23 June 2018

කවුපි වෑංජනය...

         මේකට මුලින්ම කවුපි ටිකක් අරං හොඳට සෝදලා අරගෙන පැයක්වත් පෙගෙන්න දාන්න ඕන... පොගවන්නේ නැතිවම කෙලින්ම දියකිරෙන් ටිකක් වැඩියෙන් වෙලා අරගෙන උනත් තම්බ ගතෑකි... ඒත් වැරදිලාවත් කවුපි අතරේ අර තැම්බෙන්නේ නැති යක් ඇට එහෙම තිබුනොත් ඒවා හොයා ගන්න වෙන්නේ නැහැනේ... පොඩ්ඩක් හරි පොගන්න දැම්මම යක් ඇට ටික භාජනයේ පතුලට යනවා... පොඟපු ඇටවලින් පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්...(රතු හෝ සුදු කවුපි යන දෙවර්ගයම මෙහෙම උයන්න පුළුවන්... හැබැයි රතු කවුපිනං ටිකක් වැඩියෙන් පොගවගන්න වෙනවා ) 

ඒ හින්දා පැයක්වත් පොගවා ගත්තු කවුපි ටික වැහිලා තවත් සෙන්ටි මීටර් බාගයක් විතර හිටින්න දිය කිරි දාලා (වතුර උනත් අවුලක් නැහැ... )ඒකටම උළුහාල් ඇට කිහිපයක්... කුරුඳු පොතු කෑල්ලක්... ගොරකා බිකක්... රම්පේ කොල කෑල්ලක්... කරපිංචා නැටි දෙක තුනක් දාලා මඳ ගින්දරේ තැම්බෙන්න අරින්න ඕන...

කවුපි තැම්බෙන්න ඕන ගානකුත් තියෙනවා... ඔයාලා දන්නවා ඇති කවුපි තැම්බුනාම එක තැනකදී කවුපි ඇටයේ කළු පාට කොටස තියෙන පැත්තෙන් පොඩ්ඩක් පැලෙන්න ගන්නවා... ආන්න එහෙම පැලෙනවා කියන්නේ කවුපි එක කන්න පුළුවන් ගානට හොඳට තැම්බිලා කියන එකයි... හැබැයි උයද්දි දියකිරෙන් තම්බන අවස්ථාවෙදි කවුපි ඇටය පුපුරන්න කලින් තැම්බීම නැවැත්විය යුතුයි... ඇටය පුපුරන්න ඕන මිටි කිරෙන් උයාගන්න අවස්ථාවෙදි... එතකොට තමා හොඳ්ද බොර වෙලා රස වෙලා එන්නේ...

ඉතිං පුපුරන්නේ නැති ගානට තම්බ ගත්ත කවුපි ටික හරිනං දැන් අපිට තියෙන්නේ තෙම්පරාදුව කරගන්න...

ඇතිලියක් රත් කරලා ඒකට තෙල් ටිකක් දාලා... අබ ටිකක් දාලා පුපුරවාගෙන... රතුළුණූ/සුදුළුණූ/කරපිංචා කොල (නැටි කලින් දැම්මනේ)අමු මිරිස් වගේ දේවල් එකතු කරලා තෙම්පරාදු කරගන්න ඕන... වියලි මිරිස් කරලක් එහෙමත් එකතු කලානං තවත් හොඳයි... රම්පේ අපි කලින්ම දාලා තම්බගෙන තියෙන හින්දා තෙම්පරාදුවට රම්පේ ආයෙම එකතු කරන්න ඕන නැහැ...

ඔය ටික පොඩ්ඩක් බැදීගෙන එද්දි ඒකටම ලුනු ටිකක්... කහ කුඩු ටිකක්... තුනපහ කුඩු ටිකක් එකතු කරලා කලවං කරලා ඒවයේ පාට යන්තං වෙනස් වෙනකල් තෙම්පරාදු කරගන්න ඕන... දන්නවනේ අර ඉස්සෝ උයද්දි පාට හදාගන්නේ ආන්න ඒ වගේ රත්තරං පාටට හුරු වෙන්න... හැබැයි දුඹුරු පාට නොවෙන්න...

දැන් මේකටම අපි අර තම්බා ගත්ත කවුපිවල තියෙන කරපිංචා නැටි අරක මේක අහක් කරලා කවුපි ටික විතරක් එකතු කරගන්නවා...(නැහැ නැහැ උළුහාල් ඇට හොයන්න යන්න ඕන නැහැ :D ) 

කවුපි තම්බන්න පාවිච්චි කරපු දියකිරිවලිනුත් දැන් ටිකක් වගේ ඉතිරි වෙලා ඇතිනේ... ඒ ටිකත් මේකටම හලා ගන්නවා... එතකොට රසය හොඳයි...

