කෝලෙ "නම" කියන්නෙ සාපේක්ෂ දෙයක්. නම බලපාන්නෙ රැකියාවකදි විතරක් නෙවේ. උදාහරණයක් විදියට බෙලිඅත්තෙ තියන රුහුණු විජයබා විද්‍යාලයේ දරුවෙක් අවුරුදු දෙකකට විතර කලින් 5 ශිෂ්‍යත්වයෙන් ලංකාවෙ එකවුනා. ඊට පස්සෙ හම්බන්තොට හැම එකාම බැලුවෙ තමුන්ගෙ ළමය ඒ ඉස්කෝලෙට භාරදෙන්න. මේ වෙනකොට ඒ ඉස්කෝලෙ ගැන තිබුනු කතාබහ සෑහෙන්න අඩුයි. ගිය අවුරුද්දක උපෙල විද්‍යා ගණිත පළමු දෙන්නම වීරකැටිය රාජපක්ෂ ඉස්කෝලෙන්. මෙදා සැරේ ශිෂ්‍යත්ව ලකුණු එකසිය හැත්තෑ ගනනක් දක්වා ඉහල ගියා ඒ ඉස්කෝලෙ. නිකමට හිතල බලන්න පිට පළාත්වල (විශේෂයෙන් ගාල්ල මාතර) ළමුන් කොච්චර නං විභාග වලින් ඉහල ඉන්නවද කියල. ඒකට හේතුව "පාසල්" සාධකය එන්න එන්නම දියාරු වෙමින් පැවතීම. සමහර විට කොළඹ ළමයින්ට උගන්වන ගුරුවරයා හද්ද පිටිසරත් ටියුෂන් කරනව. ටියුෂන් වල නරක පැති ඇතත් මේ වගේ හොඳ දේවලුත් තියනව.

      ඔය පහසුකම් කියන දේ සමාන වෙන්න නං කොමියුනිස්ට් ආණ්ඩුවක් එන්න වෙනව. එතකල් සමාන වෙයි කියල හිතන්න බෑ. නමුත් රටේ හෑම ‍ප්‍රදේශයකින්ම දක්ෂයන් බිහිවෙලා ඔවුන් තමන්ගේ පාසලට යම් සේවයක් කිරීම ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

      උදාහරණයක් විදියට මම ඉගනගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලේ මේ වනවිට තත්වය යම් තරමකට හොඳයි.

      මේක අහෝසි කරනව නං දැන් කාලය හරි. නැත්තං පොඩි එවුන්ව මරාගෙන කන ක්‍රමය දිගටම තියේවි.

      Delete
    2. ඔය කියන දියාරුව වෙලානම් රාජ් අදටත් පළවෙනි පංතියට ළමයෙක් දාගන්න අම්මල තාත්තල ඔච්චර බොරු කරගෙන වියදම් කරගෙන ලිංගික අල්ලස් පවා දීගෙන දඟලන්නෙ නෑ.

      ඔය කියන පාසල් දෙකේ ඉගෙනගන්න දරුවන් ගෙ දෙමාපියන්ගෙන් නිකමට අහන්නකො දරුව රාහුලේට යවන්න අවස්තාව තියෙනව මොකද කියන්නෙ කියල. අන්න එතකොට ඔය දියාරු කතාවට උත්තරේ ලැබෙයි. අනික පහුගිය කාලේ අධ්‍යාපනය අතින් ඉහල දස්කම් නොදැක්වූ ජනප්‍රිය පාසල් ගොඩක් අදටත් සිස්සත්වෙ මායිම් ළකුනු වල ඉහලින් ඉන්නව.
      අනික ඔය ඇතිකරල තියෙන තරගය පහේ සිස්සත්වෙට විතරක් නෙමෙයි ඒක මෙලෝ හසරක් නොදන්න එක වසරෙ දරුවටත් තියෙනව. හොයල බලන්න එක වසරෙ ළමයින් අද ටියුසන් යනව. අන්න ඒවයි තහනම් කරන්න ඕනි. එහෙම නැතුව ළමයෙක්ගෙ අවස්ථාව නැති කරන එක නෙමෙයි.

      මම ඔය විභාගේ නිසා ලබාගත්ත දේවල් බොහොමයි ඒ දේවල් කිසිම විටෙක මත නොලැබෙන්න තිබ්බ එසේ නොවුනා නම්. ඉතින් මන් අදටත් කියන්නෙ මන් වගෙම තවත් දරුවෙකුට ඒ දේ ලබාගන්න අවස්තාව තියෙන්න ඕනි.
      පාසල් වල නම කියන එක නැති කරන්න බෑ රාජ්. ලෝකේ බොහෝ දියුනු රටවලත් අදටත් තියෙන දෙයක් ඒක. ( කියනවනෙ ඉතින් ඔය රටවල් වල අධ්‍යපනෙ හරි දියුනුයි හැමෝටම සමාන තත්වයේ පහසුකම් තියෙනව කියල )

      Delete
    3. නිශ්ට කියන්න තියෙන්නේ ආයෙම වතාවක් මං කිව්ව දේ කියවන්න කියලා තමයි.. :D

      අංක එකෙන් මං නැවතුනේ නැත්තේ ඒක සාර්ථක නැති හින්දා නේන්නං... ඕනනං අංක දෙක ගැන කතා කරන්න.. නැත්තං අංක 3 ක් ගැන යෝජනා ගේන්න...

      Delete
  8. හරි ...

    ඉස්සෙල්ල දේශපාලනේ , බන්දුල තරං අතීසාරෙට අමුඩෙ ගහන ඇමතියෙක් ලොවෙත් නැත...

    දැන් බහිමුකො සබ්ජෙක්ට් එකට...

    මම ඔය විභාගයට පක්ෂයි .. මගේ ජීවිතේට ලෝකෙ විවෘත වුනේ ඔය විභාගෙ නිසා... මම ලියපු අවුරුද්දෙ රත්නපුර දිස්ත්‍රික්කෙ පළමුවෙනිය මම , ලංකාවෙන් දහසය වෙනිය.. ඒක නිසා මට ලැබුන පාසැල සහ ඒ තුලින් ලැබුණ අද්යාපනය ( විභාග පාස් කර නොගැනීම වෙන කතාවක් ) නිසා තමයි මම අද ලබාගෙන තියෙන යමක් තියෙනවනම් ලබාගෙන තියෙන්නෙ... ඉතින් ඒක තව එකෙකුට ලබා ගන්න තියෙන අවස්ථාව අහෝසි කල යුතුයි කියන්න මට බෑ...

    මම ඔය මාරය කියන පාසැල් වරග කරල මේක කරමු කියන ක්‍රමේට විරුද්ධයි.. ලමයෙක් පොඩි කාලෙ ටිකක් හොඳ පාසැලකට යාම පස්සෙ ඊට වඩා හොඳ පාසැලකට යන්න බාධාවක් විය යුත්තෙ ඇයි... [ හොඳ පාසැල් නරක පාසැල් කියල නැත්නම් හොඳයි .. ඒත් එහකං]

    ඒත් ඕක ටිකක් ලොකු පන්තියකදි තියන්න ඕන කියල ආපු කොමෙන්ටුවට එකඟයි ... මාරෙ කිව්ව වගේ ඒ පොඩි වයසෙදි ඇතිවෙන වෙනස්කම් රාශිය එකපාර දරාගන්න එක අමාරුයි ... උදාහරණයක් හැටියට පොඩි කාලෙ ඉතාම ක්‍රීඩාශීලී ලමයෙක් වෙච්ච මම ඔච්චර ක්‍රීඩා පහසුකම් තියෙන පාසැලකට ඇවිල්ලත් ක්‍රීඩා කියන පැත්තෙන් එහෙම්මම ඈත් වෙලා පොත් ගුල්ලෙක් වුණා... මම හිතනව හතේ පන්තිය විතර හොඳයි..

