29 January 2014

ඔන්න නයා... අයියාගේ A4 GPS එක...


මාත්තුරුකාව නිකං මඤ්ඤං මඤ්ඤං වගේ නේද..? හැබැයි ඉතිං වෙනදා ඒවත් එක්ක බලනකොට ඒ හැටි අවුලකුත් නැහැ.. :D
හරි වැල් බයිලා මොකටද මේ ලියන්න යන්නේ අපේ බ්ලොග් ලියන අයියා කෙනෙකුගේ නයා පැටවීමේ වියාප්පුරුතියේ තවත් කොටසක්.. ඒ අයියනං ඉතිං නිතරම ලියන්න ගිහාම ඔය එක එක නයි අතෑරියට මොකද මේ වගේ කේස් ගැන උන්දෑ නෙවෙයි මීක් කියන්නේ... ඒත් ඉතිං අපි වගේ දැහැමෙන් සෙමෙන් අනුන්ගේ ඕපයක් හොයලා දවස ගෙවා ගන්න සද්ගුණවත් බුවාලා ඉද්දි අයියලා කොහොමද ඔය වගේ කතා රට්ටුන්ගෙන් හංගන්නේ...

හරි කතාව කියන්න කලියෙන් මුලින්ම කියන්න එපෑ.. මේක ඇවිල්ලා එක්තරා මල ගෙයක් සම්බන්ධව සිද්ධ වෙච්චි.. තවත් මල ගෙදරකදී හෙලි දරවු වෙච්චි සීන් එකක්... කලින් මල ගෙදරට ගිය දෙන්නෙක් පස්සේ මල ගෙදරට සැට් වෙච්ච වෙලේ මාත් එතැන හිටිය හින්දා සීන් එක අඩු පාඩුවක් නැතිව අහ ගන්න හම්බ උනා කියමුකෝ...

ඔන්න ඉතිං අපේ මේ බ්ලොග් ලියන අයියා ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මේ සීන් එකට සම්බන්ධයි.... අපි ඉතිං කතාවේ පහසුවට ඔය නං කිහිපයක් දා ගමු. හරි නැහැනේ ඇත්ත නං කියන එක මොනවා උනත්.. හා නැද් මං අහන්නේ...?

ඔන්න ඉතිං මේ මෑතකදී ගාල්ල පැත්තේ අපේ බ්ලොග් ලියන කෙනෙකුගේ මෑණියන්ගේ අභාවය සිද්ධ උනා... අපි ඉතිං ඒ බ්ලොග් ලියන අයියට කියමුකෝ “ආරිය පියනන්ද“ වගේ නමක්... ඉතිං මේ ආරිය අයියගේ ගෙදර තියෙන මල ගෙදර යන්න අපේ දන්න කියන බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක් සැට් වෙලා තියෙනවා.. එක්කෙනෙක් තමා කරවල වාඩියක මොන්ටි සෝරියක් කරන සුදුම සුදු අයියා.. අපි ඉතිං එයාට “සුදු අයිය“ම කියලා කියමු... එතැනින් ගිහාම තව හිටිය සාමාජිකයෙක් තමා ඒ කරවල වාඩියේම කාලයක් මාළු අල්ල අල්ල හිටලා පස්සේ මදුරුවෝ තලලා එපාම වෙලා ලංකාවට ඇවිල්ලා දැන් මේ වෙද්දි අවුරුද්දක් වගේ කාලයකදී කොම්පැණි හත අටක්ම වස්සවන්න දායක උන අපේ “එපා“ අයියා..අපි එයාට කටට ලේසියටත් එක්ක කියමුකෝ “එපායියා“ කියලා...තව ඉතිං මේකට සම්බන්ධ උන අය හිටලා තියෙනවා.. ඒ අතරේ ඔය නැගීගෙන එන පරපුරේ බැසීගෙන යන දේසපාලක මල්ලි කෙනෙක් එහෙමත් හිටලා තියෙනවා... ඒ ඇරුනම ඉතිං අපේ කතා නායක බ්ලොග් ලියන අයියා තමා අනිත් ඩයල් එක... අයියා ඉතිං ඔය ගැජට් බැජට් වලට පොරසිද්ද හාදයා නිසා අපි “ගැජට්ටයියා“ කියලවත් කියමු නේද..?

ඉතිං මේ කස්ටිය කොහොමින් කොහොමින් හරි ආරිය අයියලගේ මල ගෙදර ගියා.. ඒ ඉතිං අපේ සුදු අයියගේ අළුත්ම අළුත්.. කිරි කිටි සුඛෝපභෝගී වෑන් රථයේ... ඒ වෑන් රථයේ ඇති සුවිශේෂී පහසුකං ගැනත් ඔය එක එක කතා ඇහුනා උනත් ඔය හැම එකක්ම මේකේ ලියන්න ගියොත් අද කතාව කියන්න වෙන්නේ නැහැ නෙව... :D

ඔන්න ඉතිං දැන් කස්ටියම අර වෑන් රථයේ ආසන අරා වැඩ සිටිමින් දැන් ගමනේ යා...

කොහොමින් කොහොම හරි කොස්ටාවෙන් වෑන් රතේ දාගත්තා කියමුකෝ ගාල්ල අධිවේගී මාර්ගෙටත්... ඔන්න දැන් තමා වැඩේ පටාන් ගන්නේ...

කට්ටියම මල ගෙදර යනවා උනාට එක්කෙනෙක්වත් කලින් ගිහින් තියෙන තැනක් නොවන හින්දා දැන් කට්ටියම යන පාර හොයාගෙන එපෑ යන්න.. හැබැයි ඉතිං ඒ ගැන වැඩිය කලබල වෙන්න දෙයක් තිබිලා නැහැ... අධිවේගෙට දැම්ම ගමන්ම ඕං අපේ “ගැජට්ටයියා“ නිකං රණ සූරයෙක් තමුන්ගේ කොපුව එළියට.. නැහැ මං කිව්වේ කඩුව කොපුවෙන් එළියට ඇඳලා ගන්නැහේ.. ඇඳලා ගත්තේ නැද්ද මොකක්ද මංදා “ගැජට්“ එකක්... ඇදලා ගත්තා විතරද පින්වතුනි.. නැහැ නැහැ.. ඔන්න දැන් මේ වෑන් රථයේ යන උදවියට අපේ “ගැජට්ටයියා“ හෙන විස්තරයක් දෙනවා...
“මචංලා.. මේක ඇවිල්ලා අළුත්ම භාණ්ඩයක්... මේවා තව ලංකාවට ඇවිල්ලත් නැහැ... උඹලනං හීනෙන්වත් දැකලා නැතිව ඇති.. මේක මට හම්බ උනේ ජරමනියෙන්.. මේක ඇවිල්ලා GPS එකක්.. මේකෙන් පුළුවන් ලෝකේ ඕනම අස්සකට මුල්ලකට පාර හොයාන යන්න.. කොටින්ම කිව්වොත් කාගේ හරි ගෙදරට යන්න ඕන උනොත් මේකට ඒ යන්න ඕන ගෙදර ගැන විස්තර දුන්නම කෙලින්ම ගෙයි සාලේ මැදටම යන්න පාර පෙන්නනවා දසමෙට.. ඔව් ඔව්.. ආයේ ඉතිං මේක තියේනං වෙන කිසිම ගේමක් නැහැ.. කාගෙන්වත් පාරවල් අහ අහ ඉන්න ඕන නැහැ.. මේක බැළුවා ගියා.. එච්චරයි...“

හරිනේ ඉතිං දැන් මොකටද පාරවල් හොයන්න බය වෙන්නේ.. ගැජට්ටුව අත දරා “ගැජට්ටයියා“ නිකං මැජික් අරිස්ටේ ගහපු සූර පප්පා වගේ ඉද්දි මොන බයක්ද.. දැන් ඔන්න ගැජට්ටයියා අහන්නෙත් නැතිව පාර කියනවා... 
“ආ සුදු මල්ලි ඔහොම කෙලින්ම යන්න.. ආ තව කෙලින්ම යන්න.. ඔහොම යන්න.. යන්න.. කෙලින්ම යන්න... කොහෙන්වත් හරවන්න එපා කෙලින්ම යන්න...“
හරිනේ ඉතිං අධිවේගේ යද්දි හරවා හරවා ඉන්න දෙයක් නැහැනේ.. කෙලින්ම යන්න නෙව තියෙන්නේ... ඒත් ඉතිං දැන් අයියා ගමන් මාර්ගේ විස්තර කරනවා දිගටම.. ඒ අතරින් පතර ආයේ ආයේ මේකේ පාරට්ටුවත් කෙරෙනවා... ඔන්න දැන් ඔහොම ගිහින් ගිහින් සෑහෙන දුරක් ගිහින් අධිවේගේ නිමා වෙන්න වගේ කිට්ටු වෙද්දී ටිකාක් විතර අයියගේ ගමන් මාර්ග විස්තරේ සද්දේ අඩු වෙනවා... ඔන්න හිටි හැටියේ එක පාරට අයියා කලබල වෙනවා... බලං ඉන්න කට්ටියට දැන් පේනවා අමුතු සීන් එකක්... මෙච්චර වෙලා අයියා අතේ තියාගෙන පාර කිය කිය ගිය GPS ගැජට් එක හිමිහිට අයියගේ සාක්කුවට යනවා... ඒ අතරේම අනිත් සාක්කුවෙන් තවත් මොකාක්දෝ එකක් හිමිහිට එළියට ඇඳලා ගන්නවා... ඔන්න දැන් කට්ටිය කොර වෙනවා... යකෝ මේකා එක GPS එක මදිවට තවත්  GPS එකක් උස්සං ඇවිල්ලද.. මේකා යකෙක්නේ... කියලා එහෙම හිතනකොටම ඔන්න පේන්න ගන්නවා අයියා සාක්කුවෙන් ඇදලා ගත්ත අළුත්ම අළුත් අනිත් GPS එක...


