20 November 2014

බිරියානි ගෙදර හදමු...


රයිටෝ අද කියන්න යන්නේ බඩට යමක් දමා ගැනීම ගැන පාඩමක්.. :D

මේ මේ මං ඊයේ පෙරේදා හදාපු කෑමක් ගැන.. බුකියේ ඉන්න මගේ මිත්තරයෝනං මේ වෙද්දි විස්තරේ සෑහෙන හරියක් දන්නවා වගේම එක්කෙනෙක් දෙන්නෙක් මේ වෙද්දි හදලත් තිබුනා... බුකියේ ලිව්වට ඉතිං ආයේ හදිසියකට ඕවා හොයාගන්න ලේසි වෙන්නේ නැති හින්දත්... සීමිත පිරිසකට විතරක් සීමා නොවී ඔය ගූගල් සර්ච් පාරක් හරි දාද්දි කෙනෙකුට ලේසියෙන් හොයාගෙන පරයෝජනයක් ගැනීමට හැකි වනු පිණිසත් මේකෙත් ලියා තියන්ට හිතුවා...

මේක ඇවිල්ලා බිරියානි වර්ගයක්.. “බිරියානි“ කිව්වට ඉතිං අපේ රටේ වැඩි භාවිතාවෙන වචනේ තමයි “බුරියානි“... ඉස්සර ඉතිං අපි පොඩි කාලේ ඔය වචනේ ඉඳහිට ඇහෙන වචනයක්... කෑමක් කියලා දැනං හිටියට ඕක ටිකක් සල්ලිකාරයින්ගේ කෑමක් හැටියටයි ඒ දවස්වලනං කනට වැටුනේ... “කන්නේ බුරියානි.. යන්නේ පැජරෝවේ“ වගේ යෙදුං ආවම ඉතිං චිත්තරේ ටිකක් ඉහලයි... ඉහල පැලැන්තියේ උදවියට.. දේශපාලනයෙන් හම්බු කොරගත්ත අයට... වගේ අතමිට කාසි පණං තියෙන අයට නිතර කන්න හැකියාවක් ඇති කෑමක් කිව්වම ඉතිං අපිත් ආසයිනේ... (දැන්නේ දන්නේ ඉන්දියන් කාරයින්ගේ මුස්ලිම් ජාතිකයින්ගේ කෝකටත් තෛලයක් වගේ කෑමක් කියලා.. :D )

කොහොමින් කොහොම හරි හා හා පුරා කියලා මට බුරියානි කන්න පුළුවන් උනේ කඩවත නගරයේ ඔය ගනේමුල්ලට හැරෙන පාර තියෙන තුන් මං හන්දිය හරියේ ජය සුමන ලී බඩු වෙළඳසැලට ටිකක් එහායින් වගේ සයිවර් කඩයක් දැම්මට පස්සේ තමයි... කොළඹ පැත්තේ ඔහොම කඩ කොච්චර තිබුනත් කඩවතට එහෙම පොට් එකක් තිබුනේම නැහැ.. කොහොමින් හරි ටිකක් විතර නගරේ තිබුන අනිත් කඩත් එක්ක ගත්තම පොඩි කල එළියක් තියෙන.. පිරිසිදුවට කෑම ටිකක් කන්න පුළුවන් වගේ හිතෙන කඩයක් තමා ඕක... දවසක්දා අපේ අම්මා මාවයි මලයවයි එක්ක ගෙහුන් බුරියානි කන්න අරං දුන්නා.. දන්නවනේ අර තෝස කඩවල තියෙන ලොකු සුදු යකඩ පිගන්.. ආන්න එයින් එකක් මැද්දට වෙන්න බත් කෝප්පයක් වගේ එකක් කෝම්පිට්ටුවක් වගේ ගහලා.. ඒක උඩින් තම්බලා බැදපු බිත්තරයක් එහෙමත් තියලා.. තව කොල පාට සම්බල් වගේකුත් පැත්තකින් තියලා.. පොඩි නිකල් කෝප්පෙක දාපු තැම්බුං හොදි වගේකුත් එක්කලා.. තමා ඕක හම්බ උනේ.. බත් එක කහ පාටයි. අතරින් පතර රතුපාටට හුරු ඇටත් තිබුනා... බත් එක ගාකෙන යද්දි මෙන්න බොලේ බස් අස්සේ යට ලොකු කුකුළු මස් කුට්ටියටකුත් තිබුනා... දැන් කාලෙනං ඉතිං ඇත්තටම ඕක ටිකක් සතුටු හිතෙන වැඩක් උනාට මොකද... ඒ වෙලාවෙනං මට හෙනට අප්සැට් ගියා.. ඇයි යකෝ බුරියානි කිව්වම බත් ජාතියක් කන්න ආවා මිසක් කවුද මස් කන්න ආවේ.. මං ඒ දවස්වල මස් කන්න කැමතිත් නැහැ... එහෙවු කාලෙක මෙච්චර අපූරු බත් එක යට කුකුල් මස් කුට්ටියක් තිබුනම කන්න තියෙන බත් ප්‍රමාණය නෙව අඩු වෙන්නේ.. යස්සයා නගින වැඩ ඔව්වා.. :D ඒත් ඉතිං අමාරුවෙන් යන්තං මස් ටිකකුත් කඩාගෙන බත් ටික කාලා අහවර කලා.. අපරාදේ කියන්න බැහැ මලයා හිටිය හින්දා මගේ මස් කුට්ටියත් වාස්ප වෙලා ගියා.. මං නොකෑවට ඒකා මස් පෙරේතයා... :D

