19 April 2016

ඩෙංගු කතා අස්සේ හීන කතා...

මේකත් මේ ලියන්න තුන් හිතකවත් තිබුණ කතාවක් නෙවෙයි.. ඒත් කලින් පෝස්ටුවට ඉන්දික දාලා තිබුන කොමෙන්ටුවක් දැක්කම මතක් උන කතාවක්... එදාම ලියන්න හිතං හිටියත් ඉතිං ලියවුනේ නැහැ... පස්සේ මේ අද තමා යන්තං ආයෙම හිතුනේ ඔන්නොහේ ඕකත් කොටලා අතාරිනවා කියලා... ඒ හැටි දිග කතාවක් නෙවෙයි පුංචිම පුංචි සීන් එකක්...

මාස ගානක් පායලා..පායලා..පායලා... තවත් පායලා.. පායලා.. පායලා... ඕන්න අවසානේ අද තමා ටිකක් දැනෙන්න කරන්න වැස්සේ... පහුගිය කාලේ ඉතිං ගිරිස්මෙත් එක්ක මං වින්ද වදේ කලින් පෝස්ටුවේ කිව්වනේ... ඔහෙලට කියන්න අහ හවස හතරේ ඉදලා හය හමාර වෙනකල් පැය දෙක හමාරක් මං කල්ප කාලාන්තරයකට පස්සේ ඉහේ ඉඳන් රෙද්දකුත් පොරවං නිදා ගත්තා කියහංකෝ... හිතට දැනෙන සංතෝසය අච්චරයි මෙච්චරයි කියලා පමණ කරලා කියන්ට බැහැ පිංවතුනි... හම්මේ එහෙම සැපක්... කොටින්ම හීන පේනවා බොහෝම අඩු මංතුමාට හීනත් පෙනුනා...

"චන්දරපේම බාප්පලගේ රූස්ස අඹ ගස් දෙකෙන් ටිකක් ලොකු අඹ හැදෙන ගහ යස උන්නැහැගේ කුඹුරේ මහ නියරේ තිබුනේ කියහංකෝ... ඒකේ අඹ ඕසේට... එහෙං වැටෙනවා මෙහෙං වැටෙනවා... මං එහෙට මෙහෙට දුව දුව අඹ අහුලනවා... සමහර ඒවා අඹ කොට... මං ඒවත් පැත්ත බල බල කපා දාලා කතෑකි කිය කිය අහුලනවා..." 

මොන තරං හීනෙන් අඹ ඇහිලිල්ල නැගලා ගියාද කිව්වොත් දෙපාරක්ම ඔය අස්සේ 'චූ' බර හැදිලා හීනෙන් වගේ නැගිටලා ගෙහුන් ඒ අදාල කර්තව්‍යයත් කරලා ඇවිදින් ආයෙම ඇදට වැටිලා දොයියලා ආයෙම අඹ ඇහිදිල්ලට සෙට් උනා... තුන් වෙනි පාර  නැගිටලා ගියාම තමා යන්තං නින්දයි අඹ ඇහිදිල්ලයි දෙකම අහවර උනේ... :D 