අහෝ..!!! A4 කොළයක ලියා ගත් මාර්ග විස්තරයකි... :D  අළුත්ම අළුත්.. නවීන පන්නේ.. ජරමනියෙන් ගෙනාව GPS රාජයා... අයියාගේ එක සාක්කුවක නිදා ගද්දී.. නිකංම නිකං කොල කැල්ලකින් පරණ පුරුදු ආකාරයටම පාර සොයාගෙන යාම... ඔන්න බලන්නලා තාක්ෂණේ දියුණුව.. :D

ඉතිං කථාව ඉවරයිද පින්වතුනි..? නැහැ නැහැ එහෙමත් ඉවර වෙනවද..?

කොහොමින් කොහොම හරි කොලේ බලාගෙන අතනින් මෙතනින් හරවං ගිහිං අවසානෙදි සුපිරියටම පාර වරද්දන්න අපේ ගැජට්ටයියා සමත් වෙලා තියෙනවා... කොලේ දිහා බලං හිටිය තව කෙනෙක් එක පාරක් පෙන්නලා එතැනින් නේද හැරෙන්න තියෙන්නේ කියලා කිව්වත් අයියා නෙවෙයි ඒක පිළි අරං තියෙන්නේ.. “නැහැ නැහැ ඔය වගේ පාරක් නෙවෙයි ඒක ලොකු පාරක් හිටහල්ලකෝ මං කියනකල්“ 
ආදී වශයෙන් ලොකු කතන්දර රාසියක් කියා අවසන පාර හමු නොවූ තැන පාරෙ සිටි කොල්ලන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් කලින් කී පාරටම හැරී ඇවිත් යාන්තමින් ආරිය අයියලගේ ගේ පේන නොපෙනන ගානට එද්දිම.. ඕං පින්වතුනි මෙච්චර වෙලා අතේ තියං හිටිය  A4 GPS රාජයා නැවත සාක්කුවට වඩම්මවා.. මෙතෙක් වේලා අනිත් සාක්කුවට වී නිදි සුව විදිමින් සිටි පෙර කී GPS ගැජට්ටුව නැවතත් අතට ගෙන... මෙන්න අයියා ආයේ ගෙයි මිදුලට යන්න පාර කියනව.... “ළු“

ඉතිං ඕක ඔය “ළු“ උනේ ඔය කතාව මේ ඊයේ පෙරේදා දවසක තවත් අපේ හිතවත් බ්ලොග් ලියන අයියා කෙනෙකුගේ පිය තුමාගේ අවමංගල්ලයකට සභාගී වෙලා කට්ටියත් එක්කලා පාළු කප කප ඉන්න වෙලාවක නිසයි... කථාව කියන්න යෙදුනෙ නං අර මං කිව්ව “එපයියා“ තමා... මේක කියලා අවසානය වන විට එතැනටම වී හිටිය “ගැජට්ටයියා“ ගේ මූණත් තහඩුවේ සුන්දර දර්ශනයක් මේකේ දාන්න නොලැබීම ගැනනං ඔන්න මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා... :D ආයේ ඉතිං ඒ පොටෝ නැතිවට ඔයාලා නිකං මල ගෙදරක පොටෝවක් හිතෙන් මවා ගන්නලාකෝ.. ඒ ඇති...

 අර ඉතිං යුතුකමක් හැටියට මේක කට්ටියට කිව්වා මිස නැත්තං ඉතිං මමනං ඔය වගේ කතා ඒ හැටි හොයන්නේ බලන්නේ නැහැ කියලා කට්ටිය දන්නවනේ... හා හා මං ගියා...

26 January 2014

මාර ඡන්දේ... :D

මේක ඇවිල්ලා තුන් ඈදුතු ප්‍රශ්නයක්... අනං මනං වැල් බයිලාවෙන් තොරව කල්පනා කරලා උත්තර දෙමු බලන්න... මට විතරක් නෙවෙයි අනිත් අයටත් අදහසක් ගන්න උදව් වෙයි... මේකම මං බුකියෙත් අතෑරියා.. එහෙයි මෙහෙයි දෙකේම ලෑබෙන උත්තර එක්කාසු කොරලා ගන්ටයි හිතන් ඉන්නේ ඊ ළග කොටසට යන්න...

මෙන්න පළමු වටය...

මහින්ද අතෑරියොත්...මී ළග ජනපතිවරණයට “සුදුසුම“ (සැලකිය යුතුයි දිනනම හෝ අවස්ථාව ලැබෙනම නොව ) අපේක්ෂකයා කවුද..?

(1) යූ ඇන් පි ය තනිව හෝ එය ඇතුළු සංධානයකින්...

i- රනිල්
ii- සජිත්
iii- කරු
iv -චන්ද්‍රිකා
v-රන්ජන්

(2) සංධානය හෝ ඒ සම්බන්ධ පක්ෂ අතරින්...

i- බැසිල්
ii- ගෝඨාභය
iii-මෛත්‍රීපාල
iv-පාඨලී චම්පික

(3) තුන් වැනි බලවේග අතුරින්...

i-සරත් ෆොන්සේකා
ii-සෝභිත හිමි
iii- සෝමවංශ
iv-ටිල්වින්
v-අනුරකුමාර
vi-වික්‍රමබාහු

කරුණාකර ප්‍රශ්න අංක වලින් පිළිතුරු දීමටත් ප්‍රධාන අංක තුන යටතේ පිළිතුරු තුනක් පමණක් දීමටත් සැලකිලිමත් වන්න... මෙම ප්‍රශ්න වලට පිළීතුරු ලැබෙන ආකාරයෙන් අවසාන ප්‍රශ්නය අසනු ලැබේ..

21 January 2014

අනේ සුමනක්කේ...

ගයේෂත් එන්නේ...
නදීෂා කලියෙන්ම බැස්සේ...
ඔබ මොකද නැත්තේ...
ඔබත් ආවොත් වැඩක් වෙන්නේ...

ගයේෂට හැකිනම්..
නදීෂත් ඉල්ලයිනම්..
සුමනක්කා ආවොත්...
අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්...

හිරුනිකා දෝණී...
දැක්කත් සතුට දේවි..
අනර්කලී බට්ටි..
ඇඹරි ඇඹරි ඔමරි පාවී...

ඉඟුරු සුදු අක්කා..
කොලොන්නාවට බැස්සා...
මංගලා අක්කා
පවා සටනට මෙන්න බැස්සා...

මහ ඇමති වෙන්ටා
සාරිය කරට උස්සා..
මෙන්න දැන් එනවා...
අපේ ගීතක්කා...

පකිස් පෙට්ටිය වාගේ..
බබලන නාරි රූපේ..
ජීවන්ගේ දෝණී..
පවා ඉල්ලයි අපේ ඡන්දේ..

සුදු සුමන අක්කේ..
ඔබ පමණී නැත්තේ...
ඔබත් ආවෝතින්..
පමණි අපහට නින්ද යන්නේ...

ඇමරිකා සල්ලි..
තවත් මොකටද අක්කී..
එන්න තව නොරැඳී...
අක්කා ජනපති කරමි කැපවී...

04 January 2014

ලෝකයට අළුත් දහමක්...බුවා දහම හා එබුවා තුමා...

ඔන්න මුලින්ම කිව්වා බයින්න ඔට්ටු නැහැ... මොකද බයින්න ඕනනං බැන ගන්න මෙන්න මේක බලලා... මේ අහිංසක මට බනින්න සැට් වෙන්න එපා හරිය... :D 

රයිටෝ... හැමදාම මෙහෙම වේලි වේලි ඉඳලා හරියන්නේ නැති හින්දා මාත් කල්පනා කලා අළුත් වැඩක් කරන්න... අළුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියා උනත් ඒවට සල්ලිය බාගේ ඕන... මහන්සි වෙන්න ඕන... ඕවා ලේසි නැහැ.. ඒ හින්දා එයිට වඩා ලේසි දෙයක් කරලා ගොඩ යන්න ඕන කියලා හිතුන හින්දා මාත් කල්පනා කලා මේ කාලේ ලේසිම බිස්නස් එහෙකට අත ගහන්න.. ඒ තමා ආගමක් හදා ගන්න එක.. මොකද නරකද.. ඔය පාතාල කල්ලි.. ත්‍රස්ථවාදී සංවිධාන අනං මනං හදාගෙන කරන දේවල් වගේයෑ ආගමක් හදා ගන්නවා කියන එක... හරි සාමකාමී මෙවවා එකක් නෙව... (සමහර ආගංනං ඉතිං ටිකක් විතර සාමේ අඩුයි තමා.. ඒවා ඉතිං හදපු අය එක්ක බේර ගන්න ඕන දේවල්.. මං ඒවට නැහැ)

