14 July 2015

2020දී චම්පිකට ජනාධිපති විය හැකිය.

වර්ෂ 2020 වන විට මෙරට ජනපතිවරයා වීමට චම්පික රණවකට හැකියැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් දැනට මාස කිහිපයකට පෙරදී නිකුත් කරනු ලැබුවේ ගරු කටයුතු අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි. එහෙත් එකී ප්‍රකාශය බොහෝ දෙනාගේ අපහාස උපහාස හා සමච්චලයට ලක්ව යටපත්ව යන ලදි. එහෙත් අපගේ අදහස නම් එකී ප්‍රකාෂයෙහි සියයට පනහකට වඩා සිදුවීමේ සම්භාවිතාවක් ඇති බවයි. ඒ පිළිබඳව කෙරෙන්නා වූ කෙටි පැහැදිලි කිරීමකි මෙකී ලිපිය.

උක්ත ප්‍රකාශය නිකුත් කල අවස්ථාවේ සිට මේ දක්වා ගත වූ කාලය තුල ශ්‍රී ලාංකික දේශපාලන කරලිය තුල සිදු වූ සිදුවීම් සියල්ලම නැතත්, සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ අප සියළු දෙනාම දනිමු. රහස් කුටිවල කෙරෙන සීමිත පිරිසකගේ සංවාදයන් වැනි දේ අපට දැන ගන්නට මාර්ග නැතත්, එකී මණ්ත්‍රණයන්ගෙන් පසුව ප්‍රායෝගික තලයෙහි ඔවුනොවුන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග අප විසින් දකිනු ලබයි. එහෙත් මේ වන විට මුළු මහත් ශ්‍රී ලාංකික ජනයාගේම කුකුසට භාජනය වන හැසිරීමක් ඇති අයකුද වෙයි. ඒ අන් කවරකුවත් නොව අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

කවර කලකවත් මෙතරම් ගුප්ත හැසිරීම් ඇති ජනපතිවරයෙක් අප දැක නැත. ඇතැම් විට ඔහුගේ ක්‍රියාකලාපය අනුව එකක් කියා තව එකක් කරන, මුලින් කියන දේ නැවතත් වෙනස් කරන අන්දමේ ගති ලක්ෂන දැකිය හැකි මුත්, ඔහු කිසියම් පූර්ව සැලැස්මකට අනුව කටයුතු නොකරනවා යැයි අපට කිව නොහැක. ඔහුගේ දේශපාලන පෙරලිය ආරම්භ වූ තැන පටන්ම ඔහුගේ ගමන මෙසේ විය. ප්‍රතිවාදියා අන්දමන්ද කරවන සුළු විය. එහෙත් ඔහු ක්‍රමයෙන් ඔහුගේ ගමන කිසිදු ගැටළුවකින් තොරව අවශ්‍ය තැනට මෙහෙයවමින් සිටී. මෙය ඔහුට පක්ෂ විපක්ෂ කොයි කා විසිනුත් පිළිගත යුතු තත්වයකි.

දැන් අප බලමු චම්පික රණවකයන් හට 2020 වන විට ජනපති වීමේ හැකියාව කොයි ආකාරයක පවතීද යන්න. (පූර්‍වයෙහි ගරු ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ හැසිරීම ගැන සඳහන් කලේ මෙකී කාරණයට එම හැසිරීම සෘජුවම බලපාන අන්දමක් දකින්නට ඇති නිසාය.)

2020 ජනපති වීමට පෙර මෙවර මහ මැතිවරණය හා එයින් පසුව පිහිටවනු ලබන රජය ගැන අපි මොහොතකට අවධානය යොමු කරමු.

ඉදිරි මැතිවරණ ප්‍රතිඵලය බෙදුනු එකක් වීමට ඇති අවස්ථාව ඉතා ඉහල බව මධ්‍යස්ථ දේශපාලන දැක්මක් ඇති කා හට වූවත් දැක ගත හැකි තත්වයකි. කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශවයකට හෝ පාර්ලිමේන්තු ආසන 113ක ස්ථාවර බහුතරයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. වත්මන් තත්වය අනුව නැවතත් එක්සත් ජනතා නිදහස් සංධානය හිටපු ජනපතිවරයා යටතේ විශාල පණක් ලබා මෛත්‍රී මැතිදුන්ගේ අනුග්‍රහයද ලබාගෙන බලවත් තත්වයක පසු වේ. එහෙත් ඔවුනටද ආසන 113න තනිව ඉක්මවා යෑම පහසුවෙන් කල හැක්කක් වන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයට ආසන සියයක් ලබා ගැනීමත් අපහසුය. එසේ වන විට අනිවාර්‍යයෙන්ම මේ පක්ෂ දෙකෙන් එක් පක්ෂයකට රජයක් පිහිටවීමටනම් අන් පාර්ශවයක පිහිට පැතීමට සිදුවනු ඇත. නැතිනම් මෛත්‍රීපාල ජනපතිතුමන් මුල පටන්ම කියනු ලැබූ ජාතික ආණ්ඩු සංකල්පයට යන්නට සිදු වේ.