ඉතිං ඒ තමා මගේ ජීවිතේ පලවෙනි බුරියානි අත්දැකීම.. එයින් පස්සේ ඉතිං කොළඹ ආවම එහෙම මුස්ලිම් කඩයකට රිංගලා වතාවක් දෙකක් බුරියානි කෑවා උනත් ඔය බුරියානිය මට ඒ හැටි අල්ලලා ගිය කෑමක් නෙවෙයි... හැබැයි එක වංගියක් තිහාරියේ කඩේකින් කාපු බුරියානි එකනං ඔන්න ටිකක් අල්ලලා ගියා... එයින් පස්සේ මේ මෑතකදී අපේ ජාත්තියන්තර හෝටල් පාසලේ ඔය බටහිර කෑම හදන අස්සේ හැමදාමත් ඉගෙන ගන්න විස්සක් විතර සැට් එකට කන්න හදන කෑම මෙනු එකේ බුරියානියක් තිබිලා හැදුවා... අනේ ඒකත් මට අල්ලලා ගියේ නැහැ... හැබැයි අපේ සෑර් උන්නැහේ ඒක හදන ගමන් ලෝකේ පුරා රටවල් ගානක ඕක හදන විවිධ ක්‍රම ගැන සෑහෙන් විස්තරයක් කලා වගේම ඒ ඒ රටවලදි ඒකට එකතුවෙන මස් වර්ගවල වෙනස්කම්... එකතු කරන කුළු බඩුවල වෙනස්කම්... හදන ක්‍රමයේ ඇති වෙනස්කම්.. භාවිතා කරන අමුද්‍රව්‍යවල ඇති සුවිශේෂ ලක්ෂණ වගේ සෑහෙන්න දේවල් පැහැදිලි කරලා දුන්නා.. ඒ කරලා දෙන ගමන් බුරියානිය හැදුවා වගේම දැනට ලංකාවේ හෝටල් බහුතරයක ඕක හදන ලේසි ක්‍රම ගැනත් කියා දුන්නා.. හැබැයි ඒ කියලා අවසානෙදි ඔව්වා තිබුනට කන්න යන්න එපා කියලත් කියා දුන්නා... :D අපේ සෑර් ඉතිං හෝටලේ මොනවා හැදුවත් ගෙදර ඇවිත් නෝනා හදලා තියෙන වෑංජනයක් එක්කලා බත් කන හාදයා... 

නියම විදියට මේක හදනවනං ස්වාභාවික කුළු බඩු සහ වර්ණක පමණක් යොදාගෙන මේක කරන්න පුළුවන් උනාට වැඩි පෙනුමක් සහ ඇබ්බැහි කරවන රසයක් දීම වෙනුවෙනුත්.. අඩු වියදමෙන් වැඩි ලාබයක් ගන්න ඕන හින්දත් කඩවල්වල හදන බුරියානිවල වැඩි හරියක් තියෙන්නේ වහ... ඕකට ගහන අජිනමෝටෝ කන්දරාවත්... ඩයි ටිකත් කනවා කියන්නේ ඒ හැටි හොද දෙයක් නෙවෙයි... බුරියානිය නියම පෙනුමක් එන්නනං ඒකේ වර්ණ කිහිපයක සංකලණයක් තියෙන්න ඕන... ඒ වර්ණ අතර කහ පැහැය.. සුදු පැහැය.. රතුපැහැය.. ගුරු පැහැය වගේ වර්ණ මිශ්‍රණයක් තියෙන්න ඕන... ඔය වර්ණ මිශ්‍රණය කඩ කාරයෝ ගන්නේ ලේසියෙන්ම බත කොටස් කිහිපයකට විවිධ වර්ගවල වර්ණක යොදලා මිශ්‍ර කරලා.. ඒ ඒ බත් කොටස් එකට මිශ්‍ර කරලා... ඒක කරන හැටිත් අපේ සෑර් කියා දීපු හින්දා වැඩේ ගැන හොද දැනීමක් මටත් තියෙනවා... එහෙම ඩයි දාපුවා ඉතිං ලස්සන පමණයි... රසේ ගන්නෙත් අජිනමොටෝ වගේ දේවල් දාලා.. ඇත්තටම බැළුවොත් කඩේකින් කන බිරියානියක් කියන්නේ තනිකරම වහ ගොඩක්... ඒ හින්දා ඔය ජරාව ගිලින්නේ නැතිව ගෙදරදීම බිරියානියක් හොද රහට හදාගෙන කාලා බලන්නයි තියෙන්නේ... ඒකට ඔන්න මං උදව් කරන්නයි යන්නේ... මේක ඇවිල්ලා අපේ සෑර්ගේ අවවාද අනුශාසනා වගේම යූ ටියුබ් හරහා ඉගෙන ගත් හයිද්‍රාබාද් ක්‍රමයකට අනුව සකස් වෙච්ච එකක්...

මේකට උවමනා ද්‍රව්‍ය ගැන කතා කරද්දි ඒ ඒ දේවල් ගැනත් වෙන වෙනම විස්තරයක් කරන්න වෙනවා...  මොකද මේක නියම විදියට ගන්නනං අපි යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය වගේම.. ඒවා යොදාගත යුතු ප්‍රමාණයනුත්.. ඒවා යොදන වේලාවලුත් ආදී වශයෙන් ඔය කොයි එක ගැනත් කල්පනා කරන්න ඕන.. වැඩේ අල්ලගත්තට පස්සේ මේක බොහෝම පහසු වැඩක් උනාට.. මුලින්ම කරද්දි හරියට ක්‍රමය අල්ල ගන්න එක වැදගත්...


