22 September 2016

අද පාඩම... මිරිස් බැදීම...



හරි ඉතිං හිනා වෙන්න එපාලා... මිරිස් බදින්නත් කියා දෙන්න ඕනද කියලා අහයි... ඔව් ඉතිං ඔයිට කලින් බිත්තර තම්බන්න දන්නවද කියලා අහපුවාමත් මට කට්ටියක් හිනා උනානේ... :D

පස්සේ ඉතිං තාක්ෂණයට අනුව බිත්තර තම්බන හැටි කිව්වට පස්සෙනං ඒ හිනාව හිමිහිට මැකිලා ගියා තමා... මේකත් ඒ වගේ තමා...


බතක් උයන්න... බිත්තරයක් තම්බගන්න.. පපඩම් බදින්න.. මිරිස් බදින්න අමුතුවෙන් කියා දෙන්න ඕනද කියලනේ කට්ටිය ගත් කටට අහන්නේ... ඒ කියන්නේ ඒ වැඩ කවුරුවත් කියා දෙන්න තරං දේවල් නෙවෙයි හරි සරල වැඩ හැටියට තමා සලකන්නේ... හැබයි ඉතිං ඔය මොනවත් කවදාවත් කරලා නැති කෙනෙක් ඕවා කරන්න ගියාම තමා රගේ තේරෙන්නේ... 

හැබැයි ඉතිං සමහරුන්ටනං එහෙම තේරෙන්නෙත් නැහැ... බතක් කියලා තමන් උයා ගත්ත කිරිමැට්ට හරි ගිලලා ඒක තමයි බත කියලා හිතං ඉන්න හරි... කහ මදේ වටේ කලු වෙනකල් කර වෙන්න තම්බගත්ත බිත්තරේ කාලා දාලා ඔහේ ඉන්න... සෙට් එකට ඕවා ගානක් නැහැ... ඒත් ඉතිං හරියට කාලා පුරුද්ද තියෙන... තමන් ඒ දේවල් හදන්න ගියාම ඒ කොලිටියට වැඩේ ආවේ නැතිවම වැඩේ ගැස්සුනා කියලා දන්න අයට තමා මේ පාඩමත්... ඒ කිව්වේ මිරිස් බදින්නේ කොහොමද කියන පාඩම...
රයිටෝ මුලින්ම අපිට උවමනා දේවල්...

*හොඳ තත්වයේ වියළි මිරිස්...
*බැදීම සඳහා තෙල්...
*තාච්චියක් සහ දැල්වෙන ලිපක්...
*ලුනු කුඩු
*මිරිස් සේදීම සදහා වතුර...
*තෙල් හැන්දක් හෝ සාමාන්‍ය මේස හැඳි දෙකක්...
*පේපර් ස(ර්)වියට් එකක් හෝ කිචන් ටවල් එකක්... ඒත් නැත්තං පත්තර කඩදාසි නොවන සාමාන්‍ය පිරිසිදු කඩදාසියක්...
*පිගානක් වැනි බාජනයක්...

මුලින්ම අපි මිරිස් ටික බැදීම සඳහා සූදානම් කරගන්න ඕන...
ඒකට හොදම විදිය මිරිස් කරල් ටික එක පාරක් වතුරින් සෝදාගෙන දෙකට කැඩීම... විශාල කරල් නම් තුනකට විතර කැඩුවත් කමක් නැහැ...
ඊ ළගට මේ කෑලි කඩා ගත්ත මිරිස්වල ඇට ටික ඉවත් කිරීම තමා වඩාත්ම සුදුසු... ඒත් සැරට වැඩි කැමැත්තක් ඇති ගැස්ට්‍රයිටීස් එහෙම නැති පින්වතුන් ඇට තියෙද්දිම බැද්දත් කමක් නැහැ... ඒත් මං ඒ තරමට පින් කරලා නැති හින්දා මමනං හොදට සෝදන ගමන් මිරිස්වල ඇට ඉවත් කරනවා...
මෙන්න මෙහෙම සෝදලා දෙකට තුනට කඩා ගත්ත මිරිස් ඇට සහිතව හෝ රහිතව අරගෙන හොදින් එක් වරක් මිරිකා දිය ඉවත් කරන්න ඕන...