    ReplyDelete
    Replies
    1. බන්දුලට මංනං හරිම කැමතියි.. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි.. අධ්‍යාපනය පමණක් මිනිහෙක්ව සාර්ථක කරවන්නේ නැහැ කියන එකට තියෙන හොදම ජිවමාන උදාහරණය ඔය යකා වීම නිසා.. :D

      මාත් මේ විභාගයට එකඟයි.. රටේ සෑම විදුහලක්ම සමාන තත්වයකට එනතාක් කල්...

      අහෝසි කල යුතුයි කියලා මං කියන්නෙත් ඒ තත්වෙට ආවම පමණයි.. ඒක වෙන්නේ නැති දෙයක් නිසා මමත් මේකට පක්ෂයි.. හැබැයි පවතින ක්‍රමය වෙනස් විය යුතුයි.. මේක ළමයි මරාගෙන කන ක්‍රමයක් මේ වෙද්දී.. අර උඩින් නිශ් කියලා තියෙනවා වගේ මේකේ අවුල තියෙන්නේ ක්‍රමය බඩගෝස්තරයක් කරගත්ත ගුරුවර පෙලැන්තියයි.. අවුලක් කර ගත්ත දෙමාපියන් පිරිසකුයි නිසා..

      වර්ගීකරණයක් ගැන කතා කලේ “පවතින තත්වය යටතේ කල හැකි“ කියන තත්වයේ සිට පමණයි. අඩු පාඩු තියෙනවා.. ඒ නිසයි මං යෝජනා කලේ 3... 4... කියන ක්‍රම ගැන කියන්න කියලා...

      //මම ඔය විභාගයට පක්ෂයි .. මගේ ජීවිතේට ලෝකෙ විවෘත වුනේ ඔය විභාගෙ නිසා... මම ලියපු අවුරුද්දෙ රත්නපුර දිස්ත්‍රික්කෙ පළමුවෙනිය මම , ලංකාවෙන් දහසය වෙනිය.. ඒක නිසා මට ලැබුන පාසැල සහ ඒ තුලින් ලැබුණ අද්යාපනය ( විභාග පාස් කර නොගැනීම වෙන කතාවක් ) නිසා තමයි මම අද ලබාගෙන තියෙන යමක් තියෙනවනම් ලබාගෙන තියෙන්නෙ... ඉතින් ඒක තව එකෙකුට ලබා ගන්න තියෙන අවස්ථාව අහෝසි කල යුතුයි කියන්න මට බෑ...//
      මගේ තත්වය ඔය කියන දේට වඩා වැඩි වෙනසක් නැත.. :D

      //මම ඔය මාරය කියන පාසැල් වරග කරල මේක කරමු කියන ක්‍රමේට විරුද්ධයි.. ලමයෙක් පොඩි කාලෙ ටිකක් හොඳ පාසැලකට යාම පස්සෙ ඊට වඩා හොඳ පාසැලකට යන්න බාධාවක් විය යුත්තෙ ඇයි...//

      ඒක බාධාවක් නොවිය යුතුයි... නමුත් මූලිකවම අරමුණ විය යුතු කිසිවක්ම නැති එකාට තියෙන එකම මාර්ගය වසා දමා..අවහිර කොට.. ටිකක් හෝ තියෙන/ ඉහටත් උඩින් තිබියදී තව තවත් සොයන... කියන ගොන්නටම පමණක් වාසි සලසන ක්‍රමය අහෝසි කිරීම ගැනයි මං කතා කරන්නේ...

      Delete
  9. පොදුවේ වැඩි පිරිස මිනිසුන් නොව ගොං හරක් වෙච්චි රටකට 2වෙනි යෝජනාව කොහෙත්ම සුදුසු නැත. ඒකෙං වෙන්නෙ තියෙනවටත් වඩා අවුලක් කියලයි මට හිතෙන්නෙ. දෙවෙනි යෝජනාව සුදුසු වෙන්නේ මනසින් මීට වඩා ගොඩාආආආක් දියුණු මිනිස්සු ජීවත් වෙන රටකට පමණයි.
    මේ මල ඉලව් සිස්සත්තෙ නවත්තපු එක ගොඩක් හොඳයි. ඒත් ආන්ඩුව ඒක නවත්තන්නෙ මේ විභාගෙ නිසා වෙලා තියෙන සමාජීය අවුල නිවැරදිව තේරුං අරගෙන නං නෙමෙයි. උං ඒක කරන්නෙ හරක් විසින් පත්කරගත් ආණ්ඩුවක සිටින හරකුන් කරනා තවත් එක් ක්‍රියාවක් ලෙස පමණයි.
    මමත් සිස්සත්තෙං ලොකු ඉස්කෝලෙකට ගිය එකෙක්. ඒත් හිටපු ඉස්කෝලෙත් ලොකු ඉස්කෝලයක්. සිස්සත්තෙං ලොකු ඉස්කෝල වලට ගියපු ගොඩක් අයගෙ අදහස ඒක නවත්තන එක සාධාරණ නොවන බවයි. ඒත් මට කියන්න තියෙන්නෙ නං තමංගෙ ජීවිතේට සාපෙක්ශව සීතීමට ලඝු නොවී ඊට වඩා පුලුල් මනසකින් මේදිහා බලන්න කියලා. පොදුවේ ලංකාවෙ ලමයි වැඩි පිරිසකට තමංගෙ ලමා කාලෙ නැතිවෙලා යන්න ලොකුවටම බලපාන හේතුවලිං එකක් තමා මේ විභාගෙ. ඒ එක්ක සමාජීයව ගොඩනැගිල තියෙන අවුල් හරියට විචාරශීලිව බලනවනං ඒව කොච්චර විකාරරූපීද කියලා පේනවා. සිස්සත්තෙ පටං ගත්ත කාලෙ ඒ විභාගෙ පටං ගැනීමේ අරමුණු හරියට වෙන්න ඇති. නමුත්, යම්කිසි කාලෙකට පස්සෙ එදා සිට අද දක්වා ශිෂ්‍යත්ව විභාගය යනු.., කිසිම ආර්ථික හෝ සමාජ භේදයකින් තොරව පුහු ආටෝප පුරවා ගත් සමාජ තත්වයක් උදෙසා ලමයෙකුගේ ජීවිතයට බලෙන් තබන මුල්ගලක් පමණයි. ඇත්තටම මේ විභාගෙන් ප්‍රයොජන ගත්තු ලමයි නැතුවා නෙමෙයි. නමුත් කිසිම ප්‍රයොජනයක් නොලද සහ ප්‍රයොජන ලැබුවා යයි සිතා සිටින පිරිසයි වැඩි.
    මේ ආණ්ඩුව දිගටම තිබ්බත්, වෙනස් උනත් රට කරන්න එන්නෙ හරක් සෙට් එකක්ම තමයි. ඉතිං අධ්‍යපනය තියා කිසිම දේකට, වඩා දීරදර්ශීව ගන්නා තීරණ බලාපොරොත්තු වෙන්න බෑ. මාරයාගේ පලමු යොජනාවේ අවසානයට කියනවා වගේ අධ්‍යාපන තත්වය සමානයි කිව හැකි තැනට පාසල් පද්ධතිය දියිණු කිරීමට රට කරන උං අවංකවම ටිකක් හරි වෙහෙසෙනවානම් ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ සමාන වීමම තමා.. නමුත් රට දුවන හැටි.. (කොයි ආන්ඩුව යටතේ උනත්) අපි දන්නවා නෙව... එහෙම තත්වයකදී කල හැක්කේ වඩාත් හොඳ.. ක්‍රියාත්මක කිරීමට හැකි.. විරෝධතා අවම වන ක්‍රමයක් යෝජනා කිරීම පමණයි... මේ එහෙම උත්සහයක් පමණකි..

