21 April 2014

සයිබොර් සැණකෙලිය... 2014...

ඇත්තටම කිව්වොත් යන්න තරං හිතක් තිබුනෙත් නැහැ. ඒත් උදේ අර එක නරියෙක් කතා කරලා වරෙං වරෙං කිව්වම ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලෑස්ති වෙලා පාරට බැස්සා.. බයික් එකේ මංගච්ඡන්න මුලින් හිතුවත් වැහි කලුවක් අහසේ මෝර මෝර ආව හැටියට නිකං මොකටද නාගන්නේ කියලා හිතලා කුඩෙත් අරං බැස්සා පාරට... 171 කේ නැගලා යන එක නෙව...

ආ මං ඔය කුඩේ අතට අරං බහිනවා නේද පාරට.. ඕනෑම ප්‍රමාණයේ මහ වරුසාවක් සුටුස් ගාලා නවතිනවා... ඕක හින්දා මං වැඩිය කුඩේ එළියට ගන්නේ නැති තරං.. මොකද මං වැස්සට බොහෝම ආස මනුස්පයෙක් හින්දා... තෙමි තෙමි ගමනක් යන එක හෙන ආතල් වැඩක්.. හැබැයි ඒ ගමනේ අවසානය විය යුත්තේ එක්කෝ ගෙදර.. නැත්තං කරදරයක් නැති නවාතැන්පොලක් විය යුතුයි.. මොකද ගිය ගමන් නාලා කරලා මනුස්සයෙක් වෙන්ට උවමනා හින්දා.. එහෙම නැතිව වෙන වැඩකට යන අතරේ වැස්සකට අහුවෙලා තෙමිගෙන එතැනට යන එක පට්ට අවුල් වැඩක් නෙව...

ඔය කුඩේම අනිත් එක තමා මගේ දුප්පත් බයිසි මොටෝව... ටිකක් දිග ගමනක් යන්න කියලා බයිසි මොටෝවට නැග්ගනං ඉතිං මොන විදියට පායලා තිබුනත් අතර මගදී එක පැයකට හරි දෙනවා දොඹෙන් යන්නම වැස්ස... (හරි දැන් ඉතිං මීට පස්සේ අර වෙස්සන්තර රජ්ජුරුවන්ගේ සුදු ඇතාව වගේ මගේ දුප්පත් බයිසි මොටෝව ඉල්ලගෙන දුවං එනවා එහෙම නෙවෙයි ඔය වියළි කලාපේ උන්... )

කොහොම හරි දවල් බතට සරිලන වෙලාවට මං බුද්ධෙ අයියගේ ඉඩං කට්ටියේ පස් පෑගුවා...
මයෙ අම්මේ මේ දෑස මක්කටෙයි.. මෙදා අවුරුදු උත්සවේ නෙව අවුරුදු උත්සවේ... එදා මෙදාතුරා තිබ්බ සයිබොර් අවුරුදු උත්සව අස්සේ වැඩිම කාන්තා ගහණයක් තිබුණ අවුරුදු උත්සවේනං මේකම වෙන්ට ඕනෑ... :D පේන පේන අතේ මල් පොකුරු පොකුරු... ඒත් ඉතිං නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ වෙච්චි එක දුක හා දුකට හේතුව තමා.. :D  අපට නැතත් අනිත් උන්ට හරි නෙලා ගන්ට කෝටි ගණන් තව මල් පිපියන් කියලා හිතාගෙන මාත් ඉතිං ටිකැට්ටුවක් අරං වැඩේට සැට් වෙන්ට ගියා...

ගිය අවුරුද්දේ ටිකට් කැඩුව එකීම තමා මේ අවුරුද්දෙත් දාලා තිබුනේ.. හැබැයි ඉතිං මුං ඔක්කෝලම ගිය පාරට දැක්කට වඩා හොදින් පෝෂණය වෙලා තර වෙලා... හරි පිළිවෙලයි.. මහ ලොකුවට බ්ලොග් කාරයෝ කියන්නෙම රටේ උන්ට කන්න නැහැ හරි අහේනිය කියලා.. ඒත් යකෝ මුංදලා ආරලා තියෙන ඈරිල්ලට මුං වෙන රටකින් උස්සං ඇවිල්ලද කියලත් මට හැක හිතුනා.. :D 
හිටියටත් වඩා කෙට්ටුවට කියලා එකෙක් හිටියනං ඒ අපේ රනා තමා.. රනා කිව්වේ අපේ වෙන්න මංතිරිතුමා.. ( නොදන්න එකෙක් ඉන්නවනං ගූගල් කොරලා හොයා ගන්න එකයි ඈ.. :D ) අනේ අසරණයා හිටියැයින් බාගයයි.. ඇදීඊඊඊලා ගිහින්... ( එක පාරක් දිනුවනං ඕවා හරියයි කියලා එහෙම මොකෙක්වත් කියනවා නෙවෙයි ඕං.. :D )

කොහොමින් හරි ඔන්න ටිකට්ටුව ගන්න සැට් වෙද්දි ඔතනට කඩං පාත් උනා අර මල ඇනේ.. ඇනේ කිව්වේ අර අර අර යකා.. අර වෙනී කියන හාදයා.. :D
එතැන හිටිය නංගි කෙනෙක් එක්ක මං කනෙක්ෂන් එකක් හදා ගන්න හැටි (මං කිව්වේ මේ ඩේටා කනෙක්ෂන් එකක් ඈ.. වෙන වෙන ජාති එහෙම හිතන්ට එපාලා.. මං හොඳයි.. නංගි හොඳාදාදායි ) කතා කර කර ඉද්දි මේ යෝධයා ඒකට බාධා කර කර ඇටයක් ගැන අහනවා... මල පනිනවා කියන එකේ උපරිමනේ පින්වතුනි... එක්කෝ මේ යෝධයා කුසල් කරලා නැහැ.. නැත්තං මෙහෙම කුසලයක් කරගන්න හදන එහෙකුට බාධා කරයියෑ ඒක මේ ඇටේ ගැන කිය කිය.. :D

කොහොම හරි නංගිගෙයි මගෙයි කනෙක්ෂන් කතාව අස්සෙම වෙනී අයියගේ ලබ්බ.. මං කිව්වේ මේ එතැන තියලා තිබුන අර ගස්ලබ්බ අරං හොල්ලලා බලලා මං කිව්වා මේකේ ඇති ඇටයක් නැහැ බං කියලා ඕනනං දෙක තුනක් ඇති කියලා.. කොහේද මේ යකා නහින්න හදනවා පිස්සුද මේකේ හෙන සද්දෙට හෙල්ලෙනවා බර ගානක් තියෙනවා කියලා... පස්සේ ඉතිං මං කිව්වා එහෙනං ලියාගනින් ඇට හතලිස් තුනයි කියලා... මේ යකා තව මැරෙන්න හදනවා මොන හතලිස් තුනක්ද කිය කිය.. ඒත් ඉතිං මං ආයේ මොනවත් කියන්න ගියේ නැති හින්දා පොර ඒක ලියලා රුපියල් විස්සකුත් පොරගේ අතින්ම ගෙවලා මගේ නමට තුන්ඩුව දාලා මාරු උනා.. මාත් නංගි එක්ක කනෙක්ෂන් එකක් හදාගන්න එක පස්සේ දවසක නිවාඩු පාඩුවේ කතා කර ගමු කියලා මාරු උනා.. :D
අන්තිමට ඉතිං ලබ්බේ ඇට ගාණ හරියටම කිව්වා කියලා මගේ නමත් කියවුනා...

