24 April 2016

ලේ දන්දීමේ පිංකං පොලේ වග විස්තර...

අද ඉස්පැසොල් ඩේ එකක් නෙව...

ඒ කිව්වේ අපේ බ්ලොග් අවකාසේ හිටිය කාගේ කාගෙත් හිත දිනාගෙන උන්නු වයසට ගියත් ජොලියේ හිටිය ඔබා අයියාගේ ගුණානුස්මරණය කොරලා වාර්ෂිකව සංවිධානය කොරන ලේ දන්දීම යෙදිලා තිබුනේ අදට...
දැන් ඉතිං වරුස කීපයක් තිස්සෙම මේ පින්කම සංවිධානය කිරීමේ බර කරට අරං වැඩ කරන්නේ "අන්තිම පේළියේ" සහෘද සැට් එක තමා...

මනුස්ස කොමෙන් බොහොම පෝසතෙක් වෙලා හිටිය ඔබා අයියා සිහි කොරලා කොරන මෙහෙම පින්කමකට දුප්පතා වෙච්ච මගෙනුත් කොරන්න පුළුවන් දේ වෙච්චි ලේ ටිකක් දන් දෙන එක පහුගිය වරුස කිහිපයේම මේ විදියට කෙරුණු ලේ දන්දීමට ගෙහුන් පුළුහං හැටියකට කොරලා ආවා... 

මං හිතන්නේ මේ හතරවැනි වතාව වෙන්ට ඕන මේක කොරාපු... මතක හැටියට වැල්ලවත්තේ පන්සලක එහෙකුත්... රාජගිරියේ ලයන්ස් ක්ලබ් එකට අයිති මොකක්ද ප්ලේස් එහෙක තව එහෙකුත්... මේ පාර තිබුන හේවාවිතාරණ විජ්ජාලේ ගිය අවුරුද්දෙත් මෙහෙම ලේ දන්දිම් කෙරුණා... ඉතිං කොහොම හරි අදත් ඒ දේවල් ඒ විදියට සිද්ධ උනා...

මොන වැඩේ තිබුනත් ඉතිං මේකට දින වෙන් කරගන්න එක කල් ඇතිවම කොරන වැඩක් නෙව... මං ඉතිං දැන් බ්ලොග් කාරයෝ එකතු වෙන තැන් වලින් පුළුවන්කොමක් තිබුනොත් යන තැන් දෙකෙන් එකක් තමා ඔය ලේ දන්දීම... අනික ඉතිං අවුරුදු උත්සවේ... හැබැයි ඉතිං අවුරුදු උත්සවේට යන්න පුළුවන් උනොත් මිස ඒ ගැන ලොකු ප්ලෑන් නැහැ.. හැබැයි මේකට මොන විදියෙන් හරි නිවාඩු පාඩු හදාගෙන යන්න එපෑ...

ඉතිං වෙනදා වගේම අදත් උදෑහැනක්කේම ගියා ඒ අහ... ඒ අහ කිව්වේ රාජගිරියේ හේවාවිතාරණ ඉස්කෝලේ පැත්තට... උදෑහැනැක්කේම කිව්වට ඉතිං මං උදේ නැගිටලා... උයලා පිහලා.. හොඳ වැයින් බත් පිඟානක් එහෙම නෙලලා යද්දි දවල් දහය විතර වෙලා... :D නැහැ ඉතිං ලේ දෙන්ට කලින් කාලා බීලා ඉන්ට එපෑ.. ඒකයි ඒ සුනංගුව...

කොහොම හරි වෙනදා වගේම අන්තිම පේළියේ සාමාජික සත් ගුණවත් ඕනයාහුතුමා වගේම... හීන් කේඩෑරි චීටා දොස්තොරතුමත් බැහැලා වැඩ... වැඩ කිව්වේ ඉතිං හිටු කියලා ආපු උන් එක්ක වැල් බයිලා කෙලිනවා... :D
එව්වත් ඉතිං වැදගත් වැඩ නෙව... ඉතිං කොහොම හරි මාත් ගියා විස්තර පුරෝන කඩදාසියක් ඉල්ලගන්ට... ඕං ඉතිං එතැනදී අල්ලං මුලින්ම බර කිරුවා මගේ...

හාච්චිට හාල් ගරන්න... එතැන තිබුනේ හොර තරාදියක් කියහංකෝ...යකෝ ගෙදරදී හැමදාම බර මනිද්දි මේ ටිකේම පෙන්නුං කොලේ මගේ බර කිලෝ 65යි කියලා.. ගිය සතියේ දවසක නුවර ගිය වෙලේ එහෙ තරාදියකින් කිරපු ගමන් මෙන්න යකඩෝ බර කිලෝ 64යි කියලා වැටුනා... අන්න නියම තරාදි... මගේ ගෙදර තියෙන තරාදියටත් වඩා හොඳ එකක්... :D
දැන් මේ හුචක්කු තරාදියේ බර කිලෝ හැට හතක් පෙන්නනවා කියහංකෝ... හොර එකක් නෙවෙයිද මං අහන්නේ...?

එයිට එහා එතැන හිටිය බර ලියන ලොක්කා... ඒ හාදයා මට තව කිලෝ එකක් වැඩි කරලා පිරෙවුවේ නැද්ද පෝරං කඩදාසියේ මගේ බර කිලෝ 68ක්ය කියලා... මට නේද ඌරු ජුවල්... ඒත් ඉතිං මං හිතාගත්තා මේ තරාදිය හොර එකක් වගේම බර සටහන් කරන කෙනත් හොර කෙනෙක් වෙන්ට ඇතිය කියලා... ඒ හින්දා මං ගේමක් අදින්නේ නැතිව ඉවසුවා ආයිබෝංලා...

කොහොමින් හරි ඔන්න වෙනදා වගේම පෝරං කොලේ හරියට පුරෝලා කොරලා බාර දුන්නම අර බර සටහන් කරපු හාදයම ඇන්නේ නැද්ද ඇගිල්ලට යකඩ පතුරු කෑල්ලකින්... වෙනදා ඕක අනින්න වැඩි හරියක් වෙලාවට අහු වෙන්නේ නර්ස් නෝනලා... එයාලනං හරි සීරු මාරුවට ඕක අනිනවා.. ඇන්නද කියලවත් දැනෙන්නේ නැති වෙන්ට... ඒත් මේ යෝධයා නිකං තරහා කාරයෙකුට පිහියෙන් අනින්නැහේ දමලා ඇන්නා කියහංකෝ ලේ පනින්ටම... ඒ කොරලා අර නිල් පාට වතුර තිබුන වීදුරු කෝප්පෙකට මගේ ඇගිල්ල අල්ලලා මිරිකුවා... "චිරිස්" ගාලා පැන්නේ නැද්ද ලේ පාරක් වීදුරුවේ බිත්ති පුරාවට... එහෙම පැනලා ලේ අහවර උනාට පස්සේ මෙන්න මේ යෝධයා ඇගිල්ල අල්ලං මිරිකනවා මිරිකනවා... හරියට ලේ බින්දුවක් කෝප්පෙට වැටෙන්නේ නැහැ... යන්තං මගේ ශ්‍රී මුඛයෙන් මාතෘ වන්දනා පාඨ පිට වෙන්න ඕන්න මේන්න කියලා යන්තං ලේ බින්දුවක් වැටුනා... හොඳ වෙලාවට... නැත්තං ඉතිං හෙන කේස් එක තමා... :D දන්නවනේ ඉතිං අපට තද උනාම... හරි අහිංසකයි කියලා... :D