      ස්තූතියි අදහසට...

      Delete
  10. ශිෂ්‍යත්වය අහෝසි කලයුතුයි.. නමුත් ඒකට කාලය තාමත් උදා වෙලා නෑ..

    මේ දේවල් මේ විදියට කරන්නෙම අද්‍යාපනය පෞද්ගලීක්කරණය කරන්න තියන උවමනාවටමයි කියල මට හිතෙන්නෙ ..

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ ශිෂ්‍යත්වය යනු තව දුරටත් උවමනා නැති දෙයකි යන තරමට සෑම විදුහලක්ම දියුණු වීම තමයි... එහෙම කාලයක් කවදාවත් උදා වෙයි කියලා හිතන්නත් අමාරුයි.. (සමහර විට කියන්න බැහැ..යුද්ධෙත් දිනන්න බැහැ කියලා කියපු රටක් නෙව)

      අපි කොහොම කිව්වත්.. මොන ආණ්ඩුව ආවත් ඉදිරි අවුරුදු විස්ස තුලදී අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනවා සමී... ඒක නවත්තන්නනං මේ රට ගලෝලා ගෙනිහිං අඟහරු ලෝකෙවත් හයි කරන්න වෙනවා...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. තමන්ට ශිෂ්‍යත්වය ඒකාලෙ ලෑබුන නිසාම ඒක දෑනුත් හොඳයි කියන තර්කය වෑරදියි නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම තර්කයක් මං ඉදිරිපත් කරලා තියේද..?
      පොදුවේ මං කැමතියි මේක අහෝසි වෙලා යනවට.. හැබැයි ඒ රටේ සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් ලැබුනු දවසක.. ඒ හැර මට ලැබුනු හින්දා මේක තියෙන්න ඕන කියන තැනනං මං නැහැ.. බන්ධුලයට ඕන හින්දා අහෝසි කරන්න ඕන කියන තැනත් නැහැ...

      Delete
  13. ඔය ඔක්කොම කරන්න කලින් මේක කලා නම් මරු ..අධ්යාපනේට සම්බන්ධ තැං වල ඉන්න උන් සෙට් එකම එකතු කරලා උන්ට ඔය 5 වසර විභාගෙ තියලා බලපං. කොහොමට හිටීද කියලා.. මන්දා බං මේ රටේ ඕනම දෙයක මුල් පුටුවට යන්නෙ එක්කෝ පිස්සෙක් නැත්තං හොරෙක්.. ඉතිං එහෙම උනාට පස්සෙ ඔතනින් පහලට හැදෙන්නෙත් එක්කෝ පිස්සෝ එක්කෝ හොරු..

    බන්දුල ගැන කියනවනම් .. ඕකා ඉපදුනාට වඩා හොදයි.. #$%$^^

    ReplyDelete
    Replies
    1. පහේ විභාගේ ලියන්න..? මේ මුං.. උඹට පිස්සුද.. එක පාරක් අර සිරසෙන් කරපු පහේ පංති වැඩෙටත් මංතිරිලා ගිහින් නෝන්ඩි වෙන එක නැවැත්තුවේ මහින්ද ලොක්කා කිවුවට පස්සේ.. :D

      Delete
  14. ශිෂ්‍යත්වය මගින් ළමයකුගේ දක්ෂකම ප්‍රමාණවත් මට්ටමකට බැලිය හැකිද? ශිෂ්‍යත්වය යනු විෂය නිර්දේශයකට කොටුවූ විභාගයක් පමණි. එය නිවැරදි බුද්ධි පරීක්ෂණයක් නොවේ. එය කොටුවූ රාමුව තේරුම් ගත් කෙනෙකුට පහසුවෙන් සමත් විය හැක. එම නිසා උපකාරක පන්තී මගින් ළමයා මහන්සි කර සමත් කළහැක. එමෙන්ම ශිෂ්‍යත්වය සමත්ව ජනප්‍රිය පාසල් වලට යන පිරිසෙන් හැමෝම ඉහලට නොයන අතර මෙය අසමතුන් සාමාන්‍ය පාසල් වල සිට ඉහලට යාමද සිදුවේ. එබැවින් මගේ මතය අනුව මෙමගින් දක්ෂ කම මැනිය නොහැක. එබැවින් විසදුම නම් විෂය නිර්දේශයකට කොටු නොවූ සැලසුම් කරන ලද බුද්ධි පරීක්ෂණයක්.

    ශිෂ්‍යත්වය සමත් හැමෝටම ජනප්‍රිය පාසල් වලට නොහැකි වන අතර ජනප්‍රිය පාසල් වලට යා හැක්කේ ශිෂ්‍යත්වය සමත් අයට පමණක් නොවේ. එනම් ශිෂ්‍යත්වය සමත්ව ජනප්‍රිය පාසල් වලට යා නොහැකි පිරිසට අසාධාරණයක් සිදුවේ. එය මගහැර වීමට නම් ජනප්‍රිය පාසල් වල පන්ති පැවතිය යුත්තේ 6 න් ඉහල වන අතර ගත යුතු සියලු ළමයි ශිෂ්‍යත්වය සමත් අය පමණක් විය යුතුය. ඉල්ලුම් කරන ලද ශිෂ්‍යත්වය සමත් ළමයි ටික පාසලට ප්‍රමාණවත් නොවේ නම් ශිෂ්‍යත්වය ලකුණු මත අසමත් අය තෝරා ගත යුතුය. එවිට ජනප්‍රිය පාසල් වලට දක්ෂයන් පමණක් එන නිසා වැඩි තරගය තුලින් විශිෂ්ඨ පුද්ගලයන් බිහිකර ගත හැක.

    මෙම අසාධාරණයට හොඳ උදාහරණයක් ලෙස රෝයල් එකට ශිෂ්‍යත්වය සමත් ළමයි ගන්නේ 186 ලෙස සිතන්න. රෝයල් එකේ 186 වඩා ලකුණු ගත් ශිෂ්‍යත්වය සමත් ළමයි මෙන්ම එයට අඩු ලකුණු ගෙන ශිෂ්‍යත්වය සමත් ළමයි සහ අසමත් ළමයි සිටී. එම විද්‍යාලයට 186 වඩා ලකුණු ගත් ශිෂ්‍යත්වය සමත් ළමකුට පිටත පාසලක සිට යා නොහැක්කේ රෝයල් එකේ සිටින ශිෂ්‍යත්වය අසමත් සහ අඩු ලකුණු ලබාගත් ළමයින් සිටින නිසාය. එම ළමයි 1 වසර හෝ කුඩා පන්තිවලදී ආසන්න නිසා හෝ වෙනත් නිර්ණායක නිසා හෝ අයතා ක්‍රමවලින් පැමිණි ළමයි වේ. එබැවින් පැහැදිලිව පිරිසකට අසාධාරණයක් වේ. මෙවර ශිෂ්‍යත්වය ලකුණු 200 ගෙන සමත් වුවත් ළමයින් පිරී සිටීම නිසා ළමයෙකුට යා නොහැකි පාසල් කිහිපයක් විය. මාතර රාහුල ඉන් එකක් වේ. එහි අසමත් ළමයි සිටියත් ශිෂ්‍යත්වය සමත් අවට පාසලකට යන දරුවෙකුට එම විදුහලට යා නොහැකි වීම පැහැදිලි අසාධාරණයකි. එමෙන්ම ශිෂ්‍යත්වය සමත් වන්නේ දක්ෂයන් යයි සිතුවොත් එම පහසුකම් සහිත ජනප්‍රය විදුහල් වල අදක්ෂ සිසුන් සිටීම තරගය අඩුවීමට හේතු වනවා සේම රජය කරන නිෂ්ඵල ආයෝජනයකි. ඵලදායක අද්යාපන ආයෝජනයක් සඳහා නම් විය යුත්තේ දක්ෂයන්ට සුපිරි පහසුකම්. අන් අයට ප්‍රමාණවත් පහසුකම් ලබා දීමයි.

