29 June 2017

අඩව්වක් අල්ලන්න පිටියේ හතර කොං හෙවීම...

මේක කෙටුවේ බුකියේ සහෘදයින්ගෙන් උවමනා කරන ආධාර උපකාර උපදෙස් ආදිය ගන්ට බලාගෙන... ඒත් ඉතිං බුකිය මිස් වෙන කවුරුම හෝ මේ සම්බන්ධව කාරණා කාරණා දන්න අය බ්ලොග් බලන අය අතරෙ හිටියොත් කියලා මෙතනත් කොපි පේස්ට් පාරක් දාං යන්න හිතුනා...


කාරණාව ඇවිල්ලා මගේ පෞද්ගලික උවමනාවක්...

කවදාවත් ආයේ කරන්න කියලා හිතං හිටියේ නැති... ඒත් හිටි ගමන් ඔන්නොහේ කරලා දාන්න ඕන කියලා හිතුන හින්දා ලබන අවුරුද්දේ ඒ කිව්වේ 2018 වරුසයේදී උසස් පෙල විභාගය ඔය මොන මොනවයින් හරි කරලා අහවර කරන්න ඕන කියලා හිතුනා... හරියට කලානං මං ඕක කරන්න තිබුනේ 1998 අවුරුද්ද දිහාවේ... දැන් මෙහෙම ගත්තම හරියටම අවුරුදු විස්සක් පරක්කු වෙලා කරන්න හදන්නේ... ඉතිං ලේසි නැහැ... ඒ කාලේ ඉගෙන ගත්තෙත් යලට මහට... ඒ ඉගෙන ගත්තුවත් දැන් මෙලෝ ලබ්බක් මතකත් නැහැ... ඒවා හිමි හිමිහිට මතක් කර කර ඉන්න කාලෙකුත් නැහැ... එහෙමයි කියලා මේක අල්ලලා දාන්න හිතෙන්නෙත් නැහැ... ආන්න ඒකයි සින් එක...
ඉතිං මේ සම්බන්ධව... බුකියේ දාපු පෝස්ට් එක මං පහතින් අලවලා දානවා...
________________________________
දැන් තියෙන ගැටළු...
අණ බෙර ගහලා කොරන වැඩ වැඩි හරියක් හරිහමන් අවසානයක් දකින්නේ නැති උනත්... කොරන්න යන වැඩේට ආධාර උපකාර ටිකක් උවමනා වෙන හින්දා හොරා වගේ කොරන්න හැටියක් නැහැ... ආන්නේකයි පොරසිද්ධියේ වැඩේ ගැන කියලා පටාන් ගන්න උනේ...
මං මේ කිව්වේ මගේ ඒ ලැවෙල් කරන්න ආව අදහස ගැන...
දැන් තියෙන මූලික ගැටළුව තමා විෂයන් තෝරා ගැනීම...
මුලින්ම කියන්න ඕන... ගණිත හා විද්‍යා විෂයන් මට අම්බානක බර වැඩියි... ඒ හින්දා එව්වා සුම්මා... (ජීව විජ්ජාවටනං ටිකක් විතර කැමතියි. ඒකේ පේපර් එහෙමත් බැලුවා... පොඩි හුරු පුරුදු ගතියකුත් තියේ... ඒත් එපා )
වාණිජ විෂයන් හරියන්නේම නැහැ... ඉස්කෝලේ කාලේත් කරන්න අරං මට එපාම උනා... (ඒකෙත් ටිකක් හරි කැමැත්තක් තිබුනේ එකවුන්ට් වලට විතරයි )
කලාව ගැන කිව්වොත්... සිංහල ඉතිහාසය අරක මේක හරියන්නේ නැහැ... ඉස්සරහට මට එවයින් කියලා ගන්න ඒ හැටි වැඩකුත් නැහැ... අර නාට්ටිය හා රංග කලාව කියන විෂය එහෙමනං ටිකක් හොඳයි... ඒත් එව්වා හරියන මගුල් නෙවෙයි...
ඉතිං තව ඉතිරි අළුතින් පටාන් ගත්තයි කියන තාක්ෂණවේදය විශයන් අරක මේක තමා...
එතනදිත් විෂයන් තුනක් තෝරා ගැනීම ගැන ගැටළු එනවා...
අනිවාර්යයෙන්ම
1-තාක්ෂණය සඳහා විද්‍යාව
2-ජෛව පද්ධති තාක්ෂණවේදය 
කියන දෙක කරන්න වෙනවා... ( ජෛව පද්ධති තාක්ෂණවේදය වෙනුට ඕනනං ගන්න පුළුවන් ඉංජිනේරු කේස් එකත් අම්මෝ බැහැ )

