03 September 2014

කාරුණික නිවේදනයක් සමඟින් අමුමිරිස්වලට විකල්පයක්...

හිතවත් අහිතවත්.. (ඇයි එහෙම උන් නැද්ද..? :D ) සියළුම බ්ලොග් ලියන කියවන සෑම දෙනා වෙතත්... බුකියේ යාළු මිත්තරයින් වෙතත් කරන කාරුණික දැනුම් දීමයි.

මේ දිනවල බුකිය හා සිංහල බ්ලොග් මූලික කරගෙන කරගෙන යනු ලබන අමුමිරිස් වැඩසටහනට අදාලව කිසිදු අභියෝග කිරීමකට මාව ලක් කිරීමෙන් වලකින ලෙසත් එසේ අභියෝග කලත් මා එය කිසිදු අයුරකින් බාර නොගන්නා බවත් ප්‍රකාශ කර සිටිමි.

එකී වැඩ සටහන හරහා වකුගඩු රෝගීන්ට උපකාර කිරීම වැනි යහපත් අරමුණක් මූලික වූවත් ඒ හරහාම තවත් අය අපහසුතාවයට ලක් වීමට හැකියාවක් ඇති නිසාත් තවත් හේතු කාරනා නිසාත් එයට සම්බන්ධ විමට මා අකමැත්තෙමි.

එකී හේතුවක් පැහැදිලි කිරීම වැදගත් වනු ඇතැයි සිතමි. 

විශේෂයෙන්ම මෙම වැඩසටහන මගින් අන් අය වෙත අයුතු බලපෑමක් වන බව මාගේ අදහසයි. පිට රටක ආරම්භ වූ අයිස් බකට් වැඩසටහනක් වෙනස් කරගනිමින් ලංකාවට ගැලපෙන ආකාරයට සකස්කල වැඩසටහනක් යනුවෙන් සදහන් වෙන අමුමිරිස් කෑමේ අභියෝගය වැනි මිනිසුන්ට අයුතු බලපෑම් කරවන වැඩ සටහන්වල ආරම්භය අයිස් බකට් නොවන බවත් මුලින්ම මතක් කර දෙන්නට කැමැත්තෙමි... මා දන්නා එවන් මීට පෙර පැවති වැඩ සටහනක් ගැන සිහිපත් කලද.. එයටත් එහා ගිය එවැනිම දේවල් ඕනෑ තරම් තිබෙන්නට ඇත...

මෙයට වසර ගණනාවකට පෙර තැපෑලෙන් නිවෙස්වලට ලැබුනු එක්තරා ලිපියක් ගැන මතකය මෑත කාලයේ උපත ලබා ඇති අය හැරුනුකොට බහුල වශයෙන් තැපැල් ලිපි හුවමාරු සිදු වූ සමයේ අත්දැකීම් ඇති අයට මතක ඇතිවාට සැක නැත...

මතකද අනුරාධපුරේ කළු දිය පොකුණකින් මතු වූ නාගයා...?

අනුරාධපුරයෙන් මතු වූවා යැයි කියන මහා නාගරාජයකු විසින් කිව්වා යැයි කියන බුදු දහම ප්‍රචලිත කිරීමේ වැඩ සටහනත්.. ඒ හා සමාන්තරවම ක්‍රිස්තියානි කතෝලික දහම් ප්‍රචලිත කරවන වැඩ සටහන්ද එවැනිම ආකාරයේ ලිපි වලින් අප නිවෙස්වලට ලැබුනු බව දන්න අය තාමත් ඇතැයි සිතමි. එකී වැඩ පිළිවෙලෙහිද වූයේ මෙවැනිම දම්වැල් ක්‍රමයක් මෙන්ම පිරමීඩ් ක්‍රමයකි. එකි ලිපිය ලැබෙන කෙනෙක් වෙතොත් එහි පිටපත් දහයක් තවත් දහදෙනෙකුට යැවිය යුතු වේ. එසේ නොකලහොත් එසේ වැඩපිළිවෙල කඩ කල තැනැත්තාට දරුනු සාපයකට ලක් වීමට සිදු වේ.. ඒ අනුව එසේ කල අයට බලවත් කරදර දුක් පීඩා උරුම වේ.. ලිපියේ ආකාරයටම වැඩ කල අයට ස්වීප් ඇදෙනවා.. මැණික් හම්බ වෙනවා වගේ පගාවලුත් තිබේ... :D 

මේ මා කියනා දේවල්වත්.. එසේ සැබෑවටම සිදුවන දේවල්වත් නොව.. එහි සදහන් වූ ආකාරයයි...

මෙය අනිසි බලපෑමක් වන්නේද නැද්ද...? පුද්ගලයින් තුල ඇති සංවේදී දුර්වල තැන් ස්පර්ශ කර ඔවුන් තුල භීතිය ලැජ්ජාව ඇති කොට අදාල ක්‍රියාවට කෙසේ හෝ නම්මා ගැනීමේ තුච්ඡ වැඩ සටහනක් එකී ලිපිය තුලින් සිදු විය... 

