14 September 2015

බිත්තර තම්බන්න ඉගෙන ගමුදෑ..?

මේක ටිකක් විහිළුවක් වගේ නෙහ්..?

අපි ඉස්සර කාට හරි අපේ ඉවුම් පිහුං හැකියාව ගැන කියද්දි විහිළුවට වගේ කියන්නේ..“ හහ් මාත් දන්නවා බිත්තර තම්බන්න.. පපඩම් බදින්න වගේ දේවල්“ කියලනේ...

ඒකෙන් කියවෙන්නේ ඔය දෙක කරන්න අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ කියන එකනේ.. බිත්තරයක්නං වතුර එහෙකට දාලා රත් කරලා තම්බගත්තා... පපඩම්නං රත් උන තෙලට අතෑරියා බැදගත්තා... ඔව්වත් මහ වැඩද කියල නෙව...

ඒත් ඉතිං හරියට රත් නොවුන තෙලේ පපඩම් බැදලා පපඩම් හං උන වෙලාවටයි... රත් වෙලා වැඩි තෙලේ පපඩම් බැදලා පපඩං අගුරු උන වෙලාවටයි... තමා තේරෙන්නේ පපඩම් බැදිල්ලත් එහෙම ලේසි කෙරුවාවක් නෙවෙයි කියලා...

බිත්තර තැම්බිල්ල ඔයිට එහා... එක්කෝ නටන වතුරෙදිම බිත්තරේ පුපුරලා සාරුව එළියට ඇවිල්ලා වැඩේ අඥ්ඥ කොරොස් වෙනවා... එහෙම නැත්තං තම්බාපු බිත්තරේ කටුව අහක් කරන්න ගියාම බිත්තරෙන් බාගයක් කටුවත් එක්ක ගැලවිලා යනවා.. අන්තිමට ඉතිරි වෙන්නේ බෝම්බෙකට අහුවෙච්ච පෙනුමක් තියෙන බිත්තරයක්... ගෙදර අනිත් අයගේ පිගන්වලට හොද ලස්සන බිත්තර තියෙද්දි කැඩුනු පලුදු උන බිත්තරයක් තමන්ගේ පිගානේ තියෙනකොට එන මාඥ්ඥමික හැගීම ගැන මං කියන්න ඕන නැහැ නෙව... :D 
ඇඩෙනවා... නේද..?

ඒ වගේමයි තම්බපු බිත්තරේ කහ මදේ කහ පාට නැති වීම... කහ මදේ වටේට කලු පාටක් මතු වීම... වගේ දෝෂත් මතු වෙන්න පුළුවන්.. ඔය වගේම තවත් බලගතු දෝෂයක් තමා කහ මදේ බිත්තරේ පැත්තකට හේත්තු වීම.. ඒ කිව්වේ කම හදේ බිත්තරේ මැදට පිහිටන්නේ නැතිව අයිනකට වීම නිසා එක පැත්තක සුදු මදේ සිනිදු සිවියක් වගේ වෙලා කටුව ඉවත් කිරීමේදී ඒ පැත්තට හානි වෙලා කහ මදෙත් තුවාල වීම... ලස්සනට සැලඩ් එකක් එහෙම හදන්න ගියාම ඔහොම බිත්තර දැක්කම කලකිරෙනවා නෙව...

හරි මං දැන් ඔය කිව්ව අකරතැබ්බ වෙලා නැති අය ඉන්නවද.. උයන පිහන අයට ඔය කියන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... ඒ හින්දා බොහෝමයක් උයන පිහන දනා මේ බිත්තර තැම්බිල්ලත් කලාවක් කියලා දන්නවා... ඒ වෙනුවෙන් ඔය බිත්තර තම්බන වතුරට ලුනු එකතු කිරිල්ල වගේ නොයෙකුත් දේවල් අත් හදා බලනවා... හැබැයි ඒ මොනවා කලත් හරියට බිත්තරයක් තම්බගන්න බැරි වෙලා ඇති බොහෝමයක් දෙනෙකුට...

ආන්න ඒ හින්දයි මං කල්පනා කලේ පොතේ හැටියට වැඩේ කරන විදිය කියා දෙන්න... ඒ කිව්වේ බිත්තර තැම්බීමේ නියම ක්‍රමය ගැන වගේම බිත්තර ගැනත් යමක්...

මුලින්ම තම්බන්න සුදුසු බිත්තර මොන වගේද කියලා බලමු...