    නොදකින මානයක් දැන ගැනීමට මහා කළු සිංහලයා බ්ලොග් එකට එන්න

    ReplyDelete
    Replies
    1. තර්කයක් වශයෙන් හරි , කරුණක් හැටියට වැරදියි .. රෝයල් එකේ පළමු වසරේ ඉඳන් ඉන්න ළමයි ශිෂ්යත්ව විභාගයට ලියන්නේ නැහැ..

      Delete
    2. පලමු ඡේදයට එකගයි.. අනිත්වාට කියන්න තියෙන්නේ සපා කියලා තියෙන දේ තමා.

      Delete
    3. @සපතේරු උන්නැහේ
      //රෝයල් එකේ පළමු වසරේ ඉඳන් ඉන්න ළමයි ශිෂ්යත්ව විභාගයට ලියන්නේ නැහැ// එහෙම නම් එම සිසුන් දේ දක්ෂ කම ශිෂ්‍යත්වය වැඩි ලකුණු වලින් සමත් ළමයි ගේ දක්ෂ කම සමග තාර්කිකව සමාන යයි සලකනවා සමානයි නේ. එහෙම නම් එයත් ශිෂ්‍යත්වය සමත් එම පාසලට එන්න බැරිවූ ළමයින්ට කරන අසාධාරණයක්.

      මගේ කතාවේ සාරාංශය නම් හැම පාසලක්ම සමාන කිරීම ප්‍රයෝගික නැහැ. නමුත් දක්ෂ ළමයින්ට තරගකාරීත්වයක් ඇති කිරීමට ඔවුන් සඳහා වෙන්වූ පාසල් තිබිය යුතුයි. දක්ෂයන් තෝරාගන්න ශිෂ්‍යත්වය බුද්ධි පරීක්ෂණයක් ලෙස තියනවා එතනින් වැඩි ලකුණු ගත් පිලිවලට සුපිරි පාසල් දෙනවා. ඒ වගේම සුපිරි පාසල් වලට ළමයි වෙනත් ක්‍රමයකට ගන්නේ නැහැ. එක නිසා එම පාසල් වල පන්ති 6 සිට ගෙනයනවා. එවිට සුදුස්සාට සුදුසු තැන වරප්‍රසාද වලින් ස්වායක්තව ලැබෙනවා.
      අනෙක් පාසල් වල 1 සිට උසස් පෙළ දල්වා පන්ති ගෙනියනවා. මේක අලුත් තර්කයක් නොවේ මෙම තර්කයෙන් තමයි මහා විද්‍යාල බිහිවුනේ. මෙතනදී පුද්ගල වාසි තකා එවකට තිබුණු සුපිරි පාසල් වල 6 පහල පන්ති ඉවත් කිරීමට බැරිවිය. එය ක්‍රියාත්මක වුවා නම් ශිෂ්‍යත්වයේ අරමුණ සත්‍ය වේ. එහෙම නම් ශිෂ්‍යත්වය ඉවත් කිරීම පාඩුවකි.

      Delete
    4. දැනට ශිෂ්‍යත්වය අහෝසි කිරීමෙන් වන්නේ කුමක්ද? දැනට පවතින සුපිරි ලෙස සම්මත පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමට එම පාසල් අසල ජීවත් වීම, දෙමවුපියන් ආදිශිෂ්‍ය වීම, රජයේ/ආරක්ෂක අංශයේ ඉහල රැකියාවක් කිරීම වැනි වරප්‍රසාද පමණක් හේතු කාරක වීමයි එතන දක්ෂ කමට තැන නොදේ. එමගින් සිදුවන්නේ දක්ෂ වුවත් වරප්‍රසාද රහිත සිසුවෙකුට සුපිරි පාසලකට යාමේ වාසනාව අහිමි වීමයි. කවුරු කෙසේ කීවත් සෑම පාසලක්ම පිළිගැනීම අතින් කොළඹ රෝයල් හෝ විශාකා නොවේ.

      හැබැයි ශිෂ්‍යත්වය අහෝසි කර වසර 15-20 යනවිට ඔය සුපිරි යයි සම්මත පාසල් වලින් දක්ෂයන් බිහිවීම සීමා වීම මගින්. ග්‍රාමීය ම්හාවිද්යාල මාධ්‍ය මහා විද්‍යාල මට්ටමටම ඔය කියන සුපිරි පාසල් පත්වේ. එබැවින් දිගටම මෙවැනි අහෝසි කිරීමක් පැවතුනහොත් අනාගතය යහපත් වේ.

      Delete
    5. එසේ වන්නේ සියලු පාසල් වල පිළිගැනීම සමාන විට සියලු ළමයින් අසල පාසලට යෑම සිදුවේ. එවිට ළමයින් මත පීඩනය අඩුවේ නිදහසේ ඉගෙන ගැනීමට පහසුව සැලසේ. පරිපුර්ණ අධ්‍යාපනයක් ලැබේ

      Delete
  15. මාත් සිස්සත්වෙ ෆේල් වෙලා ගමේ ඉස්කෝලෙම ඉදල කුලි වැඩට ගියපු එකෙක්
    මගෙ පුතාවත් ශිෂ්‍යත්වය පාස්වෙයිද ඒත් කුළි වැඩට යන්ඩ වෙයිද කියල බයයි

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ශිෂ්‍යත්වය අසමත් නමුත් ඉහලට ගිය අය කොතරම් ඉන්නවා ද?

      Delete
    2. ශිෂ්‍යත්වේ කියන්නේ හැම දෙයක්ම නෙවෙයි බං...

      Delete
  16. සමස්ත ක්‍රමයේ වෙනසක් ඇතිවිය විය යුතුයි කියන එක තමයි මෙතන අදහස් දක්වපු බොහෝ දෙනාගේ අදහස. මගේ අදහසත් එයයි.

    ReplyDelete
    Replies
    1. පොදු මතයට ගරු කල යුතුයි...

      Delete
  17. මං සිස්සතවය ෆේල් වෙච්ච එකෙක්.
    ඒත් මම කැමැතියි ඕක පවතිනවට. ඔය තරඟය කියලා කියන දේ එදත් තිබ්බා අදත් තියනවා හෙටත් තියෙයි. ප්‍රමාණිකව ජනප්‍රිය පාසල් වල පහසුකම් වැඩි වෙලා ..ඒ කාලේ ගන්න ප්‍රමණායට වඩා දැන් ගන්න ප්‍රමාණය වැඩියි. ඒ කාලේ ජනප්‍රිය නැති පාසල් දැන් ජනප්‍රිය වෙලා. ඒ කාලේ ජනප්‍රිය පාසල් දැන් ජනප්‍රියතාවය අඩු වෙලා.

    ජනගහනය වැඩි වෙලා, සන්නිවේදනය දියුණු වෙලා. එදා තිත් වගේ තිබ්බ සිද්ධි අද වෙනකොට ජනමාධ්‍යෙයන් විශාල කරලා පෙන්වනවා. ළමයාට හොද ඉස්කොලෙකට දාන්න තියන එකම ක්‍රමය තමයි සිස්සත්වය.( ලිංගික අල්ලස් නැතිව)

    සිස්සත්වෙන් පාස් උනත් ඔය කියන ලොකු ඉස්කෝලවලට දාද්දි, පාසලට පොඩි ආධාරයක් කරනවා නේද?

