මේ ටිකේ පුදුම මදුරුවෝ තොගයක් ඉන්නේ... ඉස්සර වගේ දැන් දුම් ගහන්න නගර සභාවෙන් එන්නෙත් නැහැ... කුණු ගෙනියෑම බව්වට ගියා වගේ තමා මදුරුවන්ට දුම් ගහන වැඩෙත් මහින්ද ගියා එක්කම අහවර උනා... කෙහොමහරි දැන් මදුරු කරදරේ ඉහ වහා ගිහිල්ලා...
මට මදුරු දැල් දාලා නිදියන්න බැහැ දාඩිය දානවා.. නින්ද යන්නේ නැහැ... ෆෑන් එක දාගෙන නිදාගන්න තමා දැන් කාලයක් තිස්සේ හුරු වෙලා තියෙන්නේ... ඒත් පහුගිය ටිකේ එක දිගට වැස්ස හින්දා රෑ වෙද්දි ෆෑන් එක දාන් නිදා ගන්නත් අමාරුයි.. කොයිල් පත්තු කරලා නිදාගත්තම උදේට කාමරේ පුරා කොයිල් ගඳයි... ඔය මදුරු ප්රශ්නේ හින්දා පහුගිය ටිකේම කල්පනා කරලා කරලා ඊයේ අළුත් විසදුමක් අත්හදා බැළුවා...
අළුත් කිව්වට ඉතිං මේක මට අළුත්.. නැත්තං ඉතිං ඉස්සර අපේ ගෙදර දවස ගානේ සිද්ධ වෙච්ච චාරිත්තරයක් තමා මේක.. දුං ඇල්ලිල්ල...
දුං ඇල්ලිල කිව්වම ඕක දෙවිදියකට අපේ ගෙදර උනා.. එකක් තමා කජු ලෙලි දුම ඇල්ලීම.. ඒක කරන්නේ මදුරුවෝ වැඩිම කාලෙට... පරණ අඩිය ඉරිතලපු මැටි හට්ටියකට පොල්ලෙලි දෙකක් පත්තු කරලා අගුරු වෙන්න ඇරලා.. ඒකට කජු ලෙලි අහුරක් දාලා.. ඔය හට්ටිය පරණ රෙදි පාංකඩේකින් අල්ලගෙන ගේ පුරා ගෙනියමින් තාත්තා දුං අල්ලනවා... මදුරුවෝ කෙසේ වෙතත් ඔය වෙලාවට මුලින්ම ගෙදරින් එලියට පනින්නේ මායි මල්ලියි... :D නිකං නෙවෙයි “මොන මගුලක් කරනවද මංදා“ කියලා තාත්තටත් නොක්කාඩු පාරක් දාගෙනම.. :D අපි ඔහොම කිව්වා කියලා සැලෙන්නේ අපේ තාත්තනං නෙවෙයි... එයා වගේ වගක් නැතිව අල්ලනවා ගේ පුරා දුං... යන්තං ඒ දුං සාත්තුවෙන් පැය බාගයක් විතර ගියාම ගේ ඇතුලට රිංගගන්න පුළුවන් තත්වයක් උදා වෙනවා වගේම රෑ පුරා මදුරු කරදරයක් නැතිව ඉන්නත් පුළුවන්කම ලැබෙනවා.. ඒ කාලේ ඉතිං මොන මදුරු දැල්ද.. මොන ෆෑන්ද...
ඔය කජු ලෙලි සාත්තුව නැති දවසට ඒ කිව්වේ මදුරු කරදරේ අඩු කාලෙට... තාත්තා කරන්නේ හොඳවායින් පොල් කටු දෙකක් පුච්චලා අගුරු හදාගෙන.. ඒ අගුරු ටික යකඩ තහඩුවෙන් හැදුව දුං කබලේ දාගෙන.. එයාම බෙහෙත් කඩෙන් එක එක ජාති ගෙනත් කුඩු කරලා හදාගත්ත දුං කුඩු මිශ්රණයකින් ටිකක් මිට මොලවලා අරගෙන එයින් ටික ටික කබලට හල හල දුං කබලත් අරං ගේ පුරා ඇවිදින එක...
ආන්න එදාටනං අපිත් ආසාවෙන් දුං සුවද විඳ විද ගේ ඇතුලට වෙලා ඉන්නවා... තාත්තා ළඟට ආවම අපි දෝතින්ම කබලේ දුං අපේ ඇගට තල්ලු කරගන්නවා... ඒ තරමට ඒ වැඩේට අපි ආසයි... තාත්තත් ඉතිං අපි ගාවට ඇවිත් හිනා වෙවී.. කෝවිලේ පූසාරි දේව ප්රතිමාවට දුං අල්ලන්නැහේ අපිටත් දුං වට දෙකක් කරකවලා දීලා තමා යන්නේ...
