21 April 2016

බිලිං වෑංජනේ...

බ්ලොග් එක ටිකක් ලියන්න ගත්ත එකේ මාර සරණියත් ඔහොමම ලියවුනාට කමක් නැහැනේ නේද..? අනික ඉතිං කවදා හරි මෙව්වායෙන් කාට හරි වැඩක් ගන්න ඇහැකි වෙයි නෙව... එහෙනං ඕං

ඔන්න ඊයේ රෑ ජාමේ නුවර පැත්තට ගෑටුවා... කොළඹට වැස්සට මෙහෙට එහෙම වැස්ස පාටක් නැහැ. කොහොමින් හරි අද ඉතිං විවේකිව ඉන්න දවසක්...

නැවතිලා ඉන්න ඉස්තානේ අවට එහෙට මෙහෙට ඇවිදිනකොට තමා දැක්කේ බිලිං ගහකට පිස්සු හැදිලා වග...


ඕක දැක්කම ඉතිං මටත් පිස්සු හැදෙනවා කියන එක අහන්නත් දෙයක්යෑ... :D

මංතුමා වහාම ක්‍රියාත්මක උනා... ඒ වෙද්දි ගෙදර බත හරි ගස්ස ගස්ස තිබුනේ වැඩට හිටිය කෙනෙක්... ඒ උන්දා කුස්සියෙන් අහක් වෙනකල් ඉදලා මාත් කුස්සිය අල්ල ගත්තා... හැදුවා බිලිං වෑංජනයක්...

බිලිං මාළුව හදද්දි ඕකේ ඇඹුල ඉවත් කරගන්න එක වැදගත්ම කොටසක්... කලාතුරකින් බිලිං ටිකක් පොලකදී හරි ලැබුනත් නියම විදියට ඒකේ ඇඹූල ඉවත් කරන්න උවමනා අනිත් ප්‍රධාන දේ තිබුනේ නැති හින්දා ඔය කහයි ලුනුයි වතුරට දාලා තමා යන්තං ඒ අඩුව පිරිමහ ගත්තේ... ඒත් මේ කුස්සියේ වෙනම දර ලිපක් තියෙන හින්දා උවමනා අනිත් දේ වෙච්චි ලිපේ අළුත් ඕන තරං තිබුනා.. ඔය අළු දියරය හොද භෂ්මයක් නෙව... බිලිනුයි අළුත් දෙකම තියෙද්දි ආයේ මොනවා බලනවද...

හරි එහෙමනං ඔන්න තියෙනවා වැඩි දුර විස්තරේ... පිංතූරයක් දෙකක් එක්කම...

1-දෙකොනෙන්ම ඩිංග ඩිංග කපලා අහක් කරලා තලා ගත්ත බිලිං ටික අළු දිය කරපු වතුරට දාලා පැය බාගයක් විතර තියෙන්න ඇරලා හොදින් අළු ඉවත් වන සේ සෝදලා මිරිකලා තෙත හිදෙන්න තියලා ගන්නවා...

2-කොත්තමල්ලි/මාදුරු/සූදුරු/කුරුඳු පොතු/එනසාල්/කරාබුනැටි/උළුහාල්/ වියළි මිරිස්/ කබලේ බැදලා කුඩු කරලා ගන්නවා.

3-රම්පේ/ කරපිංචා/ කොච්චි/ (අමු මිරිස් උනත් අවුලක් නැහැ)
ඉගුරු/සුදුළුනු/රතුළුණු කපලා සූදානම් කර ගන්නවා.

4-හොඳ මිටි කිරි කෝප්පයක් හදා ගන්නවා.

5-මීට අමතරව ලුනු/අබ/කහ/උම්බලකඩ/ කෑලි මිරිස් පොඩ්ඩක් සහ උවමනා නම් සීනි ස්වල්පයක්. තෙල් ඩිංගක්


ඇතිලියක් ලිප තියලා තෙල් රත් කරලා අබ ටිකක් පුපුරවලා ඉගුරු/සුදුළුනු/රතුළුණු තෙලට දානවා.. ඒක බැදෙන කොට රම්පේ/ කරපිංචා/ කොච්චි එකතු කරලා තෙම්පරාදු කරං තෙත හින්දපු බිලිං එකතු කරනවා... ඒ සමගින්ම කහ/ලුනු/ සහ උම්බලකඩත්... හොද පරිස්සමට කලවං කරමින් තෙම්පරාදු කරනවා... දැන් බිලිංවල කොල පාට ඉවත් වෙලා වම්බටු බදිනකොට දුඹුරු පාට වෙනවා වගේ පාටට එද්දි කෑලි මිරිස් ටිකකුයි සකස් කරගත්ත බැදපු පහේ ටිකයි එකතු කරනවා... ඒකත් කලවං කරලා අවසානයට මිටි කිරි එකතු කරලා හොදින් හැඳි ගාලා පියනකින් වහලා පාඩුවේ අඩු ගින්දරේ ඉදෙන්න අරිනවා.. වරින් වර ඇරලා සීරු මාරුවට හැදි ගාන්නයි තියෙන්නේ...
අවසානයට රස බලලා ලුනු හරි ගස්සනවා... කැමතිනං සීනි යන්තමට එකතු කරලා ලිපෙන් බානවා...