අපගේ තර්කය ආරම්භවන්නේ මෙම අවස්ථාවේදීය.

බහුතර ආසන සංඛ්‍යාවක් රහිත තත්වයකදී නව රජයක් පිහිටවීමේ වැඩිම හැකියාව ඇත්තේ කා හටද?
රනිල් වික්‍රමසිංහයන්ටද?
මහින්ද රාජපක්ෂටද?

රනිල් වික්‍රමසිංහයන්ට පැහැදිලිවම නව රජයක් පිහිටවීමට නම් ද්‍රවිඩ ජාතික සංවිධානයත්,මුස්ලිම් කොන්ග්‍රසයත් සම්බන්ධ කර ගැනීමට සිදු වනවාමය. ජනතා විමුක්ති පෙරමුණ සැලකිය යුතු තරම් ආසන ගණනක් ගනීවි යැයි සිතිය නොහැකි අතර එසේ ගත්තා වූවද ඔවුන් රජයක් පිහිටවීම වැනි බැරෑරුම් කාර්යයකදී කිසිසේත්ම විශ්වාස කල නොහැකි කඩාකප්පල්කාරීන් පිරිසකි. එහෙයින් රනිල් වික්‍රමසිංහයන් කෙසේවත් එම පක්ෂයත් සමඟ “සෘජු“ ගනුදෙනුවක් කරනු ඇතැයි සිතිය නොහැක. කරනා ගනුදෙනුවක් කල හැකි වන්නේ සුළු ජාතික පක්ෂ සමඟින්ය. එහෙත් මේ වන විට සුළුජාතික පක්ෂ වල ඉල්ලීම් ඉතාමත් බරපතල අන්දමේ ඒවා බව කිව යුතු නොවේ. එවැනි තත්වයක් මත ඔවුන් සමඟ රජයක් ගෙන යාමේදී රටේ බහුතර ජනයාගේ බලවත් විරෝධය එල්ලවන අන්දමේ තත්වයක් ඇතිවීම වැලැක්විය නොහැකි කාරණයකි. වසර පහක් මෙවැනි තත්වයක් කලමනාකරණය කිරීම කිසිසේත්ම කල හැකි තත්වයක් නොවේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහයන්  බෙදුම්වාදයට සහය දක්වන්නකු ලෙසින් ඇති ලේබලයත් සමඟින් එය රටේ බොහෝ ගැටුම් හා ප්‍රශ්නයන්ට මුල් විය හැකි තත්වයකි.

එසේ නැතිනම් රනිල් වික්‍රමසිංහයන්ට ඇති අනිත් විකල්පය වන්නේ සංධාන මංත්‍රීන් බිලී බෑමයි. එයද එතරම් පහසු නොවනු ඇත්තේ මෙවර සංධානයෙන් ජයගනු ලබන අපේක්ෂකයින්ගෙන් සියයට අනූනවයක්ම දෙනා මහින්ද හිතවාදීන් වීම මතය. එහෙත් මෙය යම් යම් කොන්දේසි මත කල හැකි අවස්ථාවක්ද ඇත. විශේෂයෙන්ම මෛත්‍රීපාල මැතිඳුන්ගේ අනුග්‍රහයත් සහිතව රනිල් හැර වෙනත් විශ්වාසදායී අයකු අගමැති කොට යූඇන්පී බහුතර ඇමති තනතුරු සහිත රජයකට යාමට හැකියාවක් ඇත. මෙහිදී අගමැති ධූරයට පත්වන පුද්ගලයා ජනතාවගේ විශේෂ පිළිගැනීමකට ලක්වූ අයකු වීමත්, මැතිවරණය විශිෂ්ඨ ලෙසින් ජයගෙන තිබීමත්, මෛත්‍රීපාල මැතිඳුන්ට විශ්වාසි අයකු වීමත්, එජාපයේ හා සංධානයේ සෙසු මංත්‍රීවරුනට නායකත්වය දිය හැකි අන්දමේ පෞරෂයක් ඇති අයකු වීමත්, නිසි දැක්මක් ඇති අයකු වීමත් ,ජාතික නායකයකු වශයෙන් රටම පිළිගනු ලබන අයකු වීමත්, තිබිය යුතුම සුදුසුකම් වේ. ඔහුගේ පත්වීමට දෙපාර්ෂවයේම කැමැත්ත ඇති විය  යුතුය.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පිහිටවීමේ හැකියාවේ තරමයි.