“හයියෝ ඕවනං මොනවදද කවුද ඒවා ගණන් ගන්නේ..?“

ඔහොම කියන්න හරි ලේසියි නේද..? දැන් උනත් ඔය කතාව මං කිව්වාම අහන කියවන කෙනෙකුගේ කටින් ලේසියෙන්ම පිට වන වචන ටික ඔය ටික නෙවෙයිද..? ඒ දවස්වලත් ඔහොමම කිව්වා හුග දෙනෙක්.. හැබැයි අනිත් අතට සද්ද නැතිව ලියුං කවර දහයක් ගෙනිහිං තමන් දන්න කියන ලිපින ටිකකට ආයෙම ලිපි යැව්වා... :D සමහරු දහයක් නැතිව පහක් විතර යවලා ඒත් මදෑ ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා හිත් හදාගත්තා... 

මේ වැඩේදී ඇත්තටම භාවිතා වෙන්නේ පුද්ගලයින්ව කලු තැපැල්.. එහෙම නැත්තං සිංහලෙන් අපි කියන විදියටනං බ්ලැක් මේල් කිරීමක්ම තමයි... ආගමට දහමට හෝ.. සාප කිරීමකට.. හදි හූනියමකට බයේ වැඩ පිළිවෙලට අනුගත වීමක් බොහෝ දෙනෙකුගෙන් නිරායාශයෙන්ම සිදු උනා... හැබැයි අර ලිපියේ සාප කිරීමක් හෝ පගාව දීමක් නැතිව අදහන ආගමේ නාමයෙන් හෝ සැබෑ ශ්‍රද්ධා භක්තියෙන් කරන්න කිව්වනං ඕක ලිපි තුන හතරකින් නතර වෙන්නත් තිබුනා.. ඒ තරමටම ශ්‍රද්ධාවන්ත අයනේ අපේ ඉන්නේ... :D

එතකොට මේ අයිස් බකට් වැනි වැඩ සටහන්වලයි අරකෙයි ලොකු වෙනසක් තියෙනවද..?

ඔව් තියෙනවා.. ඒක තමා හුග දෙනෙකුට දෙන්න පුළුවන් උත්තරය.. කෙලින්ම කිව්වැකි මේකෙන් කරන්නේ මිනිස්සුන්ට යහපතක් වෙන වැඩකට මුදල් එකතු කිරීම අරකෙන් එහෙම නැහැ කියලා... ඒත් අපි හරියටම නොදන්නවා උනාට ඔය ලිපියේ එන කතාවත් ඇත්තම සීන් එකක් උනානං.. එහි සඳහන් වෙන ආගම මොකක් හෝ වේවා.. ඒ තුලින් මිනිස්සුන්ට යම් කිසි සහනයක් සැනසිල්ලක් ලැබෙනවනං...? එහෙම ගත්තම අපිට කියන්න පුළුවන්ද එකෙයි මෙකෙයි අතර ඇති වෙනසක්...
(සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමට පස්සෙත් මෙවැනි ලිපියක් ප්‍රසිද්ධියේ ඉරා දැමීම එකී අපවත්වීමට හේතු වූවයැයි යවන ලද ප්‍රචාරයකුත් තිබිණි)

පොදුවේ ගත්තම මං අර කියාපු ලිපියෙන් මිනිස්සු භීතියට පත් කරවලා තමුන්ගේ වැඩේ කරවන්න මනුෂ්‍යයාව පොළඹවගන්නවා.. මෙතැනදී මිනිස්සුන්ගේ නම්බුව ගෞරවය පරදුවට තියවලා කාරනාව ඉෂ්ඨ කරගන්නවා...

අරමුණ මොන තරම් යහපත් එකක් උනත් ඒක ක්‍රියාවේ යොදවන ක්‍රමයේ වරදක් තියෙනවනං ඒක කියන්න පැකිලෙන්න ඕන නැහැ කියන තැනයි මං ඉන්නේ.. මම දන්නවා මේ ලිපිය දැමීමත් එක්කම ඇතැම් විට බොහෝ පිරිසක් මාත් එක්ක එකඟ නොවෙන්න වගේම මාත් එක්ක තරහා වෙන්න උනත් ඉඩ තියෙනවා.. ඒත් මට පේන දේ නොකියා ඉන්නවට වඩා කියන්න තියෙන දේ කියලා දැම්මම අඩුම ගානේ මං මගේ හිතට එකඟව වැඩ කලා කියන හැගීම මට ඉතිරි වෙයි.

කොහොමද මේකෙන් මිනිස්සුන්ට අයුතු බලපෑමක් වෙන්නේ...?

ඔන්න අපි පටන් ගනිමු උදාහරණයකින්...

කෙනෙක් ඉන්නවා බොහෝම පින් අතේ වැඩ කරන.. ඒවට අත දිග ඇරලා වියදං කරන... ඒත් මොනම හේතුවක් නිසාහරි මේ වෙද්දි ඉන්නේ හිර වෙලා... එහෙම නැත්තං වෙන මොනවට හරිත් සල්ලි නැතිව.. එහෙමත් නැත්තං මෙයිට වඩා ප්‍රමුඛතාවය දියයුතු සමාජ සේවාවක් අතරතුර... කොටින්ම කිව්වොත් මේකට සල්ලි දෙන්න විදියක් නැහැම තමා.