හීනෙට අඳාලව කාරණා ටිකක් කියනවනං....
ඔය හීනෙන් දැක්ක අඹ ගහ අයිති වත්තේ අයිතිකාර චන්දරපේම බාප්පා කියන්නේ අපේ තාත්තගේ ඥාති සහෝදරයෙක්... මට උන්නැහේ ගැන තියෙන්නේ බොහෝම ඡායා මාත්‍රික මතකයක් විතරයි... එයිනුත් ප්‍රභලම එක තමා උන්දෑ මැරෙන්ට ටික දවසකට කලින් ගමේ කනත්තේදී සිද්ධ වෙච්ච සීන් එක... මං හිතන්නේ අපේ ආච්චිගේ මරණය දවස් වෙන්ට ඕන... ගමේ කිහිපදෙනෙක්ම කනත්තට ගෙහුන් හිටියේ ඒ මරණේ සම්බන්ධව වල කපන වැඩකට අඳාළව තමා... අපේ ගෙවල්වල ඉදලා ඔය කියන කනත්තට හැතැම්මකට වැඩියි දුර... මං හිතන්නේ ලංකාවේ තියෙන විශාලම කනතු වලින් එකක් වෙන්න ඕන ඒක... ඔප්පු තිරප්පු අනුවනං අක්කර විස්සකට කිට්ටුයි කියලයි ඒ කාලේ කියවුනේ... හැබැයි හතර වටෙං කට්ටිය ඒක අල්ලං ඒ වෙද්දි ඒ තරම්ම නැති උනත් අක්කර දහයකට වඩානං තිබුනා කියලයි ගම්මු කිව්වේ... මටනං ඒ ගැනත් තේරුමක් නැහැ.. හැබැයි විශාල කඳු ගැටයක මුදුනේ ඉදලා ඇහැට පේන මහ විශාල දුරක් ඔය කනත්ත තිබුනා... එයින් වැඩි හරිය මහ කැලෑව... කදුමුදුනේ ඉඳලා වෙල් යායක් පැත්තට තිබුන මහ බෑවුම තමා හුග දෙනෙක් ප්‍රයෝජනයට ගත්තේ... ඉතිං අපිත් එදා ඔය කනත්තේ ඉන්න කොට එතැන චන්දරපේම බාප්පා වගේම ගුණතිලක අයියත් හිටියා... ගුණ තිලක අයියා කියන්නේ වයසින් ඒ වෙද්දිත් වයස හැටකට ආසන්න විතර මනුස්සයා... බොහෝම මිටියි... එක ඇහක සුද හින්දා ඒ ඇහැ පේනවා හොරයි... හොද පිරිත් කාරයා... එදා එතැන හිටි අයගෙන් වයස්ගතම කෙනා... (හැබැයි නෑදෑකමින් මට අයියා.. :D ) 

චන්දරපේම බාප්පට ඒ වෙද්දි ඕනනං හතලිහක් හතලිස් පහක් ඇති මං හිතන්නේ... මනුස්සයා බොහෝම විනෝදකාමී හාදයා... එක වෙලාවක උන්දෑ කෝටුවක් තැනක ඇනලා කිව්වා "ඊ ළගට ඉතිං ගුණතිලක තමා... මෙන්න මෙතැන තමා වල කපන්න වෙන්නේ" කියලා... ඔය වගේ විහිළු හරි බරපතලයි උනත් ඒ වගේ තැනකදී ඒ හැටි දේවල් හැටියට සැලකෙන්නේ නැහැ... ගැණතිලක අයියත් ඒක ලොකුවට ගත්තාය කියලා නොපෙනුනත් මොකාක් හරි කතාවක් කිව්වා...

කොහොම හරි එයින් තුන්මාසයක් යන්න කලින් චන්දරපේම බාප්පා මොකාක් නමුත් සීන් කෝන් එකක් හින්දා වහ බීලා ජීවිතේ නැති කරගත්තා... අර කොටුව ඇන්න හරියෙම අවසන් කටයුතුත් සිද්ධ කෙරුණා.. ගුණතිලක අයියා දෙයියනේ කියලා එයින් පස්සෙත් අවුරුදු විසි පහකට එහා ජීවත් උනා... ඔය දෙදාස් නවය දෙදාස් දහය කිට්ටුව විතර තමා උන්නැහේ අවසන් ගමන් ගියේ... මාත් මල ගෙදරට ගොඩ වැදිලා ආවා... ආන්න එහෙමයි ඉතිං මේ ලෝකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ...

