21 January 2016

ආන්ඩුක්‍රම වෙනසට මාර අදහස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා බාරගන්නවා කිව්වනේ... ඕකුන් ඕවා බොරුවට බාර ගන්නව මිස ක්‍රියාත්මක කිරිල්ලක් හෝ ඒ ගැන වැඩිදුර අදහස් විමසීමක් කරන්නේ නැති බව දන්නවා උනත් මාත් ඔන්නොහේ පුරෝලා ඇරියා පෝරං කොලේ... :D

ඇත්තටම මගේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුලත් විය යුතුද.. නැත්තං පාර්ලිමේන්තු පනත් කෙටුම් පතක් විදියට ආවම ඇතිද මංදා... ඒත් ඉතිං මේක මගේ ඔළුවේ කාලෙක ඉදන් තියෙන අදහසක්... අවුල් සහගත තැන් තියෙනවා වෙන්න පුළුළුන්.. ඒත් කල්පනා කරලා සාකච්ඡා කරලා විසදගන්න බැරි තැන් තියෙන්න විදියක්නං නැහැ.. ඒ හින්දා ඔන්න මෙතනත් ඒ යවාපු යෝජනාව ගෙඩි පිටින්ම කොපි පේස්ට් කරනවා... බලන කියන අයගේ අදහස් යෝජනා දක්වනවනං මට පුළුවන් තව ටිකක් මේක විස්තරාත්මකව හදන්න වගේම අඩු පාඩු සකස් කරන්න බලන්නත්...


අමතක කරන්න එපා.. මං කවදා හරි රටේ ජනාධිපති වෙන්න හීන දකින එකෙක් (ඕය ලින්ක් එකේ චම්පික ගැන තිබුන අදහස් මේ වෙද්දි සීයට සීයක්ම කනපිට ගහලා හින්දා ඒ සැලසුම් පවතින තත්වය යටතේ යාවත්කාලීන කරන්න වෙනවා... ) ඈ.. වැරදිලාවත් උනොත් මේවා ක්‍රියාත්මක වෙන්න පුවළුන්.. මගේ අධ්‍යාපනය විකිණීම රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගය කරන්න හිතං ඉන්න වැඩ පිළිවෙල වගේම... :D

__________________________
වැඩිවන ජනගහණ ගැටළුවට විසඳුම් ලෙසත්, ආගම් හා ජාතීන් අතර ඇතිවෙමින් පවතින්නා වූ ගැටළු පාලනය කිරීම සඳහාත්, රැකියා වියුක්තිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට අතිරේක මාර්ගයක් ලෙසිනුත් මාගේ යෝජනාව ඉදිරිපත් කරමි. මේ සම්බන්ධ අඩු පාඩු හා ගැටළු ඇති වේ නම් ඒ ගැන තව දුරටත් සාකච්ඡා කිරීමටත්.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සකස් කල යුතු අංශයන් ගැන වැඩි දුරට සාකච්ඡා කාරීමටත් කැමැත්තෙමි.

මාගේ යෝජනාව-
ලාංකීය පුරවැසි ඕනෑම අයකුට එක් දරුවකු සඳහා රජයෙන් අවසර පත්‍රයක් නිකුත් කිරීම.
මෙය විය යුත්තේ සෑම පුරවැසියකුටම අවසර පත්‍ර භාග දෙකක් වශයෙනි. උදාහරණයක් ලෙසින් ගත් කල යම් කිසි පුරුෂයකුට හිමිවන අවසර පත්‍ර භාග වලින් දරුවකු සැදීමටනම් තවත් කාන්තාවකගේ අවසර පත්‍රවලින් භාගයක් එකතු විය යුතුය. එසේ ගත් කල ඕනෑම අයකුට දායක විය හැක්කේ දරුවන් දෙදෙනකු සෑදීමට පමණකි. විවාහයන් කීයක් කරගත්තද තමාට හිමි අවසර පත්‍ර අවසන්ව ඇත්නම් ඔහුට හෝ ඇයට තවත් දරු උපතක් සඳහා දායක විය නොහැකිය.

මෙම අවසර පත් තම තමාගේ කැමැත්ත මත අන් සතු කල හැකි විය යුතුය. නමුත් එසේ කිරීමේදී තමාගේ ජන වර්ගයට (සිංහල/දෙමළ/මුස්ලිම්/බර්ගර් ආදී වශයෙන්) අයත් අයකු හට මිස අන් ජන වර්ගයක අයකුට එකී අවසර පත්‍ර පවරා දිය නොහැකි විය යුතුය.
මේ හරහා ලංකාවේ ජන වර්ග අනුපාත දැනට ඇති පරිදිම රැක ගැනීමට අවස්ථාව උදාවන අතර... වඳ භාවය නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මත හෝ.. ආර්ථීක අපහසුකම් මත හෝ.. විවහා නොවී සිටීමට හා දරුවන් සෑදීමට ඇති අකමැත්ත මත හෝ යම් අයකු සතු අවසර පත්‍ර අහෝසී වී යාම අවම වෙයි. (වැඩිදුර පැහැදිලි කිරීමක් කල හැක)

අදාල අවසර පත්‍රයට පිටින් කිසියම් අයකු දරුවන් සාදන්නේ නම්.. රජයට විශේෂ බද්දක් ගෙවීමටත්.. රජය මගින් ලබාදෙන නිදහස් සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැනි විශේෂ පහසුකම් වලදී මුදල් අය කිරීමටත් කටයුතු කිරීම මගින් අවසර පත්‍රයට වටිනාකමක් හා ගරු කිරීමක් ලබා දිය හැකිය.

මෙම අවසර පත්‍රය වයස දහ අට (හෝ රජයේ අනුමැතිය ලැබේනම් වයස 16න් පසුව හෝ) වන විට පුද්ගල ලියාපදිංචි හැදුනුම්පත් නිකුත් කිරීමත් සමඟින්ම නිකුත් කල හැකි අතර පරිඝණකගත වැඩ සටහනක් ලෙසින් සකස් කිරීම තුලින් රජයේ පරිපාලන විඩසටහන්ද ක්‍රමවත් කර ගත හැකිය.

මෙම යෝජනාව හැකි තරමින් කෙටිව දක්වා ඇති අතර ප්‍රායෝගිකව මතුවන ගැටළු සම්බන්ධව අවස්ථාවක් ලැබුනහොත් සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.
ස්තූතියි.
________________________________

තව අදහස් තියෙන අයට මෙන්න පෝරං කොලේ...