19 April 2015

සයිබොර් සිහින අවුරුදු සීන් එක 2015...

ආයේ ඉතිං ඉස්සර වගේ සුකුරුත්තං දාලා ලිවිල්ලක් කොර කොර ඉන්ට හැටියක් නැති හින්දා ඔන්න ඔහේ අමුවටම දඩි බිඩි ගාලා කෙටියෙන්ම ඔබලා අරින්නං...

කෙටියෙන් කිව්වොත් ඉතිං මෙදා පාරත් හදිසියේ නමුත් ගියා සයිබර් වාසීන්ගේ අවුරුදු උස්සවේ බලන්ට කියලා වැල්ලවත්ත කුරේ පිස්ටැනියට...

පොඩිත්තක් විතර වෙනදට වඩා කස්ටිය අඩුවක් දැක්කා උනත් වෙනදා නොදැකපු අළුත් මූණත්තහඩුත් සෑහෙන්න තිබුන හින්දා ලොකු අඩුවක් උනේ නැහැ.. අනික ඉතිං මෙදා පාර ගෑල්ලමයි හෙම ටිකක් වෙන්ට හිටියා නෙව.. එතකොට ඉතිං මොන අඩුවක්ද මං අහන්නේ.. ගිය අය දන්නවා නෙව ඒ ගැන... 
 මං හිතාන ගියේ අටට පටන් ගන්නවා ඇති කියලා උනත් එතැනට ගියාමයි දැන ගත්තේ වැඩේ ඉට්ටාට්කොරන්නේ නවයටය කියලා.. නවයත් පහුඋනාට පස්සේ ඉතිං පටන් ගත්තා.. අවුලක් නැහැ.. ඒක ඉතිං සිරිලාංකික අබිමානේ නෙව... කොහොම හරි වෙනදා වගේම එකා දෙන්නා පස්සෙන් පහු එන්ට තියා ගත්තා... අර පොටෝවක දාලා ඉන්න ඇගපතේ මස් දාලා ආව ෂර්ට් නැතිව කඹ අඳින මල්ලිත් මං හිතන්නේ සංවිධායක බුවෙක්.. ඌ ආවේ දවල් දොලහට විතර... ඉතිං කොහොමද වෙලාවට අවුරුදු උත්සවයක් පටන් ගන්නේ... ඒකා වගේ උන් සංවිධායක මණ්ඩලේ ඉද්දි අනිත් උන් මේවා ඇදං යන එකම මදෑ මං අහන්නේ... උගෙන් මං පමාවට කාරණාව ඇහුවම ඔය ගෝරිල්ලා ගත් කටටම කිව්වේ “අපිටත් ඉතිං දවල් වෙනකල් නින්ද යනවනේ අයියේ“ කියලා... ආයේ ඉතිං එයින් එහාට මොන කතාද..? ඒත් ඉතිං දන්න කියන විදියට ඔය යෝධයගේ වෙන්න බාරියාවගෙන් ටික දවසකට මිදිලා කොලුවා නිදහසේ ඉන්න දවස් ටිකක් හින්දා කනක් ඇහැලි ෆොන් එකේ කරදරෙන් මිදිලා ඉන්න දවස් කීපය හරි ඕකා නිදා ගත්ත එකත් එකාතකින් ලොකු දෙයක්නේ කියලා මං හිත හදාගත්තා... :D
 වෙනදට වඩා ටිකක් විතර ඉස්පීඩ් එකේ තරග ටික ගියා... ඒක ලොකු දෙයක්.. නැත්තං අනවස්ස වැඩටයි කතා බහටයි ගිහින් ඇදලා ඇදලා වැල් කරලා අවසානෙදි රෑ හත අට වෙනකල් තරග තිබ්බම බොහෝම කරදරයි.. පිට්ටනියේ පහට පුට්බෝල් මැච් එකක් තියන හින්දා මොන මගුල උනත් පහට ඉවර කරන්න තිබුන හින්දා හරි ඔහොම ඇදලා දාපු එක හොදයි...
වෙනදා වගේම ඉතිං මුං මාව බඩගින්නේ තිබ්බ වෙලාව වැඩියි... :D කෑ කොස්සන් ගැහුවට පස්සේ යන්තං කන්න ලැබුනා.. අවුලක් නැහැ...

මේ පාර ඉතිං කියන්න තරං ලොකු වරදක් නැහැ... කස්ටිය අඩු වීම මේ පාර අවුරුදු උස්සව වල සාමාන්‍ය ගතියක් වගේම අවුරුදු උස්සව අඩුවීමත් සාමාන්‍ය දෙයක් නිසා මේකට විතරක් වෙනදා තරම්ම කට්ටිය නැති එක ඒ හැටි කාරණාවක් නෙවෙයි... ඒවා ඉතිං දේසේ හැටියට බාසේ කාරණා... ඒත් මං හිතන්නේ එකසිය පණාට වඩා ඉන්න ඕන.. හරියට ගැන ගන්න උනේ නැත්තේ බාගෙට බාගයක් හිටියේ වේදිකාවෙන් පසුපස වීම නිසයි... වේදිකාවෙන් පසුපස කිව්වේ කට්ටිය පසුපස ඉදලා හෝ ගාලා වැඩ කියන එකනං නෙවෙයි.. මොනවද ඉතිං පිටිපස්සට වෙලා බෙහෙත් වතුර බිව්වා.. මේ දවස්වල සෑහෙන්න සනීප නැති උන්දලා හිටියේ.. හැබැයි ඉතිං බෙහෙත් බීපූ ලෙඩ්ඩුන්ගෙන් ගිය පාර වගේ අවුලක් මේ පාර උනේ නැහැ... ඒකත් ඉතිං කියන්න එපෑ...
 වෙනදට නැගලා යන ජනගායනා/අවුරුදු කුමාරයා කුමාරි තෝරණ තරඟනං මේ පාර බොහෝම ඇල් මැරුනු ගතියකින් ගියේ.. හේතුව ඕනයා විනිස්චය මණ්ඩලේ නැති වීම කියලා බය නැතිව කියන්ට පුළුවන්.. කොහේද ඌව කුණු අහුලන්ට දාලා නෙව තිබුනේ... කොහොමින් හරි දඩි බිඩියේ තෑගිත් දීලා පහ මාර විතර වෙද්දි වැඩේ සෙත්තපෝච්චි කරන්න කට්ටියට හැකි වීම බොහෝම හොඳයි... මොකද සියඹලාණ්ඩුව වගේ ඈත දුර පළාත්වලිනුත් ආව බ්ලොග් සාමාජිකයින් හිටිය හින්දා ඒ ඒ අයටත් ආපහු තමන්ගේ ගම් රටවල්වලට දිරාමාර් වෙන්න පොඩ්ඩක් හරි පහසු වෙන හින්දා... ඒ වගේ දුරක් ගෙවාගෙන කැපවීමෙන් මේකට ආව අයටත් අපි කවුරුත් ඉස්තූති වන්ත වෙන්ට ඕන... ඒ වගේම අළුත් මූණු අතරේ හිටිය බොහෝමයක් දෙනා වෙනදට වඩා ඇවිල්ලා කතා බස් කරන.. වැඩිය මුළු ගැන්නිලා නොහිට හැම දේටම වගේ සහභාගී වෙන අය වීමත් විසේසයෙන් සදහන් කල යුතුයි... 


ඒ වගේම අද දවල් දොලහා වෙනකල් බුදියන මල්ලි ඇතුළුව මේක මේ අපෙන් බැනුං අහගෙන සංවිධානය කොරන උන්නැහේලා හැමෝටම වගේ ඉස්තූතියි කියන ගමන් මෙදා වංගියේ අවුරුදු උස්සවේ ගැන මගෙන් ලියවෙන වචන  ටික හමාර කොරනවා ඕං.. වැඩි දුර පොටෝ කෑලි හිමිහිට බුකියේ එල්ලඤ්ඤං.. ඒ එල්ලලා කොරලා අහවර වෙලා ඕනනං මෙතැනට ලින්කුවකුත් දාඥ්ඥං...