1) මස් වර්ගයක්
------------------
අපි කාගෙත් පහසුවට කුකුළු මස් ගැන කතා කරමු... කැමැති කෙනෙකුට මේ සඳහා එළු මස් උනත් භාවිතා කලෑකි... කුකුළු මස් සහ එළු මස් බිරියානි තමා ඉතිං ප්‍රසිද්ධ.. ඒත් අනිකුත් මස් වලිනුත් මේක පුළුවන් සහ ලෝකයේ ඒ ඒ පළාත්වල බහුලව  තියෙන මස් වර්ග වලින් මේක හැදෙනවා...
මේ සදහා කුකුළු මස් ගනිද්දි තරමක ලොකු මස් කෑලි උවමනා කරනවා... මස් මිලදී ගැනීමේදී ඔබට පහසු ආකාරයකට මිලදී ගතෑකි.. මේ සඳහා ඔය බෙල්ල කොටස.. කොඳු නාරටිය.. තටු වැනි කොටස් යොදා නොගන්න තරමට හොදයි... ඒ හින්දා චිකන් පාට්ස් වශයෙන් මිලදී ගැනීම තමුන්ට ලේසියි.. නමුත් මමනම් සම්පූර්ණ කුකුලෙක් ගෙනත් මට උවමනා කොටස් කපා වෙන් කරගන්නවා... කොහොම උනත් තරමක් විශාල කැබලි තමා මේකට උචිත වෙන්නේ.. සාමාන්‍යයෙන් එක් අයකු සඳහා පිළිගැන්විමේදී පිගානකට බත් සමග එක මස් කුට්ටියක් පමණක් යෙදීම ප්‍රමාණවත් නිසා සකස් කරන්නට බලා පොරොත්තුවන ආහාර පිඟන් ප්‍රමාණය මත කුකුළු මස් කුට්ටි තිබීම ප්‍රමාණවත්... ඔය පොඩි පහේ කුකුලෙක් කෑලි 6කට 8කට විතර කැපියැකි...මස් කෑල්ල ලොකු විම කිසිම ප්‍රශ්ණයක් නෙවෙයි... :D සම ඉවත් කල මස් වඩාත් සුදුසුයි...

2) සහල්
----------
බිරියානි  සඳහා ලංකාවේ සහ ලෝකයේ බොහෝම ජනප්‍රිය හාල තමා  බාස්මතී... බාස්මතී කිව්වමත් ඉතිං මේ අපිට කන්ට ඇහැකි දෙකයි පණහේ බාස්මතියේ හිටං සුපිරි ගණන්වල එව්වා තියෙනවා නෙව.. ඒ හින්දා තමුන්ට පාවිච්චි කල හැකි මට්ටමේ හොද බාස්මතියක් ගන්ට... මමනං පළවෙනි පාර අත්හදා බැළුවේ පොන්නි සම්බා කියන හාල් වර්ගය.. ඉන්දියාවේ සමහර පැතිවල බිරියානිය සකස් වෙන්නේ ඒ ඒ පළාත්වලට ආවේණික සම්බා වර්ග වලින්ම තමයි... ඒ හින්දා බාස්මති නැති කෙනෙකුට පොන්නි සම්බා වගේ ඇට හීනි හාල් වර්ගයක් උනත් අවුලක් නැහැ... බාස්මතී ගන්නවනං එක් අයකු සඳහා සහල් 1‍50g විතර සෑහෙනවා... ඒ ප්‍රමාණය සහ මස් කැබැල්ලේ ප්‍රමාණය මත ඕන ලොකු කෙනෙකුට ඇති වෙයි... පොන්නි සම්බා වගේ දෙයක් ගන්නවනං 180g වත් උවමනා වෙනවා... වැඩිය නොකන අය වෙනුවෙන්නං ඔය ප්‍රමාණ වලින් තව 30g විතර අහක් කලත් කමක් නැහැ..

3) කිරි
--------
එතකොට තව මේකට උවමනා වෙල ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මුදවපු කිරි... තමන්ට හොද මුදවපු කිරි හොයා ගන්න පුළුවන්නං එහෙමයි... බැරිනං ගන්න වැඩිය රස නැති යෝගට් වර්ගයක්... කඩපලවල්වල තියෙන කිරි හට්ටි.. කිරි දාපු ප්ලාස්ටික් ඇසුරුම් ගන්නවට වඩා හොද වර්ගයක යෝගට් ගැනිල්ල ඇගට ගුණයි... දැන් මාකට් එකේ තියෙන තරමක් තියෙන්නේ කෙමිකල් ගහපු කිරි.. ඒ හින්දා හයිට වඩා හයිලන්ඩ් වලින් ගහන මුදවපු කිරි හරි.. හයිලන්ඩ් ප්ලේන් යෝගට් හරි ගන්න.. මම ගන්නෙත් හයිලන්ඩ් යෝගට් එක.. ඕවට ඉතිං වැටෙන්නේ ජෙලටින් තමා.. ඒවා අර මුදවපු කිරිවලට ගහන දේවල් තරම් අගුනයක් නැහැ...

4) බිරියානි කුළු බඩු මිශ්‍රණය
---------------------------------
එතැනින් ගියාම තව උවමනා වෙනවා බුරියානිය සඳහාම සාදන කුළුබඩු මිශ්‍රණයක්... සුපර් මාකට්වල එහෙම තියෙනවා සකස් කරන ලද බුරියානි මිශ්‍රණ ඕන තරං.. හැබැයි එක දවසක් මේ විදියට හදලා තව දවසක් ඕනනං ඒ පැකට් එකක් ගෙනත් දාලා හදලා බලන්න කොහොම වෙනසක් මේ දෙක අතර තියෙනවද කියලා... ඉන්දියානු සහ පාකිස්ථාන් බුරියානි හැදිල්ලෙදි මේ අය ඔය කුළු බඩු දැමීමත් ක්‍රම දෙකකට යොදනවා.. එකක් ගරම් මසාලා නමින් හදුන්වන සැර කුළුබඩු මිශ්‍රණයත්.. අනික බුරියානි මිශ්‍රණය කියලා යොදන මිශ්‍රණයත්.. නමුත් මේ දෙකෙදීම එකම කුළුබඩු වර්ග දෙවතාවක් බාවිතා වෙනවා.. උදාහරණයක් කිව්වොත් ගරම් මසාලා වලදිත් කරපුනැටි වැටිලා.. ආයෙම මේ බිරියානි මික්ස් එකටත් කරාබු නැටි වැටෙනවා... ඒ විදියට දෙවතාවක් යොදනවට වඩා ගරම් මසාලා මිශ්‍රණයත් ඇතුළුව එකටම මිශ්‍රණය සකස් කර ගත්තම හරි... මේක තමා බිරියානි එකේ වැදගත්ම කොටස ඒ හින්දා අපි ඒක හදා ගැනිල්ල පරිස්සමට කල්පනාවෙන් කරගමු... 

