09 January 2015

අළුත් ආරම්භයක්...

නින්ද ගියා නෙව පුටුව උඩම...

නැගිටලා බලද්දි මෙන්න මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගියාළු... ප්‍රතිඵල දැනට තියෙන තත්වේ අනුවනං තාමත් මෛත්‍රී උන්නැහේ දිනලා කියලා පේන්න නැහැ.. ඒත් අපිට වඩා මොනවා හරි දැනගෙන වෙන්න ඇති නෙව උන්නැහේ පිටත්වෙලා ගියේ...

කොහොම උනත් කමක් නැහැ... නිල වශයෙන් නැතත් දැනට මහින්ද මහත්තයා පරාද වෙලා කියන තැන ඉඳලා කතා කරමු...

බොක්කෙන්ම කියනවනං...

පලවෙනිම දේ තමා කියන්න ඕන.. මේ තරං බොරුවට මිනිස්සු රැවටුන අවස්ථාවක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම වෙලාවක තිබුනද කියන්න මම දන්නේ නැහැ... අග ඉඳලා පටන් ගත්තොත්... පැරදිලා කියලා තාමත් හරියටම නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැති තත්වයක් උඩත්.. උන්නැහේ නිල නිවසින් පිටත් වීමම ගතෑකි.. මොකද අපේ අයියලා මේ අන්තිම තත්පරේ වෙනකල්ම කිය කිය හිටියේ  පැරදුනත් මහින්ද යන්නේ නැහැය.. ගෝඨාභය ලවා හමුදාවෙන් දාලා හරි බලේ අල්ලගෙන් හිටීවිය වගේ පට්ට පල් කෙබර... ඒත් වචන වලින් නෙවෙයි එතුමා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරලා තියෙනවා එහෙම හරි හෝ වේවා.. වැරදි හෝ වේවා.. ජනතා කැමැත්තට පිටින් අකටයුතුකමක් කරන්න සූදානමක් හෝ තිබී නැති බව.. යූඇන්පී පාක්ෂික බොරු හමුදාව මොනවා කිව්වත්.. එතුමාගේ මේ පිටවීමම අගය කල යුතු කාරණාවක්... තවත් සමහරු කිව්වේ ඉතිරි අවුරුදු දෙක ගැන නීති තර්ක ගෙනල්ලා ඉදියි කියලා.. දැන් එහෙම කතාවකුත් නැහැ... ඒ තමා අගින් ගත්තම හොදම උදාහරණය මහින්ද ගැන මේ මිනිස්සු මොන තරම් බොරුවක්ද කිව්වේ කියලා... තවත් අග ඉදලා එහාට ගියොත්... මැතිවරණය... මැරිලා ඉපදුනේ නැති.. සහ අතීතය හොදින් දන්න කාට උනත් මේ මැතිවරණය දූෂිත අසාධාරණ එකක්ද කියලා කල්පනා කරලා බැලියැකි... අපි මේ රටේ ඡන්ද ඕන තරං දැකලා තියෙනවා.. මට ඡන්ද ගැන මුල්ම මතකය ඉතාමත් හොදින් තියෙන්නේ ජනාධිපති ප්‍රේමදාස බලයට පත් වූ මැතිවරණයේ පටන්... එදා ඉදලා මේ දක්වාම තිබ්බ ජනපතිවරණයකදී මේ තරම් සාධාරණව තිබුණ ජනපතිවරණයක් දැකලා තියේද කියලා කාට හරි කියන්න පුළුවන්ද..?

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මැකෝ හොද හින්දා හොඳට ගියා කියලා... ඒත් මැකෝ කොච්චර හොද උනත් විධායක ජනපතිවරයා තමන්ගේ බලය අත්තනෝමතිකව භාවිතා කලා නම් සහ ප්‍රචණ්ඩව හැසිරුනේ නම් මැකෝ මොන මගුල කලත් මේක මෙහෙම අවසාන නොවෙන තැනට වැඩ කෙරෙන්න ඕන තරම් ඉඩ තිබුනා.. ඒත් ඒ කිසිම දෙයක් එහෙම උනේ නැහැ.. සාධාරණ මැතිවරණයක්.. සාධාරණ නික්ම යෑමක්...

