22 September 2016

අද පාඩම... මිරිස් බැදීම...



හරි ඉතිං හිනා වෙන්න එපාලා... මිරිස් බදින්නත් කියා දෙන්න ඕනද කියලා අහයි... ඔව් ඉතිං ඔයිට කලින් බිත්තර තම්බන්න දන්නවද කියලා අහපුවාමත් මට කට්ටියක් හිනා උනානේ... :D

පස්සේ ඉතිං තාක්ෂණයට අනුව බිත්තර තම්බන හැටි කිව්වට පස්සෙනං ඒ හිනාව හිමිහිට මැකිලා ගියා තමා... මේකත් ඒ වගේ තමා...


බතක් උයන්න... බිත්තරයක් තම්බගන්න.. පපඩම් බදින්න.. මිරිස් බදින්න අමුතුවෙන් කියා දෙන්න ඕනද කියලනේ කට්ටිය ගත් කටට අහන්නේ... ඒ කියන්නේ ඒ වැඩ කවුරුවත් කියා දෙන්න තරං දේවල් නෙවෙයි හරි සරල වැඩ හැටියට තමා සලකන්නේ... හැබයි ඉතිං ඔය මොනවත් කවදාවත් කරලා නැති කෙනෙක් ඕවා කරන්න ගියාම තමා රගේ තේරෙන්නේ... 

හැබැයි ඉතිං සමහරුන්ටනං එහෙම තේරෙන්නෙත් නැහැ... බතක් කියලා තමන් උයා ගත්ත කිරිමැට්ට හරි ගිලලා ඒක තමයි බත කියලා හිතං ඉන්න හරි... කහ මදේ වටේ කලු වෙනකල් කර වෙන්න තම්බගත්ත බිත්තරේ කාලා දාලා ඔහේ ඉන්න... සෙට් එකට ඕවා ගානක් නැහැ... ඒත් ඉතිං හරියට කාලා පුරුද්ද තියෙන... තමන් ඒ දේවල් හදන්න ගියාම ඒ කොලිටියට වැඩේ ආවේ නැතිවම වැඩේ ගැස්සුනා කියලා දන්න අයට තමා මේ පාඩමත්... ඒ කිව්වේ මිරිස් බදින්නේ කොහොමද කියන පාඩම...
රයිටෝ මුලින්ම අපිට උවමනා දේවල්...

*හොඳ තත්වයේ වියළි මිරිස්...
*බැදීම සඳහා තෙල්...
*තාච්චියක් සහ දැල්වෙන ලිපක්...
*ලුනු කුඩු
*මිරිස් සේදීම සදහා වතුර...
*තෙල් හැන්දක් හෝ සාමාන්‍ය මේස හැඳි දෙකක්...
*පේපර් ස(ර්)වියට් එකක් හෝ කිචන් ටවල් එකක්... ඒත් නැත්තං පත්තර කඩදාසි නොවන සාමාන්‍ය පිරිසිදු කඩදාසියක්...
*පිගානක් වැනි බාජනයක්...

මුලින්ම අපි මිරිස් ටික බැදීම සඳහා සූදානම් කරගන්න ඕන...
ඒකට හොදම විදිය මිරිස් කරල් ටික එක පාරක් වතුරින් සෝදාගෙන දෙකට කැඩීම... විශාල කරල් නම් තුනකට විතර කැඩුවත් කමක් නැහැ...
ඊ ළගට මේ කෑලි කඩා ගත්ත මිරිස්වල ඇට ටික ඉවත් කිරීම තමා වඩාත්ම සුදුසු... ඒත් සැරට වැඩි කැමැත්තක් ඇති ගැස්ට්‍රයිටීස් එහෙම නැති පින්වතුන් ඇට තියෙද්දිම බැද්දත් කමක් නැහැ... ඒත් මං ඒ තරමට පින් කරලා නැති හින්දා මමනං හොදට සෝදන ගමන් මිරිස්වල ඇට ඉවත් කරනවා...
මෙන්න මෙහෙම සෝදලා දෙකට තුනට කඩා ගත්ත මිරිස් ඇට සහිතව හෝ රහිතව අරගෙන හොදින් එක් වරක් මිරිකා දිය ඉවත් කරන්න ඕන...