කුරුඳු - කොටස් 3යි

කරඳමුංගු - කොටස් 2යි
කරාබු නැටි -කොටස් 2යි
ගම්මිරිස් - කොටස් 2යි
සාදික්කා - කොටස් 1යි
වසාවාසි - කොටස් 1යි
සූදුරු - කොටස් 4යි
මාදුරු - කොටස් 1යි
කොත්තමල්ලි - කොටස් 2යි


මෙන්න මේ පිළිවෙලට ගන්න..  මේ ටික යන්තම් වගේ කබලේ රත් කරලා... බ්ලෙන්ඩරේකට දාලා කුඩු කරගන්න ඕන.. යන්තම් කෑලි ටිකක් එහෙං මෙහෙං හිටින ගානට.. ඒ කිව්වේ හොදටම කුඩු උන අස්සේ කෑලි ටිකකුත් හිටින්න... ඔහොම හදා ගන්න මිශ්‍රණයෙන් කුකුළු මස් කුට්ටි 5ක් සහිතව.. බාස්මති හාල් 750g වගේ යොදාගෙන හදන පස් දෙනෙකුට වගේ සෑහෙන බිරියානි එහෙකට ඔය විදියට කුඩු කරගත්ත මිශ්‍රණයෙන් 15g-20g විතර සෑහෙනවා.. ඔය හැම එකම කිර කිර කරන්න පහසු නැත්තං පුරවපු මේස හැදි දෙකක් කියලා ගන්නකෝ...

5) තෙල් සහ එළඟි තෙල්
-----------------------------
මේ සදහා පාම් ඔයිල්... එළවළු තෙල්.. සූරියකාන්ත තෙල් වගේ දේවල් වඩාත් සුදුසුයි... පොල් තෙල් උනත් අවුලක් නැහැ.. හැබැයි පොල් තෙල්වලටත් වඩා පාම් ඔයිල් හොඳටම හොඳයි... එළඟි තෙල් තියෙනවනං එයිනුත් ටිකක් තෙල් එක්කම දාන්න ඕන.. එළඟිතෙල් නැත්තං ඉතිං අමතක කරන්න ඕන.. :D එළඟිතෙල් යෙදුවාම සුවදේ රසේ වෙනසක් තියෙනවා තමයි... හැබැයි ඉතිං ලංකාවේ අපිට එළඟිතෙල් නැති උනා කියලා ලොකු අවුලක් හිටින්නේ නැහැ... ඒ හින්දා ඒ ගැන වැඩියම හිත නරක් කරගන්න උවමනා නැහැ.. තියෙනවනං දාන්න...

6) අමු මිරිස්
-------------
බ්ලෙන්ඩ් කර හෝ අඹරා තලපයක් වශයෙන් ගත යුතුයි...

7) අමු ඉඟුරු හා සුදු ළුණු
-----------------------------
 මෙයත් තලපයක් වශයෙන්...

8) කොත්තමල්ලි කොල සහ මින්චි කොල
--------------------------------------------------
කුඩාවට කපා ගත යුතුයි...


9) රතු හෝ බී ලූණු
-----------------------
සිහින්ව කපා බැදගෙන තෙල් බේරිමට තබා වියළිව ගත යුතුයි...

10) වියළි මිරිස් කුඩු
-----------------------

11) කහ
----------
තේ හැන්දක පමණ කුඩු වතුර (හෝ රෝස වතුර) මේස හැදි දෙකක දිය කරගත යුතුයි..

12) ලුනු
----------

13) පාන් පිටි
---------------
භාජනය සීල් කිරීම සඳහා වතුරෙන් අනාගත යුතුයි...


ඔන්න ඔය කියන දේවල් තමා ඕන කරන්නේ... මෙයට අමතරව තියෙනවනං රෝස වතුර ටිකක් එහෙමත් යොදා ගතෑකි.. හැබැයි ඒවා අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි... කහ වෙනුවට සැෆ්රෝන් යොදා ගතෑකි.. නමුත් සැෆ්රෝන් කියන්නේ ලෝකයේ මිල වැඩිම කුළුබඩුව.. ග්‍රෑම් එකක් ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් 5000ක් විතර වෙනවා.. ඒ හින්දා ඒක අල්ලලා බව්වට දාමු... තියෙනවනං දාන්න..සැෆ්රොන් තියෙනවනං ලෝබ නැතිව රෝස වතුර ටිකකුත් හොයා ගන්න...
______________________________________

ඔන්න එහෙමනං හදන විදිය...
‍ අපි මේක හදන්නේ 5 දෙනෙකුට කියලා හිතලා වැඩේ කරං යමු.. ඒක ලේසියි.. කාට හරි ගාන වෙනස් කරගන්න ඕනනං මේ කියන ගණන් බෙදලා කරලා ගතෑකි.. කාට හරි ඒක හරියට බෙදා ගන්න බැරි උනොත් අහන්න මම උදව් කරන්නම්.

මුලින්ම පතුල තරමක් ගණකමත් ඇති.. පියනක් සහිත.. ඒ පියනෙන් සෑහෙන හොදින් භාජනය වැසිය හැකි අන්දමේ භාජනයක් ගන්න...
මේ භාජනයට මේ කියන දේවල් ටික එකතු කරන්න...