ඊට පස්සේ මිරිස් කරල්වලට යහමින් ලුනු කුඩු ඉහගන්නයි තියෙන්නේ... නිකං ලාවට ලුනු නෙවෙයි හොදට ලුනු කුඩු එකතු කරලා මිරිස්වලට කලවං කරන්න ඕන කෑලි ඇතුලටත් යන විදියට... එහෙම කරලා මිරිස් ටික ටිකක් පදං වෙන්න අරින්න ඕන... අඩුම ගානේ විනාඩි දහයක්වත් තියන්න පුළුවන්නං වඩාත් හොදයි... මිරිස් වැඩි ප්‍රමාණයක් බැදලා අසුරලා තියං පාවිච්චි කරන්න හිතන කෙනෙකුටනං මිරිස් ටික ලුනු දැම්මට පස්සේ අවුවේ වේල ගත්තත් කමක් නැහැ... (ලුනු කුඩු මිස ලුනු වතුර පාවිච්චි නොකරන්න... මිරිස් ටික ඉතා ඉක්මනින් හංකඩ වෙනවා සත්තයි... :D )

දැන් ඉතිං තියෙන්නේ රත් උන තෙල් තාච්චියකට දාලා මිරිස් ටික බැද ගන්න එක...

මේකට තෙල් ගිනි රස්නෙට තිබිලත් බැහැ.. තෙල් අමුවට තිබිලත් බැහැ... තෙල් ටික රත් වේගන එද්දි තෙල් වල වටෙන් පොඩි නලියන ගතියක් පෙන්නුව ගමන්... ආන්න තෙල් ටික නියම ගානට ඇවිල්ලා.. දැන් මිරිස් අහුරක් අරං "චෝස්" ගාන සද්දේ එද්දි දානවා තෙලට... තත්පරයක් යද්දි හැන්දක ආදාරයෙන් මිරිස් ටික පැත්ත පෙරලනවා... තත්පර දෙකක් තියෙන්න අරිනව... හැන්දෙන් එක පාරක් හොදට තාච්චියේ අඩියට තද කරනවා. තත්පර දෙකක් යන්න අරිනවා... හැකි ඉක්මනින් පේපර් සවියට් එක හෝ කඩදායි එලා ගත් භාජනයට මිරිස් ටික බානවා... ඒ බාද්දි හැකි තරම් තෙල් හැන්දට නොඑන සේ බාගන්න උවමනයි... තෙල් හැන්දකින්නං මේක කරන්න පහසුයි.. ඒකේ හිල් වලින් තෙල් බේරිලා යන හින්දා... තෙල් හැන්දක් නැත්තං හැදි දෙකක ආධාරයෙන් පරිස්සමට ඇගට තෙල් විසි කරගන්නේ නැතිව තෙල් බේරලා ගන්න ඕන...

දැන් මිරිස්වල තැවරිලා ඇති තෙල් කඩදාසිය හෝ පේපර් සවියට්ටුවට උරන්න ඇරලා නිවෙන්න අරින්න ඕන... හොඳටම නිවුනට පස්සේ පිරිසිදු බෝතලයකට අසුර ගත්තොත් සෑහෙන දවසක් තියා ගන්නත් පුළුවන්... එහෙම නැත්තං උණු උණුවෙම කාලා දාන්නත් පුළුවන්... මෙහෙම බැද ගත්තම විධිමත් ඇසීරීමක් නැතිව උනත් දවසක් විතර හොඳ හයියට මිරිස් ටික තියෙනවා... හංකඩ නොවී... ඒ වගේමයි මතක තියා ගන්න ඕන කල් තියා ගන්න බදිනකොට ටිකක් ලුනු කුඩු වැඩියෙන් දාන්න... බැදලා ඉවර උනාමත් මිරිස්වල ලුනු තට්ටුවක් යන්තමින් තියෙනවා වගේනං වඩාත් හොදයි.. ඒ වගේම ඒ බෝතල්වලටත් තෙල් ඉරීම සදහා පොඩි කඩදාසි කෑල්ලක් දාලා තියෙන එක සුදුසුයි... සහ බෝතලේ විවෘත කරන වෙලාවට අළුත් කඩදාසියක් මාරු කිරීමත් වැඩි කාලයක් මිරිස් ටික කල් තියා ගන්න හේතුවක් වෙනවා...