එතැනින් පස්සෙනං ඉතිං වෙනදා වගේම මොනවා උනාද කියලා මතකයක් නැහැ.. කට්ටිය එනවා අලෝ අලෝ කියනවා.. නම කියනවා අදුරගන්නවා මං එන්නං මචං කියලා තව කෙනෙක් එක්ක කතා කරනවා.. එහාට මෙහාට තමා... එයින් පස්සේ ඉතිං කොට්ටා පොර ගහනවා බලන්න සැට් උනා... නිකං ඉන්න ගමන් කට්ටියට ආතල් එකක් දෙන්නත් එක්කලා ඇලා අයියයි මායි දෙන්නත් ගොඩ උනා කොට්ට පොර ගහන්න... පලවෙනි වටේනං ඇලා අයියා ගහන්නෙත් නැතිව පිටිපස්සේ ගහං හිටිය අත ගලෝගෙන පැරදුනා..  එකෙක්වත් බිම වැටුනේ නැති හින්දා මං පොරගේ ඇගට උඩින් අනිත් පැත්තට මාරු වෙන්න කියලා ගිහාම මෙන්න මේ යෝධයා කැරකිලා වැටෙන්න ගියා.. යකෝ මං මේ දුස්කරක්කිරියා කොරනවා වගේ අර අටල්ල උඩ සර්කස් දාද්දි ටිකක් හිටහං කෝ කොටේ අල්ලගෙන වැටෙන්නේ නැතිව... :D කොහොම හරි ආයෙම දෙන්නා පැති මාරු කොරං දෙවැනි අත සෙල්ලං කොරන්න ගත්තම මෙන්න මූ විහිළුවට විහිළුවට කියලා පටන් ගත්ත එක නිකං පෙර වෛරක්කාරයෙක් වගේ මට නෙලාන නෙලාන යනවා.. මාත් ඉතිං දන්න සිල්ප දාලා කොට්ටා පාර බ්ලොක් කොර කොර හිටියා.. ඒත් හරියන්නෙම නැහැ.. මූට කඩි කලා වගේ හිනා වේගනම ගහගෙන ගහගෙන යනවා.. (මූ හරියන්නෙම දේසපාලනේට ඕං..) බැරිම තැන මාත් ඉතිං දෙකක් වනලා දැම්මා ආ ඔය ඉන්නේ පුතයා මොකාද වගේ කොටේ එල්ලීගෙන.. හරි ඒ තරගේ අහවරයි.. :D

එයින් පස්සේ ඉතිං දෙවැනි වටේට මට කතා කොලාට මං නෙවෙයි ආයේ නැග්ගේ.. මේ වයසක ඩයල් එහෙකට දෙකක් ගහලා බිම දැම්මට දැන් ඉන්න කොල්ලෝ වසයි නෙව.. අනික ඔය අස්සේ ඇනෝලා එහෙමත් කප්පරකට ඉන්ට බැරි නැහැ.. නිකමටවත් මට අල්ලං නෙළුවොත් කියලා බයට නෙවෙයි අර මෙව්වා එකට ඈ... මාත් එක්කල වැටෙන අනිත් කෙනාට නිතරඟයෙන් දිනුම දෙන්ටය කියලා එතැනිනුත් මාරු උනා... ආ තව එකක් කොට්ටා පොර ගහන්ට ගෙහුං කොන්ද කඩා ගත්ත උන්දලාට මගේ බලවත් සෝකය මේ අවස්ථාවේදී පොරකාස කොර සිටිනවා... සංවිධායක මණ්ඩලය අතින් වෙච්ච අඩු පාඩුවක් ඒක.. මට ඕනනං ඕක සුළු අඩුපාඩුවක්ය කියලා ලියන්ට තිබුනා.. ඒත් වැටුන එකෙක්ගේ හරි කොන්ද මේ වෙද්දි අමාරු වෙලා තිබුනොත් ඒකලා මට සුළු කියන වචනේ තේරුම කියා දෙන්ට එන්ට බැරි නැහැ.. :D ඒ හින්දා ඒක සුළුද ලොකුද නැතිව අඩුපාඩුවක්ය කියලා ලියලා තියඤ්ඤං... අඩුපාඩුව තමා කොට්ටා පොරයෙන් බිමට වැටෙන අයව අල්ල ගන්ට නිසි දැනුමක් ඇති අයව නිසි ආකාරයෙන් යොදවලා තියේද කියන එක හා ඒ අය ඒක හරියටම කරනවද කියලා පරීක්ෂාවෙන් හිටිල්ල නොකරපු එක.. ඇත්තටම දෙතුන් දෙනෙක් බිමටම වැටුනා ගෙම්බා පොළවේ ගහන්නැහේ... මෙව්වා සෙල්ලං නෙවෙයි ඈ...

මොනවා උනත් මේ පාර මගේ ෆේවරිට්ම අංසේ වෙන බනිස් කෑම මට මිස් උනා නෙව දවල් වෙලා ගියපු හින්දා...  ඒ හින්දා මේ පාර ආතල් පොටෝ ටිකකින් ඔය උදවියව සංතෝස කරන්න මට විදිහක් නැහැ ඕං.. :D