ඊට පස්සේ මිරිස් කරල්වලට යහමින් ලුනු කුඩු ඉහගන්නයි තියෙන්නේ... නිකං ලාවට ලුනු නෙවෙයි හොදට ලුනු කුඩු එකතු කරලා මිරිස්වලට කලවං කරන්න ඕන කෑලි ඇතුලටත් යන විදියට... එහෙම කරලා මිරිස් ටික ටිකක් පදං වෙන්න අරින්න ඕන... අඩුම ගානේ විනාඩි දහයක්වත් තියන්න පුළුවන්නං වඩාත් හොදයි... මිරිස් වැඩි ප්‍රමාණයක් බැදලා අසුරලා තියං පාවිච්චි කරන්න හිතන කෙනෙකුටනං මිරිස් ටික ලුනු දැම්මට පස්සේ අවුවේ වේල ගත්තත් කමක් නැහැ... (ලුනු කුඩු මිස ලුනු වතුර පාවිච්චි නොකරන්න... මිරිස් ටික ඉතා ඉක්මනින් හංකඩ වෙනවා සත්තයි... :D )

දැන් ඉතිං තියෙන්නේ රත් උන තෙල් තාච්චියකට දාලා මිරිස් ටික බැද ගන්න එක...

මේකට තෙල් ගිනි රස්නෙට තිබිලත් බැහැ.. තෙල් අමුවට තිබිලත් බැහැ... තෙල් ටික රත් වේගන එද්දි තෙල් වල වටෙන් පොඩි නලියන ගතියක් පෙන්නුව ගමන්... ආන්න තෙල් ටික නියම ගානට ඇවිල්ලා.. දැන් මිරිස් අහුරක් අරං "චෝස්" ගාන සද්දේ එද්දි දානවා තෙලට... තත්පරයක් යද්දි හැන්දක ආදාරයෙන් මිරිස් ටික පැත්ත පෙරලනවා... තත්පර දෙකක් තියෙන්න අරිනව... හැන්දෙන් එක පාරක් හොදට තාච්චියේ අඩියට තද කරනවා. තත්පර දෙකක් යන්න අරිනවා... හැකි ඉක්මනින් පේපර් සවියට් එක හෝ කඩදායි එලා ගත් භාජනයට මිරිස් ටික බානවා... ඒ බාද්දි හැකි තරම් තෙල් හැන්දට නොඑන සේ බාගන්න උවමනයි... තෙල් හැන්දකින්නං මේක කරන්න පහසුයි.. ඒකේ හිල් වලින් තෙල් බේරිලා යන හින්දා... තෙල් හැන්දක් නැත්තං හැදි දෙකක ආධාරයෙන් පරිස්සමට ඇගට තෙල් විසි කරගන්නේ නැතිව තෙල් බේරලා ගන්න ඕන...

දැන් මිරිස්වල තැවරිලා ඇති තෙල් කඩදාසිය හෝ පේපර් සවියට්ටුවට උරන්න ඇරලා නිවෙන්න අරින්න ඕන... හොඳටම නිවුනට පස්සේ පිරිසිදු බෝතලයකට අසුර ගත්තොත් සෑහෙන දවසක් තියා ගන්නත් පුළුවන්... එහෙම නැත්තං උණු උණුවෙම කාලා දාන්නත් පුළුවන්... මෙහෙම බැද ගත්තම විධිමත් ඇසීරීමක් නැතිව උනත් දවසක් විතර හොඳ හයියට මිරිස් ටික තියෙනවා... හංකඩ නොවී... ඒ වගේමයි මතක තියා ගන්න ඕන කල් තියා ගන්න බදිනකොට ටිකක් ලුනු කුඩු වැඩියෙන් දාන්න... බැදලා ඉවර උනාමත් මිරිස්වල ලුනු තට්ටුවක් යන්තමින් තියෙනවා වගේනං වඩාත් හොදයි.. ඒ වගේම ඒ බෝතල්වලටත් තෙල් ඉරීම සදහා පොඩි කඩදාසි කෑල්ලක් දාලා තියෙන එක සුදුසුයි... සහ බෝතලේ විවෘත කරන වෙලාවට අළුත් කඩදාසියක් මාරු කිරීමත් වැඩි කාලයක් මිරිස් ටික කල් තියා ගන්න හේතුවක් වෙනවා...

හරි ඔන්නොහොමයි කරස් ගාලා හැපෙන.. හංකඩ නොවන සාර්ථක මිරිස් බැදීමක් කරගන්නේ... ආ මතක තියාගන්න.. මිරිස් බදින කොට එක කිඹුහුමක් හරි යන ගානට මිරිස් සැර මතු වෙන්න නොදී බදින්න පුළුවන් වෙන්න ඕන නියම විදියට වැඩේ කරනවනං.. මිරිස්වලින් දුං ගහලා කිඹුහුං යන ගානට එනවා කියන්නේ මිරිස් ටික බොහෝ දුරට බැදිලා නෙවෙයි පිච්චිලා කියන එකයි... එක පාරින්නං මේක අමාරු වෙයි... ඒත් දවසක් දෙකක් වැඩේ කරනකොට ඒ ගානට වැඩේ කරගන්න අත හුරු වෙනවා... එච්චරයි...