ඔන්න ඒ අස්සේ එයාටත් අභියෝගයක් එනවා... දැන් මොකද කරන්නනේ... කාට හරි ණය වෙලා හරි වැඩේ කරනවද..? නැත්තං සද්ද නැතිව ඉන්නවද...? පලවෙනි ක්‍රමය කරන තැනට කෙනෙක්ව අපහසුතාවයට පත් කරවන එක හරි නැති වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. දෙවැනි ක්‍රමයට සද්දේ වහලා හිටියොත් මේක බලං ඉන්න අය අහන්න පටන් ගන්නවා.. කෝ අරයා අභියෝග කලා ඔයා මොකද කරන්නේ... කියලා.. ඒකටත් උත්තර නැති උනාම ඔන්න පටන් ගන්නවා අම කෙනාය විවේචනය කරන්න.. සමහර විට ඒක දරුණු පුද්ගල අපහාස දක්වා වර්ධනය වෙන්න පුළුවන්.. මොකද අපි දන්නවා මෙහෙම පොටක් පෑදෙනකල් බලං ඉන්න මිනිස්සුත් ඉන්නවා තව කෙනෙකුට අපහාස කරන්න... ඉතිං අවසානයේ වෙන්නේ මෙච්චර කාලයක් අනිත් අයට උදව් උපකාර කල කෙනෙක්ටත් මේ මගුලක් හින්දා නිස්කාරනේ කාගෙවත් කුණු කතා අහන්න නෙවෙයිද..?
ඕනනං පුළුවන් පැහැදිලි කරලා හේතු සීයක් විතර ලියලා මග අරින්නත්.. ඒත් එතකොටත් කට්ටිය ආ හරි කියලා අල්ලලා දායිද... (අයිස් බකට් වැඩපිළිවෙලේදීත් තනුජා ජයවර්ධනට අභියෝග කරන ලද විටක ඇය එයින් ලිස්සා ගිය ආකාරය කියා තනුජාගේ ප්‍රකාශයක් යම් කිසි අයකු විසින් උපුටා දමනු මා දැක ඇත. ) 

හරි අපි හිතමු කෙනෙක් ඉන්නවා මෙලෝ සමාජ සේවා වැඩකට නැහැ.. කාටවත් කීයක්වත් දෙන්නේ නැහැ කියලම.. ඒත් කාටවත් අයිතියක් තියෙනවද ඒ මිනිහට මෙහෙම අභියෝගයක් කරවලා ඒ මිනිහට බලපෑම් කරවන්න.. මිනිස්සු ලවා නින්දා කරවන්න..? මංනං හිතන්නේ කිසිම අයිතියක් නැහැ... එහෙමනං මේකෙන් වෙන්නේ මොනවද..?

හොදයි දැන් මේ කාරණාව ගැන අමුමිරිස් අභියෝගයේ මූලිකයා හැටියට දැනට කටයුතු කරනු ලබන (මා දන්නා තරමින්) රසික නානායක්කාර හෙවත් අපි කවුරුත් දන්න රනා මට පැහැදිලිව කියනවා “එහෙම වෙන එකක් නැහැ.. කෙනෙක් තව කෙනෙකුට අභියෝග කරද්දි අනිවාර්යයෙන් ඒ කෙනාගෙන් කලින් අහලා අවසර අරං තමා කරන්න ඕන.. එහෙම නැතිව ආවට ගියාට එහෙම කරන්න බැහැ ඒක අපේ නීතියක්“ කියලා... ඒකත් හරි තමා.. නියම ක්‍රමයක්.. එතකොට කැමති කෙනෙක් ඒ වැඩ පිළිවෙලේ ගමන් කරයි අකමැති අය තමන්ගේ පාඩුවේ හිටියි... ඒත් කියනකොට එහෙම උනාට කරනකොට එහෙම වෙන්නේ නැති අවුලක් තියෙනවනේ අපේ රටේ...

