13 April 2014

සේකර සමඟ මගේ වලිය... :D


රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා

ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා

මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා

නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ

පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා
 -------------------------------------
එහෙම කිව්වේ මං නෙවෙයි අපේ සේකර මහත්තයා...
හැබැයි එයින් පස්සේ කාලෙක මං මහත්තයත් මෙහෙම කියනවා...
 
-------------------
බියර් නොමැති ජීවිතයක් කුමක් වැනි...
රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී...
බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

පසෙකින් සිහිල් සුළගින් පිරි ෆෑන් එක...
අනිත් පසින් බෝල වඩේ පීරිසිය...
ඒ මැද්දෙන් බැදපු මිරිස් කරල් ඇත...
මෙයිට වඩා තව සැපයක් කොයි ඇද්ද...

දුක සැප කුමක් වූවත් නිති ලගින් සිටී..
මිතුරන් ලෙසින් සැමදා තනි රැකිය හැකි..
දුක මෙන් සැපෙත් කිසිදා අත් නොම හරිතී..
නුඹ වන් තවත් කිසිවෙක් මේ ලොවම නැතී..

කලකින් සිහි උනේ නුඹගේ මිතුරු දම...
ලගින් සිටිය අය මට පිටු පාපු කල...
දුක සැප දෙකෙහි සැමදාටම ජීවකය.
බියර් වඩිය නුඹමය මගේ ජීවිතය...
----------------------------------
 
ඒත් මගේ හිතට මදි... යකා නැග්ග පාර මං මෙහෙම කියනවා...
 
-------------
සේකර උඹනං හරි වස නපුරා..
ලියන්න හිටි මං බොහොම හිතාගෙන..
හැම කවියක්මත් උඹ ඇත ලියලා..
ලියන්න දේවල් දැන් නැත ඒ හැර.
උඹ කල විපතක මහතක් මේ මට..

මීවිත ගෙනෙනා රස සුව අගනා..
ඒ ගැන දැනටත් උඹ ඇත ලියලා..
එතෙකින් නොනැවත මහ කිවි හතුරා..
බියර් ගැනත් ඇත කවි පද ලියලා..

මරණය නම් වූ අපූරු මිතුරා..
දිවියේ අවසන සැනසුම ගෙනෙනා..
ඒ ගැන ලියනට සිතු සිත සපුරා..
එකෙත් ඇති සුව උඹ ඇත ලියලා..

ඉතින් කියාපන් කරනෙම් මොනවා..
ලියන්න කිසිවක් දැන් මට නැතිවා..
මේ කල විපතට සරිලන විලසා..
නුඹට දෝස් මුර තබනෙමි මෙලෙසා..
 
---------------------------------------
 
 හැබැයි අවසානෙදි මං හොයා ගන්නවා සේකරට අතෑරුන තැනක්...

-----------------

සිටු මාළිගා රජ මැදුරේ රැඳී නැතී..
ධනවතුනගේ මුව පහසේ උරුම නැතී..
උගත් වියත් අය හට දැකුමත් නොමැතී..
එහෙත් බොහෝ දන නුඹ හා කල් යවතී..

විසිතුරු නේක කැටයම් කල ඇසුරුමක..
දිලිසෙන පැහැය ඇති හැඩ වැඩ පෙට්ටියක..
නොයෙකුත් හැඬැති මන බඳිනා මේසයක..
නුඹ සිටි බවක් නම් නැත මගේ මතකයක..

අවන් හලක මකරුන් සිටිනා තැනක..
ගිමන් හලක තරු පහ හය රැඳුන තැන..
විසල් ලැඟුම් හල් දිලෙනා ඇති නේක..
කිසිත් කලෙක එහි පහසක් නුඹට නැත..

වෙදුන් බනිති නුඹ ගැන කිසි හොඳක් නැත..
ලිපිත් ලියති නුඹටම එරෙහිව සැවොම..
පොලිස් අතත් ගෙන දෙන නුඹටම ගැහැට..
උතුම් නීතියත් නුඹටම කපයි වල..

කියනා කිසිත් අගයක් නැත නුඹ ගාව..
ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
තවමත් නුඹ සිටී නොසැලී අප ගාව..

දාහක් දෙනා හඬ නැගුවත් විරුද්ධව..
ලෝකයේ කිසිත් අගයත් නැතුවත් නුඹට..
ඒ කිසි දොසක් ගැන නොම වී අමනාප..
පොඩි මිනිහාගේ දුක නිවනා හැටි තාම..

වත්තේ කොනේ බඩ වැටීයේ සැග වීලා..
දොළ පහරේ ඇළ අයිනේ නිපදීලා..
සමහර විටක සති ගානක් පල් වීලා..
නුඹ ඉපදෙනා හැටි ඇත රහසක් වීලා..

යකඩ බැරලයක් පෙරලා පැත්තකට..
එහි උඩ පැත්තේ කට කපලා ගානකට..
සීනිත් සමඟ ඊසුත් මුසු කොට යසට..
වතුරත් යොදා පැසවති හොඳ පදමකට..

මහ ගණ වනේ හෝ නිවසේ කුස්සියක..
ලිං මිදුලේ සඳ ඇති දින මහ රැයක..
දර ගිනි ගොඩේ හෝ වෙනයම් හෝ ලිපක..
දැල් වෙන ගින්න මත රත්වනු ඇත දිනක..