ආ ලබන ඉරිදද කොහේද අපේ ඔබා අයියාට පිං පිණිස අන්තිම පේළියේ අපේ ඕනයා ඇතුළු පිනට ලැදි උදවිය විසින් පවත්තනු ලබන ලේ දන්දීමේ පින්කමත් තියෙනවා... ඌ මේක දැක්කොත් ඒ සම්බන්ධ වැඩි විස්තර ඔහෙලට දැන ගන්න හැටියක් කියාවි.. මාත් ඒ හැටි විස්තරයක් දන්නේ නැහැ... ඉරිදට ඇහැකි උනොත් තැන කොහේදෑ කියලා හොයා බලලා... දුවලා ගෙහුන් ලේ ඩිංගිත්තක් දීලා ඔබා අයියට පින් පමුනෝලා එනවා මිසක්...

එහෙමනං අපි දැනට නැවතුනා...




මෙන්න ෆේස් බුක් ලින්කුව

සයිබොර් අවුරුද්ද

17 April 2015

හූවට දෙනවා අපමණ අගයක්...

සාමාන්‍යයෙන් මැයි පෙලපාලි දවසට සිද්ධ වෙන්නේ අදාල පක්ෂයේ ප්‍රධාන රැලිය තියෙන තැනට වෙනත් තැනක හෝ තැන් කිහිපයක සිට සටන් පාඨ හා තම තමන්ගේ පක්ෂයට අදාල උදාන වැකි කියමින් පෙලපාලිවලින් පැමිණ ඒ සියළු පෙලපාලි අවසානයේ අදාල ප්‍රධාන රැලිය පැවැත්වෙන තැනට එකතු වී පක්ෂ නායකයින් විසින් කරන කියන කතා වලින් පසුව විසිර යෑමයි...

ඒත් උවමනා නම් මේ පාර ඕක වෙනස් කලෑකි...

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන රැලිය සදහා පක්ෂය විසින් මෙවර වෙන් කරලා තියෙන්නේ හයිඩ්පාක් පිට්ටනිය... මේක මෙයිට කලින් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන මැයි රැලිවලට සහභාගී උන ජනයාට ප්‍රමාණවත් නොවන අන්දමේ තැනක්... ඒක තෝරගෙන තියෙන්නෙත් ඉතිං මේ පාර මහින්ද නැති උනොත් සෙනග ඔය හතර මායිමේ එන්නේ නැති බව දන්න හින්දම තමයි...

හරි ඒ කොහොම උනත් දැන් තැන එතනයි... ඒ වගේම නිල වශයෙන්ම මහින්දට මේ වෙනකොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැයි රැළියට ආරාධනාවක් තියෙනවා.. ඔය මදෑ කරනවනං කරන්න වැඩේ...

මෛත්‍රීපාලයි හොරගොල්ලේ මූසලියි සහ ඔය අනුරා‍ධපුරේ කිරි බර්ටිගේ එළ වස්සයි..  වගේ තුන්හතර දෙනෙක් උන්දලගේ නඩේ එක්ක රැලියට එන්න ඕන තැනකින් සෙට් උනාට කමක් නැහැ.. ඒත් මහින්දගේ සහයට ඉන්න ජනයාට කෙලින්ම එන්න කියන්න ඕන හයිඩ් පිට්ටනියට... 

අරගොල්ල කොළඹ වටේ හරි ගිහින් හයිඩ් පිට්ටනියට එනකල් මහින්දට සහය දෙන අයට පුළුවන් කතා කරන එක ආරම්භ කරන්න.. ඒකට ප්‍රධාන වේදිකාව දුන්නේ නැතත් අවුලක් නැහැ... අහල පහලින් ඩෙස් බංකු ටිකක් හරි ගෙනල්ලා උසක් හදාගෙන පොඩි සවුන්ඩ් සිස්ටම් එහෙකුත් සපයා ගත්තම ඇති... 

අරුන්දලා ටික කොළඹ හක්කලං කොරලා කීයට හරි හයිඩ් පිට්ටනියට එනකල් කතා ටික පවත්තන්න පුළුවන්... වැඩේ බකල් කියලා අතර මගදී සෙට් එක ගෙවල්වලට මාරු උනොත් ඉතිං කරන්න දෙයක් නැහැ.. වැරදීමකින් හරි කට්ටිය හයිඩ් පිට්ටනිය පැත්තට ආවොත් ඉතිං ජාතියේ අළුත්ම අපමණ අගයක් ඇති අවිය වෙන “හූ“වෙන්ම සලකලා මූසලීවයි කේප්පයවයි.. උන්දලගේ ජනපතිවයි ඇතුළු නඩේට පිළිගැනීම කරන එකයි ඇත්තේ... ඒ කරලා එක අපතයෙකුටවත් එතන රගන්න දෙන්නේ නැතිව එලෝලා දාලා.. රෑ කීය උනත් කමක් නැහැ මැයි පෙලපාලිය පටන් ගන්න ඕන එයින් පස්සේ... මැයි පෙළපාලියකට ඒ වෙලාවේ අවසර නැත්තං ඉතිං මට මතකයි ඩාලි පාරේ බෝධියක් තිබුනා... හයිඩ් පාක් එකේ ඉදන් ඩාලි පාරේ බෝධියට පා ගමනින් ගිහින් බෝධි පූජාවක් පවත්වන්න කාටවත් එපයි කිව්වැකියෑ... සන්සුන්ව පිලිවෙලකට ඩාලි පාරට යාගන්නයි තියෙන්නේ ඔය ආරක්ෂක අංශ එක්ක ප්‍රශ්න හදාගන්නේ නැතිව... එහෙම පෙලපාලියකට අවහිරයක් නැත්තං ඉතිං සුපුරුදු ගමනෙම යා තමයි..

මහ දුරකුත් නැහැනේ හයිඩ්පාක් එකේ ඉදලා ඩාලි රෝඩ් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට... මං හිතන්නේ මීටර් පන්සීයක්වත් නැති වෙයි... මහ ලේකං උන්නැහේ වෙන අනුර යාපා ගොයියට හොදින් කියලා ඇහැකිනං එහෙමයි.. එහෙම බැරිනං අරෙහෙමයි... කොහොම හරි උන්නැහේවත් අරගෙන මූලස්ථානෙට ඇවිත් “නියමිත වේලාවට රාජකාරියට වාර්ථා කරමි“ කියලා මහින්ද රාජපක්ෂයන් විසින් කියපු වචනය ඒ ආකාරයටම ඉෂ්ඨ සිද්ධ කරන්න වැඩ කටයුතු සලස්සලා... පක්ෂයේ මධ්‍යමකාරක සභාවයි අරකයි මේකයි ඔක්කෝම පක්ෂයේ ජනතාව ඉන්න කොටම.. මූලස්ථානයේදී නිල ලේකංතුමාවත් තියාගෙන පත් කරවලා දාපුවම ඉවරයි... 

ලේකං තුමා මොන විදියකින් හරි ගල් උනොත් හරි... ගල් කෙරෙව්වොත් ඉතිං එවෙලෙටම බැරියෑ පක්ෂයේ මහ සම්මේලනය පවත්තලා ඔය ඕන තනතුරක් පත්කරවාගන්න.. මොකද එදාට එන්නේ පක්ෂයේ නියම අයිතිකාරයෝ වෙච්ච අපි අපි නෙව... ආයේ ඉතිං පක්ෂ සාමාජිකයින් ඉදිරියේ බහුතර අනුමැතියෙන් පක්ෂයට තනතුරු ටික සම්මත කරගත්තම අරයට මෙයාට ආයේ කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ නෙව... ශ්‍රීලංකා නිදහස් පක්ෂයට තියෙන අර්බුධ අනං මනං ඔක්කෝම එතැනින් එක රැයින් අහවරයි... තව ඔය සම්බන්ධව නීති උපදෙස් එහෙම ඕනනං දැන්ම තියා ඒ ඒ අංසවලට සම්බන්ධ අය ලවා ලබාගෙන වැඩේ තිතටම කරන්නයි තියෙන්නේ...

වෙලාවට කලාවට.. නීතියට රීතියට අනුව අඩුපාඩුවක් නැතිව වැඩේ කෙරෙනවනං මහ රෑ දොලහා නෙවෙයි පහුවදා එළිවෙනකල් හරි පක්ෂ කාර්යාලය වටා “හිටං“ ඉන්න අපි එනවා ඕං...

ලංකාවේ මැයි පෙලපාලියකින් කරපු පලවෙනි විප්ලවේ මේ පාර කරලා පෙන්නුවෑකි කට්ටියම කල්පනා කලොත්...