    සිස්සත්වය වෙනුවෙන් මම පෙනි සිටිමි. නමුත් ක්‍රමය සුට්ටක් වෙනස් කරන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. //සිස්සත්වෙන් පාස් උනත් ඔය කියන ලොකු ඉස්කෝලවලට දාද්දි, පාසලට පොඩි ආධාරයක් කරනවා නේද? //

      අපේ කාලෙනං එහෙම උනේ නැහැ.. මං කියන්නේ නාලන්දේ.. අනිත්වානං මං දන්නේ නැහැ..

      අවසානයට කියලා තියෙන දේ හරි..

      Delete
  18. ශිෂ්‍යත්වය පවත්වන සහ නොපවත්වන පාසල් වර්ගීකරණය කළත් ගැටළුවක් එනවා නේද ළමයාට දරන්න වෙන පීඩනය සම්බන්ධව..? මොකද ශිෂ්‍යත්වය පවත්වන කොටසට අයත්, සුපිරි නොවන පාසල් වල ළමයි තමයි මෙතනදි දරුණුම පීඩනයකට මුහුණ දෙන්නේ..මමත් 5 වසර වෙනකන් හිටියේ දුෂ්කර නොවුණත් ප්‍රාථමික පාසලක.. ඒක සම්පූර්ණයෙන්ම විභාග මූලික ඉගැන්වීම් රටාවක්.. විෂය බාහිර දේවල් ඇත්තෙම නෑ.. (හැබැයි ඉහළම ලකුණු ලැබෙනවා බොහෝ විට) එතනින් පාස් වෙලා කොළඹ සුපිරි පාසලකට ඇවිත් බැලුවම ඒ පාසලේ ළමයින්ට පීඩනයක් ඇත්තෙම නැති තරම්.. බොහෝ අය විභාගෙට මුහුණ දෙන්නෙවත් නෑ.. මුහුණ දුන්නත් ඒ බොහොම සැහැල්ලුවෙන්.. මන්දා මට දකින්න ලැබුණු දෙයක්... :)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න නැති තැනක් නැහැ.. උත්සහ කල යුත්තේ එය අවම මට්ටමක තැබෙන වැඩ පිළිවෙලක් ගැනයි...

      Delete
  19. ගහක් ගලක් ගානේ ජාත්‍යන්තර පාසල් දමාගෙන, මැද පෙළ ළමයින් ටික ඒකට අද්දනවා.
    යටි පෙළ පොඩි පොඩි ඉස්කෝල වලට, ඉහළම පෙළ හොඳ ම රජයේ පාසල් වලට.
    මැද පෙළ ඉන්න අයට දරුවෙක් හොඳයි කියලා හිතෙන පාසලකට දාගන්න අටෝරාසියක් ලිපිගොනු හදන්න වෙලා.

    රස්සාව කරන්න ඕනැ, ඒක කර නොගත්තොත් සේරම හබක්. ඒ අස්සේ මේවට දුවන්න කෝ වෙලාවක්?

    අර කිව්වා වගේ නමක් තියෙන පාසලක් හැම තැනදිම වාගේ වැදගත් වෙලා තියෙනවා. වෙන එකක් තියා තැනකට ගිහින් වැඩක් කරගන්න ගියහම අඩුම ගානේ ඉස්කෝලේ ඉගෙන ගත්ත එක්කෙනෙක් හරි හමු වෙනවා.

    ශිෂ්‍යාධාර මුදල එතරම් වැදගත් නොවී, ලැබෙන පාසලේ නම වැදගත් වුනු මැද පෙළ තමයි අන්තිමට පව් වෙන්නේ.

    මේ හැම ක්‍රීඩාවම (ගේම ම) ගේන්නේ මැද පෙළ ළමයින් ජාත්‍යන්තර පාසල් වලට ගාල් කිරීමේ අවසාන අරමුණ එල්ල ‍කරගෙනයි කියලා හිතෙන්නේ නැද්ද?

    ජාත්‍යන්තර පාසල් වල හිමිකරුවන් කවුද? හවුල් කරුවන් කවුද කියන එක හොයලා බැලුවොත් ඒක එහෙම තමයි කියලා හිතෙනවා.

    ඉතිං ඔය වාතාවරණය යටතේ ජනතාවට යහපතක් සැලසෙන ක්‍රමවේදයක් වෙතට 5 වසර ශිෂ්‍යත්ව විභාගය හැරෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. රන්ඩිල් ++++++++++++++++++++++++++++++++

      Delete
    2. රන්දිල් කියන්නෙ ඇත්ත.. ඔය ලිපිගොනු හැදිල්ල ගැන කරපු උන් තමයි දන්නෙ කට්ටෙ තරම.. ලකුණක් දෙකක් මදි උනාම ඇමතිලා පස්සෙ යන්න ඕනෙ... රස්සාවල් කරන අම්මලා තාත්තලා මොන තරං දුකක් විඳිනවද නිවාඩු දාගෙන ඔය මඟුලෙ වැඩ වලට... ඉස්‌කෝල ඇතුලෙ උනත් එක එක සමාජ මට්ටම් තියෙනව.. ඒවට වැඩිපුර යන ළමයින්ගෙ ගෙවල්වල සමාජ මට්ටම් එක්ක.. ළමයට උගන්නන්න උනන්දු වෙන අම්මලා තාත්තලා කීයටවත් කැමති වෙන්නෙ නෑ, ඉස්කෝලෙ ඉන්නෙ වැඩි හරියක් ඉස්කෝලෙ යන්න ඕනෙවට යවන ළමයි ඉන්න ඉස්කෝලෙකට දාන්න... ඉතිං අන්තිමට විකල්පෙ කීයක් හරි දීලා එක එකාට වඳින්නෙ නැතුව ඉන්ටනැෂනල් එකකට දාන එක... ඒවයෙ මොනවා ඉගැන්නුවෙ නැතත් ඉංග්‍රීසි ටික උගන්නනව... දන්නෝ දනිති...

      මේකට තියෙන එකම ක්‍රමේ ගමේ ඉස්කෝලෙට ගමේ ළමයි යවන සිස්ටම් එක ගේන එක... පිටරටවල හයිස්කූල් සිස්ටම් එක... දැං ඔය සල්ලි එකතු කරන විදියට ඕක කරන්න බැරි කමක් නෑ... කලාප අධ්‍යාපන කාර්යාල බාල්දි දාන්නෙ නැත්තං ඉස්කෝල ටික හදාගන්න අම්මලා තාත්තලටම බැරි වෙන්නෙත් නෑ... එක පැත්තකින් ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකං බලං ඉන්න එකත් කේස් එකක්.. ඔය පාදුක්කෙ තියෙන සිරි පියරතනෙ ඔය වගේ සිස්ටම් එකකට ගොඩ ආපු ඉස්‌කෝලයක්... වැඩි ස්තූතිය ප්‍රින්සිපල්ට යන්න ඕනෙ... බන්දුල ලොක්කත් මාර සපෝට් එකක් දුන්න බොරු කියන්නෙ මොකටද... ඉස්කෝලෙ අවට ඉන්න ටීචර්ලා නං කීපදෙනෙක් මෙලෝ රහක් නෑ.. හැබැයි එයාලට ඉස්සර වගේ පරක්කු වෙලා එන්න, ඉස්කෝලෙ ඇරෙන්න කලින් ගෙදර යන්න බෑ... ඒත් ගුරුවරු වැඩි දෙනෙක් ඉන්නවා දෙවිවරුවගේ... දැං ප්‍රතිඵලත් හොඳ මට්ටමක තියෙනව... විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩා පහසුකම් එහෙමත් හොඳ මට්ටමක තියෙනව.. ඉස්කෝලෙ නම තමා තාම පොඩ්ඩක් අඩු තැනක තියෙන්නෙ.. ඒ අර සමාජ මට්ටම් කේස් එක නිසා...