තඹ බටයෙන් සැදි දඟරය තුලින් යවා..
ගිනි රස්නය සීතල වතුරෙන් නහවා..
හුමාලයන් පිණී බිඳු සේ යළි හරවා..
බිඳුවෙන් බිඳුව ඉස්පිරිතුව එක් කරවා..

පදමට සරිලනා සේ වතුරත් මුහුව..
අඩු වැඩි නැතිව බූලිය තුල වී සිරව..
සඟවා තැනින් තැන බොහො රැකවල් ඇතිව..
අවසන විකුණනා අඩු මිලකට නිමව...

මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
මොන තරමකින් හෝ නොවෙතිය දෙවැනි තැනක්..
රසවතුනගේ මන පිනවන බොහොම කලක්.
දුප්පතුනගේ සිත පිනවන දිව ඔසුවක්..

නසනා දුක සෝක ඇඟපත ඇති වෙහෙස..
නිවනා සිතේ ගිනි ගිනි වතුරෙන් සවස..
ගෙවනා ජීවිතේ රැ‍ඳෙමින් ළග ගැවස..
මිනිසුන් දුක නසයි නුඹ නැතිකර පවස..

රජවරු සිටුවරුන් අතරේ පමණක්ද..
දුප්පත් දනා හට මත්බව අකැපයිද..
සල්ලිය බාගේ නැති කම මහ වරදක්ද..
කසිප්පු බීම පමණක් තහනම් ඇයිද..
------------------------------------
 
අන්න එයින් පස්සේ තමා යන්තං මට සැනසිල්ලක් ලැබෙන්නේ.. යන්තං එකක් හරි හොයා ගත්තනේ.. :D
 
කාලෙකට පස්සේ පරණ යාළුවෙක් හම්බ උනා පරණ අවුරුද්දේ.. අපි බලමු යාළුවා මොනවා කරයිද කියලා...

19 comments:

  1. හොදම සිංහල බ්ලොග් අඩවිය මාරයගේ හෝරාව
    බුකියේ කල් මර මර මේක නැති කරල දාන්ඩ එපා මාරයො

    ReplyDelete
  2. හැක් හටහං දෙකක් දාගෙනම ඇවිල්ල මේ ටික කියවන්න.

    ReplyDelete
    Replies
    1. දැම්මම දාගෙනද මන්දා අකුරුත් පැටලෙන්නේ..

      Delete
  3. අන්තර්ජාලේ කවි නෑ කියන පක පන්ඩිතයන්ට මේවා පේන්නෙම නැද්ද යකෝ. සේකරම විතරද හැම දාම ඉන්න ඕනා.. මාරේ අන්තීම පදේ කසියා කියා යෙදුවානම් තවත් රස යැයි සිතමි. පට්ටේ හොඳම එක... වල්ල පට්ට...

    ReplyDelete
    Replies
    1. වල්ලා පට්ට පට්ට ගනන් නේද සුදෝ...

      Delete
  4. කාටද මේ පරණ අව්රුද්දෙ වැඩිවෙලා තියෙන්නේ ???

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයා අයියේ. අලුත් අවුරුද්දේ වත් මේකේ වල් කොටල පිළිවෙලක් කරල ගමුද ?
    (මං මතට තිත. ඒ හින්ද කයි පද ගැන නෝ කොමෙන්ට්ස් :) )

    ReplyDelete
  6. සුබ නව වසරක් වේවා.!

    බ්ලොග් අවකාශයේ ටික කාලයක් ඇවිද බැලුවට මේක තමා පලමු කොමෙන්ටුව. මේව සින්හලෙන් ලියන්න ගියාම බ්ලොග් එපා වෙනව. මේ වෙද්දි මාස දෙකක් විතර තිස්සෙ මේක කියෙව්ව, අග සිට මුලට. පලවෙනි එකා වෙන්න ඇති එහෙම බලපු. ඔන්න අද තමා බලල ඉවර උනේ. හිතට අල්ලපු බ්ලොග් එකක් සෙට් උනාම ඒක ඉවර වෙනකම්ම බලනව. ඉතින් ලියපන් මාරයො, මගෙන් සුබ පැතුම්. ඒත් දැන් ලියනව අඩු මොකද? ඔක්කොම පෝස්ට් බලපු නිසා දැක්ක ගොඩාක් මාතෘකා පටන් අරන් මග නැවතිල. ආයෙත් පටන් ගත්තනම්....

    ReplyDelete
    Replies
    1. ධර්මසිරි මහත්මයටත් එසේම වේවා..!

      සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට...

      Delete
  7. කයියටයි වීදුරුවෙ තියෙන ඒවටයි දෙකටම අපි මනාපයි බොලං...සියරට දේ සිරිසැප දේ කියලා හිතන හින්දා ඕන්න ලබන සතියෙ මෙහෙට සීදුවෙන් ගල් බෝතල් දෙකක් එනවා...

    ReplyDelete
  8. අපූරුයි... සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  9. පරණ යාළුවා කිවුවේ කවිය වෙන්න ඇති.. ඉස්සර කවි වලින්ම අපි සෙට් වුන යුගයක් තිබ්බ කියල අමතකද බං අයියේ.. දැන් වත් ලියමු.. මාරයගේ හෝරාව පාළු නොකර..

    ReplyDelete
  10. ඔය තියෙන්නේ කවි .

    ReplyDelete
  11. මෙදා අවුරුද්දට මාර මලයා එක්ක ෂොට් එකක් දාන්න හැකියි වගේ...

    ReplyDelete
  12. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  13. මාරයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  14. ඔබටත් සුබ වේවා..! ජය වේවා..!

    ReplyDelete