ඔහොම කොහොම හරි ඉතිං එතැනින් ඩොකා ගාවට... කොලේ තියෙන ප්‍රශ්නම එහෙට මෙහෙට කරකවලා ඇහිල්ල.. ප්‍රෙෂර් බැලිල්ල.. නලාව තියලා බැලිල්ල... ඩොකා විසින් කොලේ අස්සන් කිරිල්ල... මහත නර්ස් නෝනලා දෙන්නෙක් විසින් තව මොන මොනවද පිරවිල්ල...අවසානයට පුරෝපු කොලෙත් එක්කලාම ලේ ගන්න දෙන බෑග් මළු.. බට අරක මේක එහෙම අතටම ලැබුනා... ගිහින් පුටුවක වාඩි වෙලා ටික වෙලාවක් ගියාම ඔන්න ඇදකට දාලා ලේ ටික ගත්තා... වැඩේ අහවරයි... ඒ අස්සේ ඉතිං ඔතනට කඩා පාත් උනා වයසක අංකල් කෙනෙක්... දඩි පොල් රවුලක් තියෙන... පාරේ යන්න පණ නැති කෙසඟ අංකල් කාරයා.. හැබැයි ඉතිං කටේ කයිවාරුවනං අලි අල්ලන්න... :D වෙනදට වැසිකිලියට ගියත් කැමරාව අරං යන අංකල් කාරයා අද ඒ මොකුත්ම නැතිව ඇවිත්... මෙන්න ෆෝන් කට්ටකින් පොටෝ ගන්න පටන් ගත්තා... හරියට මේ යකා කවදාවත් කවුරුවත්ම ලේ දෙනවා දැකලා නැහැ වගේ... :D ඒකට මදිපාඩුවට ඔන්න සත්ගුණවත් ඕනයා තුමත් ඇවිත් රඟන්න ගත්තා එතැන... හැබැයි බුවාටනං දිට්ඨ දම්ම වේදනීය කරුමේ පඩිසන් දුන්නා හැරෙන තැපෑලට... :D

අර අංකල් කාරයා මගේ පොටෝ ගද්දි ඕනයා තුමා ඇවිත් අමාරුවෙන් ඇද ගාව උක්කුටියෙන් වාඩි වෙලා මට ඇප උපස්ථාන කොරන ආකාරයක් දක්කමින් තමා පොටෝ ගත්තේ... ඒ කොරලා අමාරුවෙන් නැගිටින ගමන් කියපි දැන් ඉතිං මෙහෙම වාඩි වෙන්න හරි අමාරුයි.. ඒත් දැන් රස්සාව කොරන දිහාවේ තියෙන්නේ වල වැසිකිලි විතරක් හින්දා ඒ කරුතව්‍යය කොරගන්න එහෙම වාඩි වෙන්න වෙනවා ඒත් හරි අමාරුයි කියලා...

අනේ එයිට පැයකට විතර පස්සේ මෙන්න මැතිතුමා එනවා කට කජු ලෙල්ල කොරං... ඒ ඇවිත් මට කිට්ටු කොරලා එතැන හිටිය ලාස්සන ගෑල්ලමයෙක් පෙන්නලා මට කියනවා...
"අන්න අර විශාකාවෝ ටික හින්දා විනාඩි විස්සක් වැසිකිලියේ වාඩිවෙලා අදාල කරුතව්‍යය කොරන්න උනානේ බං" කියලා...
බැලින්නං අපේ ඕනයාතුමාට හදිසියේම වැසිකිලි බරක් ඇති විම නිසා ගෙහුන් රිංගලා ඉස්කෝලේ තිබුන වැසිකිලියකට... අනේ ගෙහුන් වාඩි වෙලා හිටං වෙඩි මුර දෙකයි පත්තු කොරන්න වෙලා තියෙන්නේ... අර කියාපු ගෑණු ළමයි කට්ටියකුත් එතැන එලීයේ සැට් වෙලා රූපලාවන්‍ය කටයුතු කොරන්න... හත්තිලව්වේ උන්දලා ටික සම්පූර්ණ රූපලාවන්‍ය මෙහෙයුමක් කොරලා අහවර වෙද්දි මේ යකාට විනාඩි විස්සක් විතර උක්කුටියෙන් වාඩි වෙලා සද්ද නොනැගෙන සේ වෙඩි තියන්න සිද්ධ වෙලා... දන්න අය දන්නවා නෙව ඔය සවුන්ඩ් ඕෆ් කරලා වැසිකිලියක වෙඩි තියන්න උනාම සිද්ධ වෙන අමාරුව... :D
අයේ ඉතිං අපේ ලොක්කට හරි සනිපෙට වැඩේ සෙට් වෙලා... වෙන මොකක්වත් නෙවෙයි.. අර මංතුමා ලේ දෙද්දි එතැන ඇවිත් රගපු අවලං රැඟීමටම තමා... ඕක තමා බණ පොත්වල හිටං තියෙන්නේ උතුමන්ට නිගරු නොකරනු කියලා... කෝ මුං බණ පොතක් බලන උන්යෑ ආසාවකට... :D

කොහොමින් හරි ඔන්නොහොම වැඩේ සිද්ධ උනා... පරණ කියන දන්න අදුරන උදවිය වගේම... මෙතුවක් කාලෙකට නොදැකපු උන්දලත් හරිහරියට හිටියා...
දන්න කියන අය අතරේ අපේ පසන් මොහොට්ටාල නොහොත් අඩන කවි පසා... සුදු පූසා... කන්නයියා... නිශ්... වගේ බුවාලා වගේම දැකලා හුරු ඒත් හරියටම ෂුවර් නැති බුවෙකුත් හිටියා කියහංකෝ...

පොර ඉතිං ඇවිල්ලා මා ගාවම වාඩි වෙලා කතා කරන්න ගන්නකොට ඔළුව දෙපැත්තට පද්දන ලීලාවෙන් මං යන්තං අදුරගත්තා මිසක්.. නැත්තං මෙලෝ තාලෙකට මේ ඌය කියලා අදුරගන්න බැහැ.. වෙන කවුරුවත් නෙවෙයි "නවම් මාවත" බ්ලොග් එක ලිව්ව "නවමා"... හනේ මූ නිකං ඉස්සර හිටියේ රුපියලේ හඳුන්කූර වගේ හුලගට අහු උනත් කැඩෙන ගානටනේ... යකෝ මෙන්න මේකට මස් දාලා ආරලා ඇවිත්.. ඉතිං කොහේද අදුරන්නේ... :D

අදුරන අය එහෙම වෙද්දි නාදුනන අය අතරෙත් හිටිය කිහිප දෙනෙක්ම දැන හැදින ගන්නත් පුළුවං උනා... ඒ අතරේ ඉතිං හරි අපූරු නංගි කෙනෙකුත් හිටියා කියහංකෝ... අහල පහල හිටිය අයනං කිව්වේ එයා තමාළු පලවෙනි වතාවට ලංකාවෙන් ඇමරිකාව විනාස කරන්න යවන දරුණුම ආයුදේ... හනේ මංදා ඔව්වා... මොලේ වයර් ටික දස අතේ මාරු වෙලා උනත් ඒ ළමයා නරක ම නැහැ... තව මාසයක් විතර ලංකාවේ ඉන්නවා කිව්ව හින්දා වැඩිය දේවල් කියන්න නරකයි... ඒ කාලේ ඇතුලත වැරදිමකින් හරි මේක කියවන්න ලැබුනොත් මටත් දෙයියන්ගේම පිහිටයි... ඒ හින්දා ඒ ඇති...