ඇත්තටම මං මේ කාරනාව මුලින්ම රනා හෙවත් රසිකට කිව්වේ එහෙම දෙයක් වෙන කාට හරි විය හැකියි නේද කියන පොදු කල්පනාව මත පිහිටලා.. මොකද මං දන්නවා මං ඔය ඕන දෙයක් කියලා ඇරියට එහෙම අදහස් ප්‍රකාශ කරන්න වැඩිය ඉදිරිපත් වෙන්නේ නැති ඒත් අපහසුතාවයන්ට පත්වන අය ඉන්නවා කියලා... ඒ හින්දා එහෙම හඩක් නැති අය වෙනුවෙනුයි මං රනාට කතා කලේ.. ඒත්...  කියන්න කණගාටුයි පින්වතුනි වැඩේ මටම සිද්ධ උනා.. කාගෙවත් අතින් නෙවෙයි අපේ හිතවත් වෙනී අයියා වෙතින්.. වෙනී අයියා දැන හෝ නොදැන කිසිම දැනුවත් කිරීමකින් තොරව මාවත් නම් කරලා තිබුනා... ඒකෙදි වෙනී අයියට මං මොනවත් කියන්න යන්නේ නැත්තේ වැඩපිළිවෙලේ තියෙන අඩුවට වෙනී අයියා අහු උනා කියලා මං දන්න නිසයි... ඒ කියන්නේ අභියෝග කරද්දි කලින් දැනුවත් කරලා කල යුතුයි කියන දේ ඒ වෙද්දි වෙනී අයියට පණිවිඩයක් හැටියට හරියට ලැබී නොතිබීම නිසා විය යුතුයි. කොහොම උනත් වෙනී අයියත් එක්ක මගේ තියෙන අතිජාත මිත්තරකම සලකා මම නිහඩව හිටියා.. ඒත් පස්සෙන් පහු ඔය ගැන බුකියේ මගේ ස්ටේටස් එකක් එකක වෙනී අයියා මට නැවත සිහි කැඳවීම් කරන අතරේ මම වැඩපිීළවෙලට මගේ ඇති අකමැත්ත කියන වෙලේ මෙන්න තවත් කෙනෙක් මං මුලින් කාට හෝ කෙනෙකුට වෙයි කියලා හිතුව ආකාරයටම මටම දීපී පෝරියල් එක... මං ඒකත් මෙතනම දාන්නං.. 



නම් ගම් මකන්න යන්නේ නැහැ මොකද වෙච්ච දේ හැමෝම දැක්ක හින්දා... අනික මේකට සම්බන්ධ උන පුද්ගලයා උන නුවන් දිවාකර (මං හිතන්නේ බ්ලොග්වල ඉන්නේ ස්කයි මෑන් වගේ නමකින් වෙන්න ඕන) අඩුම ගානේ කෙලින්ම මේක කිව්ව හින්දා.. නැත්තං මෙහෙම නොවී වෙන වෙන තැන්වල පිලිකණුවල කතා කියන එකනෙ වැඩි දෙනෙක් කරන්නේ.. ඒ හින්දා නුවන්ට මං ස්තූතිවන්ත වෙනවා මට මිනිස්සුන්ට උදාහරණයක් දෙන්න හරි හමන් දෙයක් සැපයීම ගැන...

පැහැදිලියිනේ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය...

ඉතිං තව දුරටත් ඒ ගැන උදාහරණ දිය යුතු නැහැයි කියලයි මං හිතන්නේ.. කොහොම නමුත් ඔය සිදුවීමෙන් පසුව නැවතත් රනා මාත් එක්ක කතා කරලා අර මුලින් කී පරිදි අභියෝග කිරීම විධිමත් කරවන්න පොරොන්දු වෙලා ගියා...

ඒත් කණගාටුයි අද දවසේදීත් තවත් ළමයෙක් අමුමිරිස් අභියෝගයක් ගැන කියලා මාව ටැග් කරලා තිබුනා.. ඒක නිසි ආකාරයට සිද්ධ උන අභියෝග කිරීමක් නෙවෙයි.. ඒ ගැනත් වෙනම කියන්න එපෑ.. අඩුම ගානේ ඒ ළමයා මිරිස්කාලවත්.. වීඩීයෝ එකක් දාලවත් නෙවෙයි අභියෝගය කරන්නේ නිකම්ම... හොයලා බැළුවම ළමයා ඒ වැඩ පිළිවෙල ගැන හරි හමන් දැනුවත් වීමක් ඇත්තේම නැතිවයි වැඩේ කරලා තියෙන්නේ.. දැන් මොකද කරන්නේ... කවුරු හරි දැනුවත් නොවුනට අපි පලි නැහැ කියලා බේරෙන එකද...? නැත්තං හරියට දැනුවත් කරන්න වැඩ කරන එකද...? ඊයේ දවාලේ පොරොන්දු වූ පරිදි මේ වෙනකොටවත් හරි විදියකට තරඟය ගැන දැනුවත් කිරීමක් අදාල අංගය වෙනුවෙන් සාදා ඇති ෆේස් බුක් පිටුවේවත් ක්‍රමවත් විදියකට මේක ලියන මේ මොහොත දක්වාමත් නැහැ. ඉතිං අනිකුත් දැනුවත් කිරීම් ගැන මම එයින් එහාට කතා කරන්න යන්නේ නැහැ.. වැඩේ මේ වෙනකල්ම පතුරවන ආකාරය බලනවා මිසක් එයින් වන අගතිගාමී තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමක් වෙලා නැහැ.

ඔහොම තමා වැඩ කරද්දි අඩු පාඩු සිද්ධ වෙනවා... එහෙමත් කිව්වැකි.. ඒත් මේ වගේ වැඩක්.. විශේෂයෙන්ම ලක්ෂ 30ක් වැනි දැවැන්ත මුදලක් එක්ක ගනුදෙනු කරන්න හදන වෙලාවක මේ වගේ සුවිශේෂී කාරනා ගැන මෙයිට වඩා සැලකිලිමත් විය යුතුද නැද්ද කියන එක මටනං විශාල ගැටළුවක්.. මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන හැටිත් ඒවට වැඩපිළිවෙල සකස් කරන හැටිත් මූලිකවම සංවිධානය විය යුතු දෙයක්.. එහෙම නැතිව දඩි බිඩියේ ඔහේ හිතුන ගමන් කරන්නං වාගේ කරන වැඩ මේ වගේ විශාල මුදලක් ගෑවෙන තැනක කරන එක ඒ හැටි හොඳ දෙයක්නං නෙවෙයි..  එන එන අතට සක්ක ගැහීම මෙහෙම දේකදී හරියන්නේ නැහැ. විශේෂයෙන්ම රනා වැනි දේශපාලන සංවිධාන ශක්තියක් පවා ඇති අත්දැකීම් සහිත අයකු මූලිකවී සිටින විටදී පවා...