තියෙන ආගමකටම සැට් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් උනත් ඔය උඩ ඉන්න හාදයා වගේ උනොත් මිනිස්සු මට ගල් ගහයි කියලත් බයයි නෙව අප්පා.. අනික ඉතිං ගහක මලක් කොලයක් වෙනවට වඩා නරකෑ ගහක්ම වෙන එක.. ඒ හින්දා ඔන්න මාත් හදාගෙන යනවා ආගමක්.. මේක ඇවිල්ලා මගේම ආගමක්.. හැබැයි හරිම නම්‍යශීලියි.. ඒ වගේම හරිම ගැඹුරුයි... හරිම පැහැදිලියි.. හරිම විචිත්‍රයි.. හැබැයි මෙහෙම කිව්වට මං දැන්ම එක පාරට මේ ධර්මය දේශනා කරන්න යන්නේ නැහැ.. ඔයාලට පුළුවන් ඇවිල්ලා මාත් එක්ක සැට් වෙලා (ඒ වගේ වචන ගැන කලබල වෙන්න එපා.. මං කිව්වනේ මේක හරිම නම්‍යශීලී ආගමක් කියලා.. ඒ අනුව ඒවත් අපේ ආගමේ ධාර්මික වචන.. අවුලක් තියේනං ආයෙම උඩ වීඩීයෝව බලන්න... :D ) මගේ පරම පවිත්‍ර... ආගම ගොඩනංවන්න දායක වෙන්න.. දැනටමත් මගේ ආගමේ ප්‍රධාන ශ්‍රාවකයා හැටියට අපේම බ්ලොග් කරුවෙක් පත් වෙලා තියෙනවා...(දෙබුවා තුමා) ඒ වගේම ශ්‍රාවිකාවකුත් ඉන්නවා... (දෙබුවී තුමී)  ඒ ඒ අය ගැන ඉදිරියේදී ඔයාලට මං පැහැදිලි කරලා දෙන්නං.. තව මේකේ තනතුරු රාසියක්ම ඉතිරි වෙලා තියෙනවා.. ඒ හින්දා ඔය හුගාක් දෙනෙකුට මේකට ඇතුලත් වෙලා පහසුවෙන්ම තනතුරු අනං මනං ගතෑකි.. තනතුරු නැති උනොත් හදලා හරි දෙනවා... මේක නිකං අපේ මහින්ද අයියගේ කැබිනට් එක වගේ තමා.. හරිම නම්‍යශීලියි.... :D

මගේ බුවා ආගමේ.. (ඔයාලට ඕනනං ඔය නම උනත් වෙනස් කරන්න මං ලෑස්තියි..) ප්‍රධාන ආගමික නායකයා ඉතිං මංම තමා... ඒ හින්දා මාව හඳුන්වා දෙන්නේ පළමු බුවා.. එහෙමත් නැත්තං අංක එකේ බුවා යන අරුත ඇති “එබුවා තුමා“ යන නාමයෙන්... මගේ බුවා ආගමේ ප්‍රධාන අත වැසියන් දෙදෙනා දෙබුවා සහ දෙබුවී යන ගරු නාම වලින් හැදින්වෙනවා... තව ඉතිං ඉස්සරහට තෙබුවා සෙබුවා වගේ සැට් එකක්ම පත් කරන්නත් නියමිතයි.. ඒ වගේම මගේ දහම මුලින්ම දේශනා කරන්න මං හිතං ඉන්නේ සිරිලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව ආසන්නයේ තමා.. මොකද මගේ කල්පනාවක් තියෙනවා මුලින්ම අපේ මැරවින් තුමා.. සරණතුමා.. රංගේ බණ්ඩාරේ.. තෙවරප්පෙරුමේ වගේ තුමාලා පමණක් නෙවෙයි හදිසියකදී සැට් එකක් පාරට බස්සන්න ඇහැකි ඕනම තුමෙක්.. ඒ කිව්වේ කුරුඳු පොලු හමුදාවක් ලීඩ් කරන්න පුළුවන් මට්ටමේ තුමාලා තුමීලා ටිකක් මුලින්ම පහදවා ගෙන සිටීම මගේ මතු ආරස්සාවට හොඳයි කියලා...

ඒ වගේම සෝමක්කා... ඔටාරා නංගි... වගේ අයත්..අනර්කලී..නදීසා ළමයා වගේ දහමට බර බලවත්.. වැරදුනා..බවලත් උදවිය එහෙමත් මේකට දායක කර ගන්න... ඒ ඒ අයට මගේ ආගමේ වැදගත් අංශ රාශියක් බාර දීලා මේක වැඩි දියුණු කරලා ගන්න අපි කිහිප දෙනෙකු දැනටමත් සාකච්ඡා කරගෙන යනවා බුකියේ... ආ කියන්නම එපෑ.. මගේ දහම ලොව පුරා ප්‍රචාරය කරන මාධ්‍යය තමා අන්තර්ජාලේ... විසේසයෙන් “බුකිය“... ඒ ඇරුනාම මේ “බ්ලොග්“ එක වගේ දේවල්... ඉදිරියේදී  “තෝ බටේ“ එහෙමක් යහමින් පාවිච්චි කරන්න තමා හිතං ඉන්නේ... දැනට ඉතිං ලොකු විස්තරයක් කියන්න අමාරුයි.. කාට හරි මේ දහම නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන සුළු හරි අවබෝධයක් ලබා ගන්න ඕනනං මෙන්න මේ ලින්කුව ඔස්සේ ඒ දහම් අවබෝධය ලබා ගතෑකි... එතැන තමා දහමේ මුල.. කවදා හරි දවසක බුකිය පූජනීය ස්ථානයක් බවට මේ නිසාම පත් වෙයි කියලත් මං හිතනවා... (බලන්න ඕන මාක් සකරබර්ග්ටත් තනතුරක් දෙන්න)

ඉතිං මෙන්න මගේ මේ අති උත්තම පූජනීය.. උත්කුරුස්ඨ දහම් ප්‍රචාරයේ පළමු හදුන්වා දීමේ වීඩියෝව... 
video

මේකේ දැනට මේ හැඳගෙන ඉන්නේ තාවකාලික යුනිෆෝම් එකක් විතරයි... ඉදිරියේදී අපි ඔටාරා නංගිව පහදවා ගත්තට පස්සේ එයා ලවා සුපිරි ආගමික යුනිෆෝම් එකක් නිර්මාණය කරලා.. ඒක එයා ලවාම පහසු මුදලකට ආගමික දායකයින්ට ලබා දෙන්නත් හිතං ඉන්නවා... දැනට ඉතිං මේ යුනිෆෝම් එක මදෑ..දියුණු වෙන ආගමක් හැටියට... (සරං පහෙන් දෙකක් හෝදලා.. ඇඳන් හිටිය එකත් එක්ක සරං තුනකින් ඔයිට වඩා දෙයක් නිර්මාණය කරන්න අමාරුයි නෙව.. :D )

හරි එහෙමනං ඔබ සියළු දෙනාටම බුවා දහමේ පිහිටයි ආරස්සාවයි... එබුවාතුමාගේ ආසිර්වාදය ඔබ සමඟයි...

----------------------
ලොකු ලොකු තනතුරු ගැනීමට බලාපොරොත්තු වන වියාපාරික කාන්තාවන් හා... මැර බලය..ධන බලය.. ඇති දේසපාලකතුමාලටත්... පැන්ෂන් එකට කරන්න දෙයක් හිතා ගන්න බැරිව රට වටේ වැඳ වැද යන උපාසක උපාසිකාවන්ටත් විශේෂ සැලකිලි දක්වනු ලැබේ... අදම එකතු වන්න.. පිහිට ආශීර්වාදය සලසා ගන්න.. මෙලොවදීම සුර සැප විදින්න.. මෙලොව ඇති එකම දහම.. බුවා දහම...

----------------------
ඔන්න ආයෙමත් කිව්වා... අවුල් වගේනං උඩ වීඩියෝව නැවත වතාවක් බලලා සිත පහදවා ගන්නලා....

03 January 2014

“රනිල්“ නම් වූ තරුණ උපාසකගේ කතා වස්තුව...

යන්තමින් මෙන් කැරළි ගැසුණු කොණ්ඩයත්.. මුවේ එක් කෙළවරක රැඳි නල දතක් නිසා මතකයේ සිටින සිනහවත්... ඒ සියල්ලටමත් වඩා කතා බහ කරන ඕනෑම අයකුගේ අවධානය මනාව ලබා ගැනීමට සමත් අපූරු වාග් විලාශයත් නිසා රනිල් තරුණ උපාසක මහත්මාගේ රුව මගේ නොව ඔහුව දිනක් හෝ ඇසුරු නිසුරු කල ඕනෑම අයකුගේ මතකයේ රැඳීම අරුමයක් නොබව බව කිව යුතුය. මතුපිටින් දකිනා කල කිව හැකි කිසිදු වරදක් නැති මේ අපූරු තරුණ උපාසක තැන ගැන මා මුලින් සිතා සිටි ආකාරය කොතරම් වැරදිදැයි මට පසක් වන විට අස්වයා ඉස්තාලෙන් පැන යන්නට ඔන්න මෙන්න තබා තිබිණි.. නමුත් මා හට ඉස්තාලයේ දොරටුව වසා ගැනීමට හැකි වූවාදැයි නැද්දැයි මා අදටත් දන්නේ නැත...

--------------------
“පන්සල් වත්ත...“ 
ඒ නමින් හැඳින්වූයේ මා විසින් විහාරාධිකාරීකම ඉසිලූ පන්සලට තරමක් ඈතින් තිබූ එහෙත් අප පන්සලටම අයත් දායක කොට්ඨාශයකි.. එයට පන්සල් වත්ත යනුවෙන් නම ලැබීමටත් හේතුවක් තිබිණි.. එනම් පැරණි රබර් වතු යායක් පසු කාලීනව වෙන්දේසි කොට ජනාවාස පිහිටවීමේදී එකී වෙන්දේසි වත්ත මැද එක බිම් කඩක් පන්සලක් වෙනුවෙන් වෙන් කර තිබීමයි.. පර්චස් විස්සක තිහක පමණ වපසරියකින් යුතු එම බිම් කඩ එසේ අතහැරීමට වෙන්දේසි කරුවා යොමු වූයේ ඔහු තුල වූ ශ්‍රද්ධාව භක්තිය කරණ කොටගෙනද.. නැතහොත් එහි වැවී තිබූ තරමක විශාල බෝධීන් වහන්සේ කපා දමා එයත් වෙන්දේසී කිරීමට තිබූ බියද.. යන්න දන්නේ ඔහුම පමණකි.. ඒ කෙසේ වෙතත් බෝධීන් වහන්සේ සහිත එම බිම් කඩ වෙන්දේසි වත්ත මැද්දෑවට වන්නට පිහිටා තිබුනු අතර එය පන්සල් වත්ත නමින් ප්‍රසිද්ධ විමත්.. ඒ හරහා එකී වෙන්දේසි ඉඩම සහිත ප්‍රදේශයම පන්සල් වත්ත නමින් ප්‍රකට වීමත් සිදුව තිබිණි. කෙසේ වෙතත් එම බිම් කඩ අයත් වෙන්දේසි වත්ත අප පන්සලට මායිම් වූ දායක ප්‍රදේශයට අයත්ව තිබූ නිසා පසු කලට වෙන්දේසි කරුවා විසින් එකී බිම් කඩ පන්සලේ වැඩ හුන් විහාරාධිපති හිමියන්ට ඔප්පුවකින්ම පවරා දී තිබුණි... එම නිසා එය අප පන්සල සතු දේපලක් ලෙසින් සැලකුණද සැබෑ ලෙසින්ම කිවහොත් එය පැවතියේ ලොකු හාමුදුරුවන්ගේ පෞද්ගලික දේපලක් ලෙසිනි. 