ඕකෙත් 2වැනි එකට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙන හින්දා ඒකත් මල වාතයක්...
ඊළග ගැටළුව තුන්වැනි විෂය තෝරා ගැනීම... හැට හුට හමාරක් දේවල් දෙතුන් තැනක දෙවිදියකට දීලා තියේ... කොහොම උනත් ඒ අතරින් එකක් තිබුනා “ආහාර තාක්ෂණවේදය“ කියලා... පොඩ්ඩක් ප්‍රශ්න පත්තරයක් එහෙම හොයාගෙන බැලුවම මෙලෝ රෙද්දක් අළුතින් ඉගෙන ගන්නේ නැතිව උනත් ලකුණු විස්සක් විසි පහක් ගන්න පුළුවන් ජාතියේ එකක් සහ මම කැමතිම ජාතියේ විෂයක්... තව ඩිංගක් පොතක් පතක් බලා ගත්තම ඒකට එස් එකක් දාගන්න අමාරුවක් නැහැ කියලා හිතුවැකි...
ඒත් මේ විෂය ගැන තියෙන තොරතුරු මදි... අධ්‍යාපන ප්‍රකාශන එකෙත් ඒ සම්බන්ධව මෙලෝ පොතක් පතක් නැහැ... ඉගෙන ගන්න ගත්තත් විෂය පොත් පත් හොයා ගැනීම ගැන ගැටළුවක් එනවා... බාහිර පංති එහෙම තියෙයිද කියලා හිතන්නත් අමාරුයි... කොහේවත් එහෙම පෝස්ටරයක්වත් දැකලත් නැහැ... ඉතිං අම්බානකට කැමති උනත් ඒක විෂයක් හැටියට කරන්න පුළුවන්ද... අවශ්‍ය පොත් පත් හොයා ගන්න ලැබෙයිද... කියන ගැටළුව තියෙනවා තදේටම...
ඊ ළගට ඒක කරගන්නම විදියක් නැත්තං “ගෘහ ආර්ථික විද්‍යාව“ වගේ එකක් උනත් කරන්න හිතෙන ජාතියේ විෂයක්... හැබැයි ඒකෙත් ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා... එතකොට එහෙං පිටිංම ප්‍රායෝගික පරීක්ෂණ දෙකකට ඉන්න වෙන අවුල එනවා... ( කරන කෙං ගෙඩියක් ලියන එහෙකින් ඉවර කරගන්න එක ලේසියි අප්පා තව ගිහින් ප්‍රැක්ටිකල් දිදී ඉන්න යන්නේ නැතිව )
ඒකෙත් උවමනා පොතපත ආදියෙහි හිගයක් තියෙන බව පේනවා... 12 සහ 13 කියන වසර දෙකට අදාල ගුරු අත්පොත්නං හම්බ උනා... ඒත් ඒවා විතරක් ඇති වෙයිද කියන ගැටළුව එනවා... වෙනම බාහිර පංති මේ සඳහාත් තියෙනවද නැද්ද කියලා නොදනී...
එතකොට මෙහෙම එක විෂය ධාරාවකට නැතිව එහෙං මෙහෙං තෝරගෙන විෂයන් තුනක් කරන්න පුළුවන් කියලත් කියවෙනවා දැක්කා පොදු විෂය ධාරාව යටතේ...
මට ඉතිං වැදගත් දේ වෙන්නේ ඒ ලෙවල් කිරීම තමා... දෙවැනුව එස් තුනක් දා ගැනීම... (නැහැ නැහැ විහිළුවටවත් එයින් එහාට හිතන්නේ නැහැ එහෙම හිතන්න උවමනාවකුත් නැහැ... ඇත්තටම කිව්වොත් නමට පාස් එකක් විතරයි ඕන. ) අනික අවුරුදු දෙකක විෂය මාලවන්වල අකුරක්වත් කලින් දැකලා බලලා නැතිව තනි අවුරුද්දෙන් කරන්න යන හින්දා ලොකු වැඩ කරන්නම බැහැ...