කොහොම හරි ඉතිං තරගෙන් තරගෙට ගියා.. කලින් දැන හදුනං හිටිය අය වගේම මෙතුවක් කාලයක් දැක නොහිටපු අයවත් කතා බතා කරලා අදුරගන්ට ලැබුනා... ඒ වගේම පහුගිය ටිකේ නැගලා ගිය බ්ලොග් කාරයෝ කාරියෝ රාසියක්ම ඇවිත් හිටියා... කතන්දර/විචාරක/මාතලං/ඇල්කෙමියා වගේ වයසක පරම්පරාවේ අය වගේම අපේ පාරලේ.. මං කිව්වේ මේ කෝරලේ මහත්තයා.. එතැනින් ගියාම හිහි එකට පොරසිද්ද අපේ හිරුවා එහෙමත් ඇවිදින් හිටියා මහත්තයාවත් කුදලගෙන...එතකොට අර නුවර හිටං ආපු අගහරුවා.. ඒ අතරට කවදත් දකින්න ලැබෙන චරිත වෙච්ච ඕනයා/රනා සහ පවුල/වැපා/හීනයා/බනියා/ලිශාන් මල්ලි/රචින්ත/පැතුම්/නිශ්/අවංක පැට්ටා/ජේඩී සහ පවුල (අයේසා) පනුවා නොහොත් අනුරාධ.. චතුමිතු/නීනු/හසියා/ වගේ කාන්තා ඩයල් ටිකත් වෙනදා වගේම හිටියා... එතනැන් ගිහාම වෙනී අයියා/අටං ගොයියා/සෑමා/ රංගොජා මලයා වගේ උදවියත් බුකියේ වැඩි ආස්සරය ඇති අසංක හෙන්දහේවා/මංජුල/රවීෂ/කන්ච්/ වගේ උදවියත් නිතර කතා බහට අහු උනා... ඒ වගේම අමතක කොරන්ට බැහැ තංගල්ලේ බ්‍රාන්ච් එකේ හිටං ඇවිත් හිටිය අපේ සෝරෝ මලයා එහෙමත්... වෙනදා වගේම අන්තිම පේලියේ උන්දලා ටිකත් හිටියා... අර අපේ චීටා දොස්තොර උන්නැහේ හෙමත්.. ආ ඉවාන් පවුලූෂා සහ නලින් අයියා දෙන්නම තට්ටෙ වැහෙන්ටම කොණ්ඩේ වවාගෙන පිට්ටනියට බැහැලා උන්නා... සුදීක අයියත් ඉතිං කෙට්ටු කාලේ ඇඳපු කමිසයක් හිරට හිරේ ඇදන් ඇවිත් හිටියා... තව ඉතිං මාල්යා කෙලී.. අමායා මැණික් වගේ වැඩිය මුහු නොවන කාන්තා රතනයනුත් ඔය හිටියේ... බුකියෙන් වැඩියම හම්බ වෙන රුවන් මලයා සහ උගේ අර බෝම්බ නංගි.. :D එතකොට ඒ නංගිගේ හදා ගත්ත මලයා වෙච්ච පට්ට කලු “සුදු“ මහත්තයා වගේ උන්දලත් හිටියා.. :D :D :D 
ඔන්න ඔය වගේ බොහෝම පිරිසක් මැද්දේ වැඩේ නැගලා ගියා.. බඩ පනුවෝ පිනුං ගහද්දි යන්තං හවස දෙක විතර වෙද්දි කන්ටත් ලැබුනා.. කෑම එකත් හොඳයි.. බත් එකට වඩා විසාල කුකුල් මස් කුස්ටියක් එහෙමත් තිබුනා නෙව.. අනික සුපියල් දෙසීයක් අරගෙන බත් එකක්.. වතුර බෝතලයක් වගේම හවහා මාළු පාන් සහ කිරි පැකට් එහෛමත් දුන්නා.. ඒ වගේම කලින් රෙජිස්ටර් උන අයටනං නොමිලේ ටී සර්ට් හිටං ලැබුනා.. එව්වට ආධාර අනුග්‍රහ දක්වපු අයයි.. වැඩේ සංවිධානය කල අයයි ඒ ටික හොදට කරලා තිබුනා.. (හැබැයි කල් ඇතිව කැම දියවු මැරිලා වැටෙනකල් නොහිට ආයේ කියන්ට තියන්ට එපා.. :D )
හරි ඉතිං හොද වගේම නරකක් දෙකක් නොකිව්වොත් ඒ මං නෙවෙයි නෙවෙයි වගේ නෙව.. අනික ඉතිං මෙතැන නොකියා කොතැන ගෙහුං කියන්ටද..
 ඒ හින්දා ඔන්න මේ පාර දැකපු අඩු පාඩු... කලින් කිව්ව ඒවත් එක්ක..

1. කොට්ටා පොරේදී වැටෙන උන් අල්ලන්ට හරියට වැඩේ සකස් නොකල එක.
2. කෑම ප්‍රමාදය. (ඔතැන අපේත් වැරදි තියෙනවා කලින් නොදැන්වීම සහ ප්‍රමාද වී පැමිණිම වගේ දෙවල්. ඒත් පලවෙනි එකේ වෙලාවට කෑම එක ලැබුන හින්දා පොඩ්ඩක් ඒ අය ඒක කල හැටි ගැන හොයා බැළුවොත් වැඩේ ඊ ළග පාර ගොඩ දා ගතෑකි)
3. ඩීජේ පප්පලා සංගීත තොප්පි තරගේ අතරේ මියුසික් පාර ඇදීම තරගයට පොඩි මෙව්වා එකක් උනත් එතැන නට නට හිටිය උන්ට ඒක මල වාතයක් උනා කියලා මං දැක්කා. එක්කෝ තරගෙන් අහක් වෙන අයට නටන්න කියලා කොන්දේසියක් නොදැමීම හෝ දැම්මනං තරගයට වගේම ඔවුන්ගේ නර්ථනයටත් අසාධාරනයක් නොවන අන්දමට සංගීතය හැසිරවීම.
4. හඩෙහි අපැහැදිත්වය. කලින් වතාවට වඩානං තරමක් මේක අඩු උනත් මං දැක්කා එතැන ක්‍රිඩාංගනයේ අර පරණ ක්‍රමයට ස්පීකර් වගයක් හයි කරලා තිබුනා.. ටිකක් හොයා බලලා ඒ පහසුකම අපිට ගන්ට තිබුනනං බෆල් වලින් එන අපැහැදිලි හඩ (මං කියන්නේ මේ සංගීතය නෙවෙයි නිවේදකයින්ගේ හඩවල් ගැන.. අර පරණ ලවුඩ්ස්පීකර් සැට්වලින් වගේ නිවේදකයාගේ හඩ මනාව අසන්නන්ගේ සවනට ගෙනියන්න බෆල් කිසිසේත්ම සමත් වෙන්නේ නැහැ.)
5. තරඟ නිසි වේලාවට ආරම්භ කිරීම සහ නිසි වේලාවට අවසන් කිරීම. (ආරාදිත අමුත්තිය පැමිනියේ ප්‍රමාද වෙලා උනත් ඒ එද්දිත් ජන ගායනා තරගය පැවැත්වෙනවා.. සහ ඇයට අදාල තරගය වෙනුවෙන් සෑහෙන කාලයක ප්‍රමාදයක් උන බවත් අවසානයේ අවුරුදු කුමාරි තරගය තරගකාරියන් දෙදෙනෙකුට සීමා වීම මෙම ප්‍රමාදය නිසාම වූ දෙයක් බවත් කියන්න ඕන වෙන එකක් නැහැ. )
6. තව එකක් තියෙනවා උනත් ඒක පොදුවේ කරදරයක් වූ දෙයක්ද නොදන්න නිසාත් විශේෂයෙන්ම මට කරදරයක් බවට පත් වූ නිසාත් ඒක නලින් අයියට පෞද්ගලිකව කියන එක හොඳයි.
හරි ඒ ඇරුනම මේ පාර වසර ගානක සිහිනයක් සැබෑ කරගත් අපේ හීනයා මල්ලිට සුභ පතන්නත් මේක මං අවස්ථාවක් කරගන්නවා.. අවුරුදු උලෙලේ හීන කුමාරයා හැටියට හීනයාම අභිසේක ලැබීම අපූරු අවස්ථාවක් හැටියට අපිට දකින්න පුළුවන්.. :D ඒ වගේම විනිශ්චය කරුවන් විදියට දැන හැදුනුංකං වලට ලකුණු නොදුන් බවත් හීනයා තමන්ට උවමනා විදියට නොව විනිශ්චය මණ්ඩලේ කියන හැටියට වැඩේ කිරීම නිසාම වැඩි ලකුණු ගත් බවත් මතක් කර හිටින්න ඕන...
ඒ වගේම සෑහෙන වෙලාවක් වේදිකාවේ රැදී හිටිමින් බොහෝම සුහදව සියළු දෙනා එක්කම හිටිය හා තරඟ විනිශ්චයේදී මෙන්ම තෑගි ප්‍රධානයේදීද තැනේ හැටියට බොහෝම හොඳින් හැසිරුන ගයේෂා පෙරේරාටත් විශේෂයෙන්ම ගෞරවය හිමි වෙන්ට ඕන...