      Delete
    3. මධ්‍යම පංතිය ( හරියටම ඒකමද මංදා???) නියෝජනය කරමින් රන්දිකා කියන කතාව හරි.. රන්දිකා එතකොට කියන්නේ දැන් තියෙන විදිය හොඳයි කියලද..? නැත්තං මේක වෙනස් වෙන්න ඕනද..? එහෙමනං ඒ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවද..?

      Delete
    4. හප්පේ මගේ අදහස කියලා යාංතං වර්ගඅඩි දෙකක විතර එකක් ටයිප් කරලා ඉවර වෙනකොටම නේ ඇස් ඇම් ඇස් එක ආවේ...

      Cabinet has decided not to scrap the Grade 5 scholarship examination-sources-Daily Mirror

      කෙටියෙන් කියනවා නම් මං හරි කැමතියි විශාඛා, රෝයල්, ආනන්ද, නාලන්ද, ඩී එස්, දේවි වගේ ඉස්කෝල වල ශාඛාවන් ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වලත්, ඊට සමගාමීව අනෙකුත් පළාත් වල ඒ හා සමාන පාසල් වල ශාඛාවන් පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වලත් ‍මතු කරලා ( ඒ කිව්වේ දැනට තියෙන ඉස්කෝල කිහිපයක් තෝරාගෙන සංවර්ධනය කරන්න ඕනෑ) ඒ අදාල පාසල් මව් පාසලේ පරිපාලනය යටතේ, එකම විදුහල්පති කෙනෙකු යටතේ එකම ගුරු මණ්ඩලය යටතේ පවත්වන ක්‍රමයක් හැදෙනවා නම්. රෝයල් කිව්වහම ගම්පහ රෝයල්ද කොළඹ රෝයල්ද කියලා බෙදිල්ලක් නැති වෙන විදිහට වැඩේ වෙන්න ඕනෑ. ඒ කියන්නේ විදුහල්පති පාසල් දෙකේම මාසයේ තෝරා ගත් දවස් අනුව කටයුතු වලට සහභාගි වෙන්න ඕනෑ. කොටින්ම එකම පාසලක් වගේ දැනෙන්න ඕනැ. ඒ විදිහට කරන්න ප්‍රායෝගිකව ලොකු ගැටළු තියෙනවා. යාම් ඊම් වුනත් ගැටළු සහගත වෙනවානේ. නමුත් කරන්න බැරි දෙයක් නෙමෙයි. රට පුරා ඉන්න ළමයි සේරම කොළඹට ඇදෙනවට වඩා මට හිතෙන්නේ මෙහෙම කරන එක පහසුයි.

      Delete
  20. අම්මප මාරයියේ උඹේ ටිකිරි මොලේ උඹ ඉන්න තිබ්බේ මෙතන නෙමේ......:D මේක කියවනකොට මට මැවිලා පේනවා උඹයි බන්දුල ගුණවර්ධනයි නාස් ලනු දාගෙන ගෙජ්ජි බැඳගෙන එකම බරබාගේ අදින අපූරුව.......:) මට දුක උඹල මෙච්චර කඩේ ගිහිල්ලත් අයවැයෙන් පුනක්කු මිල අඩු නොකරපු එකනේ... කැත වැඩේ අම්මප.

    ReplyDelete
    Replies
    1. මට නෙලන එක පැත්තක තියලා ගුනේට මේකට විසඳුමක් ගැන අදහසක් තියේද කියලා කිව්වනං..?

      ඔය අග අල්ලන අනිත් හාදයාටනං ඉතිං තියෙන්නේ වෙන අරමුණක් නෙව.. :P

      Delete
  21. මම සිස්සත්වෙ පේල්.. ඒක හින්දා ඕක අහෝසි කරන්නම ඕනා. මට නැති ඒවා මොකටද වෙන එව්වන්ට.. :D

    දුප්පත් ලමයෙකුට ශිෂ්‍යාධාරයක් දෙන්න මොකටද විභාගයක් ?? ඒක අදාල පවුලේ ආර්තික තත්ත්වය බලලා බොහොම ලේසියෙන් දෙන්න පුළුවන්නෙ. සිස්සත්තයක් දෙන්නත් ඕනා, හැබැයි ඒ දක්ෂ උන්ට විතරයි. එතකොටනෙ ගමේ තියන ස්පිරිට් එක විතරක් ජනප්‍රිය පාසල් වලට ඇදල ගන්න පුලුවන්. එතකොට ඉගන ගැනීමේ අයිතිය තියෙන්නෙ දක්ෂ උන්ට විතරද ? ගමේ ඉන්න අඩු දක්ශතා තියන ළමයින්ට දිගටම ඉගන ගන්න අවස්තාවක් නැද්ද ? සමහර විට පහේදි අදක්ශයි වගේ පෙනෙන උන් පස්සෙ හෙන බ්‍රයිටො වෙනවා. උන්ට මොකද වෙන්නෙ ? මේක මහ කැත ක්‍රමයක්.. ඒ මදිවට දැන් ඒක අතිශය තරඟකාරී වෙලා ළමයින්ගෙ ඔළු කනවා.. බන්දුල හරි. ඕක වහාම නතර කරලා දාලා, දක්ශ, අදක්ශ දුප්පත් ළමයින්ට විතරක් ශිශ්‍යාධාර දෙන ක්‍රමයක් හදන්න ඕනා..දුප්පත් අයට විතරක්.

    ReplyDelete
    Replies
    1. උඹ උඹේ මතේ වෙනුවෙන් පෙනී හිටහං සෙන්නා.. මං ඒක අගේ කරනවා.. :D

      Delete
    2. ඔය දුප්පත් ළමයින්ට ආධාර දීම ගැන නම් කියන්න තියෙන්නේ සෙන්නෝ ජන සවියයි , සමෘධියයි ගත්තු හැටි දැකල තියෙන නිසා ඕක හරි යන්නේ නැහැ . අපේ පැත්තේ කසිප්පු කාරයෝ තමයි ඔව්ව ගත්තේ ..දුක් මහන්සි වෙලා කියක් හරි හොයා ගත්තු ඇත්තටම හොඳ මිනිස්සු හිටියා ආධාර ලැබිය යුතු. නමුත් ඔව්ව අරන් හවසට දෙකක් දාගෙන ගෑනිට තඩි බාන උන් තම වැඩිය හිටියේ. දුප්පත් ළමයි තෝරලා ආධාර කරන්න ගියහම වෙන්නෙත් ඕක. ඊට හොඳයි දක්ෂකමක් තියෙන දුප්පත් ළමයෙක් තෝරාගන්න මෙහෙම විභාගයක් තියෙන එක.

      Delete
  22. ශිෂ්‍යත්වයක කිසිම බරක් නොදැනිච්ච මට නම්..(ඒ හින්දම ෆේල් වෙච්ච )අද මේ පුංචි දරුවො දුවවන තරඟෙ දුටුවහම පොඩි උන් ගැන දුකයි..ඒත් ලොකුයි කියන ඉස්කෝලෙකට පැන ගන්න පොඩියි කියන පවුලක ළමෙකුට උනත් තියෙන චෑන්ස් එක නැති වෙන එක නම් දෙමව්පියොන්ගෙ පැත්තෙන් බැලුවොත් හොඳ නෑ තමයි..

    ReplyDelete
    Replies
    1. ළමයි පව්... අම්මලා තාත්තලා ගැනනං තියෙන්නේ මහ හිස් හැගීමක්.. උන්ට බැනලත් වැඩක් නැහැ.. මොකද උනුත් කරන්නේ කොහොම හරි තමන්ගේ එකා ගොඩ දාන්න ට්‍රයි කරන එකනේ... මිනිස්සු පරාර්ථකාමී නැහැ... ඒ තමා හැටි...

