12 March 2014

මැලේෂියාව - ලංකාව - ගුවන් යානා අතුරුදන් වීම... තෙවන අවස්ථාව......

මනෝ පාරක් ගහං ඉද්දි හිතට එන ඒවා තමා ඉතිං.. මේ දවස්වල කෝකටත් තෛලේ වගේ හිතට එන හැම හරුපෙම ලියන්නේ බුකියේ වීම නිසා මේකත් ඒකෙම තමා කෙටුවේ.. ඒත් මෙහෙම දේවල් බුකිය තුල අකා මකා වෙලා යන්ට දෙන්ට නාක හින්දා සංරක්ෂණය පිණිස මෙතැනත් කොටලා තියන්ට ඕන... ඔන්න එහෙනං කතාව...
------------------------

1- උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානාව...
2-වනජීවියගේ කේලමා...
3-මැලේසියානු ගුවන් යානය...
ඔය පළවෙනි කතාව සම්බන්ධව නොයෙකුත් මතවාදයන් තියෙනවා.. ඒ අතරේ තියෙන එක කථාවක් තමා කුඩුම්බිගල ආරණ්‍යයේ හිමි නමක් විසින් දුටුවා යැයි කියන නැගෙනහිර වෙරළ දෙසට වන්නට වූ අහසේ ගිනිබෝල කතාව. කුඩුම්බිගල කියන්නේ කුමන රක්ෂිතය තුල තියෙන ආරණ්‍යයක්.. ඒ වගේම උස තැනක් සෑහෙන හොඳ නිරීක්ෂණ ස්ථානයක්. යාල නැගෙනහිර කොටසට තමා අයිත් වෙන්නේ... මේකෙදී ලංකාව සහ මැලේෂියාව කියන රටවල් දෙක අතර තමා ගුවන් ගමන යෙදිලා තිබුනේ.. ඒ කියන්නේ මේ කතාවට මැලේෂීයාවත් සම්බන්ධයි...

දෙවැනි කතාවේ අතුරුදන් උන කේලමාත් දැන ගන්නට ලැබුන තොරතුරු අනුව යාලදී අතුරුදන් වී ඇත්තේ නැගෙනහිර දෙසට වන්නටයි... හරිහමන් නිශ්චිත තොරතුරක් නැත. ඔන්න වැදගත්ම කතාව තමා මේ කෙදීත් කියවුනා යානය ඇතැම් විට මැලේෂීයාව බලා පියාසර කරන්නට ඇති බව.. හේතුව තමා එය සාදා ඇත්තේ නියමිත සංඥා නැතිව ගියහොත් මව් රට වන මැලේෂියාව කරා යාමට සකස් කර තිබීම.. නමුත් මෙහිදි අදහස් කලේ මැලේෂීයාව දක්වා යන්නට ගියත් ඉන්ධන ප්‍රමාණවත් නොවන නිසා අතර මගදී කඩා වැටිය හැකි බවයි.. නමුත් ඔන්න අපිට මෙතනත් ලංකාව සහ මැලේෂියාව සම්බන්ධයක් එනවා...

රයිටෝ දැන් තුන් වැනි කතාව... මෙච්චර වෙලාවක් ලංකාව ගැන කතාවක් නොතිබුන මේ කතාවට මේ දැන් ලංකාවේ නම යන්තමට හෝ සම්බන්ධ කරන ලද පලමු පෝස්ටුව මං දැක්කා... ඒ සුජීව කොකාවලගේ කමෙන්ටුවක් තුල... (දැනට එය මා හට සොයා ගැනීමට අපහසු හෙයින් කරුණාකර මෙය දුටුවහොත් සුජීව විසින් එය ඉදිරිපත් කරනු ඇතැයි සිතමි. ) ඔන්න දැන් නැවතත් ලංකාවේ නැගෙන හිර වෙරළට එපිටින් මුහුද දක්වා කතාවක් අපිට තියෙනවා...