එතකොට හීනේ තිබුණ කුඹුරු යාය අයිති යස උන්නැහේ කියන්නේ පොඩි කාලේ අපිට හිටිය ලොකුම හතුරා... කොටින්ම අපි පොඩි කාලේ සෙල්ලමට රොබින්හුඩ් කරද්දි.. අපිට හරි ප්‍රශ්නේ ඒ ඒ චරිත තෝරා ගන්න එක... සෙල්ලං කරපු නඩේ එක කෙල්ලෙක්වත් ඒ වෙද්දි හිටියේ නැති හින්දා "මැරියන්" කෙනෙක් කවදාවත් හිටියේ නැහැ වගේම ඒක අපිට ප්‍රශ්නයක් උනෙත් නැහැ... කෙල්ලෝ කියන ජාතිය සත පහකට ගණන් ගන්නේ නැති කාලේ අපිට මොටද මැරියන්ලා... :D හැබැයි ඉතිං රොබින් වෙන්න නසියර් වෙන්න හෙම හෙන පොරේ... ඒ චරිත බෙදා ගැනිල්ලම ලෝක යුද්ධයක් වෙලා තිබුන කාලෙක අපිට කිසිම කරදරයක් නැතිව දෙන්න තිබුන එකම චරිතේ තමා ෂෙරීෆ්... ඒ තමා යස උන්නැහේ... :D
අපි සෙල්ලං කරන්න ගියාම ඒ දුව පයින කුඹුරු සීමාව... ඕවිටි දෙක තුන... හෙම අයිති වෙලා තිබුනේ යස උන්නැහේට... මිනිහට අපිව පෙන්නන් බැහැ... අපිට මිනිහව පෙන්නන්න බැහැ... කොටින්ම ඕපන් වලි ගිහින් තියෙනවා ඕන තරං... අපි මිනිහට පිදුරු වලින්... ගස් අතුවලින් ක්ෂණික ප්‍රහාර එල්ල කරලා පැනා දුවන එකත්.. මිනිහා අපිට අතට අහුවෙන එකෙන් ගහහා එලෝන එකත් ඒ කාලේ ඒ හැටි දෙයක් නෙවෙයි... පස්සෙන් පහු මිනිහා මහ තඩි පොල්ලකුත් බිම ඇන ඇන අපේ ගෙවල් හැම එහෙකටම වාගේ ගෙහුන් පැමිණිලි කිරිල්ලත්... ඒ පැමිණිලිවලට අනුව ඔන්ද ස්පොට් අපිට බඩු හම්බ විල්ලත් අර වගේම ෂුවර් ඇන්ඩ් ෂොට්... :D
හැබැයි ඉතිං එහෙම තාත්තලගෙන් ගුටි මුරේ හම්බු උනා කියලා අපි සැලෙයි... අපි අපේ "ෂෙරිෆ්" එක්ක නොනවතින වලියේ හැමදාම... :D

ඉතිං ඔය අඹ ගහ තිබුන වත්ත තිබුනේ යස උන්නැහේගේ කුඹුරට වත්තකට එහා... වත්තකට එහා කිව්වට හරියටම කිව්වොත් කුඹුරේ ඉඳන් මීටර් තුන්සීයක් විතර ඈතින්... අද ඉතිං මගේ හීනෙදි ගහ කෙලින්ම කුඹුර මැද...

හරි හරි ඒ හීන කතා මදෑ දැන්... ආවේ වෙන සීන් එකක් කියන්නනේ...

දැන් මාස කිහිපෙකට කලින්.. ඒ කිව්වේ මං හිතන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර්.. දෙසැම්බර් වලදී වගේ වෙන්න ඕන... මං දැන් ඉන්න ගෙදර වහලේ තිබුන වැහි බටයක් අධික වතුරපාරට ඔරොත්තු නොදී ඒක හයි කරලා තිබුන තැනින් ගැලවිලා බිමට වැටිලා තිබුනා... මාත් ඉතිං ඕක හයි කරන්න උඩට නගින්න ඒ දවස්වල තිබුන වැහි තත්වෙත් එක්ක තිබුන අපහසුවත් නිසා ගේ ඉස්සරහා තිබුන පේමන්ට් එකක් අස්සට විසුක්ක කොරලා තිබුනේ... පුළුවන් වෙච්ච වෙලාවක නැගලා හයි කොරනවා කියලා හිතාගෙන...