එහෙමත් නැත්තං කල හැකි දේ මෙහෙම කලින් කියලා ඒකට අනුව අනිත් පැත්තේ උදවියට ලෑස්ති වෙන්න ඉඩ ඇරලා මෙයිට වඩා පට්ට ගේමක් උනත් ගැහුවැකි... :D 

අපි ඉතිං රට කරං යන්න මිසක් පක්ෂය විනාස කරන්න කාටවත් අනුමැතියක් දුන්නේ නැහැනේ...

“පක්ෂෙට ඕනෑ නැවතත් එළියක්.. හූවට දෙනවා අපමණ අගයක්“

:D

සෝමෙට වඩා අනුර පොරකි.

සෝමවංශ ලොක්කා ජේවීපියෙන් අහක් උනා කියන එක අපිටනං අමුතු සංතෝෂයකට කාරණාවක්වත්.. දැන් ඕකෙන් අහකට පැන්නා කියලා සෝමවංශ අපිට පොරක් වෙන්නෙවත් නැහැ. 

සෝමවංශයට වඩා අනුරයා හොදයි එකාතකින්... ඌ මොන තරං ගේමක් ගහලා හරි උගේ බොස්ලගේ වැඩ ටික අකුරට ඉස්ට සිද්ධ කොරලා දෙමින් ඉන්නවා... 

පක්ෂයේ දියුණුවට කියලා මෙලෝ වැඩක් ඇති දෙයක් කොරලවත් නැතිව.. පැත්තෙන් එල්ලිලා ඇතුලට වෙලා නූල් සූත්තර ගගහා ඉදලා පක්ෂේ හිටිය බල කණු එකෙන් එක ගලවලා දාලා අන්තිමට ඌගේ අතටම පක්ෂය ගත්ත හැටි අදහන්න වටින ගේමක්.. එහෙම දෙයක් කරන්න ආවට ගියාට එහෙකුට බැහැ... සුපිරිම නූල් සූත්තරකාරයෙක් වෙන්න ඕන. ඉතිං එහෙම ගේමක් දුන්න අනුර පොරක් නෙවෙයිනං මොකෙක්ද..?

ඒත් සෝමවංශ..?

විරැකියාව.. දේශපාලන බලහත්කාරකම... අසාධාරණ ආර්ථික රටාව.. කුල පීඩනය... වැනි කරුණු කාරණා රාශියක් මත තරුණ අසහනය හැම පැත්තෙන්ම නැගගෙන ආ රටක.. ආවේගශීලී දේශපාලනයකට හොඳම තෝතැන්නක් වෙලා තිබුන රටක.. සිය මුඛරිකම හින්දම අර අසහනයට පත්වෙලා හිටිය තරුණයින් තමන්ගේ වසගයට අරං හැම තැනින්ම කලවං කරගත්ත.. කිසිම හරිහමන් ගමන් මාර්ගයක් නැතිව ඔහේ රට අවුලන විදියේ එදාවේල වැඩ සටහන් කරමින් තරුණ ලේ රට පුරා ඔහේ ගලාගෙන යන්න මග පාදපු නායකයෙක් විසින් හදාපු පක්ෂයකට ඇතුලත් වෙලා... 

කරන කියන දේවල් කොයි තරං දුරට හරිද නැද්ද කියන දේ පැත්තකින් තිබ්බම.. මොන විදියෙන් හරි ඒ කටයුතුවල ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙලා.. අන්තිම වෙලාවේ ඒ පක්ෂයේ ඉහලම තනතුරු ලාභින් අතරට එකතු වෙලා... පක්ෂය විසින් රට අවුලන්න ගිහින් අවසානෙදී තමන්ගේම වලිගයට ගිනි ගත්තට පස්සේ ඒකේ හිටිය නායකයින් එකා පස්සේ එකා තමන් කරපු පවුවලට ජීවිත වලින් වන්දි ගෙවද්දි.. මොන විදියකින් හෝ තමන්ගේ පණ බේරං රට පයින්න අවස්ථාව ලැබුන එකම නායකයා වෙලා... 

අවසානෙදී රටින් පිටට වෙලා ඉදන් මේ රටේ තිබුන පක්ෂය එක්ක සම්බන්ධකමක් හදාගෙන රටේ හිටිය තරුණ සාමාජිකයින් විසින් තමන්ගේ උත්සහයෙන්... කැපවීමෙන්... උගුරු ලේ රහ වෙනකල් කෑගහලා.. රට පූරා තාප්ප ගාපේ පාප්ප ගගා පෝස්ටර් අලවලා... කැට හොල්ලලා.. පාවිච්චි කරන්න පුළුවන් හැම විකල්ප මාධ්‍යයක්ම පාවිච්චි කරලා මොන ආකාරයෙන් හරි අර වැලලිලා යන්න ගිය පක්ෂය ගොඩ දාලා දුන්නට පස්සේ ආයෙම මේ රටට ඇවිල්ලා ඒ පක්ෂයේ උත්තරීතර නායකත්වය පත් වෙන්න අවස්ථාවත් ලැබුනට පස්සේ...

මොනවද කලේ..? 

තමන්ව ඒ තැනට ගේන්න.. තමන් මෙරටින් යද්දි අළු වෙලා තිබුන පක්ෂය නැවත උපද්දවන්න කැප උන... මේ රටේ ජනතාවට හරියන සිතුම් පැතුම් එක්ක සමාන්තරව ගමනක් යන්න පුළුවන් විදියට අත්තිවාරමක් දාගෙන ආව පක්ෂයේ අසීරුම අවස්ථාවේ දර දිය ඇද්ද පිරිසට දිය වෙලා යන්න ඇරලා.. ඒ ඒ අය තනි තනි වශයෙන් අරගෙන පක්ෂයට රිංගලා හිටපු කුමණ්ත්‍රණකාරයින්ගේ තොණ්ඩුවට අහුවෙන්න ඇරලා.. අවසානෙදි අසීරු කාලෙදි පක්ෂය හදාපු සියළුම දෙනාව පක්ෂයෙන් අතුගාවලා දාන්න අනිත් අයට ඉඩ දීලා බලා හිටලා... නායකත්වය බදාගෙන පැත්ත දාලා බුදියගෙන හිටලා... අන්තිමට පක්ෂය දෙකට තුනට කැඩෙන්න ඇරලා... කුමණ්ත්‍රණකාරයින්ගේ නායකයටම පක්ෂය සින්නක්කර ලියා දීලා.. ඒ කුමණ්ත්‍රණකාරයාගේ අරමුණු අනුව රට අරාජික කරවලා පක්ෂයයි රටයි දෙකම නන්නත්තාර උනාට පස්සේ...

මෙන්න මෙයා නැගිටලා...

දැන්ද කියන්නේ... ඇයි.. නන්දන ගුණතිලකට පාර වදිනකොට කට අරින්න තිබුනනේ... තමුන් වෙනුවෙන් බඩ බැදගෙන වැඩ කල විමල්ට පලා බෙදනකොට කට අරින්න තිබුනනේ... අඩුම ගානේ කුමණ්ත්‍රණකාර දෙපක්ෂය කොටාගෙන වෙන් වෙන වෙලාවෙවත් කට අරින්න තිබුනනේ... තමුන් නේද ඒ වෙද්දි පක්ෂයේ වගකිවයුතුම කෙනා... ඒ වෙලාවෙදි කටයි පු*යි වහං ඉදලා දැන් මොකද මේ අමුතු අවදිවීමක්..?

අනේ ඔය හිටියා වගේම නිදා ගනින් සෝමවංශ... මල මිනී කතා කලාට ඇති වැඩක් නැහැ දැන්... දැන් ගිහින් මහින්දට නෙවෙයි කාට මුක්කු ගැහුවත් ඇති වැඩක් තියෙනවද.. මේ රට මෙහෙම අරාජික වෙන්න නොදී බේරගන්න තිබුන හැම අවස්ථාවෙදිම ඒ අවස්ථාව පැහැර ඇරලා දැන් එනවා බයිලා ගහන්න... 

දැන් ආයේ අළුතින් පක්ෂ පිහිටවන්න තමුන්ට කාලයක් නැහැ.. එහෙම පක්ෂ පිහිටුවලා ඔය කොහේ හරි තියෙන ඡන්ද දෙක තුනක් කඩලා දාලා එලොවටත් මෙලොවටත් නැති වැඩ කරනවට වඩා හොදයි ඒ කාලේ මිනී මරපුවාගේ පව් හේදෙන්නත් එක්කලා පිනක් දහමක් කරං අර කිව්වා වගේ පිරිත් නූලක් බැදං පන්සිල් රැකං හිටහං... අඩුම ගානේ කරපු පවු හින්දා අපායේ ලගිනකොට ඉන්ටවල් එකක් හරි හම්බ වෙයි එහෙම කලොත්...