එතකොට කෝ මෙච්චර වෙලාවක් මහින්දට කරපු චෝදනා.. මැතිවරණය ගැන...

දැනට වසර කිහිපයක සිටම මහින්ද හා සම්බන්ධව කෙරුණු මේ වගේ මඩ ප්‍රචාර දිනෙන් දින වර්ධනය වෙමින් ඇවිත් අවසානයේදී ඒවා නිර්මාණය කල උන් පවා ඒවා බොරු කියා පැවසූවත් එය පිළිනොගන්නා තත්වයට ඒ බොරුව මේ රටේ පැලපදියම් කරන්න ඒවා නිර්මාණය කල අයත්.. ඒවා සමාජය පුරා බෙදා හැරිය අයත් සමත් උනා... මේක තමයි අවසාන ප්‍රතිඵලය...

අඩුපාඩු නැති මිනිස්සු ලෝකේ නැත.. ඒත් ඒ අඩු පාඩු අපි දැකිය යුත්තේ ඒ මනුස්සයගේ තියෙන හොද පැත්ත එක්ක සංසන්දනය කරන ගමන් මෙන්ම.. ඔහුට සාපේක්ෂව අනිත් පසින් සිටින පුද්ගලයින් ගැනද කල්පනා කොටයි... එහෙම බලද්දි මහින්දට උනේ ඔහු සතුරාටත් මිතුරු හස්තය දිගු කිරීමත්.. විරුද්ධවාදියාටත් හිතවත් කම දක්වා ඔවුන්ව දිනා ගන්නට ගත් උත්සහය වතුරේ යෑමයි... දුදනන් හට කුමන ආකාරයෙන් දයාව පෑවද ඔවුන් සුදනන් වන්නේ නැත... ඒ හැර ඔහුගේ බොරු කාරයින් කියා පෑව තරමේ භයානක කමක් තිබුනේ නැහැ කියා සාධාරණව සිතිය හැකියි... 

විශ්වාසය තැබිය නොහැකි අවස්ථාවාදී සුළු ජාතික නයි රෙද්ද අස්සේ දමා ගැනීමත්... විරුද්ධ පාක්ෂිකයින් ගැන උවමනාවට වඩා විශ්වාසය තැබීමත්... තමා ජයග්‍රහණය කරවූ පිරිසට පක්ෂග්‍රාහී නොවී.. සියල්ලටම මැදිහත්ව කටයුතු කරන්නට යාමත් ඔහුගේ විපතේ මූල බීජයයි... ඒ අතරතුර අගේ ඉඳන් කන කන්නවුන්ද බහුල විය... අවසානයේදී ඔහුට එවැනි දුර්ජනයින්ගෙන් නිසි සැලකුම ලැබිණි... 

කෙසේ වෙතත් මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත්ය...

එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත. මහින්ද මෙන්ම ඔහුගේ නික්ම යාමත් සමඟ අපට අහිමිව යන අනිත් ප්‍රධාන පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂයන්ටත් මාගේ ස්තූතිය ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි... ඔබලා දෙපල අපගේ රටට පහල වූ යුග පුරුෂයින් දෙදෙනකු බව අදත් හෙටත් මා අවිවාදයෙන්ම පිළිගන්නා අතර.. ඔබලාගේ සටනකට මා මට හැකි ආකාරයකින් සහය ඉදිරියේදීද දක්වන බවත් කියා සිටිමි.