ඔන්න ඔහොම ඉද්දි තමා දවසක්දා කවුරු හරි ගේට්ටුව කන්න දගලනවා ඇහුනේ... ඔය ගේට්ටුව කන්න හදන උන් ගැන තියෙනවා වෙනම කතා... මගෙ අම්මේ තියෙන වදයක්... එක්කෝ ඒ ගැන පස්සේ දවසක ලියමු.. නැත්තං දැනටම වැල් වේගන යන පෝස්ට් එක යන යන පැත්තට මැහි බදින්නයි වෙන්නේ...

ඉතිං මාත් ගියා ගේට්ටුව කන්න හදන උන් මොක්කුදැයි බලන්න... 
වයස අවුරුදු විස්සේ විසි පහේ වගේ ගැටවු දෙන්නෙක්... පිටේ බෑග් එහෙමත් එල්ලගෙන... අතේ ෆයිල් කවරයකුත් තියාගෙන... එකෙක්නං අපේ මේ බ්ලොග් ලියන රත්ගමයා වගේමයි... අනිකා ඌට වඩා මිටියි... බැලින්නං උන්දලා මේ ඩෙංගු සම්බන්ධව ගෙවතු පරීක්ෂා කරන්නළු ඇවිත් තියෙන්නේ...
ඒ වග කියාගෙන ඔන්න දෙන්නා එන්ටයි ලැස්තිය ඇතුලට... එව්වා කොහේද මාත් එක්ක... ඔය ඩෙංගු බලන්නය කියලා එන උන්දලා ආවොත් ලේසි නැහැනේ... මං දන්න කියන තැන් කිහිපයකදීම උන් වැඩ කරන හැටි මං බලං ඉදලා තියේ... මොනවත්ම හොයා ගන්න නැත්තං පොල් ගහක් මුදුනේ පොල් පිත්තක් උඩ හරි වතුර රැදෙන්න පුළුවන්ය කියලා ලෙඩක් දාන්නම තමා සෙට් වෙන්නේ... දන්න කියන අය බොහොමයකගේ වතුවල තිබුන රම්පේ ගස්වලට මාරයෝ උන්දලා තමයි... සමහර තැන්වල ගානක් කපාගන්නකල්ම උන් ඩෙංගු මදුරුවෝ කටින් බෝකරලා පෙන්නවා... එහෙවු එකේ මුං වත්තට ආවොත් මල ඇනයක් වෙනවා කියලා මං නොදන්නවද... ඒ හින්දා මුලින්ම අනන්‍යතා පරීක්ෂණය... කොහොම හරි බෑග් අස්සේ තිබුන හැඳුනුංපත්... නගර සභාවේ ලිපි අරක මේක ඉදිරිපත් කරලා මුංදලාට මේකට අවසරයක් තියෙන වග ඔප්පු වෙන ගානට ආවට පස්සේ ඉතිං ඔන්න මං වත්තට ඇතුල් වෙන්න ඇරියා...