13 April 2015

අවුරුද්දට අළුත් කෑමක්...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව.. මං මයේ බ්ලොග් එකෙන් එක එක ජාතියේ දේවල් ගැන ලියනවා කියනවා කතා කොරනවා කියලා... ඒ අතරේ දේශපාලනේ වගේම මගේ ඔය ගමන් බිමන් චාරිකා එහෙමත්.. එතැනින් ගියාම රටේ තොටේ විස්තර ගැනත්.. කාලයක් ලියං ගිය පන්සල් කතා වගේම අපේ ජුංඅලගේ කතා වගේ එක එක ජාතියේ එව්වා තියෙනවා..
ඒ එක්කම අමතක කෙරන්ට බැරි තවත් අංගයක් තමා ඔය සූප සාත්තරේ ගැන ලියන ඒවත්... දැන් සෑහෙන කාලෙක ඉදලා ඒ පැත්තෙනුත් සෑහෙන්න දේවල් මං ලියලා තියෙනවා...

ඔහෙලට කිව්වට මොකද.. ඔය මූණු පොතෙන් වගේම බ්ලොග් සාත්තරෙනුත් වැඩිම අංගනාවෝ පිරිසක් මයෙත් එක්කලා දැන හැදිනීම් ඇති කරගත්තේ ඔය සූප සාත්තර මෙව්වා එක හින්දම තමයි... ( හා දැන් ඉතිං කට්ටියම හිටු කියලා ලියපියවු කෑම බීම හදන කොරන හැටි.. :D )

ඉතිං මේ අවුරුදු කටේ වෙච්චි.. මෙහෙම වෙලාවට මේ බ්ලොග් වසන්තයාත් ඇවිත් තියෙන වෙලේ ලියන කියන දේවල් අතරට ඉවුං පිහුං ගැනත් සුළුවට හරි නොලිව්වොත් ඒක මයේ තත්තෙට හොද මදි.. ආන්න ඒ හින්දා මං කල්පනා කොලා කාට කාටත් පරයෝජන ගන්ට ඇහැකි විදියේ කෑමක් බීමක් ගැන ලියලා දාන්ට ඕනය කියලා...

හැබැයි ඉතිං කෑම කිව්වමත් අපි මේ වෙද්දි අවුරුද්දට නොකාපූ කෑමක් නැහැ නෙව... සිංහල උනාට මොකද... දෙමළ කෑමද.. මුස්ලිම් කෑමද.. සුද්දගේ කෑමද.. අරක මේක ඔක්කෝම කලවං වෙලා හොදට බඩ කට පුරා කාලා තියෙද්දිත් තව තවත් අළුත් විදියට කන්ට අපිට තියෙන මේ ආසාව ගැන මං දන්න හින්දම මෙදා පාර මං කල්පනා කොලා තාලේ හැටියට.. කාලේ විදියට ගැලපෙනම විදියට කෑමක් බීමක් ගැන කියන එකයි මයේ යුතුකොම කියලා.. අනික ඉතිං යහපාලනෙත් තියෙන වෙලාවක යහතින් කෑහැකි ජාති කියා දෙන එක අපෙන් රටට වගේම රට වැසියටත් සිද්ධ විය යුතු යුතුමක් නෙව... ඉතිං පවතින යහ පාලන ආණ්ඩුවටත් පොඩි සප් එකක් හැටියට මෙදා පාර මාත් දෙනවා ඔන්න යහපාලන අළුත් අවුරුදු කිරිබතක්... හදලම බලන්ටලකෝ කොහොමද යහපාලන අවුරුදු කෑමේ රඟ කියලා.. 

ඔන්න මතක ඇතිව කාලා බලලා ඇස්ඇම්ඇස් එහෙකුත් ගහන්ට.. මට නෙවෙයි මේ විදියට කන්ට දෙන අපේ ගරු ඇමතිතුමා වෙච්ච පාමං.. නැහ් ගරු කටයුතු කිලිනො.. නැහ් එහෙමත් නෙවෙයි... සතො.. මොන මගුලක්ද අප්පා මේ ඇමතිතුමාට තියෙන ගෞරව නාම හින්දා නියම නමත් අමතක වෙලා ගිහිල්ලා.. කවුද.. ආ හරි.. රවී කරුණා නාය ඇමතිතුමා... (කරුණානායකද නායගම්ද කියලා හරියටම පැහැදිලි නැති හින්දා ඔය ගානින් නම නැවැත්තුවා... බලං ගියාම ඒක අර ඔක්කෝටම වඩා හොදයි.. කරුණාව නාය යනවා.. ) ආන්න ඒ ඇමතිතුමාට ඇස්ඇම්ඇස් කොරලා කියන්ට කොහොමද කෑම කියලා.. අති විශිෂ්ඨයි නේද කියලා.. හරිනේ එහෙනං...

ඉතිං කිරිබතක් කිව්වම අවුරුද්දට ගැලපෙන්නත්.. පහසුවෙන් හොයා ගන්ටත්.. ඒ වගේම කෑම වේලක තිබිය යුතු පෝෂණ ගුණය රැකෙන්ටත්.. විවිධත්වයක් තියෙන්ටත් ආදී වශයෙන් බොහෝමයක් කරුණු කාරණා සලකා බලලා තමා මං මේ කිරිබත හදන්නේ.. කොටින්ම කිව්වොත් මේකේ නැති දෙයක් නැහැ.. හැම දේම තියෙනවා.. නියම යහපාලන කිරිබතක්...

___________________________

උඳු කිරිබත්...

අවශ්‍ය ද්‍රව්‍ය:-

උඳු 01Kg
උඳු 500g
වතුර ලීටර් පහයි.
ලුනු මේස හැන්දක්.
හොයා ගන්න පුළුවන් උනොත් කැකුළු සහල් මිටක්.

සාදන ක්‍රමය:-

පළමුව වතුර ලීටර් තුනකට උදු කිලෝ එක දමා වරුවක් පෙගෙන්න දමන්න.
ඉතිරි වතුර ලීටර් දෙකට අනිත් උඳු කිලෝ බාගය දමා එසේම වරුවක් පෙගෙන්න දමන්න.
පොඟවා ගත් උඳු කිලෝව වතුර පෙරා කිරිබත සෑදීමට ඔය මේ වන විටත් අළුතින් ගෙනවිත් ඇති මැටි මුට්ටියට දමන්න. අළුතින් මුට්ටියක් ගෙන ඒමට හැකියාවක් නැති අවුරුදු බෝනස් පඩි නඩි නොලැබුන රැකියා වලින් ඉවත් කරන ලද අය ඉෂ්ඨ දේවතාවන්ට පිං අනුමෝදන් කරවන ගමන් ගෙදර ඇති පරණ මුට්ටියකට  දමන්න. අමාරුවෙන් හරි හොයාගන්න පුළුවන් උනොත් අර කියාපු කැකුළු හාල් මිටත් ඒකටම දාන්ට.
පොගවා ගත් උදු කිලෝ බාගය එහි ඇති වතුරත් සමඟින්ම බ්ලෙන්ඩරයක් මගින්අඹරවා උඳු කිරි සාදාගන්න. එයටම ලුනු මේස හැන්දත් එක් කර පොගවා ගත් උදු කිලෝව සහිත මුට්ටියට දමා අළුත් අවුරුදු නැකතට ලිප තබන්න. ලිපේ ගින්දර තරමක් සැරට දමා.. වතුර පැසෙන්නට ගත් පසු ගින්දර තරමක් අඩු කර පියනකින් හොඳින් වසා තැම්බෙන්නට හරින්න... නියම ගණනට උඳු තැම්බී කිරිබත සකස් වන විට පළාතම යහපාලන සුවඳින් ඉතිරී පැතිරී යන විට ලිප නිවා කිරිබත කෙසෙල් කොලයක් ඇතිරූ වට්ටියකට දමා තුනී කොට මදක් නිවෙන්නට තබා කෑලි කපා ගන්න... දැන් ඔබට ඉතා රසවත් ගුණවත් අළුත් අවුරුදු කිරිබතක් ලැබී ඇත. උවමනානම් කහ කුඩු ස්වල්පයක් උඩින් ඉස කිරිබත තවත් අරුත්බර කර ගැනීමට ඔබට හැකියාව ඇත.