      Delete
  23. මාරයගේ පෝස්ට් එකේ සියල්ල තියෙනවා ,, මෙවැනි ලිපියක් ලිවිම ගැන මගේ ස්තුතිය....

    ReplyDelete
  24. ඔක්කෝගෙම කමෙන්ට්ස් කියවද්දී ඔක්කොම හරි කියලයි මටනම් හිතෙන්නෙ.එතකොට කවුද වැරදි. ශිෂ්‍යත්වයද

    ReplyDelete
    Replies
    1. සමහර විට කොතනකවත් වරදක් නැතිවත් ඇති.. :D

      Delete
  25. බලු පොරයක් වීම නිසා ඇරෙන්න ඔවැනි විභාගයක් තිබීමේ වරදක් නැහැ .බැරි තරම් වැඩ දීලා ලමයව මරන් කන්න හදන්නේ නැති වෙන්න දෙමාපියන්ට මොකක් හරි ගුරුකමක් කළා නම් හොඳා ..හැබැයි හැකියාව ඇත්නම් ළමයෙක්ට පාස් වෙලා හොඳ පාසලකට යන්න [ සියලු පාසල් එක මට්ටමේ නැති බව රහසක් නෙමේනේ ] මෙවැනි ක්‍රමයක් තියෙන්න ඕනේ .නැත්තන් හොර ලයිට් බිල් ඔප්පු තිරප්පු හදාගන්න බැරි උන්ගේ ළමයින් සදා අනාතයි...හුඟක් රටවල විශේෂයෙන් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ සෙවනැලි ඇති රටවල ද්විතියික පාසලක් ලබාදෙන්නේ පහේ විභාගයක් තියල . ලෝකයේ හොඳම අධ්‍යාපනයක් ඇතැයි සැලකෙන සිංගප්පුරුවෙත් එහෙමයි ..ඒ රටවලත් දෙමාපියන් හැසිරෙන්නේ අපේ අයට දෙවෙනි වෙන්න නෙවේ .කොටින්ම පාසල් අතර විශාල පරතරයක් නැති එවැනි රටවලත් තරඟය අන්තිම නරකයි. ළමයින්ට හොඳම තැන දෙන ජපානයේ කොරියාවේ වුවත් දෙමාපියන් ළමයින් ලව්වා කරවන වැඩ ප්‍රමාණය දැක්කම අපෙත් ඔලුව කැරකෙනවා . ..අනේ මන්ද .

    ළමයාගේ ධාරිතාවයට වඩා වද දීම නම් අපරාධයක් . හැබැයි විභාගය අහෝසි කරන එක විසඳුම නම් නෙමේ .

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විතරයි මෙහෙම අංජබජල් වැඩක් තියෙන්නේ කියලා හිතං හිටිය එක වැරදියි කියලා කියා දුන්නට බින්දිට ස්තූතියි.. :D

      Delete
  26. මගේ යෝජනාවනම් 5 ශිෂ්‍යත්වේ ටියුෂන් තහනම් කලයුතුයි.එතකොට මේ තියෙන පීඩනේ අනිවාර්යෙන්ම අඩුවෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔබ තනි සහ කුඩා කණ්ඩායම් පන්ති නිවසට ගොස් කරන ගුරුවරයෙක් ද? නැත්නම් එහෙම ගුරුවරු ගෙදරට ගේන්න පුළුවන් පියෙක්ද? ඔහොම් අදහසක් ආවේ. එහෙම ටියුෂන් තහනම් කලොත් එහෙම ගුරුවරු ගොඩ යනවා. හොඳම සල්ලීකාරයන්ගේ දරුවන්ට 5 ශිෂ්‍යත්වය වාසි වෙනවා.

      Delete
  27. obey mathaya samaga ekangai .......!

    eth thawa prasnayak thamai awurudu 13 ka denuma peya 2ka 3na kin menala balala campus yawana eka ,eka kochchara sadarana kramayakda kiyana eka gena loku awulak tiyanawa :)

    ReplyDelete
  28. යෝජනා ටික නම් හොඳයි... මගෙත් අදහස වෙනසක් වුනොත් හොඳයි කියන එක .

    කොහොම වුනත් අපිත් කොළඹ පාසලකට ගියේ ශිෂ්‍යත්වේට පින් සිද්ද වෙන්න තමයි ...

    ReplyDelete
  29. ගොඩක් ප්‍රශ්ණ තියෙනව.
    විශේෂයෙන් ලංකාවෙ ප්‍රාථමික පාසල් කියල ජාතියක් තියෙනවනෙ.ඒව සමහර බොහෝ තැන්වල..6න් ඉහල තියෙන මහා විද්‍යාල වලට වඩා තත්වයෙන් ඉහලයි..(අධ්‍යාපනයෙන්) ඔතෙන්දි අවුලක් තියෙනව....5ට වෙනකං හොඳට උන්නු එකාට ඉන් පස්සෙ.

    අනික කමෙන්ට් වලිනුත් මතුකරල තිබුනෙ.ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා යන කොලඹ ජනප්‍රිය ඉස්කෝල වල අධ්‍යාපනය ගැන විතරනෙ.
    ඇයි ඒ ඉස්කෝලවල තියෙන බාහිර ක්‍රියාකාරකම් වලින් කොච්චර දක්ෂයින් බිහි වෙනවද..? සමහර අය ඉන්නව ජාතික තලයෙ ක්‍රීඩකයො ශිෂ්‍යතවය සමත් වෙලා වෙනත් ඉස්කෝලෙකට ගිහිල්ල ඒතැනට ආපු.

    ජනප්‍රිය යැයි පවසන පාසල්...බොහෝ විට බාහිර ක්‍රියාකාරකම් වලින්ද උසස් බවයි මගේ පිලිගැන්ම..ඒ තත්වයට ගම්වල ඉස්කෝල ගේන එකනම් අනේ මන්ද..?

    ඔය වයසෙ දරුවෙක් ඉන්න දෙමාපියෙක් නම්...මෙහි තියෙන බර තෙරේවි. මොකද ඕනම දෙමාපියෙකුට අවශ්‍ය තමන්ගෙ දරුව උසස් තලයකට ගෙනයාම. ඒකට පිටිවහලක් වන්නට මේක සමත් නොවන්නේ ඇයි..? මේක අධ්‍යාපනයෙන්(පොතපතේ) පමනක් නොවේ.

    අනික ක්‍රමේ මොනවිදියට වෙනස් කලත් ආයෙ..ඔය පාරට වැටෙනවා ඉබේම මේක ලංකාව නෙව.

    අනික ඕය ලොක්කො කොච්චර කය්ය ගැහැව්වත් ඉස්කෝලෙ යන ලමයි ඉන්න දෙමාපියො දන්නව ඇති ..ඉස්කෝලෙකට කරන්න වෙන වියදම්..පු‍ටු ඩෙස් හදන්න.තීන්ත ගාන්න,ඉස්කෝලෙ වැට හදන්න,පන්තියේ යකඩ වැට ගහන්න..අටෝරාසියක් වැඩ. මුන්ට ඉස්කෝලෙකට ආධාරයක් දෙන්න රජයට සල්ලි නෑ...ඒත් කැහිල්ල..විබාග ක්‍රමේ. කවුරු කොහොම කිව්වත් ලම්යින්ට දැනුම ලැබෙනව මෙයින් ඉතා ඉහල ලෙස...ඒ දැනුම තමයි..උසස්පෙල දක්වා ගෙනියන්නෙ...ලමයිනට බරක් කිව්වට..බලන්නකො දැන් තියෙන වාර විබාග වල තියෙන බර..ඇයි ඒව බර නැද්ද..?මානසික පීඩාවක් නොවේද..?