මේ පාර ඉතිං මේ ලේ දන්දීමේ තිබුන ලොකුම අඩුව තමා වෙනදා වගේ ලස්සන මිසී නංගි කෙනෙක් හරි දොස්තර නංගි කෙනෙක් හරි නොහිටිය එක... එහෙම හිටියනං ඉතිං හවස තුන හතර වෙනකල් ලේ දෙන්ට ඕන කරන්නේ නැහැ... දවල් වෙද්දිම ඕක අහවර කරන්නට තිබුනා... මොකද එහෙම හිටියනං ලේ ප්‍රෙෂර් වෙලා... සුටුස් ගාලා බටේ දිගේ පැකට් එකට යනවා නෙව... අද ඉතිං එහෙම කික් එකක් නැති හින්දා පිරිමි පාර්සවයේ අයගේ ලේ ගද්දි සෑහෙන්න වෙලා ගියාද කොහේද... :D ඔව්වා ඉතිං බරපතල අඩු පාඩු... :D

කොහොම හරි ඉතිං ඔන්නොය විදියට වැඩ සටහන අහවර උනා... මාත් ඉතිං හවස් වෙනකල්ම කට්ටිය එක්ක වැල් බයිලා කිය කිය ඉදලා අන්තිමට පිටත් වෙලා එන්ට ආවා... වෙනදා වගේ මෙහෙම සටහනක් එක්ක දාන්න පොටෝ නැති එකනං අඩුවක්.. මක් කොරන්නද... වෙනදට ඕකේ ලේ දෙන්න ඉන්න ගානට වඩා කැමරාකාරයෝ ඉන්න හින්දා මාත් කැමරාවක් අරං ගියේ නැහැ... කෙලලා තියෙන්නේ... ආසාවකට කැමරාවක් පේන්න තිබුනේ නැති තරං... වෙන අය ගැන කතා කුමටද.. අර හොම්බ දිග එක අරං පදුරක් පදුරක් ගානේ රිංගන අංකල්වත් අද ඒක ගෙනාවේ නැති කොට... ආන්න ඒ හින්දා අනුන්ගෙන් ඉල්ල ගත්ත පොටෝ එකක්වත් නැහැ අද මේකේ පල කොරන්ට.. සමහර විට පස්සෙන් පහු හම්බ වෙයි.. එහෙම උනොත් දාඥ්ඥං... අදට ඔච්චරයි...

අවසාන වශයෙන්...
" අප අතරෙන් වෙන්ව ගිය ඔබා අයියට මේ පින්කමේ බල මහිමයෙන් දැනට විඳිමින් හිටින දිවිය ලෝක සම්පත් තව තවත් වැඩි වේවා...! අවසානයේ කැමති දවසක.. කැමති විදියකට නිවනත් අත්පත් කරගනිත්වා...! "
කියලා ප්‍රාර්ථනා කොරමු...

21 April 2016

බිලිං වෑංජනේ...

බ්ලොග් එක ටිකක් ලියන්න ගත්ත එකේ මාර සරණියත් ඔහොමම ලියවුනාට කමක් නැහැනේ නේද..? අනික ඉතිං කවදා හරි මෙව්වායෙන් කාට හරි වැඩක් ගන්න ඇහැකි වෙයි නෙව... එහෙනං ඕං

ඔන්න ඊයේ රෑ ජාමේ නුවර පැත්තට ගෑටුවා... කොළඹට වැස්සට මෙහෙට එහෙම වැස්ස පාටක් නැහැ. කොහොමින් හරි අද ඉතිං විවේකිව ඉන්න දවසක්...

නැවතිලා ඉන්න ඉස්තානේ අවට එහෙට මෙහෙට ඇවිදිනකොට තමා දැක්කේ බිලිං ගහකට පිස්සු හැදිලා වග...


ඕක දැක්කම ඉතිං මටත් පිස්සු හැදෙනවා කියන එක අහන්නත් දෙයක්යෑ... :D

මංතුමා වහාම ක්‍රියාත්මක උනා... ඒ වෙද්දි ගෙදර බත හරි ගස්ස ගස්ස තිබුනේ වැඩට හිටිය කෙනෙක්... ඒ උන්දා කුස්සියෙන් අහක් වෙනකල් ඉදලා මාත් කුස්සිය අල්ල ගත්තා... හැදුවා බිලිං වෑංජනයක්...

බිලිං මාළුව හදද්දි ඕකේ ඇඹුල ඉවත් කරගන්න එක වැදගත්ම කොටසක්... කලාතුරකින් බිලිං ටිකක් පොලකදී හරි ලැබුනත් නියම විදියට ඒකේ ඇඹූල ඉවත් කරන්න උවමනා අනිත් ප්‍රධාන දේ තිබුනේ නැති හින්දා ඔය කහයි ලුනුයි වතුරට දාලා තමා යන්තං ඒ අඩුව පිරිමහ ගත්තේ... ඒත් මේ කුස්සියේ වෙනම දර ලිපක් තියෙන හින්දා උවමනා අනිත් දේ වෙච්චි ලිපේ අළුත් ඕන තරං තිබුනා.. ඔය අළු දියරය හොද භෂ්මයක් නෙව... බිලිනුයි අළුත් දෙකම තියෙද්දි ආයේ මොනවා බලනවද...

හරි එහෙමනං ඔන්න තියෙනවා වැඩි දුර විස්තරේ... පිංතූරයක් දෙකක් එක්කම...

1-දෙකොනෙන්ම ඩිංග ඩිංග කපලා අහක් කරලා තලා ගත්ත බිලිං ටික අළු දිය කරපු වතුරට දාලා පැය බාගයක් විතර තියෙන්න ඇරලා හොදින් අළු ඉවත් වන සේ සෝදලා මිරිකලා තෙත හිදෙන්න තියලා ගන්නවා...

2-කොත්තමල්ලි/මාදුරු/සූදුරු/කුරුඳු පොතු/එනසාල්/කරාබුනැටි/උළුහාල්/ වියළි මිරිස්/ කබලේ බැදලා කුඩු කරලා ගන්නවා.

3-රම්පේ/ කරපිංචා/ කොච්චි/ (අමු මිරිස් උනත් අවුලක් නැහැ)
ඉගුරු/සුදුළුනු/රතුළුණු කපලා සූදානම් කර ගන්නවා.

4-හොඳ මිටි කිරි කෝප්පයක් හදා ගන්නවා.

