16 April 2016

ගිරීස්ම දොහේ... තෙත් වෙන්ට...

මේ ටිකේ පාළුවට ගෙහුන් තිබුන බ්ලොක් කිහිපයක්ම අළුතින් ලියවෙන වග පේන්ට තිබුණ හින්දා මටත් ඔන්නොහේ හිතුනා මොන මල දානයක් හරි ලියලා දාන්ට ඕන කියලා... නිකං තියෙන අකුරුනේ.. ඇරලා දාන්ටයි තියෙන්නේ...

මේ දවස්වල පට්ට ගිරීස්මේ... උහුලන්ටම බැහැ... මට කොහොමත් අනිත් අයට සාපේක්ෂව රස්නේ උහුලන්ට අමාරුයි... ඔව් ඔව් අපි ඉතිං ෂීතල පළාත්වල ෂැපට මල් වගේ හැදුන වැඩුන උදවියනේ...  :D
ඒ මගුලක් නෙවෙයි.. මං හිතන්නේ ඒක නිකං උප්පත්තියෙන්ම මගේ සරීර කූඩුවේ තියෙන දෝසයක්ද කොහේද... පොඩ්ඩක් රස්නේ වැඩි උන ගමන් මට නිකං යකා වැහෙනවා... කර කර ඉන්න ඕන මල දානයක් බව්වට දාලා ඒ වෙලාවට කොහේ හරි ෆෑන් එකක් යටට වෙලා හරි ඉන්න තමා පුරුදු වෙලා තියෙන්නේ... හැබැයි ඒකටත් එක්ක හීතලටනං මං ඔරොත්තු දෙනවා අම්බානකට... ඉස්සර දියතලාවේ ට්‍රේනින් කරන දවස්වල පාන්දර හතරට අර පට්ට හීතලේ කිසි ගේමක් නැතිව සිමෙන්ති ටැංකියේ අයිස් වෙලා තියෙන වතුරෙන් නානවා කියන එකත් මට ඒ හැටි අමාරු කාරියක් නෙවෙයි.. දැන් උනත් කොයි තරං වැස්ස තියෙන දවසක උනත් ෆෑන් එක දාගෙන නිදා ගන්නවා කියන එකත් ගේමක් නැති වැඩක්... මං හිතන්නේ මගේ ජවලන උෂ්ණත්වය අංශක විස්සේ විතරද කොහේද තියෙන්නේ...

ඉතිං පහුගිය දවස්වල මේ රස්නේ උහුලන්ට බැරි තැන දෙවංගියක් විතර ගියා කිතුල්ගල කිට්ටුවට නාන්නය කියලා... අනේ ඉතිං ඒ ගියාට මොකද.. කොළඹ පැත්තේ පට්ට රස්නේ උනාට කිතුල්ගලට යද්දිම පරිසර උෂ්ණත්වයත් අඩු වෙලා... ගගේ වතුරත් හීතලයි... රස්නෙ පළාතක ඉදලා හීතල වතුර නානවා වගේ ගතියක් හීතල තැනකදී  නෑවට කොහෙත්ම එන්නේ නැහැ... පොඩි කික් එකක් නැතිවාම නෙවෙයි.. හැබැයි ඒ හැටිමත් නෙවෙයි...

එය අස්සටම ලයිට් කපන සෙල්ලමත් ආවම ඉතිං කියන්න ඕන නැහැනේ දැනෙන සනීපේ... පිං දෙන්න පුළුවන් හැම එකාටම පිං දිදී දාඩිය පිඹ පිඹ තල ගොයා වගේ හිටියා.. මක්ක කියලා කොරන්නද... ඔය කිව්වම මතක් උනේ... පහුගිය ටිකේම රෑට නිදිය ගන්න ගියාම මක් කොරලවත් මේ දාඩිය එක්කලා නිදා ගන්ට බැරි හින්දා එළියට වෙලා දොයිය ගන්න බූරු ඇදක් හදන්න ඕනය කියලා හිත හිත හිටියට බැරි උනා නෙව... දවසක් දෙකක් පුටුවත් ඇදගෙන එළියට ගිහින් නිදා ගත්තා උනත් ඒක එයිට වඩා අමාරු වැඩක්... පුටුවේ බොහෝම සීරු මාරුවට නිදා ගත්තට උදේට මුළු සරුවාංගෙම රිදෙනවා.. හරියට නිකං පොලොසියෙන් ගුටි කෑවා වගේ... ඒ හින්දා තමා කල්පනා කොලේ බූරු ඇදක්වත් හදා ගන්න කියලා... ඒත් ඉතිං රෑට හිතුවට දවල් වෙද්දි ඕවා අමතකයිනේ... හෙටානිද්දටවත් ලී මඩුව පැත්තේ යන්ට ඕන...