විශේෂ කරුණු- උඳු දියේ දැමීම හෙට උදෑසන එනම් 14 වැනිදා 07.23ට පුණ්‍යකාලය ලැබීමට පෙර සිදු කරන්න.හාල් ගණන් නිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙසින් පුන්නක්කු දැමීමට උත්සහ නොකරන්න.
____________________________

හරි කිරිබතනං ලෑස්තියි... දැන් මේක කන්න ලුණු මිරිසක් වගේ දේකුත් එපෑ.. ඔන්න එහෙමනං ඒකට දෙයක්...
____________________________

කොත්තමල්ලි උම්බලකඩ සම්බෝලය...

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි 100g
උම්බලකඩ  100g
වියලි මිරිස් කරල් දහයයි.
වතුර ලීටරයයි.
ලුනු තේ හැදි එක හමාරයි.
දෙහි ගෙඩියයි.

සාදන ක්‍රමය:-

පළමුව කොත්ත මල්ලි ටික සෝදා වතුර ලීටරය එක් කර හොඳින් තම්බා ගන්න. පැය දෙකක් පමණ අඩු ගින්දරේ තැම්බී කොත්තමල්ලිවල ඇති වර්ණවත් ගතිය ඉවත් වූ පසුව වතුර පෙරා කොත්ත මල්ලි ටික මිරිස් කරල්ද සමගින් හොදින් අඹරා ගන්න... කොත්ත මල්ලි සියුම් ලෙසින් ඇඹරුනාට පසුව උම්බලකඩත් එක්කර කැබලි සිටින සේ අඹරා ලුනු හා දෙහි ඇඹුල් මිශ්‍ර කරගන්න. දැන් ඔබගේ යහපාලන කිරිබතට අපූරු කොත්තමල්ලි උම්බලකඩ සම්බෝලයක් සැකසී ඇත.

විශේෂ කරුණු- කොත්ත මල්ලි තම්බාගත් වතුර ටික ඉවත නොදා පානය කිරීමෙන් ඔබට අමතර ශක්තියක් ලබා ගත හැක.
___________________________
හරි එහෙමනං ඔන්න අළුත් අවුරුද්දට අළුත් රටක් ලැබෙන්න යන අල්ලපනල්ලේ.. අළුත්ම විදියට කිරිබතක් හදාගන්න හැටි බොහෝම සරලව කියා දුන්නා...ආයේ ඉතිං විහිළුවට ගන්ට එපා... හාල් පොල් ගණන් ගිහින් කෙලවෙලා තියෙන වෙලේ අරයට මෙයාට ආඩපාලි නොකියා වැඩේ පිරි මහ ගැනිල්ල නෙව කෙරෙන්න ඕන... අනික ඉතිං කිරිබතක් කියන එකට “කිරියි+ බතුයි“ තියෙන්නම ඕන කියලා නිතියකුත් නැහැනේ... නිකං මේ “යහ+පාලනේ“ වගේම...

එහෙනං ඕං.. කහ කුඩෙන් උම්බලකඩෙන් ඉතිරිරෙන සුභ නව වසරක් වේවා...
_________________________

අළුත් අවුරුදු නැකත්.

නොනගතය -
හෙට උදේ 07.23හේ සිට දහවල් 01.47 වන තුරු...

ආහාර පිසීම -
සවස 02.05ට රතු වස්ත්‍රයෙන් සැරසී නැගෙන හිර බලා ලිප් බැඳ...

ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම-
සවස 02.42ට රතු පැහැති වස්ත්‍රයෙන් නැගෙන හිර බලා...

හිස තෙල් ගෑම-
15 වැනි බදදා උදේ 09.06ට දකුණු දිශාව බලා... හිසට කොහොඹ පත් පයට කොලොන්පත් තබා ලාකොල පැහැ වස්ත්‍රයෙන් සැරසි...

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට නියම නැකත-
22 වැනි බදාදා උදේ 06.02 ට ලාකොල පැහ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර බලා...

රැකි රක්ෂා සඳහා හදිසි කාරයින්ට-
17 වැනි සිකුරාදා උදේ 06.03ට සුදු හා නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා...

12 April 2015

උන්දලගේ අම්මලට...

අළුත් අවුරුද්ද කටේ නෙව.. දැන් මොන වසන්තයාගේ මොකට ලිව්වත් කියවන්ට කියලා කට්ටිය එහෙමට නැහැ... ආණ්ඩුවේ නිවාඩු කියන්නේ බ්ලොග් කියවන්නන්ගෙන් තුනෙන් එකකට අන්තර්ජාල පහසුකම නහී කර්තාහේ... තිබුනත් ඉතිං කෝ වෙලාවක්.. මෙලාට උන්දලා උන්දිලා.. හෝ ගාලා අවුරුදු පිලිගන්ට ගෙවල් දොරවල්වල නහිනවා වෙන්ට ඕන...

පුද්ගලික අංසේ නිවාඩු කියන්නේ අර තුනෙන් දෙකේ තවත් එකක් නැහැ කියන එකයි... උන්දලත් පෙර අය සේම තමා...

ආයේ ඉතිං මේකක් කියවන්ට ඉතිරි වෙලා හිටියොත් ඒ පිටදේශ දීපංකරේකට වෙලා සිරිලංකාවට බැල්ම දාං ඉන්න උදවියයි.. මේ අපි වගේ එලොවටත් මොලොවටත් නැති නොම්මර එකේ සිරිලාංකික ජනතාවයි තමා... උන්දලටත් ඉතිං ගදර දොරේ වැඩක් සැට් උනානං ඒකටත් බඩුම තමා...

අද මේක ලියන්ට කියලා හිතුවේ වෙන අරක් මේකක් ගැන ලියන්ට නෙවෙයි.. මේ සිරිලංකා දුම්රිය සේවයේ මෑණියන්දලාට පිං පමුණුවන්ටයි කියලා... හේතුව ඉතිං අද උදෑහැනැක්කේ මටම වෙච්ච සින් කෝන් එකක්...

ඔන්න ඉතිං අද උදේ පාන්දර පහයි දහයට නුවර ඉඳන් මාතරට දුවන කෝච්චියේ එල්ලිලා කොළඹට එන්ට මටත් කරුණු කාරණා යෙදුනා... ඉස්ටේසමට ටිකක් වේල පහින්ම එන්න තිබුන හින්දා ඉස්ටේසමේ හතර මුළු එහෙම බලා කියාගෙන හැම තැනම ගහලා තියෙන බෝඩ් ලෑලිත් කියවාන මාත් එක්කාසු උනා ටිකැට් පෝලිමට...

උදේ පාන්දර කියලා නැහැ.. හම්මට සිරි බලන්ට එපායෑ ටිකැට් ගන්ට ඉන්න සේනාවේ තරම... අවුරුදු නිවාඩුවට ගම් රටවල් බලා යන සෙනග වගේම විදේශ සංචාරකයෝ කිහිප පොලකුත් පෝලිමේ.. කොහොමින් හරි ඔය පෝලිංවල අරකේ මෙකේ ඉන්න ගමන් අහල පහල උදවිය එක්ක කතාවකට සැට් වෙන එක මගේ දින චරියාවෙම තියෙන දෙයක්... බඩුවල් මුට්ටුවක් ගන්ට කඩේකට.. පොලකට ගිහාම උනත් ඒවා එහෙමයි...