දැන් අපිට ආයෙමත් පොදු සාධක කිහිපයක් තියෙනවා...
ලංකාව.. මැලේෂියාව.. ගුවන් යානයක්... නැගෙනහිර වෙරළ කලාපය.. අභිරහස් අතුරුදන් වීම....
දැන් මෙතැනින් එහාට හිතන්න මට අමාරුයි.. දෙකක් දා ගත්තනං මං හිතන්නේ මට පුළුවන් වෙයි ඉතිරි ටික විසඳලා දෙන්න... ඒත් අවාසනාවට වගේ දෙකක් දා ගැනිල්ල කරන්න වෙන්නේ නැහැ...

--------------------------

පසු සටහන...
සුජීව විසින් අදාල පෝස්ටුව ලබා දෙන ලදි මේ එයයි...

//


මැලේසියානු ගුවන්යානය ගැන තවම කිසිදු ආරංචියක් නැත. මැලේසියාව විසින් සපයන තොරතුරු වල ඇති ව්‍යාකූලතාවය නිසා වියට්නාමය පරීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මේ දක්වා වැඩියෙන්ම වෙහෙසුනේ වියට්නාමයයි.
මැලේසියාව කිසියම් කාරණයක් වසන් කරන බවට සමහරු සැක කරති [http://blogs.crikey.com.au/planetalking/2014/03/11/mh370-logic-says-this-isnt-mystery-its-claimed-to-be/]. මැලේසියාව මේ සම්බන්ධයෙන් දක්වන අමුතු හැසිරීම හා කිසිම කාරනාවක් නිරවුල් වීමට ඉඩ නොදීම මීට හේතුවයි.
අද දින මැලේසියානු පුවත් පතක් පවසා තිබුනේ හමුදාවේ මූලික රේඩාර් වලින් [ලෝහ මතුපිටෙන් වෙන පරාවර්තන ඇසුරෙන් ක්‍රියාත්මක වන] පෙනෙන පරිදි යානය බටහිර දෙසට හැරී මලක්කා සමුද්‍ර සන්ධිය වෙත ගොස් ගමන් උස අඩු කළ බවයි. එහෙත් එය නිකුත් කළ හමුදා නිලධාරියා පසුව එය ප්‍රතික්ෂේප කළේ පුවත්පත තමාව වැරදියට තේරුම් ගත් බවක් කියමිනි. මෙම කාරණය ප්‍රතික්ෂේප නොකර පිළිගන්නේ නම් යානය ඉන්දියානු සාගරය දෙසට රේඩාර් මගහැර ගිය බවක් පෙනේ. තව සුලුදුරකින් ඇති සුමාත්‍රා වනගත කඳුපෙදෙස පසු කළ විට ලංකාවෙන් දකුණට පිහිටි රේඩාර් මුක්ත කලාපයකට ඇතුළු වේ. ඉන්පසු අප්‍රිකාව දෙසට, විශේෂයෙන්ම සෝමාලියාව දෙසට, යාමට හෝ එසේ යාමට යත්න දරා සුමාත්‍රාව හෝ ගැඹුරු මුහුදට කඩා වැටීමට ඉඩ ඇත. අවාසනාවකට මෙම සාක්කිය පසුව වෙනස් කර ඇත.
මගී දුරකථන නාද වන නිසා යානය ගොඩබිමකට බාගෙන හෝ කඩාවැටී ඇති බව සාධාරණ සැකයකි. මලක්කා කතාව සත්‍ය නම් උතුරු සුමාත්‍රා වනාන්තරය තුල සොයා බැලීම වටියි.
ඉහල අහසේ ක්ෂණික පිපිරුමක් හෝ කෙලින්ම මුහුදට කඩා වැටීමක් මූලික රේඩාර් වල සටහන් විය යුතු නිසා මෙතෙක් ප්‍රසිද්ධ කළ කතාව අනුව ඒවා ප්‍රතික්ෂේප වේ [කතාව වෙනස් කරන බවක් පෙනෙන නිසා මේවා නැවත පිළිගන්නට සිදුවිය හැකිය]. මෙතෙක් දුටු එකම තාත්වික කතාව මලක්කා දෙසට ක්‍රමයෙන් පහත කළ බව පමණි. එහෙත් එය නැවත එසේ නොවන බවක් කියයි.
මේ සියල්ලෙන් තැලෙන්නේ මගීන්ගේ පවුල් හා හිත මිතුරන්ය. ඔෆිස් එකේ වැඩකට ගිය තාත්තා එනකම් බලා ඉන්න චූටි උන්ට තාම කියා ඇත්තේ තාත්තා රසකැවිලි ගේන්නට ගිය බවය. පවුල් වල අයට මෙය මගියාගේ මරණයටත් වඩා වේදනාකාරී සිදුවීමකි.//

---------------------
පසු සටහනටත් පසුව...