මේක බත් පාන් කන්න හොඳයි.. හැබැයි සුපිරිම වෙන්නේ ඉඳිආප්පත් එක්ක තමයි... තම්බපු පාන් පිටියෙන් හදා ගත්ත ඉදි ආප්ප එක්ක බිලිං මාළුවක් සෙට් වෙනවා කියන්නේ ඉතිං ස්විප් එකක් ඇදිලා දිවිය ලෝකේ ගියා වගේ වැඩක්...

30 comments:

  1. ලිපේ අළු නේද? ඔය ගෙවල්වල ඉන්න පූසො එහෙම මුත්‍රා කරන්නෙ ලිපේ අළුවලට තමා. සමහර්විට බිලිං මාළුවෙ පාට... එක්කො ඕන නෑ.

    අපේ ඉස්කෝලෙ බිලිං ගහක් තිබුණා. ඒකෙ ගෙඩි කඩන්ඩ තහනම්. ගහ ළඟට යන්ඩ හම්බෙන්නෙත් කෘෂි කර්මෙ කරන ළමයින්ට විතරයි- ඒකත් එතන බිම සුද්ද කරන්ඩ වගෙ වැඩවලට.
    මම බිලිං කන්නෙ නෑ. ගෘහ විද්‍යාව කරපු මගෙ යාළුවො දෙන්නා බිලිං කන්ඩ ආසයි. ඒ දෙන්නා මට කියනව එතන සුද්ද කරන ගමන් හොරෙන් බිලිං කඩල දෙන්ඩ කියල. මම බිලිං කඩන්ඩ අකමැති වුණු හින්ද ඒ දෙන්නා මගෙත් එක්ක තරහ වුණා එක ටර්ම් එකක්!

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මේ ඇවිල්ලා ලිප නිමුව ගමන් ගත්ත අළුත් අළු... ඕනනං අහලා බලන්න... :P
      නීතියට වැඩ කරන එක ලේසි නැහැ මේ රටේ... :D

      Delete
    2. හරි පිස්සුවක් නේද. ළමයි කෑවා නම් මොකද වෙන්නේ.නිකන් හැලිලා යන එක. අපේ ඉස්කෝලේ එහා වත්තේ තිබ්බ බෙහෙත් නෙල්ලි ගහක් අපි හෙන ගේමක් දීලා තාප්පෙට නැගල කඩා ගන්නවා. ටිචස්ලා ඕක නොදන්නවා වෙන්න බැහැ. හැබැයි එපා කියලත් නැහැ. එක්කෝ අපේ ටිචලා හේන කම්මැලියි ඔව්ව හොයන්න. නැත්තන් හරිම හොඳයි

      Delete
    3. නලිනි කියන්නෙ අත්දැකීමෙන් නේහ්

      Delete
  2. මගේ ගාව තාම තියෙනව මාස් බිලිං හදන හැටි චැට් එකේ කියල දුන්න එක.. එක පාරයි ඒක හදන්න හම්බුනේ.. අපි ඒ ගෙදරින් ආවනෙ...

    ReplyDelete
  3. පොඩිම කාලේ පෙරේත කමට බිලින් අමුවෙන් කාලා බිලින් කියනකොටත් දත් හිරි වැටෙන සින් එකක් තිබ්බේ.. මේක දැක්කම නම් කන්න හිතුනා.. එත් යකඩෝ ඉඳියප්පන් එක්ක කන්න පුළුවන් කියුවම තාම හිතා ගන්න බෑ.. කාලම බලන්න වෙනෝ..

    ReplyDelete
    Replies
    1. ඉඳි ආප්ප කන්න හොඳම කම්බිනේශන් එක තමයි මාරයා කියන ඔය බිලින් මාලුව. සම්බෝලයකුත් තිබුනා නම් ගොඩේ ගොඩ. කමියා මේකට පාන් පිටි ඉඳි ආප්පම තමයි හරියන්නේ. මාරයගේ කතාව හරියටම හරි.

      Delete
  4. කටට කෙල ඉනුවා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා කෙහෙල් කොලේක ඔතලා ගෙනත් දෙන්න කියයි කියලා :)

      Delete
  5. හම්මෝ..............පෙරේතකොමේ බෑ. අච්චාරු දාන්නත් පුළුවන්. හාල්මැස්සොත් එක්ක කලවමට තෙල් දාලා ගත්තමත් මරේ මරු.