ඔය යන යන තැන කතාවල්වලට සැට් වීමත් ආයිබෝං ඒ හැටි නරක දෙයක් නෙවෙයි... රටේ ලොකේ මිනිස්සු හිතන පතන හැටි.. කියන කොරන හැටි ආදී බොහෝමයක් කාරණා දැන කියාගන්ට ලැබෙන.. නොමිලේම කටකතා මාජ්ජ ජාලයේ අප්ඩේට්ස් ගන්ට එහෙම ඕක බොහෝම අපූරු අවස්ථාවක්.. ඒ අස්සෙම ඉතිං අපේ අදහස් සමාජගත කොරලා පොඩි පහේ තෙලක් ගහන්ටත් ඇහැකි විදියක්නං තමා.. එව්වත් නොකියා බැහැනේ.. :D

කොහොමින් හරි ඔහොම සැට් වෙලා යද්දි මට ඉස්සරහින් යන හාදයා ආපහු හැරිලා මගෙන් අහනවා මේක මේ මාතර කෝච්චියට ටිකට් ගන්න පෝලිම නේදෑ කියලා... මාතර කෝච්චියට කියලා වෙනම කවුන්ටර් අරින වගක්නං මාත් දන්නේ නැති හින්දා සහ කවුන්ටරේට උඩින් පොල් ගෙඩි සයිස් එකෙන් මේක පලමු හා දෙවන පංතියේ ටිකට් කවුන්ටරය කියලා ලියලා තියෙනවා පේන හින්දා මාත් දන්න පොර සේ.. “මාතර කෝච්චියනං තමා දැන් තියෙන්නේ.. හැබැයි මේක ෆ්‍රස්ට් ක්ලාසුයි සෙකන්ඩ් ක්ලාසුයි ටිකට් දෙන එක...“ කියලා කියපි.. මොකද තර්ඩ් ක්ලාස් ටිකැට් කවුන්ටරේ තිබුනේ එයිට එහා පැත්තෙන් කියලා මම දැක්කා අර කිව්ව බෝඩ් ලෑල්ලකින්ම...

දැන් ඉතිං මෑන්ට සැටිස්.. “ආ හරි හරි ඒක තමා... වාඩි වෙලා යන්ට සීට් ඇති නේද...?“ කියලා මෙන්න මන් මගෙන් අහනවා.. යකෝ මං දුම්රිය ස්ථානාධිපතිද... ප්‍රවාහන ඇමතිද..? ඒත් ඉතිං ප්‍රශ්නයක් ඇහුවම මොකක් හරි උත්තරයක් ඇදලා අරින එක අපේ යුතුකොමක්නේ.. ඒ හින්දා කිව්වා.. “එව්වනං අනේ මංදා... සෑහෙන සෙනගක් දැන් පෝලිමේ ඇතුලටනං ගියා“ කියලා... මෑන්ගේ මූණ දැන් ටිකක් අස්පැට්.. ඒත් ඉතිං මං කියලා මක්කා කොරන්නද.. මං දන්නවෑ මේකේ සීට් ගානයි.. නිකුත් වෙච්ච ටිකට් ගානයි ගැන.. අනික මාත් මේ ඉන්නේ වාඩිවෙලා යන්ට සීට් එකක් ලැබියං කියන පරම පවිත්‍ර චේතනාවේ මිස ඒ චේතනාව ඒ ආකාරයෙන්ම ඉස්ඨ සිද්ධ වෙයිද කියලා හරියට නොදැන නෙව..

මෙන්න ඒ පාර අර උන්නැහේ පෝලිමෙන් පිට හිටිය උන්නැහේගේ ප්‍රියංභිකාව කියලා හිතිය හැකි කාන්තාවකට ලගට කතා කරලා කියනවා “මේ සීට් නැතිවෙයි වගේළු.. ටිකක් ඇතුලට ගිහින් බලන්ටකෝ“ කියලා.. යකෝ මං දැන් කිව්වද සීට් නැති කතාවක්.. මුංදලටත්  මොනවා හරි කොනක් අහු උනාම ඒකට පෝර දාලා උන්දලටම ඕන විදියට කතා හදාගන්නවා.. යකාගේ රටක් නෙව.. අනික ඉතිං සීට්නං කොහොමත් තියෙනවනේ.. එව්වා නැති වෙන්ටනං ඉතිං රෑ ඉස්ටේසමේ හිටිය උන් ඕවා ගලවලා දාන්ට ඕන.. හැබැයි ඉතිං සීට් උඩ පස්සවල් තියාන සෙනග ඉන්නවද නැද්ද කියන්ට අපි දන්නේ නැහැ...

අන්න මගේ මිත්තරයාට වැරදුන තැන... ප්‍රියංභිකාවට මල පයින්න ගියේ සුවල්ප වෙලාවයි... “ටිකට් නැතිව ඇතුලට යන්න දෙනවද මනුස්සපයෝ..?“ කියලා අහපි... මොනවා උනත් ගෑණු පරානෙට යමක් කමක් තේරෙනවා.. ටිකට් අරං මිස කෝච්චියේ සීට් ඇද්ද නැද්ද කියලා බලා ගන්ට තියා වෙන අහවල් කාරියකටවත් අර යකඩ ගේට්ටුවෙන් ඇතුලට ගියෑකිය මේ අපි වගේ සාමාන්‍ය පුග්ගලයින්ට... අපේ ගොයියා කට පියං බලං හිටියා... තව ටිකක් කතා කලානං අරුන්දෑ මුංදැගේ සායම අරින්ට බැරි නැති විත්තිය තේරුං අරංද කොහේද.. :D

කොහොමින් හරි ඔන්න අපිත් පෙරුං පුරලා පුරලා කිස්ටු උනා ටිකැට් කවුන්ටරේට.. අපේ මිත්තරයා ඔන්න ටිකැට් කවුන්ටරේ හාදයා එක්ක සංවාසයේ.. සොරි.. සංවාදයේ...

“වාඩි වෙලා යන්ට සීට් තියේද දන්නේ නැහැ නේද..? මෑන් විමසනවා...

“දන්නේ නැහැ.. ගිහිල්ලම තමා බලන්න ඕන“ කවුන්ටරේ බුවා කියනවා...

“සෙකන්ඩ් ක්ලාස් ටිකට් වලටත් සීට් නැතිවෙයිද..?“

“කියන්න බැහැ.. ගිහිල්ලම තමා බලන්න ඕන“

කවුන්ටරේ බුවා උත්තර දෙන්නේ ඌ බබා වගේ.. යකෝ කෝච්චියේ තියෙන ඉඩ පහසුකම් ප්‍රමාණයයි.. ඌ මෙච්චර වෙලා දුන්න ටිකට්වල ප්‍රමාණයයි අනුව තත්වේ කොහොමද කියලා ඌ නොදන්නවනං අපිද දන්නේ..? අපේ යාළුවා තමුන්ට ලැබුන උත්තරවලින් බොහෝම දුර්මුඛ වෙලා.. ඕන මගුලක් කියලා පවුලේ අයට සරිලන විදියට සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරං මුමුණ මුමුණ ඉස්සරහට ඇදුනා.. ඔන්න මගේ වාරේ... මාත් ඉතිං අර මනුස්සයට ලැබුන උත්තර ටික මේ වෙද්දි දන්න හින්දා ආයේ ආයෙම ඕවා අහන්ට නොගිහින් කෙලින්ම ඇහුවා “ෆ්‍රස්ට් ක්ලාස් ටිකට් මේකේ තියේද“ කියලා... එහෙමවත් වාඩියක් ගහං කොළඹට අද්දන්න ඇහැකි වෙයිද හිතං... ඒත් ඉතිං ඒකටත් උත්තරේ කෙලවෙන සුළුයි.. “මේකේ ෆ්‍රස්ට් ක්ලාස් නැහැ.. හයයි කාලේ එකේ තියෙනවා.. ඒකට ටිකට් දෙන්නේ අතන කවුන්ටරෙන්“ කියලා දැනටම වහලා දාලා තියෙන කවුන්ටරයක් පෙන්නලා මට  කියපි.. මක්ක කොරන්නද තව පැයක් නුවර ලගා ගහන්ටයි.. තාමත් ඇරලා නැති කවුන්ටරයකින් ටිකට් ගන්ටයි බල බල ඉන්නවට වඩා ඕන මගුලක් කියලා ගත්තා සෙකන්ඩ් ක්ලාස් එකක්.. ගියා ඇතුලට... 