ආ ඒ කිව්වම මතක් උනේ.. යකෝ අර ආරාදිත අමුත්තියට එන්ටය කියලා ආරාධනා කොරලා මාළු මාළු කිය කියා මගුලක් කිව්ව ගරු සංවිධායකයෙක්ද වූ මංජුලයාට මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටින්ටත් ඕන... එතැනින් ගිහාම ආරාදිත අමුත්තිය අපහසුතාවයට පත් නොවන අන්දමට එක් අවස්ථාවක ඇයට මනාව ආවරණයක් සපයමින් තමාගේ පවුල් ආරස්සාව ගැනවත් නොහිතා අගනා කතාවක් කොල ඕනයාට තැනේ හැටියට ඇනේ ගැසීමේ ඇති විශේෂ හැකියාවට සියළුම බ්ලොග් කරුවන්ගේ ගෞරවේත් හිමිවිය යුතුයැයි කියන්ටම ඕන... 
එතකොට තරඟ සංවිධානය හා මෙහෙය වීමේදී රනා සහ නලින් අයියා දක්වපු නායකත්ව භූමිකාව බොහෝම අගෙයි.. විශේෂයෙන්ම රනාගේ පෙර සූදානම් වීම වගේම නලින් අයියා කන සාක්කුවට වැටෙන්ට ගහලා හිටිද්දිත් වයර් මාරු කර නොගෙන අවසන් අවස්ථාව දක්වාම බොහේම හොදින් පිරිස පාලනය කරගෙන වැඩේ ඇදගෙන යාම ගැන මෙන්න මගේ ආචාරය...
අවසානෙටම කියන්ට ඕන.. මට පෙනුන අයට වඩා බොහෝම පිරිසක් මේ වෙනුවෙන් මහන්සි වෙලා.. දායක වෙලා වැඩ කරපු බව අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ.. ඒත් පෙර සූදානම් වීම් ගැන හා සංවිධාන අංශ ගැන මං නොදන්න නිසාත්.. මට එවෙලෙට පෙනුන දේවල් ඇසුරෙන් මං දැක්ක දේ කිව්ව නිසාත් ඒ බොහෝමයක් අය මග ඇරිලත් ඇති.. කොහොමත් ඉතිං පෙරහැර යද්දි කොට අදින අලි පේනවා අඩු හින්දා ඒ අය ගැන වෙන වෙනම සදහන් නොවුනට මාත් එක්කලා අහිතක් හිතන්ට එපාලය.. දැක්ක දේ දැක්ක හැටියෙන් නෙව.. කොහොම නමුත් මේ වගේ වැඩක් මේ ආකාරයෙන් මේ පාරත් සංවිදානය කිරීම ගැන ඒ සියළු දෙනාටම මගේ ස්තූතිය මෙයින් හිමිකර දෙන්න කැමතියි...

එහෙනං ආයෙම හම්බු වෙමු ලබන අවුරුද්දේත් මේ වගේම සයිබොර් සැනකෙලියකින්...

ආ එයිට කලින් වරෙවු 27 වෙනිදා ලේ දෙන පිංකමට....

---------------
හෝව් හෝව්.. අර කිව්වට කෙන්ජි අයියගේ බාබේරියන් ක්වීන්ස්ලා සෙට් එක නොපැමිණි බවත් සතුටෙන් දන්වා සිටිමු. :D :D :D


තව ඉතිං මං ගත්තු හැම පිංතූරයක්ම මෙන්න මෙතැනින් බැලියැකි..

18 April 2014

ඔරිමජිනල් එළවළු රොටිය දැකලා තියේද..? නැත්තං ඕං බලා ගමු...


මීට කලින් දැකලා නැහැ නේද..? මං දන්නවා ඉතිං මේක දැක්ක ගමන් කස්ටිය මට හූ තියන විත්තිය.. ඕනනං කියයි හපොයි මාරයා එලෝලු රොටියක් හදන්න ගිහින් අනාගෙන නේද කියලත්.. ඒත් ඉතිං මංනේ දන්නේ මේක තමා ඔරිමජිනල් එක කියලා... ආයේ ඉතිං වැරදුන එකක්නං මං මෙහෙම දායියෑ.. 

බලන්ටකෝ මෙන්න මෙහෙම මහන්සි වෙලා පිටි අනලා කොරලා..

 මෙන්න මෙහෙම අපූරුවට එලෝලු එකත් හදාගෙන කොරගෙන අවසානෙදි මෙහෙම එලෝලු රොටි වැරදිල හදයිද කියලා..?

මං දන්නවා මං දන්නවා තොපි දැන් මට හිනාවෙන්ට තමා දුවං ආවේ කියලා.. ඒත් ඉතිං තොරණේ විස්තරේ හරියටම කියන්නේ රෑ වෙන්ට වෙන්ට නෙව...
 
ඕං එහ්නං ඒ විස්තරේ...

මෙන්න මෙහෙම පිටියි එලෝලුයි තනා වඩාගෙන..


මෙන්න මෙහෙම රොටී වඩාගෙන...

මෙන්න මෙහෙම තැටිය රත් වෙලා තියෙන වෙලේ රොටිය බාගෙන...

අවසානෙදි මෙන්න මෙහෙම හදා ගන්නවා.. හරිය...