හොද වෙලාවට මං එදා උදේම මුළු මිදුලම අතු පතු ගාලා වත්තේ කොනකට වෙන්න කුණු එකතු කරලා ගිනි තියලා හෙම තිබුනේ... මොනවද ඉතිං වත්ත බත් දාගෙන කෑහැකි... :D ඒත් ඉතිං මේ අයියලා එක්ක ලේසි නැහැනේ... ඒ හින්දා මගේ උපරිම උත්සහය හැකි තරං ඉක්මනට මුංදලාව හරවලා යැවීම... එක බුවෙක් ගෙයි එක පැත්තකට ගියා... ඒ පැත්තෙන් ගේයි තාප්පෙයි අතරින් යනවනං ඒ යන එකා යන්න ඕන ඇග පැත්තට හැරිලා බොහෝම සිරු මාරුවට... ඒ ගියත් තාප්පේ තියෙන දුඹුලු ඇගේ ගෑවෙන එක වලක්වන්නනං ඌ පත්තර කඩදහියක් වගේ වෙන්න ඕන... නීට් එකට ඇඳලා පැළඳලා ආව එකා ඒ පැත්තේ යන්නේ නැති වග මං ඉර හඳසේ දන්නවා... මං හිතුවා වගේම ඌ මූණ හපුටු කොරගෙන ආපහු ආවා... අනිකා දැන් උඩ බලනවා... හරි ඌට මාට්ටු... මොකක්ද වැහි පීලී... ඔය වගේ කලින් හිටපු තැනකට ආව උන් දුන්න ඕඩර් හින්දා මං යස අගේට වතුර බැහැ බැහැ තිබුන වැහි පීල්ලක් හිල් කොලා නෙව... පස්සේ ඉතිං ඒ හිල් වලින් බහින වතුරින් සෑහෙන්න පීඩාත් වින්දා... මේ පාරනං ඒ මගුල් කොරන්නේ නැහැ කියලා මං හිතාගත්තා...

"මේ වැහි පීලී හිල් කරල නැහැ නේද..? උඩ කොල රොඩු හෙමත් පිරිලා වතුර එහෙම රැදෙනවද දන්නේ නැහැ"
මං හිතුවා වගේම බුවා එල්ලුනා වැහි පීල්ලේ... දැන් හරි වත්ත පිටියේ එල්ලෙන්න දෙයක් හොයා ගන්වට වඩා ලේසියෙන් දැන් මූ මේකේ එල්ලෙනවා... එයින් පස්සේ ඉතිං මට මුං ඉද්දිම බඩ ගාගෙන වහල දිගේ ගිහින් ඕක හිල් කරලා පෙන්නන්න වෙනවා... යකෝ උදේ ඉදලා වත්ත පිටිය අතු ගාලා නාගත්තා විතරයි...

"නැහැ නැහැ ඕවයේ හිල් කරන්න ඕන නැහැ... ඕකේ බැස්ම හොඳට තියෙනවා... වතුර රැදෙන්නේ නැහැ... කොළ රොඩු මහ ගොඩක් එන්න ඔය හරියේ උස ගස් නැහැනේ..." එහෙම කියාගෙනම මං වට පිට බැළුවා... ඇත්තටම මේ පීල්ලට කොලයක් වැටෙන්න ගහක් ඒ හරියේ නැහැ...මොකාක්ම හරි අළුගුත්තේරු කොලයක් මීටර් සීයක් විතර හුළගේ ඇවිත් බලෙන්ම ඕකේ පදිංචි උනොත් මිසක... ඒත් ඉතිං මුං ඕවා පිළීගන්නවා කියලෑ ඒ හින්දා මං මගේ කතාවට පොඩි බරක් දාන්න හිතලා කල්පනා කරනකොටම තමා මගේ ඇහට අහු උනේ අර ටික දවසකට කලින් ගැලවිලා වැටිලා පැත්තකට දාලා තියෙන වැහි බටේ...
"ඔය හුලගකට ඇවිත් වැටුන කොලයක් දෙකක් තමා ඕකේ තිබුනොත් තියෙන්නේ.. ඒවත් මං පහුගිය දවසක සුද්ධ කරලා දැම්මා... ඒ සුද්ධ කරන්න ගිහින් තමා අර තියෙන බට කෑල්ල අන්න අතනින් ගැලවුනෙත්... දැන් මේ ගම් එකක් ගෙනල්ලාම හයි කරන්න කියලා හිතාගෙන ඉන්නේ"
කියලා මං මගේ අවසාන තුරුම්පුවත් ගහලා දැම්මා...
අරූ මං හිදා බැළුවා... වහල දිහා බැළුවා... මං පෙන්නුව බටෙයි.. ඒක ගැලවුන දිහායි බැළුවා... අනිත් එකාගේ මූණ දිහා බලලා බලාපොරොත්තු කඩ උනා වගේ බැල්මට් එකක් දැම්මා...
"හරි හරි එහෙමනං" කිව්වා ඩබලම එයින් එහාට ගෙයි අනිත් පැත්තට එහෙම යන්න හිතන්නෙවත් නැතිව හැරිලා යන්න ගියා...
හනෙ හම්මේ දැනුන සනීපේ... මං බයේ හිටියේ ටැප් එක ගාව අඩියක් විතර උසට තියෙන රම්පේ පැලේටවත් මුං ගේම දීලා යයි කියලා... යන්තං අතක් පයක් නොකැඩී බේරුනා...