ඒ ඉතිං කාලගුනේ දේශගුනේ ගැන...
දේසපාලනේ ගැනනං කතා කරන්ට දෙයක් නැහැ... හැම දෙයක්ම සරුවප්පකාරයෙන්ම සිද්ධ වෙනවා... රටට කිරි උතුරලා තියෙන්නේ... පොඩි අවුලකට තියෙන්නේ උතුරපු කිරි පොඩ්ඩක් අපතේ යන එකයි... අවුලක් නැහැ ඒවත් හොඳ විදියකට පිළිවෙලක් කරයි අනිත්වා පිලිවෙලක් කලා වගේ... ඉතිං මේ වගේ ආතල් පරිසරයක් අපට නිර්මාණය කරලා දුන්න උදවියට උදේ හවහා පින් ටිකක් අනුමෝදන් කොරවන්නත් මංනං අමතක කරන්නේ නැහැ... අපි යුතුකං දන්න උදවිය නෙව... එහෙම ලේසියට ඒ වගේ දේවල් අමතක කරන්නේ නැහැ...

අද දවාලේ හිටි හැටියේ යෝජනාවක් ඇවිත් ගියා මෙච්චර දවසක් නොගිය පොට් එහෙකට...
සීතාවක තෙත් බිම් උද්‍යානය කියලා තැනක්... යන්න විධි දෙකයි... එකක් අවිස්සාවේල්ලට යන පාරේ කලු අග්ගල හන්දියෙන් හැරිලා... ඔය අපේ බ්ලොග් එකක් ඒ කාලේ ලිව්ව.. (තාමත් ලියනවද දන්නේ නැහැ... කාලෙකින් ඕවා හොයා බැළුවේ නැහැ නෙව..) තනෝජා අක්කගේ ගෙවල් පාරේ.. වග කහ හේන හරහා ලබුගමට ගෙහුන් තුම්මෝදර හන්දියෙන් වමට දාලා කිලෝ මීටර් තුනක් විතර යද්දි පොට් එක සෙට් වෙනවා...
එහෙම නැත්තං කෙලින්ම පුවක්පිටිය ඉස්ටේසම ගාවට යනකල්ම මහ පාරෙන් ගෙහුන් එතැනින් වමට දාලා බොහෝම පොඩ්ඩ දුරයි...

අපූරු තැන... හැබැයි තාම වැඩ අවසන් වෙලා නැහැ... වැඩ අවසන් නොවුනත් හදිසියේ දඩි බිඩියේ විවෘත කරලා තියෙනවා ගිය අවුරුද්දේ මාර්තු මාසේ විතර...

මේ උද්‍යානයේ ඇති සුවිශේෂීම දේ තමා ලංකාවේ නෙවෙයි ආසියාවේ විතරක් නෙවෙයි මේ පෘතුවියේම මේ තරං වේගයෙන් නිර්මාණය කරපු මෙහෙම උද්‍යානයක් නැති එක... කොටින්ම කිව්වොත් දෙදහස් පාලවේ ජනවාරි අට වැනිදට පස්සේ වැඩ ආරම්භ කරලා මාර්තු අග වෙද්දි විවෘත කරලත් ඉවරයි.. පට්ට වේගෙන් වැඩ කෙරිලා තියෙනවා... :D
ඕනනං බලන්නකෝ මේ විවෘත කිරීමට අදාල සමරු පලකය...



පේනවනේ... මාස දෙකහමාරයි වැඩේ ෆිනිෂ්... හිංගලෙන් විතරක් නෙවෙයි බාෂා තුනෙන්ම කොටලා තියෙනවා අතිගරුලා දෙන්නගේ මෙව්වා එකෙන් අහවල් විසය බාර ඇමැත්තා විවෘත කොරන ලදි කියලා...


හැබැයි ඉතිං කවුද මංදා නොසණ්ඩාලයෙක් ඔය අස්සේ පහුගිය කාලේ හිටිය උන්දෑ කෙනෙක්ගේ නම කොටාපු ගල් ගෙඩියක් ඔය අස්සේ මේ ඊයේ පෙරේදා හිටෝලා ගෙහුන් කියලා දන්න කියන මල්ලි කෙනෙක් කිව්වා.. මේ බලමුකෝ...

තනිකරම කඩාකප්පල්කාරී කිරියාවක් ආයිබෝංලා... අවුලක් නැහැ... තව ටික දවසක් යද්දි ඕක ඔතැනින් ගලෝලා වීසු කොරයි බැද්දට... ඔය කඩා කප්පල්කාරී කිරියා වලට මේ ආණ්ඩුවෙන් ඉඩක් නැහැ... ඒ ගැන ඒ මදැයි... කාට හරි පොට් එකේ තව පිංතූර බලන්න ඕනනං මෙන්න මෙතනට ගෙහුන් බලන්ට...

තව ඉතිං ආගිය කතා ලියන්ට ගියොත් සෑහෙන්න තියෙනවා... ඒත් ඉතිං අදට මේ මදෑ...