හෝව් හෝව් ඔය පිංතූරේ වමේ සිට දකුණට බලං ගියොත් තමුන්නාන්සේලාටේ පෙනෙයි එලෝලු රොටියේ පරිණාමය..එහෙමත් නැත්තං එලෝලු රොටියේ විකාශය වගේ මෙව්වා එකක්.. පැහැදිලි හිංගලෙන් කිව්වොත් මුලින්ම හදපු එකේ හිටං අවසාන එකට එද්දි අත හුරුව ඇවිල්ලා ගානට හැඩේ එහෙම එන හැටි හිතා ගතෑකි නේද...?
 ඉතිං අවසානේ මෙහෙම තමා...

අර උඩිංම දාලා තිබුනේ අන්තිමට ඉතිරි වෙච්ච පිටි අගිස්සට ඉතිරි උන එලෝලු ටික හොදට අනලා කොරලා හදා ගත්ත ලට්ට ලොට්ට රොටිය තමා.. හැබැයි ඉතිං පෙනුම නිකං තරහට ගැහුව කොත්තු රොටිය වගේ උනාට මොකද.. ඒකත් පංකාදුයි   :D :D :D

ඉතිං අද දවාලට එලෝලු රොටියෙන් තමා වේල පිරිමහ ගත්තේ.. මොනවා කොරන්නද ඉද හිට පාන්පිටි ත්‍රස්ථවාදෙටත් යටත් වෙන්ට අපිට වෙනවා නෙව...

14 April 2014

සුභ නව වසරක් වේවා..!

ඩෝං පටෝං ඩෝං... හෙන ගහන්නැහේ හතර වටින් රතිඤ්ඥා පුපුරන සද්දේ මැද්දේ අළුත් අවුරුද්ද උදා උනේ මගේ ගුඩ් නයිට් එකත් හමාර කොරවන ගමන්ම තමා ඕං.. කොටින්ම කිව්වොත් අවුරුදු උදාවේ නැකතට ගහන රතිඤ්ඤා සද්දෙට තමා මට උදේ ඇහැ ඇරුනේ... :D මං හිතන්නේ නැකතට අවදි වීම බොහෝම හොද ඇති නේද..? 

රයිටෝ එහෙමනං ඔන්න අලුත් අවුරුද්ද..හුටා රේඩියෝව අහන ගමන් මේක කොට කොට හිටියේ.. මේ දැන් ප්‍රවෘත්ති වලට කිව්වා නෙව බීමත්ව රිය පැදවූ මෝටර් සයිකල් කරුවෝ එක් දහස් පන්සිය ගානක් අත් අඩංගුවට ගත්ත කතාවක්.. යකෝ මෝටර් සයිකල් කරුවෝ බීමත්ව හිටිය එක නෙවෙයි වැඩේ.. මුං රිය පදෝපු එක නෙව.. ඔන්න බලන්ටලා බීමත් උනාම මුංට තමුන් කොරන කියන දේ අමතක වෙනවා කියන්නේ බොරුවටද..? :D මොන එහෙකටද බීමත්ව මෝටර් සයිකල් පදින්නේ නැතිව රිය පදවන්න ගියේ.. අත් අඩංගුවට ගන්ටම ඕනෑ... ඔව් ඔව්.. ආ ඒ අස්සේ කිව්වා බීමත් බස් රියදුරෝ තුන් දෙනෙකුත් ඇල්ලුවා කියලා... මගේ අම්මේ මේ ටිකේ බස්වල නෙවෙයි මොන මගුලක ගියත් කමක් නැහැ මුලින්ම අහලා ඉන්න “ඩැයිබර් උන්නැහේ ඔහේ දෙකක් දාලාද ඉන්නේ“ කියලා.. ආයේ මොටද පස්සේ නිකං දුක් වෙන්නේ...

හුරේ.. මේ අවුරුද්දනං සුභම සුභ අවුරුද්දක් වෙනවා.. මේ දැන් මහින්ද අයියගේ සුභ පැතුමත් ආවා... මොනවා උනත් අයියා මට ආදරෙයි.. ඒකනේ මේ තරං වැඩ රාජකාරි තියෙද්දී උදේ පාන්දරම ෆෝන් එක අරං මට මැසේජ් එකක් කොටලා එව්වේ.. ඒකත් බාසා තුනෙන්ම.. දෙමලෙනුත් තියෙනවා හම්මේ මට දැනෙන සංතෝසේ.. :D මහින්ද අයියාටත් බාරියාව සහ පුත්තරයෝ තුන් දෙනා ඇතුළු මුළු පවුලටමත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

හරි එහෙමනං වැල් බයිලා ඇති... අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ.. මේකේ මොන අලුත්ද අනං මනං බයිලා කියව කියව ඉන්නේ නැතිව මේක අලුත් අවුරුද්දක්ය කියලා හිතාගෙන හොඳ හිතිං ඒක බාර අරගෙන ඔය පහුගිය අවුරුද්දේ කොරාපු මරි මෝඩ අමන වැඩ අමතක කොරලා දාලා.. අලුත් අවුරුද්දේ ෆිට් එකේ ජීවත් වෙනවා කියලා හිතා ගෙන වැඩට බහිමු...

රයිටෝ එහෙමනං මෙතෙක් දවසක් මාත් එක්ක මේ බ්ලොග් කටුව එක්කලා හිටිය සහෘද ඔබ සියළු දෙනාටමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා..! උදාවන වසර සතුට සාමය සෞභාග්‍යය සපිරි සුපිරි වසරක් වේවා..!

උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..! :D

13 April 2014

සේකර සමඟ මගේ වලිය... :D


රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා

ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා

මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා

නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ

පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා
 -------------------------------------
එහෙම කිව්වේ මං නෙවෙයි අපේ සේකර මහත්තයා...
හැබැයි එයින් පස්සේ කාලෙක මං මහත්තයත් මෙහෙම කියනවා...
 
-------------------
බියර් නොමැති ජීවිතයක් කුමක් වැනි...
රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී...
බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

පසෙකින් සිහිල් සුළගින් පිරි ෆෑන් එක...
අනිත් පසින් බෝල වඩේ පීරිසිය...
ඒ මැද්දෙන් බැදපු මිරිස් කරල් ඇත...
මෙයිට වඩා තව සැපයක් කොයි ඇද්ද...

දුක සැප කුමක් වූවත් නිති ලගින් සිටී..
මිතුරන් ලෙසින් සැමදා තනි රැකිය හැකි..
දුක මෙන් සැපෙත් කිසිදා අත් නොම හරිතී..
නුඹ වන් තවත් කිසිවෙක් මේ ලොවම නැතී..

කලකින් සිහි උනේ නුඹගේ මිතුරු දම...
ලගින් සිටිය අය මට පිටු පාපු කල...
දුක සැප දෙකෙහි සැමදාටම ජීවකය.
බියර් වඩිය නුඹමය මගේ ජීවිතය...
----------------------------------
 
ඒත් මගේ හිතට මදි... යකා නැග්ග පාර මං මෙහෙම කියනවා...
 