කෝච්චිය නෙවෙයි මොන මගුල හරි කමක් නැහැ එයිට වඩා වැදගත් රාජකාරියක් වෙච්ච මුත්තරා බර සැහැල්ලු කරගන්න කියලා හිතං මහතුන්ගේ විවේකාගාරයද මොකක්ද කියලා ගහලා තිබුන පැත්තට රිංගුවා.. බලං ගිහාම අපි මේ ගණන් ගත්තේ නැති උනාට අපේ ගමේ මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්චි මහතුං අයියටත් රටේ තොටේ සෑහෙන තැනක් තියෙනවා නෙව... අපේ නමට කොහේද මේ රටේ කිසිම තැනක් තියෙන්නේ.. අඩුම ගානේ මහතුං අයියගේ නමට වැසිකිලියක් හරි තියෙන එකත් මදෑ... ගමටනේ ආඩම්බර.. නැද්ද හා..? :D

ඉතිං ඒ අවශ්‍යතාවයත් ඉස්ට කොරං ඔන්න මාත් දැන් නවත්තලා තියෙන කෝච්චියේ මේ කොනේ ඉදලා ඒ කොනට ගමන් කොරනවා.. මුලින්ම පේන්න තියෙන්නේ තර්ඩ් ක්ලාස් පෙට්ටි.. ඒ කියන්නේ සෙකන්ඩ් ක්ලාස් ටික ඇත්තේ එහා කෙරවලට වෙන්ට.. ඔන්න ඉතිං මාත් හැල්මේ යනවා ඒ අතට.. මං විතරක් නෙවෙයි බර ගානක් සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගත්ත අය හිටු කියලා හයියෙන් හයියෙන් ඒ පැත්තට යනවා.. කෙහොමත් සෙකන්ඩ් ක්ලාස් පෝලිම මීටර් දහයක් පහලොහක් තියෙද්දිත් තර්ඩ් ක්ලාස් පෝලිමේම  දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩිය හිටියේ නැහැ... ඒකේ ප්‍රතිඵල විදියට අපිට දැන් පේනවා තර්ඩ් ක්ලාස් පෙට්ටි ඔක්කෝම හිස් කියලා... අතරින් පතර කිහිප දෙනෙක් වාඩි වෙලා ඉන්නවා...

ඔන්න ඉතිං අවසානෙට අපිට හම්බු වෙනවා සෙකන්ඩ් ක්ලාස් පෙට්ටි තියෙන හරිය.. හරිය කිව්වට මොකද මෙයාලා සූ ගාලා පෙට්ටි දෙකයි... ඒවෑත් පොල් පටෝලැහේ සෙනග... වාඩි වෙනවා තියා ඇතුලට රිංගිල්ලත් කොරන්න හැකියාවක් නැති තරං... මටනං ඇතුලට රිංගන්න නැති උනාට දුකක් නැහැ.. ඒත් එයිට වඩා දුක මං ටිකට් ගන්නකල්ම මාත් එක්ක පෝලිමේ පිටිං හිටං හිනා වෙවී හිටිය සුද්දි නංගියි.. ඒ නංගිගේ කොල්ලා මල්ලියි බොහෝම අසරණ වෙලා මේ සීන් එක දිහා බලං හිටිය හැටි දැක්කමයි... අපිටනං මෙව්වා ඒ හැටි කාරණා නෙවෙයිනේ.. ඒත් ඒ උදවියට මේක තමුන්ගේ සංචාරෙදී ලබන්ට වටින තරං හොඳ අත්දැකීමක් නෙවෙයි නෙව... අන්තිමේදී ඔව්වයින් මෙව්වයින් හිත කලකිරෝගෙන ආපහු ඒ රටට ගෙහුන් “ලංකාවේ දුම්රිය සේවේනං බලු සරිය“ කියලා දන්න කියන අයට කිව්වොත් ඒක ලංකාවට නෙව හොඳ නැත්තේ.. අනික මේ යහපාලනේට අතේ සතේ නැතිව නන්නත්තාර වෙලා ණයක් ගන්ටත් හැටියක් නැතිව ලාචෝරුස් වෙලා ඉන්න අල්ලපනල්ලේ... :D එන්ට ඉන්න සුද්දත් නැති උනොත් අපේ සිරා මාමා නෙව අමාරුවේ වැටෙන්නේ...

කොහොමින් හරි ඉතිං ගත්ත ටිකැට්ටුවට හරියන්ටවත් කියලා පෙට්ටියක් ඇතුලට රිංගලා බැළුවත් ඒවායේ නෙවෙයි වාඩි වෙලා යන්ට තියා කරදරක් නැතිව හිටං යන්ටවත් ඉඩක් තිබුනේ... 

ඕන පශ්චාත් භාගයක් ප්‍රීති වෙසඟක් කියලා හිතලා මාත් ඒකෙන් බැහැලා ආයෙම ආවා තර්ඩ් ක්ලාස් පෙට්ටි පැත්තට.. ඒ ඇවිත් කරලා හිතේ හැටියට ඉඩ ඇති පෙට්ටියක සුවසේ තප්පලං දාලා වාඩි උනා...

හප්පට සිරි එතනනේ කතාව යන්නේ ගජරාමෙට...

“මම කීපාරක් අරූගෙන් ඇහුවද සෙකන්ඩ් ක්ලාස් එකේ වාඩි වෙලා යන්න සීට් තියේද කියලා.. ඌ හරියකට උත්තරයක් දුන්නෙම නැහැනේ..“ ඔන්න එක්කෙනෙක් තදින්ම කියා සිටිනවා..

“ඒක තමයි.. අයියා අච්චර අහලත් අරූ කිව්වේ නැහැනේ සෙකන්ඩ් ක්ලාස් සීට් නැහැ තර්ඩ් ක්ලාස්නං තව ඉඩ තියෙනවා කියලා... අල්ලපු වැටෙන් සහයෝගයක්...

වැඩේ නැගලා යනවා.. පෙට්ටියේ හිටිය ගෑණු පිරිමි හැමෝම දැන් එකම ගාල ගෝට්ටියයි.. බලං ගිහාම තර්ඩ් ක්ලාස් පෙට්ටියේ වාඩි වෙන හැමෝම අතේ සෙකන්ඩ් ක්ලාස් ටිකට්... විනාඩි පහක විතර කතා බහකින් පසුව දැන්නං ඔන්න තත්වේ දරුණුයි... කට්ටිය ලෑස්තිය ආපහු ගිහින් ටිකට් කවුන්ටරේ බුවාට දෙසා බාන්න... ඔය දෙසා බෑවිල්ල කෙසේ වෙතත් අවසානෙදි වෙන්නේ අරූට හොම්බෙන් යනකල් ගුටි මුරයක් කන්න බවනං පැහැදිලියි... කොහොම උනත් ඒ අස්සේ හිටිය තවත් උන්නැහේ කෙනෙක් මේ වෙලාවේ කට ඇරියා...

“ඕකුන්ට දැන් ගිහින් බැන්නොත් කතාව දුර දිග ගිහින් අවසානෙදි වෙන්නේ අපේ අතින් ඔය යක්කු ගුට කන එක.. එයින් පස්සේ වෙන්නේ ඔය කාලකණ්නි අනිත් අතට ස්ට්‍රයික් කරන එක... අන්තිමේදී අපිට ආපහු එන්න වෙනකොට මුං ස්ට්‍රයික් කර කර ඉදියි..“

ඔන්න අරූට නෙලන්න සැට් වෙලා හිටිය උන්දලා ටිකක් කූල් ඩවුන් වෙන්ට පටන් ගත්තා... “ඒකත් ඇත්ත තමයි.. මුං එහෙම කාලකණ්නි ටිකක් තමා.. අනේ මුංගේ වදාපු අම්මලගේ වලවල්වලටත් හෙන ගහනවනේ මේ කරන අසමජ්ජාති වැඩ වලට“ ඒ දහස එතැන හිටිය බවලත් උන්දෑ කෙනෙක්ගෙන්...
“ඒක තමයි.. මෙහෙම කරන උන්ටත් ඉරහද පායනවනේ.. කාලකණ්නි බල්ලෝ පනුවෝ ගහලා මැරෙන්ට ඕන“.. ඒ පාර ඔන්න ඇරඹුනා සාප කිරීමේ වාරය...