පසු කාලීනව පන්සල් වත්ත ක්‍රම ක්‍රමයෙන් දියුණ කරන්නට ගම් වැසියන් කිහිප දෙනෙකු විසින් දරණ ලද උත්සහය නිසා එහි බෝධිය වඩා කුඩා ප්‍රාකාරයක් බැ‍ඳී තිබූ අතර.. එහි පසක හුරුබුහුටි බුදු කුටියක්ද විය... එයටත් පසු කලක එකී භූමිය තුලම බ්ලොග් ගලින් බැඳ වහල නොගැසූ කාමර දෙකක පමණ ගොඩ නැගිල්ලක්ද තැනී තිබුණි.. මා මුල් වරට පන්සල් වත්තට යන විට තත්වය මෙසේ විය...

පන්සල් වත්ත ගැන කතා කිරීමේදී ප්‍රධාන චරිත කිහිපයක් ගැනම කතා කල යුතුය...

ඉඳිහේනේ සුනිල්...
පියරත්න ඉස්කෝල නෝනා...
ඉන්දරේ අයියා...
පියවතී අක්කා...
සහ මා මුලින් හඳුන්වා දුන් තරුණ උපාසක මහත්මා වන රනිල් උපාසක තැන...

මේ සියළුම චරිත පන්සල් ජීවිතය තුලදී මට හමු වූ අය අතුරින් අදටත් මාගේ මතකයේ ඇති සුවිශේෂී චරිත කිහිපයක් වේ.

ඉඳිහේනේ සුනිල් යනු මැරයෙකි... ගොවියෙකි... උපාසකයෙකි... 

හඳුන්වා දීම අමුතු විය හැකිය.. එහෙත් කල හැක්කක් නැත.. ඒ සුනිල්ගේ ස්වරූපයයි... සුනිල් අයියා සිය ආදායම් මාර්ගය ලෙසින් තෝරාගෙන තිබූයේ අන්නාසි වගාවය... පළාතේ විශාල ඉඩම් කට්ටි කිහිපයක්ම දීර්ඝ කාලීන බද්දට ගෙන ඒවායේ සේවකයින් යොදවාගෙන මහා පරිමාණ ලෙසින් අන්නාසි වගා කරවීම කරගෙන ගියද තතු දන්නෝ පවසන පරිදි ඔහු විසින් එයට පෙර කරනු ලැබුවේ මහා පරිමාණ වශයෙන් කසිප්පු ජාවාරම විය.. නමුත් මා විසින් ඔහුව හඳුනා ගන්නා අවධිය වන විට හෙතෙම එකී ව්‍යාපාරය අතැර දමා තිබුනා පමණක් නොව සිය ගම් පෙදෙසේ වෙන කිසිවකුටත් මත් ද්‍රව්‍ය වෙළ හෙළදාම කිරීමටද නොදී එයට එරෙහිව සිටි අයකු විය.. එමෙන්ම ඔහුගේ නිවුන් සහෝදරයා පැවිදිව මෙම ප්‍රදේශයට තරමක් දුරින් පිහිටි විහාරස්ථානයක විහාරාධිපතිකම  දරණු ලැබූ අයෙකි. කෙසේ වෙතත් මෙම සහෝදරයින් දෙදෙනා.. එනම් සුනිල් අයියා හා ධම්මතිලක පණ්ඩිත හාමුදුරුවෝ  මා දන්නා සෑම කලකම බොහෝම තදින් විරසක වූ දෙදෙනෙකු විය.. එම විරසකයට හේතුව හරියාකාරව දැන නොසිටියත් දෙදෙනා අතර ඇති විරසකය එසේ මෙසේ එක්ක නොවන වග එම දෙදෙනාම ඇසුරු කල මා හට අවබෝධ විය... එය නයි මුගටි වෛරයක් හා සමාන එකකි...

එකී තත්වයන් කෙසේ තිබුනද සුනිල් අයියා යනු තනි වචනයේ මිනිහෙකි... දෙයක් කිව්වොත් එය කෙසේ හෝ කරනු ලබයි... බැරි වැඩ බාර ගන්නේද නැත... සෑම දිනකම ඔහුගේ නිවසේ විස්සකට තිහකට බත් මාළු ඉදෙයි... එකී බත ඔහුගේ වතුවල වැඩ කරන අය හා ආව තේව කරනු ලබන කිහිප දෙනෙක් වෙනවෙනි.. එම බත කන්නට මෙන්ම සුනිල් අයියා වෙනුවෙන් පණ දෙන්නට වූවද මෙකී පිරිස සූදානම් බව වසර කිහිපයක සිදුවීම් නිසා මා හට අවබෝධ විණි... 

තරමක් දරදඩු පුද්ගලයකු වූ සුනිල් අයියාට මිනී මැරුම් නඩු කිහිපයක්ද තිබුණි... ස්භාවයෙන්ම කුකුල් කේන්තිකාරයකු වූ නිසා සුනිල් අයියාට එවැනි නඩු තිබීම අරුමයක්ද නොවේ... අයුක්තියක් අසාධාරණයක් දුටු තැන නයකු සේ කිපීම ඔහුගේ ගතියයි... ඔහු ඉදිරියේ සිටින්නේ දෙවියන්වහන්සේද කවුද යන වග එවිට ඔහුට වැදගත් නැත. මොන යකාගේ වූවද මූණටම කියන්නට ඇති දෙය කියන්නට දෙපාරක් නොසිතන ඔහු අසරණ අහිංසක මිනිහෙකුගේ දුකකදී කරදයකදී තව කෙනෙකුට කියන්නට කරන්නට කිසිවක් නොතබා තමාට හැකි උපරිමයෙන් උදව් පදවු කරයි... ඔහු නිසා යැපෙන පවුල් දහයක් පහලොහක්ම පන්සල් වත්ත ප්‍රදේශයේ තිබිණි. එයින් ඇතමකු ඔහු නිසා හිරේ විලංගුවේ සිටින අයගේ පවුල් වන අතර තවත් පවුල් ඔහුට  කිසිම සම්බන්ධයක් නැති.. එහෙත් කුමක් හෝ කරුණක් නිසා දුකට පත් වූ පවුලක් විය හැකිය... කුමන ආකාරයෙන් උදව් පදවු කලද කිසිම විටක එකී පවුලක ස්ත්‍රියකට අයුතු බලපෑමක් කරන්නට යන ආකාරයේ දේවල්ද සුනිල් අයියාගේ චරිතයේ තිබුනේ නැත.. සුනිල් අයියා සිය පවුලටත් දරු දෙදෙනාටත් බොහෝ ආදරය කල ඔවුන්ගේ දියුණුවට කටයුතු කල අයෙකි. එකී දරුවන් දෙදෙනාද ප්‍රදේශයේ සිටි ඉගෙනීමට දක්ෂතම දරුවන් දෙදෙනෙකු මෙන්ම ඉතා හොඳ හික්මීමක් සහිත අය බවත් මා දැන සිටියෙමි... කොටින්ම කියතහොත් සුනිල් අයියා හොඳද නරකද කියා කෙලින්ම කිමට මට අදටද හැකියාවක් නැත... මිනිසකු හොඳද නරකද කියා කෙලින් ඉරක් ගසා පෙන්වන්නට නොහැකි බව ජීවිත කාලය තුලදී මා හට වඩාත් හොදින් පසක් කල එක් අයකු වූයේ සුනිල් අයියා බව කිව යුතුය... ඔහු ඒ තරමටම අපූරු මිනිසකු විය...