දැන් ගින්දරත් සාමාන්‍ය ගානකට තියාගෙන එක දිගට හැදි ගාන්න ඕන... තෙත හිදෙනකල්ම... ඒකට මහ වෙලාවක් යන්නේ නැහැ... තෙත හිඳීගෙන අඩිය අල්ලන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි ඕකට මිරිස් කුඩු ටිකක් එකතු කරන්න ඕන... (තෙම්පරාදුවට දාන්න වියලි මිරිස් කරලක් එහෙම හොයාගන්න බැරි උන අය මෙන්න මේ වෙලාවෙදි මිරිස් කුඩුවලට අමතරව කෑලි මිරිස් ඇබින්දකුත් එකත් කරනවනං තවත් හොඳා) මිරිස් එකතු කරලා තත්පර දහයක් යද්දි වගේ හොඳ මිටි කිරි ටිකක් එකතු කරගත්තම හරි... 

මෙතනදී තමන්ට හොද්ද ඕනනං කිරි ටිකක් වැඩිපුර තිබ්බැකි... නැත්තං කවුපි ටික වැහෙන නොවැහෙන ගානට වගේ කිරි එකතු කලානං හරි... එහෙම එකතු කරලා හොඳට පැහෙන්න ඇරලා ගින්දර හොඳටම අඩු කරලා පියනකින් වහලා ටික වෙලාවක් මඳ රස්නෙන් තියාගත්තම කවුපි ඇටය යන්තම් පැලිලා ඒ විවරය හරහා කවුපිවල පිටි ගතිය හොද්දට මුහු වෙලා... හොද්ද බොර වෙලා... තෙල් පෑදිලා... නියම පදමට එනවා... තෙම්පරාදුවට භාවිතා කරන්නේ මැටි හට්ටියක් වීම මත ඕක තවත් හොඳට සිද්ධ වෙනවා...

එච්චරයි... දැන් ඉතිං ඕක එක්ක බත්... පාන්... පරාටා... වගේ දේවල් බොහෝම රසට කතෑකි... 

ගෙදර අයට බෙදා දීලා ඉවර වෙලා අවසානයට ඇතිලියට බත් මිටක් දාලා පිහගෙන කෑම තමා ඕකේ හොඳම හරිය... :D

බුකියේ දාන්න ලිව්ව එකේ මේකෙත් ඔන්න ඔහේ එල්ලලා දැම්මා... මොනවා උනත් බ්ලොග් එක ෂුවර්නේ බුකියට වඩා... :D

30 comments:

  1. දැන් රතු බත් කන්නත් පුරුදුවෙලා හිටං

    ReplyDelete
  2. රස දැනෙන්න රහට ලියලා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කව්පි රස නැවතත් මතක් කලාට ස්තුතියි. 1980 පමණ වෙනතුරු ත් 'පරිප්පු එකක් ' කියලා කඩේකින් ඉල්ලුවාම ලැබුනේ කව්පි නේ. 77 ආණ්ඩු වෙනසින් පසුව උනත් සෑහෙන කලක් යනතුරු මයිසුර් පරිප්පු කඩ වලට ආවේ නැහැනේ . 77 න් පෙර නම් (මයිසුර් පරිප්පු ) හුන්ඩුවක්, මාසෙකට වරක් එක කාඩ් පතකට (පවුලකට ) දුන්න බවත්, එය සත විසි අටක් මිල වූ බවත් තාමත් මතකයි. කවුපි වල මිල මතක නැති උනාට කව්පි හුන්ඩුවක ගල්, වැලි ආදී අපද්‍රව්‍ය මේස හැඳි දෙකක් තුනක් තිබීම බොහොම සාමාන්‍ය දෙයක් බවත් මතකයි. එකල අපේ කැන්ටිමේ (මම ආයතනය මොකක්ද කියලා නොකියා ඉන්නම්) කව්පි හොද්ද ඉතාම උකුයි. පොල් කිරි දකින්නේවත් නැතුව පයිප්ප වතුරෙන් මෙච්චර උකුවට කව්පි (පරිප්පු)හොදි හදන්නේ කොහොමද කියන එක මම දැනගත්තේ කලකට පසුවයි. ලෝබ නැතුව පාන් පිටි කිලෝ එකක් විතර හොද්දට කලවම් කරපුවාම මිටි කිරෙන් පමණක් ඉව්වා වාගේ උකුවට තියනවා .

    ReplyDelete
    Replies
    1. දැන්නං කව්පිවල ගල් වැලි අවමයි. ඒත් ඉදහිට එකක් දෙකක් තියෙන හින්දා පොගන්න දාලා පස්සේ භාජනයේ වතුර තිබියදීම කවුපි ටික අතේ ඇගිලිවලින් හිමිහිට උඩ අතට අරගත්තම අවසානයට අඩියේ ගල් සහ යක් ඇට තිබුනොත් ඒවා අහක් කරගතෑකි... ඉස්සරනං ගරන්නම ඕන...
      පාන්පිටි හොද්ද කවදත් හෝටල්කාරයන්ගේ ප්‍රියතම අංගයක්... එදා මෙදා කියලා වෙනසක් නැහැ. හැබැයි දැන් පාන්පිටිවලටත් වඩා බඩඉරිඟු පිටි තමා පාවිච්චිය...

      Delete
  4. පොල් සම්බෝලයක් හදාගන්න හැටි ඊළඟට ලියපං.