තරමක විශාල මස් කැබලි 5ක්...
සාදා ගත් කුළු බඩු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක්..
මිරිස් කුඩු මේස හැඳි දෙකක්
ලුනු මේස හැන්දක්
යෝගට් හෝ මුදවාපු කිරි කෝප්ප බාගයක්...(75g) (සම්පූර්ණ යෝගට්ටුවක ප්‍රමාණය)

අඹරාගත් අමු මිරිස් තලපයෙන් මේස හැන්දක්
අඹරාගත් ඉමු ඉගුරු සුදුළුණු තලපයෙන් මේස හැන්දක්
කුඩාවට කපා ගත් කොත්තමල්ලි සහ මින්චි කොල ලොකු අහුරක් (මින්චි ගස් 5ක.. කොත්ත මල්ලි ගස් දහයක විතර කොල)
තෙල් මේස හැඳි පහක් විතර... ඒකටම තියෙනවනං එළඟි තෙල් (ගී) මේස හැන්දකුත් එක්ක.
බැදගත් බී ලූනූ මේස හැඳි දෙකක්... (තව ලූනු මේස හැන්දක් දෙකක් විතර ඉතිරි කරගන්න ආයෙම උවමනා වෙනවා...)

දැන් මේ ටික හොදින් කලවම් කරමින් අත ගාන්න... සියල්ලම හොදින් මිශ්‍ර වෙලා ආවම මිශ්‍රණයෙන් ස්වල්පයක් අරං දිව ගාලා බලන්න පුළුවන්නං වඩාත් හොදයි.. ඔය මිශ්‍රණයෙන් තරමක දැවිල්ලකුයි.. හොද සුවදකුයි.. ලුනු රස තරමක් වැඩියෙනුයි දැනෙන්න ඕන...ලුනු රස මදි වගේනං ලුනු තව ටිකක් විතර එකතු කරන්න ඕන.. ලුනු වැඩිවෙනවනං අඩුයි.. මොකද බත් එක්ක ඕක කලවං වෙන්න නියමිත හින්දා... 

හරි දැන් ඒ මිශ්‍රණය වහලා තියන්න පැය බාගයක් විතර...

දැන් අපි බත් එක සකස් කර ගන්න ඕන...
හාල් ග්‍රෑම් 750ක් විතර හොදින් සෝදලා දිය බේරෙන්න ඇරලා වතුර එකක් ලිපේ තියන්න ඕන තරමක් ලොකු භාජනයක... වතුර ලීටර් හතරක් පහක් විතර තියන තරමට හොදයි... ඒ වතුර එකටම ලුනු මේස හැන්දක් විතර දාන්න...එළගි තෙල් තියෙනවනං තේ හැන්දක් විතර දාන්න... වතුර එක නටන්න ගත්තම හාල් ටිකත් පරිස්සමට දාන්න.. මතක තියා ගන්න හාල් එක්කම වතුරනං ලිපේ තියන්න එපා.. වතුර රත් උනාමයි හාල් දාන්නේ.. නැත්තං කන්න වෙන්නේ බිරියානි කිරිබත් :D

හරි දැන් තත්පර දහයෙන් දහයට වගේ බත් එක හැදි ගාමින් නිතරම බත් ඇටයක් පිටතට අරගෙන හපලා බලන්න යන්තම් තැම්බිලාද කියලා.. සම්පූර්ණ බත මෙතනම ඉදුනොත් වැඩේ හබක්.. බත් එක බාගෙන ඉදුන ගමන් වතුර ටික පෙරලා බත් ටික ගන්න ඕන... බත් ඇටයක් හපද්දි යන්තමට ඇටේ මැද හාල් ගතිය අහු වෙන ගානට ආව ගමන් ලිප නිවලා බත පෙරා ගන්න...

අන්න එහෙම බාගෙට ඉදුන බත ඒ ගන්න ගමන්ම අර මස් වලට උඩින් අතුරන්න... මතක තියා ගන්න පතුල වැහිලා තියෙන්නේ මස් මිශ්‍රණයෙන්...ඒ උඩටයි අපි මේ බාගෙට ඉදුන බත දාන්නේ.. අඩියට එහෙම නෙවෙයි... ඒ වගේම බත් දාන ගමන් මස් එකත් එක්ක කලවං කරන්න යන්නත් එපා.. සීරු මාරුවට උඩින් බත් ටික ඉහින්න...

හරි බත් ටික දාලා ඉවර උන ගමන් බත උයලා පෙරා ගත්ත උණු වතුරිනුත් කෝප්ප බාගයක් විතර මුළු බතම තෙමෙන විදියට ඉහින්න... වතුර වැඩිය එපා.. කෝප්ප බාගේ වැඩිත් එක්ක...එයින් පස්සේ ඇල් වතුරින් හෝ රෝස වතුරින් දිය කරගත් කහ දියර මේස හැඳි දෙකක් විතර බතට උඩින් ඉහින්න.. මේක නිකං එහෙට මෙහෙට ඉරි දෙක තුනක් ඇදෙන්න දැම්මනං හරි... පැතිරෙන්න වක්කරන්න යන්න ඕන නැහැ..  කහ වතුර දැම්ම ගමන්ම එයට උඩින් බැදගත්ත ලූනු ටිකක් නැවතත් යහමින් අතුරන්න ඕන...  එයින් පස්සේ තියෙන්නේ පියන සීල් කිරිල්ල... ඒ  සඳහා වතුරින් තරමක ගණකමට අනාගත් පාන් පිටි ටිකක් අරං භාජනයේ කට වටේතියලා පියන එයට උඩින් තියලා හොදින් තද කරලා.. පුළුවන්නං පියන උඩින් බරකුත් තියන්න.. ඔය ටික මෙහෙම ලතාවට කිව්වට වැඩිය වෙලා ගන්න එපා.. බත පෙරලා ගත්ත තැන හිටං භාජනයේ කට සිල් කරන තැනට එනකල් වැඩ ටික අඩුම කාලයකදී කරන්න.. විනාඩි දෙකක් වගේ ඇතුලත ඔය ටික කරන්න පුළුවන්නං වඩාත් හොදයි.. නැත්තං බත් එකට සුවඳ අල්ලලා නියම විදියට ඉදෙන එකක් නැහැ.. නිකංම බතේ රස්නෙට ඉදිලා හිටියි...