පස්සෙන් පහු මං අපේ මල්ලිකාරයෙකුට කියලා බටේ හයි කරවලා දැම්මා.. හැබැයි මං ඒත් කිව්වේ ඕක හයි කරලා තියනවට වඩා හැමදාම ගලෝලම තියාගෙන හිටියනං ලේසියි කියලා.. එන එන ඩෙංගුකාරයට පෙන්නන්න... :D

ඔන්න ඔහොමයි වැහි වතුරට ගලෝලා ගිය බට කෑල්ලත් පිහිටට හිටියේ... කොහොම උනත් ඇත්තටම මල්ලි කාරයා ඒක සුද්ද කරන්න කියලා ගියාට ඒ පීල්ලේ එකම එක කොලයක්වත් තිබුනේ නැහැ... ඒ වගේම මං කිව්වා වගේම වතුර බැහීම හොදින්ම සිද්ධ වෙන පීල්ලක්... හැබැයි අර බටේ ගැලවිලා තිබුනේ නැත්තං මට එදා ඕක හිල් කරලා අරුන්ට පෙන්නලා එයින් පස්සේ හැමදාම වැස්ස වෙලාවට ඒ හිල් වලින් වතුර පෙරිල ගේ පැත්ත තෙමෙද්දි උන් දෙන්නගේ මෑණිවරු සිහි කර කර ඉන්න වෙන්නේ... අර බටේ හින්දා ඒ කරදර ඔක්කෝම නැතිව ගියා...

දැන් මං මේ කල්පනා කරං ඉන්නේ ඔය බටේ දැන් ආයෙම ගලෝලා බිමින් තියාගන්න කාලේ හරි... මොකද පහුගිය පායන කාලේ ඩෙංගු හොයන්න කවුරුවත් නාවට දැන් ඉතිං එක වැස්සයි වැටුනේ හෙට ඉදලා කට්ටිය එන්න බැරි නැහැ... අපි කොච්චර වතුත පිටිය සුද්ධ කලත් උන්දලගෙන් බේරෙන්නනං එහෙම ජිල්මාට් එකක් දාන්න වෙනවා... :D

පලි-
මං මේ විහිළුවට කිව්වට ඉතිං ඔහෙලා එහෙම ඩෙංගු විහිළුවට ගන්නවා එහෙම නෙවෙයි... පුළුවන් තරං වත්ත පිටිය සුද්ධ පවිත්තර කොරලා පිළිවෙලට තියා ගන්න එක තම තමන්ටම පිහිටට හිටියි. ඩෙංගු මදුරුවෝ පරීක්ෂා කරන්න එන අය ඕනවටත් වඩා මිනිස්සුන්ට වද දෙන බව හැබෑවයි.. හැබැයි ඉතිං ඒ හින්දා හරි සමහරු තමන්ගේ වත්ත පිටිය පිලිවෙලට තියා ගන්න එකත් වටිනවනේ... කරදරේ තියෙන්නේ මේ වත්ත පිටිය පිළිවෙලකට තියාගෙනත් නිකං පරිප්පු කන්න වෙන අයට තමා...
දැන් ඉතිං වැස්සක් දෙකක් වැටෙද්දි ආයෙම ඩෙංගු විතරක් නෙවෙයි තවත් මදුරුවෝ හින්දා බෝ වෙන ලෙඩ මතු වෙන්න ගනී.. ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරලා තම තමන්ගේ පරිසරය පිරිසුදු කරගන්න බලන්ටලා...
මං ගියා එහෙනං...