සුනිල් අයියා පන්සල් වත්ත සම්බන්ධව ඉතා වැදගත් පුද්ගලයකු විය.. ඒ එහි දියුණුවට මුල පටන් කටයුතු කල කිහිප දෙනාගෙන් එක් අයකු වීම නිසාය... බෝධි ප්‍රාකාරය තැනීමේදීත්... බාගයට වැඩ අවසන් කොට තිබූ ගොඩනැගිල්ල තැනීමේදීත් ඔහුගේ පෞද්ගලික ධනයත්.. සේවක සහයත් ඉතා උසස් මට්ටමේ තිබී ඇත. වැඩ කිරීමේදී ඔහුට උවමනා වන්නේ අන් අය විසින් අත පොවන්නේ නැතිව වැඩ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සලසා දීම පමණි.. එසේ නිදහස දුන්නේ නම් එම වැඩය ගැන අමුතුවෙන් කිසිවක් හොයා බලන්නට වන්නේ නැති බව මා අත්දැකීමෙන්ම දනිමි.. ඒ පසු කලක විහාරස්තානයේ පැවති පිංකම් වලදී ඔහුගේ සහභාගීත්වය ලැබුනු ආකාරය නිසාය... තරමක බර වැඩක්  කරන්නට ඇති සෑම විටම ඔහු පැමිණෙන්නේ තුන් හතර දෙනෙකු රැගෙනය.. ඒ කිසි විටකත් මා විසින් දැක ඇති අය නොවේ... පන්සලට ආ පසු මා හමු වී වැඩේ එක්තරා කොටසක් බෙදා වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටීම සුනිල් අයියාගේ සිරිතයි.. ඒ ඔහුට හවුල් වැඩ බැරි නිසාය... ඒ ඉල්ලන වැඩෙත් අමාරු අසීරුම එක වීම ඔහුගේ සතුටට හේතු වෙයි... එයින් පසුව ඒ ගැන සොයා බලන්නට අමුතුවෙන් මහන්සි විය යුතු නැත.. කවුරු බාගෙට වැඩ කලත් සුනිල් අයියා බාර ගත් කොටස ඉතා හොදින් සිදු කර අවසන් කරයි... ආයේ එහි හොයන්නට.. ඇදයක් පෙන්වන්නට දෙයක් නැත... වැඩය අවසන් වූයේ කොයි වේලාවටද... “එහෙමනං හාමුදුරුවනේ අපිට යන්ට අවසර“ කියාගෙන පිටත්ව යෑම ඔහුගේ සිරිතයි... ඔහු හා පැමිණි පිරිසට වතුර වීදුරුවක්වත් පන්සලෙන් බොන්නට ඔහු ඉඩ තබන්නේ නැත.. ඔවුන්ට අවශ්‍ය බුලත් විටේ සිට ඔහු විසින් සපයයි... ඔවුන් හා හරි හරියට වෙහෙසී වැඩ කරයි... යකෙකුට කරන්නට බැරි වැඩක් වූවද ඔහුට බාර දුන් විට සිද්ධ වන වග නම් ස්ථීරය... ඒ සුනිල් අයියා ගැන පැහැදිලි කිරීමයි...

පියරතන ඉස්කෝල නෝනාත් පන්සල් කෑල්ලේ දියුනුවට අත හිත දුන් අනිත් ප්‍රභලම චරිතය වෙයි... අවිහිංසක ස්ත්‍රියක වූ ඇය.. වසර හැටත් හැත්තෑවත් අතර සුදු පාට පුළුන් වැනි කොණ්ඩයක් හිමි.. නිතරම සිනහවෙන් පිරි මුහුණකින් යුතු... අප කෙරෙහි පුත්‍ර සෙනේහයකින් කටයුතු කල උපාසක මෑණි කෙනෙක් විය... තරමක් විශාල වතු පිටි කිහිපයක උරුමය ඇතිව හුන්.. විශ්‍රාමික ගුරුවරියක් වූ ඇය ආර්ථික වශයෙන් ඉතා හොද තත්වයක සිටි අතරම සිය විශ්‍රාම වැටුප තනිකරම පාහේ වියදම් කලේ පින් අතේ වැඩටත්.. කවදාවත්ම නොලැබෙන බැව් දැන දැනම දෙනු ලබන ණය තුරුස් වලටත්ය.. ඇයගෙන් නිතර දෙවේලේ ණය ගත් අහල පහල දිළිඳු කිසිවකුත් කිසිම දිනක ඒවා නැවත ගෙවීමට උත්සහ කලේ නැත.. ඇය ඒවා ඉල්ලන්නට ගියෙත් නැත.. කලින් කීයක් ණය තිබුණත් නැවත ඉල්ලූ විට අත ඇති පමණින් දීලා දැමීම ඇයගේ සිරිතයි... ඉතා ඉවසිලිවන්ත ස්වාමියකු හිමිව තිබීම ඇය ලබා තිබූ උසස්ම ධනය විය.. සිය බිරිඳගේ නිමක් නැති දාන පාරමිතාව ඔහු විසින් සිනහවෙන් ඉවසා සිටීම පැසසුම් කටයුතුය... පියරතන ඉස්කෝල නෝනා දරුවන් තිදෙනෙකුගේ මවක් වූ අතර දරුවන් තිදෙනාම උසස් මට්ටමේ අධ්‍යාපන තත්වයක් අත්කරගෙන මේ වන විට රටේ උසස් තනතුරු දරණ අය වෙති...  ඇයටත් ස්වාමියාටත් දරුවන් සම්බන්ධව හෝ වෙනත් කිසිවක් සම්බන්ධව මහා ගොඩක් ප්‍රශ්න නොවූ අතර සමාජ සේවයට කැප වූ ජිවිත ගෙවන ලදි...

ඉන්දරේ අයියා අහිංසක දුප්පත් ගැමියෙකි.. රක්ෂාව වශයෙන් කලේ මල් පෝච්චි..මාළු ටැංකි වැනි අච්චුවේ තනන සිමෙන්ති ආශ්‍රිත නිර්මාණ තැනීමයි... පන්සල් වත්ත ප්‍රදේශයේ එක් පසක එක්තරා කුලයක් නියෝජනය කල ඔහු සිය කුලයේ අය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කල එක්තරා අන්දමක ග්‍රාම නායකයෙකි... සාම්ප්‍රධායික කර්මාන්තයත්.. දිවි පෙවෙතත්.. දුප්පත්කමත් අතරින් මතු වූ හොර බොරු වංචා නැති... අවිහිංසක මිනිසුන් අතර සැබෑ අවිහිංසකයකු ඉන්දරේ අයියාගේ චරිතය තුලින් පෙන්නුම් කෙරිනි...

පියවතී අක්කා යනු සාම්ප්‍රදායික ගොවි පවුලක ගෘහනියක වූවාය... තමන්ට අයත් හා අඳේට ගත් විශාල කුඹුරු රැසක් කරවන පවුලක ගෘහණියක වූවද.. දාහකුත් එකක් වැඩ රාජකාරි අතරේ දුව පැන සමාජසේවා වැඩට කැප වූ ඇය නිතරම වැඩ කිරීමට සූදානම් චරිතයකි... තරමක් ලජ්ජාශීලී නිසා කතාව බහ අඩු උනත් ගම් වැසියන් බොහෝ දෙනෙකු ඇයට වැඩ පල වලදී නායකත්වය දී කටයුතු කලේ ඇගේ ඇති මනා සංවිධාන හැකියාව හා කාත් සමඟත් හොඳින් කටයුතු කිරීමේ හැකියාව නිසාය.. පන්සල් වත්ත දියුණු කිරීමේදීත්.. පසු කලක මා විසින් අප විහාරයේ සංවර්ධන කටයුතු කිරීමේදීත් ඒ වෙනුවෙන් මහන්සි නොබලා ගෙයක් ගෙයක් පාසා ඇවිද යමින් බොහෝ මෙහෙයක්  ඇය විසින් කරනු ලැබුවාය... සාමාන්‍ය ගෙවිලියක වූවද ඇය මෙන් හොඳින් කාල කලමණාකරණය කල අය මට මේ වන තෙක් හමු වී ඇත්තේ අතලොස්සකි.. කවදාවත් කියන වෙලාවට තත්පරයක්වත් පරක්කු නොවී පැමිණෙන ඇයට සිය පවුලේ වැඩ අතරේම පන්සලේ වැඩට.. සමිති සමාගම් වැඩට කාලය සොයා ගැනීමට අපහසුවක් නොවීය... දුවා දරුවන් ලොකු මහත් කොට උගන්වා උසස් තනතුරු වලට යවා.. සිය සැමියාගේ ගොවිතැන් කටයුතුවල සෑම දෙයකටම ආධාර උපකාර කොට... ගම රට වෙනුවෙනුත් කාලය මිඩංගු කල ඇය ඒ සෑම දෙයක්ම වචනයක් නාහන අන්දමෙන් ඉටු කිරීමට වග බලා ගත්තාය.. ඒ හැර ඇය ගැන කීමට තවත් විශේෂ කරුණක් ඇත... එනම් කිසි විටකත් ඇයගේ වයස නිර්ණය කිරීම කිසිවකුටත් කල නොහැකි වීමයි... ඇයගේ මව වන දම්මවතී උපාසක අම්මාද ඒ වන විට අවුරුදු සියයකට ආසන්නව සිටි අතර ඇයත් කොන්ද කෙලින් තබාගෙන හොදින් ඇවිද යන එන ශක්තිමත් අයකු විය... අඩුම තරමේ අවුරුදු හැටක් පැන සිටිය යුතු යැයි අනුමාන කලද හතලිහකට වඩා පෙනුමක් පියවතී අක්කාගෙන් දිස් නොවිණි... ඇගේ වයස නොයෑමේ රහස නම් කාත් එක්කවත් හිතේ තරහක් මරහක් නැති වීම විය යුතුමය... ඇය විසින් කාට හෝ වරදක් කියනවා මා කවදාවත් අසා නැත.. වෙනත් අයකු කාට හෝ වරදක් කියන විටද ඒවා දුර දිග ගෙන නොයන තැනට කතා බහ කර විසදීම ඇයගේ ගතියයි.. ඇගේ මෑණියන්ද ඇය මෙන්ම ශ්‍රද්ධාවත්.. යහපත් ගති ගුණ සහිත කාන්තාවක් වූ අතර ඇයගේ හොදකම සිය මැණීයන්ගෙන් පැමිණ තිබූ බව සිතිය හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ අප කතානායකයාගේ විස්තරයයි... එනම් රනිල් තරුන උපාසක තැන ගැනයි...