    ReplyDelete
  6. 1 බිරින් ලෙඩ වෙලා වගේ අර සුදු පාටට පේන්නෙ. :)
    2 නුතෙල්ලා දාලා මිරිස් කෑම හදනවා කියලා දන්නෙත් අද.
    3 අළු හා තව ගොඩාක් ඒවා...
    හරි අපි මේක කියෙව්වේ නෑ. බිරින් කෑවෙත් නෑ. කන්නෙත් නෑ. අපිට කොහෙන්ද ඉඳි ආප්ප වගේ කෑම... පුළුවන් නම් ඉඳි ආප්ප හදන හැටි දාන්න අන්න ඒක මට වටිනවා (මම මේ දවස් වල හිටු කියලා පොඩි කාලෙ කන්න බැරි වුන කෑම හදනවා)

    මට මතකයි අපේ ගමේ වත්තේ බිරිං ගස්. මම නම් ඒවයේ කෑවේ රතුපාට මල් විතරයි.

    ReplyDelete
    Replies
    1. බිරින් නෙමේ අනේ බිලිං :D

      Delete
    2. නුත්ල්ල නෙමේ අනේ නටෙලා :D

      Delete
    3. නටෙලා නෙමෙයි අනේ නුතෙල්ලා...අපි ඉතාලියෙනේ :D. නටෙලා මුලින්ම හැදුවෙත් අපි.

      Delete
  7. අපේ ගෙදර ගස් දෙකකත් බිලිං හැදිලා පොඩි උන් නිස්කාරනේ කඩලා විසික් කරනවා ...වැඩක් ගන්න ඕනි ගෙදර ගිය ජාමෙක..

    ReplyDelete
  8. මරේ මරු මාරයෝ. මමනම් හෙන ආසයි බිලිං අච්චාරු වලට අර ලුනු දෙහි වගේ හදන.

    ReplyDelete
  9. අම්මෝ සුවඳ !!!!! අපිට මෙහෙ බිලිනුත් නෑ ලිපේ අලුත් නෑ..අමු සටඉඳි තමා ඉතින් උයන්න වෙන්නෙ..ස්තුතියි මාරයෝ..ආවහම ගෙදර උන්දෑට කියල හදවගන්නෝ..

    ReplyDelete
  10. කටට කෙළ උනනවා අෆ්ෆා.............

    ReplyDelete
  11. මම නම් බිලිං කන්නේ නිකම්. පට්ට ඇඹුල්. ඒත් රහයි..

    ReplyDelete
  12. බිලිං ලුණු ඩිංගක් එක්ක අමුවෙන් කනකොට පට්ට..නැත්තං කරෝල හොද්දකට දාලා

    ReplyDelete
  13. අම්මෝ බිලිං. කියද්දීත් කට ඇඹුල් වෙනවා ,

    ReplyDelete
  14. මේක දැනගන්න ඕන කම තිබුණා සෑහෙන කාලෙක ඉඳන්. අර අළු කේස් එක තමා ටිකක් අවුල්. අඹ උයනකොට හුණු ගාලා තම්බනවනෙ. ඒවගේ මේකත් හුණු වතුර වල ටිකක් දැම්මොත් හරි යන්නෙ නැද්ද? ඔය තියෙන්නෙ අම්ල භෂ්ම සීන් එක මම හිතන්නෙ. (ඉක්මනට කියහං ගේ පිටිපස්සෙ බිලිං ගහේ ගෙඩි හැදීගෙන එනවා)

    ReplyDelete
  15. අළුයි බිලිනුයි දෙකම නැහැනේ. කෙල ගිලල වතුර එකක් බොන්නම්. ගෙදර නම් ඔහේ වැටිලා යනවා. අපේ නැන්දම්මා බිලිං වේලන වගේ මහා පරිමාන ප්‍රොජෙක්ට් වලට අත ගහනවා.පස්සේ ඉතින් එව්වත් විසිකරන එක තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙන් හදලා ටින් කරලා එවන්නද ? අපිත් මොනවා හරි ව්‍යාපාරයක් කොරන්න එපැයි.

      Delete
  16. ඔය කොරල තියෙන්නෙ. හැක්..

    ReplyDelete
  17. පෝස්ට් එක කියවලා දත් හිරි වැටුණා. බිලිං වෑංජනේ ටොප්. වේලපු බිලිං හාල්මැස්සෝ එක්ක තෙල් දාලා ටොපේ ටොප්.

    ReplyDelete
  18. ඇඹුල් ව්‍යාංජන බත් එක්ක කන්නනම් කැමතිම නෑ...

    ReplyDelete
  19. අපේ මාතු මාමල හදනව බිලින් අච්චාරු. ඒ කරන්නෙ බිලින් කර කරල, ඒව එක්ක හාල්මැස්සො එහෙම දාල. අපි මෙහෙ ගෙනත් තියාන ඉන්නව ඒව, මොකද ටිකක් දා ගත්තම ඕන පාළු බත් වලඳක ගිල දන්න ඇහැකි.

    උඹෙ බිලින් මාළුව දැකල කෙල හලල ගියා කියල ලියා ගනින්.

    ReplyDelete
  20. කටට අම්බානක කෙළ ඉනුවා...

    ReplyDelete
  21. කෙල ඉනුවට දත් හිරි වැටෙන සීන් නිසා කන්න බෑ. මොනවා වුණත් ආයේ ලියන එකම මදැයි.

    ReplyDelete