18 comments:

  1. තේක්ක ගහක් එහෙම වත්තෙ තිබ්බනං බඩුම තමයි.. ගස්ලබ්බට වංගියක් ඩෙංගු හැදිලා ඉස්පිටිතාලෙ මැරෙන්න වැටිල හිටියා.යන්තං පණ බේරං ගෙදර ආව.එහෙම වෙලාවත් ඔය ඩෙංකුටු මහත්තුරු වත් පීඇච්චයි ල වත් කවුරුත් අද වෙනකං මේ පැත්තට නං ඇවිත් නෑ ඕං.. හෙහ් හෙහ්
    හොඳ පණිවිඩයක්.
    ජයවේවා..!!

    ReplyDelete
  2. සේවයක් කරන්න තනතුරක් ලැබුණම ඒක අනික් අයට කරදර කරන්න, ගෙම්බර් දාන්න, ගාණ කපන්න ක්‍රියා කිරීමට ලයිසන් එකක් ලෙස දකින තුන්වන ලෝකයේ උප සංස්කෘතිය.

    ReplyDelete
    Replies
    1. පීඑච්අයිලගේ ආහාර නීති ක්‍රියාත්මක කිරීමත් නියමයි. ලේබල් නීති අකුරටම හැබැයි තනිකර වස ගැන සයිලන්ට්

      Delete
  3. අපොයි ඩෙංගු වලින් කෑවා මදි නොකියන්න. ඊට පස්සේ අනවශ්‍ය ගස්කොලන් වහාම මරාදානවා.

    ReplyDelete
  4. මම ගියපාර එකට කොමෙන්ට් නොකලේ කලින් වතාවකත් එකක් ලියලා පැත්ත පලාතේ නාපු නිසා... දිගටම ලියහන්.. සතුට යනු , උඹලා සඳරුලා ආයෙත් ලියන එකය..

    ReplyDelete
    Replies
    1. //සතුට යනු , උඹලා සඳරුලා ආයෙත් ලියන එකය..//
      මේ විපර්යාසය ඇතිකළේ කවුද?

      Delete
  5. මාරයයියට කියන්න අපිටත් ඉන්ඩ හිටින්න බැරුව හිටියෙ රස්නෙ නිසා. ඕන් යන්තම් ඊයෙ වැස්සා මදි නොකියන්න.

    ඩෙංගු බලන්න එන උන්දැල ගැන කතාව නම් ඇත්ත තමා. කෙසෙල් ගස්, රම්පා ගස්, මල් ගස් විනාශයි. වැඩේ කියන්නෙ අපෙන් බදුත් අරන් පිරිසිදු කරන්න පඩි ගෙවන් සේවකයනුත් තියාගෙන ඉන්න නගර සභාව නඩත්තු කරන්න ඕන කානු පද්ධති වගේ ඒවායෙ තත්ත්වය නම් අන්තිමයි. ඩෙංගුවො බෝවෙන්නෙ ගෙවල්වල විතරයි කියල එයාල පූර්ව නිගමනයකට ඇවිත් වෙන්ටෝන මිනිස්සුන්ට විතරක් දඩ ගහන්න එන්නෙ. කොහොමටත් ඔය වාහනයක් අරන් පාරට බහින මිනිස්සුන්ට කොහොම හරි දඩයක් ගහල භාණ්ඩාගාරෙ පුරවනව වගේ මේකත් හොඳ ආදායම් මාර්ගයක් වගේ, ඩෙංගු මර්ධනය කෙසේ වෙතත්. මම කියන්නෙ යමක් හරියට කරනවා නම් හැමෝම ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. රජයත් පළාත් පාලන ආයතනත් මහජනතාවත් හැමෝම. අර බීටීඅයි බැක්ටීරියාවක් ගැන ඒ දවස්වල මහ සද්දයක් දැම්මා. මොනව උනාද මන්දා. වෙනත් යමක්වත් අත්හදාබලන බවක්වත් පේන්නෙ නෑ, කටින් බතල හිටවනව විතරයි කවුරුත්.