හෙතෙම වයස විස්සක් විසි පහක් අතර තරුණයකු විය... පෙනුම ඉහත මා සඳහන් කල පරිදි විය... ඔහු ගැන සඳහන් කිරීමේදී කිව හැක්කේ මගේ මුළු ජිවිත කාලෙටම හම්බ වූ කට්ට කයිරාටික වෙට්ට පිත්තලයින් අතර ඔහුත් මුල්ම පෙලේ අයකු බවයි... එතරම් අඩු වයසකදී කෙසේ මේ තරම් කපටියකු වූවාදැයි සිතාගත නොහැකි තරමේ කපටියකු විය... ඔහුගේ තරම මා හට මුලින්ම කියන ලද්දේ සුනිල් අයියා විසිනි.. එහෙත් ඒ වන විට සුනිල් අයියා ගැන මා අසා තිබූ කරුණු නිසා මා ඔහුගේ වචනය ඒ හැටි ගණන් ගත්තේ නැත.. පසුව පියරතන ඉස්කෝල නෝනා විසින්ද හෙමිහිට අනතුරු ඇඟ වූවත් පරම්පරා දෙකක ගැටීම විය හැකියැයි සිතා එයද නොසලකා හැරියෙමි.. එහෙත් අවසන සර්පයා කෙසේදැයි මා විසින් හඳුනා ගතිමි...

ඒ කතාව ඉදිරියට බලා පොරොත්තු වන්න...

---------------------------------
(මෙහි එන නම් ගම් නියම ඒවා නොවන අතර ඔවුන්ගේ නියම නම් ගම් වලට ආසන්නයෙන් යන ඒවා පමණක් වන බව කරුණාවෙන් සලකන්න...)
......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

මේකත් සංධිස්ථානයක් නෙව...

අද මොනවත් ලියන්ටනං නෙවෙයි හිතං හිටියේ... හොඳට බත් වේලක් උයං කාලා ආතල් එකේ ඉන්ට කියලා... ඒත් හදිසියේම අපේ අර ත්‍රිභාෂා වඩේ මුදලාලි බුකියේ කොල දැනුං දීමක් හින්දා ඔන්න ඔහේ වචනයක් හරි කොටලා යන්ට හිතුවා...

දැන් ආයිබෝංලා මගේ මේ දුප්පත් බ්ලොග් කස්ට ආරම්භ කොරලා යන්තං අවුරුදු හතරක් විතර වෙනවා නෙව... ඉතිං ඒ අවුරුදු හතරක විතර කාලේ තුලදී මේ බ්ලොග් කෙරුවාව හින්දා මං දැන හඳුනගත්ත අය බොහෝමයි.. ඒ වගේම ලැබුන අත්දැකීමුත් බොහෝමයි... ඇහුව බැනුං එහෙමත් ඉතිං බොහෝමයි තමා ඕං.. හොහ් හොහ්... :D

ඉතිං මුල්ම ලිපිය ලියපු දවසේ ඉඳන්.. හිමි හිමිහිට ඇවිල්ලා.. පෝස්ටු පණහේ සීමාව පැන්නා.. එයින් පස්සේ සීය..දෙසීය ආදී වශයෙන් ඇවිල්ලා මේ වෙද්දි පෝස්ටු අටසිය....... පොඩ්ඩක් හිටු ගාන හරියට බලලා එන්ට... :D

ආ හරි මේ වෙද්දි පෝස්ට් 834ක් තියෙනවා.. මේකත් එක්කලා 835 යි... ඉතිං බොහෝම පුංචියට පටන් ගත්තු මේ බ්ලොග් කෙරුවාව මෙච්චර කාලයක් දුරට ඇඳගෙන එන්ට මට උදවු කල අය බොහෝමයි.. ඒ අතරේ ප්‍රධාන කොටම මේක කියවපු අය.. කියවලා බලලා අදහස් දක්වපු අය.. ඒ වගේම තම තමන්ගේ කියවීම් ලයිස්තුවට ඇතුලත් කරගත්තු අය ආදී වශයෙන් බොහෝමයක් දෙනාගේ උදව්ව නැති වෙන්ට මේක මෙච්චර කාලයක් දුවයිද නැද්ද කියලා කියන්ට හැකියාවක් නැහැ.. ඒ හින්දා මෙතුවක් කාලයක් මාත් එක්කලා හිටිය ඔබ තමුන්නාන්සේලා.. සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි කියන අතරේ මේ වෙද්දී මගේ බ්ලොග් කටුව ෆලෝ කරන අයගේ ප්‍රමාණය 1000ක සීමාවට ඇවිත් තියෙනවාය කියන එක බොහෝම සතුටෙන් පොරකාස කොට සිටිනවා... (අරූ කිව්වේ නැත්තං කොරයි පොරකාස..:D)


බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට පත් වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න හදුනන..   මේ දවස්වල පලු යන්න බැනුං අහන.. :D උන්දැම කියන ආකාරයට බ්ලොග් අවකාසයේ මේ දවස්වල තරුව... ගෑණු දැරිවියන්ගේ සිහින තාරකාව.. ( දෙයියෝ තමා ඉතිං ඕවා දන්නේ..) කෙන්ජි ලොක්කා තමයි... (මෙව්වා කියන්න ගිහින් ඔය යෝධයා මටත් අර නලින් ලොක්කට වගේ දමලා අදීද දන්නේ නැහැ.. හැබැයි අවුලක් නැහැ තාම ජපානෙට රෑ වෙලා නැතිව ඇති. රෑ වෙන්න වෙන්න තමා ඔය හාදයා දරුණු වෙන්නේ... දෙකක් දාගන්න කලින් පූස් පැටියා වගේ අහිංෂකයි...  :D )   

ඉතිං උන්දෑ ඇතුළු මේ දාහක පිරිස අතරේ සිටින සෑම සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි මගේ මේ බ්ලොගයේ එක්තරා කඩ ඉමක් සටහන් කරන්නට මට උදව් කලාට... 

සිංහල බ්ලොග් කෙරුවාව තව තවත් දියුණු කරන්නට ඔබ අප සෑම දෙනාටම හැකියාව ලැබේවා..! තව තවත් විවිධත්වයෙන් පිරුණු සිංහල අන්තර්ජාලයකට දායක වීමට හැකියාව ලැබේවා..! වලි අඩු වේවා..! ඇනෝලා සුවපත් වෙත්වා..! සියළු දෙනාම නිවන් දකිත්වා..!

02 January 2014

බන්ධුල ආයෙමත් හරි.. සිස්සත්වේ තහනං කරන්න ඕන...

අළුත් අවුරුද්ද පටන් ගත්තෙම දවස් දෙකක නිවාඩුවකින්.. :D ඒ හින්දා ඔන්න හුග දවසක ඉඳන් ලියන්න හිතං හිටිය දේවල් දෙක තුනක් ලියා ගන්න ඉඩ පහසුකං ලැබුනා... එයින් මුල්ම එක තමා පහේ ශිෂ්‍යත්වේ අහෝසි කරන්න යන කතාව ගැන මගේ අදහස... 

රයිටෝ පහේ විභාගේ ගැන කියනවනං ඉතිං ඕක ගැන ලියන්න මටත් පුංචිම හරි අයිතියක් තියෙනවා නෙව.. මොකද මේ ලියන මං උන්නැහෙත් පහේ විභාගේ ගොඩ දාං කොළඹ ඉස්කෝලෙකට මාරු වෙච්ච එකෙක් වගේම ශිෂ්‍යාධාරයත් ලැබුන කෙනෙක්... ඒ හින්දා විභාගේ ගැන මං කියන එකේ වරදක් නැහැ නෙව...

මුලින්ම අපි බලන්න ඕන පහේ විභාගේ තියන එකේ අරමුණු විය යුත්තේ මොනවද හා ඒ අරමුණු ඇත්තටම මේ වෙද්දි ඉස්ඨ සිද්ධ වෙනවද..? නැත්තං ඒ අරමුණු තියෙද්දී වෙන අතකට මේක ගමන් කරලද කියලා...

මගේ කල්පනාව හැටියටනං ඔය විභාගය පැවැත්වීමේ අරමුණ විය යුත්තේ රට පුරා විසිරිලා ඉන්න දුප්පත් එහෙත් දක්ෂතා ඇති දරුවන්ට තමුන්ගේ දුප්පත්කම් යටපත් කරගෙන.. දක්ෂතාවයන් වැඩිදියුණු කරගෙන ඉදිරියට ඇවිත් රටේ දියුණුවට උන්නතියට වැඩ කල හැකි දක්ෂ පිරිසක් බිහි කරවන එකයි.  

ඒත් අද වෙද්දි මේක තියෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලටත් වඩා ජාතික මට්ටමේ විභාගයක් වෙලා..ළමයින්ටත් වඩා අම්මලා තාත්තලාගේ විභාගයක් වෙලා තියෙන එකයි. අවසානයේදී දුප්පත් දරුවකුට පහසුකම් සහිත පාසලකට ඇතුළු වීම කියන එක මේ හරහා තව තවත් ඈතට ගිහින් කියලයි පේන්න නම් තියෙන්නේ... මොකද දුප්පත් පහසුකම් අඩු ප්‍රදේශයක ජීවත්වන දරුවකුට වඩා පහසුකම් ඇති වියහියදම් කරන්න පුළුවන් පසුබිමක ඉන්න දරුවකුට අද වෙද්දි මේ විභාගය වඩාත් පහසු කර ගන්න මාර්ග පෑදිලා තියෙනවා... අමතර පංති සඳහා වියදම් කිරීමත්.. අමතර පංති සඳහා දක්ෂ ගුරුවරුන්ගේ සහය ලබා ගැනීමේ හැකියාව වගේම ඇතැම් විට ප්‍රශ්න පත්තර පවා කල් ඇතිව මිලදී ගැනීමේ හැකියාව පවා වර්ධනය වෙලා තියෙන තත්වයක් යටතේ මේ විභාගය අද පවත්වන විදියෙන් වෙන්නේ දුප්පත් දරුවාව තව තවත් කොන් කරවන එක විතරයි... 

ඉතිං ඇත්තටම මේ විභාගේ පවත්වන එක තේරුමක් තියෙනවද..?