හරි ඔන්නොහොමයි කරස් ගාලා හැපෙන.. හංකඩ නොවන සාර්ථක මිරිස් බැදීමක් කරගන්නේ... ආ මතක තියාගන්න.. මිරිස් බදින කොට එක කිඹුහුමක් හරි යන ගානට මිරිස් සැර මතු වෙන්න නොදී බදින්න පුළුවන් වෙන්න ඕන නියම විදියට වැඩේ කරනවනං.. මිරිස්වලින් දුං ගහලා කිඹුහුං යන ගානට එනවා කියන්නේ මිරිස් ටික බොහෝ දුරට බැදිලා නෙවෙයි පිච්චිලා කියන එකයි... එක පාරින්නං මේක අමාරු වෙයි... ඒත් දවසක් දෙකක් වැඩේ කරනකොට ඒ ගානට වැඩේ කරගන්න අත හුරු වෙනවා... එච්චරයි...

32 comments:

  1. ලුණු කුඩු.

    ඕක තමයි එහෙනම් කැච් එක.

    මට සාමාන්‍යයෙන් හොඳට උයන්න පුළුවන්, ඒත් මිරිස් බදින්න නම් හම්බානක් එක්ස්පරිමන්ට් කරලා තියනවා එකක වත් අර කඩල කරත්ත කොලිටි ලුණු රස නැහැ. අධි සාන්ද්‍ර ලුණු වතුරේ මිරිස් පැය බාගයක් විතර පොඟවලත් බලල තියෙනවා ඒත් ම්හු.

    මේක වත් කරල බලමු කෝ.

    ReplyDelete
    Replies
    1. ලුනු වතුරේ පෙගවීම තමා ඉස්සර අපේ තාත්තත් කරන්නේ... ඒත් එහෙම බැද්දම එවෙලෙම මිසක් ටික වෙලාවක් යද්දි හංකඩ වෙනවා... හැබැයි එහෙම පොගවලා තියලා අවුවේ තියලා හොදට කර වෙන්න වේල ගත්තොත් (එතකොට මිරිස් කරලේ පිටත සුදු පාටට ලුනු පිපෙනවා) එයින් පස්සේ බැද්දමත් වැඩේ සාර්ථකයි...

      Delete
    2. ඔව් හංකඩ නම් වෙනවා කාල ඉවර වෙන්නත් ඉස්සර.

      මට හංකඩ වෙලා වත් ලුණු රසයක් ආවේ නැහැ. අනික වතුර වැඩි උනහම තෙල් නිවෙනවා, විසි වෙනවා කරදර ගොඩයි.

      බොහෝ මැ පින්!

      Delete
  2. මොකද බන් මෙච්චර ඉඩ තිබ්බේ ... පෝස්ට් එක දිග වැඩි හින්දද හෙහ් හෙහ් .. මට බැදපු මිරිස් කන්න එච්චර කැමැත්තක් නෑ.. කොස් තම්බල කරවල හොදි වගේ එක්ක කද්දී නම් ඔන්න බැදපු මිරිස් කන්න කැමතියි.. අනිත් වෙලාවට ඒ හැටි කැමැත්තක් නෑ...

    අර තන්දුරි චිකන් හදන රෙසිපි එකක් දන්නවනම් ලියනවද.. ගෙදරදී හදා ගන්න පුළුවන් විදියට..