    ReplyDelete
  6. ඔය කියන විදියට අපේ වත්තට ආවොත්නං නඩු හත අටක් ශුවර්.

    ReplyDelete
  7. මාරයියේ............. අපේ උන්දැත් යනවා ඩෙංගු අල්ලන්න........ අපේ කට්ටියනං ඔය බරපතල තග දාන්න යන්නෑ.... මං ගෙදරින් යද්දිම කියලා යවන්නේ...... අහුවෙන තැන් තිබුණොත් ඉතින් ගෙදර අයත් එක්ක සෙට් වෙලා සුද්ද කරලා දාලා එනවාලු. අනික ඉතින් එයාටත් තේරෙනවා ඇතිනේ අපේ ගෙදර තත්වෙත් නේද?????????? 

    ReplyDelete
  8. මට මතක්වුනේ කීටයා කියලා ගිය ටෙලි නාට්ටි පෙළ. පාලිත සිල්වාද කොහෙද හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඔව්,පාලිත සිල්වා තමයි හිටියේ.රහස් පරික්ශක කතාවක් එක.

      Delete
    2. ඔව්,පාලිත සිල්වා තමයි හිටියේ.රහස් පරික්ශක කතාවක් එක.

      Delete
  9. අපි ඉන්න ගෙවල් වල දුම් ගහන්න, ඩෙංගු බලන්න එන එවුන් නම් එළ කොල්ලෝ...
    උන් එපා කියද්දීත් හුම්ම හිර වෙනකල් දුම් ගහලා, මදුරු කීටයෝ හැදෙයි කියල හිතෙන තැන් වලට බෙහෙත් දාල, පස්සෙත් දාන්න බෙහෙත් බෝතලයක් කාරිය එහෙමත් දීලයි යන්නේ...

    ඔය වතුර පීල්ලේ වතුර තියෙනවද කියල බලන වැඩේ උන්ටම කර ගන්න කිව්වනම් ඉවරනේ බං...
    මොන මගුලටද අපි වහලේ බඩ ගාගෙන ගිහින් බට හිල් කරන්නේ...

    හැබැයි මමනම් කැමති නැහැ, පීලි හයි කරපු වහලවල් වලට...
    නිකං වහලෙන් වතුර වැක්කෙරෙන එකේ පොඩි ගතියක් තියෙනවා...

    ReplyDelete
  10. වැහි පිඉලි ටික බලන්ඩ කියන්ඩ ඕනේ..

    ReplyDelete
  11. වත්ත පිටියක් අතු ගාපු කාලයක් මතක නෑ.. හෙහ් හෙහ්

    ReplyDelete
  12. හපොයි ඩෙංගු..අපේ මුළු ඉඩමම ඩෙංගු පරාදීසියක් වෙලා..සුද්ද කරහං කො මුල ඉඳල...ගෙයක් කඩල හදනව කියන්නෙ ඩෙංගු හැදෙන වැඩක් අප්ප

    ReplyDelete
  13. මාරයගේ ස්ටයිල් එක ආපහු ටික ටික මතු වෙච්චි කතාවක්.

    ReplyDelete