29 June 2017

අඩව්වක් අල්ලන්න පිටියේ හතර කොං හෙවීම...

මේක කෙටුවේ බුකියේ සහෘදයින්ගෙන් උවමනා කරන ආධාර උපකාර උපදෙස් ආදිය ගන්ට බලාගෙන... ඒත් ඉතිං බුකිය මිස් වෙන කවුරුම හෝ මේ සම්බන්ධව කාරණා කාරණා දන්න අය බ්ලොග් බලන අය අතරෙ හිටියොත් කියලා මෙතනත් කොපි පේස්ට් පාරක් දාං යන්න හිතුනා...


කාරණාව ඇවිල්ලා මගේ පෞද්ගලික උවමනාවක්...

කවදාවත් ආයේ කරන්න කියලා හිතං හිටියේ නැති... ඒත් හිටි ගමන් ඔන්නොහේ කරලා දාන්න ඕන කියලා හිතුන හින්දා ලබන අවුරුද්දේ ඒ කිව්වේ 2018 වරුසයේදී උසස් පෙල විභාගය ඔය මොන මොනවයින් හරි කරලා අහවර කරන්න ඕන කියලා හිතුනා... හරියට කලානං මං ඕක කරන්න තිබුනේ 1998 අවුරුද්ද දිහාවේ... දැන් මෙහෙම ගත්තම හරියටම අවුරුදු විස්සක් පරක්කු වෙලා කරන්න හදන්නේ... ඉතිං ලේසි නැහැ... ඒ කාලේ ඉගෙන ගත්තෙත් යලට මහට... ඒ ඉගෙන ගත්තුවත් දැන් මෙලෝ ලබ්බක් මතකත් නැහැ... ඒවා හිමි හිමිහිට මතක් කර කර ඉන්න කාලෙකුත් නැහැ... එහෙමයි කියලා මේක අල්ලලා දාන්න හිතෙන්නෙත් නැහැ... ආන්න ඒකයි සින් එක...
ඉතිං මේ සම්බන්ධව... බුකියේ දාපු පෝස්ට් එක මං පහතින් අලවලා දානවා...
________________________________
දැන් තියෙන ගැටළු...
අණ බෙර ගහලා කොරන වැඩ වැඩි හරියක් හරිහමන් අවසානයක් දකින්නේ නැති උනත්... කොරන්න යන වැඩේට ආධාර උපකාර ටිකක් උවමනා වෙන හින්දා හොරා වගේ කොරන්න හැටියක් නැහැ... ආන්නේකයි පොරසිද්ධියේ වැඩේ ගැන කියලා පටාන් ගන්න උනේ...
මං මේ කිව්වේ මගේ ඒ ලැවෙල් කරන්න ආව අදහස ගැන...
දැන් තියෙන මූලික ගැටළුව තමා විෂයන් තෝරා ගැනීම...
මුලින්ම කියන්න ඕන... ගණිත හා විද්‍යා විෂයන් මට අම්බානක බර වැඩියි... ඒ හින්දා එව්වා සුම්මා... (ජීව විජ්ජාවටනං ටිකක් විතර කැමතියි. ඒකේ පේපර් එහෙමත් බැලුවා... පොඩි හුරු පුරුදු ගතියකුත් තියේ... ඒත් එපා )
වාණිජ විෂයන් හරියන්නේම නැහැ... ඉස්කෝලේ කාලේත් කරන්න අරං මට එපාම උනා... (ඒකෙත් ටිකක් හරි කැමැත්තක් තිබුනේ එකවුන්ට් වලට විතරයි )
කලාව ගැන කිව්වොත්... සිංහල ඉතිහාසය අරක මේක හරියන්නේ නැහැ... ඉස්සරහට මට එවයින් කියලා ගන්න ඒ හැටි වැඩකුත් නැහැ... අර නාට්ටිය හා රංග කලාව කියන විෂය එහෙමනං ටිකක් හොඳයි... ඒත් එව්වා හරියන මගුල් නෙවෙයි...
ඉතිං තව ඉතිරි අළුතින් පටාන් ගත්තයි කියන තාක්ෂණවේදය විශයන් අරක මේක තමා...
එතනදිත් විෂයන් තුනක් තෝරා ගැනීම ගැන ගැටළු එනවා...
අනිවාර්යයෙන්ම
1-තාක්ෂණය සඳහා විද්‍යාව
2-ජෛව පද්ධති තාක්ෂණවේදය 
කියන දෙක කරන්න වෙනවා... ( ජෛව පද්ධති තාක්ෂණවේදය වෙනුට ඕනනං ගන්න පුළුවන් ඉංජිනේරු කේස් එකත් අම්මෝ බැහැ )