හරි දැන් ඉතිං තියෙන්නේ යන්තම් ගින්දර දීලා මේක ඉදෙන්න අරින්න... ගින්දර වැඩි කරගන්න එපා... එහෙම උනොත් බත හරියට තැම්බෙන එකකුත් නැහැ.. අඩියත් කර වෙයි... මේක හිමිහිට ඉදෙන්න අරින්න ඕන එකක්.. මඳ ගින්දරේ හිමිං ඉදෙන්න අරිද්දි අර සීල් තියපු පිටි වාටියත් විනිවිද ගිහිං හුමාලයත් එක්ක හොද සුවදක් පැතිරෙන්න ගන්නකොට ගින්දර නිවලම දාලා තව දුරටත් විනාඩි  හතලිහක් වගේ කාලයක් ලිප මතම තියෙන්න අරින්න... එයිට කලින් හදිසියට අරින්නනං එපා.. වැඩේ දෙල් වෙයි.

ඔන්න දැන් වැඩේ හමාරයි... දැන් තියෙන්නේ හිමිහිට භාජනයේ පියන විවෘත කරලා.. කට වටා ඇති පිටි මුද්‍රාව ඉවත් කරලා දාන්නයි... එයින් පස්සේ හැන්දක් හෝ ලී හැඳි මිටක් වගේ දෙයක් ආදාරයෙන් බත් එකේ එක පැත්තක ඉඳන් සීරු මාරුවට කලවං කරන්න ඔන.. යටම තියෙන මස් ටික හිමිහිට ඉහලට ගන්න ගමන්.. යට තියෙන රතු පැහැ බත උඩටත්.. උඩ ඇති කහ පැහැ බත් යටටත් ආදී වශයෙන් හොදින් මිශ්‍ර වෙලා ලස්සන වෙනකල් හිමිහිට මිශ්‍ර කරන්නයි තියෙන්නේ... එයින් පස්සේ පුළුවන් කැමති විදියකට පිළිගන්වන්න.. සාමාන්‍යයෙන් බිරියානි එක බෙදනකොට මුලින් මස් කුට්ටිය බෙදලා ඒ මතට බත් බෙදිල්ල තමා වඩා හොඳ... 

ඇත්තටම කිව්වොත් ඔය බත් එක කන්න වෙන මොන මගුලක්වත් ඕන නැහැ... නියම විදියට හැදුනනං සුවඳත් එක්කම කෑහැකි.. :D

ඒත් මේක පවුලේ අයට විශේෂයක් හැටියට හදන වෙලාවක ඔහොම මදි මදි වගේ කියලා හිතෙනවනං ඕකට තව එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා...

තම්බා සුද්ධ කරගත් බිත්තර නැවතත් බිත්තරය වටා ආවරණය රන්වන් පාට වෙනතුරු තෙලෙන් බැදලා බත් එක මතින් තියන්න පුළුවන්... එයට අමතරව අඹ චට්නි... රසම් හොදි... මින්චි සම්බල්... ඇඹුලට උයාගත් වම්බටු වෑංජනයක්.. අඹරාගත් මස් වර්ග වලින් සාදන ලද උකු හොදි වර්ගයක් වැනි දාහකුත් එකක් ජාති ඕකට තියන්න පුළුවන්... ඒත් සරලව කරනවනං හොදම ටික තමා බිරියානි/බිත්තර/මින්චි සම්බල්/ රසම් හෝ චට්නි ඔය ටික තිබුනනං ඇති.... ආයේ ඉතිං ගෙදරට එන ඕන ලොක්කෙකුට ඇඩෙන්න දෙන්න ඇහැකි...

මෙච්චර විස්තර කිව්වට හිතන්න එපා මේක හදන්න හෙන අමාරු වැඩක් කියලා.. ගෙදර බඩු තියේනං ඔය ඔක්කෝම කරලා දහ දෙනෙකුට උනත් බිරියානි එකක් හදන්න පැය එකහමාරෙන් පුළුවන්.. එතනිනුත් වෙලාව යන්නේ අර අවසානෙදි ලිප නිවලා බත හරියනකල් තියන විනාඩි හතලිහ හින්දයි.. නැත්තං මේක පැයක් යන්නේ නැති වැඩක්...

හරි දැන් මේකටම අල්ලලා තව පොඩි ගුරු මුට්ටියක් දෙකක් දෙන්නං...

එයින් එකක් තමා මේ... ඒ කිව්වේ අපිට සැෆ්රෝන් තියෙනවනං.. මේ කහ වතුර යෙදිල්ල කරන්න ඕන නැහැ...බැදගත්ත ළුනු ඕනත් නැහැ... ඒ වෙනුවට සැෆ්රෝන් බතට උඩින් ඉහලා ඒ උඩට රෝස වතුර මේස හැදි දෙකක් ඉහින්න... එච්චරයි... 

එතකොට අපිට තව පුළුවන් අර බත යොදන වෙලාවෙදි බත් වලින් බාගයක් විතර යොදලා මැදින් වියළි බේලිව්ස් වගේ කොල තියලා ඉතිරි බත් ටික දාන්න.. බේලිව්ස් වෙනුවට වියළි කුරුඳු කොල වගේ දේවලුත් පුළුවන්...