මේ ගැන සදහන් කරමින් සුජීව විසින් තව දුරටත් මෙසේද ප්‍රකාශ කරන ලදි..
//ලේසියාව කිව්වා එක කතාවක් ඇත්තනම් ඒක ඔය කියන දිහාට ඇවිත්. ඒත් හවස් වෙද්දී ඒ කතාව බොරුයි කිව්වා. ලොසේ ලොස්. අපි විතරක් නොවේ වියට්නාමයත්.//

---------------------
තුන් වැනි පසු සටහන ඈ.. (මේ පාර පසු සටහන් ලොකුයි පෝස්ටුවට වඩා..)

මෙන්න පළමු අවස්ථාව ගැන කියවුන ලිපිය...




මේ තියෙන්නේ අදාල කොටස...
//මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක්‌ ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක්‌ දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක්‌ රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක්‌ ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.//

08 March 2014

රාජාංගනේ ගොයිතැන් කල කාලේ...

ඔහෙලට කියන්න ඔන්න මං වංගියක් රාජාංගනේ හිටියනේ... මගේ යාළුවෙක් එහෙ වගාවක් කොලා නෙව.. මාත් ඉතිං බරක් පතලක් තියෙන එකෙක් කියලෑ.. ඌ දවසක් වරෙං කිව්වා.. මාත් ගියා.. ඒ ගෙහුන් ඔන්න මාත් දැන් ගොයිතැන් කොරං ඉන්නවා.. හප්පේ එහෙ වගාව නෙව වගාව... යකඩ හිටෙව්වත් පැල වෙනවා.. ඒ තරමට පොළවේ පලදාව..හම්මපා... ඔහෙලට මෙහෙම කිව්වට මේ සම්මජ්ජාතියට විස්සාස නොකරන හින්දා මං ඕවා වැඩිය කියන්න යන්නේ නැහැ.. ඒත් ඉතිං නිකමට වගේ කිව්වොත් මේ අපි මෙහෙ හිටෝන කොච්චි මිරිස් ගහක් උනත් එහෙ හිටෙව්වොත් මෙහෙ හිටෙව්වා වගේ නෙවෙයි.. ආයේ ඉතිං වැරදිලා හරි ඕකක් පාත්තියකට යන පාරකවත් පැල වෙලා ලොකු උනොත් පස්සෙන් පහු කැත්තෙන් හත් අට වංගියක් කොටලා තමා අහක් කොරන්ට වෙන්නේ ඒ තරමට මහත දෙහෙතට හැදෙනවා.. මං බොරුවක් කියනවනං ඔය අහං ඉන්න එහෙකුට හෙනයක් ගහන්ට ඕන... 

 ඉතිං ඔහොම ඉද්දි තමා අපේ අනුරාජපුරේ බාප්පගේ පොඩි දූ කොටහළු වෙලා මට පණිවිඩේ හම්බ උනේ... ඒකත් ඉතිං දහ අතේ ගෙහුනං අර කැලේ මැද්දෑවේ හේන් කොට කොට හිටිය මයේ කණට වැටෙද්දි කෙලීට වතුර වක්කොරන නැකත හෙටයි කියලා තමා දැන ගන්න උනේ... 

ඒත් ඉතිං මොන විදියකින් හරි නොගිහිං කොහොමද..? මොකද බාප්පලා කියලා සිය ගානක් ඉන්නවෑ... මං ඉතිං එදා හවහම පිටත් වෙන්ට කල්පනා කොලා.. ඒ කල්පනා කොලාට මොකද අතේ පිච්චිය නැහැ.. මොකද මේ ගොයිතැන් කොර කොර හිටියට මං කාසි බාගේ ගැන ඒ හැටි හිතුවේ නැහැනේ... ඒත් කාරණාව මං මගේ යාළුවට කිව්වා.. උන්දෑ ගාවවත් කීයක් හරි තිබුනොත් ඉල්ලං යන්ට බැරිවයෑ කියලා.. මොන.. ඌ අතෙත් තඹ දොයිතුවක් නැහැ... තාම වගාව පල දාරාගෙන එනවා උනාට අස්සැන්න විකුණන්න තරමට උනේ නැහැ නෙව... මනුස්සයටත් බොහෝම හිතට අමාරුයි... අන්තිමට හේනේ වැවිලා තියෙන බව බෝග මොන මොනවා හරි කාඩාගෙන ගෙහුං කඩ මණ්ඩියට දීලා පනං හතරක් හොයං පලයං  කියලා මට කියපි...