අනිත් පසින් මහින්ද රාජපක්ෂට රජයක් පිහිටවීමට නම් කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීන් බිලී බෑමට සිදුවනු ඇත. ඒ හැර සුළු ජාතික පක්ෂ සමඟ ගනුදෙනුවලට යාමට ඔහුට හැකියාවක් නැත. සුළු ජාතික පක්ෂ ඔහුට සහය දක්වනවාට වඩා රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට කැමති වනු ඇත. එයට වඩා එක්සත් ජාතික පක්ෂයෙන් බිලී බෑම ඔහුට පහසු හා හුරු පුරුදු ක්‍රීඩා රටාවයි. මෙයටත් ඉතා වැඩි අවස්ථාවක් ඇත. කෙසේ වෙතත් මෙයට මෛත්‍රීපාල මැතිඳුන්ගේ සහය නම් ලැබීම අසීරු වනු ඇත. කෙසේ හෝ  එවැනි තත්වයක් මතු වූවහොත් එයට ඉඩ දීමට මෛත්‍රීපාල මැතිඳුන්ට සිදු වේ. පවතින තත්වය තුල එයට ප්‍රසිද්ධියේ එරෙහිවීම කල හැකි දෙයක් නොවේ. ඒ අනුව මහින්ද රාජපක්ෂට ඇති අවස්ථාව රනිල් වික්‍රමසිංහයන්ට ඇති අවස්ථාවට වඩා ප්‍රභලය. ඒ එක්සත් ජනතා නිදහස් සංධානයට ඇති ආණ්ඩු පිහිටවීමේ හැකියාවයි.

කෙසේ වෙතත් දෙවැනියට කී ආකාරයට මහින්ද රාජපක්ෂ අගමැති වී රජයක් පිහිටවීමට ආසන්න තත්වයක් පැමිණියහොත් (බොහෝ විට සිදු විය හැක්කේ මෙයයි) රනිල් වික්‍රමසිංහ නායකතුමා හට ඔවුන්ගේ පාර්ෂවයෙන් ගත හැකි අවසාන විසඳුම දක්වාම යනවා හැර වෙනත් හැරීමක් නොමැත. එනම් ජාතික ආණ්ඩුවකට යාමයි. එහිදී ඔහුට අගමැතිකම පිළිබඳව වූ සිහිනය අතහැර දමන්නට සිදු වෙයි. පසුගිය කාලසීමාව තුල සිදු වූ බොහෝ දේ නිසා මෛත්‍රීපාල මැතිදුන් රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ හැසිරීම ගැන කලකිරී ඇති බව ප්‍රකට කරුණකි. මහින්දට නැවත පාර කැපීම සිදුවන්නේත් රනිල්ව තරමක් මට්ටු කරවීමට බව පැහැදිලි කරුණකි. එහෙයින් විය හැකි දේ වන්නේ මෛත්‍රීපාල මැතිදුන්ගේ ආශීර්වාදය සහිත, ඔහුට විශ්වාස කල හැකි පෙර කී ආකාරයේ අගමැතිවරයකු ප්‍රධාන කොට බිහිවන නව රජයකි. එහිදී රනිල් වික්‍රමසිංහ නායකතුමාටත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂටත් බරපතල ලෙසින් විරුද්ධ වීමට අවස්ථාවක් නැති වෙයි.

මෙන්න මේ අවස්ථාවේදී අප කල්පනා කල යුත්තේ මෙම අගමැති තනතුර දරමින් ජාතික ආණ්ඩුවකට නායකත්වය දිය හැකි පුද්ගලයා කවුරුන් විය හැකිද යන්නයි.