ඉතිං ඔය මොනවා හරි විෂයන් තුනක් ආසාවෙන් කරන්න තිබුනනං තමා වැඩියම හොඳ...

ඔය ඔක්කෝම අපබ්‍රංශ එකට කැටි කරලා ගත්තොත්...
1- පොදු විෂය ධාරාව යටතේ හරි කල හැකි වැඩිය බර නැති මං වගේ ඉස්කෝලෙන් අහක් වෙලා දසක දෙකකටත් වැඩිය ඉක්ම ගිය එහෙකුට ගැලපෙන විෂයන් මොනවාද...?
2- තාක්ෂණික විෂ්‍ය ධාරාව යටතේම කරනවනං ආහාර තාක්ෂණය කියන විෂය කරගන්න පොත් පත් හොයා ගන්නේ කොහොමද... ඒවට අඩුම ගානේ බාහිර පංතිවත් කෙරෙනවද..?
3- ආහාර තාක්ෂණය කරගන්න බැරි එකක්නං “ගෘහ ආර්ථික විද්‍යාව“ හරි කරගන්න පොත්පත් බාහිර පංති ආදිය සොයා සපයා ගන්නට හැකි වෙයිද...?
ඔන්න ඕවා තමා දැන් තියෙන දැවෙන පස්න...
හා උදව් කරන්න කැමති පිංවතුන් දන්න දේවල් කියලා මේ අසරණයාට පිහිට වෙන්ට බලන්ඩ...

09 March 2017

බොන්න දෙනවද...?


කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ඇත්තටම මේකත් බ්ලොග් එකට නෙවෙයි ලිව්වේ... බුකියට... ඒත් ලියලා අහවර වෙද්දි සෑහෙන්න දිගයි වගේ තේරුණ හින්දා ඔන්නොහේ බ්ලොග් එකට මුලින් දානවා කියලා හිතුවා... ඒ හින්දා පොඩි පොඩි සංස්කරණ කිහිපයක් කරලා ගත්තා මේකට හරියන විදියට...

රයිටෝ මේකයි කතාව...
අපේ බුකියේ යාළුවෙක් මේ ටිකේ කසාඳ සම්බන්ධව හෙනට ප්‍රශ්න අහ අහ ඉන්නවා... ( මේ බුකියේ ඉන්න ඈයින්ගෙන් අදහස් අරං කසාඳ බදින්න ගියොත්නං දෙයියන්නේම පිහිටයි... :D ) එයින් එකක් තමා මේ මඟුල් ගෙවල්වලදී බොන්න දෙන්නම ඕනද කියන එක...ඒකට ඉතිං කොමෙන්ට් කලා ඇති වෙන්න... එක්කෝ බුවා මගුල කයි නැත්තං මගුල් කන්නද කියලා බිබීම ඉඳියි... :D