කොහොමින් කොහොම හරි අවසානෙදි අහල පහල හිටියවිසි තිස්දෙනෙක්ගේ අවලාද.. සාප කිරීම්.. බණ වැදීම් සියල්ල නිමා කරමින් කොච්චිය පිටත් වෙන්ට සූජානං කියන නලා හඩ පැතිරුණා... එයින් පස්සේ ඒ කතා බහ නිමා වෙලා ලංකාවේ ඕනම ප්‍රශ්නයකදී සිද්ධ වෙන්නා වාගෙම ඒ ඒ වෙලාවට කේන්තියට කියන කතා නිමා කරලා කට්ටියම හරි බරි ගැහිලා නිදා ගත්තා.. :D

ආයේ ඉතිං මං කියලා වෙන අහවල් එකක්ද බොලවු මාත් නිදා ගත්තා.. :D
ඇයි යකෝ මාත් අභිමානවත් සිරිලාංකිකයෙක් නෙව... :D :D :D
-------------------
කතාව එච්චරයි... හැබැයි ඉතිං මේ කරන වංචාවල්වලට මිනිස්සු සද්ද නැතිව ඉන්න එක හැමදාම වෙන එකක් නැහැ.. කොයි වෙලේ හරි ටිකැට් කවුන්ටර් එකේ බුවාට උඩ දාලා ගහන දවසකුත් එයි... ඒ හින්දා ඔය රාජකාරියේ ඉන්න ඈයෝ මේක බලනවනං හරි.. එහෙම ඈයින්ගේ නෑදෑ හිත මිත්තරයෙක් හරි මේක බලනවනං හරි... උන්නැහේලට මේ ගැන අනතුරු අගවලා තියන්න.. ටිකට් විකිණිමෙන් ලැබෙන කොමිසන් එකක් නිසා හෝ වෙනත් වාසියක් නිසා බොරු කියලා හෝ ඇත්ත නොකියා සිටීමෙන් ලගදීම දවසක උන්දලගේ බඩ කට පුරා කෑම ලැබිය හැකි බවත්... කොමිසොං එකෙන් ලැබෙන රුපියල් ගානට වඩා ගානක් බෙහෙත් හේත් සඳහා වියදං විය හැකි බවත්... ඒ ගුටිමුර නැතත් ගෙවල්වල ඉන්න දුවා දරුවන්ගේ හිටං මිය පරලව ගිය අම්මා තාත්තා දක්වාම උදවියට මිනිස්සුන්ගේ සාප කිරීම්වලට ලක්වෙන්න වෙන බවත් ඒ ඒ අයට කියලා මේ වගේ අසමජ්ජාති වැඩ නොකර යහපත් කල් කිරියාවෙන් ඉන්ටය කියලා... ඔන්න අපි ගියා.. සුභ පැරණි වසරක්ම වේවා..!

10 April 2015

බ්ලොග් වසන්තයා.. අද නෙවෙයි හෙට...


කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් එක පැත්තට අත තියන්න හිතුවා. හැබැයි ඉතිං දිගින් දිගට ලියන්න අදහසක්නං තාමත් නැහැ. ඒත් අපේ දුමී අයියා මේ ලග පාතකදී බුකියෙන් පටන් ගත්තා නෙව අළුත් වියාපාරයක් මොකක්ද මංදා වසන්තයෙක් ගැන කියාන... අවුරුද්ද කටේ තියලා බ්ලොග්වල මකුළු දැල් කඩලා තියන්න කියලා.. ආන්න ඒ වචනෙට ගරු කොරලා මාත් ඉතිං හිතා ගත්තා මොකක්ම නමුත් කෙහුරක් ලියා ඇද බාන්න ඕන කියලා... මොනවා උනත් දුමී අයියා කියන්නේ මේ බ්ලොග් ලෝකෙන් දැන හඳුනා ගත්ත හොර බොරු වංචා නැති, හිත හොද මනුස්පයා වෙච්චි... මෙහෙම කාරියකට අත ගැහුවම අපිත් සත පහකින් හරි දායක නොවුනොත් ඒ මනුස්සකොමට හරි නැහැ නෙව.. ආන්න ඒ හින්දම ඔන්න වසන්තයට මාත් දායක වෙන්න හිතුවා..

හැබැයි පුතෝ හිතන තරමට ඔව්වා කොරන එක ලේසි නැති හින්දා ලියන්ට කලියෙන් පොඩ්ඩක් වත්තේ හතර මායිං හොයා බැළුවා... ඒ කිව්වේ මේ දවස්වල බ්ලොග්වල මොනවැයි යන්නේ කියලා... වෙනසක් නැහැ.. වෙනදා වගේම මරා ගන්නවා කිසි අවුලක් නැතිව... ඒ අතරේ අපේ සිඳු නංගි වගේ කිහිප දෙනෙක් බොහෝම පාඩුවේ ඉස්සර වගේම කියවං යන්ට ඇහැකි විදියට ලිපි එහෙමත් ලියලා තියෙනවා දැක්කා.. ඒ වගේම වසන්තයාගේ නිර්මාත්තුරු ගරු කටයුතු දුමී අයියාත් ආයේ ඉතිං කාලෙකට සෑහෙන්ට වටින කියන ලිපි දෙකක්ම ලියලා තිබුනත් දැක්කා.. කොහොමත් ඉතිං ඔය යෝධයා වසරකට එකක් වගේ ලියන හින්දා ඔය දෙක ඇති වෙයි තව කාලෙකට :D 

ආ ඒ වගේම අපේ ඕනයා සුපුරුදු පරිදි අපි කාගෙත් හිත් දිනාගත්තු ඔබා අයියා වෙනුවෙන් කරන ලේ දන්දීමේ පින්කම ගැනත් මතක් කරලා ඒ අස්සෙම ඔබාඅයියා අනුස්මරණ කතා කිහිපයකුත් දාලා තිබුනා.. ඒකත් ඉතිං මල් මසුරං... ලේ දන්දීමට යන්ටත් ඕන ඉතිං මතක ඇතිව...  තව තව බොහෝම ලිපි තිබුනා රීඩරේ එකතු වෙලා.. නවසිය ගානක් ලිපි අතරින් ටිකක් හයියෙන් හයියෙන් කියවලා ලිපි තිහ හතලිහක් කියවා ගත්තා.. පුළුහං හැටියකට දෙක තුනකට කමෙන්ට් කෑලිත් ඔබලා ආවා මගේ හතර මායිං බලන්ට.. යකෝ මටත් මගේම කියලා බ්ලොග් කට්ටක් තියෙනවා නෙව... හැබැයි අන්තිම ලිපිය ලියලා තියෙන්නේ ජනවාරි මාසේ නව වැනිදා.. ඒ කියන්නේ තුංමාසයකටත් කලියෙන්... එයින් පස්සේ බ්ලොග් එකේ ලිපි කියවීම ගැන හොයා බැළුවා.. මාස තුනක් ලියලා නැතිවත් තාමත් ඔය එහෙං මෙහෙං කට්ටිය ඒ කාලේ ලියාපුවා කියවන බවත් තේරුන හින්දා තාමත් ලිව්වොත් කියවන්ට කවුරුම හරි ඉතිරි වෙලා නැතෑ කියලා හිතලා ඕං මාත් වෙලට බැස්සා...

ලියන්ට කියලා බැස්සට ආයිබෝං මොන මගුලක් ලියනවද කියලා තමා හිතා ගන්ට බැරි... දෙකක් නවන්න තිබුනනං ඔය ලියන්නේ මොකක්ද අරකද මේකද හිත හිත ඉන්න දෙයක් නැහැ.. එහෙම හිතන්නත් කලියෙන් ලියවිලා ඉවරයි.. මට තියෙන්නේ පබිලිස් බටොං එක ඔබන්න විතරයි.. ඒත් ඉතිං අමුවෙන් ලියනවා කියන්නේ ම්හූ.. අපි ඒ ගැන කතා නොකර ඉමු... ඒක දුක්ඛිතයි.. ඒ තරමටම... :D

අන්න ඒ හින්දා මං හිතා ගත්තා අදට මේ පටන් ගැනිල්ල මෙහෙම තියලා.. නොනගතේටවත් දෙකක් නවලා කරලා මේක ඉස්සරහින් වාඩි වෙන්ට කියලා... ඒ හින්දා බ්ලොග් වසන්තයාගේ ආනුභාවයෙන්.. දෙකක් නවාගෙන.. දෙක තුනක් ලියන්ට හිතාන.. දැනට ඔබෙන් සමු ගන්නා මා...

අර මොකාද එකා... :D

(දැන් ඉතිං බැන බැන යමල්ලා.. මූ විසිල් ගැහුවට බල්ටි පෙන්නුවේ නැහැ කියලා.. :D :D :D )

-------------------
ආ තව පොඩි ඉල්ලීමක් තියේ...

බ්ලොග් වසන්තයා හින්දම ආයෙම ලියවුන බ්ලොග් ලිපි වල ලින්ක් ටික දෙන්ට කාට හරි ඇහැකිද..? එහෙම උනානං පොඩ්ඩක් පහසුයි. දැනටම එහෙම ලින්ක් ටික විතරක් ඇති තැනක් ගැන කවුරු හරි දන්නවනං කියමු... නැත්තං එහෙං මෙහෙං හොයාගෙන ඒවා කියවන්න ගියාම ගත වෙන කාලේ වැඩියි.