මටනං හිතෙන්නේ මේක දැන් අනවශ්‍ය විභාගයක්... බන්දුල ලොක්කා කියනවා වගේ මේක අහෝසි කරලා දාන්න ඕන තමා...

රයිටෝ ඔන්න කට්ටියට පුළුවන් රෙදි කරට ගන්න... ඔව් ඉතිං උඹ බන්ධුලයව සුද්ධ කරහං කියලා..නේද..? :D

හෝව් හෝව්... කට්ටිය පොඩ්ඩක්... පොඩ්ඩක් විතර කොනිත්තලා බලලා ආතල් එකක් ගන්න මගේ මේ කැත පුරුද්ද අතෑරගන්න බැහැ නෙව මට තාමත්... :D
ඇත්තටම මට කියන්න ඕන මේ විභාගේ දැන් පවත්වන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න ඕන කියන එකයි... එහෙම නැතිව විභාගේ අහෝසි කරන එක හෙන ගහන අපරාධයක්... මොකද මගේ ජීවිතේට උනත් මේ විභාගයෙන් වෙච්ච වෙනස සුළු පටු නැහැ.

පහේ විභාගය සමත් උනා උනත් පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ එහි අවසන් අදියරයන් කරා යන්නට මට පුළුවන් කමක් නැති උනත් මට ඒ හරහා ලැබුනු දේවල් නැතිවාම නෙවෙයි. අඩුම ගානේ ඉගෙන ගත්තේ කොහේද කියලා ඇහුවම දෙන උත්තරෙන්ම ලාංකීය සමාජයේ ලැබිය හැකි වරප්‍රසාද රැසක උරුමය මට ලැබුනේ එය විභාගය හින්දම තමා.. නැත්තං මං ඉගෙන ගත්ත කුඩා එවකට කුඩා පාසලක් වූ ගමේ ඉස්කෝලේ නම කිව්වනම් බොහෝ විට කවුරුවත් ඒ නම අහලවත් නොතියෙන්න පුළුවන්.. අපේ රටේ වැඩ සිද්ධ වෙන්නේ අමුතුම ආකාරයකට හින්දා එහෙම තත්වයක් ඕනෑම කෙනෙකුට තරමක අවාසියක් කියලා මං කියන්න ඕන නැහැනේ. පහේ ශිෂ්‍යත්වේ සමත් උනත් එතැනින් එහාට ගමනෙදි මට වැරදුන තැන්වලටත් ඔය විභාගය හා බැදුන කරුණුත් තියෙනවා.. ඒවා ගැනත් සුළුවෙන් හරි සඳහන් කල යුත්තේ කාට හරි මේ ක්‍රමය නිවැරදි කරන්න ඕනනම් ඒ වගේ කරුණු ගැනත් කල්පනාකාරී විය යුතු නිසයි...

ඒ අතරින් එකක් තමා විභාගේ සමත් උනත් එතැනින් එහාට කල යුතු දේ ගැන නිසි මඟ පෙන්වීමක් නොලැබීම... පරණ පරම්පරාවේ මනුස්සයෙක් උන අපේ තාත්තට උනත් ඉදිරියේදී මට මුහුණ දෙන්න තියෙන කඩ ඉම් විභාග ගැන ඒ හැටි අවබෝධයක් නොතිබීම වගේම වෙනත් කිසිම උපදේශන මාර්ගයක් විදුහල් සතුව නොතිබීම ඇත්තෙන්ම ලොකු අඩුවක්.. බස්නාහිර පළාතේ දරුවකු හැටියට මට මෙහෙම නම් ඈත දුෂ්කර ගමක දරුවකුට තමන්ගේ මග පෙන්වීම ලබා ගැනීම කොයි තරම් අමාරු වෙයිද කියන එක ගැනත් කල්පනා කරන්න ඕන... අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසියාකාරව කල්පනා කරලා සෑම විදුහලකටම අධ්‍යාපන උපදේශන අංශයක් ස්ථාපිත කරවීමේ වැඩ පිළිවෙලකට යන්න ඕන කියන එකයි මගේ අදහස... (මේ වන විට එහෙම දෙයක් තියෙනවද කියා නොදනිමි) 

සෑම වසරක ආරම්භයේදීම සෑම වසරකම සිසුවකුටම ඒ ඒ වසරේදී තම තමන්ට කල හැකි දේ හා කල යුතු දේ ගැන පහදවා දීමත්..ඉදිරි වර්ෂයන් තුල සිදුවන වෙනස්කම් හා ඉදිරියේදී ඇති විභාගයන් ගැන පැහැදිලි කරවීමත්... විෂය මාලා තෝරා ගැනීමේදී ඒ ඒ විෂයන් හරහා අනාගතයේදී කල හැකි දේවල් ගැන නිසි කරුණු පැහැදිලි කරවීමක් ගැන වගේම පෞද්ගලික අංශයේ අධ්‍යාපන කටයුතු වලටත් උපදෙස් දෙන එක පාසල් හරහාම කෙරෙනවනං වඩාත් යෝග්‍යයි. අවසානයේදී පාසල් හැර යන වසරවල් වන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වසර වලදී ඉදිරියට කල හැකි උසස් අධ්‍යාපන  හා වෘත්තීය අධ්‍යාපන කටයුතු ගැන වගේම රැකියා ගැනත්... දැනුවත් කිරීමත් හරහා අයාලේ යන බොහෝ දෙනෙකුට නිසි මං පාදා දීමට පහසුවෙන්ම හැකියාව ලැබේවි.. දැනට සිද්ධ වෙන්නේ අම්මලා තාත්තලා දැනුවත්නං ඒ අයට ඉදිරි මං පෑදීමත්.. අනිකුත් අයට අවිධිමත් ආකාරයේ උපදෙස් ලැබීමත් පමණයි.. බොහෝ දුරට තමන්ගේ යාළුවන් කරන කුමක් හෝ දෙයක් කරන්නට යොමු වන පිරිස් වැඩියි.. එහෙම නැතිව තමාට තිබෙන මාර්ග ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් හරහා කල්පනා කරලා තමාගේ මාර්ගය තෝරා ගැනීමට මේ වෙද්දි සිසුවෙකුට තියෙන අවස්ථාව බොහෝම අඩුයි. 

පහේ විභාගය සමත් වී පාසල් මාරුවෙන් පසුව සිසුවන්ට සාමාන්‍යෙයන් අමාරු කාලයක් උදා වෙනවා.. අළුත් පාසල... අළුත් ගුරුවරු.. මිතුරන්.. විතරක්ම නෙවෙයි ගමනාගමන ක්‍රම.. නවාතැන්..ආහාර පාන වගේ බොහෝ දේවල් වෙනස් වෙනවා.. මේ හැම දේම අවුරුදු දහයක විතර පුංචි දරුවකුට පහසුවෙන් දරා ගත හැකි දේවල් නෙවෙයි... මේ නිසා දරුවන්ට තමන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කරන්නට හැකියාවත් ලැබෙන අන්දමේ මෙකී උපදේශන සේවාවක් පාසල් තුලම පැවතීම පහ සමත් අයට මෙන්ම අනිකුත් දරුවන්ටත් බොහෝම වටිනා දෙයක් වේවී.. මේ නිසා මේ කොටසත් පාසල්වලට එකතු විය යුතුයි. නැතිනම් ගම්වලින් එන දරුවන් තරමක් දුරට වික්ෂිප්ත වීමක් වෙනවා කියන එක මං ගැන වගේම මාත් එක්ක පාසලට ආව ළමුන් කිහිප දෙනෙක් හරහාම දැකපු දෙයක්...

ඊ ළග දේ තමා ශිෂ්‍යාධාරය නිසි වෙලාවට ලැබීමට සැලැස්වීමත් එය ප්‍රායෝගිකව ප්‍රමාණවත් මුදලක් වීමත්... බොහෝ දුරට ගෙවන මුදල් ඇත්තටම ප්‍රමාණවත් නැහැ.. 1989 මට මුලින්ම හිමි උනේ රුපියල් 100 ක වගේ මාසික දීමනාවක්... දැන්නං රුපියල් සීයකින් දවසක් පන්නන්නත් බැහැ.. ඒ දවස්වලත් ඉතිං ලොකු වෙනසක් තිබුනේ නැහැ.. බස් සීසන් එකටත් රුපියල් 67ක්ද කොහේද ගියා.. ඉතිං කොහේද රුපියල් 100 කින් ළමෙක් ඉගෙන ගන්නේ.. :D අනික ඒ රුපියල් සීය උනත් වෙලාවට ගෙවන්න එපෑ සීසන් එකවත් ගන්න... ඒ කාලේ ශිෂ්‍යත්ව මුදල් ගෙවුවේ අවුරුද්ද දෙක පහු වෙලා... මං ඉස්කෝලෙට ගිහින් අවුරුදු එකාහාමරකට විතර පස්සේ තමා මාස හයක  විතර මුදලක් මට ලැබුනේ... ශිෂ්‍යත්වෙන් ඉගෙන ගන්න බලං හිටියනං ලොවෙත් කෙල වෙනවා... (චන්ද්‍රිකාට පිං සිද්ධ වේවා.. අනිත් කෙලි කෙසේ වෙතත්.. උන්දෑ ආවත් හරි යන්තං ගාන වැඩි කලා වගේම වෙලාවට කලාවට ගෙවන්න පටන් ගත්තා... ප්‍රේමයනං ගෙව්වෙම නැති තරං... ) ඕක තමා ඔය විභාගේ හැබෑ තත්වේ.. ඉතිං වෙනස් වෙන්න ඕන කොහොම තැන්ද..?