ඉතිං ඔය වගේ හේතු පැහැදිලිව පේන වැඩකට සම්බන්ධ වීම කිසිසේත්ම මගේ ප්‍රතිපත්ති මත හරියන වැඩක් නෙවෙයි. රැල්ලට යන වැඩවල රැල්ලට අහුවෙලා වැඩ කිරීමත් මගේ පොතේ නැති දෙයක් ඒ හින්දා මේ වගේ අයුතු දාමයකට මගේ සම්බන්ධයක් නැහැ.

ඒත් මේ වැඩ පිළිවෙල නවත්වා දැමිය යුතුයැයි හෝ අන් අයත් මෙයට ආධාර නොදී සිටිය යුතුයි කියා කියන්නටද මා කැමති නැත. කැමැත්තෙන්ම මෙවැනි වැඩ වලට සම්බන්ධ වන අය ඒ දේ හිත සංතෝෂනේ කිරීමයි වැදගත් වෙන්නේ.. බලපෑමකට යටත්ව හෝ පොඩි ප්‍රසිද්ධියක් ගැනීම වැනි දෙයින් තොරව එකතු වීම කිසිදු වරදක් නැත.

විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ මා මේ ලිපිය පල කිරීමෙන් අදාල කටයුත්තට බාධා කිරීමට කිසිදු උත්සහයක් මගේ නැත. ප්‍රධානම අරමුණ වන්නේ හඩක් නැතිව සිටිනා අයට අගතියක් නොවන්නට ඔවුන් වෙනුවෙන් කතා කිරීමත්.. පෞද්ගලිකව දැනට සිදු වූ අපහසුතාවයන් ඉදිරියේදී මට ඇති නොවීමටත්.. වරින් වර කෑලි කෑලි අදහස් දක්වා මේ වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්නට අකමැති වීමත් යන කාරණාය...

ඒ හැර දැනට ඇති අඩුපාඩු ගැන මැසේජ් හරහා කතා කලාට ඉක්මනින් පැහැදිලි විසඳුම් දීමට අපහසු නම් මෙවැනි දැනුවත් කිරිමක් හරහා හරි දැනුවත් ව වැඩ සටහනෙහි ඇති අහිතකර තත්වයන් අවම කොට මනාව සකස්කොටගෙන ක්‍රියා කිරීමට තල්ලුවක් දීමටත් මෙයින් හැකියාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒ හැර ඉතිං මෙහෙම දාන දේවලුත් හරියට පාවිච්චි කලොත් මාකටින්ම බව කාරණා දන්නා අය දන්නවා ඇතැයි සිතමි. (හරියට පාවිච්චි කලහොත්)

එයට අමතරව කරන්නට හදන වැඩ සටහන සම්බන්ධව තවත් මාගේ ඇති අදහසක් ඉදිරිපත් කරන්නටද කැමැත්තෙමි...

එයට පෙර මෙම ලින්කුවේ ඇති ලිපිය කියවා බැලීම යම් පහසුවක් වනු ඇත..


සරලව කිවහොත් ඕකේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ කියනවා 

//2014 වර්ෂයේ දී රුපියල් බිලියන 3.8 ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවශ්‍ය නවීන උපකරණ මිල දී ගැනීමට වෙන් කර ඇතත් තවමත් රුපියල් බිලියනයකවත් උපකරණ මිල දී ගෙන නැතැයි // කියලා...

ඉතිං දැන් මේ කටයුත්ත හරහා ලක්ෂ තිහක් සොයා ගන්න උත්සහ දරන වෙලාවේ මෙයිටත් වඩා පහසුවෙන් මේ කටයුත්ත කර ගැනීමේ මාර්ග තියෙන බවයි මටනං පෙනී යන්නේ... 

මිනිස්සුන්ට අමාරුවෙන් අමුමිරිස් කවනවට වඩා.. වකුගඩු අමාරු හොද කරන්න ගිහින් ගැස්ට්‍රයිටිස් කාරයින්ට ඒ අමාරු වැඩි කරවනවටත් වඩා ලේසියෙන් මේක කරගන්න පුළුවන්... උවමනා කරන්නේ පොඩි සංවිධාන ශක්තියකුයි හරි හමන් සම්බන්ධීකරණයකුයි විතරයි... ඒත් කියන්න සංතෝෂයි ඒ දෙකම තියෙන කෙනෙක් අපිට මේ වෙලාවේ ඉන්නවා... අන්න සෞඛ්‍ය ඇමතිතුමා ගාව සල්ලි තියෙනවා... මෙන්න මෙහෙ වැඩේට කරගන්න හොඳම ජොකියා වෙච්චි රසික නානායක්කාර හෙවත් අපේ රනාතුමා මෙහෙං ඉන්නවා...