අළුත්ම බිත්තර...? 
ම්හූ.. සුදුසු නැහැ... යකාගේ කතාවක්නේ ඒක නේද..? අළුත් දේවල් නේන්නං හොඳම... එහෙමනේ අපි දන්නේ.. ඒක ඇත්ත අළුත්ම දේවල් හොදයි තමා.. හැබැයි හොදට බිත්තරයක් තම්බගන්නනං අඩුම ගානේ බිත්තරයකට දවස් තුනකවත් වයසක් තිබීම තමා හරියන්නේ... එහෙම නැතිව එදා දාපු බිත්තර තම්බන්න යෑමේදී බොහෝ දුරට කටුව ඉවත් කිරීමේදී බිත්තරයේ සුදු මදය වැඩිය සවිමත් නැති සිනිදු කටුවත් සමග ගැලවී යාමට වැඩි ඉඩක් තියෙනවා... ඒත් දවස් තුනක්වත් පැරණී බිත්තරවල කටුවේ ඇති කැල්සියම් කාබනේට් හුලං වැදීම නිසා සවිමත් වීම නිසා සුද්ද කිරීමේදී ගැටළු මතු වීම අවමයි... හැබැයි මතක තියා ගන්න සති ගණන් පරණ බිත්තර ගන්නත් එපා... සාමාන්‍යයෙන් හොඳ ගබඩා තත්වයක් යටතේ සති තුනක් විතර කාලයක් බිත්තර තියා ගන්න පුළුවන්... සමහර විට සති හතරක් පහක් ගිය බිත්තර උනත් හොඳ තත්වයේ තියෙන්න පුළුවන්... ඒත් මගේ අනුමත කිරීම තමා දින තුනත්... සති දෙකත් අතර බිත්තර... එයින් එහාට බිත්තර අවුලක් නැති උනත් තැම්බුවාට පස්සේ පිළී ගඳ එහෙම ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්... රසයත්.. මොලොක් ගතියත් නියම කොලිටියේ නැහැ... ඒ වගේම බිත්තර මිලදී ගැනීමේදී නිතරම පිරිසිදු බිත්තර ගන්නත් වග බලා ගන්නත් ඕන...

ඊ ළගට බිත්තර ගබඩා කිරීම...
බොහෝමයක් දෙනා කරන ලේසිම විදිය තමා.. ගෙනාවා.. එබුවා ෆ්‍රිජ් එකේ... එක පාර බිත්තර දුසිම් කිහිපයක් ගෙනත් ගබඩා කර ගන්න අයට මේක හොද වැඩක් උනත් බිත්තරයක් තම්බන්න බදින්න ගියාම මේ කූල් එකත් එක්ක බොහෝම කරදරයි..(බුල්ස් අයි එකක් එහෙම දාන කොට කූල් බිත්තර හරියන්නෙම නැහැ) ඒ වගේම නියම කොලිටියට බිත්තරය හදා ගන්න බැරි වෙන්න ඔය කූල් එක බලපානවා... ඒ හින්දා හොදම දේ තමා සතියකට විතර සෑහෙන විදියට බිත්තර ගෙනල්ලා වියලි.. වාතාශ්‍රය සහිත... දැඩි රස්නය හෝ සීතල නොවදින තැනක ගබඩා කිරීම... ඒ වගේම බිත්තරයක් අසුරද්දි නිතරම එහි උල් පැත්ත යටට හිටින්නයි තියන්න ඕන... පැතලි.. එහෙමත් නැත්තං මොට්ට පැත්ත උඩටයි හිටින්න ඕන... ඒකත් බිත්තරයේ කල් පැවැත්තමට හේතු වෙනවා... එහෙම තිබ්බම බිත්තරය ඇතුලත ඇති එයාර් පොකට් එක පැතලි පැත්තට පිහිටීමත් සිද්ධ වෙනවා...

දැන් තැම්බිල්ලට එමු...

හරි පහසුයි... ඔය ලුනු කැට අහුරු වතුරට දැමිලි වගේ වැඩ ඕන නැහැ...
මුලින්ම ටිකක් කට පළල් භාජනයක හතරින් තුනක් විතර හිටින්න වතුර පුරවලා ලිප තියන්න... වතුර නටනකල් බිත්තර ඒකට දාන්න යන්න එපා.. වතුර ටික නටනකල් බිත්තර ටික පරිස්සමට හොඳින් සෝදලා පැත්තකින් තියා ගන්න... සෝදන ගමන්ම බලන්න සියුම් පිපිරීම් එහෙම තියේද කියලා කටුවේ.. එහෙම තියෙනවනං ඒවා අහක් කරන්න... (ඒවා ඉතිං අහක් කරලම දාන්න ලෝබයි වගේනං ඔය කේක් හදන්න.. බදින්න වගේ වැඩට ගතෑකි :D ඒත් තද පිපුරුම් තිබුන බිත්තරනං එහෙමවත් ගන්න එපා )

හරි දැන් ඔන්න වතුර එක නටනවා... දැන් ලිපේ ගින්දර අඩු කරන්න... නටන වතුරට එක පාරට බිත්තර දාන්න ගියාම රස්නය නිසා කටුව ප්‍රසාරණය වෙලා පුපුරන්න පුළුවන්.. ඒ හින්දා වතර නටන එක නවතින්න ඇරලා හැන්දක ආධාරයෙන් බිත්තර එකින් එක වතුරේ තැන්පත් කරන්න.. හැබැයි මෙතනදී තමා වැදගත්ම ට්‍රික්ස් එක තියෙන්නේ.. ඒ කියන්නේ නිකංම වතුරෙන් තියන්න එපා... බිත්තරය හැන්ද මත තියාගෙන වට හයක් වතුරේ ඇතුලත කරකවන්න.... හැන්ද උඩම තියාගෙන මේක කරන්න අමාරුනං පරිස්සමට බිත්තරය වතුරෙන් තියලා හැන්ද බිත්තරය පැත්තකින් තියාගෙන වට හයක් භාජනය ඇතුලේ කරකවන්න... තම්බන හැම බිත්තරයම මේ විදියට කරන්න... එයින් පස්සේ නැවත ගින්දර ක්‍රමයෙන් වැඩි කරන්න.. වතුර සෙමින් නටන මට්ටමට...