මං ඉතිං කියන්න ගියේ ඇත්තටම මඟුල් ගෙවල්වලදී බොන්න දෙන්නම ඕනද...? ඕකට ඉතිං එක එක්කෙනා එක එක අදහස් කියනවා... හැබැයි මගේ අදහසනං මනාලයා බොන එකෙක්නං... බොන එකෙකුට හරි එන්නත් කියනවනං බොන්න දෙන්න ඕන තමා... ඔන්න අමධ්‍යම සංගමේ සෙට් එක විතරක්නං මඟුලට එන්නේ බොන්න නොදුන්නට කමක් නැහැ... ඇයි හත්තිලව්වේ... නිවාඩු දාගෙන... ඇඳුම් පැළඳුම් හදාගෙන... සෑහෙන පාඩු කරං එනවා මදිවට... උදේ ඉදලා මගුල් ගෙදර සිද්ධ වෙන එක එක කෝළං දිහා ඈනුං ඇර ඇර බලං ඉන්නවා කියන එකත් ලේසි වැඩක්ද... මොකද මිනිස්සු පලවෙනි වතාවට යන මගුල් ගේ කියලෑ... කැමරාකාරයින්ගේ කැටයං දැමිලියි... නැකත් වැඩ පෝරු වැඩ අරක මේකයි... එක එකාගේ පඩ ෂෝයි...ලගදි බදින්න හිතං ඉන්න ඒ හින්දම මගුල් ගෙවල් වැඩ ගැන ඉගෙන ගන්න බලාගෙන එන එකාලා ඇර මගුලට එන එකාලට මෙලෝ වැදගත්කමක් නැති දේවල්වලින් මගුල් ගෙදරක තියෙන පොඩ්ඩක් හරි හිත සැනසෙන අංග දෙක තමා ඉතිං කෑම මේසෙයි... බීමයි... මුංදලා එයිනුත් වැදගත්ම එකට කෙලියම මොන මගුල්ද...? :D


ඔන්න කාන්තා පාර්ශවේටනං මගුල් ගෙවල්වල ආව වෙලාවේ ඉදලා අනිත් අයගේ විලාසිතා ගැන අධ්‍යයනය කරන්න ඒ සම්බන්ධ අදහස් දක්වන්න... යන්න තියෙන ඊ ළඟ මගුල් ගෙදරට ඇදුම් සකස් කිරීමේදී තමන් අදින්න ඕන මොන වගේ ඒවද කියලා අදහස් ගන්න වගේ වැදගත් රාජකාරි තියෙනවා කියමුකෝ... එයාලා උනත් දැන් දැන් ඉස්සර වගේ නෙවෙයි සැර අඩු බියර් වයින් ෂැම්පේන් වගේ දේවල් හොයනවා... ඒ ගැනත් හිතන්න එපෑ...


මේ පුරුස පාර්සවේ උන්ට ඔව්වෑ ඇති වැඩක් තියේයෑ... ඔන්න අවිවාහක සංගමේ එකෙකුටනං මගුලට ඇවිත් ඉන්න ගෑණු ලමිස්සියෝ ගැනවත් උනන්දු උනෑකි... හැබැයි ඉතිං අද කාලේ ඒකත් හරි අවදානං වැඩක්... මගුල් ගෙවල්වලදී දෙයක් සෙට් කරගන්නවා වගේ නෙවෙයි මගුලෙන් පස්සේ දවසක ඒ දැරිවි හම්බ උනාම අදුරගන්නත් අමාරු වෙනවනේ... අනිත්මට නිකං හිත කලකිරෙනවා... අපරාදේ ඇයි එදා මම ආතල් එකේ අඩියක් ගහලා නිකං හිටියේ නැත්තේ මේ මේකප් කන්දට අහු වෙන වෙලාවේ කියලා... :D 