5-මීට අමතරව ලුනු/අබ/කහ/උම්බලකඩ/ කෑලි මිරිස් පොඩ්ඩක් සහ උවමනා නම් සීනි ස්වල්පයක්. තෙල් ඩිංගක්


ඇතිලියක් ලිප තියලා තෙල් රත් කරලා අබ ටිකක් පුපුරවලා ඉගුරු/සුදුළුනු/රතුළුණු තෙලට දානවා.. ඒක බැදෙන කොට රම්පේ/ කරපිංචා/ කොච්චි එකතු කරලා තෙම්පරාදු කරං තෙත හින්දපු බිලිං එකතු කරනවා... ඒ සමගින්ම කහ/ලුනු/ සහ උම්බලකඩත්... හොද පරිස්සමට කලවං කරමින් තෙම්පරාදු කරනවා... දැන් බිලිංවල කොල පාට ඉවත් වෙලා වම්බටු බදිනකොට දුඹුරු පාට වෙනවා වගේ පාටට එද්දි කෑලි මිරිස් ටිකකුයි සකස් කරගත්ත බැදපු පහේ ටිකයි එකතු කරනවා... ඒකත් කලවං කරලා අවසානයට මිටි කිරි එකතු කරලා හොදින් හැඳි ගාලා පියනකින් වහලා පාඩුවේ අඩු ගින්දරේ ඉදෙන්න අරිනවා.. වරින් වර ඇරලා සීරු මාරුවට හැදි ගාන්නයි තියෙන්නේ...
අවසානයට රස බලලා ලුනු හරි ගස්සනවා... කැමතිනං සීනි යන්තමට එකතු කරලා ලිපෙන් බානවා...

මේක බත් පාන් කන්න හොඳයි.. හැබැයි සුපිරිම වෙන්නේ ඉඳිආප්පත් එක්ක තමයි... තම්බපු පාන් පිටියෙන් හදා ගත්ත ඉදි ආප්ප එක්ක බිලිං මාළුවක් සෙට් වෙනවා කියන්නේ ඉතිං ස්විප් එකක් ඇදිලා දිවිය ලෝකේ ගියා වගේ වැඩක්...

19 April 2016

ඩෙංගු කතා අස්සේ හීන කතා...

මේකත් මේ ලියන්න තුන් හිතකවත් තිබුණ කතාවක් නෙවෙයි.. ඒත් කලින් පෝස්ටුවට ඉන්දික දාලා තිබුන කොමෙන්ටුවක් දැක්කම මතක් උන කතාවක්... එදාම ලියන්න හිතං හිටියත් ඉතිං ලියවුනේ නැහැ... පස්සේ මේ අද තමා යන්තං ආයෙම හිතුනේ ඔන්නොහේ ඕකත් කොටලා අතාරිනවා කියලා... ඒ හැටි දිග කතාවක් නෙවෙයි පුංචිම පුංචි සීන් එකක්...

මාස ගානක් පායලා..පායලා..පායලා... තවත් පායලා.. පායලා.. පායලා... ඕන්න අවසානේ අද තමා ටිකක් දැනෙන්න කරන්න වැස්සේ... පහුගිය කාලේ ඉතිං ගිරිස්මෙත් එක්ක මං වින්ද වදේ කලින් පෝස්ටුවේ කිව්වනේ... ඔහෙලට කියන්න අහ හවස හතරේ ඉදලා හය හමාර වෙනකල් පැය දෙක හමාරක් මං කල්ප කාලාන්තරයකට පස්සේ ඉහේ ඉඳන් රෙද්දකුත් පොරවං නිදා ගත්තා කියහංකෝ... හිතට දැනෙන සංතෝසය අච්චරයි මෙච්චරයි කියලා පමණ කරලා කියන්ට බැහැ පිංවතුනි... හම්මේ එහෙම සැපක්... කොටින්ම හීන පේනවා බොහෝම අඩු මංතුමාට හීනත් පෙනුනා...

"චන්දරපේම බාප්පලගේ රූස්ස අඹ ගස් දෙකෙන් ටිකක් ලොකු අඹ හැදෙන ගහ යස උන්නැහැගේ කුඹුරේ මහ නියරේ තිබුනේ කියහංකෝ... ඒකේ අඹ ඕසේට... එහෙං වැටෙනවා මෙහෙං වැටෙනවා... මං එහෙට මෙහෙට දුව දුව අඹ අහුලනවා... සමහර ඒවා අඹ කොට... මං ඒවත් පැත්ත බල බල කපා දාලා කතෑකි කිය කිය අහුලනවා..." 

මොන තරං හීනෙන් අඹ ඇහිලිල්ල නැගලා ගියාද කිව්වොත් දෙපාරක්ම ඔය අස්සේ 'චූ' බර හැදිලා හීනෙන් වගේ නැගිටලා ගෙහුන් ඒ අදාල කර්තව්‍යයත් කරලා ඇවිදින් ආයෙම ඇදට වැටිලා දොයියලා ආයෙම අඹ ඇහිදිල්ලට සෙට් උනා... තුන් වෙනි පාර  නැගිටලා ගියාම තමා යන්තං නින්දයි අඹ ඇහිදිල්ලයි දෙකම අහවර උනේ... :D 

හීනෙට අඳාලව කාරණා ටිකක් කියනවනං....
ඔය හීනෙන් දැක්ක අඹ ගහ අයිති වත්තේ අයිතිකාර චන්දරපේම බාප්පා කියන්නේ අපේ තාත්තගේ ඥාති සහෝදරයෙක්... මට උන්නැහේ ගැන තියෙන්නේ බොහෝම ඡායා මාත්‍රික මතකයක් විතරයි... එයිනුත් ප්‍රභලම එක තමා උන්දෑ මැරෙන්ට ටික දවසකට කලින් ගමේ කනත්තේදී සිද්ධ වෙච්ච සීන් එක... මං හිතන්නේ අපේ ආච්චිගේ මරණය දවස් වෙන්ට ඕන... ගමේ කිහිපදෙනෙක්ම කනත්තට ගෙහුන් හිටියේ ඒ මරණේ සම්බන්ධව වල කපන වැඩකට අඳාළව තමා... අපේ ගෙවල්වල ඉදලා ඔය කියන කනත්තට හැතැම්මකට වැඩියි දුර... මං හිතන්නේ ලංකාවේ තියෙන විශාලම කනතු වලින් එකක් වෙන්න ඕන ඒක... ඔප්පු තිරප්පු අනුවනං අක්කර විස්සකට කිට්ටුයි කියලයි ඒ කාලේ කියවුනේ... හැබැයි හතර වටෙං කට්ටිය ඒක අල්ලං ඒ වෙද්දි ඒ තරම්ම නැති උනත් අක්කර දහයකට වඩානං තිබුනා කියලයි ගම්මු කිව්වේ... මටනං ඒ ගැනත් තේරුමක් නැහැ.. හැබැයි විශාල කඳු ගැටයක මුදුනේ ඉදලා ඇහැට පේන මහ විශාල දුරක් ඔය කනත්ත තිබුනා... එයින් වැඩි හරිය මහ කැලෑව... කදුමුදුනේ ඉඳලා වෙල් යායක් පැත්තට තිබුන මහ බෑවුම තමා හුග දෙනෙක් ප්‍රයෝජනයට ගත්තේ... ඉතිං අපිත් එදා ඔය කනත්තේ ඉන්න කොට එතැන චන්දරපේම බාප්පා වගේම ගුණතිලක අයියත් හිටියා... ගුණ තිලක අයියා කියන්නේ වයසින් ඒ වෙද්දිත් වයස හැටකට ආසන්න විතර මනුස්සයා... බොහෝම මිටියි... එක ඇහක සුද හින්දා ඒ ඇහැ පේනවා හොරයි... හොද පිරිත් කාරයා... එදා එතැන හිටි අයගෙන් වයස්ගතම කෙනා... (හැබැයි නෑදෑකමින් මට අයියා.. :D ) 