ආ ඒක නෙවෙයි... සුපුරුදු විදියටම මේ පාරත් අපේ ඔබා අයියා සිහිපත් කරලා අන්තිම පේලියේ සැට් එක විසින්  මූලිත්වය අරං කොරන "ලේ දන්දීම ඔන්න මේ මාසේ 23 වැනිදා රාජගිරියේදී තියෙනවාය කිව්වා... දන්න කියන අය... එන්නට ඇහැකි අය ඇවිල්ලා පොඩි සපෝට් එකක් දෙනවනං ඉතිං වටිනවා...
සයිබර් උදවියගේ අවුරුදු උත්සවෙත් තිස් වැනිදාද කොහේද කුරේ පිට්ටනියේ සුපුරුදු ආකාරයටම තියෙන බව අහන්න ලැබුනා... ඒකටත් යන අය ඇහැකි විදියට යන්ට බලන්ටලා... මාත් ඉතිං ඒකට ආවා නැතා ලේ ටිකක් දීලා එන්ටනං යන්න හිතං ඉන්නවා...

හරි එහෙනං අපි කැපුනා... ටටා බයි බායි කිව්වා...

52 comments:

  1. අර කඩාකප්පල්කාරී ක්රියාවනම් කොහෙත්ම අනුමත කරන්න බහ හිටං..
    අනික කොච්චර අගය කරන්න ඕන වැඩක්ද කියහන්කෝ හිටං මාස දෙහෙකින් තෙත් බිමක් හදන එක .
    දැන් සමහර කඩප්පුලියෝ කියයි මාස දෙකහමාරෙන් හැදුවේ තෙත් බිම නෙමෙයි ඔය නම් ගහල තියෙන ගල් කෑල්ල කියලා.
    අපි ගණන් ගන්නවාද බන් ඕවා..නේද?

    ------------
    මොනා උනත් ඉතින් මාස ගානකට පස්සේ ඔබ තුමා උන්නාන්සේ හෙවත් මාර තුමා බ්ලොගට සපැමිණි එක නම් බොහොත් බොහොත් අගය කොට සලකනවා...

    ReplyDelete
    Replies
    1. මාස දෙකෙන් ළමයි උනත් හදලා පෙන්නයි... හැබැයි ළමයිම නෙවෙයි අනුන්ගේ ළමයින්ට උප්පැන්න.
      ස්තූතියි...

      Delete
  2. මෙහෙම හරි ආපු එක මදැයි...බිත්තරයක් තම්බන්න,නොසණ්ඩාලයින් අල්ලන්න හරි කමක් නෑ මක්ක හරි ලියවෙනෝ නං..
    ජයවේවා..!!

    ReplyDelete
  3. මොකක්ද අර දියතලාවේ පුහුණුව? ඒක ගැන ටිකක් කියමුකෝ බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. කුරුළු හමුදාවට ගිය කාලේ මූලික පුහුණුව... මාස හයක්.

      Delete
  4. අපේ ගෙවල් වල ඉඳන් පැය බාගෙක දුරින් ඔයි උද්යානෙ තියෙන්නෙ.ළග වැඩි හංදම තාම යන්න බැරි උනා කියහංකො

    ReplyDelete
    Replies
    1. ආ ඒක ඉතාමත් සාමාන්‍ය තත්වයක්... මගේ යාළුවෙක් ඉන්නවා... නුවර... උඩවත්ත කැලේට ගිහින් නැහැ කියහංකෝ මේ අද වෙනකල්... දැන් වයස තිහකුත් වෙන්ට එනවා ඌට... ඉස්කෝලේ සිල්වෙස්ටර්... ගෙදර ඉදලා පාරට බැහැලා බැළුවම කැලේ පේනවා ඔහොම මෙහෙම...
      අගයක් නැතිකම.. අගයක් නැති කම... :D

      Delete
  5. රටේ මුදල් සහ අනිකුත් සම්පත් යොදවා ගොඩනගන ව්‍යාපෘති සඳහා විවෘත කිරීම ආදී උත්සව කිසිසේත්ම අවශ්‍ය නැහැ. මෙහිදී සිදුවී ඇත්තේ ඇමති කෙනෙකුගේ වුවමණාවට හෝ ඇමතිගෙන් ලකුණු දමා ගැනීමට අවශ්‍ය කෙනෙකුගේ දෙයක්. ඔබ කියන දෙදෙනා මෙම විවෘත කිරීමට සහභාගී වී නැහැ.

    ප්‍රතිපත්තියක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය රටේ මුදලින් කෙරෙන ව්‍යාපෘති වලට පක්ශයේ පුද්ගලයන්ගේ නම් තමන්නේ නැහැ. ගාමිණී දිසානායක මහතා නොවන්න මහවැලි ව්‍යාපාරය මෙතරම් ඉක්මනින් අවසන් වන්නේ නැහැ. ඒ කිසිම ජලාශයකට, ජල විදුලි ව්‍යාපෘතියකට හෝ ගොවියන් පදිංචි කල මහවැලි කලාප වලට එතුමාගේ හෝ කාගේවත් නමක් යොදා නැහැ.