මොනවා කොරන්ටද.. මාත් ඉතිං ගෝනියක් පිරෙන්ට වට්ටක්කා.. කැකිරි.. වැටකොළු පතෝල බණ්ඩක්කා මෑ කරල්.. ඔය අතට අහු වෙන හැම එහෙකින්ම කඩාගෙන ගෝනියකුත් පුරෝගෙන එන්ට පිටත් උනා... ඒ එද්දි තමා මට කල්පනා උනේ.. ආයේ මේක මොකට විකුණනවද මේ තරං සාර සුබාවට හැදිලා තියෙන බව බෝග ටික උස්සාන කොටහළු ගෙදරට ගියාම පහුවදාට වතුර වක්කොරන මගුල ගන්ට බැරියෑ ජයට කියලා... ඒත් ඉතිං දැන් මේකත් කර තියාන පයින්ම අනුරාජපුරේ එන්ට කියලෑ... කෝච්චි ටිකට් එකක් ගන්ට කියලවත් පිච්චියක් නැහැ.. ඒත් ඉතිං මං ඔය කිසිම දේකට සැලෙන මනුස්සයෙක් නෙවෙයි නෙව... ඕන එකක් කියලා ගෝනියත් කර තියාන ගැටුවා රේල් පාර අහලට... මංම ඉතිං ඕක කර තියාන ගියා මිසක් මේ බොලාලා වගේ පඟර නැට්ටන්ටනං ඉතිං ඒ වගේ බරසාර ගෝනියක් කර තියං යන්ට මේ කපේට බැහැ.. ඒ තරමට ඒකේ බර.. එහ්නං...

කොහොමින් හරි රේල් පාරත් හම්බු උනා කියමුකෝ.. දැන් කෝ රේල්ලුවක්... මං ටිකක් කල්පනා කොලා.. මෙහෙම බාධාවල්ද මට හම්බු වෙලා තියෙන්නේ... පුහ්.. ඔන්න මට ආවා මසුරං වටින අදහසක්... ලිහුවා ගෝනි මල්ලේ කට.. ගත්තා හොදවැයින් බණ්ඩක්කා කරලක්... කරලක් කිව්වට ඉතිං මොකද ඒවා මේ අපි ඔහෙලා මේ ගමේ ගොඩේ දකින්නැහේ වියතක විතර කරල් නෙවෙයි.. හරියට නිකං මාළිගාවේ ඇතාගේ දලයක් විතර ඇති.. ඒ තරං විසාලයි.. දිගට දිගයි...