කොහොම උනත් තාත්තා ඒ දුං කුඩු මිශ්රණයට ගත්ත දේවල් මට මතක නැහැ... දුම්මල/කට්ටකුමංජල් දෙක කුඩු කරනවා කියලා මතකයි... තව මොන මොනවා දැම්මද කියලා එයාම තමා දන්නේ...
කොහොම හරි මාත් ඉතිං ඊයේ හවා කඩේ පැත්තේ ගිහින් ලාම්පු තෙල් බාගයකුත් අරං ආවා.. පහුගිය ටිකේම පොල්කටු ටික කුණු එකට නොදා තියාගෙන හිටියේ.. එයින් පොල් කටු දෙකක් ලාම්පුතෙල් ආධාරයෙන් අවුලවලා අගුරු හදා ගත්තා... ඒකට ටිකක් වෙලා ගියේ කාරණා දෙකක් හින්දා.. එකක් ගෙදර අළු නැති එක... පොල් කටු ගිනිතියන සාත්තරේ තමයි එක පොල් කට්ටකට අළු මිටක් දාලා ඒකට ලාම්පු තෙල් වක් කරලා ගිනි තියන එක.. එහෙම ගිනිතියන පොල්කටුවට හේත්තු වෙන්න තව පොල් කටු තිබ්බම ඒ ඔක්කෝම ඇවිලෙනවා.. අළු දාලා ලාම්පු තෙල් දැම්මම සෑහෙන වෙලාවක් ඒ අළු ටිකට ගින්න ඇවිලිලා හිටින හින්දා පොල් කටු හොදට රත් වෙලා ඇවිලෙන්න ගන්නවා.. ඒත් අළු නැතිව ඔය වැඩේ ටිකක් වෙලා යනවා... ලාම්පුතෙලුත් ටිකක් වැඩියෙන් යනවා...
අනිත් බාධකේ වෙලා තිබුනේ ඉතිං වැස්සම තමා.. පොල්කටු කලින් අවුවට දාලා වේලලා තිබුනා උනත් සැරින් සැරේට එන වැස්සට තෙමිලත් තිබුනා... ඊයේ වෙද්දි ඒවා වේලගෙන තිබුනත් පොඩි හීතල ගතියක් තිබුන හින්දා පත්තු වෙන්න වෙලා ගියා...
ඔය විදියට කොහොම කොහොම හරි අගුරුත් හදාගෙන... කල් වේලාසනම ගෙනත් තිබුන යකඩ දුං කබලටත් දාගෙන... බෙහෙත් කඩෙන් ගෙනාව සාම්බ්රානි පැකට් එහෙකින් දුං කුඩුත් ඉහ ඉහ ඇල්ලුවා මුළු ගෙටම දුං...
ගේ පුරා සුවඳයි...හැබැයි ඉතිං මේ දුම අර ඉස්සර තාත්තා හදන දුං කුඩුවලින් එන දුං තරං සුවඳ නැහැ... මං හිතන්නේ මුං මේවට සුවඳ කුඩු වෙනුවට නිකංම නිකං ලී කුඩුත් එකතු කරනවද කොහේද... ඒත් ආසාවෙන් විඳින්න හිතෙන සුවඳක් නැතිවාමත් නෙවෙයි...
කොහොම උනත් ඊයේ රෑනං ඔන්න ගෙදර මදුරු කරදරේ අඩුයි.. රෑ හොඳට නින්දත් ගියා.. හැබැයි ෆෑන් එක ඕෆ් කරන්න ඕන උනේ නැහැ.. මොකද ඊයේ රෑ තද වැස්සක් නොතිබුන හින්දා... පහුගිය ටිකේ උදේටත් ගේ පුරා හිටිය මදුරුවෝ ටිකනං අද පේන්න නැහැ... මං හිතන්නේ දුං ඇල්ලිල්ල වැඩ කරලා තියෙනවා වගේ... ඒ හින්දා අද හවාටත් අල්ලනවා ඇල්ලිල්ලක් ගේ දුං පෝරණුව වගේ වෙන්න.. :D
මොන මගුලක් හරි කරලා මේ මදුරු වසංගතේ පාලනය කර ගත්තේ නැතොත් වසලා හමාරයි... හැබැයි ඉතිං මදුරු වසංගතේනං දුං අල්ලලා හරි යවා ගතෑකි... රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...