ඒ වගේම මෙන්න මේක විශේෂම දෙයක්.. සාමාන්‍යයෙන් කුක්ලා කියා දෙන්නේ නැති දෙයක්... (මං ඇවිල්ලා කුක් නෙවෙයි හින්දා කියා දෙනවා ඈ.. :D ) අර මුලින්ම මස් මිශ්‍රණය හදලා ඒක භාජනයේ පතුලේ හොදින් පැතිරෙන්න අහුරද්දි අපිට තව වැඩක් කරන්න පුළුවන්.. ඒ තමා කුකුළු මස් කැබලි කපද්දි අපි ඉවත් කරගත්ත මස්වල තිබූ තෙල් හෝ හම් කොටස් කිහිපයක් අරං මස්වලටත් යටින් භාජනයේ පතුලේ තැන්පත් කිරීම... මේක භාජනය පතුල පුරාව වෙන්න ඕන නැහැ.. යන්තම් තෙල් කෑලි හෝ තෙල් සහිත හම් කැබලි දෙක තුනක් තැනින් තැනට අඩියට දානවා... ආයේ ඉතිං රත් වෙද්දි ඔය තෙල් ටික රත් වෙලා ඒකෙන් මස් ටික හොද පදමට බැදෙනවා සහ.. වැරදීමකින් හරි ඔයාලා අතින් ගින්දර රස්නේ වැඩි වෙලා අඩිය කරවෙන්න එහෙම බැළුවොත් කර වෙන්නේ ඔය කියාපු තෙල් කොටස් ටික මිස අපි හදන බතවත් මස් ටිකවත් නෙවෙයි... බත බේර ගැනිල්ලයි.. රස කර ගැනිල්ලයි දෙකම එකට කර ගන්න පුළුවන් වැඩක්.. හැබැයි සෞඛ්‍ය හේතුන් මත තෙල් අඩු කරලා තියෙන අය ඉන්නවනං ඔය වැඩේ කරන්න යන්න එපා... දාන තෙල් මදිවට තව මස් තෙලුත් මොකටද..?

හරි ඔය දේවල් වගේම අපි ටිකක් වැඩි පිරිසකට බිරියානියක් හදනවනං.. අර මුලින්ම මස් මිශ්‍රණය හදලා එයින් මස් කෑලි ටික අඩියට තුනී කරලා පුළුවන්නං මස් එක්ක තියෙන තාවරය.. ඒ කිව්වේ යෝගට් අනං මනං හින්දා හැදුන දියරයෙන් චුට්ටක් විතර අහක් කරගෙන ඒකත් බත් වලින් බාගයක් දැම්මට පස්සේ දාලා නැවත බත් දාන්න... අර බේලිව්ස් දාන්න කිව්ව හරියට.. බේලිව්ස් එක්ක හරි නැතිව හරි...

රයිටෝ එහෙමනං ඔන්න වැඩේ ආයේ මුට්ටි නැතිවම කියා දුන්නා... මේක දිගට ලියලා තියෙන හින්දා බොහෝමයක් අය කියවන එකක් නැහැ.. ඒත් ඒකට අවුලක් නැහැ.. වැඩේට උනන්දුවක් තියෙන අයට ආයේ අතරින් පතර හිතන්න දේවල් නොතියා ලියන්නයි මට උවමනා උනේ.. ඒත් ලියං යද්දි මොනවා හරි අතරිලා තියෙනවා වගේනං කරුණාකරලා පෙන්නලා දෙන්න.. මට සමහර වලොවට ඔක්කෝම ලියනවා ලුනු දාන්න ලියන්න අමතක වෙනවා වගේ වැඩ වෙනවා.. :D අකුරුනං අම්බානක වැරදිලා ඇති.. මට බැහැ එව්වනං හද හද ඉන්න... කම්මැලියි.. :D

එහෙමනං ඔන්න යටින් එල්ලනවා මං පලවෙනි පාර හදාපු බිරියානියේ පිංතුර ටිකක්... දෙවැනි පාර බාස්මතියෙන් හදපු එක පොටෝ ගහන්න උනේ නැහැ.. උයලා ඉවර වෙද්දිම බඩගිනි වැඩි කමට කෙලලා ඇද්දා.. :D

බය නැතිව කියලා තියෙන විදියට හදන්න... කාලා බලන්න.. විශේෂයෙන්ම මස් ටික කොයි තරම් අපූරුවට සකස් වෙලා තියෙනවද කියලා බලන්න.. කිසිම විදියකින් ඒ වගේ රසට සහ මෘදු අමුතුම ගතියකින් තිබෙන අන්දමට මස් රස විදින්න වෙන විදියකින් ලැබෙන්නේ නැති වෙයි... අනිත් දේ තමා සුවඳ.. රසයටත් කලින් සුවඳට කෙල උණනන්න ගනීවි.. කරලම බලන්න... 


මස් සහ කලමනා සියල්ල හරි...


බාගෙට පිසූ බත්/කහ දිය/බැදපු ළුනු
ඉහත දසුනෙහිම සමීප රූපයක්...


භාජනය මුද්‍රා තබා බත පිසීම...



බිරියානි සූදානම්...


ඔන්න බත් එකේ මුද්‍රා ඉවත් කර බත කොහොමද කියලා පෙන්වන වීඩියෝවකුත් තියෙනවා.. කැමතිනං බැලියැකි...
video

28 comments:

  1. shan මිශ්‍රණය තමා මෙතෙක් කල්...බලමු මේක... ඔයාගෙ ලොක්කත් ආසයි...බිරියානි ඔලට....thnx මල්ලි.... සුභ අනාගතයක්,,,,,

    ReplyDelete
  2. අනේ නිකන් හිටහං..ගෑනි දැන් උයන කෑම බඩට දාගන්නෙත් ආමාරැවෙන් මේක දැකලා ගෑනිත් බුරියානි හැදුවෙත් මමනේ ඒ දුකත් විදින්න ඔිනේ මොකද උඔ එනවද කන්න.

    ReplyDelete
  3. ​බලමු බලමු මේකත් හදල කන්න පුලුවංද කියල.

    ඒක නෙමෙයි උඹ මොකටද පස් දෙනෙකුට බුරියානි හැදුවෙ.

    ReplyDelete
  4. දිග වැඩියි කියල කියවන්නැතිව අත්තරී?? හම්මේ අකුරක් නෑර කියෙව්වේ. දැන් ඉතින් හදනකල් ඉවසුමක් නෑ. එන ඉරිද ගේම දෙනවා. ඕ යේස්..

    ReplyDelete
  5. බුකියෙ තිබිල මේ රෙසපිය බලල බිරියානි හදාගෙන කෑව, පැකට් ම්ශ්‍රනයට වඩා සියගුනයක් හොදයි මාරෙ .චිකන් ටික දවසක් විතර සීසන් වෙන්න දීල හදන්න ඕනේ ආයේ පාරක් .