    මැයි සිට සැප්තැම්බර් දක්වා මෝසම් වැස්සට අහු වෙලා හිටියද මොකුත් ලිව්වේ නැත්තේ හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. මේක බුකියට ලිව්ව එකක් බං... එහෙමම අරං කොපි කරලා දැම්මම මේ වෙච්ච දේ තමා... එක පාරක් හදන්න බැළුවා ම්හූ... හරි ගියේ නැහැ ඒ පාර දමලා ගහලා නිකං හිටියා වෙන වැඩක් කරන්න තිබුන හින්දා... දැන් බලන්න ඕන ඒක හරිගස්සන්න.

      මම තන්දුරී චිකන් වැඩේ ඒ හැටි එලවලා නැති වැඩක්... එක පාරක් ඕක ගැන කැලෑසියේදී සෑර් සාකච්ඡා කලා... කොහේ හරි නෝට් එකක් ඇති... වෙලාවක මංම හදලා බලලාම දෙන්නං... නැත්තං මමවත් නොකරපු දෙයක් ගැන දන්නවා වගේ ලියලා උඹත් අමාරුවේ වැටිලා මාත් අමාරුවේ වැටෙනවා... :D

      මේකත් මේ බුකියට ලිව්ව එකක් බං... ලියලා ඉවර වෙලා තමා මතක් උනේ යකෝ මටත් ඉස්සර බ්ලොග් එකක් තිබුනා නේද කියලා... :D :D :D

      Delete
  3. අපේ අම්මා කරන්නේ ලුණු වතුර තාච්චියට දාලා ඒකට මිරිස් කරල් දාලා ලුණු වතුර හින්දෙනකන් රත්කරලා ඊට පස්සේ වෙන තාච්චියක තෙල් රත් කරලා මිරිස් කරල් ටික බැදගන්න එකයි. මිරිස් කරලේ හැමතැනම එක ගානට ලුණු රස තියෙනවා. ඒත් මේ පෝස්ටුවේ තියෙනවා වගේ මෙහෙම බැදලා ඒ වෙලාවේම කන්න ඕනෙ. නැත්තන් පහුවෙන කොට කරස් කරස් ගතිය අඩුවෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් තමා... දවල්ට බැදපු මිරිස් වලින් ඉතුරු වෙන එකක් රෑටවත් කන්න බැරිවෙන්න හංකඩ වෙන ප්‍රශ්නේ තමා ඉතිං අවුල... මේ විදියට බැද්දම ඒ අවුල එන්නේ නැහැ...

      Delete
  4. අපිනං කරන්නෙ කරල පිටිං (ඇතුලට ලුණු උරාගන්න පොඩ්ඩක් පලුදු කරල) ‍ලුණු පොල්කට්ටෙ ටිකක් වෙලා පෙඟෙන්න දාල බැදල ගන්න එක. අනික ඕව දවස් ගණං තියාගෙන කන්නෝන ජාති නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් ඉස්සර කරන්නේ හරනෙල් කට්ටකින් මිරිස් කරලා පලලා එහෙමම ලුනු පොල් කට්ටට දාලා තියලා අනිත් ඉවුම් පිහුම් කරන එක... ඒ වැඩ ඔක්කෝම කරලා අවසානයට තමා එහෙමම අරං ඔය ටික තෙල් තාච්චියට දාලා බදින්නේ... එවෙලෙට හොදයි හැබැයි පස්සේ හංකඩ...
      හැම වෙලේම මිරිස් බැද බැද ඉන්නවට වඩා ලේසි නැද්ද ඕකත් අර අච්චාරු ලුනු දෙහි වගේ හදලා ටිකක් යහමින් තියා ගත්තම... කෑම එකේ ගතියක් නැති උනාම ගෙදර උන්දැට ඥං ඥං ගාන්නේ නැතිව ඇරියා බෝතලේ දාගත්තා ටිකක් කෑවා හායි හූයි ගාලා... :D

      Delete
  5. ආ මෙහෙමද මිරිස් බදින්නෙ

    ReplyDelete
    Replies
    1. නෑ මචං මෙහෙම නෙවෙයි මිරිස් බදින්නේ... :P

      Delete
  6. මාරයත්, මම වගේම පහුගිය කාලෙම බ්ලොග් ලියන එකෙන් ඈත්වුන බවත් දැක්කා. සතුටුයි පැරණි මිතුරෙකුත් නැවත වැඩ අරඹා තිබෙනු දැකීම...