චන්දරපේම බාප්පට ඒ වෙද්දි ඕනනං හතලිහක් හතලිස් පහක් ඇති මං හිතන්නේ... මනුස්සයා බොහෝම විනෝදකාමී හාදයා... එක වෙලාවක උන්දෑ කෝටුවක් තැනක ඇනලා කිව්වා "ඊ ළගට ඉතිං ගුණතිලක තමා... මෙන්න මෙතැන තමා වල කපන්න වෙන්නේ" කියලා... ඔය වගේ විහිළු හරි බරපතලයි උනත් ඒ වගේ තැනකදී ඒ හැටි දේවල් හැටියට සැලකෙන්නේ නැහැ... ගැණතිලක අයියත් ඒක ලොකුවට ගත්තාය කියලා නොපෙනුනත් මොකාක් හරි කතාවක් කිව්වා...

කොහොම හරි එයින් තුන්මාසයක් යන්න කලින් චන්දරපේම බාප්පා මොකාක් නමුත් සීන් කෝන් එකක් හින්දා වහ බීලා ජීවිතේ නැති කරගත්තා... අර කොටුව ඇන්න හරියෙම අවසන් කටයුතුත් සිද්ධ කෙරුණා.. ගුණතිලක අයියා දෙයියනේ කියලා එයින් පස්සෙත් අවුරුදු විසි පහකට එහා ජීවත් උනා... ඔය දෙදාස් නවය දෙදාස් දහය කිට්ටුව විතර තමා උන්නැහේ අවසන් ගමන් ගියේ... මාත් මල ගෙදරට ගොඩ වැදිලා ආවා... ආන්න එහෙමයි ඉතිං මේ ලෝකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ...

එතකොට හීනේ තිබුණ කුඹුරු යාය අයිති යස උන්නැහේ කියන්නේ පොඩි කාලේ අපිට හිටිය ලොකුම හතුරා... කොටින්ම අපි පොඩි කාලේ සෙල්ලමට රොබින්හුඩ් කරද්දි.. අපිට හරි ප්‍රශ්නේ ඒ ඒ චරිත තෝරා ගන්න එක... සෙල්ලං කරපු නඩේ එක කෙල්ලෙක්වත් ඒ වෙද්දි හිටියේ නැති හින්දා "මැරියන්" කෙනෙක් කවදාවත් හිටියේ නැහැ වගේම ඒක අපිට ප්‍රශ්නයක් උනෙත් නැහැ... කෙල්ලෝ කියන ජාතිය සත පහකට ගණන් ගන්නේ නැති කාලේ අපිට මොටද මැරියන්ලා... :D හැබැයි ඉතිං රොබින් වෙන්න නසියර් වෙන්න හෙම හෙන පොරේ... ඒ චරිත බෙදා ගැනිල්ලම ලෝක යුද්ධයක් වෙලා තිබුන කාලෙක අපිට කිසිම කරදරයක් නැතිව දෙන්න තිබුන එකම චරිතේ තමා ෂෙරීෆ්... ඒ තමා යස උන්නැහේ... :D
අපි සෙල්ලං කරන්න ගියාම ඒ දුව පයින කුඹුරු සීමාව... ඕවිටි දෙක තුන... හෙම අයිති වෙලා තිබුනේ යස උන්නැහේට... මිනිහට අපිව පෙන්නන් බැහැ... අපිට මිනිහව පෙන්නන්න බැහැ... කොටින්ම ඕපන් වලි ගිහින් තියෙනවා ඕන තරං... අපි මිනිහට පිදුරු වලින්... ගස් අතුවලින් ක්ෂණික ප්‍රහාර එල්ල කරලා පැනා දුවන එකත්.. මිනිහා අපිට අතට අහුවෙන එකෙන් ගහහා එලෝන එකත් ඒ කාලේ ඒ හැටි දෙයක් නෙවෙයි... පස්සෙන් පහු මිනිහා මහ තඩි පොල්ලකුත් බිම ඇන ඇන අපේ ගෙවල් හැම එහෙකටම වාගේ ගෙහුන් පැමිණිලි කිරිල්ලත්... ඒ පැමිණිලිවලට අනුව ඔන්ද ස්පොට් අපිට බඩු හම්බ විල්ලත් අර වගේම ෂුවර් ඇන්ඩ් ෂොට්... :D
හැබැයි ඉතිං එහෙම තාත්තලගෙන් ගුටි මුරේ හම්බු උනා කියලා අපි සැලෙයි... අපි අපේ "ෂෙරිෆ්" එක්ක නොනවතින වලියේ හැමදාම... :D

ඉතිං ඔය අඹ ගහ තිබුන වත්ත තිබුනේ යස උන්නැහේගේ කුඹුරට වත්තකට එහා... වත්තකට එහා කිව්වට හරියටම කිව්වොත් කුඹුරේ ඉඳන් මීටර් තුන්සීයක් විතර ඈතින්... අද ඉතිං මගේ හීනෙදි ගහ කෙලින්ම කුඹුර මැද...

හරි හරි ඒ හීන කතා මදෑ දැන්... ආවේ වෙන සීන් එකක් කියන්නනේ...

දැන් මාස කිහිපෙකට කලින්.. ඒ කිව්වේ මං හිතන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර්.. දෙසැම්බර් වලදී වගේ වෙන්න ඕන... මං දැන් ඉන්න ගෙදර වහලේ තිබුන වැහි බටයක් අධික වතුරපාරට ඔරොත්තු නොදී ඒක හයි කරලා තිබුන තැනින් ගැලවිලා බිමට වැටිලා තිබුනා... මාත් ඉතිං ඕක හයි කරන්න උඩට නගින්න ඒ දවස්වල තිබුන වැහි තත්වෙත් එක්ක තිබුන අපහසුවත් නිසා ගේ ඉස්සරහා තිබුන පේමන්ට් එකක් අස්සට විසුක්ක කොරලා තිබුනේ... පුළුවන් වෙච්ච වෙලාවක නැගලා හයි කොරනවා කියලා හිතාගෙන...

ඔන්න ඔහොම ඉද්දි තමා දවසක්දා කවුරු හරි ගේට්ටුව කන්න දගලනවා ඇහුනේ... ඔය ගේට්ටුව කන්න හදන උන් ගැන තියෙනවා වෙනම කතා... මගෙ අම්මේ තියෙන වදයක්... එක්කෝ ඒ ගැන පස්සේ දවසක ලියමු.. නැත්තං දැනටම වැල් වේගන යන පෝස්ට් එක යන යන පැත්තට මැහි බදින්නයි වෙන්නේ...