    ReplyDelete
  6. මට නං එච්චර අල්ලන්නෙ නෑ බිරියානි. මම කැමති චීනගෙ බැදපු බතට.

    ReplyDelete
  7. "මමනම් සම්පූර්ණ කුකුලෙක් ගෙනත් මට උවමනා කොටස් කපා වෙන් කරගන්නවා..."

    පරිස්සමින් ඉන්න ;-)

    ReplyDelete
  8. හොඳා නේද......මේ එලවලු ගිනිගනන් කාලෙ..!

    ReplyDelete
  9. යෙකා් මීට වඩා පහසුෙවන් ඔය ක්‍රරමය කියන්න තිබුන ෙන්..ඊට පස්ෙස් ජා.ෙත් අැරල දැම්මනං හරි.. හැක්..

    ReplyDelete
  10. බිරියානී නෙමෙයි හිල සහිත වඩේ ගැන ලියලා හරි බ්ලොග් එක අප්ලෝඩ් වෙනවා නම් එච්චරයි..

    ReplyDelete
  11. මෙහෙදි බිරියානි කියල කෑවට ඕකට ලංකාවෙදි බුරියානි තමයි හරියන්නෙ. මොකද ලංකාවෙ බුරියානිය වෙනස් නිසා!

    මං මේ සයිවර් කඩේකින් චිකන් බුරියානියක් කාපු එකෙක් ගැන ඇහුවමයි. ඉස්සරනං කොළඹ ප්‍රසිද්ධම බුරියානි කඩේ මරදානෙ බුහාරිය. ඕක කරේ ජාතික සේවක සංගමෙන්. එතන මැනේජර් හිටියෙ අපේ බෞද්ධ සම්මේලනේ රෝහිත අය්ය. ඉතින් "හෙළ බොදු" වැඩ වලට කොළඹ කරක් ගහල මරදාන බුහාරියෙන් බුරියානියකුත් චිකන් එක්ක ගිලලගෙදර යන්න පුලුවන් හවහට මොකද 4 පස්සෙ කඩේ හැලිවල අඩියෙ බුරියානි වලට ගාන වැටෙන්නෙ නැතිනිසා :)

    ReplyDelete
  12. ඔය ඕනේ කරන අඩුම කුඩුම ටික මෙහෙන් හොයා ගන්න එක තමයි කේස් එක ... දැක්කම සිරාවටම කටට කෙල ඉනුවා .. දැන් මේ කෙල ගිලින ගමන් ලියන්නේ ... ගෙදර තියෙන තුනපහ ටික හරි දාලා කස්ටමයිස් කරපු බුරියානියක් හදල බලන්න ඕනේ .. තැන්කු වේවා ..

    ReplyDelete
  13. අයියට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ ඉතිං....... අපි දන්නැ බඩේ රුජා හැදුනොත්....

    ReplyDelete
  14. පොහ්........................නියමයිනේ. වහාම නෑ නෑ වහාම නෙවෙයි ඊළඟ සති අන්තයේ හදන්න ඕනෙ.

    බොහොම ස්තුතියි මේ විස්තරයට සහ මුට්ටි නැතුවම කියාදුන්නට.

    බලනකොට මාරයාත් මාර කුක් කෙනෙක්නෙ :D

    ReplyDelete
  15. ඊලගට මිථුන ලග්නය පලකරන්න.

    ReplyDelete
  16. මාරයියා !!

    බිරියානි වලට යන්නෙ නං

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    ReplyDelete
  17. ගෙදර ගියපුගමන් වැඩ පටන්ගන්න වෙනව, දැන් නොකත් බෑ

    ReplyDelete
  18. මේ මචං මාරයා................... දැන් ඉන්න බැහැ... බුරියානි කන්නමයි හිතෙන්නේ.... මාරයා මේවා ලිව්වා වගේ නෙමෙයි අපි ඒපැයි විදවන්න.........................

    ReplyDelete
  19. මචන් මෙකෙ පියන පිටිවලින් සීල් කරනව වෙනුවට ප්‍රෙශර් කුකර් එකක් පවිව්චි කරන්න බෑරිද ?

    ReplyDelete
  20. අර කුලුබඩු මිශ්‍රනය හදනකොට කොටස් ගාන දාල තියෙන්නෙ බරටද එහෙම නැතිනම් ප්‍රමානයටද? ඒ කියන්නෙ මනින්න තේ හැන්දකින්/මේස හැන්දකින් වගේද?

    ReplyDelete
  21. නියමයි මාරයෝ!!! ඔය චිකන් ස්කින් එක, පෝක් තෙල් ලේයර් එක මම ෆ්‍රීස් කරලා තියනවා ඔය වගේ වැඩවලට. හරි ප්‍රයෝජනවත්. මාරයෝ ඔය චිකන් ස්කින් එක ඩීප් ෆ්‍රයි කරතැකි පපඩම් වගේ එනවා, බොනකොට හපන්න මරු!!

    ReplyDelete
  22. ෆ්රෙෂර් කුකර් එකක් ගත්තම සිල් කර කර ඉන්න ඕන නෑ නෙහ්ද? එහෙම නැත්තන් එක හරියන්නේ නැද්ද??

    ReplyDelete
  23. සෑහෙන කාලෙකින් මාරයා අයියගේ අඩවියට ගොඩ වුනේ.රස කෑමක් හදන හැටි දාල තියෙන්නේ.

    ReplyDelete
  24. සුපිරි බන් මාරයා .

    ReplyDelete
  25. නියමයි මාරයා නියමයි. මේක කියවන්න කෙනෙක්ට අමාරු වෙන්නේ කොහොමද? අමාරුම හරිය කරල තියෙන්නේ ඔයානේ. මේක ලියන්නම කොච්චර අමාරුද නේද?

    ReplyDelete