    වික්ටෝරියා ජලාශයට එම නම දමා ඇත්තී එහි වියදම මහා බ්‍රිතාන්‍ය ප්‍රදානයක් වශයෙන් දුන් නිසා. ජනාධ්පති ජයවර්ධන සැන් ප්‍රැසිස්කෝ සාම සමුළුවේදී බටහිර රටවල් ජපානය ආර්ථිකව යටපත් කිරීමේ උත්සාහය වෙනස් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් නොමිලේ දුන් ජයවර්ධනපුර රෝහලට ජේ ආර් ජයවර්ධන නම යොදා නැහැ.

    වෙනකක් තබා කිසිම පාරකට වත් ජේ ආර් ජයවර්ධන නම තබා නැහැ. ජේ ආර් මියගියේ ඔහුගේ පාරම්පරික ධනය රටේ යහපතට තබායි. එම මුදලින් මිලදී ජයවර්ධන කේන්ද්‍රය පමණයි ඔහු අනුස්මරණයට ඇත්තේ. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නම් කලේ කොතලාවල මහතා තමාගේ පාරම්පරික දේපලක් වූ කඳවල වත්ත ඒ සඳහා පරිත්‍යාග කල නිසායි. එයත් කලේ ඔහු මිය ගිය පසුවයි. එවකට ඔස්ට්‍රේලියාවේ පමණක් තිබූ දිවා රෑ ක්‍රිකට තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගණයක් තැනවූ ප්‍රේමදාසගේ නම කෙත්තාරම ක්‍රීඩාංගණයට තැබුවේ ඔහු මිය ගිය පසුව. ප්‍රේමදාස මහතා ගේ කාලයේ සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද හිටපු ක්‍රීඩා ඇමති කෙනෙකු වන සුගතදාස මහතාගේ නම දරණ ක්‍රීඩාංගණය වත් ප්‍රේමදාස නමට වෙනස්වූයේ නැහැ.

    එමෙන්ම රටෙ මුදලින් හෝ ප්‍රදාන මඟින් තනවා එහෙත් අනික් පැත්තේ අය ඔවුන් නම් තබා ගිය බණ්ඩාරණායක ගුවන් තොටුපොල, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව වගේ දේවල් වල නම් එජාප කාලවල වෙනස් කළෙත් නැහැ. එක අතකට බණ්ඩාරණායක නම ඒවාට ලැබුණේ එස් ඩබ් ආර් ඩී බණඩාරණායක මිය ගිය පසුව.

    පසුගිය කාලයේ සිදුවූ රට ණය කර ඉදිවූ ගුවන් තොටුපලවල්, නෙළුම් පොකුණ, වරාය ආදියට නම් තැබූ ආකාරයත්, ඊට කලින් ඉදිවී තිබූ ක්‍රීඩාංගන ආදිය අලුත්වැඩියා කල විට ඒවා රාජපක්ශ ක්‍රීඩාංගන වූ ආකාරයත් ඒනම් වෙනස් නොකිරීමට අගමැති ගෙන ඇති තීරණයත් සලකා බලන විට ඔබ කියන සිද්ධියේ ඇත්ත තත්වය කියවන්නෙකුට තේරේවි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මගෙනම් ශ්‍රී ලංකාවේ දේශපලන්යයන් ගැන කිසිම පැහැදීමක් නෑ. එදා මහින්ද හොරකම් කළා අද ඔහුට විරුද්දව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට වසර 2 කට කිට්ටු ආණ්ඩුවට බැරිවෙලා තියනවා. මිට අමතරව මේ රජයේ කීපදෙනෙක් විශාල ලෙස සොරාකමින් සිටිනවා උදාහරණ අර්ජුන මන්හෙන්ද්‍රන් දැනටත් බැදුම්කර නිකුත් කරමින් ඩොලර් බිලියන 5කට කිට්ටු මුදලක් මේ කෙටි කාලයේ ලබෙගෙන තියනවා මේගැන කිසිදු විමර්ශනයක් සිදුවුනේ නෑ.

      මහින්දගේ කාලයේ සියලුදෙනා ම පාගේ කුඩා පරිමාණයෙ සිට මහා පරිමාණයෙන් සොරකම් කළා දැන් සිදුවෙන්නේ කුඩා පිරිසක් දැවැන්ත සොරකම් කිරිමයි.

      කල්පනාවෙන් බැලුවහම දෙගොල්ලොම එකම ප්‍රමාණයක් ජනතා මුදල් සොරකමකුයි කරලා තියෙන්නේ.