ඉතිං මාත් ගියා ගේට්ටුව කන්න හදන උන් මොක්කුදැයි බලන්න... 
වයස අවුරුදු විස්සේ විසි පහේ වගේ ගැටවු දෙන්නෙක්... පිටේ බෑග් එහෙමත් එල්ලගෙන... අතේ ෆයිල් කවරයකුත් තියාගෙන... එකෙක්නං අපේ මේ බ්ලොග් ලියන රත්ගමයා වගේමයි... අනිකා ඌට වඩා මිටියි... බැලින්නං උන්දලා මේ ඩෙංගු සම්බන්ධව ගෙවතු පරීක්ෂා කරන්නළු ඇවිත් තියෙන්නේ...
ඒ වග කියාගෙන ඔන්න දෙන්නා එන්ටයි ලැස්තිය ඇතුලට... එව්වා කොහේද මාත් එක්ක... ඔය ඩෙංගු බලන්නය කියලා එන උන්දලා ආවොත් ලේසි නැහැනේ... මං දන්න කියන තැන් කිහිපයකදීම උන් වැඩ කරන හැටි මං බලං ඉදලා තියේ... මොනවත්ම හොයා ගන්න නැත්තං පොල් ගහක් මුදුනේ පොල් පිත්තක් උඩ හරි වතුර රැදෙන්න පුළුවන්ය කියලා ලෙඩක් දාන්නම තමා සෙට් වෙන්නේ... දන්න කියන අය බොහොමයකගේ වතුවල තිබුන රම්පේ ගස්වලට මාරයෝ උන්දලා තමයි... සමහර තැන්වල ගානක් කපාගන්නකල්ම උන් ඩෙංගු මදුරුවෝ කටින් බෝකරලා පෙන්නවා... එහෙවු එකේ මුං වත්තට ආවොත් මල ඇනයක් වෙනවා කියලා මං නොදන්නවද... ඒ හින්දා මුලින්ම අනන්‍යතා පරීක්ෂණය... කොහොම හරි බෑග් අස්සේ තිබුන හැඳුනුංපත්... නගර සභාවේ ලිපි අරක මේක ඉදිරිපත් කරලා මුංදලාට මේකට අවසරයක් තියෙන වග ඔප්පු වෙන ගානට ආවට පස්සේ ඉතිං ඔන්න මං වත්තට ඇතුල් වෙන්න ඇරියා...

හොද වෙලාවට මං එදා උදේම මුළු මිදුලම අතු පතු ගාලා වත්තේ කොනකට වෙන්න කුණු එකතු කරලා ගිනි තියලා හෙම තිබුනේ... මොනවද ඉතිං වත්ත බත් දාගෙන කෑහැකි... :D ඒත් ඉතිං මේ අයියලා එක්ක ලේසි නැහැනේ... ඒ හින්දා මගේ උපරිම උත්සහය හැකි තරං ඉක්මනට මුංදලාව හරවලා යැවීම... එක බුවෙක් ගෙයි එක පැත්තකට ගියා... ඒ පැත්තෙන් ගේයි තාප්පෙයි අතරින් යනවනං ඒ යන එකා යන්න ඕන ඇග පැත්තට හැරිලා බොහෝම සිරු මාරුවට... ඒ ගියත් තාප්පේ තියෙන දුඹුලු ඇගේ ගෑවෙන එක වලක්වන්නනං ඌ පත්තර කඩදහියක් වගේ වෙන්න ඕන... නීට් එකට ඇඳලා පැළඳලා ආව එකා ඒ පැත්තේ යන්නේ නැති වග මං ඉර හඳසේ දන්නවා... මං හිතුවා වගේම ඌ මූණ හපුටු කොරගෙන ආපහු ආවා... අනිකා දැන් උඩ බලනවා... හරි ඌට මාට්ටු... මොකක්ද වැහි පීලී... ඔය වගේ කලින් හිටපු තැනකට ආව උන් දුන්න ඕඩර් හින්දා මං යස අගේට වතුර බැහැ බැහැ තිබුන වැහි පීල්ලක් හිල් කොලා නෙව... පස්සේ ඉතිං ඒ හිල් වලින් බහින වතුරින් සෑහෙන්න පීඩාත් වින්දා... මේ පාරනං ඒ මගුල් කොරන්නේ නැහැ කියලා මං හිතාගත්තා...

"මේ වැහි පීලී හිල් කරල නැහැ නේද..? උඩ කොල රොඩු හෙමත් පිරිලා වතුර එහෙම රැදෙනවද දන්නේ නැහැ"
මං හිතුවා වගේම බුවා එල්ලුනා වැහි පීල්ලේ... දැන් හරි වත්ත පිටියේ එල්ලෙන්න දෙයක් හොයා ගන්වට වඩා ලේසියෙන් දැන් මූ මේකේ එල්ලෙනවා... එයින් පස්සේ ඉතිං මට මුං ඉද්දිම බඩ ගාගෙන වහල දිගේ ගිහින් ඕක හිල් කරලා පෙන්නන්න වෙනවා... යකෝ උදේ ඉදලා වත්ත පිටිය අතු ගාලා නාගත්තා විතරයි...

"නැහැ නැහැ ඕවයේ හිල් කරන්න ඕන නැහැ... ඕකේ බැස්ම හොඳට තියෙනවා... වතුර රැදෙන්නේ නැහැ... කොළ රොඩු මහ ගොඩක් එන්න ඔය හරියේ උස ගස් නැහැනේ..." එහෙම කියාගෙනම මං වට පිට බැළුවා... ඇත්තටම මේ පීල්ලට කොලයක් වැටෙන්න ගහක් ඒ හරියේ නැහැ...මොකාක්ම හරි අළුගුත්තේරු කොලයක් මීටර් සීයක් විතර හුළගේ ඇවිත් බලෙන්ම ඕකේ පදිංචි උනොත් මිසක... ඒත් ඉතිං මුං ඕවා පිළීගන්නවා කියලෑ ඒ හින්දා මං මගේ කතාවට පොඩි බරක් දාන්න හිතලා කල්පනා කරනකොටම තමා මගේ ඇහට අහු උනේ අර ටික දවසකට කලින් ගැලවිලා වැටිලා පැත්තකට දාලා තියෙන වැහි බටේ...
"ඔය හුලගකට ඇවිත් වැටුන කොලයක් දෙකක් තමා ඕකේ තිබුනොත් තියෙන්නේ.. ඒවත් මං පහුගිය දවසක සුද්ධ කරලා දැම්මා... ඒ සුද්ධ කරන්න ගිහින් තමා අර තියෙන බට කෑල්ල අන්න අතනින් ගැලවුනෙත්... දැන් මේ ගම් එකක් ගෙනල්ලාම හයි කරන්න කියලා හිතාගෙන ඉන්නේ"
කියලා මං මගේ අවසාන තුරුම්පුවත් ගහලා දැම්මා...
අරූ මං හිදා බැළුවා... වහල දිහා බැළුවා... මං පෙන්නුව බටෙයි.. ඒක ගැලවුන දිහායි බැළුවා... අනිත් එකාගේ මූණ දිහා බලලා බලාපොරොත්තු කඩ උනා වගේ බැල්මට් එකක් දැම්මා...
"හරි හරි එහෙමනං" කිව්වා ඩබලම එයින් එහාට ගෙයි අනිත් පැත්තට එහෙම යන්න හිතන්නෙවත් නැතිව හැරිලා යන්න ගියා...
හනෙ හම්මේ දැනුන සනීපේ... මං බයේ හිටියේ ටැප් එක ගාව අඩියක් විතර උසට තියෙන රම්පේ පැලේටවත් මුං ගේම දීලා යයි කියලා... යන්තං අතක් පයක් නොකැඩී බේරුනා...