-------------
සේකර උඹනං හරි වස නපුරා..
ලියන්න හිටි මං බොහොම හිතාගෙන..
හැම කවියක්මත් උඹ ඇත ලියලා..
ලියන්න දේවල් දැන් නැත ඒ හැර.
උඹ කල විපතක මහතක් මේ මට..

මීවිත ගෙනෙනා රස සුව අගනා..
ඒ ගැන දැනටත් උඹ ඇත ලියලා..
එතෙකින් නොනැවත මහ කිවි හතුරා..
බියර් ගැනත් ඇත කවි පද ලියලා..

මරණය නම් වූ අපූරු මිතුරා..
දිවියේ අවසන සැනසුම ගෙනෙනා..
ඒ ගැන ලියනට සිතු සිත සපුරා..
එකෙත් ඇති සුව උඹ ඇත ලියලා..

ඉතින් කියාපන් කරනෙම් මොනවා..
ලියන්න කිසිවක් දැන් මට නැතිවා..
මේ කල විපතට සරිලන විලසා..
නුඹට දෝස් මුර තබනෙමි මෙලෙසා..
 
---------------------------------------
 
 හැබැයි අවසානෙදි මං හොයා ගන්නවා සේකරට අතෑරුන තැනක්...

-----------------

සිටු මාළිගා රජ මැදුරේ රැඳී නැතී..
ධනවතුනගේ මුව පහසේ උරුම නැතී..
උගත් වියත් අය හට දැකුමත් නොමැතී..
එහෙත් බොහෝ දන නුඹ හා කල් යවතී..

විසිතුරු නේක කැටයම් කල ඇසුරුමක..
දිලිසෙන පැහැය ඇති හැඩ වැඩ පෙට්ටියක..
නොයෙකුත් හැඬැති මන බඳිනා මේසයක..
නුඹ සිටි බවක් නම් නැත මගේ මතකයක..

අවන් හලක මකරුන් සිටිනා තැනක..
ගිමන් හලක තරු පහ හය රැඳුන තැන..
විසල් ලැඟුම් හල් දිලෙනා ඇති නේක..
කිසිත් කලෙක එහි පහසක් නුඹට නැත..

වෙදුන් බනිති නුඹ ගැන කිසි හොඳක් නැත..
ලිපිත් ලියති නුඹටම එරෙහිව සැවොම..
පොලිස් අතත් ගෙන දෙන නුඹටම ගැහැට..
උතුම් නීතියත් නුඹටම කපයි වල..

කියනා කිසිත් අගයක් නැත නුඹ ගාව..
ප්‍රමිතිය ගැනත් ඇත සෑහෙන අවලාද..
මේ වන් ගැහැට විඳ අවමන් අපහාස..
තවමත් නුඹ සිටී නොසැලී අප ගාව..

දාහක් දෙනා හඬ නැගුවත් විරුද්ධව..
ලෝකයේ කිසිත් අගයත් නැතුවත් නුඹට..
ඒ කිසි දොසක් ගැන නොම වී අමනාප..
පොඩි මිනිහාගේ දුක නිවනා හැටි තාම..

වත්තේ කොනේ බඩ වැටීයේ සැග වීලා..
දොළ පහරේ ඇළ අයිනේ නිපදීලා..
සමහර විටක සති ගානක් පල් වීලා..
නුඹ ඉපදෙනා හැටි ඇත රහසක් වීලා..

යකඩ බැරලයක් පෙරලා පැත්තකට..
එහි උඩ පැත්තේ කට කපලා ගානකට..
සීනිත් සමඟ ඊසුත් මුසු කොට යසට..
වතුරත් යොදා පැසවති හොඳ පදමකට..

මහ ගණ වනේ හෝ නිවසේ කුස්සියක..
ලිං මිදුලේ සඳ ඇති දින මහ රැයක..
දර ගිනි ගොඩේ හෝ වෙනයම් හෝ ලිපක..
දැල් වෙන ගින්න මත රත්වනු ඇත දිනක..

තඹ බටයෙන් සැදි දඟරය තුලින් යවා..
ගිනි රස්නය සීතල වතුරෙන් නහවා..
හුමාලයන් පිණී බිඳු සේ යළි හරවා..
බිඳුවෙන් බිඳුව ඉස්පිරිතුව එක් කරවා..

පදමට සරිලනා සේ වතුරත් මුහුව..
අඩු වැඩි නැතිව බූලිය තුල වී සිරව..
සඟවා තැනින් තැන බොහො රැකවල් ඇතිව..
අවසන විකුණනා අඩු මිලකට නිමව...

මිල අඩු උනත් නැත රසයේ කිසි අඩුවක්..
මොන තරමකින් හෝ නොවෙතිය දෙවැනි තැනක්..
රසවතුනගේ මන පිනවන බොහොම කලක්.
දුප්පතුනගේ සිත පිනවන දිව ඔසුවක්..

නසනා දුක සෝක ඇඟපත ඇති වෙහෙස..
නිවනා සිතේ ගිනි ගිනි වතුරෙන් සවස..
ගෙවනා ජීවිතේ රැ‍ඳෙමින් ළග ගැවස..
මිනිසුන් දුක නසයි නුඹ නැතිකර පවස..

රජවරු සිටුවරුන් අතරේ පමණක්ද..
දුප්පත් දනා හට මත්බව අකැපයිද..
සල්ලිය බාගේ නැති කම මහ වරදක්ද..
කසිප්පු බීම පමණක් තහනම් ඇයිද..
------------------------------------
 
අන්න එයින් පස්සේ තමා යන්තං මට සැනසිල්ලක් ලැබෙන්නේ.. යන්තං එකක් හරි හොයා ගත්තනේ.. :D
 
කාලෙකට පස්සේ පරණ යාළුවෙක් හම්බ උනා පරණ අවුරුද්දේ.. අපි බලමු යාළුවා මොනවා කරයිද කියලා...

12 April 2014

අඩෝ වෙනියා කියන පුද්ගලයා... හූ හූ.....


ඊයේද කොහේද අපේ සපතේරු උන්නැහේ බුකියේ දාපු පිංතූරයක් ඔය.. පිංතූරයක් කිව්වට ඉතිං අර අපි හිංගලෙන් කියන්නේ ඉස්කිරිං සොට් එකක් කියලා.. අන්න ඒකක්... වෙන බ්ලොග් අඩවියක තිබිලා උස්සං ඇවිත් අපිට පෙන්නුවේ... නිකනුත් නෙවෙයි වර්ගපූර්ණිකාවට කොමෙන්ට් කොල උන්දලව සිහිපත් වෙනවාය කියලත් තමා සපතේරු උන්නැහේනං කියැව්වේ.. ඒ කතාව සහතික ඇත්ත..