    ReplyDelete
    Replies
    1. වැඩ ඇරඹීමක්ම නෙවෙයි දිනේෂ්... නිකං පාළු කැපිල්ලක් විතරයි... :)

      Delete
  7. එල මචං.
    අර මෝර මිරිස් කියන ජාතිය ගෙදරදී හදන හැටි දන්නවද? මට හැටන් පැත්තේ පොරක් කිව්ව රැයක් එළකිරි + ලුණු වල පොඟවල ගන්න ඕනේ කියල. ෂුවර් නැති නිසා හැදුවේ නෑ

    ReplyDelete
    Replies
    1. මම හරියටම දන්නේ නැහැ. ඒකේ නියම නම "මෝර" මිරිස් නෙවෙයි මං හිතන්නේ "මෝරු" මිරිස්... ඒ කිව්වේ කිරි මෝරුවල දාලා හදනවා කියලයි කියන්නේ... එළකිරිම නෙවෙයි.. මෝරු කියන්නේ මුදවපු කිරිවලින් ඉවත් කරගන්න ජලය වගේ දේකට... ඒකයි ලුනුයි එකතු කරලා පසුව වේල ගන්නවා වෙන්න ඕන. හැබැයි මම කරලා නැහැ... මම මෝරු මිරිස්වලට ආසත් නැහැ... :D

      Delete
  8. හම්මා.... මිරිස් බඳින්නත් කලාවක් තියෙනවා එහෙනං අදනෙ ඒක දැන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතිං ගෑණු ළමයින්ට ඉස්සරහට ඕන වෙන පාඩං...

      Delete
  9. මිරිස්වල ඇට අයින් කරන්නෙත් අර බීටලේ ඒ කාලෙ හාල්මැස්සො සුද්ද කරපු විදියට ද බං?

    ReplyDelete
  10. මාර සරණිය ආයෙත්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ආයෙමත් සින් එකක් නැහැ යලට මහට වැටෙන එව්ව මෙව්වා...

      Delete

  11. http://raj1st.blogspot.com/2016/09/blog-post_15.html

    AnonymousSeptember 21, 2016 at 9:22 PM
    ලිස්ට් ඔෆ් බයි පීපල්ස් ඉන් බ්ලොග් ඉස්පියර් (ඔන්ලි ටෙන්):

    1. අවර් ඔනරබල් මාරයා අයියා
    2. හර් එක්සලන්සි නලිනි අක්කා
    3. මීමුරේ මාමා
    4. මොළේ කරවුණු කරවිට මාමා
    5. අස්සේ දොඩන් ගොඩ
    6. සු. කිරිකොකාවල
    7. වීරක්කොඩිගේ දොස්තර රෝගියා
    8. සසර සැරි සරණ මී හරකා
    9. අමුමිරිස් නානා
    10. සාරස තුමා

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔය රෙද්දේ කුණු ගොඩවල් ගෙනත් අතාරින්නේ නැතිව හිටාං... පිස්සෝ එක්ක ජිල් ගහනවට වඩා වැඩ තියේ මට... :D

      Delete
  12. ට්‍රයි එකක් දීල බලන්න ඕනේ...

    ReplyDelete
  13. මිරිස් කන්න කොහෙත්ම කැමැත්තක් නැත. ඒක නිසා මේ පෝස්ට් එක ගෙදර උන්දැට නොපෙනෙන තැනක හන්ගනෝ

    ReplyDelete
  14. ලුණු කුඩු තමයි එහෙනම් රහස ... තැන්කූ කිව්වා එහෙනම් ... :)

    ReplyDelete
  15. නිතරම බැලුවට අදයි comment කරන්නෙ .. කාල ඉවර වුනහම තමා සැර .....

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අර ඊයෙ පෙරේදා හැදුවායි කියපු පොලොස කොයි??

    ReplyDelete
    Replies
    1. ආ ඒක බ්ලොග් එකට දැම්මේ නැහැ නෙව...

      Delete