පස්සෙන් පහු මං අපේ මල්ලිකාරයෙකුට කියලා බටේ හයි කරවලා දැම්මා.. හැබැයි මං ඒත් කිව්වේ ඕක හයි කරලා තියනවට වඩා හැමදාම ගලෝලම තියාගෙන හිටියනං ලේසියි කියලා.. එන එන ඩෙංගුකාරයට පෙන්නන්න... :D

ඔන්න ඔහොමයි වැහි වතුරට ගලෝලා ගිය බට කෑල්ලත් පිහිටට හිටියේ... කොහොම උනත් ඇත්තටම මල්ලි කාරයා ඒක සුද්ද කරන්න කියලා ගියාට ඒ පීල්ලේ එකම එක කොලයක්වත් තිබුනේ නැහැ... ඒ වගේම මං කිව්වා වගේම වතුර බැහීම හොදින්ම සිද්ධ වෙන පීල්ලක්... හැබැයි අර බටේ ගැලවිලා තිබුනේ නැත්තං මට එදා ඕක හිල් කරලා අරුන්ට පෙන්නලා එයින් පස්සේ හැමදාම වැස්ස වෙලාවට ඒ හිල් වලින් වතුර පෙරිල ගේ පැත්ත තෙමෙද්දි උන් දෙන්නගේ මෑණිවරු සිහි කර කර ඉන්න වෙන්නේ... අර බටේ හින්දා ඒ කරදර ඔක්කෝම නැතිව ගියා...

දැන් මං මේ කල්පනා කරං ඉන්නේ ඔය බටේ දැන් ආයෙම ගලෝලා බිමින් තියාගන්න කාලේ හරි... මොකද පහුගිය පායන කාලේ ඩෙංගු හොයන්න කවුරුවත් නාවට දැන් ඉතිං එක වැස්සයි වැටුනේ හෙට ඉදලා කට්ටිය එන්න බැරි නැහැ... අපි කොච්චර වතුත පිටිය සුද්ධ කලත් උන්දලගෙන් බේරෙන්නනං එහෙම ජිල්මාට් එකක් දාන්න වෙනවා... :D

පලි-
මං මේ විහිළුවට කිව්වට ඉතිං ඔහෙලා එහෙම ඩෙංගු විහිළුවට ගන්නවා එහෙම නෙවෙයි... පුළුවන් තරං වත්ත පිටිය සුද්ධ පවිත්තර කොරලා පිළිවෙලට තියා ගන්න එක තම තමන්ටම පිහිටට හිටියි. ඩෙංගු මදුරුවෝ පරීක්ෂා කරන්න එන අය ඕනවටත් වඩා මිනිස්සුන්ට වද දෙන බව හැබෑවයි.. හැබැයි ඉතිං ඒ හින්දා හරි සමහරු තමන්ගේ වත්ත පිටිය පිලිවෙලට තියා ගන්න එකත් වටිනවනේ... කරදරේ තියෙන්නේ මේ වත්ත පිටිය පිළිවෙලකට තියාගෙනත් නිකං පරිප්පු කන්න වෙන අයට තමා...
දැන් ඉතිං වැස්සක් දෙකක් වැටෙද්දි ආයෙම ඩෙංගු විතරක් නෙවෙයි තවත් මදුරුවෝ හින්දා බෝ වෙන ලෙඩ මතු වෙන්න ගනී.. ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරලා තම තමන්ගේ පරිසරය පිරිසුදු කරගන්න බලන්ටලා...
මං ගියා එහෙනං...

16 April 2016

ගිරීස්ම දොහේ... තෙත් වෙන්ට...

මේ ටිකේ පාළුවට ගෙහුන් තිබුන බ්ලොක් කිහිපයක්ම අළුතින් ලියවෙන වග පේන්ට තිබුණ හින්දා මටත් ඔන්නොහේ හිතුනා මොන මල දානයක් හරි ලියලා දාන්ට ඕන කියලා... නිකං තියෙන අකුරුනේ.. ඇරලා දාන්ටයි තියෙන්නේ...

මේ දවස්වල පට්ට ගිරීස්මේ... උහුලන්ටම බැහැ... මට කොහොමත් අනිත් අයට සාපේක්ෂව රස්නේ උහුලන්ට අමාරුයි... ඔව් ඔව් අපි ඉතිං ෂීතල පළාත්වල ෂැපට මල් වගේ හැදුන වැඩුන උදවියනේ...  :D
ඒ මගුලක් නෙවෙයි.. මං හිතන්නේ ඒක නිකං උප්පත්තියෙන්ම මගේ සරීර කූඩුවේ තියෙන දෝසයක්ද කොහේද... පොඩ්ඩක් රස්නේ වැඩි උන ගමන් මට නිකං යකා වැහෙනවා... කර කර ඉන්න ඕන මල දානයක් බව්වට දාලා ඒ වෙලාවට කොහේ හරි ෆෑන් එකක් යටට වෙලා හරි ඉන්න තමා පුරුදු වෙලා තියෙන්නේ... හැබැයි ඒකටත් එක්ක හීතලටනං මං ඔරොත්තු දෙනවා අම්බානකට... ඉස්සර දියතලාවේ ට්‍රේනින් කරන දවස්වල පාන්දර හතරට අර පට්ට හීතලේ කිසි ගේමක් නැතිව සිමෙන්ති ටැංකියේ අයිස් වෙලා තියෙන වතුරෙන් නානවා කියන එකත් මට ඒ හැටි අමාරු කාරියක් නෙවෙයි.. දැන් උනත් කොයි තරං වැස්ස තියෙන දවසක උනත් ෆෑන් එක දාගෙන නිදා ගන්නවා කියන එකත් ගේමක් නැති වැඩක්... මං හිතන්නේ මගේ ජවලන උෂ්ණත්වය අංශක විස්සේ විතරද කොහේද තියෙන්නේ...

ඉතිං පහුගිය දවස්වල මේ රස්නේ උහුලන්ට බැරි තැන දෙවංගියක් විතර ගියා කිතුල්ගල කිට්ටුවට නාන්නය කියලා... අනේ ඉතිං ඒ ගියාට මොකද.. කොළඹ පැත්තේ පට්ට රස්නේ උනාට කිතුල්ගලට යද්දිම පරිසර උෂ්ණත්වයත් අඩු වෙලා... ගගේ වතුරත් හීතලයි... රස්නෙ පළාතක ඉදලා හීතල වතුර නානවා වගේ ගතියක් හීතල තැනකදී  නෑවට කොහෙත්ම එන්නේ නැහැ... පොඩි කික් එකක් නැතිවාම නෙවෙයි.. හැබැයි ඒ හැටිමත් නෙවෙයි...