    ReplyDelete
    Replies
    1. http://ctkumara.blogspot.com/2010/02/blog-post_08.html

      Delete
    2. පොල් සම්බලේ තමා මාර සරණියේ පලවෙනිම පෝස්ට් එක... ඒකෙන් පස්සේ තමා ඇත්තටම මම කෑම ගැන ලියන එක ගැන උනන්දු උනෙත්... :D

      Delete
  5. කවුපි නෙහ්. ඒකත් මරු කෑම. දැං උඹ ඕක බයිට් එකට හදාගන්න හැටිත් දැම්මනං.

    ReplyDelete
    Replies
    1. බයිට් කන්නේ අර අරක්කු කියන වහ ජාතිය බොන එකාලනේ... අපිට මොකටද බයිට්...? :D

      Delete
  6. ආපහු මේක පණ ගහපු එකම මදෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බලපන්කෝ මේ වචන ටිකේ තියෙන අජූව... :(

      "බුකියේ දාන්න ලිව්ව එකේ මේකෙත් ඔන්න ඔහේ එල්ලලා දැම්මා... "

      Delete
    2. ඉතිං බං ඇත්තම කියන්නෙපෑ... ආයේ බොරුවට "මං මේක ඔයාලටමයි ලිව්වේ" කියලා බොරු කියන එක යුතුද මං අහන්නේ...? ඇත්තක් කියන්න හැටියක් නැහැ මේ ලෝකේ දෙවියනේ... :P

      Delete
    3. නෑ ඉතින් මන් මේ කිව්වේ බ්ලොග් වලට වෙලා තියන සන්තෑසිය ගැන...සිංහල බ්ලොග් කලාවේ ආදිපිතුරුවරුත් දැන් ලියන්නේ බුකියට... හිතක් හිතුනොත් බ්ලොග් එකේ එල්ලනවා හෙහ් හෙහ්...

      Delete
  7. Replies
    1. කෑමක රසයක් ගුණයක් නොදන්න එකාලා... දූපියවු යන්න... :D

      Delete
  8. දැන් ඉතිං මමත් උයන හින්දා මේ වැඩ ටික ටික පුළුවන්. ඉස්සර මාරයාගේ බ්ලොග් එකෙන් තමයි සමහර කෑම හදන විදිය බලා ගත්තේ.

    ReplyDelete
  9. ඉතාම රසවත් කෑමක් බව ඉඳුරාම නිව යුතුයි. කවුපි ඇට කන්න අකමැති කුඩා ළමයින්ට මේ විදියට කවුපි දුන්න හැකි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් පොඩි කාලේ ධාන්‍ය වර්ග කෝකත් වගේ කන්න ඒ හැටි කැමැත්තක් තිබුනේ නැහැ... ඒත් මුංඇට උයලා කරවල තෙල් දාලා දුන්නම කනවා... කවුපි උයලා හාල්මැස්සන් තෙල් දාලා දුන්නම කනවා... දැන්නං එහෙම නැහැ කව්පි කඩල මුංඇට කෝකත් තම්බලා කනවා... පොඩ්ඩක් හරි හොර කඩල කන්න තමා... හක්ක රිදෙන හින්දා...

      Delete
  10. රසායි!
    මගේ විදියට නං උයද්දී රම්පෙ,කරපිංචා, කුරුඳු පොතු, කරාබු නැටි, කරදමුංගු වගේ කිසිම දෙයක් මුලින්ම එකතු කරන්නේ නැහැ. එව්වා සේරම දාන්නේ කරිය ළිපෙන් බාන්න ඔන්න-මෙන්න කියලා. බාලා ඊළඟට පියනකින් වහලා තියනවා. එහෙම කරලා කරියේ සුවඳ බලන්නකෝ.

    හාල් ලිපේ තියද්දී වුණත් එතකොටම රම්පෙ නොදා බත ඉදුනට පස්සේ, හුමාලෙන් තැම්බෙන්න තියද්දී
    රම්පෙ කොළය බතට යට කරලා තියා බලන්න.

    ReplyDelete
  11. වර්තමාන නියෝජ්ය කතානායකගේ පියා, ජේ ආර් කර්ෆිව් දානවා කීවාම .. ආ සර් ඒ පැත්තෙ නම් කවුපී ඕනෙ තරම් කීවලු!

    ReplyDelete
  12. yakado patta badaginne Inna welawaka Meka kiyewwe.. ayi ban mehema karanne apita..

    ReplyDelete
  13. අපේ අප්පේ මේකට ආපු කල්.. අපිත් කවුපි හදනවා. මම නම් උළුහාල් දාන්න දෙන්නේ නෑ මලාට.

    ReplyDelete
  14. ඈක්කා කවුපි........ මුං ඇට හදන හැටි කාලෙකට කලින් ඇහුවා මෙලෝ රහක් නැ..... ඔවෑක්......
    (අපේ අම්මා උන්න නම් ගහලා පන්නලා කෑම වලට ඔහොම කිව්වා කියලා.....) පෝටීන් ඕනි නිසා නාහෙ ඇස් වසාගෙන ගිලිමි.

    ReplyDelete