අනික තමා නේවාසිකාගාර පහසුකම්... ශිෂ්‍යත්වය පාස් වෙලා එන ළමුන්ට නේවාසිකාගාර පහසුකම් අනිවාර්යයෙන්ම ලැබිය යුතු නැද්ද..? රටේ ඈත ප්‍රදේශ වල ඉදලා කොළඹ ජාතික පාසලකට දරුවකු එනවනං ඒ ක්‍රම දෙකක් හරහා... එකක් මුදල් වියදම් කල හැකි නිසා කෙසේ හෝ පාසලට දමාගත් දරුවන්.. නැත්තම් ශිෂ්‍යත්වය සමත් වීම නිසා ආව දරුවන්.. ඒ ආව දරුවන් අතරත් ඇති හැකි අය ඉන්න පුළුවන් නිසා අඩුම ගානේ අඩු ආදායම් ලාභී දරුවන් වන ශිෂ්‍යාධාර මුදල් ලබන දරුවන්ට අනිවාර්යයෙන්ම නේවාසිකාගාර වල ඉඩ ලැබිය යුතුයි කියන නීතියකුත් තිබිය යුතුයි. ඒ වගේම නේවාසිකාගාර ගාස්තු රජයෙන් ලැබිමයි ශිෂ්‍යත්වේ වටිනාකම ඇති කරවන්නේ... නැතුව මේ විභාගයක් සමත් කරවලා දුප්පත් ලමෙක් කොළඹ ගෙන්නවලා අන්තිමට ඒකාට ඉන්න තැනකුත් නැතිව.. කන්න දේකුත් නැතිව නන්නත්තාර කරවලා.. ඒකාගේ අම්මලා තාත්තලාට රට වටේට ණය වෙන්න අරින එක නම් වෙන්නේ ඒක මොන ශිෂ්‍යත්වයක්ද..?

නමුත් මම ඔය කියාපු දේවල්.. ඒ කියන්නේ නේවාසිකාගාර පහසුකම්.. ශිෂ්‍යාධාර මුදල් යන දේවල් උසස් මට්ටමක පවත්වාගෙන යන්නට රජයකට අපහසු වෙන්න පුළුවන්... ඒකටත් හේතුව මේ විභාගයේ පවතින ක්‍රමයේ වරද... ඒ නිසා විභාගය පවතින ක්‍රමය අහෝසි කර අළුත් ක්‍රමයකට යා යුතුමයි කියන දේ වරදක් නෙවෙයි...

එතකොට අපිට කල හැකි දේවල් මොනවද..?

1-පහසුම විසදුම තමා විභාගය අහෝසි කිරීම...

හැබැයි ඒක කරන්න නම් ලංකාවේ සෑම පාසලකටම ලැබෙන පහසුකම් සමාන විය යුතුයි වගේම සෑම විදුහලකම අධ්‍යාපන තත්වය සමානයි කියන ප්‍රමිතියට පාසල් පද්ධතිය ගෙන ඒමයි.. එවිට ඔය විභාගයෙන් ඇති වැඩක් නැහැ.. නිකංම අහෝසි කරලා දැම්මැකි...

ඒත් ඒක ඉතිං තාමත් හීනයක් විතරයිනේ.. බන්ධුල ලොක්කට මං හිතන්නේ නැහැ මේ අවුරුද්දට දෙකට එච්චර හරියක්නං කරන්න පුළුවන් වෙයි කියලා... එහෙමනං ඒ විසඳුම හරියන කෙලියක් නෙවෙයි...

2- විභාගය තෝරාගත් පාසල් වලට පමණක් පැවැත්වීම...

මේක සෑහෙන්න සාර්ථක ක්‍රමයක්... හැබැයි එයිට කලින් ලංකාවේ පාසල් ඉතා හොඳින් වර්ගීකරණය කල යුතුයි... 

i- විභාගය නොපවත්වන
ii- විභාගය පවත්වන පාසල් මාරු නොදෙන ශිෂ්‍යාධාරය පමණක් දෙන
iii-විභාගය පවත්වන පාසල් මාරු මෙන්ම ශිෂ්‍යාධාර දෙන

යන වර්ගීකරණය යටතේ...

i...
දැනට ජාතික පාසල් තත්වයේ ඇති පාසලක දරුවකුට තමන්ගේ පාසල මාරු කිරීමට අවශ්‍යතාවයක් විශේෂ තත්වයක් මත හැර උවමනාවක් ඇත්තේ නැති නිසා ( නාලන්දේ ළමයෙක් රෝයල් යවන්න හරි ගාල්ල රිච්මන්ඩ් දරුවකු ආනන්දෙට යවන්න  වගේ දේකට නාස්ති කල යුතු විභාගයක් විය යුතු නැහැ මෙය)  ජාතික පාසල් මට්ටමේ පාසල් වලට මේ විභාගය අනවශ්‍ය යැයි සලකා ඒවායින් විභාගය ඉවත් කිරීම...

ජාතික පාසල් වලට නොගැණුනත් ඒ හා සමානව පහසුකම් හා අධ්‍යාපන තත්වය ඇති මධ්‍ය මහා විද්‍යාල  වැනි විද්‍යාල වල (නවෝද්‍යා පාසල් ගැන මගේ දැනීම මදි) දැනට ඇති කුමන හෝ අඩුපාඩු ඇත්නම් ඒ අඩු පාඩු සම්පූර්ණ කර ඒවාත් මෙම විභාග පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම...

මේ ක්‍රමය මගින් මෙම විභා‍ගයේ දැනට ඇති අක්‍රමිකතාවයන් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කල හැකිවාක් මෙන්ම වියදම් අඩු කර ගැනීමත්... විභාගය ක්‍රමවත් කල හැකි වීමත් සිද්ධ වෙනවා... 


ii...
ඊ ළගට ප්‍රාදේශිය වශයෙන් දරුවකුට අධ්‍යාපනය ලබන්නට උවමනා සියළු පහසුකම් ඇති එහෙත් දුෂ්කරතා ඇති දරුවන් ඇති පෝෂක ප්‍රදේශ සහිත දරුවන් ඇති පාසල් කාණ්ඩයක් වර්ගීකරණය කරලා ඒවාට විභාගය පැවැත්වීම  කල යුතු අතර  ඒවායින් සමත් වන දරුවන්ට පාසල් මාරු කිරීමේ පහසුකම නොව  විභාගය සමත්වන අඩු ආදායම් ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා හිමිකම පමණක් ලබා දීම කල යුතුයි. 

iii...
ඉහත කාණ්ඩ දෙකටම අයත් නැති.. අඩු පහසුකම් සහිත පාසල් ලංකාවේ කුමන පළාතක තිබුනද එකී පාසල්වල දරුවන්ට මෙකී විභාගය අනිවාර්ය කර එයින් සමත්වන  දරුවන්ට පාසල් මාරු කිරීමේ අවස්ථාවත්.. අඩු ආදායම් ලාභී සමතුන්ට ශිෂ්‍යාධාර ලබාදීමත් විය යුතුයි.

(ඒ හැර හැකියාවක් ඇති නම් විභාගය සමත් නොවුනත් අවම ආදායම් ලාභී පවුල්වල දරුවන්ටත් කුමන හෝ අන්දමේ ශිෂ්‍යාධාර දීමනාවක් ලබා දීමට හැකියාවක් ඇත් නම් එයත් වැදගත්...එය කොතරම් දුරට ප්‍රායෝගිකද නැද්ද ගැන සොයා බැලිය යුතු දෙයක් මිස අනිවාර්යයෙන් කල යුතු යැයි මා යෝජනා කරන්නේ නැත.)

-----------------
රයිටෝ මගේ යෝජනාව අහවරයි..  මෙයට අමතරව අංක 3. අංක 4. ආදී වශයෙන් යෝජනා තවත් තිබිය හැකියි.. හැබැයි ඒ මගේ නෙවෙයි ඔබලාගේ... එයට අවස්ථාව ඔබලාට ඇත. ඒ හැර මා විසින් යෝජනා කරන ක්‍රමයේ ඇති අඩු පාඩු මොනවාද යන්න විමසා බැලීමත්.. ඒවාට ඔබට කල හැකි යෝජනාත් ඇති නම් අගය කරමි...

(ඒ කෙසේ වෙතත් මෙවැනි පල් හෑලි යටතට ගැනෙන ලිපි කියවීම බොහෝ දෙනා අතින් නොවන නිසා අදහස් කිසිවක් පල නොවුනත් පුදුම නොවෙමි.. :D )

01 January 2014

කඩුගන්නාවේ බසයක් අනතුරේ...

අළුත් අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලම දාන්න වෙන්නේ අප්සැට් පෝස්ට් එකක්නං තමා.. ඒත් ඉතිං දැක්ක දුටු දේ වාර්ථා කොරන එක මගේ මෙව්වා එක නෙව...
මේ අද උදේ කඩුගන්නාවේදී සිද්ධ උන බස් අනතුර මගේ කැමරාවට අහු උන හැටි තමා...

උදේම පොඩි වැඩකට නුවර ගෙහුන් ආපහු එද්දී තමා මේක උනේ... වැඩි වෙලා පොටෝ අල්ල අල්ල ඉන්න උනේ නැහැ.. මං ආව නුවර කොඹළ ඉන්ටසිටි බස් එක එහෙං මෙහෙං කපලා යන්න පාර හොයා ගන්නකල් බස් එකෙන් පැනලා ගත්ත පොටෝ ටිකයි මුලින්ම බස් එකේ ඉදලම ගත්ත දෙක තුනයි තමා තියෙන්නේ.. අර බස් එක පිටිපස්සේ සෙනඟ පිරිලා ඉන්න තැන කවුරු හරි කෙනෙක් බිම හිටියා වගේ පෙනුනා උනත් වැඩිය කිට්ටු වෙන්න උනේ නැහැ.. මට තිබුනේ විනාඩියකටත් අඩු වෙලාවක්.. එයිට වඩා ඉන්න ගියානං බස් එක මාව දාලා යනවා නෙව... වැඩි විස්තර පත්තර වල එහෙම යන්නේ නැතෑ...