      මම නම් පුද්ගලිකව රනිල්ට කැමති නෑ නමුත් මෙවර චන්දය දුන්නේ යහපාලනයට, මේ තීරණය ගැන මගේ කිසිම පසුතැවීමක් නෑ සිදුවිය යුතු දේ එයයි නමුත් මේ රජය ගැන විශාල විවේචන මට තියෙනවා

      Delete
    2. ස ර ස තුමා ට නම් තේරෙන්නේ රනිල් ප්‍රමුක මේ ආන්ඩුව කිසිම සන්වර්දන වැඩක් නොකොට කෝටි අටෝරාසියක් නය අරගෙන එම සල්ලි මහ බැන්කු අදිපති ගේ බෑනා ලඟ පරෙස්සමට තබා පහුගිය ආන්ඩු වල ඈයො ගොඩනැගූ දේවල් වලට තමන් ගේ නම ලියා උප්පැන්න දෙන බව ය!

      Delete
    3. // ප්‍රතිපත්තියක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය රටේ මුදලින් කෙරෙන ව්‍යාපෘති වලට පක්ශයේ පුද්ගලයන්ගේ නම් තමන්නේ නැහැ //

      බොලේ... ආර් ප්‍රේමදාස කිරීඩාන්ගනේ තියෙන්නේ ඉන්දියාවෙදෝ?

      Delete
    4. ප්‍රේමදාස ක්‍රීඩාංගනේනං මංදා... හැබැයි මොරටුවේ තිබුනා "ද සොයිසා ක්‍රීඩාංගනය" කියලා එකක්... ඒකත් "ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය" උනා කියලා මට මතකයි ඒ කාලේ... එතකොටනං "ටිරෝන් ප්‍රනාන්දු" හොඳ යහතින් හිටියා ඇමතිකමත් දරමින්... :D
      දැම්මේ කොයි කාලේ උනත් එහෙම ගත්තොත් ප්‍රේමදාස ක්‍රීඩාංගනය විතරක් නෙවෙයි ගල් ඔය ජලාසේ සේනානායක සමුද්‍රය වීම දක්වාම කතාව දුවනවා...
      ඒ ඔක්කෝම අතාරිමු...
      හැබැයි පුතෝ අපි ඇවිල්ලා ප්‍රේමදාසගේ කාලේ ටීවී එකේ ජාතික රූපවාහිනියේ අටේ ඉදලා අට හමාර වෙනකල් ප්‍රවෘත්ති බලපු උදවිය... නං ගහ ගැනිල්ල තව හොඳා...
      පලවෙනි විනාඩි පහ මල් වට්ටි ප්‍රේමේ...
      දෙව‍ෙනි විනාඩි පහ විවෘතකිරීම් ප්‍රේමේ...
      තුන් වැනි විනාඩි පහ උඩ පනිමින් කතා කරන ප්‍රේමේ...
      හතරවැනි විනාඩි පහ ආර්යා ප්‍රේමේ... සමහර විට පස්වැනි විනාඩි පහත් ගන්නවා... ප්‍රවෘත්ති කියලා ජාතියක් කියවුනොත් ඒ අන්තිම විනාඩි පහට තමා... සමහර විට ඒකත් ඒජේ රණසිංහ ගන්නවා ප්‍රේමෙගේ සෙරෙප්පු සුප් රෙසිපිය කියා දෙන්ට...
      ඔය පැය බාගේ පුරාවටම "ශ්‍රීමත් අතිගරු" අහලා අහලා ඒ කාලේ නිකං පාරේ යනකොටත් "ශ්‍රීමත් අතිගරු උතුමාණෝ" කියලා කවුරු හරි කියනවා කියනවා වගේ ඇහෙන ගානට ඇවිත් තිබුනේ... කොටින්ම නිවේදිකාවට වැරදිලා බබා හම්බු උන වෙලාවේ නම දාන්න අහනකොටත් ශ්‍රීමත් අතිගරු කියලා කියවුනාය කියලත් ඒ කාලේ කතාවක් තිබුනා...
      වැඩක් කරලා නමක් ගහගැනිල්ල තව හොදා... කොරපු වැඩකුත් නැති... කරපු දේත් කමකට නැති... අනුන් කරපු දේට තමන්ගේ නම ඔබනවට වඩානං...

      Delete
    5. ප්‍රේමදාස ගේ ටී වී එකේ නාගැනිල්ල ගැන ඔබ කියන දේට මම එකඟයි. එපමණක් නොව චැනල් මාරු කර ඔහුව මඟ හැරීමට නොහැකිවනසේ හැම චැනල් එකකම ඔහුගේ කථා ප්‍රචාරය කිරීමට සැලැස්සුවා. ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය ගැනත් එකඟයි.

      'කරපු වැඩක් නැති' කියන කථාව ප්‍රේමදාස මහතාට අදාල වන්නේ නැහැ. වැඩ කිරීම සහ රටට වැඩ කිරීම යනු දෙකක්. ගම් උදා ව්‍යාපරයෙන් දුප්පතුට නිවාස, ජනසවිය ව්‍යාපාරයෙන් දුප්පතුට ආධාර. ඇඟළුම් කම්හල් 200 ව්‍යාපෘතියෙන් ඇතිවුණේ රැකියා නැති අයට රැකියාවල්.