ඉතිං කෙහෙම හරි බණ්ඩක්කේ අරං රේල් පීල්ලක් උඩ තියාපු මං.. ගෝනි මල්ලත් කරට තියං.. ටිකක් ඈතට ගොහින්.. දූ...වගෙන...දූ..ව ගෙන  ඇවිදිල්ලා පැන්නා නේද බණ්ඩක්කා කරල උඩට... මෙන්න බොලේ මේක යනවා දැන් හැටට හැටේ ලිස්සලා.... මොකද ඔය පාරේ මහ ලොකු වංගු තියෙනවා කියලෑ.. මේක දැන් විදිල්ල වගේ යනවා.. මාත් බොහෝම අමාරුවෙන් සරීරේ සමබර කොරාන ගෝනි මල්ලත් අල්ලාන බොහෝම විමසිල්ලෙන් ඉස්සරහා බලාගෙන යනවා.. මට පේනවා ඔය අතරින් පතර ගෙවල් මණ්ඩි එහෙමත් පහු වෙනවා.. ඒවායේ ඉන්න ළමා ලපටි කට අරං මං මේ යන අරුම පුදුම ගමන දිහා බලං ඉන්නවා.. මං ඉතිං පුළුහං හැටියකට උන්ටත් අත වනාගෙන දැන් එනවා... එක තැනකදී රේල් පාර හරහා යන්ට ගිය අලි බොටෙකුගේ සද්දන්ත සරීරේ මං නොහැපි බේරුනේ පූරුවේ පිනකට.. නැහ්නං ඉතිං අද මේ කතාව කියන්ට මං මෙතන නැහැ ඕං... අලියටනං මං බයක් හැකක් නැහැ... මං දන්න අලි මංතර වලින් ඕකා දපනේ වට්ටන එක සුළු දෙයක්.. ඒත් මේ යන වේගෙට ඒකාගේ ඇගේ හැප්පුනානං හෙම අලියත් කුඩු.. මාත් කුඩු... එහෙව් වේගෙන් මේක යනවා නෙව.. මොනවද ඉතිං මෙහෙ තියෙන බන්ඩක්කා වගේයෑ.. මේවා මේ රාජාංගනේ සරුවට වැවුන බණ්ඩක්කා නෙව.. සෙවල එමට... හොඳට ලිස්සලා යනවා...

කොහොමින් කොහොමින් හරි අනුරාජපුරේ හරියෙදි මං අන්තිමට හිතේ වීරිය අරං බණ්ඩක්කෙන් අහකට පැන්නා... මංම හින්දා මිසක් වෙන එකෙක්නං තාමත් බණ්ඩක්කේ එක්ක ලිස්සලා යනවා.. අර ඉතිං මං විරිය වීරිය තියෙන හයිය හත්තිය තියෙන මනුස්සයා වෙච්ච හින්දා අච්චර වේගෙන් යන ගමන් බිමට පැන ගත්තා.. මං හිතන්නේ බණ්ඩක්කේ මහව හන්දියට යනකල්ද කොහේද ගිහින් තිබුනා... එතැනදී සිග්නල් නැති වෙලා පීල්ලෙන් අහකට පැනලා තිබුනා කියලා පස්සෙන් පහු ආරංචි උනා... කොහොම හරි ඔන්න එදා රෑ බතට මං බාප්පලගේ ගෙදර... හම්මේ බලන්ට එපෑ උන්දලගේ සංතෝසේ...  පහුවදා ඉතිං අර ගෙනාව  ගෝනි මල්ලේ තිබුන එලෝලු වලින්ම මගුල ජයට ගත්තා.. ඒ කරලා ඉතිරිය ගමටම බෙදලත් අහවර කරගන්ට බැරි උනා... ඔන්න ඔහොමයි ඉතිං මං රාජාංගනේ හිටිය කාලේ කතා...
------------------------

දැනට වරුස දහහතකට දහ අටකට එහා දී අපේ ගෙවල්වලට උඩහින් තිබුන කන්දේ ගල්වලක නාන්ට ගොහින් මියෑදුන පොඩිඅප්පුහාමි මාමාගේ මල ගෙදර පාළු කප කප හිටිද්දි එතැනට ආපු අමුතුම චරිතයක් විසින් කියන ලද කතා ගොන්නෙන් එකක් පමණි... පොර ආවේම නාගසංල වෙන්ට වැදිලාය... කටින් සද්ද කරමින් බයිසිකලයක් පැදගෙන එනවාක් මෙන් රඟපාමින්  පාර දිගේ දුවගෙන ඇවිත් අපි සිටි තැන පොල් ගහේ හැපී මලා සේ බිම වැටී.. පසුව කෙලින් කටින් වී ලග තිබූ ඇල්මේනියං පුටුවක් තමා දෙසට ඇද එහි පත බෑවී වෙරි මරගාතෙම කතා ගොන්නක් කියාගෙන ගිය මේ කියන පුද්ගලයා මට එයිට පෙර හමු වී තිබුනේ නැති අතර එයින් පසුවත් කිසි දිනක හමු නොවුනි... එහෙත් අදටත් ඒ රාත්තිරිය බොහෝම හොදින් මතකේ ඇත්තේ මේ කී කතා ගොන්න නිසාමය... මෙහි ගෞරවය ඔහුට යේවා...