ඉතිං දුක සේ මගුලකට ඇවිත් ඉන්න එකාට... මේ මගුල හින්දා තට්ටුවෙන ගාන ගැන ඇති හිතේ වේදනාව සමනය වෙන්නත්... මනාලයා තමන්ගේ හිතවත්ම එකෙක්නං ඌ මේ දෑහට පෙනි පෙනී වැටෙන විපතින් ගලෝ ගන්න හැටියක් නැති එක ගැන ඇතිවෙන සංවේගය තුනී කරගන්නත්... ඒ මේ අත සැරිසරන මේකප් කදුවලට අහුවෙලා විහිං වැනසෙන්නේ නැතිව ඉන්නත්... ඔය කියන අරක මේක කොයිකත් නැතිව සැනසීමකට තියෙන්නේ දෙයියනේ බීම විතරයිනේ... ඉතිං ඇයි අපේ එකාලා ඒකටම කෙලින්න හදන්නේ... 

එක්කෝ ගෑණිගේ පැත්තෙන් බොන්න දෙනවට අකමැතියි... (උන් කන්න බොන්න දන්න උනුත් නෙවෙයි තව එකෙක් කාලා බීලා ඉන්නවා බලන්න පුළුවන් උනුත් නෙවෙයි... )


නැත්තං වියදම අඩු කරගෙන ලාබය වැඩි කරගන්න හිතං... (කෙලවෙන පොටක්... මගුලට එන එකා බොන්න දුන්නම දෙන ගානෙන් බාගයක්වත් දෙන්නේ නැහැ බීම නැති මගුලෙදි... ) 


එහෙමත් නැත්තං ගෑණිගේ පැත්තට මනාලයා අමධ්‍යපයි කියලා ටොම් පචයක් අතෑරීම නිසා වෙච්ච වින්නෑසියක දිගුවක් වෙන්ටත් ඇහැකි...


ඇත්තටම මනාලයා අමධ්‍යපයි සහ හෙන සුචරිතවාදියා වෙන අල්පයක් අවස්ථාත් තියෙනවා... (එහෙම එකෙක්නං ඉතිං ඒ වගේ තීරණයක් ගත්තොත් මොනවත් කියන්න බැහැ... මොකද ඌ අනිත් අයගේ මගුල්වලට ගෙහුං කල්දේරං පිටින් බීලා ඇවිත් තමන්ගේ මගුලට විතරක් බොන්න නොදී කුම්මැහිකං කරන්න හදන එකෙක් නොවන හින්දා... උගේ හැටි දන්න යාළුවෝ උනත් ඕක ඒ හැටිම අවුලක් කරගන්නේ නැහැ... ) 


ඉතිං ඔය කෝම උනත් අන්තිමට බොන්න නොදී මගුල ගත්තම මොකද වෙන්නේ...කිසි ගේමක් නැහැ බොන්න බලං ආව උන් නොබී ඉඳීද මේ යක්කුන්ට පිස්සු තද උනා කියලා... නැහැ පිංවතුනි... උන් ලගම තියෙන බාර් එකේ හෝ අල්ලපු වැටක ඉඩ පහසුකං තියෙන තැනක සුටුස් ගාලා සෙට් වෙනවා... ටික වෙලාවක් යද්දි මගුල් ගෙදරට වඩා නැගලා යන සද්ද බද්ද ඇහෙන්නේ අහල පහල කට්ටිය බොන්න සෙට් උන තැනින්...