මහින්ද රාජපක්ෂ... නායකයාණෙනි.. 
මා මෙතෙක් කල් ඔබට ආමණ්ත්‍රණය කලේ මහින්ද අයියා.. මහින්ද මහත්තයා යන සරල ආමණ්ත්‍රනයන්ගෙන් බව කිව යුතුය.. ඒ ඔබට අඩුවක් කිරිමට නොව.. ඔබට මාගේ සිතෙහි ඇති සමීපත්වය නිසායි.. ඔබ සහෝදරයකු... හිතවතෙකු හැටියෙන් සලකා කටයුතු කිරීම නිසාම එම ඇමතීම කල අතර.. අද මේ තනතුරෙන් ඉවත්ව යන මොහොතේ ඔබට නිසි ගෞරවය දැක්වම පිණිස ඔබට ගරු නායකයාණෙනි යන ආමන්ත්‍රණය කරමි... 
ගරු නායකයාණෙනි..  පණ ඇති තෙක් මේ පොළවේ හා මෙහි වෙසෙනා මිනිසුන්ගේ දියුණුව පිනිස සටන් කිරීමට ඔබට හැකියාව හා ධෛර්ය්‍ය හිමි වේවා... මෙහි උපන්නත්..මේ මහ පොළවේ බිම් අගලක අයිතිය නැති... ඉන්න හිටින්න ස්ථිර තැනක් නැති... රකින්නට දේපලක් උරුමයක් කිසිත් නැති...කොටින්ම ඡන්ද අයිතියක්වත් නැති බොහෝම සරල දිවි පෙවතක් ගෙවන සරල මනුස්සයෙකුගේ හිතවත්කම හා ලෙන්ගතුකම ඔබ සතුය...  ඔබට එය ලොකු දෙයක් නොවන්නට පුළුවන.. එහෙත් මේ කුඩා මිනිසාට එයට වඩා ඔබට දෙන්නට දෙයක් මේ මොහොතේ නැත... මගේ ආදරය ගෞරවය හා විශ්වාසය සැමදා ඔබ කෙරෙහි වේ.. ඒ මා සතු ලොකුම ධනයයි... ඉඳින් එයින් ඔබට පුදමි... මගේ රට යුධ බියෙන් නිදහස් කරලන්නටත්... සාමය ඇති කරලන්නටත්.. පරිහාණියේ පතුලට වැටී තිබූ රට යම් කිසි ස්ථාවර තත්වයක් දක්වා දියුණු කරන්නටත් ඔබ ගත් උත්සහයට නැවත නැවතත් ස්තූති වන්ත වෙමි... රටේ අනාගත පරපුර වෙනුවෙන් ඔබට ස්තූති වන්ත වෙමි... ඔබට සුභ අනාගතයක් වේවා..!

------------------------------------------

පෞද්ගලික වශයෙන් ගත් කල මට රකින්නට පරපුරක් හෝ කිසිවකු නැත... ජීවත් වූ කාලය තුල අත්වැරදීම්.. ඇතත්.. හැකි සෑම විටම නිවැරදි ජිවිතයක් ගත කරන්නට උත්සහ කල අයෙක්මි.. කිසිවකුට ණය නැති... කිසිවකුට වංචා කර නැති අයෙක් ලෙසින් ජීවත්වන්නට උත්සහ කල තැනැත්තෙක්මි... කිසිම කාරනාවක් නිසා පෞද්ගලික වාසියක් පිණිස කටයුතු කර නැත්තෙමි... දේශපාලන පිළිබඳව කතාවෙන් වූවද මා හට මෙතෙක් වැඩි වශයෙන් ලැබී ඇත්තේ ගැරහුම්.. අවලාද හා නින්දා කිරීම් පමණකි.. ඒ සියල්ල අබිමුවෙහි හැකි උපරිම ශක්තියෙන් මගේ මතය වෙනුවෙන් පෙනී සිටියෙමි.. ඒ හැර සත පහක ලාභයක් පිනිස හෝ මා මාගේ දේශපාලන මතවාද ඉදිරිපත් කර නොමැත... පවතින රජයෙන් හෝ.. පැවති රජයකින් හෝ අබ ඇටයක වාසියක් ලාභයක් ලබා නොමැත.. එසේ ලබන්නට අදහසක්ද නැත. හුදෙක් රට ගැන ඇති ආදරයත්.. සිංහල ජාතිය ගැන ඇති හැගීමත් නිසා කටයුතු කලා පමණකි... ඉදිරියටත් මා හට හැකි පමණින් එම කාර්යයන් හී නිරත වන අතර.. කිසි විටකත් පරාජය හමුවේ සැගවෙන්නේ නැති බව කිව යුතුය... එසේම දූෂිත මැතිවරණයක්... හොර ප්‍රතිඵලයක් ආදී වශයෙන් ජනතා තීන්දුව ප්‍රතික්ෂේප කිරීමක්ද මාගෙන් වන්නේ නැත.. සාධාරන හා සාමෙකාමී රටක පැවති ඉතාමත් සාදාරණ ඡන්දයකින් ලද තීන්දුවක් අනුව රටේ බලය බහුතර කැමැත්ත ඇති අයකුට ලැබී ඇත.. එම බහුතරයේ සංයුතිය ගැන පැනයක් ඇතත්... එය ලැබූ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ... ඡන්දයක් පැරදුන කල සැගවී සිටින්නේ හෝ... එය හොර එකක් යැයි කියමින් ලැබූ පරාජය වසා ගන්නට තැත් කරන්නේ හෝ නැත... පැහැදිලිවම අප පරාජය වි ඇත.. මා විසින් දැරූ මතය පරාජය වී ඇත...