දැන් ඉතිං වර්ගපූර්ණීකාව ගැන නොදන්න ඈයෝ ඒ ගැන මගෙන් අහන්ට එපා.. වර්ගපූර්ණීකාව කියන්නේ මේ සිංහල බ්ලොග් අවකාශයේ එදා මෙදාතුර පහල වූ පස්ටම පස්ට බ්ලොග් එකක්... එකේ කොමෙන්ට් කල උදවිය අතර එයිටත් වඩා පස්ට බුවාලා හිටියා.. නැටි පාගගන්නවා කියන එකේ නියම අරුත බලන්ට තිබුනේ ආන්න ඒකේ කොමෙන්ට් අස්සේ තමා.. මට ඔය ගැන වැඩි විස්තර කොර කොර ඉන්ට බැහැ ඕන කෙනෙක් ඇත්තං මෙන්න මෙතැනින් ගෙහුං කියෝලා බලන එකයිලා ඇත්තේ.. හැබැයි මතක ඇතිව කොමෙන්ට් එහෙමත් කියවන්ට.. ඒ වගේම අග ලිපිවලින් පටන් ගන්නේ නැතිව මුල හිටන් කියවනවනං තමා හරියටම වැඩේ පත්තියං වෙන්නේ.. ඔන්න ආයේ නොකිව්වා කියන්ට එපා... වර්ගපූර්ණිකාව දන්න අයටනං ඉතිං ආයේ අහවල් එහෙකට කොල කඩාපාන්ටද නේද..?

පස්සෙං පහු මේ පිංතූරේ විස්තරේ ගැන ඇහුවම ඉතිං මං කියවීම අතැර දැමූ බ්ලොගයක කොමෙන්ටුවක් හැටියට තමා මේක වැටිලා තිබුනා කියන්නේ.. ඒත් ඉතිං ඒක නොබැළුවට මේක දැක්කම පොඩි අදහසක් ගතෑකිනේ කවුරු හරි කෙනෙක් සෑහෙන්න පරීක්ෂණ කොරලා සෑහෙන වටින කියන කාරණාවක් හොයාගෙන වග...

හරි හරි ඒ අටමගල් මොටද.. කාරණාවට බහිමුකෝ කෙලින්ම... වෙනී අයියා නොහොත් කවුරුත් දන්න ලියන්නා හෙවත් ප්‍රියන්ත වැනිවැල්පිටිය අයියා සහ සද්ගුණවත් (අපිට ඉතිං අපිම කියාගත්තොත් තමා ) මංතුමා අතර ඇති කේස් එක මොකක්ද..? හෙන වෛරක්කාරයෝද? 

අවංකවම කිව්වොත් මේනං මට ඇඩෙන අවස්ථාවක්.. ඒ කිව්වේ මේ අපේ බ්ලොග් කියවන සමහර පාඨකයෝ හින්දා මෙහෙම පැහැදිලි කිරීම් කරන්ට වෙන එක... ඇත්තටම මේ වගේ අසරණකොමක් තවත් නැහැ මටනං... දෙයියනේ මේවා මෙහෙම අකුරෙන් අකුරට පැහැදිලි කරලා දෙන්ට උනාම මේවා කියවන ඈයොන්ගේ බුද්ධිමත් මෙව්වා එක ගැන ඇඩෙන්නේ නැද්ද හා.. අර මං කලින් කිව්ව වර්ගපූර්ණිකාවේ ඇතැම් කොමෙන්ට් දැක්කමත් අපි බර ගානකට ඒ දවස්වල ඇඩුනා.. :D

ඒ කොහොම උනත්.. මං කොච්චර අසරණභාවයට පත් උනත් මේක පැහැදිලි හිංගලෙන්ම කියලා නොදැම්මොත් කවුරු හරි කෙනෙක් තව දුරටත් රැවටීමකට ලක් වෙන හින්දත්... තව තව අපි අතරේ තියෙන ඇරියස් එක මොකක්දෑ කියලා හිතලා වෙහෙසට පත් වෙන හින්දාත්.. ඒ උදවිය කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් මෙසේ ලියා තබම්හ...

යකුනේ වෙනිවැල් අයියයි මායි හොඳ යාළු මිත්තරයෝ... තරහක් ආරෝවක් මෙලෝ විදියක නැහැ. අනික මට තරහා වෙන්න ඕනකමක් ඇති උනත් ඔය නසරාණියා එහෙම මිනිහෙක් එක්ක තරහා වෙන එකෙක් නෙවෙයි.. ( ඒකනං කරුමයක්ම තමා ඕයිලා.. :D ) ඉතිං කොහොමද ඇරියස් පිරිමහන්නේ...

ඒත් ඉතිං අපි දෙන්නට දෙන්නා දෙන්නගේ බ්ලොග්වල ඒ මේ අතට මඩ ගහගන්න එකනං ඇත්ත.. ඒක ඉතිං මේ යාළු පිට් එකට කොරන දෙයක්.. දෙයියනේ යාළුවෝ යාළුවෝ ඔහොම මඩ ගහගන්නවා මිසක් යකුනේ මලාට තරහා කාරයොත් එක්ක එළිපිට ගහ මරාගන්නවද මිනිස්සු.. නැහැ මං කිව්වේ මේ මයේවත් උගේවත් ඇති අමුතු බුද්ධිමත්කොමකට නෙවෙයි.. ඒත් ඉතිං අහක ඉන්න හබන් කුකුල්ලුන්ට නිකං මගුල් ඉන්විටේසන් බෙදන්න අපිට පිස්සුයෑ.. තරහක් මරහක් තියේනං පොර ඉන්න තැනට ගිහින් පඩිපෙල බහින්න ආව වෙලාවක දානවනේ තල්ලුවක් පෙරලිලා දඩිං බිඩිං දොඩං වෙන්න.. :D හුහ්...

සාමාන්‍යෙයන් මං කාට හරි මඩක් ගහනවනං.. ලොවෙත් නැති තරමට විහිළු තහළු කොරනවනං ඒ බොහෝම විශ්වාසවන්ත... හිතවත්කං ඇති අයටම තමා... එහෙම නැතිව වැඩි ආස්සරයක් නැති උදවිය එක්ක ඔය වැඩි භජනෙට යන්නේ නැහැ... කවුරු හරි මට දිරවන්නේ නැති බුවෙක් ඉන්නවනං මං කරන්නේ ඒකට මඩ ගගහා ඇවිදින එකවත්... විහිළු කර කර ඉන්න එකවත් නෙවෙයි...  මට එපානං එපා.. එහෙම එකාව දුරින් දුරු කරලා දැම්මා.. ඒකා මහ රජ්ජුරුවෝ උනත්.. සක්කරයා උනත් එච්චර තමා.. මොකද කාගෙන්වත් කාලා ඇදලා ඉන්නේ නැති හින්දා මට ලොක්කා මං මිස වෙන එක එකාලා නෙවෙයි නෙව... ආයේ මොකටද කාට හරි අකමැතිනං ඒ උදවිය එක්ක එකට පෑහි පෑහි ඉන්නේ... මං වගේ සරල සාමාන්‍ය එකෙක් කතා බහ නොකලා ආස්සරේ නොකල කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැති බව මං දන්නවා..  ඒ උනාට එහෙම චරිත ඈත් කරලා පාඩුවේ හිටියම හිතට සනීපයි නෙව... 