ඕකෙත් 2වැනි එකට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙන හින්දා ඒකත් මල වාතයක්...
ඊළග ගැටළුව තුන්වැනි විෂය තෝරා ගැනීම... හැට හුට හමාරක් දේවල් දෙතුන් තැනක දෙවිදියකට දීලා තියේ... කොහොම උනත් ඒ අතරින් එකක් තිබුනා “ආහාර තාක්ෂණවේදය“ කියලා... පොඩ්ඩක් ප්‍රශ්න පත්තරයක් එහෙම හොයාගෙන බැලුවම මෙලෝ රෙද්දක් අළුතින් ඉගෙන ගන්නේ නැතිව උනත් ලකුණු විස්සක් විසි පහක් ගන්න පුළුවන් ජාතියේ එකක් සහ මම කැමතිම ජාතියේ විෂයක්... තව ඩිංගක් පොතක් පතක් බලා ගත්තම ඒකට එස් එකක් දාගන්න අමාරුවක් නැහැ කියලා හිතුවැකි...
ඒත් මේ විෂය ගැන තියෙන තොරතුරු මදි... අධ්‍යාපන ප්‍රකාශන එකෙත් ඒ සම්බන්ධව මෙලෝ පොතක් පතක් නැහැ... ඉගෙන ගන්න ගත්තත් විෂය පොත් පත් හොයා ගැනීම ගැන ගැටළුවක් එනවා... බාහිර පංති එහෙම තියෙයිද කියලා හිතන්නත් අමාරුයි... කොහේවත් එහෙම පෝස්ටරයක්වත් දැකලත් නැහැ... ඉතිං අම්බානකට කැමති උනත් ඒක විෂයක් හැටියට කරන්න පුළුවන්ද... අවශ්‍ය පොත් පත් හොයා ගන්න ලැබෙයිද... කියන ගැටළුව තියෙනවා තදේටම...
ඊ ළගට ඒක කරගන්නම විදියක් නැත්තං “ගෘහ ආර්ථික විද්‍යාව“ වගේ එකක් උනත් කරන්න හිතෙන ජාතියේ විෂයක්... හැබැයි ඒකෙත් ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා... එතකොට එහෙං පිටිංම ප්‍රායෝගික පරීක්ෂණ දෙකකට ඉන්න වෙන අවුල එනවා... ( කරන කෙං ගෙඩියක් ලියන එහෙකින් ඉවර කරගන්න එක ලේසියි අප්පා තව ගිහින් ප්‍රැක්ටිකල් දිදී ඉන්න යන්නේ නැතිව )
ඒකෙත් උවමනා පොතපත ආදියෙහි හිගයක් තියෙන බව පේනවා... 12 සහ 13 කියන වසර දෙකට අදාල ගුරු අත්පොත්නං හම්බ උනා... ඒත් ඒවා විතරක් ඇති වෙයිද කියන ගැටළුව එනවා... වෙනම බාහිර පංති මේ සඳහාත් තියෙනවද නැද්ද කියලා නොදනී...
එතකොට මෙහෙම එක විෂය ධාරාවකට නැතිව එහෙං මෙහෙං තෝරගෙන විෂයන් තුනක් කරන්න පුළුවන් කියලත් කියවෙනවා දැක්කා පොදු විෂය ධාරාව යටතේ...
මට ඉතිං වැදගත් දේ වෙන්නේ ඒ ලෙවල් කිරීම තමා... දෙවැනුව එස් තුනක් දා ගැනීම... (නැහැ නැහැ විහිළුවටවත් එයින් එහාට හිතන්නේ නැහැ එහෙම හිතන්න උවමනාවකුත් නැහැ... ඇත්තටම කිව්වොත් නමට පාස් එකක් විතරයි ඕන. ) අනික අවුරුදු දෙකක විෂය මාලවන්වල අකුරක්වත් කලින් දැකලා බලලා නැතිව තනි අවුරුද්දෙන් කරන්න යන හින්දා ලොකු වැඩ කරන්නම බැහැ...

ඉතිං ඔය මොනවා හරි විෂයන් තුනක් ආසාවෙන් කරන්න තිබුනනං තමා වැඩියම හොඳ...

ඔය ඔක්කෝම අපබ්‍රංශ එකට කැටි කරලා ගත්තොත්...
1- පොදු විෂය ධාරාව යටතේ හරි කල හැකි වැඩිය බර නැති මං වගේ ඉස්කෝලෙන් අහක් වෙලා දසක දෙකකටත් වැඩිය ඉක්ම ගිය එහෙකුට ගැලපෙන විෂයන් මොනවාද...?
2- තාක්ෂණික විෂ්‍ය ධාරාව යටතේම කරනවනං ආහාර තාක්ෂණය කියන විෂය කරගන්න පොත් පත් හොයා ගන්නේ කොහොමද... ඒවට අඩුම ගානේ බාහිර පංතිවත් කෙරෙනවද..?
3- ආහාර තාක්ෂණය කරගන්න බැරි එකක්නං “ගෘහ ආර්ථික විද්‍යාව“ හරි කරගන්න පොත්පත් බාහිර පංති ආදිය සොයා සපයා ගන්නට හැකි වෙයිද...?
ඔන්න ඕවා තමා දැන් තියෙන දැවෙන පස්න...
හා උදව් කරන්න කැමති පිංවතුන් දන්න දේවල් කියලා මේ අසරණයාට පිහිට වෙන්ට බලන්ඩ...