බොහෝ වෙලාවට මේක ගමක වෙනවනං ඔය බොන්න පහසුකං සපයන තැනට මනාලයගේ තරහාකාරයොත් සෙට් වෙනවමයි... ඒ කරලා කට්ටියම එකතු වෙලා අරූගේ හම යවනවා... පදමට දානවා... කන වෙලාවට සිහියක් තිබුනොත් ඇවිත් කනවා... නැත්තං එහෙමම යන්න යනවා... බොහෝමයක් වෙලාවට දෙන්න හිතං ආව ඇන්ලොප් එකෙන් ඇදලම තමා බෝතල් ගේන්නෙත්... බොන්න දුන්න මගුලක එකෙක් දෙන්නෙක් බීලා වැඩි වෙලා අමතක වෙලා කවරේ නොදී ගියත්... මෙහෙම මගුලකදී අනිවාර්යයෙන්ම දුන්නත් දෙන්නේ බාගයයි... අර විදියට පිට තැනකට බොන්න සෙට් උනොත් ඒ බාගෙත් නොලැබී යාමේ වැඩි අවධානමක් තියෙනවා... ඒ විතරක් නෙවෙයි ඉතිං එතැන් පටන් යන හැම මගුල් ගෙදරකදීම බොන්න නොදුන්න මගුල් ගේ ගැන සිහිපත් කිරීමක් වෙනවම තමා... තව අමතර වාසියක් හැටියට මගුලට ආව උන්ගෙන් ගමේ තරහා කාරයින්ටත්... ගමේ තරහා කාරයින්ගෙන් මගුලට ආව උන්ටත් තොරතුරු සම්ප්‍රේෂණය වීමේ ප්‍රථිපල නිසාත් යම් යම් අතුරු ආබාධ මතු වීමේ තත්වයන් ඇති වෙනවා.. එයින් නවතින්නේ නැහැ... අවසානයේදී බැදපු උන් දෙන්නට ළමයි හම්බු වෙලා උන් කවදා හරි බැදලා යන දවසකත් අර මහ උන් දෙන්නගේ වෙඩිමට ආව එකෙක් හිටියොත් ඔය එදා බොන්න නොදුන්න කතාව ඇදයක් හැටියට කියනවා කියනවමයි...ඔන්න ඕකයි බොන්න නොදී සුචරිතවත් මගුල් කෑමේ ප්‍රතිවිපාක...


ඒ හින්දා ඔය බඳින්න හිතං ඉන්න එකාලා එක එකාගේ ගැටවලට අහුවෙලා ඔය අමධ්‍යප වෙඩිං කාලා නිකං වරිගේ නහගන්න වැඩ කරගන්න එපාලා... අනික ඉතිං මගුලක් කියන්නේ මිනිස්සු කාලා බීලා සතුටු වෙන තැනක් මිසක් මොක්කුද වගේ බුකෝගෙන ඉන්න ඕන තැනක්යෑ... මගුල් ගෙදර සැරසිලියි... පොටෝ ඇල්ලිලියි... මනාලියගේ සාරියේ වටිනාකමයි... ජෝඩුව ඇන්දේ බටහිර විදියටද... ඉන්දියානු ක්‍රමයටද... නැත්තං උඩරට විදියටද කියන එකවත්... මනාලයටයි මනාලියටයි කොච්චර යාළු යෙහෙලියෝ හිටියද මල් කුමාරයෝ හිටියද කියන එකවත්... මගුලට එන බොහෝ දෙනෙකුට වැඩකට ඇති දේවල් නෙවෙයි... ඒවා තමන් පාඩුවේ කරගන්න ගමන් කාලා බීලා සතුටු වෙන්න එන එකාලාට කන්න බොන්න දෙන්න ඕන... ඒකයි ක්‍රමේ... ඒ හින්දා දෙයියනේ කියලා එන එකාලට බොන්න දීපල්ලා... නිකං මගුල් ගේ මල ගේ කරගන්නේ නැතිව... :D


ආ මතක ඇතුව ඒ වගේම බොන උන් ටික බීලා ඉවර වෙලා කීයට කෑමට එයිද කියලා කියන්න බැරි හින්දා බොන්නේ නැති එකාලට වේලපහම කන්න බොන්න දෙන එකත් අඩුවක් නැතිවම වෙන්න ඕන දෙයක්... බොන උන් බොන්නත්... නොබොන උන්ට දෙයියනේ කියලා බඩේ පනුවෝ පිනුං ගහනකල් නොයිද කන්නත් දීම වැදගත් කාරණා... එව්වා අමතක කරන්න නාකයි...


හා අපි ගියා... හැමෝටම සුභ මංගලම්... :D :D :D