    ReplyDelete
  30. ශිෂ්‍යත්වේ අහෝසි කල යුතුයි හෝ මේක නාගරික සහ උපනාගාරික පාසල් වලට දැනුම මිනුම පරීක්ෂණයක් පමණක් කල යුතුයි කියන තැන මමත් ඉන්නවා. මොකද මම ගිය ඉස්කෝලේ ශිෂ්‍යත්වෙට තැනක් තිබ්බේ නැති උනත්, (ඒක හරියට අර පවර්සෙට් එකක් වගේ උනා. ඒකෙත් එක පැත්තක එන්ජිම නෑ නේ.. ඒ වගේම, ලකුණු වලින් මෙලෝ වැඩක් කරන්න බැරි උනත් අම්මල එහෙම ඒක පස්සෙන් පැන්නුව පැන්නිල්ල මම දැක්ක ඒ දවස් වල) අම්මල එහෙම පුදුම ගේමක් ඒකට දුන්නේ. එක්කෝ ටියුෂන් අහෝසි කල යුතුයි කරනවා නම් නොමිලේ කරන්න කියල. ඒ උනාට ඉතින් ඒවා මේ ආශ්චර්යමත් දේශයේ කවදාවත් වෙන දේවල් නොවෙන නිසා, මම හිතන්නේ සාමාන්‍ය පෙළ විභාගය වගේ, එක දෙක තුන ස්ථාන නිවේදනය කිරීමත් නවත්තල දාල, නාගරික, උපනාගරික පාසල් වලට මේක අහෝසි කරන්න ඕනේ.

    ReplyDelete
  31. කොයි ඉස්කෝලේ හිටියත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා.. නැති එකා කොහෙත්තම නැහැ.. දැන් තියෙන තරගේ දැක්කම නම් ශිෂ්‍යත්වය අයින් කරන එක හොදයි කියලා හිතෙනවා.. මොකද වැඩි හරියක් ඕකෙන් දුක් විදින්නේ පොඩි එවුන් හන්දා..

    ෆලෝවර්ස් 1000 සුභ පැතුම් වේවා..

    ReplyDelete
  32. උඹේ ලිපියයි ,අපේ රාජ් ගේ අදහසයි ඉතා වටිනවා.
    මට මේවට උත්තර දීල වැඩක් නැහැ.
    මගේ දරුවෙක්ගෙ දරුවෙක් වත් ලංකාවෙ පාසලකට තියා ලංකාවෙ පදිංචිවත් නොකරවන නිසා.

    ReplyDelete
    Replies
    1. මාර සමාගමේ 1000 වෙනියා වීම ගැන සුබ පැතුම් !

      Delete
  33. // 2- විභාගය තෝරාගත් පාසල් වලට පමණක් පැවැත්වීම...

    මේක සෑහෙන්න සාර්ථක ක්‍රමයක්... හැබැයි එයිට කලින් ලංකාවේ පාසල් ඉතා හොඳින් වර්ගීකරණය කල යුතුයි...

    i- විභාගය නොපවත්වන
    ii- විභාගය පවත්වන පාසල් මාරු නොදෙන ශිෂ්‍යාධාරය පමණක් දෙන
    iii-විභාගය පවත්වන පාසල් මාරු මෙන්ම ශිෂ්‍යාධාර දෙන

    යන වර්ගීකරණය යටතේ...//

    මේක තමා මේ සම්බන්ධව මෙතෙක් දුටු හොඳම යෝජනාව.

    ReplyDelete
  34. මම නම් මේ විභාගය අවලංගු කරනවා කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මාරයා මොනවා කිව්වත් ඒ දේවල් ලංකාවේ වෙන්න ඉඩක් ඇත්තේම නැත. මෙතන බන්දුල විභාගේ නැති කරන එකේ අරමුණ ළමයින්ගේ පැත්තෙන් හිතීමක් නොව වරප්‍රසාද ලත් පන්තියේ අයගේ ළමයින් හොඳ පාසල් වලට දා ගැනීමේ ඉඩ වැඩි කර ගැනීමයි. ළමයින්ගේ පැත්තෙන් හිතනවානම් එක වතාවක් 3 වෙනකම් පාසල් තියන්න නියම කරයිද. (මේක හොඳ වෙලාවට ජනාධිපතිතුමා නැවැත්තුවා) නැත්නම් ලෝක ළමා දිනයේදීම විභාග ප්‍රථිපල නිකුත් කරයිද.

    අපි මොනවා කිව්වත් දන්නවා ඉහල පනිත්යේ පාසල් වලට තියෙන පහසුකම් සහ වරප්‍රසාද හැම ද්විතීයික පාසලකටම දෙන්න බැහැ කියලා. මම ආවේ මහනුවර ශාන්ත අන්තෝනි එකෙන්, හොඳ වෙලාවට මගේ තාත්තා අදි ශිෂ්‍යෙයක්. ඒ නිසා මට කෙලින්ම යන්න පුළුවක් වුනා. නැත්නම් මටත් ශිෂ්‍යත්වයේ පිහිට ගන්න වෙනවා. මම දන්නවා අනිත් පාසල් කීපයකට ඇරෙන්න අපිට තිබුණ පහසුකම් කිසිම කෙනෙකුට තිබුනේ නැහැ කියලා සහ තවමත් නැහැ කියලා. කොළඹ රෝයල් එකට ඇවිල්ලා බලන්න තියෙන පහසුකම්... මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම පාසලකට ඒ වගේ දේවල් තියෙයි කියලා. මේක කවදාවත් ප්‍රායෝගිකව කරන්න බැහැ.

    අනිත් එක ජොබ් එකකට යනකොට, නැත්නම් සමාජායේ ගැවසෙනකොට මේ වගේ පාසලක ඉගෙන ගත්ත කෙනෙකුට තියෙන පිළිගැනීම සහ ඔහුට හෝ ඇයට ලැබෙන අනිකුත් අවස්ථාවන් මොනවද කියලා බලනකොට, වෙනත් අඩු පහසුකම් තියෙන පාසලකට කිට්ටු කරන්නවත් බැහැ

    ඉතින් ඇයි අපි වරප්‍රාසාද නැති දුප්පත් ළමයින්ට මේ වගේ හොඳ ඉස්කෝලෙක ඉගනෙ ගන්න තියෙන අවස්ථාව නැති කරන්නේ. මේක අපේ වල අපිම කපා ගැනීමක්.

    ReplyDelete
  35. මේ ගැන මම පෝස්ටුවකින් ම කියන්නම් කෝ. හිතෙන දේවල් ඔක්කොම මෙතන කිව්වොත් පෝස්ට් එකක් වෙයි මාරතුමා.

    ReplyDelete
    Replies
    1. කරුණාකර එයි ලියා පල කිරීමෙන් පසුව එහි ලින්කුව මෙහි පල කරන්න.. මේ ගැන එක් එක් අයගේ අදහස් සහිත ලිපි පල වූවහොත් ඒ සියල්ල ලිපිය අගටම එකතු කිරීමට අදහස් කරමි. කමෙන්ට් හරහා අංගසම්පූර්ණ මතයක් හෝ අළුත් යෝජනාවක් පල වෙනවා දැකීම අසීරු බව මෙහි කමෙන්ට් කියවීමෙන් මට සිතුනු දෙයකි.. එහෙත් මුල සිටම කල්පනා කොට තමන්ගේ අදහස පැහැදිලිව ලියා තබන පෝස්ටුවලින් එයට වඩා අදහස් ගත හැකියැයි සිතමි.

      Delete