එහිදී නොයෙකුත් අය සමඟ සංසන්දනය කර බලමින් කාලය කන්නට මා අදහස් නොකරමි. එය ඔබලාටම කරගන්නට පසුවට තබමි. 

අපගේ මතය නම් ඒ සඳහා හොඳම අවස්ථාව ඇත්තේ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට බවයි. එතුමාට ඒ සඳහා හොඳම අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂය තුලින්ම උදාකරදී ඇත. එනම් මේවන විට ඔහු පැහැදිලිවම තරඟ වඳින්නේ එක්සත් ජාතික පක්ෂය තුලිනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයකු අගමැති වීම සිදු වේ.  විශේෂයෙන්ම රණවක මහතා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් මනාප සටනේදී රනිල් වික්‍රමසිංහ නායකතුමාව අභිභවා යාමේ විශාල හැකියාවක් සහිත අයෙකි. කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහයන්ගේ බටහිරට බර අදහස් නිසා ඔහු ගැන කලකිරීමෙන් සිටිනා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාටද තමන් තුල සැඟවී සිටින දේශප්‍රේමියා අවදි කරවිමට මෙම ඡන්දයේදී මහඟු අවස්ථාවක් ලැබී ඇත. ඒ පාඨලී චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් සිය මනාපයක් සටහන් කර රට දැය සමය ගැන සිතනා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් පෙරමුණට ගැනීම තුලිනි. 

පහුගිය කාලය පුරාවටම දේශද්‍රෝහී චෝදනාවෙන් පීඩාවට පත්ව සිටින බහුතර එක්සත් ජාතික පාක්ෂිකයාට සිය කලු පැල්ලම් මකා ගැනීමට මෙයට වඩා අවස්ථාවක් යළිත් උදාවන්නේ නැත. බුද්ධිමත් ඡන්දදායකයින් වශයෙන් ඔවුන් ඒ අවස්තාව යොදා ගන්නවාට කිසිඳු සැකයක්ද නැත. දැනටම එක්සත් ජාතික පාක්ෂිකයා තුල රණවකයන් විසින් ඇති කර ඇති ප්‍රබෝධය සුළු පටු නැත. එය පසුගිය කාලය පුරාවටම මැතිවරණ වේදිකා තුලත් ඉන් පිටතත් දකින්නට ලැබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නැවතත් ඩී එස් යුගයකට යන්නට හැකි නායකයකු ලැබුනා කියා සතුටු වී තම පක්ෂයට රජයේ වැඩි අයිතිය ලබා ගැනීමේ හැකියාව හිමිවේ. 

අනිත් පැත්තෙන් ගත් කල සංධානයටද චම්පික රණවකයන් ප්‍රතික්ෂේප කිරීමට බලවත් හේතු නැත. ඒ ඔහු කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ අයකු නොවන නිසා සංධානය පැත්තේ අයටත් නායකත්වය දිය හැකි අන්දමේ මධ්‍යස්ථ අයකු ලෙසින් ඔවුනටද බාර ගැනීමට සිදු වේ. එසේම වැඩි කාලයක් සංධානයේ සාමාජිකයකු වශයෙන් ඔහු කටයුතු කර ඇති නිසා දැනට ඇති වී ඇති සුළු සුළු හිත්අමනාපකම් දුරලා ඔහුත් සමඟ ගමනක් යාමට සංධානය එකතු කරගැනීමට ඔහුට අපහසු විය නොහැක. එයට ජනපතිඳුන්ගේත් පූර්ණ අනුග්‍රහය හිමිවන තත්වයක් මත එය පහසුවෙන්ම විය හැකි කාරණාවකි. සංධානයට ඡන්දය දෙන බහුතරය සිංහල බෞද්ධ පසුබිමක් මත කටයුතු කරන අය නිසා ඔවුනව නැවත පහදවා ගැනීම චම්පික රණවක මැතිතුමාට අසීරු වන කරුණක්ද නොවේ. අවශ්‍ය වන්නේ පසුගිය කාල සීමාවේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ මෙවැනි තත්වයක් උදාකරවා පූර්ණ රාජ්‍ය බලය සිංහල බලවේග අතට ගැනීමට බව පැහැදිලි කරවා දීම පමණි. එම පැහැදිලි කිරීම හරියාකාරව සිදු වූවහොත් චම්පික වටා සංධානයේ සියල්ලන්ම රොද බඳිනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන ගරු ජනපතිතුමාටත් තමාගෙන් පසුව රට නියම මගක ගෙන යා හැකි අයකුට බලය බාර දුන්නා යැයි සිතා සතුටු විය හැකිය. විශේෂයෙන්ම බලයට කෑදර නැති අභිනව ජනාධිපතිතුමා “රනිල් - මහින්ද“ දෙදෙනාට වඩා චම්පික කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට නොපැකිලෙනු ඇත. රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් මෙවැනි තත්වයක් මත පක්ෂයේ බහුතර මතයට එරෙහිව යන්නට නොහැකි වනු ඇත. විශේෂයෙන්ම කොළඹදී ඔහු චම්පිකට පැරදී හෝ, චම්පික හා සම සම තත්වයකට පැමිණ සිටියහොත් ඔහුට තමාගේ පය පසුපසට ගෙන රටේත් පක්ෂයේත් කැමැත්තට හිස නමන්නට සිදුවනු ඇත.