දැන් කෙරෙන්න ඕන පොලොන්නරුව රෝහලට අදාල යන්ත්‍ර සූත්‍ර ලබා දීමට මුදල් පාස් කරවා ගැනීමක් සහ ඒ වැඩ පිළිවෙල කඩිනම් කරගැනීමක් විතරයි... ඒකට අත ගහන එක තමා රනාට කරන්න තියෙන්නේ... ඒකට කල හැකි.. ඒකට සුදුසුම කෙනත් රනාම තමයි... ඇයි එහෙම කියන්නේ...

එක පැත්තකින් ගත්තම මේ වගේ සද්කාර්යයකට බය නැතිව අත ගහලා මේ වෙලාවේ මේකේ නායකත්වය දරන්නේ රනා වීමත් අනිත් පැත්තෙන් සෞඛ්‍ය ඇමතිතුමාට කිට්ටු කරන්න පුළුවන් හොඳම කෙනා රනා වීමත්... මං දන්නා තරමින් මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ ප්‍රධාන ලේකම් වෙච්ච සිරිලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක්වගේම කටාන ආසනයේ සිරිලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සංවිධානවල ප්‍රභල තනතුරු හොබවන ක්‍රියාකාරී පුද්ගලයෙක් වගේම සිරිලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට තරඟකල අපේක්ෂකයෙකුත් වෙනවා.. ඒ හැම එකටම අමතරව මගේ මතකය නිවැරදි නම්  අපේ හිටිය ඇමති ජෙයරාජ්ගේ උන්නැහේගේ භාර්යාව වෙච්ච සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මංතිරිතුමියගේ.. (ඇමතිකමකුත් තියේද කියලනං මතක නැහැ) සම්බන්ධීකරණ ලේකම් ධූරයකුත් දරනවා...

ඉතිං තව මොනවද කෙරෙන්න ඕන... ඉතිං සම්බන්ධිකරණ ලේකම් රනාතුමා සහ ලක්ෂලේකම් සිරිසේන තුමා අතර සම්බන්ධිකරණයක් උවමනා වෙලාවක් මේක. රනාට පුළුවන් මේ වෙලාවේ මූලික වෙලා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න සමස්ථ සයිබර් අවකාශයම නියෝජනය වෙන ආකාරයට.. මේ උවමනා කරන යන්ත්‍ර සූත්‍ර ටික ඒ ඒ රෝහල්වලට ලබා දෙන්න සහ ඒවා කඩිනම් කරන්න කියලා...

මං දන්නවා සම්බන්ධකම් තිබුනට රනාට තනියම කරගන්න අමාරුයි කියලා.. ඒ හින්දා අපිට පුළුවන් මේ අමුමිරිස් සංවිධානෙම එක්කාසු කරං ඇමතිතුමා හරහා මේ වැඩේ කරවගන්න ෆේස් බුක් කැම්පේන් එකක් පටන් ගන්න... ඒ වෙනුවෙන් අපිට පුළුවන් වකුගඩු රෝගීන් වෙනුවෙන් රනාව ඉස්සරහට දාලා අපිට රනාගේ පිටිපස්සෙන් එකතු වෙලා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න... එහෙම මදිනං බල කරන්න... ඇමතිගෙන් වැඩේ කෙරෙන්නේ නැත්තං රජයෙන් මේවට ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා හඬක් ඇති කරවන්න. සමහර විටක ආරාබි වසන්තයට එහා ගිය රැල්ලක් පටන් ගන්න රනාට පුළුවන් වෙයි... මං හිතනවා මේ රජයෙන් වැඩ කරවගන්න පුළුවන් කියලා හැගීමක් රනාට තියෙනවා කියලා. එකෙදී රජයට සම්බන්ධ කෙනෙක්ම මූලික උනාම වැඩේ කෙරෙන්න තියෙන ඉඩකඩත් බොහෝම වැඩියි නෙව.

ඉතිං පැහැදිලියි නේද..අරෙහෙ සල්ලි තියෙනවා.. මෙහෙ උවමනාවක් තියෙනවා.. ඒ දෙක අතර සම්බන්ධ කරන්න සුදුසු පුද්ගලයෙක් ඉන්නවා.. වැඩේ හරියට කරන්න පුද්ගලයා බාරගන්නවනං ඒකට එකතු වෙන්න කට්ටියත් මදි නොකියන්න හිටීවි... මිනිස්සුන්ට වෙන අපහසුකමුත් නැතිව.. මිරිස් කාලා ලෙඩ වෙන්නෙත් නැතිව.. මේ අහක ඉන්න අපිට කතා අහගන්න වෙන්නෙත් නැතිව... අවසානයේදී අර රෝගීන්ට උවමනා දේවලුත් ලැබිලා හැමෝටම සතුටු වෙන්න පුළුවන් තැනකට මේ වැඩේ ඇදං යන්න  රනාට පුළුවන්නං අන්න ඒක තමා නියම අභියෝගේ...