      1977 දී 3-4 ක් වූ විශ්ව විද්‍යාල ප්‍රමාණය වැඩි කිරීමෙන් සිදුවුණේ වැඩිපුර උසස් අධ්‍යාපන අවස්ථා. මහවැලි ව්‍යාපාරයෙන් සිදුවුණේ ජල විදුලි උත්පාදනය සහ ගොවිතැන් සඳහා ජලය. ගල්-ඔය ව්‍යාපාරයෙන් සිදුවුනේත් ජලවිදුලිය සහ ගොවිතැනට ජලය. මෙම ව්‍යාපෘති දෙකෙන්ම වගා ඉඩම් නැති අයට වගා ඉඩම්. නිදහස් වෙලඳ කලාප වලින් ඇතිවුණේ රැකියාවල් සහ විදේශ විනිමය. රටේ මුදල් වලින් කරන ව්‍යාපෘති වලින් රැකියා, නිවාස, අධ්‍යාපන අවස්ථා, කෘශිකාර්මික සහ අනිකුත් නිශ්පාදනය, විදේශ ආදායම ලැබීම ආදිය විය යුතුයි.

      මත්තල ගුවත් තොටුපොල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, සූරිය වැව ක්‍රීඩාංගනය, ජනගහණයෙන් ඉතා සුළු කොටසක් ජීවත් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අති විශාල ගොඩනැගිලි, අඩි 100-200 පාරවල් ආදියෙන් ලැබෙන වාසි මොකක් වුවත් රටම ණය ගෙවිය යුතුයි. ඔබගේ ලිපිය දේශපාලන නම් තැබීම ගැනයි. මගේ කලින් පිළිතුර ඒ ගැනයි.

      Delete
    6. ඉයන්,

      මෙන්න බලන්න අද දිවයින පත්තරේ මම උඩින් කියල තියන දේ කියන්නේ ඇත්තටම රජය ඇතුලේ වෙන සමහර දේවල් ගැන මම දන්නා නිසා http://www.divaina.com/2016/04/18/news08.html

      Delete
    7. ලංකා සිතුවිලි, එම ලිපියේ කියැවෙන ආකාරයට දූශණයක් සිදුවෙනවානම් ඒවා වහාම විභාග කර පාඩුව අයකරගත යුතුයි. යහපාලනය පතන මම ඇතුළු බොහෝ දෙනෙක් මේවාට අතිශයින් විරුද්ධයි. ඒවා වහන්න කටයුතු කරනවානම් ඒවා එලි කිරීමට බල කිරීමට සිදුවෙනවා. ස්වාධීන වී ඇති උසාවියේ පිහිට මේ සඳහා ලබා ගතයුතුයි.

      මගේ පළමු කමෙන්ට් එක පොදුවේ මෙම පෝස්ටුව ගෙන හැට පෑ මහජන මුදලින් ගොඩ නංවන දේවල් වලට දේශපාලකයින්ගේ නම් තැබීම ගැන පමණයි. ඒයට පිළිතුර මෙම රජයේ වෙනත් වැරදි ගැන කීම නෙමෙයි.

      Delete
    8. ඉයන් කියන බණ්ඩාරනායක ගුවන් තොටුපලේ කතාව නම් වැරදියි. ඕක ආණ්ඩුවෙන් ආණ්ඩුවට 'කටු' ගගහා 'බණ්ඩාර' ගගහා තිබුනෙ.

      Delete
    9. මම ඊයේ වයිෆ් එක්ක කාලෙකට පස්සේ ජිම් එකට ගියා. මේ උන් දෑ හරියට ස්ට්‍රෙචින් කරන්නේ නෑ.. මම කිව්වා ඔය ඇඟිලි වලින් හොඳට ඉස්සිලා අර ප්‍රේමදාස කතා කරනවා වගේ ටිකක් හොඳට කරන්න කියල හෙහ් හෙහ්.. ඔන්න ඔහොමයි ප්‍රේමදාස ගැන මතකය මට නම් ඉතිරි වෙලා තියෙන්නේ.. දේශපාලන මඩක් නෙවෙයි ඇත්තටම වෙච්ච දෙයක් නිසා කියල දැම්මේ.. :D

      Delete
    10. ඉයන් ඉයන්
      හා පාපා
      මහින්ද එක්ක නැගිටිමුද ?
      බෑ පාපා
      රනිල් එක්ක බුදියමුද ?
      හා පාපා
      පුක බෝර් ද
      ඔව් පාපා
      ආතල් නේද
      හා හා හා

      Delete
  6. මිනිස්සුන්ට ගිහින් ඇවිදින්න, විනෝදයෙන් දවස ගෙවන්න, ස්වභාවික පරිසරය රස විඳින්න මෙහෙම තැන් තියෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි කට්ට අවුවේ බිම දොයියං පොටෝවලට පෙනී ඉන්ට... :D

      Delete
  7. මාරයා ආපහු ලියපු එක ලොකු සතුටක්. දිගටම අවුරුදුදක් ලියමුකෝ වෙනස බලන්නත් එක්කලා.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක්... උඹ මාත් එක්ක තරහක් හෙම තියේද..? :D

      Delete
  8. මම දන්නෙ නෑ මේ බොග් එක බලනකම්ම...හිටන්... වහාම හොයල බලන්ට ඕනෙ

    ReplyDelete
    Replies
    1. හොඳා හොදා.. හොයා බලන්ට...