එසේ ගත් කල ඉදිරි මැතිවරණයේදී ඇතිවන ව්‍යාකූල තත්වය මත අළුතින් පිහිටවන්නට යෙදෙන නව රජයේ අගමැති පදවිය දැරීමේ වැඩිම අවස්ථාවක් ඇති පුද්ගලයා වන්නේ ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ය. මේ ගැන කිසිවකුට හෝ සැකයක් ඇතිනම් රනිල් හා මහින්ද යුගලය ඉවත් කොට හිස්තැනක් ඇති කර එයට සුදුසු පුද්ගලයින් ලෙස තමා කැමති අය යොදවා ඔවුනට ඇති අවස්ථා ගැන කිරා මැන බැලීම කල හැකිය. එහෙත් ඒ කිසිවකුටත් චම්පික රණවකයන්ට ඇති අවස්ථාව නැති බව පැහැදිලිය. විශේෂයෙන්ම ආණ්ඩු තනන්නා බවට පසුගිය කාලයේදී පත් වූ රාජිත සේනාරත්න මැතිතුමාගේත් නිසැක තේරීම රණවකයන්ම වන බැවිනි. (ඔහුගේ අරමුණ විය හැක්කේ රණවක මැතිඳුන් ජනපතිවන දිනක අගමැති ධුරයට පත්වීම විය හැකි බව අපගේ පෞද්ගලික අදහසකි. එය සඳහන් කොට තැබීම වැදගත් බව සිතමි.)

මේ අනුව 2015 වසරේ මහ මැතිවරණයෙන් පසුව පිහිටවන නව රජයේ අගමැති ධූරය හිමිවනු ඇත්තේ චම්පික රණවක මැතිතුමාට නම්, 2020 ජනපති වන්නේ කවුද යන ගෞරවනීය රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය යතාර්ථයක් නොවන්නේ කෙසේද?

_______________________________

අඩවි හිමිකරු වන මංතුමාගේගේ සටහන...

මේක මගේ සටහනක් නෙවෙයි... මාගේ හිතවත් පාඨලී සරණ ගිය අයකුගේ සටහනක්... මේ සම්බන්ධව තර්ක කරද්දි ඒ අදහසේත් පොඩි ලල් එකක් තියෙන බව තේරුන හින්දා වැදගත් විදියට ලියලා දියං බ්ලොග් එකේ දාලාම උඹට හොදවායින් අස්සවලා දෙන්න... කිව්වම ලියලා දුන්න එක.. පොඩි පොඩි අකුරු වැරදි ඡේද කැඩිලි වගේ වෙනස්කං ඇර වෙන කිසිම දෙයක් මගෙන් වෙලා නැත. තර්කයක් හැටියට ගත්තම මේකා කියන කතාවේ මොකාක්ද මංදා අමුත්තක් නැත්තෙමත් නැහැ... ඒත් මේකේ බරපතල අවුලක් තියෙනවා කියලා මට හිතෙන එක නවතින්නෙත් නැහැ... මටත් වඩා හොඳට කියවන අයම මේක බලලා අදහසක් දෙයි කියලා හිතුන හින්දා ඔන්න ඌ ලවා ලියවපු සටහන මේකේ ඔබලා දානවා... මේකේ තියෙන අවුල පැහැදිලි කරන එක කියවන අයට බාරයි...

(මොන මගුල හරි කමක් නැහැ චම්පිකයව ෂේප් එකේ තියාගන්න වෙයි වගේ මෙහෙම බලද්දිනං.. :D :D :D )