වෙනී අයියා කියන්නේ එහෙම තරහක් මරහක් තියෙන එකෙක් උනානං මං කරන්නේ තව තවත් ඔය එක එක කතා කිය කිය ඉන්න එක නෙවෙයි.. කෙලින්ම කතා කරන එක නැවැත්තුවා... බුකියේ ඉන්නවනං බ්ලොක් කරලා දැම්මා... සාමාන්‍ය සමාජයේ මුණ ගැහෙන එකෙක්නං ඌව මූණට දැක්කත් කතා නොකර මගේ පාඩුවේ හිටියා... කොටින්ම ඌ හෝ ඒකී කොරන කියන දේවල් ගැන බල බල ඉන්නවත් යන්නේ නැහැ. (හැබැයි ඉතිං කවුර හරි දිගින් දිගට හිරිහැර කරදර කොරන්ට එනවනං එව්වා බේරගන්න එක වෙනම දෙයක්... නයා උනාම ඉද හිටවත් පුප්පන්ට එපෑ... ) ඒ හින්දා ඔය වැරදි අදහසකින් ඉන්න ඇත්තා හෝ ඇත්තී හෝ දැන් හිටං ඒ අදහස නැති කොරගන්ට.. වෙනී අයියා කියන්නේ මගේ මෑත කාලීන ජීවිතයේ බොහෝම විශ්වාසවන්තව ආස්සරේ කරන විඩෙන් විඩේ හම්බු වෙලා කතා බහ කොරන.. කන බොන.. ගමන් යන බොහෝම කලාතුරකින් මනුස්සයෙකුට හම්බුවෙන ජාතියේ වටිනා කියන මිත්තරයෙක්... මේ සයිබරේ හරහා හදුනා ගත්ත මිනිස්සුන්ගෙන් හිතවත් කං හදගත්ත අය අතරේ මුල්ම දහ දෙනා අතරේ ඉන්න කෙනෙක්... මේ දැන් ටික දොහකට ඉස්සරවෙලත් මෑන්ගේ සාධර අනුග්‍රහයෙන් ආනන්ද විජ්ජාලේ කුලරත්න සාලාවේ පෙන්නාපු නාට්ටියක් එහෙමත් බලලා කොරලා ආවේ... ඔය සුප්‍රසිද්ධ වැල්පෙනෙල කතා වස්තුවට හේතු පාදක වෙච්චි මාකොල පැත්තේ පිරිත් ගෙදරට ගියෙත් අපි දෙන්නම තමා... 

ආන්න ඒ හින්දා මෙයින් පස්සේ තේරුං ගන්ට මිනිස්සු විහිළු තහළු කොරගන්නේ තරහට මරහට නෙවෙයි හොද හිතවත්කං විස්සාසකං තියෙනවනං විතරයි... මං ඉතිං මේ සයිබරේ මරාගෙන කන්න හදන උන් අතරේ මුලටම ඉන්න මෑන් දැන් මේ බ්ලොග් අස්සේ එච්චර නැහැ.. ඒ තමා අපේ තිස්ස දොඩංගොඩ උන්නැහේ... උන්දැට මං කියපු කොරපු කතාවල හැටියට තාම මේ වෙනියට දුක දුන්නෙම නැති තරං... ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් වචනෙන් වචනෙට කල්පනා කොර කොර.. (එහෙම කොරලත් ඔන්න ඊයෙත් මෑන්ට කෙල උනා.. ඒ කතා බහ පස්සේ දවසක කියන්ට බැරියෑ..)  තව ඉතිං ඔය මං විහිළු තහළු කොරන අයියලා අක්කලා නගාලා මලයලා.. හෙමත් තේරුං ගන්නවා හොදා ඒ විහිළු තහළු කොරන්නේ යම් කිසි විස්සාසයක් හිතවත්කොමක් තියෙන හින්දා මිස තරහකට මරහකට නොවන විත්තියත්.. ආයේ ඉතිං එක එක්කෙනාට වෙන වෙනම කියන්ට ඇහැකියෑ.. මේ ගමන්ම ඕං ඒකත් කිව්වා... 

හරි ඒ ප්‍රකාශ නිකුත් කිරීම ඒ ඇති.. මෙව්වා මෙහෙම දැම්මම අර අපූරුවට කරං ආව මඩ වියාපාරවලට හෙන පාඩුයි අප්පා.. ඒ කොහොම උනත්.. අඩෝ වෙනියා කියන පුද්ගලයෝ.. තෝ අහු වෙන්න එපා හරිද..?

11 April 2014

අවුලක් නැහැ...

රෙද්ද..බ්ලොග් එහෙකුත් තියෙනවා තමා.. ඒත් ඉතිං ලියන්ට හිත් දෙන්නේ නැතුවා... වෙන වෙන වැඩයි.. මදි පාඩුවට බුකියයි කොරං හිටියම ආයේ මේ පැත්ත බලන්ට දැන් දැන් හිත් දෙන්නේම නැති තරං...

ඒ අස්සේ ඔන්න මේ පාර අප්රේල් 20 සයිබොර් අවුරුදු උත්සවේ තියෙනවළු බත්තරමුල්ල බුද්දෙ අයියගේ පිට්ටනියේ.. 27 තියෙනවා ඔබා අයියා වෙනුවෙන් අන්තිම පේලියේ කුපාඩි ටික.. (මං හරි නේද..? :D ) කරවන ලේ දන්දීම. ඒකනං තියෙන්නේ රාජගිරියේ සිංහ සමාජ ශාලාවද මොකක්ද එහෙක කිව්වා... තැන හොයාගන්ට ඕන.. ඕනයා දැන් මාසෙකට වැඩියි මට දිනේ කියලනං.. තැන එදා උදේට ඒකට කතා කරලා අහං හොයාගත්තම මදෑ... බ්ලොග් ලියන කියවන කවුරු කවුරුත් ඔය දෙකටම පුළු පුළුහං හැටියට මංගච්චනවනං හොඳයි...

හරි ඉතිං වෙන අහවල් මංගල්ලයක් කියලා ලියන්නද..? මංතුමා ඉතාමත් හොදින්.. සැපෙන් ෂනීපෙන් වැඩ වාසය කොරනවා... :D