      Delete
  9. මෙහෙමයි මාරයියේ............. මිනිස්සුන්ට පරිසරය විදින ගමන් පොඩි ආස්වාදයක් ලබලා හිනාවෙන්න වෙන්ටෝනා මේ විදිහේ විහිලු කතා බෝඩ්වල කොටලා ගහලා තියෙන්නේ........ ඔය ඈයන්ගේ රූපත් ගැහුවානං තවත් ආතල්එකක් ගන්න තිබුණා..........

    ReplyDelete
    Replies
    1. ඔව්වා අපිටනං විහිළු තමා... ඒත් මේ රටේ දැනට ඉන්න.. අනාගතේට පහළ වෙන්ට ඉන්න උගත් බුද්ධිමත්ය කියා ගන්නා උදවියට ඕවත් හැබෑ වෙන්ට බැරි නැහැ අවුරුදු දෙක තුනක් යද්දි... පේනවනේ අර දැන් නිකංසිංහතුමාලා කියනවනේ වරායවල් හැදුවේ.. ගුවන්තොටුපලවල් හැදුවේ... තව එක්කෙනෙක් යුද්ධෙන් සීයට හැත්තැපහකුත් ඉවර කලාය කියලා අමු අමුවේ කියන්නේ... ඒවත් විශ්වාස කරන උගත් මෝඩයෝ ඉන්න රටක ඕවා විහිළුම නෙවෙයි.. ඇස් රතුවෙන විහිළු... :D

      Delete
  10. උඹට තියෙන්නේ මචං “මී හරක් ගිනියම“ උඹ මී හරකෙක් කියලා කියන්න උත්සහ කලේ නෑ ආයුබෝවන්ඩ. මමත් ගියා වෙන්න නෝනා එක්ක ඔය සීතාවක උද්‍යානෙට. මරු ප්ලේස් එක. ගොඩක් පොටෝස් එහෙමත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. හරි හරි වටෙන් යන්න ඕන නැහැ.. උඹ නෙවෙයි අපේ තාත්තත් ඕක මට කියලා තියෙනවා... :D

      Delete
  11. මේ පාර අවුරුදු නැකත හොඳ පාටයි. කියවන්න පුළුවන් බ්ලොග් ලියන දෙතුන් දෙනෙක්ම රතිඥ්ඥ සද්දෙටද කොහෙද ඇහැරිලා. මේ විදිහටම ගියොත් නෙළුම්විලේ අයියලාට සම්මාන තෝරන වැඩේ ටිකක් අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. රතිඥ්ඥා සද්දෙට ඇහැරෙනවනං ඉතිං ආයේ නත්තලට තමා ඊ ළඟ පෝස්ට් එක... :D

      Delete
  12. අනිත් එක,තොපි ඔක්කොටම මූනු පොතේ හෑලි ලියන්න වෙලාව තියනවා. අඩු ගානෙ එහෙම එකක් වත් මෙතන කොපි කරපන්කො හිටං. අපිට මූනු පොතේ පදිංචි වෙලා ඉන්න අමාරුයි තියෙන වැඩ එක්ක. නිවාඩු පාඩුවේ බලන්න යද්දි වෝල් එක පුරාම අතන මෙතන තියන ගොං ආතල් ශෙයා වෙලා තියන නිසා අතරින් පතර තියන වැදගත් පෝස්ට් හැංඟිලා ගිහින්. අන්තිමේදි වැදගත් යමක් ඉතුරු වෙන්නෙ බ්ලොග්වල විතරයි හිටං. ඒක හැමෝම මතක තියාගත්තොත් හොඳයි.

    කියවන අයගෙ පැත්තෙන් - වෙනදා කියවලා විතරක් එන බ්ලොග් වල අකුරු දෙක තුනක හරි කමෙන්ට් එකක් දාලා එන්න මේ අවුරුද්දේ මමත් හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මූණු පොත ඉතිං මිතුරන් මිතුරන් අතරේ පමණයිනේ බුද්ධීෂ... එතකොට අපේ පාඩුවේ කයියක් ගහගෙන ඔහේ හිටියැකි.. මේවට ආවම වාද විවාද වැඩියි... වෙන වැඩක් කරගන්ට වෙන්නේ නැහැ.. මං සාමාන්‍යයෙන් බුකියට ගොඩ වෙන්නේ මගේ වඩ කරන ගමන්... විනාඩි දහයක් විස්සක් වැඩ කලා... විනාඩි පහක් බුකියේ පැල උනා... කිසිම කරදරයක් නැහැ... මේවට ආවම මොකක් හරි කොනක් පැටළුනාම වැඩ කරන එක නවත්තලා දාලා ඒකේ එල්ලිලා ඉන්න වෙනවා... එතකොට වැඩ පාළු වෙනවා ලෙසටම... ඒකයි බුකිය පහසුයි කියලා ඒකේ ඉන්න තීරණය කරලා තියෙන්නේ...