එනමුදු පරාජය තාවකාලික බවත්... තරඟය මෙතැනින් නොනවතින බවති කියා සිටිමි... දැන් ඇත්තේ ඔබගේ වාරයයි... මෙතෙක් කලක් පැවති පාලකයාට සහය දෙමින්.. ඔහුගෙන් වන සියළුම අඩු පාඩු වෙනුවෙන් බැනුම් අසමින් ඔහු ආරක්ෂා කර ගැනිමට අප විසින් කල කාර්යය අදින් අවසන්ව ඇත.. දැන් ඇත්තේ පත්ව ඇති පාලකයා ප්‍රශ්න කිරීමේ කාලයයි... මෙය දේශපාලනික වශයෙන් ඉතාමත් සිත් ගන්නා සුළු කාරණයකි..  ඉඳින් අද පටන් ඒ සිත් ගන්නා සුළු කාර්යයට යොමු වෙමි... අද දින මේ ප්‍රතිඵලය ලබා ගැනීමට ඇප කැප වූ ඔබ සියළු දෙනා ගෙන්ම අද ගත් තීරණය ගැන ප්‍රශ්න කරන්නට මෙතැන් පටන් අවස්ථාව උදා වී තිබේ... එහෙයින් අද මෙය ජයක් ලෙස සලකා උදම් අනන අයට... ඉදිරියේදී ඇති වගකීම ගැනත් ආදරයෙන් සිහි කැඳවමි... 

දැන් අපගේ වාරය හමාර වි ඇත.. මේ ඔබලාගේ වාරයයි... එය හොඳින් ක්‍රිඩා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි... ඔබලා විසින් පත් කර ගත් නායකයා සම්බන්ධ වගකීම ඔබලා සතුය... ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඉදිරි තීන්දු තීරන කොයි ආකාරයෙන් රටේ දියුණුවට හෝ පරිහානියට හේතු වේද.. ඒ සෑම තැනකම ඔබගේ වගකීම ඒ දේවල් හා බැඳී තිබේ... එම වගකීම දරන්නට සූදානම් වන්න...  විපක්ෂයේ කාර්ය භාරය අකුරකින්වත් අඩු නැතිව කරන්නට ඔබලාට කරනා උදව්වක් සේම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම උදෙසා මා පොරොන්දු වෙමි...  

මහින්ද වෙනුවෙන් කඩේ ගිය මාරයාට වඩා... නිදහසක් ඇති.. සීමා මායිම් නැති අවස්ථාවක් මා ඉදිරියේ උදා වි ඇත... ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම මා අත හරින්නේ නැත... එසේ නම් ඔබලා ඔබගේ තීන්දුවට හා කැමැත්තට අනුව පත් කරගත් නායකයා නිසි දිශාවට මෙහෙයවීම කරනා අතරම.. ඔහුගේ තීන්දු තීරණ වලට වගකියන්නටත් සූදානම්ව ඇතැයි මා සිතමි... අප විසින් ඔබලාට බාර කරනු ලැබුයේ යුධ ගිනි නැති.. සාමය ඇති.. නොබෙදුනු නිවහල් රටකි.. සාධාරණ මැතිවරණයක් පවත්වන්නට පුළුවන් රටකි.. සංවර්ධනයේ අරුණළු දකිමින් සිටි රටකි.. මෙතැන් සිට ඉදිරියට විනා පසු පසට රට ගෙනයන්නට ඔබලාට අයිතියක් නැත... ඔබලා පැවසූ ඒ මෛත්‍රී යුගය... ඒ යහ පාලනය.. ඒ සංවර්ධනය.. ඒ දියුනුව මේ රටට ලබා දෙන ආකාරය අප බලා සිටිමු... එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වීමට ඔබලා සූදානම් විය යුතුය... ජයග්‍රහණය අභියස ප්‍රතිවාදියාට ඔබගේ ප්‍රතිචාර දක්වන තැන සිටන්ම අප ඔබ ප්‍රශ්න කිරීමට සූදානම්ය... අප විසින් වසර ගණනක් මුළුල්ලේ කල ඒ දුෂ්කර ක්‍රියාව අද සිට ඔබ සතුය... 