දැන් ඔරලෝසුව ගැන අවධානය තියෙන්න ඕන... බිත්තර තැන්පත් කරලා අවසන් උන මොහොතේ ඉදලා හරියටම විනාඩි 7ක් ගිය තැන වහාම ලිප නිවන්න... (ඒ වගේම තම්බන කාලය විනාඩි 7 නොවී 6ක් උනොත් කහ මදේ මැද පොඩි දියරමය ගතියක් එක්ක තම්බගන්නත් පුළුවන්.. සමහරු කැමතියිනේ එහෙම කන්න... හාෆ් බොයිල් කන්න කැමති අයටනං විනාඩි 4ක් තැම්බුනාම ඇති...) භාජනය ලිපෙන් ඉවත් කරගන්න... එක්කෝ උණු වතුර ටික භාජනයෙන් ඉවත් කරලා භාජනයට අයිස් වතුර පුරවන්න.. නැත්තං වෙනම අයිස් වතුර භාජනයකට අර තැම්බිලා තියෙන බිත්තර ටික හැන්දකින් අරං දාන්න... දැන් විනාඩියක් දෙකක් ඔහේ තියෙන්න ඇරලා සුද්ද කරන්න පටන් ගන්න... (අයිස් වතුර නැතිම නම් ගලාගෙන යන වතුරට ටික වෙලාවක් අල්ලං ඉදලා සුද්ද කරන්න... කොයි දේ උනත් හැකි ඉක්මනින් බිත්තර නිවා ගැනීම කල යුතුයි.. නැත්තං තැම්බිලා වැඩි වෙලා වැඩේ කොලිටිය නැතිව යනවා)

සුද්ද කරන්න ගන්න කොටත් මුලින්ම තට්ටු කල යුත්තේ බිත්තරයේ උල් පැත්තටයි.. දෙවැනුව මොට්ට පැත්තට තට්ටුවක් දාන්න... ඊ ළඟට බිත්තරය වටේට නිය පිටින් තට්ටු කරන්න ටිකක් විතර තදින්... දැන් ක්‍රමයෙන් උල් පැත්තේ මුදුනේ සිට කටුව ගලවන්න පටන් ගන්න... ගලවද්දි වටේට වටේට ගලවං යන්න.. බිත්තරයේ මැද්දක් යද්දි යට පැත්තේ කටුව නිකංම ගැලවෙයි. උඩ වගේ පොඩි පොඩි කෑලි නැතිව...
දැන් පිරිසිදු වතුරින් සෝදලා භාජනයක තැන්පත් කරන්න...

ඔච්චරයි.. බලන්න බිත්තරයක් දෙකට කපලා... කහ මදයේ පාට කොයි තරම් හොඳින් කහ පාටටම තියෙනවද කියලා... කහමදේ වටා කලු පාට ඇසිඩ් මතුවෙලා නැහැ නේද කියලා.. ඒ වගේම කහ මදේ කටුවට හේත්තු වෙලා නැතිව බිත්තරය මැදට පිහිටලා ලස්සනට තියෙනවා නේද කියලා... අන්න එහෙම තියෙනවනං අපේ වැඩේ සාර්ථකයි...

හරි එහෙමනං එච්චරයි... මීට පස්සේ බිත්තර තැම්බිල්ල එහෙම ආවට ගියාට කරන දෙයක් නෙවෙයි කියලා දැනගෙන කරන්නලා... ඕනනං දැන් ඔයාලට පුළුවන් ඔය ඔයාලට උයන්න පුළුවන්ද බැරිද කියලා කවුරු හරි නක්කලේට වගේ අහපු වෙලාවට
“මෙහෙම හිටියට මම බිත්තර තැම්බීම ගැන සම්පූර්ණ ඔන් ලයින් කෝස් එකකුත් කරලා ඉන්නේ“ කියලා... :D :D :D 

රජයේ අවවාදයයි... :-
වැඩිපුර බිත්තර කෑම කිකිලියන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකිය...
_______________________
පලි- මේක බුකියේ පේජ් එහෙකට ලියාපු හෑල්ලක්.. ඒත් ඉතිං නිකං ඉන්න එකේ මේකෙත් කොපි පේස්ට් කරලා දැම්මා.. කවදා හරි කාටම හරි හොයා ගන්න පහසු වෙයිනේ කියලා...