      Delete
  13. මේ දවස් ටිකේ ගමේ ඉන්න නිසා උස්නේ කියන එක උපරිමෙන්ම විඳගත්තා කියහංකෝ.. අවුලක් නෑ සොට් එකක් දාගෙන ඉන්න නිසා කොයි වෙලෙත් මං හීට් ..ඒත් ඉතින් අද යන්ඩ වෙනවා බං ..ආයේ කොළඹ යන්ඩ වෙනවා ..මං පුලුූවන් වෙලේක එනවා උඹව හම්බෙන්ඩ ..

    ReplyDelete
    Replies
    1. නිවාඩුව අහවරයිද..? දුක තමා...
      එද්දි මතක ඇතිව වගාවට උවමනා ද්‍රව්‍ය හෙම අරං වරෙං... :D :D :D

      Delete
  14. ඊයේ සඳරුව කියෙව්වා.....අද මාරයා ඇවිත්. බ්ලොග් කියවන අයට හොඳ ෆිට් එකක්.Aru

    ReplyDelete
  15. මේ තීන්නෙ ගින්දර වගේ. සඳරුල බොලාල ලියන නිසා ආයි වහියි. මේ රෑට කොහොමද බන් එලියෙ බුදියන්නෙ, මදුරුවො නැත?

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං අවට පරිසරේ ටිප්ටොප් එකට තියාගෙන ඉන්න අයනේ.. ඉතිං කොහේද මදුරුවෝ...?
      (සෙද්ද තමා... මේ ටිකේ පෑවිල්ලට මං හිතන්නේ උන් ටිකත් කරවෙලාම මැරිලද කොහේද... ඒ හින්දා ටිකක් ඒ කරදරේ අඩුයි... :D :D :D )

      Delete
  16. ආනේ මේ තියෙන්නෙ යස අපූරුවට මකුලු දැල් කඩල දාල එහෙම!

    ඇත්තමයි අයියෙ අර බුකියට වෙලා ඉන්න වෙලාවෙ මේකෙ පෝස්ට් දෙක තුනක් දැම්මම මක්ක වෙනවැයි? මං කියන්නෙ අර කමෙන්ට් කරන වෙලාවෙ එහෙම!

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ එතකොට මේ රටේ තරුණ අසහනය වැඩි වෙනවා නෙව...

      Delete
  17. පෝට් සිටියේ සමරු පලකය විවුරුත වන තෙක් බලා සිටිමි...

    ඒකත් රනිල් තුමා ගේ සන්කපලයක් ම වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. :D :D

      නියම කමෙන්ට් එක සාරස.

      Delete
    2. සිංහල බ්ලොග් ලියන හුඟක් අය ගොන් හරක් හෝ කපටි නරි. මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1994 ඉඳන් කියල. ලංකාවේ ඔක්කොම හා දහ ජරා වැඩ පටන් ගන්නේ 2005 ඉඳන් කියලා .

      Delete
  18. අනුන් කරන වැඩ වලට තමන්ගේ නම ගහගන්න එක "නිශන්කමල්ල"කාලේ ඉඳන් එන සිරිතක් නොව.
    ඔය සීතාවක උයන හරියට වෙඩින් වල pre shoot වලට ගන්නවා දැන්.

    ReplyDelete
  19. සිංහල බ්ලොග් ලියන හුඟක් අය ගොන් හරක් හෝ කපටි නරි. මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1994 ඉඳන් කියල. ලංකාවේ ඔක්කොම හා දහ ජරා වැඩ පටන් ගන්නේ 2005 ඉඳන් කියලා .

    ReplyDelete
    Replies
    1. // සිංහල බ්ලොග් ලියන හුඟක් අය ගොන් හරක් හෝ කපටි නරි. මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1994 ඉඳන් කියල. ලංකාවේ ඔක්කොම හා දහ ජරා වැඩ පටන් ගන්නේ 2005 ඉඳන් කියලා .//

      මටත් එහෙම හිතිලා ගොඩාක් කල් රන්සකු ලමයෝ!

      Delete
  20. මාරතුමා ගෙට් එකට එනවද?

    ReplyDelete
  21. අප්පට සිරි මෙන්න මාරයා සිටී...

    ReplyDelete
  22. මාරයා මැරී නැත.... හි හි

    ReplyDelete