------------------

රයිටෝ බොක්කෙන් දීම අවසානයි.. දැන් ඉතිං සරලව කෙටියෙන්...

ඔන්න ඉතිං කාලයක් තිස්සේ ඔළුවේ තිබුන බර අවසානයි.. දැන් ඉතිං තියෙන්නේ විපක්ෂයේ වැඩ ටික.. එව්වා ඉතිං තිතට කරලා දෙන්නං... :D
එක අතකින් මේ පරාජය නිසා රටට වන හානිය ගැන සිතීම නිසා සිතට වේදනාවක් ආවත්.. අනිත් පැත්තෙන් පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. දැන් ඉතිං තියෙන්නේ ප්‍රශ්න කර කර ඉදිල්ලක් මිස උත්තර බැඳිල්ලක් නෙවෙයි කියලා මතක් වෙනකොට හිතට පවන් ගහන්නැහේ... :D :D :D

හැබැයි ඉතිං මහින්දගේ යටතේ ප්‍රශ්න කර කර ඉඳිල්ලයි.. විරෝධතා දැක්වීමයි වගේ නෙවෙයි චන්ද්‍රකාලා රනිල්ලා යටතේ ඒවා කිරිල්ල කියලා අත්දැකිම් අනුවම දන්න නිසා.. ආරස්සාවට මුල් තැන කියලා... ආරස්සාව පිණිස.. (ජේආර් පප්පා කිව්ව විදියට තමන්ගේ ආරස්සාව තමන් සතුයි නිසා ) හැකි පළමු අවස්තාවෙන්ම මමනං මේ රටින් යනවා පුතෝ... මට මේ ලෝක බෝලේ කොයි තැනට ගියත් අවුලක් නැහැ.. ආයේ දාලා යන්න බැරි රෙද්දවලුත් නැහැ... බෑග් එකට ඇදුං කෑලි දෙක තුන දාගත්තම මුළු ලෝකෙම මට ගෙදර වගේ තමා.. :D හැබැයි ඉතිං අනිත් අයටනං තම තමන්ගේ ගෙවල් දොරවල්.. දරු මල්ලෝ... රැකි රස්සා ඔය දාහක් දේ තියෙන හින්දා මේ රට පරිස්සං කර ගන්න මටත් වඩා උත්සහ කරන්ට ඕන ඔන්න...

එහෙමනං මං ගියා... :D
(යහපාලන කස්ටිය එයාපෝට් වහන එකක් නැහැ නේද අදම..? :D )

ආ අමතක උනා.. දිනුව නායකතුමා වෙච්චි මෛත්‍රී පාල සිරිසේන මහත්මයටත් මගේ සුභ පැතුම්.. ඔන්න තියෙනවා ලස්සන රටක්... සාමකාමී රටක්.. බිය සැක නැති රටක්.. උතුර දකුණ පත්තු නොවුනු රටක්... දෙයියනේ කියලා යහපාලනේ කරගෙන.. දියුණු පමුණු කරගෙන යන්ට තමා තියෙන්නේ... පොඩිත්තක් අහල පහල ඉන්න උන්දලගෙන් පරිස්සං වෙන්ට... උන්දලා ගැන මං අමුතුවෙන් කියන්ට උවමනා නැහැ නෙව... අද ඉදලා අර දින සීයත් පටන් ගන්නවනේ.. ඔන්න මංනං එයින් පිටපතකුත් හොයාගෙන ලෑස්ති වෙනවා ඔබතුමාට යහපාලනේ කරං යන්න විපස්සයක් හැටියට උදව් උපකාර කොරන්ට.. එහෙමනං දුවමු මහත්තයෝ රේස් එක... ඔබට සුභ අනාගතයක්... :D