එය අස්සටම ලයිට් කපන සෙල්ලමත් ආවම ඉතිං කියන්න ඕන නැහැනේ දැනෙන සනීපේ... පිං දෙන්න පුළුවන් හැම එකාටම පිං දිදී දාඩිය පිඹ පිඹ තල ගොයා වගේ හිටියා.. මක්ක කියලා කොරන්නද... ඔය කිව්වම මතක් උනේ... පහුගිය ටිකේම රෑට නිදිය ගන්න ගියාම මක් කොරලවත් මේ දාඩිය එක්කලා නිදා ගන්ට බැරි හින්දා එළියට වෙලා දොයිය ගන්න බූරු ඇදක් හදන්න ඕනය කියලා හිත හිත හිටියට බැරි උනා නෙව... දවසක් දෙකක් පුටුවත් ඇදගෙන එළියට ගිහින් නිදා ගත්තා උනත් ඒක එයිට වඩා අමාරු වැඩක්... පුටුවේ බොහෝම සීරු මාරුවට නිදා ගත්තට උදේට මුළු සරුවාංගෙම රිදෙනවා.. හරියට නිකං පොලොසියෙන් ගුටි කෑවා වගේ... ඒ හින්දා තමා කල්පනා කොලේ බූරු ඇදක්වත් හදා ගන්න කියලා... ඒත් ඉතිං රෑට හිතුවට දවල් වෙද්දි ඕවා අමතකයිනේ... හෙටානිද්දටවත් ලී මඩුව පැත්තේ යන්ට ඕන...

ඒ ඉතිං කාලගුනේ දේශගුනේ ගැන...
දේසපාලනේ ගැනනං කතා කරන්ට දෙයක් නැහැ... හැම දෙයක්ම සරුවප්පකාරයෙන්ම සිද්ධ වෙනවා... රටට කිරි උතුරලා තියෙන්නේ... පොඩි අවුලකට තියෙන්නේ උතුරපු කිරි පොඩ්ඩක් අපතේ යන එකයි... අවුලක් නැහැ ඒවත් හොඳ විදියකට පිළිවෙලක් කරයි අනිත්වා පිලිවෙලක් කලා වගේ... ඉතිං මේ වගේ ආතල් පරිසරයක් අපට නිර්මාණය කරලා දුන්න උදවියට උදේ හවහා පින් ටිකක් අනුමෝදන් කොරවන්නත් මංනං අමතක කරන්නේ නැහැ... අපි යුතුකං දන්න උදවිය නෙව... එහෙම ලේසියට ඒ වගේ දේවල් අමතක කරන්නේ නැහැ...

අද දවාලේ හිටි හැටියේ යෝජනාවක් ඇවිත් ගියා මෙච්චර දවසක් නොගිය පොට් එහෙකට...
සීතාවක තෙත් බිම් උද්‍යානය කියලා තැනක්... යන්න විධි දෙකයි... එකක් අවිස්සාවේල්ලට යන පාරේ කලු අග්ගල හන්දියෙන් හැරිලා... ඔය අපේ බ්ලොග් එකක් ඒ කාලේ ලිව්ව.. (තාමත් ලියනවද දන්නේ නැහැ... කාලෙකින් ඕවා හොයා බැළුවේ නැහැ නෙව..) තනෝජා අක්කගේ ගෙවල් පාරේ.. වග කහ හේන හරහා ලබුගමට ගෙහුන් තුම්මෝදර හන්දියෙන් වමට දාලා කිලෝ මීටර් තුනක් විතර යද්දි පොට් එක සෙට් වෙනවා...
එහෙම නැත්තං කෙලින්ම පුවක්පිටිය ඉස්ටේසම ගාවට යනකල්ම මහ පාරෙන් ගෙහුන් එතැනින් වමට දාලා බොහෝම පොඩ්ඩ දුරයි...

අපූරු තැන... හැබැයි තාම වැඩ අවසන් වෙලා නැහැ... වැඩ අවසන් නොවුනත් හදිසියේ දඩි බිඩියේ විවෘත කරලා තියෙනවා ගිය අවුරුද්දේ මාර්තු මාසේ විතර...

මේ උද්‍යානයේ ඇති සුවිශේෂීම දේ තමා ලංකාවේ නෙවෙයි ආසියාවේ විතරක් නෙවෙයි මේ පෘතුවියේම මේ තරං වේගයෙන් නිර්මාණය කරපු මෙහෙම උද්‍යානයක් නැති එක... කොටින්ම කිව්වොත් දෙදහස් පාලවේ ජනවාරි අට වැනිදට පස්සේ වැඩ ආරම්භ කරලා මාර්තු අග වෙද්දි විවෘත කරලත් ඉවරයි.. පට්ට වේගෙන් වැඩ කෙරිලා තියෙනවා... :D
ඕනනං බලන්නකෝ මේ විවෘත කිරීමට අදාල සමරු පලකය...



පේනවනේ... මාස දෙකහමාරයි වැඩේ ෆිනිෂ්... හිංගලෙන් විතරක් නෙවෙයි බාෂා තුනෙන්ම කොටලා තියෙනවා අතිගරුලා දෙන්නගේ මෙව්වා එකෙන් අහවල් විසය බාර ඇමැත්තා විවෘත කොරන ලදි කියලා...


හැබැයි ඉතිං කවුද මංදා නොසණ්ඩාලයෙක් ඔය අස්සේ පහුගිය කාලේ හිටිය උන්දෑ කෙනෙක්ගේ නම කොටාපු ගල් ගෙඩියක් ඔය අස්සේ මේ ඊයේ පෙරේදා හිටෝලා ගෙහුන් කියලා දන්න කියන මල්ලි කෙනෙක් කිව්වා.. මේ බලමුකෝ...

තනිකරම කඩාකප්පල්කාරී කිරියාවක් ආයිබෝංලා... අවුලක් නැහැ... තව ටික දවසක් යද්දි ඕක ඔතැනින් ගලෝලා වීසු කොරයි බැද්දට... ඔය කඩා කප්පල්කාරී කිරියා වලට මේ ආණ්ඩුවෙන් ඉඩක් නැහැ... ඒ ගැන ඒ මදැයි... කාට හරි පොට් එකේ තව පිංතූර බලන්න ඕනනං මෙන්න මෙතනට ගෙහුන් බලන්ට...

තව ඉතිං ආගිය කතා ලියන්ට ගියොත් සෑහෙන්න තියෙනවා... ඒත් ඉතිං අදට මේ මදෑ...

ආ ඒක නෙවෙයි... සුපුරුදු විදියටම මේ පාරත් අපේ ඔබා අයියා සිහිපත් කරලා අන්තිම පේලියේ සැට් එක විසින්  මූලිත්වය අරං කොරන "ලේ දන්දීම ඔන්න මේ මාසේ 23 වැනිදා රාජගිරියේදී තියෙනවාය කිව්වා... දන්න කියන අය... එන්නට ඇහැකි අය ඇවිල්ලා පොඩි සපෝට් එකක් දෙනවනං ඉතිං වටිනවා...
සයිබර් උදවියගේ අවුරුදු උත්සවෙත් තිස් වැනිදාද කොහේද කුරේ පිට්ටනියේ සුපුරුදු ආකාරයටම තියෙන බව අහන්න ලැබුනා... ඒකටත් යන අය ඇහැකි විදියට යන්ට බලන්ටලා... මාත් ඉතිං ඒකට ආවා නැතා ලේ ටිකක් දීලා එන්ටනං යන්න හිතං ඉන්නවා...

හරි එහෙනං අපි කැපුනා... ටටා බයි බායි කිව්වා...