හැබැයි මං ඒක අභියෝගයක් හැටියට රනාට ඉදිරිපත් කරන්නේ නැහැ.. මේක යෝජනාවක් විතරයි... කැමතිනං රනාට පුළුවන් පිරිසත් එක්ක එකතු වෙලා වැඩේට බහින්න... ඒක කරනවනං අමුමිරිස් සෙල්ලං වලට නැති උනාට මමත් එකතු වෙනවා හැකි ආකාරයකින් සහය දක්වන්න... මොකද ප්‍රායෝගිකව කරන්න පුළුවන් පහසුම දේ කරන එකට මං කැමතියි...

අමුමිරිස් කන්න කලින් රජයට බල කරමු.. ඒ තියෙන්නෙත් අපේ සල්ලිනේ දෙයියනේ.. හා නැද්ද..?

පසු සටහන...

රනා විසින් පහත කමෙන්ටුවකින් දන්වා ඇති පරිදි මෙම පින්තූරය මෙහි එල්ලන ලද  අතර පහත දැක්වෙන්නේ රනාගේ දේශපාලන තනතුරු සම්බන්ධව දැනට ඇති තත්වය රනාගේම වචන වලිනි.

//1. මම සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි... ඒක වැරදි කතාවක්. මම කොතනදීවත් කිව්වේ/ලිව්වේ නැහැ මම සම්බන්ධීකරණ ලේකම් කියලා. මගේ තනතුර මොකක්ද කියන එක පැහැදිලිව ෆේස්බුක් එකේ දැකබලාගන්න පුළුවං. මම හිතන්නෑ උඹ ඒක නොදැක්කා කියලා මචං... අනිත් දේ දැං මම ඒ තනතුරේ කටයුතු කරන්නේ නැහැ... හරියටම කියනවානං මීට මාස 3කට කළිං මම ඒ රස්සාවට ආයිබෝං කිව්වා... :-) ඒක නිසා හොඳ එකා වගේ කරුණාකරලා ඒ ටික හොඳ එකා වගේ වෙනස් කරහං...//

පහත ඇත්තේ රනා විසින් මෙයට පිළිතුරු වශයෙන් දක්වා ඇති සම්පූර්ණ කමෙන්ටුව වේ...



//හිතවත් මාරයා,මළාට බ්ලොග් පෝස්ට්වල කොමෙන්ට් නොදාන එකෙක් මම... නමුත් මේ පෝස්ට් එකේ 2/3ක් විතර තියෙන්නේ මම ගැනම නිසා මේකට මගේ අදහස නොදක්වා හිටියොත් ඒක අඩුවක්.
පළවෙනි දේ, නුවන් දිවාකරගේ රිප්ලයි එකට මම එතන කිව්ව දේ ඒ ඉමේජ් එකෙන් හැලුවේ ඇයි මචං? ඒකත් තිබ්බනං සංවිධායකයින් විදියට ඒ අවස්ථාවේදී අපි හැසිරෙන විදිය ගැන මේ සටහන කියවන හැමෝටම දැකබලාගන්න තිබ්බා. උඹ ඒ අවස්ථාව ඒ මිනිස්සුන්ගෙන් උදුරගෙන. පුළුවන්නං ඒ සම්පූර්ණ කතාබහම දාපං. උඹට ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවං වැඩක්...

#SLAmuMirisChallenge එක මේ වෙද්දි බොහොම වේගයෙන් පැතිරෙනවා. මේ වැඩේ වටේ එක්කහු වෙන හැමෝම එකතු වෙන්නේ අපේ ෆේස්බුක් ස්ටේටස් බලලවත්, ෆේස්බුක් ගෲප් එකට ඇවිල්ලවත් නෙමෙයි. තමංගේ යාළුවෝ කියලා, ගොසිප් සයිට්වල තියෙන විස්තර සහ වීඩියෝ දැකලා. ඒ හැම කෙනෙක්ම මේ වැඩේ නීතිරීති හරියටම දන්නේ නැහැ. ඒක එයාලගේ වැරැද්දකුත් නෙමේ. ඒ වගේම සංවිධායකයන්ගේ දැනුවත් කිරීමේ වැරැද්දක් කියලා කෙළිංම කියන එක අසාධාරණයි නේද මචං...මොකද අපි මේ ගැන නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිද්ධ කළත්, මේ වැඩේ එක් සීමාවකට ගියාට පස්සේ අපේ දැනුවත් කිරීම් වළංගු වෙන්නේ නැහැ...
නමුත් අපි ඒ වගකීමෙන් අයින් වෙන්නේ නැහැ... ෆේස්බුක්, බ්ලොග්, වෙබ් කියන මේ ඔන්ලයින් විදිවලට අමතරව, ඊට එහා ගිය උපක්‍රම යොදාගනිමින් අපි මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවා. ෆේස්බුක් පේජ් එකේ ගෲප් එකේ පින් පෝස්ට් එකක් දැම්මා කියලා හැමෝම දැනුවත් වෙන්නේ නැහැ... අපි එතනින් එහාට යනවා මචං... නිසැකවම අපි එතනින් එහාට යනවා... මම හිතනවා ඒකෙන් මේ තත්ත්වය බොහෝදුරට සමනය වේවි කියලා.
අවසාන වශයෙන් මේ සිද්ධිය (උඹව නොදැන උඹට අභියෝග කිරීම හා ඒ හේතුවෙන් උඹ මානසික පීඩාවකට ලක්වීම) ගැන සංවිධායක මණ්ඩලයේ අපි හැමෝගේම බලවත් කණගාටුව මේ වෙලාවේ උඹට ප්‍රකාශ කරනවා...

