04 May 2015

එවන් කලක් යලි නොඑන්නට...

video
(වීඩීයෝව උපුටා ගත්තේ බුකියෙනි)

අපේ රටේ මෙහෙම අවස්ථාවල මේ විදියට රෑගත කරලා හදාපු වීඩීයෝ නැහැ... විදේශ රටක උනත් මේ දර්ශන බලන කොට ඒ අත්දැකීම් අපිට අමුතු දේවල් නෙවෙයි...

විශේෂයෙන්ම අනුන්ගේ රටවල අහක යන යුද්ද ඇති කරලා ඒවට හොට දාන හමුදාවක සාමාජිකයින් නොවී තමන්ගේම රටේ ඇති උන යුද්ධයකදී ඒවට දායක වෙන්න ගිය පවුලේ සාමාජිකයින් නැවත අපි අතරට එද්දි දැනෙන දේ... ඒක වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි...

ඒක තවත් සුවිශේෂී වෙන්නේ දශක තුනකට ආසන්න යුධ කාලයකදී අවසානම සමය හැරුනු කොට එයට පෙර කාල වලදී යුද්ධය තනිකරම ව්‍යාපාරයක් බවට පත් කරගත්ත දේශපාලන නායකයින් නායිකාවන්.. ව්‍යාපාරකයින් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් යැයි කියාගත් අමු වසලයින් ඇතුළු කාලකණ්නි මස්වැද්දන්ගේ සූදු පිටියක් වෙච්ච කාලයක.. නිකරුනේ තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතය ඒ යුධ සූදුවට බිලි වෙයි කියලා හිත හිත... හැම දවසකම ගමේ පන්සලේ බෝධිය ගාවට ගිහින් තමන්ගේ හිතට දැනෙන දුක කිය කිය දෙවියෝ බුදුන් වැද වැද අසරණව හිටිය දෙමාපියන් හිටිය රටක් වෙන නිසයි...

මේක බලද්දි මට මතක් උන මගේ ජීවිතේටත් සමීප බොහෝ දෙනෙක් නිතැතින්ම සිහියට එන එක වලක්වන්න පුළුවන්කමක් නැහැ...

එයින් එක්කෙනෙක් අපේ නැන්දගේ පුතා... නැන්දගේ දරුවෝ අතරින් තුන් දෙනෙක්ම ආරක්ෂක අංශයේ සේවය කලේ.. එකිකෙනෙක් කොමාන්ඩෝ බලකායේ... අනිත් කෙනා එස්ටීඑෆ් බාලම පුතා පොලිසියේ...මීට අමතරව දුවලා බැදපු බෑනලා දෙන්නෙක්ම පොලිසියේ.. චන්දයක් කිට්ටු වෙද්දි ඒ දවස්වල නිතරම යුද්ධයක්... ඒ තමයි ඒ කාලේ රටේ දේශපාලනය කල උන්ගේ හැටි... චන්දේ ඉවර වෙච්ච ගමන් කරපු යුද්ද නවත්තලා ආපහු අකුලගන්නවා.. යුද්ධේ හින්දා මිය ගිය ආබාධිත වෙච්ච අතුරුදන් උන අය ගැන වගකීමක් උන්ට තිබුනේ නැහැ... ඒ තමා උන් කල දේශපාලනේ...

ඉතිං යුද්ධය තදින් යන හැම කලෙකම නැන්දයි මාමායි හිටිය විදිය හැමදාම පත්තර බලන්න ඒ ගෙදර යන එකෙක් හැටියට මම හොඳින්ම දැනං හිටියා... දෙයියන්ගේ පිහිටෙන් ඒ එක්කෙනෙකුටවත් කිසිම කරදරයක් උනේ නැහැ... හැබැයි...

එක පාරක් හවස් වරුවක මිනිස්සු නැන්දලගේ ගෙදර පැත්තට දුවනවා දැකලා මාත් දිවුවා... නැන්දලගේ ගේ ගාව මිනිස් පොදියයි... හැමෝම වගේ අඩනවා දොඩනවා... ඒ අතරේ තවත් සමහරු ඉක්මනට වැඩට බැහැලා අහල පහල සුද්ද කරලා සුදු කොඩි දාන්න ලෑස්ති වෙනවා... හේතුව පොලිසියෙන් ඇවිත් පණිවිඩයක් දීලා ගිහින්.. නැන්දගේ බාලම පුතා... XXX අයියා බෝම්බෙකට අහුවෙලා මිය ගිහින් කියලා... අයේ ඉතිං තත්වේ මම කියන්න ඕන නැහැනේ... මුළු ගමම මළ ගෙයක් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ... ඒත් රෑ නවය විතර වෙද්දි ආයෙමත් පණිවිඩයක් ආවා.. අපේ අයියා නෙවෙයි.. ඒ නමම තියෙන වෙනත් පොලිස් නිලධාරයෙක් මිය ගිහින් තියෙන්නේ කියලා.. යාන්තං ගමේ ගින්නත්.. මාමලගේ ගෙදර ගින්නත්... නැන්දගෙයි මාමගෙයි අපේ හිත්වලයි තිබුන ගින්නත් නිවිලා ගියා... ඒත්... අපේ ගින්න නිවෙන තත්පරයේදීම... ලංකාවේ කොහේ හරි අපි නොදන්න තැනක.. ඒ ගින්නම එ් විදියටම ඇවිලෙනවා කියන එක මට එදා පොඩි එකෙක් හැටියට අවබෝධ උනේ නැහැ.. ඒත් දැන් තමයි තේරෙන්නේ... තැන විතරයි වෙනස්.. ගින්න එහෙමමයි කියලා... ඉතිං ඊට පස්සේ අයියා ගෙදර ආපු දවස ගැන සහ එදා නැන්දලගේ ගෙදර තත්වය ගැනත් මම කියන්න උවමනා වෙන එකක් නැහැ...

ඒ එක අත්දැකීමක්.. ඊ ළග එක මට ඒ තරම්ම සමීපව අත්විදින්න උනේ නැත්තේ මේ වගේ මම ඒ අවස්ථාව වෙලාවේ ගමේ හිටියේ නැති හින්දා... ඒත් ඒකත් මෙහෙමමයි... මට මතක හැටියට ඒ වරක් පුනරීන් කදවුරට කොටින් විසින් එල්ල කල දැවැන්ත ප්‍රහාරය වෙන්න ඕන... හමුදා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් මිය ගිහින්.. ඒ වගේම පිරිසක් අතුරුදහන් වෙලා තිබුනා... පහුවදාම හේ දින තුනකට පස්සේ අපේ ගමේ ගෙදරකට ඒ මූසල පණිවිඩය ලැබුනා... මමත් කුඩා කල ඉගෙන ගත්ත ගමේ පොඩි ඉස්කෝලේ අසලම ගෙයක්... මේ ගෙදර ප්‍රසිද්ධ වෙලා තිබුනේ ගෙදර මිදුලේ තිබුන විශාල ගහක නමින්... ඒ ගමේ නම කියලා අහවල් ගහේ ගෙදර කිව්වනං පළාතම දන්නවා...ඒ ගෙදර දරුවන් පස් දෙනෙයි.. කොල්ලෝ තුනයි කෙල්ලෝ දෙකයි.. එයින් ලොකු පුතා විශ්ව විදයාලයක ආරක්ෂක අංශයේ හිටියේ.. දෙවැනියා තමා හමුදාවේ හිටියේ... ඔහු ගමේ ප්‍රසිද්ධම වෙලා හිටියේ ගමේ කොට්ටා පොර ශූරයා විදියට... කොට්ටා අවුරුදු කාලෙට ගෙදර හිටියොත් ඔහු ගොඩවෙන කිසිම කොට්ටා පොරයක දිනුම වෙන කාටවත් ගන්න බැහැ... හකු පාඩා එළියට පනින තරමට කට තදින් පියාගෙන ප්‍රතිවාදීයා එක්ක කරන ඔුනෑම දරුණු කොට්ටා ප්‍රහාරයක් දරාගෙන සිටිමින් එක් වරම හෙන ගහන්නාක් වැනිව එක්ක කරන එකම එක කොට්ටා ප්‍රහාරයකින් අනිකාව බිම හෙලිමට ඔහුට තිබුන හැකියාව අදටත් මට සිහියට නගා ගත හැකියි...

අර කිව්ව ගෙදර පණිවිඩය ආවේ ඒ පුතා අතුරුදන් කියලයි... එතනත් ඉතිං තත්වය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... හැබැයි එයිටත් දින කිහිපයකට පසුව තදින් අවුවට පිලිස්සීමෙන් ලද තුවාල රාශියකුත්.. තවත් සිරුර පුරා වූ තුවාලත් සමගින් මේ කොල්ලා පාන්දරක ගෙදරට ඇවිත් තිබුනා.... සැතපුම් තිහකට ආසන්න ප්‍රමාණයක් කරවටක් මුහුදේ ගිලෙමින් ඉතා දුෂ්කර ගමනකට පසුව ආරක්ෂිත ප්‍රදේශයකින් ගොඩබිමට පැමිණ බොහෝම දුර්වලව අවසානයේ නිවස කරා එන්න ඔහුට හැකියාව ලැබී තිබුනා... එයින් පසුව සති කිහිපයක් ඔහු සේවයට වාර්ථා නොකර සිටියත් අවසානයේ සුවය ලැබූ පසු සියල්ලන්ගේම විරෝධය මැද නැවතත් සේවයට වාර්ථා කර තිබුනා... පසුව මේ වැනිම දිවි බේරා ගැනීම් කිහිපයකටම ඔහු සමත්කම් දක්වලා තිබුනත්... ඔහුට ලැබුන අවස්ථාව නොලද පිරිස දහස් ගණනක් මේ යුද්ධයේදී සිය තරුණ ජීවිත නිමා කරන්නට යෙදුනා...