වීඩියෝ එකෙන් පස්සේ තියෙන දේවල් ගැන කියනවනං,
1. මම සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි... ඒක වැරදි කතාවක්. මම කොතනදීවත් කිව්වේ/ලිව්වේ නැහැ මම සම්බන්ධීකරණ ලේකම් කියලා. මගේ තනතුර මොකක්ද කියන එක පැහැදිලිව ෆේස්බුක් එකේ දැකබලාගන්න පුළුවං. මම හිතන්නෑ උඹ ඒක නොදැක්කා කියලා මචං... අනිත් දේ දැං මම ඒ තනතුරේ කටයුතු කරන්නේ නැහැ... හරියටම කියනවානං මීට මාස 3කට කළිං මම ඒ රස්සාවට ආයිබෝං කිව්වා... :-) ඒක නිසා හොඳ එකා වගේ කරුණාකරලා ඒ ටික හොඳ එකා වගේ වෙනස් කරහං...
2. මම ඒ තනතුරේ වැඩ නොබලන නිසා උඹ කියන දේ කරන්න ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. මොකද ජීවන අරගලේ දරුණු විදියට නියැලෙන ගමං තමයි මේ අනිත් හැම දේමත් කරන්නේ. කසාද බැඳලා නොහිටියට මොකෝ අපිටත් හරියට පවුල් ප්‍රශ්න... :D :D
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. #SLAmuMirisChalllenge එක පාලමක් කරගෙන අපේ ඉලක්කය (රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ලබාදෙන එක - මේක රුපියල්ම ලක්ෂ 30ක්) සාර්ථක කරගත්තොත්, ගරු සෞඛ්‍ය ඇමතිතුමා එක්ක වඩාත් යහපත් සම්බන්ධතාවයක් ඇතිකරගන්න අපි කට්ටියටම පුළුවං වෙනවා කියන විශ්වාසේ මගේ තුළ දැඩිව තියෙනවා. ඇමතිතුමා විතරක් නෙමේ, අමාත්‍යංශේ හෝ ඔය උඹ කිව්ව කාරණාවට අදාළවෙන වෙනත් පාර්ෂව එක්කත් ඒ සම්බන්ධතාවය හදාගන්න පුළුවං වේවි... අන්න එදාට උඹ මේ කිව්ව දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. බැරි වෙන එකක් නැතිවෙයි ඒ වැඩේ කරගන්න... බලමු ඒ කාලේ වෙද්දි අපේ ආණ්ඩුවක් තිබ්බොත් සහ මෛත්‍රීපාල ඇමතිතුමාම හිටියොතින් වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවං වේවි... එකපාරටම බලකරන උද්ඝෝෂණවලට යන්නැතුව, අපිත් දෙයක් කරලා, ඊට පස්සේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් වැඩ කරගන්න එක සාර්ථකයි කියලා මට වඩා අවුරුදු 10ක විතර ජීවන අත්දැකීම් තියෙන උඹ දන්න විත්තිය මම දන්නවා... අන්න එදාට මට හයියක් වෙයං... දැනට #SLAmuMirisChallenge එක සාර්ථක කරගන්න මේ වගේ උදව් දියං...

ඒ එක්කම #SLAmuMirisChallenge එක ගැන තවම හරි විස්තරයක් නොදන්න අයගේ දැ.ගැ.පි. මම ලිංක් දෙක තුනක් එල්ලන්නං... ඒ ටිකත් ඔන්න්න ඔහේ තියෙන්නෙ ඇරහං... ගූගල් නිකං දෙන ඉඩනේ... :D :D :D

#SLAmuMirisChallenge ෆේස්බුක් ගෲප් එක
https://www.facebook.com/groups/1472124419707392/

#SLAmuMirisChallenge ෆේස්බුක් පේජ් එක
https://www.facebook.com/pages/SL-Amu-Miris-Challenge-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A-2014/350363428464285

පළවෙනි අමුමිරිස් චැලේන්ජ් වීඩියෝ එක
https://www.youtube.com/watch?v=LnwDpQUKNOw

#SLAmuMirisChallenge YouTube වීඩියෝ එකතුව
https://www.youtube.com/results?search_query=%23slamumirischallenge

ජීවිතේ ටයිප් කරපු දිගම කමෙන්ට් එක මේක වෙන්නැති...
කොහොම උනත් අවුලක් නැහැ...
මේ කමෙන්ට් එක උඹ පබ්ලිෂ් කරයි කියලා මම විශ්වාස කරනවා...

ජයවේවා!!!//