තෙවැනි අත්දැකීම අර දෙකටම වඩා නරක එකක්... ඒ අපේ තවත් මාමා කෙනෙකුගේ බාල පුතා... ඒ පවුලෙත් ළමයි පහයි.. කොල්ලෝ දෙකයි කෙල්ලෝ තුනයි.. පවුලේ බාලම පුතා තමා හමුදාවට ගියේ.. මට වඩා වසර කිහිපයක් වැඩිමල්... ඔහු අනිත් දෙන්නටම වඩා මාත් එක්ක සමීප ඇසුරක් තිබුන කෙනෙක්.. එකක් වයස් පරතරය අඩු වීම.. අනික මාව දහම් පාසල්වලට ඇරලා ඇරලා හෙම්බත් වෙලා හිටිය අපේ තාත්තා වරක් අළුතින් ගමේ ඈත තිබුන රජමහා විහාරයේ දහම් පාසලට ඇතුලත් කොට මාව බලාගන්න බාර දුන්නේ මේ කියන අයියාට වීම... උදේ හවස දහම් පාසලට මාව රැගෙන යාමත්.. නිතර දෙවේලේ රන්ඩුවලට පැටලෙන මාව එයින් ඉවත් කර තබා ගැනීමත් බාර උනේ ඔහුට.. ඉතාමත් ගුණයහපත් අයකු වූ ඔහු ඒ වගකිම හොදින් ඉටු කල ආකාරය මට මතකයි... ගමේ කිසිම කෙනෙක් සමග කවදාවත් රණුඩවකට නොගිය බොහෝම අහිංසක චරිතයක් උන ඒ අයියට අර කලින් කියපු දෙන්නට ලැබුන අවස්ථාව හිමි උනේ නැහැ... යන්තම් දහ අට පිරෙද්දිම අධ්‍යාපනයට සමු දුන්න ඔහු රට වෙනුවෙන් යුද්ධයට ගියා... හමුදාවේ විශේෂ බලකා භටයකු ලෙසින් වසර කිහිපයක්ම සේවය කල පසුව දිනක් මෙහෙයුමක් අතරතුරදී හිසට වැදුන මෝටාර් කැබැල්ලක් ඔහුගේ ජීවිතය අවසන් කර තිබුනා...මේ වන විට මගේ ගෙවල් පාරට උඩින් පිහිටා ඇති ඔහුගේ නිවාසය ඇති පාර නම් වෙලා තිබෙන්නේ ඔහුගේ නමින්... “රණවිරු XXX XXXXX මාවත“ හැමදාමත් ගෙදර යනකොට ඔය නම සහිත ප්‍රදේශීය සභාවෙන් සවිකල නාම පූවරුව දකිනකොට මට අයියත් එක්ක දහම් පාසල් ගිය කාලය සිහිවෙන්නේ නිතැතින්මයි... මට එහෙමනං ඒ ගෙදර මිනිස්සුන්ට ඔහුගේ මතකය කොයි තරම්නං දුකක් අදටත් ඇති කරනවා ඇද්ද..?

ඉතිං ඒ තරම් සමීප අත්දැකීම් රාශියක් ඇති අපට මේ වැනි වීඩීයෝවක් දකින කොට ඒ ඒ අවස්ථාවන් ගැන සාමාන්‍ය අයට දැනෙනවාටත් වඩා තදින් ඒ අවස්ථාව දැනීම අමුතු දෙයක් නෙවෙයි.. මෙච්චර දිගට ලියන්න උනත් ඒ අපව පොළඹවන්නේත් ඒ හැගීම විසින්මයි... මොන විදියේ මිලක් ගෙවා හෝ ඒ යුද්ධය නිමා කර දැමීම මේ තරම්ම අපට වටින්නේත් ඒ නිසයි... 

එවන් දුක්ඛිත කාලයක් නැවත නොඑළඹෙන... නිවට කුහක සටකපට රූකඩ දේශපාලකයින්ගේ උවමනා එපාකම් නිසා නැවත රටේ යුද්ධයක් ඇතිවන තත්වයට කරුණු කාරනා පෙල ගස්වන්නේ නැති... අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන් අහිමි නොවන.. දරුවන්ට තමාගේ දෙමාපියන් අහිමි නොවන... බිරින්දෑවුන්ට සැමියන් අහිමි නොවන.. සොහොයුරු සොහොයුරියන්ට තමන්ගේ සොහොයුරන් අහිමි නොවන.. මිතුරන්ට මිතුරන් අහිමි නොවන... යුද්ධයකට පාර නොකැපෙන අනාගතයක් කොයි තරම් වටිනවාද..?

මිය ගිය.. අතුරුදන් වූ.. ආබාදිත වූ අයගේ ගෞරවයත් රැකගෙන... ඔවුන්ගේ සමීපතමයින්ගේ සිත්වලටත් දුකක් කලකිරීමක්.. කණගාටුවක් ඇති නොවන.. ගෞරවාන්විත සාමයකින් යුතු කලක් හැමදාමත් අපට හිමි විය යුතුයි නොවේද..? එදාට මෙවැනි සංවේදී අත්දැකීම්වලට මුහුණ පෑමට අපට සිදු නොවනු ඇත.